Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය

$
0
0
නොවැ 5, 2020 01:00
කුරහන් වේළන වැදි ජනයා

එදාමෙදාතුර, ලංකාවේ වැදි ජනයා පිළිබඳ කෙරුණු පර්යේෂණ බොහෝමයකි. එම පර්යේෂණ කළ අය අතර, ලාංකේය පර්යේෂකයන් මෙන්ම, විදේශීය පර්යේෂකයන් ද වේ. අපේ ආදිවාසීන් පිළිබඳ කෙරුණු පර්යේෂණ මඟින්, ඔවුන් පිළිබඳ මෙරට පාඨකයන්ට බොහෝ තතු දැන ගැනීමට හැකි විය. පසුගිය මස 19 වැනි දින දිනමිණ පුවත්පතේ ‘කටාරම‘ අතිරේකයේ පළවූ චන්ද්‍ර ශ්‍රී රණසිංහ විසින් පරිවර්තනය කරන ලද ‘එදා වැද්දා‘ ලිපිය ද වෙසෙසින් වැදගත් පර්යේෂණ ලිපියක් ලෙස සඳහන් කළ හැකිය. ඒ පර්යේෂණය කර තිබූයේ මීට වසර දෙසියයකට පමණ පෙරදී, ලෙම‘සියර් විසිනි. එදා වැද්දා මෙන්ම වර්තමාන වැද්දා සම්බන්ධයෙන් කතා කරන විට, ඔවුන් අතර සමතා මෙන්ම, අද වන විට ඔවුන් වෙනසකට ලක්ව ඇති ආකාරය ද දැක ගත හැකිය. ඔවුන්ගේ ආහාර තාක්ෂණය පිළිබඳ මා කළ පර්යේෂණයේදී මට ඔවුන්ගේ වෙනස වෙසෙසින් අත්දකින්නට ලැබිණි. මේ ලිපිය ඒ අත්දැකීම් ඇසුරින් රචනා කෙරේ.

ලංකාවේ වැදි ජනයා ලොව ජීවත් වන සුවිශේෂ වූ ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ විශේෂිත වූ මානව ලක්ෂණ, භාෂාව, සිරිත් විරිත් හා ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතිය සේම, දිගු ඉතිහාසය ද එම සුවිශේෂී බවට සාක්ෂ්‍ය සපයයි. මෙරට වැදි සමාජය ගල් වැද්දන්, ගම් වැද්දන් හා වෙරළබඩ වැද්දන් ලෙස කාණ්ඩ තුනකි. ගල් වැද්දන් වනාන්තරවල ගල් ගුහා නිවහන් කර ගෙන ජීවත් වූ පිරිසකි. එහෙත්, අද වන විට එම ගල් වැද්දන් ලෙස හැඳින්වූ, වනයේ ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වූ වැදි කාණ්ඩය දක්නට නොමැත. ගල් වැද්දන් දක්නට නොලැබුණු නමුත්, ගම් වැද්දෝ අද ද වාසය කරති. ගල්ගුහාවලින් බැහැරව, පැල්පත් සාදාගෙන, ගම් වැද්දෝ ජීවත් වෙති. ඔවුන් දඩයම් කිරීම මෙන්ම ගොවිතැන් කටයුතුවල ද නිරත වේ. වර්තමානය වන විට දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලෙබැද්ද, දලුකාන ආදී ගම්මාන කිහිපයක පමණක් ගම් වැද්දෝ ජීවත් වෙති.

වෙරළබඩ වැද්දන් හෙවත් මූදු වැද්දන් යනු නැඟෙනහිර වෙරළබඩ ආශ්‍රිතව ජීවත් වන වැදි ජනයාය. අතීතයේ රට අභ්‍යන්තරයේ ජීවත් වූ වැදි ජනයා, ගංගා මාර්ග ඔස්සේ ආහාර සොයමින් යන අතරතුර වෙරළබඩට සේන්දු වීම, වෙරළබඩ වැදි ජනයාගේ ආරම්භය යැයි විශ්වාස කරයි. එහෙත්, අද වන විට වෙරළබඩ වැද්දන් ඔවුන්ගේ අසල්වැසි දෙමළ ජනයා සමඟ සම්මිශ්‍රණය වීම හේතුවෙන්ම තම වැදි උරුමයෙන් ඈත්ව ගොසිනි.

සාම්ප්‍රදායික වැදි ජනයා හට තම ජීවිතය පවත්වා ගැනීම සඳහා ඉටුකර ගත යුතුව ඇත්තේ ඉතා සීමිත අවශ්‍යතා කිහිපයක් පමණි. එකී සීමිත අවශ්‍යතා අතර, ආහාරවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. වැදි ජනයාගේ ආහාර පුරුදු, සිරිත් විරිත්, ආහාර සොයා යෑම, ආහාරවල භාවිතය මෙන්ම, ආහාර කල් තබා ගැනීම් ආදිය පොදු ජන සමාජයේ භාවිතාවන්ට වඩා සුවිශේෂී ලක්ෂණවලින් පෝෂිත වූවකි.

වේළෙන්නට තැබූ බඩඉරිඟු

මී පැණි භාවිතය

මී පැණි යනු වැද්දන්ගේ ප්‍රියතම ආහාරයකි. මී වද සොයා යෑමේදී වැද්දන් භාවිත කරන ක්‍රම සැබැවින්ම විස්මයජනකය. එය නූතන විද්‍යාඥයන් ද මවිත කරවන්නකි. මන්ද, වැද්දන් තම ජීවිත අත්දැකීමෙන් හා පාරම්පරික ඥානයෙන් උරුම කරගත් දැනුම, නූතන පර්යේෂණ ප්‍රතිඵලවලට ද එහා ගිය මහා දැනුම් සම්භාරයකි.

මී මැස්සන් යනු ගණාවාසී දිවි පැවැත්මක් ගත කරන ජීවී කොට්ඨාසයකි. එහිදී තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සුවිශේෂ සන්නිවේදන හැකියාවක් මී මැස්සන් සතුය. ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කළ මහාචාර්ය කාල් ෆොන් ෆ්රිෂ් හට 1973 වසරේදී නොබෙල් ත්‍යාගය ද හිමි විය.

නූතන පර්යේෂණවලින් හඳුනාගත් මී මැස්සන් සතු එක් සන්නිවේදන සංඥා ක්‍රමයක් ලෙස, ‘බිඟු නැටුම‘ හැඳින්විය හැකිය. බිඟු නැටුම යනු රිද්මයාකාර ශරීර චලන ක්‍රම කිහිපයකි. එම බිඟු නැටුම රඟ දක්වන්නේ බිඟුවකු තමන් සොයා ගත් ආහාර ප්‍රභවයක් පිළිබඳ අන් බිඟුන්ට දැන්වීමටය. එහිදී, නූතන පර්යේෂකයන් සොයාගත් පරිදි, වට නැටුම, දෑකැති හැඩ නැටුම හා උර ලෙළන නැටුම ආදී බිඟු රැඟුම් ආකාර කිහිපයකි. මේ එක් එක් බිඟු රැගුම මඟින්, ආහාර ප්‍රභවයට කැදැල්ලේ සිට ඇති දුර පිළිබඳ වටහා ගත හැකිය. නිදසුනක් ලෙස, චර බිඟුවකු වට නැටුම රඟ දක්වන්නේ නම්, එහි අදහස ආහාර ප්‍රභවය කැදැල්ල ආසන්නයේම ඇති බවය. එහෙත්, උර ලෙළන නැටුම රඟ දක්වන්නේ නම් එහි අදහස, ආහාර ප්‍රභවය ඇත්තේ කැදැල්ලේ සිට මීටර දෙකකට වඩා වැඩි දුරකින් බවය. මේ නූතන පර්යේෂණවලින් මී මැස්සන්ගේ සන්නිවේදන හැකියා පිළිබඳ කළ අපූර්ව සොයා ගැනීම්ය. එහෙත් විස්මයජනක කරුණ නම්, මෙරට වැදි ජනයා මේ නූතන පර්යේෂණ කිරීමටත් පෙර සියවස් ගණනාවක ඈත අතීතයේ සිටම, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානය මඟින් මී මැස්සන්ගේ මෙකී අපූර්ව සන්නිවේදන හැකියා පිළිබඳ මීට වඩා දැන සිටීමය.

වැද්දන්ට මී මැස්සන්ගේ චර්‍යා විධි නිරීක්ෂණය කර, බොහෝ පුරෝකථන කළ හැකිය. එම හැකියා, මී වද සොයා ගැනීමට ඔවුහු භාවිත කරති. නිදසුන් ලෙස, මල් රොන් රැගෙන පියාසර කරන මී මැස්සන් දුටු විට, එම මී මැස්සන් පියාසර කරන දිශාවෙන් හා පියාසර කරන විට නැඟෙන හඬින් මී වද ඇති දිශාව නිවැරැදිවම ප්‍රකාශ කිරීමට, වැද්දෝ සමත්කම් දක්වති. මී මැස්සන් නොදැක වුව ද, ඔවුන්ගේ පියාසර හඬට සවන්දී, මී මැස්සන් පියාසර කරන්නේ මී වදය දෙසට ද? නැතහොත් මී වදයෙන් ඉවතට ද? යන්න නිවැරැදිව කිව හැකිය.එපමණක් නොව, මී මැසි චර්‍යා නිරීක්ෂණය කර, එම මී මැස්සන් තනා ඇති මී වදය නොදැකම එහි ඇති පැණි ප්‍රමාණය මෙන්ම, අලුතින් බැඳි මී වදයක් ද? පරණ මී වදයක් ද? ආදී ලෙස නිවැරැදිව බොහෝ පුරෝකථන කිරීමේ හැකියාව, වැද්දන් සතුවේ.

මී පැණි සොයා යෑමේදී පමණක් නොව, දඩයමේ යන විට ද වැද්දෝ තමා සතු පාරම්පරික ඥානය ප්‍රකට කරවති. වැද්දෝ සතුන් නොදැක ඔවුන්ගේ වසුරු, පා සලකුණු , ශබ්දය, ගන්ධය ආදියෙන් අවට සැරිසරන සතුන් පිළිබඳ නිවැරැදිව නිගමනයකට එළැඹීමට සමත්කම් දක්වති.

වැද්දන්ගේ සාම්ප්‍රදායික ආහාර අතර, මී පැණි මෙන්ම දඩමස් වලට ද හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එහෙත්, ඔවුහු සමහර සතුන්ගේ මස් ආහාරයට නොගනිති. ඉබ්බා, ගවයා, නරියා, ගම් කුකුළා, හබන් කුකුළා, වලිකුකුළා, කොටියා ආදී සතුන්ගේ මෙන්ම සේරු, කොකුන් ආදී ජලාශ්‍රිත පක්ෂීන් ද ආහාරයට නොගනිති. වැද්දෝ, අමු දඩමස් මෙන්ම, වියළි දඩමස් ද විවිධාකාරයෙන් පිළියෙළ කර ආහාරයට ගනිති. මෙහිදී සමහර මස් වර්ග පිසින විශේෂ ක්‍රම ද දැකිය හැකිය.

 

හම භාවිත කර අමු මස් පිසීම

වැද්දන්, දඩයම් කළ ස්ථානයේදීම මස් ආහාරයට ගන්නාවිට, ඒවා පිස ගැනීම සඳහා බඳුන් වෙනුවට දඩයම් කළ සතාගේ හම භාවිත කරන අවස්ථා ද ඇත. ගෝනකු දඩයම් කළ විට, එම සතා හම ගසාගත් පසු ඔවුහු එම හම තිරස්ව වියනක් ලෙස ලී කණු ආධාරයෙන් ගැට ගසා ගනිති. මෙය ගැට ගසන්නේ මස් පිසීමට දල්වන ලද ගිනි මැළයට ඉහළින් හා ප්‍රමාණවත් උසකිනි. එමෙන්ම, ඔවුන් දෙසට මුහුණ ලා තිබෙන අයුරින් හා එම හම මධ්‍යයේ වක්‍ර හැඩයක් ගන්නා අයුරිනි. මෙහිදී සතාගේ මස් කපා, උගේ ලේ සමඟ මිශ්‍ර කර, හම මත තබා පිස ගැනේ.

සමහර සතුන්ගේ උදරයේ හම භාවිත කර, අමු මස් පිසින අවස්ථා ද ඇත. එහිදී ඔවුහු පළමුව දඩයම් කළ සතා හම ගසා ගනිති. පසුව උදර ප්‍රදේශයේ හම යොදාගෙන, එයින් හමේ ඇතුළු පැත්තට මිරිස්, කරපිංචා ආදිය යොදා වැල්වලින් ගැට ගසා ගනියි. මස් පිටතට නොපෙනෙන පරිදි මේ මස් පොදිය ගිනි අඟුරු ගොඩේ බහා, හොඳින් තැම්බුණු පසු ඔවුහු එය ආහාරයට ගනිති.

 

මස් සම්බොලය

මස් සම්බෝලය සෑදීමට ගන්නේ, හොඳින් වියළන ලද මස්ය. වැද්දෝ, වියළන ලද මස් වංගෙඩියේ ලා කොටා, එයට මිරිස් හා ලුණු ද එක් කර සම්බෝලය සාදති. එසේ නොවේ නම්, මස් කැබැලි සමඟ ලුණු හා කොච්චි එක්කාසු කර, වංගෙඩියේ දමා කොටා සම්බෝලය සාදයි. අවසානයේ සම්බෝලයට ඇඹුල් ද එක්කර අනා ගනියි.

 

මස් මැල්ලුම

මස් මැල්ලුම සෑදීමේදී වියළන ලද මස් ජලයෙහි පොඟවා ගත යුතුය. පසුව එය වංගෙඩියෙලා කොටා එයට ලුණු කුඩු හා මිරිස් එක් කර අනා මළවා ගැනේ.

ලේ පිරුම

වැද්දෝ දඩමස් පමණක් නොව දඩයම් කළ සතාගේ රුධිරය ද පිස ආහාරයට ගනිති. මෙහිදී මස් මෙන්ම අල වර්ග ද භාවිත කර රුධිරය ද සමඟ පිස ආහාරයට ගැනීම සිදුවේ. මේ ආහාර ‘ලේ පිරුම‘ ලෙස හැඳින්වේ.

දඩයම් කළ සතාගේ අන්ත්‍ර කොටස් භාවිත කරමින් ද ඔවුන් ලේ පිරුම පිළියෙළ කරයි. මෙහිදී සතකු දඩයම් කළ පසු එම අන්ත්‍ර කුහර තුළ සතාගේ ලේ පුරවා, එහි කෙළවරවල් ගැට ගසා, ඒවා ගිනි මැළයකට උඩින් එල්ලා තබයි. අන්ත්‍ර තුළවූ ලේ කැටි ගැසුණු පසු, එම අන්ත්‍ර කොටස් ආහාරයට ගැනේ. මේ අන්ත්‍ර තුළ ලේ පිරුම වර්තමානයේ නිපදවන සොසේජස්වලට අනුරූප ආහාර සැකසීමේ ක්‍රමයකි.

නූතන ලෝකයේ මස් ආහාරයට ගන්නා ජනප්‍රිය ක්‍රමයක් නම්, මස් පුළුස්සා ආහාරයට ගැනීමයි. එහෙත්, වැද්දන් මෙලෙස මස් හා මාළු වර්ග පුලුස්සා ආහාරයට ගැනීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාවේ සාමාන්‍ය අංගයකි.

මෙහිදී මස් වියළීම සඳහා මස් මැස්ස භාවිත කරන අතර, මාළු වියළීමට හා පුලුස්සා ගැනීමට මාළු මැස්ස භාවිත කරයි. වැද්දෝ මස් හා මාළු වලට දුම් ගැසීම සඳහා වනයේ ඇති සියලුම ශාකවල දර භාවිත නොකරති. තම පාරම්පරික ඥානය හා ජීවන අත්දැකීම් තුළින්, දුම් ගැසීමට වඩාත් සුදුසුම වන්නේ කවර වර්ගයේ දර දැයි ඔවුහු දනිති. උදාහරණයක් ලෙස ඔවුහු බුරුත, වැලිකෝන්, කරඳ ආදී දර දුම් ගැසීම සඳහා භාවිත නොකරති. මන්ද, එම දර යොදා වියළා ගන්නා මස් ආහාරයට ගත් විට, මත් ගතියක් දැනෙන අතර, උදරාබාධද ඇති වන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා නිසාය. සියලුම ශාක දැව පිලිස්සීමේදී පිටවන දුමෙහි රසායනික සංයුතිය එක හා සමාන නොවේ. සමහර ශාක දැවවලින් හට ගන්නා දුම්වල, ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ද අඩංගුවේ.

වැද්දෝ කිසි විටෙක විනෝදය උදෙසා සතුන් දඩයම් කිරීමක් සිදු නොකරති. හුදෙක් ඔවුන් දඩයමේ යන්නේ, කුසගින්න උදෙසා සතකු දඩයම් කිරීමටය. එහිදී ඔවුන් දඩයම් කරන්නේ, තම පිරිසට ප්‍රමාණවත් තරමේ සතුන් පමණි. කිසි විටෙක ආහාර අපතේ නොදැමීම වැද්දන්ගේ සිරිතකි. යම් හෙයකින් ආහාර අපතේ දැම්මේ නම්, නෑ යකුන් කෝපවී, තමාට අනාගතයේදී ආහාර අහිමි කරවන බව තරයේ විස්වාස කරන වැද්දන්, කිසි විටෙක ආහාර අපතේ නොදමයි. එහෙයින්ම ඔවුහු ආහාර පරීක්ෂණ ක්‍රම මඟින් වැඩිපුර ආහාර කල් තබා ගැනීමට හුරුපුරුදු වූහ. එකී පරීක්ෂණ ක්‍රමවේද සරලය. එහෙත්, විද්‍යාත්මක පසුබිමකින් යුක්තය. එම විද්‍යාත්මක කරුණු, පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානයෙන් ලද දායාදය. මස්, පැණිවල බහාලා කල් තබා ගැනීම එයට කදිම නිදසුනකි.

පැණි තුළ බහා මස් කල් තබා ගැනීම ආකාර කිහිපයකටම සිදු කෙරේ. ඒ, මැටි බඳුන්, ගස් බෙන හා ගල් බෙන තුළට පැණි දමා, එයට මස් එක් කිරීමෙනි. වැද්දන්, මැටි මුට්ටි තුළ මී පැණි බහා මස් කල් තබා ගැනීමේදී, පළමුව වියළන ලද මස්, කැබැලිවලට කපා ගැනීමය. පසුව, මැටි මුට්ටියක් ගෙන, එහි පතුලට මී පැණි ස්ථරයක් හෙළා, ඒ මත මස් කැබැලි ස්ථරයක් ද තැන්පත් කරති. ඊට පසු නැවත මී පැණි ස්ථරයක් ඒ මතට එක් කෙරේ. මෙලෙස අනුයාත මස් හා මී පැණි ස්ථර පිළිවෙළින් මුට්ටිය තුළට තැන්පත් කරන අතර, අවසානයේ තැන්පත් කරන්නේ ද මී පැණි ස්ථරයකි. මෙලෙස මැටි මුට්ටිය මී පැණි හා මස්වලින් පිරී ගිය පසු, උයන් හෝ කැන්ද කොළයක් ගෙන, එහි කට වසා, වාතය ඇතුළු නොවන සේ මුට්ටිය වටා බාහිරින් මැනවින් මැටි ගසයි. මෙහිදී මී පැණි මස්වලට යහමින් උරා ගැනේ. එම මස් ඉතා ප්‍රණීතය. මෙලෙස සැකසූ මස් බඳුනක් අවුරුදු කිහිපයක් හෝ නරක් නොවී කල් තබා ගත හැකි බව, වැද්දෝ තම අත්දැකීමෙන් දනිති.

පැණි යනු අධි සාන්ද්‍ර සීනි ද්‍රාවණයකි. මී පැණි තුළ දඩමස් ගිල්වා තැබීමේදී, ආස්‍රැති ක්‍රියාවලිය හේතු කොට ගෙන දඩමස්වලවූ සැලකිය යුතු තරමේ ක්‍රියාකාරී ජල ප්‍රමාණයක් එයින් ඉවත්ව, මී පැණි ද්‍රාවණයට එක්වේ. එමනිසා, දඩමස්වල අඩංගු වන්නේ අඩු ක්‍රියාකාරී ජල ප්‍රමාණයකි. එය ආහාර නරක් වීමට බලපාන එන්සයිම හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම හා නිශේධනයට බලපායි. එමෙන්ම, බහාලන දඩමස් කැබැලි කිරීම නිසා, දඩමස්වල පෘෂ්ඨික වර්ගඵලය වැඩිවී, මී පැණි සමඟ එම මස් මැනවින් ස්පර්ශවේ. එහෙයින්, දඩමස්වලින් ජලය ඉවත් වීම කාර්යක්ෂමව සිදුවේ. කැන්ද කොළ හා මැටි ස්ථරය මඟින් වායුරෝධනයවී, බාහිර පරිසරයෙන් ආහාර නරක් කරන ක්ෂූද්‍ර ජීවීන්ගේ ඇතුළුවීම වළක්වයි. මේ සරල විද්‍යාත්මක පසුබිම සාම්ප්‍රදායික වැද්දෝ පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීමෙන් දනිති.

වැද්දෝ ආහාර රසකාරක පිළියෙළ කිරීමේදී, හොඳින් මෝරා පැසුණු වට්ටක්කා ගෙඩිවල ඇට සෝදා, අව්වේ වේලා ගනිති. පසුව, වියළා ගත් එම වට්ටක්කා ඇට කබලේ බැද, වංගෙඩියේලා කොටා පිටි ලබා ගැනේ. මේ පිටි ස්වල්පයක් ගෙන, වෑංජන රසකාරකයක් ලෙස යොදා ගැනේ. එය වෑංජනවල රසය මෙන්ම සුවඳ ද තීව්‍ර කරවයි. වර්තමානයේ සමහර පිළිකා ඇති කරන කෘත්‍රිම රසකාරක සඳහා මෙය කදිම, රසවත් හා ගුණවත් ආදේශකයක් වනු ඇත.

වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය අධ්‍යයනයේදී පැහැදිලි වන තවත් එක් සුවිශේෂී කරුණක් නම්, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව, අතීත ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බලංගොඩ මානවයාගේ ආහාර රටාව සමඟ දැක්වූ බන්ධුතාවයි.

බලංගොඩ මානවයාගේ සමහර ගල් ආයුධ, උසස් ශිල්පීය ලක්ෂණවලින් යුක්ත ඒවාය. එම ආයුධ අතර, ගල් දුන්නෙන් විදීමට යොදා ගත් ගල් මූනිස්සම් ද විය. වැද්දන් තම ආහාර සොයා යාමේදී භාවිත කළ එක් ප්‍රධාන මෙවලමක් වූයේ ගල් දුන්නය. එමෙන්ම, බලංගොඩ මානවයා මෙන්ම වැද්දන් ද වනයේ ගහකොළ සතා සීපාවන්ගෙන් තම ආහාර අවශ්‍යතාව සපුරා ගත්හ. මේ අනුව වැද්දන්ගේ ආහාර හා සැබැඳි තාක්ෂණික ඥානයේ මූලාරම්භය, අතීත බලංගොඩ මානවයාගෙන් උරුම වූවා යැයි සිතිය හැකිය.

 

(මූලාශ්‍රය : වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය නමැති පර්යේෂණ කෘතිය ඇසුරිනි.)

 

පූජනී ගුණසේකර


දාම වැල් ගුරු කුලයේ අවසාන පුරුක ආලෝක

$
0
0
නොවැ 5, 2020 01:00

ඇතෙකුට පෙම් බැඳි සාරමාරු ලේකම්, ආලෝක වැව් විල්ලුවක් පසුකර ගිය විට දු‍ටුවේ, මිදෙල්ල යායකි. වැව්නියා මහ වනයේ මිනිස් පහසක් තිබූ එකම බිම එතැනය. ඒ මිදෙල්ල යාය පසුකර පැමිණි සාරමාරු ලේකම්, ආලෝක දු‍ටුවේ මිදෙල්ල යාය මැද කුඩා වන ගමකි. අන්ධකාරය තුනී කරන අටවක හඳ පැතිරුණු අහස යටටවී ආලෝක බලා හිඳියේය. දහදියෙන් තෙත් පසඟ මිදෙල්ල යාය අතර ඇති දිය විලේ නහවා සැහැල්ලු වෙත්ම, ඔහු දු‍ටුවේ විල අද්දර දිය බොන ඇත් රජෙකි. සාරමාරු ලේකම් නිසොල්මන්ව බලා හිඳියේය. ඇතා රජෙක්මය.

ඒත් කිසිදු ඇත් රජෙකුට සතු නොවූ දළ සඟල, ආලෝක මවිත කළේය. දිය ගෙන සොඬ පුරවා දළ සඟල නහවා ගත් ඇතු, සොඬ පද්දා වනය තුළට පිවිසියේය. සාරමාරු ලේකම් ආලෝක, මේ මිදෙල්ල වන ගම සුබ භූමියක් යැයි සිතුවේය. මද මොහොතක් දිය පහසේම සිට කල්පනා ලොව සැරිසැරූ ඔහු, ඉන් මිදුණේ ගඟන දිගේ කවි පදයක් පාව ආවිටය.

 

‘’සොඳේ සොඳේ මිදෙල්ලේ

වනේ වනේ හැදැල්ලේ

විලේ විලේ කැදැල්ලේ

බඳේ බඳේ තුරුල්ලේ ’’

කවි ලතාව අසා සිටි සාරමාරු ලේකම්ගේ පපුව පළාගෙන, ලාලසාවක හැඟුම් නැඟී සිටියේය. බිය පහව ගියේය. ඇතු දු‍ටු සුබ හැඟුමන් විඳි ඔහු, කවි ලතාවෙන් ආතුරව, විලෙන් ගොඩ විය. ආලෝක යළිත් වටපිට බැලීය. ඒ, පස්වැනි බුවනෙකබාහු රජුගේ රාජ සෙබළු, කවර මොහොතක හෝ තමා පසුපස එතැයි දන්නා බැවිනි. නිසල වනය ද, කවි අහුරු අහුරු ගලන ‍රැයට අටවක හඳේ මුදු මුදුව ද ආලෝකගේ හදවත නිසංසල කළේය. ඔහු තම කුණ්ඩලය ගලවා දියට විසි කළේය. දබරැඟිල්ල සැරසූ සාරමාරු ලේකම්, මුදුව ගලවා විසල් මිදෙල්ල ගසේ දෙබෑවේවූ ‍රුක් බෙණයේ එබුවේය. බඳ සළුව නවා එහිම එබූ ඔහු, ගෙල වට ගෝමේදය ගලවා වටපිට බැලීය. කවි හඬ නැවතිනි. ගේ පැලකින් හුළු එළියක් දැල්විණි. සාරමාරු වහා ගෝමේද මාලය ගස් බෙණයෙහිම ඔබා, වසන් විය.

මේ ක්‍රි.ව. 1404 ඉල් මහට අටවක හඳ පායපු රාත්‍රියය. දඹදෙණිය රාජධානියේ අවසාන රාජ්‍ය විචාරකයා වූ පස්වැනි බුවනෙකබාහු රජපද සමයය. ඔහුගේ රාජ්‍ය සමයේ සාරුමාරු ලේකම් වූයේ, මේ ආලෝකය. ආලෝක කුමාරසිංහ පස්වැනි බුවනෙකබාහු රජුගේ සාරුමාරු ලේකම් ලෙස කටයුතු කරන අතර, ලංකාවම වටකර ගත් ආර්ය චක්‍රවර්තී වෙළෙඳ ආක්‍රමණය උච්ඡස්ථානයෙන් පැතිරේ. සාරුමාරු ලේකම් ලෙස නම්වූ පදවිය නූතන අර්ථයෙන් ගත්විට, සම්බන්ධීකරණ ලේකම්ය. එනම්, රජු සහ සමාජ බලවේග සහසම්බන්ධ කරන නිලධාරියා, එකල සාරුමාරු ලේකම් ලෙස හැඳින්වීය. මේ වන විට, පස්වැනි බුවනෙකබාහුගේ රාජ්‍ය පාලනය අභියෝගයට ලක්ව තිබූ අතර, ආනුභාව සහිත රජකු සේ මතුවන චරිතයක් ද නොවීය. මේ අතර දඹදෙණි රජුගේ මව් ජයසිරි බිසව් අලකේශ්වර සොයුරන් සමඟ තුන්බෑ හිමි ආලයක බැඳීමත් සමඟ, තත්ත්වය උණුසුම් විය. ඒ වන විට අලකේශ්වර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ලෙස ද මතුව අවසන්ය. සාරුමාරු ලේකම් ආලෝක කුමාරසිංහ අලකේශ්වරුගේ ළබැඳි බැඳීමක් විය. අයස්කාන්තමය රුවැත්තකු වූ ආලෝක ‘දාම වැල්‘ ගුරු කුලේ සටන් කලාවේදියෙක් ද විය.

දාම වැල් ගුරු කුලය වූකලී, රිටිගල ජයසේන පැරදවූ ගෝඨයිම්බරගේ සටන් ශෛලියය. දාම වැල් ගුරු කුලයේ අවසාන පුරුක වූයේ ද ආලෝකය. ඔහු සාරුමාරු ලේකම් වූයේ එබැවිනි. ආලෝක කුමාරසිංහ එරියාවේ සිට දඹදෙණියට පිවිසියේ, තම රාජ පදවි කාර්ය සඳහාය. ඒත් උදා වූ නව තත්ත්වය තුළ, පස්වැනි බුවනෙකබාහු රජුගේ සැකය තම සාරුමාරු ලේකම් වෙත එල්ල විය. ඒ, අලකේශ්වර පුතු නිශ්ශංක අලකේශ්වර, සාරුමාරු ලේකම් ආලෝකගෙන් දාම වැල් ශාස්ත්‍රය හදාරන රහස් දසුන දු‍ටුදාය. රජු වහා සාරුමාරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරත්ම, පුවත ආලෝකට සැළ විය. ඒ, ජයසිරි බිසව්ගෙන්ය. සාරුමාරු ලේකම් වහා දඹදෙණියෙන් දඹුල්ලට පැන ගියේය. දඹුල්ලෙන් හබරණ කැළය හරහා රිටිගලට පැමිණියේය. එතැනින් ඔහු දු‍ටුවේ ඈත වැව්නියා රටය. එය වඩා සුරක්ෂිත යැයි සිතී, ඔහු වැව්නියා මහ වනය මැදින් විත් මෙලෙස 'මිදෙල්ල වැටිය'නම් වන ගමට සේන්දු විය.

මිදෙල්ල වැටිය වන ගම පණ්ඩුකාභය රජුන් රති දෙවොලට බැඳි ඓතිහාසික වනවාසයකි. රති දෙවොල නිර්මිත ගරුඬ පාෂාණ්ඩයා මිදෙල් වැටිය වනවාසයෙන් පැමිණියෙකි. එපමණක් නොව, කාලිංග මාඝ රජරට රාජධානිය මුලින් උදුරා වැනසීමෙන් පසු, පලාගිය මහාබෝධි ගුප්තයන්ගේ ‍රැකවරණ භූමිය ද විය. කාලිංග - මාඝ පරදවා, යළි ජය නංවන, ලක් වංශයට මුලවූ වන්නි විජයබාහු නැඟිටීම පසුපස ද, මිදෙල්ල වැටිය බැඳී තිබූ වනවාසයකි.

ආලෝක කුමාරසිංහ දෛවය විසින් ‍රැගෙන විත් තිබුණේ එතැනටය. ආලෝක, මිදෙල්ල වැටිය වන ග්‍රාමයේ ජීවත් වෙමින් වහන් විය. තම සාරුමාරු ලේකම් ආලෝක කුමාරසිංහ පැන යෑමෙන් රජු කෝපයට පත් විය. ඔහු ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නට නොහැකිවූ කෝපය රජු පිට කළේ, එරියාව ගිනිබත් කොට, රාජ ලේඛනවලින් ඉවත් කරමිනි. ආලෝක කුමාරසිංහ බිහි කළ එරියාව ගම, ලංකා සිතියමෙන් ඉවත් කළ පස්වැනි බුවනෙකබාහු රජු, එය ජනශූන්‍ය කළේය. ආලෝක මිදෙල්ල වැටිය ගමටවී ගෙව්වේ, අතිශය වේදනාකාරී ජීවිතයකි.

තමන්ගේ සහ පස්වැනි බුවනෙකබාහු රජුගේ බැඳියාව බිඳී යෑම, ඔහුට ඉවසුම් නොදෙන තරම්ය. ඒ වේදනාකාරී බව තීව්‍ර වූයේ, ඔහු රජුට ද්‍රෝහී නොවූ නිසාය. දාම වැල් ශිල්පයේ පැවැත්ම තහවුරු කිරීම හැර, තමනට වෙනත් ඉලක්කයක් නොවූ බව ආලෝක දනී. ඒත්, රජු මෙතරම් කෝප වීම ආලෝක තව තවත් ශෝකී කළේය. මිදෙල්ල වැටිය වන ග්‍රාමයේ වන කෙළිත්තියන් ඔහු වටකර ගත් විට, ශෝකය මැකී ගිය ද, ඔහු තනිවන හැම විටෙකම මතකය ඇවිත් හිත පාරන්නට විය. පෑරුම් සහගත හිත සනහා ගන්නට ඔහු වන වැදුණේය. ඔහු යළිත් ඒ දිය විල ඉවුරේදීම, අමුතු දළ සඟලින් හෙඹි ඇතු හමු විය. එවිට ඔහු ඇතු පසුපසම යන්නට විය. මරණයට පෙර තම රජු බැහැදැක, යළි මිතු දම් බැඳිය යුතු බව ආලෝක සිතුවේය. ඒ සඳහා හමුවූ මේ ඇතු, මාවත වෙතැයි ඔහුට සිතුනි. වන්නි වනාන්තරයේ සරන මේ අමුතු ඇතු මිතු කර ගැනීම, ආලෝකගේ ඉලක්කය වූයේ මෙලෙසය. ඇතු මිතු දමේ බැඳ ගැනීමට ඔහු හා දම්වැල් සටන් පෑවේය.

ඇතුගේ ගාම්භීර උජාරුව මදකින්වත් අවම නොවීය. ඇතු ජීවත් වූයේ, ආලෝකට ප්‍රතිචාර නොදක්වාය. අඩුම තරමේ තමන්ට පහර දීමටවත් ඉදිරිපත් නොවන ඇතුගේ හුදෙකලා හැසිරීම, ආලෝක තුළ ඇති කළෙ කුතුහලයකි. මිදෙල්ල වැටිය වන ගම්මු සමඟ ආලෝක කුමාරසිංහ, ඇතු ගැන තතු විමසීය. ඒ හැම කීවේ, ඒ ඇතු සීගිරි කාශ්‍යපගේ ඇත් රජුගේ පරපුරේ අන්තිමයා කියාය. සීගිරි කාශ්‍යප තම හිස තම අසිපතෙන් සිඳ, ඇතු කුඹ මත තබා මිය ගියේය. ඒ, කාශ්‍යප රජුගේ මංගල හස්තියා මතමය. රජු අහිමි ශෝකයෙන් වන වැදුණු ඇතා, හබරණින් රිටිගල වනය හරහා වන්නි වනාන්තරයට පැමිණි බව ගම්මු කීහ. ඇතු පසුපසම පැමිණි කාශ්‍යප නිරිඳුගේ දියණිය උපුලී, ඇතුගේ දළ සඟලේ ‍රැඳුණු කාශ්‍යප රජුගේ රුධිර පැල්ලම මත මල් ගවසා වැඳ වැ‍ටුණේ, මිදෙල්ල වැටිය විල ළඟදී බව ගම්මු තවදුරටත් කීවේය.

එවිට ආලෝකට සිහි වූයේ, ඒ අමුතු දළ සඟල අමුතුව ඇත්තේ ඒ නිසා කියාය. එසේනම්, ඓතිහාසික මංගල ඇත් රජකුගේ පරපුරේ අන්තිමයා තම දෑස මානයේ ගැවසෙන්නේ යැයි ආලෝක සිතුවේය. ආලෝකට ඇතු දසුන නොදැකම දිවියක් නැති තරම් විය. ඔහුට එක් විටම ඇතු අල්ලා කීකරු කර, පස්වැනි බුවනෙකබාහු රජුට ඔප්පු කළ යුතු යැයි සිතුණේය. ඒත්, හැඩිදැඩි හිරිමල් ඇතකු අල්ලා හීලෑ කිරීම කළ හැකි නොවේය. ඒ අතර, ආලෝක දු‍ටුවේ ඇතු තනිකඩව වනයේ සරන අයුරුය. මිදෙල්ල වැටිය වන ගම්මුන් කී පවත සැබෑය. මේ අන්තිම පුරුකය. ඇතු ඇතින්නියක සමඟින්වත් හැසිරෙන බවක් නොපෙනේ. ආලෝක, වන්නි වනාන්තරයේම ජීවිතය ගෙවන්නට තීරණය කළේය. ඇතු සමඟම ජීවත් විය. ඇතු ඇසුරේම දිවි ගෙවන්නට විය.

ඇතු පසුපස්සේම යන්නට විය. ඇතු බුදින පලවැල පමණක් ආහාරය කර ගත්තේය. ඇතු දිය බොන දිය විල පමණක් දිය පවසට ගත්තේය. ඇතු ස්නානය කරන දිය විලෙහි දිය කඩෙහි පමණක් ස්නානයට ‍තෝරා ගති. ඇතු වගේම ආලෝක, ඇතුහාම දිවි ගෙවමින්, වන්නි වනාන්තරයේ සිවු වසරක්ම ගෙවි ගියේය. ඇතකුට පෙම්බැඳ, ඇතකු සමඟ ජීවත් වන්නේ සාරුමාරු ලේකම් මුදියන්සේ ආලෝක කුමාරසිංහ යැයි කිසිවෙක් නොදන්නේය. කල්යත්ම පස්වැනි බුවනෙකබාහුගේ හදවත ද රෝගී වූයේ, ආලෝකට කළ පළිගැනීම පිළිබඳ වරද පැටවෙමිනි. ඔහු වනසන්නට රාජ පුරුෂයන් යෙදූ රජුම, ඔහු සොයාගෙන එන්නට රාජ පුරුෂයන් යොදවන්නේ මේ අතරය. රාජ්‍ය බැඳීම්වලට වඩා ආත්ම බැඳීම ගැඹුරුය. එවන් ගැඹුරු බැඳීම වෛරයෙන් කෙළවර විය හැකිය. මරණයෙන් ලියැවෙන්නට ද හැකිය.

එමෙන්ම සෙනෙහසින් යළි දලුලා වැඩී, ඉමක් කොණක් නැති තරම් පැතිර යන්නට පුළුවන. ළතැවිල්ල, පසුතැවිල්ල උග්‍ර විය. රජුගේ පාලනය, වියවුල් ගහණය. ඒත්, රජුට තම හෘද කම්පනය කියන්නට කිසිවෙක් නැත. එක් දිනෙක රජුට සැළවූයේ, ආලෝක කුමාරසිංහ ගම ගිනිබත් කරනදා, ඔහු වෙල් ගොයමේ සැඟවී සිට පිලිස්සී මියගොස් ඇති බවය. මේ පුවත පස්වැනි බුවනෙකබාහු නිරිඳු ආත්මීයව ඔත්පල කළේය. ලක් රජ සිරිත හෙබවූ රජුන් මේ තරම් ආත්ම වියෝගධාරීන්ව සිටි වග අමතක කර දමා, ඉතිහාස දේශපාලන ලේඛන වීමෙන් දේශපාලනයම මානව වියෝගයක්වී ඇත. පස්වැනි බුවනෙකබාහු රජතුමාගේ ජීවිතය මෙසේ ආත්ම වියෝගයෙන් බැඳී ගෙවී යන විට, වන්නි වනාන්තරයේ අපූරු සිදුවීමක් සිදුවේ.

ඒ, වන්නියේ මල් සමය වන දහන වට වැස්සෙන් තෙත්වී, කොළ දලු පිපී, මල් පල සිනා පාන සමයය. මල් පලවලින් පිරුණු වනය, මී පිරි පැණි සුවඳ පුරන පැණි සමය ද විය.

මල් සමයේ පැණි සමයේ වන්නි ඇත්තු මද වගුරා පේමාලිංගන උමතුවේය. පුදුමය, ඇත් කුමරු මද වගුරුවා පේමාලිංගනයට පි‍ටුපා හිටි සැටිය. ආලෝක කුමාරසිංහයන්ට සිහි වූයේ, රාජධානියේ ඇත් පන්තියේ ඇත් රජුන් මංගල ඇතුන් ගැන ඉතිහාස වාර්තාය. ඇතුන් අතර විශේෂ ඇතුන් ඇති අතර, ඒ විශේෂ ඇතුන්, ඇතුන් සේ ජීවත් වීමට රිසි නොවේ. එවන් ඇතුන් ඇත් රජුන් සේ මානව රජුන් සමඟ ජීවත් වීමට ඉපදී ඇත්තේමය. මේ එවන් ඇතකුමය. ආලෝක කුමාරසිංහ ඇතු පතාම ඇතුට පේ විය. මල් සමයේ පැණි සමයේ වන්නි වන පෙත ආල රාග ආතුර ඇතුන්ගේ රාග පොරයන්ගෙන් කලබලය.

ඒත් මේ ඇතු නිසලය. ආලෝක ඇතු සමීපයටම ගියේය. ඇතුගේ දළ සඟල නීල උත්පල මල් ගවසා සැරසුවේය. ඇතු සොඬවැල කරකවා, ආලෝක බදා ගත්තේය. ආලෝක ඇතු සිඹගෙන ඇතුගේ තුරුලේම වෙළුණේය. එසේ වෙළුණු ආලෝකගේ වම් අත සුළැඟිල්ල, ඇත් දළයේ සිරවී කැඩී වෙන් විය. වෙන්වී ගිය සුළැඟිල්ලෙන් ලේ දහරාවක් විත්, ඇතු දළ මත පතිත විය. ඇතු වම් පාදය පෑවේය. ආලෝක ඇතුගේ වම් පාදයේ තම පාදය තබා, ඇත් හිස මතට ගොඩ විය. ඇතු ගමන් ඇරැඹීය.

ආලෝක කුමාරසිංහ, සාරුමාරු ලේකම් දළ සඟල විහිදුණු ඇතකු පිට ඇවිත් වග සැළ විය. පස්වැනි බුවනෙකබාහු රජතුමා වහා සිරියහනෙන් පිබිද නැඟිට, වා කවුළුවෙන් බැලුවේය. සැබෑවක්මය. සෙනෙහෙවන්ත සඟයා පැමිණ ඇත. රජු සාරුමාරු ලේකම් මුදියන්සේ ආලෝක කුමාරසිංහට පැමිණෙන්නට බිහිදොර හැර වූවේය. ආලෝක විත් රජුට ඇතු ඔප්පු කොට සිටියේය. මේ ක්‍රි.ව. 1408දීය. රජු තම මිතුරාගේ අත දු‍ටු විට එහි සුළැඟිල්ල නැති වග දු‍ටුවේය. රජු වහා රාජ රන් ආචාරියා කැඳවීය. ආලෝකගේ අහිමි සුළැඟිල්ල රනින් නිමවූ කොපුවක් තබා, එක් කළේය.

ආලෝක කුමාරසිංගේ සුළැඟිල්ල රනින් නිමවා පැලඳ වූ පස්වැනි බුවනෙකබාහු, වහා නීති ලේනා ද, මහ ලේනා ද කැඳවීය. සුළැඟිල්ල රනින් නිමවා පැලඳවූ බැවින්, එතැන් පටන් ආලෝක කුමාරසිංහට 'රන්ගේ ආලෝක කුමාරසිංහ වන්නි මුදියන්සේ'යන ගෞරව නාමය පටබැඳ, නාමගත කර, ලක් වංශ කතාවට යළි ප්‍රවේශ කළේය. එමෙන්ම, නමසිය පස් පනස් අමුණක වපසරියකින් යුත්, එරියාව ගම යළි ප්‍රදානය කරන්නේය. මුලින් ආලෝක කුමාරසිංහ සිටි මුල් - එරියාව එතැන් පටන් මුල් එරියාවවී, මුල්ලේරියාව වූයේ එලෙසය.

මුල්ලේරියාව ලෙස ‘මුල් - එරියාව‘ ඉතිහාස පොතට එක්වන්නේ එතැන් පටන්ය. ඒ අනුව, කෝට්ටේ යුගයට පෙර මුල්ලේරියාව නමින් ග්‍රාම නාම ඉතිහාස පොත පතේ ගම් නම් වහර තුළ නොමැත්තේ එබැවිනි. සන්නසක් පිට මුල්ලේරියාව වරම් ලද ආලෝක කුමාරසිංහ යළි ඉතිහාසයේ නැඟ එන්නේ, කෝට්ටේ ජයවර්ධනපුර රාජ යුගය එන විටය. ඒ, වන්නි මහ වනයෙන් විත් ලක් ඉතිහාසයට එක්වූ'වන්නි කුමාර'ඇතු සමඟය. වන්නි කුමාර නම් සඟල ඇතකු දළඳා වහන්සේ වැඩමවන්නට කෝට්ටේට පැමිණියේය. මුල්ලේරියාව වරම් ලද ආලෝක කුමාරසිංහගේ පරපුර මෙරට සටන් කලාවේ අගපත් පරපුරක්ව යළි මතු වන්නේය. ඒත්, හයවැනි පරාක්‍රමබාහු රජතුමා බියකින් තැවුණේය. ඒ, දළදා වහන්සේ වැඩමවන්න වරම් ලද වන්නි කුමාර ඇතු ගැනය. වන්නි කුමාරගේ මානව ප්‍රේමියා වූයේ ආලෝක කුමාරසිංහය.

ආලෝක කුමාරසිංහගේ ඇත් ප්‍රේමය මත දළදාව වඩින බැවින්, රාජ්‍යය උදුරා ගැනීමට හැකි යැයි ඔහු බියකින් සිටියේය. එහි ප්‍රතිඵලය ආලෝක කුමාරසිංහට කෝට්ටේ යුගයේදී සාරමාරු ලේකම් පදවිය නොලැබීමය. එකී අවිශ්වාසය නිසා, ආලෝක රාජ්‍ය පාලනයෙන් ඈත්ව තැබීමට හයවැනි පරාක්‍රමබාහු නිරිඳුන් කටයුතු කළේය. එහෙත්, පසු කලෙක කෝට්ටේට පෘතුගීසින් පැමිණ සතර අත වනසන විට, එයට එරෙහි මහා පවුර වූයේ, ආලෝක කුමාරසිංහගේ පරපුරය. ඔහු රාජ ධුර පදවි අහිමි යුගයේ දාම වැල් ශිල්ප පරපුරක් තැනුවේය. ඒ, ශිල්පීන් සීතාවක රාජසිංහ සමඟ එක්ව මුල්ලේරියා වෙලේ යුරෝපීය ජාතිය දණින් දණ නැමීමේ සටන ජය ගැන්වීය. පසුව පෘතුගීසින්ගේ එකම පැතුම වූයේ, ලංකාව ගැන සිහින දකින්න නම් කුමාරසිංහගේ දාම වැල් ගුරු කුලය සමූල ඝාතනය කිරීමය. පරංගි එය ඉ‍ටු කර ගනිමින්, ජය පැන් බීවේය. මුල්ලේරියා වෙලේ රණගී ගයන කිසිවෙක්, ආලෝක කුමාරසිංහ සොයා ගත්තේ නම් නැත.

 

සුජිත් අක්කරවත්ත

සිරි ලක පළමු මුද්‍රණාලය ලංකෝපකාරය

$
0
0
නොවැ 5, 2020 01:00

 

කථන භාෂණය අක්ෂර වින්‍යාසය දක්වා දියුණු වූ පසු අකුරු ලිවීම විවිධ ක්‍රමවලින් පවත්වාගෙන ආ මිනිසා පසුව අකුරු මුද්‍රණය කිරීම සඳහා ද යොමු විය. ලෝකයෙහි දියුණුවට අදාළ එක් ප්‍රවණතාවක් ලෙස අක්ෂර මුද්‍රණය පත් වද්දී මුද්‍රණ ශිල්පය ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වන්නේ ගාල්ල, මිනුවන්ගොඩ, පරමානන්ද විහාරාධිපතිව වැඩ විසූ බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස නාහිමියන් ගේ ප්‍රධානත්වයෙනි.

දඹදිව වන්දනාව සඳහා ගොස් දෙවසරකට ආසන්න කාලයක් කල්කටාවේ වැඩ වාසයකරන උන්වහන්සේ, සංස්කෘත සහ හින්දි භාෂා උගනිමින් බුරුමය සියම සහ කාම්බෝජය යන රටවලටද වැඩම කරමින් ඒවායෙහි වැඩ විසූ නායක හිමිවරුන් සහ රජවරුන් සමග සමීප මිත්‍රත්වයක් ගොඩ නගා ගෙන තිබිණි.

ලංකෝපකාර මුද්‍රණාලය හෙවත් ශ්‍රී ලංකාවට ලැබුණු පළමු මුද්‍රණාලය පරිත්‍යාග කරනු ලබන්නේ සියමේ මොන්කට් හෙවත් හතරවන රාමා රජුය. වජ්‍රයාන හෙවත් වජිරඤාණෝ නමින් කලක් පැවිදිව සිටි එම රජු, පැවිදිව උන් සමයේ බුලත්ගම නායක ස්වාමීන් වහන්සේ සමඟ සමීප මිතු දමක් තිබිණි. උපැවිදි වී රජ වීමෙන් පසුව ද නායක හිමියන් සමග පැවති සමීප සම්බන්ධතාවය හේතු කොට ගනිමින් කතලුව රන්වැල්ල පුරාණ විහාරස්ථානය වෙත ලංකෝපකාර මුද්‍රණාලය ලබා දීමේ කටයුත්තේ වැඩි බරක් දරන්නට එම රජු කටයුතු කර තිබේ.

බෞද්ධ අච්චු කන්තෝරුවක් පිහිටවීම සඳහා වන මූලික සාකච්ඡා ගාල්ල පරමානන්ද විහාරස්ථානයේ දී බුලත්ගම නායක හිමියන් විසින් මුල්වරට පවත්වා ඇති අතර, එම වසරේ ම ධනවත් බෞද්ධයන්ගෙන් බෞද්ධ කන්තෝරුවක් මිලදී ගැනීම සඳහා පවුම් 10 බැගින් එකතු කර තිබේ. ඉහත සඳහන් කළ සියමේ මොන්කට් රජුද බුලත්ගම නාහිමියන් වෙත පවුම් 112 ක් සහ සිලිම් 10 ක මුදලක් එවා තිබිණි. ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් නුවරින් colombian මුද්‍රණ යන්ත්‍රය මිලදී ගෙන තිබේ.

ඌවේ දිසාවේ උඩු හාව අභයකෝන් ජයසුන්දර හේරත් බණ්ඩාර මුදලිතුමා ප්‍රදේශයේ ධනවත් බෞද්ධයන්ගෙන් එක්රැස් කරන ලද පවුම් 231 කින් පොත් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය වන අනෙකුත් යන්ත්‍ර මිලදී ගෙන ඇති අතර ධනවත් බෞද්ධ ප්‍රභූවරුන් ගෙන් ලද තවත් පවුල් 190 ක මුදලකින් ලබාගන්නා ලද පොත් බැඳීමේ යන්ත්‍රය ඇතුළු අනෙකුත් යන්ත්‍ර සමග ලංකෝපකාර මුද්‍රණාලය සම්පූර්ණ මුද්‍රණාලයක් බවට පත් වී තිබේ.

අන්‍යාගමික බලවේගයන් හමුවෙහි දුර්මුඛ වෙමින් තිබූ බෞද්ධාගම සහ සිංහලයේ අභිවෘද්ධිය සඳහා හඬ නැගීම පිණිස මෙම මුද්‍රණාලය බෙහෙවින් ඉවහල් වී තිබේ. ගාල්ල කොටුවේ පිහිටි කුඩා නිවසක මුලින්ම ස්ථාපිත වූ ලංකාලෝකය පුවත්පත මුද්‍රණය කිරීම සඳහා භාවිතා කර ඇත්තේ මෙම ලංකෝපකාර මුද්‍රණාලය යි.

ලියාපදිංචි පුවත්පතක් නොවූ ලංකාලෝකය ෆුල්ස්කැප් ප්‍රමාණයේ පිටු සහිත එකක් වූ අතර මාසයකට කලාප දෙකක් බැගින් මුද්‍රණය වී තිබේ. පුවත්පතක අන්තර්ගත විය යුතු සියලු අංගයන්ගෙන් එම පුවත්පත සම්පූර්ණ ව පැවැති බව ද ඉතිහාසය සඳහන් කරයි.

ලංකාලෝක පුවත්පතට අමතරව ඉතිහාසයෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සටහන් කරන පානදුරාවාදය, බද්දේගම වාදය වැනි ප්‍රසිද්ධ වාදයන් පිළිබඳ කරුණු ද වෙනත් විවිධ බෞද්ධ සිංහල ප්‍රකාශන ද එළි දැක්වීම සඳහා මෙම මුද්‍රණාලය උපයෝගී කරගෙන තිබේ.

මේ වන විට විශාල මුද්‍රණ යන්ත්‍රයකින්ද කුඩා මුද්‍රණ යන්ත්‍රයක් සහ පොත් බදින යන්ත්‍රයකින් ද තීන්ත සමානව ආලේප කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක් ඇතුළු තවත් යන්ත්‍ර කිහිපයකින්ද සමන්විත මෙම මුද්‍රණාලය පසුගිය වකවානුවෙහි ගිනිගෙන විනාශ මුඛයට ද පත්විය.

1912 වසරේ රජයේ ලියාපදිංචි කරන ලද මෙම මුද්‍රණාලය දෙවන ලෝක යුද සමයේ දී ආරක්ෂා කර ගැනීම සඳහා එවකට එහි වැඩ කරමින් සිටි අයකුට බදු ඔප්පුවක් මගින් පවරා දී තිබේ. අනතුරුව ඔහු විසින් එම මුද්‍රණාලය පානදුර වල්පොල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නි‍ෙවසට රැගෙන ගොස් ඇති අතර නැවත එය නොදීම නිසා අධිකරණයේ පිහිට පතන්නට ද සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට හඬගා කියන්නට හැකි අයුරින් එදා ස්ථාපිත කරන ලද ලංකෝපකාර මුද්‍රණාලය මතු පරපුර උදෙසා සුරක්ෂිතව සංරක්ෂණය කිරීම ජාතික වගකීමකි.

 

 

දිල්රූ ජයසේකර

සෙංකඩගල යුගයේදී සංඝ සමාජය පරිහානියට ලක් වුණේ ඇයි?

$
0
0
නොවැ 5, 2020 01:00

ශ්‍රී ලාංකේය බෞද්ධ ශාසනය මහා මහින්ද තෙරණුවන්ගේ ලංකාගමනයත් සමඟ ආරම්භ වූ බව, මෙරට වංශකතා මඟින් පෙන්වා දෙයි. අම්පාර රජගල සහ අනුරාධපුර මිහින්තලේ යන ප්‍රදේශවලින් හමුවන සෙල්ලිපි හරහා එම මතවාද අවිවාදයෙන් යුතුව තහවුරු වේ. එතැන් පටන් ඇරැඹි ලක්දිව බුදු සසුන, නොයෙක් අයුරින් සංවර්ධනය වෙමින් මෙන්ම, බාධක ද සහිතව ඉදිරියට පැමිණි ආකාරය හඳුනාගත හැකිය. මහනුවර යුගය වන විට බුදු සසුන බෙහෙවින් දුර්වල තත්ත්වයකට ලක්ව තිබූ බව, සමකාලීන මූලාශ්‍ර මඟින් මනාව වටහාගත හැකිය.

නිර්මල ථේරවාදී බුදු දහම, විවිධ බලපෑම් මධ්‍යයේ පිරිහීමට ලක් විය. දේශීය පරිපාලන යන්ත්‍රණයේවූ දියාරු ස්වභාවය, බුදු සසුන තව තවත් පහළ අඩියකට ඇද දැමීය. කාලිංඝ - මාඝගේ දරුණු ආක්‍රමණයත් සමඟ පරිහානී ලක්ෂණ ආරම්භ වූ මෙරට බුද්ධ ශාසනය, මහනුවර යුගය වන විට පසුගාමී තත්ත්වයකින් පැවැතිනි. මධ්‍ය කාලීන සමයේ බුදු සසුන මෙලෙස පිරිහීම කෙරෙහි බලපාන ලද මුඛ්‍ය ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. ඒවා අතර, බුදු සසුන හා රාජ්‍යත්වය අතර සබඳතාව දුර්වල වීම, යටත්විජිතකරණයත් සමඟ වෙනත් ආගම් ප්‍රචලිත වීම, සමාජීය වශයෙන් වූ විපරිවර්තනය, හින්දු ආගමේ බලපෑම,

ආර්ථික ක්‍රමයේ වූ විචල්‍යතා, කුල භේදය පාදක වූ සමාජ ක්‍රමය, ථේරවාදී පිළිවෙත් පරයා මහායානික අදහස් ඉස්මතු වීම, සංඝ ඥාති ක්‍රමය ආදිය පෙන්වාදිය හැකිය.

ඉහත කාරණා නිසාවෙන් ශාසනය තුළ බොහෝ අඩුලූහුඬුකම් සිදු විය. මහනුවර සමය වන විට දේශීය සංඝ පරපුර ප්‍රතිපත්ති ගරුකත්වයෙන් මි දී, ලාභාපේක්ෂාව ප්‍රමුඛත්වයට ගෙන ක්‍රියා කරන ස්වභාවයක් පෙනේ. රොබට් නොක්ස් සිය කෘතියේ දක්වන ආකාරයට, මහනුවර සමයේ සංඝ පරපුර දෙකොටසකින් සමන්විත විය. ඔවුන්ගෙන් එක් කොටසක් තෙරුන්වහන්සේ යන නාමයෙන් ද, අනෙක් පිරිස ගණින්නාන්සේලා යන නමින් ද සමාජයේ ප්‍රචලිතව සිට ඇත. මෙලෙස භික්ෂූන් දෙකොටසක් සිටි නමුත්, තෙරුන්වහන්සේලා ප්‍රමාණය ඉතා අල්ප විය. පසුකාලීන සමයේ දී, මහනුවර සමය තුළ තෙරුන්වහන්සේලා සිටි බවක් හඳුනාගත නොහැක්කේ, පැවැති වාතාවරණය හමුවේ ඔවුන් සම්පූර්ණ වශයෙන් වියැකී යාම නිසාවෙනි. ලන්දේසි ජාතිකයන්ගේ උපකාර ලබා ගනිමින්, දෙවන විමලධර්මසූරිය රජතුමා යළි මෙරට උපසම්පදාව ස්ථාපනය කළ නමුත්, කෙටි කලකින්ම යළිත් එය වියැකී යාම සිදු විය. මේ කරුණ පිළිබඳ මහාවංසය තුළ මෙලෙස විස්තර කර ඇත.

”මේ කාලයේ උපසපන් භික්ෂූගෙන් තොරව හුදු සාමණේර ගණනක් ලක්දිව වැඩ සිටියේය. එබැවින් රජ තෙමේ රක්ඛංග (ඇරකන්) නම් දේශයට තානාපතීන් යවා, ඒ රටින් භික්ෂූන් තිස්තුන් නමක් මෙහි වැඩම කරවා, පෙරනියා ගැටඹෙ තොට උද්දකුක්ෙඛප සීමායෙහි අලංකාර ගෙයක් නිමවා, කුල පුත්‍රයන් තෙතිස් දෙනකු උපසම්පදා කරවූයේය. රක්ඛංග දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩමවීම ගැන ඕලන්දකාරයෝ රජ හට නැව් සපයා දීම ආදියෙන් බෙහෙවින් උපස්තම්භක වූහ... ”

මේ යුගයේ සිටි සමහර තෙරුන්වහන්සේලා නොබෝ දිනකින්ම සාමණේර තත්ත්වයට පත් වූහ. වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ ද, තෙරුන්වහන්සේලා ගණයට වැටෙන භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේට ප්‍රථමව සිටි අවසාන මහානායක තෙරුන් වහන්සේ වූයේ, පෝයමළු විහාරාධිපතිවූ, වටඹුලූවේ මහ තෙරුන්ය. උපසම්පදා නොවූ පැවිද්දන්, සාමණේරවරු වශයෙන් සමාජය තුළ ප්‍රසිද්ධ විය. සමහර භික්ෂූන් දසශීලය ආරක්ෂා කරමින්, සුදු වස්ත්‍ර ඇඳි තත්ත්වයට පත්ව, සිල්වත් අය වශයෙන් ජනප්‍රිය විය. සරණංකර හිමියන්ගේ ප්‍රධාන සහයක දෙනමවූ ඉලිපැන්ගමුවේ සහ කදිරාගොඩ සිල්වත් දෙනම මේ සඳහා කදිම නිදසුනකි. සාමාන්‍යයෙන් භික්ෂුවගේ වගකීම බෞද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙන යාම වුවත්, මහනුවර සමයේ භික්ෂුවගේ වගකීම වූයේ, ඉඩකඩම් ආරක්ෂා කිරීම සහ ධනය එක්රැස් කිරීමයි. ඒ කරුණ මඟින් මේ වන විට බුදු සසුනේ පැවැති පිරිහීමේ ප්‍රමාණය වටහාගත හැකිය.

තෙරුන්වහන්සේලාට අමතරව සිටි අනෙක් භික්ෂු කොට්ඨාසය වූයේ, ගණින්නාන්සේලා නමින් හඳුන්වන පිරිසයි. උඩරට, රුහුණ මෙන්ම සත් කෝරළය ආදී ප්‍රදේශවල විසිරී පැතිරී සිටි මොවුන්, ‘ගණින්‘, ‘ගණින්නාන්සේලා‘, ‘ගණයෝ‘, ‘ගණවොලින්‘, ‘ගණින්නැහැ‘ සහ ‘ගණෙල්ලෝ‘ යන නාම්වලින් ප්‍රචලිතව, තම ක්‍රියාවලියේ නිරතව සිටි බව හඳුනාගත හැකිය. රොබට් නොක්ස්, තම කෘතියේ දී මේ පිරිස හඳුන්වා දෙන්නේ, ‘ගණයි‘ යන නාමයෙනි. මහනුවර යුගයේ ජීවත් වූ දුශ්ශීල මහණුන්, එනම් ගණින්නාන්සේලා, සිවුරක් පොරවාගෙන එය මත්තෙහි බඳ පටියක් දවටාගෙන සිටීම සාමාන්‍ය සිරිත විය.

සමහරෙක් එම වස්ත්‍රයට උඩින් සුදු පිරුවටයක් ඇඳ සිටීම දක්නට ලැබිණි. එලෙස සුදු පිරුවටයක් දැවටීම සිදු කළේ, පෙර රජුන්ගෙන් වූ අකටයුතුකම් යළිත් සිදුවෙතැයි බියෙනි. සීතාවක පළමු වැනි රාජසිංහ රාජ්‍ය සමයේ දී ඔහු දියත් කළ උඩරට ආක්‍රමණය සාර්ථක වුවත්, ඝාතනය කරන ලද පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර පමණක් නොව, ඔහු පුත් කොනප්පු බණ්ඩාර ද තමන්ට අභියෝගයක් වන බැවින්, ඔහු අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී, ඔහුට පැන යාමට ඉඩ සැලසූ භික්ෂූන් හැට එක් නමක් රජු විසින් ඝාතනය කර, විහාරාරාම වැනසූ බව මන්දාරම්පුර පුවතේ 71 වැනි පද්‍යයේ මෙලෙස සඳහන් කර තිබේ.

”එවිට නිරිඳු ඔහු මුරකරවා එදින

සැට ඈඳුතු ඔන්ඩුවක් සඟුන් මරමින

සියලු වෙහෙර ගිනිලා හළු කරවමින

පලිය ගත්ත එකුමරු හික්මූ බැවින ”

එපමණක් නොව, දෙවැනි රාජසිංහ රජතුමා ද තමන්ට එරෙහිව සෙංකඩගල ඇති වූ කැරැල්ලේ දී එයට සහයෝගය ලබා දුන් ගණින්නාන්සේලා කිහිප නමකගේ හිස් ගසා ගඟට දැමූ බව, නොක්ස් ප්‍රකාශ කර ඇත. මෙවැනි හේතු නිසාවෙන්, සමකාලීන රජවරු භික්ෂූන් කෙරෙහි සැක මුසු ආකල්පයක් දැක්වීම සිදු විය. එය බුදු සසුනේ පරිහානිය පිණිස ප්‍රබලව දායක වූ බව, විද්වතුන් සඳහන් කරයි. මේ යුගයේ සංඝ පරපුර කෙතරම් පරිහානිගතව පැවැතියේ ද යත්, ගණින්නාන්සේලා දරු පවුල් නඩත්තු කරන මට්ටමට පැමිණ සිටියහ.

තම විහාරස්ථානය අසලින්ම දරු පවුලේ වාසය සඳහා නිවෙසක් ඉදිකරවා ගත් බවත්, එය එම යුගයේ මූලාශ්‍රවල ගණේගෙදර, විහාරේ වලව්ව, ගණේවලව්ව ආදී නම්වලින් හඳුන්වා ඇති බවත් පොත පතෙහි සඳහන් වේ. මේ ගණින්නාන්සේලාගේ දරුවන් ‘ගණගැටව්’, ‘ගණගැටයන්’ ලෙස හැඳින් වූ බව, කොටගම වාචිස්සර හිමියෝ තම කෘතියේ සඳහන් කරති. එහෙත්, දෙවැනි රාජසිංහ රාජ්‍ය සමයේ ගණින්නාන්සේලා පිළිබඳ සඳහන් කරන නොක්ස්, එවැනි තොරතුරක් නොදැක්වීම මත වටහාගත යුතු සත්‍යය නම්, එම රාජ්‍ය සමය තුළ තරමක් හෝ හොඳින් බුදු සසුන ආරක්ෂාවී පවතින්නට ඇති බව යැයි සඳහන් කරයි. එහෙත්, පසුකාලීනව එම තත්ත්වය වියැකී ගොස් පිරිහුණ භික්ෂුවක්, කන්ද උඩරට ඉතිරි වූ බව හඳුනාගත හැකිය.

මේ යුගයේ ගණින්නාන්සේලා දේශපාලනික ක්‍රියාවලිය සඳහා ප්‍රබලව දායක වූ ආකාරයක් හඳුනාගත හැකිය. රජවරුන්ගේ පණිවිඩකරුවන් සේ මාහැඟි කාර්යය රැසක් ඉටු කිරීමට මොවුන් කටයුතු කර ඇත. දෙවැනි රාජසිංහ රජු ලන්දේසීන් වෙත යැවූ දූත කණ්ඩායමේ ප්‍රමුඛ නිලධාරියෙක් ලෙස කටයුතු කළේ, පෝයමළු විහාරයේ ගලේබණ්ඩාර ගණින්නාන්සේය. දිසාපති පදවි මෙන්ම, බස්නායක පදවි ද දැරීමට ගණින්නාන්සේලා කටයුතු කළහ. කොබ්බෑකඩුවේ ගණින්නාන්සේ පුත්තලම දිසාපති පදවියත්, උඩුනුවර දේවාලයන්හි බස්නායක පදවියත් දැරීම මෙයට කදිම නිදසුනකි. කුලය පදනම් කරගෙන පැවිදි වූ ගණින්නාන්සේලා, තම කුල ක්‍රියා පැවිද්දේ සිටිය ද, පෙර පරිදිම කරගෙන ගියහ. සමහරුන් රජුගේ ආදායම් පාලකවරුන් සේ කටයුතු කරන ආකාරයක් ද දිස්වේ.

තවත් ගණින්නාන්සේලා පිරිසක් භික්ෂුවගේ අනන්‍ය රාජකාරියක් සේ සැලකෙන ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම කළ අතර, රජුන් සතුටු කරමින්, ඒ හරහා තම පෞද්ගලික සුඛ විහරණය ඉහළ නංවාගනු පිණිස කටයුතු කළ ආකාරයක් ද හඳුනාගත හැකිය. මහනුවර සමයේ ගණින්නාන්සේලාගෙන් සිදු වූ වැදගත්ම සේවාවක් සේ, පුරාණයේ සිට පැවැත ආ ධර්ම සහ සාහිත්‍යාත්මක කෘති ආරක්ෂා කර ගැනීම පෙන්වාදිය හැකිය. මොවුහු ද, ග්‍රන්ථකරණයේ යෙදුණාහ. එම ග්‍රන්ථ අවසානයේ ඒවා ලිවීමේ සහ ලියවීමේ ආනිසංශ පෙළගැස්වීමට සැලැස්වීය.

ඒ හරහා ද තම ලාභාපේක්ෂාව බලාපොරොත්තු වූ නමුත්, පැරැණි ධර්ම සහ සාහිත්‍යාත්මක ග්‍රන්ථ ආරක්ෂා වීම සිදු කෙරිණි. මේ පිරිස අතින්, අතීත රජ දරුවන් පිදූ විහාරාරාම, විහාර සන්තක ඉඩකඩම් සහ පෙතිපිළිම ආදිය අනාගත පරපුර උදෙසා රැක ගැනීම සිදු විය. තම පරපුර පූර්ණ වශයෙන් ඒවායේ සම්පත් හා පල ප්‍රයෝජන භුක්ති විඳිමින් වුව ද, ඒවා විනාශවී යාමට ඉඩ නො දී, නිසි පරිදි නඩත්තු කරමින් ආරක්ෂා කර ගැනීමට සමත් විය. එලෙස ආරක්ෂා කර ගැනීම මත, එම උරුමය අද දක්වාම පවතින බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. උක්ත කාර්යය ගණින්නාන්සේලාගෙන් ඉටුවූ ඉතාමත් ප්‍රසංශනීය ක්‍රියාවලියක් බව ප්‍රකාශ කිරීම වඩාත් වැදගත්ය. කලාවට වඩාත් හිතකාමී ගණින්නාන්සේලා බොහෝ දෙනෙක්, මහනුවර යුගය තුළ ජීවත් වූවා පමණක් නොව, ඔවුන් තම දක්ෂතා වූ චිත්‍ර කලාව, මූර්ති ශිල්පය, කැටයම් කලාව ප්‍රයෝජනයට ගනිමින්, බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන පූජ්‍ය ස්ථාන බවට විහාරස්ථාන පරිවර්තනය කළහ. වර්තමානයේ දක්නට ඇත්තාක් සේ, ගම්මානයක ප්‍රමුඛයාගේ වගකීම දරන ලද්දේ ගණින්නාන්සේ විසිනි.

ගණින්නාන්සේලා වෙස්සන්තර ජාතකය පදනම් කරගත් ක්‍රමවේදයක් ඔස්සේ ධර්මය ප්‍රචාරය කළහ. දන්දීම යන සාධකය සෑම විටෙකම මූලිකත්වයට ගෙන කටයුතු කිරීමට උත්සුක විය. තම ධන ලාභ තව තවත් ඉහළ නංවා ගැනීම එහි මුඛ්‍ය පරමාර්ථය වූ නමුත්, ඒ හරහා වුව ද බුද්ධ භාෂිතය ජනගත වීම වැදගත් කටයුත්තක් විය. යුගාසන ධර්ම දේශනා ක්‍රමය මහනුවර සමයේ දී ජනප්‍රිය විය. එක් ගණින්නාන්සේ නමක් වෙස්සන්තර ජාතකය කවියෙන් ගායනා කළ අතර, අනෙක් ගණින්නාන්සේ තාලයට උඩැක්කිය වයමින් සහය විය. මෙය මුල් බුදු සමය හා සසඳන විට සම්පූර්ණයෙන් එහි ධර්මතා උල්ලංඝනය වන නමුත්, මහනුවර සමයේ දී මේ දේශනා ක්‍රමය මහත් පිළිගැනීමකට ලක් විය. මේ කාලවකවානුව, හින්දු ලක්ෂණවල ආභාෂය ලබමින් පැවැති කාලයක් වූ බැවින්, ගණින්නාන්සේලා ද ඒවාට අනුව බෞද්ධ ආගමික ප්‍රතිපත්ති වෙනස් කළ බව හඳුනාගත හැකිය.

යමෙකු මියගොස් සත් දින ධර්ම දේශනාව හෙවත් මතක බණ දේශනා කිරීමෙන් පසු, ගණින්නාන්සේ යළි විහාරයට නොවැඩි අතර, එම නිවෙසේ නැවතී, මළගිය පුද්ගලයාගේ සයනයේම සැතපිනි. ඉන් පසු මළගිය පුද්ගලයා පැවසුවා යැයි පවුලේ පිරිසට ඇසෙන පරිදි සිදු කරන ප්‍රයෝගකාරී ක්‍රියාවලියකින් අනතුරුව, ගණින්නාන්සේට අවැසි වස්තු සම්භාර ලබා ගැනීම සිදු වේ. පේ‍්‍රත තටුවක් තබා, මළගිය පුද්ගලයා සැනසීම නම් කටයුත්ත ගණින්නාන්සේ සතු වැදගත් කාර්යයක් විය. තමා පෝෂණය කරන ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම පසෙකලා, ලාභය හා වස්තු තණ්හාව උදෙසා මහනුවර සමයේ භික්ෂුව ක්‍රියා කිරීම මත, එකළ බුදු දහම කෙතරම් දරුණු ලෙස පිරිහීමට ලක් වූවා දැයි වටහා ගත හැකිය.

මේ පරිහානිගත යුගයේ සිටි ගණින්නාන්සේලා බොහෝ දෙනා, භික්ෂූත්වයට නොගැළපෙන පරිදි තම නාම නිර්මාණය කරගෙන තිබෙන ආකාරය හඳුනාගත හැකිය. කඩදොර සීට්ටුවේ සඳහන් ගණින්නාන්සේලාගේ නාම රැසක්, කොටගම වාචිස්සර හිමියෝ තම කෘතියේ සඳහන් කර ඇත. ඒවා අතරින් ලබුතල ගණින්, වෙලගේ ගණින්, ගණේබණ්ඩාර, සුමංගල ඒකනායක ගණින්, බුද්ධරක්ඛිත නවරත්න ගණින්වහන්සේ, වේහැල්ලේ ගණවොලින් වැදගත්ය. මෙලෙස දුශ්ශීල ස්වභාවයට ලක් වූ මහනුවර පරිහානිගත යුගයේ සංඝ සමාජය පිළිබඳ සඟරජවත ග්‍රන්ථය තුළ අන්තර්ගත මුංකොටුවේ රාලගේ පද්‍යය, මනා විවරණයක් ඉදිරිපත් කරයි.

”සැදැහැත්තන් පුද න

නොයෙක් පූජා ලබමි න

නෑයින්ට බෙදෙමි න

නිමල සස්නේ කසට තවර න”

එහෙත්, වැලිවිට සරණංකර හිමියන්ගේ ක්‍රියා කලාපයත් සමඟ මේ තත්ත්වය යම්තාක් දුරකට සමනය විය. සිල්වත් සමාගම වැනි උන්වහන්සේ දියත් කළ වැඩසටහන්, මෙරට සංඝ සමාජයේ උන්නතිය කෙරෙහි බොහෝ උපකාරී වූ බවත් සඳහන් කළ යුතුමය.

 

චමිල්ක දිල්ශාන් අතුකෝරාල

ඉතිහාසය අධ්‍යයන අංශය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

සිතුවම - අන්තර්ජාලයෙනි

 

 

ආශ්‍රිත ග්‍රන්ථ

1. මහාවංශය සිංහල, සංස්. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල, 2003.

2. මන්දාරම්පුර පුවත, සංස්. ලබුගම ලංකානන්ද හිමි, කොළඹ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1996.

3. කොටගම වාචිස්සර හිමි, සරණංකර සංඝරාජ සමය, බොරලැස්ගමුව, විසිදුණු ප්‍රකාශකයෝ, 2003.

4. මහින්ද සෝමතිලක, සරණංකර සංඝරාජ හිමි සහ සූරියගොඩ රජමහා විහාරය, කොළඹ, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2003.

5. රොබට් නොක්ස්, එදා හෙළදිව, පරි. ඩේවිඩ් කරුණාරත්න, කොළඹ , එම්.ඩී. ගුණසේන සහ සමාගම, 1911.

පල්ලව සම්ප්‍රදායේ ශෛලමය නිමැවුම නාලන්දා ගෙඩිගේ

$
0
0
නොවැ 5, 2020 01:00

අදින් වසර 1300 කට පමණ පෙර කාලයේ ඉදිවන්නට ඇතැයි විශ්වාස කරන, සම්පූර්ණයෙන්ම කළු ගලින් නිම කර ඇති නාලන්දා ගෙඩිගේ වැනි අපූර්ව නිර්මාණයක්, දැනට ලොව කිසිම තැනක දක්නට නැත. එපමණක් නොව, ලාංකේය හා දකුණු ඉන්දියානු පල්ලව වාස්තු විද්‍යා ක්‍රම යොදාගනිමින් ලක්දිව ඉදිවුණු, දැනට ඉතිරිව ඇති එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය ලෙස ද නාලන්දා ගෙඩිගේ සුවිශේෂී වේ.

නාලන්දා ගෙඩිගේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන කාල වකවානුව නිර්ණය කිරීමට පාදක කරගත හැකි ප්‍රධානතම මුලාශ්‍රයක් වන්නේ, මේ ස්ථානයෙන් හමුව ඇති නාලන්දා ටැම් ලිපියයි. එම ටැම් ලිපියෙහි අක්ෂර ක්‍රි.පූ. 8 - 10 සියවස්වලට අයත් බව, පර්යේෂණ මගින් හෙළි කරගෙන ඇත. එබැවින් එම ටැම් ලිපිය අයත් කාල වකවානුව අනුව, නාලන්දා ගෙඩිගේ ක්‍රි. පු. 8 - 10 සියවස්වල ඉදිකරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. නොනිසි ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාරයෙන් පිටමං කළ යුතු බවත්, සොරුන්, මිනීමරුවන් විහාර භූමියට ඇතුළු නොවිය යුතු බවත්, ආරාමය පිළිබඳ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්, මේ ටැම් ලිපියෙහි සඳහන්ව ඇත.

ක්‍රි. පූ. 6 - 9 සියවස දක්වා පැවැති පල්ලව අධිරාජ්‍යයෙහි පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවධියේ බිහිවුණ නරසිංහවර්මන් හෙවත් මාමල්ල ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතා ලක්ෂණ, නාලන්දා ගෙඩිගේ මඟින් ප්‍රතීයමාන වෙයි. නාලන්දා ගෙඩිගේ ද මාම්පුරම් දෙවොල මෙන්ම සම්පූර්ණයෙන්ම කළුගලින් නිමවා තිබීමත්, වහලය ශිඛරයක ආකාරයෙන් සකස් කර තිබීමත් නිසා, එම යුගය වන විට දියුණු තත්ත්වයක පැවැති පල්ලව ගෘහ නිර්මාණ කලාවේ ආභාෂය ලබමින්, ක්‍රි. පූ. 8 - 10 සියවස්වල මෙය නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකිය. මේ අපූරු නිර්මාණය ඉදිකළ නිශ්චිත වකවානුව හෝ ඉදිකරවනු ලැබූ පුද්ගල නාමයක් හෝ තවමත් හෙළි කරගෙන නොමැත. එහෙත්, නාලන්දා ගෙඩිගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු, සිංහල රජ සමයේ ආරම්භක යුගය දක්වා දිවයන බව ඉතිහාසගත තතු මඟින් අනාවරණය වෙයි.

අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර රාජධානි කේන්ද්‍ර වන අයුරින් පිහිටා ඇති නාලන්දා ගෙඩිගේ, සිංහල රජ සමයේත්, බ්‍රිතාන්‍ය යටත් විජිත් කාලයේත් පැවැති යුද්ධවලදී, බළකොටු පිහිටුවීම සඳහා යොදාගත් බව සඳහන්ය. පළමු වැනි පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ ගජබාහු රජු සමඟත්, රුහුණු රට මානාභරණ රජු සමඟත් කළ සටන්වලදී, නාලන්දාවෙහි බලකොටුවක් පිහිටුවාගෙන සිටි බව මහාවංශයෙහි කියැවෙයි. පරාක්‍රමබාහු රජු ඇළහැර ප්‍රදේශය අත්පත් කර ගත් සටනෙහිදී ද, නාලන්දාවෙහි බළකොටුව යොදාගෙන ඇත. මෙකී කාරණා මඟින් තවදුරටත් ප්‍රතීයමාන වන්නේ, මෙහි ඇති ඓතිහාසික වටිනාකම්ය.

මේ අගනා නිර්මාණය පිහිටා ඇත්තේ, මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාලන්ද ග්‍රාමයෙහිය. මහනුවර - යාපනය මාර්ගයේ, මාතලේ සිට දඹුල්ලට යන අතරමඟ හමුවන කිලෝමීටර් 48 කණුව අසලින් කිලෝමීටර් එකහමාරක් පමණ ගමන් කළ විට, බෝවතැන්න ජලාශයෙන් වට වී ඇති, අඩි 23ක් පමණ උස් බිමක, නාලන්දා ගෙඩිගේ ප්‍රතිමා මන්දිරය හා එයට අයත් විහාර ඉදිකිරීම් දැකගත හැකිය. මෙහි ඇති ප්‍රධාන ඉදිකිරීම වන නාලන්දා ගෙඩිගේ හැරුණු විට, වේදිකාවක් මත ඉදිකර ඇති ස්ථූපය, බෝධියක් හා මේ ස්ථාන වටකර නැඟුණු ගඩොල් ප්‍රාකාර හා කෞතුකාගාරය, මේ පරිශ්‍රයේ ඇති අනෙකුත් ගොඩනැගිලි වේ. නාලන්දා ගෙඩිගේ ඉදිව ඇති ස්ථානය, ලංකාවේ හරි මැද, නැත්නම් ලංකාවේ නාභිය ලෙස අදහස් පළ වී ඇත. මේ අදහස, ශ්‍රී ලංකා සිතියම නිරීක්ෂණය කිරීමෙන් තවදුරටත් නිශ්චය කරගත හැකිය.

මේ අගනා ඓතිහාසික ගොඩනැගිල්ල, 1973 වසරේදී ඉදි කරන ලද බෝවතැන්න ජලාශයේ මහා ජල කඳෙන් යටවී යාමේ අවදානමට ලක් විය. එම අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියේ මෙහෙයවීමෙන් ගොඩනැගිල්ල ගලවා, එක් එක් ගල් කණුවලට අංක යොදා, අත්තිවාරම සහ බුද්ධ මන්දිරයේ පවතින ස්වභාවයට හානියක් නොවන ලෙස යළි එම ස්ථානයේම ස්ථාපිත කරන්නට කටයුතු යෙදීය. එම අවස්ථාවේ, මේ භූමිය ජලයෙන් යටවීම වැළැක්වීමට බෝවතැන්න ජලාශය හැරූ පස් පුරවා, අදාළ පරිශ්‍රය අඩි 23ක උස් බිමක් බවට පත් කර, නාලන්දා ගෙඩිගේ බුද්ධ ප්‍රතිමා මන්දිරය යළි ස්ථාපිත කර ඇත. එබැවින් අද එය අපට දැකබලා ගත හැකි වන්නේ, උස් බිමක පිහිටි ප්‍රතිමා මන්දිරයක් ලෙසිනි.

වසර දහස් ගණනක් ඉපැරැණි මේ භූමිය, කාලයාගේ ඇවෑමෙන් රූස්ස ගස්වලින් පිරුණු මහා වනාන්තරයකින් වැසී ගොස් තිබී ඇත. 1911 වසරේදී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් වරයා ලෙස පත්වූ එච්.සී.පී. බෙල් විසින් මේ ස්ථානය සොයාගෙන, පිරිසුදු කර, යළි ස්ථාපිත කර ඇත. එම සොයාගැනීමෙන් පසුව දශක හතරක් පමණ ගත වූ තැන, එනම් 1953 වසරේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කැණීම් මඟින් නාලන්දා ගෙඩිගේ නිර්මාණයේ තිබු අත්තිවාරමේ බැමි පවා මතුකරගෙන, මෙහි පුරාවිද්‍යා වටිනාකම තහවුරු කිරීමට මූලිකත්වය ගෙන ඇත. අද වනවිට මෙය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්ථානයකි. නාලන්දා ගෙඩිගේ පිළිබඳ මූලාශ්‍ර සහිත කෞතුකාගාරයක් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි පවත්වාගෙන යයි. විහාර පරිශ්‍රයේ දැකගත හැකි ප්‍රතිමා, ගල් කණු, කැටයම් හැරුණු කල, කෞතුකාගාරයෙහි නාලන්දා ටැම් ලිපිය හා මේ ස්ථානයෙන් හමු වූ පුරාවස්තු ද දැකගත හැකිය.

මේ පුදබිමට ‘නාලන්ද‘ යන නාමය ලැබීම සම්බන්ධයෙන් ද විවිධ මතවාද පවතී. ‘නාලන්‘ යනු නෙළුම් මලට කියන නමකි. ‘ දා‘ යනු ‘දීම‘යි. නෙළුම් මලෙන් බුද්ධිය නිරූපණය වෙයි. මේ අනුව නාලන්දාව යනු, ‘බුද්ධිය ප්‍රධානය කළ තැන‘ යන අරුත ඇතිව, ‘නාලන්දා‘ යන නම යොදන්නට ඇතැයි විශ්වාසයක් පවතියි. ‘ඇතුන් ගැවසී ගත් ප්‍රදේශය‘ යන අරුත ඇතිව, නාලන්දාව යන නම යෙදූ බව ද ජනප්‍රවාදවල දැක්වෙයි. ආර්.එල්. බ්‍රෝහියර් නම් ඉතිහාසඥයාගේ අදහස වන්නේ, ධාතුසේන රජු සෑදු කලා වැව පෝෂණය කිරීමට ඉවහල් වූ නාලන්දා ඔයෙහි නාමය, මේ පුද බිමට ආදේශ වී ඇති බවයි.

ඉදිරිපස පිවිසුම, මණ්ඩපය, ගර්භ ගෘහය ලෙස කොටස් තුනක් යටතේ මේ ස්ථානය හඳුනාගත හැකිය. ගර්භ ගෘහය වෙත බැසීමට සකස් කර ඇති පඩිය පාමුල සඳකඩපහනක් ඇත. ගෘහය තුළ ප්‍රතිමා පහකි. පද්මාසනයක් මත වැඩ හිඳින අවුකන බුදු රුවෙහි මුද්‍රාවට සමාන බුදු රුවක්, එම ප්‍රධාන බුදු පිළිමයට දකුණු පසින් පද්මාසනයක් මත වැඩ හිඳින හිටි පිළිමයක් ලෙස ස්ථාපිතය. එම පිළිමයෙහි පපුව කොටස විනාශ වී ඇත. බෝධිසත්ව පිළිමයක් යැයි සැලකිය හැකි තවත් පිළිමයක කොටස් ද මෙහි ඇත. එම බුද්ධ ප්‍රතිමා හැරණු විට, ප්‍රධාන දොරටුව ආසන්නයට වන්නට ඇති ගණ දෙවි පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයකි. ගණ දෙවි පිළිමය මඟින්, එදවස නුවර කලාවියේ ගණදෙවියන් වන්දනා කළ බවත්, අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවෙන්, මහායාන බලපෑම පැවැති බවත් නිගමනය කළ හැකිය. නාලන්දා ගෙඩිගෙය පිට පැත්තේ ගල් කැටයම් දැකගත හැකිය. මණ්ඩපය තුළට එකතු වන ජලය බැස යෑමට සකස් කළ කාණු කටවල් ද මෙහි දක්නට ලැබේ. සුන්දර බිම් කඩක පිහිටි මේ අපූර්ව නිමැවුම, ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට වෙසෙසින්ම වැදගත්ය.

 

ධම්මිකා සුරංජි පතිරණ

ජායාරූප - නුවන්ත දිනිඳු

ශ්‍රී ලංකාව නාගයන්ගේ දිවයිනක් ද?

$
0
0
නොවැ 5, 2020 01:00
නාගදීපය

මේ රටේ නාග ගෝත්‍රිකයන් වාසය කළ බවට සාධක එමටය. චූලෝදර, මහෝදර පිළිබඳ වූ කතා වස්තු, මණි අක්ඛික නා රජුගේ කතාව මෙන්ම, නාගදීපයේ ඉපැරැණි සටහන් ද, නාග ගෝත්‍රිකයන්ගේ ඉතිහාස කතාවලට උදාහරණය.

දෙවැනි වර බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ අවස්‌ථාවේ චූලෝදර, මහෝදර නම් නා රජවරුන් බුදුන් කෙරෙහි පැහැ දී, මැණික්‌ පුටුව තැන්පත් කර, නාගදීප ස්‌ථූපය වන්දනාමාන කිරීම සඳහා තනවා තිබුණි. තෙවනුව කැලණියට වැඩි අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ උදෙසා මණිඅක්ඛි‌ක රජු දන් පිළිගැන්වීමට හා පිරිත් සජ්ඣායනා කිරීම සඳහා මැණික්‌ මණ්‌ඩපයක්‌ සාදවා ඇත. පසුව එය වටකර කැලණි දාගැබ තැනවූ බව ද උන්වහන්සේගේ අඳනය තැන්පත් කර කැලණි ගඟෙන් එතෙර සිවුරු දාගැබ කරවූ බව ද මහාවංසයේ දැක්‌වේ.

නාගයන් ඇදහීම ද ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට පැවැති තවත් ආගමික ඇදහීමකි. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි, තෙවැනි ලංකා ගමනය සිදු වී තිබෙන්නේ නාගයන් කෙරෙහි අනුකම්පාවෙන් බව මහාවංසයට අනුව පැහැදිලිය (1.47).

මැටි මංජුසාවෙන් හමුවූ කුඩා ‍තිමා

නාගදීපයේ චූලෝදරත්, මහෝදරත්, කැලණියේ මණිඅක්ඛික ඇතුළු නාගයන්ට සෙත සැලසීම, උන්වහන්සේගේ මේ ගමන්වල අරමුණ විය. ඒ අනුව නාග ගෝත්‍රිකයන් බොහෝ පිරිසක්‌ ද මෙරට සිටි බව පැහැදිලිය. නාගයන් ඇදහීමට පුරුදුව සිටි පිරිස්‌ නාග ගෝත්‍රික නමින් හඳුන්වන්නට ඇත. නාගයන් ඇදහීම ලෝකයේ තිබුණු පැරැණි ඇදහීම්වලින් එකකි. බුදුසමය ලංකාවට ඒමට පෙර, නාගයන් අදහන පිරිස්‌ නාගදීපය, කැලණිය ආශ්‍රිත ප්‍රදේශවල බහුලව සිටියාට සැකයක්‌ නැත.

නාග වන්දනය ශ්‍රී ලංකාව තුළ පැවැති බවට පළවන අදහස් හා මූලාශ්‍ර තවදුරටත් විමර්ශනය කිරීමේ දී, ලක්‌දිව සිව් හෙළය සැකසී ඇත්තේ යක්‍ෂ, රාක්‍ෂ, නාග හා දේව ගෝත්‍රවලින් බව අරිසෙන් අහුබුදු මහතා පවසයි. ‘නාග’ යන වචනයෙහි සංස්‌කෘත භාෂා අර්ථය ‘උරග සර්පයා‘ යනුයි. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්, චූලවංසයෙහි එන නාග යනු දිව්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස හඳුන්වාදී ඇත. මහාවංසය ආදී වංස කතා තොරතුරු අනුව, ලංකාවේ ‘නාග’ නමින් මනුෂ්‍ය ගෝත්‍රයක්‌ විසූ බව ප්‍රකට වේ. ඈත අතීතයෙහි ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයෝ මැණික්‌ ගල්, මැණික්‌ ආසන, නාවික යාත්‍රා පවා හිමිව සිටි සෞභාග්‍යවත් බලගතු මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ බව පෙනෙන කරුණකි. ඔවුන්, මතිකාර (මණිකාර) - මැණික්‌ කර්මාන්තයෙහි ද නිරත, රාජ්‍ය බලය පවා නතු කරගෙන සිටි බවට බොහෝ සාධක හමුවී ඇත.

මහාභාරතය, රාමායනය වැනි පුරාණ ග්‍රන්ථවල ද නාගයන් පිළිබඳ සඳහන්ව ඇත. නිදසුනක්‌ වශයෙන් රාමායනයෙහි හනුමන්තා සීතා දේවිය මුදා ගැනීම සඳහා පැමිණෙන්නේ, එවක ලංකාවේ පැවැති නාගයන්ගේ අගනුවරට බැව් සඳහන් වේ.

ආගමික සාහිත්‍ය තොරතුරු, අපේ වංසකතා වන දීපවංසය, මහාවංසය හා ධාතුවංසය, සමන්තපාසාදිකාව ආදී අංශවලින් ද, භාරතීය හා ලාංකේය ශිලා ලේඛන හා පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ ජනශ්‍රැති, ජනප්‍රවාදවලින් ද මේ පිළිබඳ තොරතුරු රැසක්‌ එක්‌රැස්‌ කර ගැනීමට හැකිව තිබේ.

නාග රුවක්

මහාවංසයට අනුව, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරනු ලැබුවේ, වඩුස්‌නාගල (නාගදීපයේ) චූලෝදර හා මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පලඟක්‌ පිළිබඳ ඇතිවුණු අරගලය සංසිඳුවාලීමටය. කැලණියේ මණිඅක්ඛි‌ක නාග රජුගේ ආරාධනයෙන් එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ ජනතාව, පෙර අවස්‌ථාවල දී මෙන්ම තිසරණයෙහි පිහිටා පංචසීලය සමාදන් වී ඇත. (ම.ව. 1 පරි.)

නාගයා හා බැඳුණු දේව හා සමාජ සංකල්ප ද බහුලය. ‘නාග අවතාරය‘, විෂ්ණු දෙවිඳුන්ගේ අවතාරයකි. එනිසා, විෂ්ණු දෙවියන්ට නාගයා හා බැඳුණු සම්බන්ධයක්‌ ඇත. හින්දු සමය අනුව නාග රූපයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ශිව දෙවියා, ‘නාගාභරණ‘ හෙවත් නාගයන්, ආභරණ ලෙස පලඳියි. ශිව දෙවි නාගයනට අධිපතීත්වය ද උසුලන්නේය. පත්තිනි දෙවඟන උපත ලැබුවේ, නයි කඳුළෙනි. ගජබා රජු දවස දක්‍ෂිණ ඉන්දියාවේ මධුරපුර පත්තිනි දේවාලයෙහි පත්තිනි උත්සවයෙන් ගෙනෙන ලද මුල්ම පත්තිනි සලඹ, නවගමුවේ (නාගමුවේ) ඉදි කරවූ දෙවොලෙහි තැන්පත් කර, පත්තිනි දේව වන්දනා පැවැත්විණි. පත්තිනි දෙවොල නා ගස්‌ උයනෙහි පිහිටි අතර, නා ලොව නාගයන් එය ආරක්‍ෂා කළ බව කියැවේ. එනිසා මෙය, නාගයන්ගේ රැකවරණ ලැබූ දෙවොලකි. පෘතුගීසි පාලකයන්ගේ ආක්‍රමණවල දැඩි ක්‍රියාවන්ගෙන් පත්තිනි සලඹ ඇතුළු පූජ්‍යත්වයට පත් භාණ්‌ඩ ආරක්‍ෂා කර දුන්නේ, නා ලොව නාගයන් යැයි ජනප්‍රවාදගතව ඇත.

දේවානම්පියතිස්‌ස රජ සමයෙහි රුහුණේ පාලකයා ලෙස කටයුතු කළේ, යුවරජ මහානාගය. මෙදවස අශෝක අධිරාජ්‍යයාගේ ද අනුග්‍රහයෙන් දඹදිව ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවාගෙන එන අවස්‌ථාවේ දී, නාගයෝ එම බෝධි ශාඛා වහන්සේ නා ලොව වෙත වැඩම කරවාගෙන ගොස්, සත් දිනක්‌ පුරා පූජෝපාහාර සත්කාර පවත්වා, ආපසු නාවික යාත්‍රාවට ගෙනවිත් බාර දුන් බව මහාවංසයේ (ම.ව. 19 පරි., 18 - 20 ගාථා) සඳහන් වේ.

නාග පොකුණ

දන්ත කුමරු හා හේමමාලා කුමරිය, ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමේ දී, නාගයන්ගෙන් සිදු වූ බාධා, තාවුලිප්ති තොටට පැමිණෙන තෙක්‌ රහත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් අඩාල කිරීමට හැකි වූ බව, ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. මුහුද මැද දී නාවික යාත්‍රාව නතර කරවූ නා ලොව නාගයෝ, සත් දිනක්‌ මුළුල්ලේ කඩුපුල්, මදාරා ආදී මල්වලින් පූජා පවත්වමින්, වාද්‍ය භාණ්‌ඩ වාදනය කරමින්, පූජෝපහාර පවත්වමින් සිටිය දී, ගුරුළු වෙස්‌ මවාගත් තෙරණුවෝ අහසින් වැඩම කර, නාගයන් පලවා හැර, දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමට උපකාර වූ ආකාරය පිළිබඳ, දළදා සිරිතේ (1970, පිටු 31- 34) සඳහන් වේ. මෙවන් තොරතුරු මඟින්, මොවුහු දිව්‍ය නාග කොට්‌ඨාසයක්‌වත් දැයි අනුමානයක්‌ පහළවී ඇත.

ඇතැම් උගතුන් පවසන්නේ, මහානාග රජුගේ මව නාග ගෝත්‍රයට අයත් බවය. එමෙන්ම, දුටුගැමුණු රජතුමාගේ චරිතය හා සබැඳි ජනප්‍රවාද රැසකින් පෙනී යන්නේ, රූමත් නාග කන්‍යාවන් අවස්‌ථා කිහිපයකදීම සිය අණසකට නතු කර ගත් බවකි. තම ප්‍රධාන බිසවු තනතුරේ පවා සිටියේ නාග අඟනක්‌ බවට ද විවිධ තොරතුරු ඇත. මෙවන් සිද්ධි නිසා පිරිමි නාගයන් අසතුටෙන් සිටිමින්, රජතුමන්ට කරදර පැමිණවීමටත්, පළි ගැනීමටත් ක්‍රියා කළ ආකාරය පිළිබඳ අසන්නට ලැබේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑ ධාතු නිධානෝත්සවයට සෝනුත්තර තෙරුන් ලවා නාග ලෝකයෙන් ධාතු වැඩම කරවා ගත් බව ජනප්‍රවාදගතව ඇත.

 

ලංකාවේ රාජාවලියේ රජවරුන් කිහිපදෙනකුම ඉලනාග, සිරිනාග, ඛල්ලාඨනාග, මහාදාඨික මහානාග, මහල්ලක නාග වශයෙන්, ‘නාග‘ නාමය භාවිත කර ඇත. ක්‍රි. ව. 3 වැනි සියවසේ දී හරිසෙන් විසින් රචිත සමුද්‍රගුප්ත අධි රජුගේ අවනතභාවයට පත්වන ආර්යාවර්තයෙහි රජුන් ලෙස, නාගසේන, නාගදත්ත, ගණපතිනාග, නන්දින් වශයෙන් සඳහන් වේ. එමඟින්, භාරතීය, ‘නාග‘ නාමය භාවිත කළ භාරතීය නාග ගෝත්‍ර පිළිබඳ තොරතුරු ද හෙළි වේ.

ඉන්දීය රාජ වංසයෙහි නාගර්ජුන යන්න දක්‌නා ලැබේ. උතුරු ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් බොහෝ සෙයින් දක්නට ලැබෙන බව, මජුම්දාර් ඉතිහාසඥයා ද පෙන්වාදී ඇත. මහාවංසය අනුව, ‘නයිනතිව් දූපත‘ යනු ලක්‌දිව නාගදීපය ලෙස පෙනෙන නමුදු, යාපන අර්ධද්වීපය නාගදීපය වියහැකි බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීහු පෙන්වා දෙති. ඒ බව තහවුරු වන්නේ, වසභ රජ දවස ඉසිගිරිය අමාත්‍යා යාපනය අර්ධද්වීපය පාලනය කළ බව, වල්ලිපුරම් රන් සන්නස හමුවීමෙන් අනතුරුව තොරතුරු අනාවරණය වීමෙනි.

නාගයා ජලයට අධිපතිත්වයක්‌ උසුලා ඇත. එනිසා, ලංකාවේ වැව්, අමුණු, සොරොව්, රාජකීය පොකුණු ආදිය ඉදිකරලීමේ දී, නාග රූපය, නාග මූර්තිය, නාග කැටයම සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත. නාග සංකේතය ජලය ආශ්‍රිත පෙදෙසෙහි සනිටුහන් කිරීමෙන්, සෞභාග්‍ය හා ආරක්‍ෂාව ළඟා වීමට ඉවහල් වන සාධකයක්‌ ලෙස, පුරාතනයෙහි සිට සලකා ඇති බව පැහැදිලි වේ. ජලය එක්‌තැන් කරවන ලද වැවෙන් ජල ධාරා ඇළ මාර්ග මඟින් බෙදාහරින්නේ, ආහාර නිෂ්පාදනය හා සශ්‍රීකත්වය ලබා දීමේ අපේක්‍ෂාවෙනි. නායකයන්, රජවරුන් මෙකී අපේක්‍ෂා සාක්‍ෂාත් කර ගැනීමේ පරමාර්ථයෙන්, වැව් කණ්‌ඩිය, වැව් සොරොව්ව, ඇළ මාර්ග, රාජකීය පොකුණු ආශ්‍රිතව ‘නාගයා’ සහිත කැටයම් ආකෘති, පලක සවිකර ඇති බව පෙනෙන්නට තිබේ. නිදසුන් ලෙස, මානන්කට්‌ටිය වැව් සොරොව්වේ පෙණ සහිත නාග, නාගිනි රූප ද, කුට්‌ටම් පොකුණේ පෙණ සහිත නාග රූප ද, සීගිරිය මහවැව සොරොව්වේ, නාග ගල් පුවරුව ද, පළමු වැනි අග්බෝ රජුගේ මිහින්තලා නාග පොකුණ හා කළුදිය පොකුණ නාග රූප ද, මිහින්තලේ සෑගිරියේ නාග සෙන්ඩියම් පොකුණේ නාග ආකෘතිය ද, ඌරු සිටාන වැව ආශ්‍රිත නාග කැටයම ද නිදසුන් ලෙස සඳහන් කළ හැකිය. මිහින්තල සෑගිරියේ පොකුණෙහි පෙණ පහකින් යුත් නාගයා මඟින්, නාග ලෝකයේ සිට ජල ධාරාවක්‌ සමඟින් පැමිණි බවට අදහස්‌ කෙරේ. එම පොකුණ, නොසිඳෙන ජල ධාරාවලින් යුත් පොකුණක්‌ ලෙස පතලව ඇත. ලංකාවේ උතුරු මැද පළාතේ මානන්කච්චිය වැව් සොරොව්වේ පෙණ හතේ සහ පහේ නාග රූප ද, එමෙන්ම පරිවාර නාගිනි රූප ද මූර්තිමත් කර ඇති බැව් පෙනේ. ගෙවන්කුලමේ වැව් සොරොව්වෙහි, හිස්‌ කීපයක්‌ සහිත නාග කැටයම් මූර්ති හමු වී ඇත. සීගිරිය වැව් සොරොව් සංකීර්ණයෙහි ද, මේ ආකාරයේම ගල් පුවරු ස්‌ථානගත කර තිබී හමුවී ඇත.

නාග කලා ශිල්පචාරීන්, ‘නයිදේ‘ යන ගෞරව නාමයෙන් හඳුන්වා ඇත. මෙකී ශිල්ප කලා ශිල්පාචාරීහු සිරුර මනුෂ්‍යයකු ලෙස ද, හිස නාගයකු ලෙස ද දැක්‌වීමට පෙලඹී ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන්, මිනිස්‌ නාග රුවෙහි හිස පෙණ පහ, හත වශයෙන් නිමාවී ඇති අතර, කඩුපුල් මල, පුන්කලස දැක්‌වීම මඟින්, සෞභාග්‍ය ලඟා කර දෙන බව ද සංකේතවත් කර ඇත.

මේ රටේ නාග ගෝත්‍රිකයන් වාසය කළේය යන මතය අතරතුර, අතීතයේ දී අපේ රටේ මිනිසුන් නාගයන් වන්දනාමාන කළ බවට, කිළිනොච්චියෙන් පුරාවිද්‍යාත්මක සාධක හමු වීමත් සමඟම, ඉතිහාස කතාවලට තවත් ඌණ පූරණ රැසක් එකතු වන්නට පටන්ගෙන තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පී.පුෂ්පරත්නම් මහතා ප්‍රකාශ කරන අන්දමට, ලංකාවේ වැසියන් නාග වන්දනයට හුරුවී ඇත්තේ, අද ඊයේ සිට නොවේ.

පසුගිය සතියේ දී කිළිනොච්චියේ පුනරීන් නාගපට්ටුවාන් ප්‍රදේශයේ දී මැටි මංජුසාවක් හමු වූයේ, පුරාවිද්‍යා කැණීම්වලිනි. එහි ඇතුළත්ව තිබූ කුඩා ප්‍රතිමා හයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පුෂ්පරත්නම් මහතා කියා සිටින්නේ, අතීතයේ දී නාගපට්ටුවාන් ප්‍රදේශයම නාග ගෝත්‍රිකයන් විසූ ප්‍රදේශයක් බවය.

නාගදීපය ද ඒ අන්දමටම නාග ගෝත්‍රිකයන් විසූ පළාතක් ලෙස පෙන්වා දෙන මහාචාර්යවරයා, නාගදීපයත්, නාගපට්ටුවාන් ප්‍රදේශයත් අතර ඉතා සමීප සබඳකම් පැවැතියා පමණක් නොව, දුර ප්‍රමාණය අතින් ඉතා කෙටි දුරක් තිබීම නිසා, මේ දෙපළාතේ විසූ පිරිස් අතර මනා අන්තර් සබඳතාවක් පැවැති බව ද සඳහන් කරයි.

නාග ගෝත්‍රිකයන් ක්‍රමයෙන් ඉවත්ව ගිය නමුත්, මිනිසුන් නාගයන් ඇදහීම හා නාගයන්ට වන්දනාමාන කිරීම වර්තමානයේ දී පවා දැකිය හැකි සුලබ දසුනක් හා ක්‍රියාවක් බව, මහාචාර්යවරයා සඳහන් කරයි. සශ්‍රීකත්වයේ සංකේතයක් වශයෙන් නාග ලාංඡනය භාවිත කරන බවත්, ඉපැරැණි වැව් ආශ්‍රිත ශිලා ලේඛන හා මූර්ති දෙස බලන විට, එය ඉතා මැනැවින් පැහැදිලි වන බවත්, කිළිනොච්චියෙන් හමුවූ මංජුසාවේ තිබූ පුරාවස්තු ඇසුරෙන් ඔහු පැහැදිලි කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා පසුගිය සතියේ දී හමු වූ පුරාවස්තු ආශ්‍රයෙන් මේ තොරතුරු ඉදිරිපත් කරන අතර, නාග ගෝත්‍රිකයන් පිළිබඳ හා නාග වන්දනය පිළිබඳ අපේ පුරාවෘත්තවල බොහෝ කරුණු සඳහන් වෙයි.

මහා වංශයේ සඳහන් නාගයන්ට වඩා, දීප වංසයේ සඳහන් නාගයන් මනුෂ්‍යත්වයට සමානය. දීපවංසය අනුව, සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවාගෙන එන විට, මුහුද මැද දී එය නාගයන් සතු කර ගැනීමට වෙර දරා, එය පැහැර ගෙන ගොස්‌ සතියක්‌ නාග ලොවේ තබාගෙන වැඳුම් පිදුම් කළ බවත්, පසුව සංඝමිත්තා තෙරණිය ගුරුළු වෙසක්‌ මවා, ඔවුන් බිය වද්දා, එය නැවත ගත් බවත් සඳහන් වේ. මෙහි දී වැදගත් වන්නේ, ශ්‍රී මහා බෝධිය දැක නාග කුමාරිකාවන් ප්‍රීති වූ බව හා නාග රජු, කළු නාග කොඩි ළෙලවමින් අනර්ඝ බෝධිය ශ්‍රී ලංකාවේ පිහිටවූ බව දීපවංසයේ 16වැනි පරිච්ඡේදයේ සඳහන් වීම මඟිනි.

ලංකාවේ නාග කොට්‌ඨාස දෙකක්‌ ගැන මහාවංසය පවසයි. එනම්, සමුද්‍රස්‌ථාන නාගයන් හා පර්වත වාසී නාගයන්ය. නාගයන්ගේ එක්‌ රාජධානියක්‌ වන්නේ කැලණියයි. පර්වත නාගයන්ගේ රාජ්‍ය නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත. එහෙත්, දැනට පවත්නා විශ්වාසය අනුව, බුදුරජාණන් වහන්සේ වැඩිය නාගදීපය, නැතහොත් යාපනයට ආසන්නව ඇති කුඩා දිවයින, ඔවුන්ගේ රාජ්‍ය ලෙස පිළිගැනේ. එවකට ලංකාව, ගොවිතැනින් ස්වයංපෝෂිත රටකි. දීපවංසයේ දැක්‌වෙන තොරතුරු අනුව, මහෝදර, චූලෝදර නමැති නා රජවරුන් මැණික්‌ පුටුවක්‌ සඳහා ආරවුලක්‌ ඇතිකර ගත් විට, එය සංසිඳවීමට අපේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ එතැනට වැඩමකර, ධර්මදේශනාවක්‌ පැවැත් වූ විට, අසූ කෝටියක්‌ නාගයන් බුදුන් සරණ ගිය බවත්, බුදුන් පැමිණි දෙවාරයේදීම නාගයන් දන් පිළිගැන්වූ බවත් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ වැඩිය එක්‌ වතාවක, මැණික්‌ පුටුවක්‌ ද පුදා ඇත. බුදුරජාණන් වහන්සේ දෙවැනි වර කැලණියට වැඩි අවස්‌ථාවේ, ‌ උන් වහන්සේ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා 500 නමක්‌ මඩුවකට වැඩි විට, උන්වහන්සේලාට රන් රුවන් හා වෛවර්ණ රෙදිවලින් සරසන ලද මණ්ඩපයක රසවත් සහ ආහාර පානාදියෙන් නාගයන්ට දන් පුදා ඇත.

නාගයාට කකුල් නැත. නමුත් ඔහු වේගයෙන් ඇදීයන්නේ කෙසේදැයි කියා ආදිතම මිනිසා තුළ විස්මයක්‌ ඇති විය. කිසියම් දෙයක්‌ ගැන හරිහැටි තේරුම්‌ ගැනීමට නොහැකි මිනිසාට, නූගත්කම නිසාම මහත් බියක්‌ ඇතිවේ. එනිසා ඒ කෙරෙහි ගෞරවයක් හට ගනී. මේ ගෞරව සංයුක්‌ත බිය, ලෝකයේ නොයෙකුත් ආගම්වලට මුල් විය.

නයාගේ පෙණය හැකිළීමට, දිග හැරීමට හැකිවීම, පහර දීමේ දී හිස කෙළින් තබා ගැනීම, දෂ්ඨ කිරීම, හැව ඇරීම, දෂ්ඨ කළ විට ක්‍ෂණිකව විෂ මුළු ශරීරය පුරා පැතිරීම ආදී කරුණු අනුව, පැරැන්නන් තුළ බියක්‌ ඇති විය. ඔවුන්, විෂ පැතිර යෑම ගින්නට සමකොට, ගින්න සංකේතවත් කිරීමට නාගයා යොදා ඇත. පසු කල, ගින්නෙහි මුල සූර්යයා ලෙස වටහාගත් මනුෂ්‍යයන්, කටින් වල්ගය හපා සිටින කවාකාර සර්පයකු සූර්යය සංකේතය ලෙස භාවිත කළේය.

කැණීම් කළ ස්ථානය

නාගයන්ගේ විෂ දුම නිසා, ලෙඩ රෝග, ගොවිතැන් බව බෝග විනාශය ඇති වන්නේ යැයි පැරැන්නන් විශ්වාස කර ඇත. පුරාණයේ ඇති වූ වසංගත රෝග අහිමතන රෝග ලෙස සැලකූ අතර, “අහි” යනු සර්පයායි. තුඹසෙන් ඇ දී එන නයා, නාග ලෝකයෙන් එන්නේ යැයි පුරාණ මිනිසා විශ්වාස කර ඇත. නාග ලෝකය පොළොව යට ඇතැයි වීර කාව්‍ය හා ජාතක කතාවල දක්‌වා ඇත්තේ ඒ නිසාය. නාග වන්දනය, කලින් කළ එක්‌වූ විවිධ වන්දනා ක්‍රම ඇසුරින් වර්ධනය වී ඇත. හැව ඇරීමෙන් නාගයා තරුණ වීම, අලුත් ජීවිතයක ආරම්භයක්‌ යැයි ද, පුරුෂ ලිංගය හා සමාන ලක්‍ෂණයක්‌ නාගයාට ඇති බැවින්, දරුවන් නැති කාන්තාවන්ට දරුවන් ලබා දීමේ බලයක්‌ උන්ට ඇතැයි ද මිනිසුන් විශ්වාස කළේය. එනිසා, තුඹසක්‌ උඩ වාඩිවී සිටින මිනිසකුට පුද පූජා තබා වැඳීමෙන් පිරිමි දරුවන් ලබා දීමේ බලයක්‌ ඇතැයි ද සිතා වැඳුම් පිදුම් කළේය. අද වන විටත් ඉන්දියාවේ කන්‍යාවන් විසින් මෙය නාග වන්දනාවක්‌ වශයෙන් කරති.

ලක්දිව අතීත වැසියෝ නාග වන්දනය පමණක් නොව, මකර වන්දනය ද සිදු කළ බවට සාක්ෂි ඇත. එහෙත්, මේ දක්වා උතුරු පළාතේ කිසිදු ස්ථානයකින් ඒ සම්බන්ධයෙන් තොරතුරු හමුව නැති බව ද මහාචාර්ය පුෂ්පරත්නම් පවසයි.

මහාචාර්ය පුෂ්පරත්නම්

ලෝකයේ බොහෝ පුරාවස්තු හා පුරාවිද්‍යා ස්ථාන විනාශ වී යන්නේ කාලයාගේ වැලි තලාවට හසු වීමෙනි. එහෙත්, උතුරේ ඇති මේ අතීත උරුම, වසර ගණනාවක සිට ඉහත සඳහන් කළ ධර්මතාව මත ද බිහිසුණු යුද්ධය නිසා ද විනාශ වෙමින් පවතී. මේ වන විට, එම පළාත්වල පවතින සාමකාමී වාතාවරණයත් සමඟම අතීත පුරාවෘත්ත ද මතුවන්නට පටන්ගෙන තිබේ. එහෙත් ඒවාට පලිප්පු දැමීමට සිටින පිරිස අඩු බැවින්, ඉතිහාසය යළිත් වරක් මහ පොළොවට ගිලා බසින්නේය.

 

රසුල දිල්හාර ගමගේ

උතුරු පළාත් විශේෂ

ෆෙඩරල් පක්ෂය ජාතික විමුක්ති පෙරමුණ තහනම් ! චෙල්වනායගම් නිවාස අඩස්සියට

$
0
0
නොවැ 6, 2020 01:00
ගිවිසුම අත්සන් කළ පසු දෙපාර්ශවය  අගමැති කාර්යාලයේ පියගැටපෙළ බසිමින්

1952 මහ මැතිවරණයෙන් ජය ගත් මැති ඇමැතිවරුන්ට පස් අවුරුද්දක් බලයේ සිටීමට හැකිව ඊට වසරකට පෙර 1956දී පාර්ලිමේන්තුවෙන් (එවකට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) ඉවත්ව යන්නට සිදු විය. නියමිත කාලයට පෙර මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු වූයේ රාජ්‍ය භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් රට තුළ උද්ගත වූ කලබලකාරී තත්ත්වයයි .

1955 දී ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මන්ත්‍රී මණ්ඩලයට යෝජනා කළේ සිංහල - දෙමළ භාෂා මෙරට රාජ්‍ය භාෂා කළ යුතු බවය. එහෙත් මහජන එක්සත් පෙරමුණ සහ විප්ලවකාරී සම සමාජ පක්ෂය සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු යැයි යෝජනා කළ නිසා රට තුළ ඒ සම්බන්ධයෙන් ප්‍රබල සමාජ මතවාද ගොඩනැගෙමින් තිබිණි.

සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාවට පක්ෂව ජනතාව තුළ වර්ධනය වෙමින් ආ ජන රැල්ල නිසා එක්සත් ජාතික පක්ෂය ද ඊට අවනත වෙමින් 1956 පෙබරවාරි 18 වැනිදා කැලණියේ පැවති සම්මේලනයකදී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේය. මේ හේතුවෙන් එ.ජා.ප.යේ සිටි ද්‍රවිඩ භාෂාව කතා කරන මන්ත්‍රීවරු පක්ෂයෙන් ඉල්ලා අස්වූහ. ( වී.නල්ලයියා - කල්කුඩා , සී.සිත්තම්පලම් - මන්නාරම , වී.කුමාරස්වාමි - චාවකච්චේරි , එස්.නටේසන් - කන්කසන්තුරේ , ඇල්ෆ්‍රඩ් තම්බයියා - කයිට්ස් මෙසේ ඉල්ලා අස් වූහ. )

රාජ්‍ය භාෂා පනතට එරෙහිව ෆෙඩරල් පක්ෂය 
ගාලු මුවදොර සත්‍යග්‍රහය කරද්දී
 

මේ නිසා අගමැති සර් ජෝන් කොතලාවලගේ උපදෙස් පරිදි ආණ්ඩුකාරවරයා එදිනම රාත්‍රියේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරියේය. ඒ හේතුවෙන් 1956 අප්‍රේල් මස පැවති මහ මැතිවරණයෙන් ජය ගත්තේ මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවයි.

1956 ජූනි 5 වැනිදා රාජ්‍ය භාෂා පනත සම්මත කර ගන්නට යෙදුණු දිනයේ ෆෙඩරල් පක්ෂය ගාලු මුවදොර පිටියේ සත්‍යග්‍රහයක් ඇරඹුවේය. සිංහල භාෂා ප්‍රේමීහු ගාලු මුවදොරට පැමිණ ඊට විරෝධය පළ කරමින් කලබල ඇති කර ගත්හ. ඉන් පසු අගමැති බණ්ඩාරනායකට ද ගාලු මුවදොරට පැමිණ ජනතාව අමතන්නට සිදු විය.

1957 පෙබරවාරි 4 වැනිදා සිංහල රාජ්‍ය භාෂා පනතට එරෙහිව ෆෙඩරල් පක්ෂය උතුරේ හා නැගෙනහිර පළාත්වල ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාර නිසා එදින එම ප්‍රදේශවල ද කලබල හට ගත්තේය. අගමැති බණ්ඩාරනායක ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් සමග 1957 ජූනි 27 වැනිදා ගිවිසුමක් අත්සන් කළේය. 1957 ඔක්තෝබර් 3 වැනිදා එම ගිවිසුම රට පාවාදෙන ගිවිසුමක් බව කියමින් ඊට විරෝධය පළකළ එ.ජා.ප.යේ ජේ.ආර්.ජයවර්ධන කඩවත සිට මහනුවරට පාගමනක් ඇරඹුවේය. එහෙත් ඉඹුල්ගොඩ කන්ද කැපූ හන්දියේ දී ප්‍රතිවාදීන් එය වැළැක්වීම නිසා ජේ.ආර් ට යළි හැරී ඒමට සිදු වීය. ප්‍රතිවාදීන්ට නායකත්වය දුන්නේ එස්.ඩී. බණ්ඩාරනායක මහතාය.

අගමැති බණ්ඩාරනායක ගාලු මුවදොරදී කලබලකරුවන් අමතයි
 

1958 ජාතිවාදී කෝලාහල ඇරඹෙන්නේ වවුනියාවේ පැවති ෆෙඩරල් පක්ෂයේ පස් වන සම්මේලනයෙන් පසුවය. 1958 මැයි 25 වැනිදා පොලොන්නරුව හා හිගුරක්ගොඩ රජයේ ගොවිපොළවලට මැරවරයෝ පහර දුන්හ. මඩකළපුවේ සිටි සිංහල ජනතාව ද ප්‍රහාර වලට ලක් වූහ. මඩකළපුවේ සිදු කළ ගිනි තැබීම් සංඛ්‍යාව 56ක් බව රජයේ වාර්තාවක දැක්විණි. කලබල වලින් මිය ගිය සංඛ්‍යාව 11කි. මැයි 26 - 27 දෙදින කොළඹ ද ඉන් පසු කුරුණෑගල ද හිංසාකාරී ක්‍රියා හට ගත්තේය. එම ජූනි 7 වැනිදා ෆෙඩරල් පක්ෂය හා කේ.එම්.පී. රාජරත්නගේ නායකත්වයෙන් යුතු ජාතික විමුක්ති පෙරමුණ තහනම් කෙරිණි. චෙල්වනායගම් නිවාස අඩස්සියේ රැඳවිණි. කලකෝලාහල මැඩීම සඳහා රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කෙරිණි. මේ හදිසි තත්ත්වය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී විවාදයට ගැනිණි. එම විවාදයේදී මන්ත්‍රීවරුන් එකිනෙකා පැටලුණු අන්දමයි මේ. ( මැද කොළඹ පළමු මන්ත්‍රී පීටර් කෙනමන් සිය කතාව අවසන් කළ පසු දණ්ඩගමුව මන්ත්‍රී කතාව අරඹමින්...)

 

එස්.ජේ.බී.චෙල්වනායගම් මහතා නිවාස අඩස්සියට පත් කළ පසු ඔහුගේ නිවසට පොලීසියෙන් මුර යොදා තිබූ අයුරු

 

අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල :-

"මම ළගදී කියෙව්වා පොතක්. ඒකෙ නම 'ද මෑන් විත් ත්‍රී ෆේසස් ' ( මුහුණු තුනක් ඇති මිනිසා ) මොහු දෙවැනි ලෝක මහා සංග්‍රාමයට කළින් ජපානයේ දේශපාලකයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සබඳතා තිබූ කෙනෙක්. අගමැතිවරයාට චීනය ගැන උපදෙස් දුන් ඔහු කැබිනට්ටුවේ ලේකම් තනතුරත් දැරුවා. ඔහු රුසියාවේ සමහර ක්‍රියාකාරකම් ගැන චෝදනා කරමින් ඒ ගැන කැබිනට් මණ්ඩලයටත් උපදෙස් දුන්නා. අන්තිමේදී යුද්ධ සංවිධානය ගැන රුසියානුවන් මෙහෙයවපු කුමන්ත්‍රණකරුවන් අතර මොහුත් සිටි බව හෙළිවුණා. මැද කොළඹ මන්ත්‍රීතුමාගේ කතාව අහපු මට ඒ පුද්ගලයා ගැන මතක් වුණේ හේතුවක් ඇතිවයි. මම මේ කියන මන්ත්‍රිවරයා ජාති භේද කුල භේද අවුස්සමින් මිනිසුන් තුළ ඇති නරක ගතිගුණ මතු කිරීම ඉතා නරක දෙයක් බව නිතර පවසන්නෙක්. මේ අභාග්‍යසම්පන්න සිංහල - දෙමළ කෝලාහල ඇති වෙන්නට දවස් දෙකකට කලින් කොම්පඤ්ඤ වීදියේ සාප්පු කඩන්නට මිනිසුන් උනන්දු කළේ ඔහු තමයි ".

 

බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව  ජේ.ආර්. ජයවර්ධන මහනුවරට යන ගමනේදී ඉඹුල්ගොඩ දී ආපසු හැරෙන්නට සිදු වූ අවස්ථාව 
 

පීටර් කෙනමන් මන්ත්‍රීවරයා :-

"ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක් ."

ඊරියගොල්ල මන්ත්‍රීවරයා :-

"ඒ මන්ත්‍රීවරයාත් තවත් කිහිප දෙනෙකුත් හයිඩ් පාක් එකේ පවත්වපු රැස්වීමකදී ඒ වැරදි වැඩවලට ජනතාවට උඩගෙඩි දී තිබෙනවා. "

පීටර් කෙනමන් මන්ත්‍රීවරයා :-

"දණ්ඩගමුවේ මන්ත්‍රීවරයා ඒ රැස්වීමේ හිටියේ නෑ. කෝට්ටේ මන්ත්‍රීවරයා හිටියා. දෙහිවල ගල්කිස්ස මන්ත්‍රීවරයා හිටියා. මම කවුරුවත්ම පෙලඹෙව්වේ නෑ."

ඊරියගොල්ල මන්ත්‍රීවරයා :-

"එවැනි දේට මිනිස්සු උනන්දු කෙරෙව්වා."

කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන :-

"ඒවා කළේ මෙයාගේ කුලීකාරයෝ ? "

ඊරියගොල්ල මන්ත්‍රීවරයා :-

"කට වහගන් තක්කඩියා ."

විපක්ෂ නායක :-

"තක්කඩියා කියන්න අවසර නෑ. "

කථානායක :-

"මන්ත්‍රීතුමා ඒ වචනය ඉල්ලා අස් කරගන්න. "

ඊරියගොල්ල මන්ත්‍රීවරයා :-

"මම ඒ වචනය ඉල්ලා අස් කරගන්නවා. ඉතිහාසයේ කවරදාකවත් සිංහලයා මේ තරම් පහත් තත්ත්වයකට වැටිලා නෑ. මේ ආණ්ඩුවේ නායකයා ෆෙඩරල් පක්ෂයේ නායකයා සමග ගිවිසුමට ආවා. මේ ගිවිසුම නිසා උතුරු මැද පළාතේ ඉඩම් ගැනීමට සිංහලයාට බැරි වෙනවා. දෙමළ භාෂාව ජාතික භාෂාවක් හැටියට පිළිගන්නවා. ඊළඟට කලාප සභා ඇති කරනවා. "

අගමැති බණ්ඩාරනායක :-

"ඔය කියන්නේ ඩේලි නිවුස් පත්තරයේ ගිය ලියවිල්ලක් නේද? "

ඊරියගොල්ල මන්ත්‍රීවරයා :

"මොකෙන් හරි කමක් නෑ. මේවා පිළිගන්නේ නැද්ද? "

අගමැති බණ්ඩාරනායක :-

"ඒ ගිවිසුම සම්පූර්ණයෙන්ම පත්තර වල පළවුණා. ඉන් පිටස්තර දෙයක් නෑ."

යාපනය මන්ත්‍රී ජී.ජී.පොන්නම්බලම් ( ද්‍රවිඩ සංගමය ) :

"යාපනයේ කිසිම ජීවිත හානියක් සිදු වුණේ නෑ. "

අගමැති බණ්ඩාරනායක :-

"පොලීසියේ අය හැර ....."

යාපනය මන්ත්‍රී පොන්නම්බලම් :-

"සන්නද්ධ පිරිස එහාට ගියායින් පස්සේ වෙච්ච දේවල් මං දන්නේ නෑ. මං කීවේ සිවිල් ජනතාවගේ ජීවිත හානියක් සිදුවුණේ නැති බවයි."

කම්කරු ඇමැති ටී.බී.ඉලංගරත්න :-

"කාටවත් හිරිහැරයක් වුණේ නැද්ද ? "

පොන්නම්බලම් මන්ත්‍රීවරයා :-

"ජීවිත හානි ගැනයි මම කීවේ. අනාථ වූ අයට දැඩි දුෂ්කරතා ඇති වී තිබෙනවා. "

කම්කරු ඇමැති ටී.බී.ඉලංගරත්න :-

"ගාල්ලේ අනාථයන් නම් හොඳින් ඉන්නවා. "

 

 

බන්ධුල ගුණරත්න

හරියට වැඩ නොගත් රන් මොළ

$
0
0
නොවැ 6, 2020 01:00

රත්තරන් කියන විට 1960 ත් 1975 ත් අතර කාලයේ ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට සිහිපත් වන නම් දෙක තුනක් තිබේ.ඒ ආචාර්ය ඈන්. ඇම් .පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු වමේ නායකයන්ය.

ඔවුන්ගේ උගත් කමත්, බුද්ධියත් රටේ ප්‍රශ්න තේරුම් ගැනීම සදහා තිබූ හැකියාවත්, ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සදහා ඔවුන්ට සැළසුම් තිබෙන බවට කා තුළත් වූ හැඟීම නිසාත් ඒ කාලයේ ඔවුන්ව හැදින්වූයේ "රත්තරන් මොළ"යනුවෙනි.

ජනතාව විශේෂයෙන්ම වැඩ කරන පන්තිය ඔවුන් කෙරේ ගෞරවයකින් යුතුව 'රත්තරන් මොළ කී නමුත් සමහර ධනපති දේශපාලන මත දරණ සංවිධාන සහ විරුද්ධ දේශපාලන පක්ෂ 'රත්තරන් මොළ'යැයි කීවේ ඔවුන්ට අපහාස

උපහාස හා ඔලොක්කු කීරීමටය.

ජනතා ආදරය දිනාගත් ජනප්‍රිය දේශපාලකයා තේරීම සදහා මාධ්‍ය ආයතනයක් (ලේක්හවුස්) මගින් ආරම්භ කළ තරගයෙන් ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මෙරට ජනප්‍රියම දේශපාලකයා ලෙස තේරුණි.

එක් දහස් නවසිය හැට හතර වන විට රට තුළ බලපෑ තත්ත්වයන් යටතේ මේ 'රත්තරන් මොළ'ආණ්ඩුවට සම්බන්ධ විය.එවකට බලයේ සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී.ල.නි.ප යයි.

1964 දී ශ්‍රී ලංකා-සම සමාජ එක්සත් සභාග ආණ්ඩුව ඇති වීය. ආචාර්ය ඈන්. ඇම්.පෙරේරා මහතා මූදල් ඇමැති විය .සම සමාජ පක්ෂය අධිරාජ්‍යවාදීන්ට ධනපතින්ට විරුද්ධව ගෙන ගිය දීර්ස කාලීන අරගලය මත ධනපති පන්තිය කුමන්ත්‍රණකාරී ලෙස ශ්‍රී ලංකා සමසමාජ ආණ්ඩුවට වැඩි කාලයක් බලයේ සිටීමට ඉඩ නොදුන්නේය.

යළිත් 1970 දී සමඟි පෙරමුණ ලෙසින් ශ්‍රී ලංකා-සමසමාජ-කොමියුනිස්ට් සමඟි පෙරමුණ ආණ්ඩුව බලයට පත්වූවේය . 'රත්තරන් මොළ'රැසක් එක් වූ සමඟි පෙරමුණ ආණ්ඩුව ලොව සියලු රටවල් හා සසඳන විට දක්ෂතම විද්වතුන් රැසකගෙන් සපිරි ඇමැති මණ්ඩලයක් විය.

මුදල් ඇමැති බවට පත් වූ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ඉදිරිපත් කළ අයවැය වාර්තා තුළින් 'රත්තරන් මොළ'යන වචනයේ නිරවද්‍යතාවය ලොවටම ඔප්පු කළේය.

එක් නිදසුනක් ලෙස රුපියල් පනහේ, සියයයේ නෝට්ටු තහනම තුළින් රට තුළ සිදු වූ මහා විපර්යාසය දැක්විය හැකිය. එදා මෙරට භාවිතාවේ තිබූ ඉහළම නෝට්ටූව රුපියල් සියයයේ නෝට්ටුව විය.

රටේ සංවර්ධනය සදහා යෙදිය යුතු මූදල් සඟවා ගෙන ගොඩ ගසා ආදයම් බදු ගෙවීම්වලින් මග හැර සිටි කූඨ ව්‍යාපාරිකයින් නිකම්ම අනාවරණය වීමට මෙම ක්‍රියාව ප්‍රබල හේතු සාධකයක් විය.

මේ සිද්ධියෙන් පසුව පෙට්ටගම්වල හෝ වෙනත් කොහේ හෝ මූදල් සඟවා තබා ගත්තෝ බැංකුවල තැන්පත් කරන්නට පෙළඹුණි. ඒ නිසා එම මුදල් එළියට ඇද ගැනීමේ ඉඩ ප්‍රස්ථාව රජයට ලැබිණි.

රත්තරන් මොළය නිසා පමණක් නොවේ දහසක් රත්තරන් වැඩ ගැනද ඇන්.ඇම්.ප්‍රසිද්ධය .

එක සිද්ධියක් නම් ඇන්.ඇම්.මූදල් ඇමැති වූ අවස්ථාවේය.ඒ 1964 දීය. රත්තරන්වලට ප්‍රසිද්ධ හෙට්ටිවීදියේ පිරිසක් ඇන්. ඇම්.හමුවීමට පැමිණියහ.

කහ පැහැයට හූරු දිලිසෙන රෙද්දකින් ආවරණය කළ බන්දේසියක් වැන්නක් එක් අයකු අත විය.

මෙසේ පැමිණි හෙට්ටි වීදියේ ව්‍යාපාරිකයෝ සෑම කෙනෙක්ම අතට අතදී මුදල් ඇමැති ලෙස පත්වීම ගැන ඔහුට සුභ පැතූහ.

අනතුරුව එක් ව්‍යාපාරික මහතෙකු කහ පැහැ රෙද්දෙන් වසා තිබූ බන්දේසිය ඇන්.ඇම් අතට පිළිගැන්වීමට සූදානම් විය. .ඔහු "මේ මොනවාද"යි ඇසීය .

ව්‍යාපාරික මහතා බන්දේසිය වසා තිබූ රෙද්ද ඉවත් කළේය. ඒත් සමගම දීප්තිමත් ආලෝකයක් විහිදෙන්නාක් මෙන් ප්‍රදේශයම ආලෝකමත් බවක් දිස්වුණි.

බන්දේසිය පුරා කොත ගැසුවාක් මෙන් රත්තරන්ය .විවිධ මාදිලියේ හැඩයෙන් යුත් රත්තරන්ය. "මේ මොකදැයි"ඇන්. ඇම්. ඇසූවේය. "පක්ෂයට ආධාර වශයෙන් පක්ෂ කාර්යාලය හදන්න අපෙන් උදව්වක්"ව්‍යාපාරික මහත්වරුන් අතර වූ එක් ව්‍යාපාරික මහතෙක් කීවේය. "පක්ෂයට උදව් නම් ඒවා පක්ෂ කාර්යාලයට ගිහින් දෙන්න"පක්ෂ කාර්යාලය හදන්න පක්ෂයේ අය ඉන්නවානේ.ඇයි ඔයගොල්ලො මේ හදිස්සියේම ඒකට ඉදිරිපත් වූණේ"ඇන්. ඇම් . ඔවුන්ගෙන් ඇසූවේය

"අපි හිතුවා අපි උදව් කරන්න ඕනෑ කියලා"තවත් ව්‍යාපාරික මහතෙක් කියනවාත් සමගම ඇන්.ඇම්. ට කේන්ති ගියේය.

"කරුණා කරල මේක අරන් යනවලා..මට වැඩ තියෙනවා. සංවිධානයක් හැටියට මිසක් මම කැමැති නැහැ මෙයිට පස්සේ ව්‍යාපාරික මහත්වරු හම්බවෙන්න . හැබැයි එහෙම ආවත් ආයෙත් කිසිම දවසක මට තියා මම ඉන්න තැනක කිසිම කෙනෙකුටවත් කිසිම තෑග්ගක් ගෙනෙන්නත් එපා "ඈන්.ඇම් . වේගවත් හඬින් කීවේය.

ඔවුන් සිතුවේ මෙවැන්නක් දීමෙන් ඇන්.ඇම්.සතුටට පත්වනු ඇති බවය.නමුත් වූවේ නොසිතූ දෙයකි..

හෙට්ටි වීදියේ ව්‍යාපාරිකයෝ ආපසු ගියහ.

"ඕව දීලා තමයි ලොකු ව්‍යාපාරිකයො මිනිස්සූ අල්ල ගන්නෙ.ඔය කෝටි ගණනක රත්තරන් ගත්ත නම් මටත් වෙන්නේ කඹුරන්න තමයි කී ඇන්. ඇම්. හහ්...හහ්...හා හයියෙන් සිනා සූනේය.

ඒ කාලයේ රත්තරන් ගෙන ඒම සදහා මූදල් අමාත්‍යාංශයෙන් අවසර පත්‍රයක් ලබා ගත යූතූ විය. එය දෙන්නේ ඔවූන් එක් එක්කෙනාගේ වත්කම් අනූවය.

ඇන්.ඇම්.ට රත්තරන් පිර වූ බන්දේසියක් රැගෙන ආවේ වංචා සහගත ලෙස රත්තරන් ගෙන ඒම සදහා බලපතක් ලබා ගැනීමේ යටි අරමුණ සහිතව ව්‍යාපාරිකයන්ගෙන් දොල. පිදේනියක් හැටියටය.

ඇන්.ඇම්. තම දේශපාලන ජිවිතය ඒවායින් පළුදු කරන්නට නිසි මොහොතක ඉඩ තැබුවේ නැත.

1970 දී මුදල් ඇමැති වූ පසූවද මෙවැනි 'රත්තරන් කතාවක්'තිබේ.

ඒ ශ්‍රී මහා බෝධියේ'රන්වැට 'ට සම්බන්ධ කතාවකි.මේ රන්වැට හදන කාලයේ මුදල් ඇමැතිවරයාව සිටියේ ඇන්.ඇම්. ය. "රුවන්වැලි සෑය කඩනවා. ශ්‍රී මහා බෝධිය විනාශ කරනවා"යැයි කියමින් නවසිය තිස් හතළිස් ගණන්වල විරුද්ධවාදීන් ගේ මඩ ප්‍රචාරවලට ගොදුරු වූයේත් ඈන් .ඇම්.ලා ය. රත්තරන් ගෙන ඒම සදහා විශාල බදු පැනවුණු කාලයකි .වංචාකාරීන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම පිණිස එදා තදබල නීති දමා තිබීමට හේතුවයි . විදේශ විනිමය වංචා කළ මහා පරිමාණයේ හොරු රැසක් මේ දිනවල අත් අඩංගුවට ගෙන තිබිණි.

දානපතියන්ගේ සහායෙන් සාදනු ලබන රන්වැට සැදීමේ කටයුතු අඩපණව තිබිණි

දානපතියන්ගේ සහායෙන් සාදනු ලබන රන්වැට සැදීමේ කටයුතු අඩපණව තිබිණි .

මෙය දැනගත් ඈන්.ඇම්. වහාම කරුණු සොයා බලා ආගමික කටයුතුවලදී අවශ්‍ය රත්තරන් ,ඇතුළු බදුවලින් නිදහස් වූ විනිමය ප්‍රතිපාදන යටතේ ගෙන්වා ගැනීම සදහා අවසරය ලබා දුන්නේය .

රත්තරන් මොළත් , රත්තරන් වැඩත් ගැන කියන්නට තවත් බොහෝ දේ තිබේ. එහෙත් ජාතියේ අවාසනාව මේ රත්තරන් මොළවලින් මාතෘ භූමිය හරියට වැඩ නොගැනීමය.

 

 දයා සෝමසිරි

 


මාලදිවයින කැළඹූ උමා මහේෂ්වරන්ගේ මාලේ ප්‍රහාරය

$
0
0
නොවැ 6, 2020 01:00
ඉන්දීය හමුදා ප්‍රහාර ලැබූ ලුම්පි පලාගිය නැව

අසූව දශකය ලාංකීය දේශපාලනයේ සුවිශේෂ දශකයක් විය. දෙමළ බෙදුම්වාදී සටන් කරළියට එමින් ආරම්භ වූ දශකය අවසන් වූයේ සිංහල තරුණ පිරිසකයේ නැගී සිටීමක් මෙල්ල කරමිනි. එක් අතකින් එය ලෙයින් වැකුණු දශකයක් විය. නිල නොලත් සංඛ්‍යා ලේඛනවලට අනුව ලක්ෂයකට වැඩි පිරිසක් ඝාතනය විය. මේ දශකයේ අවසානයේ ලෝක අවධානය දිනාගත් තවත් සුවිශේෂ සිදුවීමක්ය. ඒ ශ්‍රී ලංකාවට සම්බන්ධ කැරලි කණ්ඩායමක් මාලදිවයින ආක්‍රමණයකට පෙලඹීමයි.

1988 නොවැම්බර් 03 වැනි දින වූ මේ සිදුවීම දකුණු ආසියානු කලාපීය දේශපාලනයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස සැලකේ. එදින හිමිදිරියේ ආයුධ සන්නද්ධ ප්ලොට් සාමාජිකයන් රැගත් අධිවේගී බෝට්ටු දෙකක් ලංකාවේ කල්පිටිය වෙරළින් මාලේ බලා යාත්‍රා කරමින් තිබිණි. 80ක පමණ පිරිසක් මෙම බෝට්ටු දෙකෙහි වූහ. සැලැසුමට අනුව ඔවුන් පෙ.ව. 4.00 පමණ වන විට ජනාධිපති ජැටියට ළඟා වීමට සමත් විය. ප්‍රහාරය මැනවින් සැලසුම් කර තිබුණත් ජනරජ චතුරශ්‍රය දෙසට දිව ගිය කැරලිකරුවකුගේ අත් වැරදීමකින් අත රැඳි ගිනි අවිය පත්තු විය. මෙමගින් මාලදිවයින් ආරක්ෂක අංශවලට අනතුරක ඉව වැටිණි. ඒ අනුව එරට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන්නට විය. කෙසේ වුවද උදෑසන 4.20 පමණ වනවිට කොල්ලකරුවන් ස්වයංක්‍රීය ආයුධවලින් පහරදීම ආරම්භ කර තිබිණි. මේ සමඟම මාලදිවයින් භටයන් දෙදෙනකුගෙන් ප්‍රතිප්‍රහාර එල්ල විය. ඒ සමඟම ජාතික ආරක්ෂක ගොඩනැගිල්ලෙන් සයිරන් නාදය නිකුත්වන්නට විය.

හමුදාව මෙහෙයුමට සූදානම්ව

හිමිදිරියේ සුපුරුදු නිහඩ බව වෙනුවට ගොඩ නැඟෙමින් තිබුණු නොසන්සුන්තාව ජනතාවට කුතුහලයක් ඇති කළේය. මාලේ ජාතික ආරක්ෂක භටයන්ගේ ප්‍රහාර එල්ලවනවාත් සමඟම කුමන්ත්‍රණකරුවෝ කණ්ඩායම් බෙදී මාලේ නගරය පුරා විසිර යන්නට වූහ. එක් කණ්ඩායමක් ජනාධිපති මන්දිරය දෙසටත් තවත් කණ්ඩායම් දෙකක් නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ඉල්යාස් ඉබ්‍රහිම් සහ කථානායක අබ්දුල්ලා හමීඞ් අත්අඩංගුවට ගැනීම සඳහා පිටත්ව ගියහ. අනිත් පිරිස මාලේ නගරය පුරා දිවයමින් කඩ සාප්පු සහ වෙළෙඳ සංකීර්ණ කොල්ල කෑමට පටන් ගෙන තිබුණි.

ත්‍රස්තවාදීන් දොරටු අවුරා තිබූ හෙයින් හමුදා මූලස්ථානයේ සිටි භට කණ්ඩායමට ඉන් පිටතට පැමිණිය නොහැකි වූහ. කැරලිකරුවන්ට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වී තිබුණේ ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමය. මෙහිදී ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ සැලසුමට ඇතුළත්ව නොතිබුණු බව කියැවේ. එදින ජනාධිපතිවරයා මන්දිරයේ නොසිටි බව ද වාර්තාවේ. කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සැලවූ ජනාධිපති ගයුම් තම බිරිය නස්රිනා ඉබ්‍රාහිම්, පුතු ගසාන් හා සේවකයෝ කිහිප දෙනෙක් සමඟ පලා යෑමට සමත් වූහ.

මේ සටන්වලින් කැරලිකරුවන් ගුවන් විදුලි හා රූපවාහිනී මධ්‍යස්‌ථාන මෙන්ම සමහර රාජ්‍ය ආයතන පවා යටත් කර ගත්හ. එහෙත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූ ජනපති මාලිගාව අල්ලා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එමෙන්ම කුමන්ත්‍රණකරුවන්ට අන්තර්ජාතික විදුලි පණිවුඩ මාර්ග විසන්ධි කිරීමේ හැකියාවක් නොලැබුණි. මේ නිසා මාලදිවයින් බලධාරීන්ට විදෙස් හමුදා ආධාර ඉල්ලා සිටීමේ අවස්ථාව උදාවිය.

ඒ අනුව ජනාධිපති ගයුම්, අමෙරිකා එක්සත් ජනපදයෙන්, බ්‍රිතාන්‍යයෙන්, පාකිස්තානයෙන්, මැලේසියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් ආධාර ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සහය දැක්වූ ශ්‍රී ලංකා රජය ද 85 දෙනකුගෙන් සමන්විත කමාන්ඩෝ භට පිරිසක් මාලදිවයිනට පිටත් කර හැරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සීරුවෙන් තබා තිබිණි. මැලේසියාව ද නාවික හමුදා භට කණ්ඩායමක් මාලේ වෙත යැවීමට කටයුතු කළේය. චාගෝස් අචිපෙලාගෝ නම් නෞකාවේ සිටි ඇමෙරිකානු භට කණ්ඩායමක් අවශ්‍ය විටෙක සහය දැක්වීම සඳහා සීරුවෙන් තබා තිබිණි. බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු භට කණ්ඩායම් දෙකක් ද ඉන්දියානු හමුදාව සමඟ එක්ව ක්‍රියා කිරීම සඳහා සූදානම් කෙරිණි. මේ අතරම උදෑසන 10.00 වන විට ඉන්දියානු ගුවන් යානයක්‌ පැරෂුට්‌ භටයන් රැගෙන මාලදිවයිනේ හුලුලේ ගුවන් තොටුපලට සේන්දු විය.

ලුම්පි අත්අඩංගුවට ගත් අවස්ථාව
 

 

මාලේ රාජ්‍ය පෙරළීමේ කුමන්ත්‍රණයට එරෙහිව ඉන්දියාව ගෙනගිය මෙහෙයුම "කැක්‌ටස්‌ මෙහෙයුම" (Operation Cactus) නම් විය. අනපේක්ෂිත ඉන්දියානු මැදිහත්වීම නිසා කැරලිකරුවන්ට උපක්‍රම අතහැර පසුබසින්නට විය.

ඔවුන්ගෙන් පනස්‌ දෙනෙක්‌ පමණ ‘MV Progress Light‍‍‘ නම් භාණ්ඩ ප්‍රවාහන නැවක් බලයෙන් පැහැරගෙන ප්‍රාණ ඇපකරුවන් 27 දෙනකුද සමග ශ්‍රී ලංකාව බලා යාත්‍රා කෙරිණි. පැහැර ගත් පිරිස අතර මාලේ ප්‍රවාහන අමාත්‍ය අහමඩ් මුජුතාබාද විය. ඔත්තු බැලූ ඉන්දීය ගුවන් යානයකට පලා යන පිරිස දර්ශනය විය. පසුව ශ්‍රී ලංකා වෙරළට ආසන්නයෙන් යාත්‍රා කරමින් සිටියදී ඉන්දියානු නාවික යාත්‍රා දෙකක්‌ මගින් කැරලිකරුවන් අල්ලා ගන්නා ලදී. ඒ නොවැම්බර් 06 වැනිදාය. කැරලිකරුවන් නොවැම්බර් 03 වැනිදා ලංකාව බලා ආපසු පලා යෑමට පටන් ගත් මොහොතේ සිට නොවැම්බර් 06 ලංකාව ආසන්නයේදී අත්අඩංගුවට පත්වනතෙක් ප්‍රහාර ගණනාවකට මුහුණ දුනි. එහිදී ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් මරා දැමිණි. තවද ඉන්දියන් හමුදා සාමාජිකයන් ද අවස්ථා ගණනාවකදීම නැවට වෙඩි තැබීය. ඒ සියල්ල මධ්‍යයේ ලංකාවට ආසන්නයට නැව ගෙන ඒමට ලුම්පි සමත් විය.

මේ අතරතුර මාලදිවයින් ආරක්‍ෂක භටයන් හා ඉන්දියානු හමුදා මාලේ නුවර අස්සක් මුල්ලක් පාසා පීරමින් කුමන්ත්‍රණකරුවන් අල්ලා ගැනීමට කටයුතු කළහ. මෙහිදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැණින. සෙසු පිරිස්‌ වෙනත් දූපත් වෙත පලා ගියහ.

ප්‍රහාරය මැඩලීමෙන් පසුව මාධ්‍ය ඇමැතූ ජනාධිපති අබ්දුල් ගයුම් කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ප්‍රාණ ඇපකරුවන්ගෙන් 20 දෙනකු මුදාගෙන ඇති බවත්, හතර දෙනකු මරා දමා ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ ප්‍රහාරයේ අරමුණ වූයේ මාලදිවයිනේ ජනාධිපති මහමුද් ගයුම් ගේ පාලනය බිඳ දැමීම බව අබ්දුල්ලා ලුම්පි පසුකාලීනව ‍‍‘ද අයිලන්ඩ්‘ පුවත්පතට පවසා තිබිණි.

“මට කොහොම හරි ඕනේ වුණේ මොනම ක්‍රමයකින් හරි ගයුම්ව බලයෙන් පහ කරන්නයි. මගේ රටේ මැතිවරණ ක්‍රමයෙන් කිසිම දවසක විපක්ෂයට සාධාරණයක් ඉෂ්ට නොවුණු නිසා බාහිර බලවේගයක් යොදාගෙන හරි ගයුම්ව ඉවත්කරන්න ඕනේ කියන මතයේ මම හිටියා.“

ජනපති අබ්දුල් ගයුම්ගේ පාලනයට එරෙහිව මෙයට පෙර 1980 සහ 1983 වර්ෂවලදී ද මෙවැනි ප්‍රහාර දෙකක් එල්ල වී තිබිණි. එහෙත් ඒවා 1988 ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය මෙන් බරපතළ ඒවා නොවිණි. 1988 සිදුවූ කුමන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයට ලක්විය.

කුමන්ත්‍රණයේ මහ මොළකරු ලෙස හැඳින්වූයේ එකල ලංකාවේ ගොවිපොළ හිමිකරුවකු මෙන්ම මාලේ වැසියකු ද වූ අබ්දුල්ලා ලුම්පි ය. ඔහුට අතීතයේදී මාලදිවයිනේ දූපත් කීපයක්‌ම අයත්ව තිබූ අතර, හොර බඩු ප්‍රවාහනය ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය වී තිබිණි. පැවැති නඩු විභාගයේදී ඔහු ප්‍රකාශ කළේ තමා මේ ආක්‍රමණය සඳහා පෙලඹවූයේ උමා මහේෂ්වරන් බවය. එහිදී ලුම්පි මාලදිවයින් ජනාධිපති කරන බවට ඔහු පොරොන්දුවක්‌ ද දුන් බවද ප්‍රකාශ වී තිබේ.

සැලසුම්කරු ලෙස චෝදනාවට ලක් වන්නේ ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් ය. 1976 මැයි 05 දින පිහිටුවනු ලැබූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආරම්භක සභාපති වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. එම වසරේම එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුණු උමා කෙටි කලකින්ම එහි සභාපතිවරයා විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්, කනගරත්නම් මහතාට කොළඹදී වෙඩි තැබීම, 1978 අප්‍රේල් 07 වැනි දින පොලිස් පරීක්ෂක ටී.අයි.බී. බස්තියන් පිල්ලේ ඇතුළු නිලධාරීන් සිව්දෙනකු ඝාතනය උමා මහේෂ්වරන්ගේ මූලිකත්වයෙන් සිදුවී තිබිණි. එමෙන්ම ඔහු මෙකල පලස්තීනයේ පුහුණුවකට සහභාගිවී තිබිණි. උමාගේ නැගී සිටීම වේළුපිල්ලේ ප්‍රභාකරන්ට රිස්සුවේ නැත. මේ අනුව උමා පිළිබඳ වැඩි අවධානයෙන් සිටින විට උමා - උර්මිලා පෙම් කතාව ප්‍රභාකරන්ගේ කන වැකිණි. මේ හේතුකරගෙන වහාම සංවිධානයෙන් ඉවත්වන ලෙස උමාට ප්‍රභාකරන් දැන්වීය. එහෙත් උමා ප්‍රතික්ෂේප කළේය. දෙදෙදනා අතර ගැටුම් ආරම්භ වීමට මේ පෙම් පලහිලව්ව හේතුවක් ලෙස මතුපිටට පැමිණිය ද සැගවුණු කරුණු ගණනාවක් තිබිණි. සංවිධානයේ ප්‍රතිපත්ති, කුල ප්‍රශ්නය මෙන්ම සංවිධානයේ පිරිසක් උමාට නායකත්වය දෙන මෙන් ප්‍රකාශ කිරීම මෙයට බලපෑවේය. අවසානයේ දෙදෙනා දෙදෙනාටම මරණ වරෙන්තු නිකුත් කර ගත්හ.

උමා මහේෂ්වරන්

 

1980දී උමා විසින් ද්‍රවිඩ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය(PLOTE) පිහිටුවා ගන්නා ලදි. 1982 මැයි 19 මදුරාසියේ පොන්ඩි බසාර් සිනමා ශාලාව ඉදිරිපිට දෙදෙනා මුහුණට මුහුණ වෙඩි තබාගත්හ. අවසානයේ පොලිසිය විසින් දෙදෙනාම අත්අඩංගුවට ගත් අතර රුපියල් 3000/= ඇප මත සියලු දෙනාට නිදහස ලැබිණි. 1981 කිලිනොච්චි මහජන බැංකු මංකොල්ලයටද උමා මහේෂ්වරන් සම්බන්ධ විය.

මෙසේ ලාංකීය දෙමළ සන්නද්ධ ව්‍යාපාරය තුළ උමා යනු සුවිශේෂ සලකුණකි. මේ අතර 1987 දී අත්සන් කෙරුණු ඉන්දු - ලංකා ගිවිසුමට අනුව උමා මහේෂ්වරන් ඇතුළු පිරිසට ලංකා රජයේ සමාව හිමිවූහ. පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විජය කුමාරතුංග මහතා සමඟ එක්ව කටයුතු කිරිමට පෙලඹිණි. වරෙක අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැදුටු හෙතෙම නොබෙඳුණු රටක් වෙනුවෙන් තමන් කටයුතු කරන බවත්, ජනවාර්ගික ප්‍රශ්නය අවි මගින් විසඳුම් සෙවිය නොහැකි බවත්, ඒ අනුව තම පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් කරන බවද දැන්වීය.

කෙසේ වෙතත් ඇතැම් විචාරකයන්ට උමාගේ යට කී අරමුණු වෙනස්වී තිබුණු බව මාලදිවයින් කුමන්ත්‍රණයෙන් පැහැදිලිවිය. ඇතැම් විචාරකයන්ට අනුව මෙම මෙහෙයුමේදී ඔවුන්ට අරමුණු කිහිපයක් තිබී ඇත. ප්ලොට්‌ (PLOTE) සංවිධානයට අරමුදල් එකතු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යෑම, ආයුධ එක්‌රැස්‌ කිරීම සඳහා ස්‌ථානයක්‌ හිමි කර ගැනීම හා තම සංවිධානයට අයත් ගරිල්ලන් පුහුණු කිරීමත්ය.

මාලේ කුමන්ත්‍රණය මෙහෙය වූ අබ්දුල්ලා ලුම්පිට චෝදනා 18 ක්‌ද යටතේ හා අනෙක්‌ සැකකරුවන්ට චෝදනා 15 යටතේ ද නඩු විභාගය පැවැත් වුණි. 1989 අගෝස්‌තු මාසයේදී ලුම්පි ඇතුලු 15 දෙනකුට මරණීය දණ්‌ඩනය නියම විය. අනතුරුව මරණ දඩුවම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට ද පත්කෙරිණි. පසුව ලුම්පි නිදහස් වූ අතර මේ වනවිට ඔහු තම අනන්‍යතාව වෙනස් කරගෙන ලංකාව හෝ වෙනත් විදෙස් රටක ජීවත්වන බව සැලකේ.

අබ්දුල්ලා ලුම්පි
 
 

කුමන්ත්‍රණය පිළිබඳ මීට වසර කිහිපයකට පෙර ‍‍‘ද අයිලන්ඩ්‘ පුවත්පතට සාකච්ඡාවක් ලබා දී තිබිණි.

“අපිට ආපසු යන්න කිසිම විදිහක් තිබුණේ නැහැ. බලය අල්ලා ගැනීම සාර්ථක වෙයි කියන විශ්වාසය මත අපි මාලදිවයිනට ආව ටෝලර් බෝට්ටු යාත්‍රා ආපසු යවන්න කටයුතු කළා. ඉන්දියානු පැරෂුට් භටයන් අග නගරයට ගොඩ බසිනවාත් එක්කම අපි මාලේ වරාය පැත්තට පසු බැස්සා. මේ වෙද්දි ප්ලොට් සාමාජිකයන් දෙදෙනෙක් මිය ගිහින්ලා තිබුණේ. වරායේ නවතා තිබුණු ‘MV Progress Light‍‍‘ නැව පැහැර ගන්නවා හැරෙන්න අපිට දිවි ගලවා ගන්න වෙනත් කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. තුන් වැනිදා දහවල් 11 විතර වෙද්දි අපි ඒකේ නැගලා පලා ආවා. මිය ගිය අයගේ සිරුරුත් දාලයි ආවේ...“

මාලදිවයින් හිටපු ජනාධිපතිවරයකු වූ ඊබ්‍රාහිම් නසීර් මෙම කුමන්ත්‍රණයට සහාය දැක්වූ බවට චෝදනා එල්ල වී තිබිණි. එහෙත් පසුව අනාවරණය වූ කරුණු අනුව ඔහු එම චෝදනාවෙන් නිදොස් කෙරුණි. නඩු තීන්දුව ලැබීමට කලකට පෙර උමා මහේෂ්වරන්ව කොළඹදී වෙඩි තබා ඝාතනය කෙරිණි. උමා මහේෂ්වරන්ගේ මරණයට එල්.ටී.ටී.ඊ යට චෝදනා එල්ල වුවද, තවත් විටක ෆ්ලොට් සංවිධානයේ අභ්‍යන්තර අර්බුදයක් නිසා වූ ඝාතනයක් බව ද කියැවේ. අසාර්ථක මාලදිවයින් ප්‍රහාරයද ඔහුගේ ඝාතනයට හේතුවූ බව ද තවත් මතයකි. කෙසේ වුව ද ඔහුගේ මල සිරුර හමු වුයේ කොළඹ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය අසල දමා ගොස් තිබියදීය.

මාලදිවයින් ආක්‍රමණය සම්බන්ධයෙන් ද විවිධ දේශපාලන අර්ථකථන ඉදිරිපත්ව තිබේ. ඉන් ප්‍රධාන වශයෙන් පිළි ගැනෙන්නේ අබ්දුල් ගයුම්ගේ පාලනය බිඳ වැටීම එහි අරමුණ වූ බවය. එහෙත් මෙහිදී තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ ඉන්දියාවෙන් එල්ල වූ බලපෑමට ලංකාවේ පිරිසකගේ විරෝධය පෑමක් වෙනුවෙන් මාලදිවයින් ප්‍රහාරය සිදු වූ බවය.

 

 

 මලික් චමින්ද ධර්මවර්ධන

 

දේශපාලනය කලාව යා කළ කලාකරුවෝ

$
0
0
නොවැ 6, 2020 01:00
සාගර පලන්සූරිය. ඊරියගොල්ල

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ දේශපාලනය යනු සෑම මිනිසෙකුගේම අයිතියකි. ඡන්දය ප්‍රකාශ කිරීම, කැමති දේශපාලන මතයක් දැරීම, පවතින දේශපාලනය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම, ප්‍රතිවිරුද්ධ මත විවේචනය කිරීම පමණක් නොව මැතිවරණවලට ඉදිරිපත් වීම, ජනතාව නියෝජනය කිරීම ආදිය සෑම මිනිසෙකුටම හිමිවන දේශපාලන අයිතිවාසිකම් ලෙස සැලකෙයි. එම නිසා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භූමිකාව තුළ විවිධ අංශවලින් නියෝජනය කරන පිරිස් ජනතා නියෝජිතයන් ලෙස ස්වකීය පාලන බල ප්‍රදේශ නියෝජනය කරති. ඒ අතර ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, මහාචාර්යවරු, නීතිඥවරු, මාධ්‍යවේදීහු, පැවිද්දෝ මෙන්ම කලාකරුවෝ ද ජනතාව නියෝජනය කරති.

එදා මෙදා තුර ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසය තුළද ජනතාව නියෝජනය කළ කලාකරුවන් රැසකි. ඒ අතර ලේඛකයෝ, රංගන ශිල්පීහු, ගායකයෝ ආදිහු වෙති. සාගර පලන්සූරිය, ටී. බී. ඉලංගරත්න, අයි.එම්.ආර්.එ්. ඊරියගොල්ල, ඒ.වී. සුරවීර වැනි ලේඛකයෝ මෙන්ම ගාමිණි ‍ෆොන්සේකා, රවින්දු රන්දෙණිය, ජීවන් කුමාරණතුංග, රන්ජන් රාමනායක, මාලනි ෆොන්සේකා, උපේක්ෂා ස්වර්ණමාලි, උද්දික ප්‍රේමරත්න වැනි රංගන ශිල්පියෝ සහ ශීල්පිනියෝ එදා මෙදා තුර ලාංකීය පාර්ලිමේන්තුව නියෝජනය කළෝ වෙති.

ලේඛකයකු වූ සාගර පලන්සූරිය නොහොත් කේයස් ලාංකීය පාර්ලිමේන්තුව නියෝජනය කළ කලාකරුවන් අතර ඉදිරියෙන්ම සිටී. 1947 වසරේදී පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකත්වය ගත් කේයස් කවියෙක් ලෙස රට පුරාම ප්‍රසිද්ධියට පත්ව සිටියේය. 1956 වසරේදී හොරණ ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කේයස් කවියා සමත් විය. වාමාංශික අදහස් සහිත දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ සාගර පලන්සූරිය ග්‍රාමීය කෘෂිකර්මය උදෙසා සැලකිය යුතු ‍සේවාවක් ඉටු කර ඇති බව අතීත වාර්තා අනුව පෙනී යයි.

ලාංකීය පාර්ලිමේන්තුව නියෝජනය කළ කලාකරුවන් අතර ටී. බී. ඉලංගරත්න මහතා සිදු කළ සේවාව අති මහත්ය. රාජ්‍ය සේවයේ ලිපිකරුවෙක් වශයෙන් වෘත්තිය ජීවිතය අරඹන ඉලංගරත්නයෝ පසුව රජයේ ලිපිකරු ‍සේවා සංගමයේ නායකත්වයට පත් වූහ. වෘත්තිය සමිති නායකත්වයෙන් දේශපාලන ජීීවිතයට පන්නරය ලබන ඉලංගරත්න මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වී 1956 වසරේදී කම්කරු අමාත්‍ය ධුරයට පත් වන්නේය. එහිදී මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් කිරීම, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, කම්කරු ආරවුල පනත සම්මත කරවීම, දරු ප්‍රසූතිය ස‍ඳහා මාතෘ නිවාඩු ලබා දීමේ පනත ගෙන ඒම, කම්කරු වන්දි පනත සම්මත කිරීම ඇතුළු කම්කරු සුබසාධනය උදෙසා සුවිසල් කාර්යභාර්යයක් එතුමා විසින් ඉටු කරන ලදී. මේ සියල්ල සිදුවූයේ ටී. බී ඉලංගරත්න මහතා කම්කරු අමාත්‍යවරයාව සිටි කාල පරිච්ඡේදයේදී ය. ඉලංගරත්නයන් නිවාස ඇමතිව සිටි කාලයේදී බැංකු නිවාස ණය ක්‍රමය පුළුල් කිරීම සිදු කළ අතර, ධනපතියන්ට පමණක් සීමා ව තිබූ සුඛෝපභෝගී නිවාස ණය ක්‍රමය පොදු ජනතාවට ද හිමි කර දීමට කටයුතු කරන ලදී. ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස එවකට ලක්දිව පැවති ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කර ග්‍රාම සේවක තනතුර ඇති කිරීමට කටයුතු කළ මෙතුමා මුදල් ඇමතිව සිටි කාලයේ මහජන බැංකුව ස්ථාපිත කිරීමට කටයුතු කළේය.

එසේම වෙළෙඳ ඇමතිවරයා ‍‍ලෙස ජනසතුකරණ වැඩපිළිවෙළ යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිහි කිරීම, රක්ෂණ සංස්ථාව බිහි කිරීම සහ ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කිරීම සිදු විය.එසේම සතොස, සළුසල ආදිය නිර්මාණය කිරීමට ද ඉලංගරත්නයෝ මග පෙන්වූහ. අඹ යහළුවෝ, විලම්බීත, ශිෂ්‍යත්වය ඇතුළු සාහිත්‍ය කෘති ලියමින් ලේඛකයෙක් ලෙස ජනතාව වෙත සමීප වූවා සේම ඉලංගරත්නයෝ දේශපාලනඥයෙක් ලෙස සුවිසල් කාර්යභාර්යයක් ඉටු කරමින් පෙදු ජනතාවට සමීපස්ථ වූහ.

මනුතාපය, දේවතාපය ආදී පරිවර්තන කෘති, නවකතා රැසක් ලියූ ලේඛකයෙක් ලෙස ප්‍රකට අයි. එම්. ආර්. එ ඊරියගොල්ල මහතා ද ලාංකීය දේශපාලනයේ සුවි‍ශේෂී සලකුණකි. එතුමා ලංකා පාර්ලිමේන්තුවේ ස්වදේශ කටයුතු, අධ්‍යාපන, සංස්කෘතික කටයුතු ආදී ක්ෂේත්‍ර කිහිපයක අමාත්‍ය ධුර රැසක් හෙබවීය. එවකට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුළ වෙනස්කම් රැසක්ම සිදු කිරීම, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය ‍ගෙන කටයුතු කිරීම ඊරියගොල්ල මහතා, අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන කාලයේදී සිදුු කළ සුවිශේෂි සේවාවන් ලෙස සැළකෙයි.

ලාංකීය කලාකරුවන් අතර පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ. වී. සුරවීර මහතා විදග්ධ සාහිත්‍යධරයෙකි. මහාචාර්යවරයෙක් වන එතුමා 1994 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. සංස්කෘතික සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ධුරය එතුමාට හිමි විය. එහිදී කෞතුකාගාර පුස්තකාල සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම, කලාකරුවන් 150කට සාම විනිසුරු පදවි ප්‍රදානය කිරීම, රට පුරා සංස්කෘතික මධ්‍යස්ථාන බිහි කිරීම ආදී සේවාවන් ඒ. වී. සුරවීරයෝ විසින් සිදු කළහ.

ශ්‍රී ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙක් වන ප්‍රවීණ සිනමා රංගන ශිල්පී ගාමිණි ෆොන්සේකා මහතා ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙකි. 1989 වර්ෂයේදී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණි ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර ද හෙබවීය. 1994 වසරේදී එතුමා උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත් විය. ඍජු නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ ගාමිණි ෆොන්සේකා මහතා ජාතින් අතර එකමුතුභාවය ඇති කිරීමට ද වෙහෙස වී කටයුතු කළ අයෙකි.

පාර්ලිමේන්තුව යන්නට වරම් නොලැබුවද අකලට මිලින නොවුණා නම් නිසැකවම පාර්ලිමේන්තු යන්නට සුදුසුකම් ඕනෑවටත් වඩා සපුරා තිබූ අයෙක් ලෙස විජය කුමාරණතුංග මහතා හැඳින්විය හැකිය. කලාකරුවෙක් ලෙස දේශපාලන භූමිකාව තුළ එතුමා ඉටු කළ සේවය මිල කළ නොහැකිය. කිහිපවරක්ම පාර්ලිමේන්තුවට තරග කළත් විජය කුමාරතුංගයෝ ඉන් පරාජයට පත් වූහ. පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවූ මෙතුමා වටා සුවිසල් ජන බල පවුරක් නිර්මාණය විය. ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට විජය මහත් සේ වෑයම් කළහ. එකල පැවති අර්බුදකාරී දේශපාලනයේ ගොදුරක් බවට පත් නොවුණා නම් විජය කුමාරතුංගයෝ රටේ ප්‍රධාන නායකත්වයට පත්වන්නට ද ඉඩ තිබුණා යැයි කීම විවාදයට කරුණක් නොවේ.

ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ කලාකරුවෙක් වන ගාමිණි ෆොන්සේකා මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන අනෙකුත් කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ කලාකරුවන් කිසිවිටකත් දේශපාලනය සමඟ සම්බන්ධ නොවන ලෙසයි. දේශපාලන කටයුතු කිරීමෙන් තමාට ඇති වූ කලකිරීම, අනෙකුත් කලාකරුවන්ගෙන් එසේ ඉල්ලා සිටීමට හේතු වූ බව ගාමිණි ෆොන්සේකා මහතාගේ අදහස විය. කෙසේ නමුත් එදාමෙදා තුර ලාංකීය පාර්ලිමේන්තුව නියෝජනය කළ කලාකරුවන් සිය පාර්ලිමේන්තු නියෝජනය තුළින් රටට අඩු වැඩි වශයෙන් හෝ සේවයක් සිදු කර ඇති බව පෙනී යයි.

 

 පසිඳු මිහිරාන් රැටියල
 

එක වැඩි ඡන්දයෙන් බලය ඇල්ලූ අනූ හතරේ පෙරළිය

$
0
0
නොවැ 6, 2020 01:00

1994 මහමැතිවරණය රසවත් සිදුවීම් රැසක් දේශපාලන ඉතිහාසයට ඉතිරි කළ පෙරළිකාර මැතිවරණයකි. පළමුවැන්න වූයේ අවුරුදු 17ක් එක දිගට පාලන බලය මෙහෙයවූ එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රතිවාදී පක්ෂවලට සිදු වීම යි. ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ බලකණු කිහිපයක් ම අවාසනාවන්ත ලෙස මරණයට පත් වී තිබීම ඊළඟ කරුණ විය. එමෙන් ම විදේශගත ව සිට ලංකාවට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ වේගවත් දේශපාලන ගමන සුවිශේෂී කරුණකි. සමානුපාතික ක්‍රමයට පැවැත්වූ ‍දෙවන මහ මැතිවරණය 1994 මහ මැතිවරණයයි.

එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සිරිමා බණ්ඩාරනායක මැතිනිය අතින් ගිලිහෙමින් පැවතිණ. අනුර බණ්ඩාරනායක මහතා සිය මවගෙන් පක්ෂයේ බලය උදුරා ගැනීමේ උපක්‍රමයක නියැළී සිටියේය. බලය ඔහු වෙත ලබා දීමට මැතිනිය කැමැත්තෙන් සිට ඇති වුව ද අනුරට එය ඉක්මනින් ම ලබා ගැනීමට අවශ්‍ය විය. මේ නිසාම අනුර බණඩාරනායක පසුපස ද සැලකිය යුතු පිරිසක් ඒකරාශී වූහ. එවක පක්ෂයේ මහ ලේකම්ව සිටි සූරියප්පෙරුම මහතා ඉවත් කිරීමෙන් පසු අනුර බණ්ඩාරනායක එම තනතුරට පත්කිරීමට යෝජනා වූ නමුදු මැතිනියගේ බලවත් අකමැත්ත නිසා ධර්මසිරි සේනානායක මහතා තාවකාලික ව මහලේකම් ලෙස පත් කෙරිණි. ඔහු මිය යන තෙක් ම එම ධූරයේ කටයුතු කළේ ය. පසුව එහි මහලේකම් වූයේ එස්.බී.දිසානායක මහතා ය. මැතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අපේක්ෂාව පැවතියේ බණ්ඩාරනායක මැතිනියට ය. නමුත් ඇය අසනීප වූවාය.

මේ අතර විදසේගතව සිට නැවත පැමිණ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂය වෙත නැවත ගෙන්වා ගැනීමේ කටයුත්ත සිදු කළේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, මංගල සමරවීර, රෙජිනෝල්ඩ් කුරේ ආදීහු ය. කෙසේ හෝ බණ්ඩාරනායක මැතිනියගේ කැමැත්ත ඇතිව ඇය බස්නාහිර පළාත් සභා මහ ඇමැතිනිය වූවාය. එම පක්ෂයේ බහුතරයකගේ ඉල්ලීම අනුව චන්ද්‍රිකා අගමැති අපේක්ෂිකාව බවට පත් වූවා ය. එපමණක් ද නොව මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය වැනි වාමාංශික පක්ෂ සමඟ එක් වී පොදු පෙරමුණක් ලෙස ය. එහි නම වූයේ ‘පොදුජන එක්සත් පෙරමුණ‘ ය. මෙම නව බලවේගයට ජනතා ප්‍රසාදයක් ද පැවති බැව් සිහි කටයුතු ය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයා වශයෙන් එවක කටයුතු කළේ ආර්.ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසුව නිතරගයෙන් පත් වූ ඩී.බී.විජේතුංග මහතාය. 1993 වසරේ අග්‍රාමාත්‍ය තනතුරට පත්කර ගනු ලැබූවේ රනිල් වික්‍රමසිංහ මහතා ය. ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා ආමර් වීදියේ දී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වන්නේ 1993 මැයි මස 01 වැනිදා ය. ඉන් අනතුරුව ලලිත් ඇතුලත්මුදලි මහතා ද මැතිවරණ වේදිකාවේ තවත් සගයන් 04ක් සමඟ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත් විය. ඩී.බී.විජේතුංග මහතා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබා දුන්නේ ය.

මහ මැතිවරණය පැවැත් වූයේ 1994 අගෝස්තු මස 16 වන දිනයේ දී ය. අවුරුදු 17ක් පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය නිමා කිරීමේ අපේක්ෂාව ජනතාව තුළ පැවති බැව් පෙනෙන්නට තිබුණි. නමුත් සමානුපාතික නියෝජන ක්‍රමය තුළ තනි පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. 1989 මහ මැතිවරණයට සාපේක්ෂ ව වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට තිබුණි. ආණ්ඩුව පෙරළීමට ජනතාවට අවශ්‍ය ව තිබූ බවට පළමු පෙරනිමිත්ත එය විය. එ් අනුව මැතිවරණය අවසානයේ පොදු පෙරමුණ ට මැතිවරණ දිස්ත්‍රික් 13 ක ජයග්‍රහණය සමග ආසන 105 ක් ද, එක්සත් ජාතික පක්ෂය ට මැතිවරණ දිස්ත්‍රික් 5 ක ජයග්‍රහණය සමගින් ආසන 94 ක් ද,යාපනය දිස්ත්‍රික්කයේ ජය හිමිවූ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 9 ක් ද මඩකලපුව හා ත්‍රිකුණාමලය ජයගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ට ආසන 5 ක් ද මුස්ලිම් කොංග්‍රසයට ආසන 7 ක්ද හිමිවිය. පොදු පෙරමුණ ට ආසන 113 හිමි නොවූවද කුඩා පක්ෂවල සහයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුත් නව රජයක් බිහි කිරීමේ අපේක්ෂාව කිසිසේත් අත් හරින්නට චන්ද්‍රිකා මැතිනිය සමඟ සිටි පිරිස අකමැති වූහ.

එම මැතිවරණයේ දී මනාප ඡන්ද ලක්ෂයකට වඩා ගත් අපේක්ෂකයින් ගණන 05කි. කොළඹ, ගම්පහ, ගාල්ල, මහනුවර නියෝජනය කරමින් ඔවුහු මනාප ඡන්ද ලක්ෂය ඉක්මවූහ. ඔවුන් වූයේ අගමැති අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය (මනාප ඡන්ද 464588), රනිල් වික්‍රමසිංහ (මනාප ඡන්ද 291194), අමරසිරි දොඩංගොඩ (මනාප ඡන්ද 176151), ශ්‍රීමනී ඇතුලත්මුදලි (මනාප ඡන්ද 148727), ගාමිණී දිසානායක (මනාප ඡන්ද 198207) අයයි.

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ ජයග්‍රහණය පිටුපස සහ රජයක් පිහිටුවීම පසුපස සිටි දැවැන්ත ම චරිතය වූයේ එස්.බී දිසානායක මහතා ය. එමෙන් ම රාවය කර්තෘ වූ වික්ටර් අයිවන්, හේමසිරි ප්‍රනාන්දු මහත්වරු ද ඇයට විශාල ශක්තියක් දුන් අය වූහ. විශ්වවිද්‍යාල දේශපාලනයෙන් ද වාමාංශික දේශපාලනයෙන් මෙන් ම මැතිනිය සමඟ පක්ෂ දේශපාලනයේ ද අත්දැකීම් බහුල තරුණ ජවයෙන් යුත් එස්.බී.ගේ පළමු බලාපොරොත්තුව වූයේ එක්සත් ජාතික පක්ෂ රජය පරාජය කිරීම යි. මංගල සමරවීර, රාජිත සේනාරත්න, රිචඩ් පතිරණ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, නිමල් සිරිපාල, නන්දිමිත්‍ර ඒකනායක, අලෙවි මවුලානා ආදීහු ද ඔහු සමඟ එම මතය නියෝජනය කළහ. කේ.බී රතනායක, අනිල් මුණසිංහ, ධර්මසිරි සේනානායක, අනුරුද්ධ රත්වත්තේ ආදීහු ද එහි පෙරමුණේ සිටියහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බූදය දිගින් දිගට ම පැවතිණි. ආර්.ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසුව ගාමිණී දිසානායක, ඔසී අබේ ගුණසේකර ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වූහ. කෙසේ වෙතත් අවසන ඉහත ඡන්ද ප්‍රතිඵලයෙන් සෑහීමකට පත් වන්නට විය. නමුත් ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ ඇත්තේ ගැටලුවකි. විධායක ජනාධිපති බලය ඇත්තේ එජාපයට ය. ඒ වන විට මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයාට ජනපති ඩී.බී.විජේතුංග මහතාගෙන් ඇමතුමක් ලැබී තිබුණි. ඔහු කොළඹට ගෙන ඒමට එතුමා විසින් විශේෂ ගුවන් යානයක් ද පිටත් කොට හරින ලදී.

මේ අතර එස්.බී.දිසානායක මහතා මැතිවරණ ජයග්‍රහණය ද සහිත ව චන්ද්‍රෙස්කරන් මන්ත්‍රී වරයා තම පාර්ශ්වයට එකතු කර ගැනීමට කටයුතු කරමින් සිටියේය. චන්ද්‍රෙස්කරන් මහතා ත් එස්.බී. දිසානායක මහතා ත් එක ම දිස්ත්‍රික්කය නියෝජනය කළෝ ය. මැතිවරණයේ දී ද චන්ද්‍රෙස්කරන්ට උදව් කළ එස්.බීට ඔහු රැගෙන උදෑසන ම කොළඹ පිටත්වීමට වැඩි වේලා ගත වූයේ නැත. චන්ද්‍රෙස්කරන් මහතාගේ අත්සන ගත් ඔහු චන්ද්‍රෙස්කරන් මහතා රොස්මිඩ් පෙදෙසේ නවත්වා මංගල සමරවීර ද සමඟ අනෙක් පැත්තට ගියේ මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රෆ් මහතා රැගෙන ඒමටය. ගුවන්යානයෙන් බහිනවාත් සමඟ සිය වාහනයට අෂ්රෆ් මහතා නංවා ගන්නා මංගල සහ එස්.බී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමෙන් අනතුරුව කෙළින් ම කතා කරන්නේ ජනපති ඩී.බී.විජේතුංගටය. ‘සර් අපිට 113 තියෙනවා‘ .එවිට අනෙක් පසින් ‘එස්.බී. වහාම ජනාධිපති මන්දියරයට එන්න’ යි ජනපතිගේ ඉල්ලීම විය.

ඒ වනවිට බණ්ඩාරනායක මැතිනියට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන්නට ජනපතිවරයා තීරණයකට පැමිණ සිටියේය. එය නීත්‍යානුකූල ය. මක්නිසාදයත් එවක ශ්‍රීලනිපයේ මෙන් ම පොදු පෙරමුණේ ද නායිකාව වූයේ ඇය බැවිනි. ඒ වනවිට චන්ද්‍රිකා මැතිනියගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනි පක්ෂයේ අනෙකුත් කණ්ඩායම් ද උත්සාහ ගනිමින් සිටින අවස්ථාව ය. චන්ද්‍රිකා මැතිනිය ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනපතිවරයා හමුවීමට ගොස් ඔහු ලවා ජනපති ඩී.බී.විජේතුංගට කතා කෙරෙව්වේ ය. ජේ.ආර්. ගේ අදහසට පිටුපාන්නට කිසිසේත් ම ඩී.බී. විජේතුංග ජනපතිවරයා ක්‍රියා නොකළේය.

ඔහු චන්ද්‍රිකා මැතිනියට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළේය. ඇගේ පිළිතුර වූයේ ‘ඕනෑම මොහොතක, මේ දැන් වුව ද දිවුරුම් දීමට තමා සූදානම් බව ය. නමුත් ජනපතිවරයා පැවසූයේ නැකත් වේලාවක් බලා එය ඉටු කළ හැකි බව ය. හදිසියට නැකැත් බැලීම සඳහා එස්.බී.දිසානායක මහතා තෝරාගෙන තිබුණේ එවක මැලේරියා මර්ධන ව්‍යාපාරයේ කටයුතු කළ ෆොන්සේකා නැමැත්තෙකි. ඔහු විසින් සකස් කර දෙනු ලැබූ නැකතකට අනුව අවසන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පොදු පෙරමුණු ආණ්ඩුවක් පිහිට වූවාය.

 

 ගයාන් පීරිස්

ලංගමය වමෙන් පැද වූ අගලවත්තේ අනිල්

$
0
0
නොවැ 6, 2020 01:00
අනිල් මුණසිංහ

ශ්‍රී ලාංකීය දේශපාලනයේ අඳුරුම කාල පරිච්ඡේදයක සටන්කාමී අරගලවලට ජීවය දුන් රැඩිකල් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ලංකා සමසමාජ පක්ෂයට ඇත්තේ ගෞරවාන්විත ඉතිහාසයකි. එවැනි ජනතා අරගලවලින් සැදුම්ලත් වමේ ව්‍යාපාරයේ සදා නොමියෙන මතකයක් ඉතිරි කළ මිනිසුන් අතර අනිල් කුමාර මුණසිංහ යනු නැවත නැවතත් අප විසින් කිය විය යුතු අගනා දේශපාලන චරිතයකි.‍

මාක්ස්වාදය ගුරුකොටගත් බොහෝ දෙනා ජනතා ප්‍රශ්න හමුවේ මුළු සමාජ ක්‍රමයම වෙනස් කළ යුතු බව පවසමින් ඇඟ බේරාගන්නා න්‍යාය අනිල් කුමාර මුණසිංහ තුළ නොවීය. ඔහු ඕනෑම අයෙකුගේ ප්‍රශ්නයක් විසඳීමට ක්‍රියා කළ ප්‍රායෝගික දේශපාලනඥයෙකි. බටහිර ජාතීන්ට ගැති නොවී නිදහස් නිවහල් ජාතියක් වශයෙන් සිංහල බෞද්ධයා නැඟී සිටිය යුතු බව අවධාරණය කොට ජාතිය අවදි කළ අපේ ජාතික වීරවරයෙකු වූ අනගාරික ධර්මපාලතුමාගේ මුනුබුරෙකු වශයෙන් අනිල් කුමාර මුණසිංහයන්ට ඇත්තේ අභිමානවත් පවුල් පසුබිමකි.

දොන් කරෝලිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වූ පියදාස මුණසිංහ සහ සීතා මුණසිංහ යන දම්පතීන්ගේ වැඩිමහල් පුත්‍රයා වූ අනිල් කුමාර මුණසිංහට ‘අනිල්’ යන බෙංගාල නාමය දමා ඇත්තේ අනගාරික ධර්මපාලතුමාය. සිය මුනුබුරාගේ රන්කිරි කට ගෑමේ උත්සවයට සහභාගි වූ ධර්මපාලතුමා පවුමක මුදලක් පරිත්‍යාග කොට ‘රටට වැඩදායී දරුවෙක් වෙයන්’ යනුවෙන් පැවසූ බව අනගාරික ධර්මපාලතුමාගේ දින පොතේ සඳහන් වී ඇත. කොළඹ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලැබූ අනිල් මලල ක්‍රීඩකයෙකු හා රගර් ක්‍රීඩකයෙකු වශයෙන් නමක් දිනා ගත්තේය. ලංකා විශ්වවිද්‍යාලයෙන් හා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය හදාරා බැරිස්ටර්වරයෙකු වූ අනිල් එංගලන්ත කම්කරු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. මාක්ස්වාදය ගැඹුරින් හැදෑරූ අනිල් එකල පැවැති ස්ටාලින් හා ට්‍රොට්ස්කි යන මතවාදයන් අතර උග්‍ර ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස ක්‍රියා කළේය. ස්ටාලින් වාදයේ සහ ට්‍රොට්ස්කි වාදයේ මතවාදී සටන එකල අපේ සරසවි සිසු සිසුවියන් අතර ද ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. ඒ මතකය අවදි කළේ හිටපු අමාත්‍යවරයෙකු වූ ආචාර්ය සරත් අමුණුගමයන්ය. ‘පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ටාලින් ට්‍රොට්ස්කි මත ගැටුම ගැන විවාදයක් සංවිධානය කළෝය. ඉංග්‍රීසි බසින් පැවැති මෙම දෙසුම්වලට තිස්ස විජයරත්න නම් එංගලන්තයේ අධ්‍යාපනය ලද කොමියුනිස්ට් පක්ෂයට හිතැති අප දන්නා හඳුනන අයෙක් ඊට සහභාගි විය. මේ දෙසුමට පිළිතුරු සැපයීමට සමසමාජ පක්ෂයෙන් ඇන්. ඇම්, කොල්වින් වැන්නන් ඉදිරිපත් වීම තිස්ස විජයරත්නට අනවශ්‍ය තැනක් දීමක් ලෙස සැලකූ සමසමාජ පක්ෂය, ඊට සුදුස්සා ලෙස පේරාදෙණිය සරසවියට යැවීමට තීරණය කළේ තරුණ අනිල්වයි. පේරාදෙණිය සරසවියේ කලා ගොඩනැගිල්ලේ අතුරු සිදුරු නැතුව සිසුවන් රැස් වී සිටි මොහොතේ ටී ෂර්ට් එකින් සැරසී ඉතා කඩවසම් අනිල් වේදිකාවට පැමිණි ආකාරය මා මතකයේ ඇත. ඔහු ඉතා කඩවසම් හා දැකුම්කලු පුද්ගලයෙක් වූයෙන් සරසවි සිසුවියන් මහත් උනන්දුවෙන් ඔහු දෙස බලාගෙන උන්හ. එදා අනිල්ගේ කතාව තිස්ස විජේරත්නගේ කතාවට හාත්පසින්ම වෙනස් එකක් විය. ඔහු සංඛ්‍යා ලේඛන සමූහයක් ඉදිරිපත් කරමින් ස්ටාලින්වාදීන්ගේ තර්ක බිඳ හෙළීමට මහන්සි ගත්තේය.’

එකල සරසවි සිසුවෙකු වූ හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සිය අතීතය සිහිපත් කළේ එලෙසය.

ලංකා සමසමාජ පක්ෂයේ දෙවැනි පෙළේ ක්‍රියාකාරී තරුණයෙකු ලෙස අනිල්ගේ දේශපාලන භාවිතය බොහෝදෙනාගේ සිත් ගත්තේය. විශේෂයෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය කෙරෙහි අනිල්ගේ සිත ඇදී ගියේය. අගලවත්ත ලත්පඳුරේ මොහොමදියාවත්තේ කම්කරු සටන මෙහෙයවීමට සමසමාජ පක්ෂයෙන් යැවීමට තීරණය කළේ තරුණ අනිල් මුණසිංහයි. සහකාර වතු පාලකවරයාගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් හා කම්කරුවන් කීපදෙනෙකුට පහරදීම මේ වතු වැඩ වර්ජනය ආරම්භ වීමට හේතු විය. දින 49 ක් පුරා පැවැති වැඩවර්ජනය යුද පිටියක ස්වරූපය ගත් බව අදටත් ජීවත්වන වර්ජනයට සහභාගි වූ වැඩිහිටියෝ පවසති. මොහොමදියාවත්තේ වතු කම්කරුවන්ගේ වැඩවර්ජනය පැවැතියේ 1955 වසරේදීය. එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතාගේ දැඩි තීරණවලට නොබියව මුහුණ දෙමින් අනිල් මුණසිංහයන් වර්ජනය ක්‍රියාත්මක කළේ දැඩි අධිෂ්ඨානයකින් බව වර්ජනයේ නියැළුණු පිරිස් අදටත් පවසති. මාරගහදෙණිය හන්දියේ කඩපිළේ පැදුරක් දමාගෙන දිවා රෑ නොබලා වර්ජනය මෙහෙය වූ බවත් වර්ජකයන්ට අල, බතල, මඤ්ඤොක්කා, කොස් ඇට, හාල්, ‍පොල් සොයමින් ප්‍රදේශය පුරා අනිල් මුණසිංහයන් ඇවිද ගිය අයුරු පැරැන්නන් අදත් සිහිපත් කරති. වර්ජකයන්ට දින 49 ක්ම ආහාරපානවලින් අඩුවක් නොවූ බව ඔවුන් තවදුරටත් පවසති. ඇන්. ඇම්, කොල්වින්, පිලිප්, රොබට්, ලෙස්ලි, විවියන් ඇතුළු නායකයන් බොහෝ දිනවල පැමිණ දේශන පවත්වමින් වර්ජකයන්ගේ චිත්ත ශක්තිය වැඩි දියුණු කිරීමට පියවර ගත්තේය.

මොහොමදියා කම්කරු සටන ජය ගැනීමත් සමඟ අනිල් මුණසිංහ මුළු පස්යොදුන් කෝරළයේම ආකර්ෂණීය දේශපාලන චරිතයක් බවට පත් විය. එය කෙතරම් ප්‍රබල ද කිවහොත් 1956 මහා මැතිවරණයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පිහිටු වූ මහජන එක්සත් පෙරමුණ යටතේ අගලවත්ත මන්ත්‍රීවරයා වීමට අනිල් මුණසිංහට හැකි විය. ළාබාල මන්ත්‍රීවරයෙකු වශයෙන් අනිල් මුණසිංහයන් පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය.

අගලවත්ත සමසමාජ දේශපාලනය තුළ අනිල් මුණසිංහයන් සමඟ ඉදිරියෙන්ම සිටි සටන්කාමීන් වූයේ අගලවත්ත පොල්ගම්පොළ විසූ ප්‍රකට කවියෙකු වූ සිරි සමරනායක මහතා (ප්‍රවීණ මාධ්‍යවේදී, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරනායක මහතාගේ පියා), මැතිවරණ සටනේදී මියගිය පාඨශාලාචාර්ය පියසිරි කාරියවසම් මහතා (හිටපු පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ පියා), හිටපු දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රී පැලවත්තේ හේමා ජයවර්ධන මහතා, දීඝායූ, ඈපා, ඩැනී ගුණසිංහ, අගලවත්තේ ජයවීර මහතුන්, සිරිල් සමරසිංහ, පැලවත්තේ රොබියස් ඇතුළු විශාල පිරිසක් අනිල්ගේ අනුගාමිකයන් ලෙස එකල නොබියව දේශපාලන සටන්වල පෙරමුණ ගෙන ක්‍රියා කළ බව නොරහසකි.

කඳු ගිරි ශිඛරයන්ගෙන් ගහන දුෂ්කරම ආසනයක් වූ අගලවත්ත ආසනයේ නවෝදයේ පෙරගමන්කරුවා වූයේ අනිල් මුණසිංහයන්ය. අති දුෂ්කර කඳු බෑවුම්වලින් පිරි අගලවත්ත ආසනයේ සෑම නිවසකටම ගොඩවැදීම අනිල්ගේ සිරිත විය. අනිල් සමඟ පාද චාරිකාවේ ගිය පැලවත්තේ හේමා ජයවර්ධනයන් පැවසුවේ අනිල් පයින් ඇවිදීමට රුසියෙකු බවයි. වේගයෙන් පයින් ගමන් කිරීමට හුරු වී ඇත්තේ රාජකීය විදුහලේදී ක්‍රීඩාවට දැක් වූ දක්ෂතාවය හේතුවෙනි. මේ අනුව පස්යොදුන් කෝරළයේ ගැමියන්ගේ ළෙන්ගතු චරිතය බවට අනිල් මුණසිංහයන් පත් විය. විශේෂයෙන් දැඩි කුල පීඩනයෙන් පීඩා විඳි ජනයාගේ ගැලවුම්කරුවා බවට පත් වූයේ අනිල් මුණසිංහයන්ය. ඒ සමසමාජ දේශපාලන දර්ශනයත් සමඟිනි. උසස් යැයි සම්මත කුලවල ජනයා වතුරවත් නොබොන කුලහීන ජනයාගේ නිවෙස්වලට ගොස් කිතුල් හකුරු කෑල්ලක් සමඟ කහට කෝප්පයක් බීමට අනිල් මුණසිංහ මැළි නොවීය. සමසමාජ දේශපාලනය මඟින් අනිල් කුලහීන ජනයාගේ කොඳු නාරටිය ශක්තිමත් කළේය. මේ සියලු සාධක අනිල්ගේ දේශපාලනය ශක්තිමත් කළේය. 1960 පැවැති මහ මැතිවරණ දෙකේදීම අගලවත්ත ආසනය ජය ගැනීමට අනිල් මුණසිංහයන්ට හැකි විය. 1964 වසරේ ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇතිකරගත් සභාග ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍ය ධුරය අනිල් මුණසිංහයන්ට හිමි විය. සමසමාජ පක්ෂය නවකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු යන අදහස මත ජ්‍යෙෂ්ඨයන් විසින් නවකයන්ට අමාත්‍ය ධුර දුන්නේය. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් අගලවත්තෙන් අනිල්ටත්, කළුතරින් චම්ලි ගුණවර්ධනටත් අමාත්‍ය ධුර හිමි විය. අනිල් මුණසිංහයන් ප්‍රවාහන අමාත්‍ය ධුරය බාර ගැනීමත් සමඟ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ස්වර්ණමය යුගය උදා විය. කුඩා කාලයේ සිට අනිල් මුණසිංහයන් මෝටර් රථවලට දැඩි ආසාවක් දැක් වූ අයෙකි. ඔහුගේ මේ රථගාය අනගාරික ධර්මපාලතුමා ද හොඳින් අවබෝධ කරගෙන ඇත. කුඩා කාලයේ අනිල්ට ධර්මපාලතුමා පුංචි කාර් එකක් (පැදවිය හැකි ප්‍රමාණයේ) තෑගි කළ බව අනිල් මුණසිංහයන් වරෙක පවසා ඇත. කුඩා අනිල් එය පදවාගෙන යන අයුරු ධර්මපාලතුමා දැක සතුටට පත් වූ බව සඳහන් වේ. තමන් කැමැතිම විෂය වූ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇමැතිවරයා බවට පත්වීම අනිල්ගේ සිත් ගත්තේය. ඔහු සතු දේශපාලන ක්‍රියාශීලී බව නිරන්තරයෙන්ම ලංගමයේ දියුණුවට කැප කළේය. පාඩු ලබමින් සිටි ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත් කළේය. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වී වැඩ කිරීමට වගබලා ගත්තේය. ලංගම සේවකයන්ට මුල්වරට 25% ක සේවක අර්ථසාධක අරමුදලක් (15% ක් ලංගමයෙන් සහ 10% ක් සේවකයන්ගෙන්) ආරම්භ කරන ලදී. තව ද ඉලක්ක ක්‍රමයක් (ටාගට්) ඇති කර කොන්දොස්තරවරුන්ට සහ රියැදුරන්ට දෛනික ආදායමට වැඩිය උපයන ආදායමෙන් 30% ක මුදලක් වැටුපට අමතරව ලබාදීමට ක්‍රියා කළේය. ලංගමයට ෆියට් බස් රථ හඳුන්වා දුන්නේ අනිල් මුණසිංහ මහතා ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීය. ෆියට් බස් රථ මිලදී ගැනීම වෙනුවෙන් ඉතාලියේ ෆියට් සමාගමෙන් අනිල් මහතාට ලැබුණු කොමිස් මුදල ලබා නොගත්තේය. ඒ කොමිස් මුදල වෙනුවට ෆියට් කාර් විසිහයක් (26ක්) ලංගමයට ලබා ගැනීමට එතුමා පියවර ගත්තේය. ඒ ෆියට් මෝටර් රථ ලංගමයේ ටිකට් පරීක්ෂකවරුන්ගේ පහසුව සඳහා යොදවන ලදී. අනිල්ගේ පරමාදර්ශී දේශපාලනය සමඟ ඇති විනිවිද භාවයට මෙය කදිම නිදසුනකි.

පිටකොටුව ලංගමය සතු මධ්‍යම බස් නැවතුම්පොළ අනිල් මහතාගේ යෝජනාවක ප්‍රතිඵලයකි. එහෙත් එහි සිනමාශාලා, ආපනශාලා, කඩසාප්පුවලින් සමන්විත දුර පළාත්වලින් විවිධ වැඩ කටයුතුවලට කොළඹට පැමිණෙන මගීන්ට නවාතැන් පහසුකම් සලසා දීම වැනි දැවැන්ත වෙළෙඳ සංකීර්ණයක සිහින දුටු අනිල් මහතාට ඒ කටයුත්ත සාර්ථකව නිමකර ගැනීමට නොහැකි වූයේ වරින්වර සිදු වූ ආණ්ඩු පෙරළි සමඟිනි. 1967 අගලවත්ත ඡන්ද පෙත්සමෙන් අනිල් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි විය. එහෙත් සුපුරුදු සමසමාජ දේශපාලනය කළ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් ලෙස ක්‍රියා කළේය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ ලංගම සභාපති ධුරය අනිල් මුණසිංහ මහතාට හිමිවිය.

ලංගමය නැවතත් පොදු ජනතාව වෙනුවෙන් සේවය කරන ලාභ ලබන ආයතනයක් කිරීමට ක්‍රියා කළේය. සේවක මණ්ඩල ඇති කිරීම ලංගමයේ දියුණුවට විශාල රුකුලක් විය. මේ ක්‍රමය යුගෝස්ලෝවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ ක්‍රියාත්මක කළ සංකල්පයකි. වෘත්තීය අරගලවලට වඩා සේවක දියුණුවත් ආයතනයේ දියුණුවත් මේ ක්‍රමය තුළින් ඇති කළේය. යූ. ඇන්. පී, ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් ආදී සියලු පක්ෂවල සේවකයන් ජනතා ඡන්දයකින් සේවක මණ්ඩලවලට පත් කිරීම සිදු විය. බදුල්ල ඩිපෝවේ ඩිපෝ අධිකාරි තනතුරට බදුල්ල ඩිපෝවේ සේවය කරන පහළ නිලධාරීන් දෙදෙනෙකු අයදුම් කළේය. එක් පුද්ගලයෙකු සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකි. අනෙක් පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකි. දෙදෙනාම අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබුණි. ලංගම සභාපතිවරයා වශයෙන් අනිල් මහතා මේ දෙදෙනාගේම පැමිණීමේ ලේඛනය සොයා බැලීමට පියවර ගත්තේය. එහිදී සමසමාජ පාක්ෂිකයාට වඩා සේවයට වාර්තා කිරීමේදී එජාප සාමාජිකයා ඉදිරියෙන් සිටියේය. ඒ අනුව එජාප සාමාජිකයා ඩිපෝ අධිකාරි තනතුරට පත් ක‍ළේය. අනිල්ගේ දේශපාලනය එසේය. දේශපාලනයෙන් මුදල් හම්බ නොකිරීම නිසා මැති ඇමැති ධුර, සභාපති ධුර අහිමි වූ කල ලංගම බස් රථයෙන් ගමන් ගියේය. මේ තත්ත්වය දුටු ඔහුගේ හිතවතෙකු හොන්ඩා වර්ගයේ මෝටර් සයිකලයක් අනිල් මහතාට අරන් දුන්නේය. ඊට පසු අනිල් මහතා මෝටර් සයිකලයෙන් ගමන් යෑම පුරුද්දක් කර ගත්තේය. දේශපාලන හිතවතෙකුගේ නඩුවක් වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුර උසාවියට මෝටර් සයිකලයෙන් ගියේ නීතිඥයෙකු ලෙස පෙනී සිටීමටය‍. නඩුව අවසන් වී සේවාදායකයා වූ පාක්ෂිකයාගේ “ස්තුතියි සහෝදරයා” යන වචනවලින් සතුටු වී කොළඹ බලා නැවත මෝටර් සයිකලයෙන් එන්න තරම් අනිල්ගේ මනුස්සකම ඉහළ ගොස් තිබුණි.

අනිල් මුණසිංහයන් තුළ තිබූ චාම් සරල බව ගැන අමාත්‍ය වසුදේව නානායක්කාර මහතා පැවසුවේ මෙවන් කතාවකි.

“අනිල් සතුව ජීප් රථයක් තිබුණු යුගයේ දිනක් අනිල් සමග වෘත්තීය සමිති කටයුත්තකට මටත් යෑමට සිදු වුණා. අපි අනුරාධපුරයට ළඟාවෙද්දී රාත්‍රියට ආසන්න වෙලා තිබුණා. මම අනිල්ගෙන් ඇහුවා රාත්‍රියට අපි නතර වෙන්නේ කොහේද කියලා. හොඳ තැනක් තියෙනවා යනුවෙන් අනිල්ගේ පිළිතුර විය. මම හිතුවා හොඳ නිවාඩු නිකේතනයක් වෙන්න ඇති කියලා. අපි සාමාන්‍ය කඩයකින් රෑට කෑවා. අනිල් පැද වූ ජීප් රථය ඊළඟට නතර වූයේ අනුරාධපුර නුවර වැවේ වැව් තාවුල්ල මතයි. ජංගම අකුලන ඇඳ දිගහැර පැදුරු දමා වැවෙන් හමා එන සිසිල් සුළං දහරාවන්ගේ පහස විඳිමින් සුවබර නින්දකට වැටුණා. ‘අනිල්ගේ හැටි එහෙමයි’ යනුවෙන් අවසන් වශයෙන් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

  මහින්ද ආරියවංශ

77 දීත් ඇද නොවැටී ස්වාධීනව දිනූ එකම මන්ත්‍රී

$
0
0
නොවැ 6, 2020 01:00

කේවල ඡන්ද ක්‍රම ඉතිහාසයේ අති විශිෂ්ට ජයග්‍රහණය සටහන් කළ 1977 මැතිවරණයේදී විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට ලංකාවේ පළමු වරට හයෙන් පහක බලයක් හිමිකර දෙමින් ඡන්ද කොට්ඨාස 168 කින් 140 ක් හිමි විය. ඒ වන විට බලයේ සිටි ශ්‍රී.ල.නි. පක්ෂය ප්‍රමුඛ සමඟි පෙරමුණ 1970 මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිතව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වශයෙන් ඊට නායකත්වය දුන්නාය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ජේ. ආර්. ජයවර්ධන මහතා දැරූ අතර ඔහු එතෙක් ඉතිහාසයේ විපක්ෂ නායක ධුරය පමණක් දැරුවෙක් විය.

1977 ජූලි 21 දින පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මුළු ආසන 168 න් ආසන 154 කට තරග කර ඉන් 140 ක් ජය ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 147 කට තරග කර ජය ගත්තේ ආසන 08 ක් පමණි. නමුත් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 3137221 ක් ලැබුණු අතර ශ්‍රීලනිපයට ඡන්ද 1855331 ක් ලැබී තිබුණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, මහජන එක්සත් පෙරමුණ යන කිසිදු දේශපාලන පක්ෂයකට එකම මන්ත්‍රී ධුරයක් වත් හිමි නොවීය. ද්‍රවිඩ එක්සත් ‍විමුක්ති පෙරමුණ පමණක් කොට්ඨාස 23 කට තරග කර මන්ත්‍රී ධුර 18ක් ජය ගත් අතර ලැබුණු ඡන්ද සංඛ්‍යාව 339043 කි.

මෙම ප්‍රතිඵල අනුව පැවැති රජයේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැර හිටපු ඇමැතිවරුන්ගෙන් ජය ගත්තේ වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග ඇමැති සහ පාර්ලිමේන්තුවේ සභා නායක මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායක මහතා පමණි.

ස්වාධීනව අපේක්ෂකයින් 295 ක් තරග කළ අතර ඉන් 270 කගේ ඇප මුදල් ද රාජසන්තක විය. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව බහු ආසනයට ස්වාධීනව තරග කළ ආර්. පී. විජේසිරි මහතා වැඩි ඡන්ද 272 කින් ජය ගත්තේ එ. ජා. පක්ෂය හා ශ්‍රීලනිපය යන ප්‍රධාන පක්ෂ දෙකම තරග කරද්දීය.

ආර්. පී. විජේසිරි මහතා 1965 මැතිවරණයේදී එ. ජා. පක්ෂයේ අපේක්ෂකයා ලෙස වැඩි ඡන්ද 983 කින් ජයගත් මන්ත්‍රීවරයකු වූ අතර 1970 මැතිවරණයේදී එ. ජා. පක්ෂ අපේක්ෂකයා ලෙස කුණ්ඩසාලේ ආසනයට තරග කර ශ්‍රී.ල.නි. පක්ෂයේ අපේක්ෂක යූ. පී. වයි. ජිනදාස මහතාට ඡන්ද 2109 කින් පරාජය වූ කෙනෙකි. නමුත් 1977 දී ඔහුට එ. ජා. පක්ෂයෙන් තරග කිරීමට ඉඩ නොදුන් නිසා හාරිස්පත්තුව බහු ආසනයට තරග කළේය. ඉන් එ. ජා. පක්ෂයේ ඒ. සී. එස්. හමීඩ් මහතා වැඩි ඡන්ද 25230 කින් පළමුවන මන්ත්‍රී වූ අතර ආර්. පී. විජේසිරි මහතා වැඩි ඡන්ද 272 කින් දෙවන මන්ත්‍රී විය.

සම්පූර්ණ ප්‍රතිඵලය පහත දැක්වේ.

ඒ. සී. එස්. හමීඩ් එ. ජා. ප. 49173

ආර්. පී. විජේසිරි ස්වාධීන 23943

එච්. බී. රත්නායක ස්වාධීන 23671

ජී. සිරිසේන දයානන්ද ශ්‍රීලනිප 12593

එච්. ඇම්. මහරුප් ශ්‍රීලනිප 10854

එච්. රිටිගහපොල කො. ප. 1377

උපාලි විමලවීර ස්වාධීන 205

ටී. ජී. ආනන්ද ගුණසිංහ ම.එ.පෙ. 187

එච්. ඩී. වක්කුඹුර ල.ස.ස.ප. 130

ජෝන් ආරියවංශ ස්වාධීන 114

වැඩි ඡන්ද (1) 25230

(2) 272

මැතිනියගේ රජයේ ප්‍රබල ඇමැතිවරු සියලුදෙනාට (එක් අයෙක් හැර) පරාජයට පත්වෙද්දී ඉහත ස්වාධීනව තරග කළ ආර්. පී. විජේසිරි මහතාගේ ජයග්‍රහණය කැපී පෙනේ. පරාජය වූ ඇමැතිවරුන් 11 දෙනා නම් මුදල් හා අධිකරණ ඇමැති ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක, කෘෂිකර්ම හා ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව, ආහාර සමුපකාර හා කුඩා කර්මාන්ත ඇමැති ඇස්. කේ. කේ. සූරියආරච්චි, රාජ්‍ය පරිපාලන ස්වදේශ හා වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න, ප්‍රවාහන, පාර්ලිමේන්තු හා ක්‍රීඩා අමාත්‍ය කේ. බී. රත්නායක, නාවික හා සංචාරක ඇමැති පී. බී. ජී. කලුගල්ල, අධ්‍යාපන ඇමැති බද්උද්දීන් මොහොමඩ්, තැපැල් හා විදුලි සංදේශ ඇමැති සී. කුමාරසූරියර්, සංස්කෘතික ඇමැති ටී. බී. තෙන්නකෝන්, වැවිලි කර්මාන්ත ඇමැති රත්නසිරි වික්‍රමනායක, පේෂකර්මාන්ත ඇමැති වී. ටී. ජී. කරුණාරත්න, ධීවර ඇමැති එස්. ඩී. ආර්. ජයරත්න පළමු වරට විපක්ෂ නායක ධුරය පවා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හිමිවූ මෙම මැතිවරණ ප්‍රතිඵල අනුව ස්වාධීනව ඡන්දය ඉල්ලා ජයගත් ආර්. පී. වි‍ජේසිරි මහතා ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී. ල. නි. පක්ෂයේ සාමාජිකත්වය ගත්තේය. ශ්‍රීලනිපයෙන් ජය ගෙන සිටි බේරුවල ආර්. ජී. සමරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට ගිය නිසා ශ්‍රී. ල. නි. පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාවේ වෙනසක් නොවීය.

1977 මැතිවරණය මෙතෙක් පැවැති සියලුම මැතිවරණ හා සසඳන විට වැඩිම ඡන්දදායක ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කළ මැතිවරණය විය. 87.7% ක් තරම් ඉහළ අගයකින් ඡන්දය පාවිච්චි කර තිබුණි. ඉකුත් රජයේ සියලුම නියෝජ්‍ය අමාත්‍යවරු ද පරාජයට පත්ව සිටි අතර නව අගමැති ලෙස ජේ. ආර්. ජයවර්ධන මහතා දිවුරුම් දුන්නේය.

 

 සමරසේන මුදලිගේ

විශ්වවිද්‍යාල දේශපාලනයේ හොඳ නරක සහ නවක වදය

$
0
0
නොවැ 6, 2020 01:00

පාසල් අධ්‍යාපනයේ අවසන් කඩඉම වන්නේ අ.පො.ස උසස් පෙළ විභාගයයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා මාපියන්ගේ බලාපොරොත්තුව සරසවි සිහිනයයි. නොයෙකුත් කැප කිරීම් හා අභියෝග මැද්දේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තරගකාරි විභාග ජයගෙන සරසවි වරම් ලබා ගනියි. ලංකාවේ සරසවි වරම් හිමිවන්නේ සීමිත පිරිසකටය. සරසවිය නැතිනම් විශ්වවිද්‍යාලය තුළ ගත කරන කාලය ඉතා සුන්දර කාල සීමාවකි. එ‍ෙහයින් සුන්දර මතක සටහන් ජිවිතයට එක කර ගත හැකිය.

නමුත් විශ්වවිද්‍යාල කාල සීමා තුළ අසුන්දර හා කටුක කාල පරිඡේදයක් සරසවියට ප්‍රවේශවන සියලූ දෙනාටම ගත කිරීමට සිදුවේ. ඒ විශ්වවිද්‍යාලයේ නවක වදෙ කාල සීමාව තුළය. දශක ගණනාක් තිස්සේ නව වදය පිළිබඳව සමාජය තුළ වරින් වර කතා බහට ලක් වනු ඇත. සරසවියට ප්‍රවේශ වන නවක සිසුන් පිළිගැනිම හා ඔවුහුන් විශ්වවිද්‍යාලයේ සංස්කෘතියට හැඩගැස්වීමේ කි‍්‍රයාවලිය නවක වදය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. ලංකාවේ විශ්වවිද්‍යාල තුළට නවක වදය පැමිණෙන්නේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වීමෙන් පසුවය. ඊට පෙර විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමට අවස්ථාව හිමි වුයේ ඉහළ සමාජයේ දරුවන්ට පමණි. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් පසු සාමාන්‍ය පන්තියේ දරුවන්ද සරසවියට ඇතුල්වීමට අවස්ථාව හිමි විය. මේ සමග රාජකීය හා නිර්ධන පවුල්වල දරුවන් අතර ඇති පරතරෙ හෙවත් අසමාන්‍යතාවය නැති කිරීමට නවක වදය ලංකාවේ විශ්ව විද්‍යාල තුළට පැමිණේ. එහි ආරම්භය සනිටුවන් වන්නේ 1960 පසු පේරාදෙණිය සරසවිය තුළිනි.

එදා ආරම්භ කර නවකවදයට හාත්පසින් වෙනස් තත්තවයක් අද නවකවදය තුළ දක්නට ලැබේ. වර්තමානේ පවතින නවක වදයේ පැතිකඩ දෙකක් තිබෙන බව පෙනී යන කරුණකි. මේ තුළින් දේශපාලන හා උපසංස්කෘතිය හා යන පැතිකඩ දෙක විදහා දැක්වේ. නමුත් අද වන විට උප සංස්කෘතියට වඩා දේශපාලනයට නවකවදය තුළ නැඹුරු වී තිබේ.

නවක වදය තුළ දේශපාලන පැතිකඩ වර්ධනය වීමට නොයෙකුත් සාධක බලපා තිබෙන බව පෙනී යන කරුණකි. එහිදි මුල් කාලීනව ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පසුකාලීනව පෙරටුගාමි පක්ෂය තම සමාජවාදී මතය සමාජ ගත කිරීමට නවක වදය යොදා ගෙන ඇත. විශ්වවිද්‍යාලයේ නවක සිසුන් තම මතයන්ට නතු කර ගැනීම සඳහා එම පක්ෂම සුක්ෂම ලෙස නවක වදය භාවිතා කරනු ලබයි. සැමවිටම තරුණ නායකත්වයක් අවශ්‍ය වීම හේතුවෙන් නවක සිසුන් මේ සඳහා යොදා ගනි. නමුත් මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ පැරණි සිසුන්ගේ තර්ජනයන්ට හා පීඩනයන්ට මෙන්ම අපවාද වලට නවකයින් ගොදුරු වීමයි. මෙහිදී නවක සිසුන්ගේ පෞරුෂය බිඳ වැටීමක් සිදුවේ. තවද නවක වදය හේතුවෙන් මානසික පිඩාවන්ට ලක් වනු ඇත. වර්තමානය වන විට නවක වද පිළිබඳව සමාජ තුළින් මතු වන්නේ දැඩි විරෝධයකි. එසේම අතීතයේ සිට වර්තමානය දක්වා නවක වදය හේතුවෙන් ජිවිත අහිමි වු හා අහිමි කර ගත් සිසුන් සංඛ්‍යාව මෙන් විවිධ ආබාධිත තත්තවයන්ට පත් වු සිදුන් සංඛ්‍යාව නිශ්චිත කර කිය නොහැකිය. තවද වසරකට විශ්වවිද්‍යාලයේ හැර දමා යන සිසුන් සංඛාව අසිමිත වනු ඇත. මෙතරම් නවකවදය තුළින් සිසුන්ට අහිතකර බලපෑමක් ඇතිවීමට තරම් එය බිහිසුණු වී තිබේ.

නවක වදය තව දුරටත් දේශපාලන පැතිකඩ ඔස්සේ ගවේෂණය කිරීමේදී කරුණු කිහිපයක් ඉස්මතු වේ. එහිදී නවක සිසුන්ට පැරණි සිසුන් හරහා දේශපාලන මතවාද ඇති කිරීමට හා නිදහස් මතවාද නැති කිරීමට කටයුතු කරයි. එමෙන්ම විශ්වවිද්‍යාල දේශපාලනයේ ආධිපත්‍ය දරන්නන්ගේ මතවාද නවක සිසුන් බලත්කාරයෙන් ඇතුළු කිරීම මේ හරහා සිදුවේ. එසේම නවක වදය පිටුපස සිට දේශපාලන පක්ෂ නිර්ධන පාන්තික සිසුන් තම තුරුම්පුව බවට පත් කරගනු ලබයි. එනම් විශ්වවිද්‍යාලට බහුලව සාමාන්‍ය පන්තියේ සිසුන් ඇතුළත් වනු ලබන අතර එම සිසුන් තුළ ධනවත් සිසුන් පිළිබඳව තිබෙන ආකල්පය මුල් කර ගනිමින් නවකවදකය දේශපාලනීකරණයට අසු කර ගනියි. එනම් සාමාන්‍ය පාන්තික සිසුන් අනෙකුත් සිසුන් කෙරෙහි පන්ති අසමානතාව මෙන්ම ඊර්ෂ්‍යාව ක්‍රෝධය පළිගැනීම මුල් කර ගනිමින් තම පක්ෂය මතය නවකයන් තුළ මුල් බැස වීමක් සිදු කරයි.

තවද එම දේශපාලන පක්ෂ සුක්ෂම ලෙස විශ්වවිද්‍යාලවල පරිපාලනයට බලපෑම් එල්ල කිරීමට පසුබට නොවේ. විශ්වවිද්‍යාලයේ පරිපාලනයට හා ආචර්්‍යයවරුන්ට විරුද්ධව නවක සිසුන් මෙහෙවීමට මෙහි පිටුපස සිටින දේශපාලන පක්ෂ නොපසුබටව උත්සාහ දරයි. එසේම විශ්වවිද්‍යාල පරිපාලනයට පමණක් නොව රටේ පාලනයට විරුද්ධව එරෙහිව නවක සිසුන් පෙළගැස්වීම මෙම පක්ෂ සිදු කරනු ලබයි. විශ්වවිද්‍යාලයේ පවත්වන පෙළපාලි හා උද්ඝෝෂණ ම`ගින් එය අනාවරණය කර ගැනීමට හැකියාවක් පවති.

විශ්වවිද්‍යාලයේ නවකවදය තුළ දේශපාලන කි‍්‍රයාවලිය ක්‍රියාත්මක වන්නේ උපසංස්්කෘතිය යන කාරණයට මුවාවීමෙන්ය. මහ සමාජය තුළ කුඩා සමාජ කොටස් දකින්නට ලැබේ. එම සමාජවලට ආවේණික වු සංස්කෘතියක් තිබෙන අතර එය උප සංස්කෘතිය වේ. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද උපසංස්කෘතියක් පවතියි. එය නවක සිසුන්ට පවරාදීම ඉතා වැදගත් කාරණයකි. එමගින් විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය පාරම්පරාවට ප්‍රගමනය වනු ඇත. එසේම නවකවදය පිළිබඳව සමාජය තුළ අප‍්‍රසාදයක් හා විරෝධයක් පැවතියද නවකවදය මුඑමුනින්ම ඉවත් කර යුතු දෙයක් නොවේ. එයට හේතුව වන්නේ එමගින් නවකයන්ගේ ජිවිතයට නව පන්නරයක් ලබා ගැනීමට අවස්ථාවක් සැලසේ. එනම් ඔවුහුන්ගේ හැකියාවන්, කුසලතාවන්, නිර්මාණශිලිත්වය පෞරුෂය වර්ධනය කර ගැනීමට හැකිවනු ඇත. තවද කුඩා කාලයේ සිට තම දෙමාපියන් සෙවණේ හැඩි වැඩි මුලින්ම සමාජගත වන සිසුන්ට සමාජයේ ජිවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට අවකාශය ලැබේ.

නමුත් නවකවදයේ තුළ පවතින පළිගැනීම, බියවැද්දීම, තර්ජනය හා මර්දනය මෙන්ම එහි තිබෙන බිහිසුණු බව හේතුවෙන් සමාජ පවතින්නේ සෘණාත්මක මතවාදයකි. එනම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින්ම නවකවදය ඉවත් කර යුතු බවය. එසේම නවක වදයේ සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් දේශපාලනය ඉවත් විය යුතු බවට මතයක් සමාජ තුළ ගොඩනැගී තිබේ.

කෙසේ වුවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නවකවදය මුළුමනින්ම බැහැර කිරීම නොව කර යුත්තේ එය නවීකරණයකට භාජනය කිරීම හා විධිමත් ක්‍රවේදයකට අනුව සකස් කිරීමයි. මෙහිදී නවක සිසුන්ට කායික මානසික පීඩාවක් නොවන ආකාරයට මෙන්ම පළිගැනීම, බිමවැද්දීම, තර්ජනය හා මර්ධනය වැනි දෙයින් තොර වීම ඉතා වැදගත් වේ. එසේම නවකගේ දැනුම, ආකල්ප, කුසලතා, නිර්මාණශීලිත්වය හා පෞරුෂවය වර්ධනය වන ආකාරයට නවකවදය නිර්මාණය විය යුතුය.

එමෙන්ම විශ්වවිද්‍යාල තුළින් දේශපාලනය ඉවත් කිරීම යෝග්‍ය නොවන අතර එසේ කිරීමට පවතින හැකියාව පහළ මට්ටමක පවති. එයට හේතුව වන්නේ නිදහස් අධ්‍යාපනය තුළින් නව නායකයින් බිහිවීමයි. එහිදි සරසවි සිසුන්ට කිසියම් බලවේගයන්ට යටත් නොවි තම නිදහස් මත දෑරීමට අවකාශය සළසා දීම ඉති වැදගත්වේ. මෙම ක්‍රියාවලින් සඳහා විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුගේ මැදිහත්වීම කාලෝචිත අවශ්‍යාතාවක් වී ඇත.

 

 

  තිමාලි කස්තුරි ආරච්චි

 

ලාංඡන වෙනුවට පාටින් ඡන්ද ඉල්ලු තිහේ දශකයේ ඡන්ද සටන

$
0
0
නොවැ 6, 2020 01:00
ඊ. ඩබ්ලිව්. පෙරේරා , ඒ. පී. ජයසූරිය

ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂවලට කණ්ඩායම්වලට අයත් මැති ඇමැතිවරුන්, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිසියම් මැතිවරණයකින් පරාජයට පත් වූ කල එම මැති ඇමතිවරුන්ට ඉතා හිතවත්ව ළෙන්ගතුව සමීප සබඳතා පවත්වාගෙන සිටි පාක්ෂිකයන්ට සිත් වේදනා ඇතිවීම අරුමයක්, විශේෂයක් නොවේ. ඡන්ද ඔට්ටුවෙන් පරාජයට පත් වූ සමහර පාක්ෂිකයෝ එම පාඩුව වේදනාව දරා ගත නොහැකිව විවිධ ප්‍රති ක්‍රියාවලට එළඹෙති. සමහරු සිත් වේදනාව තුනී කර ගන්නට පුවත්පතකට හෝ වෙන යම් ප්‍රකාශනයකට ලියවිල්ලක් යවති.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් හොරණ හිටපු මන්ත්‍රී ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා ඒ. පී. ජයසූරිය මහතාට පරාජයට පත් විය.

ඡන්ද ප්‍රතිඵල මෙසේය. එකල දේශපාලන පක්ෂ හෝ ලාංඡන හෝ නොතිබුණි. වර්ණ සහිත ඡන්ද පෙට්ටි භාවිතා විය. විවිධ ඡන්ද දූෂණ මගඩිවල නිමාවක් නොවීය.

අංක 13 - හොරණ ඒ. පී. ජයසූරිය - 20074

ඊ. ඩබ්ලිව්. පෙරේරා - 12905

වැඩි ඡන්ද - 7169

ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ ඉදිරි පෙළ කැපී පෙනුණු නායකයෙකු වූ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා හොරණ ආසනයෙන් පරාජය වීම 1936 මැතිවරණයේදී බොහෝ දෙනාගේ සිත් කම්පා කළ සිද්ධියකි. ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජු වෙත ජනතා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සපත්තුව අස්සේ පෙත්සමක් සඟවාගෙන ගොස් එය බාරදීමේ අභියෝගාත්මක කාරිය කරන ලද්දේ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා විසිනි.

ඒ 1921 ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදීය. වසර 15ට පසු 1936 ඊ. ඩබ්ලිව්. පෙරේරා හොරණින් පරාජයට පත්වීම විඳදරා ගත නොහැකි වූ ඉතා හිතවත් පාක්ෂිකයෙකු ලියූ කවි පෙළක් 1936 පෙබරවාරි 28 වන සිකුරාදා දිනමිණ පත්‍රයේ විශේෂ තැනක පළ කර තිබුණි. ඒ මෙයින් අවුරුදු 84 ට පෙරදීය. ඒ කවි පෙළෙන් අපි කවි දෙකක් නැවත සිහිපත් කරමු.

පෙරේදා මැතිඳු ඊ. ඩබ්ලිව් හොරණ

පෙරේදා අසා ඒ පුවත පැරදුන

තිරේ වැසුණු සෝකෙන් හුණුව දෙනයන

පෙරේ තවම කඳුළැලි ජාති ආලෙන

පත් වූ මැතිවරුණි මේ වර මැති සබෙට

ඇත්නම් බිඳක්වත් ආලය දැය රටට

අත් හැර තම අසුන කිසිවෙක් මේ මැතිට

අත් කර දෙනු මැනවි එය හැකි ඉක්මනට

කිසිදු ප්‍රතිචාරයක් සිදු නොවීය. ඒ අතර 1936 මැතිවරණයේදී කැලණියේ ඡන්ද කොට්ඨාසයට නිතරගයෙන් පත් වූ සර්. ඩී. බී. ජයතිලක මහතාට ඉහළින් දියත් වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵල අනුව ඉන්දියාවේ ඉහළ තනතුරක් ලැබුණි. කැළණියේ අතුරු මැතිවරණය 1943.04.17 දින සිදු විය. පරාජිත ඊ. ඩබ්ලිව් පෙරේරා මහතා කැළණි අසුනට තරග කළේය. ප්‍රතිවාදියා අපි කවුරුත් දන්නා කෙනෙකි. ප්‍රතිඵල මෙසේය.

ජේ. ආර්. ජයවර්ධන 21765

ඊ. ඩබ්. පෙරේරා 11570

සපත්තුව ඇතුළේ පෙත්සම හංගාගෙන නිදහස උදෙසා එංගලන්තයට ගොස් පැමිණි ඊ. ඩබ්. පෙරේරා ලංකාවේ ඡන්දයෙන් අවුරුදු හතක් තුළ දෙවරක්ම පරාජය වූ පසු රාජගිරියේ පදිංචි ගෙදරට ගියේය.

එහෙත් අපේ රටේ ජාතික නිදහස් ව්‍යාපාරයේ පතාක යෝධයෙකු වූ ඊ. ඩබ්ලිව්. පෙ‍රේරා මහතාගේ දේශපාලන පැටිකිරිය ඉතා සැකෙවින් දිග හරින්නේ පෙරේරා මහතාගේ පරාජය ගැන 1936 දී උණු කඳුළු වැගුරූ අවංක පාක්ෂික හිතවතා සිහිපත් කරමිනි.

1917 මැයි මාසයේ ආරම්භ වූ සිලෝන් රිපෝම් ලීග් සංගම‍යත්, 1919 දී පිහිටුවා ගත් ලංකා ජාතික සංගමයත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැපී පෙනුණු සංවිධාන දෙකක් විය. ඒ ලංකාවේ ආරම්භක පළමුවන දේශපාලන සංවිධාන දෙක වශයෙන් පිළි ගැනේ. 1920 ජුනි මාසයේදී මෙබඳු සංවිධාන කිහිපයක නියෝජිතයන් සමඟ යටත්විජිත බාර මහලේකම් එංගලන්තයේදී පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් 1920 අගෝස්තු 13 වැනි දින රාජාඥාවකින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව යළි සකස් විය.

ඒ අනුව 1921 සිට 1924 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා පැවැති ඡන්ද විමසීම්වල ප්‍රතිඵල මෙසේය.

බස්නාහිර පළාත (B) ආසනය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 9526

1921 අප්‍රේල් 21 ඊ. ඩබ්ලිව්. පෙරේරා 5998

ඩොනල්ඩ් ඔබේසේකර 713

ඡන්දය දුන් මුළු ගණන 6711

වැඩි ඡන්ද 5285

1922 නොවැම්බර් මාසයේ පැවැති මැතිවරණයේදී පළාත් නියෝජනය කළ මන්ත්‍රීහුම නැවත පත් වූහ. ව්‍යවස්ථාදායක සභාව පිහිටු වූ රාජාඥා පනත සංශෝධනය කරන ලෙස ලංකා ජාතික සංගමය වෙනුවෙන් සර් ජේම්ස් පීරිස් යෝජනා කළේය.

1924 – 1931 දක්වා පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව වෙනුවෙන් මැතිවරණ පැවැත්විණි. 1924 ඔක්තෝබර් 24දා නව ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය ප්‍රථම වරට රැස් වූයේය. මේ කළුතර ආදායම් දිස්ත්‍රික්කයට අදාළ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලයයි. 1924 සැප්තැම්බර් 27 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 16,000

ඊ. ඩබ්ලිව්. පෙරේරා 4651

එස්. ආර්. විජේමාන්න 2536

වැඩි ඡන්ද 2115

1927 නොවැම්බර් 13 වැනිදා ඩොනමෝර් කොමිෂන් සභාවේ නියෝජිතයෝ ලංකාවට පැමිණියහ. ඩොනමෝර් සාමි, සර් මැතිව් නෙතන්, සර් ජොෆ්රි බට්ලර් සහ ආචාර්ය සී. ඩ්‍රමන් ෆිල්ස් ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාව 1928 ජූලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. විවාදය ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී 1928 සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ විය. සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක විය. මන්ත්‍රී සංඛ්‍යාව 50 දක්වා අඩු විය.

1931 ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හොරණ ප්‍රතිඵල මෙසේය.

අංක 13 හොරණ

ඊ. ඩබ්ලිව්. පෙරේරා 17933

එෆ්. ඒ. තිරිමාන්න 5501

වැඩි ඡන්ද 12432

රාජ්‍ය මන්ත්‍රණ සභාවේවිධායක කාරක සභා හතට පැවැරී තිබුණු විෂයයන් 1931 මාර්තු 20 වැනිදා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරිණි.

ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාවට ඊ. ඩබ්ලිව්. පෙරේරා ඇතුළුව සභාපති ඩී. බී. ජයතිලක, ජී. සී. එස්. කොරයා, මේජර් ජේ. ඩබ්ලිව්. ඔක්පිල්ඩ්, ‍ජේ. සී. රත්වත්ත, ඊ. ඒ. පී. විජේරත්න, ආර්. ඇස්. තෙන්නකෝන් මන්ත්‍රීවරු පත්වූහ.

ජනතා හිතවාදී ප්‍රගතිශීලී යෝජනා කිහිපයකට ඊ. ඩබ්ලිව්. පෙරේරා සම්පූර්ණ සහයෝගය දුන්නේය. 1936දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හොරණ කොට්ඨාසයට ද යළිත් තරග කළේය. ඡන්ද සලකුණු හෝ ප්‍රචාරක ව්‍යාපාර එකල තිබුණේ නැත.

1931 හොරණ මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු සති අන්තයේ හොරණ කොට්ඨාසයේ මෙහෙයුම් කාර්යාලයට නව මන්ත්‍රී පැමිණියේය. තරුණ නීතිඥයෙකු වූ ඒ. පී. ජයසූරිය අලුත් මන්ත්‍රීගේ සහයකයා විය. හොරණ අග්ගොනවත්තේ මෙහෙයුම් කාර්යාලය පැවැත්විණි. තරුණ නීතිඥ ඒ. පී. ජයසූරිය නූල් සූත්තරයෙන් ප්‍රදේශයේ හිතවතුන් සම්බන්ධ කර ගත්තේය. ඒ අතරදී 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට කටයුතු සූදානම් කෙරිණි. කෝට්ටේ රාජගිරියේ පදිංචි ඊ. ඩබ්ලිව්. පෙරේරා සමඟ හොරණ පදිංචි ඒ. පී. ජයසූරිය මැතිවරණයට ඉදිරිපත් විය. අපි අත් වූ ප්‍රතිඵලය පළමුව පැවසුවෙමු.

1921 පටන් ජාතික නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූ නීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා 1943 දී සියලු දේශපාලන කටයුතුවලින් ඉවත්ව රාජගිරියේ සුපුරුදු නිවසේ විවේකයෙන් කල් ගත කළේය. ඉන් ටික කලකට පසු 1953 පෙබරවාරි 16 දා ජීවිතයෙන් සමු ගත්තේය. 1875 දෙසැම්බර් 12 වැනිදා ජන්මලාභය ලැබූ ඒ මහතා මුළුමහත් ජීවිතයම රට දැය වෙනුවෙන් කැප කළේය.

 

  බන්ධුල ආර්. ගුලවත්ත


කොවිඩ් වසංගතයෙන් ළමා වසන්තයට

$
0
0
නොවැ 6, 2020 01:00

කුසලතා සංවර්ධන ක්‍රියාකාරකම් මඟින් දරුවන්ට චිත්තවේග කළමනාකරණය කර ගැනීමට ද හැකියාව ලැබේ. තමා සිදු කරන කටයුත්ත අසාර්ථක වීම සහ නැවත නැවත එය සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම තුළ ආවේගකාරී සිතිවිලි පාලනය කර ගනිමින් ඉවසීම ප්‍රගුණ කර සංයමයකින් කටයුතු කිරීමට දරුවා හුරු වේ.

කොවිඩ් 19 දැවැන්ත බූවල්ලකු සේ සියලු රටවලට ඉහළින් අඬු විහිදා වේගයෙන් ලෝකයම සිය ග්‍රහණයට ගෙන නතුකරගෙන සිටියි. සියලු ක්ෂේත්‍ර එම දඬු අඬු මැද සිර වී, හැකිළෙමින් යන විට, අධ්‍යාපන ක්ෂේත්‍රයට එහි බලපෑම සුළු කොට තැකිය හැකි නොවේ. අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල වීම හේතුවෙන් අඩාළ වන්නේ මේ මොහොත පමණක් නොවේ. එහි ප්‍රතිඵල දිගුකාලීනය. අනාගතය අස්ථාවර වන්නට, අධ්‍යාපනය අඩාළ වීමෙන් සිදු වන බලපෑම අන් සියල්ලට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් ගනියි.

අධ්‍යාපනය වනාහි, ලබාගත යුතු නියමිත කාලයක් හෝ වයසක් නිශ්චය කර කිව නොහැකි ක්ෂේත්‍රයක් වන නමුත්, විධිමත් අධ්‍යාපනය හදාරන බහුතරය අතර සිටින්නේ බාල වයස්කරුවන්ය.විවිධ හැකියාවන් ඔප මට්ටම් කර ගනිමින්, මුළු මහත් ලෝකයෙහිම අනාගතය බාර ගැනීම සඳහා තමන්ට අනන්‍ය වූ ජීවන තත්ත්වයක් කරා දරුවන් ගමන් කරන මාර්ගයෙහි ස්වාභාවිකවම මතු විය හැකි දුෂ්කරතා රාශියකි. ඒ අතර හදිසියේ පැන නැඟුණු කොරෝනා වසංගතයේ බලපෑම අතිශය තීරණාත්මක ය.

දරුවන්ගේ මානසික ආතතිය

රෝග ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් ආර්ථික බිඳ වැටීම වැනි ප්‍රායෝගික ගැටලු අබියස වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ගේ මානසික ආතතිය වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. රැකියා කටයුතු සඳහා හෝ නිවෙසේ එදිනෙදා අවශ්‍යතා සඳහා ඉතා කලාතුරකින් හෝ නිවෙසෙන් පිට වීමට වැඩිහිටියන්ට අවස්ථාවක් හිමි වේ. කාලය ගෙවා දැමීම සඳහා විවිධාකාර ක්‍රමවේදයන් වැඩිහිටියන් සතුව තිබුණ ද දරුවෝ මුළුමනින්ම පාහේ නිවෙස්වලට කොටු වී සිටිති . අහල පහළ දරුවන් සමඟ එකට මුසු වීමට ඇති අවස්ථාව පවා දරුවන්ට අහිමි වී තිබෙනවා විය හැකිය. මෙවැනි වාතාවරණයකදී ඔවුන් දැඩි මානසික පීඩාවකට පත් වී සිටින බව ඔවුන්ගේ ඇතැම් හැසිරීම් තුළින් මනාව පිළිබිඹු වේ. පවතින වාතාවරණය තුළ සියල්ලන්ටම වඩා දැඩි පීඩනයක සිටින දරුවන්ට, අධ්‍යාපනය ලබාදීමට උත්සාහ දැරීම ඉතා සීරුවෙන් කළ යුතු කටයුත්තක් වන්නේ, ඒ තුළින් ද ඔවුන් තව තවත් පීඩාවට පත් විය හැකි බැවිනි.

අධ්‍යාපනය නිර්වචනය කිරීමේදී එහි අවසාන පලය ලෙස, ලෝකයේම පොදු පිළිගැනීම වන්නේ, 'මෙතෙක් අප අත් නොවිඳි තත්ත්වයකට සාර්ථකව මුහුණ දිය හැකි පුද්ගලයකු බිහි කිරීමයි.'ලෝකය මුහුණදෙන කොරෝනා වසංගත තත්ත්වය අප මෙතෙක් කිසිදා අත් නොවිඳි තත්වයකි. අධ්‍යාපනය තුළින් අපේක්ෂිත එම අවසන් ඉලක්කය කවුරුන් කොතෙක් දුරට සපුරා ඇතිදැයි විමසා බලන්නට මේ උදා වී ඇති කාලය මනා පිටිවහලක් සපයයි.

මේ වන විට මිනිසාගේ එදිනෙදා ජීවිතයෙහි පවත්වාගෙන ආ, චර්යා රටාවන්, ආර්ථික තත්වය ආදී සෑම අංශයක්ම වෙනස්කම්වලට භාජනය වී ඇති අතර එයට මුහුණදෙමින්, ගැටුම් අවම කර ගනිමින්, සාර්ථකව නැඟී සිටින්නට අපි සියල්ලෝම උත්සාහ දරමින් සිටිමු.

සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් ද බලාපොරොත්තු විය යුත්තේ මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකට වුවත් සාර්ථකව මුහුණ දිය හැකි මිනිසකු නිර්මාණය කිරීමය. ඒ සඳහා දැනුම පමණක් ලබා දීම ප්‍රමාණවත් නොවේ. වෙනස්වන තත්ත්වයන් ට අනුගත වීමේ හැකියාවක් සහිත සමබර පෞරුෂයක් ඇති දරුවකු නිර්මාණය කිරීමට ආකල්ප සහ කුසලතා සංවර්ධනය ද අතිශයින් ම වැදගත් වේ. අධ්‍යාපනය බිඳවැටීමට ඉඩ නොතබා වසංගත තත්වය අතරේ වුවද ඉහත සඳහන් ආකාරයේ සමබර පුද්ගලයකු බිහි කිරීමේ කටයුත්තේ දී, කළ යුතු සහ නොකළ යුතු ලෙස වෙන් කර දැක්විය යුතු දේවල් රැසක් තිබේ. එයින් 'කළ යුතු'යැයි පෙන්වා දිය හැකි දේවල් අතර, මූලිකවම දරුවාගේ කුසලතා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් දීම ඉහළින්ම සඳහන් කළ හැකිය. යම් කිසි සටහනක් කටපාඩම් කර නැවත ලිවීමේ ක්‍රියාවලිය මඳක් පසෙක තබා සෑම විෂයකටම ආවේනික කුසලතා පැතිකඩ ආවරණය කර සම්පූර්ණ කිරීම අතිශයින්ම වැදගත් වේ.

නිවැරදි සන්නිවේදනය

උදාහරණයක් ලෙස සිංහල භාෂාවේ කථන කුසලතාව සහ කියවීමේ කුසලතාව වැනි කුසලතා තිබේ. සන්නිවේදන හැකියාව නිවැරදිව පවත්වාගෙන යෑම සඳහා එම හැකියාවන් සංවර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී ඔවුන්ගේ වයස් මට්ටම් අනුව දියුණු කළ යුතු කුසලතා, වර්ධනය කරවිය හැකි ක්‍රමෝපායන් භාවිතා කළ හැකි ය.

ඉතා කුඩා දරුවකුට, තමාට අසන්නට සහ දකින්නට ලැබෙන දේ චිත්‍රයට නඟන්න ට අවස්ථාව ලබාදිය හැකිය. ඒ මඟින් දරුවාගේ පරිකල්පන හැකියාව සහ හසුරු කුසලතා දියුණු කළ හැකි වේ. නිර්මාණ සහ අත්වැඩ කිරීම තුළින් කුඩා දරුවන්ගේ කුසලතා සංවර්ධනය කළ හැකි අතර විධිමත් අධ්‍යාපනය හදාරන වයසේ දරුවන්ට ඔවුන්ගේ විෂය නිර්දේශයට අදාළ ක්‍රියාකාරකම් කරන්නට අවස්ථාව ලබා දිය හැකිය.

උදාහරණයක් ලෙස භූගෝල විද්‍යාව විෂයයෙහි සඳහන් වන වැවක ආකෘතියක් නිර්මාණය කිරීම තුළ ප්‍රායෝගිකවම දරුවා වැවක කොටස් හඳුනා ගන්නා අතර බොහෝ විට විභාගය සඳහා ද වැවක කොටස් නම් කිරීමට සිදු වේ. කටපාඩම් ක්‍රමයට වඩා මෙමඟින් අදාල විෂය කරුණු ද මනසෙහි ධාරණය වේ.

E-learning ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීම මේ දිනවල ප්‍රචලිත ක්‍රමයක් වන අතර ගුරුවරුන් පැවරුම් ලබා දීම ආදිය සිදු කරන්නේ ද ඒ ඔස්සේ ය. කුසලතා සංවර්ධනයට අදාළ ක්‍රියාකාරකම් සිදු කරන දරුවන් ඒවායෙහි පින්තූර සිය සමාජ ජාල කණ්ඩායමට යොමු කරමින් සෙසු දරුවන් ද ඒ සඳහා උනන්දු කිරීම සහ සියලු දෙනාගේ ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීම මේ මොහොතේ අලුත් අත්දැකීමක් වනු ඇත.

පැළ සිටුවීම සහ ඒවායෙහි වර්ධනය නිරීක්ෂණය කර ඒ පිළිබඳ සටහන් තැබීම වැනි ක්‍රියාකාරකම් ද මේ වකවානුවේ සිදු කළ හැකිය.

කුසලතා සංවර්ධනය

කුසලතා සංවර්ධන ක්‍රියාකාරකම් මඟින් දරුවන්ට චිත්තවේග කළමනාකරණය කර ගැනීමට ද හැකියාව ලැබේ. තමා සිදු කරන කටයුත්ත අසාර්ථක වීම සහ නැවත නැවත එය සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම තුළ ආවේගකාරී සිතිවිලි පාලනය කර ගනිමින් ඉවසීම ප්‍රගුණ කර සංයමයකින් කටයුතු කිරීමට දරුවා හුරු වේ. 'මෙතෙක් අත් නොවිඳි තත්ත්වයකට සාර්ථකව මුහුණදෙන පුද්ගලයකු බවට පත් වීම'සඳහා චිත්තවේග කළමනාකරණය අතිශයින් වැදගත් සාධකයකි.

වර්තමානය වන විට පොත් කියවීම දරුවන්ගෙන් දැඩිව ගිලිහී ගොස් ඇති බව පෙනේ‍. දැනට සම්පාදනය කර තිබෙන පාසල් පෙළ පොත් සියල්ලෙහිම විභාගවලට මුහුණදීමට අවශ්‍ය විෂය කරුණු මැනවින් අන්තර්ගත කර තිබේ. ඒවා නිසි අයුරින් කියවා තේරුම් ගැනීමට දරුවකුට හැකියාව තිබේ නම්, විභාග සමත් වීම එතරම් අපහසු කටයුත්තක් වන්නේ නැත. දරුවන්ගේ කියවීමේ කුසලතාව වර්ධනය කරන්නට කියවීමට සුදුසු පොත පත ලබා දෙමින්, දරුවා අගය කරමින් ඒ සඳහා යොමු කිරීම ගුරු දෙගුරු වගකීමකි. පාසල් පෙළ පොත් ද පාඩම් කිරීමෙන් තොරව කියවා වටහා ගැනීමට දරුවා යොමු කිරීම වටි. කියවීමේ කුසලතාව සංවර්ධනය වීම හරහා සිතීමේ කුසලතාවය ද ඉබේම වර්ධනය වේ.

සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් බැහැරව කුසලතා සංවර්ධනය සඳහා අවකාශය යොදා ගැනීමෙන් ගෙවී යන කාලය වඩාත් අර්ථවත් කරගැනීමට දරුවන්ට සහ ගුරු දෙගුරු සියල්ලන්ට හැකියාව ලැබේ.

ගත වී යන මේ වකවානුවේ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා නොකළ යුතු දේ ද තිබේ. ඉන් පළමුවැන්න ප්‍රශ්න පත්‍ර කරවීමය. වසරට අදාළ කඩඉම් විභාග වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් වී තිබීම හේතුවෙන් ප්‍රශ්න පත්‍ර කරවීම අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ නැත. කටපාඩම් කර නැවත නැවත වැමෑරීමෙන් සාර්ථක මිනිසකු නිර්මාණය කළ නොහැකිය වග සියල්ලන්ම වටහා ගත යුතුය. ප්‍රශ්න පත්‍ර නොකිරීම මෙන්ම නිර්දේශිත අභ්‍යාස පොත් කිරීමද නොකළ යුතුය. මානසිකව පීඩාවට පත්ව සිටින දරුවන්ට තව තවත් බර පැටවීම සිදු නොකර සරල සහ නිර්මාණාත්මක ක්‍රම හරහා දරුවාගේ අධ්‍යාපනය ඉදිරියට ගෙනයා හැකිය. කටපාඩම් කර නැවත වැමෑරීමට අදාළ ක්‍රියාකාරකම් අඩු කරන ලෙස කවුරුන් පැවසුවද, මවුපියයෝ හෝ වැඩිහිටියෝ තම පහසුව සඳහා එවැනි ක්‍රියාකාරකම් වෙත දරුවන් යොමු කිරීමට වැඩි කැමැත්තක් දක්වති. ගුරුවරුන් විසින් දරුවන්ට ලබාදෙන ඇතැම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන දේවල් සොයා දීම සහ එම ක්‍රියාකාරකම්වලදී දරුවන්ට උදව් කරමින් ඔවුන් සමඟ රැඳී සිටීමට කාලය ගත කිරීමට සිදුවන බැවින්, ඒ සඳහා යම් මැළිකමක් දක්වන මවුපියන් හැකි තරම් ප්‍රශ්න පත්‍ර සහ අභ්‍යාස වෙත දරුවන් යොමු කිරීමට උත්සාහ දරයි. මෙය "දරුවන්ට විෂය කරුණු අමතක වී යන්නට පුළුවන්"යන කරුණ සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන අදහසක් වන නමුත්, එහි සත්‍යතාවක් නැත. 

ළමා ක්‍රියාකාරකම්

මෙයින් අදහස් වන්නේ දරුවා සියයට සියයක්ම අභ්‍යාස කරවීමේ සහ ලිවීමේ ක්‍රියාකාරකම්වලින් ඈත් කරවීම නොවේ. යම් මට්ටමකට ඔවුන් එම ක්‍රියාකාරකම් ඇසුරේ ද තැබිය යුතු අතර, ඒවා දරුවාට එපා වන තරම් වැඩි ප්‍රමාණයකින් කිරීම සුදුසු නොවේ. ඇතැම් සංකල්ප ලිවීමෙන් තොරව සාධනීය කුසලතා සංවර්ධන ක්‍රියාකාරකම් මගින් ගණිතමය හැකියාව තර්ක ඥානය ආදිය දියුණු කරන්නට හැකිය. කෘත්‍රිමව දරුවාගේ මොළයට ඉගෙනුම එන්නත් කරන්නට උත්සාහ දරනවාට වඩා, මොළය ස්වාභාවිකව උත්තේජනය කරමින් ඒ තුළ දැනුම ගබඩා කරන්නට උත්සාහ කිරීම වඩාත් සාධනීය කරුණකි.

තාක්ෂණය සමඟ ගනුදෙනු කළ හැකි දරුවන් මේ මොහොතේ සිය අධ්‍යාපන කටයුතු බිඳ වැටීමකට ඉඩ නොදී දිගින් දිගට ඉදිරියට රැගෙන යන නමුත් තාක්ෂණික මෙවලම් සමඟ ගනුදෙනු කිරීමට හැකියාවක් නැති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳ ගැටලුවක් ඇති වී තිබෙනවා වෙන්නට පුළුවන. උද්ගතවී ඇති තත්ත්වය තුළ එවැනි පහසුකම් නැති දරුවන් පිළිබඳ යම් කිසිවකු දැන සිටී නම් ඒ පිළිබඳව හැකි අයුරින් සොයා බලා මේ මොහොතේ ඔවුන්ටද උපකාරයක් වීම වැඩිහිටි සැමගේ යුතුකමකි.

පොත පතින් මතු නොව ජීවිතයෙන් යමක් ඉගෙන සවිමත්ව අනාගතයට පිය තැබිය හැකි ශක්තිමත් පුරවැසියන් බිහි කිරීමට හැකි නම් කොරෝනා වසංගතය පාරා වළල්ලක් නොවී ආශීර්වාදයක් වනු නියතය. ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ශක්තිය සමග වැඩෙන අනාගත පරපුර දිනෙක ගෙවුණු කාලයෙහි ඵලදායි බව සතුටින් සිහිපත් කරනු ඇත.

දිල්රූ ජයසේකර

උභතෝකෝටික ප්‍රජාතන්ත්‍රවාදය

$
0
0
නොවැ 6, 2020 01:00
රන්ජන් අමරරත්න

සැමුවෙල් බෙකට්ගේ ‘වේටින් ෆෝ ගොඩෝ’ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයෝ ගොඩෝ මහත්තයා එන තුරු බලා සිටිති. අමෙරිකානු ජනාධිපතිවරණය නම් විකාර රූපී නාට්‍යය නරඹන ලෝකවාසී ප්‍රේක්ෂකයෝ පනස් නව වන අමෙරිකානු ජනාධිපතිවරයා පත් කරන තුරු බලා සිටිති. මේ අතර බුද්ධිමත්හු ලෝක ප්‍රජාතන්ත්‍රවාදය ගැන විමසති. ආකර්ෂණය ඉහළය. කුතුහලය තීව්‍රය.

මීට දසක තුනකට පමණ පෙර ‘දී අයිඩියාස් ඔෆ් කොන්කර්ඩ් ද වර්ල්ඩ්’ නමින් කෘතියක් පළ කරන මහාචාර්ය මයිකල් මැන්ඩෙල්ටම් ලෝක පැවැත්මට අදාළ විෂය කරුණු තුනක් පෙන්වා දුන්නේය. එක: සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ලෝකය පුරා ස්ථාපිත කිරීමය. දෙක: නිදහස් ආර්ථිකයකට ඇති ඉඩ ප්‍රස්තා පුළුල් කිරීමය. තුන: ලෝක සාමය තහවුරු කිරීම සඳහා අවංක හා බලවත් ප්‍රයත්නයක යෙදීමය. මහාචාර්යවරයාගේ මතය විසංවාදී එකක් වන්නේ වුව අමෙරිකානු ප්‍රතිපත්ති සමඟ ද අමෙරිකානු ව්‍යවස්ථාවේ වගන්ති සමඟ ද එය මනාව ගැළපෙයි.

වොෂින්ටනයේ හොප්කින් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස ක්‍රියා කළ පෝල් එච්. නීට්ෂේ 1990දී ‘අමෙරිකා; ඇන් හොනස්ට් බ්‍රෝකර්’ නමින් ශාස්ත්‍රීය ලිපියක් සම්පාදනය කරමින් ඉහත මතය තවදුරටත් සනාථ කරයි. ඔහුගේ විවරණයට අනුව පෝලන්ත අර්බුදය, සෝවියට් දේශයේ බිඳ වැටීම හා ජර්මන් තාප්පය කඩා දැමීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්තිය සලකුණු කරන ප්‍රායෝගික සාක්ෂි වෙයි. පෝල් එච්. නීට්ෂේ කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා නිදහස ආර්ථිකය තහවුරු කිරීමේදී අමෙරිකාව අවංක බ්‍රෝකර්වරයකු ලෙස ක්‍රියා කරමින් සිටින බවය.

එය ඇත්තක් ද? නැත හොත් ලෝක ධනවාදී කඳවුරේ අපේක්ෂාවක් ද?

අමෙරිකා එක්සත් ජනපදයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට දැඩි අර්බුදයකට ලක් වී ඇත. සමස්ත ලෝකය විකාර රූපී නාට්‍යයක් නරඹන්නා සේ ඒ දෙස බලා සිටිති. සැමුවෙල් බෙකට්ගේ ‘වේටින් ෆෝ ගොඩෝ’ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයෝ ගොඩෝ මහත්තයා එන තුරු බලා සිටිති. ලෝක ප්‍රජාව අමෙරිකාවේ පනස් නව වන ජනාධිපතිවරයා පත් කරන තුරු බලා සිටිති.

අමෙරිකාව පුරා ඇත්තේ නොසන්සුන් තත්ත්වයකි.අෆ්‍රිකන්-අමෙරිකන් වාර්ගිකයෝ ට්‍රම්ප්ට එරෙහිව පෙළපාලි යති. ඔවුහු රතු-පැහැති තොප්පි පුලුස්සමින් ද ට්‍රම්ප් පාලනයට එරෙහි විරෝධතා පාඨ හඬ නඟා කියවමින් ද පොලීසිය සමඟ ගැටුමක් ඇති කර ගැනීමට මාන බලති. මේ අතර, ට්‍රම්ප්ට හිතවාදී පාක්ෂිකයෝ මත්පැන් බොමින්, ගීත ගායනා කරමින් ජයග්‍රහණය සමරති. ඔවුන්ගේ මතය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරට අමෙරිකාව භාර ගත යුතු බවය.

ඩෙමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් අමෙරිකන් ඡන්ද ඉතිහාසයේ වැඩිම මනාපය ලබමින් වාර්තාගත ජයක් ලබා තිබුණ ද අමෙරිකන් ඡන්ද ක්‍රමයට අනුව එම ප්‍රතිඵලය ද අභියෝගයට ලක් වෙයි. එය සංකීර්ණ මැතිවරණ ක්‍රමයකි. ඡන්ද විද්‍යාලවල ජයග්‍රහණය, සෙනට් සභිකයන්ගේ ප්‍රමාණය ජනාධිපතිවරණය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.

ජෝ බයිඩ්න් පෙරේදා කියා සිටියේ අපි ජයග්‍රහණයේ මාවතට පිවිස සිටිනවා යන්නය. ඊට පිළිතුරු දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ අපි දිනුම්, වංචා සහගත මැතිවරණයකට ඉඩක් නෑ යන්නය. ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පැවැති තවත් අවස්ථාවක ජෝ බයිඩ්න් කියා සිටියේ මට හෝ ඔහුට හෝ ජයග්‍රාහකයා තීන්දු කළ නොහැකි බවය. ඊට පිළිතුරු දුන් ට්‍රම්ප් කියා සිටියේ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවය. දෙපාර්ශ්වයේ ගැටුම තීව්‍ර තත්ත්වයකට පත්ව තිබේ. ජයග්‍රහණය පිහි තුඩක සීමාවේ ඇතැයි බටහිර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

අමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම පැතිර යත්ම මධ්‍යස්ථ විචාරකයෝ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මත තුනක් පළ කළහ.

1. ජෝ බයිඩ්න් පහසු ජයග්‍රහණයක් අත් කර ගනී.

2. ඩොනල්ඩ් ට්‍රම්ප් අපහසු ජයග්‍රහණයක් අත් කර ගනී.

3. ට්‍රම්ප් බලහත්කාරයෙන් ජනපති පදවියේ රැඳී සිටිනු ඇත.

මෙහි එන තුන් වන මතය සනාථ වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. මැතිවරණ දිනය ආසන්න වත්ම ට්‍රම්ප් කියා සිටියේ තමන්ගේ ජයග්‍රහණය ස්ථිර බව හා එසේ නොවන්නේ නම් එය ඡන්ද දූෂණයක් බවය. මැතිවරණය දූෂිත යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. ඔහු ඡන්ද ක්‍රියාවලිය විවේචනය කරන අතර, එය අභියෝගයට ලක් කරමින් අධිකරණය වෙත යෑමට සූදානම් වෙයි. මේ අතර, ට්‍රම්ප්ගේ සහායකයන් පසු වන්නේ ජයග්‍රාහී මානසිකත්වයකය. ඉහත සිද්ධි දාමය දෙස බලන විට පැහැදිලි වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන ධුර කාලය ගැනීම සඳහා ඕනෑම උපාය මාර්ගයක් භාවිත කළ හැකි බවය.

‍ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩ්න් සටන අත්හරින්නේ නැත. ඔහුට සමස්ත අමෙරිකානුවන්ගෙන් බහුතරයකගේ කැමැත්ත ලැබී ඇත. බයිඩ්න් වෙනුවෙන් සටන් කරන විශාල පිරිසක් ද සිටිති. ඩිමොක්‍රටික් පක්ෂය මේ ජනාධිපතිවරණය වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 900කට වැඩිය. එය මැතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය වැය කර ඇති මුදල මෙන් දෙගුණයකට සමානය. ජෝ බයිඩ්න් ජනාධිපති තරගයට ඉදිරිපත් වන්නේ ද දැඩි විශ්වාසයක් සහිතවය. හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පූර්ණ සහ‍යෝගය ද ඔහුට ලැබිණි.

අමෙරිකාවේ පනස් නව වන ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත් වුව ද රාජ්‍ය ප්‍රතිපත්වල බලවත් වෙනසක් ඇති වන්නේ නැත. අමෙරිකාව - අමෙරිකාවම යැයි කිව හැකිය. එහෙත් පත් වන ජනාධිපතිවරයාගේ දැක්ම හා චර්යා රටා අනුව සුළු වෙනස්කම් ඇති වන්නට පුළුවන. එබඳු එක වෙනස්කමක් ලෝකයේ ඇතැම් කලාපවලට බලපෑම්කාරී වන්නට පුළුවන. කුමක් වුව තවත් දින කිහිපයක් ඇතුළත බයිඩ්න් හෝ ට්‍රම්ප් හෝ පනස් නව වන ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කරනු ඇත. වඩාත් වැදගත් වන්නේ එලෙස පත් වන තැනැත්තා අමෙරිකානු ප්‍රතිපත්ති හා වැඩසටහන් හසුරුවන ආකාරයයි.

මේ වන විටත් ලෝක දේශපාලන වේදිකාවේ ඇති ප්‍රධාන ගැටලු කිහිපයකි.

1. අමෙරිකා - චීන වෙළෙඳ යුද්ධය 
2. ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම 
3. පැරිස් සම්මුතියෙන් අමෙරිකාව ඉවත්වීම 
4. විදේශ රටවල අමෙරිකානු හමුදා රැඳවීම 
5. අමෙරිකාව මැද පෙරදිගට කරන බලපෑම

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා - චීන වෙළෙඳ ආරවුල යුද ගැටුමක් කරා මෙහෙයවමින් සිටි බව රහසක් නොවේ. චීනය, ඉන්දු - පැසිෆික් සාගර කලාපයේ ආධිපත්‍යය සඳහා කටයුතු සිදු කරන අතර, අමෙරිකාව, ජපානය, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව එහි යුද අභ්‍යාස පවත්වති. අමෙරිකාවේ ඉලක්කය ඉන්දු - පැසිෆික් සාගර කලාපය නිදහස් හා සාමකාමී එකක් බවට පත් කිරීම යැයි සඳහන් කළ ද සිදු වෙමින් පවතින්නේ වෙනත් දෙයකි. මේ තත්ත්වය දකුණු ආසියාවට ද තදින් බලපායි.

ට්‍රම්ප් පාලනය යටතේ ඉරාන - අමෙරිකා ගැටුම වඩාත් තීව්‍ර විය. අද එය පවතින්නේ බරපතළ තැනක යැයි කිව හැකිය. ජෝ බයිඩ්න්ගේ මතයට අනුව ඉරානය සමඟ සාකච්ඡා කොට බේරුම්කාර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වඩා සුදුසුය. ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයෝ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිති. පැරිස් පරිසර සම්මුතියෙන් ඉවත් වීම හා ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන අමෙරිකන් ප්‍රතිපාදන කපා හැරීමක් ට්‍රම්ප් පාලනය තීන්දු කළ මෝඩ ක්‍රියාවක් ලෙස බොහෝදෙනා විවේචනය කරති. පාරිසරික අර්බුදය උග්‍ර තැනෙක ඇති අතර, කොවිඩ් වසංගතය මේ මොහොතේ ප්‍රධාන ගෝලීය අර්බුදය බවට පත් වී ඇත. අමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයේ රැඳී සිටින්නේ වසර ගණනාවක සිටය. එය ඇෆ්ඝනිස්ථානයට මෙන්ම අමෙරිකාවට ද බලවත් හිසරදයකි.

ලෝකයේ පැරණිම දේශපාලන ගැටුම ඇත්තේ ඊශ්‍රායලය හා පලස්තීනය අතරය. මේ ගැටුම විසඳනු වෙනුවට එය තවදුරටත් අවුළුවාලන තැනෙක අමෙරිකාව පසු වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට වාසි සහගත වන ලෙස සිය පළමු ධුර කාලයේ තීන්දු-තීරණ ගත්තේය. ඇතැම් විට පලස්තීන ජනයා අපහාසයට ද ලක් කළේය. මැද පෙරදිග අර්බුද බොහොමයක් අමෙරිකාවට කෙටි කාලයක් තුළදී නැවැත්විය හැකිය. එහෙත් ‍ඩොනල්ඩ් ට්‍රම්ප් ගැටුම් වැඩි කළා මිස ඊට විසැඳුම් දුන්නේ නැත. සිරියාවේ හා යේමනයේ අද තත්ත්වය විමසන කෙනකුට එය පැහැදිලි වනු ඇත.

අමෙරිකානු ජනතාවගෙන් කොටසක් ට්‍රම්ප් පාලනයේ සාධනීය ලක්ෂණ දකිති. ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ අමෙරිකාවේ අභිමානය හා ආර්ථික ශක්තිය සුරක්ෂිත කිරීම සඳහා ට්‍රම්ප් පියවර ගෙන ඇති බවය. අමෙරිකන් ආර්ථිකය වාර්ෂිකව විශාල වර්ධනයක් සටහන් කරන අතර, කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුව එය පහළට බැස ඇත්තේ සියයට දශම දෙකකින් පමණ බව සංඛ්‍යා ලේඛනවලින් සනාථ වෙයි. විදේශීය වශයෙන් ට්‍රම්ප්ට එරෙහිව නැ‍ඟෙන හඬ ඒ අයුරින්ම අමෙරිකාව තුළ දකින්නට නැත. එහෙත් ඔහුට එරෙහිව නැ‍ඟෙන චෝදනා ද අමතක කළ නොහැකිය.

1. කොවිඩ් වසංගතය පාලනය කිරීමට නොහැකි වීම. 
2. චීනය සමඟ ගැටුම් උග්‍ර කර ගැනීම. 
3. ආණ්ඩුකාරවරුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම. 
4. හිතුවත්කාරී ලෙස ද විහිළුකාරී ලෙස ද හැසිරීම. 
5. සෞඛ්‍ය ප්‍රතිපත්ති යාවත්කාලීන නොකිරීම. 
6. ජනමාධ්‍යයට බලපෑම් කිරීම. 
7. වාර්ගික ගැටුම් උත්සන්න කිරීම.

කොවිඩ් වසංගතයෙන් වැඩිම පීඩාවකට පත් වූ රට හැටියට ලෝක බලවතා වූ අමෙරිකාව පත් වීම එක් අතෙකින් හාස්‍යයට කාරණයකි. රාජ්‍ය නායකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අවශ්‍ය නිසි ප්‍රතිකර්ම යොදා නැත. එක්තරා පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දෙන අන්දමට මුව ආවරණ පැලඳීම නීතියක් බවට පත් කළ හොත් හා එය ක්‍රියාත්මක කළ හොත් අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 95%ක්ම එයින් වළක්වා ගත හැකිය. එහෙත් ට්‍රම්ප් එබඳු පිළිවෙතකට ගියේ නැත. ඔහු ප්‍රසිද්ධ ස්ථානවලදී තම මුව ආවරණය ඉවතට විසි කරමින් කොවිඩ් යනු සාමාන්‍ය උණ රෝගයක් යැයි එය හෑල්ලුවට පත් කළේය. ඔහු අමෙරිකන් ජනතාවගේ නිදහස ගැන සලකා බැලුව ද ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කළේ නැත. වැඩිපුර ප්‍රශ්න විමසන මාධ්‍යවේදීන් ද ධවල මන්දිරයෙන් පන්නා දැමීය.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය මෙවර ජනාධිපතිවරණය මූලික කොට ශිෂ්‍ය ප්‍රජාව අතර ජනමත සමීක්ෂණයක් සිදු කර තිබේ. එහිදී 56%ක මනාපය ජෝ බයිඩ්න් වෙත ලැබී ඇත. ට්‍රම්ප් විවේචනයට ලක් කරන ශිෂ්‍ය ප්‍රජාව ඒ සඳහා විෂය කරුණු කිහිපයක් තෝරා ගනිති.

1. සෞඛ්‍ය ප්‍රතිපත්තිය 
2. වාර්ගික ගැටුම් උත්සන්න වීම 
3. ආර්ථික අසමතුලිතතාව 
4. පාසල්වල වෙඩි තැබීම්

අමෙරිකාවේ වාර්ගික ගැටුම දෙස ආපසු හැරී බැලුව හොත් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ සිදුවීම් වර්ධනය වී ඇත. එලෙසම ඒවා මර්දනය කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නැත. පොලිස් ක්‍රියා මාර්ග පිළිබඳ ජනතා විශ්වාසය බොහෝදුරට පිරිහී ඇත. ඔබාමා පාලනය යටතේ අමෙරිකන් පොලීසිය පිළිබඳ විශ්වාසය 56%ක් විය. ට්‍රම්ප් පාලනය යටතේ එය 48% දක්වා පහත වැටිණි.

වාමාංශික කඳවුරේ ලෝක බුද්ධිමතකු ලෙස ප්‍රකට නොම් චොම්ස්කි මෙවර ජනාධිපතිවරණයේ දී ජෝ බයිඩ්න්ට සහාය පළ කරන අදහස් ගණනාවක් දක්වා තිබේ. ඔහු ට්‍රම්ප් හඳුන්වන්නේ නොහික්මුණු ඒකාධිපතියකු හැටියටය. එහෙත් බයිඩන්ගේ පාරිසරික ප්‍රතිපත්ති හා දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රායෝගික බවද නොම් චොම්ස්කි පෙන්වා දී තිබේ. චොම්ස්කිගේ මතයට අනුව බයිඩන් 52%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇත. අද එය යථාර්ථයක් බවට පත් වී තිබේ. එහෙත් එම යථාර්ථය බලයක් බවට පත් වී නැත.

අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කවුරුන් බලයට පත්වුව ඔහු ඉදිරියේ ඇති අභියෝගය බරපතළය. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත. වාර්ගික ගැටුම් සමනය කිරීම සඳහා තවත් බලවත් පරිශ්‍රමයක යෙදීමට ද ඔහුට සිදුවනු ඇත. තවත් මාසයකින් 2021 වසර එළඹෙයි. ලබන වසර වන විට අමෙරිකාවේ රැකියා වියුක්තිකයන්ගේ ගණන මිලියන 22ක් වන බව පුරෝකථනය වී ඇත. මේ තත්ත්වයට දේශීය වශයෙන් මුහුණ දෙන අතර, විදේශීය වශයෙන් තවත් බරපතළ ගැටලු ගණනාවක් පවතී.

චීනය සමඟ ඇති ගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුව තිබේ. එය යුද්ධයක් දක්වා ප්‍රසාරණය කිරීම බලවත් විනාශයකට හේතු-සාධක වනු ඇත. මැද පෙරදිග ගැටුම්, ඉරානයේ සම්බාධක මෙන්ම පාරිසරික ගැටලු ද ප්‍රමුඛ වෙයි. මේ සියල්ල සාමකාමී ක්‍රියා මාර්ග ඔස්සේ විසඳා ගැනීමට අමෙරිකාවට සිදුවනු ඇත. අමෙරිකාව හමුවේ මාර්ග දෙකක් තිබේ. එකක් නම් අඩියක් පස්සට ගෙන සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගවලට පිවිසීමය. අනෙක අඩියක් ඉදිරියට තබා ලෝක යුද්ධයක් ඇති කිරීමය.

රට නොවසා වැඩ කරමු

$
0
0
නොවැ 6, 2020 01:00
චතුමී පිටිපන

කොවිඩ්-19 දෙවැනි රැල්ල පළමු රැල්ලට වඩා වැඩි වේගයකින් සෑම රටක් වෙතටම අවතීර්ණ වී තිබේ. ශ්‍රී ලංකාවේ තත්ත්වයද එසේමය. කොවිඩ්-19 පළමු රැල්ලට වඩා වැඩි රෝගීන් පිරිසක් මෙවර දිනකට වාර්තා වේ. රෝගය බෝවීමේ ප්‍රවණතාව ද ඉතා ඉහළ ගොස් තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ මෙවර වයිරසය පෙර වයිරසයට වඩා භයානක බවය. කලින් වයිරසය ආසාදනය වූ අයකුගේ කෙළ බිඳකින් තවත් පුද්ගලයකුට වයිරසය බෝවීම මෙවර ඉතා ඉහළ මට්ටමකින් පවතින බව වෛද්‍යවරු පවසති.

එහෙත් පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වූ කොවිඩ්-19 වසංගතය ඉතා ඉක්මනින් අවසන් කොට, කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමට යම්තම් හුස්මක් ගත්තා පමණි. දෙවැනි රැල්ල ආරම්භ වි ය. රටේ ආර්ථිකය කඩා වැටීම යනු සමස්ත රටම කඩා වැටීමකි. එසේ හෙයින් රට වසා දැමීම යළි කළ නොහැකි බව අතිගරු ජනාධිපතිතුමා පවසයි. කළ යුතුව ඇත්තේ රෝගයට බිය වීම නොව රෝගයෙන් පරිස්සම් වී එදිනෙදා ජන ජීවිතයට හුරු වීමයි.

රට වසා ගෙන නිවෙස් අගුළු දා‍ ගෙන සිටීමෙන් කඩා වැටෙන්නේ එක කුටුම්බයක් නොව කුටුම්බ ලක්ෂ ගණනකි. සමස්ත ශ්‍රී ලංකාවය. මෙය තේරුම් ගැනීම පොදු මහජනතාවගේ වගකීමය. කිසිදු සිසු දරුවකුට කරදරයක් නොවී උසස් පෙළ විභාගය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව නිමා වුණි. සිසු දරුවන් මෙන්ම අධ්‍යාපන බලධාරිහු ද විභාග මධ්‍යස්ථානවලදී මෙන්ම මඟ තොටේදී ද පරිස්සම් වූහ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිිළිපැද්දහ. මෙම වැඩපිළිවෙළ ඉදිරියටද ගෙන යා හැකිය. ඕනැම දෙයකට හුරු වූ පසු එය ඉතා අපහසු කාර්යයක් නොවේ. මෙලෙස දෑත් සේදීම, මුහුණ, කට නොඇල්ලීම සහ මුව ආවරණ පැලඳ සිටීම ඉදිරියට ද එනම් තව වසරක් යන තෙක් වත් කරගෙන යා යුතුය. එය එතරම් අමාරු කාර්යයක් නොවන්නේ එය තමාගේම සෞඛ්‍ය සම්පන්නබව ආරක්ෂා කර ගැනීමට ඇති එකම පිළියම හෙයිනි.

කුඩා දරුවාගේ සිට වැඩිහිටිය‍ා දක්වා කොරෝනා රෝගයට බියය. එහෙත් අප රටේ 12000කට අධික පිරිසකට කොරෝනා වැලඳුණද ඉන් බහුතරයක්ම රෝගය සම්පූර්ණයෙන් සුව වී නිවෙස්වලට ගොස් ඇත. රෝගය සම්බන්ධව දැනුම්වත් නොවී රෝගය සඟවා ගෙන නිවෙස් තුළට වී සිටීම මරණය කැඳවන්නකි. එසේ හෙයින් රෝග ලක්ෂණ පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් ගැනීම ප්‍රඥාගෝචර වේ.

රජයේ කාර්යාල බොහොමයකම පිරිස නිවෙස් තුළට වී සිය රාජකාරි කර ගෙන යති. මේ මොහොතේ සියලු දෙනාම මහ මඟ හෝ කාර්යාලවල ගැවසීම සුදුසු නොවේ. අත්‍යවශ්‍යම පිරිසක් පමණක් සේවයට කැඳවා රජයේ කාර්යාල හෝ පෞද්ගලික ආයතනයන්හි වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සුදුසුය. ඒ හා සමඟම සෑම පුද්ගලයකු විසින්ම සිහි තබා ගත යුතු වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳ ය.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි සතියකට දිනක් පමණ වෙ‍ෙළඳසල් විවෘතව පවතී. වෙළෙඳසල් විවෘත වූ සැණින් පොදි කකා භාණ්ඩ මිල දී ගැනීම සුදුසු නැත. සෑම අවස්ථාවකදීම තමාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සාමාන්‍ය මහජනතාව මෙන්ම වෙළෙඳුන් ද ජීවත් විය යුතුය. ඔවුන්ගේ වෙළෙඳාම ද ඉදිරියට කරගෙන යා යුත්තේ එය ඔවුන්ගේ ආදායම් මාර්ගය වන බැවිනි.

මේ කොයි කවුරුත් එකම ශ්‍රී ලාංකිකයෝ ය. අපට ඇත්තේ එකම රටකි. එකම අරමුණකි. එනම්, රටේ දියුණුව ය. ඒ උදෙසා අප සියල්ලන්ට මේ මොහොතේ දැඩි වගකීමක් පැවරේ. ඒ කුඩාම ඒකකය වන පවුල් වශයෙනි. අප අපේ සෞඛ්‍ය පුරුදු මේ අවස්ථාවේ නිසි පරිදි පවත්වා ගත යුතුම ය. එවිට ගමක්, නගරයක්, දිස්ත්‍රික්කයක් ආදී වශයෙන් මුළු රටම රැකේ. ඊට ගත යුතු මඟ සෞඛ්‍ය අංශ මගින් උදේහවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරයි. නිවෙසේදී, කඩපොළේදී, කාර්යාලයේදී වශයෙන් ඒ ඒ උපදෙස් පිළිපදින අපට කොරෝනා වසංගත මාරයාට ළංවිය නොහැකි ය. ඒ අප පමණක් නොව රටේ සෙසු සියල්ලන් වෙනුවෙන් අප අපේ යුතුකම අකුරටම ඉටු කිරීමකි.

තරුණ ජවයක නැවුම් අත්දැකීම

$
0
0
නොවැ 7, 2020 01:00

සුරතල් සතුන්ට ඔබ ආදරය කරුණාව දක්වන්නේ නම් මේ ඔබ අවධානය යොමු කළ යුතු ම කතාවකි. මන්ද ලංකාවේ පිහිටුවූ මුල්ම සත්ත්ව අවමංගල්‍ය ආයතනය වන Boocat memorial service ජයවර්ධනපුර සරසවියේ හොඳම තරුණ ව්‍යවසායකයාට හිමි සම්මාන ලබාගත් ශිෂ්‍යයා විසින් ආරම්භ කර තිබීම ය. ඔහු නමින් කණිෂ්ක අසේල විදානගේ ය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් වසරක් පාසා පවත්වනු ලබන හොඳ ම ව්‍යවසායකයා සඳහා සම්මානය කනිෂ්ක ලබා ගත්තා මෙන්ම හොඳම නවෝත්පාදන අංශයේ දෙවන ස්ථානය ද ලැබුණේ කණිෂ්කගේ Boocat memorial service ආයතනයට ය. නව සංකල්පයක් යටතේ ලංකාවට ආගන්තුක වූ මෙවන් ව්‍යාපාරික ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් කණිෂ්ක පවසන්නේ මෙවැන්නකි.

"මම පුංචි කාලේ ඉඳලා සුරතල් සතුන්ට ආදරෙයි. අපේ ගෙදර දැනටත් බල්ලෙක් ඉන්නවා. මට අනිත් අය කරනවා වගේ ව්‍යාපාර කරන්න කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ. මට ඕන වුණේ අලුත් දෙයක් කරන්න. මේ ඉන්න අතර වාරේ හාමුදුරුනමක් සුරතල් සතෙකුට පාංශුකූලේ දෙන ඡායාරූපයක් මම අන්තර්ජාලයේ දැක්කා. එදා ඉඳලා තමයි මට මේ අදහස ඇති වුනේ"

ඒ ඔහුගේ ව්‍යාපාරයේ ආරම්භයයි. ශ්‍රී ලංකාවේ පිහිටවූ ප්‍රථම සත්ත්ව අවමංගල්‍ය ආයතනය වන මෙය දැනට සීමාවී ඇත්තේ බස්නාහිර පළාතට පමණි. පසුගිය මාර්තු මාසයේ ආරම්භ කර ඇති මෙම සේවාව මගින් මේ වන විට මියගිය සුනඛයින් විශාල ප්‍රමාණයකගේ අවමංගල උත්සව පැවැත්වීමට කටයුතු කර තිබේ. බළලුන් හා සුනඛයින් සඳහා පමණක් මේ වන විට මෙම Boocat ආයතනයේ සේවාවන් සීමා වුවද එය තවදුරටත් ව්‍යාප්ත කිරීම කනිෂ්කගේ අදහසයි.

ආයතනය ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරුන් 150කට වඩා පිරිසක් කනිෂ්ක විසින් මුණ ගැසී තිබුණු අතර ඔහු පවසන පරිදි එම වෛද්‍යවරුන් සියලු දෙනාගෙන් ම ඔහුට ලැබී තිබුණේ ධනාත්මක ප්‍රතිචාරයන් ය. සුරතල් සතුන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමේදී තම ආයතනය ඔස්සේ කාපට්, දේහයන් රඳවනයන්, වියන්, සේසත් ආදී සියලුම දෑ විසින් සපයනු ලබන අතර සුරතල් සතුන් හිමිකරුවන්ගේ කැමැත්ත මත සුරතලා ආදාහනය කිරීම හෝ භූමිදානය සිදු කරනු ලබයි. දේහය ආදාහනය කිරීම සඳහා ඔවුන්ගේම භූමියක් ඇති අතර අවශ්‍ය නම් සුරතලුන්ගේ දේහයන් එහි භූමිදානය කිරීමේ හැකියාවක්ද පවතී. භූමිය ඇත්තේ කළුඅග්ගලය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මියගිය සුරතල් සතුන් වෙනුවෙන් මරණ සහතිකයක් ද ආයතනය ඉදිරිපත් කිරීමය.

"මුලින්ම මම මේ වගේ දෙයක් කරන්න අදහස් කරනකොට මගේ යාළුවො විතරක් නෙවෙයි පවුලේ අයගෙන් පවා කැමැත්තක් තිබුනෙ නෑ. සමහරු ඇහුවා ඉගෙන ගෙන ඉවර වෙලා මේ වගේ දෙයක් පටන් ගන්න පිස්සුද කියලා. ඒත් යොහාන් කියන මගේ යාළුවෙක් මේක හොඳ දෙයක් වැඩේ පටන්ගන්න කියලා මාව උනන්දු කළා"

කනිෂ්ක පවසන පරිද්දෙන් තමා විසින් සියලු ආකාරයේ පහසුකම් සහිතව මෙවැනි සේවාවක් ආරම්භ කර තිබුණද හිමිකරුවන් විසින් තමා ඇති දැඩි කරන සුරතල් සතුන්ට ගෞරවනීය අවසානයක් ලබා දිය යුතුයි කියන ආකල්පය ඇත්තේ කිහිප දෙනකු මත බව පමණක් පවසයි. මේ ආකාරයට ලෝකයේ බොහෝ රටවල මෙවන් ආයතන තිබුණද මෙවන්නක් ලංකාවේ ආරම්භ කරන ලද මුල්ම අවස්ථාව මෙයයි. මෙම මොහොතේ කණිෂ්ක ගේ ව්‍යාපාරය ව්‍යාප්ත ව පවතින්නේ බස්නාහිර පළාත තුළ පමණි. තමාගේ ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුරදීම ඔහුගේ තවත් එක් බලාපොරොත්තුවක් පවතී. එනම් Boocat charity නමින් සුරතල් සතුන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමයි. මෙම අරමුදල මගින් සුරතල් සතුන් සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇති යහපත් ආකල්ප වැඩි දියුණු කිරීමටත් මිනිසාට මෙන්ම අනෙකුත් සතුන්ට ද ඔවුන්ට හිමි නිසි තැන ලබා දීමට කටයුතු කිරීමට අදහස් කරමින් සිටී. එමෙන්ම මේ ඔස්සේ සුරතල් සතුන් වෙනුවෙන් වෙන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සුසාන භූමිය ඉදිකිරීමත් කණිෂ්කගේ බලාපොරොත්තුවයි.

පිරිහෙමින් තිබෙන සමාජයක කනිෂ්ක වැනි තරුණයකු කරන්නා වූ මෙම ක්‍රියාව අගය කළ යුතුය. මන්ද මෙය ව්‍යාපාරයක් ලෙසින් ඔහු ආරම්භ කළ ද එක් අතකින් මෙය සමාජ සේවයක් බඳු බැවිනි.

කනිෂ්ක අසේල

 උදුල රත්නායක

WRONG SIDE යන්නෙ නැතුව හරි පාරට කකුල තියමු

$
0
0
නොවැ 7, 2020 01:00

අප සියලු දෙන දන්නා ප්‍රධාන දිශා අටකි. උතුර, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර මෙන්ම ඊසාන, ගිනිකොන, නිරිත සහ වයඹ මේ දිශා අටයි. කුඩා කල සිටම මව්පියන්, ගුරුවරුන් ඉගැන්වූ දිශා අටයි. එහෙත්, අප යායුතු දිශාව කුමක්ද? මෙය අප හමුවේ පැන නගින ගැටලුවයි. යායුතු දිශාව කුමක්ද? යා යුතු දිශාව ඇත්තේ කොහේද? යායුතු දිශාව අපට පෙන්වන්නේ කව්රුන් ද? මෙය සොයා ගන්නේ කෙසේද? දැනට අප හැරී සිටින්නේ නියම දිශාවටද? එසේත් නැත්නම් සිටිනා තැනින් හැරිය යුතු තවත් සුදුසු දිශාවක් තිබේද? ගැටලු නම් බොහෝය. ගැටලු රාශියක් ඒ අකාරයෙන් පැවතියද පිළිතුරු ඇත්තේ කොහෙද?අවසානයේ එයත් ප්‍රශ්නාර්ථයකි.

කෙසේ වුවද යායුතු දිශාව සොයා ගත යුතුය. අප ජිවිත ගොඩ නැගී ඇත්තේ ඒ අනුවය. බොහෝ දෙනා සතුට සොයා යන්නේ ජීවිතය විඳීමට බලාපොරොත්තුවෙනි. මුදල් යනු මේ සතුට ලබා ගැනීමට අපට උපකාරී වන එක් සාධකයකි. මේ සාධකය ලබා ගැනීමට ඇතැමෙක් මුළු ජිවිත කාලයම ගෙවා දමයි. එහෙත් බොහෝ දෙනෙකුට අමතකව ඇති එක් කරුණක් වන්නේ මුදල් සතුට සොයා ගැනීමට උපකාරී වන එක් සාධකයක් පමණක් බවයි . මෙය දැනටමත් අප බොහෝ දෙනා සිරවෙන තැනකි.

ජීවිතය + මුදල් = සතුට?

ඇතැම් අවස්ථාවල කුඩා කල සිට මේ අතර අප ගැටේ. සරල උදාහරණයක් ගතහොත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට තෝරා ගන්න විෂයන් වලදී පවා මෙය මතුවේ. මම තෝරා ගන්නා විෂය නොව එයින් මට අනාගතයේදී ඇති පලය කුමක්ද? රැකියාවක් සොයා ගැනීමේදී එය මට උපකාරී වේද?

එම අවස්ථාවේ ගොඩ නැගුනු සරල ගැටලුවක් වුවද, එයට සරල පිළිතුරක්ද හමු වුවද එය සැබවින්ම ගැටලුවට තාවකාලික පිළිතුරක් පමණි. අප ගැටෙන්නේ සමාජයක් සමගය. සෑම දෙයක්ම අවිනිශ්චිතය, සාපේක්ෂය. පුද්ගලයාගෙන් පුද්ගලයාට අපුර්වත්වයක් ඇත. පොදුවේ සාමාන්‍යකරණය කරන ලද කරුණු තිබුනද එක් තැනැත්තෙකුට සුදුසු දේ තවත් අයෙකුට සම්පුර්නයේම අහිතකර විය හැක. අප තෝරා ගත යුත්තේ අපට සුදුසු දිශාවයි. තීරණ ගැනීමේදී අප ගැටෙන පිළිතුරු අතරින් අප සෙවිය යුත්තේ අප යා යුතු දිශාවයි

නිවැරදි දිශාව හඳුනාගත්තද ඒ අතට හැරී පිය නැගීමට අපට ආත්ම විශ්වාසයක් ශක්තියක් තිබේද? කුඩා කල සිට දරුවකු ප්‍රගුණ කල යුත්තේ මෙයයි. බිහිවිය යුත්තේ ශක්තිමත් කොඳු නාරටියක් සහිත පුද්ගලයෙකුයි. නියම තීරණය ගන්න. සැක සිතක් කුමටද? නිවැරදි දිශාවෙන් කිසි විටෙකත් දෙනෙත් අහකට නොදමන්න. අප ජිවත් කරවන්නේ සිහිනයි. ඒ නිදි පැදුරේදී දකිනා සිහින නොවෙයි. දෙනෙත් හොදින් විවුර්ත කරගෙන දහවලේදී දකිනා සිහිනයි. එහෙත් අපට සැබවින්ම තිබිය යුත්තේ සිහිනයකට වඩා එහා ගිය අරමුණකි. සිහින බොඳ විය හැකි නමුත් අරමුණු කරා යෑමට ඇති දුර පමණක් වෙනස්වනු ඇත.

දෙගුරුන් ඉගැන්විය යුත්තේ ස්ථාවර දිශා අට පමණක් නොව යා යුතු දිශාවයි. ඒ සදහා ශක්තිමත් විය යුත්තේ කෙසේද යන්නයි. අවසානයේ අපේ දිශාව තීරණය කරන්නේ අපමය. මෙය කියවන ඔබත් නිවැරදි දිශාව සොයාගැනීමට සමත් මනා දනුම්වත්කමින් යුතු පිරිසක් වීමම ඔබේ මෙන්ම රටේ අනාගතය වෙනුවෙන් ඉටු කරන මනා ආයෝජනයකි.

 

 ඩිල්කි දම්බරගේ

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>