ඔහු සිය බල වපසරියේ පිහිටි ගංතුලාන බොහොමයක පාසල් තනවමින් හෙට දවසේ මෙලොව එළිය දකින දරුවනගේ දෑස් පෑදීමට කළ මෙහෙය අනූපම සේවාවෙකි. සංඛ්‍යා ලේඛන අනුව බැද්දේගම නම් නවකතාව ලියා ලෝ පුරා මහත් කීර්තියක් අත්කරගත් හම්බන්තොට දිසාව භාරව හුන් සුදු ආණ්ඩුවේ උප ඒජන්ත ලෙනාඩ් වුල්ෆ් එහි ගත කළ කාලය තුළ 1908 සිට 1911 දක්වා කාලයේදී මුළු දිස්ත්‍රික්කයේම දරුවන්ගේ අධ්‍යාපනයට අලුතින් ඉදි කෙරුණේ පාසල් දොළසකි.
‘රුහුණේ සිංහයා’ මිය ගියේය. ඒ 1945 වෙසක් මහේ 18 දායි. ඔහු වියෝ වූයේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගෙන සිටියදීය. රට කරවන තැනදී හෘදයාබාධයක් වැලඳ රුහුණේ සිංහයායැයි විරුදාවලිය ලත් ඩී.එම්. රාජපක්ෂ හෙවත් දොන් මැතිව් රාජපක්ෂ මන්ත්‍රීවරයා මියගිය පුවත ගිරුවාගම් දොළොස්දහසක ජන හදවත් කම්පනයට පත් කරවමින්, සසල කරවන්නට තරම් ඉතා ප්‍රබල හේතු කාරණාවක් විය. ඔහු අවසන් සුසුම් වාතලයට මුසු කළ කනගාටුදායක ආරංචිය ඇසූ සිය ගණනක් ගොවියන්, ධීවරයන් ප්‍රමුඛ හම්බන්තොට ජනී ජනයා වැල නොකැඩී රුහුණේ සිංහයාට ස්වකීය ගෞරවය දක්වන්නට වීරකැටියේ කොන්දගල වලව්ව කරා ඇදී ආහ. මුළු වීරකැටිය නගරය වසා ඔහුගේ ආධාරකරුවෝ ඈත රුහුණේ ගම්මානයන්හි සිට පැමිණියෝය. ඔවුහු කඳුළු හලති. හඬති. කඳුළු හල හලා, හඬමින් වැලපෙති. ගිරුවාගම් සියල්ලෙහිම අහසට එසවුණේ සුදු කොඩිවැල් ය. ශෝක ප්‍රකාශ ලියූ සුදු රෙදි කොඩි ලුණුගම්වෙහෙර, කිරින්ද, තිස්සමහාරාමය, දෙබරවැව, වීරවිල, බැදිගම්විල, බුන්දල, යෝධකණ්ඩිය, යාල, මාගම, පන්නෙගමුව, හම්බන්තොට, උඩ මත්තල, පහළ මත්තල, බඳගිරිය, අම්බලන්තොට, රිදියගම, නෝනාගම, හුංගම, ලුණම, රැකව, රන්න, නෙටොල්පිටිය, තංගල්ල, උණාකුරුව, නාකුළුගමුව, කුඩාවැල්ල, බෙලිඅත්ත, කුඩා හීල්ල, මහ හීල්ල, පුවක්දණ්ඩාව, වලස්මුල්ල, කිරම, මීගහජඳුර, සූරියවැව, අඟුණකොළපෑලැස්ස, කටුවන,මිද්දෙණිය මේ එකී නොකී හැම ගමකම ජනී ජනයා ලොකු කුඩා භේදයකින් තොරව හඬමින් වැලපෙමින් සුදු කොඩි ඔසවා ඔහුට ගෞරවාචාර කළහ.
රුහුණේ සිංහයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගත්තේ 1936 පැවති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට හම්බන්තොට දිසාවෙන් තරග කොට ප්‍රතිවාදීන් දෙන්නකුම වැඩි ඡන්ද 12106කින් පරාජයට පත් කරමිනි.
ඩීඒගේ පියාණෝ දොන් දාවිත් රාජපක්ෂ විදානාරච්චි රාලහාමිය. ඔහු විදානාරච්චි ධුරය දැරුවේ වීරකැටිය ඉහළ වැලිකඩ කෝරළේය. ඩීඒගේ මෑණියෝ දෝන ගිමාරා රත්නායක වීරකෝන්ය. එතුමිය ඉහළ බෙලිගල්ලේ ප්‍රභූ පවුලක සාමාජිකාවකි.
රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් අවුරුද්දක්ම නායකයා වූයේ හද්දා පිටිසරින් දකුණු ලකේ අගනගරේ ගාලුපුරේට ආ ඩීඑම්ය. ඒ 1913 සිට 1915 දක්වාය. ඩීඇම්ගේ ‘කැප්ටන්’ කමින් ඒ තෙවසරේම පැවති ‘රුහුණේ ආදරවන්තයන්ගේ හටනේ’දී මහින්ද විදුහල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජය අත් කර නොදෙන්නට ඩීඑම් අපූරුවට රිච්මන්ඩ් පිළ මෙහෙයවා ඇති අයුරු රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් ගැටුමේ ඉතිහාසය හාරා අවුස්සා බලද්දී කවරකුට වුව මැනවින් වටහා ගත හැකිය.
මල්ලී ද අයියාට නොදෙවැනිය. ඩීඒද ක්‍රිකට් පන්දුවටත් පිත්තටත් වගේම පාපන්දුවට ද පෙම් කළේය. ඔහු වසර කීපයක්ම රිච්මන්ඩ් පාපන්දු පිලේ නායකයා වෙමින් ප්‍රතිවාදී පාසල් පාපන්දු කණ්ඩායම් මවිත කරවමින් සිය පිල හසුරුවා විදුහල් මාතාවට ජයග්‍රහණ අත්පත් කර දුන්නේය.
මේ දෙන්නා සුද්දන්ටත් කළු සුද්දන්ටත් එරෙහිව රට පුරා පැන නැඟෙන අධිරාජ්‍ය විරෝධී හටන් විවිධ අයුරින් මතු වෙද්දී ඒවාට තව තවත් පොදු මහජනයා ඒකරාශි කරවන්නට දේශමාමක උගත් බුද්ධිමත් තරුණ පිරිසක්ද පොදිගැහුණේ සූරියමල් ව්‍යාපාරය නමින් 1933 නොවැම්බර් 11 වැනිදා ඇරඹුණු නව දේශප්‍රේමීන්ගේ ගොනුව වෙතයි. බොරලුගොඩ සිංහයා නමින් විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධන හා ඔහු සොවුරු රොබට් ගුණවර්ධනයන් ද ඇන්.ඇම්.පෙරේරා හා කොල්වින් ආර් ද සිල්වා, මොරවක ඇට මැස්සා යනුවෙන් කළු සුද්දන් විසින් නම් පට බැඳි අකුරැස්සේ වෛද්‍ය සුගීෂ්වර වික්‍රමසිංහයන් ද ඩෙරීන් යංග් (පසුව ඩොරීන් වික්‍රමසිංහ - බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරියකි, සැබවින්ම මෙහි ප්‍රථම සභාපතිවරයා වූයේ ඇයයි) වෛද්‍ය මේරි රත්නම් හා ඇගේ පුතණුවන්, රොබින් රත්නම්, ඊලියන් පෙරෙයිරා, ටෙරන්ස් ද සිල්වා, රෝයි ද මෙල්, විල්මට් පෙරේරා, වර්ණන් ගුණසේකර, ඇම්.ජී. මෙන්ඩිස්, ලෙස්ලි ගුණවර්ධන, චම්ලි ගුණවර්ධන යන දෙසොහොවුරන් ද කේ.රාමනාදන්, පී.කන්දයියා, ජේ.සී.ටී. කොතලාවල, සෙලිනා පෙරේරා, විවියන් ගුණවර්ධන, අයිලින් වීරසේකර, නීතිඥ ඩී. වේලාරත්න, හෙන්රි පෙරින්පනායගම් වැනි දේශප්‍රේමී, දේශමාමක, දෙස් විදෙස්හි මනා අධ්‍යාපනයක් ලද ජවයෙන් අනූන කීප දෙනකුගෙන් සමන්විත තරුණ කැලකි මෙපිරිස. සිරිලක සිව් දිසාවෙන්ම එකට එක්රැස් වී මව්බිමට පූර්ණ නිදහස ගන්නට තිර අදිටනින් මොවුහු පොරට බටහ. පසු කලෙක මේ උදවියගෙන් අති බහුතර පිරිසක් ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ ආරම්භක නියමුවෝ වූහ. මව්බිමේ පූර්ණ නිදහස වෙනුවෙන් පෙරට ආ මේ උගත්, බුද්ධිමත්, තරුණ ජවයෙන් හෙබි මොවුන්, රට පුරා සිය සංවිධාන ගොඩනඟද්දී ඩී.එම්. ද ඔවුනට හවුල් වූයේ සිය මලණුවන් ද එක්කරගෙන ය.
දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහයන් සමඟ පැවති මිත්‍ර සංධානයෙන් සූරියමල් ව්‍යාපාරයට ඇදී ගිය ඩීඑම් දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට හම්බන්තොට ආසනය නියෝජනය කරමින් මහජන නියෝජිතයකු වූයේ ඔහු රුහුණු ගිරුවාගම් දොළොස්දාහේ දිවි ගෙවන අහිංසක අසරණ ගොවි ජනතාවගේ මෙන්ම ධීවර හා කම්කරුවන්ගේ පණ කෙන්ද රකින්නට ඔවුන් අතරේ රැඳෙමින් කළ නේකාකාර වූ ක්‍රියාකාරකම් එක් සිතින් ඒ මිනිසුන් පිළිගත් හෙයින් යැයි කීම නිබොරුවකි.
රුහුණේ සිංහයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට ආසනය නියෝජනය කරමින් මහත් වූ සේවාවක නියැළී සිටියදී 1945 අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ අභාවය හම්බන්තොට ජනතාවට ගෙන දුන්නේ දැඩි කම්පනයකි. ඔහුගේ අභාවයෙන් හිස් වුණු ආසනයට ඔහුගේ බාල සොහොවුරා පත් කරගන්නට ජනතාව පොදි ගැසී ඔහු සොයා ආහ.
අභාවප්‍රාප්ත ඩීඇම්ගේ සොහොවුරා දොන් එල්වින් රාජපක්ෂ ගම්මුන් විසින් හැඳින්වූයේ බුද්ධියාගම පොඩි රාලහාමි නමිනි.
ඔහුගේ පවතින ගතිගුණ ඩීඑම්ගේ වගේ නොවීය. හේ බොහෝ සාන්ත දාන්ත පුද්ගලයෙකි. ඉතා චාම් වූත්, සරල වූත්, දිවි පෙවෙතකට කැමැත්තක් දැක් වූ පුද්ගලයෙකි. බොහෝ නිවුණු චරිතයක් වගා දිගා කර ගන්නා ලද්දෙකි. හැම දෙයක් දිහාම ඉතා නිහතමානීව බැලීමට හැකියාව දියුණු තියුණු කර ගත් තැනැත්තෙකි.
ඉඳුල් කමින් සුද්දා අනුකරණය කළ කළුසුද්දන් පර සුද්දන්ට වඩා බෝ ගරුගම්භීරය. ඩීඒට ඒ ගැන අමුතුවෙන් හිතන්නට කාරණා නොවීය. මේ වන විට දෙවන ලෝක යුද්ධයේ බියකරු හානිවලින් සමස්ත ලෝකයාම අන්ත අසරණ වී දැඩි පීඩාවකට පත්ව හුන් අයුරු අපේ ඩී.ඒ. මැනවින් අත්දැක්කේය. ඔහු ජනතාව අතර සැරිසරයි. අහිංසක ගොවි ජනයා එක පැත්තකින් ද ධීවර ජනයා තවත් පැත්තකින් ද ඔහු අභිමුව පවසන්නේ තමන් පත්ව හිඳිනා දැඩි අසහනකාරී පීඩාවන් ගැනය. හේ ඔවුන්ගේ කන්නලවු කෙරෙහි බෝ සාවධානව සවන් දෙයි. විසඳුම් සොයන හැටි කියයි.
ඔය අතරේ පළමුවැනි පාර්ලිමේන්තු මහ මැතිවරණ සමය උදා විය. ඩීඒ තරග කළේ හම්බන්තොට ආසනයට නොවේ. අලුතින් බෙදා වෙන් කෙරුණු බෙලිඅත්තටය. හම්බන්තොට අසුනට වරම් ලද්දේ ඩීඒගේ මඟ පෙන්වීම මත ඔහුට මහජන සේවය සඳහා දොරගුළු විවර කර ගන්නට මඟ හසර පෑදුණු සොහොවුරාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන්ටය. ලක්ෂ්මන් රාජපක්ෂටය.
බෙලිඅත්තත්, හම්බන්තොටත් ආසන දෙකෙහිම ජයග්‍රහකයෝ වූයේ සුළු පියාණන් වූ ඩීඒ හා ඥාති පුතණු ලක්ෂ්මන්ය. ලක්ෂ්මන් ඡන්ද 8756ක් ලැබ හම්බන්තොටින් මැතිසබයට සුදුසුකම් ලබද්දී, ඩී.ඒ. 14007ක් හිමි කර ගනිමින් ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද 8022කින් බෙලිඅත්තෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය.
හේ සිය සොහොවුරා මෙන්ම ආරිය සිංහල ඇඳුමක් හැඳ නිබඳවම ගෙල වටා කුරහන් පැහැ සළුවකින් සැරහී හුන්නේය. රාජපක්ෂලා ගිරුවාපත්තුවේ පමණක් නොව රුහුණේ ද සිටිනා ප්‍රභූ පැලැන්තියේ නම් දරමින් සිටියද වැඩිමහල් සොහොවුරන් දෙන්නා මෙන්ම ඩීඒද ඔවුන් නියෝජනය කළ පැලැන්තියට ගරු නොකළේය. ඔවුන්ගේ තුච්ච හැසිරීම් අලුයම ලූ කෙළ පිඩක් සේ ඒ සියල්ල බැහැර කළේය.
හෙළ බොදු දිවයින වසා පැතිරැති සමාජ අසාධාරණය ඔහු නොරිස්සුවේය. ඒ අතර, ප්‍රමුඛතාවක් ගිරුවායේ අසරණයන් විඳින අනේක විධ කෙනෙහිලිකම්වලින් මුදා ගන්නට ඇවැසි පියවර අප්‍රමාදව ගත්තේය.
ක්ෂුද්‍ර යැයි සම්මතයක් ඇති කොටගෙන ඇති ජන සමූහයා මුළුමනින් කය වසාගෙන සිටින්නට නොහැකිව හුන් ස්වකීය උපන් බිමේ ගැහැනුන්, මිනිසුන්ට ඇඟට සරිලන ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටින්නට එකල ඒ පෙදෙසේ හුන් වංසක්කාරයන් පනවා තිබූ තහංචි අකා මකා දමන්නට ඉඩ හසර පාදා දුන්නේ ඩී.ඒ. ය. කුලහීනයන් යැ යි පාරම්පරිකව කායිකවත් මානසිකවත් කෙලෙසන ලද ඔවුන් නේක පැහැයෙන් ඇඟලන ලද වතින් පෙරහරකින් ඡන්ද පොළට ගියේ ඩීඒගේ මඟ පෙන්වීම මතය. උඩුකය වසා නොගෙන එතෙක් කලක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් ගමන් බිමන් ගිය කාන්තාවෝ එදා ඩී.ඒ. ට පින් දෙමින් ආශිර්වාද කළහ. වංසක්කාරයන් එන විට පාර අයිනකට වී හිස බැඳි තලප්පාව ඉවත් කොට කරේ තියෙන සාළුව අතකට ගෙන දෙකට තුනට නැමී ප්‍රභූ උත්තමයා එන මඟින් ඈත්ව හිඳින්නට හුරු පුරුදුව හුන් ගැමියා එදා පටන් ඩී.ඒ. ට විතරක් නොව ඔවුනගේ දූ පුතුනට ද ඉමහත් භක්ත්‍යාදරයක් දක්වන්නේ පුරුදු වූහ.
මුල්ගිරිගල රාජ මහා විහාරය හා අවට පිහිටි කසාගල, නයිගල, කොන්දගල, බිසෝගල ප්‍රමුඛ සෙසු පූජනීය බෞද්ධ සිද්ධස්ථානයන්හි නාහිමිපාණන් වහන්සේගේ ඇසුරේ පැටි සංධියේ පටන් හැදුණු වැඩුණ ඔහු ඒ හැම පන්සලක්, විහාරයක්ම ආරක්ෂා කරන්නට, රැකගන්නට පියවර ගත්තේය.
එවක පාර්ලිමේන්තුවේ පළාත් පාලන ඇමැති මෙන්ම සභානායකවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට පිය නඟද්දී ඔහුගේ සෙවණැල්ල සේ පසුපසින් පැමිණ විපක්ෂයේ අසුන් ගත්තේ එවක පාලකයන් ද සුද්දන්ට කත් අදිමින් තමන්ගේ තැන රැකගන්නට ගන්නා උත්සාහය කෙරෙහි දැඩි සේ හුන් කලකිරීම පෙන්වමිනි.
ඊට පසු 1952දී ඡන්ද 17382ක් ගනිමින් ද 1956 මහ මැතිවරණයේදී බෙලිඅත්ත ඡන්දදායකයන්ගේ ඡන්ද 26215 ක් ද ලැබ පාර්ලිමේන්තුවේ අසුන් ගත්තත්, 1960 මාර්තු 19 වැනිදා පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ ඩී.පී.අතපත්තුටය. ඒත් 1960 ජූලි මැතිවරණයේදී 35992 කුගෙන් යුත් ඡන්දවලින් 15121ක කතිර ලැබ සිය අසුන රැක ගත්තත්, ඔහු 1965 දී පරාජයට පත් වූයේ යළිත් සිය ප්‍රතිවාදියා වූ ඩී.පී.අතපත්තුටයි.
මැතිනියගේ සභාග ආණ්ඩුව විනාශ කර දමන්නට ඇවැසි අන්දමින් මිටි ගණනින් පුරවන ලද සල්ලි පෙට්ටි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතට පත් කරන්නට වූහ. ඔවුන් යෙදූ උපක්‍රමයට ප්‍රබල ඇමැතිවරුන් කීපදෙනකු ඇතුළු මහජන නියෝජිතයන් දාහතර දෙනකු අල්ලා ගන්නට ප්‍රතිගාමීත්වය සමත්කම් පෑවේය.
ඩී.ඒ.අල්ලා ගැනීමට ද කුමන්ත්‍රණකරුවෝ දැල් එලූහ. ඩී.ඒ. ලා ට ඉතා කිට්ටුවන්ත මහා ප්‍රභූවරයෙක් රුපියල් පනස්දාහකට වැඩි සල්ලි පුරවා ගත්තු සූට්කේසයක් ගෙන ආවේය. ඒ වන විටත් ඩී.ඒ.බොහෝ ආර්ථික අසීරුතාවලින් පෙළුණි. අර ප්‍රභූවරයා කුමන්ත්‍රණකරුවන් එවන ලද්දේ දැඩි විශ්වාසයක් ඇතිවය. කාරණා කාරණ කියමින් අර ප්‍රභූවරයා ඩී.ඒ. නම්මවා ගන්නට දත කෑවේය. ඒත් ඩී.ඒ.රාජපක්ෂයෝ ඊට අවනත නොවූහ. අන් කිසිදු දවසක කිසිදු දෙයකට කෝප නොගන්නා, බොහෝ සාන්ත දාන්ත, මැදමුලනේ රාලහාමි එදා නම් හිතට නැඟුණු කේන්තිය වාතලයට බැහැර කළේය. සුන් වූ බලාපොරොත්තුවෙන් අර මහා දැවැන්ත ප්‍රභූවරයා ආපහු හැරී ගියේ පස්සවත් නොබලාය.
ඩී.ඒ. බොහෝ ගුණගරුක පුද්ගලයෙකි. සිය හෘදය සාක්ෂියට නො ගැළපෙන කිසිවක් කිසිදු විටෙක නොකළේය. ඒ නිසාම රටත් ජාතියත් රැක ගන්නට සුදුසු කටයුතු සුදුසු වෙලාවට කරමින් තමන් මහා යෝධයකු කරන්නට කතිර කෑල්ල පූජා කළ බෙලිඅත්තේ ඡන්දදායකයින්ට නිගරුවක් වන කිසිවක් කිසිදු වෙලාවක කරන්නට හීනෙකින්වත් හිතුවේ නැත. එහෙයින් 1965 මහ මැතිවරණයෙන් පැරද ඔහු සිය නිවහනට වී පියාදර බිරිය දන්දිනා සමරසිංහ දිසානායක පාලටුවේ හාමිනේ හා දරුවන් නවදෙනා සමඟ දුෂ්කර ක්‍රියාවේ යෙදුණේ අයියාගේ ඡන්ද ව්‍යාපාරවලට ඇවැසි මිල මුදල් විය පැහැදම් කර යාන්තමින් ඉන්න ගේ කෑල්ලත් ඉඩම් කෑල්ලත් විතරක් හිමි වූ ගොවි නියමුවකු හැටියටය.
මොන තරම් අසීරුතා ඇතත් ඔහු තමන් හා එක්ව හිඳිනා ගිරුවායේ ගැමියනගේ ඕනෑ එපාකම් පිරිමසන්නට තත්පරවීමට අමතක නොකළේය. ඔහුගේ සිහිනය වූයේ ගොවිතැන් බත සරිකරන්නට දිවා රෑ වෙහෙස වෙමින් කාෂ්ටක පොළොවේ ගිනි ගහන අවුවේ පිච්චෙමින් වෙහෙසෙන ගොවි සිත් තුටු පහටු කිරීමය. ඒ වෙනුවෙන් ඔහු මුරුතවෙල ජලාශය නිමහම් කළේය. චන්ද්‍රිකා වැව ඉදි කරන්නට මංගල පස් පිඩැල්ල කපා සුවහසක් ගොවි දනන්ගේ කෙත්වතු සරු කරන්නට දියවර දෙන්නට පියවර ගත්තේ ඊට පෙරය. එදා ඔහු තරම් අන් කිසිවකු සතුටු වූයේ ද යන්න දන්නෝ ඔවුන්ම පමණි. කිරම හොය වාරි ව්‍යාපාරයක් සේ නංවන්නට පියවර ගත්තේ ඔහුය. කෘෂිකර්මාන්තය හා වාරි කර්මාන්තය පිළිබඳ මනා අවබෝධයකින් හෙබි ඩී.ඒ. රාජපක්ෂයෝ ඒවා නිර්මාණය කළ නිසා තමන් ඇතුළු සිය ගණනක් ගොවි පවුල් බඩ වියත රස්සා කරගන්නා බව අපට සිහිපත් කළේ බඳගිරිය වැවෙන් පෝෂණය වන කෙත්යායේ අසිරිය විඳිමින් එහි එක් අන්තයක දිවි ගෙවනා සිරිපාල දිසානායක ගොවි පුත්‍රයායි. බඳගිරියේ හැම ගෙයකම පැරැණියන් ඩී.ඒ.අදහන්නේ දෙවියකු සේය.
ඔහු සිය බල වපසරියේ පිහිටි ගංතුලාන රාශියක පාසල් තනවමින් හෙට දවසේ මෙලොව එළිය දකින දරුවනගේ දෑස් පෑදීමට කළ මෙහෙය අනූපම සේවාවෙකි. සංඛ්‍යා ලේඛන අනුව බැද්දේගම නම් නවකතාව ලියා ලෝ පුරා මහත් කීර්තියක් අත්කරගත් හම්බන්තොට දිසාව භාරව හුන් සුදු ආණ්ඩුවේ උප ඒජන්ත ලෙනාඩ් වුල්ෆ් එහි ගත කළ කාලය තුළ 1908 සිට 1911 දක්වා කාලයේදී මුළු දිස්ත්‍රික්කයේම දරුවන්ගේ අධ්‍යාපනයට අලුතින් ඉදි කෙරුණේ පාසල් දොළසකි. එදා පැවති පාසල් ගණන තිස් දෙකකි. ඒත් ඩී.එම් හා ඩී.ඒ. රාජපක්ෂ දෙසොවුරෝ 1960 වන විට දිස්ත්‍රික්කය පුරා අලුතින් පාසල් එකසිය හැට නවයක් දක්වා වැඩි කරන්නට උත්සුක වූයේ හම්බන්තොට මහ පොළොව එක්ක හරි හරියට හැප්පෙන ගොවියන්ගේ හා අවු වැසි පිනි හුළං කොඩ නොතකා ජීවිතයත් මරණයත් අතර මහා බියකරු හටනක යෙදී අපේ බත් පතට ඇවැසි මාළු පිනි සපයන්නට දත කන ධීවර ජනයාගේත් අනාගත පරපුර සාක්ෂරතාව අතින් ඉහළට ඔසවන්නට ගත් දැවැන්ත මෙහෙවර කෙතරම් අගනේ ද? කෙතරම් ප්‍රශස්ත ද?
රිච්මන්ඩ් විදුහලේදී මනා ශික්ෂණයක් උකහා ගත්, මනා දැනුමක් උරාගත් ඩී.ඒ. රාජපක්ෂයෝ ප්‍රායෝගිකව නිවැරදි සේ ඒ දැනුම බොහෝ හොඳින් භාවිතයේ යෙදූහ.
බෞද්ධ දර්ශනය මත පිහිටා සියලු දෙනාට මෙත් සිතින් සැලකීම ඔහු සිය දියණියන් තිදෙනාටත්, පුතණුවන් හය දෙනාටත් හුරු පුරුදු කළේය. එනිසාම ඔවුහු බොහෝ යහපත් ගුණගරුක, රටට වැඩදායක, සැමදෙනාට මිත්‍රශීලිව සලකන හොඳ පුරවැසියන් සේ හැදුණහ. වැඩුණහ. එහිලා ඩී.ඒ. ගේ ආදරණීය පාලටුවේ හාමිනේ ද ඇය හැදී වැඩුණු පරිසරයෙන් උකහා ගත් සියලු යහගුණ ගති සිරිත් අඩුවකින් තොරව ඔවුන්ට දායාද කළාය.
මවුආර වාරි යෝජනා ක්‍රමයක සිහින ඔහු දැක්කේය. උමා ඔයේ දිය කඳ හම්බන්තොට කාෂ්ටක පොළොවේ වියැළි බව පහ කරන්නට හැකි වග දොස්තර විකුම්සිහගේ ඇසුරින් ලද නිසා වියළී, කාෂ්ටක වී ඇති දකුණේ දකුණ, ඇල් ජලයෙන් නිතර සරුසාර වන අයුරු දකින්නට හේ සිහින මැවුවේය. ඒත් ඒ සියලු සිහින හිත් හතන්හි දරාගෙන 1967 ඉල් මහේ එකොළොස් වැනිදා හේ දැයෙන් සමු ගත්තේය.
1951දී එවක පළාත් පාලන ඇමැතිවරයා වූ එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට පා නැඟූදා ඔහුත් සමග ඒ පැත්තෙන් මේ පැත්තට පිය නැඟූ ඩී.ඒ. රාජපක්ෂයාණෝ අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට රාජ්‍ය බලය අත්පත් කර ගන්නට වෙහෙස වූ පෙරමුණේ රාළලාගෙන් අංක දෙක සේ සටහන්කරුවාණන් යැයි සටහන් කළ හොත් නිවැරදිය. එදා ඔහු හා තවත් කීපදෙනෙක් බණ්ඩාරනායක සිරිමතාණන් හා ගත්තු තීරණයේ නිරවද්‍යභාවය අද ලාංකේය අපට පමණක් නොව ප්‍රගතිශීලී සෙසු ලෝකයාටත් ගෙන දෙන්නේ මහත් වූ ආස්වාදයකි. අපේ මේ පින්බිම දඩබිමක් කර ගන්නට, අපට හතුරුකම් කරන්නට පැය විසිහතර පුරා ඔත්තු සේවා යොදවමින් කුමන්ත්‍රණ කරන බටහිරයන් කෙරෙහි තඹ සතයක සැලකිල්ලක් නො දැක්වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ පමණක් නොව මානුෂීයවාදී ලොවක් ලොවේ තනන්නට වෙහෙසෙන දේශමාමකයනට ගෙන දෙන ඉලක්කයට ඩී.ඒ. රාජපක්ෂ නම් උතුම් මිනිසා පෙන්වා ඇති ආදර්ශය මිල කළ නොහැක්කේමය.
දොන් දාවිත් රාජපක්ෂ නම් මිනිසා හා දෝන ගිමාරා වීරකෝන් රත්නායක නමැති උත්තම ගණයේ යුවළක් මේ බිමේ පහළ නොවන්නට ත්, ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා සමරසිංහ දිසානායක පාලටුවේ හාමිනේත් නැත්නම් අද මේ පින් බිම තවමත් හෙළයනගේ රුහිරුවලින් නැහැවෙමින් පවතින ඉන්දීය සයුරේ ලේ බින්දුව සේ ලොව පුරා කුප්‍රසිද්ධ වනු සිකුරුය.
යුගයෙන් යුගයට රටකට රාජ්‍යයකට යුග පුරුෂයෝ පහළ වෙති. ඔවුන් ජන හදවත්හි මතක සටහන් තබන්නේ කිසි දිනෙක නොමැරුණු මිනිසුන් ලෙසටයි. ඩී.එම්. මෙන්ම ඩී.ඒ. ද මහා යුග පුරුෂයෝය. රටක ලොවක ඉතිහාසය අලුතින් ලියැවෙන්නේ ඔවුන් නිසයි.
ඩී.ඒ. හා දන්දිනා මාතාව විසින් සිරිලක් මවට ජනිත කළ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙසොහොවුරන්, ලක් ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද සදා අමරණීය චරිත සේ සටහන්ව ඇති වග අපට විශ්වාසය.
මේ පින් බිම කෘෂිකර්මාන්තයෙන් මෙන්ම අපනයන භෝග වගාවෙන් ද උසස් තත්ත්වයකට ඔසවා තබන්නට ඩී.ඒ. දැරුවේ අපමණ මහන්සියකි. වෙහෙසකි. ඔහු තම ගංතුලාන ආශ්‍රිතව පිහිටි දනවුහි වඩාත් සාර්ථකව වගා කෙරුණු පැඟිරි වගාව නංවාලීමට ඇප කැප වූයේය. එයින් නොනැවතුණු ඔහු ඇඹිලිපිටියේ කඩදාසි කම්හලක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයෙන් අලුත් අලුත් දෑ නිපැයීමට පාලක පක්ෂයත් ජනතාවත් මෙහෙයවන්නට පියවර ගත්තේය. රුහුණේ මනාව කපු වැවෙනා නිසා ඔහු කපු වැවීමෙන් ද රටේ ආර්ථිකයට වාසි අත්කර ගත හැකි බව වටහාගෙන බටඅත ගොවිපළ ආශ්‍රිත ගම්බිම් රැසකම කපු වගාව අරඹන්නට තත්පර විය.
වීරකැටිය මුල් කොටගත් දොන් දාවිත් රාජපක්ෂ පරපුරේ රාජපක්ෂ නාමාවලියේ දිදුලන තාරකා බොහෝය. ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ ප්‍රමුඛ දූ පුතුන් හත් දෙනෙකි. රුහුණේ සිංහයා යනුවෙන් චිරප්‍රචලිත වූ ඩී.එම්. රාජපක්ෂයාණන්ට, පවුලේ වැඩිමල්ලා වූ දොන් චාල්ස් රාජපක්ෂ කොරනෙල් රාලහාමිට දුවලටත් පුතුන්ටත් හිටියේ එක දියණියකි. ඇය බ්‍රියට්‍රීස්ය.
ඩී.ඒ.ගේ පරපුරේ චමල්, ජයන්ති, මහින්ද, චන්ද්‍රා, ගෝඨාභය, බැසිල්, ඩඩ්ලි, ප්‍රීති හා චාන්දනී (ගාන්ධිනී) රාජපක්ෂ යනුවෙන් දූ පුතුන් නව දෙනෙකි. මේ නව දෙනාගෙන් ජයන්ති ද ප්‍රීති හා චන්ද්‍රා ද කලකට පෙර ජීවිතවලින් සමු ගත්හ.
ඩී.ඒ. ගේ මද්දු පුතා තරම් ජනප්‍රිය චරිතයක් මෙසිරිලක තවත් ඇත්තේ නැතැ යි අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු බොහෝ නිහතමානීය. නිරහංකාරය. ලොව වත්මනේ සිටින මහා බලගතු රාජ්‍යයන්හි රාජ්‍ය නායකයින් සමඟ සිටිනා විට අන් සියල්ලන්ට වඩා කැපී පෙනෙන රාජ්‍ය නායකයා මහින්දය. ඔහු මේ බිමේ දෙවරක් ජනාධිපති ධුරයට හිමිකම් කියන්නට තරම් වාසනාවන්ත විය. දෙවරක් අගමැති තනතුරේ (වර්තමානයේදී පවා) කටයුතු කරන්නට ඔහු පින් කර ඇත්තේය.
අද සිරිලක භාරකාරත්වය දරනා ගෝඨාභයගේ පවතින විනයගරුක බව අන් කිසිදු රාජ්‍ය නායකයකු සතුව ඇතැයි කියන්නට හැකියාවක් තිබේ දැයි සිහි කට යුතුය.
කෙසේ වුව ද රටට දැයට සමයට 1936 සිට ඩීඑම්ද අනතුරුව 1945 සිට 1967 දක්වා ඩීඒ විසින් ද රුහුණු රටට පමණක් නොව මායා හා පිහිටි රට උදෙසා ද කරන ලද්දේ අනගි මෙහෙයකි. ඩී. එම්.ගේ ජෝර්ජ් රාජපක්ෂ ලාංකේය ධීවර ජනයා වෙනුවෙන් කළ කාර්ය භාරය එතෙක් යැ මෙතෙක් යැයි කිව නොහැකිය. ඔහු ධීවර ඇමැතිවරයා සේ කටයුතු කර සිටි සමයේදී ධීවර වරාය නීතිගත සංස්ථාව ස්ථාපිත කිරීමෙන් අපේ ධීවරයා ලද සහන අපමණෙකි.
ඩී.ඒ. රාජපක්ෂයාණන් ඈත ගිරුවායේ හිඳ මේ රට ගොඩනංවන්නට මැවූ සිහිනය නම් කෘෂිකර්මාන්තය මෙන්ම කර්මාන්ත ද දේශීය අනන්‍යතාවය රකිමින්, නූතනයට ගැළපෙන පරිද්දෙන් සංවර්ධනය කිරීමයි. මහ පොළොවත් එක්ක හරි හරියට පොර බදනා මහ පොළොවත් එක්ක ඔට්ටු වී රටට බත සපයන්නට රැයෙත් දහවලෙත් පැල් කොටයට වී නිදි වරනා ගොවියාගේ හෙට දවස අති සාර්ථක කරන්නට ගෝඨාභයට හැකි නම් මහින්දට හැකි නම්... මහ මුහුදේ ඈත දියඹට ගොස් දහදුක් විඳින ධීවරයාගේ දරු පවුල්වලට හෙට සාර්ථක දිවි පෙවෙතකට මං සකසන්නේ නම්... රටේ සෙසු ක්ෂේත්‍රයන්හි කයත් මනසත් වෙහෙසවා රට නැංවීමට දිරියෙන් පිරිපුන් වෛද්‍ය, ඉංජිනේරු, නව තාක්ෂණයෙන් ශිල්ප දක්වන තරුණ තරුණියනට හෙට දවස ගැන යහපත් සිතිවිලි සමුදායක් මත රැඳී ඉදිරිය බලන්නට හැකියාවක් උදා කර දෙන්නේ නම්, කන්තෝරුවල කුරුටු ගානා ලිපිකාර ශ්‍රේණීන්හි මෙන්ම අපේ දරු දැරියනගේ ඇස් පාදන ගුරු පරපුරට නිසි ගෞරවයක් ඇතිව දරු දැරියනට 'අ'යනු 'ආ'යනු කියා දෙන්නට ඉඩක් කඩක් ඇති වේ නම්, රට පුරා රජ කරන පාතාල සිටුවරුන් ද කුඩු ජාවාරම්කාරයන් ද කම්බස් කරන්නේ නම්... අපට යහපත් රටක සැනසිල්ලේ සුව පහසුව කල දවස ගෙවිය හැකිය.
නව සියවසේ අභියෝග ජය ගන්නට හැම ක්ෂේත්‍රයකටම අලුතෙන් හිතන්නට මතන්නට හැකි නිර්මාණශීලි මිනිසුන් විශේෂයෙන්ම වත්මන් තරුණ පරපුර ගොනු කරගත හැකි වූවොත්... නව තාක්ෂණවේදයට අපේ සංස්කෘතික වටිනාකම් හර පද්ධතීන් බැහැර නොකොට අලුත් ලෝකයේ හැටියට හැඩගැසෙන්නට වත්මන් පරපුර සතු සැඟවුණු දක්ෂතා, කුසලතා ඔප් නංවන්නට රට ගැන දැය ගැන ඇල්මක් ආදරයක් දක්වන සිංහල, දෙමළ, මුස්ලිම් ආදී පටු මතිමතාන්තරවලට හිර නොවුණු දේශප්‍රේමයෙන් ඔද වැඩුණු තරුණ තරුණියන් සිය දහස් ගණනින් එක පෙළකට එක ගොඩකට රොක් කර ගත හැකි නම්... සත් සමුදුර තරණය කරමින් ද අභ්‍යවකාශයේ ඈත එපිට දැල්වෙන ඉර හඳ තාරකාවල අනාගත පැවැත්ම කෙබඳු දැයි ගවේෂණය කරන්නට හෙළ දෙසේ හෙළයනට අවස්ථාවක් ජාති, ආගම්, කුල ඈ කිසිදු භේදයකින් තොරව යොමු කරන්නට හැකි නම්...
ඔහු රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරුව ද ගම අවට සියලු පන්සල්වලින් ජීවිතයට ඇවැසි ආධ්‍යාත්මික ගුණධර්මවලින් සිත පුරවා ගත්තේය. ඒ හුරුව වෙත දූ පුතුන් ද යොමු කළේය. එනිසාම ඔහුට යහපත් ජීවිතයක් ඔස්සේ සමාජය දිහා පැහැදිලි දැක්මකින් බැලිය හැකි විය. ඔහු දූ පුතුනට ද කියා දුන්නේ තමන් උගත ඒ පාඩම්ය. ඩී.ඒ.සිය බිරිය හා දරුමල්ලන් ද නෑ සියන් ද දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ද හැර දමා දිවියෙන් සමුගනිද්දී උපයා සපයා ගෙන තිබුණේ මනුස්සකමින් පිරුණු ගැමි ජන හදවත්ය. ඒ හදවත් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනකට වඩා වටින්නේය. අද ඔහුගේ දූ පුතුන් ද මුනුපුරු මිනිපිරියන් ද අස්වනු නෙළා ගන්නේ එදා ඩී.ඒ. වගා දිගා කළ ගිරුවාපත්තුවේ මිනිසුන් තුළ ඉතිරි කර තබා ගිය යහගුණ සමුදායයි. ඒ යහගුණ ඔහුගේ දරුමල්ලන් ද භුක්ති විඳින්නේ ඔහු ගිය මඟ යහමින් වැපුරූ අස්වැන්න නෙළා ගැනීමයි. යහගුණට තක්සේරු කළ හැකි අන් කිසිදු වටිනාකමකට නොහැකි වග අදින් අවුරුදු පනස් තුනකට පෙර ඩී.ඒ. රටට දැයට කියා දුන් පාඩමයි. අපිදු ඒ පාඩම නිසි සේ ප්‍රගුණ කළ හොත් කිසිදාක වරදින්නේ නැත.
ඔහු වෙනත් ශුද්ධ වූ ලොවක හිඳ පුතණුවෝද මුනුපුරු මිනිපිරියෝ ද රට කරන්නට කැප වී හිඳින දසුන තුටු පහටු සිතින් බලා හිඳිනා වග සහතිකය.
ඩී.ඒ.රාජපක්ෂයාණන්ගේ නාමය සදාකල් දිනේවා!!!
සුගතපාල මැන්දිස්