ඩෙංගු බොහෝවිට වැලඳෙන්නේ ක්‍රියාශීලි සහ සංචරණය කරන තැනැත්තන්ට වීම ද විශේෂත්වයකි. එයට හේතුව මෙම වාහකයින් චලනය වන දේට දෂ්ට කිරීමට වැඩි කැමැත්තක් දැක්වීම ය. වාර්තා වන ඩෙංගු රෝගීන් අතර තරුණ තරුණියන් සහ නිරන්තරයෙන් ක්‍රියාශීලී වන දරුවන් වැඩි වශයෙන් හඳුනාගත හැක්කේ එබැවිනි.
කොවිඩ් -19 ගෝලීය වසංගතයෙන් රටක් ලෙස අපට සිදු වූ බලපෑම බොහෝදුරට අවම කරගත හැකි වූයේ රජය මුල සිටම එම රෝගය වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග සහ ජනතාව ඒ පිළිබඳව ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීම හේතු කොටගෙන ය. ඒ අනුව සාර්ථක ලෙස කොවිඩ්-19 පැතිරීම පාලනය කරගත හැකි විය. එහෙත් මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයන් 3284ක සංඛ්‍යාවට සාපේක්ෂව මේ වර්ෂයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27245ක් ද මී උණ රෝගීන් සංඛ්‍යාව 5632ක් ද වේ. මේ වන විට අප විසින් සම්පූර්ණයෙන් ම පාහේ ඩෙංගු සහ මී උණ අවදානම අමතකකොට කටයුතු කිරීමත් ඒ පිළිබඳ පවත්වාගත යුතු අවදානය නොදැනුවත්ව ම අපෙන් ගිලිහී යෑමත් මේ සඳහා බලපෑ ප්‍රබල හේතුවකි.
ඩෙංගු, වයිරස රෝගයක් වන අතර එහි වාහකයන් වන්නේ ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් මදුරුවන් ය. ඊඩීස් ඊජිප්ටයි මදුරු විශේෂය නගර ආශ්‍රිත ව බහුලව හඳුනාගත හැකි අතර ඇල්බොපික්ටස් හඳුනාගෙන ඇත්තේ ග්‍රාමීය ප්‍රභේදයක් ලෙසිනි. මේ අතරින් වැඩි අවදානමක් ඇත්තේ වෛරසය පතුරවාලීමේ වැඩි හැකියාවක් පවතින ඊඩීස් ඊජිප්ටයි විශේෂයෙන් ය. මේ මදුරුවා මගින් නගරාශ්‍රිතව බෝවන ඩෙංගු රෝගය රක්තපාත තත්ත්වය දක්වා උත්සන්න වීමට ද ඇත්තේ වැඩි අවදානමක් බව පරීක්ෂණ මඟින් හෙළි වී තිබේ. ඒ අනුව නගරාශ්‍රිත ව වාර්තා වන ඩෙංගු රෝගීන් වැඩි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුනාගත යුතු ය.
ඩෙංගු බොහෝවිට වැලඳෙන්නේ ක්‍රියාශීලි සහ සංචරණය කරන තැනැත්තන්ට වීම ද විශේෂත්වයකි. එයට හේතුව මෙම වාහකයින් චලනය වන දේට දෂ්ට කිරීමට වැඩි කැමැත්තක් දැක්වීම ය. වාර්තා වන ඩෙංගු රෝගීන් අතර තරුණ තරුණියන් සහ නිරන්තරයෙන් ක්‍රියාශීලී වන දරුවන් වැඩි වශයෙන් හඳුනාගත හැක්කේ එබැවිනි. සමකාසන්න රටවල බහුල වශයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගයේ පැතිර යෑමට බලපාන ප්‍රබල කාරණාවක් ලෙස සැලසුම් නොකරන ලද නාගරීකරණය පෙන්වා දිය හැකි ය.
තද උණ, තදබල කෑම අරුචිය, හිසරදය, අධික ලෙස ඇඟපත රිදීම, බඩේ කැක්කුම ඩෙංගු රෝගයේ ලක්ෂණ ලෙස දැක්විය හැක. උණ වැලඳුණු පළමු දිනයේ ම වෛද්‍යවරයකු වෙත යොමු වීම මෙන් ම NS 1 පරීක්ෂණය සහ සම්පූර්ණ රුධිර පරික්ෂාවක් මුල් අවස්ථාවේ ම සිදු කරගැනීම වඩා වැදගත් වේ. NS 1 පරීක්ෂණය Positive නම් මුල සිට ම ඩෙංගු රෝගියෙකු ලෙස සලකා ප්‍රතිකාර ආරම්භ කළ හැකි ය. එහෙත් NS 1 පරීක්ෂණය Negative වූ පමණින් රෝගියාට ඩෙංගු වැළඳී නැති බවක් 100%ක් ම තහවුරු කළ නොහැක. පරීක්ෂණය Negative වුවද ඩෙංගු රෝග ලක්ෂණ පවතී නම් ඩෙංගු රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර ම ලබාදීම සුදුසු වේ. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා මට්ටම පහත වැටීම සලකා බැලෙන්නේ රෝගී තත්ත්වය කියාපෑමට ඇති දර්ශකයක් ලෙසිනි. රුධිර පට්ටිකා වැඩි කරගැනීමට ආයුර්වේද හෝ හෙළ ඔසු ලබාගැනීමෙන් ශරීරයට සිදුව ඇති හානිය අවම වී ඩෙංගු සුව වන්නේ නැත. ඇතැම් පිරිස් නොදැනුවත්කම හේතුවෙන් ඩෙංගු රෝගයේදී බටහිර ප්‍රතිකාරවලට යොමු වනු වෙනුවට රුධිර පට්ටිකා වැඩි කරගැනීමට සිංහල බෙහෙත් ලබාගැනීම තුළ ජීවිතය අවදානමේ හෙළූ අවස්ථා ද කොතෙකුත් වාර්තා වී තිබේ. එහෙයින් ඩෙංගු රෝගය බවට සැක සහිත රෝග ලක්ෂණ පහළ වන විට ගත යුතු හොඳම පියවර වන්නේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම ය.
ඩෙංගු රෝගය වෙනුවෙන් තවමත් නිශ්චිත ඖෂධයක් හෝ ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයාගෙන නැත. එබැවින් මෙහිදී සිදු කෙරෙන්නේ හඳුනාගන්නා රෝගීන් මනාකොට කළමනාකරණය කිරීම ය. රෝගීන්, පරීක්ෂණ මඟින් හැකි ඉක්මනින් හඳුනාගෙන ඊට අදාළව නිවැරදි ක්‍රමවේද භාවිතයෙන් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ. ඩෙංගු සම්බන්ධයෙන් ලෝකයේ කොතැනත් දැනට අනුගමනය කෙරෙන පිළිවෙත එයයි. මේ වෙනුවෙන් රෝගය මුල් අවස්ථාවේදි ම හඳුනාගැනීම ඉතාම වැදගත් වේ. ඩෙංගු මාරාන්තික රෝගයක් බැවින් බොහෝ විට ඩෙංගු රෝගීන් අපේක්ෂා කරනුයේ රෝහල්ගත වූ පසු විවිධ ඖෂධ වර්ග බොහොමයක් රෝහලෙන් ලබාදෙනු ඇති බවයි. එහෙත් මෙහිදී ප්‍රධාන වශයෙන් ඩෙංගු රෝගීන්ට ලබා දෙන්නේ උණ පාලනය කිරීමට පැරසිටමෝල් සහ ශරීරයේ දියර තත්ත්වය අවශ්‍ය ප්‍රමාණයෙන් පවත්වාගෙන යෑමට සේලයින් ය. පොදු ජනතාව ඒ පිළිබඳ නොදැන සිටීමෙන් රෝහලෙන් රෝගයට අවශ්‍ය ඖෂධ නියාමාකාරයෙන් ලබා නොදෙන බව සිතා බොහෝකොට කලබලයට පත් වේ.
ඩෙංගු රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් වැදගත් ම කාරණය වන්නේ ඩෙංගුවලින් වැළකී සිටීම ය. මෙහිදී අපේ එදිනෙදා චර්යාවන් මනා හික්මීමකට නතු කරගත යුතු ය. වතුර රැඳෙන අන්දමින් ප්ලාස්ටික්, පොලිතින් වීදුරු කැබලි, පොල්කටු වැනි දෑ අපරික්ෂාකාරී ව පරිසරයට එක් කිරීම, පාරවල් සහ හිස් ඉඩම්වලට කුණු දැමීම වැනි නොහික්මුණු ගති පැවතුම් ඩෙංගු මාරයාට අත වැනීමක් විය හැක. සතියකට වරක් හෝ නිවෙසේ සාමාජිකයින් එක්ව ගෙවත්තේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම මඟ නොහැර සිදු කළ යුත්තකි. ඩෙංගු වාහකයින් වන මදුරු විශේෂ බෝවන්නේ ගෙවතු ආශ්‍රිත ව වතුර රැඳෙන තැන්වල ය. එසේ ම නගරාශ්‍රිත ව බොහෝ ඉදිකිරීම් බිම්වල ද ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් දැකිය හැකිය. කෙසේ වෙතත් මේ දිනවල කඩින් කඩ වැසි ඇතිවීමත් සමඟ ඩෙංගු අවදානම තව තවත් වැඩි වෙමින් පැවතීම මතකයේ තබා ගත යුතු කරුණකි. එබැවින් නිවෙස් මෙන් ම පාසල්, වැඩබිම්, කාර්යාල ආශ්‍රිත ව ද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ය. මදුරු විකර්ෂක භාවිතය ද වඩා වැදගත් වේ.
NS 1 පරීක්ෂණය සහ සම්පූර්ණ ලේ පරීක්ෂණයක් මගින් ඩෙංගු රෝගය හඳුනා ගත හැකි අතර එම පරීක්ෂ මඟින් ඩෙංගු වැලඳී ඇති බවට ඔප්පු වන සියලුම රෝගීන් රෝහල්ගත නොකෙරේ. එය එසේ සිදු කළ යතු ද නැත. මෙහිදී අප සිදු කරනුයේ රෝගියා ලබා ගන්නා දියර ප්‍රමාණය නිවැරදිව කළමනාකරණය කිරීම ය. සාමාන්‍යයෙන් කිලෝ 50- 60ක් වන වැඩිහිටියෙකුට පැයකට මිලි ලීටර් 50ක් දියර ජාති ලබාදිය යුතු ය. මේ දිනවල පැතිර යෑමේ වැඩි අවදානමක් ඇති මී උණ පසුගිය කොවිඩ් වසංගත සමයේ ද වැඩි පැතිරයෑමක් පෙන්නුම් කළේ ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලට ම වී සිටි පුද්ගලයින් වතුපිටිවල පිරිසිදු කටයුතුවල, වගා කටයුතුවල නියැළීමත් වෙනදාට වැඩියෙන් හේනට කුඹුරට බැසීමත් සමඟ ය.
මී උණ, පතල් උණ, වෙල් උණ, මඩ උණ වැනි විවිධ නම්වලින් හැඳින්වෙන ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) බැක්ටීරියාවක් මගීන් බෝවන රෝගයක් වන අතර එම බැක්ටීරියාව මීයන්, ගවයන්, ඌරන්ගෙන් වැනි ඇතැම් සතුන් පිට කරන මූත්‍ර සමඟින් බාහිර පරිසරයට එක් වේ.
විශේෂයෙන් ම කුඹුරුවල ඇති දියකඩිති සහ ජලය රැඳුණු තැන්වල මෙම බැක්ටීරියාව රැඳී තිබේ. ශරීරයේ කැපීම්, සීරීම්, ඇසට නොපෙනෙන තරමේ සියුම් තුවාල සහිත ව කුඹුරුවල වැඩ කරන විටත්, කුඹුරුවල ඇති ගලා නොයන දිය කඩිතිවල නෑමේදී ඇස්වල ඇති සියුම් පටක තුළිනුත් මී මූත්‍ර මිශ්‍ර ජලය බීමට ගැනීමෙන් හෝ එම ජලයෙන් කට සේදීමෙන් මුඛය තුළ ඇති තුනී සම හරහාත් මෙම බැක්ටීරියාව ශරීරගත වේ.
මෙම රෝගය වැලඳීමෙන් උණ, මස් පිඩුවල තදබල වේදනාව, ඇස් තද රතුපැහැයට හැරීම වැනි ප්‍රධාන රෝග ලක්ෂණ සමග වමනය හිසරදය, අප්‍රාණික බව, මූත්‍ර තද කහ පැහැවීම, මුත්‍රා සමග ලේ පිටවීම, මූත්‍ර පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණ ද පැවතිය හැකි අතර කලාතුරකින් ඇතැම් රෝගීන් රෝග ලක්ෂණ නෙපෙන්වා ද සිටිය හැකිය.
නිසි කලට අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගැනීමෙන් වකුගඩු , හෘදය, මොළය වැනි අවයවවලට විවිධ බලපෑම් ඇති කරමින් මෙම රෝගය මාරාන්තික වීමේ ඉඩකඩ පවතී. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මී උණ රෝගියකුගෙන් තවත් රෝගියකුට බෝ නොවන බව යි.
ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇතොත් වෛද්‍යවරයකු හමු විය යුතු අතර මසක් තුළ තමන් නිරත වූ මී උණ අවදානමක් ඇති කරන ක්‍රියාකාරකම් පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම ද අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි.
මෙම රෝගයෙන් වැළකී සිටිමට නම් කුඹුරුවලට සහ ජලය රැඳුණු තැන්වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන් අත්පා සේදීමෙන් වැළකී සිටීමත් නෑමට බීමට ජලය ලබාගන්නා අනාරක්ෂිත ළිං සතුන්ගේ මල මූත්‍ර මිශ්‍ර ජලයෙන් අපිරිසුදු වීම වළක්වා ගැනීම සඳහා ළිං බැම්මකින් ආරක්ෂා කිරීමත් මෙන් ම කුඹුරු අවට පරිසරය පිරිසුදුව තබා ගැනීම, වගාබිම් සැකසීමේදී අත් පා ආවරණ පැලඳීම, ජලය රැඳුණු ස්ථානවල ජලය බැසයෑමට සැලැස්වීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ය.
මෙහිදී මීයන් මර්දනය සඳහා ද මී නාශක, මී උගුල් තැබීම, මී ගුල් විනාශ කිරීම, කබරගොයින්, තලගොයි, බකමූණන්, සර්පයන් වැනි මීයන් ආහාරයට ගන්නා සතුන් විනාශ කිරීමෙන් වැළකීම, මීයන් විනාශ කිරීම සඳහා කෙම්ක්‍රම භාවිතය වැනි ක්‍රමවේද අනුගමනය කළ හැකි ය.
මී උණ බෝකරන්නේ බැක්ටීරියාවක් බැවින් ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ඇත. නිසි කලට නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන් ම සුව කළ හැකිය. බොහෝවිට මී උණ රෝගීන් වාර්තා වන්නේ වගා කන්න ආරම්භ වීමත් සමඟ ය. කුඹුරු, කීරකොටු, කොහිලකොටු, වැඩබිම්, සත්ත්ව ගොවිපළ, පතල්වල වැඩ කරන පිරිස්, ගංගාවල වැලි ගොඩදමන කණ්ඩායම්, පශු වෛද්‍යවරුන්, සතුන් මරණ ස්ථානවල සිටින පිරිස් වැඩි අවදානම් කාණ්ඩ ලෙස හඳුනාගත හැකි අතර කානු සුද්ද කරන්නන්, ජල ක්‍රිඩා කරන්නන් ද මී උණ වැලඳී වාර්තා වී තිබේ.
මී උණ සහ ඩෙංගු ගර්භණී මව්වරුන්ට වැලඳුණු විට ඉක්මනින් ප්‍රතිකාර කළ යුත්තේ ඔවුන්ට මෙමඟින් ඇති වන ජීවිතාවදානම වැඩි බැවිනි. විශේෂයෙන් මී උණ රෝගය කුස තුළ සිටින දරුවාට ද බලපෑ හැකි ය. මෙම රෝග දෙක ම මාරන්තික එහෙත් මුල් අවස්ථාවේ දීම හඳුනාගැනීම තුළ බටහිර වෙදකමින් සුව කළ හැකිය.
මෙයාකාරයෙන් බලන විට ඩෙංගු සහ මී උණ යන රෝගයන් අද වන විට මෙරට තුළ කොවිඩ් අවදානම පරදා ඉදිරියට පැමිණ තිබේ. එහෙත් අවධානය තවමත් රඳවා ඇත්තේ කොව්ඩ් මත ම ය. මී උණ සහ ඩෙංගු පිළිබඳ අවධානය අප අතරින් ගිලිහී යෑම ඉදිරියේදී තව දුරටත් එම රෝගවලින් මරණයට පත් වන සංඛ්‍යාව වැඩි වීමට බලපෑ හැකි බව සිහිපත් කරනු කැමැත්තෙමි.
කොවිඩ් -19 මෙන් ම ඩෙංගු සහ මී උණ ද මාරාන්තික වන්නේ මුල සිටම හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර ලබා නොදුනහොත්ය. එබැවින් ජීවිතය රැකගැනීමේ අවස්ථාව තිබියදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී, නිවෙසේ රැඳී සිටීමේ අවදානම කිසිවකුත් කිසිසේත් ම නොගත යුතුය. විශේෂයෙන් ම ඩෙංගු සම්බන්ධයෙන් දේශීය වෙදකමට යොමු නොවිය යුතු බවත් සිහිපත් කරනු කැමැත්තෙමි. රෝගියා මුල් අවස්ථාවේ ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් මෙකී රෝග බටහිර වෙදකම තුළ සුව කළ හැකි බව ඔප්පු වී තිබේ. එබැවින් සංකූලතා ඇති වන තුරු ම නිවෙසේ රැඳී සිටිමින් ජීවිතය අවදානමේ දැමිය යුතු නැත.
කාංචනා සිරිවර්ධන