රඟහලෙත් දුරකථන කුටියෙත් බෝම්බ
පොලිසියට තැබිය හැකි වූ එකම බලාපොරොත්තුව වූයේ, බෝම්බකරු තම පළිගැනීමෙන් තෘප්තිමත්ව සිටිනවාය යන හැඟීම පමණි. ඉන්පසු ජවනිකාව වසා දැමූ බැවින් සියල්ල ද අමතක විය. කිසිම පුවත්පතක සඳහනක් හෝ පළවූයේ නැත.
දැවැන්ත නිව්යෝර්ක් අගනුවර 1940 නොවැම්බර් 16 දා බොහෝ රසවත් පුවත් සමුදායක් සිදු වී තිබිණි. මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනි ගැනීම්, දේශපාලන කලබැගෑනි, විශේෂ අමුත්තන්ගේ පැමිණීම් වාර්තා කිරීමට පුවත්පත් කලාවේදීන් කඩිසර වී ඇත. යුරෝපයේ යුද්ධයක්ද උණුසුම් පුවත් මැවීය. බට කෑල්ලකින් හදා ජනෙල් පඩියක් මත තැබූ පුපුරා නොගිය ඩප්පි බෝම්බය දවසේ ප්‍රවෘත්තියක් නොවූයේ එහෙයිනි.
පුපුරා නොගිය දෙවන බෝම්බයක් 1941 සැප්තැම්බරයේ දහනම වන වීදියේ හතරවැනි පටුමග අසල, කොන් - එඩිසන් සමාගම් මූලස්ථානයට ගොඩනැගිලි පහකට මෙපිටින් සොයා ගනු ලැබුණි. වූල්වලින් ගොතන ලද පිරිමි මේස් එකක් තුළ වහන් කළ බෝම්බය, වීදියේ දමාගොස් තිබුණි. මෙවර එය සමඟ සටහනක් සහිත කඩදාසියක් නොතිබුණත් බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ රහස් පරීක්ෂකයින් විසින් එක් කාරණයක් අනාවරණය කර ගනු ලැබිණ. ඒ මීට වසරකට පෙර හසු වූ කොන් - එඩ් බෝම්බයට එහි ඇති සමානකමය.
මේ බෝම්බය තුළ වූ සංඥා ඔර්ලෝසු ට්‍රිගරය පළුදු කොට තිබුණේ නැත. පොලිසිය කල්පනා කළේ, කොන් - එඩ් මූලස්ථානය තුළ හෝ ඒ අසල තැබීමට බෝම්බය ගෙන එමින් සිටියදී කිසියම් හේතුවකට බෝම්බකරු බියවීමෙන් මෙය මහ මග දමා පැනගොස් ඇති බවය. සමහර විට ඔහු මුර සංචාරයේ නියුතු භටයින් දකින්නට ඇත. එයින් කලබල වන්නට ඇත. එමනිසා ඔහුට බෝම්බයේ ෆියුසය එකලස් කරන්නට නොහැකි වන්නට ඇත. පුවත්පත් මේ ජවනිකාව වාර්තා කරන්නටද අසමත් විය.
තුන් මසකට පසු, අමරිකා එක්සත් ජනපදයද යුද්ධයට පැටලෙන්නට විය. ඉන් කෙටි කලකට පසු එක්තරා ප්‍රෙහේලිකාත්මක ලිපියක් මෑන්හැට්න් හි පිහිටි පොලිස් මූලස්ථානයට ලැබිණි. එය තැපෑලට දමා තිබුණේ අගනුවරට උතුරින් පිහිටි වෙස්ට්චෙස්ටර් අර්ධ නාගරිකයෙනි. එය ඉංග්‍රීසි කැපිටල් අකුරුවලින් මුද්‍රණය කරන ලදුව මෙසේ පවසා තිබුණි:
“යුද්ධය පවතින තෙක් තවදුරටත් මම බෝම්බ නොතබමි - මේ තීන්දුව ගැනීමට මා පොලඹවන ලද්දේ මගේ දේශප්‍රේමී අනුරාගයයි. පසුව මම කොන් එඩිසන් යුක්තිය හමුවට පමුණුවමි. උන්ගේ නීච ක්‍රියාවලට වන්දි ගෙවිය යුතුයි.... සා.මි.’
රෝනියෝ සුදු කඩදාසියක් මත බ්ලොක් එකක් හා තීන්ත උපයෝගී කරගෙන එය ඉතා පැහැදිලිව මුද්‍රණයකොට තිබුණි. අසාමාන්‍ය ආකාරයෙන් වාක්‍ය හමාර කරමින්; නැවතීමේ තිත වෙනුවට කෙටි ඉර යොදාගෙන තිබුණි. ‘නීච ක්‍රියා’ යෙදුම නැවත නැවත භාවිත කරමින් සහ ‘සා.මි.’ නම් ගුප්ත මුල් අකුරු දෙකකින් තමන්ව හඳුන්වා ගන්නා මේ භූත ලියුම් පසු කාලීනව, පොලිසියට ඉතා හුරු පුරුදු විය.
1941 සහ 1946 අතර, අඩුම තරමින් මෙවන් ලියුම් දාසයක් ‘සා.මි.’ යන අත්සනින් යුතුව, කොන් - එඩ් සමාගමට, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සහ මෑන්හැට්ටන් හි රංගශාලා, සුපිරි වෙළඳ සැල් හා තරු හෝටල්වලට ලැබෙන්නට විය. තවත් බොහෝ පුද්ගලයන්ට මේවා ලැබෙන්නට ඇත. නමුත්, ඔවුන් ඒවා විකාර ලෙස සලකා නොසලකා හැරියා මිස පොලිසිය රස්තියාදු කිරීමට උනන්දු නොවන්නට ඇත.
මේ ලිපිවල ‘නීච ක්‍රියා’, ‘මිනී කන භූතයා’ යන යෙදුම් සමඟ සුවිශේෂ කොට නොදක්වන ලද, වැරදි සඳහා යුක්තිය පසිඳලන්නැයි ඉල්ලීම තදින්ම තිබිණි. එලෙසම බෝම්බ ගැසීමේ තර්ජනාංගුලියද ඔසවා තිබූ බව පැහැදිලිය.
ඊළඟ අවුරුදු හතර පුරාවට ‘සා.මි.’ ගැන කිසිවක් අසන්නට නොලැබිණි.
යුද්ධය අවසන් විය. 1940 දසකය යනු භීතිය හා සර්ව අසුබවාදය විසින් දීප්තිමත් සර්ව සුබවාදය වැනසූ කාල පරාසයකි. ඒත් දැන් නැවත හොඳ කාලයක් පැමිණ තිබේ. මිනිසුන්ගේ සාක්කු පිරී ඇත.
යුද්ධයේ බියකරු මතක ටිකෙන් ටික වියැකෙමින් තිබිණි. 1940 හා 1941 වසරවල පුපුරා නොගිය කොන් - එඩ් බෝම්බ දෙක ගැන මතකයද කාලය සමඟ ගසාගෙන ගොස් ඇත.
නමුත් 1950 මාර්තු 29 දින නොපිපිරූ තුන්වැනි බෝම්බය නිව්යෝර්ක් හි ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය පොළෙන් මතු විය.
බෝම්බ නිෂ්ක්‍රීය රහස් පරීක්ෂකයන් බෝම්බයේ නිර්මාණ අන්තර්ගතය හඳුනාගත්තේ යැයි කල්පනා කරන්නට විය. මේ තුන්වන බෝම්බයද මූලික වශයෙන් පළමු වැන්නට සමානය. නමුත් මෙය විශාලත්වයෙන් තරමක් වැඩි සේම බෝම්බ තනන්නාගේ හස්ත කර්මාන්තයේ දියුණුවක්ද පෙන්වයි. වසර නවයක් ලැබූ විවේකය නිසා වැඩ මුරය කැඩුණද, ඔහු ලෝහ වැඩ ගැන සතුටුදායක පුහුණුවක් ලැබූ බව දක්නට ලැබෙයි.
ඉතාමත් මැනවින් හැඩලූ බෝම්බ පයිප්ප කැබැල්ල අඟල් හයක් පමණ දිගු වන අතර විශ්කම්භය අඟලක් පමණි. එහි දෙකොනට ප්ලග් දෙකක් කවා තිබුණි. ෆියුසය සාදා තිබුණේ ලාභ අත්ඔර්ලෝසුවකිනි. එහි පලිඟු ගල් කැබලි ඉවත්කර විනාඩි කටුව නිහඬකර තිබුණි. කම්බියක් ලෝහ ඇසුරුමට පාස්සා ඔර්ලෝසුව සවිකර තිබූ අතර කුඩා බැටරියේ ධන පැත්තට අනෙක් කෙළවර සම්බන්ධකොට තිබුණි. මේ විවෘත සර්කිට් එකෙහි වම් අංගය ඍණ අන්තයට දිවෙන අතර පයිප්පය වෙඩි බෙහෙත්වලින් පිරී තිබුණි. ඔර්ලෝසුව නිශ්චිත වේලාවට ක්‍රියාත්මක වෙද්දී ගිනි පිපුරුම් පරතරය සන්ධි වෙනු ඇත. පැය කටුව මේ කූටප්‍රාප්තියට එන විට කම්බිය ස්පර්ෂ කරයි. එවිට ගිනිපුපුරු මතු වී බෝම්බය පුපුරා යයි.
වාසනාවකට මෙන් මේ බෝම්බය පුපුරා ගියේ නැත. නමුත් ඊළඟ බෝම්බය පිපිරිණ. එය පිපිරී ගියේ නිව්යෝර්ක් මහජන පුස්තකාලයේ පොදු දුරකථන කුටියක් තුළදීය. දිනය 1950 අප්‍රේල් 24 ය.
ඊට මාස හතරකට පසුව ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හි පොදු දුරකථන කුටියක් තුළදී ද තවත් බෝම්බයක් පුපුරා ගියේ ය. පුදුමයකට මෙන් මේ පිපුරුම් දෙකේදීම කිසිවකුට හෝ හානියක් සිදු නොවීය. සැප්තැම්බරයේදී කොන් - එඩ් සමාගමේ ගොඩනැගිල්ලක තවත් පොදු දුරකථන කුටියක් තුළදී හයවන බෝම්බය හමුවුවත් එය පුස්සකි. ඊට සති දෙකකට පසුව කොන් එඩ් එකටම තවත් පුස් බෝම්බයක් තැපෑලෙන් ලැබුණි. තවත් පුස්සක් සිනමා ශාලාවකදී සොයාගන්නා ලදී. එය තබා තිබුණේ අසුනක යටි පැත්තෙන් කුෂනය පලා ය.
1950 නත්තලට දින කිහිපයක් තිබියදී නිව්යෝර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් පුවත්පතට විකාර ලිපියක් ලැබුණි. එය කැපිටල් අච්චු අකුරින් සුදු කඩදාසියක මුද්‍රණකොට තිබුණි. ලිපිය තැපැල්කොට තිබුණේ මවුන්ට් කිස්කෝ වලිනි. එය වෙස්ට්චෙස්ටර් හි දුර ගමන්වල අතරමැදි නගරයකි. මේ නිසා මවුන්ට් කිස්කෝ පොහොසත් නගරයක් ද වේ.
ලිපිය මෙසේ පවසා තිබිණි: ‘හෙරල්ඩ් ට්‍රිබියුන් කර්තෘ - ඔබේ නගරයේ බෝම්බ තිබූ බව නොදැන ගත්තාද - ඔබට දුක නම්, මම සොරි කියමි - කවරෙකු හෝ රැකවරණය නැත්නම් මට කරන්න දෙයක් නෑ - සාධාරණය ඉෂ්ට වනු ඇත - මට ටිකක් අසනීපයි - මෙයින් මම කියන්නෙ කොන් එඩ්ට සොරිම සොරි තමයි කියලයි - ඔව්, ඔවුන් කළ නීච වැඩ ගැන පසුතැවිලි විය යුතුයි - මම ඔවුන් සාධාරණයේ විනිශ්චය ඉදිරියට ගෙනෙනවාමයි - මහජන මතය, කොන් - එඩ් හෙළා දකිනු ඇත. පරෙස්සමින්, නුදුරු අනාගතයේම, රැඟුම්හල් ආසනයට මා විසින් වඩ වඩාත් බෝම්බ තබනු ඇත - සා.මි.’
මේ ලියමනෙන් සතියකට පසුව, නිව්යෝර්ක් ජර්නල් ඇමරිකන් පුවත්පතේ නගර කාර්යාලයට මැදියම් රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලැබුණි. පිටපත් නැවත ලියන්නෙක් ඊට පිළිතුරු දෙන්නට විය.
‘මේ කතා කරන්නෙ ‘සා.මි.’ හඬ අවදි වුණා. ‘මම කැමතියි කර්තෘට කතා කරන්න’
‘නම මොකක්ද?... ආයේ කියනවද?’ ලියන්නා ඉල්ලා සිටියා.
‘සා.මි.’ තමාට ඔක්කොම දැනගන්න අවශ්‍යද?’
පත්තර කන්තෝරුවකට බහුබූත ඇමතුම් ඒම සාමාන්‍ය දෙයක්; විශේෂයෙන්ම රෑ ජාමෙට. මිනිස්සුන් දිගින් දිගටම සිතුවිලිත් එක්ක පැටලෙන්නෙ ඉර බැස ගිය පසු, ලියන්නා ලේසියෙන්ම මෙහෙම කිව්වේය. ‘හොඳයි, කර්තෘ මේ වෙලාවෙ ලොකු වැඩක. ඔබතුමාගේ නම දෙන්න; කතා කළා කියල මම කර්තෘට කියන්නම්’
‘තමා හිතන්නෙ ඒ විදිහට මාව නොසලකා හරින්න පුළුවන් කියලද? හඬ කෝපයෙන් උඩ පැන්නේය. ‘තමා මගෙ කිසිම ලියවිල්ලක් මුද්‍රණය කළේ නෑ. තමා හිතන්නෙ මගේ කිසිම වැදගැම්මක් නෑ කියල! හොඳයි මගේ වැදගත්කම, තමාට මම පෙන්වන්නම්. පරෙස්සම් වෙන්න! ඕනෑම වෙලාවක තමා ළඟින් බෝම්බයක් හොයා ගන්න පුළුවන් වෙයි. ඔව් ඕනෑම වෙලාවක!’ ගුප්ත අමතන්නා නිහඬ විය.
පිටපත් නැවත ලියන්නා සා.මි. යන නාමය කවදාවත් අසා නැති නමුත් ජර්නල් ඇමරිකන් කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙක් අසා ඇත. හෙරල්ඩ්, ට්‍රිබියුන් පුවත්පතට වගේම ජර්නල් ඇමරිකන් වෙතද හරි අමුතු, පැහැදිලිව මුද්‍රණය කරන ලද ලියමන් කිහිපයක්ම ලැබී තිබුණි. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිට මේ ලිපිවලින් එකක් හෝ මුද්‍රණයට නොයැව්වා පමණක් නොව, බෝම්බ ජවනිකා පිළිබඳ ඉඩ හසර ලබාදීමද, අත්‍යන්තයෙන්ම සීමා විය. පෙනෙන හැටියට, ප්‍රසිද්ධිය මදකම නිසා බෝම්බකරුවා කිපී ඇත.
පොලිසිය හිතාමතාම, බෝම්බකරුගේ රඟදැක්වීම ප්‍රසිද්ධිය අතින් පහළ හෙළීමට උත්සාහ දරමින් සිටියේය. මේ සඳහා සාධාරණ හේතුවක්ද පොලිසිය සතු විය. කිසියම් අපරාධයක්, විශේෂයෙන්ම නොවිසඳූ අපරාධ රැල්ලක් සීමාව ඉක්මවා ප්‍රචාරණයක් ලබන විට, පොදු මහජන මනස තුළ සිතින් මවාගැනීමේ වපසරිය නරක ලෙස පුළුල් වේ. ඒ අතරම අනුකාරකයන් සහ විහිළුවට හෝ තරහවට, ගැටලුකාරී රැවටිලි කරන පිරිස් දුසිම් ගණන් බිහිවීමද නොවැළැක්විය හැකිය. පොලිසිය තැති ගත්තේ බෝම්බ තැබීම හෝ රැවටිලි බෝම්බකරුවන් වසංගතයක් ඇතිවීමේ අවධානමක් දුටු බැවිනි. මේ ප්‍රවෘත්ති බෝතලයක දමා ඇබ ගැසීමෙන් පොලිසිය බලාපොරොත්තු වූයේ බෝම්බ ජවනිකා සියල්ල තනි මිනිහකුගේ ක්‍රියාකාරකමක් බව ජනමනසෙන් වසං කිරීමටය.
එහෙත් බෝම්බකරු තම හස්තකර්මාන්තය සම්බන්ධයෙන් වඩ වඩාත් කුසලතා පූර්ණ බවක් අත්පත්කරගන්නට සමත් විය. ඔහුගේ මුල්භාගයේ නිර්මාණ අටෙන්ම (ඔහුටම අනුව) ක්‍රියාකාරිත්වය පෙන්නුම් කර ඇත්තේ දෙකක් පමණි. ඔහුගේ ඊළඟ නිර්මාණ හතර; (1951 – 1952) නිමැවුම් ඉහළින් ක්‍රියාත්මක විය. එකක් පුපුරා ගියේ පදිකයින් සඳහා වූ උමං මගක වසා තිබූ නළ පද්ධතියක ලොකරයක් තුළදී ය. අනෙක පොදු දුරකථන ඇමතුම් කුටියකදීය. අනෙක් දෙක, සිනමාශාලා දෙකක අසුන් දෙකක් යටය. මේ හැම පිපිරීමක්ම පෙර ඒවාට වඩා මහත් බල සම්පන්න විය. බෝම්බ තනන්නා තම නව නිපැයුම්වල විශාලත්වය ක්‍රමානුකූලව වැඩි කළේ ය. මිනිසුන්ගේ ලේ ගැලීම ඇරඹී ඇත. මේ සහාසික ජවනිකා පුවත් මැවීමෙන් වළකා රහස් සේ රැක ගැනීමටවත් එසේ කිරීමේ උවමනාවක්වත් දැන් තිබිය නොහැක. මහජනයා කෙමෙන් සිය වටහාගැනීම පුළුල්කර ගන්නට විය. භයානක මිනිසා නිදහසේ වීදි සරමින් සිටී. 1952 වන විට ඔහු සඳහා අපූරු නාමයක් පටබැඳෙන්නට විය. “උමතු බෝම්බයා!”
උමතු බෝම්බයා 1953 දී වැඩියෙන් බෝම්බ ඇටවූවාක් මෙන්ම ඒවා සහාසික ලෙස පුපුරුවා හැරීමටද සමත් විය. එයින් එක් බෝම්බයක් පුපුරා ගියේ රේඩියෝ සිටි සංගීත ශාලාවේ අසුනක් යටය. රහස් පරීක්ෂකයන්ට පෙනුණු අයුරින් මේ උමතු බෝම්බය මීට පෙර නිර්මාණය කරන ලද බෝම්බවලට වඩා විශාලත්වයෙන් දෙගුණයකි. හෙණ හඬින් පුපුරා ගිය බෝම්බයෙන් විහිදුණු ගිනියම් කැබලි හා පුටු කුෂන් කවර කුඩු බියෙන් මොරදෙන ප්‍රේක්ෂාගාරය වසා ගත්තේය. දෙදෙනෙකු අසාධ්‍ය වෙද්දී හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ විය.
එදින හවස් භාගයේ සංගීත ශාලාවේ ප්‍රේක්ෂක පිරිස අතර, අමුතු, හුදෙකලා මිනිසෙකු සිට ඇත. කොලු කුරුට්ටන් විසින් හිතන මහත්තයා මැයෙන් නමක් පටබැඳි පුද්ගලයා ඔහු ය. බෝම්බය පුපුරා ගිය විට (පසු කාලයේ ඔහු මෙනෙහි කළ අන්දමට) බියෙන් තැති ගත් ප්‍රේක්ෂකයින් අතරින් පස්සා දොරින් එළියට පැනගත් පිරිස අතර ඔහුද සිටියේ ය. ඔහුට දැනුණු විදිහට මෙන්ම අන් අයට ඔහු පෙනුණු විදිහටද තමා සිටියේ කරකවා අතෑරිය තත්ත්වයකටත් වඩා අන්තිම අඩියේ ය. කැරකිල්ල හා වංචල ගතියෙන් හිත අවුල් වූ ඔහු ශාලා ආලින්දයට එද්දී, ආසන දක්වන්නෙකු ඔහුගේ අතකින් අල්ලා ගන්නා ලදී.
‘මේ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා, සර්’ අසුන් දක්වන්නා, හිතන මහත්තයාගේ හිත සැනසීමට උත්සාහ ගත්තේය.
කැලඹුණු ප්‍රේක්ෂකයන් සනසමින් සිටි තවත් පුද්ගලයෙක් හිතන මහත්තයා වාරු කරගෙන කිසියම් කළමනාකරුවෙකු වෙත රැගෙන ගියේ ය. ‘ඔබේ අපහසුතාව ගැන අපි පසු තැවෙනව,සර්.’ කළමනාකරු එසේ පැවසුවේ හිතන මහත්තයා සැනසීමට උත්සාහ දරමිනි.
‘හරි, ඔක්කොම හරි, ඒක ඒ තරම් ගණන් ගන්න එපා.’ හිතන මහත්තයා නොපැහැදිලි ස්වරයෙන් කෙඳුරුවේය.
ඔහු සංගීත ශාලාවෙන් පිටව එද්දී තමා තුළ සිටින සංගීත රචකයා මුණගැහුණා වැනි තුටු පහටු හැඟීමක් ඇති විය. ඔහු තම මුහුණ වසාගත් ලෝහ හා රබර් කුඩු මුහුණින් පිසදා ගත්තේ උද්දාමයෙනි.
හිතන මහත්තයාට විනීත විහිළුවක් පවා අල්ලන්නේ නැත. ඒත් අද ඔහුට ජීවිතයේ උසස්ම විහිළුවෙන් සතුටු විය හැකිය. ‘ඇත්තටම මේක හොඳම විහිළුවක්’ ඔහු සිතුවේය. මතුයම් දිනෙක අවස්ථාවක් උදා වූ කල කීම සඳහා මේ විහිළුව ඔහු හොඳින්ම මතක තබා ගත්තේ ය.
විහිළුව සමඟ තුටු පහටු වෙමින් ඔහු පදික වේදිකාව ඔස්සේ හයවන පටුමග පසුකර හතළිස් නවවන වීදියට එළැඹියේ දෙවන පියවර සැලසුම් කරමිනි. අනාගතයේදී මහත් බල සම්පන්න ෆියුස් නිපැදවීමට ඔහු තමාටම පොරොන්දු විය. මොහොතකට පෙර පුපුරා ගිය බෝම්බයේ දුර්වලතාවක් තිබිණි. ඔහු සැලසුම් කළාට වඩා කලින් එය පිපිරී ගියේ ය. එමනිසා තමාද බේරුණේ නූලෙනි.
ඔහු නගර මධ්‍යයේ පිහිටි ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානයට ගොස්, වයිට් ප්ලෙඉන් දක්වා දිවෙන දුම්රිය අල්ලා ගත්තේ ය. ඔහු එනතුරු තම ආදරණීය ඩයිම්ලර් මෝටර් රථය එහි බලා සිටිනු ඇත.
හෙට - හිතන මහත්තයගේ සතුටට මහත්මියක් ඉව අල්ලයි
සිංහල කළේ
සමුනි සමරකෝන්