අද වන විට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 130ක පමණ කාලයක් ඉක්ම ගොස් තිබේ. එදා මෙදාතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකකාරකාදීන් කරන ලද මෙහෙවර අති මහත්ය. එහෙත්, අවාසනාවට අප කළ මෙහෙවර පිළිබඳ නිසි වැටහීමක්, දරුවන්ට හා වැඩිහිටියන්ට නැත. වරද අපේය. අප කළ වැඩ ජනගත නොකිරීම හේතුවෙන්, නිතිපතා අප ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වේ. අප සැම දින වැඩ කළේ, නිහඬ පිළිවෙතක් අනුගමනය කරමිනි. අවුරුදු එකසිය තිහක පමණ ඉතිහාසය තුළ, කැණීම් කර පාදා සංරක්ෂණය කළ ගොඩනැඟිලි, පීත්ත පටි කපා, හඬ නඟා විවෘත කිරීමේ සම්ප්‍රදායක් අප අනුගමනය කළේ නැත.
එහෙත්, අප ඒවා පාදා සංරක්ෂණය නො කළේ නම්, අපටත්, විදේශිකයන්ටත් වඳින්නට හා බලන්නට අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය හෝ අන් පැරැණි විහාරාරාම පෙනෙන්නේ නැත. සංචාරක ව්‍යාපාරය මේ රටට විදේශ විනිමය උපයා දුන්, දෙන හා ඉදිරියේ ද උපයන ප්‍රධාන මඟකි. සංචාරකයන් මෙහි එන්නේ, මේ රටෙහි උරුමයත්, සොඳුරු පරිසරයත්, දැකුම්කලු මුහුදු වෙරළත් දකිනු පිණිසය. අප දෙපාර්තමේන්තුව නොතිබෙන්නට, කොළඹ, සීගිරිය, පොලොන්නරුව, ගිරිතලේ, දඹුල්ල හා අන් තැන්වල දෙස් විදෙස් සංචාරකයන් සඳහා වෙන් වූ තරු පහේ, හතරේ හෝටල් හා අන් අවන්හල්, කඩ කාමර ඉදිවී, රටට ආදායම් උපයන්නේ නැත. තවත් ලෙසකින් කිවහොත්, අප නොසිටින්නට අද ඒවා එහි නැත. සීගිරිය, අනුරාධපුර, පොලොන්නරුව, මහනුවර අවට පුරාවස්තු බැලීමට හා වැඳීමට එන සෙනඟ නිසා, ව්‍යාපාර සේවා සැපැයීම යනාදියෙන් දිවි රැක ගන්නා පවුල් දහස් ගණනකට ආදායම් අහිමිව ගොසිනි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේත් රැකියා මඟින් යැපෙන පන්දහසක් පමණ පවුල් සංඛ්‍යාවක් අද නොමැත. පැරැණි මහ වැව්, ගම් වැව්, ඇළ වේලි තිස්පන්දහසක් ඉක්ම වූ සුවිසල් සංඛ්‍යාව, අපගේ රජදරුවන්, මුතුන්මිත්තන් ඉදි නොකරන්නට, එදා මෙදාතුර වසර තුන්දහසකට ආසන්න කාලයක්, සමස්ත වියළි කලාපය ජන ශූන්‍ය, අර්ධ ශුෂ්ක කාන්තාරයක් බවට පත්ව ගොසිනි. ඔබට නිසි වැටහීමක් නොතිබුණ ද, අපගේ මුතුන්මිත්තන් විසින් මේ රටට උපයා දෙන හා දුන් ධන සම්පත්, බවභෝග ප්‍රමාණය අති මහත්ය. අප අපේ පැරණි උරුමයට සදා ණයගැති විය යුත්තේ එබැවිනි.
දීඝවාපි චෛත්‍යය
මේ වන විට කැණීම් කර සංරක්ෂණය කරන ලද පැරැණි ගොඩනැඟිලි ප්‍රමාණය ලක්ෂ ගණනකි. එයද, බාල, මහලු පුරවැසියන් නොදනී. බාල, මහලු දෙස්, විදෙස් ජනතාව වැඳීම සඳහාත්, බැලීම සඳහාත්, අනුරාධපුරය, මිහින්තලය, පොලොන්නරුව, සීගිරිය, සේරුවාවිල, සෝමාවතිය, තිස්සමහාරාමය, දීඝවාපිය, මැදිරිගිරිය, යාපහුව, රාජාංගණය, රිටිගල, අරන්කැලේ, පඬුවස්නුවර, කෝට්ටේ, යාපනය කොටුව, ගාල්ල කොටුව ඇතුළු පුරාවිද්‍යා ස්ථාන දහස් ගණනක් කරා යති. ජනතාව සිතන්නේ එම ස්ථානවල ඇති පැරැණි ගොඩනැඟිලි, දිය අගල්, ප්‍රාකාර, වැව්, පොකුණු රජ දවස පටන් පැවැතියේ, අද දකින්නට ලැබෙන ආකාරයෙන් කියාය.
උදාහරණ ලෙස අනුරාධපුරය ඇතුළු දහස් ගණනක් තැන්හි ඇති ලෝවාමහා ප්‍රාසාදය, ප්‍රාසාද, දාගැබ්, ගොඩනැඟිලි, වැව්, පොකුණු එකල පටන් අද දක්වා පැවැතියේ, අද දකින්නට ලැබෙන ආකාරයෙන් කියා ඔවුහු සිතති. එහෙත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කිරීමට එම ස්ථාන කරා යන විට, මේ නගර, බලකොටු, විහාරාරාම, අන්‍යාගමික පූජ්‍යස්ථාන යනාදිය පැවැතියේ, අඩි විසි තිස් ගණන් පසින් යට වී, වනයෙන් වැසීය. දෙපාර්තමේන්තුව මඟින්, කැලෑ පාදා, මහ කඳු වන් පස් ගොඩවල් කැණීම් කර පාදා, මේ ගොඩනැඟිලි සියල්ල අද දකින්නට ලැබෙන ආකාරයෙන් බිම මත දකින්නට සලසා ඇත්තේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේත් නිලධාරී, සේවකාදීන්ගේ දහඩිය කඳුළු මතිනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන වැනි බොහෝ අය, ඇතැම් අවස්ථාවලදී මේ කැණීම් සංරක්ෂණය යනාදිය කළේත්, ඒ කටයුතු අධීක්ෂණය කළේත්, මැලේරියා උණෙන් පෙළෙමින්, පැදුරු, ගල් මත වැතිරී බව බොහෝ අය නොදනී.
අපේ උරුමය පාදන්නටත්, සංරක්ෂණය කිරීමටත්, රකින්නටත්, මහ කැලෑ පීරා යනෙන කල, එදා මෙදාතුර වන අලි ප්‍රහාරවලින් මියැදුණු අපගේ පිරිස අපමණය. මේ ගොඩනැඟිලි, මහ පස් ගොඩවල්, කැළෑ පාදා, පොළොව මතට ගත් කල පෙනෙන්නට තිබුණේ, අද දකින්නට ලැබෙන ආකාරයෙන් නොව, සුන්බුන්ව, ගල් ගඩොල් විසිරී පැතිරී, එම ගොඩනැඟිලි කුමන ඒවාද යන්න පවා සොයාගත නොහැකි තරම් සුනු විසුණු වී ගිය ආකාරයෙනි. පුරාවිද්‍යාත්මක විධි නියම අනුගමනය කරමින්, එම ගොඩනැඟිලිවල මුල් ස්වරූප හඳුනාගෙන, ඒවා සංරක්ෂණය කර තිබේ. මේ නටබුන් අදටත් අපේ අය රකින්නේ දෑස් රකින්නාක් මෙනි. මක්නිසාදයත්, මේ උරුමයන්හි වටිනාකම් ඔවුහු මැනවින් හඳුනන බැවිනි. එහෙත්, දෙපාර්තමේන්තුවේ දෙදහසක් පමණ වූ නිලධාරී සේවකාදීන්ට මේ රට තුළ ඇති දෙලක්ෂ පනස්දහසක් ද ඉක්මවන පුරාවිද්‍යා ස්ථාන සම්භාරයක් තනිව ආරක්ෂා කිරීමට නොහැකිය. රජයට මහජන උරුමය රකින්නට සේවකයන් හත්ලක්ෂ පනස්දාහක්, එනම් සමස්ත රාජ්‍ය සේවයෙන් හරි අඩක පමණ ප්‍රමාණයක් ඔබගේ බදු මුදලින් රැකීමට නොපිළිවන.
උරුමය ඔබේත්, මගේත්ය. අප සැම එක් නොවී, රජයටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ඇඟිල්ල දිගු කරමින්, උරුමය රැකීමේ සමාජ මෙහෙවරින් මිදෙන්නට අප කාටත් නොහැකිය. ඇතැම්හු පැරැණි ගොඩනැඟිල්ලක පියස්සේ උළු කැටයක් කැඩුනත්, එය සෙවිලි කොට රකිනු වෙනුවට දෙපාර්තමේන්තුවට දෙස් දෙවොල් තබමින් ගොඩනැඟිල්ල තෙමී ගරාවැටෙන තෙක් කල් මරමින් සිටිති. පැරැණි බිතු සිතුවම් මත වේ දල්ලක් නඟින කල, වේ දල්ල කඩා දමනු වෙනුවට, අපට දොස් නඟමින්, පියස්සේ සැකිල්ල වේයන් කා නසන තෙක් දෙපාර්තමේන්තුවට බැණ වදිමින්, උවැසි උවැසියෝ බලා සිටිති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් නොවන්නට, ගල් කණුවක්, ගඩොලක් පොළොව මතුපිටට නොපෙනෙන ලෙස පසින්, කැළයෙන් වැසී තිබූ ලංකාවේ සෑම සියලු පැරැණි ස්ථානයක්ම ඔබ අප සැමට විදෙස් සංචාරකයන්ටත්, බලන්නටත්, අසන්නටත් යමක් ඉතිරි වන්නේ නැත. පරණවිතාන ඇතුළු අපත්, මේ රටේ ඉතිහාසඥයනුත් නොවන්නට, ඔබට අපගේ රටෙහි යටගියාවත්, අපගේ මුතුන්මිත්තන් කළ කී දෑ අසන්නට, දකින්නට, පෞරාණිකවූත්, ප්‍රෞඪවූත් ඉතිහාස කතාවක් ඉතිරි වන්නේ හෝ උරුම වන්නේ හෝ නැත.
ඇතැම්හු අප රටෙහි පැරැණි උරුමයේ වටිනාකම් නොහඳුනති. ඒවා මිථ්‍යා විශ්වාසත්, සංවර්ධන අවශ්‍යතාවනුත් මුල් කරගෙන කඩා වනසති. එබැවින් මේ රටේ පැරැණි උරුමයෙහි වටිනාකම් ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුව තිබේ.
මේ රටේ පුරාවිද්‍යාත්මක උරුමයේ වටිනාකම අන් කවර දිනකටත් වඩා, ජනාධිපතිතුමන් ඇතුළු රජය විසින් වටහාගෙන ඇත. රජය විසින්, ඉතිහාසයේ මුල්වරට ජාතික ප්‍රතිපත්තියක් සකසා, උරුමය රකින්නට සැදී පැහැදී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරමින් සිටී. සෑම දින කුඩම්මාගේ සැලකිලි ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රාජ්‍ය නායකයා විසින් සියතට ගෙන ඇත. සෑම දින හුදෙකලාව, සිය කාර්යය සම්පත් නොලැබ සිදු කිරීමට සිදු වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටා, ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ ආරක්ෂක අංශත්, මැනුම්, ඉඩම්, පරිසර ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයත් ගොනුවී සිටී. ඒ අනුව, මේ වන විට ‘උරුමය තනි නොකරමු‘ යන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තේමා පාඨයට වටිනාකමක් ලැබෙමින් තිබේ.
ආචාර්ය සෙනරත් දිසානායක
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්