අප රටේ බොහෝ ජනයා ලෙනාඩ් වුල්ෆ් හඳුනන්නේ, ගැමි ජීවිතයේ අතිශයින් දුක්බර පැතිකඩ තාත්විකව නිරූපණය කෙරෙන, ‘බැද්දේගම‘ නවකතාවේ කතුවරයා වශයෙනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති වශයෙන් ඔහු අපක්ෂපාතීව හා අදීනව සිය රාජකාරිය ඉටු කිරීමේ ප්‍රතිඵලය වූයේ, පාලක පක්ෂයේ මෙන් ම දූෂිත නිලධාරීන්ගේ ද ව්‍යාජ චෝදනාවලට ලක් වීමය. ඒ පිළිබඳ කනස්සල්ලෙන් හා කලකිරීමෙන් පසු වූ අවංක මෙන්ම මානව දයාවෙන් යුත් පාලකයෙකු වූ ඔහු, නිවාඩුව ගත කිරීමට පෙරළා සියරට ගිය ගමනේදීම, තම රැකියාවට සමු දුන්නේය.
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව 1904 වසරේදී ලංකාවට සපැත් වුල්ෆ්, මුලින්ම අනුයුක්ත කරන ලද්දේ යාපනය කච්චේරියටය. එහිදී අතිරේක රේගු අයකැමි, අතිරේක පොලිස් මහේස්ත්‍රාත් වැනි තනතුරු දැරීමෙන් අනතුරුව, 1970 දී ඔහු දිසාපතිවරයාගේ කාර්යාල සහකාර තනතුරට උසස් වීමක් ලැබීය. එම වසරේදීම මධ්‍යම පළාතේ දිසාපති කාර්යාලයේ කාර්යාල සහකාර තනතුරට මාරු කරන ලදුව, ඔහු මද කලක් එහි සේවය කළේය. ඔහුගේ කාර්යශූරත්වයත්, බුද්ධි මහිමයත් ගැන පැහැදීමට පත් යටත්විජිත භාර ලේකම්වරයා වූ ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ්, 1908 වසරේ අගෝස්තු මසදී හම්බන්තොට දිස්ත්‍රික්කය භාර උප දිසාපතිවරයා වශයෙන් පත් කරන ලද්දේ, උසස්වීමක් ලෙසටය. එම දිස්ත්‍රික්කයේ පරිපාලන, අධිකරණ සහ ආදායම් පාලනය යන අංශ භාර ප්‍රමුඛ රාජ්‍ය නිලධාරියා වශයෙන් 1911 මැයි මස දක්වා කෙටි කාලය ඔහු තම නිලයේ රාජකාරි ඉටු කර ඇත්තේ, අසාමාන්‍ය ආකාරයේ කාර්යශූරත්වයක් හා කැපවීමක් විදහාපාමිනි.
වුල්ෆ් තම රාජකාරිය ඉටු කිරීමේදී පළ කර ඇති දක්ෂතාව මෙන්ම, අපක්ෂපාතිත්වය හා අවංකභාවය මැනවින් ප්‍රකට වන්නේ, ඔහුගේ දින පොතේ තබා ඇති සටහන් මඟිනි.
1808 වසරේදී ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නියමයකට අනුව යටත්විජිත පාලනයේ ඉහළ තනතුරු දැරූ සෑම නිලධාරියකු විසින්ම, තමා ඒ දිනයේ ඉටු කළ රාජකාරිය විස්තර කෙරෙන දින පොතක් පවත්වාගෙන යා යුතු විය.
එම නියමය පරිදි වුල්ෆ් විසින් පවත්වාගෙන ගිය දින පොතේ දැක්වෙන සටහන් විමසීමේදී ස්ඵුට වන්නේ, ඔහුගේ සමකාලීන බොහෝ නිලධාරීන්ට වඩා විවෘතව හා අදීනව සිය අදහස් පළ කර ඇති බවය. ඇතැම්විට ඔහු තම උසස් නිලධාරීන්ගේ හා යටත්විජිත පාලනයේ අඩු ලුහුඬුකම් පවා පළ කිරීමට එඩිතර වී තිබේ. එහෙත් බොහෝ රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රතිපත්තිය වී තිබුණේ, පාලකයන්ගේ නියම එලෙසම පිළිපදිමින්ද, පාලිතයන්ට සිදු වන අසාධාරණකම් නොතකා හරිමින්ද, පාලකයන්ගේ සිත් දිනාගෙන තමාගේ වෘත්තීය ජීවිතයේ අනාගත අභිවෘද්ධිය ගැන සිතා කටයුතු කිරීමටය.
වුල්ෆ්ට එබඳු පටු, ආත්මාර්ථකාමී හැඟීමක් අහලකවත් නොතිබිණි. වුල්ෆ්ගේ මේ අපූර්ව චරිත ස්වභාවය අවබෝධ කරගත හැකි වන්නේ, ඔහු හැදුණු වැඩුණු පවුල් පසුබිම හා ඔහුගේ අධ්‍යාපන පසුබිම විමසා බැලීමෙනි. ලෙනාඩ් වුල්ෆ් එංගලන්තවාසියකු වුවද, පාරම්පරිකව පැවැත එන ඉංග්‍රීසි ජාතිකයෙක් නොවීය. ඔහුගේ මුතුන්මිත්තෝ දහනව වැනි සියවසේ මුල් භාගයේ, රුසියාව ආදී වෙනත් රටවලින් එංගලන්තයට සංක්‍රමණය වී, එරට සිය වාසභූමි කරගත් යුදෙව් ජාතිකයෝ වූහ. එකී යුදෙව්වන් සහජ බුද්ධිමත් බව අතින් මෙන්ම, කාර්යශූරත්වය අතින්ද නම් දරා සිටි වෙනම ජන කොටසකි.
එසේම, වුල්ෆ් තම උසස් අධ්‍යාපනය ලද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයද ඔහුගේ ලිබරල්වාදී චින්තනය හැඩ ගැස්වීමෙහිලා මහත් බලපෑමක් කර තිබේ. එය බ්‍රිතාන්‍ය වාසීන්ගේ සාම්ප්‍රදායකත්වයට සහ සංරක්ෂණවාදී (Conservative) චින්තනයට බරව තිබූ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයී සම්ප්‍රදායට වඩා වෙනස් වූවකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය සම්ප්‍රදාය නැඹුරුව තිබුණේ, ලිබරල් මතවාදී චින්තනය ඔස්සේ සමාජයේ ප්‍රගමනයට ඉවහල් වන නව මං සෙවීම කෙරෙහිය. ඉහත සමයේදී කාල් මාක්ස්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බඳු විප්ලවීය මතවාද බිහි කළ නව ධාරාවේ චින්තකයන්ට තෝතැන්නක්ව පැවැති කේම්බ්‍රිජ් සරසවියේ වුල්ෆ්ගේ සමකාලීන සගයන් වූයේ ලිට්න් ස්ටාර්ක්, ජෝන් මේනාර්ඩ්, කේන්ස්, ඊ.එම්. ෆෝස්ටර්, බර්ට්‍රන්ඩ් රසල් වැනි කීර්තිමත් විද්වතුන්ය. ඔවුන් එක්ව බිහි කළ ‘බ්ලූම්බරී විද්වත් කවය‘, නිදහස් චින්තනයේ දොර කවුළු විවර කිරීමෙහිලා ඉටු කළේ මහත් මෙහෙවරකි.
![]()
එවකට හම්බන්තොට පැවැති පැල්පතක්
එබඳු සමාජ පසුබිමකින් සහ චින්තන හැඩ ගැස්මකින් පැවතෙන්නකු වූ වුල්ෆ්ගේ පිළිවෙත, ඉහතදී හම්බන්තොට දිසාව පාලනය කළ උප දිසාපතිවරුන්ට වඩා වෙනස් මඟක් ගැනීම පුදුමයක් නොවේ. ලංකාවේ ගිනිකොන දෙසට වන්නට පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කය හැඳින්වුණේ අති දුෂ්කරම ප්‍රදේශයක් වශයෙනි. එහි පාලනය කෙරුණේ හම්බන්තොට ස්ථානගතව සිටි උප දිසාපතිවරයා මඟිනි. ඔහුට වග කිව යුතු, ඊට ඉහළින් සිටි නිලධාරියා වූයේ, ගාල්ලේ මහ දිසාපතිවරයාය. බටහිර ගිරුවාපත්තුව, නැඟෙනහිර ගිරුවාපත්තුව සහ මාගම්පත්තුව යනුවෙන් දිස්ත්‍රික්කය පරිපාලන ඒකක තුනකට බෙදා තිබුණි. ඒ සෑම එකක් ම පැවැතියේ මුදලිවරයෙකුගේ පාලනය යටතේය. ඔහුට පහළින් මුහන්දිරම්, විදානෙආරච්චි, වෙල්විදානෙ ආදි වශයෙන් විවිධ මට්ටම්වල රාජකාරි භාරව සිටි නිලධාරීහු පිරිසක් වූහ. පත්තු තුන අතරින් අනේකවිධ දුෂ්කරතා සහ ගැහැට මැද අන්ත දිළිඳු බවින් පසු වූ ජනයා විසුවේ මාගම්පත්තුවේය. වුල්ෆ්ගේ බැද්දේගම නවකතාවට පසුබිම වී ඇත්තේ, රුදුරු වන සතුන් අරක්ගත්, වන ගහනයට යටව තිබූ ඒ ජනශූන්‍ය පෙදෙස තුළ සිරව සිටිමින්, අන්ත දුඃඛිත ජීවිතයක් ගත කළ ජනයා පිළිබඳ පැතිකඩකි.
වුල්ෆ්ට සිදු වූයේ මෙබඳු අති දුෂ්කර දිස්ත්‍රික්කයක පරිපාලනයට කර ගැසීමටය. එහි දේශගුණය බෙහෙවින් කර්කශ වූ අතර, වනය මැදින් වැටී තිබූ මංමාවත්වල තත්ත්වය පැවැතියේ ඉතා අසතුටුදායක තත්ත්වයෙනි. එහෙයින්, රාජකාරි කටයුතු සඳහා ඈත ගම් දනව්වලට යෑමට ඔහුට සිදු වූයේ අසුපිටින් සහ බයිසිකලයෙනි. එහි බොහෝ පෙදෙස්වල ජනයා උග්‍ර ජල හිඟයෙන් හා නියඟයෙන් මෙන්ම, මැලේරියාව හා පරංගි වැනි වසංගතවලින්ද නිරතුරුව පීඩා වින්දාහ. ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය, වී ගොවිතැන කේන්ද්‍ර කරගත් කෘෂිකර්මය වුවද, වැව් බොහොමයක් නටබුන්ව ගොස් තිබූ අතර, වාරිමාර්ගවල තත්ත්වය බෙහෙවින් අසතුටුදායක විය. මාගම්පත්තුවේ වැසියනට දිවි ගැටගසා ගැනීමට තිබූ එක ම මාර්ගය හේන් ගොවිතැනය. ඔවුන් හේන් වගාව කළේ රජය සතු ලඳු කැලෑ කපා, හෙළිකොට, ගිනි තබා, බිම් සකසා ගැනීමෙනි. එහෙත් රජය ඊට එරෙහිව නිර්දය ලෙස දැඩි තහංචි පනවා තිබූ හෙයින්, ජනයා පත්ව සිටියේ අන්ත දුඃඛිත තත්ත්වයකටය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශය දිගටම ලුණු ලේවාය පැතිර තිබිණි. ලුණු නිෂ්පාදනය රජයට ආදායම ගෙන දෙන ප්‍රධාන කර්මාන්තයක් විය. එය අධීක්ෂණය කරමින් රජයට ආදායම් උපදවා දීමද, ඔහු පිට පැවරුණු ප්‍රධාන වගකීමකි. ඒ හැරුණු විට නිල සංචාරවලදී තුරු සෙවණක් යට සංචාරක උසාවි පවත්වා, තත් ප්‍රදේශයේ නඩු විභාග කිරීමේ වගකීම පැවරී තිබුණේ ඔහුටය.
වුල්ෆ් නීතිය අකුරටම පිළිපදින දැඩි ගතිපැවතුම්වලින් යුත් නිලධාරියකු ලෙස ප්‍රකටව සිටියද, ඔහු තුළ සැඟව පැවැති මානව දයාව හෙළි කරන නිදසුන් ගණනාවක්ම ඔහුගේ දින පොත අප හමුවේ තබයි. ගැමියන්ට තම දිවි රැක ගැනීමට තිබූ එකම මාර්ගය වූ හේන් වගාවට එරෙහිව රජය පනවා තිබූ දැඩි නීති, තමාව මහත් අපහසුතාවට පත් කළ බව, ඔහුගේ සටහන් කිහිපයකින්ම පැහැදිලි වේ.
“... බොහෝ ගම් පිළිබඳ සැලකීමේදී පෙනී යන්නේ එක්කෝ ගම අභාවයට යා යුතු බවය; එසේ නොවන්නට නම් හේන් කිරීමට අවසර දිය යුතුය” (දින පොත 1909, ජූලි 21).
“උතුරු වලකඩවල වටිනාකමක් නැති මෙම කැළෑවල් හේන් කිරීම පිණිස ගැමියන්ට ලබා දුනහොත් මිස, තම ගම්වල ඔවුනට යැපීමට දෙයක් ඇත්තේ නැත.” (දින පොත, 1909 ජූලි 25).
“මාගම්පත්තුවේ ජනයා පදිංචි කරවීමෙන් පසුව පවා ඔවුනට හේන් අවශ්‍ය වන්නේය යන මතය මම දිගටම දැරූවෙමි” (දින පොත, 1910 පෙබරවාරි 16).
“... එබැවින් මේ ගම්වල හේන් කිරීමට ඉඩදීම නවතා දැමීමට මට සිදු වූ නමුදු මා එසේ කළේ සෑහෙන පැකිළීමක් තොරව නොවේ” (දින පොත, 1910 අගෝස්තු 14).
රජයේ ප්‍රතිපත්තියට අනුගත නොවෙමින්, හේන් කිරීම පිළිබඳ ඔහු ගැමියනට දැක්වූ බුරුල හේතුවෙන්, වරෙක ගාලු දිසාපති ලුෂින්ටන්ගේ උදහසට පවා ලක් වීමට ඔහුට සිදු විය. (දින පොත, 1909, නොවැම්බර් 17) ගැමියන්ගේ අවංක දුක් ගැනවිලි, අඳෝනා කෙරෙහි වුල්ෆ් යහපත් ප්‍රතිචාර දක්වා ඇත්තේ, සංවේදී පාලකයකුගේ ලක්ෂණ විදහා පාමිනි. වරක් පල්ලෙමලලදී ඇඟ බදු ගෙවීම වෙනුවට හිලව් වශයෙන් වැවක් තැනීමේ යෙදී සිටි ගැමියන් පිරිසක් ඔහු හමුවේ නැඟූ අඳෝනාව වූයේ, නියඟය නිසා පොළොව ගල්ව ගොස් ඇති හෙයින්, සෑරීමට අපහසු බවය. එය සත්‍යයක් බව වටහාගත් ඔහු, ඒ කාරිය පසුවට කිරීමට ඔවුනට අවසර දුන්නේ, ඔවුන් කෙරෙහි පහළ වූ අනුකම්පාවෙනි. (දින පොත, 1909 ජූලි 03).
අන්ත දුගී ජනයාගෙන් මාර්ග බද්ද අය කිරීමේ ඇති අසාධාරණත්වය දුටු ඔහු, ඒ ගැන තම නොසතුට සටහන් කර තැබීමට පසුබට වූයේ නැත. මාර්ගය නිරතුරුව භාවිත කරන, යමක් කමක් ඇති අයගෙන් මිස, ඉඳහිට මාර්ගය භාවිත කරන දිළින්දන්ගෙන් එය අය කිරීම නොදැරිය හැකි බරක් ඔවුන් පිට පැටවීමක් බව ඔහුගේ මතය විය. (දින පොත 1910 ජූලි 10) බැද්දේ වැවේදී ඔහු මැලේරියාවෙන් අසාධ්‍යව හුන් දරුවකු රෝහලට යැවීමට කටයුතු යෙදීමෙන් හෙළි වන්නේ, ඔහු තුළ පැවැති අනුන්ගේ දුකෙහිදී සසල වීම පිළිබඳ ලක්ෂණයයි. (දින පොත, 1911 ජනවාරි 13)
සාධාරණය හා යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය වූ තැනදී එය ඉටු කිරීමට වුල්ෆ් නොපැකිළව ඉදිරිපත් වුව ද, ගැමියන්ට හිරිහැර කරමින්, ඔවුන් සූරාකමින් හා තම සේවය පැහැර හරිමින් දූෂිත ආකාරයෙන් කටයුතු කිරීමට ඇබ්බැහිව සිටි, තමා යටතේ සේවය කරන නිලධාරීන්ට නම්, ඔහුගෙන් කිසි විටෙකත් අනුකම්පාවක්, බුරුලක් ලැබුණේ නැත. වරෙක ඔහුට නැඟෙනහිර ගිරුවාපත්තුවේ මුදලිවරයා ගැන දිසාපතිවරයාට පැමිණිලි කිරීමට සිදු වූයේ, දිගින් දිගටම සේවය පැහැර හැරීම හේතුවෙනි. එසේම, ගැමියනට ඉටු විය යුතු සේවය මඟ හරිමින්, දූෂිත ලෙස කටයුතු කරන මුලාදෑනීන්ටද ඔහුගෙන් සමාවක් ලැබුණේ නැත. (දින පොත 1909 ජනවාරි 18)
![]()
1960 දී සංචාරයකට එක් වූ ලෙනාර්ඩ් වුල්ෆ්
එබඳු අකාර්යක්ෂම නිලධාරීන් ගැන බෙහෙවින් කලකිරීමට පත්ව සිටි ඔහු වරක් යෝජනා කර සිටියේ, මුලාදෑනියකු පත් කිරීම ගැන නිර්දේශ කිරීමට තමාට අවස්ථාවක් ලදහොත්, තමා ඒ සඳහා ගැහැනියක නිර්දේශ කරන බවය. (දින පොත, 1909, මාර්තු 28) එතරම් ඈත කාලයකදී ඔහු කළ ඒ ප්‍රකාශය කොතරම් දූරදර්ශී එකක්ද යන්න, මෙකල සිටින කාන්තා ග්‍රාම නිලධාරිනියන් සංඛ්‍යාව විමසා බැලීමෙන් ස්ඵුට වනු ඇත.
වුල්ෆ්, ඒ අයුරින් වැඩ තහනමට සහ සේවයෙන් පහ කිරීමට පියවර ගනු ලැබූ දූෂිත හා අකාර්යක්ෂම නිලධාරීන්, ඇතැම් විටෙක උප දිසාපතිවරයාට එරෙහිව විවිධ චෝදනා නඟමින්, දිසාපතිවරයාට පෙත්සම් යැවූ බැව් සඳහන්ය. ඇතැමකු ඔහුගේ යුදෙව් ජාතික ප්‍රභවය පවා ඒ සඳහා උපයෝගී කරගෙන ඇත. වුල්ෆ්ගේ දූෂණ විරෝධී ක්‍රියා නිසා උදහසට පත් තවත් පිරිසක් වූයේ, ලුණු ප්‍රවාහනයේ යෙදුණු ගැල්කරුවන්ය. 1911 මාර්තු 16 වැනිදා හියු ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයා එම ප්‍රදේශයේ නිල සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ, එම ගැල්කරුවෝ ඔවුන්ගේ ගමන් මාර්ගය හරස් කර, වුල්ෆ්ට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රගල්භ වූහ. වුල්ෆ් තම රාජකාරිය ඉටු කිරීමේදී, ජාතිය, කුලය හෝ වාර්ගිකත්වය ගැන තැකීමක් කළ බවක් නොදැක්වෙන අවස්ථාද විරල නොවේ.
යාල වනෝද්‍යානයේ භාරකරු වූ එන්ගල්බ්‍රෙක්ට එරෙහිව, ඔහුට දාව තමාට උපන් දරුවාට වන්දි ඉල්ලා ඉදිරිපත් වූයේ හැඩ රුවැති ගැමි ළඳකි. බොහෝ අය අපේක්ෂා කළේ වුල්ෆ් තම දඩයම් සහකරු වූ එන්ගල් බ්‍රෙක්ට වාසි වන අයුරින් තීන්දුව දෙනු ඇති බවය. එහෙත්, දරුවාගේ සමේ පැහැය සැලකිල්ලට ගනිමින් ඔහු තීන්දුව ලබා දුන්නේ, ගැහැනියට වාසි වන ආකාරයටය. අවාරයේදී නීති විරෝධී ලෙස මුවකු දඩයම් කළ යුරෝපීය ජාතික වැවිලිකරුවකු පළ කළ දැඩි විරෝධය නොතකා, ඔහුට දඩයක් නියම කිරීමෙන්ද වුල්ෆ්ගේ අපක්ෂපාතීත්වය තව දුරටත් තහවුරුවේ. (දින පොත 1909 ජුනි 08)
වුල්ෆ්ගේ සමයේ එම දිස්ත්‍රික්කය තුළ භයානක අන්දමින් පැතිර යමින් තිබූ ගවකුර රෝග වසංගතය පාලනය කිරීමේදී, ඔහු අනුගමනය කළ විවිධ උපක්‍රම හා ඔහු ලද සාර්ථකත්වය, ඔහුගේ පරිපාලන හැකියාවට කදිම නිදසුනකි. ප්‍රවාහන කටයුතුවලට මෙන්ම, කෘෂිකාර්මික කටයුතුවලටද අත්‍යවශ්‍ය කළ එළ ගවයන් සහ මී ගවයන් කුර රෝගය වැලඳී රංචු පිටින් මියැදෙන්නට වීම, ඔහු මුහුණ දුන් බරපතළ ප්‍රශ්නයකි. එම වසංගතය මැඬ පැවැත්වීම පිණිස ඔහු ගත් ක්‍රියාමාර්ග වූයේ, ගව එන්නත සහ රෝගී ගවයන් වෙඩි තබා මරා දැමීමත්, නීරෝගී ගවයන් කොටු කර වෙන් කර තැබීමත්ය. මෙහිදී ඔහු ගත් වැදගත් ක්‍රියාමාර්ගය වූයේ, එන්නත වෙනුවෙන් ගැමියන් රුපියල බැගින් ගෙවීමට මැළි වූ විට, එය නොමිලයේ ලබා දීමට ගත් පියවරයි. (දින පොත 1909 පෙබරවාරි 22)
ප්‍රදේශයේ ජනයාගේ ජීවනාලිය කෘෂිකර්මය වූ හෙයින්, එහි දියුණුව පිළිබඳ සොයා බලා කටයුතු කිරීමද ඔහු සතු වගකීමක් විය. ඒ සඳහා ඔහුගේ සහායට වාරිමාර්ග ඉංජිනේරුවරුන්, වෙල්විදානෙවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් වූහ. දිස්ත්‍රික්කයේ සෑම අස්සක් මුල්ලක් පුරාම විසිර තිබූ වාරිමාර්ග යෝජනා ක්‍රම, නටබුන් වැව්, ඇළ මාර්ග පිරික්සා බලා, ඒවා වැඩි දියුණු කිරීමට දුෂ්කර මාර්ග ඔස්සේ යෑමට ඔහුට සිදු ව තිබුණේ පා ගමනින් ය. සීසාන නගුල සහ ගොයම් මඬින යන්ත්‍රය එම දිස්ත්‍රික්කයට හඳුන්වා දී ඇත්තේද ඔහු ය.
ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කරලීමටද ඔහු දක්වා ඇත්තේ ඉන් පෙර සිටි කිසිම උප දිසාපතිවරයකු නොදැක්වූ ආකාරයේ උනන්දුවකි. අධ්‍යාපනය සහ සාක්ෂරතාව අතින් දිස්ත්‍රික්කය එවකට පැවතී ඇත්තේ, ඉතා පසුගාමී තත්ත්වයකය. පාසල් තිබී ඇත්තේද ප්‍රධාන ගම් කිහිපයක පමණකි. අධ්‍යාපනයේ වටිනාකම මැනවින් පසක් කරගෙන සිටි කේම්බ්‍රිජ් විද්වතකු වූ ඔහු, තම පළාත තුළ අධ්‍යාපනයේ ආලෝක ධාරාව විහිදුවාලීමට දරා ඇති අප්‍රතිහත ප්‍රයත්නය, ඔහුගේ දින සටහන්වලින් මැනවින් ස්ඵුට වේ. තිබෙන පාසල් වැඩි දියුණු කරලීමෙන්ද, කැලෑබද පෙදෙස්වල පවා අලුතින් පාසල් ඇරැඹීමෙන් පමණක් නොව, තම නිල සංචාර අතරතුර පාසල්වලට ගොස් පාසල් පරීක්ෂකවරයකුගේ භූමිකාවට අවතීර්ණවී, ඒවායේ අඩුපාඩු සොයා බැලීමෙන්ද, අධ්‍යාපනයේ දියුණුවට ඔහු දක්වා ඇත්තේ පුදුමාකාර උනන්දුවකි.
කෙසේ වුවද, තම කොන්ද කෙළින් තබා ගනිමින් ඍජුව රාජකාරිය කළ අවංක නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ්, ඔහුගේ ඉහළ නිලධාරීන්ගේ හෝ යටත් විජිත පාලනයේ හෝ ප්‍රසාදයට පාත්‍ර වූ බවක් නොපෙනේ. ඔහු තම ආසන්නතම ඉහළ නිලධාරියා වූ ගාලු දිසාපතිවර ලුෂින්ටන් සමඟ ගැටුම් හා මතභේදවලට පැටලී ඇත්තේ වරක්, දෙවරක් නොවේ. ලේවායවලදී ලුණු කිරා බැලීමේ ක්‍රමයක් හඳුන්වා දීමට වුල්ෆ් උත්සාහ දැරූවේ, එහිදී සිදු කෙරෙන වංචා සහ අපතේ යෑම් වළකාලීමේ අරමුණින් වුවද, ඊට දිසාපතිවරයාගේ අනුමැතිය ලැබුණේ නැත. එය ඔහුට ඇති කළේ කලකිරීමකි. (දින පොත, 1909, මාර්තු 18)
තවත් විටෙක දිසාපතිවරයා ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාව වූයේ, හේන් කිරීම සඳහා ගැමියන් උනන්දු කරවන බව පවසමිනි. (දින පොත, 1909 නොවැම්බර් 17) මාර්ග සංවර්ධනය සඳහා පවරා ගන්නා ලද ඉඩමකට දිසාපතිවරයා නොවටිනා ගණනක් ගෙවීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන්ද ඔහු එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සමඟ මත ගැටුමක් ඇති කර ගත්තේය. ලුෂින්ටන් දිසාපතිවරයා වුල්ෆ්ගේ ක්‍රියා කලාපයට එරෙහිව යටත් විජිත ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබූ බව පෙනී යන්නේ, එහි නිලධාරියකු වූ ෆ්‍රෙඩ්‍රික් බොව්ස් විසින් ඔහුට අවවාදාත්මක ලිපියක් එවා තිබීමෙනි. ඉන් අවවාද කර තිබුණේ, තමාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූ දිසාපතිවරයා සමඟ මත ගැටුම් ඇති කර නොගන්නා ලෙසටය. එසේම, යටත්විජිත භාර ලේකම්වරයා වූ ඒ.එස්. ගැල්බ්‍රොයිස් ඔහුට අවවාද කරමින් දන්වා සිටියේ, දින පොතේ සටහන් මඟින් ඉහළ නිලධාරින් පිළිබඳ අදහස් දැක්වීමේදී, ශික්ෂණයෙන් යුතුව එය කරන ලෙසටය. එයට මුල් වී තිබුණේ රජයට පවරා ගන්නා ලද ඉඩමට දිසාපතිවරයා කළ ගෙවීම සම්බන්ධයෙන්, ඔහු පළ කර තිබූ අදහස්වල විවේචනාත්මක ස්වරයයි.
ඒ ආකාරයේ සිදුවීම් හා අප්‍රසන්න මත ගැටුම් නිසා, මේ රටෙහි සිවිල් සේවයේ තව දුරටත් නිරතව සිටීමෙන් තමාගේ අනාගතය පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බැව් ඔහුට හැඟී ගියේය. වාර්ෂික නිවාඩුවෙන් පසු පෙරළා පැමිණි විට, තමා කොළඹ සුරාබදු කාර්යාලයට අනුයුක්ත කරනු ඇතැයි යන දූසමාන ආරංචියක්ද ඔහුගේ කනට වැටී තිබුණි. එම කරුණ ඔහුට වඩාත් තහවුරු වූයේ, නිවාඩු යෑමට ඔන්න මෙන්න කියා තිබියදී, ගාල්ලේ පැවැති සුරාබදු සම්මේලනයට සහභාගි විය යුතු යැයි දන්වා තිබීම නිසාය.
ගැටුම් හා බාධක මැද තෙවසරකට ආසන්න කාලයක් හම්බන්තොට දිසාවේ උප දිසාපතිවරයා ලෙස කැපවීමෙන් සේවය කළ ලෙනාඩ් වුල්ෆ්, සිය රට බලා ගියේ යටත්විජිත පාලනය ගැන කිසියම් කලකිරීමකින් හා දෙගෙඩියාවකින් යුතුවය. එහිදී තම පැරැණි පෙම්වතිය මෙන්ම, සුප්‍රකට නවකතාකාරියකද වූ වර්ජිනියා වුල්ෆ් සමඟ විවාහ වූ ඔහු, තම කාලය දේශපාලන හා ශාස්ත්‍රීය කටයුතුවලට මෙන්ම, ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපාරය කෙරෙහිද කැප කරන්නට විය. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයට බැඳුණු ඔහු, එහි අන්තර්ජාතික සහ යටත්විජිත ගැටලු පිළිබඳ කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. රැජනගේ උපන් දිනය නිමිත්තෙන් 1966 දී තමාට පිරිනැමුණු නම්බු නාමය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පිළිබිඹු කෙරෙන්නේ, ඔහු තුළ පැවැති උග්‍ර අධිරාජ්‍ය විරෝධී හැඟීමය.
චන්ද්‍ර ශ්‍රී රණසිංහ