අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අර්ධ ශතවර්ෂයක් සම්පූර්ණ වී තිබේ. වසර 50ක් යනු දීර්ඝ කාලයකි. එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස 1970දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට එක් වන මහින්ද රාජපක්ෂ මහතා එතැන් සිට ගල් මුල් ප්‍රහාර මෙන්ම මල් වරුසා ද ඇතුළුව බොහෝ අත්දැකීම් තම දේශපාලන දිවියට එක් කරොගත්තේය. වසර 30ක කාලයක් පැවති යුද්ධය මුලිනුපුටා දමමින් ශ්‍රී ලංකාවේ භාරකාරයා වීමට ද එතුමාට හැකි විය. පනස් වසරක දේශපාලන දිවිය පිළිබඳ එතුමා පළ කළ අදහස් කිහිපයකි මේ.
1970 පාර්ලිමේන්තුවට පත් වුණු ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස ඉන් සතියකට පසු රාජාසන කතාවේ ස්තුති යෝජනාව ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා ?
ඒ අවස්ථාව ළාබාලතම මන්ත්‍රීවරයට දෙන්න ඕනෑ කියලා ඒ කාලෙ සම්ප්‍රදායක් තිබුණා. ඒ කාලෙ මම අවුරුදු විසිපහට ලබමින් හිටියේ. මොන්ටි ගොපල්ලව කියනවා මම ඉතින් හැමදාම තාත්තට ස්තුති කරනවනේ. වෙන කෙනෙක්ට දෙන්න කියලා. එහෙම තමයි ඒක මට ලැබෙන්නේ.
දේශපාලකයකුගේ ඉතිහාසය කියන්නේ ඒ රටේ දේශපාලනයේ එක් පැතිකඩක්. මේ වසර 50ක දේශපාලන ජීවිතයේ සංධිස්ථාන අතර 1977 සමඟි පෙරමුණ විශාල පරාජයකට පත්වීම ගැනත් පැහැදිලි මතකයක් ඇති?
ඔව්. මේ පරාජයට හේතු කිහිපයක්ම තිබුණා. 71දී ඇති වුණු සමාජ විප්ලවය ඒකෙන් ප්‍රධාන වුණා. මිනිස්සුන්ට ආණ්ඩු පෙරළන්න මෙන්ම ආණ්ඩු පිහිටුවන්න අවශ්‍ය වෙන්නේ බොහොම සුළු කාරණාවක්. දකුණ හා වම කියලා ආණ්ඩුව දෙකඩ වුණා. විශාල පරාජයක් අත් වෙන්න ඒකම හේතුවක් වුණා.
අනුර බණ්ඩාරනායක මහතා සහ ඔබ අතර තිබුණු මිත්‍රත්වය ගොඩනැඟෙන්නේ කොහොමද ?
අපි සම වයස්වල හිටියේ. තරුණ වයස නේ. හැමතැනම යනවා. අපිත් ඇවිදින්න කැමතියි. ඒක ඒ විදියට ආව යාළුකමක්. දේශපාලන වශයෙන් අපි පැති දෙකක හිටියේ. එයා යූ.එන්.පී. එකට යද්දි මට කිව්වේ එයා යනවා කියලා විතරයි. කවදාවත් මට එන්න කිව්වේ නෑ. මාවත් ගන්න කියලා යූ.එන්.පීයෙන් ඉල්ලීම් එද්දි “මහින්ද එන්නෙ නෑ, මගේ වචන නාස්තිකරගන්න බෑ” කියලා ඔහු පක්ෂයට කියලා තියෙනවා.
1977 පරාජයෙන් පසු එජාපය මේ රටේ ආර්ථික වශයෙන් විශාල පරිවර්තනයක් කරනවා. තරුණ දේශපාලනඥයකු විදියට ඒකට මුහුණ දෙන්නේ කොහොමද?
ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොයෙක් වෙනස්වීම් සිදුවුණා. අලුත් ව්‍යවස්ථාවක් ආවා. මැන්දිස් රෝහණදීර මහත්මයා ව්‍යවස්ථාව ලිව්වා. ඒ අනුව දිස්ත්‍රික්කවල ඡන්ද තිබුණා. ඒකෙන් තවත් බෙදෙන්න පටන් ගත්තා. අපි මහජනතාව අපිත් එක්ක සම්බන්ධීකරණය කරන වැඩපිළිවෙළ දිගටම කරගෙන ගියා. ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළ කරගෙන ගියා. 80 මහා වර්ජනයට දායක වුණා.
83 කළු ජූලියේ විශාල අත්දැකීම් තිබෙනවා නේද ?
ඒක යූ.එන්.පී. ආණ්ඩුවෙන් මෙහෙයවපු එකක්. අන්තිමට ජේ.වී.පී. කොමියුනිස්ට් සමසමාජ පක්ෂ තහනම් කරලා ඒ සාමාජිකයෝ අත්අඩංගුවට ගත්තා.
අතුරු මැතිවරණයේදී ඔබතුමා සිරගත වෙනවා?
අතුරු මැතිවරණයට චමල් රාජපක්ෂ මහත්මයා ඉල්ලුවේ. ජෝන් අමරතුංග 1000ක් විතර සෙනඟක් එක්ක හිටියා. මම ඒ අයව පහුකරලා ගිහින් වලස්මුල්ල පහුකරලා ටිකක් දුර තිබුණු අපේ කාර්යාලයේ හිටියා. අපි එතන ඉඳිද්දි ජෝන් අමරතුංගගේ කණ්ඩායම ආවා අපිට ගහන්න. මම බැහැලා අහසට වෙඩි තිබ්බා ආත්මාරක්ෂාවට. ඉන්පස්සේ මම කාරෙක අරගෙන යන්න ගියා. මම ගියාට පස්සේ තමයි ඔය සිදුවීම වුණේ. මාව සොයන්න පටන්ගත්තා. මම වෙඩි තිබ්බා කියලා. ගෙදර ගිහින් මම සිද්ධිය කිව්වා. මම වෑන් එකේ කොළපාට කොඩි ටිකක් ගහගෙන ආවේ. “අන්න අර මහින්දයා මිනීමරනවා, තමුසෙලා ඉක්මනට යනවා” කියලා පොලිසියෙන් වාහනේ නවත්තලා අපට කිව්වා. මට හිනහයි. ඒ කියන්නේ මම ගැන නෙවෙයි වගේ මමත් ඉතින් මාරුවෙලා ආවා. මට මතකයි මාව බලන්න ඇවිත් මැගසින් හිරගෙදරින් එළියට බහිද්දි තමයි අපේ අම්මා අසනීප වුණේ. මම හිරේ ඉඳිද්දි තමයි අම්මා අන්ත්‍රා වුණේ. වාසුලා ඇවිත් බොහොම සුළු වෙලාවකට මට ඇප දීලා මාව මරණයට එක්කගෙන ආවා.
වාසුදේව නානායක්කාර මහතා සහ ඔබතුමා ලංකාවේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ජිනීවා යනවා. ඒක සිදුවුණේ කෙහොමද ?
අපිට ටිකට් එකක් දීලා කීවා ගියාම කෙනෙක් පිළිගනීවි. දවසක් ඉන්නත් ලැබෙයි, පාර හොයාගෙන මානව හිමිකම් කොමිසමට යන්න කියලා. හොඳ වෙලාවට අපිට ලංකාවේ කිහිපදෙනෙක් මුණගැහුණා. අපි ගත්තු උත්සාහය සඵල වුණා. අපි දෙවැනි පාර යද්දි තහනම් කළා. ඉස්සර මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටියේ සාමාජිකයෝ 15ක් වගේ පිරිසක්. මම ඒකට ගිහින් ඒ සියලු දෙනාටම සාක්කියේ පිටපත් දුන්නා. ඒ ලයිස්තුවල නම් තියන අය ගැන ආණ්ඩුවට වග උත්තර දෙන්න කිව්වා. ඒ වගේ ජාත්‍යන්තර බලපෑම් නිසා මේ භීෂණය යටපත් වුණා.
89දී පැවති මැතිවරණය තීරණාත්මක එකක්. ඔබතුමා නැවත පාර්ලිමේන්තු එනවා. ඉන්පසුව මොනවද සිදුවුණේ ?
ඒක සාධාරණ මැතිවරණයක් නෙවෙයි. මහජනතාව ඡන්ද දාන්න ආවේ මරණ බයෙන්. පළමුවැනියට ඡන්ද දාන්න ආව අයට වෙඩි තියනවා, අත් කපනවා කියලා තර්ජනය කළා. ඇත්තටම ඒවා කළා. සීයට 51ක ඡන්දයක් වැටුණේ ජනාධිපතිවරණයකට. ඒ කාලේ මැතිවරණ රැලි තිබුණේ නැති තරම්. තිබුණු ඒවටත් වෙඩි තිබ්බා. ඒ කාලේ මැතිවරණ කල් දාන්නේ ආණ්ඩු. දැන් විපක්ෂය තමයි මැතිවරණ කල්දාන්න උත්සාහ කරන්නේ.
1994 කියන්නේ මේ රටේ විශේෂ අවස්ථාවක්. ඔබ යළිත් බලයට පත් වෙනවා, ඒ වගේම ඔබේ පක්ෂයේම කෙනෙහෙලිකම්වලට ඔබ ලක් වෙනවා?
අවුරුදු 17කට පස්සේ ප්‍රථම වතාවට මම කම්කරු හා වෘත්තිය පුහුණු ඇමැති බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් කම්කරු ඇමතිකම දෙන්නේ වයසක අයට. මම ඒක ඉල්ලලා ගත්තු එකක් නෙවෙයි. එක අතකට මම සතුටු වුණා. මොකද මට වෘත්තිය සමිති, කම්කරු සංවිධාන එක්ක සම්බන්ධකම් තිබුණා. පාර්ලිමේන්තුවේ සම්මත කළ පළමුවැනි පනත තමයි වෘත්තිය පුහුණු අධිකාරිය වෙනුවෙන් ගෙනාව පනත. ජීවිතයට හැකියාවක්, හැකියාවට රැකියාවක් කියන එක තමයි මගේ සටන් පාඨය වුණේ. ඒත් මට කම්කරු ඇමතිකම නැතිවෙනවා. ඒකට හේතුවක් තිබුණා. ලුණු ලේවාය පෞද්ගලීකරණය කරන්න හැදුවා. ඊටීඑෆ් එකේ සල්ලි දාලා මම ඒක ගත්තා. ඊළඟට වතු විකුණන්න හැදුවා. මම මතුරට වතුයාය ගත්තා. ඔය සාකච්ඡාවට ඇවිත් හිටපු හාම්පුතුන් කණ්ඩායමක් කිව්වා මෙහෙම කරන්න එපා කියලා. ඒත් මම ඒක ඇහුවේ නැහැ. ඒ වගේම කම්කරු ප්‍රඥප්තිය ගෙනාවා. ඒකට කැබිනට් එක දක්වා එන්න දුන්නේ නැහැ. ඒ වගේම මම හැමවෙලේම කම්කරුවගේ පැත්ත ගන්නවා ස්වාධීන නැහැ කියලා චෝදනාවක් තිබුණා.
ඒත් ඔබට පසුකාලීනව විපක්ෂ නායකකම ලැබෙනවා නේද?
මම විපක්ෂ නායකයා වෙද්දි මම හිටියේ සවුදිවල. පලස්තීන තානාපතිවරයා මට කිව්වා මෙහෙම පුරප්පාඩුවක් තියෙනවා එන්න කියලා. ඉන්පස්සේ මම ආවා. මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡා තිබුණා. බොහෝ අයගේ මතයක් තිබුණා රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුට මේක දෙන්න ඕනෑ කියලා. එතකොට මං වෙනුවෙන් කතාකරන්න ලෑස්තිවෙලා හිටියේ දොඩංගොඩ ඇමතිතුමා සහ භාරත ලක්ෂ්මන් මහත්තයා. දෙන්නටම එදා නින්ද ගිහින්. සාකච්ඡාව වේලාසන පටන් අරන්. මම ගියාම මාව ඩිෆෙන්ඩ් කර ගත්තා. කොහොම හරි චන්ද්‍රිකා මට විපක්ෂ නායකකම දුන්නා. ඒක ගත්තා කියන්නේ අගමැතිකමත් එනවා කියන එකනේ.
2005 ජනාධිපතිවරයා වුණු පසු ඔබට දැනුණු බර කොහොමද?
රැස්වීමකට ගියත් මේ රටේ මිනිස්සු මගෙන් ඉල්ලුවේ යුද්ධය නවත්තලා දෙන්න කියපු එක මිසක් කන්න බොන්න දෙන්න, රස්සාවල් දෙන්න කියලා නෙවෙයි. ඒ හඬ තමයි රටේ හැමතැනම තිබුණේ. මොකද රටේ ඒ කාලෙ වෙද්දි දවස ගානේ ගම්වල සුදුකොඩි වැටෙනවා. හමුදාවට යන තරුණයෝ ආයෙ පණපිටින් ගම්වලට ආවේ නැහැ. ඒ වගේම උතුරේ තරුණයොත් මේකෙන් මැරුණා. මේක ඉවර කරන්න ඕන කියන දේ තමයි මම තෝරගත්තේ. ගෝඨාභය ඇවිත් ආපහු අමෙරිකාවට යනවා කියලා කියද්දි මම කිව්වා යන්න එපා, වැඩක් භාරදෙන්න තියෙනවා කියලා. මෙයා යයි කියන බයට ඊට පහුවෙනිදම මම ආරක්ෂක ලේකම්කම දීලා කිව්වා යුද්දෙට ලෑස්තිවෙන්න කියලා. මට මතකයි ඒ වෙලාවේ සෝමවංශ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ මට උදව් කළා. ඔවුන් කිව්වෙම ගහන්න කියලා. ඒත් අපට භටයන්ට දෙන්න ඇඳුම් තිබුණේ නෑ, ඇතිවෙන්න භටයෝ හිටියේ නෑ. ඒ වෙලාවේ තමයි හමුදාවට බැඳෙන්න කියලා තරුණයන්ට ආරාධනා කළේ. යෝෂිතත් ඇවිත් ඇහුවා මම නේවි එකට බැඳෙන්නද කියලා. තරුණයන්ට එන්න කියලා මට එයාට බෑ කියන්න බෑ නේ. මගේ පුතා වගේම රට පුරාම පුත්තු හමුදාවට බැඳුණා.
යුද්ධය කරගෙන යද්දි අතිවිශාල බලපෑම්වලට යටත් වෙන්න සිදුවෙන්න ඇති?
ත්‍රස්තවාදීන් ලෝකයේ නොයෙක් රටවල ඡන්දදායකයන් වෙලා තිබුණා. ඒ නිසා සාමයෙන් කටයුතු කරන්න කියලා බොහෝ රටවල් අපිට කිව්වා. මට මතකයි සෝල්හයිම් ඇවිත් කිව්වා ජීනියස් කෙනෙක් එක්ක තමයි ඔබ සටන් කරන්න යන්නේ, ඒ නිසා ඔවුන් ඉල්ලන ඉල්ලීම් ටික දීලා සාමයට යන්න කියලා. ඉල්ලීම් දෙන්න කියද්දිම කියන්න හදන්නේ මොකක්ද කියලා මට තේරුණා. මම පැහැදිලිව කිව්වා මම මේක ඉවර කරලා තමයි පස්ස බලන්නේ කියලා. මේ වගේ සටනකදී ඉන්දියාවේ බලය තමන්ගේ පැත්තේ තියාගන්න ඕන. ඒ නිසා මම ඉන්දියාවට ගිහින් එයාලා කැමති කරවගත්තා. දකුණු ඉන්දියාවේ බලපෑම නිසා ඔවුන් ඒක ප්‍රසිද්ධියට පත් කරන්න එපා කියලා ඉල්ලුවා. චීනය, පාකිස්තානය, රුසියාව වගේ රටවල්වලින් වගේම පසුකාලීනව අමෙරිකාවේ සහායත් ලැබුණා. තාක්ෂණික තොරතුරු ලැබුණේ අමෙරිකාවෙන්. යුද්ධය ජයග්‍රහණයට අවශ්‍ය තොරතුරු වගේම ආයුධ ලැබුණා.
පසුකාලීනව යුද ජයග්‍රහණය නිසාම ජාත්‍යන්තර ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වුණා නේද?
මානව අයිතිවාසිකම් ආයතන, එන්ජීඕ ආයතන එක්ක තමයි ඒ දේවල් වැඩිපුර සිදු වුණේ. ඒ වගේම ජීවිත තර්ජන පවා එල්ල වුණා. ඒ තර්ජනවලට මම යට වුණේ නැහැ. මං හිතන්නේ ඒ වෙලාවේ හිටිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මට කතා කරලා කිව්වා ලංකාවට එන්න ඕනෑ කියලා. මේ යුද්දේ අවසාන අදියර ක්‍රියාත්මක වන වෙලාවේ මට ජෝර්දානයට යන්න ආරාධනාවක් තිබුණා. මම නොයන්න හිටියේ. ඒත් මෙතුමා එනවා කියපු නිසා ඔහු එන එක වළක්වගන්න මම කිව්වා “මම ජොර්දානයට යනවා; මම නැහැ” කියලා. “අගමැතිතුමා හිටියම මට ඇති” කියලා ඔහු කිව්වා. ඒත් මම කිව්වා “මම එනකම් ලංකාවට එන්න එපා” කියලා. මම එහේ ඉඳලා දුරකතනයෙන් ගෝඨාභය, හමුදාපති ඇතුළු සියලු දෙනා සමඟ සම්බන්ධ වුණා.
කොටි සංවිධානය එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ප්‍රහාරයක් එල්ල කරද්දිවත් ඔබ පසුබැස්සේ නැද්ද?
නැහැ. මුලින්ම ප්‍රහාරයක් එල්ල වුණේ හමුදාපති සරත් ෆොන්සේකා මහත්මයට. හමුදාපතිවරයාගේ කඳවුරට ගිහින් ගැහුවේ. මම හිතන්නේ ඒ පාරෙන් කාටවත් යන්නවත් දෙන්නේ නෑ. ඒ තරම් ආරක්ෂාවක් තිබුණේ. ඊට පස්සේ ගෝඨාභයට ගැහුවේ. මට ඒ සද්දේ ඇහෙද්දිම කිව්වා කාටහරි බෝම්බයක් වැදුණා කියලා. මගේ ළඟ හිටිය කෙනෙක් කිව්වා නැහැ ඒ වෙන සද්දයක් කියලා. මම එළියට බැහැලා එද්දි ගෝඨාභය ඉස්සරහට එනවා. ලේ තිබුණා ඇඟේ. ඒත් තුවාල තිබුණේ නැහැ. ඒ වගේ සිද්ධිවලින් වුණේ යුද්ධය අවසන් කිරීම ඉක්මන් වුණ එක මිසක් බයක් ඇති වීම නෙවෙයි.
වසර 30ක් පුරා මුළු රටම බැටකෑව යුද්ධය අවසන් කරපු ඔබතුමාව 2015දි ගෙදර යවන්න ජනතාව තීරණය කරනවා. මේකට මුහුණ දුන්නේ කොහොමද?
ඒක ජනතාවගේ තීරණය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ඉද්දි ජය පැරදුම දෙකටම මුහුණදෙන්න ඕනෑ. මට පැරදුම පුරුදුයි. වෙනස කොයි තරම්ද කිව්වොත් මගේ පොඩි පුතාට වතුර බෝතලයක් ඉල්ලුවම ජනාධිපති මන්දිරයෙන් කියලා තියෙනවා දැන් දෙන්න බෑ කියලා. වතුර බෝතලයක්වත් දෙන්න එපා කියලා කොහෙන්හරි නියෝගයක් ඇවිත් තිබුණා. මම 12, 01 වෙද්දි මැදමුලනට ගියා. යද්දි මැදමුලනේ අතිවිශාල සෙනඟක් මාව පිළිගන්න හිටියා. 2015දි කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයමයි මට ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත්වෙන්න කියලා යෝජනා කළෙත්. රෑ අපි එක්ක රාත්‍රී ආහාරවේලටත් එකතු වෙලා ඉඳලා උදේ වෙද්දි එතුමා අනිත් පැත්තට ගිහින්.
2015 පරාජයට පත් වුණත් ඊට පහුවෙනිදා ඉඳලම තංගල්ලට සෙනඟ එන්න පටන් ගත්තා?
ඔව්. එතන ඉඳලා මාස ගානක් තංගල්ලට කාර්වලින් බස්වලින් සෙනඟ ආවා. කිලෝමීටරයක් දෙකක් පෝලිම තිබුණා. ඇවිත් තත්පර ගානකට ආයුබෝවන් කියලා යනවා. මට මතකයි විමල් ඇවිත් මට කියනවා අපි ආපහු සංවිධානය වෙන්න ඕනෑ කියලා. ඉන්පස්සේ මම වාසුගෙන් මේ ගැන ඇහුවා. දිනේෂ් ගුණවර්ධන, ලොකුගේ මහත්තයලා එක්ක මේ ගැන සාකච්ඡා කළා. ගීතාංජන ගුණවර්ධනගේ ගෙදරට එකතු වුණා. මහින්ද සුළඟ කියන රැල්ල නුගේගොඩින් පටන්ගනිමු කියලා එතනදි තීරණය කළා.
ඔබ පරාජයට පත් වූ වහාම දේශපාලන පළිගැනීම් ලෙස ඔබේ දරුවන් අත්අඩංගුවට පත් වෙනවා. මේ සිදුවීම්වලට ඔබ මුහුණ දුන්නේ කොයිවිදියටද?
ඉතින් එදා තිබුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි පළිගැනීම. ඒකනේ එයාලට අවුරුදු 05ක් තිස්සේ වැඩක් කරන්න බැරි වුණේ. මේ අපි කරපු දේ මේක කියලා පෙන්නන්න දෙයක් තිබුණේ නෑ නේ. මගෙන් විතරක් නෙවෙයි අපේ පවුලෙන්ම පළිගත්තා. අපේ ඇමති මණ්ඩලයෙන් පවා පළිගත්තා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මම පළිගන්නේ නැහැ. පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවක් වශයෙන් අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපිට ඊට වඩා වැඩ කරන්න තියෙනවා. පරණ ඒවට පළිගන්න කාලයක් නැහැ.
18 වැනි සංශෝධනය හා 2015 මැතිවරණය කලින් තියපු එක ගැන ඔබට චෝදනාවක් තියෙනවා?
සමහර තීන්දු නොගත්තනම් කියලා දැන් හිතෙනවා. ඒත් ඒ වෙලාවට ගන්න තියෙන හොඳම තීරණය තමයි අරන් තියෙන්නේ. 18 වැනි සංශෝධනය මම ජී.එල්. පීරිස් මැතිතුමාට තමයි දුන්නේ. කොහොමහරි තුන්වැනි වතාවටත් ඉන්න ඕනෑ කියලා බොහෝ අය කිව්වා. ඒත් මේ ආණ්ඩුව ඇවිත් ඒ සියලු අයිතිවාසිකම් නැති කළා. කලින් මැතිවරණය තියපු එක මගේ වරදක්. මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ කාලය අවසන් වන තුරු ඉන්න දුන්නේ නෑ. ඒක අසාධාරණයක් කියලා මට දැන් හිතෙනවා. ජ්‍යෝතිෂය නිසා මේක කළේ කියලා මට චෝදනා කරනවා. දැන් මගේ දැඩි විශ්වාසයක් නැහැ ඒ ගැන. මොකද මම එකපාරක් බැට කෑවා. මට පරාජය පුදුමයක් වුණේ නැහැ. මම ජය පරාජය දෙකම හොඳට විඳලා තියෙනවා. මගේ දරුවොත් ඒ කටුක අත්දැකීම විඳපු එක ගැන මම පෞද්ගලිකව සන්තෝස වෙනවා. ඒත් රටකට විශාල හෙනයක් වුණා. මේ තරම් පළිගැනීම් කිසිම දේශපාලනඥයකුට එන්න නැතිව ඇති.
ඔබ ශ්‍රී ලංකා දේශපාලනයේ එක්තරා සලකුණක් බව විපක්ෂය පවා කියනවා. නවකයන්ට ඔබ ආදර්ශයට ගත හැකි වගේම ඔබ තරුණයකු ලෙස දේශපාලනයට එද්දි ආදර්ශයට ගත්තු දේශපාලනඥයන් කවුරුද?
විශේෂයෙන් එක්කෙනෙක් කියලා නැහැ. ඒත් අපිට බොහෝ අය ආශ්‍රය කරන්න ලැබුණා. විශේෂයෙන් මගේ තාත්තා හිටියා. එයාගේ ආභාසය ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වගේ මහත්තුරු ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. වාසුලා හිටියා. වාසු තරුණ වුණත් අපට ඔහුගේ අදහස් ගැන ගෞරවයක් තිබුණා.
විපක්ෂයේ සිටියදී පවා ඔබ සැලකෙන්නේ පත්තරකාරයාගේ මිතුරෙක් විදියට. ඒත් ඔබ බලයේ සිටින යුගයේ මාධ්‍යවේදීන්ට හිරිහැර වුණා කියන චෝදනාව නැගෙනවා?
අපි දැනුවත්ව ආණ්ඩුවෙන් මෙහෙම දෙයක් වුණේ නැහැ. ඒ කාලේ ඝාතන කිහිපයක් සිදු වුණා. අපි පරීක්ෂණ කළා. ලසන්ත මාව හමුවෙන්න රැට එනවා. මම යවන්නේ මගේ කාර් එකේ. එයාගේ ආරක්ෂාවට. රටේ මිනිස්සු දන්නවා කවුද ඒක කළේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ පවා කියනවා මේකට වගකියන්න ඕනෑ කවුද කියලා. රජයේ අවශ්‍යතාවකට නෙවෙයි මේක වුණේ.
මේ වසංගතය සමඟ අපට අභියෝගාත්මක තත්ත්වයකට මුහුණදෙන්න වෙලා තියෙනවා. ඉදිරියේදී රට ගොඩනඟන්න තියෙන සූදානම කොයි වගේද ?
අපට ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. දැන් අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පහුගිය ආණ්ඩුව ඡන්ද කල්දැම්මා. දැන් අවශ්‍ය වෙන්නේ හැකි ඉක්මනින් ඡන්දය තියන එක. දැන් ජනාධිපතිවරයගේ කාලයෙන් කොයිතරම් ගෙවිලද? අවුරුදු 05යිනේ එයාට තියෙන්නේ. ඒ නිසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවලා ශක්තිමත් ආණ්ඩුවක් එක්ක ඉදිරියට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අධිවේගී මාර්ග නුවර සිට දඹුල්ල දක්වා සහ රත්නපුරයට අරන් යනවා. පාලම් ටික හදලා දෙනවා. මම සියලුදෙනාටම විදුලිය ලබා දුන්නා. ඒ වගේම බීමට සුදුසු ජලය නොමැති 7%ක් ජනතාව ඉන්නවා. සියලු දෙනාට ජලය ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කරනවා. ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව දූෂණ වංචා සිදුවීම් නොවීමට වගබලා ගන්නවා.
(මහින්ද රාජපක්ෂ මහතා සහ වාසුදේව නානායක්කාර මහතා සමඟ අයි.ටී.එන්. නාලිකාව මඟින් කරන ලද විශේෂ සංවාදයක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි.)
සටහන
නදී මාණික්කගේ