Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

මොකක්ද මේ නිරෝධායනය?

$
0
0
ජුනි 17, 2020 01:00

වෛද්‍ය ෂෙල්ටන් චන්ද්‍රසිරි ඌව පළාත් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

මුලින්ම නිරෝධායනය යන්නෙහි තේරුම කෙටියෙන් ගත හොත් ඉතා දැඩි ලෙස හු‍ෙදකලා කිරීමයි. එනම් මිනිසුන් සත්ත්වයන් හෝ වෙනත් භාණ්ඩ විය හැකිය. මෙය ඈත අතීතයේ සිට වසංගත රෝග වැළැක්වීම සඳහා ගන්නා ලද ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලිය පුරාණ රජවරුන්ගේ කාලයේ දී හා පැරැන්නන් විසින් ද ක්‍රියාත්මක කරන ලද්දකි. ඒ කාලයේ ගැමියන් විසින් දෙවියන්ගේ ලෙඩ යැයි හඳුන්වනු ලබන පැපොල, කම්මුල්ගාය හා සරම්ප වැනි වසංගත රෝගයක් හැදුණු විට එම රෝගය අනුව සතියක් හෝ සති දෙක තුනක කාලයක් ගෙදරින් එළියට බැසීමට හෝ එම ගෙදරට අසල්වැසියන්ගේ පැමිණීම වළක්වමින් එම රෝගියා නිරෝධායනය කරයි. ඈත අතීතයේ සිට මේ ක්‍රියාවලිය සිදුවූවත් ඇතැම් අයට අලුත් වචනයක් විය හැකිය. නිවෙසෙහි නිරෝධායන රෝගියෙක් සිටින විට නිවෙසට ඇතුළුවන උලුවස්සේ හා වත්තට ඇතුළුවන කඩුල්ලේ කොහොඹ අත්තක් එල්ලීම පැරැන්නන් විසින් සිදු කරන ලද්දකි. මින් අවට ජනයා එම නිවෙසේ වසංගත රෝගයට ලක් වූ රෝගියකු සිටින බව හඳුනාගනියි. තවද, එම රෝගියාට පිටතින් විෂබිජ පැමිණීම ද මෙමගින් වළක්වා ගනියි. එය කිල්ලට අසු වීම යැයිද භාවිත කරනු ලබයි.

ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වශයෙන් පැවති කාලයේ නිරෝධායන රෙගුලාසි ස්ථාපිත කිරීමට පටන් ගනුයේ වර්ෂ 1802 දීය. නමුත් ඔවුන් විසින් 1866 හා 1881 දී නැවත නීති සංශෝධනය කරන ලදි. එය නීතියක් වශයෙන් ව්‍යවස්ථාගත කරන ලද්දේ 1897 දීය. එය THE QUARANTINE AND PREVENTION OF DISEASE OROINANCE 1897 යනුවෙන් හඳුන්වනු ලැබීය. එය නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ව්‍යවස්ථාව 1897 වශයෙන් සිංහලයෙන් හැඳින්වේ. තවමත් ක්‍රියාත්මක වන්නේ මෙම නීති සංග්‍රහයට බොහෝ දුරට අනුකුලවයි.

නිරෝධායන කටයුතු එවකට ලංකාවේ සිටි ආණ්ඩුකාරතුමාගේ අනුදැනුම ඇතිව සභාවක් මගින් පාලනය කරන ලදී. අදාළ ක්‍රියාවලිය කොටස් 3ක් යටතේ වෙන් කර නිරෝධායන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් පත්‍රය 1907 දී නිකුත් කරන ලදී. මේ කොටස් 3 වන්නේ (1) භාණ්ඩ (2) රෝග (3) රෝගීන් වශයෙනි. භාණ්ඩ වශයෙන් නම්කර ඇති දේවල් නම් ඇඳුම් පැලඳුම්, ගෘහ භාණ්ඩ, පොත්පත්, ලිපි ලේඛන, වෙළෙඳ උපකරණ, පැළෑටි හා සතුන්ය.‍

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් යටතේ නිරෝධායනය පිළිබඳ පුහුණුව ලත් වෛද්‍යවරයකු නිරෝධායන අධ්‍යක්ෂක ලෙස පත් කර ඇත. මෙය යටතේ කටුනායක, මත්තල ගුවන් තොටුපොළවලත් කොළඔ, ගාල්ල වැනි වරායන්හිත් නිරෝධායනය මධ්‍යස්ථාන පිහිටුවා ඇත. මෙහි සේවය සඳහා වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සේවය සඳහා පත් කර ඇත.

‍කාර්ය මණ්ඩලය විසින් වසංගත රෝග ඇති රටවලින් පැමිණෙන මගීන් සඳහා කටුනායක ගුවන්තොටුපොළදී නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කරයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය උග්‍ර වීමට ප්‍රථමයෙන් ද පිටරටවල සිට පැමිණෙන මගීන් සඳහා විශේෂයෙන් කහ උණ (YELLOW FEVER) ඇති රටවලින් පැමිණෙන මගීන් සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය. ඔවුන් ඒ ඒ රටවලින් වීසා අයදුම් කිරීමේදී ඒ ඒ රෝගයන් සඳහා එන්නත් සහතික ලබා ගත යුතුව ඇත. ශ්‍රී ලංකාවෙන් සමහර රටවලට යන මගීන් සඳහා ද විසා ලබා ගැනීමේදී ඒ ඒ රටවලින් යෝජිත පරිදි සමහර රෝග සඳහා එන්නත් සහතික ලබාගත යුතුව ඇත. මීට අමතරව සතුන්, පැළෑටි වර්ග හා වෙනත් භාණ්ඩ ආනයනය හා අපනයනය කරන අවස්ථාවලදි ඒ ඒ භාණ්ඩ සඳහා නිරෝධායන සහතික එම භාණ්ඩ අයිති දෙපාර්තමේන්තුවලින් නිරෝධායන සහතික ලබාගත යුතුව. මේ සහතික සතුන් නිරෝධායන, ආහාර නිරෝධායන හා කෘෂිකාර්මික නිරෝධායන ආයතනවලින් ගත යුතුව ඇත‍. වරායන්වලට පැමිණෙන මගී හෝ භාණ්ඩ ප්‍රවාහන නැවක් පැමිණිවිට නිරෝධායන වෛද්‍යවරයෙක් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු නැවට ගොස් පරීක්ෂා කර PATIQUE සහතිකයක් දුන් විට පමණක් ඔවුනට නැවෙන් ගොඩ බැසීමට සහ වරාය පරිහරණය කිරීමට හැකි වේ. 1897 නිරෝධායන නීතිය අනුව එවකට ලංකාවට පැමිණෙන සෑම නෞකාවක්ම වරායට පැමිණිමට පෙර Q අකුර සහිත කොඩියක් ඔසවා තිබිය යුතුය. මෙය නිරෝධායනය ඇඟවීමේ සංඥාවකි. මෙම කොඩිය පහළ දැමිය හැක්කේ නිරෝධායන වෛද්‍යවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂණයකවරයාගේ අවසරය ලැබීමෙන් පසුවය.

ලංකාවේ නිරෝධායන කටයුතු වඩාත් වැඩිදියුණු කිරීමට සිදුවුයේ ඉන්දියානුවන් ලංකාවේ උඩරට වතුවල සේවය කිරීම සදහා ලංකාවට පැමිණිමත් සමගය. ලංකාවේ සිංහල ගොවීන් වී ගොවිතැන ගැන යොමු වී සිටි නිසාත් , ඉංග‍්‍රීසින්ගේ තේ, කෝපි හා රබර් වතුවල සේවය කිරිමට අකමැති වු නිසාත්, දකුණු ඉන්දියානු කම්කරුවන් ලංකාවට ගෙන්වන ලදි. ඔවුහු දකුණ ඉන්දියානු වරායවල් වල සිට ලංකාවේ තලෙයිමන්නාරමට පැමිණ අනුරාධපුරය, මාතලේ හරහා මහනුවරට පැමිණියහ.

මොවුන්ගේ පැමිණිම ආරම්භ වුයේ 1840 න් පසුවය. මෙසේ පැමිණි දකුණු ඉන්දියානු කම්කරුවන් නිසා අතීසාරය, මහාමාරිය හා වසුරිය වැනි රෝග ලාංකිකයන්ට බෝවීමට පටන් ගන්නා ලදි. මෙම රෝග වැළැක්වීම සදහා ලංකාවේ නිරෝධායන වෛද්‍යවරයෙක් ඉන්දියන් වරායන්වලට සේවයට යොදවන ලදි.

මේ කාලයේ මෙම වෛද්‍යාවරයා විසින් දෙන ලද නිරෝධායන සහතිකය නොමැතිව දකුණු ඉන්දියාවේ සිට කිසිම මගියෙකුට ලංකාවේ වරායකට පැමිණිය නොහැකි විය. මීට අමතරව කොළඹ වරායෙන් පැමිණෙන රෝගීන් රාගම නිරෝධායන කඳවුරේ රඳවාගෙන ප්‍රතිකාර කිරිමෙන් පසුව රැකියාවන් සදහා මුදාහරින ලදි. ලංකාවේ නිරෝධායන කටයුතු 1956 දී විමධ්‍යගත ඒකකයක් බවට පත් විය.

පසුව ඉන්දියාවේ පිහිටුවනු ලැබු මණ්ඩපම් කඳවුර මගින් ලංකාවට පැමිණෙන මගීන් එන්නත් කිරිම හා නිරෝධායනය කිරිම ආරම්භ කරන ලදී. එහෙත් පසුව මෙම කඳවුර වසාදමා ඒ වෙනුවට තලෙයිමන්නාරමේ නිරෝධායන කඳවුරක් ආරම්භ කරන ලදි.

මෙවැනි නිරෝධායන ක්‍රියාවලියක් ඇතිකිරිම අවශ්‍ය වන්නේ හුදෙක් වසංගත රෝගයක් මිනිසුන් අතර බෝවීම වැළැක්වීම සඳහාය. එනම් යම් රෝගයක් ගැන සැකකරනු ලබන කෙනෙක් ඇත්ත වශයෙන්ම ඔහුට එම රෝගය වැලඳී ඇත්දැයි බැලීම සඳහා ඔහු සති කිහිපයක් වෙනත් ජනයා අතරින් වෙන් කර තබයි.

ඇත්ත වශයෙන්ම ඔහුට එම සැකකරන රෝගය වැලඳී ඇත්දැයි එම කාලය ඇතුළත රෝග ලක්ෂණ පහළ විය යුතුය. එයින් ඔහු රෝගියෙක් සේ සලකා ප්‍රතිකාර කර සමාජයට යවයි.

එස්.එම්. ෆාරුක්
වැලිමඩ විශේෂ


එදා සියලු තීන්දු තීරණ ගත්තේ සමනල කණ්ඩායමයි

$
0
0
ජුනි 17, 2020 01:00
චතුමී පිටිපන

හිටපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමේ නීත්‍යනුකූලභාවය සහ මැතිවරණයේ වැදගත්කම ඇතුළුව වත්මන් දේශපාලනය පිළිබඳ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙසේ අදහස් දක්වයි.

* කොරෝනා වසංගතය ව්‍යාප්තව පවතින කාලයක මැතිවරණයක් පැවැත්වීම පිළබඳ විපක්ෂයෙන් විරෝධයක් නැඟෙනවා නේද?

කොරෝනා අපට පමණක් නොවෙයි ලෝකයේ සෑම රටකටම බලපාන වසංගතයක්. රටක ස්ථාවර පාලනයක් ගෙන යාම සඳහා ජනතාවගේ මූලිකම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්ද බලය ආරක්ෂා කරමින් මැතිවරණ පැවැත්වීම සෑම රටකම කරනවා. අසීරු අවස්ථාවන්හි දී එසේ කිරීම නුසුදුසුයි. නමුත්, වසංගතය පාලනය කළ හැකි මට්ටමක තිබේ නම් මැතිවරණ පැවැත්විය යුතුයි. අපට ඊට උපදෙස් දිය නොහැකියි. සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

* පවතින තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව විපක්ෂය අධිකරණයේ සහාය පැතුවා නේද?

එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත්, මුස්ලිම් කොංග්‍රසයත් අධිකරණයට පැමිණියේ මැතිවරණ පවත්වන්න එපා කියන්නයි. මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීම තමයි ඔවුන්ගේ අරමුණ වුණේ. අපටත් පැහැදිලිව පෙනුණා ඔවුන්ගේ එම අරමුණ ඉෂ්ට කිරීම සඳහා මැතිවරණ කොමිසමේ ඇතැම් අයත් සැදී පැහැදී සිටි බව. විශේෂයෙන්ම මහාචාර්ය හූල් මහතා. එය අධිකරණයේ දීත් තහවුරු වුණා. කොමිසම එකක් වුණාට අධිකරණයේ දී නීතිඥයන් තුන් දෙනෙක් මත තුනක් පරස්පර විරෝධී ලෙස කොමිසම වෙනුවෙන් ඉදිරිපත් කළා. එය රාජ්‍ය සේවයට සහ කොමිෂන් සභාවට ගැළපෙන දෙයක් නොවේ. අපි දක්වපු විරෝධතා නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට එක මතයක්, එක ස්ථාවරයක්, එක නීතිඥයෙක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. මේ අනුව පෙනී යන දෙය තමයි පෙත්සම්කරුවන්ගේ අරමුණු වෙනුවෙන් කොමිසමත් පෙනී සිටි බව. ඉන්පසු විශාල මහජන විරෝධයක් මතුවුණා. දැන් එම ප්‍රශ්නය නිම වී මැතිවරණයට දින නියම වුණා. ඡන්දෙදී කවුද බලයට ගේන්න ඕන කියල ජනතාව තීන්දු කරාවි.

* ඔබ කියන්නේ ‌මේ අවස්ථාවේ දී කොමිසම පක්ෂග්‍රාහී වුණා කියල ද?

බොහොම පැහැදිලිවම මා එය කියනවා. මහාචාර්ය හූල් මහතා ඉදිරිපත් කළ සියලු තර්ක පෙත්සම්කරුවන්ට සහාය වන ආකාරයට තමයි ඉදිරිපත් කළේ. ඔහුට වෙනම මත ඉදිරිපත් කිරීමේ අයිතියක් නැහැ. මොකද කොමිෂන් සභා තීන්දු කියන්නේ බහුතර තීන්දු. බහුතරය පැත්තකින් තබා ඔහු තනිවම තර්ක ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ ඔහු කොමිසමටත්, මැතිවරණයටත් විරුද්ධ බවයි.

* ඒ කියන්නේ කොමිසම ස්වාධීන නැති බව ද?

පැහැදිලිවම ඔව්. පසුගිය කාලසීමාව තුළ ස්වාධීනව කටයුතු කළේ නැහැ.

* මහාචාර්ය හූල් පවසා තිබුණා මෙම මැතිවරණයට දූෂිත පුද්ගලයින් ඉදිරිපත් වන බව. ඔහු එම චෝදනාව එල්ල කරන්නේ කවුරුන් සම්බන්ධව ද?

ඔහු එම චෝදනාව ඉදිරිපත් කරන කොටම කොමසාරිස්වරයකු ලෙස ඔහු දූෂිතයි. මේක ජනතාවගේ ප්‍රශ්නයක්. ඔහුට කිසිදු පැත්තක් ගන්න බැහැ. කැනඩාවේ සිටි ඔහුට වඩා මෙරට ඡන්ද දායකයින් දන්නවා කවුද දූෂිත, කවුද දූෂිත නැත්තේ කියලා. ඔහු කට පියාගෙන ඔහුගේ රාජකාරිය කළ යුතුයි.

* ඡන්දයක් පැවැත්විය යුතු වන්නේ පනත් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබා ගැනීම සඳහා ද?

ඒ සඳහා 2/3 බලයක් අවශ්‍ය වන්නේ නැහැ. එයට බහුතරය තිබුණාම ප්‍රමාණවත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැන් තිබෙන ආණ්ඩු ක්‍රමය හරිම විකෘතියි. ඒ සඳහා අපි 2/3 බලය පාර්ලිමේන්තුවේ දී ලබාගත යුතුයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ කළ යුතුයි. ජනතා හිතවාදී සංශෝධන ගෙනෙන විට පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ට මඟහැර යෑමට බැහැ.

*78 ව්‍යවස්ථාව පිළිබඳව කතා කළොත්?

78 ව්‍යවස්ථාවෙන් සහ මෙම මැතිවරණ ක්‍රමයෙන් රට අවුල් කර තිබෙනවා. 13 වැනි සංශෝධනයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විකෘතියක් ආවා. පාසල් පද්ධති, සෞඛ්‍ය පද්ධති ආදී සියලු දේවල් පළාත් බඳව බෙදුණා. ඉන්පසු ඒ සියලු දේවල්වල අකර්මණ්‍යතා ඇති වුණා. පාර්ලිමේන්තුව තුළ බහුතරයකට ආණ්ඩුවක් හදාගන්න නොහැකි තත්ත්වයකට ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ ක්‍රමය අවුල් කළා. ඒක අෂ්රොප් මහතාට දුන් දේශපාලන කප්පමක්. ප්‍රේමදාස ජනාධිපතිවරයා 12.5% ප්‍රතිශතය 5%ට අඩු කළේ අෂ්රොප්ගේ ඉල්ලීම නිසයි. එය කළාට පසු කිසිම දේශපාලන පක්ෂයකට බහුතර ආසන ගණනක් ගන්න බැහැ. ඒ නිසා කුමන ආණ්ඩුවක් කුමන පක්ෂයක් ආසන 100-105ක් ගත්තත් ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. සුළු පක්ෂවලට ආයාචනා කර ඔවුන් එකතු කරගෙන බහුතරය හදාගත යුතු වෙනවා. එහෙම හදපු ආණ්ඩු සුළුතර මන්ත්‍රී කාණ්ඩායම් විසින් හසුරවනු ලැබුවා. මින් ගොඩක් භයානක ප්‍රතිඵල ආවා. පාස්කු ප්‍රහාරය පවා ආණ්ඩුවට නතර කර ගැනීම‌ට නොහැකි වුණේ අන්තවාදී පක්ෂ විසින් බහුතරය ලබාදෙමින් ආණ්ඩුව පාලනය කළ නිසයි.

පළාත් පාලන ඡන්ද ක්‍රමය එක ක්‍රමයක්. පළාත් සභා ඡන්ද ක්‍රමය තව ක්‍රමයක්, පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ඊටත් වඩා වෙනස් ක්‍රමයක්. ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් නීති ඉදිරියට ගෙන ආ යුතුයි. අනෙක රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා යම් යම් ප්‍රතිපාදනවල අවශ්‍යතාවක් තිබෙනවා. කොමිෂන් සභා නිසා අවුල් වුණ ක්ෂේත්‍ර තිබෙනවා. උදාහරණයක් ලෙස මැතිවරණ කොමිසමත් රට අවුල් කළා මිසක් රටේ කිසි දෙයක් විසඳුවේ නැහැ. ඒ පිළිබඳ අපි නැවත සලකා බලා අවශ්‍ය ප්‍රතිශෝධන කරනවා.

*19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට සෙතක් සිදු වුණේ නැද්ද?

සංශෝධන 19 ක් සිදුවෙලා තිබෙනවා. ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න දුරදිග නොබලා ටින්කරින් කරනවා වගේ යම් යම් සංශෝධන කර තිබෙනවා. පැලැස්තර අලවා තිබෙනවා. එහෙම ව්‍යවස්ථාවක් තිබෙන විට රට අවුල් වෙනවා. අපි එය නිවැරදි කර ගත යුතුයි.

* පාර්ලිමේන්තුවක් නැතිව රටක් ඉදිරියට ගෙන යා හැකි ද? ඒ සඳහා කිසියම් කාලසීමාවක් තිබෙනවා ද?

පාර්ලිමේන්තුවක් නැතිව රටක් ගෙන යා හැකියි. දැන් මේ කාලයේ සිදුවෙන්නේත් එයයි. මාස තුනක කාලයක් පමණයි එය කළ හැක්කේ. නමුත්, මෙවැනි හදිසි තත්ත්වයන්වලදී පාර්ලිමේන්තුව කල් දැමීමේ බලය නීතියෙන් දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාව දී තිබෙන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට එක් වරක් හෝ පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා. නමුත්, ආණ්ඩුවක් හදලා අනෙකුත් පරිපාලන ක්ෂේත්‍ර ක්‍රමානුකූල කර ගැනීමට තමයි අපි උත්සාහ කරන්නේ. ලංකාවේ විපක්ෂය පමණයි ලෝකයේ පළමු වතාවට ඡන්ද පවත්වන්න එපා කියමින් අධිකරණයට ගියේ.

* මැතිවරණය කල්දමන්න කීවේ කොරෝනා වසංගතය නිසා ද?

කොරෝනා වසංගතය අපට වඩා උග්‍ර තත්ත්වයක තිබිය දී තමයි කොරියාව මැතිවරණය පැවැත්වූයේ. ඔවුන් ඉතා සාර්ථක ලෙස මැතිවරණය නිම කළා. මේ මස 28 වැනිදා ප්‍රංසයේත් මැතිවරණය පැවැත්වෙනවා. ප්‍රංසයේත් කොරෝනා වසංගතය ඉතාම බරපතළ තත්ත්වයක තිබෙන්නේ. නමුත්, ඔවුන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කර නැහැ. මැතිවරණ පවත්වනවා. කොරෝනාත් මර්දනය කරනවා. සෑම දෙයක්ම සමනය කරනවා.

* යෝෂිත රාජපක්ෂ මහතාගේ නඩුව සම්බන්ධයෙන් ඔබේ නමත් කතාබහට ලක් වුණා?

ඒ කාලේ මම කිව්වේ ඔහු යම් වරදක් කර තිබෙනවා නම් පොලිසියට, නීතිපති දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ තීන්දුවක් අරගෙන නඩු යෑමට අවශ්‍ය නම් ඒ පිළිබඳව අධිකරණයෙන් යම් නියෝගයක් ගත යුතුයි කියලා. නමුත්, ඔහු අත්අඩංගුවට ගන්න පොලිසියට නියෝග දුන්නෙ එවකට ආණ්ඩුවෙ හිටපු ඇමතිවරු. ඔවුන් පොලිස්පතිගෙ රාජකාරියයි, අධිකරණයේ රාජකාරියයි සියල්ලම කළා. ඔවුන්ගේ දේශපාලන පළිගැනීම්වලට මම එදත් විරුද්ධ වුණා. මොන ආණ්ඩුව තිබුණත් මම එවැනි දේට විරුද්ධ වෙනවා. අධිකරණ ඇමතිවරයා විදියට එවැනි සාපරාධී දේවල් රටේ වෙන්න ඉඩතියන්න බැහැ.

* ඔබ එවකට ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස සිටිද්දිම වත්මන් ජනාධිපතිතුමා අත්අඩංගුවට ගැනීමට තිබුණ සූදානම වැළැක්වූවා. එයට විශේෂ හේතුවක් තිබෙනව ද?

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න ගියේ ත්‍රස්තවාදී පනත යටතේ, එතුමා ත්‍රස්තවාදියෙක් ලෙසයි. එතනදි මට අධිකරණ ඇමතිවරයා විදියට කට පියාගෙන ඉන්න බැහැ. හේතුව, එතුමා වරදක් කරලා නැති නිසා. මම ජනාධිපති නීතිඥවරයෙක් ලෙස, නීතිඥ සංගමයේ හිටපු සභාපති ලෙස අධිකරණ ඇමතිවරයා ලෙස, නීති පොතක් අල්ලපු නැති අයට වඩා නීතිය ගැන දන්නවා. මම කතා කළේ මම දන්න විෂය ගැන. ගෝඨාභය මහත්මයා වරදක් කර නොතිබුණ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම වැරදියි කියලා මම පැහැදිලිවම ප්‍රකාශ කළා.

* ඔබ කියන්නේ එය දේශපාලන පළිගැනීමක් කියා ද?

පැහැදිලිවම එය දේශපාලන පළිගැනීමක්. ඒකයි ත්‍රස්තවාදී පණත යටතේ එතුමා අත්අඩංගුවට ගැනීමට ගියේ. එතැන දී උසාවියට ඇප ලබා දීමටත් බලයක් නැහැ. දේශපාලකයෝ තීන්දු කරන තුරු ඔහු එළියට දාන්නත් බැහැ. එතුමා අනාගත ජනාධිපතිවරණයේ දී මේ අයට අභියෝගයක් වන බව දැනගෙන කල් ඇතුවම ඔහු සිරකර තබන්න උත්සාහ කළා. එය වැරදි නිසා මම එය වැළැක් වූවා.

* ඔබ එතුමාට උදවු කළේ පෞද්ගලික හේතුවක් නිසා ද?

මට කිසිම පෞද්ගලික හේතුවක් තිබුණෙ නැහැ. මම කළේ යුක්තිය ඉෂ්ට කිරීම පමණයි. කැබිනට් මණ්ඩලයේ මම අවුරුදු තුනකට වැඩි කාලයක් සිටියා. බොහෝ දිනවල කැබිනට් මණ්ඩලයේ 46 දෙනෙක් එක පැත්තක සිටින විට මම හිටියෙ තනි පැත්තක. බොහෝ අවස්ථාවල ජනාධිපතිතුමා මගේ ස්ථාවරය ගත්තත් එතුමාටත් ඇතැම් දේ වළක්වා ගැනීමට නොහැකි වුණා. නමුත්, අධිකරණ අමාත්‍යංශය හරහා අණ පනත් විශාල සංඛ්‍යාවක් සම්මත කර ගැනීමට ගත් සෑම උත්සාහයන්ම මම වැළැක්වූවා. ඒවා රටට අහිතකරයි.

* ඔබ රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුම හිතවතෙක් නේද?

ඔව් බොහොම හිතවත්. මට දේශපාලනයේ දී යාළු මිත්‍රකම් නැහැ. රට ගැන තීන්දු ගන්නකොට යාළු මිත්‍රකම් අනුව තීන්දු ගන්න බැහැ. තීන්දු ගැනීමේ දී වැදගත් වන්නේ ගන්න තීන්දුව කුමක් ද යන්න මිසක් පුද්ගලයා නොවෙයි. දේශපාලනයේ ඉන්න ඕන කියන මානසික රෝගයක් මට නැහැ. මට ස්ථාවරයක් තිබෙනවා. එය හදාගත්තේ දේශපාලනයෙන් නොවෙයි. දේශපාලනයෙන් සත පහක ප්‍රයෝජනයක් ගත්තෙත් නැහැ. මම කිසිම දේශපාලනඥයකුගෙන් යැපිලා නැහැ. ඕනෑම වෙලාවක මහජනයාගෙ පැත්තෙ සහ රට පැත්තෙ ඉඳගෙන කතා කරන්න සහ තීන්දු ගන්න අපට අයිතියක් තිබෙනවා. එසේ කළ නොහැකි නම් මම මේ දේශපාලනය කරන්නේ නැහැ.

* ඔබේ පක්ෂ මාරු කිරීම පිළිබඳව මහජනතාවගේ අප්‍රසාදයක් තිබෙනවා. ඒ පිළිබඳව කතා කළොත්?

මම පක්ෂ මාරු කළේ නැහැ. පක්ෂ පීලි මාරු කෙරුවා. 1989 සිට මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එතනට ගේන්න වැඩියෙන්ම දායක වුණ කෙනෙක්. මම එතුමා ජනාධිපති අපේක්ෂක කරන්නත් චන්ද්‍රිකා සමඟ සටන් කළ කෙනෙක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මණ්ඩලයේ සභාපති. මම ඒ කාලෙ සිරිමා බණ්ඩාරනායක මැතිනියගෙ සහ චන්ද්‍රිකා මැතිනියගේ නීතිඥවරයා. මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ දිගටම සිටියා. හැම අමාත්‍යංශයකම මම එතුමාගේ නීති උපදේශක. නමුත්, කෝප් වාර්තාවෙන් මම දූෂිතයි කියල නම් කරපු කිහිප දෙනෙක් සිටියා. විශේෂයෙන් රාජිත ඇතුළු කණ්ඩායමක් එදා විපක්ෂයෙන් ආණ්ඩුවට අරගෙන ඇමතිකම් දෙනවිට මම විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම නිසා අප අතරෙ ඇති වුණ ගැටුමෙදි මගේ මතය යටපත් වෙනවට මම කැමති වුණේ නැහැ. අවසානයේ දී දැඩි සටනක් කළා. ඉන් පසු ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට 2007 සිට 2009 වෙනකම් වසර දෙකක් විපක්ෂයේ සිටියා. 2010දි එක්සත් ජාතික පක්ෂයට බැඳුණෙ එක්සත් ජාතික පක්ෂය ඔක්සිජන් නැතිව මැරෙන්න පණ අදින වෙලාවේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පුටුවට ගේන්නත් මම තරම් කිසිවකු දායක වුණේ නැහැ. ව්‍යවස්ථාව හදල දුන්නා, නායකත්ව මණ්ඩල හැදුවා. නමුත්, ඔහු සමඟත් මට ගැටීම් තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ හොරු රැළ මේ ආණ්ඩුවට ඇවිත් ඇමතිකම් ගත්විට මගේ විරෝධය හමුවේ ඇතිවුණ ගැටීම්වලදී මම ඒ හොරු කණ්ඩායමට පරාද වෙන්න සූදානම් වුණේ නැහැ. ඒ නිසා මම හිතුවා ඒ හොරු ටික එළවලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න ඕන කියලා. අපි අලුත් ආණ්ඩුවක් හැදුවා. නමුත් ඒ හොරු ටික ආපසු ඇවිත් අපේ ආණ්ඩුවේ අපට ඉස්සරහින් වාඩිවුණා.

* ඔබට එතැනත් ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා නේද?

ඔව්. හොරු එළවන්න ගියත් ඒ හොරු ආපසු ආණ්ඩුවට ආවම දෙවැනි සතියේ ඉඳලම නැවත ගැටීම් ඇති වුණා. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගේනවට මම විරුද්ධ වුණා. ඔහුට මහබැංකුව දෙනවට මම විරුද්ධ වුණා. බැඳුම්කර කොමිසමේ වංචා සොයන එක වළක්වන්න අපේ නීති අංශවලට කළ බලපෑම්වලට මම විරුද්ධ වුණා. ජිනීවා සම්මුතියට විරුද්ධ වුණා. ජිනීවා සම්මුතිය යටතේ ගෙන ආ අණ පණත් එකක් හෝ සම්මත කර ගැනීමට මම ඉඩදුන්නේ නැහැ. හම්බන්තොට වරාය විකිණීමටත් විරුද්ධ වුණා. මේ නිසා මාව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්න කටයුතු කළා. අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව මා ප්‍රකාශ කළා. රට වෙනුවෙන් කතා කළ මිනිහට මේ ආණ්ඩුව සැලකුවේ කොහොමද කියලා ජනතාවට පෙන්වීමට මට අවශ්‍යයි. ඒ නිසා මා අස්වෙන්නේ නැහැ, අස් කරන්න කියලා මම කිව්වා. අවසානයේ ඔවුන් මාව අස් කළා. එයට මූලිකම හේතුව වුණේ පාස්කු ප්‍රහාරයේ හෙළිදරව්වයි. නමුත්, ඔවුන් එළියට දැම්මේ හම්බන්තොට වරාය විකිණීමේ ගැටලුවයි.

* එ.ජා.පායේ දෙකඩවීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?

මම ඒ ගැන සිතන්නේ නැහැ. ඒක එකට තිබුණත් දෙකට තිබුණත් මට ප්‍රශ්නයක් නැහැ. රටට යහපතක් කරන්න පුළුවන් කණ්ඩායමක් එතැන නැහැ.

* කැඩී ගිය කණ්ඩායමේවත් රට හදන්න පුළුවන් අය නැද්ද?

කැඩී ගිය කණ්ඩායම ඇතුළේ ඉන්නෙ අන්ත ජාතිවාදී පක්ෂ ටිකක පිරිසක්. දේශප්‍රේමී, රට ගැන සිතන එක පුද්ගලයෙක්වත් එතැන නැහැ. සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට සුදුසු නැහැ කියලා මේ රටේ ජනතාව මැතිවරණයේ දී තීන්දුවක් ගත්තා. ඒ නිසා තමයි මේ රට බේර ගන්න අපි ගෝඨාභය මහතා දිනෙව්වේ. සජිත් ප්‍රේමදාස මහතා වටේ සිටින පිරිස දෙස බැලුවාම පේනවා ඔහු දිනුවා නම් මේ රටට කුමක් ද වෙන්නේ කියා.

* එ.ජා.ප. ආණ්ඩුව පත් කරලා ජනතාව එදා බලාපොරොත්තු වුණ දේ ඔවුන්ගෙන් ලැබුණේ නැහැ කියාද ඔබ කියන්නෙ?

ඒ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. හොඳ දේවල් කරන්න ඉඩ දුන්නේ නැහැ. කිසිම දෙයක් හරියට කළේ නැහැ. මම මගේ දේවල් කළා. ලෝකයේ බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව කියන පිළිගැනීම මම ශ්‍රී ලංකාවට අරන් දුන්නා. දුර්වල වෙලා තිබුණ අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නැවත හැදුවා. අධිකරණවලට තිබුණ යටිතල පහසුකම් හැදුවා. නමුත්, හොඳ දේවල් කරන කොට ඒ ආණ්ඩුවෙන් අපට ලැබුණේ නිග්‍රහයක්. කැබිනට් එක තිබුණට කැබිනට් එකෙන් තීන්දුවක් ගත්තේ නැහැ. කැබිනට් එකේ ඔක්කොම හිටියෙ එහෙයියෝ. 46 ක් ඒ පැත්තෙ හිටියා. ජනාධිපති එක පැත්තක හිටියා. මම වෙන පැත්තක හිටියා. සියලු තීන්දු තීරණ ගත්තේ අරලිය ගහ මන්දිරයේ හිටපු සමනල කණ්ඩායම. ඒවට ඇමතිවරු කණ අත්සන ගහලා එවනවා. සමනල කණ්ඩායම තමයි කැබිනට් පත්‍රිකා එව්වේ. මම විතරයි ඒවට විරුද්ධ වුණේ. මගේ අමාත්‍යංශයට පමණයි අත ගහන්න ඉඩ දුන්නෙ නැත්තේ.

* පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළිදරව් කිරීම සම්බන්ධවත් ගැටීම් ඇති වුණා ද?

පාස්කු ප්‍රහාරය වෙන්න මාස 30 කට කලින් මම කිව්වා සිරියාවට ගොස් ත්‍රස්ත පුහුණුව ලබපු වහබ්වාදියො 32 ක් ලංකාවෙ ඉන්නවා කියලා. වහබ්වාදය දේශනා කරන්න පිටරටින් 500ක් ඇවිත් ඉන්න බවත් කිව්වා. ඒකට රාජිත සේනාරත්න, මංගල, මුස්ලිම් පක්ෂවල නායකයො කිපුණා. ඒ නිසා ඔවුන් කල්පනා කළා මාව ජාතිවාදියෙක් කළාම බෝම්බ පුපුරන එක නතර වෙයි කියලා. ඒ ප්‍රහාරය වෙන බව දැන දැන ඔවුන් නිහඩව සිටියා. ඔවුන් ඒකට පියවර ගත්තා නම් අන්තවාදී මුස්ලිම් පක්ෂ දෙක ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. එම ත්‍රස්තවාදීන් ආරක්ෂා කළ නායකයො හිටියෙ ආණ්ඩුව ඇතුළේ. ඔවුන් අත්අඩංගුවට ගත්තා නම් ඇතුළෙ සිටින අන්තවාදීන් එළියට යනවා. ඔවුන් එළියට ගියොත් රනිල්ට අගමැතිකම නැතිව යනවා. ඒ නිසා ඔහු කල්පනා කළේ 'මට වටින්නේ රට නොවෙයි මගෙ අගමැතිකම'කියායි.

 

කීර්තිමත් දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

$
0
0
ජුනි 18, 2020 01:00

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහ ලේකම්, වත්මන් ජ්‍යෙෂ්ඨ උප සභාපති,
ජාතික ලැයිස්තු අපේක්ෂක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහ ලේකම්, වත්මන් ජ්‍යෙෂ්ඨ උප සභාපති, ජාතික ලැයිස්තු අපේක්ෂක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමඟ කළ දේශපාලන සාකච්ඡාවකි.

* මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම කොහොමද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණත් එක්ක ජනාධිපතිවරණයට අභිමුව මූලික එකඟතා තුනක් ඇති කරගනු ලැබුවා. පළමුවැන්න එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දෙවැන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී.ල.නි.ප.ය සමඟ ඇති කරගත් එකඟතාව, තුන්වැන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමඟ පක්ෂ දොළහක් ඉතා පුළුල් වාමවාදී පෙරමුණක් ලෙසින් ඇතිකරගත් එකඟතාවයි.

මෙය හඳුන්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසිනුයි. එදා අපි කටයුතු කළේ මේ එකඟතා තුළින් එක්ව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ සඳහා අපේ පක්ෂයේ සියලු බළමුළු එකට යොමු කරනු ලැබුවා. ඒ ආකාරයෙන්ම අපේ එකඟතා මත මේ මැතිවරණයට අපි එකට එකතුව කටයුතු කරනවා. මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අපේ අපේක්ෂකයන් තිස් පහක් පමණ රටපුරා තරග වදිනවා.

ඒ වගේම අපට අපේක්ෂකත්වය නිසි ලෙස නොලැබුණු දිස්ත්‍රික් තුනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප තරග කරනවා. කළුතර, නුවරඑළිය හා යාපනය දිස්ත්‍රික්ක සඳහා අපි මේ ආකාරයට තරග වදිනවා. මේ මැතිවරණයේ අපේ තේමාව මෙන්ම බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කිරීම මෙන්ම එය ඉදිරියට ගෙන යෑමයි. වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් සංවර්ධිත රටක් වෙනුවෙන් අපි අපේ පූර්ණ කැපවීම ලබා දෙනවා. අපි මේ මැතිවරණයට සූදානම් වෙලයි ඉන්නේ. දැන් අපි මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළේ සක්‍රීයව යෙදෙනවා.

අපි පක්ෂයක් විදිහට වෙන්ව හිතනවාට වඩා වෙන්ව ප්‍රචාරණයේ යෙදෙනවාට වඩා එක කණ්ඩායමක් ලෙස කණ්ඩායම් හැඟීමෙන් විශේෂයෙන් පොදුජන පෙරමුණේ සෑම පක්ෂයකම අපේ සහෝදර සහෝදරියන් සමඟින් මේ පුළුල් සන්ධානය ජයග්‍රහණය කරවීමට අප කැප වී සිටිනවා. මේ වෙනුවෙන් අපි අපේ පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් මෙන්ම ග්‍රාමීය මට්ටමේ කමිටු හා නියෝජිතයන් ඒකරාශී කරමින් දැනුවත් කර තිබෙනවා. ඒ වගේ උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපයෝගී කරගෙන අපි ප්‍රචාරණයේ යෙදෙනවා.

*ඔබතුමන්ලා මේ ආකාරයට මැතිවරණයට සූදානම් වුවත් විපක්ෂය කියන්නේ තවමත් මැතිවරණයට සුදුසු පසුබිමක් රටේ නොමැති බවයි ?

ලෝකයටම ආදර්ශයක් එක් කරමින් මේ වන විට අපි රටක් විදිහට මෙය ඉතාම යහපත් ආකාරයට කළමනාකරණය කරගෙන තිබෙන්නේ. අපි එක් පැත්තකින් ආඩම්බර විය යුතුයි. මේ රටේ සෞඛ්‍ය සේවාවේ, ආරක්ෂක අංශයේ විශේෂයෙන් දේශපාලන නායකත්වයේ එමෙන්ම අනෙකුත් සියලු පාර්ශ්ව ඇතුඵ සාමාන්‍ය ජනයාගේ කැපවීම මේ තුළ ඉතාම ඉහළ මට්ටමක තිබුණා. අද වන විට රට යහපත් තත්ත්වයකයි තිබෙන්නේ. මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අමෙරිකාව, එංගලන්තය, ප්‍රංසය, ජර්මනිය වැනි ලොව බලවත් රාජ්‍යයන් ඇතුඵ බොහෝ රටවලට පුළුවන්කමක් ලැබී නෑ. විශේෂයෙන් ඔවුන් දේශපාලන කාරණා මුල්තැනට තබා තිබූ නිසා ඔවුන්ට මේ තත්ත්වය පාලනය කරගන්න බැරිවුණා.

නමුත් අපි ඊට වඩා බුද්ධිමත්ව ක්‍රියා කළා. කියුබාව, වියට්නාමය ඇතුඵ මෙය ජයගත් රටවල් මේ ව්‍යසනය ජයගත්තේ අපේ ක්‍රමය අනුගමනය කරමිනුයි. මේ තත්ත්වය මත ලෝකයේ සෞඛ්‍ය සේවකයන්, වෛද්‍යවරුන් සිය රැකියාවන් අතහැර ගියා. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක් නෑ. අපි ඒ සම්බන්ධව ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමවාදී ආණ්ඩු ජනතාවට රැකදුන් නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය වැනි දේවල්වල වටිනාකම දැන් හොඳින්ම දැනෙනවා.

අප දෙපාර්ශ්වය අතර ප්‍රතිපත්තිමය ගැටලු නැහැ. අපි මේ මැතිවරණයට උපරිම සූදානම්. මැතිවරණවලට බිය අයයි ඡන්දය දීමට බයේ පලා යන්නේ. රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නිසි කලට නිසි ලෙස මැතිවරණ පැවැත්විය යුතුයි. අද ඒ සඳහා අවස්ථාව ජනතාවට ලැබී තිබෙනවා. කොරෝනා ව්‍යසනය මුළුමනින්ම තුරන් වන්නට තව කොතරම් කාලයක් යයිද කියා අපට කියන්න බෑ. එහෙම තත්ත්වයක රට අරාජිකව තියන්න පුළුවන් ද?

*ඔබ සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ප්‍රතිපත්තීන්හි එකඟතාව ඉදිරියටත් ගැටලුවක් නොමැතිව තබාගත හැකිද?

කොරෝනා වසංගතයත් සමඟ සමස්ත ලෝකයටම නව පර්යාලෝකයකට යෑමට බල කර තිබෙනවා. අලුතින් යමක් හිතන්න බලකර තිබෙනවා. අද ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා. ලොව බලවත් රටවල් සියල්ල පාහේ දැඩි ආර්ථික අර්බුදයකයි ඉන්නේ. අපි සමහර විට ඇඟලුම් නිෂ්පාදනය කළත් ඇඟලුම් ගන්න කෙනෙක් නැති වෙයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළත් මෙරටට එන්න සංචාරකයන් නැතිවෙයි. මේ තත්ත්වය අපි සාකච්ඡා කළ යුතුයි.

ඒ වගේම කළමනාකරණය කළ යුතුයි. අපේ වගේ රටකට විනිමය සීමා වන විට විනිමය භාවිතා කර අපි කරන්න යන වැඩ සීමා කරන්න වෙයි. අපි පක්ෂයක් ලෙස මෙන්ම මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි රටේ මූලික අවශ්‍යතාවන්ට විනිමය සම්පත් තබාගැනීම කළ යුතු බව. ඛනිජ තෙල්, ඖෂධ වගේම තාක්ෂණික උපකරණ ආදියටත් මේ තුළ ප්‍රමුඛතාවය හිමිවිය යුතුයි. මෙරට නිපදවිය නොහැකි අමුද්‍රව්‍ය හැර අනෙකුත් දෑ සදහා පමණක් ප්‍රමඛ අවධානයට ලක්කර මෙරට නිපදවිය හැකි සෑම දෙයක්ම නිපදවීමට අපි කටයුතු කළ යුතුයි. එහිදී අපි දෙපාර්ශ්වය අතර ඉතාම යහපත් එකඟතාවන් තිබෙනවා.

මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. වානේ, ලෝහ, යකඩ, කඩදාසි, ටයර්, උඵ, පිඟන් ආදී මේ රටේ බර කර්මාන්ත සියල්ල අපි ආරම්භ කළා. ඒ වගේම මේ රටේ කුඩා යතුරුපැදි, ට්‍රැක්ටර්, මෝටර් රථ අපි නිෂ්පාදනය කළා. අවාසනාවට මේ කර්මාන්ත සියල්ල 77 එ.ජා.ප. විවෘත ආර්ථිකය තුළින් විනාශ කළා. නව ලිබරල්වාදය හඳුන්වා දී මේ කර්මාන්ත සියල්ල විකුණා දැම්මා. පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දේශීය විදේශීය මංකොල්ලකරුවන්ට මේවා විකිණුවා. අද ඒ ව්‍යාපාරිකයන් මේ කර්මාන්ත පවත්වාගෙන යන්නේ නෑ. ඔවුන් ලෝහ භාණ්ඩ සංස්ථාව, ටයර් සංස්ථාව ඈවර කර දැම්මා.

ඒ වගේම පිඟන් භාණ්ඩ, හම් භාණ්ඩ සංස්ථාව ඈවර කර දැම්මා. පූගොඩ, වේයන්ගොඩ, මින්නේරිය, මත්තේගොඩ ආදී රෙදි කර්මාන්ත සියල්ල වගේම බලවේග රෙදි කර්මාන්ත සියල්ල ඈවර කර දැම්මා. අපේ රටේ ශිෂ්ටාචාරයේ මූලික කර්මාන්තයක් වුණු රෙදිපිළි කර්මාන්තය විනාශ කර දැම්මා. අද අපිට මේවා නැවත ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි. මේ සඳහා නව දැක්මක්, නව ප්‍රවේශයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට තීන්දු තීරණ ගත හැකි හොඳ පාර්ලිමේන්තුවක්, ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ සඳහා අපි අතර ඉතාම යහපත් මට්ටමේ එකඟතාවන් තිබෙනවා. මේවා අපි ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යනවා.

* නිදහසින් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කර එය ලෝකයට මුසු කළේ එක්සත් ජාතික පක්ෂය කියලයි කියන්නේ ?

ඩී.එස්. සේනානයක මහතා ක්‍රියාත්මක කළ ගොවි ජනපද ව්‍යාපාරය හැරුණු විට මේ රටේ ආර්ථිකයට දේශීයත්වයෙන් කළේ මොනවද කියලා එක්සත් ජාතික පක්ෂයට කියන්න පුළුවන් ද? ගොවිජනපද ව්‍යාපාරය වුවත් තවත් ඉදිරියට ගෙන ගියේ 56 බණ්ඩාරණායක ආණ්ඩුවෙන්. සැබෑ ගොවියාගේ ආර්ථික ශක්තිය ගොඩනැඟීම උදෙසා අදගොවි පණත ගෙනාවේ නැත්නම් අද ගොවියා ආරක්ෂා වෙන්නේ නෑ. අපේ රටේ ඉන්නේ කුලී ගොවියන්, ඉඩම් අහිමි ගොවියන්. මේ රටේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් එතෙක් ගෙන තිබුණේ නෑ. ඒ අතින් එක්සත් ජාතික පක්ෂය මොනවාද කළේ කියා ආපසු හැරී බලන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය ගේන විට කන්නන්ගරට විරුද්ධ වුණා.

ඒ විතරක් නොවේ එදා හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයන් කීවේ ගස් ගෙඩි කඩන්න කොල්ලෝ නැතිවෙයි කියලයි. බණ්ඩාරනායක මහතා මෙය පුළුල් කළා. 1962 දී බණ්ඩාරනායක මැතිනිය මේ රටේ සියලු මිෂනාරි පාසල් රජයට පවරා ගත්තා. ඒ යටතේ මේ රටේ දරුවන්ට ස්වභාෂාවන්ගෙන් උසස් අධ්‍යාපනය දක්වා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව ලෝකයේ නොමිලේ අධ්‍යාපනය හදාරන සීමිත රටවලින් එකක්. ඒ අතින් අපිට ආඩම්බර වෙන්න පුළුවනි. එදා සිටම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළේ, ආර්ථිකට ගොඩනැංවූයේ, ආර්ථිකය ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමවාදී ආණ්ඩුයි.

ඒත් ඒවා විනාශ කළේ එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුයි. අද මේ රටේ ප්‍රධාන වාමවාදී සන්ධානය මෙන්ම එකම සන්ධානය ලෙස අපි ඉදිරියේ දී මේ රටේ ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් කැපවෙනවා. එදා අපේ ආණ්ඩු හදපු බැංකු ටික නොතිබුණා නම් මේ ආර්ථික ප්‍රශ්න අතරේ අපේ ව්‍යාපාරිකයන් මෙන්ම නිෂ්පාදකයන් ගොවියන් ආරක්ෂා කරගන්න පුළුවන් ද? රටේ රාජ්‍ය ව්‍යවසායක් යටතේ තිබෙන ජලය, විදුලිය නැත්නම් අද මේවා කළමනාකරණය කරගන්න පුළුවන්ද. අපේ ආණ්ඩු හදපු වී අලෙවි මණඩලය අහෝසි කළේ එ.ජා.ප.යයි. අද අපි එහි විපාක අත්විඳිනවා.

* ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එ.ජාප. ප්‍රතිපත්ති යා නොවන බව කීවත් පහුගිය කාලයේ දෙපාර්ශ්වය යහපාලන ආණ්ඩුවක් හැදුවා නේද?

අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පසුගියදා පොලොන්නරුවේ දී පසුගිය ආණ්ඩුවේ අසමත්වීම පිටුපස තිබුණු ප්‍රධාන ගැටලුව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ වෙනත් බලයක් තිබීම මත සහ එහි අකර්මණ්‍ය පාලනය නිසා ජනාධිපතිතුමන්ට අවශ්‍ය සංවර්ධන කටයුතු කිරීමට නොහැකි වුණා. 2015 දී ජනතාව ඡන්දය දුන්නේ දූෂණයට, වංචාවට එරෙහිවයි. නමුත් දින පනහක් යාමට පෙර ඒ ආණ්ඩුවේ අගමැතිතුමාගේ මඟපෙන්වීමෙන් මහ විශාල බැංකු මංකොල්ලයක් සිදුවුණා.

මේක රටේ විශාලතම බැංකු මංකොල්ලය ලෙසයි හඳුන්වන්නේ. මේ තුළ ඒ ආණ්ඩුවේ ප්‍රතිරූපය මුඵමනින්ම විනාශ වුණා. ජනාධිපතිතුමන්ට නොකියා කැබිනට් පත්‍රිකා දැම්මා. විදේශ ගිවිසුම්වලට එළැඹෙන්න පටන් ගත්තා. දෙපාර්ශ්වය අතර පරස්පර විරෝධතා ඇතිවුණා. මේ තුළ එ.ජා.ප.ය හා අපි අතර තිබුණු ප්‍රතිපත්තීන්ගේ ප්‍රතිවිරෝධතාවන් ඉතාම පැහැදිලියි. මේ තුළ රටේත් සමාජයේත් විශාල කඩා වැටීමක් සිදුවුණා.

* එක්සත් ජාතික පක්ෂය හා එහි ආණ්ඩු පිළිබඳව ඔබ දිගින් දිගටම කතා කළත් අද වන විට එම පක්ෂය දෙකඩ වී තිබෙනවා. ඔබ කියන ප්‍රතිපත්ති දැන් කොතනද තිබෙන්නේ?

එකට තිබුණත් දෙකඩ වුණත් ඔවුන්ගේ තිබෙන ප්‍රතිපත්ති එකමයි. එහි වෙනසක් නැහැ. එය අද හොඳින්ම පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂයට සමාජය විකාශනයන්ට අනුරූපීව වෙනස් වෙන්න පුළුවන් වුණේ නෑ. මේ පක්ෂය ගොඩනැඟෙන්නේ 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී මේ රටේ බිහිවුණු ලොකුම ධන කුවේරයා වන ආටිගල මුදලිගේගේ දියණියන් තුන්දෙනක් හරහායි.

එක් දියණියක් ඩී.එස්. සේනානායක මහතා සමඟත්, අනෙක් දියණිය සර් ජෝන් කොතලාවලගේ සහෝදරයා සමඟත්, අනෙක් දියණිය ජේ.ආර්. ජයවර්ධන පාර්ශ්වය සමඟත් විවාහ වෙනවා. ජේ.ආර්.ජයවර්ධන දක්වා එකම පැළැන්තියක නායකයන් මේ පක්ෂයේ ඉන්නේ. පොඩි රික්තයකට විතරයි ප්‍රේමදාස මහත්තයා පැමිණියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොඩි මිනිහා අතට ගියා. එක්සත් ජාතික පක්ෂයේ සාර්ථක අසාර්ථකකම් මැනිය හැක්කේ එම යුගවල සිටි නායකයන් කළ කී දෑ සමඟයි.

ජේ.ආර්.ජයවර්ධන යුගය මේ රටේ ලෙයින් නැහැවුණු යුගයක්. යාපනයේ පුස්තකාලය ගිනිබත් කළා. ප්‍රේමදාසගේ යුගයේ තරුණයන් දහස් ගණන් මරා දැම්මා. ලක්ෂයක් රැකියාවලින් එළියට දැම්මේත් එ.ජා.ප. ආණ්ඩු යුගයේදීයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුඵ ප්‍රගතිශීලීන්ගේ ප්‍රජා අයිතිය එදා අහෝසි කළා. රටේ නායකයන් විශාල පිරිසක් මරා දැමුවා. ඔවුන්ගේ වටපිටාව අපි තේරුම්ගත යුතුයි. උතුර දකුණ දෙකම එදා විලක්කුවක් කළා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එහි බෙදුණු අය කාටවත්ම මේ ලේ තැවුරුණු අතීතය අමතක කරන්න බැහැ.

* මේ බෙදීයෑම ඔබලාට වාසියි කියල ද හිතන්නේ?

මං හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය තුළ හොඳ විපක්ෂයක් තිබිය යුතුයි කියලා. පසුගිය පාර්ලිමේන්තුව තුළ ඔය විපක්ෂයේ අය හැසිරුණු ආකාරයේ දී බැඳුම්කර වංචාව යටපත් කරන්න ඒ අය නොකරපු දෙයක් නෑ. ඒ වංචාව වෙනුවෙන් සාධාරණයක් රටට ගෙන දෙන්න සමගි ජන බලවේගයට හෝ එක්සත් ජාතික පක්ෂයට හෝ කිසිදු වුවමනාවක් තිබුණේ නෑ. අපි දෙපාර්ශ්වයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට මේකට හඬ නැඟුවා. අද ඔය කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් එදා කොහෙද හිටියේ කියලා හිතෙනවා. අප ආපහු පාර්ලිමේන්තුවට යවන්නේ මෙහෙම අය ද? එදා පනස් ගණන්, හැට ගණන්වල හැත්තෑ ගණන්වල තිබුණු කීර්තිමත් දේශපාලන සංස්කෘතිය යළි අපේ රටට අවශ්‍යයි.

*මේ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන කුමන දිශාවකට ගමන් කරයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ අවස්ථාවල පසුගාමී වෙලා නැවත ගොඩනැඟුණු පක්ෂයක්. 1956 ලැබූ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ අපේ පක්ෂයේ ලේකම් පක්ෂය හැර ගියා. මෙහිදී බණ්ඩාරනායක මහතා නොසැලී සිටියා. 1962 පක්ෂයේ උප සභාපති ඇතුඵ පිරිසක් පක්ෂය හැරගියා. 70 දී අපේ පක්ෂයේ ක්‍රියාකාරීන් පක්ෂය අතහැර ගියා. නායිකාවගේ දරුවෝ පක්ෂය අතහැර ගිහින් වෙනත් පක්ෂ හදලා ආයේ පක්ෂයට ආවා. මේ තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්. අප වැටිලා ආයේ නැගිටිනවා. මේක පොදු ජනතාවගේ පක්ෂය. මේ පක්ෂය භාර පොදු ජනතාවටයි. මේ රටේ සියලු වාමවාදී බලවේග අදත් එක තැනකයි ඉන්නේ. ඒක මේ රටට ආශිර්වාදයක්. රටේ ජනතාවට ආශිර්වාදයක්. අප පක්ෂය ලෙස හැමදාම හිතුවේ වාමවාදී බලවේග කඳවුර ශක්තිමත් දාට මේ රට ජයගන්නවා කියායි. ඒ නිසා අද රටට මේ පුළුල් එක්වීම ඉතා යහපත් පෙර නිමිත්තක්.

සටහන
ඉන්දික පොල්කොටුව

අර්නස්ට් පෝරුතොට නාමය සදාකාලිකය

$
0
0
ජුනි 18, 2020 01:00

වසර 88ක් අප සමඟ සිට දෙව් මවු තුරුලට යන අර්නස්ට් පෝරුතොට පියතුමාගේ සුවිශේෂත්වයක් ලෙස වඩාත් කැපී පෙනෙනුයේ උන්වහන්සේ තුළ වූ දේශීයත්වයයි. අපේ සංස්කෘතික පැවැත්මයි. ගමේ ගොඩේ පැවති දේශීය කලාත්මක බව අගය කළ උන්වහන්සේ අපේ ගොක්කොළ කලාව වැනි දෙය ඉස්මතු කිරීම සුවිශේෂත්වයකි.

1931 අගෝස්තු මස මාරවිල ගමේ පී.ජේ. ප්‍රනාන්දු, මේරි මාග්‍රට් දෙපළගේ වැඩිමල් දරුවා වශයෙන් මෙලොව එළිය දුටු මෙතුමා කුඩා කල සිටම කියැවීමට දැඩි කැමැත්තක් දක්වා ඇත. එයට ප්‍රධාන හේතුව තම පියා ගුරුවරයකු වශයෙන් නිතර නිතර පුවත්පත් (විශේෂයෙන් දිනමිණ) කියවනු දැකීමය.

එමෙන්ම ඔහු ලේඛකයෙකි. මාරවිල ගමේ රෝමානු කතෝලික පාසලින් මූලික අධ්‍යාපනය ලද මෙතුමා පසුව ප්‍රැන්සිස් සේවියර් ඉංග්‍රීසි පාසලෙන් ඉංග්‍රීසි භාෂාව ද හොඳින් හදාරා ඇත. 1957 පූජකවරය ලද මෙතුමා මීසම් නවයක සේවය කර තිබේ. ඒ කාලය පුරා එතුමා ආගමික මෙන්ම සමාජ සුභසාධන කාර්යයන්ටද අතහිත දී ඇත. විශේෂයෙන්ම යුද සමයේ පීඩනයට පත් සමාජය දෙස කාරුණිකව බැලූ අයුරු අපට සිහිපත් වේ.

මවිසින් ආරම්භ කර තිබුණ 'යුද්ධයෙන් ව්‍යසනයට පත් මවු පෙරමුණ'සංවිධානය වෙත ද උන්වහන්සේගේ දෑස් යොමු වූ අයුරු මතකය. පෝරුතොට පියතුමන්ගේ අපූරු විශේෂත්වය වන්නේ සෑමවිටම දේශීයත්වය අගය කිරීමය. විවාහ මංගල්‍යයක් සඳහා පල්ලිය සැරසීමේදී ගොක්කොළ උපයෝගී කර ගැනීමට එකල ඇතැම් අය අක­ැමැති වුවද, එය අද වන විට සම්ප්‍රදායක් වන තත්ත්වයට ගෙන ඒමට එතුමා දක්ෂ විය. එපමණක් නොව චිත්‍ර කලාව, සාහිත්‍යය වැනි සෑම අංශයකින්ම දේශීයත්වයට මුල් තැන දුනි. 'අපි සිංහල කතෝලිකයන් මිස ලන්දේසීන් හෝ පෘතුගීසීන් නොවේ'යන අදහස එතුමාගේ හද තුළ නිතර රැඳී තිබිණි.

සාහිත්‍යයට ද ඇල්මක් දක්වමින් පොත පත ලිවීමට ද උන්වහන්සේ පෙලඹුණහ. එමෙන්ම එහිදී නිවැරැදිව මනා ලෙස සිංහල භාෂාව හැසිරවීමක් ද සිදුව ඇත. විශේෂයෙන්ම පූජාව පැවැත්වීමේදී පවා නිවැරැදි සිංහල වචන භාවිතයට දැඩි කැපවීමක් කර ඇත. සාහිත්‍යයට පමණක් නොව සිනමාවට ද මෙම පියතුමාගේ අවධානය යොමුවීම වැදගත්ය. 1970 දශකය මුලදී අප රටට 'OCIC'හඳුන්වා දෙමින් මෙරට ඇති සිනමා හැකියාවන් ජාත්‍යන්තරයට යොමු කිරීමෙන් පෝරුතොට පියතුමා කර ඇති මෙහෙය මිල කළ නොහැකිය. සමාජයේ පවතින දැඩි අපහසුතා ද මනාව අවබෝධ කර ගත් එතුමා සෑම විටම ඒ ගැන ද සිතීය.

එමෙන්ම කාලීනව ආගමික භේදයකින් තොරව සමාජය සමඟ එක්වූයේ මනුෂ්‍යත්වයේ නාමයෙනි. විශේෂයෙන්ම මාපලගම විපුලසාර ස්වාමීන් වහන්සේ වැනි හිමිවරුන් සමඟ සුහදව විවිධ සමාජ මෙහෙවරයන්හි යෙදී ඇත. එමෙන්ම බෞද්ධයන් වන අප සිත් තුළ ද අර්නස්ට් පෝරුතොට හිමිපාණන්ගේ නාමය සදාකාලිකය. උන්වහන්සේ දෙව් මවු තුරුලට යාම ඉවසා දරා සිටිමු.

ජේ. ශීලා වික්‍රමරත්න

(OCIC ජාතික කතෝලික සිනමා සංසදය)

Online අධ්‍යාපනයට හරි පාරක්

$
0
0
ජුනි 18, 2020 01:00

2000 වසර පරිගණකයේ සටහන් කරන්නේ කෙසේ ද යන අංකික යුගයේ ගැටලුව ද සමඟින් 21 වැනි සියවස ආරම්භ විය. එතැන් පටන් 21 වැනි සියවසේ අප මුහුණදෙන අභියෝග ගණනාවකි. ලෝක උෂ්ණත්වය ඉහළ යාම, ගැලැෂියර් දියවී යෑම, සංස්කෘතික, භූගෝලික, ආගමික හා දේශපාලනික ආදි හේතු නිසා මතු වූ අභ්‍යන්තර, ජාත්‍යන්තර යුද ගැටුම් මානවයා ඉදිරියේ එලෙස දිග හැරුණු අභියෝග කිහිපයකි.

මේ මොහොතේ අත්දකින ලෝක වසංගත තත්ත්වය 21 වැනි සියවසේ දැනට මුහුණ දී ඇති විශාලතම අභියෝගය වශයෙන් සැලකීමට සිදු වී තිබේ. මානව ඉතිහාසයේ මිනිසා මුහුණදුන් සියලු අභියෝග හා සන්සන්දනයේ දී මෙම අභියෝගය වඩාත් මූලික වන්නේ මානව පැවැත්මේ තිරණාත්මක විනිශ්චයන් ගණනාවක් ගැනීමට මෙහි බලපෑම ප්‍රබලම කාරණාවක් වන හෙයිනි.

මානව ඉතිහාසය ආරම්භයේ පටන්ම අත්‍යන්ත තීරණාත්මක සාධකයක් වූ මානව සබඳතා ඝනත්වය මදින් මද නුතන තාක්ෂණික පරිණාමයේ ප්‍රතිඵලයක් වශයෙන් හීන වී යන ආකාරය මෑත කාලීනව ප්‍රත්‍යක්ෂ සත්‍යයයි. මිනිසා අත්කර ගත් සියලු ඊනියා ජයග්‍රහණ මානව පැවැත්මේ ගෝලීය සංවර්ධන ඉලක්ක මත පදනම් වේ යැයි පැවසුව ද ඇතැම් විශ්මිත නිර්මාණ මානව පැවැත්මේ සාධක ද විනාශයේ සාධක ද යන්න තීරණය කළ යුතු කාලයකට අපි පිවිස සිටිමු. ලෝක වසංගතයක් බවට පත් වු COVID 19 වෛරසය නිෂ්පාදනය, ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ද බලවත් රාජ්‍යයන් ඒ ඒ පාර්ශ්ව වෙත චෝදනා එල්ල කිරීම මත සැඟවුණු යථාර්ථයක් නොතිබේ යැයි කිව හැක්කේ කා හට ද?

ලෝකයේ ගමන් මඟ එහි චර්යා, අවශ්‍යතා හා අනවශ්‍යතා සියල්ල තීරණය කිරීම වරලත් සුපිරි බලවත් රාජ්‍යයන් කිහිපයක අවශ්‍යතා අනුව සිදුවන පරිසරයක, ලෝක බලවතුන්ගේ සම්පත්වලින් පෝෂණය වන ජාත්‍යන්තර ආයතනවල අරමුණ හා පරමාර්ථ අගාධයේ ඒ ඒ රාජ්‍යවල අපේක්ෂා ක්‍රියාත්මක නොවන්නේ යැයි සැක කළ නොහැකි ද? මෙවැනි ලෝක දේශපාලනික ආර්ථීක පරිසරයක දී ජන්මය ලබන COVID 19 අභියස අපට උඩුගං බලා පිහිනා යෑමට හැකිද? COVID 19 බිහිවීමත් සමඟ අප ශබ්දකෝෂය සුවිශේෂ යෙදුම් කිහිපයක මතුවීම පෙන්නුම් කරයි.

කලින් කලට රාජ්‍ය ඉලක්කයන්ගේ අවශ්‍යතා අනුව මතවාද ගොඩනැඟීමට මෙම නව පාරිභාෂිත පද පැමිණෙන්නේ මානව දැක්ම සෑදීමේ හා රඳා පවත්වා ගැනීම් බලය භාෂාව හා බැදී පවතින හෙයිනි. ලොක් ඩවුන්, පැන්ඩෙමික්, ෂෝෂල් ඩිස්ටන්ස් හා එනිනෙකා නිදොස් හා සදොස් ලෙස භාවිතා කරන නිරෝධායන සංකල්පය යුගයේ භාෂිතයන් වී ඇත්තා සේ ම සමාජ මාධ්‍ය ජිවිතයේ අංගයක් වී තිබේ. මෙම සෑම සංකල්පයක් තුළම වසංගතයේ චර්යාත්මක මුහුණුවර පෙන්නුම් කෙරෙන අතර වැඩිදෙනකුගේ වැඩි අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වුයේ මාර්ගගත (Online) ඉගැන්වීමයි.

විශ්ව ගම්මාන

Online ව්‍යාප්ත කිරීමට COVID 19 වසංගතය ඇතිවීද? COVID 19 වසංගතයට මුහුණ දීමට Online ඉගැන්වීම් ඇතිවී ද? යන ප්‍රශ්න දෙක පිළිබඳ විවාද අපට අදාළ නොවන්නේ යුගයේ අවශ්‍යතාව Online පරිසරය අත්‍යවශ්‍ය සාධකයක් කර ඇති හෙයිනි. Online යනු නූතන අංකික තාක්ෂණයේ සුජාත දරුවෙකි. දුනු ඊතල මානව පැවැත්මේ උපකාරක උපකරණ වු යුගයක් තිබුණි. නගුල, හරකබාන ඒ ස්ථානයට පැමිණ පසුකාලීන යුගයක් බිහිවුණි. යන්ත්‍ර සූත්‍ර මිනිසාගේ උපකාරක උපකරණ ලෙස පැමිණීම ආදී වශයෙන් මානව පරිණාමයන් සමඟ මානව අවශ්‍යතා සංකීර්ණවත්ම යුග හැරවුම් නිර්මාණ මානව පැවැත්මේ උපකරණ ලෙස ක්‍රමයෙන් එකතු වන්නට විය.

ගෝලීය සමාජයක්, විශ්ව ගම්මානයන් ගොඩනැඟීමත් සමඟ මානවයාගේ ප්‍රාදේශීය පාලන කලාප, බල ප්‍රදේශ ඉවත් ව විශ්ව සමාජයක සාමාජිකයන් බවට සමස්ත මානවයා පත්විය. සමකාලින මානවයාට හුදකලා වීමට උත්සාහ කළ නොහැකිය. ඔහු සමස්ත ජාලයේ එක් කොටසකි. මේ යුගයේ මානව පැවැත්මේ උපකාරක උපකරණය ලෙස පරිගණකය කරළියට පැමිණෙයි. මානව පැවැත්මේ සංකේතය ලෙස පරිගණකය මතු වීම වැළැක්විය නොහැකි විය.

අධ්‍යාපනය සඳහා මානව සබඳතාව අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. සතතාභ්‍යාස මතින් ගොඩනැගෙන අපිරිමිත අත්දැකීම් හා මානව අන්තර් සබඳතාව සමඟ ගොඩනැගෙන පරිකල්පනය එහි මුලික අංගයන්ය.එහෙත් සමකාලීන සමාජයේ සංඝටකයන්හි ස්වරූපවලට අනුව එය ඒ අයුරින්ම අත්විදිය හැකිද යන ගැටලුව අප අභිමුවේ පවතී. සමකාලීන ගෝලීය සමාජ පරිසරය වේගයෙන් ඉදිරියට ගොස් තිබේ.

ගෝලීය ප්‍රවණතා සියල්ල සුබවාදී හා අපට හිතකර වන්නේ යයි පැවසිය නොහැක. වරින් වර සිදු වූ විෂයමාලා ප්‍රතිසංස්කරණ ඉතිහාසය දෙස බැලීමේදී ඒ සදහා සැලකිය යුතු උදාහරණ නැත්තේ නොවේ. එදා පාසලෙන් බිහි වූ පුද්ගලයාට වඩු වැඩ, මේසන් වැඩ, ලෝහ වැඩ, කෘෂිකර්මාන්තය, මැටිවැඩ, ආදී නොයෙක් කර්මාන්ත කිරීමේ පෙරහුරුවක් තිබුණි. දේශීය පරිසරයට උචිත දරුවකු එමගින් බිහිවිය. අන්තර් විෂයක,බහු විෂයක, පාර විෂයක දැනුමක් සහිත හා අන්තර් හා බහු කුසලතා ‍හෙබි දරුවෙක් එයින් බිහි විය. එනමුදු අද ගොඩ නගන දරුවාගේ මෙම කුශලතා පිළිබද විෂයමාලා සංස්කාරකවරු නැවත සැලකිලිමත් විය යුතුය. ස්වයං නිරෝධායනය වී මාස කිහිපයක් ඇතුළත නිවසට වී සිටින විට එදා ඔබ ලැබූ පෙරහුරුව නොතිබුණා නම් ඔබගේ කාලයද අල්ලාප සල්ලාප හා සමාජ මාධ්‍යයේ සැරිසැරීමට පමණක් සීමා වූ ඵලයක් රහිත ජීවිතයකට සිර වනු නොඅනුමානය.

අංකික තාක්ෂණය මගින් ගුවන්ගත ගබඩාවල අසුරන ලද දත්ත සමඟ ගනුදෙනු කරන සමාජයක් ගොඩ නැගී ඇත. සීමා, මායිම්, ඉක්මවා ගිය භූතලයක් නිර්මාණය කර ඇත. Online තාක්ෂණය යුගයේ උපකරණය බවට පත් වී ඇත. ගෝලීය සමාජයේ ගෝලීය සමාජිකයන්ගේ ගෝලීය උපකරණය පරිගණකය හා බද්ධ තාක්ෂණයයි. එය නුතන ගැටලුවලට එකම විසදුම නොවන්නට හැකිය. එහෙත් බොහෝ ගැටලුවලට පිළියමක් ලෙස එය මතු වී ඇත.මානව අවශ්‍යතා සංකීර්ණවත්ම සාම්ප්‍රදායික ක්‍රම හා ස්වාභාවික වටපිටාව මගින් පමණක් එම අවශ්‍යතා සන්තර්පණය කිරීමට අපහසු විය.

පරිගණක තාක්ෂණය ඔස්සේ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)නිපදවා ගැනීමට මානවයාට සිදුවේ. ස්වාභාවික බුද්ධියට සාපේක්ෂව යාන්ත්‍රික බුද්ධියක් මානවයාට අවශ්‍ය වන්නේ ස්වාභාවික බුද්ධියෙන් කළ හැකි කාර්යයන්ගේ වැඩි වේගයක් යාන්ත්‍රික පරිසරයක කර ගැනීමට අවශ්‍ය වන හෙයිනි. කෘතිම බුද්ධියේ අරමුණු අතර ඉගෙනීම,තර්කනය හා සංජානනය ඇතුළත්වේ. මානව මැදිහත් වීමකින් තොරව ගැටලු විසදීමට හැකි යන්ත්‍ර බිහිකිරීම , මානව මුක්ත පරිසරයක මානවයා හා සමානව වෙහෙසක් නැතිව ඊට වඩා වැඩි වේගයකින් කාර්ය කිරීමට හැකියාව ලබා ගෙන ඇත. බිලියන ගණනක සම්බන්ධතා බාධාවකින් තොරව වේගවත්ව අංකික තිරයක් මත කරගෙන යාමට අවශ්‍ය තාක්ෂණය මේ වන විට දියුණු වී ඇත.

3G, 4G, 5G වශයෙන් තාක්ෂණයේ සිදු වූ ක්‍රමික වේගවත් දියුණුව මානව සබදතා ජාලය තුළ නව ප්‍රවණතා ඇති කර ඇත. ලංකාවට 5G තාක්ෂණය තවමත් ආගන්තුක වුවද එය අත්හදා බලමින් සිටී. එහි ආගමනය සමග සිදුකිරීමට නියමිත සන්නිවේදන පෙරළිය අති දැවැන්තය. මෙම තාක්ෂණය නූතන අභියෝග හමුවේ එයට මුහුණ දීමට භාවිත කළ හැකිය.

අධ්‍යාපන අර්බුදය

COVID 19 සමඟ සමාජයේ සෑම අංශයක්ම බරපතළ අර්බුදයකට හා අභියෝගයකට මුහුණ දී සිටියි. එනමුදු අර්බුදය තුළම විසදුමඳ සොයා ගත යුතුය. සෙසු අංශ සේම අධ්‍යාපන ක්ෂේත්‍රය මහත් අර්බුද හා අභියෝග රැසකට මුහුණ දී සිටියි. Online අධ්‍යාපනය භාවිත කිරීම කඩිනම් කරන්නේ එයට එක් පිළියමක් ලෙසිනි.

Online අධ්‍යාපනය අපට අලුත් දැකීමක් සේ පෙනුනද එය ලෝකයට අලුත් අත්දැකීමක් නොවේ. Online විශ්වවිද්‍යාල, Online උපාධි පාඨමාලාවලට ඇත්තේ දශක කිහිපයකට වඩා ඉතිහාසයකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයද යම් ප්‍රමාණයකට Online පාඨමාලා සාර්ථකව කර ගෙන යයි. මේ වන විට ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල තම පාඨමාලා ඉගැන්වීම සඳහා සම්පුර්ණයෙන්ම Online භාවිත කිරිමට පටන්ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ Online ඉගැන්වීම් ක්‍රමය මීට දශක දෙකක පමණ ඉහතදී හඳුන්වා දුන්නද එය ඉදිරියට ඇදුනේ මන්දගාමීවය. 1960 දී ඉලිනොයිස් විශ්වවිද්‍යලයේ සිසුන්ට තොරතුරු ලබා දීමේ ක්‍රමයක් ලෙස ප්‍රථමයෙන් අත්හදා බැලු Online ක්‍රමය 2020 වන විට දශක හයක් සම්පූර්ණ කර තිබේ. 21 වැනි සියවස වන විට අන්තර්ජාල ඉගැන්වීම් උපකරණ හා දේශන කිරීමේ ක්‍රම ව්‍යාප්ත වන්නට විය. අතථ්‍ය ඉගැන්වීම් (Virtual learning) පරිසරයක් ව්‍යාප්ත වී පාඨමාලා Online මගින් ඉගැන්වීම ඇරඹුණි.

මේ වන විට Online අතථ්‍යවිශ්වවිද්‍යාල(Virtual Campus)පාඨමාලා ලොව පුරා ව්‍යාප්තව පවතී. අධ්‍යාපනය සඳහා Online ඉගැන්වීම් තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට අපට හැකියාවක් නැත.Online පාඨමාලා ද සාම්ප්‍රදායික පාඨමාලා සේම වැදගත් සේ සලකන්නට පටන් ගැනුණි. ලෝකය පුරා විශ්වවිද්‍යාල නව අධ්‍යාපන ක්‍රමවේදය අත්හදා බලන්නට පටන් ගත් අතර ශ්‍රී ලංකාවටද එහි බලපෑම වරින් වර ඇතුළු විය. එනමුදු මනා පෝෂණීය පරිසරයක වැඩිමට අවශ්‍ය සාධක නොතිබු හෙයින් ඒ සඳහා යොමු වු අවධානය අවම විය. ඉහළ ස්ථරයෙන් අනුමත වු ප්‍රතිපත්තිමය තීරණයක් ඒ තුළ නොතිබීම හා එනිසාම ඊට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු නොවීම මෙහි වර්ධනයට සෘණාත්මකව බලපෑවේය.

ගුරුගෝල සබඳතා

අධ්‍යාපන ක්ෂේත්‍රයට ශීඝ්‍රයෙන් කාන්දු වු නව තාක්ෂණීක උපකරණවල භාවිතාව එහි උපරිමයක් දක්වා වර්ධනය වීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට නොහැකිවීමට බලපා ඇති හේතු ගණනාවකි. විශේෂයෙන්ම සාම්ප්‍රදායිකත්වය අගය කරන ගුරුගෝල සංස්කෘතියක් අප සමාජය තළ පැවතීම ‍මේ තත්ත්වය කෙරෙහි විශාල වශයෙන් බලපා තිබෙණු පෙනේ. අධ්‍යාපනයේ උත්කෘෂ්ට පරමාර්ථයන් ළඟා කර ගැනීමට ගුරු ගෝල අන්තර් සබඳතාව අත්‍යාවශ්‍ය සාධකයකි. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් මඟින් එය

ළඟාකර ගැනීමට අපහසුය යන මතයත්, විවෘතව මුහුණට මුහුණලා කෙරෙන සංවාදය, සාකච්ඡාව අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය සාධකය යන මතවාද තුළ එල්බ සිටිමින් නව තාක්ෂණික ක්‍රම භාවිතාව මැළිවීමට හේතුවකි. එසේම පරම්පරා හිදැස (generation gap) ද මේ සඳහා බලපා නොතිබේ යැයි කීමටද අපහසුය. අද බිහිවන්නේ අංකික ස්වදේශිකයෙකි (Digital native). ඔහුට තාක්ෂණික භාවිතාව ජන්මීය උරුමයකි. මෙම අංකික පරම්පරාවට අයත් නොවන වැඩිහිටි පරම්පරාව මෙම නව සංස්කෘතිය වැළද ගැනීමේ දී මේ පිළිබඳ යම් විරෝධාකල්පයක සිටීම ස්වාභාවික නොවන දෙයක් සේ දැකීමට අප ඉක්මන් නොවිය යුතු හෝ අසාධාරණ නොවිය යුතුය. මෙම කරුණු බාධක සේ දැකිමට වඩා ඒවා ජය ගත යුතු අභීයෝග සේ සලකා ඉදිරියට යා යුතුය.

ශ්‍රි ලංකාව නිරන්තරයෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදි හා සමාජවාදි මතවාදයක පිහිටා කටයුතු කරන රටකි. තමාට වඩා අනෙකා වෙනුවෙන් පෙනී සිටීම අප සමාජය තුළ දක්නට ලැබෙන සුවිශේෂී ගුණයකි. මේ තත්වයද Online භාවිතා කිරීමේ යම් අභියෝගයන් සේ මතු වී ඇති බව පෙනේ. මේ දිනවල පළවන තොරතුරුවලට අනුව පාසල් ළමයින්ගෙන් සියයට හතළිහක් (40%) Online පිවිසීමට හැකියාවක් නැත. Online අධ්‍යාපනයට පිවිසි දරුවන්ට ද මුහුණ පෑමට සිදු වී ඇති ගැටලු ගණනාවකි.

අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කරන දත්ත ලබා ගැනීමට වැයවන අධික පිරිවැය, ක්‍රමානුකූලව සකස් නොවූ කාලසටහනකට අනුව වැඩ කිරීමට අවස්ථාව නොලැබීම, එම Online පාඩම් සන්නිවේදනය කිරීමේ දී මතු වී ඇති ගැටලු ආදී වශයෙන් මෙම ගැටලු හදුනාගත හැකිය. විශ්වවිද්‍යාල තුළ මෙම ප්‍රවණතාව එතරම් දැඩි නොවුන ද යම් ප්‍රමාණයකට එය දැඩිව බලපා තිබේ. කිසිම Online ක්‍රමවේදයකට ළඟාවීමට නොහැකි ප්‍රජාවක් ද සිටියි. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක එළඹිය යුතුය. සැම අයකුටම ළඟාවිය හැකි ක්‍රමවේදයක් සැකසීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුය.

එසේම තාක්ෂණය භාවිතයට අවශ්‍ය නිවැරදි ක්‍රමානුකූල හා ප්‍රාමාණික පුහුණුවක් ලබාදිය යුතූය. තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම් කළ යුතුය. මේ මඟින් තාක්ෂණයට ඇති බිය නිසා එයින් ඉවත්වීමට සැරසෙන්නේ නම් එයටත් තාක්ෂණ භාවිතය තුළ යම් කොටසකට අසාධාරණයක් සිදුවේ යැයි යන ප්‍රජා හැගීම්වලටත් පිළිතුරක් ලබාදිය හැකි වනු ඇත. එසේ නොවුවහොත් අප අභිමුවේ ගොඩනැඟෙන ගැටලු ගණනාවකි.

විශේෂයෙන්ම සමාජයට අවශ්‍ය කරන බුද්ධි බළකාය මානව සම්පත ගොඩනැඟීම තර්ජනයට පත්වේ. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට සිදු වීම තුළ අධ්‍යාපන අවස්ථා අහිමි වී යාම මත තරුණ අසහනය, සමාජ පීඩනය ඉහළ යාම නැවතීමට නොහැකි වනු ඇත. සමාජ ගැටලු ගණනාවකට එය මූලික හේතුව වනු ඇත. සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෘත්තිකයන් බිහි නොවීම නිසා අත්‍යවශ්‍ය සේවා ගණනාවක ගැටලු මතුවිය හැක. එය රටක සාමාජික, ආර්ථික, සංස්කෘතික ආදී සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදය කරා මෙහෙය වනු ඇත.

අධ්‍යාපන රටාව සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති සාම්ප්‍රදායික භාවිතා හා ක්‍රමවේදවලින් දුරස්වීමට ඇති අකමැත්ත සාමාන්‍ය ලක්ෂණයක් වුවද අධ්‍යාපනයේ අරමුණ වන්නේම පවත්නා තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකට පත් කිරීමයි. අධ්‍යාපනයේ මුල්ම අරමුණ සාක්ෂාත් කර ගැනීමට යත්න දරන අප, අප සිදු කර ගත යුතු වෙනස් වීම කෙරෙහි අවධානයට යොමු නොකිරීම ඇතැම් විට විස්මයජනකය.

21 වැනි සියවසට අවශ්‍ය කරන සමාජ වෙනස්වීම එමඟින් ඉල්ලා සිටිනු ලැබේ. ඒ අනුව එයට අදාළ වෙනස අප තුළ සිදු නොවන්නේ නම් 'යා දෙක නොරත රත සමඟ පෑහීමක් නැත'යන තත්ත්වයට පත්වනු නොඅනුමානය. (කළුලෑල්ල සුදුලෑල්ල වෙනුවට smart board පන්ති කාමරයට මේ වන විට පැමිණ ඇත.)

කාලය හා අවකාශය

නව තාක්ෂණ ක්‍රම භාවිත කරමින් ගොඩනැඟූ මිශ්‍ර ඉගැන්වීම් (blended learning) දුරස්ථ අධ්‍යාපන ඉගෙනීම් අධ්‍යාපනයේ නව හැරවුම් ලක්ෂයක් වී හමාරය. ගෝලීය දැනුම ගොඩනැගී ඇති අන්තර් ජාල පරිහරණය සීමා මායිම් නැති අධ්‍යාපන අවස්ථාව උදා කර ඇත. මහා දැවැන්ත තොරතුරු ගබඩා තුළ, විශ්ව දැනුම ගබඩා කර ඇත. කාලය හා අවකාශය ජයගෙන ඇති නූතන තාක්ෂණය සමඟ අප බද්ධ නොවන්නේ නම් කාලය හා අවකාශය සමග සටන් වැදි සිටිම හැරෙන්නට කළ හැකි කාර්ය සීමා වනු ඇත. ඒ නිසා නූතන අභියෝග හමුවේ online ඉගැන්වීම් ක්‍රම මනාව ස්ථාපිත කිරීම හා භාවිතයට ගැනීම 21 වැනි සියවසේ ප්‍රාඥානයකුගේ වගකීමක් වනු ඇත.

එහි යම් දොසක් තිබේ නම් එය නිවැරදි කර ගැනීම හා අපට නොගැළපෙන තැන් ඇත්නම් ඒවා සුදුසු සේ සකස්කර ගැනීම ද අපටම භාරය. ඒ අනුව වේගයෙන් ඉදිරියට ඇදෙන නව තාක්ෂණය සමඟ අප බද්ධ වී නුතන සියවසේ මතුවන බාධක ජය ගැනීමට අප මංමාවත් හෙළි කර ගත යුතුය. එවිට අපට මාස සති ගණනක් එක්තැන් වී සිටිය ද හුදකලා නොවී සමාජ ජාලය සමඟ කටයුතු කිරීමේ පසුබිම සැකසෙනු ඇත.කාල හා අවකාශය මත සිදුවිය හැකි ගැටලු ජයගත හැකි වනු ඇත. බාධාවීමකින් තොරව සේවයක් ලබාදීමටත් ලබා ගැනීමටත් හැකි පරිසරයක් එමඟින් ගොඩනැගී ඕනෑ ම ව්‍යසන පරිසරයකට මුහුණ දිය හැකි පරිපූර්ණ මිනිසකු ලෙස කටයුතු කිරීමට හැකි වනු ඇත.

විවිධ ගැටලු විපත් නිසා දෛනිකව වැඩ කිරීමට ලැබෙන කාලය සීමිත වී ඇත. ස්වාභාවික හා මානව නිෂ්පාදිත විපත් නිසා එකිනෙකා සමඟ ගනුදෙනු කිරීමට හා වැඩකිරීමට ලැබෙන කාලය ඉතා සීමිත වී ඇත. අවකාශය සීමිත වී ඇත. Online අධ්‍යාපන ක්‍රමවේදය තවදුරටත් පරක්කු කිරීමට යාම අනුවණකමකි. එසේ වුවහොත් ගෝලීය සමාජ පරිසරයේ සාමාජිකත්වයෙන් අපට ඉවත්වීමට සිදුවනු ඇත. මෙම අභියෝගය මේ වන විට රාජ්‍ය මට්ටමින් අවබෝධ කරගෙන තිබීම ඉතාම වැදගත්ය. විශේෂ කාර්ය සාධක බලකා මඟින් online අධ්‍යාපන ක්‍රියාවලිය බලගැන්වීමට විශාල ප්‍රයත්නයන් දරමින් තිබේ.

රටේ සුබ සිද්ධිය හා අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් එය කළ යුතුමය. මේ සමකාලීන ප්‍රවණතාව කිසිම හේතුවක් නිසා ආපස්සට නොගත යුතුය. Covid 19 අප දිනක ජයගනු ඇත. එහෙත් සමාජ දුරස්ථභාවය රැක ගැනීම අවශ්‍ය කරන වෙනත් බොහෝ හේතු නැවත මතුවනු ඇත. අප මේ මොහොතේවත් සූදානම් නොවුනහොත් එදාටත් අද මෙන් ඊට අවශ්‍ය කරන යටිතල පහසුකම් සූදානම් කිරීමට ගතවන කාලයත් සමඟ සටන් කරමින් සිටීමට සිදු වනු ඇත.

කෙසේ වෙතත් මෙහිදී අවධානයට ගත යුතු අනතුරු ඇඟවීමක් ද නැත්තේ නොවේ. පරිගණකය යනු සමස්ත ජීවිතය නොවේ. පරිගණකය සමස්ත ජීවිතය කොට ජීවත්වන ප්‍රජාවක්ද දක්නට ලැබේ. Online ප්‍රචලිත කිරීම තුළ එම අධිභාවිත ප්‍රජාව වැඩිවීමට බොහෝවිට හැකියාවක් පවතී. ඌණ සංවර්ධන ලක්ෂණයක් පෙන්නුම් කරනු ලබන නූතන තාක්ෂණික උපකරණයක් ලෙස පරිගණකය හැඳින්විය හැක.

තත්ත්වය පෙන්වීමේ උපකරණයක් ලෙසත් අනවශ්‍ය අවශ්‍යතාවයක් වුවද අත්‍යාවශ්‍ය උපකරණයක් ලෙසත් ගැළපෙන හා නොගැළපෙන සෑම අවස්ථාවකම භාවිත උපකරණයක් ලෙසත් එහි අධිභාවිතය සමාජයට යම් අනතුරු ඇගවීමක් නොකරනවා ද නොවේ. නිසි අවබෝධයක් නැති අතිධාවනකාරී අභිලාශයන්ගෙන් සමන්විත ජීවිතයේ විචිත්‍ර සංස්කෘතියට දැඩිව ආසප්ත වූ හිරිමල් යෞවනයේ නව අත්දැකීම් අත්විදින්නට බලාපොරොත්තු වන ප්‍රජාවක් අතටද හය හතරක් නොදන්නා සමාජයට පා තැබූ ක්ෂණයේ සිටින පාසල් යන දරුවාගේ සිට නිවැරදි ගැඹුරක් නොදන්නා පාසල් ප්‍රජාව වෙත ද තෙරක් නැති අන්තර්ජාලයේ හරක් නැති මාතෘකා මත සරන්නට අවස්ථාව සැලසීම මල් යහනාවක් මත සැතපීමට ලද අවස්ථාවක් සේ දැකීමට ඇතැමෙක් පෙළඹීය හැකිවුවද එය එසේ නොවන බවත් පරිස්සමින් හා වගකීමෙන් එය භාවිත කළ යුතු බවත් අවධාරණය කළ යුතු පිරිසක් ඔවුන් අවට සිටිය යුතුය. සියල්ල අපගේ යහපත පිණිසය. එහෙත් එම සැමදේ අපගේ විනාශය පිණිස භාවිතා කිරීමට ද හැකිය. Covid 19 හමුවේ අප උගත යුතු පාඩම එයයි.

සජිත්ගේ හීනයට ජනතාව උත්තර දෙයි

$
0
0
ජුනි 18, 2020 01:00

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක කනක හේරත්

* ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණු මැතිවරණ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමුවා. මේ තීන්දුව ඔබ පක්ෂය බලාපොරොත්තු වූවක්ද?

අනිවාර්යයෙන්ම. ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අවුරුදු හතර හමාරකට පස්සේ. එතුමා මැතිවරණයට දින නිම කළෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි. අපි දැනගෙන හිටියා, පෙත්සම් ඉවත දමන බව. විපක්ෂයේ මූලික අරමුණ වූණේ මැතිවරණය කල්දමා ගැනීම. ඒ වගේම සමඟි ජන බලවේගයේ නාමයෝජනා කැන්සල් වේවිදැයි ඔවුන්ට බියකුත් තිබුණා. මොක වුණත් හදිසියේ හදාගත් පක්ෂයේ අද කෑගහන මන්ත්‍රීවරු ගණනාවකට ගෙදර නවතින්න වෙනවා, මැතිවරණ ප්‍රතිඵල ආවාම.

* මැතිවරණය සඳහා නියම කර ඇති සෞඛ්‍ය නිර්දේශ අනුව ගෙයින් ගෙට අත්පත්‍රිකා බෙදීම තහනම්. මෙවැනි සීමාවන් තුළ ප්‍රචාරක කටයුතුවලට බාධාවක් නැතිද?

ඇත්තටම මැතිවරණය ගැසට් කරන කොට මෙවැනි තත්වයක් තිබුණේ නැහැ. නාමයෝජනා දෙනවිට කොරෝනා ආරම්භ වුණා. ඒ මාස දෙක හමාර තුළ අපි මැතිවරණ තියන්න ඉල්ලීම් කළේ නැහැ. අපේ රටේ කොරෝනා ව්‍යාප්ත වීම නතර කිරීම හා පාලනය කිරීමේ ගෞරවය සෞඛ්‍ය අංශයට ලබාදිය යුතුයි. සෞඛ්‍ය අංශ ක්‍රමවේද හා නිර්දේශ මත මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා. මේ ක්‍රමවේද පසුගිය මැතිවරණවලට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් රට හා ජනතාව ගැන හිතලා ඒ ක්‍රමවේදවලට හුරුපුරුදු විය යුතුයි.

* විපක්ෂය කියන පරිදි සෞඛ්‍ය අංශ දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම වෙනුවට ආණ්ඩුව හමුදාව මඟින් කොරෝනා පාලනය කිරීමට උත්සාහ කළ නිසාද මේ තරම් ව්‍යාප්ත වුණේ?

නෑ. එහෙම නැහැ. හැම වෙලාවකදීම සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශවලටමයි ක්‍රියාත්මක වුණේ. ආරක්ෂක අංශ,බුද්ධි අංශ මඟින් ගත් වැඩපිළිවෙළ ඉතාම සාර්ථකයි. එය මුළු ලෝකයම පිළිගත් කාරණයක්. කොරෝනා වසංගතය සමාජය තුළින් ව්‍යාප්ත වීම අප්‍රේල් තිහෙන් පස්සේ නැහැ. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදුන් නිර්දේශ පිළිබඳ අපි සතුටට පත්වෙනවා.

* කොරෝනා මර්දන කටයුතු සඳහා විදේශ ආධාර අපේ රටට නොලැබුණේ, රට තුළ පාර්ලිමේන්තුව

ක්‍රියාත්මක නොවන නිසා බවයි විපක්ෂය කියන්නේ?

නෑ. ඒකේ කිසිම ඇත්තක් නැහැ. ලෝකයේ විවිධ සංවිධාන ආධාර ලබාදීමට කැමැත්ත පළකර තිබෙනවා. අද වනතුරු මුදල් ලැබී නැහැ. ඉදිරි කාලයේදී අපිට ඒ මුදල් ලබාදෙයි. අපි කියන්නේ මැරිච්ච පාර්ලිමේන්තුව නොව ඉතාම කඩිනමින් මැතිවරණය තියලා අලුත් පාර්ලිමේන්තුව කැඳවලා අද රටේ තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට කටයුතු කළ යුතු බවයි.

* පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව රජයේ මුදල් වුවත් වියදම් දැරීම නිවැරදි බවද ඔබ කියන්නේ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමට ජනාධිපතිතුමාට බලය තිබෙනවා. එහෙම බැහැ කියලා සමාජ මධ්‍යවල හරි,ජනමාධ්‍යවල හරි තර්ක ගෙනාවත් කවුරුවත් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අභියෝග කළේ නැහැ. ජනාධිපතිතුමාට ඒ සඳහා අවශ්‍ය බලය තිබෙන බව ඉන් පැහැදිලි වී ඒ තර්කය බිඳ වැටී අවසානයි.

* ආණ්ඩුව රටේ කෘෂි කර්මාන්තය ශක්තිමත් කරනවා කීවාට හාල් මිල වැඩිකළේ හාල් මුදලාලිලාට යටවෙලාද?

නෑ වෙළෙඳුන්ට යටවීමක් නොවෙයි. වී ගොවියාට වෙන කවරදාවත් ලබා නොගත් මුදලක් මෙවර ලැබුණා. ඉදිරි කන්නයේ අස්වැන්න වැඩිවන විට මේ තත්වය වෙනස් වේවි. මහා පරිමාණ හාල් මෝල් හිමියන් වැඩි මුදලට ගොවීන්ගෙන් වී මිලදී ගත්තා. එතැනදී තමයි මේ ගැටලුව ඇති වුණේ.

* ඉදිරි පාර්ලිමේන්තුව ගෝඨා ජනපති - සජිත් අගමැති කියලා කියනවා. එහෙම ඩීල් එකක් ඔබේ පක්ෂයේ තියෙනවාද?

එහෙම එකක් නැහැ. පසුගිය රජයේ හිටපු කණ්ඩායමට පයින් ගහලා තමයි නොවැම්බර් 16 වෙනිදා මේ රටේ හැට නව ලක්ෂයක් ජනතාව ගෝඨාභය මැතිතුමා ජනාධිපති කළේ. සජිත්ගේ අගමැති සිහිනයට ජනතා තීන්දුව මේ මැතිවරණයේදී ලබාදෙයි. කොහොමටවත් එදා අපේ රටේ ආර්ථිකය කඩා වට්ටපු,බැංකු හොරකම් කළ,වංචා දූෂණ නැති කතරනවා කියලා ලොකුම වංචා කරපු අයට බලය ලබාදෙන්න ජනතාව සූදානම් නැහැ. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තියක් වෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවනවා.

* බැඳුම්කර වංචාකරුවන්ට නඩු නැත්තේ මහින්ද - රනිල් ඩීල් එකක් නිසාද?

අපි කවදාවත් එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් සමඟ කිසිම ගිවිසුමකුත් නැහැ. දැන් සමඟි ජනබලවේගය අතහෝදාගන්න හදනවා, මහ බැංකු වංචාවට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. රනිල් මහත්තයා නියෝග දෙන විට අනිත් පිරිස සිටියා. මහ බැංකු හොරකම කළේ නැහැ කියලා පොතක් ලියපු කෙනා සිට කෝප් කමිටුවේ සිට දුරකථන ඇමතුම් ගත් අයත්, මුදල් ලබාගත් අයත් සමඟි ජන බලවේගය ඇතුළෙ ඉන්නවා. සමගි ජනබලවේගයද,එක්සත් ජාතික පක්ෂයද කියලා නැහැ, මේ හොරු අපි නීතිය ඉදිරියට ගෙන එනවා.

මේ සිදුවීම් දාමයට එතුමාගේ කාලවකවානුව තුළදී යම් කිසි විදියකට හිටපු ජනාධිපතිතුමා වුණත් සම්බන්ධ නම්, එතුමා නිවැරදිකාරයා කරන්න වත් අපි කොයි වෙලාවකදීවත් කටයුතු කරන්නේ නැහැ.

* වැට් බදු ඉවත් කිරීමෙන් රජයේ ආදායම අහිමි කරගත් නිසාද මේ ආණ්ඩුව තෙල් මිල වාසිය ජනතාවට නොදෙන්නේ?

ඇත්තටම අපි බලය ලබාගත් විගස මේ රටේ නිෂ්පාදකයා,සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් වැට් බදු අඩු කළා. මේ බදු ක්‍රමය වෙනස් නොකළා නම් කොරෝනාවලට කලින් මේ ආර්ථිකය කඩා වැටෙනවා. ජනතාවට සහනයක් ලබාදීමට ඉන්ධන මිල අඩු කළොත් අනිසි බලපෑම රජයට. රජයට යම්කිසි ආදායමක් ලබාගැනීමත් අවශ්‍යයි. කොරෝනා සමඟ අපේ රටේ තෙල් භාවිතාව 40%කින් අඩුවී තිබුණා. ඒ කාලවකවානුව තුළ තෙල් මිල වෙනසකට ජනතාවටත් ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

අපේ රටේ තෙල් ගබඩා කිරීමට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තිබුණානම් විශාල ලාභයක් ලබාගැනීමට අවස්ථාව තිබුණා. ඒ ටැංකි පිටරටට බදු දුන් එක්සත් ජාතික පක්ෂයටයි අපි චෝදනා කරන්නේ. තෙල් ගබඩා කිරීමට අවස්ථාව තිබුණා නම් නැව්වලට තෙල් විකිණීමටත් හැකිවෙනවා.

* මොකක්ද මේ මැතිවරණ කොමිසමේ සාමාජිකයකු සම්බන්ධයෙන් ඔබේ පක්ෂයට තිබෙන ප්‍රශ්නය?

මැතිවරණ කොමිසම පමණක් නොවෙයි 19 සංශෝධනයෙන් පස්සේ ගෙන ආ කොමිෂන්වල අපිට ගැටලුවක් තිබෙනවා. ස්වාධීනයි කීවත් මැතිවරණ කොමිසමට එක් තීරණයක් ගන්න බැරි වෙලා. මහාචාර්ය හූල් මහතා මේ රජයට විරුද්ධව කටයුතු කරමින් ජාත්‍යන්තර මෙහෙයවීමක් මඟින් පසුගිය රජයේ කණ්ඩායම්වලට සහයදීමේ කටයුතු තවමත් ක්‍රියාත්මක කරනවා. මේක ස්වාධීන රටක්. ඉදිරියේ ගොඩනඟන පාර්ලිමේන්තුවේදී ඔය අයට මේවා සම්බන්ධයෙන් උත්තර දෙන්න වේවි.

* ඔබ පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායකයා. කොහොමද අපේක්ෂිත ප්‍රතිඵලය?

මේ මැතිවරණයෙන් අපි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනඟනවා. එපමණක් නොවෙයි දිස්ත්‍රික්කයේ ආසන නවයෙන් හතක් අපි අනිවාර්යයෙන්ම ලබාගන්නවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කය නැවත ගොඩනැඟීමට අපි දැනටමත් සැලසුම් සකස් කර අවසානයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂි කර්මය, සංචාරකකර්මාන්තය, තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය ඇතුළු ගැටලුවලට ප්‍රායෝගිකව වසර පහක් තුළ දිය හැකි විසඳුම් ලබාදීමට කණ්ඩායමක් ලෙස ආසන මට්ටමින් සියලු දෙනාගෙන් අදහස් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් අප සමඟ එක්ව තරග වැදුණත් අපිට එහි කිසිම ගැටලුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එදා පටන්ම සිටි කණ්ඩායම කෙරෙහි තමයි ජනතාව බොහෝ බලාපොරොත්තු තබාගෙන ඉන්නේ.

රඹුක්කන විශේෂ
ඔස්වල්ඩ් ගොඩකුඹුර

ඊළඟ ඡන්දයෙන් අපි දිනුම්

$
0
0
ජුනි 18, 2020 01:00

සමඟි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් නායක කබීර් හෂීම්

* මැතිවරණ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීම ඔබේ පක්ෂයට දැවැන්ත පරාජයක් බව කීවොත්?

අපේත් රටේත් පොදු මතය වුණේ ,මේ වසංගතය නිසා මැතිවරණය කල් දැමිය යුතුයි කියලයි. සියලුම දේශපාලන බලවේගවලට සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ පරිසරයක් ඇතිකර දීමේ වගකීම පැවරී තිබුණා. මේ මැතිවරණය කල්දැමිය යුතුයි කියලා ජනතාව වෙනුවෙන් අපි ඉදිරිපත් වුණා. අපේ ඉලක්කයට අපි ගියා. අපි අධිකරණයට ගිය එකේ ජයග්‍රහණය අපට ලැබී තිබෙනවා. දැන් පැහැදිලිවම ජූනි 20 ඡන්දය තියන්න බැහැ. එය සනාථ වී තිබෙනවා.

* මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සෞඛ්‍ය නිර්දේශ රැසක්ම ඇතුළත් වෙලා නේද?

මේක ලොකු ප්‍රශ්නයක්. අපට වඩා මේ ප්‍රශ්නය තිබෙන්නේ ඡන්දදායකයන්ට. හේතුව ඡන්දදායකයාට ඇත්ත තොරතුරු දැනගෙන එයාගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය තිබෙන්න ඕනෑ. කරුණු කියාගන්නයි තොරතුරු ලබාගන්නයි එක හා සමාන අවස්ථාවක් ආණ්ඩු පක්ෂයට වගේම අනෙකුත් පක්ෂවලටත් ලැබෙනවානම් කමක් නැහැ. නමුත් අද වනවිට අපේ අත්දැකීම අනුව එහෙම වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ප්‍රශ්න ඔක්කෝම අමතක කිරීමට ආණ්ඩුව අසාධාරණ විදියට මාධ්‍ය භාවිතා කරනවා නම්, ඒ වාගේම රාජ්‍ය යාන්ත්‍රණය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු භාවිතා කරනවානම් එතැන ගැටලුවක් තිබෙනවා. මෙහිදී මැතිවරණ කොමිෂන් කාර්යාලය මීට වඩා ඝෘජුවම නීතිය ක්‍රියාත්මක කරමින්, සම අවස්ථා සෑම පක්ෂයකටම ලබාදීමට මැදිහත් විය යුතුයි.

* කොරෝනා වසංගතයත් සමඟ රටේ ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සම්බන්ධව ඔබ කියන්නේ කුමක්ද?

අගමැතිතුමා අරලියගහ මන්දිරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවූ රැස්වීමේදී ,විදේශවලින් ආධාර තවමත් ලැබී නැහැ කීවා. ලෝක බැංකුවෙන් මාලදිවයින ආධාර ඉල්ලුවේ අපිට පසුවයි. ඒ අයට දුන්නා. කලාපයේ අනෙක් රටවල්වලට දුන්නා. නමුත් ශ්‍රී ලංකාවට දුන්නේ නැහැ. මේ රටේ ආණ්ඩුව ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට දන්නේ නැහැ. හැකියාවකුත් නැහැ. මේ රජය, ජාත්‍යන්තරයට විශ්වාස නැහැ. ඉන්දියාවේ අගමැති ළඟ හතර ගාතෙන් වැටිලා ගත් ණය ගෙවන්න බැහැ කීවා. එහෙම කතාකරන ආණ්ඩුවකට කවුද ණය දෙන්නේ?ජනාධිපති ලේකම් රටේ මුල්‍ය අර්බුදයක් තිබෙන බව කියනවා. සල්ලි නැහැ කියනවා. එහෙම කියන කොට රටේ තිබෙන තත්වය අවබෝධ කරගෙන දෙන සල්ලිත් නැතිව යනවා. ආණ්ඩුව කරන ප්‍රචාරවලින්මයි දෙන ආධාරත් නැතිකර ගන්නේ.

මේ ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය ආදායම කෝටි ගණනකින් අඩු වුණා. තම ගජ මිතුරන්ගේ සහ අතරමැදියන්ගේ සාක්කුවලටයි වැටි බදු නිදහසේ වාසිය ගියේ. බදු සහන ගජ මිතුරන්ට දුන්නු ආණ්ඩුව බඩු මිලට ජනතාවට සහන දීලා නැහැ. මේ ආණ්ඩුවට ව්‍යවස්ථාව අනුව ජූනි දෙවැනිදායින් පස්සේ මුදල් වියදම් කරන්න බලයක් නැහැ. ආණ්ඩුව පත්වූ අවස්ථාවේම අයවැයක් ගෙන එන්න තිබුණා. ඒත් අයවැයක් ගෙන ආවේ නැහැ. දැන් මුල්‍ය අර්බුදය සමඟ ව්‍යවස්ථා අර්බුදයකුත් ඇතිවෙලා. රටේ සංවර්ධනයත් ඇනහිටලා.

මට කනගාටුයි, අපි බලයේ සිටි කාලයේ බොර තෙල් බැරලයක් ඩොලර් 68යි. අද ඩොලර් 20 යි. එක බැරලයකින් රුපියල් අටදාස් හාරසියයක අඩුවීමක්. ඕනෑම තෙල් වර්ගයක ලීටරයක් රුපියල් පනස් හයකින් අඩුවෙලා. ඒත් මේ රජය තඹ සතයකින් තෙල් මිල අඩු කළේ නැහැ. ඩීසල් ලීටරයක බද්ද රුපියල් පනස් අටක්. පෙට්‍රල් ලීටරයක බද්ද එකසිය දොළහක් විතර. මේ සල්ලි පික්පොකට් ගහන්නේ අහිංසක ජනතාවගෙන්. අපි ක්‍රියාත්මක කළ මිල සූත්‍රය තිබුණා නම් තෙල් මිල සියයට පනහකට වඩා අඩු කරන්න තිබුණා.

* රටේ සංවර්ධය ගැන කතා කළත් පසුගිය රජයට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ටිකවත් අවසන් කරන්න බැරි වුණා නේද?

මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. ප්‍රමාදයක් වෙන්න ඇති. දෙවැනි කොටස අත්පත් කරගෙන දේශීය කොන්ත්‍රාත්කරුවන්ට භාරදීලා අපේ රටේ සල්ලිවලින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒත් පාස්කු ප්‍රහාරය වැනි කරුණු නිසා තරමක් කල් ගියා. පළමු කොටස අත්සන් කරලා තිබුණා චීන ආණ්ඩුවෙන් මුදල් ලබාදීමට. නමුත් අවුරුදු හතරක්ම ප්‍රමාද වූණා . තුන් වැනි කොටස සඳහා ප්‍රමාදයක් සිදුවුවත් ඒකේ කොන්ත්‍රාත්තුව පටන්ගන්නෙත් නැතිව මේ කොටස් තුන සඳහාම වන්දි 70% සිට 80% ගෙවලයි තිබුණෙ. ඒ අනුව අමාරුම කොටස අපි කරලා ඉවරයි.

* ඔබ කුමක් කීවත් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළත් එක්ක ඉදිරි මැතිවරණය විපක්ෂයට අභියෝගයක් වෙයි නේද?

අභියෝගයක් නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කළා ,ගෝඨාභය මැතිතුමා ජනාධිපති වූ පසු යුක්තිය සාධාරණය වෙනුවෙන් එතුමා ක්‍රියාත්මක වෙයි කියලා. හැබැයි පාතාලය තවමත් ක්‍රියාත්මකයි. බන්ධනාගාරවල නීති කඩනවා. රටේ එක එක පැලැන්තිවල අයට එක එක නීති. ඒ විශ්වාසය ඉතාම ශීඝ්‍රයෙන් කඩාවැටෙවා. හන්දියක් හන්දියක් ආණ්ඩුව ගානේ විවේචනය වෙනවා. එක රටක් එක නීතියක් යන්න නිකම්ම නිකම් වාක්‍යයක් විතරයි.

* සජිත් ඇතුළු පිරිස ඉවත් වූ පසු පක්ෂය පිරිසුදු වුණා කියා එක්සත් ජාතික පක්ෂයේම සමහරු කියා තිබුණා?

සමඟි ජනබලවේගය කියන්නේ පිරිසුදු එක්සත් ජාතික පක්ෂයේ නව චින්තනයක්. මේ රටේ යම්කිසි නියෝජනයක් නොමැතිව සිටි කණ්ඩායමට අත දිය හැකි කණ්ඩායමක්. අලුතින් සිතන,1994 සිට වෙනස් නොවූ එක්සත් ජාතික පක්ෂය අලුත්කරන වැඩපිළිවෙළක්. සජිත් ලොකු ව්‍යුහාත්මක වෙනසක්. අපි මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනවා පමණක් නොවෙයි, එක්සත් ජාතික පක්ෂයේ පාලනයත් අතට ගන්නවා.

* මේ වනවිටත් ඔබ ඇතුළු සියයකට ආසන්න පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබියදී එජාප පාලනය අතටගන්නෙ කොහොමද?

එහෙම ලිපි එවන්න බැහැ. අපි පසුගිය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දුව අරගෙනයි මේ සමඟි ජන බලවේගය පිහිටුවන්නත් ඡන්දය ඉල්ලන්නත් අනුමත කරගත්තේ. ඒ රැස්වීමේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සිටියා. එතුමාත් දන්නවා මේක නිත්‍යානුකූල කණ්ඩායමක් කියලා. ඒ නිසා ඒ ලිපි අපිට අදාළම නැහැ.

* ඒත් මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සමඟි ජනබලවේගයට උදවු කිරීම තහනම් කර තිබෙනවා?

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කණ්ඩායම් විසින් ඡන්ද මනාප ටික ගන්න අපේ අහිංසක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බය කරලා. ඒ මන්ත්‍රිවරුන් වැඩ කරන්නේ එදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයක් අනුව. මේ මහජන නියෝජිතයෝ ක්‍රියාකරන්නේ පොතේ හැටියට නෙවේ මතේ හැටියටයි. ගමේ මතය,රටේ මතය මේ අය හොඳින්ම දන්නවා. ඔළුවෙන් හිටගත්තත් මේ අය නවත්වන්න බැහැ.

* පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් පිළිබඳ ජනාධිපති කොමිසමකින් පරීක්ෂා කෙරෙනවා. ඔබ එය දකින්නේ කොහොමද?

කවුරුහරි හිතනවානම් පසුගිය ආණ්ඩුව කාලයේ විධිමත් ආකාරයෙන් එය ඉටු නොවුණා කියලා ඒකට ඉඩදෙන්න ඕනෑ. වැරදිකරුවන්ට දඬුවම් දීමට පියවර ගැනීම ඕනෑම රජයක වගකීමක්.

* දෙවනගල පුදබිමට අයත් ඉඩම් බලෙන් අත්පත් කර ගැනීමක් පිළිබඳ මේ දිනවල කතා කෙරෙනවා?

කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස මම වසර විසි ගණනක් කටයුතු කර තිබෙනවා. කිසිම ජාතියකයට වැරැදි විදියට මම සලකලා නැහැ. මම හැමදාම මැදිහත් වුණේ සාධාරණය ඉටුකරන්න. මම හැමදාම රටේ නීතියට සංස්කෘතියට ගරු කරලා තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ ගැන දන්නවා. මගේ පවුලේ පරම්පරාවේ ඉඩම් පන්සල් හදන්න,පාසල් හදන්න,සුසාන භූමි හදන්න, රාජ්‍ය ආයතනනවලට දීලා තිබෙනවා. අපි ඉඩම් අල්ලාගෙනත් නැහැ. අල්ලා ගන්න උදවු කරලාත් නැහැ.

* ඔබ මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා. මොකක්ද අපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵලය?

අප්‍රේල් මාසයේ ඡන්දය තිබුණා නම් අපට අභියෝගයක් තිබුණා. දැන් වෙනකොට කරට කර සටනක් තිබෙන්නේ. අපට මන්ත්‍රී සංඛ්‍යාව හිතුවාටත් වඩා වැඩි කර ගන්න පුළුවන්. 1994 පොදු පෙරමුණ ආණ්ඩුව ගන්න විටත් අපි කෑගල්ල දිනුම්. සජිත් අගමැති වෙන මේ ඡන්දයේදී සමඟි ජනබලවේගයට යළි දිනන්න පුළුවන්. ඒ සටනට නායකත්වය දෙන්න මම සූදානම්.

රඹුක්කන විශේෂ
ඔස්වල්ඩ් ගොඩකුඹුර

බුද්ධිමත් දේශපාලනය ඉදිරියට පැමිණිය යුතුයි

$
0
0
ජුනි 19, 2020 01:00

උෟව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස විශාල සේවාවක් සිදු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රාජපක්ෂ පරපුරේ රටට හිතැතිව වැඩ කිරීමට දක්ෂ තවත් එක් පුද්ගලයෙකි. මෙවර මහ මැතිවරණයට මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග වැදී පාර්ලිමේන්තුවට පිවිසීමට අපේක්ෂා කරන ඒ මහතා, ඉන් අනතුරුව එම දිස්ත්‍රික්කයට වසර පහක සංවර්ධන සැලසුමක් අතැතිව ජනතා සේවය සඳහා තමන්ගේ වගකීම ඉටු කිරීමටත් ඇප කැප වී සිටින මහජන නියෝජිතයෙකි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සහ රටේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ඒ මහතා දිනමිණට අදහස් දැක්වූයේ මෙසේයි.

“මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ ප්‍රතිඵල ජනතාව උඩු යටි කුරු කරාවි. අලුත් කණ්ඩායම් පාර්ලිමේන්තුවට යවාවි. ගෝඨාභය රජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළට අනුගත වීමට හැකි අය ජනතාව තෝරාගනීවි. නිකම්ම හුරේ දැම්මට පොස්ටර් ගැහැව්වාට ආවට ගියාට මෙවර ඡන්දය දෙන්නේ නැහැ. අපට පෝස්ටර් ගහන්න එපා කියලා පක්ෂය විසින් දැනුම් දීලා තියෙන්නේ. ගෙදරින් ගෙදරට ගිහිල්ලා ජනතාව දැනුවත් කරනවා. අලුත් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඇතුළට යාවි. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කළ හැකි පිරිසක් තෝරා පත් කරගනීවි යැයි සිතනවා. දක්ෂ කණ්ඩායමක් තෝරාගෙන, රට දියුණු කරන්නට අවස්ථාවක් සලසා දීම සඳහා අද රට පෙළ ගැහිලා සිටිනවා.

අධ්‍යාපනයට මුල්තැන

අපට පොදු ජන පෙරමුණේ රාමුවෙන් පිට වැඩ කරන්න බැහැ. මගේ සීමාව මා දැනගෙන වැඩ කළ යුතුයි. තර්ක විතර්ක ගෙන එමින් අනුන්ට දෝෂාරෝපණය කරමින් ගෙන යන දේශපාලනය නතර කළ යුතුයි. එසේ නොමැති නම් මේ රට හැමදාම එකම තැනක තිබේවි. මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු අනූවක් තුළ කළ යුතු වැඩ අවුරුදු නමයෙන් නිම කළා. ඒ නිසා සියයට සීයක්ම නෙවෙයි සියයට දෙසීයක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අනුමත කරනවා. එතුමා සමඟ වැඩ කළ හැකි පිරිසක් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව සූදානම් වෙලා ඉන්නේ ඒකයි. එය එසේ සිදු විය යුතුමයි.

මම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටින විට මුල් තැන දුන්නේ අධ්‍යාපනයට. දෙවනුව කෘෂිකර්මාන්තයටයි. අද තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට නම් අධ්‍යාපනයට මුල් තැන දී දක්ෂ තරුණ පිරිසක් බිහි කළ යුතුයි. මම ඒ දේ කළා. අධ්‍යාපනය සෘජුවම කෘෂිකර්මාන්තයට බලපානවා. අද අප ප්‍රදේශ කිහිපයක්ම නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක්ම බිහි වී තිබෙනවා. .

වට්ටක්කා හදන්න කීවාම සියලු දෙනා වට්ටක්කා හදන ක්‍රමය වැරදියි. මේ නිසා කිසි දිනෙක එළවළුවලට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. අවබෝධයක් ඇතිව වගා කළොත් හැමෝටම වාසිදායකයි. මේ සඳහා අප හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. මම ඒ සඳහා සැලසුම් හැදුවේ මම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ දීයි. ඒ සැලසුම් දැන් ක්‍රියාත්මක කරන්න පුළුවනි. සෑම ආයතනකටම මෙය පොදුයි.

සෑම ආයතනකටම ඉදිරි සැලසුමක් තිබිය යුතුයි. අධ්‍යාපනයට බර දුන්නාම අපිට වඩා දරුවන් ඉදිරියට යනවා. අපි පාසල් උත්සවයකට ගිහිල්ලා මොනවාද ඕනෑ කියලා මවුපියන්ගෙන් ඇහැව්වොත් හැමෝම ඉල්ලන්නේ භෞතික සම්පත්. කවරදාවත්ම දක්ෂ ගුරුවරයෙක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. හොඳට උගන්වන්න පුළුවන් පිරිසක් දෙන්න කියලා ඉල්ලන්නේත් නැහැ. දන්සල් දේශපාලනය නතර කරන්න ඕනෑ. මොන මොනවා හරි දෙනවා නම් හොඳයි කියලා කියනවා.

අපේක්ෂකයකුට ඡන්දය දෙන විට ඔහුගේ ක්‍රියා කලාපය ගැන හොයන්න ඕනෑ. මොනවද ඔහු කරල තියෙන්නේ සහ මොනවද ඔහුට කළ හැක්කේ කියලා සොයා බැලිය යුතුයි. ඔහුගේ අධ්‍යාපන තත්ත්වය වගේම හොඳ තීන්දු තීරණ ගැනීමේ හැකියාව මෙන්ම අවබෝධයෙන් වැඩ කළ හැකි දැයි සොයා බැලිය යුතුයි. දැන් වෙලා තියෙන්නේ මොනවා හරි බෙදලා දෙන කෙනාට ඡන්දය දෙනවා. ඒ ක්‍රමය නිවැරදි විය යුතුයි.

බුද්ධිමත් තීරණ

මගේ ආසනයේ සියඹලාණ්ඩුව කොටස ගම්පහ වගේ විශාලයි. වැඩ කරන්න පුළුවන් වෙලාවට වැඩ කරන්න ඕනෑ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරගත්තේ තවත් ජනාධිපති කෙනෙක් පත් කරගන්න ඕනෑ නිසා නොවෙයි. කිසි දිනක දේශපාලනය නොකළ එතුමාගෙන් අපි බලාපොරොත්තු වුණේ මෙතෙක් කරගැනීමට බැරි වුණු වැඩ රැසක්ම ඉටු කරයි කියලා. අද එතුමා ඒ වැඩ කොටස කරමින් සිටිනවා.

මේ රටේ පක්ෂ විපක්ෂ හැමෝම එය පිළිගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවල අය වෙනදාට වඩා අප සමඟ මේ වන විට එක්රැස් වෙලා සිටිනවා. ඒ අය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අගය කරන නිසයි අප සමඟ එක් වී තිබෙන්නේ. ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමටයි කව්රුත් එකතු වෙන්නේ. ජනතාව අද බුද්ධිමත්. හොඳට තීන්දු තීරණ ගන්නවා. මට කවදාවත්ම චෝදනා එල්ල වී නැහැ. මගේ ඉදිරි වැඩපිළිවෙළක් වගේම ඉදිරි සැලසුමක් තිබෙනවා. මා පිළිබඳ ජනතාවට විශ්වාසයක් තිබෙනවා.

අධ්‍යාපනයට මුල්තැන දෙමින් වාරිමාර්ග දියුණු කිරීම මගේ අදහසයි. මේ වන විටත් විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා. ඌව පළාත වැව් ලක්ෂයක් තිබුණු පළාතක්. මේ හැම වැවක් සමඟම කුඹුරු යායක් තිබෙනවා. ගොවියාට හරියට ජලය ටික දුන්නොත් අස්වැන්න වැඩි වේවි. වැව් සුද්ධ කරන විට යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා. වතුර ටික කළමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. වැව් සෑදීම ඉදිරි ආයෝජනයක් වගේම ජාතික ආහාර නිෂ්පාදනයට මහත් රුකුලක්. යටිතල පහසුකම් සපයා දී කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සහ සැලසුම් සකස් කර අවසානයි.

මොනරාගල දිස්ත්‍රික්කයට ග්‍රේඩ් ඒ නිෂ්පාදන දිය හැකි ආර්ථික මධ්‍යස්ථානයක් ලබා දෙන්න කියලා අප වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එවිට තරු පහේ හෝටල්වලට, නැව්වලට සහ ගුවන් යානාවලට ආහාර සැපයීමට හැකියාව ලැබෙනවා. මේ ආර්ථික මධ්‍යස්ථානය ගොවි ජනතාවට වාසිදායකයි. එ වගේම මෙවැනි වැඩපිළිවෙළ මඟින් අපේ පළාතේ දරුවන්ට රැකියා ලැබෙනවා. මේ දරුවන්ට හොඳ දේ දෙන්නේ නැත්නම් ඔවුන් ගමෙන් පිට කොළඹ කුලී වැඩට යාවි.

ඌව විශ්වවිද්‍යාලය ආශ්‍රිතව කෘෂි විද්‍යා පීඨයක් ලබා දෙන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ වන විට එම වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉන් පසු ඇග්‍රෝ මාර්කටින් සහ ඇග්‍රෝ ටුවරිසම් කිරීමටත් සැලසුමේ තිබෙනවා. මේවා කරන්න පුළුවන් වැඩ. වැව් ටික හැදුවාම හරියට ගොවිතැන කෙරෙනවා නම් මේ සියල්ලම තුළින් ගමට මෙන්ම මුළු රටටම විශාල ආර්ථික ශක්තියක් අපට ලබා දිය හැකියි.

පටක භෝග වගාව පිළිබඳව ගොවියාට දැනුමක් ලබා දී එම වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා දීර්ඝකාලීන වැඩසටහන්. මේ සැලසුම් මම හැදුවේ මීට බොහෝ කලකට පෙරයි.

මේ වැඩපිළිවෙළ ජනතාවට ඉතා යෝග්‍ය වැඩපිළිවෙළක් බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා. හොඳ වැඩපිළිවෙළකට, හොඳ සැලසුමකට කවුරුත් උදව් කරනවා. මට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සියලු දෙනාම සහයෝගය ලබා දෙනවා. බොහෝ දෙනා වැඩ කිරීමට කැමතියි.

පස් අවුරුදු සැලැස්මක්

මම පාර්ලිමේන්තුවට තෝරා යැව්වොත් පළමු අවුරුද්ද, දෙවන අවුරුද්ද, තෙවන අවුරුද්ද, හතරවන අවුරුද්ද, පස්වන අවුරුද්ද තුළ මේ පළාතට කරන වැඩපිළිවෙළ සහ සැලසුම් ඉලක්ක දැනටමත් සැලසුම් කර අවසානයි. ජලය, පාරවල්, විදුලිය ආදී සංවර්ධන විශේෂ ව්‍යාපෘති සඳහා ද අවශ්‍ය වැඩ සැලසුම් කර තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කය දියුණු කර, ජනතාවගේ ආර්ථිකය ඉහළ දැමිම මගේ අරමුණයි. මේ සෑම සැලසුමක්ම හදලා තිබෙන්නේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලයි. මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර සෑම පවුලකටම පිරිසුදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මෙවර පොහොට්ටුව පක්ෂය ආසන 140ක් ගන්නා බව පැහැදිලියි. අප්‍රේල් 25 දින පැවැත්වීමට තිබූ මැතිවරණය එදාට වඩා අද අපට වාසියි. මේ කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාවගේ වැඩි ඇල්මක් ඇති වී තිබෙනවා. එය අපට වාසිදායකයි. කොවිඩ් වසංගතය පාලනය කළ ආකාරය නිසා ජනතාව එතුමා ගැන ඉතා පැහැදීමකින් සිටිනවා. ඒ පැහැදීම අනුව එතුමාගේ වැඩපිළිවෙළට සහාය දිය හැකි දක්ෂ පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව තීන්දු කරාවි. මෙවර මැතිවරණ ප්‍රතිඵලය උඩු යටිකුරු කරන මැතිවරණයක්. අපි කිසිවකු බලාපොරොත්තු නොවු දෙයක් සිදු වේවි.

මේ රට අපේ කියලා අපි හිතලා වැඩ කරන්න ඕනෑ වැඩ නොකරන අයට ජනාධිපතිතුමාගෙන් කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ. මේ රටට වැදගත් වන්නේ වැඩ කරන අයයි. දෙපැත්තකට අදින අය සමඟ රටක් ඉදිරියට ගෙන යෑමට බැහැ. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී ජනතාවගේ වගකීම ලෙස සලකා තුනෙන් දෙකක බලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් හිමි කර දී මේ රට ගොඩනැඟීමට දායක වෙන්න ඕන. කලින් පැවැත්වුණු මැතිවරණ මෙන් නොව ප්‍රසිද්ධ දේශපාලනයට වඩා බුද්ධිමත් දේශපාලනය ඉදිරියට පැමිණිය යුතුයි. ප්‍රශ්නය විය යුත්තේ අගමැති කවුරුද යන වග නොව, රටේ නායකයා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට ඒ ප්‍රතිපත්ති අවබෝධයෙන් යුතුව ඉදිරියට ගෙන යෑමට හැකි පිරිසක් එතුමාගේ සහායට සිටිය යුතු බවයි.

පොදුජන පෙරමුණ හැම විටම ජනතාව ආරක්ෂා කරන, ජනතාවගේම පක්ෂයක්. මම මෙවර මොනරාගල දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරග වදින නිසා මේ වන විට සෞඛ්‍ය උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් ජනතා හමුවීම් බොහෝ වේලාවට මධ්‍යම රාත්‍රිය දක්වාම කරන්න සිදු වී තිබෙනවා. මෙවර මැතිවරණයේදී ජනතාව නිවැරැදි තීන්දුවක් ගෙන විජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට සූදානම් බව අද අපට පෙනී යනවා. ජනතාව නියමිත වේලාවට හරි විදියට වගකීම ඉටු කරාවි.

නියමිත වෙලාවට වැඩ

ජනාධිපතිතුමා නියමිත වේලාවට වැඩ කරන කෙනෙක්. ඒ නිසා හැම වැඩක්ම නියමිත වේලාවට කිරීමට අප කාටත් ඉදිරියේදී සිදු වේවි. සෑම ජනතා නියෝජිතයෙක්ම පැවරී ඇති දේ හරි වේලාවට හරි විදියට කළොත් කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ. වැඩ කල් දැමීමට ජනාධිපතිතුමාගෙන් කාටවත්ම ඉඩක් නොලැබේවි. ජනාධිපතිතුමා රටට ආගමට ආදරය කරනවා වගේම ජනතාවටත් ආදරය කරනවා. සෑම විටම එතුමා මුල් තැන දෙන්නේ ජනතාවටයි.

අපි අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන ගමන් අනුන්ට බණින එක නතර කරන්න වෙනවා. අනවශ්‍ය වියදම් සියල්ලම කපා හැර අපි ජනාධිපතිතුමා වගේ සරල ජීවිතයකට හුරු වෙන්න ඕනෑ. මේ රට දියුණු කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට සහ එම වැඩපිළිවෙළට එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට හැකි අවංක ඉතා කඩිනමින් වැඩ කළ හැකි පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යවා මේ කාර්යයන් සඳහා ජනතාවගේ දායකත්වය ලබා දෙන්න කියලා මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

චිත්‍රාරත්න කළුආරච්චි
හිදෝගම සමූහ 


මැතිවරණ ජයග්‍රහණය ගැන කිසි සැකයක් නැහැ

$
0
0
ජුනි 19, 2020 01:00

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක,මහර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, ලසන්ත අලගියවන්න

* පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම නිසා පොදුජන පෙරමුණු ආණ්ඩුවට විශාල ජන ප්‍රසාදයක් තිබෙන බව පෙනුණත් පසුගිය මාස කිහිපයේ දී ආණ්ඩුවේ ජන ප්‍රසාදය පහළ ගොස් ඇති බවට විපක්ෂය කියනවා?

ඒ අය හිතේ සැනසීමට එහෙම කියනවා ඇති. ඒත් ඇත්ත තත්ත්වය ගොඩක් වෙනස් එදා ජනතාව විශ්වාස කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළයි. ගෙවුණු මාස කිහිපයේ අභියෝග රැසක් මැද මේ ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා රටට ලොකු වැඩ කොටසක් කළා. කොරෝනා වසංගතය වෙලාවේ විපක්ෂය හිතුවා රට ලොකු ආර්ථික අවුලකට යයි කියලා. ඒත් ආණ්ඩුවට කොහොම හරි ජනතාවට සහන ලබා දෙමින් රටත් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටත් කොරෝනා උවදුර පාලනය කිරීමත්, රට ආර්ථික වශයෙන් ඉක්මනින් ගොඩනගන්න ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ ඇත්ත වහන්න විපක්ෂය උත්සාහ කරනවා. ඒ නිසා තමයි ඒ අය, ආණ්ඩුව ජනප්‍රිය නැහැ ජනප්‍රියත්වය පහළ ගිහින් කියල කියන්නෙ.

* විපක්ෂය මතු කරන තවත් තර්කයක් වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පසුගිය කාලයේ වැඩි වෙලා කියල. ඒ තර්කයේ සාධාරණත්වයක් තියෙනවා ද?

විවිධ භාණ්ඩවල මිල ගණන් ඉහළ-පහළ යාම කාලයෙන් කාලයට වෙනවා. උදාහරණයක් විදිහට අර්තාපල් මිල ගනිමු. අල අස්වැන්න වැඩි කාලයේදී අල මිල ඉහළ යනවා. අස්වැන්න නෙළා නොගන්නා කාලයට මිල යම් පමණකට ඉහළ යනවා. ඒ කාලයට අර්තාපල් ආනයනය සිදු කරනවා. එමඟින් තමයි මිල පාලනය කිරීමට පුළුවන් වෙන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. එහෙත් දේශපාලන වශයෙන් එල්ලෙන්න වැල් නැති අය තමයි බඩු මිල කියන මාතෘකාවේ එල්ලෙන්නෙ.

* ආණ්ඩුව බලයට පැමිණියේ රටේ විනය ඇති කිරීම, අපරාධ මර්දනය වැනි කරුණුවලට මුල් තැන දීමට. එහෙත් පසුගිය සති කිහිපයේ පතාල ක්‍රියාකාරකම්, පහර දීම් වැනි දේ ඉහළ ගියා. එයට හේතුව රටේ අපරාධ මෙල්ල කිරීමට විනය ඇති කිරීමට නොහැකි වීම බවයි පෙනෙන්නේ?

හුදෙකලා සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් සමහරු මේ මතය ඇති කරන්න හදනවා. ඒත් ඒ අදහස වැරැදියි. ඉහළම ආරක්ෂාවක් තිබුණත් සිදුවීමක්, දෙකක් වෙන්න පුළුවන්. අපට අති දක්ෂ පොලිසියක් ඉන්නවා. ත්‍රිවිධ හමුදාව ඉහළ දක්ෂතා ඇති විනය ගරුක හමුදාවක්. ඒ නිසා රටේ ආරක්ෂාව බිඳ වැටීමක්, පාතාලයේ හිස එසවීමක් වෙන්න ඉඩක් නැහැ. අගමැතිතුමා ජනාධිපතිවරයා ලෙස සිටියදී තමයි ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළේ. එදා ඒ සටනේ ලොකුම කාර්යභාරය ඉටු කළ ආරක්ෂක ලේකම්වරයා තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. ඒ නිසා රටේ ආරක්ෂාව ගැන කිසිවකු අබමල් රොනක සැකයක් තියාගන්න ඕනැ නැහැ.

* මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙළ කුමක්ද?

අපේ වැඩපිළිවෙළ තමයි ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ. එය මෙරට ලක්ෂ හැට නවයක ජනතාවක් අනුමත කළා. අපි මෙවර ජනතාව ඉදිරියට යන්නේ ඒ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට සහ ඉදිරි අවුරුදු පහ ඇතුළත මේ වැඩපිළිවෙල ඔස්සේ රට ස්ථාවර තැනකට පත් කිරීමට ජන වරමක් ඉල්ලන්නටයි.

ජනතාව මේ වැඩපිළිවෙළ අනුමත කළා පමණක් නොවෙයි ඔවුනට හැකි අයුරින් ඒ සඳහා දායක වෙමින් සිටිනවා. දැනටමත් කෘෂිකර්මය ශක්තිමත් කරන්න ස්වේච්ඡාවෙන්ම ජනතාව පුරන් කුඹුරු අස්වැද්දීම, ගෙවතු වගාව වැනි අංශ වෙත යොමුව තියෙනවා. ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ රට තුළ සැබෑ වෙනසක් ඇති කිරීමටයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට තුළ මේ වෙනස වෙයි කියලා ජනතාවට විශ්වාසයි.

* ඔබ නියෝජනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ තුළ විවිධ අරියාදු සිදුවන බවට සමාජයේ අදහසක් තියෙනවා?

අප පටු විදිහට හිතන කණ්ඩායමක් නොවෙයි. අපේ පක්ෂය හැම වෙලාවෙම කල්පනා කරන්නේ රට ගැන. 2019 ජනාධිපතිවරණයේ දී අප වැඩ කළේ ප්‍රතිපත්තිගරුකවයි. පැවැති දේශපාලන වාතාවරණය වෙනස් කර අලුත් වැඩපිළිවෙළක් ගෙන එන්නයි. ජනතාව අපේක්ෂා කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව අප දේශපාලන පක්ෂයක් විදිහට තීන්දු කළා.

ඒ නිසා තමයි අප එදා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි රහිතව කැප වුණේ. අපට ලොකු තෘප්තියක් තියෙනවා ඒ ගැන. ගෝඨාභය රාජපක්ෂ මහතාට රට නිසි මඟ ගෙනියන්න පුළුවන් කියලා අපට විශ්වාසයි. ඒ නිසා තමයි අප මෙවර පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරග කරන්නේ. අපේ එකම අරමුණ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරාම ක්‍රියා කළේ බලය පමණක් ලබා ගැනීමේ චේතනාවෙන් නොවෙයි. රටට හොඳ දෙයක් කළ යුතුයි, හොඳ වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි කියන අදහස ඇතිවයි. අප අදත් රටට යහපත් වැඩපිළිවෙළක් වෙනුවෙන් ඉදිරිපත්ව සිටින්නේ. ඒ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළයි.

* එක්සත් ජාතික පක්ෂයේ ඇතිව තිබෙන බෙදීම නිසා එහි වාසිය ආණ්ඩුවට ලැබෙන බව ආණ්ඩු පක්ෂය හිතුවත් ඊළඟ අගමැතිවරයා තමන්ගෙන් බවයි විපක්ෂය කියන්නේ?

පක්ෂයක් ඇතුළේ බෙදීම් අපට වාසියක් බවට හරවා ගත යුතු නැහැ. අපට ආණ්ඩුවක් විදිහට වැඩපිළිවෙළක් තියෙනවා. අනෙක එදා එක්සත් ජාතික පක්ෂය මුළු ශක්තිය යොදවා ජනාධිපතිවරණයට මුහුණ දුන්නා. එහෙත් ඔවුන් පරාජය වුණා. ඒ නිසා අපට අද මැතිවරණ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැහැ. අපේ අරමුණ වෙලා තියෙන්නේ මැතිවරණ ජයග්‍රහණය නොවෙයි මැතිවරණයෙන් පසු රට ගොඩනැගීම.

*ආණ්ඩු පාර්ශ්වයට නැ‍ඟෙන තවත් චෝදනාවක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?

ජනාධිපතිතුමා බලයට පැමිණි දා සිට විරෝධතාකරුවන් සමඟ ඉතා සුහඳව කටයුතු කළා. කිසිම වෙලාවක වතුර පහරක්වත් එල්ල කළේ නෑ. ආණ්ඩුව හැම වෙලාවෙම බැලුවෙ දියුණු රටවල වගේ සුහදව විරෝධතාකරුවන්ගේ ප්‍රශ්න කතා කිරීමටයි. එක වෙලාවක සරසවි දරුවන් සමඟ තේ පානය කරමින් ඔවුන්ගේ ගැටලු ගැන කතා කර විසඳුමක් ලබා දීමට තරම් බලධාරීන් නිහතමානී වුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැහැ කියන එක වැරැදියි. ජනාධිපතිතුමා නිතරම බහුතර මතයට සවන් දෙනවා. අද ආණ්ඩුවට චෝදනා එල්ල කරන අය එක් හුදෙකලා සිදුවීමක් ගැන තමයි මතු කරන්නෙ. අප හැම වෙලාවෙම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් විපක්ෂයට ඕනෑකමක් තියෙනවා දේශීයවත්, අන්තර්ජාතිකවත් මේ වැරැදි මතය අරන් යන්න. ඒත් ඒ සියල්ල බොරු කියල ජනතාව දන්නවා.

* රටේ ආර්ථික තත්ත්වය අස්ථාවර බව විපක්ෂය කියනවා?

ආර්ථික අමාරුකම් එක පාරට ආව දේවල් නොවේ. ඒවාට දේශීය සහ විදේශීය හේතු රැසක් තියෙනවා. අප ආණ්ඩුවක් විදිහට මේ තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමා මේ කටයුත්තට ඍජුව මැදිහත් වෙලා ඉන්නවා. 2007 වගේ කාලයෙත් රටට ලොකු ආර්ථික අර්බුදයක් ආවා. එදා බලයේ සිටියෙ මහින්ද ජනාධිපතිතුමා. යුද්ධයක් කරන අතර ඒ ආර්ථික අර්බුදය ජය ගන්න අපට පුළුවන් වුණා. ඒ නිසා වර්තමානයේ ඇතිව ඇති තත්ත්වයටත් අපට විසදුම් තියෙනවා. අප මේ ගමන යන්නෙ සැලසුම් සහගතව ඒ නිසා මේ අවුල් ලිහන්න අපට පාර්ලිමේන්තුවේ ස්ථාවර බලයක් අවශ්‍ය කරනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න එතුමාට ස්ථාවර පාර්ලිමේන්තු බලයක් දෙන්න ඕනෑ.

* ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කෘෂි බෝග වන්නේ පොල් අන්නාසි වැනි දේවල්. මේවා වගා කරන අයට රජයෙන් ප්‍රමාණවත් සහයක් නැති බවට චෝදනා කරනවා?

ඒ අදහස වැරැදියි. අප තමා ගොවියා ගැන වගේම දේශීයකම ගැන කල්පනා කරන්නෙ. ආණ්ඩුවට ගොවියාගේ ජීවිතය ශක්තිමත් කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. තාම පටන් ගත්තා පමණයි. අනාගතයේ දී ගම්පහ පමණක් නොවේ රටේම ගොවියාට හොඳ කලක් ලබනවා. ඒත් ආණ්ඩුවට විරුද්ධ සුළුතරයක් ගොවියා අවුල් කිරීමටත්, ඔවුන් නොමඟ යැවීමටත් කටයුතු කරනවා. එහෙත් ජනතාව ඇත්ත නැත්ත හොඳින් දන්නවා.

උදිත ගුණවර්ධන

අලුත් දේශපාලන ගමනකට අප සූදානම්

$
0
0
ජුනි 19, 2020 01:00

සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම

* ආණ්ඩුව පසුගිය කාලයේ අභියෝග රැසක් මැද ලොකු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා කොරෝනා වසංගතය පාලනයට නතු කර ගැනීම ආර්ථික අභියෝග පාලනය කිරීම යන කරුණුවලදී සාර්ථකව තිබෙනවා. මෙය ආණ්ඩුව ලැබූ ජයග්‍රණයක් නොවේද?

මේ ආණ්ඩුව බලය ගත්තෙ මාධ්‍ය මඟින් බොරු කියල බොරු ප්‍රතිරූපයක් හදලා. ඒත් දැන් දැන් මේ ආණ්ඩුව බොල් පිළිමයක් කියලා ජනතාවට අවබෝධ වෙමින් තියෙනවා. ඒ නිසා පැයෙන් පැය ජනතාවට යථාර්ථය වැටෙහෙමින් තියෙනවා. ඒ නිසා අගෝස්තු මැතිවරණයේ දී ආණ්ඩුවට ඔවුන් සිතන ආකාරයේ වාසියක් ලබා ගන්න බැහැ. දැන් ආණ්ඩුවට 2/3 නොවෙයි 113 බහුතරයවත් ගන්න බැරි තැනකයි ඉන්නේ.

* ඔබ ඔවැනි අදහසක් පළ කළත් කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථකයි. රට තුළ ඒ ගැන ලොකු පිළිගැනීමක් තියෙනවා?

කොරෝනා වසංගතය පාලනය කිරීමේ ගෞරවය දේශපාලන පක්ෂයක් වෙත ආරෝපනය කර ගන්න හදනවා නම් එතැනම ලොකු වරදක් තියෙනවා. ආණ්ඩුව ආරම්භයේ දී මේ වසංගත තත්ත්වය ගැන ලොකුවට හිතුවේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා ජනවාරි මාසයේ දී ඇති විය හැකි වසංගත තත්ත්වය ගැන කතා කරද්දි සෞඛ්‍ය ඇමැතිතුමිය හිනා වුණා. ආණ්ඩුවේ සෙසු අයත් ඔහුගේ අදහසට ගරු කිරීම වෙනුවට කළේ සරදම් කිරීම පමණයි. ඒත් මාස කිහිපයක් යද්දි රටටම තේරුණා සජිත් මහතා කී කතාව ඇත්ත කියල. ඒ නිසා කොරෝනා වසංගතය යම් පාලනයකට යටත් කර ගැනීමට හැකියාවක් ලැබුණේ ආණ්ඩුවේ තනි උත්සාහය නිසා නොවෙයි.

එහි ගරුත්වය සුව සේවා කාර්ය මණ්ඩලවලට ආරක්ෂක අංශවලටත් හිමි වෙනවා. ඔවුන් ලොකු කැප වීමක් කළා. අද රට යම් ස්ථාවර තත්ත්වයක තියෙන්නෙ ඒ නිසයි. ගුවන්තොටුපළ වැසීම වැනි දේවල් නිසි වෙලාවට කළා නම් අපිට මේ ප්‍රශ්නය තවත් සාර්ථක ලෙස කළමනාකරණය කර ගන්න තිබ්බා.

* ආණ්ඩුවේ අඩුපාඩු පමණක් පෙන්වා දෙමින් ඔබ පාර්ශ්වය විවේචනය කරන්නේ කුහක හිතින් බව ආණ්ඩුවට හිතවත් පිරිස් ප්‍රකාශ කරනවා?

අපි කුහක නෑ. ඒත් ඇත්ත කියන්න වෙනවා. දැන් ආණ්ඩුව බලයට ඇවිත් මාස හයකටත් වැඩියි. ඒත් ඒ අය දුන්නු කිසිම පොරොන්දුවක් හරියාකාරව ඉටු කර නැහැ.

ස්ථිර වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් නැහැ. උදේ කියන එක හවසට වෙනස් කරනවා. ඒ වගේ ආණ්ඩුවක් හොඳයි විශිෂ්ටයි කියන්නේ කොහොමද? අඩුපාඩු පමණක් නොවෙයි මේ මාස හයට රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ආපසු ගමනකට රට යොමු කර තියෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය හැකිලෙනවා. ආණ්ඩුව ඇතුළේ ඒකමතිකභාවයක් නැහැ. ඒ වගේ ආණ්ඩුවකට රටක් දියුණුව වෙත යොමු කරන්න බැහැ. යහපාලන ආණ්ඩුවට විරුද්ධව එදා විපක්ෂයේ සිටි අය ආණ්ඩු පාර්ශ්වයට මේ චෝදනා එල්ල කළා. ඒත් දැන් පැහැදිලියි එදා තිබ්බ ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව කොච්චර අසාර්ථක ද කියල. ජනතාව එදා මේ ආණ්ඩුව බලයට ගෙනාවේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. ඒත් අද වෙද්දි ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය කඩවෙලා තියෙනවා කියන එක බොරුවක් නම් කඩපොළට ගිහින් බලන්න. සමාජය අතරට ගිහින් බලන්න එදා තිබුණු ජනතා මනාපය අද ආණ්ඩුවට තියෙනවාද කියල.

* 2015 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාව බලය ලබා දුන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. ඒත් අවුරුදු හතර හමාරක් යද්දි එජාපය ජනතාව අතරින් දැඩි ලෙස ප්‍රතික්ෂේප වුණා. එජාප ආණ්ඩුව රටට වැඩ කළා නම් ජනතාව කෙටි කාලයක දීම ඔබ නියෝජනය කළ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේ ඇයි?

අපේ ජනතාව තුළ ලොකු අඩුවක් තියෙනවා. ඒ තමයි ක්ෂණිකව දේවල් බලාපොරොත්තු වෙන එක. ඔවුන්ට දිගු කාලීන ව්‍යාපෘති පල දරන තුරු ඉවසන්න බැහැ. යහපාලන ආණ්ඩුවත් පසුගිය කාලයේ දිගු කාලීන ප්‍රතිඵල ගන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒත් ජනතාව ඒක තේරුම් ගත්තේ නැහැ. 1977 දී බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවත් රටට හිතකර දිගු කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒත් ඒ වැඩපිළිවෙළත් මිනිස්සු තේරුම් ගත්තෙ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ මැතිණියගේ ආණ්ඩුව පරාජය වීම. මැතිණියගේ වැඩපිළිවෙල ඉදිරියට ගියා නම් රට මීට වඩා හොඳ ගමනක් යනවා කියලා අද වුණත් මැදහත්ව හිතන අය දන්නවා.

* ආණ්ඩු පක්ෂය තුළ පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කරද්දී එක්ව සිටි එක්සත් ජාතික පක්ෂය පාර්ශ්ව දෙකක් විදිහට තරග කරනවා. මෙහි වාසිය යන්නේ ආණ්ඩුවට නේද?

ඔබ කියන ආකාරයේ කොටස් දෙකකට බෙදී යාමක් එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වෙලා නැහැ. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් සියයට අනුවක් සිටින්නේ සමඟි ජන බලවේගය සමඟයි. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරය ඉන්නෙ අපත් එක්ක. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය සමඟි බලවේගය තුළයි ඉන්නේ. අනෙක සමඟ ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතවයි ඇති කළේ. අප මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුවට විරුද්ධව සිටින සියලු පක්ෂ එක්කර ගන්නවා. එජාපයේ ජනතාවාදී ප්‍රතිපත්ති වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනියන්නයි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමඟි බලවේගය නිර්මාණය කළේ.

* මැතිවරණයට දින නියම වීමත් සමඟ සමඟි ජන බලවේගයේ සමඟිය නැති වෙමින් තිබෙන බව පෙනෙනවා. පක්ෂයේ අපේක්ෂකයන් පක්ෂය හැර යමින් සිටිනවා?

අද ආණ්ඩුව දන්නවා ඒ අයට ඇත්ත දේශපාලන අභියෝගය එන්නෙ කොහෙන්ද කියලා. ඒ නිසා තමයි අපට ඔවුන් පහර දෙන්නේ. අද එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට අභියෝගයක් නැහැ. ඒ නිසා අද එජාපය සමඟ ගැටුමකට ආණ්ඩුව යන්නේ නැහැ.

ආණ්ඩුවේ ජන ප්‍රසාදය අඩුවීම නිසා ඔවුන් දන්නවා තමන්ගේ අනාගතය එච්චර සුබ නැහැ කියලා. ඒ නිසා තමයි ජන මනස වෙනස් කරන්න මේ විදිහේ සෙල්ලම් දමන්නේ.

* සමඟි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

අප පක්ෂය දේශපාලනය කරන්නේ ජනතාව ගැන විශ්වාස තබමින්. පවුල් බලයක් ඇති කිරීම හෝ එක් මිතුරු කණ්ඩායමකට සීමා වූ පිරිසක් නොවෙයි. දක්ෂයන්ට තැන දෙන සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින අතර පොඩි මිනිහාට සලකන, උගතුන් බුද්ධිමතුන් එක් කරගත් අලුත් දේශපාලන ගමනක් සඳහා තමයි අප සූදානම්ව සිටින්නේ. අනාගතයේ දී අපේ මේ වැඩපිළිවෙළට ජනතා අනුමැතිය ඉහළින්ම හිමිවන බව විශ්වාසයි.

* සමඟි ජන බලවේගය නැවත එක්සත් ජාතික පක්ෂට නැඹුරු වෙමින් තිබෙන බවට එජාපය කියනවා?

ගමට ගිහින් බලන්න කවුද පොහොට්ටුවේ අනෙකා කියලා. කිසිම තැනක එක්සත් ජාතික පක්ෂයක් නෑ. සමඟි බලවේගයට තමා ආණ්ඩු විරෝධී බලවේග නැඹුරු වෙමින් තියෙන්නෙ. එක්සත් ජාතික පක්ෂය කියන නමත්, සිරිකොත කියන ගොඩනැගිල්ල එජාපයේ සුළුතර පිරිස සතු වුවත් ප්‍රතිපත්ති, පාක්ෂිකයන් සමඟි බලවේගය සතුවයි තිබෙන්නෙ. අපේ තරගය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය එක්ක නෙවෙයි, පොදුජන පෙරමුණු ආණ්ඩුව එක්කයි. ආණ්ඩුව පරාජය කරන වැඩපිළිවෙළ අපි දැන් ක්‍රමානුකූලව දියත් කරලා තියෙන්නෙ. ඒ සාර්ථකත්වය දේශපාලන ඉවක් තියෙන පොදුජන පෙරමුණු නායකයන්ට දැනිල ඉවරයි. ඒ නිසා තමයි ඔවුන් අපට දිගින් දිගටම දේශපාලන ප්‍රහාර එල්ල කරන්නෙ. මොන අභියෝග ආවත් අප නුදුරේදීම පොදුජන පෙරමුණේ පවුල්වාදී පාලනය පරාජය කර කුසලතාවට තැන දෙන තරුණයන් මූලික කරගත් අලුත් පාලන රටාවක් ඇති කරනවා. ඒ පොදු සටනට එක්සත් ජාතික පක්ෂයටත් අපි ඇරියුම් කරනවා.

* ගම්පහ දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ නායකයකු විදිහට ඉදිරි මැතිවරණයේ ජනතා හැසිරීම මොන වගේ වෙයි කියල හිතනවද?

පොදුජන පෙරමුණට පහුගිය ජනාධිපතිවරණයේ දී ලැබුණ විශාල ජන්ද ප්‍රමාණයක් මෙවර අහිමි වෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් අපට එකතු වේවි. තවත් කොටසක් ජවිපෙට යාවි. ඉතිරිය නිහඬ වේවි. ඒ නිසා අපට හොඳ තරගයක් දෙන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ජනාධිපතිතුමා විශ්වාස කරන පිරිසක් ඉන්නවා ඔවුන් බලාපොරොත්තු වුණේ මේ මහ මැතිවරණයට උගත් වියත් පිරිස් ඉදිරිපත් වේවි කියල. ඒත් ඇවිත් තියෙන්නෙ මිනිස්සු එපා කියන අය, නැත්නම් ඒ අයගෙ නෑදෑයො. මේ හැම කරුණක්ම ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵලයට බලපානවා.

* ඒත් ආණ්ඩුව කියන්නෙ විපක්ෂ හීන දකිනව කියල?

හීන නෙවේ. මේ ආරම්භ වෙලා තියෙන්නෙ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අවසානයක ආරම්භය. අප ලෑස්තියි රට අලුත් මාවතට යොමු කරන්න. සමඟි ජන බලවේගය තමයි මීළඟ ආණ්ඩුව පිහිටුවන්නෙ.

උදිත ගුණවර්ධන

මුස්ලිම් තරුණයන් ද තරුණ සමිතියට කැන්දූ පෝරුතොට පියතුමා

$
0
0
ජුනි 19, 2020 01:00

(ඊයේ අවසන් කටයුතු සිදුකෙරුණු කොළඹ අගරදගුරු පදවියේ සේවය කළ පෝරුතොට රේමන් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් පියනම වෙනුවෙන් තැබූ සටහනකි)

"පෝරුතොට පියතුමා ගැන කතා කරන විට මට සිහි වන්නේ කරණීය මෙත්ත සූත්‍රයයි. ඒ සූත්‍රයේ තියෙන යහපත් ගතිගුණ සියල්ල පෝරුතොට පියතුමා ළඟ තියෙනවා. මම කෝට්ටේ ශාන්ත තෝමස් දෙව් මැදුරේ පූජා උදව් සමිතියෙත් හිටියා. මට මතකයි ඒ කාලෙත් උන්වහන්සේ ජීවත් වූයේ හරි සැහැල්ලුවෙන්. ඒ කියන්නේ පියතුමා කිසි දෙයක් බදාගෙන හිටියෙ නෑ.

බෞද්ධ ආගමිකයන් සමඟ දැඩි බැඳීමක් එතුමාට තිබුණා. ඒත් ඒ බැඳීමෙන් කිසිඳු හානියක් කිතුනු දහමට සිදු වුණේ නෑ. ඇතැම් අවස්ථාවල එතුමාගේ ක්‍රියා විප්ලවකාරී වුණා. සිංහල - බෞද්ධ සංස්කෘතියට උරුමකම් කී ඇතැම් සංස්කෘතිකාංග පියතුමා පල්ලියට එකතු කර ගත්තා. වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද අපි ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන්.

ඒ වගේම තරුණයන් නොමඟට යැවීම නැවැත්වීමට ක්‍රීඩාව මහෝපකාරී වන බව ඉගැන්නුවේ උන්වහන්සේ. ඇත්තටම ක්‍රීඩාව නිසා 88/89 භීෂණ යුගයේ අපේ ගමේ තරුණයන්ගේ ජීවිත හුඟක් ආරක්ෂා වුණා. ජාති ආගම් භේදයකින් තොරව ගමේ තරුණයන් පල්ලියේදී බාස්කට් බෝල් ක්‍රීඩාව කළා. ඒ විතරක් නොවේ, මේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තලයට යන්න පවා පියතුමා අපට උදවු කළා."

උක්ත සටහන උපුටා ගත්තේ ‘අර්නස්ට් පෝරුතොට - පුදැදුරු ප්‍රණාම’ කෘතියට මා විසින් ලියන ලද, “පෝරුතොට පියතුමා සහ කරණීය මෙත්ත සූත්‍රය” නම් වූ ලිපියෙනි. උක්ත සහතිකය දෙනු ලැබු‍වේ කිතුනු පවුලක උපත ලබා පල්ලියේ පූජා උදව් සමිතියේ සාමාජිකයකුව සිට, පසුව මහණ දම් පිරීම, තම එකම තෝරා ගැනීම කර ගත් කෝට්ටේ විසුද්ධි හිමියන් විසින්ය. සිය මහණදම් පිරීමේ කැමැත්ත උන්වහන්සේ මුලින්ම පවසා සිටියේ පෝරුතොට පියතුමා වෙතය. පියතුමාගේ ආශිර්වාදය එවෙලෙහිම හිමි වූයේය. එහෙත් සිය පුත්‍රයා බුදු මඟ යෑමට ගත් තීරණයෙන් කලබල වූ මව්පියෝ පල්ලියට දිව ආහ. ඔවුන් පිටව ගියේ සන්සුන් ගමනිනි. පෝරුතොට පියනම නම් එලෙසය. කිසිවකු සිය ආගම වෙත බා ගැනීමට උන්වහන්සේ කටයුතු නොකළ සේම සිය ආගම අතැර වෙනත් ආගමකට ඇතුළු වන්නට තීරණය කළ කිතුනුවකුට අකුල් නොහෙළුවේ, මානව අයිතීන්ට ගරු කිරීම එතුමා තුළ තිබූ උතුම් ගුණධර්මයක් නිසාය.

මෙකල ඇතැම් මුස්ලිම් තරුණයෙක් අධි බලැති බෝම්බවලින් සිය කය බර කරගෙන කිතුනු පල්ලිවලට ඇතුළු වුවද, එකල පෝරුතොට පියතුමා වාසය කළ ඇතැම් දේවස්ථානයකට මුස්ලිම් තරුණයන් ඇතුළු වූයේ මානව දයාව පෙරටු කරගෙනය. එවැනි දෙයක් සිදුවූයේ කෙසේද? වරෙක උන්වහන්සේ හමු වූ අවස්ථාවක මම උන්වහන්සේ විමසූවෙමි.

“තරුණයෝ කියන්නේ තරුණයන්ට. එහෙම නැතිව ආගමකට හෝ ජාතියකට නොවේ. ඒ නිසා සෑම ආගමකම තරුණ තරුණියන් අපේ තරුණ සමිතියට එකතු වුණා.” නිවුණු හඬින් උන්වහන්සේ පැවසූහ. කිතුනු, බොදුනු, මුස්ලිම්, හින්දු සහජීවනය පැවතියේ උන්වහන්සේගේ මෙකී සමානාත්මතාව මත මිස ආගම් ජාති අනුව නොවේ. ඒ අනුව 88/89 භීෂණ අඳුරින් මංමාවත් වැසී ගිය නමුදු වතුපිටි හරහා විත් වැට පැන ගත් කිතුනු, බෞද්ධ, මුස්ලිම්, හින්දු තරුණයෝ කෝට්ටේ දේවස්ථානයට ඇතුළු වූහ. ඔවුහු කැරලිවලට එකතු නොවූහ. “මහ සිකුරාදා” දින කිතුනුවන්ට ඉතා වැදගත් දිනයකි.

එදින පවත්වන මෙහෙයට කල් තියා සූදානම් වීමට තරුණ තරුණියෝ දේවස්ථානයට ඇදෙති. බයිබලීය කොටස් පුහුණු වෙති. මේ සියල්ල කළද ඇතැමකු එදින මෙහෙයට එන්නේ ප්‍රමාද වෙලාය. කවුරු ප්‍රමාද වුවද පියතුමා වෙලාවට මෙහෙය පටන් ගන්නේය. පුහුණු වූ අය මඟ එන ගමන්ය. එහෙත් වෙනකෙක් ගීතවත් හඬින් යාච්ඤා ගයන්නේය. ඒ ඇතැම් විට බෞද්ධ තරුණයෙකි; බෞද්ධ තරුණියෙකි. ප්‍රමාදවෙන්නා මෙහෙය අවසානයේ බැනුම් ඇසීම වෙනම කාරණාවකි. එහෙත් වැඩය නිසි ලෙස අවසන් වන්නේය. සහජීවනය ගැන වූ පාලකයන්ගේ බොල් ව්‍යාපෘති සුළඟේ ගසා යන විට සැබෑ සහජීවනය ඇති කරන්නට පියතුමා කටයුතු කළේ එලෙසය.

බෞද්ධ තරුණ තරුණියෝ පමණක් නොව බෞද්ධ වැඩිහිටියෝද පල්ලියට ආහ. ඒ පත්තර ලෑල්ල වෙතය. එමෙන්ම ආගම් ‍භේදයකින් තොරව පල්ලියට ආවේ පණ ඇත්තෝ පමණක් නොවෙති. පණනැත්තෝද ආහ. එය එසේ වූයේ කෙසේද? මිය ගිය පසු දේහය තැබීමට ඉඩක් ඇති ගෙයක් තබා ප්‍රජා ශාලාවක්ද නැති ගම් පියෙසි විය. එවැනි ගම්වල වැසියන්ට සිය මළගිය ඥාතින්ගේ දේහය තබා ගැනීමට කුඩා ප්‍රජාශාලාවක් පල්ලිය වත්තේ තැනක තැනීමට පියතුමා කටයුතු කළේය. මියගිය වෙනත් ආගමිකයෝ සිය කය පස තුළ සඟවාගන්නා තෙක් ඒ සෙවණ යට සැතපී සිටියහ.

උන්වහන්සේ ගැනත් බුදු දහම ගැනත් මනා අවබෝධයක් ඇති කෘතහස්ත ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන මහත්මිය වරෙක පියතුමා ගැන තැබූ සටහනක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

“තාපසයකුට, පැවිද්දකුට බාහිර ලෝකයෙන් සමුගෙන ලෞකීය කාර්යයන්හි නොඇලී ක්‍රියාත්මක වීමට කැඳවීමක් පැවරෙන නමුදු, රදගුරු වසමක සේවයේ නියුතු පැවිදි හෝ තාපස නොවන පූජකයකුට සමාජය ඇසුරු කරමින්ම ඊට බද්ධ නොවී, ක්‍රියා කිරීමේ අවස්ථාව ඇත. ලෝකය තුළ දිවි ගෙවමින් ලෞකිකත්වයේ නොඇලී, නොගැටී වඩා යහපත් වූ හෙට දවසක් සඳහා ලෝකය වෙනස් කිරීමේ කාර්යයට අතහිත දීමේදී එක්තරා ප්‍රමාණයකට ලෝකය හා මුහුන් වීමටද සිදුවෙයි. පැවිදි පුද්ගලයකුට සාමාන්‍ය ජනතාවගේ භෞතික වටිනාකම්වලට අභියෝග කළ හැක්කේද එවැනි ජීවන රටාවක් තුළිනි. මෙය එක්තරා අාකාරයකින් බුදු දහමේ සඳහන් වන පියුමේ උපමාවටද සැසදෙන්නකි. මඩේ ඉපදී, මඩ ගොහොරුවේ පෝෂණය ලබමින්, මඩේ නොගෑවී සුපුෂ්පිත වන් නෙළුම් පිළිබඳ බුදු දහමේ බොහෝ විට සඳහන් වෙයි.

පෝරුතොට පියතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසාමාන්‍ය පූජකවරයෙකි. අසාමාන්‍ය පුද්ගලයෙකි. කවදත් ලෝකයේ හැඩතල වෙනස් කළේ ලෝකයට නව මානයක් දැක්වූයේ අසාමාන්‍ය පුද්ගලයන්මය. කතෝලික වන්දනාව මෙන්ම චින්තනයද දේශීයත්වය වෙත නැඹුරු කිරීමට එතුමා අනුගමනය කළ ප්‍රසන්න පිළිවෙත ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට විවර කළ කවුළුවක් වූණේය. එය උත්කර්ෂයට පත් වූයේ හය වන පාවුලු පාප් වහන්සේගේ ලංකාගමනය තුළිනි. එදා කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය රැලි පාලම්, නෙළුම් මල්, පොල් තෙල් පහන් ආදියෙන් සැදුම්ලත් වේදිකාවකින් අලංකෘත විය. පල්ලිය තුළට මඟුල් බෙර වාදකයන් ගෙන්වා ගෙන බෙර හඬ ගිගුම් දෙද්දී ජය මංගල ගී සජ්ඣායනා කොට‍, කතෝලික දේව මෙහෙයේ නව සන්ධිස්ථානයක් සලකුණු කළ පුද්ගලයා ලෙස ඉතිහාසගත වී සිටින්නේද පෝරුතොට පියතුමාය.

(2007 ජනවාරි 15 - දෙසතිය)

පියතුමා සහ අන්‍ය ආගමිකයන් අතර වූ අවබෝධය මෙන්ම අන්‍ය ආගමිකයන්ට හා ජාතීන්ට ගරු කළ ආකාරය පිළිබඳ කතාන්දර තව අැතත් එතුමා ගැන අවබෝධ කරගන්නට මේ කරුණු වුවද ප්‍රමාණවත් යැයි සිතේ.

කිතුනුවකු හැටියට මා ක්‍රිස්තුන් වහන්සේ දකින්නේ විප්ලවවාදී චරිතයක් ලෙසය. පැවිදි පූජක පිරිස් බොහෝ වුවද‍, ජේසු තුමා ආදර්ශයට ගත් පැවිදි පූජක පිරිස් සිටින්නේ ස්වල්ප දෙනෙකු යැයි මට සිතේ. ඒ කිහිප දෙනා අතරින් පෝරුතොට නාමය ඉහළින්ම දිදුලන්නේය. දේශීය කලාව පල්ලිය වෙත ගෙන ඒමට කටයුතු කිරීම පියතුමාගේ විප්ලවකාරී ජීවිතයේ එක් අංශුවක් පමණි. උන්වහන්සේ ජීවිත වෙනස් කිරීමට මෙන්ම ජීවිත නඟා සිටුවීමට කළ විප්ලවය ඊට වඩා බෙහෙවින් උසස් තලයක පවතින්නකි.

ජේසු තුමා යාච්ඤාවේ නිරත වූයේය. එහෙත් ඒ පැය විසි හතර තුළම නොවේ. උන්වහන්සේ නිතර ගැවසුණේ පීඩිතයන් අතරය; පවුකාරයන් අතරය. ඒ ඔවුන්ගේ ජීවිත ගොඩ නැගීම පිණිසය. පෝරුතොට පියතුමාද එසේ වූයේය. එතුමා කළු පටිය දිගටම පැලඳ සිටියේ රතු පටියකට සුදුසුකම් නැතිව නොවේය. එහෙත් ඒ කිසිවක් ගැන තැකීමක් නොකර, පියතුමා ජනතා සේවය පිණිසම කැප වූයේය. සැබැවින්ම ඒ සේවය නා නා හැඩ ගත්තේය. වරෙක ලේඛකයකු, ග්‍රන්ථ කතුවරයකු, ගිහියන් ඉදිරියට ගත් සැබෑ නායකයකු, සිනමාවට හා සාහිත්‍ය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කළ අයකු, උපදේශකවරයකු, ගුරුවරයකු යනාදී බොහෝ නම්වලින් එතුමා හඳුන්වාදිය හැකිය.

මෙහිදී ගිහි ජනයා ඉදිරියට ගත් පියතුමන්ලා අතරින් පෝරුතොට පියතුමාට ප්‍රමුඛ ස්ථානයක් දිය හැකිය. විශේෂයෙන්ම ගිහි ලේඛකයන් බිහි කිරීමට උන්වහන්සේ ගත් උත්සාහය අප්‍රමාණය. සිරිල් එඬේරමුල්ල නම් වූ අපූරු ලේඛකයකු බිහිවීමේ ආරම්භයේද උන්වහන්සේ සිටිසේක. හෙතෙම 10 වසර ශිෂ්‍යයකුව සිටින කාලයේ ඥානාර්ථ ප්‍රදීපයට ලියූ ලිපි ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළ පියතුමාගේ දිරි දීම ගැන වරක් එඬේරමුල්ල මහතා සටහන් කර තිබුණේ කෘතඥතාපූර්වකවය.

පසුකාලීනව එතුමා මුල් වී ආරම්භ කළ ගොඩගේ කිතුනු පොත් ව්‍යාපෘතිය මෙරට සාහිත්‍ය මණ්ඩපයේ ප්‍රසිද්ධ ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතියෙන් වැඩි වශයෙන් මුද්‍රණය වූයේ කිතුනු ගිහි ලේඛකයන්ගේ ග්‍රන්ථය. අදටත් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. කිතුනු සභාව තුළ ගිහි ප්‍රජාව ඉදිරියට ගෙන ඒමට ජුසේ වාස් පියතුමා ගත් ප්‍රයත්නයන් ගැන ඉතිහාසගතව ඇත."ගිහියා"නමින් වූ කෘතියක් සම්පාදනය කරමින් ගිහි ජනයාට සභාව තුළ වූ අයිතීන් ගැන කියා දුන්නේ උන්වහන්සේය. සැබැවින්ම ගිහි ජනයා පෙරට ගෙන ඒමේ කර්තව්‍යයට උර දුන් පියතුමන්ලා කිහිප දෙනා අතර පෝරු පියතුමාට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. ඒ ගැන වරෙක සිරිල් එඬේරමුල්ල මහතා සටහන් තැබුවේ මෙලෙසය.

"මෙරට ගිහියනට, පල්ලියෙන් පිට කළ හැකි සමාජාගමික කාර්යයන් රැසක් ඇති බව පෙන්වා දුන්නේ පෝරුතොට පියතුමාය. කතෝලික සභා නායකයන්ගේ වගකීම, ආගමක් අදහන පිරිසක් තැනීමට වඩා, සමාජ සාධාරණය හා රටේ එකමුතුව තැනීම බව මෙරටට ලියා දැක්වූයේ ද පෝරුතොට පියතුමාය. එසේ ක්‍රියා කරමින් සභාව, ලංගම, සතොස, ල.දු.දෙ. බඳු ආයතන, රටට සේවා සලසන ශුද්ධවන්ත ආයතන කළ හැකි ගිහියන් තැනිය යුතු බව පෝරුතොට පියතුමා සිය "ගිහියා"කෘතියෙන් පෙන්වා දුන්නේ 1964 දී ය.... "

"අර්නස්ට් පෝරුතොට පියනම, සීමා හා වැටකඩොලු බාධා කර ගත්තේ නැත. ගිහියන් නැති තැන කතෝලික සභාවක් ද නැතැයි එදා සිට කියන අර්නස්ට් පෝරුතොට පියනම, එතැනින් එහා ගොස් මෙසේ ද කියන්නේය.

"ගිහියා පූජක රූකඩයක් ද වහලෙක් ද නොවේ."

අර්නස්ට් පෝරුතොට පියතුමා ගිහියා වෙනුවෙන් කළ කී දෑ තව බොහෝය. ඒවා ලියන්නට එක් පිටක් නොව පත්තරයක් වුවද නොසෑහේ.

ලෝක සිනමාව පල්ලියට ගෙනා පියතුමා එතැනින් අපේ සිනමාව ගෙන ගියේ ලෝකය වෙතය. ඒ, OCIC මඟිනි. එනම් 1972 අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානයේ (OCIC) ශ්‍රී ලංකා ශාඛාව ලෙස ජාතික කතෝලික සිනමා පර්ෂදයයි. පෝරුතොට පියතුමා හා මේ පර්ෂදය අතර ඇත්තේ ගහට පොත්ත මෙන් වූ සම්බන්ධයකි. එතුමාගෙන් තොරව ඒ ගැන කතා කළ නොහැකිය. වර්තමානයේ සිග්නීස් සම්මාන උලෙළ ලෙස හැඳින්වෙන්නේ එයයි.

නම වෙනස් වුවද එතුමාගේ පුරෝගාමිත්වය වෙනස් වන්නේ නැත. අදටද සිග්නීස් සම්මාන උලෙළ යැයි යමකු තව අයකුට පැවසුවහොත් අසන්න "ඔය කියන්නේ OCIC සම්මාන උළෙල නේද'"කියාය. ඊළඟට සිහි කරන්නේ පෝරුතොට පියතුමාය. සිනමාව සම්මානයට පාත්‍ර කරමින්, අන්තර්ජාතික තලයට ගෙන ගිය පියතුමා සිනමා වාරණය ගැනද සිය විරෝධය සෘජුව පෑ අයෙකි.

ක්‍රිස්තු චරිතය චිත්‍රපටය තහනම් කරන විටද එතුමා සිය විරෝධය පළ කර සිටියේය. සිනමා කෘති වාරණය කිරීම නිර්මාණකරුවාගේ නිදහසට එල්ල කරන මරු පහරක් බව කී උන්වහන්සේ කියා සිටියේ එසේ වුවද, සිනමාකරුවාද තමාට සමාජ වගකීමක් ඇතිවග අමතක නොකළ යුතු බවය.

මේ ආකාරයෙන් බලන විට විවිධ පැති හරහා මිනිස් ජීවිත නගා සිටුවීමට එතුමා කළ සේවය අප්‍රමාණය. විසුද්ධි හිමියන් පැවසූ වදන් මට යළි යළිත් ඇසෙන්නා සේය. පෝරුතොට පියතුමා යැයි ඇසෙන විට මටද දැන් සිහිවන්නේ කරණීය මෙත්ත සූත්‍රයය. ඊට උන්වහන්සේ සම්බන්ධ වන ආකාරය ගැනය. එය නම් මෙලෙසය.

01. සෘජු වන්නේය. මනාකොට සෘජු වන්නේය. අන්‍යයන්ගේ අවවාද මනාකොට පිළිගැනීම් වශයෙන් සුවච වන්නේය. මෘදු වන්නේය. අතිමාන ඇත්තේ නොවන්නේය.

02. ලද දෙයින් සතුටු වන්නෙක්ද, පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක්ද, ස්වල්ප කටයුතු ඇත්තෙක්ද සැහැල්ලු කටයුතු ඇත්තෙක්ද, සන්සුන් ඉඳුරන් ඇත්තෙක්ද, ප්‍රඥා ඇත්තෙක්ද, හැඩිදැඩි අසංවර ගති නැත්තෙක්ද, කුලයන් කෙරෙහි නොඇලුණෙක්ද වන්නේය.

පෝරුතොට පියනමට මොක් සුව පතන ඇත්තෝ බොහෝය. එබැවින් අපි මෙවැනි පැතුමක් පතන්නෙමු. කිතුනු සභාවේ සමස්ත පූජක පැවිදි පිරිසට එතුමාණෝ ආදර්ශයක්ම වෙත්වා!

සුමේධා නවරත්න

 

ජනපති උපදෙසින් ව්‍යවසායකයන්ට හුස්මක්

$
0
0
ජුනි 19, 2020 01:00
ජයසිරි මුණසිංහ

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මන්දගාමී වූ ශ්‍රී ලංකා ආර්ථිකය බලගැන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි උපදෙස් මත ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3ක් හරහා රු කෝටි 15000 (රු. බිලියන 150) සහ මුදල් මණ්ඩලය ගනු ලැබූ තීන්දුවත් සමඟ රුපියල් කෝටි 11500 (රු. බිලියන 115) අතිරේක මුදලක් වාණිජ බැංකුවලට ලැබීම ශක්තියක් බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මන්දගාමී වූ ශ්‍රී ලංකා ආර්ථිකයේ කොටස්කරුවන් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු සෙසු සියලුදෙනාට යළිත් පෙර පරිදි නැඟී සිටීම සඳහා කඩිනමින් ණය සැපයීමට වාණිජ බැංකුවලට අතිරේක මුදල් හිමිවන ආකාරයේ තීරණයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් මණ්ඩලය ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු සඳහා මහ බැංකුවේ තැන්පත් කළ යුතු 4% ක්ව පැවති ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මේ මස 16 වැනිදා සිට 2% දක්වා අඩු කිරීමට ගත් තීරණයත් සමඟ මෙලෙස අතිරේක මුදල් වාණිජ බැංකු වෙත ඉතිරි වේ. මේ මුදල් යොදාගෙන කඩිනමින් සුළු හා මධ්‍ය පරිමාණ සහ අනෙකුත් බලගැන්විය යුතු ආර්ථික ක්‍රියාකාරකම්හි නියැළී සිටින පිරිස් වෙත බැංකු ණය ලබාදීම කළ යුතු යැයි ජනාධිපතිවරයා අවධාරණය කළ කරුණකි. ඒ අනුව යමින් වාණිජ බැංකු විසින් නුදුරේදීම වඩාත් ගනුදෙනුකාර මිත්‍රශීලී අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ ණය මුදල් ලබාදෙන නව ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සෞඛ්‍ය සහ ආර්ථික දෙඅංශයේ අර්බුදකාරීත්වයක් මතු වී තිබේ. ඒ කොවිඩ් - 19 වසංගතය හේතුවෙනි. ලෝකයටම යම් ආදර්ශයක් සපයමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සෞඛ්‍ය, ආරක්ෂක සහ සෙසු සියලු අංශ ඒකාබද්ධව මනාව සම්බන්ධීකරණ වී ක්‍රියාත්මක කළ විධිමත් වැඩපිළිවෙළ නිසා ජයගැනීමට හැකියාව ලැබී තිබේ. ඉන් අනතුරුව ආර්ථික අර්බුදය ජය ගැනීමට ද ශ්‍රී ලංකාවේ අප සියලුදෙනා එකට එක්ව නව දැක්මක් ඇතිව කටයුතු කළ යුතුය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙසින් යම් වැඩපිළිවෙළක් මහ බැංකුව සහ මුදල් මණ්ඩලයේ ද සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවීමට යෝජනා කොට තිබිණි. ‍

මෙම යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැතැයි චෝදනා කරමින් ජනාධිපතිවරයා ඉකුත්දා දැඩි අදහස් දැක්වීමක් සිදු කළේය. ඒ සමඟම නව ජවයකින් වැඩ ඇරඹූ මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමට ගත් තීරණය ජනතාවට වාසිදායක තත්ත්වයකි.

මේ වන විට ස්වයං රැකියාලාභීන්, කුඩා ව්‍යවසායකයන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම නිරතවූවන් යම් පසුබෑමකට ලක්ව සිටිති. මේ පිරිස් යළිත් පෙර පරිදි ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා දිරිගැන්විය යුතුය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය මූලිකම දේ වනුයේ අරමුදල් සපයා ගැනීමයි. මෙහිදී සරල සහ අඩු පොලී අනුපාත යටතේ අරමුදල් ලබාගෙන තම ව්‍යාපාර යළි බලගැන්වීමට සෑම අංශයකම ව්‍යවසායකයින්ට ශක්තියක් වීම වාණිජ බැංකුවල යුතුකමය. වාණිජ බැංකු ද තම සමාජ වගකීම් සහ යුතුකම් පෙරටත් වඩා කැපවී ඉටුකරමින් ජනතාවට කඩිනමින් ණය මුදල් ලබාදීමට ක්‍රියාකරනු ඇතැයි රටත්, සමාජයත් බලා සිටී. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය යැපුම් කෘෂිකර්මාන්තයෙන් මිදී යාන්ත්‍රික සහ වාණිජකරණයට ලක්වූ කෘෂිකර්මාන්තයක් දක්වා වැඩිදියුණු කළ යුතුය. එහිදී අප ගොවියා යැපුම් මානසිකත්වයෙන් මුදා කෘෂි ව්‍යවසායකයකු ලෙස අගය එකතු කරන නිෂ්පාදකයකු බවට පත්කළ යුතුය.

කර්මාන්ත අංශය දේශීය අනන්‍යතාවයන්ට සහ උරුමයන්ට අනුගතව පාරම්පරික කාර්මික ඥානය ද යොදාගනිමින් වැඩිදියුණු වූ තාක්ෂණයකින් යුතුව කාර්යක්ෂමව සහ ඵලදායී ප්‍රතිඵල ලැබෙන අංශයක් බවට පත්කළ යුතුය. ශ්‍රී ලංකාවේ සේවා අංශය ද දූපත් මානසිකත්වයෙන් මිදී විශ්වය ජයගන්නා සේවා සපයන්නන් බවට පරිවර්තනය කළ යුතුව ඇත. මෙලෙස කෘෂිකාර්මික, කර්මාන්ත සහ‍ සේවා යන අංශ තුනෙහි වේගවත් පිම්මක් පැනීමට අවශ්‍ය අරමුදල් සැපයීමට රජය පාර්ශ්වයෙන් ජනාධිපතිවරයා යහපත් යෝජනා මාලාවක් දැනටමත් ඉදිරිපත් කර ඇත. එය යථාර්ථවාදී, වඩාත් ඵලදායී ප්‍රතිඵල හිමිවන යෝජනාවලියක් බවට පත්කිරීමට මුදල් මණ්ඩලය, මහ බැංකුව සහ වාණිජ බැංකු පියවරගත යුතුව තිබේ. මේ සියලු අංශ තම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරමින් රට වෙනුවෙන් පෙරදාටත් වඩා හැඟීමෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීමෙන් කොවිඩ් - 19 වසංගතයෙන් මන්දගාමී වූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි බලගැන්විය හැකි බව කොළඹ ව්‍යාපාරික සංගමය සිය විධායක සභාවේදී අවධාරණය කරන ලදී.

මෙම සංගමය අවධාරණය කළ පරිදිම ශ්‍රී ලාංකික අප සියලුදෙනා නිසි වැඩපිළිවෙළක් ඔස්සේ සාර්ථක ආර්ථික සෞභාග්‍යයක් ළඟාකර ගැනීම සඳහා වෙහෙස මහන්සියෙන් වැඩකිරීමට කටයුතු කළ යුතු යැයි “කොරෝනා” විසින් අපට පණිවුඩයක් ද ලබා දී තිබේ. අප මේ මොහොතේ අමිහිරි අත්දැකීම් ගොන්නක් මැද වුවද “කොරෝනා” පශ්චාත් සමය මිහිරි අනාගතයක් කරා රැගෙන යෑමට කටයුතු කළ යුතුම වෙයි. මේ උදාවූ අවස්ථාව අතනොහැර රටේ සහ ජනසමාජයේ සෞභාග්‍යය ළඟාකර ගැනීමට යොදාගැනීම වගකිවයුතු රටවැසියන් සියලුදෙනාගේම වගකීම වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

මැතිවරණ කාලයක රාජ්‍ය සේවය

$
0
0
ජුනි 20, 2020 01:00

සුගීශ්වර සේනාධීර

දේශපාලන මධ්‍යස්ථභාවය රාජ්‍ය සේවයට ඉතා වැදගත් ය. එය වඩාත් වැදගත් වන්නේ මැතිවරණයක් පැවැත්වීමට පළමුවයි. වෙනත් අන්දමකින් කිවහොත්, රාජ්‍ය සේවයේ දේශපාලන මධ්‍යස්ථභාවය පූර්ව මැතිවරණ සමයේදී ඉතා වැදගත් ය යන්නයි. නාමයෝජනා ගොනු කිරීම ආරම්භයේ සිට, මැතිවරණය පැවැත්වීම දක්වා - එනම් අගෝස්තු 5වැනිදා දක්වා වූ කාල පරාසය තුළ රාජ්‍ය සේවය දේශපාලන මධ්‍යස්ථභාවයක් පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවය.

රාජ්‍ය පරිපාලනය, දේශපාලන පක්ෂග්‍රාහී බවින් තොරව, මධ්‍යස්ථභාවයෙන් කටයුතු කරන බව සහතික කිරීම, අර්ථාන්විත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අත්‍යවශ්‍ය දෙයකි. ප්‍රතිපත්ති නිර්වචනය කිරීම භාරව සිටින්නේ දේශපාලනඥයන්ය. එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයේ නිලධාරීන් මත පැටවී තිබේ. මේ නිසා දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් අතර මනා සම්බන්ධතාවක් ගොඩනැඟී තිබීම අතිශයින්ම වැදගත්ය. දේශපාලන පක්ෂවලට අයත්, නිතර වෙනස් වන අමාත්‍යවරුන්ට වඩා, සිවිල් වෘත්තිකයන් සතු දැනුම, තාක්ෂණික ප්‍රවීණත්වය සහ දිගු අත්දැකීම් සම්භාරය ඉතා ප්‍රයෝජනවත් වේ.

රාජ්‍ය සේවකයන් දේශපාලන සම්බන්ධතා මුල් කරගෙන පක්ෂග්‍රාහීව තම රාජකාරිය ඉටු කරනවාට වඩා, සාමූහික සේවයක් සැපයීම සියලු රටවල් පිළිගෙන ඇත. ඇතැම් රටවල් මේ මූලධර්මය ව්‍යවස්ථාවන්ට ඇතුළු කර තිබේ. තවත් සමහර රටවල් මේ මූලධර්මවලට අනුව ක්‍රියා කරන්නේ, නියාමන හෝ අලිඛිත සම්මුති හෝ ඇතිකර ගනිමිනි.

අපක්ෂපාතී නිලබල ක්‍රමයක් සහිත පරමාදර්ශයක්, ප්‍රායෝගිකව තිබිය නොහැකි බව පිළිගත් න්‍යායකි. එයට හේතුව රාජ්‍ය සේවය සහජයෙන් ම දේශපාලනික නිර්මාණයක් වීමයි. එනිසා එය කිසිවිටෙකත් මුළුමනින්ම දේශපාලනයෙන් වියුක්ත තත්ත්වයකට පැමිණවිය නොහැකිය. රාජ්‍ය නිලධාරීන්, පුරවැසියන්ට රාජ්‍ය සේවය ලබාදීමේදී රාජ්‍ය අංශයෙන් කුමක්, කාට ලැබිය යුතුද යන්න තීරණය කරන්නේ දේශපාලනය ද ඈඳා ගනිමිනි. ඒ අතර තමන්ගේ දේශපාලන දිශානතිය නොසලකා හැර, රාජ්‍ය සේවකයන් පුරවැසියන්ට ඉතා සාධාරණ අන්දමින් සලකන බව ඇතැම් ප්‍රවීණයෝ ප්‍රකාශ කරති.

ඉදිරියේදී එළැඹෙන මැතිවරණ කාලයේදී සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් වැළකී සිටිය යුතු බවට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 9 වැනිදා උපදෙස් දුන්නේ ය. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂපාතිව දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවිය යුතු බව, විශේෂ විධානයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා අවධාරණය කළේය. එවැනි පිරිස්වලට දේශපාලනයට ක්‍රියාකාරීව සම්බන්ධ වීමට අවශ්‍ය නම්, ඔවුන් එය කළ යුත්තේ තමන් දරන තනතුරුවලින් ඉල්ලා අස්වී යැයි ද ජනාධිපතිතුමාගේ විධානයෙහි සඳහන්ව ඇත.

රාජ්‍ය සේවකයෝ මිලියන 1.4කට වඩා වැඩි සංඛ්‍යාවක් මධ්‍යම රජය, පළාත් සභාවලින් පාලනය වන ආයතන, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය ව්‍යවසායන්හි සේවයේ නියැළෙති. රජයේ වැඩසටහන් ඵලදායීව කරගෙන යෑම සඳහාත්, පරිපාලනයේ ප්‍රතිචාර රජයට දැන්වීම සඳහාත්, රාජ්‍ය සේවකයන්ට නීතියෙන් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වගකීමක් පැවරී ඇත. මේ කාරණා සමතුලිත කර ගැනීම සඳහා, විවිධ රටවල් ආයතනික විධිවිධාන සකස් කර ඇත. දේශපාලන නායකත්වයට එරෙහිව රාජ්‍ය සේවය ආන්තික ලෙස භාවිත කිරීමද , ජාතික ශුභසිද්ධියට රාජ්‍ය සේවය පමණටත් වඩා දේශපාලනීකරණය කිරීම සහ පක්ෂග්‍රාහීව භාවිත කිරීම වළක්වා ගැනීම ද එමඟින් සිදු කෙරේ.

රාජ්‍ය ආයතනවල නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලනය කරනවාට තමන් අක­ැමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ ප්‍රකාශ කර තිබේ. ආයතන දූෂණයෙන් තොරව කාර්යක්ෂම ලෙසත්, ලාභ උපයන ආකාරයටත් පවත්වාගෙන යෑම ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් අපේක්ෂා කරයි. රාජ්‍ය ආයතන මහජන මුදල් මත රඳා පවතී. එනිසා එම ආයතන මහජනතාවට බරක් නොවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දී ඇත. පොදු දේපළ, පොදු අරමුදල් හෝ රජයේ වාහන හෝ මැතිවරණ කටයුතු සඳහා භාවිත නොකළ යුතු බැව් ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ. මේ විධානය උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය රාජ්‍ය සහ දේශපාලන පර්යේෂණ වාර්තාවක් නිකුත් කර තිබේ. දේශපාලන මධ්‍යස්ථභාවය තියුණු ලෙස අර්ථ දක්වා ඇති ඉලක්කයක් නොව, සැලකිය යුතු කාලයක් සඳහා පමණක් ලබාදිය හැකි පුළුල් විනිශ්චයක් ලෙස එහි නිගමනය කර ඇත. මධ්‍යස්ථභාවයේ සහ ප්‍රතිචාර දැක්වීමේ අගයන් අතර ආතතිය කෙටිකාලීනව දෘශ්‍යමාන නොවේ. කුසලතාව සහ කැපවීම ඇති කාර්යය මණ්ඩල, කිසියම් ප්‍රතිපත්තිමය වැඩසටහනක් සඳහා තෝරාගැනීමෙන් දේශපාලන ප්‍රතිචාරය වැඩි කළ හැකිය.

නව රජයක ප්‍රතිපත්ති ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීමට එම කාර්යය මණ්ඩල කැමැත්තෙන් සහාය දක්වන්නේ ද යන්න ගැටලුවකි. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා පරිපාලනයට දේශපාලනික මැදිහත්වීම් අවශ්‍ය බව විශේෂඥයන්ගේ මතයයි. එසේ නොමැතිව ස්ථාපනය කෙරෙන දේශපාලන පරිපාලනයකට ප්‍රතිපත්තිමය දිශාව වෙනස් කළ නොහැකි වනු ඇත. කෙසේ වුවත්, පක්ෂග්‍රාහී අරමුණු සඳහා අනිසි ලෙස භාවිත කිරීමෙන් රාජ්‍ය සේවාව ආරක්ෂා විය යුතු ය; රජයේ වෙනස්කම්වලට අනුව නොනැසී පවත්නා තාක්ෂණික ධාරිතාවක් ඒවාට අවශ්‍යය; එපමණක් නොව, අනාගත රජයන්හි ධාරිතාව අඩපණ කිරීමට රාජ්‍ය සේවකයන් භාවිතයට ගැනීමෙන් ද ආරක්ෂා කළ යුතුව තිබේ.

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් පත් කිරීම සහ ඔවුන්ගේ කටයුතු කළමනාකරණය කිරීමට යෙදවෙන දේශපාලනික මැදිහත්වීම පුළුල් විවිධත්වයකින් යුක්තය. දේශපාලන වශයෙන් අපක්ෂපාතී සම්බන්ධයෙන් විශ්වීය වශයෙන් එකඟ වූ පොදු මූලධර්ම ඇත. එය නිර්පාක්ෂික ක්‍රියාවලියක් සමඟ එය සැසඳිය යුතු නොවේ. දේශපාලනඥයකු කිසියම් කෙනකුගේ පත්වීමකට හෝ කිසියම් කෙනකු සේවයෙන් පහ කිරීමකට හෝ සම්බන්ධ වුවහොත්, එය හැමවිටම දේශපාලන හෝ පක්ෂග්‍රාහී හෝ එකක් නොවන බව අවධානයට ගැනීම ද ඉතා වැදගත්ය. මෙහිදී නිදසුනක් ලෙස ස්වීඩනයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දක්වන්නට පුළුවන. එරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව, රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ සියලු පත්වීම් දේශපාලනඥනයන් කරනු ලැබුවත්, ඒවා සිදු කළ යුත්තේ කුසලතා සහ සුදුසුකම් පදනම් කරගෙන ය.

ඒ සඳහා එක්සත් ජනපදය, ප්‍රංසය සහ තවත් බොහෝ රටවලින් ද නිදසුන් ලබා ගන්නට පුළුවන. එවැනි රටවල නව ජනාධිපතිවරයකු පත් වූ විට, ජ්‍යෙෂ්ඨ උපදේශකවරු සහ දේශපාලනිකව පත් කරන ලද තානාපතිවරු තම තනතුරුවලින් ඉල්ලා අස් වෙති. ඔවුන් එසේ කරන්නේ, නව නායකයාට, තමන්ට විශ්වාසවන්ත පුද්ගලයන් එකී තනතුරුවලට පත් කර ගැනීමට හැකි වන පරිදි ය.

ඔස්ට්‍රේලියාවේ රජයේ සේවකයන්ට යම් යම් සීමා කිරීම් යටතේ දේශපාලනයට සහභාගී වීමට ඉඩ සලසා තිබේ. ඒ අනුව ව්‍යවස්ථාදායක මැතිවරණයකදී රජයේ නිලධාරියකුට අපේක්ෂකයකු වීමට සුදුසුකම් නැත. ඔස්ට්‍රේලියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය ප්‍රකාරව, අපේක්ෂකයකු ලෙස කටයුතු කිරීමට තමන්ට බාධාවක් නැති බව ප්‍රකාශ කරමින් අපේක්ෂකයන් ලියකියවිලි අස්සන් කළ යුතුව ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සේවය සමඟ ඍජු ලෙස හෝ වක්‍ර ලෙස මූල්‍ය සබැඳියාවක් ඇති ගිවිසුමකට එළැඹ සිටින ඕනෑම පුද්ගලයකුට මැතිවරණයකට ඉදිරිපත් වී තරග කිරීමට බාධාවක් තිබේ.

එක්සත් රාජධානියේ රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව, මැතිවරණයකදී සිවිල් නීති සංග්‍රහයේ අවශ්‍යතාවලට අනුකූලව විශේෂ සැලකිල්ලක් දක්වා ඔවුන් කටයුතු කළ යුතු බව සඳහන් වේ. පක්ෂ දේශපාලන අරමුණු සඳහා රජයේ සම්පත් යොදා නොගැනීමට එරට සිවිල් සේවකයෝ බැඳී සිටිති. දේශපාලන අපක්ෂපාතිත්වයට විරුද්ධ වන කිසිවක් නොකිරීමට ද ඔවුහු බැඳී සිටිති.

සෑම ප්‍රජාතාන්ත්‍රික රටකම සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්, මැතිවරණ සමයේදී දේශපාලන කටයුතුවල යෙදීම වැළැක්වීමට රෙගුලාසි තිබේ. එනිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයන්ට කරන මතක් කිරීම වඩාත් අර්ථාන්විත සහ කාලීන එකකි. එළැඹෙන මැතිවරණය නිදහස් සහ සාධාරණ අන්දමින් පවත්වා, එම අභිමානය නැවත වරක් වාර්තා කර ගන්නට රාජ්‍ය සේවාවේ මධ්‍යස්ථභාවය නිසැකව ම වැදගත් වනු ඇත.

(සුගීශ්වර සේනාධීර ඩේලි නිවුස් පුවත්පතට 12.06.2020 දින “Do’s and Don’ts for public servants during an election” යන ශීර්ෂයෙන් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයකි.)

පරිවර්තනය
මංජුලා විජයරත්න 

සමෘද්ධිමත් දේශයක් උදෙසා අභියෝගවලට අභියෝග කරන නායකත්වය

$
0
0
ජුනි 20, 2020 01:00

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය අදට (20වැනිදා) යෙදී ඇත‍. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා උපත ලබන්නේ දකුණු පළාතේ ප්‍රකට දේශපාලන පවුලකය. ඔහුගේ පියා, මහප්පා, බාප්පා ආදීහු මැතිඇමැතිකම් දැරූහ. ඒ අතරිනුත් එතුමාගේ පියා, ඩී. ඒ. රාජපක්ෂ මහතා ඉතා ප්‍රකටය. පවුලේ සහෝදර සහෝදරියන් අතරින් සොහොයුරෝ තිදෙනෙක් දේශපාලනඥයෝය. මහින්ද රාජපක්ෂ මහතා ඇමැති ධුර ගණනාවක්ද අගමැති හා ජනාධිපතිධුරයද දරමින් දැවැන්ත දේශපාලන භූමිකාවක් ඉටු කළ චරිතයකි. චමල් රාජපක්ෂ මහතා ඇමැතිධුර මෙන්ම කතානායකධුරයද දැරීය. බැසිල් රාජපක්ෂ මහතාද ඇමැතිධුර දැරීය. එසේ වුවද, ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැනි දේශපාලන භූමිකාවක් නොවීය. යුද හමුදා නිලධරයකු ලෙස රටට සේවය කළ ඔහු හමුදාවෙන් ඉවත්ව සිටි අතර, සමීපතමයන් හැර මහජනතාව ඔහු ගැන දැන නොසිටියෝය.

තීරණාත්මක චරිතයක්

දේශපාලන, සමාජ, ආර්ථික වේදිකාවේ තීරණාත්මක චරිතයක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූයේ, 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔහු ආරක්ෂක ලේකම් ධුරයට පත් කිරීමත් සමඟය. එවක් පටන් ඔහු මහජනතාවගේ දර්ශන පථයටද අවතීර්ණ විය. ආරක්ෂක ලේකම් ලෙස ඔහුගේ භූමිකාව තේරුම් ගැනීමට නම්, ආරක්ෂාව අතින් අපේ රට පත්ව තිබුණේ කෙබඳු තැනකටදැයි කල්පනා කළ යුතුය.

2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වන විට ප්‍රධාන තර්ජනය වශයෙන් පැවැතියේ, උතුරු සහ නැඟෙනහිර පළාත්වල වාර්ෂික පදනම මත අවි බලයෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා එල්.ටී.ටී.ඊය ගෙනගිය බියකරු ත්‍රස්තවාදයෙන් සලකුණු වූ සන්නද්ධ ව්‍යාපාරයයි. ඒ වන විටත් එල්.ටී.ටී.ඊ. ආධිපත්‍යය යටතේ උතුරු සහ නැඟෙනහිර නොනිල රාජ්‍යයක් නිර්මාණය වී තිබිණි. ඔවුහු යුද, ගුවන්, නාවික වශයෙන් ක්‍රියාත්මක වූ හමුදාමය බලයක්ද, පොලිසිද, බැංකු, මුදල්, උසාවි ද පවත්වා ගෙන යමින් සිටියෝය. නූතන දේශපාලන විද්‍යාවේ රාජ්‍යයකට අවශ්‍ය යැයි සලකන සියලු නිර්ණායක එහි විය. එවකට ලෝක බැංකුවේ කොළඹ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පීටර් හැරල්ඩ් ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර සිටියේ එහි D facto රාජ්‍යයක් ඇති බවය.

2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හමුවේ වූ අභියෝගය එය ඔවුන්ට ලබාදෙනවාද නැතිනම් මේ තත්ත්වය ඉවත් කරනවාද යන්නයි. මෙහිදී එක් කරුණක් පිළිබඳ සාක්ෂි සහිතව අපට නිගමනයකට එළැඹිය හැකිය. එනම් එල්.ටී.ටී.ඊය සාර්ථක වීම යනු උතුර සහ නැඟෙනහිර වෙනම රාජ්‍යක් බිහි වීමට ඉඩ තිබූ බවය.

නැඟෙනහිර ජීවත් වූයේ දෙමළ ජනයා පමණක් නොවේ. සිංහල හා මුස්ලිම් ජනයාද යම් ප්‍රතිශතවලින් එහි ජීවත් වූහ. සිංහල බහුතරයකගේ පාලනය යටතේ තමන්ට යම් අසාධාරණයක් වෙතැයි දෙමළ ජනයා කල්පනා කරනවා නම්, එල්.ටී.ටී.ඊ. දෙමළ නායකත්වය යටතේ තමන්ට එවැනි අසාධාරණයක් නොවනු ඇතැයි නැඟෙනහිර සිංහල ජනයා කල්පනා නොකිරීමට හේතුවක් නැත.

එහි සිටි මුස්ලිම් ජනයාද අවි බලයෙන් පලවා හළ එල්.ටී.ටී.ඊය තම බලය ගොඩනඟා ගත්තේ මිනිසුන් මරා දමමිනි. යම් හෙයකින් එහි වෙනම රාජ්‍යයක් බිහි වූයේ නම් සිංහල, මුස්ලිම් ජනයාගේ ඉරණම නිශ්චිතය. එවැනි රාජ්‍යයක් හමුවේ නැඟෙනහිර සිංහල ජනයාද, මුස්ලිම් ජනයාද තමන්ට වෙන වෙනම ප්‍රාන්ත ඉල්ලා සිටියේ නම් සිදු වනු ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එල්.ටී.ටී.ඊයේ එම බෙදුම්වාදී ව්‍යාපාරය සාර්ථක විණි නම් අපේ රට සිතාගත නොහැකි අන්දමේ ලේ විලක් බවට පත් වීම නොවැළැක්විය හැකිය.

ලංකාවේ දෙමළ බස කතා කරන බහුතරය ජීවත් වන්නේ උතුර සහ නැඟෙනහිර පළාත්වලින් බැහැරවය. එසේ තිබියදී රටේ භූමියෙන් 1/3ක් සහ මුහුදු තීරයෙන් 2/3ක් අල්ලා ගනිමින් උතුර සහ නැඟෙනහිර සම්පත් තමන් අතට පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ විය. රටේ සෙසු බහුතර පිරිසට ඇත්තේ, ඉතිරි සම්පත් වන පසුබිමක, සම්පත් සඳහා ගැටුම් ඇති වීම වැළැක්විය හැකි වනු ඇතිද? සත්‍යය නම්, සම්පත් සාධාරණව බෙදී යා යුතු බවය. ඒ වෙනුවට අසාධාරණ ලෙස ඒවා බෙදා ගනිද්දී ඇති වන ගැටුම රට අස්ථාවර කර ආර්ථික සමෘද්ධිය පිරිහෙළන්නට හේතු වනු ඇත. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී බලයට පත් වන විට ඔහු හමුවේ තිබූ අංක 1 අභියෝගය එයය. එය ජයගැනීම සාකච්ඡාවෙන් කළ නොහැකි බව සනාථ වී තිබියදී ජනාධිපතිවරයා එක් අවස්ථාවක තීරණය කළේ එල්.ටී.ටී.ඊය යුදමය ක්‍රියාමාර්ගයෙන් පරාජය කිරීමටය.

එය අතිශය තීරණාත්මක වූවාක් මෙන්ම පහසු තීරණයක්ද නොවේ. එල්.ටී.ටී.ඊය හමුදාමය ක්‍රියාමාර්ගයෙන් පරාජය කිරීමේ වුවමනාව ඊට පෙර සිටි ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාටද තිබිණි. ඔහු එය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියට ගිය ද වඩමාරච්චි මෙහෙයුම අසාර්ථක විය. ඉන්දියාව ඊට බාධාකාරී ලෙස මැදිහත් විණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ දේශපාලන තීරණය ගන්නා විට සමාජගත කර තිබූ මතය වූයේ, එල්.ටී.ටී.ඊ. යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවය. ඉංග්‍රීසි පුවත්පත්වලට ලියන ඇතැම් ලේඛකයෝ ඒ බව නිතර පෙන්වා දුන්නෝය.

ජිනීවා අභියෝගය

ඔවුහු මෙය යුදමය වශයෙන් ජයග්‍රහණය කිරීම ප්‍රායෝගිකව අතිශය අසීරු බව තර්ක කළහ. ජිනීවා නුවරදී එරික් සොල්හයිම්, මහින්ද රාජපක්ෂ මහතාගේ මූණටම කියා සිටියේ මේ යුද්ධය ඔබට දිනන්න බැරි බවයි. මේ මතය යුද හමුදාවේ ඇතැම් නිලධාරීන්ද දැරූ බව පෙනී ගියේය. සමාජයේ මෙවැනි මතයක් ගොඩනැගීමට සිවිල් සමාජය ලෙස පෙනී සිටි බලවේග, මානව හිමිකම් සංවිධාන ආදිය මහත් කාර්යභාරයක් ඉටු කර තිබිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී රිවිරැස මෙහෙයුමෙන් යාපනයේ බලය අත් කරගත්ත ද දිගින් දිගටම ලැබූ බරපතළ පරාජයන් හමුවේ, හමුදාවේ ජීවගුණය ද පිරිහී තිබිණි. සෙබළු හමුදාව අත්හැර පලායමින් සිටියහ. හමුදාවට අවශ්‍ය සම්පත් ද හිඟ විය. පිටරටවලින් ආයුධ ලබා ගැනීමද අපහසු විය. ජයවර්ධන ජනාධිපතිවරයාද කියා තිබුණේ යුද්ධ කරන්නට තමන්ට කවුරුත් තුවක්කු නොදෙන බවය. මෙවැනි පසුබිමක ජනතාව අතරද අප්‍රසාදයක් ගොඩනැඟී තිබිණි. ආර්ථික තත්ත්වය ද යහපත් වූයේ නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ද හමුවේ තිබුණේ දුෂ්කර ව්‍යායාමයකි. මහින්ද රාජපක්ෂ මහතා මේ අභියෝගය ජය ගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙමින් සේනාධිනායකයා ලෙස තීරණය ගත් විට යුද්ධය ජයග්‍රහණය කිරිමට අවශ්‍ය හමුදාමය උපායමාර්ග සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යය කළේ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ඒ යුද්ධය කළ යුතුව තිබූ යුද්ධයකි. සියලු ජනයාගේ යහපත වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ යුතුම විය.

ආර්ථික සමෘද්ධිය

එය එසේ නොවන්නට අදටද අපේ රට ලිබියාව හා ඇෆ්ගනිස්තානය අද පත්ව ඇති තත්ත්වයට වැටී සිටිනු ඇත. සිංහල , දෙමළ, මුස්ලිම් ජනයාට සමඟියෙන් ජීවත් වෙමින් ආර්ථික සමෘද්ධිය කරා යා හැකි රටක් නිර්මාණය කිරීමට දායක වූ ප්‍රධාන චරිත දෙකෙන් එක් අයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අවිවාදිතය. එතුමාගේ චරිතයෙන් පිළිබිඹු වන උපායමාර්ගික චින්තන කුසලතාව, වැරැදි හඳුනාගනිමින් ඒවා නිවැරදි කිරීමේ හැකියාව, නොසැලෙන අධිෂ්ඨානය, පරාජයන් හමුවේ වුවද නැඟී සිටීමේ ධෛර්යය, එකී භූමිකාව තුළ ප්‍රකටව ඇත්තේය. එල්.ටී.ටී.ඊය තීරණාත්මක ලෙස පරාජය කිරිමෙන් පසුව, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් අපේ රටේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය දියුණු හා අලංකාර නගරයක් බවට පත් කිරීමේ අභියෝගය ද ඔහු සාර්ථකව ජය ගත්තේ ය.

අඩුපාඩු සිදු විය හැකි වුව ද ඉතා වුවමනාවෙන්, සැලසුම්සහගතව, කැප වීමෙන් සිය කාර්යභාරය ඉටු කළ බවට එම සාර්ථකත්වයට සාක්ෂියකි. කැළි කසළ ගොඩගැසීම සතුටුදායක ලෙස පාලනය කළ අතර, පැල්පත්වාසී ජනතාවට දියුණු ජනාවාස උරුම කරදීමද කැපී පෙනේ. තමන්ට පැවරුණු භූමිකා දෙකම ඉතා සාර්ථකව ඉටු කළ බැවින් රටේ නායකත්වයට ඔහු පත්විය යුතු බව ජනතාවගේ පැතුම විය. රට අලුත් මඟකට යොමු කිරීමේ හැකියාව මේ නායකයාට ඇති බව ජනතාව වටහා ගත්හ.

නිදහස ලබා අවුරුදු 70කට පසුව ද අපේ රට ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉහළට එසැවී නොතිබිණි. සමාජීය වශයෙන් පරිහානි තත්ත්වයක්, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම බව, දූෂණය, ප්‍රචණ්ඩත්වය දැක ගත හැකි විය. එවැනි පසුබිමක ‘දේශපාලනික සත්ත්වයකු’නොවූ නායකයකුට රට ගොඩනැඟීමට හැකි වනු ඇතැයි අඩුවැඩි වශයෙන් විශ්වාසයක් ද තිබිණි. එවැනි නායකත්වයකට අවශ්‍ය හිඩැසක් ද විය. එකී රික්තය පුරවාලූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි.

තුන්වැනි වරට බලයට පත්වීම සඳහා 2015 දී මහින්ද රාජපක්ෂ මහතා තරඟ කළ ද එය අසාර්ථික විය. 2015 ක් පසු රට ඇදවැටුණු තැත අවබෝධ කරගනිමින්, අභියෝග අධ්‍යයනය කරමින්, වෘත්තීයවේදීන්ගේ, තාක්ෂණවේදීන්ගේ දැනුම, වියත්මඟ, එළිය වැනි සංවිධාන බිහිකරමින් එක්තැන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවිය. එහි දේශපාලන අභිලාෂ තිබුණ ද සැලසුම්සහගත වැඩපිළිවෙළක් මෙන්ම ගැටලු හඳුනාගනිමින් ඊට විසැඳුම් ද ඇතිව නිසි දැක්මකින් යුතුව මෙහෙයවීම සිදු විය. 2019 නොවැම්බර් පැවැති ජනාධිපතිවරණයට එතුමා තරග කළ යුතු බවට හඬක් නැඟුණේ ද ඉල්ලීම් කෙරුණේ ද ජනතාව අතරිනි.

දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ඇත්තේ දේශපාලන කඳවුරු දෙකකි. එකක් මේ රට බටහිර බලවතුන්ගේ ගොදුරුබිමක් කරන අන්ත දක්ෂිණාංශික ආර්ථික මාදිලියක් ඔස්සේ රට ගෙනයන කඳවුරය. අනෙක, ජාතික ස්වාධීනතාව ශක්තිමත් කරමින් ආර්ථික වශයෙන් සම්පත් සාධාරණ ලෙස බෙදීයෑම ගැන කටයුතු කරන කඳවුරය. 2015 දී බලයට පත් වූයේ මෙකී පළමු කඳවුරය. බෙදුම්වාදී ත්‍රස්තවාදය අනුමත කළ පිරිස සිටියේ ද එම කඳවුරේමය. මේ කඳවුරට එරෙහිව දෙවනුව කී කඳවුරෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තරග බිමට පිවිසෙන බව පෙනී යන විටම ඔහුට නඩු පිට නඩු පැවැරිණි.

පුරවැසි බව අභියෝග කරමින්ද විශාල ඝෝෂාවක් ඇති කළ අතර එම ප්‍රශ්නය අධිකරණයටද ගෙන ගියේය. මේ එන්නේ මිලිටරි ඒකාධිපතියෙක් යැයිද හඬ නැඟිණි. මාධ්‍යවේදියකුගේ ඝාතනයක් ගැන චෝදනා කරමින් අමෙරිකාවේද නඩුවක් පැවරිණි. එසේ වුවද මේ රටේ ලක්ෂ 70කට ආසන්න ජනතාවත් සිය ඡන්ද බලයෙන් 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී රටේ නායකයා ලෙස ‍තෝරා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. එය මෙරට මැතිවරණ ඉතිහාසයේ අතිශය සුපැහැදිලි නිරවුල් ජනවරමකි. ප්‍රතිශතය 52% ක් පමණ වූ අතර, ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ 14කි.

නූතන නායකත්වය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරුණේ, ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් සහිත, නූතන තාක්ෂණය භාවිත කරන නූතන පන්නයේ රාජ්‍යයක් මෙන්ම විනයගරුක රටක් බවට පත් කිරීමේ අභියෝගයයි; එමෙන්ම බාහිර බලපෑම් හමුවේ ශක්තිමත් රාජ්‍යයක් ලෙස නිර්මාණය කිරීමේ වගකීමයි. නොබැඳි, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියත්, පිරිසුදු, කාර්යක්ෂම රාජ‍්‍ය සේවයත්, ඊට අදාළ විය. අත්විඳි බරපතළ දුර්වලතා ගැන ජනතාව සිටියේ කලකිරීමෙනි. කාර්යාල, බැංකු, රෝහල් ආදි සෑම තැනකම එකී පසුබෑම්, බිඳවැටීම් දැකිය හැකි විය. සමාජ විෂමතාව බරපතළ විය. ආරක්ෂාව බිඳවැටී තිබිණි.

රට ශීඝ්‍ර පරිහානිය කරා ගමන් කරමින් සිටියේය. මේ සියල්ල වෙනස් කරමින් දියුණු ආර්ථිකයක් මෙන් ශිෂ්ටසම්පන්න පවිත්‍ර දේශපාලන සංස්කෘතියන් කරා යෑමේ වුවමනාව ඇතිව ජනාධිපතිවරයා ඉදිරියට යමින් සිටී. ඒ ගමන අභියෝගාත්මක එකකි. අප පසුගියදා මහබැංකු නිලධාරීන් අමතා ජනාධිපතිතුමා කළ ප්‍රකාශයෙන්ද දුටුවේ අපේ රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නයකි. උගතුන්, බුද්ධිමතුන් කොපමණ නම් ස්වාර්ථය උදෙසා ක්‍රියා කරන අයද, කොපමණ අලස ද, දූෂිත ද යන වග ඉන් පැහැදිලි විය. ඛේදනීය තත්ත්වය නම් ඔවුන් යැපෙන්නේ ජනතාවගේ ධනයෙන් වීමය. අපේ රට ශක්තිමත් රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමේ අභියෝගය ජය ගැනීමට ජනාධිපතිවරයා කැප වී සිටින්නේ කකුලෙන් අදින්නන් තම පාර්ශ්වය අතරද සිටියදීය.

කොවිඩ් - 19 ගෝලීය වසංගතය අප රටටද බලපා තිබියදී එම වසංගතය පරාජය කිරිම සඳහා නිරන්තරයෙන් වාර්තා ලබාගනිමින්, ඒවා අධ්‍යයනය කරමින්, අවශ්‍ය තීරණ ගනිමින් දවසේ පැය 18ක් පමණ ඒ වෙනුවෙන් වෙහෙසකරව කැප වන අයුරු අප පෞද්ගලිකවම දන්නා දෙයකි. මෙවැනි අනපේක්ෂිත උපද්‍රවයක් හමුවේ රටත්, රජනතාවත් රැකගැනීමට ක්‍රියාකිරීමේදී අත්වැරැදි, අතපසු වීම් සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත්, ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යමින් ඇති අයුරු පෙනෙන්නට තිබේ. මේ වනවිට එය සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇත්තේ එලෙස ගනු ලැබූ තීන්දු තීරණ මෙන්ම එම නායකත්වය කැප වීම හා මෙහෙයවීම ඔස්සේ සෞඛ්‍ය ආරක්ෂක ආදි අංශවල කැපවීම හා දායකත්වය ඔස්සේය.

ස්වාධීන රාජ්‍යයක්

රටක් වශයෙන් අප මෙම අර්බුදයට මුහුණ දෙන විට පසුගිය වසර කිහිපය තුළ අපේ ආර්ථිකය ගමන් කර තිබුණේ කොතැනකටදැයි අපි දනිමු. මෙවැනි ගෝලීය වසංගතයත් ඉතා බියකරු මෙන්ම අභියෝගාත්මකය. චීනයට පවා මුලදී වයිරසය හඳුනාගැනීමට නොහැකි විය. ඊට යම් කාලයක් ගත විය. පළමු වටය සාර්ථකව පාලනය කර තිබියදී දෙවැනි රැල්ලක් නැඟුණද මෙම ශක්තිමත් ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ. මෙහිදී නවසීලන්තය ඉතා සාර්ථක බව වාර්තා විය. නවසීලන්තයේ ජනගහනය මිලියන 5 ක් පමණ වේ. අපේ මිලියන 22කි. එරට ජනගහනය විශාල භූමි ප්‍රදේශයක විසිරී සිටී. අපේ එසේ නොවේ. කුඩා භූමි ප්‍රමාණයක නාගරික තදබදය වැඩිය. කොවිඩ් - 19ට මුහුණදීමේදී ලොව මුලින්ම නිරෝධායන මධ්‍යස්ථාන ඇති කළේ අපය. පසුව තවත් රටවල් එය ආදර්ශයට ගත් බව පැහැදිලි ය. සාර්ථකව මේ තත්ත්වය කළමනාකරණය කරන්නට අපට හැකි වී ඇත.

අපේ රටේ ආර්ථික වර්ධනය 2018 වන විට 2.7 %ට පහත වැටී තිබිණි. ඒ, 5% පමණ සිටය. කොවිඩ් - 19 හේතුවෙන් අමෙරිකාවේ පමණක් මිලියන 50කට රැකියා අහිමි වී ඇත. ලෝකයේම ආර්ථිකය කඩාවැටීමට පසුබෑමට ලක්ව තිබේ. ඉදිරියේදී මහා සාගතයක් ඇති වනු ඇතැයි මත පළ වේ. මෙවැනි ගෝලීය අභියෝගවලටද මුහුණ දෙමින් ශක්තිමත්ව , ස්වාධීනව රාජ්‍යක් ලෙස නැඟී සිටීමේදීද සැමට අවස්ථා හිමිවන, සම්පත් සාධාරණ ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කර ගැනීමේදී ද මේ වැඩපිළිවෙළ මිස අන් විකල්පයක් රට හමුවේ නැත. මෙය පරමාදර්ශී තත්ත්වය නොවිය හැකිය. එසේ වුව ද මෙකී අභියෝග ජයගනිමින් රට ගොඩනැඟීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති, අනුගමනය කරන වැඩපිළිවෙළ මිස අන් සාර්ථක විකල්පයක් නැති බව අපට පිළිගැනීමට සිදු වේ.

එකී වැඩ පිළිවෙළ සාර්ථකව පෙරට ගෙනයමින් සමෘද්ධිමත් දේශයක් මේ ලක්බිම මත ගොඩනැඟීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට හැකිවේවායි ‍එතුමන්ගේ උපන්දිනයේදී ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

ධම්මික සෙනෙවිරත්න

එජාපය හැමදාම ඡන්දයට බයයි

$
0
0
ජුනි 22, 2020 01:00
චතුමී පිටිපන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, කොරෝනා ප්‍රශ්නයට මුහුණදුන් ආකාරය, රාජපක්ෂ පවුලට එල්ලවුණු චෝදනා,එජාප අර්බුදය ආදි කරුණු පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ අදහස් දක්වයි.

* ඔබ දැන් බොහොම පරිණත බවක් පෙනෙනවා. රහස මොකක්ද කියලා මුලින්ම කියමු ද?

ඕනෑම කෙනකු වයසින් මුහුකුරා යන විට පරිණතභාවයට පත්වෙනවා. දැන් මගේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 10ක් වෙනවා. පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු 23 දී. මේ පාර්ලිමේන්තුවෙත් පසුගිය පාර්ලිමේන්තුවෙත් තුන්වැනියට බාල කෙනා මම. පරිණතභාවය සහ පළපුරුද්ද ඇතිවෙන්නේ අත්දැකීම් සමඟයි. ඒක සාමන්‍ය දෙයක්.

*දේශපාලන ජීවිතයේදිත් ඔබ පරිණතද?

මහින්ද රාජපක්ෂ අගමැති තුමා අද තීන්දු තීරණ ගන්නේ දේශපාලන ජීවිතයේ අවුරුදු 50ක පළපුරුද්ද සමඟින්. ඒ වගේම තවත් ජ්‍යේෂ්ඨයන් බොහොමයක් සිටිනවා. ඒ වගේ අපත් හැමදාම දේශපාලනය ඉගෙන ගන්නවා. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නූතනත්වය පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ වගේම නූතන තාක්ෂණය පිළිබඳ එතුමා ඉගෙන ගන්නවා. දේශපාලනයට එම අත්දැකීම් ගේන්නේ කොහොමද කියලා එතුමා අධ්‍යයනය කරනවා. දේශපාලනය තුළ අපි හැමදාම , සමාජ අවශ්‍යතා, රටේ අවශ්‍යතා ලෝකය යන මාවත සහ දිශාව පිළිබඳ අවබෝධයකින් සිටිය යුතුයි. පරිණතභාවය සහ දේශපාලන අත්දැකීම් කියන දේ කාලෙන් කාලෙට අපේ ජීවිතවලට ගත යුතුයි. එය විවෘත මනසකින් ගත යුතුයි. මම පරිණතයි, මම දැන් ඔක්කොම දන්නවා කියන න්‍යාය සාර්ථක වෙන්නේ නැහැ.

*ඔබ වටේ ඉන්නේ තරුණ පිරිසක්. ඔබට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය වැඩි බවයි පෙනෙන්නේ. ඔවුන් කැමතියි ඔබ සමඟ කතා කරන්න ඡායාරූප ගන්න. ‌තරුණ ආකර්ෂණය දිනාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවද?

එහෙම විශේෂ හේතුවක් නැහැ. තරුණයන්ගේ සිතුම් පැතුම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා නම් ඒ වගේම තරුණයන්ගේ ගැටලු දෙස විවෘත මනසකින් බලන්න පුළුවන් නම් තරුණ පිරිස අප සමඟ සංවාදයක නියැ­‍ෙළනවා. දේශපාලනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේත් තරුණ ආකර්ෂණය වැඩි බවක් පෙනෙන්න තිබෙනවා. අදටත් මේ රටේ ජනතාවගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එහෙමයි. අපි හැමෝගෙම ජීවිතවල ලබා ගත් ජයග්‍රහණ සහ අත්දැකීම් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා වීම නිසාත් එම ආකර්ෂණය තිබෙන්නට පුළුවනි.

* නිල් බළකායක් හැදුවා නේද? ඒකට මොකද වුණේ?

නිල් බළකාය කියලා අප හැදුවේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයයි. අපි පක්ෂයෙන් එළියට ඒමත් සමඟ, පක්ෂ නායකත්වය ගත් මෛත්‍රීපාල සිරිසේන මහතා නිල් බළකාය කියන නම වෙනස් කරන්න තීන්දු කළා. ඒ නම දාන වෙලාවේ ඒක යෝජනා කරන කොට ඒක සම්මත කළෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා. එතකොට එතුමා එම පක්ෂයේ ලේකම්. ඉන්පසු එම පක්ෂයේ සභාපතිවරයා විදියට ඒ නම වෙනස් කළා. ඒක එතුමාගෙ තීන්දුවක්. පක්ෂ‌යේ ප්‍රතිසංවිධාන කටයුතු කරද්දි මම මගේ යුතුකම ඉෂ්ට කළා.

* ඒ කාලයේ නිල් බළකායෙන් තරුණ තරුණියන්ට කළ සේවය ගැන කියන්න පුළුවන් ද?

නිල් බළකාය කියන්නේ දේශපාලන බලවේගයක්. එම දේශපාලන බලවේගයෙන් තමයි අපි එදා ජනාධිපති මැතිවරණය මෙහෙයවුවේ. ඒ මඟින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයකට අවශ්‍ය පදනම හැදුවා. ඒක අතිසාර්ථක වුණා. විපක්ෂය එදා වැඩිපුරම මඩ ගැහුවේ නිල් බළකායට. ඒ ඔවුන්ට ඒක දැනුණ නිසා. ජනතා විමුක්ති පෙරමුණට තිබුණ වාමාංශික තරුණ කඳවුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇදෙනවා කියලා ඔවුන් එදා බය වුණා. අද එම වාමාංශික දේශපාලන කඳවුර සම්පූර්ණයෙන්ම පොදුජන පෙරමුණ සමඟ ඉන්නවා. අද පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය කියන්නේ එම දේශපාලන මත දරන තරුණ පිරිස.

* සෑම දෙනකුගේම ජීවිතවල ජයග්‍රහණ තිබෙනවා. ඔබ ජීවිතයේ ලබපු ජයග්‍රණන මොනවාද?

ජීවිතය ජයගත් අවස්ථා කිහිපයක් තිබෙනවා. එකක් තමයි විපක්ෂයේ හිටපු වසර පහ. ඒ කාලය තමයි මගේ ජීවිතයේ වැඩියෙන්ම අත්දැකීම් ලබපු කාලය. ඒ වසර පහ තුළ මගේ අම්මා තාත්තට දෙන්න බැරිවුණ අත්දැකීම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් මට දුන්නා. ඒ මාව සිරගත කිරීමෙන්. මම පෞද්ගලිකවම එතුමන්ලාට ස්තූතිවන්ත වෙනවා. ඒ ලබපු අත්දැකීම් මට කිසිදු අවස්ථාවක ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ කාලය දුෂ්කර වුණත් ඒක මම ජීවිතයේ ලබපු හොඳ අත්දැකීමක්. ඒ වගේම ඕනෑම කෙනකුගේ ජීවිතයක විවාහය කියන්නේ තවත එක් ජයග්‍රහණයක් වගේම හොඳ අත්දැකීමක්. මටත් ඒ ජයග්‍රහණය අත්දකින්න පුළුවන්කම ලැබුණා.

* ඔබතුමා පළමුවෙන්ම අත්අඩංගුවට ගත්තේ සහ සිරගත කරනු ලැබුවේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ. එම නඩුව සම්බන්ධව කුමක්ද කියන්නේ?

අධිකරණයේ ඒ නඩුව තාම අහනවා. මාව කොහොමද හිරේ දැම්මෙ කියලා රන්ජන් රාමනායක මහතාගේ හඬ පටයේ පැහැදිලිවම තිබෙනවා. මම ඇතුළු කණ්ඩායම හිරේ දැම්මෙ කොහොමද කියන එක FCID එකේ හිටපු ප්‍රධානියා රවී මහතාගේ මාධ්‍ය ප්‍රකාශනයේත් පැහැදිලිව තිබෙනවා. එම දේශපාලන පළිගැනීම්වලට මුදල් විශුද්ධිකරණ පණත භාවිතා කළා කියලා පැහැදිලිව පෙනෙනවා. දේශපාලන පළිගැනීම් මත නිර්මාණය වුණු චෝදනාවන්ට තමයි එදා අප සියලු දෙනාම අත්අඩංගුවට ගත්තේ.

* හම්බන්තොට පොලිස් මාර්ග බාධක ඉවත් කිරීමේ චෝදනාවකටත් ඔබ අත්අඩංගුවට ගත්තා ?

එවැනි සිදුවීම් එකක් දෙකක් නෙමෙයි කිහිපයක්ම සිදුවුණා. හම්බන්තොට පමණක් නොවෙයි කොළඹත් එවැනි දේ සිදුවුණා. විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීමකදී. අපි රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන්න ගියාම පොලිසිය දාලා අපට ගහලා ඉන්පසු අපි රාජ්‍ය දේපළ විනාශ කරන්න ආවා කියලා අත්අඩංගුවට ගත්තා. අන්තිමට රාජ්‍ය දේපළ විකුණපු අය එළියෙ ඉන්නවා, බේරගන්න ගිය අය ඇතුළෙ ඉන්නවා.

* මේ සියලු සිදුවීම් දේශපාලන පළිගැනීම් කියල ද ඔබතුමා කියන්නේ?

සියයට දාහක්ම දේශපාලන පළිගැනීම් කියලා මම කියනවා. මම කිව්වේ මට අත්විඳින්න සිදුවුණු දේශපාලන පළිගැනීම්. මෙවැනි දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. රාජ්‍ය සේවකයන්, දේශපාලනඥයන් වගේම පොලිස් නිලධාරීන් පවා ඉන්නවා. ඇතැම් පොලිස් නිලධාරීන්ට අප‌ අත්අඩංගුවට ගන්න කිව්වාම නීතියේ රාමුව තුළ සිට ඒ අය ගත් තීන්දු තීරණ තිබෙනවා. එදා ආණ්ඩුවේ සිටි සියලු දෙනාම මේවාට වගකිව යුතුයි.

* මේ මැතිවරණය ගැන ඔබ මොනවද සිතන්නේ, මේ කාලය තුළ මැතිවරණයක් පැවැත්වීමට විපක්ෂය අකමැති වුණා?

එක්සත් ජාතික පක්ෂය අද විතරක් නෙවෙයි මැතිවරණ පැවැත්වීමට විරුද්ධ වුණේ. 1993න් පසුව එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය ලැබුවා. ජයග්‍රහණ ලැබුවේ යම් යම් අවස්ථාවල පමණයි. නමුත් ඊට පෙරත් වසර 17ක් මැතිවරණ නැතිව මේ රට පාලනය කරන්න උත්සාහ කළා. මේ පාරත් මැතිවරණ නැතිව ආණ්ඩුව දුවන්න උත්සාහ කළා. අවසානයේ දැන් මැතිවරණ කල් දාන්න උත්සාහ කරනවා. මැතිවරණ කල් දැමීමේ සහ මැතිවරණ නොතියා සිටීමේ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකය වටේම කතා කරන එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලබීජය වන ඡන්ද අයිතිය ලංකාවේ මිනිසුන්ට නැති කරන්න හදනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත්භාවයයි.

* එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම ඔබතුමන්ලාට වාසිදායක ද?

ඒ අය එකට සිටියත් දෙකඩ වී සිටියත් අපට කලබල වන්න හේතුවක් නැහැ. අපි එදා සිටම මැතිවරණ කළේ දේශපාලන ප්‍රතිපත්ති සමඟ. අපි කිසිදිනක අපේක්ෂකයාගේ පෞද්ගලික පසුබිම කේන්ද්‍ර කරගෙන මැතිවරණ මෙහෙයවා නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙවතාවක්ම හම්බන්තො‌ටින් සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද ප්‍රමාණයක් ගැනීමට මට හැකිවුණේ මම ප්‍රතිපත්ති පදනම් කරගෙන වැඩ කරපු නිසයි. මම හම්බන්තොට මැතිවරණ වේදිකාවෙදි සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය කරල නැහැ. ඉදිරියේ දී එහෙම කරන්නෙත් නැහැ. මට ප්‍රතිපත්තියක් තිබෙනවා.

මම විශ්වාස කරනවා මගේ ජනතාවට ඒ ප්‍රතිපත්ති ගැන දැනගැනීමට අවශ්‍යයි කියලා. ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාම හැමෝම හිතුවා හම්බන්තොටින් විශාල අභියෝගයක් දෙයි කියලා. නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාත් විශ්වාස කළා. එහෙම කළේ අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන ගිය නිසයි. අපි මඩවලින් දේශපාලනය කළේ නැහැ. ඒ අය ද්විත්ව පුරවැසිභාවය ගැන කතා කළා. අපි ඒවා ගැන කියන්න ගියේ නැහැ අපි කතා කළේ ප්‍රතිපත්ති ගැන. මම හිතන්නේ මේ දේශපාලනයේ දී කවුරු බෙදිල ද වෙන්වෙලා ද කියන කාරණය නොවෙයි වැදගත් බුද්ධිමත් ජනතාවක් සිටින රටක ප්‍රතිපත්ති පදනම් කරගෙන අප දේශපාලනය කළ යුතුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය බෙදුණද, එකතු වුණාද කියන කාරණය පිළබඳ අපි අවධානය යොමු කරන්නේ නැහැ. එයාලගෙ අභ්‍යන්තර ගැටලුව ගැන අපි සොයන්නේ නැහැ.

* ඔබ මැතිවරණයට ඉදිරිපත්වන්නේ හම්බන්තොටින්. සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට අතහැර කොළඹින් ඉදිරිපත් වී සිටිනවා. එය ඔබ‌ට බලපාන්නේ කොහොම ද?

මම ඇත්තටම ඒ ගැන කනගාටු වෙනවා. එතුමා එම තීන්දුව ගත්තේ වැරදි වෙලාවක. එතුමාට කොළඹින් ඉදිරිපත් වෙන්න ඕනෑ කියන තීන්දුව ගන්න තිබුණේ මීට වසර ගණනාවකට පෙරයි. එතුමාගෙ වැරදි දිස්ත්‍රික්කයකින් ආවේ. එතුමාගේ ප්‍රතිපත්ති අපේ දිස්ත්‍රික්කයට ගැළපෙන්නේ නැහැ. අපේ ජනතාව එතුමාගෙ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කළා. මම අදටත් දුක් වෙනවා සජිත් මහතා හම්බන්තොටින් ගියපු එක ගැන. එයා හම්බන්තොටම සිටියා නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුණා කියල මම හිතනවා.

* සුළු පක්ෂවල සහයෝගය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවන්න හැකියි කියා ඔබ සිතනවද?

පැහැදිලි බහුතරයක් පාර්ලිමේන්තුවේ දී ගන්නවා කියලා අපි දන්නවා. අපි කොහොමත් රිෂාඩ් බදියුදීන්ලා සමඟ ආණ්ඩු හදන්නේ නැති බව පැහැදිලිව කියා තිබෙනවා. අපි සන්ධානය විදියට බහුතර ආසන සංඛ්‍යාවක් ගන්නවා.

* ඔබතුමන්ලා ඒ ගැන පැහැදිලි විශ්වාසයකින් ඉන්නවා?

ඔව්. අපි පැහිදිලි විශ්වාසයකින් ඉන්නවා. අපට කලබල වෙන්න දෙයක් නැහැ. ජනතාව කෙරේ අපට පැහැදිලි විශ්වාසයක් තිබෙනවා. අපි වැඩ කළා. ලංකාව වටේ ගම්වල ඇවිදින විට අපට දැනෙන කාරණය තමයි අපට වෙන පක්ෂවල සහාය අවශ්‍ය නැහැ කියන එක. අපේ පක්ෂය සෑම ජන කොට්ඨාසයක්ම නියෝජනය වෙන පරිදි අපේක්ෂකයො දාලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ අපේක්ෂකයො තේරී පත් වෙලා පාර්ලිමේන්තුවට එයි කියලා.

* එම අපේක්ෂයන් බුද්ධිමත් සහ දූෂණ වංචාවලින් තොර පිරිසක් කියා ඔබතුමාට විශ්වාස ද?

අපි හොඳ දක්ෂ කණ්ඩායමක් දාලා තිබෙනවා. ඒ කණ්ඩායම තුළ හැම ජන කොට්ඨාසයක්ම නියෝජනය කරනවා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාවලදී බොරු චෝදනා නඟන පිරිස හැරුණු කොට අපි අධිකරණයක දී වැරදිකරුවන් වුණු කිසිවකුට අපේක්ෂකත්වය දීලා නැහැ.

* මෙවර මැතිවරණ නීති සැකසී තිබෙන්නේ සෞඛ්‍ය නිර්දේශයන් මත. පෝස්ටර්, කටවුට් නැහැ, රැස්වීම්වලත් පිරිස සීමා කොට තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

මම පෞද්ගලිකව මේ ක්‍රමයට කැමතියි. මේක අපට ගමට යන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ගම ඇතුළට යන්න නම් 100ක් ගෙන්වන්න ඕනෑ නැහැ. අපේක්ෂකයන්ට පුළුවන් විය යුතුයි ගම ඇතුළට යන්න. ඡන්ද දායකයන්ගෙ පැත්තෙන් හොඳ දෙයක්. තමන්ගෙ මන්ත්‍රීවරයා හැම ගමකටම එනවා. මෙය හොඳ ක්‍රමයක්. ඉදිරි මැතිවරණවලටත් මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියා මම හිතනවා.

* කොරෝනා වසංගතය ජය ගැනීමේ දී වත්මන් ආණ්ඩුව නිවැරදී තීරණ නොගත් බව ජනතාව කියනවා. මේ ගැන ඔබේ අදහස?

පසුගිය රජය සිටියා නම් දුර්වල පරිපාලනය සහ කළමනාකාරිත්වය සමඟ විශාල විනාශයක් වෙන්න තිබුණා. ඒක වැළකුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් මහින්ද රාජපක්ෂ මහතාගේත් ජනාධිපති සහ අගමැති අතර තිබිය යුතු අවබෝධය සහ රාජ්‍යයාන්ත්‍රණයේ මෙහෙයවීම නිසයි.

* මේ මැතිවරණයේ දී කොරෝනා වසංගතය ඔබතුමන්ලාට ආශිර්වාදයක් වුණාද?

කිසි වසංගතයක් ආශිර්වාදයක් වෙන්නේ නැහැ. මැතිවරණයකට මුහුණදෙන්න වුණාම ඒ මුහුණ දෙන ආකාරය පිළිබඳව ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවෙනවා. පාස්කු ප්‍රහාරයේ දී එක්සත් ජාතික පක්ෂය කළ වැරදි කිහිපයක් තිබෙනවා. පළමු කාරණය පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණා. දෙවෙනි කාරණය ප්‍රහාරයෙන් පසුව සිදුවුණ සිදුවීම්වලට මුහුණ දුන් ආකාරය. මේ දෙකම වැරදියි. වර්තමාන ආණ්ඩුව කොරෝනා එන්න කලින් වළක්වා ගැනීම ආරම්භ කළා. කොරෝනා ආසාදිතයන් රැකගැනීමටත් ආසාදනය නොවුණු අය නිරෝධායනය කිරීමටත් වැඩපිළිවෙළක් සැකසුවා. රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සහ නිරෝධායනය යන මේ දෙකම සාර්ථකව සිදුකළ නිසා අද අපට මේ තත්ත්වයට එන්න පුළුවන්කම ලැබුණා. පාස්කු ප්‍රහාරයේ දී පසුගිය ආණ්ඩුව මේ දෙකම කළේ නැහැ.

 


විපක්ෂයේ ළතෝනිය ඡන්දෙට බයේ

$
0
0
ජුනි 22, 2020 01:00

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක කේ.පී.එස්.කුමාරසිරි

පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විපක්ෂ කණ්ඩායම්වලින් එල්ලවන අභියෝගවලට ඔබ කණ්ඩායම මුහුණ දෙන්නේ කෙසේද ?

මුලින් ම අහන්න ඕනෑ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණට කොහෙද විපක්ෂයේ අභියෝගයක් තියෙන්නේ. රටේ ම එහෙමයි. නමුත් අපේ දිස්ත්‍රික්කය සුවිශේෂයි. ඒකට හේතුව අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්නා විට අනුරාධපුරයේ තුනෙන් දෙකකට එහා ගිය ජයග්‍රහණයක් හිමි කර ගන්නවා. ඒක කාටවත් නවත්වන්න බෑ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් ප්‍රමාණය සුවිශේෂී අංකයකින් ලබා දෙනවා. අපි හතක් පත් වෙනවා. මන්ත්‍රීවරුන් නමයෙන් හත් දෙනෙක් පත් වෙනවා.

අද ජනතාව බලා ගෙන ඉන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය නැවත තහවුරු කරන්නත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ශක්තිය තහවුරු කරන්නත්. අපිට කිසිම සැකයක් නෑ. අද ආණ්ඩුවට විපක්ෂය අභියෝගයක් වී නෑ. ඒත් සජිත්, රනිල් යන පිල් දෙකට එකිනෙකා අභියෝගයක් වී තිබෙනවා. ඒ අභියෝගයෙන් ජය ගැනීමයි විපක්ෂයේ කාර්යභාර්ය වී තිබෙන්නේ. දේශපාලන වශයෙන් කෙටියෙන් ම කිවුවොත් අද විපක්ෂය බංකොලොත් වී සිටිනවා.

ඔබ එසේ කිවුවත් දුන් පොරොන්දුවලට මොකද වුණේ ? ගොවි ජනතාවට ප්‍රධාන ප්‍රශ්නයක් වශයෙන් පොහොර ගැටලුව බලපාලා තියෙනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයෙක් , ගොවි ජනතාව තුළින් ගොඩ නැගුණු කෙනෙක් ලෙස ඔබ මෙය දකින්නේ කෙසේ ද?

ඇත්තෙන් ම පොහොර ප්‍රශ්නයක් තිබුණා. රටක ගැටලු තියෙනවා. ගැටලු නැත්නම් ඒකත් ගැටලුවක්. ගැටලුවට විසඳුම් සෙවීම සහ විසඳුම් ලබා දීම තමයි ආණ්ඩුවක වගකීම. ඔබ දකින්න ඇති ගෝඨාභය ජනාධිපතිතුමා නිලධාරීන් තමා ම ගෙන්වා ගෙන වහාම විසඳුම් ලබා දුන්නා. ඒකයි අපේ ආණ්ඩුවේ ලක්ෂණය. අපිත් ගොවිතැන් කරපු මිනිස්සු. මගේ පියා හොඳ ගොවියෙක්. 2002 වසරේ යු.එන්.පී.ආණ්ඩුවක් යටතේ මම ප්‍රාදේශීය සභාවට පත් වුණා. ඒ අසීරු අවස්ථාවේ මහජන නියෝජිතයෙක් වු මම, නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ දෙවතාවක් කටයුතු කර පසුව සභාපති වී පළාත් සභාවට පත් වී බටහිර අනුරාධපුර ආසනයේ පොහොට්ටුවේ නියමුවා ලෙස කටයුතු කරනවා. ඒ සියලු දේ ලැබුණෙත් මේ අහිංසක ගොවි ජනතාව නිසයි. ඒ නිසා ගොවි ජනතාව නියෝජනය කරන පිලේ සිටින අපි ඔවුන්ට අවැඩක් වෙන්න දෙන්නෙ නෑ. තිස් වසරක යුද්ධය අවසන් කර ලෝකයම අසරණ කළ කොරෝනා වසංගතය ජයග්‍රහණය කළ ජනාධිපතිවරයාට මේක විසඳන එක ලොකු දෙයක් නොවේ.

ඔබ කියනවා ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ගන්නවා කියලා. සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම කියනවා ඔවුන් පාර්ලිමේන්තු බලය තහවුරු කර ගන්නවා කියලා. රනිල් වික්‍රමසිංහ මහතා කියනවා අඩුපාඩු හදා ගෙන ජයග්‍රහණයට යමු කියලා. මහජනතාව පිළිගත යුත්තේ කවුරුන්ගේ කතාව ද ?

රනිල් මහත්තයා පැරදිලා, පැරදිලා ඒක සජිත් මහත්තයාට බාර දීලා තියෙන්නේ. රනිල් මහත්තයාගේ වාර්තාව බිඳින්න දැන් සජිත් මහත්තයත් තරග බිමේ. තමන්ගේ ප්‍රාදේශීය කොට්ඨාසය , තමන්ගේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාසය , තමන්ගේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරගන්න බැරි වුණ සජිත් මහත්තයා ගැන තවත් කවර කතා ද ? රටේ ම ලක්ෂ පහළොවකින් පැරදුණ සජිත් පිල අද අනාථ වෙලා. දවසින් දවස අපේක්ෂකයෝ ඉල්ලා අස් වෙනවා. තමන් නියෝජනය කරපු හම්බන්තොට දාලා එජාපයට වැඩි බරක් තිබුණු කොළඹට පැනලා සජිත් ජන්දය ඉල්ලනවා. අපි අභියෝග කරනවා හැකි නම් ලංකාවේ පාර්ලිමේන්තු බලය ලබා ගන්න කලින් කොළඹ දිස්ත්‍රික්කයේ බලය අරගෙන පෙන්වන්න. නැත්නම් තවත් මැතිවරණ පරාජය වීමේ වාර්තා හදන්නේ නැතිව මේ මැතිවරණයෙන් පස්සෙ ගෙදර යන්න. බලන්න මේ මැතිවරණයෙන් පස්සෙ සජිත් පිලේ කී දෙනෙක් ඔහු සමග ඉඳී ද කියා. සජිත් පිලේ ඉතිරි වන්නේ අවසානයට ඔහු විතරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ගැන කියන්න ඕන නෑ. පසුගිය අවුරුදු පහේ කළ සෙල්ලම් අද මුළු රට ම දන්නවා. ඒ නිසා ගුණ කතා කරන්න අවශ්‍ය වන්නේ නෑ. කෙටියෙන් ම කිවුවොත් මන්ත්‍රීකම ගන්න ඕන හින්දා එතුමා ජන්දය ඉල්ලනවා. නැත්නම් මේ වෙද්දි වෙන කෙනෙකුට බාර දීලා. පසුගිය කාලෙම ජනාධිපතිවරණ සඳහා කළේ රාජපක්ෂවරු සමග තරග කිරීමට තම පක්ෂයේ කාටවත් බැරි නිසා කවුරු හරි දාලා ජාමෙ බේර ගන්න එකයි. අන්තිමට වුණේ සජිත් මහත්තයා වීරයා කියලා පෙන්වන්න ගිහිල්ලා රනිල්ටත් වඩා දුර් වලයෙක් කියලා රටටත් තම පාක්ෂිකයන්ටත් ඔප්පු කිරීම පමණයි.

කොවිඩ් 19 සහන සැලසීම ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවෙළ අසාර්ථක බව විපක්ෂය දිගින් දිගට ම සඳහන් කරනවා. උදාහරණයක් වශයෙන් ත්‍රී රෝද රථ සංගමයේ සභාපතිවරයාගේ ඝාතනයත් ආණ්ඩුවේ වරදින් වුණ දෙයක් ලෙස පෙන්වා දෙනවා. ඇත්තටම ආණ්ඩුව අසාර්ථක ද ?

ආණ්ඩුව අසාර්ථකයි කියන්නේ මේ රටේ මන්ත්‍රීධුර සොයා ගන්න උත්සාහ කරන විපක්ෂය විතරයි. මේ රටේ ජනතාව විතරක් නෙවෙයි මුළු ලෝකයම ලංකාව පැසසුමට ලක් කරනවා. ලෝක බලවතුන් කියු නායකයෝ අන්ත අසරණ වෙලා. ඒත් මේ පුංචි රටේ රාජ්‍ය නායකයා රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීලා , ජීවිතත් ආරක්ෂා කරලා තියෙනවා. මේ වසංගතයෙන් ලංකාවේ මියගිය මරණ ගණන එකොළහයි. රිය අනතුරුවලින් ම සමහර දාට මීට වඩා මිය යනවා. ජීවත් වෙන්න සල්ලි ගෙදරට ගෙනත් දුන්නා. බෙහෙත් ටික ගෙදරට ම ගෙනත් දුන්නා. සමාජයෙන් කොවිඩ් 19 වසංගතය දුරු කරලා ජනතාව සාමාන්‍ය ජීවන රටාවට එක් වෙමින් සිටිනවා. තවත් මොනව ද අවශ්‍ය. ඒ තරම්ම විශිෂ්ට සේවයක් තමයි එතුමා කළේ.

මේ විපක්ෂය ළතෝනි දෙන්නේ මහ මැතිවණය කල් දාගන්න බැරි වීමේ වේදනාවෙන්. පොහොර ප්‍රශ්නය අපි කලින් කතා කළා. පෙහොර සමාගම්වලට මුදල් ගෙවන්නේ නැතිව ගිය ආණ්ඩුව කරපු පාපකර්ම නිසයි තාවකාලික හෝ අපහසුතාවයකට ජනතාවට මුහුණු දෙන්න වුණේ. රජයේ නියෝගයක් දී තිබිය දී සමහර මහ බැංකුවේ පවා ලියාපදිංචි නැති ලීසිං සමාගම් කටයුතු කරන්න සුදානම් වුණා . ලීසිං සමාගම් හිතුවේ මේ වෙන ආණ්ඩු වගේ වෙයි කියා. අපි කණගාටු වෙනවා ත්‍රී රෝද රථ සංගමේ සභාපතිතුමාගේ අභාවය සම්බන්ධයෙන්. නමුත් එතුමාට මහ දැවැන්ත ගෞරවයක් වෙනවා ජනාධිපතිතුමා සමස්ත ලිසිං ලබා ගත් පාරිභෝගිකයන් වෙනුවෙන් කිසිවකුත් නොගන්න තීන්දු රැසක් ගත්තා. එයයි වෙනස . ගැටලුවට නියත විසඳුමක් ලබා දෙන නායකයෙක් අපිට සිටින්නේ. ඒකයි මේ ආණ්ඩුවේ වෙනස .

නමුත් මැතිවරණ ප්‍රකාශයේ තිබු තවත් පොරොන්දු ඉටු කිරීමට තියෙනවා නේද ?

ඒ පොරොන්දු නියත වශයෙන් ඉටු වෙනවා. ඒත් මේ ප්‍රමාදයට වගකියන්න ඕන අපි ද? සුළුතර ආණ්ඩුවකින් වැඩක් කරන්න දෙන්නේ නැති බව අතුරු සම්මත ගිණුමෙන් විපක්ෂය පෙන්නුවා. එහෙනම් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට ආණ්ඩුවක් තියෙන්න ඕන. ජනාධිපතිතුමාගේ පාලන කාලයෙන් මාස හයකට වඩා කාලයක් දැන් ගෙවිලා. ඒත් ආණ්ඩුවක් පිහිටුවන්න යනකොට විපක්ෂය කකුල් මාට්ටු දානවා. මේ රටේ විපක්ෂය මැතිවරණ තියන්න එපා කියලා උසාවි ගියාට වෙන රටවල මැතිවරණය තියන්න කියලයි විපක්ෂය උසාවි යන්නේ. පොහොට්ටුවේ නෑ පොරොන්දු කඩන නායකයෝ. මේ රටේ ජනතාවට ජීවත් වීමේ නිදහස ආර්ථික නිදහස ලබා දුන්නේ රාජපක්ෂවරු. මහින්ද රජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ මේ රටට කළ සේවය අතිමහත්. ඒ වෙනුවෙන් කෘතගුණ සලකන්න ජනතාව කෘතවේදීව බලා ගෙන ඉන්නවා.

අපි උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමට කටයුතු කළා. ඒත් කොමිසම ඒකටත් දේශපාලනය ගාවගත්තා. රුපියල් පන්දහසට කරපු දේ දැක්කානේ? මේ රටේ විපක්ෂයට හයිය දෙන්න කොමිසමකුත් තියෙනවා. ඒ විපක්ෂය ආණ්ඩුව කාලේ ආණ්ඩුවට හයිය දුන්නා. මැතිවරණ කල් දැමීම තමයි මේ කොමිසමේ කැමැත්ත.

මේ මැතිවරණ ක්‍රමය නිසා පක්ෂ අතර ගැටුමට වඩා පක්ෂ තුළ ගැටුම් දක්නට ලැබෙනවා. ඔබගේ දිස්ත්‍රික්කයේ තත්ත්වය කෙසේ ද ?

අපේ කිසිම ගැටුමක් නෑ . වෙනම කණ්ඩායමක් නෑ. දිස්ත්‍රික් නායක අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න කණ්ඩායමට පැහැදිලි නායකත්වයක් ලබා දෙනවා. අපේක්ෂකයින් වශයෙන් ඒ ජනතාවගේ කැමැත්ත අනුව අපි තෝරා ගනියි. දිස්ත්‍රික් නායකත්වය අපිට නිරන්තර උපදෙස් ලබා දෙන්නේ පක්ෂයේ ජය තහවුරු කිරීමට සියලු දෙනා එකාවන්ව කටයුතු කරන ලෙසයි. මඩ ගැසීම් , සමාජ මාධ්‍ය ජාලා හරහා අවමන් කිරීම් නොකර තම තමන්ගේ ප්‍රතිරූපයේ ශක්තිය පෙන්වන්න කියලයි. එස්.එම්.චන්ද්‍රසේන දිස්ත්‍රික් නායකතුමා ලබා දෙන උපදෙස් අනුව අපි සාර්ථකව සාමාකාමීව මැතිවරණය කර ගෙන යනවා.

අනුරාධපුරය කියන්නේ කෘෂිකාර්මික ප්‍රදේශයක් . කාලයකට මේ අහිංසක ගොවි ජනතාවගේ බව භෝග අලෙවි කර ගැනීමට නොහැකිව විනාශ වෙනවා. හැමදාම විසඳුම් ගැන කතා කරනවා. නමුත් ක්‍රියාවට නැංවීමක් නෑ. මේ සම්බන්ධයෙන් ඔබේ යෝජනාව කුමක් ද ?

අපේ ප්‍රදේශයේ සමහර කාලයකට එළවළු හා පලතුරු විශාල අස්වැන්නක් ලැබෙනවා. උදාහරණයක් ලෙස සියඹලා , අඹ , දිවුල් , වට්ටක්කා වැනි දෑ පෙන්වා දිය හැකියි. තවත් එළවළු බොහෝ තියෙනවා. මේ ප්‍රශ්නයට ඉදිරි පාලන සමයේ දී ස්ථිරව ම, නියතව ම විසඳුමක් ලැබෙන බවට සහතිකයක් දිය හැකියි. වෙළෙඳ මාෆියාව නැති කිරීමේ අරමුණින් ශීතාගාර වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. රජය වැඩ පිළිවෙළ ආරම්භ කිරීමත් සමග ම තරගකාරී වෙළෙඳපොළට පුද්ගලික අංශයත් අනිවාර්යයෙන් ම මැදිහත් වෙනවා. ඒ අනුව ගොවි ජනතාවට තම නිෂ්පාදනයට හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේම මිරිස් සහ ධාන්‍ය වර්ග විශාල වශයෙන් වගා කරලා පිටරටට ගලා යන විදේශ විනිමය නවත්වා අපේ ගොවි ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. මගෙත් දස වැදෑරුම් වැඩ පිළිවෙළක් තියෙනවා.

ඒ සියල්ල කැටි කොට ගොවි බෝගවලින් කළ හැකි ප්‍රති නිෂ්පාදනය ද අප ප්‍රදේශයේ ආරම්භ කිරීමට අවශ්‍ය කර්මාන්ත සකස් කිරීමට රජයේ අවධානය යොමු කරනවා. මේ කෘෂි කර්මාන්තයට අමතරව අපේ දිස්ත්‍රික්කයේ දියුණු කළ හැකි ප්‍රධාන අංගයක් තමයි සංචාරක ව්‍යාපාරය. අනුරාධපුරය මෙන් ම අපේ දිස්ත්‍රික්කයට මහත් සම්පතක් වී ඇති විල්පත්තුව දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් වැඩි දියුණු කර පරිසරය ආරක්ෂා කර සතා සීපාවාට අවශ්‍ය පහසුකම් ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. වන ජීවී ඇමති චන්ද්‍රෙස්න මහතා හා විල්පත්තුවේ කළ සංචාරයෙන් පසු දෙස් විදෙස් එන සංචාරකයින්ට නැරඹිය හැකි හා නැරඹිය යුතු අත්‍යවශ්‍යම තැනක් බවට විල්පත්තුව පත් කළා. මේ වන විට යන සංචාරකයකුට අවශ්‍ය නවාතැන් හෝ වැසිකිළි කැසිකිළි පහසුකම්වත් විල්පත්තුවේ හරියට නැහැ. දැවැන්ත මහා වැව් හා ජලාශ දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට යොමු කරවනවා.

චූල බණ්ඩාර කුලසේකර

රනිල්ට පිලක් නැහැ එජාපය අපි ළඟ

$
0
0
ජුනි 22, 2020 01:00

සමඟි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂිකා චන්ද්‍රානි බණ්ඩාර

ආණ්ඩුවේ බලාපොරොත්තුව තුනෙන් දෙකේ ආණ්ඩුවක්. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නවයෙන් හතක බලයක්. මෙයින් කියවෙන්නේ විපක්ෂයේ නොහැකියාවද?

තුනෙන් දෙකේ බලය ආණ්ඩුවේ හීනයක් විතරයි. මැතිවරණය පහුවදාම එය බලන්න පුළුවනි. සමගි ජන බලවේගය තුනෙන් දෙකක් නැති වුණාට බහුතර බලය අපි ලබා ගන්නවා. අද රටේම ජනතාව බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්න. ඒ නිසා ආණ්ඩුව දවල් හීන දකිනවා කියන්න තමයි තියෙන්නේ.

යුද්ධය ඉවර කරලවත් තුනෙන් දෙකක් ගන්න බැරිවුණා. මේ තරම් ජනතාවට පීඩනය දීලා ජනතාව තලලා පෙලලා බලයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් එය හීනයක් විතරයි. කියන්න දෙයක් නැතිව මතයක් ගොඩනගා ගන්න කියන කතාවක් ඒක. තුනෙන් දෙක තියා දෙකෙන් එකවත් රැකගන්න බැරි තැනකයි අද ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුව එකසිය දහතුනවත් ගන්න බෑ කියලා මම සහතික කරලා කියනවා.

නමුත් ආණ්ඩුව කියන්නේ, විපක්ෂයේ අර්බුදය ඔවුන්ගේ බලය තහවුරු කර ගන්න ප්‍රයෝජනවත් වෙන බවයි. විශේෂයෙන් රනිල් , සජිත් අර්බුදය.

සජිත්, රනිල් කථා ආණ්ඩුවට අදාළ නෑ. රනිල් සජිත් අර්බුදය අපි බලා ගන්නම්. අපි කියන්නේ ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්න කියලා. දැන් බොරු කතා ගොතනවා. ජනතා ප්‍රශ්න හමුවේ ආණ්ඩුව අද නිරුත්තර වෙලා. ඒ ප්‍රශ්න වෙනතකට යොමු කරන්න වෙනත් මාතෘකා කථා කරනවා. ජනතාව මේවාට අහුවෙන්න මෝඩ නෑ.

අද රනිල් පිලක් කියලා දෙයක් නෑ. සියලුම එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නේ සමගි ජන බලවේගය සමගයි. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. රනිල් සජිත් අර්බුදයක් පෙන්වාගෙන ගෝනිබිල්ලෙක් වාගේ මාතෘකාවක් කරගෙන ඉන්න අවශ්‍ය නෑ. අපි අපේ ගමන යනවා.

සමගි ජන බලවේගය බිහිවීම කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත වෙලා බොහොම නිත්‍යානුකූලව සිදු කෙරුණු කාර්යයක්. ජනතාව අප සමග සිටින තාක්කල් මොන අභියෝග ආවත් අපි අපේ ගමන සාර්ථකව යනවා.

අද එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ බලය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිලා කියලා එක්සත් ජාතික පක්ෂයම පිළි අරගෙන තියෙන්නේ. ආසන සංවිධායකවරු එකසිය දෙකක් ඉවත් කරලා අලුතෙන් පත් කරගන්න වෙන්නේ පොහොට්ටුවේ කැපිච්ච සංවිධායකවරු තමයි. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති බලයේ සිට සියලු බලවේග අද සමගි ජන බලවේගය සමග අත්වැල් බැදගෙන ඉන්නේ. මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ අපි සිරිකොතේ බලයක් නියත වශයෙන්ම ලබා ගන්නවා. ජනතාවට අද තියන එකම පිළිතුර සමගි ජන බලවේගය පමණයි. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ වැඩක් කරපු, වැඩක් කරන්න පුළුවන් නායකයෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා නැති කරපු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ළඟ. එතුමා පාක්ෂිකයාට ළෙන්ගතුයි. අද එක්සත් ජාතික පක්ෂයට පුද්ගලයින් ඇහිදින්න සිදුවෙලා තියනවා. ජනතාවගේ පිළිතුර ‘සමගි ජන බලවේගය’ වෙනකොට ආණ්ඩුවත් අද අසරණ වෙමින් යනවා.

ආණ්ඩුව සමග ඩීල්කාරයෝ අපි කියලා පෙන්වන්න, අලියා වටේ ඉන්න කිහිපදෙනෙක් උත්සාහ කරනවා. ඩීල්කාරයෝ කවුද කියලා ජනතාව හොඳටම දන්නවා. ආණ්ඩුව විපක්ෂනායක කාර්යයාලය අපිට දීලා ඩීල් එකක් යනවා කියලා බොරු මඩක් බොරු මතයක් හදන්න හැදුවා. අපි විපක්ෂනායක කාර්යාලය අරගෙන තියෙන්නේ නිත්‍යානුකූලව සල්ලි ගෙවලා. ආණ්ඩුවත් එක්ක අපේ ඩීල් නෑ. රනිල් පිලටයි ආණ්ඩුවත් එක්ක ඩීල් තියෙන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස කියන ශක්තිමත්, ආකර්ෂණීය, ජනතාවගේ දුක දන්නා නායකයා, ඉදිරියේදී මේ රටේ අගමැති වෙනවා.

ආණ්ඩුවනම් කියන්නේ, සජිත් ප්‍රේමදාස තමන් නියෝජනය කළ දිස්ත්‍රික්කයවත් ජයග්‍රහණය කරන්න බැරි දුර්වල නායකයෙන් කියලා. ඒ වාගේම විපක්ෂයේ මේ බෙදීම ඔවුන්ගේ ජය ඉහළින්ම තහවුරු කිරීමට බලපානවා කියලා. මැතිවරණයෙන් පරාජය වූ සජිත් ප්‍රේමදාස මහතාට ජනතා විශ්වාසය දිනා ගන්න පුළුවන් කියා ඔබ විශ්වාස කරනවද?

පැහැදිලිවම. මහින්ද මහත්තයා නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙන් ඔවුන් එදා අන්ත පරාජය වුණා කියලා ඔය කියන ආණ්ඩුවට අමතක වුණා. ඒ විතරක් ද 2002 ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් හම්බන්තොට මහින්ද මහත්තයලට අත් වූ ඉරණම මතකද? ඒ පැරදුණු දිස්ත්‍රික්කය අද ඔවුන් බලකොටුව කියනවා.

මහින්ද මහත්තයා පැරදුණා, නැවත ගොඩනැගුණා. මේකයි දේශපාලනය. හැටේ ඩඩ්ලි පැරදුණා, හැටපහේ බලය ලබා ගත්තා. හැටපහේ සිරිමාවෝ පැරදුණා, හැත්තෑවේ බලය ලබා ගත්තා. පනස් දෙකේ බණ්ඩාරනායක මහත්තය පැරදුණා, පනස් හතේ බලය ලබා ගත්තා. කවදාවත් පරද්දන්න බෑ කිවුව මහින්ද මහත්තයා දෙදහස් පහළොවේ පැරදුණා. ඊළඟට දෙදාස් විස්සේ, බලය තම කණ්ඩායමට ලබා ගන්න කටයුතු කළා. ඒ නිසා මේවා බොළද තර්ක. එක දවසක් ඇති බලය ලබා ගන්න. හොඳම උදාහරණය දෙදහස් දාහතර හොඳම රැල්ල තිබුණේ මහින්ද මහත්තයාට. මෛත්‍රීපාල මහත්තයා ආප්ප කාලා විපක්ෂයට එක්වුණා විතරයි රැල්ල අනිත් පැත්ත ගැහුවා. මේකයි තේරුම් ගත යුතු දේශපාලනය.

පසුගිය දෙදහස් දහඅටේ පැවති පළාත් පාලන මැතිවරණය තවත් උදාහරණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා ඡන්දයට ගියා. හැමෝම හිතුවේ පක්ෂය දෙකට කැඩුණු නිසා බලය එජාපයට එයි කියලා. වුණේ මොකක්ද? පොහොට්ටුව ප්‍රාදේශීය සභා වැඩි ප්‍රමාණයක බලය තහවුරු කර ගත්තා. මේ දේම තමයි ඉදිරියේ යුඑන්පීයටත් වෙන්නේ. ඒ නිසා එක දිස්ත්‍රික්කයක් මැතිවරණයකින් පැරදුණා කියලා ඔහු අදක්ෂයෙක් නැවත බලය ලබා ගන්න බැරිකෙනෙක් කියලා කාටවත් අතීතය දිහා බලුවාම කියන්න බෑ. අතීතයේ වාර්තාගත ලෙසට මැතිවරණ පරාජය වී දිගින් දිගටම රැඳී සිටි එකම එක්කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලෝකයෙන්ම ඉදිරියෙන් තියනවා. නමුත් ඔබ, සජිත් ප්‍රේමදාස මහතා වගේ අය කියන්නේ රට තුළ මේ වසංගතය ඇතිවීමටත් එමගින් සිදු වූ ආර්ථික පසුබෑමටත් වගකියන්න ඕනෑ ආණ්ඩුව කියලයි. ඇයි එහෙම චෝදනාවක් කරන්නේ.

පළමු කොරෝනා රෝගියා වාර්තා වෙනකොට රටේ අවදානම අපි දැක්කා. සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේ මේ ගැන කථා කළා. එතකොට රෝගීන් විසිඅට දෙනයි හිටියේ. වරාය සහ ගුවන්තොටුපොළ ඒ අවස්ථාවේ වැහුවනම්, මේ ආර්ථික අවපාතයවත් මේ රෝගය රට තුළ ව්‍යාප්ත වීමවත් සිදුවන්නේ නැහැ. රෝගයට බියවීමටත් සිදු වන්නේ නෑ. සජිත් මහතා එය පැහැදිලි කරනකොට සමහරු උසුළු විසුළු කළා. සෞඛ්‍ය ඇමතිවරිය හිනා වුණා. අපි කිවුව දේ ඒ වෙලාවේ ඇහුවනම් පස්සෙ මාස ගණන් ඇඳිරි නීතිය දාන්න ඕන නෑ. පාසල් ඇතුළු සමාජ යාන්ත්‍රණයම සාර්ථකව ක්‍රියාත්මක කරන්න තිබුණා.

ඇත්තටම ආණ්ඩුවට ඕනැ වුණේ ඉක්මණට මැතිවරණය තියන්න. අවශ්‍යනම් සැප්තැම්බර් දක්වා මැතිවරණය නොපවත්වා ආණ්ඩුව ගෙනියන්න තිබ්බා. ආණ්ඩුවේ පොරොන්දු දිනෙන් දින බොරු වෙද්දී, ආණ්ඩුව දැන ගත්තා, තවත් පහු කළොත් ආණ්ඩුවට තියෙන අප්‍රසාදය වැඩි වෙනවා කියලා. ඒකයි රෝගය රටට ඇවිත් තියෙද්දී නාම යෝජනා දෙනකම්ම ඇඳිරි නීතිය නොදා ඇදගෙන ගියේ. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. හැමදාම ජනතාව මුළා කරන්න කාටවත් බෑ. ටික කාලයක් යයි. ජනතා අප්‍රසාදය වැඩි වෙන්න පෙර මැතිවරණ තබා ගැනීමේ උත්සාහය නිසයි අද රට මේ තත්ත්වයට වැටී තිබෙන්නේ. අපි උසාවි ගියේ, මැතිවරණය වගේ නෙමෙයි; මේ හේතුවෙන් ජනතාවගේ ජීවිත අවදානම වැඩිවෙන නිසා, රෝගය රටේ පාලනය වීමෙන් පසු ඡන්දය තැබීමටයි. මාස දෙකකට ආසන්න කාලයක් මැතිවරණය පස්සට ගියේ අපි ගත් පියවර නිසයි. සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්වීමට නිර්ණායක හැදුණෙ අවධානය යොමු වුණේ මේ නිසයි. නිකන් බොරුවට මැතිවරණ කොමිසමට බැණ බැණ විපක්ෂයට චෝදනා කර කර සිටීම නෙමෙයි ආණ්ඩුවක් කළ යුත්තේ. ආණ්ඩුවක් කළ යුත්තේ, ජනතාව වෙනුවෙන් සහන සලසමින් වැඩ කිරීම. මේ ආණ්ඩුව කරන්නේ ජනතා සහන පසෙකලා අනවශ්‍ය වැඩ කර කර ඉන්න එක.

ජනතා සහන ලබාදීම සහ මේ වසංගතය පාලනය සාර්ථකව කළ බව ආණ්ඩුව මෙන්ම විවිධ සංවිධානත් ප්‍රකාශ කරනවා. රුපියල් පන්දාහක් ලබාදීම, ඹෟෂධ නිවසටම ලබාදීම යනාදිය ඇතුළුව සහන රැසක් ලබා දුන් බවයි ආණ්ඩුව කියන්නේ.

අපේ ආණ්ඩුව කාලේ බඩු මිල කීයද? අද කීයද? අපි එදා තෙල් සහනය ලබා දුන්නා. අද තෙල් සහනය වෙනත් ගිණුමකට යනවාලු. සුනාමියට දාපු ගිණුම්වලට මොකද වුණේ කියලවත් අපි දන්නෑ. මේවත් කාගෙ සාක්කුවට යයිද දන්නේ නෑ. ජනතාව අද අවුලෙන් අවුලට පත්වෙලා. මේ ආණ්ඩුව කටින් බතල කොළ හිටවපු ආණ්ඩුවක්. කටින් විතරයි වැඩ, කරපු දෙයක් නෑ. රුපියල් පන්දාහයි බෙහෙත් ගැනයි විතරයි කියන්න ඉතිරිවෙලා තියෙන්නේ. රුපියල් පන්දාහෙන් පස් දෙනෙක් ඉන්න පවුලකට දවස් පහක් ජීවත් වෙන්න පුළුවන්ද?

ආණ්ඩුව දුන්න සහනයක් නෑ. පොහොර ප්‍රශ්නය බලන්න. අද ගොවි ජනතාව අන්ත අසරණ වෙලා. පොහොර නොමිලේ තියා සල්ලිවලටවත් ගන්න බෑ වගා පාළු වෙලා. ඉදිරියේ දී මේ ප්‍රශ්නය විසඳනවා කිය කියා ආණ්ඩුව ඉන්නවා. වගාවකට පොහොර ලෙඩෙකුට බෙහෙත් වගේ අදාළ වෙලාවටම දියයුතු දෙයක්. ලෙඩේ උත්සන්න වෙනකම් ඉදලා හෝ මැරුණාට පස්සේ ලෙඩාට බෙහෙත් දීලා වැඩක් නෑ. බෙහෙත් නැති ලෙඩෙක් වගේ තමන්ගේ වගාව විනාශ වෙනවා බලාගෙන සුසුම් හෙළන්නයි අද ගොවියාට වෙලා තියෙන්නේ. නිකන් තර්ක දාලා හරියන්නේ නෑ. පොහොර ප්‍රශ්නයට ආණ්ඩුව ඍජුවම වගකිව යුතුයි. ආණ්ඩුව ගන්නේ අර ආණ්ඩුව නිසා මේ ආණ්ඩුව නිසා වැඩ කරගන්න බෑ කියන්න නෙවෙයි.

ණය සහ ලීසිංවලට සහන දෙනවා කිව්වා. ජනතාව මුළා කළා. ආණ්ඩුවේ වචන විතරයි, වැඩ නෑ. ත්‍රිරෝද සංගමයේ සභාපතිවරයා මිය ගියේ ආණ්ඩුවේ බොරු නිසා. ලීසිං වාරික මාස හයකට කල් දැම්මා කිව්වාට මේ ආණ්ඩුවෙන් වාහනේ ලීසිං එක විතරක් නෙවෙයි ජිවීතේ ලීසිං එකත් කැන්සල් කරලා. අපරාදේ වටිනා ජීවිතයක් විනාශ වුණා. දැන් අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න හදනවා. නිකන් බොරු නොකියා හිටියානම් ජනතාව හිතවත් හදා ගන්නවා. ණය හෝ ලීසිං ගෙවීමට කල්දිලා කියන්නේ බොරුවක්.

වෙලාවල් කිහිපයකට පාසල් ආරම්භ කිරීමෙන් ජනතාවට දරුවන්ට සහ පාසල් බස් හිමියන් ඇතුළු වැඩි පිරිසකට ප්‍රායෝගික ගැටලු රැසක් ඇති වෙනවා. ඒවාට විසඳුම් හොයන්නේ නැතිව සිතට ආව පළියට තීරණ ගන්නවා. කෙටියෙන්ම කියනවා නම් මේ ආණ්ඩුව ප්‍රායෝගික නැහැ. ලයිට් බිල වතුර බිලේ සිටම ප්‍රායෝගික විසඳුම් නොදත් ආණ්ඩුව ගෙදර යවා මේ මැතිවරණයෙන් සමගි ජන බලවේගය බහුතර බලයකින් ආණ්ඩුව පිහිටුවනවා. එජාප බලයත් සිරිකොතත් අපේ බලයට ගන්නවා.

චූල බණ්ඩාර කුලසේකර

ජනපති උපන් දා අනුරපුර පින්කම්

$
0
0
ජුනි 22, 2020 01:00

ඡායාරූප - චිත්‍රාරත්න කළුආරච්චි - හිදෝගම සමූහ,
බී.එම්.විජේසූරිය - අනුරාධපුර මධ්‍යම විශේෂ

 

PDF File: 

අලියා වළලන්න වෙනවා දුරකතනය විසන්ධි වෙනවා

$
0
0
ජුනි 23, 2020 01:00
අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

පවතින කොරෝනා තත්ත්වය සහ අලුත් නීති රෙගුලාසි යටතේ එළැඹෙන මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය, 19 වන සංශෝධනයට , ස්වාධීන කොමිෂන් සභාවලට එල්ල කෙරෙන විවේචන, ආර්ථිකය නඟා සිටුවීමට ගනු ලබන පියවර ආදිය සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙසේ අදහස් දක්වයි.

* මෙවර මහ මැතිවරණය ජය ගැනීමට එහා ගොස් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂා කරනවා. එය ළඟා කරගැනීමට හැකි ඉලක්කයක්ද.?

මේ වන විට රට තුළ එවැනි ප්‍රතිඵලයකට අවශ්‍ය පසුබිම සකස් වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව ගත වූ මාස අට තුළ රටට ලබාදී තිබෙන නායකත්වය ජාති, ආගම්, පක්ෂ බේදයෙන් තොරව ජනතාව අගය කරනවා. රාජ්‍ය සේවය නිවැරදි දිශාවට යොමු කර ජනතා සේවාවක් ලෙස එය ගොඩනැගීමට එතුමා ඍජු තීරණ ගනිමින් සිටිනවා.මහ බැංකු නිලධාරීන් හමුවේ ජනපතිවරයා කළ කතාව ඊට‍ හොඳම උදාහරණයක්.බන්ධනාගාරවල සිදුවන දූෂණ වැළැක්වීමට ජනපතිවරයා දැඩි තීන්දු තීරණ ගත්තා.

පාතාලය හා සම්බන්ධ ක්‍රියාකාරම් බොහාමයක් මෙහෙයවනු ලබන්නේ බන්ධනාගාරවල ඉඳන්. දැන් ඒ සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. කොවිඩ්-19 වසංගතය ලෝකය පුරා පැතිර යද්දී අපි රටක් ලෙස ඉතා සාර්ථකව එහි බලපෑම අවමකර ගත්තා. මෙය පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සම්බන්ධ කරගනිමින් ජනපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධව ලෝක නායකයින් පවා ප්‍රශංසා මුඛයෙන් කතා කළා.පසුගිය යහපාලන ආණ්ඩුව බලයේ සිටියා නම් අපි අ‌ෙමරිකාවටත් එහා තැනක තමයි නතර වෙන්නේ කියලා අපි නොවෙයි කියන්නේ මේ රටේ ජනතාවයි.අනිත් පැත්තෙන් විපක්ෂය අද දෙකඩ වෙලා.ඒ අය අද ජනතා ප්‍රශ්න වලට වඩා උනන්දු වෙන්නේ සිරිකොතේ බලය අල්ල ගන්නයි.මේ මැතිවරණයේදී අපට අභියෝගයක් පේන මානෙක නැහැ.

* ඔබලා තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ ඔබත් ඡන්දය දී අනුමත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න නේද.?

ඔව්. මාත් එදා 19 වැනි ව්‍යස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නා. මේ සංශෝධනය මගින් විධායක ජනපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයක් අඩුවුණා.ඒ බලතල අගමැතිවරයාටවත් කැබිනට් මණ්ඩලයටවත් යොමුවෙලා නැහැ. පාර්ලිමේන්තුවට දීලත් නැහැ.මේ නිසා අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය‍ වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයන්න නම් නැවත වරක් විධායක ජනපතිවරයාට අවශ්‍ය බලතල ලබාදිය යුතුයි.

ඒ අතරම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන බලතල පාර්ලිමේන්තුවට ලබා දෙන්න ඕනෑ. පළාත් පාලන ඡන්ද ක්‍රමයත් විශාල අවුලක්.අපි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒක අත්වින්දා.ඒ මැතිවරණයෙන් අපි පක්ෂයක් විදිහට විශාල ජයග්‍රහණයක් ලැබුවාට මේ අවුල නැවත වරක් වෙන්න දෙන්න හොඳ නැහැ.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් මතුව තිබෙන බාධා ඉවත් කරලා විධායක ජනපතිවරයාට අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට ගැටුමකින් තොරව වැඩකරන්න පුළුවන් පසුබිමක් හදන්න ඕනෑ.

* ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධය මගින්.එය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ සිටින ඔබලා ස්වාධීන කොමිෂන් සභා රටට අවශ්‍ය නැති බවද කියන්නේ?

ස්වාධීන කොමිෂන් සභා තියෙන්න ඕනෑ. හැබැයි නමට විතරක් තිබිලා වැඩක් නැහැ. ස්වාධීන කොමිෂන් සභා ඇත්ත වශයෙන්ම ස්වාධීන විය යුතුයි. අද තියෙන එක කොමිෂන් සභාවක්වත් ස්වාධීනයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කොරහේ වතුරත් එක්ක ළමයත් වීසි කරන්නවා වගේ තැනකට අපි යන්න ඕනෑ නැහැ.මේකේ හොඳ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕන.

* තනි පක්ෂයක් ලෙස කලක් මෙරට ශක්තිමත්ම පක්ෂය වූ එජාපය අද දෙකඩ වෙලා.තවත් ආකාරයකින් කිව්වොත් ඔබලාගේ ප්‍රධාන ප්‍රතිවාදියා. මේ ගැන මොකද හිතෙන්නේ.?

මේ වෙනකොට අපේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගෙන තිබෙන්නේ. ගම්වල ගියාම පේනවා එක්සත් ජාතික පාක්ෂිකයෝ අද අසරණ වෙලා ඉන්න අන්දම.එජාපය කියන්නේ මේ රටේ පැරණිම පක්ෂය.අද එක පැත්තක අලියා. අනිත් පැත්තේ දුරකතනය තව පැත්තක.අහිසංක එජාප පාක්ෂිකයා අතරමං වෙලා.සමහර එක්සත් ජාතික පාක්ෂිකයෝ දන්නේ නැහැ කියන්නේ මොකක්ද කියලාවත්. අවුරුදු හතරහමාරක් මේ අය රට පාලනය කරලා කළේ රට නැති කරපු එකයි.මොන වැරදි කළත් මේ අයට ඡන්දය දුන්න පිරිසක් හිටියා. එජාපයේ රනිල් හා ඔහුගේ කණ්ඩායටමත් දුරකතනයේ සජිත් හෝ ඔහුගේ කණ්ඩායමටවත් ඔවුන්ගේ පාක්ෂිකයින් රැක ගැනීමේ වැඩපිළිවෙළක් අද නැහැ.මම හිතන්නේ මේක තමයි එජාපයේ අන්තිම කාලය.මේ මැතිවරණයෙන් පසු අලියා වළලන්න වෙනවා.දුරකතන අගෝස්තු හය වෙනිදට විසන්ධි වෙනවා.අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

රාජ්‍ය සේවයේ ගුණාත්තමක භාවය වැඩි කරන්න එතුමා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.ජනතා වැටුපෙන් නඩත්තු වන රජයේ නිලධාරීන් ජනතා සේවය නොකරනවා නම් එතන ප්‍රශ්නයක්.ජනාධිපතිතුමා ඒ ප්‍රශ්නය හඳුනාගෙන විසඳුම් දීමට පියවර ගනිමින් ඉන්නවා.කිසිම ජනාධිපතිවරයකු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් මේ වගේ පියවර අරන් ති‍ෙබනවා කියලා මම හිතන්නේ නැහැ. අද වෙනකොට බන්ධනාගාර සුද්ද වේගෙන එනවා.මහ බැංකුවේ නිලධාරීන් රෑ 12. වෙනකල් වැඩකරලා ජනතාවට අවශ්‍ය සහන ලබාදීලා තිබෙනවා.මේ වගේ ජනාධිපතිවරයෙක් යටතේ වැඩකරන්න අපි සූදානම්.හිටපු ජනපතිතුමාට අපි කවදත් ගරු කරනවා.

* මංගල සමරවීර මහතා කලක් ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක්. පසුව එජාපයට ගිය ඔහු ජාතික සමඟි ජනබලවේගය හා එක්ව මාතරින් තරග කිරීමට නාමයෝජන බාර දුන්නා. මනාප අංක ලබාදුන් දිනයේ එක්වරම ඔහු මැතිවරණයට තරග නොකරන බව පැවසුවා.මේ ගැන මොකද හිතන්නේ?

නාම යෝජනා බාරදීලා මනාප අංකත් දුන්නට පස්සේ මැතිවරණයෙන් ඉවත්වෙනවා කිව්වට වැඩක් නැහැ.අයින් වෙලා ගෙදර හිටියට වැඩක් නැහැ නම ඡන්ද පත්‍රිකාවේ තියෙනවා.එහෙම කළා කියලා ඡන්ද පත්‍රිකාවේ නම ඉවත් නොවෙන බව නොදන්න පොඩි ළමයෙක්ද මංගල සමරවීර මහත්තයා.පරිණත දේශපාලනඥයෙකු ලෙස එයා දන්නවා මේ මැතිවරණයේදී ඔවුන්ට දරුණු පරාජයක් අත්විඳින්න සිදුවන බව.ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙළ මැතිවරණ වේදිකාවල බොරුවට විවේචනය කරන්න ගියොත් ජනතාව ගල්ගහනවා කියලා මංගල දන්නවා.

ඒ නිසා තමයි ඔහු හිටිහැටියේම මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වුණේ.කොරෝනා රෝගීන් රටේ හැම තැනින්ම මතුවෙනකල් විපක්ෂය බලාගෙන හිටියා. දේශපාලන වාසියක් ගන්න.ලෝකයේ අනෙක් රටවල්වලටත් ආදර්ශයක් වෙන විදිහට ජනාධිපතිතුමා කොවිඩ්-19 රට බේර ගත්තා.රනිල් සජිත් වුණත් අද බේරිලා ඉන්නේ ජනාධිපතිතුමා නිසයි. යහපාලන ආණ්ඩුව මේ වෙනකල් තිබුණා නම් ඒ දෙන්නටත් අයි.ඩී.එච් එකේ තමයි ඉන්න වෙන්නේ.පසුගිය ජනපතිවරණයේදී මේ රටේ ජනතාව හොඳට කල්පනා කරලා බලලා රටට වැඩකරන්න පුළුවන්,අවංක ප්‍රතිපත්තිගරුක දේශපාලන නායකයෙක් බිහිකිරීමට උරදීම පිළිබඳව අපි ඔවුන්ට මේ අවස්ථාවේ ස්තූතිය පුදකරනවා.

* සහෝදර සමාගමක් විසින් යළිත් මේ රට පාලනය කිරීමට යන බවට චෝදනාවක් එල්ල වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා 2015 මේ රට බාරගෙන තිස් වසරක ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට නායකත්වය දුන්නා.ඒ සමඟම සුවිශාල සංවර්ධනයක් එතුමා කළා.නමුත් 2015 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුණා.පරාජයෙන් පසු එතුමා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම්වූ අවස්ථවේ නැවත එතුමාව දේශපාලනයට අරන් ආවේ ඔය කියන සහෝදර සමාගම නෙවෙයි මේ රටේ ජනතාව.අපි එතුමාව යළි දේශපාලනයට අරන් ඇවිත් අලුත් පක්ෂයක් හදලා ඒකේ නායකත්වය බාර දුන්නා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමේදී බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තිය විශාල හයියක් වුණා.

කවුරු මොනවා කිව්වත් ඒ වගේ සංවිධාන ශක්තියක් තිබෙන පුද්ගලයෙක් වෙනත් කිසිම පක්ෂයක නැහැ.එතුමා නිසා තමයි අපට පුළුවන් වුණේ නව පක්ෂයක් හදලා ඉතා කෙටි කාලයකදී පළාත් පාලන මැතිවරණයකට මුහුණ දීලා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න.මේ රටේ බහුතරයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සම්බන්ධව විශාල පැහැදීමකින් ඉන්නවා.

පසුගිය ජනපතිවරණයේදී එතුමා වෙනුවෙන් තමන්ගේ ඡන්දය ලබා නොදුන් අය අද ඒ පිළිබඳව කනගාටු වෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති පුටුවට ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා නොව මේ රටේ ජනතාවයි.

සහෝදරයෝ බලෙන් බලයේ රැඳිලා ඉන්නේ නැහැ.සහෝදරයින්ට මේ රටේ ජනතාව කැමතියි.ඒ සහෝදරයෝ මේ රටට හොඳක් කරනවා නම් මොකක්ද තියෙන ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ සජිත් ප්‍රේමදාස මහත්තයා හෝ වෙනත් කවුරුන් හෝ වේවා ගෝඨාභය මහත්තයා වගේ වැඩකරන්න පුළුවන් නම් අපි වරදක් කියන්නේ නැහැ.

* පසුගිය පාර්ලිමේන්තුව සම්බන්ධව ජනතාව තුළ දැඩි විවේචන තිබුණා. මහජන නියෝජිතයාගේ කාර්යභාරය කුමක්ද කියා නොදන්නා දේශපාලනඥයන්ට මෙවර මැතිවරණයේදී යළිත් අවස්ථාවක් නොදෙන බවට හඬක් සමාජයෙන් මතු වෙනවා.

අද වෙනකොට සිමෙන්ති මිටියක් දීලා, ෂීට් ලෑලි ටිකක් බෙදලා, හාල් මල්ලක් දීලා ඡන්ද ගත්ත යුගය ඉවරයි. අද මේ රටේ තරුණ තරුණියන් තමන්ගේ ඡන්දය පාවචිචි කරන්නේ හොඳට හිතලා බලලා වගේම හොඳට හොයලා බලලයි. කොයි පක්ෂයටද දෙන්නේ කොයි අපේක්ෂකයාටද දෙන්නේ එයාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඒ අය බලනවා.අපේක්ෂකයෙකුගේ අතීතිය, වර්තමානය හා අනාගත වැඩපිළිවෙළ කුමක්ද බලනවා. කාවද පාර්ලිමේන්තු යවන්න ඕන කියලා ජනතාව හොඳට හිතලා අගෝස්තු 05 වෙනිදට මනාප සලකුණු කරයි.

* යළිත් සන්ධාන ආණ්ඩුවකට යන්න කැමැත්තක් නැද්ද?

එවැනි ආණ්ඩුවක් පිහිටුවන්න කොහෙත්ම අවශ්‍යතාවක් නැහැ. මේ මැතිවරණයේදී අපිට තනි ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්.ජනපති සමඟ සහයෝගයෙන් වැඩකරන්න පුළුවන් කියලා කියන උදවියට 2015 ඉඳලා අවුරුදු 4 ½ ක් ආණ්ඩුකරන්න මේ රටේ ජනතාව අවස්ථාවක් ලබා දුන්නා.පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ දේවල් වලට තමන්ගේ වගකීමක් නැහැ කියලා අද කියන සජිත් ප්‍රේමදාස මහත්තයා එදා ඒ ආණ්ඩුවේ බලගතු ඇමැතිවරයෙක්. අද වෙනකොටත් ඒ හදලා දුන්න ගෙවල්වල ණය ගෙවා ගන්න බැරිව මිනිස්සු ලත වෙනවා. බොරු කරලා මිනිස්සු රවට්ටලා ඡන්ද ගත්ත කාලේ ඉවරයි.සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක පෞද්ගලිකව මට කිසිම තරහක් නැහැ.එතුමාගේ පුහු කතා,පුහු අදහස්, පරිණත භාවයක් නැතිකම කට ඇරියම පේනවා.එවැනි නායකයෙක් සමඟ එකට වැඩ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ කියනවා නිදහසින් පසු තට්ටුමාරු ක්‍රමයට බලයට පැමිණ ආණ්ඩු රට විනාශ කළා.අපිට එක අවස්ථාවක් දෙන්න කියලා ඔවුන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ කාලයක් එක ප්‍රතිපත්තියක හිටියා.නමුත් පසුගිය යහ පාලන ආණ්ඩු සමයේ ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් බවට පත්වුණා. පරිවාස ආණ්ඩුවේ හොඳ අමාත්‍යාංශ ජවිපෙට ලැබුණා. වැඩ කළාද.විපක්ෂයේ ඉඳන් බොරුවට කෑ ගැහුවට වැඩක් නැහැ තමන්ට ලැබුණු අවස්ථාවේ වැඩ කරලා පෙන්නන්න ඕන. මහනුවරින් ජවිපෙ මන්ත්‍රීවරු දෙන්නෙක් පරිවාස ආණ්ඩුවට 2003 තේරීපත් වුණා. එදායින් පසු මහනුවර ජනතාව ජවිපේ මන්ත්‍රීවරයෙකු මහනුවරින් පත්කළේ නැහැ.

* පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරුන් මුල් දසදෙනා අතර ජවිපේ මන්ත්‍රීවරුන් සියලු දෙනා සිටිනවා. මෙයින් පෙනී යන්නේ ඔවුන් තම පාර්ලිමේන්තු කාර්යභාරය වගකීමෙන් ඉටු කරන බව නේද?

පාර්ලිමේන්තු කාර්යභාරය කියන්නේ පාර්ලිමේන්තුවේ කතා කරන එක.ඒ කතා හැන්සාඩ් ගත වෙනවා.ඊට පස්සේ ඒවා පුස්තකාලයට යනවා.එතුමන්ලා පාර්ලිමේන්තු විවාද වලදී කතා කරනවා.ප්‍රශ්න කරනවා.සක්‍රීය ලෙස කරුණු ඉදිරිපත් කරනවා.ඒ ගැන විවාදයක් නැහැ.ඒ අයගේ කතා විතරයි වැඩ නැහැ.මම කියනවා කතා කරනවා වගේම වැඩ කරන්න නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා.අපිට පක්ෂ බේදයක් නැහැ.රටට යහපතක් කරන්නයි ඕන.ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙළට සහය දෙන්න කියලා මම ඒ අයගෙන් ඉල්ලනවා.

* ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට 2015 මහ මැතිවරණයේදී මෙන් මේ පාරත් කැපිලි කෙටිලි එල්ල වෙයිද?

අපි සන්ධානයක් ලෙස ක්‍රියාකරන්නේ. අපිට කාවවත් පරද්දවන්න ඕන නැහැ.තමන් වැපූරූ දේ තමයි අස්වැන්න විදිහට ලැබෙන්නේ. පසුගිය කාලයේ ජනතාව සමඟ හිටියේ කවුද කියලා ඒ අය දන්නවා.ප්‍රතිපලය මනාප වලින් තමයි බලන්න වෙන්නේ.

* මහනුවරින් පාර්ලිමේන්තු ගිය මහජන නියෝජිතයන් බොහෝ දෙනකු මැති ඇමැතිකම් දැරුවා. ඔවුන්ගෙන් මහනුවරට දැනෙන සේවයක් නොවුණු බවට ජනතාව චෝදනා කරනවා.

මගේ පියාගෙන් පස්සේ මහනුවරට දැනෙන වැඩක් කළ මන්ත්‍රීවරයෙක් නැහැ. අපි මෙවර හොඳ ජයග්‍රහණයක් කළාට පස්සේ මහනුවරට දැනෙන වැඩක් කරනවා.ඒකට අවශ්‍ය අඩිතාලම අපි දැනටමත් දාලා තියෙන්නේ. වේල්ස්පාක් එක ළඟ මංතීරුව හදනවා.මහනුවර උමං මඟ විවෘත කළා. විලියම් ගොපල්ලව මාවතේ සිට තැන්නකුඹුර දක්වා උමං මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය ගිවිසුම් අත්සන් කරලා වැඩ ආරම්භ කරන්න ලෑස්තියි.අධිවේගි මාර්ගයේ පළමු පියවර අපි අත්සන් කරලා ඉවරයි. මැතිවරණයෙන් පසු පටන් ගන්නවා.තුන්වන පියවර අපි තාම සැළසුම්කරලා නැහැ.මැතිවරණයෙන් පසු ඒකේ වැඩත් ඉක්මනින් පටන් ගන්නවා.අපි වැඩකරන ආණ්ඩුවක්. ඉතාම සුළු කාලයක් තුළ මම මහ මාර්ග රාජ්‍ය ඇමැතිවරයා ලෙස මහනුවර දිස්ත්‍රික්කයට කිලෝ මීටර 528 ක් මාර්ග යෝජනා අත්සන් කරලා වැඩ පටන්ගෙන තිබෙනවා.මාස තුනක් වැනි කාලයක් තුළ මේවා කළේ මගේ පියා

* ජනපතිවරණයේදී නොලැබුණු සුළු ජාතික ඡන්ද මහ මැතිවරණයේදී ඔබලාට හිමි වේ යැයි විශ්වාස කරනවාද?

එළඹෙන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක රටම දන්නවා.රනිල්, සජිත්, අනුර පවා ඒක දන්නවා. ජනපතිවරණය අවස්ථාවේ සුළු ජාතීන් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව බොරු බිල්ලෙක් මවා පෙන්නුවා. ඒකට ඒ අය අහුවුණා.අද ඔවුන්ටම තේරිලා තියෙනවා අපි රැවටුණු බව. පරාජිත කණ්ඩායමකට තමන්ගේ ඡන්දය දීමෙන් ඒකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ රටේ දෙමළ හා මුස්ලිම් ජනතාව තමන්ගේ වටිනා ඡන්දය දිනන පැත්තට ලබාදී මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න කියලයි.

 

ඡන්දයෙන් පස්සෙ එජාපය ඉවරයි

$
0
0
ජුනි 23, 2020 01:00

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන

• ඉදිරි මහ මැතිවරණයට දින නියම වුණා නේද?

මේ මහ මැතිවරණයට අද ඊයේ නොවෙයි අප සූදානම් වුණේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන් දවසේ ඉඳන් මැතිවරණ ක්‍රියාන්විතයක නිරත වුණේ.මැතිවරණය කල් යෑම නිසා අලුත් පාර්ලිමේන්තුව පිහිටුවීම කල් යෑමක් සිදු වෙලා තියෙනවා. කොරෝනා ව්‍යසනය අවස්ථාවේ දකුණු කොරියාවේ කොරෝනා රෝගියකු පවා ඡන්ද පොළට ගිහින් මැතිවරණයට සම්බන්ධ වුණා. අප මැතිවරණයට සූදානම් 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ප්‍රකාශ කළා. ජනතා අපේක්ෂා නිවැරදිව පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාව ඉටු කරන්න මෙවර මැතිවරණයෙන් හැකි වේවි යැයි අප විශ්වාස කරනවා.

• එක්සත් ජාතික පක්ෂයේ

දෙක ඩ වීම හමුවේ රජය මහමැතිවරණය ජයගන්නට උත්සාහ කරන බව එක් පාර්ශ්වයකින් චෝදනා නැඟෙනවා. ඒ ගැන ඔබේ

* ප්‍රතිචාරය දැනගන්න කැමැතියි?

කොරෝනා ව්‍යවසනය පාලනය කර,සෞඛ්‍යය අංශ රටේ මැතිවරණයක් තියන්න සුදුසුයි කියා පිළිගෙන තිබෙනවා. ඒ සඳහා මාර්ගෝපදේශ පවා ලබා දී තියෙනවා. ඡන්දය පැවැත්වීමේ ප්‍රශ්නයක් නැහැ. මැතිවරණය තියන එක රජයේ වගකීමක්. එහෙත් එය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමිෂන් එකටයි. එක්සත් ජාතික පක්ෂය කැඩීම සම්බන්ධයෙන් පෞද්ගලිකව මා සතුටු වෙන්නේ නැහැ. රජයක් අවදිව තිබෙන්න නම් විපක්ෂය ශක්තිමක් විය යුතුයි. 94 දක්වා ශක්තිමත්ව ආපු එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ විසිරිලා තියෙන්නේ. සිරිකොතේ මරාගන්න හදනවා. මේ අය සටන් කරන්නේ ආණ්ඩු පක්ෂයත් එක්ක නොවෙයි. මේ කණ්ඩායම් දෙක ඇතුළේ තවත් කුඩා කණ්ඩායමක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඉන්න උදවිය ලෙස ඒ ගැන අපට තියෙන්නේ කනගාටුවක්. එය රජයේ වැරැද්දක් නොවෙයි. එය ඒ අය විසින් එකතු වෙලා විසදාගත යුතු ප්‍රශ්නයක්.

• නිරෝධායන නීති නිසා මෙවර මැතිවරණයට නව ක්‍රමවේද යොදා ගන්න සිදු වෙයි නේද?

සියයකගේ කණ්ඩායම් ලෙස රැස්වීම් පැවැත්වීමට අනුමැතිය ලැබී තිබෙනවා. ඒක එක මාධ්‍යයක්. අප නමින් නොවෙයි තරග කරන්නේ. අපේ අංකයයි යොදා ගන්නේ. එය ඡන්ද පොළට ගියාම අපේක්ෂකයාගේ අංකය පමණයි ඡන්ද කාඩ් පතේ තියෙන්නේ .මෙය ජනතාව අතරට යායුතුයි. අපට සර්වජන ඡන්ද බලය ලැබී අවුරුදු 72 ක් වෙනවා. අපේ ඡන්දය බඩු මල්ලට, අරක්කු බෝතලයට, බත් පැකට් එකට විකුණුනු යුගයක් තිබුණා. ජනතාව නව ක්‍රමවේද ගැන දැනුවත් නොවුණොත් ඒ පැත්තට තල්ලු විය හැකියි. සුදුසු අපේක්ෂකයා තෝරාගෙන ඡන්දය භාවිත කරන්න ජනතාව කටයුතු කළ යුතුයි. නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කළ යුතුයි. එය අන්තර් ජාලය ඔස්සේ යන ප්‍රතිචාරයක් විය හැකියි. නමුත් සියල්ලන් අන්තර් ජාලය පරිහරණය කරන්නේ නැහැ. අද පත්තර විකිණෙන ප්‍රමාණය ඉතා අඩුවෙලා. ඉදිරියේදී අලුත් ක්‍රමවේද පාවිච්චි කරන්න වෙයි. ඒ වගේ නව ක්‍රම අපට උපයෝගි කර ගත හැකියි.

• විපක්ෂය නම් චෝදනා නඟන්නේ ජනතාවට සහන ලබා දෙන්නත් නොහැකි වූ වත්මන් රජය යහපාලන රජය සමයේ කරන ලද සංවර්ධන කටයුතු පවා නවතා දමා ඇති බවයි?

ඔවුන් ජනතා මුදල් කාබාසනියා කර, විනාශ කළා. හොරකම් කළා. ඔවුන් මේ මැතිවරණයෙන් අතුගා දැමිය යුතුයි. ඒ සඳහා විශාල වගකීමක් ඡන්ද දායකයාට තියෙනවා. පහපාලන රජයේ දින 100 තුළ. ඒ අය මහ බැංකුව මංකොල්ල කෑවා. එය විගණනය කරන්න ගිය ඉන්දියානු සමාගමකට මිලියන 990ක් ගෙවනවා.නමුත් අල්ලපු හොරෙක් නැහැ. මේ වාර්තා කොහේද? තියෙන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් නැහැ. යහපාලන රජයයි මේ රජයයි සංසන්දනය කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ආසන 45ක් තිබුණ එක්සත් ජාතික පක්ෂයට මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව බාරදුන්නා .කිසිදු බාධාවක් කළේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයටත් පත් වී අතුරු සම්මත ගිණුමක් ගේන්න කටයුතු කළ අවස්ථාවේ එයට ඉඩ දුන්නේ නැහැ. ආණ්ඩුවක් තවම පත් වෙලා නැහැ. ඔබ කියූ කාරණාව මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. නව රජය බිහි කරන්නයි මේ මැතිවරණය පවත්වන්නේ. වර්තමාන රජය තවමත් පත් වෙලා නැහැ. ජනාධිපති තුමා හිටියට පාර්ලිමේන්තුවක් නැහැ. එතුමාගේ දැක්ම, දර්ශනය මැතිවරණයෙන් පසුවයි ක්‍රියාත්මක වෙන්නේ.

• ඔබලාගේ පක්ෂයේ මනාප පොර යක් නිර්මාණය වී ඇතැයි විපක්ෂය චෝදනා නගනවා?

ඕක සාමාන්‍ය තත්ත්වයක්. පරාජයට පත් වන කණ්ඩාය‍මේ තරගයක් නැහැ.අපේ කණ්ඩායම ඉතාම ප්‍රබල බලවත්ම කණ්ඩායමක්. ඒ නිසා තරගයක් තිබෙනවා. යම් අසාධාරණයක් අපට තියෙනවා. මාතරට එක් ආසනයක් අඩු වුණා. කණ්ඩායම තුළ වැඩි තරගයක් තියෙනවා. හිටපු කැබිනට් ඇමතිවරු තුන්දෙනෙක් ඒ කණ්ඩා‍යමේ ඉන්නවා. විපක්ෂය තුළත් පොරයක් තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල ඔවුන්ගේ දුෂණ වංචා හෙළි කර තිබෙනවා.

• මාතර දිස්ත්‍රික්කයේ මූලික අවශ්‍යතා ලෙස ඔබ හඳුනාගෙන තිබෙන්නේ මොනවාද?

ජනාධිපති තුමාගේ සෞභාග්‍යයේ දැක්මක් තිබෙනවා.ඉන් බාහිරව සාධාරණයක් ඉටු නොවු අකුරැස්ස හා මාතර දිස්ත්‍රික්කයේ ජනතා අවශ්‍යතා පිළිබඳ අවධානයක් යොමු කරනවා.අප ඒවා හදුනාගෙන තිබෙනවා.මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවත් ඉටු නොවූ ප්‍රශ්න තියෙනවා.උදාහරණයක් පිරිසුදු ජලය නොලැබෙන පිරිසක් නිල්වලා ගඟ දෙපස ජීවත්වෙනවා. එවැනි ඔවුන්ගේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා.

වැලිගම සමූහ - ටී.කේ. මහින්ද

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>