Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

රෛසෝම කොරපොතු කෘමින් ගැන ඔබ දැනුවත් ද?

$
0
0
මැයි 12, 2021 01:00
රෛසෝම කොරපොතු කෘමි හානියට පත් වූ කහ අල

කහ සහ ඉඟුරු වගා කරන ලද ගොවි මහත්වරුන් මේ වන විට නෙළා ගත් අස්වැන්නෙන් කොටසක් බිජ අල ලෙස තෝරා ගෙන ඊළඟ කන්නය සඳහා සිටුවීමට සූදානම් වනවා ඇති. ඒ වාගේම ඔබ අලුතෙන්ම කහ හෝ ඉඟුරු වගා කිරීමට අදහස් කරන ගොවි මහතෙක් වන්නට ද පුළුවන්. එවිට ඔබ‍ට බීජ මිල දී ගැනීමට සිදු වේ. මෙසේ ඉඟුරු හෝ කහ බිජ අල තමන් විසින්ම සකස් කර ගැනීමේදී හෝ මිලදී ගැනීමේදී කෘමී හානිවලින් තොර වූ බීජ අල ලබා ගත යුතු බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඉඟුරු සහ කහ වගාවන් සඳහා හානි කරන රෛසෝම කොරපොතු කෘමින් පිළිබඳව ඔබ දැනුවත් ද? එසේ නම්, බීජ අල තෝරා ගැනීම ඔබ‍ට ඉතාමත්ම පහසුවක් වේවි.

 

 

රෛසෝම කොරපොතු කෘමීන් - Aspidiella hartii

(Diaspididae: Aspidiella)

ශාක යුෂ උරා බීමෙන් ජීවත් වන මෙම කොරපොතු කෘමින්, ගබඩා කරන ලද අල වර්ගවලට විශේෂයෙන්ම හානි කරන අතර, කහ සහ ඉඟුරු වගාවේදී, ක්ෂේත්‍රයේ අල මෝරන කාලය තුලදී ද හානි කරනු ලබයි. එමෙන්ම ආසියා පැසිෆික් කලාපයේ කැරිබියන් දුපත්, fපිජි, , පැනමාව, පැපුවා නිව්ගිනියා සහ ඉන්දියාව මෙන්ම අප්‍රිකානු කලාපයේ සැම්බියාව, ඝානාව, නයිජීරියාව වැනි බොහෝ රටවල්වල අල වගාවන් තුළ ව්‍යාප්ත වී ඇත. 1986 දී පළමු වරට කහ වගාව සඳහා හානි කරන බව හවායි දුපත්වලින් සොයා ගන්නා ලදී. නමුත් අද වන විට ශ්‍රී ලංකාවේ ඉඟුරු සහ කහ වගා කරන සෑම ප්‍රදේශයකින්ම රෛසෝම කොරපොතු කෘමින්ගේ හානිය වාර්තා වෙයි.

ආමෝඩ් කොරපොතු කෘමින් (Armored scales) වර්ගයට අයත් වන මෙම සතුන් ඉවතලන සමක් වැනි ඉටි ආවරණයකින් වැසී ඇත. මෙම ඉටි ආවරණය ඔවුන් විසින්ම ශ්‍රාවය කරනු ලබයි. පරිණත සතුන් සමේ මතු වන ඉන්නන්ගේ හැඩය (උත්තල හැඩය) ගන්නා අතර ප්‍රමාණයෙන් අඟල් 1/20 පමණ වේ. වර්ණය දුඹුරු අළු පැහැයට හුරු දම් පැහැයක් ගනී. ගැහැනු සතුන් සාමාන්‍යයෙන් රවුම් හැඩයක් ගන්නා අතර පිරිමි සතුන් ඕවලාකාර වේ.

පරිණත නොවූ සතුන් (crawlers) ඉතා ක්‍රියාකාරී වන අතර ඔබ මොබ ගමන් කරමින් ආහාර ගැනීමට සුදුසු ස්ථාන සොයා ගනියි. මෙසේ සුදුසු ස්ථානයක් සොයා ගත් පසු එම සතුන් උදාසීන වී ගමන් කිරීම නවතා යුෂ උරා බීම ආරම්භ කරයි. යුෂ උරා බීම ආරම්භ කළ විගසම ඉටි ආවරණය සෑදීමට පටන් ගනියි. මෙම ඉටි ආවරණය ආරක්‍ෂිත පලිහක් ලෙස ක්‍රියා කරයි.

 

හානිය හඳුනා ගන්නේ කෙසේද ?

මෙම කොරපොතු කෘමීන් සමූහ ලෙස රෛසෝම හෙවත් අල මතුපිට ජීවත් වෙමින් යුෂ උරා බිම සිදු කරයි. ක්ෂේත්‍රය තුළදී හානිය ඇති වූයේ නම් කහ හෝ ඉඟුරු පඳුරු කහ පාට වීම, පඳුරු දුර්වල වීම, පඳුරක ඇති වන කඳන් සංඛ්‍යාව අඩු වීම, පත්‍ර හැලී යෑම සහ අල හෙවත් රෛසෝම හට ගැනීම අඩු වීම සිදුවේ. කහ හෝ ඉඟුරු පඳුරු ගලවන අවස්ථාවේදී පරිණත නොවූ සතුන් ඉතා කුඩා බැවින් අල මතුපිට සැරිසරමින් සිටිය ද, ඔබ‍ට දකින්නට නොලැබේවි. ඒ සඳහා අත් කාචයක් භාවිත කිරීමෙන් ඔබ‍ට ඉතා පහසුවෙන් ඔබ මොබ දිවයන කුඩා කොරපොතු කෘමීන් දැක ගත හැකි වේ. පරිණත සතුන් ඉන්නන් ලෙස පෙනෙන ගැටිති ආකාරයට රෛසෝම හෙවත් අල මතුපිට සමුහයක් ලෙස එකම ස්ථානයේ සිටිනු දකින්නට පුළුවන.

ආරම්භක අවස්ථාවේදී සුදු පැහැති කොරපොතු ලෙස අල මතුපිට දිස්වන අතර ගබඩා කර ඇති අලවලින් යුෂ උරා බීම සිදු කළ විට මුල් අවස්ථාවේදී අලවල වර්ණය අඩුවීම හෙවත් අවපැහැ වීම සහ අල මතුපිට අවපාත හෙවත් ඇතුළට නෙරීම් දකින්නට පුළුවන. ඉන්පසුව අල වියළි යෑම සිදු වන අතර ඇතුළත තන්තු පමණක් ඉතිරි වේ.

 

 

රෛසෝම කොරපොතු කෘමීන් සහිත බිජ අල ඔබ නොදැනුවත්වම ක්ෂේත්‍රය තුළ සිටුවීම කළ හොත් කුමක් සිදු වේ ද?

බිජ අල මතුපිට විසිර සිටින කොරපොතු කෘමින් වැඩෙන අංකුර අසලට එකතු වී යුෂ උරා බීම පටන් ගනියි. එවිට බීජ අංකුර වර්ධනය වීම නැවතී යයි. මෙම බීජ අල පැළවීම ඉතා අඩු වන අතර පැළ ලබා ගැනීමට ඔබ‍ට දිගු කාලයක් බල සිටින්නට සිදු වනු ඇත. එමෙන්ම කහ හෝ ඉඟුරු පැළය මතු වුව ද එම පැළයේ ඇති වන කඳන් ගණන (shoots) ඉතා අඩුය. එමෙන්ම කහ හෝ ඉඟුරු පඳුරේ පත්‍ර ළා කහ පැහැයට දකින්නට පුළුවන. ඔබ කොතරම් හොඳින් වගාවට සාත්තු කළ ද, නිර්දේශිත පොහොර ප්‍රමාණය නියමිත ලෙස යෙදුව ද මෙම පත්‍ර ළා කහ පාට වීම වළක්වා ගත නොහැකිය. කන්නය අවසානයේදී ඔබ‍ට ලැබෙන අස්වැන්න, නීරෝගි බීජ අල පඳුරක් මඟින් ලැබෙන අස්වැන්නෙහි භාගයකටත් වඩා අඩුය. එමෙන්ම එය ගුණාත්මක අතින් ද ඉතා පහළ මට්ටමක පවතී.

 

හානිය වළක්වා ගැනීම

මේ සඳහා ඔබ අනිවාර්යයෙන්ම කොරපොතු කෘමීන්ගෙන් තොර වූ නීරෝගි බීජ අල සපයා ගැනීම කළ යුතුමය. බීජ අල තෝරා ගැනීමට පෙර හොඳින් පරීක්ෂා කර බැලිය යුතු වේ. ඇතැම් විට ඔබ‍ට හඳුනා ගැනීමට අපහසු විය හැකිය. ඉන්නන් වැනි වූ දුඹුරු පැහැති කුඩා ගැටිති සමුහයක් ලෙස දකින විට බීජ අල මතුපිට පස් රැඳී ඇති බව ඔබ‍ට සිතෙන්නට පුළුවන. එහෙත් සුදු පැහැති කොරපොතු, රෛසෝම හෙවත් අල මතුපිට බොහෝ පැහැදිලිව දැක ගත හැකිය. මෙවැනි ලක්ෂණ සහිත වූ කහ හෝ ඉඟුරු බිජ අල ඔබේ වගාව සඳහා තෝරා ගැනීම නොකළ යුතුය. එමෙන්ම වෙනත් අයෙකුගෙන් මිල දී ගැනිම ද නොකළ යුතුය. ඔබ මේ වන විටත් බිජ අල ලබා ගත් ගොවි මහතෙක් නම්, එම බිජ අල හොඳින් පරික්ෂා කර බලා කොරපොතු කෘමීන්ගේ හානිය නොමැති බවට තහවුරු කර ගන්න. .

නීරෝගි බිජ අල ඔබ තෝරා ගත් පසු සුදුසු කෘමිනාශක ද්‍රාවනයක ගිල්වා විනාඩි 10 -15 අතර කාලයක් තබා, දින 02ක් (පැය 48) මද පවනේ වියළා ගැනීම කළ යුතුය. ඉන්පසුව බීජ අල ලෙස ගබඩා කර තබා ගත හැකිය. මෙම බීජ ප්‍රතිකාරය සිදු නොකර ඔබ දැනටමත් බීජ අල ගබඩා කර තිබේ නම් වහාම මෙම ප්‍රතිකාරය සිදු කර නැවත ගබඩා කරන්න.

ඔබේ වගා ක්ෂේත්‍රය හිරු එළියට නිරාවරණය කිරීමෙන් හෝ ගිනි තබා පිලිස්සීමෙන් හොඳින් ජීවානුහරණය කරන්න. එවිට පස තුළ සිටින කොරපොතු කෘමීන් විනාශ කළ හැකිය.

එමෙන්ම මෙවර කහ හෝ ඉඟුරු වගා කරන ලද භූමිය, ඊළඟ කන්නයේ කහ සහ ඉඟුරු වගා කිරීම සඳහා තෝරා ගැනීම නොකළ යුතු වේ. ඔබ‍ට මේ ලෙසට භූමිය මාරු කළ නොහැකි නම්, එම වගා බිමේ පස හොඳින් ජීවානුහරණය කර භාවිත කළ හැකිය.

මෙම පියවරයන් අනුගමනය කිරීමෙන් කොරපොතු කෘමීන්ගෙන් තොර වූ නීරෝගී වගාවක් පවත්වා ගෙන ඉහළ ගුණාත්මන බවින් යුතු වැඩි අස්වැන්නක් ගොවි මහත්වරුන්ට ලබා ගැනීමට හැකි වනු ඇත. මේ සඳහා ඔබ‍ට අවශ්‍ය වැඩිදුර උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ මධ්‍යම පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශය වෙතින් ලබා ගත හැකියි.

 

දමයන්ති සමරසිංහ

අධ්‍යක්‍ෂ (විශේෂ පර්යේෂණ)

මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය

අපනයන කෘෂිකර්ම

දෙපාර්තමේන්තුව

මාතලේ


අලුත් දේ සොයන සෝයා ලිය

$
0
0
මැයි 12, 2021 01:00

ආහාරපාන පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබෙන යුගයක බොහෝ දෙනා ස්වාභාවිකත්වයට මුල්තැන දෙමින් තමන් මෙතෙක් ආහාරයට ගත් බොහෝ දේවල් සඳහා ආදේශක සොයමින් සිටිති. නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති විවිධ නිෂ්පාදනවලට වඩා ස්වාභාවික කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන කෙරෙහි සෑම දෙනාගේම පාහේ විශ්වාසය වැඩි දියුණු වෙමින් පවතී. මෙවන් යුගයක දේශීය කෘෂිකර්මාන්තය ඇසුරින් නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන ජනතාව අතරට රැගෙන යෑම වඩාත් පහසු වෙමින් පවතින බව ද නොරහසකි.

උදෑසන කිරි වීදුරුවෙන් බොහෝ පවුල්වල දවසේ ආරම්භය සනිටුහන් වන අතර වර්තමානයේ කිරිපිටි පිළිබඳව ඇසෙන නොයෙකුත් කතාන්දර හේතුවෙන් කිරි වීදුරුව වෙනුවට වෙනත් ආදේශක පිළිබඳව සිතමින් සහ ඒ පිළිබඳව සොයා බලමින් සිටින පිරිස් වෙනදාට වඩා වැඩිය. ක්‍රිෂානි පෙරේරා විසින් මෑතකදී ආරම්භ කළ පළමු නිෂ්පාදනය සෝයා කිරිය. ඇය සෝයා කිරි නිෂ්පාදනයට පෙලඹෙන්නේ සිය දරුවාගේ පෝෂණ අවශ්‍යතාවය වෙනුවෙන් වුවත් මේ වන විට එය රට පුරා උදෑසන කිරි වේල සපුරාගන්නට රසවත් ගුණවත් පානයක් සොයමින් සිටින බොහෝ දෙනාගේ ඒ අවශ්‍යතාවය සපුරමින් සිටී.

 

ඔබ සෝයා කිරි නිෂ්පාදනයට යොමු වුණේ කොහොම ද?

"කෘත්‍රිම ආහාර පිළිබඳව මගේ කොහොමත් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේම විවිධ විවේචන එල්ල වන නිෂ්පාදන ගැනත් අනිත් හැමෝටම වගේ මටත් දෙගිඩියාවක් තිබුණා. මගේ දරුවාට කිසිසේත්ම කෘත්‍රිම ආහාර දෙන්නේ නෑ කියන අදහස තදින්ම සිතේ ධාරණය කරගෙන සිටි නිසයි මම සෝයා කිරි සකස් කරන්න පටන් ගත්තේ. මුලින්ම නිවෙසේ පානයට සකස් කළ සෝයා කිරි වීදුරුවක් මුහුණුපොතෙහි ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වන සමූහයකට එකතු කළා. එය දුටු බොහෝ දෙනා එයට ඉතාම වේගයෙන් ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තා. සෑහෙන පිරිසක් මට සෝයා කිරි ඇණවුම් ලබා දෙන්නටත් කටයුතු කළා. ඒ ඔස්සේ ආරම්භ කළ මේ සෝයා කිරි සමඟ මේ වන විට තවත් කෘෂිකාර්මික නිෂ්පාදන රැසක් තිබෙනවා.

 

කොහොම ද ඔබ මේ දේ ශ්‍රී ලංකාව පුරාම බෙදා හරින්නේ?

 

සෝයා කිරි ඇණවුම් කරන රටේ ඈත පළාත්වල අයට ඒවා නැවුම් කිරි වශයෙන් යැවීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒ නිසාම දැන් මම සෝයා කිරි පිටි ආකාරයටත් සකස් කර තිබෙනවා.

 

 

සෝයා කිරි සකස් කර ගන්නා ආකාරය ගැන පැහැදිලි කළොත්?

 

මේවා අපි සකස් කරන්නේ නැවුම් සෝයා බීජ යොදා ගනිමින්. ඒවා අවශ්‍ය පදමට කුඩු කර 100%ක් ස්වාභාවිකව නිෂ්පාදනය කරනවා. සෝයා කිරි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ශක්තිජනක ආහාරමය පානයක්. ඒවා සිරුරේ රුධිර නාළිකා ශක්තිමත් කරනවා. එසේම අධි රුධිර පීඩනය වැනි රෝගවලින් වැළකෙන්නට අවශ්‍ය පරිදි ශරීරය සකස් කරන්නටත් එහි ඇති පෝෂ්‍ය පදාර්ථවලට පුළුවන්. පිළිකා ඇති වීමේ අවදානම ඉතාම ඉහළ ප්‍රතිශතයකින් අඩුකරන්නටත් සෝයා ආහාරවලට ඇත්තේ ඉහළ හැකියාවක්. එය සිරුරේ කොලෙස්ට්‍රෝල් මට්ටම ද පාලනය කරනවා. ශරීරයේ බර සමතුලිත කරන්නටත් එයට හැකියාව තිබෙනවා. කාන්තාවන් බොහෝ දෙනකුට පියයුරු පිළිකා ඇති වීමේ අවදානම ගැන බියක් තිබෙනවා. සෝයා කිරි ඒ අවදානම බෙහෙවින් අඩු කරන පානයක්. ඒ වගේම ගර්භනී මව්වරුන්ට ඉතාම ගුණදායක පානයක්.

 

මීට අමතරව ඔබ මොනවද කරන්නේ?

 

සෝයා කිරිවලට අමතරව සකස් කරන රටකජු බටර් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ගැළපෙන පෝෂණ ගුණයකින් යුතු ආහාරයක්. එ් වගේම සහල් උපයෝගී කරගෙන උදෑසන ආහාර වේලක් ද සකස් කරනවා.

මේ ස්වාභාවික ආහාර දරුවන් සඳහා විශේෂයි. මම මේ කිසිම ආහාරයකට කෘත්‍රිම රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් එක් කරන්නේ නෑ. මාස දහයක් වයසැති මගේ දරුවාට නිරන්තරයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ගුණදායක දේවල්ම ලබා දීම අපේක්ෂාව කර ගැනීම නිසාම රටේ අනිත් දරුවන්ටත් එතරම්ම ගුණදායක දේ ලබා දෙන්නට මගේ මේ වෑයම තුළ හැකිවී තිබෙනවා. ව්‍යාපාරයකට වඩා එය මට සතුටට කාරණාවක්. කඩල, කව්පි, මුංඇට, සෝයා වගේ ධාන්‍ය යොදා ගනිමින් හදන සීරියල් ආහාරයකුත් මේ සමඟම තිබෙනවා. ශරීරයේ බර පාලනය ගැන සිතන එයට ගැළපෙන ආහාර සොයන අයට වගේම කායවර්ධන ව්‍යායාමවල නිරත වන අයටත් සහල් යොදා ගෙන හදන සීරියල් ආහාරය හොඳයි. ඒකත් සම්පූර්ණයෙන්ම සහල් පමණක් යොදා ගෙන හදන්නේ.

සෝයා කිරි සහ ධාන්‍යමය සීරියල්

 

 

 

 

ඔබ මේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සොයා ගන්නේ කොහොම ද?

 

රටකජු බටර්, ධාන්‍යමය සීරියල් ආහාර වැනි දේවල් සඳහා අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ ගොවිපොළවලින් මිලට ගන්නට හැකි වුණත් සෝයා බෝංචි ලංකාවේ වගා නොකිරීම ගැටලුවක්. දැනට ලබා ගන්නා සොයා බීජ ආනයනික ඒවා. සොයා ආශ්‍රිත නිෂ්පාදන සියල්ලක්ම ආනයනික දේවල් වීම එයට හේතුවක් විය යුතුයි. ඉදිරියේදී සෝයා බෝංචි ඇසුරෙන් කරන නිෂ්පාදන වඩාත් ප්‍රචලිත කරන්නට ලංකාවේම සොයා බෝංචි වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මා ඇතුළු තව කීප දෙනෙක් එකතු වී පසුබිම සකස් කරමින් සිටිනවා. අනාගතයේ දී අපේ රටේ වැවෙන සොයාවලින් මේ නිෂ්පාදන කරන්නට අපට හැකි වේවි.

මිනිස් ශරීරයට ඉතාමත්ම හිතකර අමුද්‍රව්‍ය භාවිත කරමින් සෞඛ්‍යානුකූලව නිෂ්පාදනය කරන, පහසුවෙන් හඳුනා ගත හැකි අමුද්‍රව්‍ය යොදා ගන්නා සහ කෘත්‍රිම හෝ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය නොමැති ආහාර සොයන පාරිභෝගිකයා සඳහා නිපදවන ආහාර ලෙස මෙම සෝයා සහ සීරියල් නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර නිෂ්පාදනය පිළිබඳ ඉතාමත්ම විශ්වාසනීය සම්බන්ධතාවක් ගොඩනැඟිම තුළින් වඩාත්ම ගුණාත්මක සේවාවක් ලබා දීම එහි අරමුණය.

 

දිල්රූ ජයසේකර

හැම දන වෙනුවෙන් කැපවන මනුසත් සත්කාරය

$
0
0
මැයි 12, 2021 01:00
මහින්ද අලුත්ගෙදර

කිසිවෙකු කිසි විටෙකත් නොසිතූ මො‍හොතක පැමිණි කොවිඩ් -19 වයිරසය ශීඝ්‍රයෙන් රටපුරා පැතිර යාමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූවිරූ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දී තිබේ. ඒ, අාදායම් සීමා වුව ද සෞඛ්‍ය පහසුකම් සැලසීම හා ආදායම් අහිමි වූ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන සහන කටයුතු සඳහා විශාල මුදලක් රජයට වැය කිරීමට සිදුව ඇති බැවිනි.

මේ අසීරු අවස්ථාව ජය ගැනීම සඳහා වියදම් සීමා කිරීම ඇතුළු නොයෙකුත් ආර්ථික උපක්‍රම අනුගමනය කරන බව රජය පවසන නමුත් රාජ්‍ය අාදායම අඩුවීම තුළ රටේ වියදම කොවිඩ් -19 තත්ත්වය හමුවේ තවත් ඉහළ යාම නිසා පැවති ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී ඇති බවට ආර්ථික විශේෂඥයෝ පවසති. වියදම් ඉහළ යන පසුබිමක විදේශ විනිමය, සංචාරක කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් රටවලින් මුදල් ගලා එන ක්ෂේත්‍ර වූ නමුත් කොවිඩ් -19 ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟ එම ප්‍රධාන අාදායම් මාර්ග සියල්ල අවහිර වීම තවත් බරපතල තත්ත්වයකට රට තල්ලුකර ඇතැයි කිව යුතුය.

එමෙන්ම රට තුළ නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම ද ඇනහිට තිබෙන අතර මේ තුළ තේ ඇතුළු සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අපනයන ආදායම ද ශ්‍රී ලංකාවට අහිමි වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා ඇ‍ෙමරිකාව, යුරෝපය ඇතුළු වෙළඳපොල අහිමිවී තිබේ. එමෙන්ම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය චීනය ඇතුළු රටවලින් ලබා ගැනීමේ මාර්ග ද අහිමිවී ඇත.

කෙසේ වුවද අද වනවිට අපේ රට හමුවේ පවතින අභියෝගය අන් කවරදාටත් වඩා වෙනස් තත්ත්වයක් ගෙන තිබේ. පසුගිය අලුත් අවුරුදු සමයේ අප විසින් කටයුතු කළ ආකාරය, හැසිරුණු ආකාරය මේ සඳහා බෙහෙවින්ම බලපා තිබේ. අද වනවිට දිනපතා කොවිඩ් 19 ආසාදිතයන් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ආසාදිත ලැයිස්තුවට එක්වන පසුබිමක රෝහල් පද්ධතිය තුළ යම් යම් ගැටලු උද්ගත වන තත්ත්වයක් දක්නට ලැබේ. මේ මොහොත වනවිට නව රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ වැඩි කිරීම, තහවුරු වූ රෝගීන්ට ප්‍රතිකාර සඳහා රෝහල් පහසුකම් වැඩි කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්‍ෂිත උපකරණ මිලදී ගැනීම හා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අතිරේක වියදමක් දැරීමට රජයට සිදුව ඇත.

කොවිඩ් 19 වැනි ගෝලීය වසංගතයක ප්‍රහාරය ට මුහුණ දෙනවිට මෙරට ඇතුළු කලාපීය රාජ්‍යයන් ගණනාවක් මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුව වන්නේ පවත්නා රෝහල් වල දැඩි සත්කාර ඒකකයන්ගේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හා කඩිනමින් විශේෂ රෝහල් ඉදි කිරීමට ඇති අභියෝගයයි. දැනට ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින්නේ වසංගත හා බෝවන රෝග පිළිබඳ රෝහල් ඇතුළු රෝහල් කිහපයක් තුළින් හා කඩිනමින් අත්පත් කරගෙන රෝහල් බවට පරිවර්තනය කරගත් ආයතනික ගොඩනැඟිලි, පරිත්‍යාගශීලින් විසින් ලබාදුන් ගොඩනැඟිලි භාවිතා කරමිනි. ඉන්දියාවේ දැනට පවතින රෝහල් ධාරිතාව සහ සම්පත් පිළිබඳ අධ්‍යයනයක නිරත වෙන වෛද්‍ය තරුන් කේ. ජෝර්ජ් දක්වන ආකාරයට ජනගහණයෙන් ලක්ෂයකට ඉන්දියාවේ පවතින්නේ රෝහල් ඇඳන් හැත්තෑවක් (70) හා දැඩිසත්කාර ඒකකවල ඇඳන් දෙකයි දශම තුනක් (2.3) පමණි. චීනයේ/ඉතාලියේ මෙම තත්ත්වය පවතින්නේ පිළිවෙළින් සාමාන්‍ය රෝහල් ඇඳන් 420/320 සහ දැඩිසත්කාර ඇඳන් 3.6/12.5 වශයෙනි.

කොවිඩ් 19 අසාදිතයන්ගෙන් සියයට පහක් පමණ දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට සිදුවන බව සමීක්ෂණ මඟින් පෙන්වා දෙයි. මාර්තු 24 වනවිට මෙරටින් වාර්තාවූ අසාදිතයන් ප්‍රමාණය 102ක් විය. එපරිදිම මෙරට පවතින රෝගීන්ට අවශ්‍ය වෙන්ටිලේටර් (ශ්වසන ආධාරක යන්ත්‍ර) ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමත්, ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන් සහ සහාය කාර්ය මණ්ඩල විසින් ඇඳිය යුතු ආරක්ෂක ඇඳුම් අවශ්‍ය පරිදි නොමැති වීම ද විශාල අර්බුදයක් බව එම උපකරණ සමහරක් වෛද්‍ය කාර්යමණ්ඩල විසින්ම ආදේශක වශයෙන් නිපදවා ගැනීමෙන්ම පෙනී යයි. අනෙක් අතට ජනතාවට අවශ්‍ය මුව ආවරණ සහ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග සඳහා සුලභව වෛද්‍ය නිර්දේශ ඇතුව හෝ නැතිව මිළට ගත හැකි බෙහෙත් වර්ග පවා පෞද්ගලික අංශය විසින් අධික මිලකට අලෙවි කිරීම ද පසුගිය සතිවල පැවති විශාල ගැටලුවකි.

මෙවැනි තත්ත්වයක් තුළ රෝහල් පද්ධතියේ පහසුකම් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ. ඒ අනුව මේ සඳහා ද ආරක්ෂක අංශ සිය සහයෝගය ලබාදෙමින් සිටීම ජාතියේ වාසනාවක් බව සදහන් කළ යුතුය. මෙවැනි පසුබිමක තම වගකීම කවදත් නිසිපරිදි මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරන වත්මන් ආණ්ඩුවේ තීරණාත්මක සාධකය වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් වසංගතය තුරන් කිරීමෙහිලා දායක වෙමින් රෝහල්වල පහසුකම් ඉහළ නැංවීම සඳහා දායකත්වය සපයා තිබේ.

ඕනෑම අවස්ථාවක දී රට හමුවේ පවතින අභියෝගය කෙසේ වුවද බැසිල් රාජපක්ෂ මහතා එය තමන්ගේ කාර්යයක් සේ සළකා තම යුතුකම ඉටුකර තිබෙන බව සදහන් කළ යුතුය. උදාහරණ ලෙස පසුගිය 2015 වර්ෂයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් ඉටුකළ මෙහෙය සිහිපත් කරනු වටී. යුද්ධයෙන් බිඳවැටුණු නැඟෙනහිර පළාතේ සංවර්ධනය වෙනුවෙන් "නැඟෙනහිර නවෝදය"ද උතුරේ සංවර්ධනය වෙනුවෙන් "උතුරු වසන්තය"ද ක්‍රියාත්මක කළ ආකාරය අප මතකයට නැඟේ. කොළඹ ශීත කාමරවල කැරකෙන පුටුවට සීමා වී නිලධාරීන්ට උපදෙස් ලබාදෙනවා වෙනුවට කිසියම් ව්‍යාපෘතියක්, වැඩසටහන් ක්‍රියාත්මක වන තැනට ගොස් එහි අඩුපාඩු සියැසින් දැක අවශ්‍ය උපදෙස් ලබාදීමට තරම් කාරුණික වූ බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍යතන්ත්‍රයේ සියලු නිලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු කරමින් රටේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ රැගෙන යන්නට තරම් අතිදක්ෂ නායකයෙකු බව මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමි.

මෙවැනි දක්ෂ නායකයෙකු, දේශපාලනඥයෙකුගේ මඟ පෙන්වීම, නායකත්වය යටතේ ක්‍රියාත්මක ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය හරහා අද වනවිට පසුබෑමකට ලක්ව තිබෙන ආර්ථිකය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබාදී සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තියට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ කාර්ය සාධක බළකාය ස්ථාපනය කර තිබෙන අතර ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම ඊට පැවරී තිබේ.

ඒ අනුව ජාතියේ වගකීම කරට ගත් එම කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ රටේ පවතින අවශ්‍යතාවය නොපිරිහෙළා ඉටුකිරීමට පෙරමුණ ගෙන සිටී. ඒ අනුව කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ රෝහල්වල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් ඇඳන් 10,000 ක් ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙන අතර රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගතය සැලකිල්ලට ගෙන කඩිනමින් ඇඳන් අවශ්‍ය කරන රෝහල් සඳහා එය ලබාදීමට දැනටමත් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වෘත්තීය සමිති, තරුණ හා ස්වෙච්ඡා සංවිධානවල සහයෝගය ඇතිව බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම සහ පූර්ණ අධීක්ෂණය යටතේ කොරෝනා වසංගතයට එරෙහිව රටක් වශයෙන් මුහුණ දීම සඳහා මෙම ඇඳන් 10,000 ක ප්‍රමාණය දින 10 ක් තුළ ලබාදීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වශයෙන් ද කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කොවිඩ් 19 රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශවල, ඉඩ පහසුකම් අවම, කොවිඩ් ප්‍රතිකාර රෝහල් සඳහා ඇඳන් 50කින් යුත් සියලු පහසුකම්වලින් සමන්විත තාවකාලික වාට්ටු සංකීර්ණ 20ක් ලබාදීමට ද පියවර ගෙන තිබෙන අතර පැය 48 ක් වැනි කෙටි කාලයක් තුළ එම වාට්ටු සංකීර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීමට ද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව එහි මහජන සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන ඇති තත්ත්වය සහ එහි අනාගත සංවර්ධනය පිළිබඳව ගැඹුරු කතාබහක් සඳහා වන ශක්‍යතාව කොවිඩ් 19 වෛරසය මෙරට ද ආක්‍රමණය කරන පසුබිමේ දී පැහැදිළිව දර්ශනය වන බවක් පෙනේ. එවන් කතා බහක් පරමාදර්ශීය ලෙස සිදුවිය යුත්තේ ව්‍යවස්ථාදායකය තුළ දී වුවත් මහජන තලයේ මත දක්වන්නන් සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්ගේ දායකත්වය නොමැතිව එය සිදුකළ නොහැක. එසේ වුවද, ලොව වඩාත් දියුණු සෞඛ්‍යය පද්ධතීන් පවතින කලාප වන ඇමෙරිකාව සහ යුරෝපය ද කොවිඩ් 19 වසංගතය විසින් දරුණු අර්බුදයකට යවා තිබෙන තත්ත්වයක දී අපගේ සෞඛ්‍යය පද්ධතිය පිළිබඳව අප එතරම් කලබල වියයුතු නොවන වගට ද යමෙකුට සර්වදෝෂදර්ශීයව සිතීමට හැකියාව තිබේ.

නමුත් තාක්ෂණික හා පර්යේෂණ, ආර්ථික සහ මානව සම්පත් යන සියලු අංශයන්ගෙන් එම කලාපයන් සමඟ කිසිදු ආකාරයකින් සම නොවන, දරිද්‍ර අඩියක සිටින අපට අපගේ රාජ්‍යය සතු සීමිත සම්පත් ප්‍රමාණය පොදු මහජන සෞඛ්‍යය සඳහා තවදුරටත් කැප කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රත්‍යාවර්තනීය කියවීමක් සඳහා එය බාධාවක් නොවෙයි. මන්ද, වත්මන් අර්බූදය අප දැනට මුහුණ දෙමින් සිටින ආකාරය විසින් වඩ වඩාත් පැහැදිළි වන්නේ 'පොදු'නැතිනම් 'රාජ්‍යමය'විසඳුම්වලට සෞඛ්‍යය වැනි අතිශය තීරණාත්මක විෂයක් තුළ විශාල මූලෝපායික අවකාශයක් පවතින බවයි.

සරළව පැවසුවහොත් ජාතික ආරක්ෂාව සඳහා පවතින පෙළඹීම 'සෞඛ්‍යය, පෝෂණය හා අධ්‍යාපනය'වෙතට කඩිනමින් පරිවර්තනය කරගත යුතුව තිබේ. රටක් වනසන්නට ත්‍රස්ත ප්‍රහාර දහසකට වඩා නොපෙනෙන වයිරසයකට හැකි බව සියලු දෙනාටම වඩාත් හොඳින් දර්ශනය වෙමින් පවතී. ඒ අනුව මෙම වයිරසයට එරෙහිව ක්‍රියාකිරීම අප සැමගේ යුතුකමක් සේම වගකීමක් ද වන්නේය.

මතින් වැනසුන තරුණ පරපුර යළිත් නංවන කදිම මෙහෙවර

$
0
0
මැයි 12, 2021 01:00
සුභාෂිණී සේනානායක

ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යසනයන් අතර මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ පිරිස පිළිබඳ නිරතුරුවම කතා බහට ලක්වෙයි.පසුගිය කාලයේදී මත්ද්‍රව්‍ය වටලමින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට රජය විසින් විශාල වැඩපිළිවෙළක් ද දියත් කරමින් සිටී.ඒ අතරම මත්ද්‍රව්‍යවලට යොමුවූ පිරිස් පුනරුත්ථාපනයකොට නැවත යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමට රජය සහ යුදහමුදාව එක්ව විශාල කාර්‍යභාරයක් ඉටු කරමින් සිටිති. කන්දකාඩු සහ සේනපුර නම් පුනරුත්ථාපන මධ්‍යස්ථාන හරහා මෙම සේවාව ඉටු කරනු ලබයි.මේ ඒ පිළිබඳ සවිස්තරාත්මක සටහනකි.

ඕනෑම රටක ආර්ථික අභියෝග සිය උර මතට ගන්නේ එම රටේ තරුණ පුරපුරය. දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධ වන තරුණ පරපුර වැඩිහිටි මඟපෙන්වීම් අනුව යමින් උකහා ගත් දැනුම යොදා ගනිමින් රටේ ආර්ථිකය නංවාලීමට දායක වීම නොරහසකි. එහෙත් දියුණු ලෝකයේ තරුණයින් වෙළාගෙන ඇති මත්ද්‍රව්‍ය සෑම රටකම සංවර්ධනයට බාධාවක්ව නැඟී සිටිමින් සිටියි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට ද පොදුය. විශාල මුදල් ඉපයීම් උදෙසා මත්ද්‍රව්‍ය මහා පරිමාණ ව්‍යාපාරිකයන් අන්තර්ජාතික මට්ටමින් කටයුතු කරමින් සිටියි. ඒ අනුව මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. අනාගත පරපුර එමෙන්ම රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම නිසා රටේ ආර්ථිකය ද ක්‍රමයෙන් පහත වැටෙමින් පවතී. මේ තත්ත්වය වෙනස් කිරීමට තිස් වසරක සාපලත් යුද්ධයට තිත තැබූ රාජපක්ෂවරු දෙදෙනෙක් රටේ නායකත්වයට පත්ව සිටියි. හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තිස් වසරක යුද්ධය නන්දිකඩාල් කලපුවෙන් අවසන් කළාක් මෙන්ම මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර වෙළා ගත් මත් යුද්ධය ජය ගන්නට මේ වන විට විවිධ සැලසුම් දියත් කරමින් සිටිති. 30 වසරක යුද්ධය ජය ගැනීමට නොහැකි බව බොහෝ දේශපාලනඥයින් යුද්ධය සිදු කරන අතරතුර කීවේය. ඇතැමුන් අලිමංකඩ කියා පාමංකඩට යන බව කීවේය. යුද්ධය නිම කිරිමට රාජපක්ෂවරුන්ට බැහැ යැයි කීවේය. ඇතැම් රාජ්‍ය නායකයින් සටන් විරාම ගිවිසුම් ගසා තවත් යුද්ධයේ ගිනි දැල් ඇවිළෙන්නට හැර බලා සිටියේය. මේ සියල්ල පුස්සක් බවට පත් කරමින් රාජපක්ෂවරුන් යුද්ධය 2009 දී සහමුලින්ම උදුරා දැමීය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්

එතනින් නොනැවතී ඔවුන්, අතට අවි දී යුද්ධයට බලහත්කාරයෙන් ගෙන ගිය කුඩා දරුවන් සහ යුද්ධ කර වූ තරුණියන් පුනරුත්ථාපනය කිරීමට මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම රටේම භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

මෙරටට පැමිණෙන මත්ද්‍රව්‍ය කොතරම් අත්අඩංගුවට ගත්ත ද රට තුළට ඇදී එන මත්ද්‍රව්‍ය අඩුවීමක් වන්නේ ද නැත. රට පත් වූ මේ ඉරණමෙන් ගලවා ගන්නට විවිධ අවස්ථාවල පත් වූ නායකයන් විවිධ උපක්‍රම භාවිත කළේය. රටේ පාලකයන්, ආගමික නායකයන් මෙන්ම සමාජ සංවිධාන ද ක්‍රියාශීලිව දායකත්වය සැපයූවද එය ද සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

යුද්ධය තම දෙවුර මත තබා ගත් රාජපක්ෂවරුන් දෙපළ මේ අවදානම ද දෙවුර මත තබා ගත්තේ සිත් තුළ දැල් වූ විශ්වාසය නිසා වන්නට ඇත. ඒ අනුව යමින් අවසන් යුද්ධයේදී අත්අඩංගුවට ගත් එල්ටීටීඊ රැඳවියන් පුනරුත්ථාපනය කළ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය 2013 වසරේ අගෝස්තු 20 වැනිදා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම උදෙසා යොමු කරනු ලැබුවේ මත් උවදුරින් දරුවන් පීඩා විඳිනු බලා සිටින අසරණ මව්පියන්ගේ දෑස් කඳුලින් තෙත් කරමිනි.

කන්දකාඩු මධ්‍යස්ථානය එවකට සිටි ජනාධිපතිවරයාගේ ද වත්මන් ජනාධිපතිවරයාගේ ද එනම් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාපක්ෂවරුන් දෙපළගේ ඍජු අධීක්ෂණ යටතේම ක්‍රියාත්මක වන්නකි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මෙහි සියලු කටයුතු සිදු කෙරෙන්නේ යුද හමුදාවේ මූලිකත්වයෙනි.

පොලොන්නරු දිස්ත්‍රික්කයේ සෝමාවතී පුදබිමට නුදුරින් පිහිටි කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අක්කර 76කින් යුක්තය. මේ මධ්‍යස්ථානයේ මේ වන විට රැඳවියන් 6500ක් පමණ සමාජගත කර ඇත. ඔවුන් සියලු දෙනා සමාජයට වැඩදායි වූවන් ලෙස යළි සමාජගත කර තිබේ. වාර්ෂිකව අති විශාල පිරිසක් ප්‍රතිකාර සහිතව පුනරුත්ථාපනය කොට සමාජයට මුදා හැරීමට කටයුතු කර තිබේ.

දිවයින පුරා පිහිටි විවිධ අධිකරණ මඟින් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට වරදකරුවන් වන බොහෝ තරුණ පිරිස් මේ මධ්‍යස්ථානයට යොමු කෙරේ. එතැන් පටන් නිවෙසක ජීවත් වන ආකාරය දැනෙන අයුරින් ඔවුන් පුනරුත්ථාපනය කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ දැක්ම වන්නේ ජාතික සංහිඳියාව, සාමය, සෞභාග්‍යය පිරි නීතිගරුක සමාජයක් බිහි කිරීම නිසා, ඒ උදෙසා සමාජයට පිළිලයක් වන අය එයින් මුදා ගැනීමය. ඊට අනුව යමින් අවිය අතට ගත් එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කර සමාජගත කළාක් මෙන්ම මත් උවදුර හේතුවෙන් සමාජයට පිළිලයක් වී ඇති තරුණ ප්‍රජාව ද සමාජගත කිරීම අරමුණ වී තිබේ.

ප්‍රතිකාර ක්‍රමවේද

එහිදී කාන්තා, පිරිමි, ළමා හා අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ පිරිස් පුනරුත්ථාපන ක්‍රියාවලිය හා විවිධ ප්‍රතිකාර ක්‍රමවේදයන් මඟින් ඔවුන්ගේ අයිතීන් හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කරමින් සමාජීය, ආර්ථික සංවර්ධනය ඵලදායි කිරීමෙන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සිදු කෙරේ.

මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසුව රජයට භාර වූ සන්නද්ධ එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ආරක්‍ෂක නවාතැන් දීමේ හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් නම් කර 2010 වසරේ අප්‍රේල් මස 19 දින ආරම්භ කර පවත්වාගෙන ගිය එම මධ්‍යස්ථානයෙන් සමාජගත වූ එල්ටීටීඊ රැඳවියන් ගණන 12,500කි..එම කාර්යයන් සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2013 වසරේ අගෝස්තු මාසයේ සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මත බන්ධනාගාරගතව සිටි අය පුනරුත්ථාපනය කිරීම සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වශයෙන් නම් කර මේ දක්වා පවත්වාගෙන යනු ලබයි.

ලෝකයේ දරුණූතම ත්‍රස්තවාදී සංවිධානයේ අවි ආයුධ අතට ගෙන අහිංසක නිරායුද ජනතාව මරා දැමූ රටේ ඉහළ වටිනාකමකින් යුත් ආර්ථික මර්මස්ථානවලට පහරදීමට එක් වූ රට දෙකඩ කරන්නට පෙරමුණ ගත් එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඔනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැකි වේ. මෙලෙස පුනරුත්ථාපනය කළ එකදු සාමාජිකයකු නැවත ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී නැති බව මෙහිදී සුවිශේෂි කරුණක් ලෙස සටහන් කළ හැකිය.

මෙම සාර්ථකත්වය පසුපස සිටි පිරිසට මත් රකුසාට බිලි වී සිටින තරුණ පරපුර මුදා ගන්නට භාර දී තිබෙන්නේ මේ අනුවය. පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා 2013 අගෝස්තු මස වැලිකඩ බන්ධනාගාරය වෙතින් 21 දෙනකු ප්‍රථම වරට මෙහි යොමු කර ඇති අතර, මේ දක්වා උසාවි නියෝග මත 6500 අධික පිරිසක් මධ්‍යස්ථානය වෙත යොමු වී පුනරුත්ථාපනය වී නික්ම ගොස් සිටිති. ඔවුන් පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව ඔවුන්ගේ පසු ක්‍රියාවන් ද නිරීක්ෂණය කරනු ලැබීම මෙහි වැදගත් කර්යයක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව මාස 12ක පුනරුත්ථාපන කාලසීමාව තුළ මාස 6ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ද, ඉතිරි මාස 6 සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ද මේ පුනරුත්ථාපන කටයුතු සිදු කෙරේ. එහිදී පළමු මාසය තුළ ‘කෘෂි ප්‍රතිකාර සහ මධ්‍යස්ථානයට’ අනුගත කිරීම සහ සය මාසික උපදේශන කාර්යය සඳහා කායික මානසික පෙලඹවීම සිදු කෙරේ.

අධ්‍යාපන වැඩසටහන්

දෙවැනි මාසය තුළදී මත්ද්‍රව්‍ය සම්බන්ධ අධ්‍යාපන වැඩසටහන් පවත්වනු ලබන අතර, එහිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදු වන ශාරීරික හා මානසික හානිය සහ ඒවා වළක්වා ගැනීම සබැඳිව දැනුවත් කිරීම සිදු කෙරේ. තුන්වන මාසය තුළදී මත්ද්‍රව්‍ය උපදේශනය සහ ප්‍රතිකාර සිදු කෙරෙන අතර, එහිදී තවදුරටත් මත්ද්‍රව්‍ය හානිය පිළිබඳ ගොදුරු වූ අය දැනුවත් කිරීම හා උපදේශනය සිදු කෙරේ. සිවුවන මාසයේදී සමාජ උපදේශනය සිදු කෙරෙන්නේ පවුල් සංස්ථාව සහ යහපත් අන්තර්-පුද්ගල සබඳතා පවත්වා ගැනීම සඳහා උපදේශනය ලබා දීමෙනි. එහිදී පවුලක අගය, දරුවන්ගේ මානසික මට්ටමට මවුපියන්ගේ ආදරය හා පවුලේ අයගේ සමඟිය බලපාන ආකාරය ද පෙන්වා දේ. පෞරුෂත්ව හා නායකත්ව සංවර්ධනය 5 වන මාසයේදී සිදු කරනු ලබන අතර 6 වන මාසයේදී ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා අවශ්‍ය කටයුතු සියල්ල සිදු කෙරේ. එතැනින් පසුව සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී සමාජගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දී අවශ්‍ය පාඨමාලා කරා යොමු කරනු ලැබේ. මේ පිරිස් යොමු කරනු ලබන පාඨමාලා අතර පෑස්සුම් ශිල්ප පාඨමාලාව, කොණ්ඩා මෝස්තර සැකසුම් පාඨමාලාව, බේකරි පාඨමාලාව, කෘෂිකර්ම පාඨමාලාව, භෝජනාගාර සේවක පාඨමාලාව ඇතුළු පාඨමාලාවන් රැසක් උදෙසා පුහුණු කෙරේ. පාඨමාලා හදාරා සමාජගතව ඇති පිරිස විශාලය. ඔවුන් මේ වන විටත් විවිධ වෘත්තීන්හි නියැළෙමින් සිටියි. පුනරුත්ථාපනය ලබන පිරිස අතර වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් පවා සිටියි. එමෙන්ම මෙම පිරිස් අතර කිසිම උගත්කමක් නැති දරුවන් ද සිටියි. වෛද්‍යවරුන්, නීතිඥයන්, විදුහල්පතිවරුන් මෙන්ම බොහෝ උගත් මව්පියන්ගේ දරුවන් සිටීම විශේෂත්වයක් වන අතර මේ සෑම දරුවකුටම මෙහිදී එක හා සමාන සැලකිල්ලක්, ආදරයක්, කරුණාවක් සහ දයාවක් දක්වනු ලබයි. පළමු මාස හය තුළ තමන්ට, තම පවුලට, සමාජයට සහ රටට මත්ද්‍රව්‍යවලින් වන හානිය පිළිබඳ කියා දීම ද, ශාරීරික අභ්‍යාස, වෘත්තීය පුහුණු, නැටුම්, ගැයුම්, චිත්‍ර, සංගීතය, නාට්‍ය කලාව, නායකත්ව පුහුණුව හා කෘෂි කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවල පුහුණුවීම් ලබා දෙයි.

කාලසටහනකට වැඩ

පුනරුත්ථාපනය ලබන අය ඇතුළත් වීමේ සිට යළි නිවෙස බලා යන තුරුම රජය විසින් ඔවුන්ට අවශ්‍ය දත් බුරුසුව, රේසර් එකේ සිට ඇඳුම්, පැලඳුම්, සෙරෙප්පු ඇතුළු අවශ්‍ය සියලු දෑ ලබා දෙයි. ඔවුන් පවරා ඇති කාලසටහනකට අනුව කටයුතු කළ යුතුය. පෙරවරු 5ත් 5.30ත් අතර අවදි වීමේ සිට සියල්ල නිසි පිළිවෙළකට රැඳවියන් විසින් සිදු කළ යුතු වේ. කාලසටහනේ ක්‍රීඩා කිරීමට සහ විනෝද වීමට ද අවස්ථාව සලසා ඇතිවාක් මෙන්ම ඔවුන්ට සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා ඇත. එහිදී ඔවුන් විසින්ම සංගීතය සපයා ගෙන පවත්වනු ලබන ප්‍රසංග පවා එළිදක්වා තිබේ. චිත්‍රපට දර්ශන සඳහා ද මෙහිදී අවස්ථාව සලසා ඇත.

එමෙන්ම ඔවුන් විසින් පිටපත් රචනා කර සකස් කර ගත් නාට්‍ය පවා වේදිකාගත කිරීමට අවශ්‍ය ශාලා පහසුකම් ද සපයා ඇත. සියලු දෙනාට ව්‍යායාම කිරීමට හැකි වන පරිදි නූතන පහසුකම්වලින් සමන්විත ව්‍යායාම අභ්‍යාස ආයතනයක් ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ. මාස 6 තුළදී පුහුණුව නිම කර ලබා ගන්නා පාඨමාලාව සඳහා NVQ III මට්ටමේ සහතිකයක් පිරිනැමීමට කටයුතු කර ඇති අතර, නිසි අධ්‍යාපනයක් නැති අයට පවා අධ්‍යාපන මට්ටම ඉහළ නංවාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. එසේම ඒ අයට සම් භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම පාවහන් නිෂ්පාදනය සහ බෑග් නිෂ්පාදනය වැනි වෘත්තීය පුහුණුව දීමට කටයුතු කර තිබේ. අවශ්‍යතාව පරිදි ඉංග්‍රීසි භාෂාව ද මේ පිරිස් වෙත ලබා දීමට කටයුතු කෙරේ. පුනරුත්ථාපනය කරනු ලබන පිරිස් බහුතරයක් පවසන්නේ මේ පුහුණුවෙන් පසුව යළි කිසිසේත්ම තමන් පෙර වැරදි කරා යොමු නොවන බවයි. එසේ වුවත් කොළඹ ඇතුළු නාගරික අඩු ආදායම්ලාභීන් ලෙස පුනරුත්ථාපනය වන කිහිප දෙනකු නම් යළි පෙර වැරැදි කරා යොමු වීමට ඉඩ ඇති අතර, ඔවුන් වෙනුවෙන් සිදු කරනු ලබන මේ වියදම් අපතේ නොයා තබාගැන්මට නම් මේ පුනරුත්ථාපනය වන පිරිස් හා ඉදිරි සබැඳියාවන් නිසි ලෙස පවත්වාගැනීමට පවුලේ අය සමඟ පසු-විපරම් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ද වැදගත් වන්නේය. 

පසු විපරම

පුනරුත්ථාපනය ලබන එක් අයකු වෙනුවෙන් රජය විසින් වසරකට ලක්ෂ 12ක පමණ අධික වියදමක් කරනු ලබන හෙයින්, මත් උවදුර වහා දුරලීමට කටයුතු කළ යුතුය. එසේ නොවුණ හොත් රටේ සංවර්ධනයට ඇති අති විශාල මුදලක් මේ සඳහා වැය කිරීමට සිදු වනු ඇත. මේ සියලු දේ සිදු කර වසර අවසන් වී සමාජගත වන පුද්ගලයා නිසි ආකාරයෙන් සමාජයේ ජීවත් වන්නේ ද යන්න ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව පසු විපරම් සිදු කරනු ලැබීම ද රහස් සෝදිසි කිරිම් සිදු කිරීම් ද අඛණ්ඩව සිදු කෙරේ. මෙම පිරිස තමන් පෙර සිටි පරිසරයටම නැවත අවතිර්ණ විමෙන් නැවත මත්ද්‍රව්‍යවලට යොමු වීමේ අවදානමක්ද පවතින බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය. ඒ හේතුවෙන් විදේශ රැකියා සඳහා පුහුණු කිරිම් මෙන්ම ඒ සඳහා යොමු කිරීමට ද අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් සිදු කිරිමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය. එමෙන්ම තෝරා ගත් තරුණ කණ්ඩායම් වෙත ව්‍යාපාර හා වගා කිරීම් සඳහා යොමු කිරිමටත් අවධානය යොමු වී ඇතැයි ඒ මහතා පැවැසීය.

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම යුද්ධයට යොමු වූවන් පුනරුත්ථාපනය කිරිම සේම අසීරු කාරණයකි. එම වැරදි දෙකෙන්ම සිදු වන්නේ රටට, ජනතාවට සහ රටේ ආර්ථිකයට සාජුව බලපාන හානීන් වේ.

කෝවිඩ් සහ විනය

$
0
0
මැයි 12, 2021 01:00

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී විසි වසරක් යනතුරු විනය නීති පැනවීමට අවශ්‍ය නොවූ බව විනය ග්‍රන්ථයන්ගෙන් පැහැදිලි වේ. එකල බුදුන් වහන්සේ හා ශ්‍රාවකයෝ සාමදානයෙන් වාසය කළහ. රහතන් වහන්සේ තනි තනිවම ධර්ම ප්‍රචාරක ආදී කටයුතුවල නියැලුණු අතර ධර්ම ශ්‍රාවකයෝ ද තමන්ට හැකි අයුරින් ඉතාමත් සංයමයෙන්, සංසුන්ව ධර්ම කරුණු ඉගෙන ගත්හ. නමුත්, පසුකාලීනව සංඝ සමාජය වර්ධනය වීමත් සමඟ මාර්ගඵල නොලැබූ භික්ෂූන් වහන්සේගේ ක්‍රියා හේතුවෙන් ඇති වූ ගැටලු වළක්වා ගනුවස් විනය නීති පනවා ඇත. සංඝ සමාජයේ අභිවෘද්ධිය උදෙසා ඒ ආකාරයේ විනය නීති පැනවූ බව පැහැදිලිව පෙනෙන්නට වූ කරුණකි. "නීති රීති නොමැතිව ක්‍රියා කිරීම මේ ලෝකයේ දුෂ්කරම හා වෙහෙසකාරී දෙයයි" - පියරෝ මන්සෝති. "විනය නැතිකම යනු වගකීම් විරහිතභාවය පැවතීමයි"- ලියොනිඩ් එස් සුබුරුකොව්. මේ ආකාරයට මොවුන් විසින් විනය යන්න හඳුන්වා දෙයි.

මේ සියල්ලන්ගෙන් අදහස් වන්නේ කිසියම් යහපතක් උදෙසා යහපත් හැසිරීම හෙවත් යහපත් ක්‍රියා කිරීම බව අපට වටහා ගත හැකියි. තවද විනය යන ඔබ අප සැමගේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අප විසින්ම තනා ගත් මෙවලමකි. එසේම එය ඉතා හොඳ මාර්ගයක් ද වේ. තවද කිසියම් අයකු විනයක් හෙවත් හික්මීමක් පුරුද්දක් බවට පත් කරගත හොත්, තමන්ගේ අරමුණ ඉතා හොදින් යහපත්ව භුක්ති විඳීමට ඉඩ හසර නිරායාසයෙන්ම ලැබෙයි. තම ජීවිතය ක්‍රමානුකූලව හා යහපත්ව පවත්වා ගැනීමට මෙවලමක් සේ එය ක්‍රියා කරන්නේය. එසේම තම අවශ්‍යතා කිසියම් නිශ්චිත අනුපිළිවෙළකට ද හසුරුවන්නට විනය සමත් වෙයි. විනය පිළිබඳ කතාබහේ දී සෘජුව අවධානය යොමුවන්නේ පාසලටය. විනය සෑම විටම පාසලේ අභ්‍යන්තර ව්‍යුහයේ මූලික රීතිය ලෙස ද සැලකේ. අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් සාර්ථක ලෙස සංවිධානය කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් පාසලක විනය පවත්වාගෙන යෑමට කටයුතු කරයි. මෙය දරුවන්ගේ හැසිරීමේ එක්තරා පිළිවෙළකි. හැසිරීම යනු ක්‍රියාවලියකි. ඊට ප්‍රථම දරුවන්ගේ අභ්‍යන්තරික මානසික විනය සැකසිය යුතුයි. එහිදී සිදු වෙන්නේ සිතුවිලි සමුදායක හික්මීමයි. අසංවරව ඇති සිතුවිලි සංයමයට පත් කිරීමය. ඒ අනුව ළමයාගේ සිතීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. අනතුරුව ක්‍රියාව දක්වා එය විකාශනය වේ. ගුරුවරයා හා දරුවන් අතර ඇති මනා සබඳතාවය විනයගරුක දරු පරපුරකට අඩිතාලම සැකසේ. ගුරුවරයා විසින් දරුවන්ගේ හැසිරීම පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරකම් සංවිධානය කරයි. එහිදී විනයෙහි වටිනාකම හා වැදගත්කම මනාව අවබෝධ වූ පසු තමන්ගේත්, අන් අයගේත්, සමස්ත සමාජයෙත් යහපත් පැවැත්ම ගොඩනැගේ.

ඉන්පසුව විනය යන්නට හොඳම උදාහරණය රටක හමුදාව ය. හමුදාවක ශක්තිය වන්නේ විනය හා කැපවීම ය. විනයකින් තොරව හමුදාවට ඉදිරි ගමනක් නැත. ඒ අනුව සියලු ඉගැන්වීම් සාමූහිකව එකාවන්ව කටයුතු කිරීමෙන් සියලු අභිලාෂයන් හා අභිමතාර්ථවලට ළඟා විය හැකිය. තවද යුද ජයග්‍රහණ ලබාගත හැක්කේ ද විනය මනාකොට පිහිටීම තුළ ය. එසේම කිසියම් ආයතනයක හෝ ව්‍යාපාරයක මෙන්ම සමාජ කණ්ඩායමක, සංවිධානයක, සමිතියක යනාදී කවර මට්ටමක සාමාජිකයන් අතර වුව විනයක් හා ඒ අනුව ගොඩනැඟුණු පොදු සිතුවිලි හා ක්‍රියාවන් පවතී නම්, එකී ආයතනයට, කණ්ඩායමට හා එහි සාමාජිකයන්ගේ අරමුණු ඉලක්ක හා අභිමතාර්ථයන්ට පහසුවෙන් ළඟා විය හැකිය. ආයතනයක නම්, ලාභ ලැබීම හා එහි දියුණුව පෙන්වා දිය හැකිය.

එසේ නම්, වත්මන් ලෝකය වෙළා ගෙන ඇති කොවිඩ් වසංගතය මෙලොවෙන් පලවා හැරීම යන ඒකායන අභිලාෂය අප සැමගේ සිත් තුළට කා කාවද්දා ඒ අනුව හික්මීමෙන්, විනයකින් යුතුව කටයුතු කළහොත් අපට මෙය ජය ගත හැකි වනු ඇත. නමුත්, සමාජයට ආදර්ශ සැපයිය යුතු ඇතමුන් විසින් අමු අමුවේ තම-තමන් විසින් ගොඩනඟා ගත යුතු ස්වයං විනය නොසලකා හරින අවස්ථා රැසක් අපට විද්‍යුත් මාධ්‍යයේ දැක ගත හැකි වේ. ඔවුන්ගේ එම හැසිරීම් හා ක්‍රියා කලාපයන්ගෙන් තමන් පමණක් නොව අවට සිටින අයද අගාධයට ඇද දමන්නට උත්සාහ කරති. තමන්ට කොවිඩ් වයිරසය ඇතුළු වී ඇතැයි කිසියම් හෝ සැකයක් හා සංකාවක් ඇත්නම්, වහාම අන් අයගෙන් දුරස්ව අදාළ සෞඛ්‍යඋපදෙස් අනුගමනය කළ යුතුමය. නමුත්, ඔවුන් සිදු කර ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. පී.සී.ආර් හෝ rapid antigen පරීක්ෂාවක් කර අදාළ රැස්වීම හෝ සාකච්ඡාවට සහභාගි වී ඇත. මෙය ස්වයං විනය නොඑසේ නම් පුරවැසි විනය පිළිබඳ අබ මල් රේණුවක තරම් නොසලකා හැරි අවස්ථාවකි. තවද වයිරසය වැලඳුණු පවුලක දරුවකු විභාග ශාලාවක් වෙත රැගෙන ගිය වැඩිහිටියෙක් පිළිබඳ වාර්තා විය. ඔහු ඒ සිදු කළ ක්‍රියාව අතිශය විනය විරෝධීය. තවත් දරුවන් රැසක් අනතුරකට හෙළීමය. ඇතමුන් තවමත් මහ මඟ මුහුණු ආවරණ නොපලඳා එහෙ මෙහෙ ඇවිදිති. ඒ පිළිබඳ ප්‍රශ්න කරන අය හා බහින් බස් වෙති. මෙතරම් දරුණු වසංගත තත්ත්වයක් ලොව වෙලා පවතින අවස්ථාවක මෙවැනි ක්‍රියා කිරීම විනය විරෝධී බව කාටත් අවබෝධ වන කරුණකි.

ඇතැමුන් කඩ කාමර හෝ ගෘහයන් තුළට වී දොරගුළු ලා පිරිස එක්රැස්ව යම් යම් ව්‍යාපාරවල නිරත වෙති. මොවුන් ලොව ඇති එකම පොදු අභිමතාර්ථය විය යුතු කොවිඩ් වයිරසයෙන් මිදීම යන්න සුළු කොට තකති. මෙවැනි අවස්ථාවක තිබිය යුත්තේ පොදු හැඟීම ය. එසේම සාමූහිකත්වයය. නමුත්, මේ ආකාරයට පුරවැසියන් තම තමන් ස්වයංව සකසා ගත යුතු විනය හෙවත් යහපත් හැසිරීම් සුළු කොට තකන්නේ නම්, කොවිඩ් සතුරා තවදුරටත් පහරදීම නොවැළැක්විය හැකිය. කොවිඩ් වයිරසය උඩු දුවන මේ මොහොතේ හැකිතාක් නිවසට වී කාලය ගත කරන්නැයි සෞඛ්‍ය නිලධාරීන් වරින්වර පවසති. එසේම නිවැසියන්ට කාලය නිසි කළමනාකරණයකට ලක් කොට ඵලදායි ලෙස ගෙවිය හැකිය. තවද දරුවන්ට ද වයිරසයේ භයානකකම ගැන වටහා එයින් ආරක්ෂා වන්නේ කෙසේදැයි පහදා දී පුරවැසි විනය ක්‍රියාත්මක කර ගැනීමට එක්ව අතහිත දිය යුතුය. මේ ආකාරයට තනි තනි පුද්ගලයා, තනි තනි පවුල් වශයෙන් ගොඩනගන විනය සමස්ථ සමාජයක, සමස්ත රටක විනයක් හා හික්මීමක් ගොඩ නැගීමට ඉවහල් වනු ඇත.

සියල්ලෝම පුද්ගල කාර්යයන් කිරීමට පෙර තම තමන්ගේ ජීවිත රැක ගත යුතුමය. මිනිස් ජීවිත බිලිගැනීමට පෙර මඟ බලා සිටිනා 'කොවිඩ් මරුවා'රැඳෙන ස්ථානවලින් බේරීමට හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුම ය. තම නිවසේ ශාරීරිකව දුර්වල වූ වැඩිහිටි පුරවැසියෙක්, රෝගී අයෙක්, හෝ ළදරුවෙක් සිටී නම්, වඩාත්ම සැලකිලිමත් විය යුතුය. රෝගී ලක්ෂණ නොපෙන්වාම ඔබ මරුවා වෙත රැගෙන යාමට කොවිඩ් මරුවාට හැකියාව ඇත. එසේ හෙයින් දිනපතාම තම ජංගම දුරකතනයෙන් හෝ විද්‍යුත් මාධ්‍යයෙන් කොවිඩ් වසංගතය ගැන නවතම පුවත් පිළිබඳ දැනුවත්වන්න. වෙනදාට වඩා දෙවරක් සිතා මඟතොට වෙත යෑම අත්‍යවශ්‍ය දේකට හැර සීමා කරන්න. සියලු ජනයා තුළ මේ කාලච්ඡේදයේ තිබිය යුතු වන්නේ අන් කිසිවක් නොව පොදු සතුරාට එරෙහිව සටන් කරන්නේ කෙසේද? යන්නයි. පොදු සතුරා වන කොවිඩ් වයිරසයෙන් බේරෙන්නේ කෙසේද යන්න ගැන පමණකි. වෙනත් පුද්ගලික හෝ වාද විවාද තර්කවලින් කිසිදු ඵලක් නැත. වඩාත් ඵලක් වන්නේ තම තමන් විසින් ගොඩනඟා ගතයුතු ස්වයං විනය පිළිබඳ සැලකිලිමත් වීම ය. එසේ වූ විට අපගේ ඉලක්කය හෙවත් පොදු අභිලාෂය ජය ජය ගැනීමට හැකි වනු ඇත.

ශ්‍යාමා සමරසිංහ

දවසේ ලග්න පලාපල

$
0
0
මැයි 12, 2021 01:00

මේෂ ලග්නය - දේපළ ලැබීමක්

මේෂ ලග්නය අනුව අද ඔබට දේපළ සම්බන්ධ ලැබීම් ඇත. පියාගෙන් දුරස්වීමට හේතු මතු කෙරේ. සිත් තැවුල් මතු කෙරෙන අතර, ආර්ථික අපහසුතා මතු කෙරෙනු ඇත. රැකියා ස්ථානගත ගැටලු මතුවේ. තමා මීට පෙර කරගෙන ආ ව්‍යාපාරයක් පාඩුවන තත්ත්වයට පත්වේ. ශරීර සෞඛ්‍ය අතින් ද හිසට අගුණ පළ කෙරේ. සුපරීක්ෂාකාරී වන්න.

වෘෂභ ලග්නය - ව්‍යාපාරික මට්ටමේ කාර්ය බහුල බවක්

වෘෂභ ලග්නයට අනුව අද ඔබට යුග දිවියේ ගැටලු මතු කෙරේ. තම හදිසි කෝපය නිසා මතභේද ඇතිවේ. රැකියාවේ, ව්‍යාපාරයේ කාර්ය බහුල බව නිසාම එසේ වීමට හේතු වේ. තමා ළඟ සිටින අයගෙන් ප්‍රවේසම් වන්න. තම ධනයකට වංචාකාරී අයගෙන් උවදුරු පැමිණේ. ඉගෙන ගන්නා අයකු නම් කම්මැලිකම හා එපාවීම පෙන්වනු ඇත. ආගමික කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් ඇතිකර ගතහොත් අපහසුතා මඟහරවා ගත හැක.

මිථුන ලග්නය - පිටරට සබඳතා

මිථුන ලග්නයට අනුව අද ඔබට පිටරටකට යාමට තිබූ බලාපොරොත්තුව සඵල වන්නකි. තම අවශ්‍යතා අනුව ගෘහ භාණ්ඩ හෝ රැකියා - ව්‍යාපාරික ස්ථානයට කාර්යාලීය උපකරණ ගෙනඒමට උනන්දු වේ. ඒ වෙනුවෙන් මුදල් වැයවීමක් පෙන්වයි. නමුත් කාර්යාලීය කටයුතු ‍පහසුවීමෙන් සිතට වෙනදාට වඩා සහනය ලැබේ. යටි බඩ ආශ්‍රිත ආසාදන පවතී. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න. උපරිම වතුර පානය සිදු කරන්න.

කටක ලග්නය - නිර්මාණාත්මක බව හා ක්‍රියාශීලී බවක්

කටක ලග්නයට අනුව අද ඔබට ලැබීම් අතින් සුබයි. ආයෝජන තත්ත්ව හා ඒ වෙනුවෙන් දුර බැහැරකට යාමක් ද සිදුවේ. තම ඥාති පිරිස් විසින් තමාට ලබාදෙන පහසුකම් නිසා එදිනෙදා කටයුතු පහසු වේ. නිර්මාණාත්මක බව හා ක්‍රියාශීලී බව නිසා ප්‍රතිලාභ ලැබේ. ජලය ආශ්‍රිත ලාභ ලැබේ. ඒ නිසා උනන්දු වන්න. බීම වර්ග හා විවිධ ආහාරපාන පිළිබඳ ව්‍යාපාර කරන අයට ආදායම් සරුවේ. කුස ආශ්‍රිත රෝග ඇතිවේ. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න.

සිංහ ලග්නය - ලැබීම් අතින් යහපත් වේ

සිංහ ලග්නය හිමි ඔබට අද දින ලැබීම් අතින් සුබයි. එහෙත් වියදම් තත්ත්වය ඉහළ යයි. තම වෘත්තීමය ස්ථානගත සතුරු කරදර ඇති කෙරේ. තමා විසින් තම සේවා ස්ථානයකට බඳවා ගන්නා අයගෙන් විශ්වාසය බිඳ වැටෙන තත්ත්වයක් උදාවේ. එහෙත් නීතිමය තීන්දු තීරණ තුළින් ඔබට සාධාරණය ඉටුකරවා ගැනීමට හැකිවේ. දණහිසට අපලයි. පපුවේ වියළි ගති මතු කරයි. උෂ්ණ ආහාර අවම කරන්න.

කන්‍යා ලග්නය - සමාජශීලී කටයුතුවලින් යහපත

කන්‍යා ලග්නයට අනුව අද ඔබට තම බුද්ධිගෝචර බව නිසා උසස් තත්ත්වය මතු කෙරේ. රැකියාවේ ප්‍රතිලාභ උසස්වීම් හා කලක් බලාපොරොත්තුව සිටි ස්ථාන මාරුවක් හිමිවනු ඇත. ආර්ථික වශයෙන් ද සුබයි. දේපළ හිමිකම් ලැබේ. තමාගේ පුණ්‍යවන්ත බව මතු කෙරෙනු ඇත. සමාජශීලී කටයුතු කෙරෙන් කැපී පෙනෙන තත්ත්වයක් උදාවේ. තම වාහනයක් ලීසිං ආවරණයෙන් නිදහස් කරගැනීමට අවස්ථාව උදාවේ. තම සිතට සතුටුදායක දිනකි.

තුලා ලග්නය - වන්දි මුදල් හිමිකමක්

තුලා ලග්නයට අනුව ඉතා වාසනාවන්ත දිනකි. ආගමික කටයුතුවලට තැන දෙමින් හා දානමය පිංකමක් නිසා කාර්යබහුල වෙමින් ගතවන දිනකි. මවගේ කිසියම් සැමරුමක් නිසා සිතේ සතුට උදාවේ. නීති ගැටලුවලින් නිදහස් වේ. චෝදනාවකට ලක්වූ කරුණක් නිශ්ප්‍රභ වේ. කිසියම් වන්දි මුදලක් ද හිමිවේ. තුනටියට අගුණයි. වියදම් පැත්ත ද ඉහළ යන නිසා කල්පනාකාරී වන්න. ආදායමට අනුව වියදම සමබර කරගන්න.

වෘශ්චික ලග්නය - අත්වැරදීම් නිසා පාඩු

වෘශ්චික ලග්නයට අනුව අද දිනට සිතේ කනස්සල්ල මතු කෙරේ. අධික කාර්ය බහුලතාව නිසා නොසන්සුන්තා මතු කෙරේ. ඒ නිසාම අත්වැරදීම් මතුවිය හැක. ඔබට පිටස්තර අයගෙන් ලැබෙන සහයෝගය ඉතා උසස් වේ. පිය පාර්ශ්වයෙන් ලැබීම් සහිතයි. දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සතුට දනවනු ඇත. ඒ වෙනුවෙන් දුරබැහැර ගමනක් ද යෙදේ. සතුට, සමාදානය වෙනුවෙන් දවසේ වැඩි කාලයක් කැපවේ.

ධනු ලග්නය - සිතට සතුට දැනෙන දිනකි

ධනු ලග්නයට අනුව අද ඔබට ඉතා සුබයි. විවාහ ආදී කටයුතු නිසා කාර්යබහුල වේ. සිතට සතුට දැනවෙන කරුණු යෙදේ. පිටරට සිටින අයකුගේ පැමිණීම නිසා ආර්ථික වාසි සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. තම ලේ ඥාතියකුට සිදුවන හදිසි අනතුරක් නිසා ඒ වෙනුවෙන් කැපවීමට ඔබට සිදුවේ. විවාද තරග, කථික තරග ආදියෙන් ඔබට ජය හිමි වේ. මුත්‍රා දෝෂ, යටි බඩේ දෝෂ මතු කෙරේ.

මකර ලග්නය - මූල්‍ය කටයුත්තක් වෙනුවෙන් කැප වේ

මකර ලග්නයට අනුව අද ඔබට මූල්‍ය කටයුත්තක් වෙනුවෙන් කැපවීමට සිදුවේ. බැංකු කටයුතු බහුල කෙරේ. නිවැරැදි දේ වුව ද සිදුවන චෝදනාවකට මුහුණදීමට සිදුවේ. තම රාජකාරිය දේවකාරිය ලෙස සලකා කටයුතු කෙරෙන දිනකි. ව්‍යාපාරයකට අත ගසයි. ඒ සඳහා සහයෝගයට බොහෝ සමීපතමයින් පිරිසක් එකට එක්වෙනු ඇත. යටි බඩට අපලයි. වියළි ගති මතු කරයි. උපරිම වතුර පානය සුදුසුයි.

කුම්භ ලග්නය - දරු සම්පත් උදා වේ

කුම්භ ලග්නයට අනුව වාසනාවන්ත දරු සම්පත් උදාවන දිනකි. වෙළෙඳ ව්‍යාපාරයක් නිසා කාර්යබහුල වේ. ගෘහ ජීවිතය විවිධ ගැටලු මතු කෙරෙනු ඇත. වියදම් පැත්ත ද ඉහළ යයි. බොහෝ අය ඔබට දක්වන නොමසුරු සහය නිසා සාර්ථක ජීවිතයකට අඩිතාලම වැටෙනු ඇත. මංගල උත්සවයකට සහභාගි වීමට සිදුවේ. කාර්මික අංශවල නිරතව සිටින අයට සුබවාදී වෙයි.

මීන ලග්නය - මහ පොළොවෙන් උරුමකම්

මීන ලග්නයට අනුව වාහන ලාබ, ඉඩම්, නිවාස ලාභ පෙන්වයි. මහපොළොවෙන් ලැබෙන උරුමකම් පවතී. මැණික් ගැරීම ආදී කටයුතුවලින් උසස් ආදායම් ලැබේ. තම සුඛවිහරණය උදෙසා ගන්නා තීන්දු, තීරණ නිසා සිතට ගැටලු මතු කෙරේ. තම ව්‍යාපාරක හෝ රැකියාමය ගැටලු මතු කෙරේ. පපුවේ සෙම ගතිය ඇතිවේ. සීතල ආහාර අනුභවය රාත්‍රී කාලයේ ස්නානය අගුණ වනු ඇත.

ලෝකශූර සිංහයන්ගේ ගමන්මඟ දැන ගන්න එක්දින ක්‍රිකට් පුරාණය කියවන්න

$
0
0
මැයි 12, 2021 01:00
ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය මතක සටහන වන්නේ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් එක්දින ක්‍රිකට් කිරුළ දිනා ගැනීමය. එය මෙරට ක්‍රිකට් වංශ කතාවේ සන්ධිස්ථානයකි. පසුකාලීනව අන්තර්ජාතික ක්‍රිකට් කරළියේ කීර්තියට පත් වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමට ඉවහල් වූ තවත් විශිෂ්ට ක්‍රිකට් තරු රැසක් බිහි වීමට 1996 ලෝක ශූරතා ජයග්‍රහණය ප්‍රබලතම සාධකය බව අවිවාදිතය.

ප්‍රකට ක්‍රිකට් සාහිත්‍යකරුවකු වන සරත් ජයසිංහ ‘ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය‘ ක්‍රිකට් ළැදි පාඨකයන්ට දායාද කරන්නේ මේ සාධකය මැනවින් පැහැදිලි කර දෙමිනි. මීට පෙර විවිධ ග්‍රන්ථ 30කට ආසන්න සංඛ්‍යාවක් පාඨකයන්ට තිළිණ කළ සරත් ජයසිංහ සිය මාධ්‍ය ජීවිතයේදී වැඩිම කාලයක් වැය කොට එළි දැක්වූ ග්‍රන්ථය මෙය විය යුතුය. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අඩුපාඩුවක්ව පැවැති ක්‍රීඩා සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා සරත් ජයසිංහ දක්වන මාහැඟි දායකත්වය ඇගැයීමට ලක් විය යුත්තකි.

වසර 1975 පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් දශක දෙකක් ගත වෙද්දී එක්දින ක්‍රිකට් රජුන් ලෙස අභිෂේක ලැබීම ක්‍රීඩකයන් රැසකගේ කැපවීම් ගණනාවක ප්‍රතිඵලයකි. ඒ බව ‘ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය‘ මනාව පසක් කර දෙයි.

ගාමිණි දිසානායක අනුස්මරණ උපහාර ග්‍රන්ථය ලෙස නම් කර ඇති ‘ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය‘ පරිච්ඡේද 6කින් සමන්විත වන අතර, එහි පළමු පරිචේඡේදය වෙන් කර ඇත්තේ ද ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගැනීමේදී විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ගාමිණී දිසානායක මහතා වෙනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ එක්දින සියලු එක්දින තරග සහ ඉතා දුර්ලභ ඡායාරූප සහිත මේ ග්‍රන්ථය පිටු 1635කින් සමන්විත වන අතර, එහි බර කිලෝග්‍රෑම් 6කට ආසන්නය. එය මෙරට ක්‍රිකට් සාහිත්‍යයට එක් වන බර වැඩිම ග්‍රන්ථය විය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ සියලු එක්දින තරග ඊට ඇතුළත් වූයේ නම් එහි බර දෙගුණයක් වීමට ඉඩ තිබිණි.

වසර 1975 පළමුවරට එංගලන්තයේ පැවැති පෘඩන්ෂල් එක්දින ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිව සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉවතට විසිවී හිස් අතින් යළි පැමිණියත් 1979 පෘඩන්ෂල් දෙවැනි එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී ක්‍රීඩා කර තිබුණේ එක්දින තරග 4කට පමණි. ටෙස්ට් වරම් නොලැබූ රටක් ටෙස්ට් කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙස එය වාර්තා පොතට එක් විය.

එම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කළ සුනිල් වෙත්තමුණි, රෝයි ඩයස් සහ දුලිප් මෙන්ඩිස් මෙන්ම ඉන්දීය ඉනිම අසරණ කරමින් කඩුලු 3 බැගින් දවාලූ ටෝනි ඕපාත සහ ඩීඑස් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමෙහිලා විශිෂ්ට දායකත්වයක් සැපයූ ක්‍රීඩකයෝ වෙති. ශ්‍රී ලංකාවට 1981 දී ටෙස්ට් වරම් දිනා ගැනීමට මේ ජයග්‍රහණය වැදගත් සාධකයක් බවට පත්වී තිබිණි.

ශ්‍රී ලංකා පිලේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත පිලට එරෙහිව එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදි ලැබූ ලකුණු 3ක තියුණු ජයග්‍රහණය මෙරට එක්දින ක්‍රිකට් වංශ කතාවේ තවත් ස්වර්ණමය මතක සටහනකි. එහිදී ඉනිම ආරම්භ කළ සිදත් වෙත්තමුණි අවසන් පිතිකරුවා දැවී යනතුරුම පිටියේ රැඳී සිටිමින් ලකුණු 86ක් රැස් කිරීමත්, රෝයි ඩයස්ගේ ආරක්ෂක හිස්වැස්ම කඩුල්ල මත පතිත වී ඔහු ‘හිට් විකට්‘ ආකාරයෙන් අසාමාන්‍ය ලෙස දැවී යෑමත් ‘ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය‘ ග්‍රන්ථයට ඇතුළත් වැදගත් සටහනකි.

1983දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති එක්දින තරග 4න් පළමු තරග 2ම ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, ඉතිරි තරග 2ම විසඳුමකින් තොරව නිමාවට පත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල දෙරටක් අතර පැවැති එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස එය වාර්තාපොතට ඇතුළත් වෙද්දී 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවා අර්ජුන රණතුංග ද කණ්ඩායමේ සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක එක්දින ක්‍රිකට් කිරුළ දිනාගැනීම දක්වා පැමිණි ගමන් මඟ පෝෂණය වූයේ එසේ වසරින් වසර තරගයෙන් තරගයට අත්දැකීම් එක් රැස් වීමෙන් බව ‘ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය‘ ග්‍රන්ථය පරිශීලනය කිරිමේදි අවබෝධ කරගත හැකිය.

ශ්‍රී ලංකා පිලට 1996 ලෝක ශූරතාව දිනාගැනීමේදී විශිෂ්ට දායකත්වයක් දුන් අරවින්ද ද සිල්වා කණ්ඩායමට එක් වන්නේ 1984 වසරේ දී නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මොරටුවේ එවකට ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදිය. අනතුරුව 1985 පාකිස්තාන සංචාරයේදී අසංක ගුරුසිංහ කඩුළු රකින්නා ලෙස කණ්ඩායමට එක්වූ අතර, ඊට වසරකට පසු පාකිස්තාන පිලේ ශ්‍රී ලංකා සංචාරයේ අස්ගිරියේ පැවැති එක්දින තරගයේදී රොෂාන් මහානාම තරග වරම් දිනා ගත්තේය. මේ දෙදෙනාම 1996 ලෝක ශූර කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ වූහ.

එම තරගයේදී මහානාම සමඟ තවත් කෝඩුකාර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් කණ්ඩායමට එක් වූහ. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස සුවිශේෂ කාර්යභාරයක නිරතව සිටින ඈෂ්ලි ද සිල්වා ද එක්දින තරග වරම් ලැබුවේ එම තරගයේදිය. එම සංචාරයේදී පාකිස්තාන පිල මෙහෙයවනු ලැබුවේ එරට වත්මන් අගමැති ඉම්රාන් ඛාන් විසිනි. ලෝක ශූර පිලට මහඟු දායකත්වයක් සැපැයූ හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා පිලට ඇතුළත් වූයේ ඒ වසරේදීම සාජා නුවර පැවැති චැම්පියන් කුසලාන එක්දින තරගාවලියේදීය.

අනූව දශකය ආරම්භ වන්නේ ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 විල්ස් ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ සනත් ජයසූරිය කණ්ඩායමට එකතු කරමිනි. ඒ වසරේදිම ඉන්දීය සංචාරයේදී මාවන් අතපත්තු කණ්ඩාමට ඇතුළත් වූ අතර, පසුකාලීනව සනත් ජයසූරියගේ ආරම්භක පිතිකරු සගයා බවට පත් වෙමින් එක්දින තරග බිම උඩුයටිකුරු කළ රොමේෂ් කළුවිතාරණ කණ්ඩායමට එක් වන්නේ ද එම සංචාරයේදීය.

ලෝක ශූර කණ්ඩායමේ වේගපන්දු බළඈණිය ශක්තිමත් කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග වරම් ලැබුවේ 1991 වසරේ ඉන්දියාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදීය. ඊට වසර දෙකකට පසු ලෝක පූජිත මුත්තයියා මුරලිදරන් කණ්ඩායමට ඇතුළත් වූ අතර, 1994 ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේදී චමින්ද වාස් සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර ද තරග වරම් දිනා ගත්හ.

ඒ වසරේදිම සාජා නුවර පැවැති ඔස්ට්‍රලේෂියා එක්දින තරගාවලියේදී උපුල් චන්දනත්, පාකිස්තාන පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කුමාර් ධර්මසේනත් කණ්ඩායමට එක් වූ අතර, මේ දෙදෙනාම තුන්ඉරියව් ක්‍රීඩකයන් ලෙස 1996 ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

1996 ලෝක එක්දින ක්‍රිකට් කිරුළ අත් කර ගැනීමේ අඩිතාලම දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රතිභාසම්පන්න ක්‍රීඩකයන් එකතු වූයේ ඒ අයුරිනි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමට බලපෑ එවැනි සාධක ගණනාවක් සටහන් වූ ‘ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය‘ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය අධ්‍යයනය කරන ඕනෑම අයකුටම ක්‍රිකට් ක්‍රීඩාවේ දිග පළල මැනවින් අවබෝධ කර ගත හැකි අගනා ග්‍රන්ථයකි.

එක්දින තරග ආරම්භය, එක්දින පිටියේ අමතක නොවන සොඳුරු මතකය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම්, ලොව අසිරිමත් වාර්තා, ලොව විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන තොරතුරු සියල්ල එකට කැටි කළ මේ ග්‍රන්ථයේ අන්තර්ගතය එහි බරට වඩා බරසාර බව ඉඳුරාම පැවැසිය හැකිය.

 

බුදුගල පාෂාණයෙන් නිරූපණය වන්නේ ස්කන්ධ හා වල්ලි අම්මා ද?

$
0
0
මැයි 13, 2021 01:00

 

රත්නපුර දිස්ත්‍රික්්කයේ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගල ග්‍රාම නිලධාරී වසමේ බුදුගල ආරණ්‍ය සංකීර්ණය පිහිටා තිබේ. බළන්ගොඩ නගරයේ සිට දකුණු දෙසට දිවෙන කල්තොට මාර්ගයෙන් කි.මී.32ක් ගිය විට හමුවන කල්තොට උප නගරයේ සිට වැලිපතයාය-කපුගල දක්වා ඇති මාර්ගයේ කි.මී. දෙකහමාරක් පමණ ගිය විට ආදි මානව සිතුවම් ශේෂ වී පවතින බුදුගල ඓතිහාසික ආරණ්‍ය සංකීර්ණය හමු වේ. මෙහි වන නිධන් ගල ලෙස හඳුන්වන ගල්තලාව මත ආදි මානව සිතුවම් වේ. මෙම ගල්තලාව මුහුදු මට්ටමේ සිට අඩි 630ක් උසින් පිහිටා ඇත.

මෙම ස්ථානය පළමු වරට වාර්තා කර ඇත්තේ 1932 වර්ෂයේ සී.එච්.කොලින්ස් විසිනි. පසුව කිරිඇල්ලේ ඥානවිමල හිමියන් බුදුගල ආරණ්‍ය සේනාසනයේ නටබුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබේ. නැවත 1971දී එල්. ඒ. ආදිත්‍ය විසින් ද මෙහි නටබුන් පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් 2014 වර්ෂයේදී මෙම ස්ථානය නැවතත් ගවේෂණයට ලක්කර තිබේ. ප්‍රදේශයේ ප්‍රචලිතව ඇති ජනප්‍රවාදයකට අනුව බුදුගල ආරණ්‍ය යනු බුදුන්වහන්සේගේ ආදාහනය සිදුකරන ලද ස්ථානය වේ. එසේම මෙම ස්ථානයේ වලගම්බා රජුගේ රාජ්‍ය පාලන යුගයට අයත් රජ මාළිගයක නටබුන් ශේෂව පවතින බවට ද ජනප්‍රවාදයේ එයි. එම ප්‍රවාද කෙසේ වුව ද මෙහි දක්නට ලැබෙන පුරාවිද්‍යා නටබුන් අනුව මෙය පධානඝර ආරාම සංකීර්ණයක් බව සනාථ වේ.

පුරාතන රෝහණය

මෙරටින් පධානඝර ආරණ්‍ය සේනාසන වර්ගයට අයත් නටබුන් වාර්තා වී ඇත්තේ සීමිත ප්‍රමාණයකි. වෙහෙර බැඳිගල, කටුකැලියාව, අරන්කැලේ, මිහින්තලය, රිටිගල, බටහිරාරාම හා අභයගිරිය සුධස්සන පඨානඝරය ඉන් ප්‍රධාන වෙයි. මේ අතරින් පුරාතන රෝහණයෙන් වාර්තා වන එකම පධානඝර සංකීර්ණය වන්නේ බුදුගලයි. මෙම ආරාම සංකීර්ණය ඉදිකරන ලද කාලය පිළිබඳව විමර්ශනයේ දී මෙහි අවධි ත්‍රිත්වයකට අයත් සාධක ලැබෙන බව පෙනේ. පළමු වැනි සේන රජුගේ (ක්‍රි.ව. 833-853) කාලයේ දී රිටිගල ආරාම සංකීර්ණය ඉදිකරන අතරතුර එම රජුගේ ඇමැතිවරු කිහිප දෙනකු තමන්ගේ නාමයන්ගෙන් පිරිවෙන් ඉදිකළ බවට සාධක ඇත. රිටිගල හා බුදුගල ආරාම සමාන ලක්ෂණවලින් යුක්ත වීම මත මේවා එකම අවධියක කරන ලද බවට අනුමාන කළ හැකිය. තුන් වැනි උදය රජුගේ (ක්‍රි.ව. 936-938) කාලයේ දී රෝහණයේ පැවැති තපෝවනය බුදුගල ආරණ්‍ය විය හැකි වේ. හතර වැනි දප්පුල රජුගේ (ක්‍රි.ව. 924-935) කතරගම ටැම් ලිපියට අනුව මේ අවධියේ රුහුණේ පාලකයා වී ඇත්තේ හතර වැනි මිහිඳු කුමරු වේ. හතර වැනි සේන රජු (ක්‍රි.ව. 954-956) රජ කරන සමයේදී ඔහුගේ යුව රජු ලෙස කටයුතු කර ඇත්තේ ද හතර වැනි මිහිඳු රජුය. හතර වැනි මිහිඳු රජු පුරාණ රෝහණය පාලනය කරන ලද තිස් වසරක (ක්‍රි.ව. 924-954) කාලයේ දී බුදුගල ආරණ්‍ය සේනාසනය ගොඩනැගූ බවටද මත වේ. මෙම ප්‍රදේශය අනුරාධපුර මුල් අවධියේ සිටම භික්‍ෂූන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා වෙන්ව පැවැති බවට සාධක බොහෝ වේ. බුදුගල අවට ගල්ටැම්යාය, කුරගල, කිරිමකුළුගොල්ල, දියවින්න, දේවගිරි විහාරය, උඩුපියන්ගල්ගේ, හඳගිරිය, ලෙන්දොර විහාරය, පිළිමද්දාර, වෙහෙරගොඩැල්ල, වෙහෙරගල, ගල්පාය, කොට්ටිඹුල්වල ආදී අනුරාධපුර මුල් අවධියට දිවෙන ස්ථාන හමු වේ.

බුදුගල සිතුවම් සහිත විවෘත ගල්තලාව පිහිටා ඇත්තේ සාමාන්‍ය පොළොව මට්ටමේ සිට උස ක්‍රමයෙන් වැඩි වන භූමියකය. සිතුවම් සහිත පාෂණයේ මෙහි පොළොවෙන් මතු වී ඇති ප්‍රමාණය මීටර 5ක උපරිම දිගකින් හා උපරිම පළල මීටර 3ක් වේ. පළමු වරට බුදුගල පධානඝර පරිශ්‍රය නිරීක්ෂණය කරන අයකුට මෙම පාෂාණ සීරුම් සහිත ගල් පෘෂ්ඨය එකවර හඳුනාගැනීම අපහසු වේ. එයට හේතු වන්නේ එම පාෂාණ තලය පොළොව මට්ටමේ පිහිටා තිබීම නිසා හා අවට වෘක්ෂයන්ගෙන් ඇද හැලෙන පත්‍ර ආදියෙන් වැසී පවතින නිසාවෙනි. කොණ්ඩගල පාෂාණ සීරුම් සහිත විවෘත ගල්තලා පෘෂ්ඨ ද්විත්වය පිහිටා ඇත්තේ කඳු බෑවුමක මධ්‍ය කොටසේය. මෙම ගල් පෘෂ්ඨයන්හි පොළොවෙන් මතු වී ඇති ප්‍රමාණය වර්ග අඩි 100ක් හා වර්ග අඩි 9ක් පමණ වේ. එක් පාෂාණයක් කැබලි ත්‍රිත්වයකට බිඳී ගොස් තිබේ. අවකාශයට විවෘත වී පවතින බැවින් පාෂාණ සීරුම් සිතුවම්වලට බොහෝ දුරට හානි වී ඇත.

සිතුවම් අධ්‍යයනය

බුදුගල සිතුවම් අධ්‍යයනයේ දී පෙනී යන්නේ ගල් පෘෂ්ඨයේ මධ්‍ය කොටස අතහැර ත්‍රිකෝණාකාර හැඩයකට ආසන්න ස්වරූපයක් ගන්නා පෘෂ්ඨයෙහි වම් පස ඉහළ කෙළවර හා දකුණු පස පහළට වන්නට මෙම සිතුවම් නිර්මාණය කර ඇති බවයි. ග්‍රැනයිට් වර්ගයේ පාෂාණයක් වන මෙහි පෘෂ්ඨයේ ඇතැම් ස්ථාන රළු බවින් අවම සමමිතික ස්වභාවයක් ගනී. නමුදු මෙහි මධ්‍යයේ මෙන්ම සිංහ රුවේ පිටුපස පාදය අසල යම් පිපිරීම් සලකුණු දක්නට ඇත. නිර්මාණ ශිල්පියා සිංහ රුවේ පිටුපස එක් පාදයක් පමණක් නිර්මාණය කරන්නට ඇත්තේ අනෙක් පාදය නිර්මාණය කිරීමට යාමේ දී එම පෘෂ්ඨයේ පතුරක් ගැලවී යාමේ අවදානම නිසා ද විය යුතුය. බුදුගල පාෂාණ සීරුම් සිතුවම් අධ්‍යයනයේ දී පෙනී යන්නේ රළු විවෘත පාෂාණ පෘෂ්ඨයේ මධ්‍යය කොටස අතහැර දෙපස තෝරාගත් ස්ථාන දෙකක පමණක් සිතුවම් නිර්මාණය කර ඇති බවයි. විහාරගල ලෙනෙහි හා කොණ්ඩගල පාෂාණ පෘෂ්ඨයේ සීරුම් සිතුවම් සමග සැසඳීමේ දී පෙනී යන්නේ බුදුගලින් දියුණු සීරුම් ලක්ෂණ දැකගත හැකි බවයි. මෙහි සිතුවම් දොරවක්කන්ද, හක්බෙලිකන්ද හා ඌරාකන්ද සීරුම් සිතුවම් සටහන් මෙන් ගැඹුරට හා අවිධිමත්ව කළ ඒවා නොවේ. බුදුගල සීරුම් සිතුවම් සමාන ගැඹුරකින් හා පළලකින් යුක්තය. ඒ අනුව පෙනී යන්නේ මෙහිදී ගල් පෘෂ්ඨය සීරීම් කිරීමටම නිපද වූ සුදුසු මෙවලමක් භාවිතයෙන් ඉතා සූක්ෂමව රේඛා මතුකර ඇති බවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රබ්බිඩිගල ලෙනේ කර තිබෙන හස්තියාගේ සීරුම් සිතුවම් ද මේ ආකාරයෙන් සූක්‍ෂ්මව සමාන ගැඹුරකින් හා පළලකින් යුක්තව නිර්මාණය කර තිබේ. එසේම මොනරාගල දිස්ත්‍රික්කයේ නැව්ගල විවෘත පාෂාණ පෘෂ්ඨයෙන් හමුවන සිංහයාගේ රුව ද මේ ආකාරයට ඉතා සියුම්ව සූරා නිමකර තිබේ. නැව්ගල සිංහ රූපය ගල් කටුවක් හා මිටියක් භාවිතයෙන් ඓතිහාසික යුගයේ දී නිර්මාණය කරන්නට ඇති බවට ද මත වේ.

පිම්මක් පනින සිංහයා

බුදුගල ආරාම සංකීර්ණයේ වන සිතුවම් පිළිබඳව පළමු වරට වාර්තා කර ඇත්තේ කිරිඇල්ලේ ඥානවිමල හිමියන් විසිනි. 1942දී එම හිමියන් රචිත සබරගමුවේ පැ‍රැණි ලියවිලි කෘතියේ දී බුදුගල පිළිබඳව කරුණු දක්වන තැන ”මේ සමීපයෙහි ගරා වැටුණු බෝධියක් හා දාගැබක් ද වේ. ඊට මඳක් දුරින් වනයේ පිහිටි ගලක බිලීබාමින් සිටින මිනිසුන් දෙදෙනකුගේ ද, ත්‍රිශූලයක හා වෙනත් ලකුණු කීපයක ද සටහන් යන්තමින් කොටා තිබේ” යන්න සඳහන් කර ඇත. මෙම සිතුවම් පළමු වරට වාර්තා කරන ලද්දේ පී. ඊ. පී. දැරණියගල බවට ද මතයක් වේ. උක්ත අවස්ථා දෙකටම එහා යමින් මෙම සිතුවම් පිළිබඳව පූර්ණ අධ්‍යයනයකින් යුක්තව වාර්තා කිරීමක් පළමුවරට සිදු කරනු ලබන්නේ 1971දී එල්. ඒ. ආදිත්‍ය විසිනි. 1971 මුද්‍රිත Ancient Ceylon සඟරාවට Buried Finds at budugala මැයෙන් ලිපියක් රචනා කරන හෙතෙම මෙම සිතුවම් සැලසුම් සහිතව වාර්තා කර ඇත. ඔහු දක්වන පරිදි මෙහි එක් පාෂාණ පෘෂ්ඨයක සිනහ වන සිංහයා ද (Smiling Lion) අනෙක් පාෂාණ පෘෂ්ඨයේ එක් කෙළවරක පිම්මක් පනින සිංහයා ද (Gallaping Lion) හා එම පාෂාණයේම පහළ කෙළවර මිනිස් රූප ද්විත්වයක්, මාළු වැල තිශුලය හා ස්වස්ථිකය වේ. ඒ අනුව මෙහි සිතුවම් ස්ථාන තුනකට ගොනුකර දැක්විය හැකිය. ආදිත්‍ය විසින් හඳුනාගන්නා ලද සිංහ රූප ද්විත්වය මෙයට පෙර මෙම සිතුවම් වාර්තා කරන කිරිඇල්ලේ ඥානවිමල හිමියන්ගේ නෙත ගැටී නොතිබිණි. 1986දී බී. ඩී. නන්දදේව විසින් ප්‍රකාශයට පත් කරන ලද Rock art sites of Sri Lanka ලිපියේදී බුදුගල සිතුවම්වලට විශේෂ අවධානයක් යොමුකර ඇත. මෙම සිතුවම් පිළිබඳව 2003දී වාර්තාවක් ගෙනෙන දයානන්ද බිනරගම මෙහි තිබූ එක් සිංහ රූපයක් පිළිබඳව පමණක් සඳහන් කරයි. ඒ වනාහි ආදිත්‍ය විසින් පිම්මක් පනින සිංහයා ලෙස හඳුනාගෙන ඇති සිංහ රූපයයි. බිනරගම වැඩිදුරටත් සඳහන් කරනුයේ 1987 වර්ෂයේදී මෙම සිංහ රූපය විනාශ කර ඇති බවය. 2009 වර්ෂයේ දී මෙම ස්ථානය පරීක්‍ෂා කරන සත්සර ඉලංගසිංහ මෙම සිංහ රූපය නිරුපද්‍රිතව ඇති බව වාර්තා කර ඇත. 2018 වර්ෂයේ දී මෙම සිතුවම් පරීක්‍ෂා කරන ලිපියේ කතුවරයා ද එම සිංහරූපය නිරුපද්‍රිතව ඇති බව හඳුනාගන්නා ලදි.

මත්ස්‍යයකුගේ රුව

පාෂාණ පෘෂ්ඨය සූරා කරන ලද මෙම සිතුවම් ගොන්න තුළ වර්තමානයේ හඳුනාගත හැක්කේ පිම්මක් පනින සිංහ රූපය, මිනිස් රූප ද්විත්වය, මාළුවැල, තිශූලය හා ස්වස්ථිකය පමණි. ආදිත්‍ය විසින් වාර්තා කරන සිනහ වන සිංහ රූපයක් එම ස්ථානයේ වර්තමානයේ හඳුනාගත නොහැකි වේ. ඒ බව ඉලංගසිංහ මහතා ද වාර්තා කර ඇත. ප්‍රදේශවාසීන් ද එවැනි සිතුවමක් පිළිබඳව කරුණු නොදනී. විවෘත පාෂාණ පෘෂ්ඨයේ පහළ කෙළවරෙහි පහළින්ම ස්වස්ථිකය කොටා තිබේ. ඊට ඉහළින් මත්ස්‍යයකුගේ රුවක් ද හා එම මත්සයා අමුණා ඇතැයි සැලකිය හැකි රැහැනක් ඉහළට විහිදී යයි. එහි කෙළවර මානව රුවක් වන අතර එහි ඉහළට ඔසවන ලද දකුණු අතින් තිශූලයක් දරා සිටී. මානව රුවේ දෙනෙත් වෘත්තාකාරව දක්වා ඇත. එම රුවට දකුණු පසින් විශාලව අඳින ලද මානව මුහුණකි. ශරීරයේ අනෙකුත් අංග මෙහි දක්වා නොමැත. එම පාෂාණ පෘෂ්ඨයේම අනෙක් කෙළවර මුව අයා සිටින සිංහ රූපයක් වේ. ආදිත්‍ය විසින් පිම්මක් පනින සිංහයා (Gallapin lion) ලෙස හඳුන්වා ඇත්තේ මෙම රූපය යි. පහළින් ඇඳ ඇති රූපවලට සාපේක්ෂව මෙම රූපය විශාලව නිර්මාණය කර තිබේ. මෙහි වලිගය ඉහළට කරකැවී ඇත. ඉදිරි පාද යුග්මය හා පිටුපස එක් පාදයක් පමණක් දක්වා තිබේ. 2014 වර්ෂයේ දී මෙම ස්ථානය ගවේෂණයට ලක් කරන රාජ් සෝමදේව එම සිංහ රූපයට ඉදිරියෙන් මඳක් පහළට වන්නට හස්තියකුගේ හොඬයක සටහනක් ද වාර්තා කර තිබේ. මෙම සිතුවම්වලට අමතරව පධානඝර ගොඩනැඟිලි ආශ්‍රිත කපා මට්ටම් කරන ලද ගල් පුවරු කිහිපයක ස්වස්ථිකය, සංඛය හා තවත් සංකේත කිහිපයක් කොටා තිබේ.

අතීත ශිෂ්ටාචාර

බුදුගල විවෘත පාෂාණ සිරූම් සිතුවම්වලට පසුබිම් වූ වස්තු විෂයන් පිළිබඳව මතවාද රාශියක් හඳුනාගත හැකි වේ. මෙහි වන විවෘත ගල්තලයේ එක් කෙළවරක සිංහ රූපයක් ද, අනෙක් පස මාළු වැලක්, මානව රුවක්, එම මානව රුවේ ඉහළට එස වූ දකුණු අත මත තිශුලයක් ද, ඒ රුව අසල විශාල මානව මුහුණක් හා එම සිතුවම් පෙළට පහළින් ස්වස්ථිකයක් ද වේ. මෙරට විසු ප්‍රාග් ඓතිහාසික මානවයා සිංහයා පිළිබඳව දැන සිටි බවට සාධක වේ. රත්නපුරයේ මැණික් පතලකින් ප්‍රථම වරට සොයා ගන්නා ලද සිංහ දතක් පී.ඊ.පී. දැරණියගල මහතාට යොමු කිරීමෙන් පසුව එය කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. එසේම කුරුවිට බටදොඹ ලෙන කැණීමෙන් සිංහයකුගේ අස්ථි කොටස් සොයාගෙන ඇති අතර ඒවා අදින් වසර 12000-15000ත් අතර කාලයට යන බව තහවුරු කරගෙන ඇත. සිංහරාජයට එම නාමය ලැබීමට පදනම් වී ඇත්තේ එම වනයේ සිංහයන් වාසය කිරීම බව ජනප්‍රවාදිත මතයයි. මෙරට ආදි මානව සිතුවම් හමුවන පන්නල්ගම, දිඹුලාගල හා නැව්ගල යන ස්ථානවලදී ද සිංහ රූප නිර්මාණය කර තිබී හමු වී ඇත. නැව්ගල සිංහ රුවේ කඳ කොටස පාර්ශ්ව දර්ශනයෙන් ද, මුහුණ ඉදිරියට දර්ශනය වන ආකාරයෙන් ද නිර්මාණය කර ඇත. වලිගය යොදා ඇත්තේ ඉහළට ය. පන්නල්ගම විවෘත පාෂාණ පෘෂ්ඨයේ වන සිංහ රුව නිර්මාණය කර ඇත්තේ ද නැව්ගල මෙන් මුහුණ ඉදිරි දර්ශනයෙන් හා කඳ කොටස පාර්ශ්ව දර්ශනයෙනි. බුදුගල සිංහරුව නිර්මාණයේදී කඳ කොටස මෙන්ම මුහුණ පාර්ශ්ව දර්ශනයෙන් නිර්මාණය කර තිබේ.

මුව අයා සිටින සිංහයාගේ ඉදිරිපාද යුග්මය හා පිටුපස එක් පාදයක් පමණක් දක්වා තිබේ. ඉදිරි වම් පාදයේ ඇඟිලි සූක්ෂවම මතුකර ඇත. ප්‍රාග් බෞද්ධ යුගයේ වන්දනාවට පාත්‍ර වූ භෞතික වස්තූන් අතර සූර්ය දේව වන්දනය ද වේ. සූර්ය දෙවියාගේ ධජය සිංහ රූපය සහිත ධජයක් බව මුලාශ්‍රවල සඳහන් වේ. සූමේරියාව හා මධ්‍ය ආසියාව ඇතුළු අතීත ශිෂ්ටාචාරවල දේවත්වයට පත් ඉස්තාර්, සර්වානි, චණ්ඩි සහ කොර්වාසි දෙවඟනන්ගේ රථය ලෙස යොදා ගෙන ඇත්තේ ද සිංහයා වේ. සිංහයා සූර්ය දෙවියන්ගේ සූර්ය ශක්තිය පිළිබිඹු කරන දේව සංකේතයකි. රාශි චක්‍රයේ සිංහ රාශිය පිළිබඳව එන මතවාද පැ‍රැණි මිනිසාගේ සිට පැවත එන්නකි. මෙහි වන මත්ස්‍යයා, ස්වස්ථිකය, තිශුලය හා මානව රූ ද්විත්වය පිළිබඳව ද මතවාද රාශියක් වේ. මානව රූ ද්විත්වයෙන් කතරගම දෙවියන් (ස්කන්ධ කුමරු) හා වල්ලි අම්මා නිරූපණය කරන බව ප්‍රදේශවාසීන්ගේ අදහස වේ. මෙරට වැදි ජනතාව ස්කන්ධ කුමරුගේ දෙවන භාර්යාව වූ වල්ලි අම්මා කුඩා කල රැක බලා ගත් බවට ජනප්‍රවාදයේ එයි. වැදි ජනතාව ඔවුන්ගේ ප්‍රධාන යක්ෂයා වූ කන්දේ යකා ද සමඟ කතරගම දෙවියන් ද අදහති.

බුදුගල විවෘත පාෂාණ පෘෂ්ඨ සීරුම් සිතුවම් ඉතා සියුම්ව හා ඕනෑකමින් නිර්මාණය කර තිබේ. එසේම එහි වන ඇතැම් සංකේත පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ මේවා ඓතිහාසික යුගයේ දී නිර්මාණය වන්නට ඇති බවය. ත්‍රිශූලය නිර්මාණය වන්නේ ලෝහ භාවිතයේ ආරම්භයෙන් පසුව වන අතර ඒ අනුව මෙම සංකේතය මෙහි දක්නට ලැබීමෙන් මේවා ඓතිහාසික යුගයේ විසූ මානව නිර්මාණ ලෙස හැඳින්වීම වඩා සුදුසු බව පෙනේ. නමුත් ආදි මානව සිතුවම් හමු වන වෙහෙරගල කන්ද ලෙන ද මේ ආසන්නයේම පිහිටා ඇති බව මෙන්ම මේ අවට ස්ථාන රාශියකින් (කූරගල, බෙල්ලන්බැඳි පැලැස්ස, උඩුපියන්ගල්ගේ) ප්‍රාග් ඓතිහාසික ජනාවාස වාර්තා වී තිබීම ද අවධානයට ලක්විය යුතු සාධකයකි.

 කේ. උදේනි අරුණසිරි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

රත්නපුර

 


සීගිරියේ අද දක්නට ලැබෙන්නේ ප්‍රධාන සිතුවම නොවේ! ඊට උදව් කළ උපකාරක චිත්‍රයි

$
0
0
මැයි 13, 2021 01:00

රුසියාවේ මොස්කව් නුවර වාස්ත විද්‍යාඥ සනත් අබේසේකරගෙන් නව මතයක්

 

ජල, ශිලා, මාලක සහ මාලිගා යන අංගෝපාංගවලින් සමන්විත රාජකීය බලකොටුවක් වූ සීගිරිය ලෝක උරුමයකි. එය ලෝක උරුමයක් වීමට වෙසෙසින්ම බලපෑවේ පර්වත බෙයදයේ නිර්මිත සිතුවම්ය. එහි චිත්‍ර 500ක් පමණ වූ බව කැටපත් පවුරේ ගීවල සඳහන් නමුත් අද දක්නට ඇත්තේ චිත්‍ර ස්වල්පයකි. පර්වත පාමුල සිට අඩි 120ක් පමණ උසකදී දැකිය හැකි මේ aඅමිල බිතු සිතුවම් කෙරෙහි ලොව පුරා පුරාවිද්‍යාඥයන්ගේ පමණක් නොව ඉතිහාසඥයන්ගේ, චිත්‍ර ශිල්පීන්ගේ, සාහිත්‍යධරයන්ගේ, ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යාඥයන් ඇතුළු විද්වතුන්ගේ ද අවධානය යොමු වී තිබෙනවා පමණක් නොව සීගිරි සිතුවම් පිළිබඳ මතවාද ගොඩනඟන්නට ද අදත් ඔවුහු උත්සුක වෙති. මෙවර 'කටාරම'ඔබ වෙත ගෙන එන්නේ කාශ්‍යප රජුගේ පාවෙන රජ දහන සහ සීගිරි සිතුවම් පිළිබඳ නව මතයකි. රුසියාවේ මොස්කව් නුවර වාස්තු විද්‍යාඥයකු වන සනත් අබේසේකර මහතා ඒ පිළිබඳව දක්වන මතය කෙරෙහි අවධානය යොමු කරමු.

සීගිරි සංකීර්ණයේ ඇති චිත්‍ර සම්බන්ධයෙන් විවිධ මත කලින් කල ඉදිරිපත්ව තිබෙනවා. මෙහි නිරූපණය කර ඇත්තේ පිදුරංගල වන්දනාවේ යන කාශ්‍යප රජුගේ අන්ත:පුර අඟනුන් යැයි එච්.සී.පී.බෙල් පවසනවා. විජ්ජුලතාවන් සහ මේඝලතාවන් යැයි සෙනරත් පරණවිතාන පවසනවා. දකුණු ඉන්දීය විශ්වාසයන්ගෙන් පැවසෙන අප්සරාවන්ට සමාන අය යැයි ආනන්ද කුමාරස්වාමිගේ මතයයි. සීගිරිය මහායානික බෞද්ධ ආරාමයක් පිහිටි ස්ථානක් යැයි සලකනවුන් මෙහි සිතුවම් කර ඇත්තේ අවලෝකිතේශ්වර මූලික කරගත් තාරා දේවියගේ අවතාර හා ඇයගේ සේවිකාවන් බව රාජා ද සිල්වා කියයි. තරු පිරි අහසක් යැයි චන්ද්‍රා වික්‍රමගමගේ පවසයි. හුදෙක් කාන්තාවන් යැයි බෙනිල් ප්‍රියංක ආදී වශයෙන් මේ පිළිබඳ ඉදිරිපත් වී ඇති මත රාශියක් තිබෙනවා. වාස්තු විද්‍යාඥයකුගේ, මූර්ති ශිල්පියකුගේ සහ චිත්‍ර ශිල්පියකුගේ කෝණයෙන් ‍සීගිරි සංකීර්ණය සහ එහි නිරූපිත චිත්‍ර අතර ඇති සම්බන්ධය ඔබ දකින්නේ කෙසේද?

සීගිරියේ දැනට ඉතිරිව ඇති බිතු සිතුවම් කොටස් විශාල චිත්‍රයක කුඩා ‍කොටසක් බව සැවොම පි‍ළිගත් කාරණයක්. ඉතින් මෙහි ඇඳ තිබෙන සිතුවම් පිළිබඳ ඍජු අර්ථකථනයක් දීමට යෑම, කැණීමකින් හමු වූ කටගැටිය අවශේෂ නොවූ, බඳ කොටස පමණක් නියෝජනය කරන කුඩා වළං කැබැල්ලක් පදනම්කොට ගනිමින් එම වළ‍ඳේ සම්පුර්ණ හැඩය හා පෙනුම ගැන නිගමනයකට ඒම වැනි භාරධූර මෙන්ම අවිනිශ්චිත (unconfident) දෙයක්. එම නිසා මේ සිතුවම්වලට පාදක වූ මාතෘකාවට වඩා එහි නිර්මාණාත්මක හා ප්‍රායෝගික කර්තව්‍ය (function) ගැන කථා කිරීම යෝග්‍ය යැයි මම සිතනවා. මෙම චිත්‍රවල ඉතාම කුතුහලය දනවන හා අවධානයට ලක් කළ යුතු කාරණය වන්නේ දැනට සංරක්ෂණය වී ඇති සීගිරි බිතු සිතුවම්වල ප්‍රශ්නකාරී 'පිහිටීමයි' (quizzical location).

ඕනෑම පර්යේෂකයකුගේ නිරීක්ෂණයට බඳුන් වන කවර හෝ ස්ථානයක් හෝ වස්තුවක් ප්‍රහේලිකාවක් වන තරමට එමඟින් තාර්කික උපන්‍යාස ගොඩනැඟීමට අවකාශ සලස්වා දෙනවා. ප්‍රහේලිකාවට තුඩු දෙන ස්ථානයේම මේ සිතුවම් කොටස (fragment) ඉතිරිව තිබීම, එනයින් අපේ භාග්‍යයක්. ‍ප්‍රස්තුත කාරණය සාකච්ඡාවට ගැනීමේදී එවැනි කල්පිත ගොඩනැඟීමට අවශ්‍ය පළමු ඉඟිය අපට ලැබෙන්නේ දැනට අවශේෂ වී ඇති සීගිරි බිතු සිතුවම් කෙරෙන්. මෙහිලා අවධානයට ගත යුතු ප්‍රධාන නොගැළපීම වන්නේ, සීගිරි බිතු සිතුවම් ප්‍රමාණානුකූලව ගත් විට සාමාන්‍ය මිනිසකුගේ විශාලත්වයට බොහෝ දුරට සමානවීමත් (life-size), ඒ අතරම විසි වැනි සියවසේදී කෘත්‍රිමව නිර්මාණය කළ ලෝහමය පියගැට පෙළ දිගේ ඉහළට නැඟ චිත්‍ර අසලට නොපැමිණ, මෙම චිත්‍ර කොටස රසවිඳීමට නොහැකි වීමත් යන කාරණයයි.

මා එසේ කියන්නේ සීගිරි උද්‍යාන සැලසුම අධ්‍යයනය කරන කල, මේ චිත්‍ර ඉතාම සමීපව නැරඹිය හැකි දුර ප්‍රමාණය මීටර් 20-30ත් අතර තරම් වන විශාල දුරක් බව පැහැදිලි වන නිසයි. ඒ හෙල්මලු උද්‍යානයේ (Terrace Garden) ඉහළ ලක්ෂ කිහිපයක සිටයි. ප්‍රායෝගිකව මිනිසකුට මේ චිත්‍ර වෙත සමීප විය හැකි ආසන්නතම ලක්ෂය වන්නේ ඊට පහළින් ඇති කැටපත් පවුරෙන් ආරක්ෂා වී ඇති පෙත් මඟ වුවත්, එහි සිට බලන විට මේ චිත්‍ර කොටස නිරීක්ෂණය කළ නොහැක්කේ ඊට ඉහළින් පිහිටි ගලේ ඇති නෙරුම හේතුවෙනි. මේ චිත්‍ර ශේෂව ඇත්තේ සමස්ත ගල් පෘෂ්ඨයෙන් ඇතුළට ස්වභාවිකව කිඳා බැස ඇති දිගැටි කුඩා ලෙනකයි.

එසේම අවධානය යොමු කළ යුතු අනෙක් කරුණ වන්නේ මේ ලෙන දක්වා නැඟ චිත්‍ර නැරඹිය හැකි වන සේ සෝපාන පන්තියක් හෝ මාලක හෝ සකසා තිබූ බවට වන කිසිදු සාක්ෂියක් නොමැතිවීමයි. සාමාන්‍යයෙන් පැ‍රැණි යුගයේ චිත්‍ර නිර්මාණය ‍කෙරුණේත්, සමස්තයක් වශයෙන් චිත්‍ර භාවිත කර ඇත්තේත් කථා කලා මාධ්‍යයක් වශයෙන්, එනම් නරඹන්නාට යම්කිසි පණිවිඩයක් කියාපෑමේ අරමුණෙන්. පැ‍රැණි ලංකාවේ මෙන්ම ලෝකය පුරාමත් විසිරී ඇති ආගමික චිත්‍ර, රාජ්‍ය කීර්තිය පැතිරවීම උදෙසා නිර්මිත චිත්‍ර (යුද ප්‍රයාන වැනි) දේ මෙයට උදාහරණයි. ‍එහෙත් අද දක්වා ශේෂ වී ඇති සීගිරි පර්වතයේ චිත්‍ර ගුහාවේ සිතුවම් කර ඇති පුද්ගල රූප එවන් කාර්යයක් සඳහා ඍජුව යොදා ගත්තේ නැති බවයි මගේ තර්කය වන්නේ.

මෙය උභතෝකෝටිකයක් (paradoxes). සමස්තයට ප්‍රතිවිරුද්ධ දෙයක්. කෙටියෙන් සඳහන් කළහොත්, සීගිරියේ ශේෂ වී ඇති චිත්‍ර වනාහි එහි පැමිණෙනවුන්ට හුදෙක් කිසියම් පණිවිඩයක් ලබාදීම සඳහාම භාවිත කළ සන්නිවේදන මෙවලමක් ලෙස සැලකීම නිවැ‍රැදි නොවන බව පැහැදිලි වෙනවා. ඒ අනුව, ඔබගේ ප්‍රශ්නයේ සඳහන් සීගිරිය අධ්‍යයනය කිරීමේ නියැළි ශ්‍රේෂ්ඨ විද්වතුන් ඉදිරිපත් කළ මතවාද දෙස වෙනත් මානයකින් බැලීමට පාඨකයා පෙළඹවීමයි මාගේ අධ්‍යාශය වන්නේ. සීගිරිය නිර්මාණය කළ සමයෙහි මේ චිත්‍ර චඩාත් තීව්‍ර වර්ණ යොදා දීප්තිමත් අන්දමින් පැවතීමට අවකාශ තිබුණු බව සලකන අයකු ඉහත කී තරම් දුරක සිට වුවත් මේ චිත්‍ර සීගිරියට පැමිණෙනවුන්ට දැක ගැනීමට හැකි වන පරිදි සකසා තිබුණු බවට තර්ක කළ හැකියි. එහෙත් දුර හා චිත්‍රවල පරිමාණය අතර සංසන්දනාත්මක ඇගයීමක් කිරීමේදී එම තර්කය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකියි. එසේම සීගිරියේ ඇඳ තිබෙන සුප්‍රකට චිත්‍ර, සීගිරිය පුරා විසිර පවතින ජල උද්‍යානයන්හි තිබෙන පොකුණුවල ජල තටාකය මත පරාවර්තනය කර එමඟින් නරඹන්නාට ආවේගයක් (emotion/effect)ලබාදීම එහි ලා පැවති ප්‍රධාන කාර්යය වූ බවට මතයක් කලෙක සිට ඉදිරිපත් වී තිබෙනවා. එහෙත් සීගිරියේ චිත්‍ර මෙකී පොකුණුවල ජල පෘෂ්ඨය මත ප්‍රතිබිම්බනය වීමට සලස්වා, නරඹන්නාට තාත්වික පින්තුරයක් ප්‍රක්ෂේපණය කිරීම නිර්මාණ ශිල්පියාගේ ‘මූලික’ අපේක්ෂාව වී නම්, එවිට සීගිරි බිතු සිතුවම් නිර්මාණය කිරීමට තිබුණේ හිස යටිකුරු වන අන්දමටයි. මන්දයත් මේ චිත්‍ර ජල පෘෂ්ඨය මත පරාවර්තනය වී, නරඹන්නාට තාත්වික දර්ශනයක් ප්‍රතිබිම්බනය කිරීමට නම් එකී සිතුවම් අංශක 180ක කෝණයකින් ප්‍රක්ෂේපණය කළ යුතුව තිබූ නිසයි.

එසේම මෙම චිත්‍ර හා පොකුණු අතර ඇති දුර සැලකිල්ලට ගැනීමේදී චිත්‍රවල පරිමාව සමඟ ගැටීමක් ඇති වෙනවා. එහෙයින් මේ චිත්‍ර කෙසේවත්, චිත්‍ර ලෙස ජල උද්‍යානයේ පොකුණුවල ජල පෘෂ්ඨය මත පරාවර්තනය කර එයින් යම්කිසි නිශ්චිත පණිවිඩයක් නරඹන්නාට ලබාදුන් බවට ඉදිරිපත් වන මතය ශක්ති සම්පන්න නැහැ. එනමුත් මේ සිතුවම්, සිතුවම් වශයෙන් නොව වර්ණ පදාස වශයෙන් ජල පෘෂ්ඨයෙහි ප්‍රතිබිම්බනය වූ බවත් එයින් කිසියම් අලංකාරයක් සමස්තයක් වශයෙන් මුළු සීගිරි සංකීර්ණයටම එකතු වූ බවත් කිසිවකුට බැහැර කළ නොහැකි කාරණයක්.

ඒ වගේම තවත් අමතක නොකළ යුතු කාරණයක් වන්නේ, මුල් සැලැස්මට (original plan) අනුව, මහා ජල උද්‍යානයේ පිහිටි පොකුණු වටා පවුරු ඉදිකොට තිබූ බවයි. එම ප්‍රාකාරයෙන් කොටසක් යැයි අනුමාන කළ හැකි බිත්ති කොටසක් කපරාරුවත් සහිතව අදටත් ශේෂව පවතිනවා. පොකුණට මුහුණලා පිහිටි එම ප්‍රාකාර බිත්ති මතද සිතුවම් හෝ අනුරාධපුරයේ රන්මසු උයනේ ජල උද්‍යානයක නිමවා ඇති හස්තීන් නිරූපිත උන්නත කැටයම් වැනි රූප හෝ මඟින් අලංකාර වූ බව අනුමාන කළ හැකියි.

එහෙත් මෙහිලා මා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ සීගිරි පර්වත පෘෂ්ඨයේ බටහිර පැත්තේ නිර්මාණය කර තිබූ සමස්ත චිත්‍ර ඵලකය සකසා තිබුණේ කුමන කරුණක් අරබයා දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් සොයා යෑමටයි.

ඔබ දකින ආකාරයට, ඒ සීගිරි චිත්‍ර නිර්මාණය වූයේ කුමක් පරමාර්ථ කොටගෙනද?

මේ ගැටලුව නිරාකරණය කිරීම පිණිස මේ චිත්‍ර ඵලකයේ ගෘහ නිර්මාණාත්මක සහ සංකල්පීය කාර්යභාරය (conceptual function)පිළිබඳව, හුදෙක් ප්‍රකට අප්සරාවන් හෝ සීගිරි සංකීර්ණය පුරා විසිරී ඇති සිතුවම් පමණක් අධ්‍යයනය කර තීරණයකට එළඹීමට වඩා, නිර්මාණ ශිල්පියා තම සැලැස්මේ, සංකල්පනාත්මක හා ප්‍රායෝගික ප්‍රතිඵලය (targeted purpose) සාක්ෂාත් කරගැනීම අරබයා චිත්‍ර කලාව, සංකීර්ණයේ අනෙකුත් අවයව හා සංඝටනය කිරීමේදී භාවිත කළ පුළුල් දෘෂ්ටිය (comprehensive vision) සමස්තයක් වශයෙන් සලකා අධ්‍යයනය කළ යුතු වනවා.

ඒ සඳහා අප මාතෘකාවට භාජනය වන මේ චිත්‍ර කොටස අයත්ව තිබූ සමස්ත චිත්‍ර බදාමයේ (painting plaque/canvas) විකාශනය පිළිබඳ උපකල්පනය කරගැනීමට උත්සාහ කරමු.

සිරස් වශයෙන් පහළට ගත් කල පවුර අසලින් වැටී ඇති පෙත් මඟ දක්වා මේ මහා චිත්‍ර ඵලකය විකාශනය වූ බව උපකල්පනය කළ හැකියි. සිරස් අක්ෂයේ ඉහළ සීමාව පිළිබඳ අපට සාක්ෂ්‍ය සපයනුයේ ගලේ මුදුනට මඳක් යටින් පිහිටි දැනට අවශේෂ වී ඇති කටාරම් කොටස්. මඳ වැස්සක් වැටෙන විට සීගිරි පර්වතයේ ජලය රූරා ‍වැටෙන අන්දම මනාව විදහාපාමින්, ඊට යටින් පිහිටි චිත්‍රවලට ජලයෙන් ආරක්ෂාව සපයමින් කටාරම පෙනී සිටි අන්දම ප්‍රත්‍යක්ෂ වෙනවා. තිරස් අක්ෂය ගත් විට සීගිරි පර්වතයේ බටහිර පැත්තේ පර්වත බිත්තියේ පමණක් නොව පර්වතය වටේම දිගු පටියක් සේ මේ චිත්‍ර ඵලකය විකාශනය වී තිබෙන්නට ඇතැයි අනුමාන කිරීමට පොළඹවන සාධක තිබෙනවා. සීගිරි පරිශ්‍රයේ බටහිර බිත්තියේ ඇති කටාරමට සමගාමීව පර්වතයේ අනෙක් පැතිවලද කටාරම් කොටා තිබීමෙන් පෙනී යන්නේ, පර්වතය වටාම චිත්‍ර තීරුව ඇඳීමට සැලසුම් කර තිබූ බවයි. තවද, සීගිරියේ නැගෙනහිර ප්‍රවේශයේ පිහිටි වාස්තු විද්‍යාත්මක සාධක මඟින් පෙන්නුම් කෙරෙනුයේ එම ප්‍රදේශයේ ගොඩනැගිලි නිම කිරීමට ප්‍රථම ඉදිකිරීම් අත්හැර දමා ඇති බවයි. එනයින් පර්වත බිත්තියේ සිතුවම් කටයුතු ද අතරමඟ නතර කරදැමීමට සිදුව ඇති බව අනුමාන කළ හැකියි. නැ‍ඟෙනහිර ප්‍රදේශයේ පර්වත බිත්තියේ සමහර ස්ථානවල ශේෂව ඇති මැටි කපරාරු බවට සැක කළ හැකි පැල්ලම් කිහිපයක් පර්වත පාමුල සිට නිරීක්ෂණය කළ බව 1984–1992 කාලයේ සංස්කෘතික ත්‍රිකෝණයේ පුරාවිද්‍යාඥයකු ලෙස නැඟෙනහිර ප්‍රවේශයේ කැණීම්වලට සෘජු ලෙස සම්බන්ධව සිටි ආචාර්ය ප්‍රියන්ත කරුණාරත්න අනුමාන කරනවා. එනයින් නැඟෙනහිර පර්වත බිත්තියද කපරාරු කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබූ බවත් එහි චිත්‍ර නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ බවත් නිගමනය කළ හැකියි.

එසේම, සීගිරිය නැරඹීමට පසු කලෙක පැමිණි සංචාරකයන් කැටපත් පවුරේ තබා ඇති සීගිරි පර්වතයේ නිරූපිත අඟනුන් පන් සියයක් පිළිබඳ කෙරෙන සඳහන අතිශයෝක්තියක් වශයෙන් සැලකුවත් එමඟින් පවා පැහැදිලි වනුයේ විශාල පරාසයක් පුරා පැතිරුණු චිත්‍ර ඵලකයක් ඒ වන විටත් ගල මතුපිට ශේෂව පැවති බවයි. කැටපත් පවුරට ඉහළින් ඇති සෑම නාරි රූපයක්ම නිර්මාණය කර තිබෙනුයේ ඔවුන්ගේ බඳ පෙදෙසින් යට වලාකුළෙන් වැසී ඇති අන්දමටයි. චිත්‍ර බදාමය පිරිමැද දර්පනයක් සේ ඔප දමා තිබුණ නිසා (එකල මෙය දීප්තිමත් සුදු පැහැයට වඩාත් සමීප වර්ණයක් ගත් බවට අනුමාණ කළ හැකියි. ඒ, දැන් ශේෂව පවතින බදාමයෙහි ඇති කහ ගතියෙන් යුත් සුදු වර්ණය නොවෙයි) පහළ සිට චිත්‍ර නරඹන පුද්ගලයාට ඒ පෘෂ්ඨයෙන් අවට ආකාශය පරාවර්තනය වී දිස් විය යුතුව තිබුණා. සීගිරි ලලනාවන්, එය නරඹන පුද්ගලයාට වඩා අධ්‍යාත්මයෙන් උසස්, අහසේ සැරිසරන ජීවීන් වශයෙන් නිරූපණය කිරීමට ශිල්පියා උත්සාහගෙන තිබෙන බව එමඟින් බැසගත හැකි පළමු උපකල්පනයයි. එමෙන්ම, චිත්‍ර බ‍‍ඳෙන් වෙන් කිරීමේ විධික්‍රමය උපයෝගී කර ගෙන තිබීමේ දෙවැනි ප්‍රධාන ප්‍රයෝජ්‍යතාව වන්නේ, චිත්‍ර නිර්මාණයේදී ඉතා වැදගත් වන ගැටලුවකට පිළිතුරු සොයාගැනීමට එමඟින් හැකි වී තිබීමයි. ඒ ආකාරයට, මෙහි සම්පූර්ණ රූපකායයන් නිර්මාණය නොකිරීම මඟින්, සමස්ත චිත්‍රයේ ගැඹුර (depth-දුර වස්තු හා සමීප වස්තු) (differ) පෙන්වීම පිළිබඳ ප්‍රශ්නයෙන් (perspective) සරල ක්‍රමයකින් මිදී ගැලවී යෑමට චිත්‍ර ශිල්පියා උපායක් සලසාගෙන තිබෙනවා. (මහනුවර යුගයේ එන තීරු චිත්‍ර සම්ප්‍රදායේදී මෙම ගැටලුවට මුහුණ දීමට ශිල්පියාට සිදුවන්නේ නැහැ.)

එසේම මෙහිලා අවධානය කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, ජීවියකුගේ සකල අඟපසඟ (සර්වාංගය-හිස සිට දෙපතුල් දක්වා) සහිත සම්පූර්ණ චිත්‍ර නිර්මාණය කර තිබුණේ නම් ඒවා නිර්මාණය කළ හැකිව තිබුණේ චිත්‍ර ඵලකයේ පහළ කොටසේ වීමයි. ඒ කිසියම් ඍජු පණිවිඩයක් ලබාදීමේ කාර්යය අරබයා කළ චිත්‍රයි. මෙහිදී රජුගේ රණ ප්‍රයාන ඇතුළු වීර ක්‍රියාද, නැතහොත් සීගිරි පර්වතය මුදුනේ එකල පැවතියේ යැයි උපකල්පනය කෙරෙන ආගමික ඇදහිලි, වතාවත් ආදිය පිළිබඳ පෙර ඉඟියක් දීම වැනි කරුණු අරබයා නිර්මාණය වී තිබුණු චිත්‍ර බව උපකල්පනය කළ හැකියි. මේ මඟින් රජ දහනේ හිමිකරුගේ, එනම් ගෘහමූලිකයාගේ උත්තුංග කාර්ය සඵලත්වය ඉස්මතු කොට දක්වන, ඔහුගේ බල පරාක්‍රමය, දේවත්වය ප්‍රත්‍යක්ෂ කරන කිසියම් කතා වස්තු වැනි දේ ඒවායෙහි නිර්මාණය විය යුතුව තිබුණු බවට අදහස් කළ හැකියි. එම චිත්‍ර සාමාන්‍ය අන්දමට පාද පවා චිත්‍රණය කොට තිබුණු ඒවා විය යුතුයි, සම්පූර්ණ රූපකායයන් විය යුතුයි. මෑතකදී කැටපත් පවුරේ පිට බිත්තියේ හමුවූ චිත්‍ර මඟින් මෙය තවත් තහවුරු වෙනවා. මේ චිත්‍ර විශේෂයෙන් අධ්‍යයනය කළ ප්‍රවීණ බිතුසිතුවම් සංරක්ෂක ඩයස් වගාච්චි විසින් 2004දී සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කලා මණ්ඩලයේ වාර්ෂික ‘කලා’ සඟරාවේ පළ කරවන ලද ලිපියකින් ඒ බව පෙන්වා දී තිබෙනවා.

දැනට දක්නට තිබෙන චිත්‍රවල රිද්මීය චලන හොඳින් අධ්‍යයනය කිරීමේදී, ඉහළ වලාකුළු මත පාවෙමින් සිටින අය පහළින් තිබූ දර්ශනයේ (episode) සිටිනවුන් හට හෝ පවුර ආශ්‍රිතව ඉදිකර තිබූ පෙත් ම‍ඟෙහි (passage) සැබවින්ම ගමන් කළවුන් හට ආශිර්වාද කරමින් මල් ඉහිනවා වැනි දර්ශනයක් නිරූපණය වුණා යැයි සැලකිය හැකියි. සීගිරි සංකීර්ණය ගොඩනැඟීමේදී එහි ඇනවුම්කරු බලාපොරොත්තු වූයේ සීගිරි පර්වතය මුදුණේ ජීවත් වන තමන්ට වඩා පහළ මට්ටමින් සිට තමන්ට බුහුමන් දක්වන, එහෙත් සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහළ මට්ටමින් සිටින ජීවීන්/වස්තූන් (deities/creatures) අහ‍සේ නිරූපනය කිරීමටයි. එනයින් අද අප දකිනා සීගිරි චිත්‍රයන්හි නිරූපිත රූප මඟින් නිරූපනය වන්නේ අතරමැදි ජීවියෙක්. මෙමඟින් අපේක්ෂා කෙරුණේ, පර්වතය මුදුනේ වැඩ සිටින රජු ‘දේවාතිදේව’ සංකල්පයෙන් හුවා දැක්වීමයි.

ඔබ හුවා දක්වන්නට උත්සාහ කරන සීගිරි සංකීර්ණයේ චිත්‍ර ඵලකය ගොඩනැඟීමේ සංකල්පීය කාර්යභාරය (conceptual objective) අපට තවමත් අපැහැදිලියි. වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි වන අන්දමට මෙම සංකල්පය සරලව පැහැදිලි කර දිය හැකි ක්‍රමයක් තිබෙනවද?

මෙම චිත්‍ර ඵලකය යොදා ගනු ලැබුණේ පාරදෘෂ්‍ය හෝ දිලිසෙන පෘෂ්ඨ නිර්මාණය කිරීමේ වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රමයට ආදේශකයක් වශයෙන් යන්නයි මා ඉදිරිපත් කරන තර්කය වන්නේ. සීගිරි සංකීර්ණය නිර්මාණය කෙරුණු පස් වැනි සියවසේදී, වීදුරු වැනි පාරදෘෂ්‍ය හෝ දිලිසෙන පෘෂ්ඨ (ආලෝකය පරාවර්තනය වන) නිර්මාණය කිරීමේ ගොඩනැඟිලි ද්‍රව්‍ය ලබා ගැනීම පහසු වුණේ නැහැ. එසේම ඒවා බරින් අධික ද්‍රව්‍යයක්ද නොවිය යුතු වුණා. දහනය කිරීමෙන් ඔපමට්ටම් කළ පිඟන් මැටි (glazed ceramic) හෝ කිරිගරුඬ වැනි පාෂාණ ඔපමට්ටම් කර ආදේශකයක් වශයෙන් යොදා ගත හැකිව තිබුණත් එය අපහසු කාර්යයක් වුණා. ඒ බර අධික වීම හා පර්වතයේ මතුපිට අතුරා ඇල්ලීමේ තාක්ෂණික දුෂ්කරතා නිසා. (ඊජිප්තුවේ පිරමීඩවල මතුපිට පෘෂ්ඨය නිර්මාණය කෙරුණේ ඔපමට්ටම් කළ පාෂාණවලින්. නමුත් පිරමීඩ බිත්ති, නිවැරදි ජ්‍යාමිතික හැඩතල ගත් නිසාත්, සොබාදහම විසින් නිර්මිත අසමතුලිත පාෂ්ඨයක් නොවූ නිසාත් එම බිත්ති උළු (tiles) එකී පෘෂ්ඨ මත ඇතිරීම තාක්ෂණික වශයෙන් සීගිරියට වඩා පහසු වුණු බව අප අමතක නොකළ යුතුය).

මෙමඟින් අපේක්ෂා කෙරුණේ ස්වාභාවික ආලෝක කිරණ, ගොඩනැඟිලිවල සංකල්පීය අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා භාවිත කිරීමයි.

මෙම ආලෝක ධාරා භාවිතාව (light-ray demonstration) සඳහා ගරුඬ පාෂාණ යොදාගෙන තිබෙන ආකාරය වර්තමානයේ පෙන්විය හැකි හොඳම අවස්ථාවක් වන්නේ, කාර්මික විප්ලවයෙන් පසු ඉදිකෙරුණු දැවැන්ත බහුමහල් ප්‍රාසාදයි. (skyscrapers)එහිදී සිදු කෙරෙන්නේ ආලෝක කිරණ පරාවර්තනය කරන පෘෂ්ඨ නිර්මාණය කිරීමේ මෙම සිද්ධාන්තය භාවිත කිරීමයි. ලෝහ මිශ්‍ර වීදුරු බහුලව නිෂ්පාදනය කිරීම පටන් ගත් පසු මෙය තවත් ව්‍යාප්ත වන්නට වුණා. කාර්මික විප්ලවයේ ප්‍රතිඵල වශයෙන් නවීන ගොඩනැගිලි ද්‍රව්‍ය හා නව තාක්ෂණය මිශ්‍ර කිරීමෙන්, ලෝකයේ මුළු ගෘහනිර්මාණ ශිල්ප කලාවම වෙනස් කිරීමට පාදක වූ විප්ලවකාරී සොයා ගැනීමක් සිදු කෙරුණා. ඒ සොයාගැනීම වන්නේ සවි කොන්ක්‍රීට් ය. (reinforced concrete) අමෙරිකාව වැනි රටවල, යට කී බහුමහල් ප්‍රාසාද හා ගෘහයක සරල හැඩතල වෙනුවට විවිධාකාර මෙන්ම සමහරවිට ස්වභාවධර්මයේ ආකෘතින්ගේ ද හැඩගත් (convoluted natural forms) ගොඩනැගිලි නිර්මාණය වීම ආරම්භ වන්නේ ඉන් පසුවයි.

ඉන් ඉක්බිති සිමෙන්ති ගොඩනැඟිල්ලක ඇති දරදඬු බව, දෘෂ්ටිමය වශයෙන් පෙනෙන බර සැහැල්ලු කර පෙන්වීමේ අවශ්‍යතාවක් මතු වුණා. මොකද මෙවැනි ගොඩනැඟිලි මානසිකව මිනිසුන් පීඩාවට පත් කරන නිසා. මහා නගර, කොන්ක්‍රීට් කැලෑ බවට පත්වෙමින් තිබුණා. මෙම හැඟීම මිනිස් මනසින් ඉවත් කිරීමට, ඊට එරෙහිව සටන් කිරීමට ශක්තිමත් සහ සැහැල්ලු ගොඩනැඟිලි ද්‍රව්‍යයක් වශයෙන් වීදුරු මතු වී එන්නේ ඉන් පසුවයි. එමඟින් සත්‍ය වශයෙන් ගොඩනැඟිල්ලේ බර අඩු වෙනවා. එසේම මෙමඟින් එක ගලින් කුරුල්ලන් දෙදෙනකු බිම දා ගැනීමට වාස්තු විද්‍යාඥයා සමත් වුණා. මෙම ගොඩනැඟිලිවල පැති පෙනුම් (facades) වීදුරුවලින් ආවරණය කරන්නට පටන් ගැනීමෙන් පළිඟු හෝ වීදුරු (crystal) ගෙයක් වැනි දෙයක් නිර්මාණය වුණා.

යට සඳහන් කළ පරිදි, එමඟින් එක් පැත්තකින් ගොඩනැඟිල්ලේ සත්‍ය බර අඩුකර ගත හැකි වුණා. අනික් පැත්තෙන් ගත් විට ගොඩනැඟිල්ලේ දරදඬු බව සහ දෘෂ්ටිමය (appearance) වශයෙන් ඇති වන පීඩාකාරී බව තුරන් කර ගත හැකි වුණා. ඊට අමතරව මෙමඟින් තුන් වන කරුණක් ද ඉටු වුණා. එනම් ගොඩනැඟිල්ලේ වීදුරු පෘෂ්ඨය මත අවට පරිසරය පරාවර්තනය වීමට සැලැස්වීමෙන් අදාළ වීදුරු ගොඩනැඟිල්ල කිසියම් ප්‍රතිශතයකට අවට පරිසරය සමඟ ගැළපීමයි, මුසු කිරීමයි, දෘෂ්ටිමය ඒකාබද්ධතාවක් ඇති කිරීමයි (harmonize-blend). යුද සෙබළුන්ගේ සටන් ඇඳුම් නිර්මාණයේදී භාවිත කරන සිද්ධාන්තය මෙයයි. වීදුරු ගොඩනැඟිලි, ආකාශය සමඟ ‍හෝ ඒ අවට ඇති ‍වෙනත් ගොඩනැඟිලි සමඟ හෝ කිසියම් ප්‍රමාණයකට ඒකාබද්ධ වීමක් මෙමඟින් සිදුවනවා.

සරලව ගතහොත්, ගොඩනැගිල්ලේ පැති පෘෂ්ඨවලින් (facades) අවට අවකාශය පරාවර්තනය වීමට සලස්වමින් එහි ස්කන්ධය එම අවකාශය තුළ බොඳ කර හරිනු ලැබුවා. (camouflage) එමඟින් ගොඩනැඟිල්ලේ දෘශ්‍ය බර (visual weight) අවම කර එහි සෞන්දර්යාත්මක අලංකාරය (aesthetic values) ඉහළ නංවා ගැනීමටත් හැකි වුණා.

සීගිරියේ කැටපත් පවුර පිරිමැද තිබෙන ආකාරයෙන්ම එයින් ඉහළට විහිදුණු චිත්‍ර බදාමයත් ඉතා තීව්‍ර ලෙස ඔපමට්ටම් කර තිබුණු බව සීගිරි චිත්‍ර ඇඳ ඇති බදාම කොටස් අධ්‍යයනය කිරීමෙන් අපට උපකල්පනය කළ හැකියි. මුළු චිත්‍ර බදාමයම එකම ආකාරයට ඔපමට්ටම් කර තිබූ බවක් එයින් අදහස් වන්නේ නැහැ. නිර්මාණ ශිල්පියාට බදාම ස්ථරයේ ඒ ඒ ස්ථානයට ලබා දිය යුතු දෘෂ්ටි මායාවේ (illusion) ප්‍රමාණයට අදාළ වන පරිදි චිත්‍ර කපරාරුව විවිධ මට්ටමින් ඔපමට්ටම් කර තිබුණු බවයි මෙයින් අදහස් වන්නේ. එනයින් මුළු චිත්‍ර කපරාරුවම එකම දර්පනයක් ආකාරයෙන් දිස්වුණා. නමුත් මෙය ඒකාකාරීව සැම තැන පැතිරුණු දිස්නයක් දෙන පෘෂ්ඨයක් වුණේ නැහැ. ගලේ හැඩතලවලට අනුව යමින් සමහර තැනක ගැඹුරක් ගත් මෙම පෘෂ්ඨය තවත් තැනෙක ඊට වඩා මතුපිටින් පෙනෙන ආකාරයක් ගත්තා. එමඟින් පෘෂ්ඨ විවිධත්වයක් ඇති (uneven surface), වෛවර්ණ කුඩා චිත්‍ර සමූහයකින් සමන්විත, සමස්ත ඒකාංගතාවක් ගැබ්වූ ඵලකයක් (monotone picture) නිර්මාණය කෙරුණා.

මේ ඒකාංගතාවෙහි සංයුක්ත කොටසක් වශයෙන් පවතින සීගිරි පර්වතයේ චිත්‍ර ඵලකයේ අද දක්වා සංරක්ෂණය වී පවතින චිත්‍ර, සෘජුව නැරඹිය හැකි අන්දමට චිත්‍රණය නොකෙරුණු, මහා චිත්‍රයේ නොවැදගත් අංග හැටියටයි, මට වැටහී ගිය අන්දමට, ඔබ දකින්නේ. ඒක එහෙමද?

නිසැකවම, ඉහත සාකච්ඡා වුණු අපේ තර්ක අනුව ඔප්පු වන ආකාරයට දැනට විද්‍යමාන සීගිරි චිත්‍රවලට සමස්ත චිත්‍රයේ ප්‍රධාන තැනක් හිමිවන්නේ නැහැ. ඒවා ප්‍රධාන තේමාවට උදව් කළ උපකාරක චිත්‍ර පමණයි. මේවා සීගිරි පර්වතය පුරා පැතිර පැවති දැවැන්ත සිතුවමේ සමබරතාව රඳවා ගැනීම අරබයා හිස්තැන් පිරවීමට චිත්‍ර අඳින ලද අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. බොහෝ විට සීගිරි චිත්‍ර ගුරු කුලයේ පහළ පෙළ සාමාජිකයන් අතින් මෙම චිත්‍ර නිර්මාණය වන්නට ඇතැයි කියා උපකල්පනය කළ හැකියි. ප්‍රවීණයන් චිත්‍ර කපරාරුවේ දැන් අවිද්‍යමාන පහළ කොටසේ මුඛ්‍ය චිත්‍ර නිර්මාණය කරන්නට ඇති. නමුත් ඉතිරි වී ඇති අතළොස්සක් වන රූප ආශ්‍රයෙන් වුවත් ශිල්පීය දක්ෂකම් අනුව නොයෙක් තරාතිරම්වලට ද, වමත හෝ දකුණත හුරු අයද ආදී වශයෙන් සීගිරි චිත්‍ර ශිල්පීන් වර්ග කළ හැකියි. නමුත් බැලූ බැල්මටම එකම ගුරුකුලයක ශිල්පීන් අතින් එකම ශෛලියකින් මේ චිත්‍ර නිර්මාණය වූ බව පැහැදිලිව දක්නට තිබෙනවා.

ඊට අමතරව සඳහන් කළ යුතු ඉතාම වැදගත් කාරණා කිහිපයක් මෙසේ වෙන්කර දැක්විය හැකියි. මේ චිත්‍ර බහුතරයක දක්නට ඇති නිර්මාණ ලක්ෂණ පරීක්ෂා කර බලන විට, ශිල්පියා ඉතාම නිදහස් ලෙස, නිර්භයව රේඛා හා පින්සල හසුරුවා තිබෙන බව විශද වෙනවා. විටෙක ආයාසයෙන්ද තවත් විටෙක නිරායාසයෙන්ද පින්සලට සිත්තරා යොදන බර අඩු වැඩි කිරීමේ සරල තාක්ෂණය උපයෝගී කරමින් යොදන වර්ණ පදාසයන්ගේ තීව්‍රභාවය මෙන්ම රේඛාවන්හි සිහින් හෝ පළල්බව පාලනය කිරීම මඟින් (රූප සැකිලිවල පිටත රේඛා ‍කෙරෙන් මේ බව මනාව දැකගත හැකිය.) සිතුවම්වල ත්‍රිමාණ ලක්ෂණ මතු කර ඇති ආකාරය ඉතා සුක්ෂමයි.

1) විශිෂ්ට ශිල්පීය දැනුමත්, 2) මේ සා විශාල ව්‍යාපෘතියක දීර්ඝ කාලයක් වැඩකිරීමේදී නිරායාසයෙන් ලැබෙන පෙරහුරුවත්, අතහුරුවත්, 3) සංරක්ෂිත චිත්‍ර පිහිටි ස්ථානය සමස්ත චිත්‍රය කෙරේ දක්වන අවැදගත්කම නිසා ශිල්පියා ලද නිර්මාණ නිදහසත් යන කරුණු තුනේ සමස්තයක් ලෙසයි ඒ විශේෂ වූ සෞන්දර්යාත්මක ලක්ෂණ ඉස්මතුවෙන්නේ.

බොහෝ දෙස් විදෙස් විද්වතුන් සීගිරි චිත්‍ර ශෛලිය ඉන්දියාවේ අජන්තාවෙහි යම් වකවානුවලට (දෙවැනි අදියර-ක්‍රි.ව.400-650) අයත් ලෙන්වල චිත්‍ර සම්ප්‍රදායයන්ට හෝ අමරාවතී උන්නත කැටයම් ශෛලීන් (ගුප්ත ශෛලිය ක්‍රි. ව. IV–VI ශතවර්ෂ) හා සංසන්දනය කිරීමට තැත්කරනවා. එහි යම් සත්‍යතාවයක් ඇති නමුත්, පුරාණ ලෝකයේ අන් කවර සිතුවම් සම්ප්‍රදායයකින්වත් සොයාගැනීමට අපහසු, දුර්ලභ, තාත්වික (realistic) මෙන්ම සිත්තරාගේ නිදහස් මනෝභාවයද (expression) එකට මුසු කළ ලක්ෂණ සීගිරි චිත්‍රවල ගැබ්වී ඇත්තේ මා ඉහත කී කාරණා තුනේ සංකලනයෙන් මේ චිත්‍ර නිර්මාණය වී ඇති නිසයි.

විශ්ව දෘශ්‍ය කලා ඉතිහාසය හා විකාශනය පිළිබඳ මා ඉතාම ගැඹුරින් හදාරා තිබෙනවා. ඒ අනුව මා අදහස් කරන්නේ, සීගිරියේ අපගේ සාකච්ඡාවට භාජනය වන ලෙනේ ශේෂව ඇති චිත්‍ර, ‍දේව භක්තියකින් වැනි ගෞරවයකින් යුතුව ගුරුකුල සම්ප්‍රදායයන් අනුයමින් නිමවන ලද ඒවා වන නමුත්, ඉහතින් දක්වන ලද කාරණා තුනේ සංකලනය හේතුවෙන්, ඉමහත් සැලකිල්ලෙන්, සුපරික්ෂාකාරිව (carefully) චිත්‍රණය කිරීමට සිදු නොවීම නිසා ශිල්පියා ලත් නිර්මාණාත්මක නිදහස හේතුවෙන්, ලෝකයේ පුරාණ මෙන්ම වර්තමාන චිත්‍ර නිර්මාණ වපසරියේ විශිෂ්ටතම (unique) ස්ථානයක් සීගිරි චිත්‍රවලට හිමි වන බවයි.

සීගිරි පර්වතය වටාම පැවතුනැයි හෝ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණැයි හෝ කියා ඔබ සඳහන් කරන දැවැන්ත චිත්‍ර ඵලකයේ ප්‍රධාන උපයෝගීතාව වන්නේ දර්පනයක කාර්යය ඉටුකොට දෘෂ්ටි මායාවක් මැවීමයි. (illusion) මෙවැනි දෘෂ්ටි මායාවන් මැවීම සඳහා සීගිරි සංකීර්ණයේ චිත්‍ර ඵලකයට අමතර වශයෙන් වෙනත් කිසිවක් උපයෝගී කරගෙන නොමැති බවක් මෙයින් අදහස් වෙනවද?

අමතක නොකළ යුතු තවත් වැදගත් කරුණක් පිළිබඳව කියා සිටීමට මට අවස්ථාව සලසන ප්‍රශ්නයක්. එනම් මෙවැනි විවිධ ක්‍රමවේද භාවිතයෙන් නොයෙක් ප්‍රමාණයට ඔප (treat) දැමූ සිරස් පෘෂ්ඨ පමණක් නොවෙයි, තිරස්ව පිහිටි, ස්වාභාවික ආලෝක පරාවර්තක (reflectors) ලෙස ක්‍රියා කරන ගැඹුරු මෙන්ම නොගැඹුරු ජල පෘෂ්ඨ ද, එසේම පර්වතයට ප්‍රවේශ වන සහ ආසන්න වන මාර්ගයන්හි පිහිටි ස්වභාවික හෝ සැලසුම් සහගතව ආයාසයෙන් නිර්මාණය කළ විවිධ මට්ටම්වල භූ තල පවා සීගිරි පර්වතයේ දෘෂ්ටිමය ආශ්චර්යය ඉහළ නැංවීම සඳහා භාවිත කොට ති‍බෙන බවට සාධක තිබෙනවා. උදාහරණයක් වශයෙන් බටහිර ප්‍රවේශයේ දිය අගල හරහා දමා ඇති පාලම ඔස්සේ ගමන් කරන විට නොපෙනී යන සීගිරි පර්වතය, ඉන් අනතුරු නිමේෂයේදී තරප්පු කිහිපයක් ඉහළට නැඟ ගිය පසු ක්ෂණයෙන් යළි දර්ශනය වීමට සැලැස්වීමෙන් යමෙක් වික්ෂිප්ත කරවන, අනපේක්ෂිත දර්ශනයකින් විස්මයක් ජනිත කිරීමට වාස්තු විද්‍යඥයා සමත් වී තිබෙනවා. (unintended visual effects ක්‍රමාන්විතව නිරික්ෂණය කළහොත් මෙවැනි ප්‍රයෝග (tactics) සීගිරි සංකීර්ණයේ සෑම තැනකම විවිධාකාරයෙන් උපයෝගී කර තිබෙනු දැක ගත හැකියි. ඒ සඳහා ස්වාභාවික භූවිෂමතා ලක්ෂණ මෙන්ම සීගිරි යුගයේදී විශේෂයෙන් නිර්මාණය කළ උස් පහත් තැන්, කොටුපවුරුවල දොරටු වැනි කෘත්‍රිම ඉදිකිරීම්ද ඉතාම නිවැ‍රැදි හා තාර්කික ආකාරයෙන් එතැනටම අදාළ, එතැනටම නියමිත ක්‍රමවේද (rational) යොදා ගනිමින් භාවිත කර තිබෙනවා.

ලෝකයේ තිබෙන සෞන්දර්යාත්මක අගයෙන් බොහෝ ඉහළින් පිළිගන්නා ගොඩනැඟිලි බොහොමයක් නිර්මාණ කර තිබෙන්නේ ස්වාභාවික සංසිද්ධීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙනුයි. දී ඇති පරිසර සාධක (given location) අවම ව වෙනස් කරමින්, අදාළ පරිසරයට යෝග්‍ය ම ආකාරයට, අලුතින් බිහිවන බාහිර නිර්මාණය වෙතින් පරිසරයට අමතර අලංකාරයක් ද ලබාදෙමින් අනුබද්ධ කිරීමෙනුයි, මෙවැනි සංකීර්ණ නිර්මාණය කර තිබෙන්නේ. ඒවා මහා නගර සංකීර්ණ නිර්මාණයේදී මෙන්ම කුඩා දේවස්ථාන වැනි දේ නිර්මාණයේදීත් භාවිත කර තිබෙන අවස්ථා සුලබයි. නගර නිර්මාණයේදීත් ගොඩනැඟිලි සැලසුම් කිරීමේදීත් ස්වාභාවික සංසිද්ධීන් සුලභව උපයෝගී කරගෙන තිබෙනවා. මේ සංකල්පය සීගිරියටද එක සේ අදාළ නමුත්, සීගිරි නිර්මාණ ශිල්පියා තම නිර්මාණය, දී ඇති පරිසර සාධකයනට බද්ධ කර ඇති ආකාරය අති විශිෂ්ටයි. එය ඔහුටම ආවේණිකයි. (unique)

මෑත ඉතිහාසයේ සීගිරිය වෙනුවෙන් මහඟු කැපකිරීමක් කළ මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ වදනකින් මෙය හොඳින් කියවෙනවා. “Sigiriya has no prototypes, but Sigiriya is a prototype itself” - “සීගිරිය නිර්මාණයට මූලාශ්‍ර වූ උදාහරණයක් නැත, නමුත් සීගිරිය, වෙනත් නිර්මාණ සඳහා තෙමේම උදාහරණ වෙයි”. ඒ අදහස තවදුරටත් තහවුරු කරමින් අපට ප්‍රකාශ කළ හැක්කේ, සීගිරි නිර්මාණ ශිල්පීන් සංකල්පීය කලා නිර්මාණ හා සංකල්පීය ගෘහ නිර්මාණ ශිල්පයේ (conceptual art & architecture) පුරෝගාමීන් (pioneers) අතර සිටින බවයි. සංකල්පීය ගෘහ නිර්මාණ ශිල්පය යනුවෙන් හැඳින්වෙනුයේ ගෘහ නිර්මාණයක හෝ ඕනෑම කෘත්‍රිම වස්තුවක බාහිර හෝ අභ්‍යන්තර පෙනුම, අදහස් හෝ සංකල්ප හුවා දැක්වීම සඳහා භාවිත කිරීමයි. එමඟින් අදහස් කෙරෙනුයේ පසුගිය වසර 1500 පුරා සමස්ත ලෝක ආධ්‍යාත්මික චින්තන ධාරාව තුළ සමහර අංශවලින් ශ්‍රී ලංකාව අන් රටවල් අබිබවා ඉදිරියෙන් සිටි බවයි. අප මේ සාකච්ඡා කරන්නේ එවැනි සීගිරියක් ගැනයි.

සීගිරි පර්වතයේ දැවැන්ත චිත්‍ර ඵලකයේ ඇති සංකල්පමය අරුත ඔබ විසින් තර්කානුකුලව පැහැදිලි කළා. දැන්, එම ශිල්ප ක්‍රමය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වූ ආකාරය පැහැදිලි කර දෙන්න?

සීගිරි සංකීර්ණයේ බටහිර දොරටුව (ප්‍රවේශය) පිහිටි පැත්ත පිළිබඳව කතා කරන විට, සීගිරිය ගොඩනැගීමෙන් පසු ගතවුණු මුල් වකවානුවේදී මෙය අමුත්තන් කැඳවාගෙන එන ප්‍රධාන දොරටුව වශයෙන් භාවිත කරන්නට ඇති බව අදහස් කළ හැකියි. තවද ඉතා කෙටි කාලයක් තුළ, කාශ්‍යප රජ කෙරෙහි වූ පරිපුර්ණ ආලකමන්දාවක් පිළිබඳ ඇතිකරගෙන තිබූ සිතැඟියාවන්, 100% සාක්ෂාත් කරගැනීමට නොහැකිවූ බව සනාථ කළ හැකි සාධකද කැණීම්වලින් හමුවී තිබෙනවා.

එම නිසා ඒ ඒ තෝරාගත් අමුත්තන් සඳහා, සීගිරි පර්වතයේ බටහිර පැත්තට හිරු කිරණ පතිත වීමේ දෛනික විස්ථාපනයට සමගාමීව පතිතවන හිරු කිරණ හා සිතුවම් පෘෂ්ඨයේ අන්තර්ක්‍රියාවෙන් ලබාගත හැකි ප්‍රතිඵලය කාලානුයෝචිතව උපරිම වශයෙන් උපයෝගී කරගනිමින්, ප්‍රධාන වශයෙන් බටහිර ප්‍රවේශයත්, උතුරු හෝ දකුණු හෝ දොරටු ද්විතීයවත් භාවිත කළ බවට උපකල්පනය කළ හැකියි. දවසේ පළමු වරුවේදී, හිරු නැඟ ඒමේදී කෙමෙන් මීදුමින් මතුවී එන සිහගිරියේ, චිත්‍ර ඵලක සහිත ඔප දැමූ කපරාරුවෙහි අවට ආකාශය ප්‍රතිබ්ම්බනය වෙනවා. නමුත් අපර භාගයේදී, එනම් සවස 2-3 න් පසුව, පිරිමැදි චිත්‍ර බදාමයෙන් හා කැඩපත් පවුරෙන් හිරු එළිය පරාවර්තනය වීමට පටන් ගන්නවා. හරියටම ඒ අවස්ථාවේදීයි මෙම චිත්‍ර බදාමයේ නිවැ‍රැදි රංගනය ආරම්භ වන්නේ. කාලයක සිට පැවතෙන ජනප්‍රවාදයකුත් මේ අවස්ථාවේදී අමතක කළ නොහැකියි. එනම් කුවේරගේ ආලකමන්දාව දෙස බැලූ සමහරකුගේ දෑස් අන්ධ වුණු බවට පැතිරෙන ජනප්‍රවාදයයි. මෑතකදී (මේ ශතවර්ෂයේ මුල් භාගයේ) සංස්කෘතික ත්‍රිකෝණය විසින් පර්වතයේ බටහිර පෘෂ්ඨයේ කැඩපත් පවුරට ආසන්නයෙන් දිවෙන සේ ස්ථාපනය කරන ලද ජල නළය සැන්දෑ කාලයේ පර්වතය දෙස බලන්නන් හට බාධා වන තරමට රිදී රේඛාවක් සේ ක්‍රියා කළ අන්දම මෙහිලා අමතක කළ නොහැකියි. ඒ හේතුව නිසාම එම නළය ඉවත් කිරීමටත් සිදු වුණා.

කුවේර පුරයක් ලෙසින් සීගිරිය නිර්මාණය කළ බව සනාථ කිරීම මෙහිලා මාගේ අභිලාෂය වන්නේ නැහැ.

මට අවශ්‍ය වන්නේ ආලකමන්දාවේ තිබුණා යැයි කියන ඒ කියන පරාවර්තන ගුණය සීගිරිය කෙරෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන ආකාරයෙන් සකසා චිත්‍ර බදාමය නිමවා තිබුණු බව සඳහන් කිරීමයි. ඒ අනුව චිත්‍ර ඵලකයේ ප්‍රධාන කාර්යභාරය කුමක්ද යන්න වටහා ගැනීම ඉතා පහසුයි. ඒ වනාහි දේවත්වයෙන් තමා හුවා දැක්වීමට අපේක්ෂා කළ රජුගේ මහා මාලිගය පිහිටි පර්වත මස්තකය, පර්වත පාමුල කොටසින් දෘෂ්ටි මායාවක් මවා වෙන් කිරීමයි. ඒ අනුව සිදුවන්නේ සීගිරි පර්වතය වටා බඳ පටියක් සේ විහිදි චිත්‍ර ඵලකය අහසේ වර්ණාවලිය සමඟ එකට මුසුවී එකම අහසක් බවට පත්වීමයි. එමඟින් චිත්‍ර ඵලකය අහස සමඟ එක් අවකාශයක් බවට පත් කළ දෘෂ්ටි මායාවක් මවනු ලැබුණා. එමඟින් කාශ්‍යපගේ මාලිගා සංකීර්ණය පර්වතය පහළ කොටසින් දෘෂ්ටිමය වශයෙන් වෙන්කොට පාවෙන රජ දහනක් බවට පරිවර්තනය කෙරුණා. සීගිරිය උදේ කාලයේ හෝ වැසිබර අවස්ථාවක නරඹන්නන් මීට යම් තරමකින් සමාන දෙයක් අදත් දකිනවා. එනම් මීදුම බා ඇති විට එයින් කූඨ පාදම ආවරණය වී පර්වත මුදුන පමණක් අහසේ රැඳී ඇති ලෙස දෘශ්‍යමාන වන අවස්ථාවේදී. එය හරිම සුන්දර, දැකුම්කලු දර්ශනයක්. මේ ස්වාභාවික සංසිද්ධිය (natural phenomenon) අතීතයේ බහුලව ග්‍රීසිය, චීනය ආදී ශිෂ්ටාචාර තම නිර්මාණ සඳහා භාවිත කර තිබෙනවා.

ඔබ අදහස් කරන සංකල්පය යට කී පරිදි ක්‍රියාත්මක වී නම්, මේ සංකල්පමය පාවෙන රජදහන, සැබෑ ලෝකය සමඟ සම්පර්ක වන ස්ථානයක්ද සීගිරි රාජධානියේ තිබිය යුතු වෙනවා. එසේ නම් එවැනි තැනක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ කවර ස්ථානයද?

සීගිරි රාජධානියේ ඇති එම ස්ථානය බවට පත්වන්නේ සීගිරියේ සුප්‍රකට සිංහ මුඛයයි. සිංහ මුඛය වනාහි දේවත්වය ආරූඪ කරගත් ‍සාමාන්‍ය දෙවි දේවතාවුන්ටත් වඩා ඉහළින් අහසේ මාලිගයක් තනා සිටි දෙව්රජු සහ සාමාන්‍ය ජනයා අතර සම්බන්ධය ගොඩනැඟුණු තැනයි. සංකල්පමය වශයෙන් සිංහ මුඛයෙන් ඉහළ කොටස දේව විමනක් මිස මනුෂ්‍ය ස්පර්ශය ලද තැනක් නොවෙයි. වෙනත් වචනවලින් කියනවා නම් සීගිරි සිංහ මණ්ඩපය (Sigiriya lion’s plateau) කියන්නේ සාමාන්‍ය මිනිසාට දෙවියන් හා මුණගැසිය හැකි වූ ශුද්ධ ස්ථානයයි. ඈත අතීතයේ පැවති ඊජිප්තු, ග්‍රීක, පර්සියානු හා රෝම වැනි ශිෂ්ටාචාරයන්හි විසූ රජවරුන්ද, තමන් දේවත්වයේ ලා සැලකීම් ලබා ගනු වස් නොයෙක් මානසික හා භෞතික ප්‍රයෝග උපයෝගී කරගෙන ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. රෝම අධිරාජ්‍යයේ රජවරුන්ගේ ප්‍රතිරූපය ප්‍රයෝගකාරී ලෙස දේවත්වයේ හිඳුවා තැබීම සඳහාම පුරුදු පුහුණු කළ රාජ සේවකයන් පවා ඉඳ තිබෙනවා.

සීගිරියට අදාළ වන පරිදි නිර්මාණිත මේ පුරාවෘත්තය, එනම් නාට්‍ය තිරනාටකය ලංකා රාජ්‍යත්වයට ඉතා යෝග්‍ය වන ආකාරයෙන් රඟ දැක්වීමට රජු ප්‍රමුඛ උපදේශකයන්ට හැකි වුණා. කාශ්‍යප සතුවද, ඓතිහාසික දැනුම් සම්භාරයකින් හා මනා නිපුණත්වයකින් හෙබි විශිෂ්ට ගණයේ වෘත්තික පෞරුෂ-ගොඩනගන්නන් (image makers) සිටි බවට සැකයක් නැහැ.

පහළ රැස්ව සිටින්නවුන්ට වඩා උස් ප්‍රක්ෂේපණයකින් හා වේශයකින්, සිංහ හනු අතර මුඛයේ වැඩ සිටිමින් රැස්ව සිටි ජනයා ආමන්ත්‍රණය කළ, ජීවමානව රඟදැක්වූ සීගිරි ලලනාවන්ගේද පවන් පොදින් පහස ලබන, රාජකීය ස්වර්ණාභරණයෙන් සැරසුණු දෙවිරජතුමා හා ඔහුගේ දේවියගේ දර්ශනය දෙස් විදෙස් අමුත්තන්ගේ මනසේ මුළු ජීවිත කාලයේම රැව් පිළිරැව් දෙන්නට ඇති. එමඟින් ලංකාද්වීපය යම් වකවානුවකට හෝ කිසිවකුගේ සිත් තුළ අමරණීය වන්නට ඇති.

ඔබ අවසාන වශයෙන් සඳහන් කළ කාරණා, එනම් සීගිරි කාශ්‍යප රජුට පෞරුෂ ගොඩනඟන්නන් සිටි බව, නාට්‍යාකාරයෙන් අමුත්තන් පිළිගත් ආකාරය, ඒ මඟින් ලංකාව පිළිබඳ බලසම්පන්න චිත්‍රයක්, විශේෂයෙන්ම විදේශ අමුත්තන් කෙරේ ඇති කළ බව වැනි කාරණා ඔබගේ ව්‍යූත්පන්න මිස ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක සාධක මත සනාථ කළ හැකි කාරණා නොවෙයි. නමුත් එහිලා ඔබ උපයෝගී කර ගන්නා විධි ක්‍රමය වන්නේ, ශේෂගත භෞතික සාධක ඇසුරෙන් සීගිරි සංකීර්ණය ඉදිකිරීමේ වාස්තු විද්‍යාත්මක සංකල්පය ගොඩනඟා, එහි දිගුවක් ලෙස යට කී උපන්‍යාස ව්‍යූත්පන්න කර ගැනීමයි. එවැන්නක්, මාගේ දැනුම් ප්‍රකාර, මෙතෙක් සිදුවී නැහැ. එනයින් මෙය කිසියම් ආකාරයක නව කථිකාවක ආරම්භයක්ද වනවා. අපගේ සාකච්ඡාව නිමාවට පත් කරනු වස් එම ආරම්භයට පෙරවදනක් සපයන්න?

විශ්ව වාස්තු විද්‍යාව හදාරන කල වර්තමානයේ මෙන්ම අතීතයේ ද ගෘහ නිර්මාණ ශිල්පියා තම සේවාදායකයා විසින් ආරූඪ කරගත් මනඃකල්පිත අපේක්ෂා සාධාරණීකරණය කිරීම සඳහා තමා විසින් නිර්මාණය කරන අවකාශ හා හැඩතල හැසිර වූ අවස්ථා බොහෝ සෙයින් දක්නට තිබෙනවා. සීගිරි සංකීර්ණය මා දකින්නේ මේ ප්‍රවණතාවේ හොඳම උදාහරණයක් ලෙසයි.

මෙම ලිපියේ බොහෝ අවස්ථාවල මා භාවිත කළේ එම සිද්ධාන්තයම විටින් විට ආරෝහණ මෙන්ම අවරෝහණ ලෙස ද භාවිත කිරීමයි. එනම්, නටබුන්ව ඇති ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක ඇසුරෙන්, කිසියම් ඉදිකිරීමක් සහ ඊට හේතු පාදක වූ සංකල්ප තර්කානුකුලව ප්‍රතිනිර්මාණය කර, ඒ ආශ්‍රිතව කලෙක ගොඩනැඟිනැයි අනුමාන කළ හැකි තිරනාටකය නිර්මාණය කිරීමයි. නැතහොත් එහි ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීමයි. මෙය පුහුණුවෙන් ලැබෙන පරිචයෙන් පමණක් කළ හැකි, අප ලබාගෙන තිබෙන දත්ත හා ඒ මත පිහිටා මනසේ නිෂ්පාදනය වන උපකල්පන, මනස තුළ නිරායාසයෙන් හුවමාරු කිරීමට පොළඹවන ද්වි ඝට්ඨනාත්මක ක්‍රියාදාමයක්. ලාංකිකයකු වශයෙන් අපගේ අතීත උරුමයන් පිළිබඳව පැහැදිලි කිරීමටත්, පුළුල් සංවාදයක් ගොඩනඟාගැනීමටත් නොහැකි නම් එය අපගේ අභාග්‍යයක්. සීගිරිය ගැන කතා කරද්දී දැනට තරයේ ඉස්මතු කර, උද්දීප්ත (stress) කොට දක්වන්නේ මේ අසමසම සංකීර්ණයේ පැවති ජල තාක්ෂණය, ගොඩනැගිලි තාක්ෂණය හෝ උපයෝගී කොටගත් විශාල මිනිස් ශ්‍රමය වැනි භෞතික පාර්ශ්වය ගැන පමණයි. සෞන්දර්යාත්මක හෝ සංකල්පනාත්මක වටිනාකම ගැන කතා කරන විට හැම විටම අප රටින් බාහිරව සිදු කෙ‍රුණු නිර්මාණ, විශේෂයෙන් ඉන්දියානු හෝ අග්නිදිග ආසියාතික රටවල සිදු කෙරුණු නිර්මාණ පූර්වාදර්ශ කර ගත් බවක් කියා පෑමට උත්සාහ දැරෙනවා. එවැන්නක් සිදුකිරීම අවශ්‍ය නෑ. ඕනෑම නව්‍යකරණයක් කිසිම ආභාසයකින්, ආස්වාදයකින් (inspiration) තොරව ඕපපාතිකව (Spontaneously) ඇති වේ යැයි මා කියන්නෙ නෑ. නමුත්, සීගිරිය හෝ එවැනි වෙනත් ඕනෑම වස්තුවක් විනිවිද දැකීම තුළින්ම මේ පැහැදිලි කිරීම කළ නොහැක්කේ ඇයි දැයි මෙතැනදී නිසර්ගයෙන්ම ප්‍රශ්නයක් මතු වෙනවා. සීගිරිය ගැනම ගැඹුරින් සෞන්දර්යාත්මක විග්‍රහයක් පුළුල් වශයෙන් කර තිබුණොත්, එය සාමාන්‍ය මිනිසුන් අතරටත් ඔවුනොවුන්ට ගැළපෙන මාධ්‍යයකින් ඇතුල් කිරීම තුළින් ලාංකික සමාජයේ කිසියම් ආකාරයක බුද්ධි කුණාටුවක් (brainstorm) සියලු දෙනා තුළම ඇති කළ හැකියි. මේ දේ සීගිරියට පමණක් සීමා වූ කාරණයක් ද නොවෙයි.

අපි කීයෙන් කී දෙනාටද අතීතකාමයෙන් තොරව වඩා පුළුල් කෝණයකින් අපේ දායාද රසවිදිය හැක්කේ? තම අතීතය හැදෑරීම ඉතා වැදගත් දෙයක්, නමුත් සංකල්පනාත්මක බුද්ධි වර්ධනයක් තුළින් තම වර්තමානය දැකීම, ඕනෑම දෙයක් විවිධ කෝණවලින් නිවැ‍රැදි ලෙස විශ්ලේෂණය කරමින් තම අනාගතය සකසා ගැනීමේ ක්‍රමවේදයක් අප තුළ නිරායාසයෙන් ජනනය වන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අපට අත්‍යවශ්‍ය බවයි මගේ අදහස. අපට පුළුවන් වන්නේ එම ක්‍රියාදාමයේ ආරම්භයට පන්නරයක් තැබීම පමණක් වන්නට පුළුවන්, නමුත් අනාගතයේ බිහි වන අපේ දරුවන් තුළ මේ ප්‍රතිඵලය අපිට දකින්නට ලැබිය හැකි වෙයි.

 

(සංවාදයට විවෘතයි)

 

රන්ජන දේවමිත්‍ර සේනාසිංහ

 

පරිවර්තනය

දොස්තර ආනන්ද අබේසේකර

බෝසතාණෝ පිළිසිඳ ගත් දා සිදු වූ අසිරිමත් සිදුවීම්

$
0
0
මැයි 13, 2021 01:00

පූජාවලි විමසුම - 21

 

මේ වෙසක් සමයයි. බුද්ධ මහිමය ලොවට හොඳින්ම දැනෙන සමයයි. බුදු කෙනෙකුන් ලොව පහළ වීම අතිශයින්ම සිරිමත් සිදුවීමක් වෙයි. මීට අදාළව අප පසුගිය පූජාවලිය විමසුමේදී පඥ්ච මහා විලෝකන ගැන විවරණයක් කළෙමු. ඒ අනුව බුදුවරුන්ගේ ලොව පහළ වීම කෙතරම් දුර්ලභ කරුණක් ද යන්න පැහැදිලි විය. අද විමසුම තුළින් ද අප උත්සාහ කරන්නේ පූජාවලියේ කතු හිමියන් තව දුරටත් බුදු උපත අසිරිමත් දෙයක් බව දඹදෙණි සමාජයට පෙන්වා දෙන්නට දැරූ උත්සාහයකි.

පූජාවලියේ අට වැනි පරිච්ඡේදය නම් කරන්නේ ප්‍රතිසන්ධි පූජා කථා යනුවෙනි. එහිදී තුසිත දිව්‍ය පුරයෙහි වසන් බෝසතාණෝ දිව්‍ය පුරයෙන් චුත වීමේ නිමිති පහක් දුටහ. එනම් දිව සළුව කෙලෙසී ගියේය. පැලැඳි මල් පරව ගියේය. ශරීර ප්‍රභාව පහව ගියේය. දිව්‍ය මාලිගය රිසි නැති විය. දිව සිරුරෙන් දහදිය ගලන්නට වන. එවිට දෙවියන් මගුල් ගී ගයද්දි බෝසතාණෝ සුළඟින් නිවී ගිය පහනක් සේ තුසී පුරෙන් නික්මී ඇසළ පෝ දා අලුයම් වේලේ මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත්හ.

ඇසළ සැණකෙළිය දිනයෙහි මගුල් පොකුණෙහි ජල ක්‍රීඩා කොට කසී සළු හැද පැලැඳි මහාමායාවෝ තම කුටියට වැද නිදන්නට වූහ. එවිට සතර වරම් දෙව් රජ දරුවන් දේවීන් ඔසවා ගෙන අනවතප්ත විලට ගෙන ගොස් දිව්‍යාංගනාවන් ලවා මිනිස් ගඳ හරින්නට නහවා දිව යහනෙහි තැබූහ. එවිට චිත්‍රකූට පර්වත වැසි සුදු ඇත් පැටවෙක් සුදු පියුමක් සොඩින් ගෙන බිසොවුන් බල බලා සිටියදීම බිසොවුන් සැතපුණු යහන වටා පැදකුණු කරවා බිසවගේ කුසට පිවිසුණි.

බිසොවුන් දුටු සිහිනය ගැන සුදොවුන් රජුට කියා බමුණන් ලවා සිහිනය පරීක්ෂා කොට මතු බුදු වන පුත් රුවනක් දේවීන් කුස පිළිසිඳ ගත් බව කියා සිටියේය. එවිට ලොව අසිරිමත් සිදුවීම් දෙතිසක් පහළ වීය. එය බෝසතාණන්ගේ පහළ වීම පිළිබඳ ආශ්චර්ය ලොවට හැඟවීම පිණිසය. ඒවා නම් කවරේද?

මහ පොළොව ගර්ජනා වීමය. දස දහසක් සක්වල ආලෝක වීමය. ජාති අන්ධයන් රූප දැකීමය. ජාති ගොළුවන් නාද කිරීමය. ජාති බිහිරන් ශබ්ද ඇසීමය. අත පය විරූපී වූ පිළුන් නැටීමය. කුරුව කුදුව උපන් අය සෘජු සරීර ඇති වීමය. සිරගතව සිටි සතුන් නිදහස් වීමය. නිරයන්හි ගිනි නිවී යාමය.ප්‍රේතයන්ගේ සා පිපාසා නිවී සන්සිඳීමය. අපායගාමී වූවන්ගේ මරණ බිය පහවීමය. රෝගීන් නීරෝගී වීමය. සියලු සත්වයන් ප්‍රිය භාෂණය කිරීමය.අශ්වයන් මිහිරිව හේෂාරව කිරීමය. ඇතුන් සතුටින් කුංචනාද කිරීමය.සිංහරාජයන් ගර්ජනා කිරීමය. සියලු සිවුපාවුන් තම තමන්ගේ නාද පැවැත්වීමය. දෙවු මිනිසුන් පැලැඳි අබරණ නාද දෙන්නට වීමය. දස දිශාවන්හි ප්‍රභාෂ්වර විහිදීමය. සුළඟ මඳ පවන් පැවැතීමය. දස දහසක් සක්වල මද වැසි වැස්සීමය. මහ පොළොවෙන් ජලධාරා නැගී අහසට විහිදීමය. සියලු පක්ෂීන් පොළොවට බැස මධුර නාද කිරීමය. ගංගාවන් නොගලා නැවතී තිබීමය. සමුදුරු ජලයේ ලුණු රස බැහැරව මධුර වීමය. සාගරයේ පස් පියුම් පිපීමය. දිය ගොඩ පිපි හැම මලක්ම පිපී සුවඳ පැතිරීමය. සියලු වෘක්ෂලතා මලින් බර වීමය. ගල්තලාවන්හි නෙළුම් පිපීමය. අහස මල් වියනක් සේ පෙනීමය. මල් වරුසා වැසීමය. අහස පුරා ධ්වජ පතාකයෙන් පිරීමය.

මේ විවරණය පෙන්වා දෙන්නේ බුදු කෙනෙකුන්ගේ ලොව පහළ වීම මොන තරම් අසිරිමත් ද යන්නයි. මුළු මහත් සොබාදහමම විචිත්‍රවත් වූ බවක් පෙනෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගුණ දම් පිරූ උතුමකු වෙනුවෙන් මෙසේ ලොව අසිරිමත් වීම පුදුමයක් නොවිය යුතුය. මේ ගැන තව දුරටත් ඉදිරි ලිපිවලදී සාකච්ඡා කෙරේ. තෙරුවන් සරණයි.

 

 

වාපි සහ කෘෂි රටාවේ ප්‍රගමනය ඇ‍රැඹෙයි

$
0
0
මැයි 13, 2021 01:00

 

මහාවාපිය ත්‍රිත්වයක් කේන්ද්‍රගත වීම නිසාවෙන්ම වියළි කලාපයට එදා ‘නුවරකලාවිය’ යන විරුදාවලිය පටබැඳුණු බව මීට ප්‍රථම ලිපිය තුළින් සනාථ කැරිණි. ඊටම යා දෙමින්, එහිම දිග හැරුමක් ලෙසිනි, මේ ලියවිල්ල එක්වනුයේ. අතීතාවර්ජනයක යෙදෙන විට අපට හමු වන විජයයීය ආර්ය ප්‍රජාව සිය ජීවනෝපාය මාර්ගය ලෙසට තෝරා ගැනුණේ, ඔවුනට ‘හුරක්ව’ තිබූ කෘෂිකර්මාන්තයයි. එනමුදු මේ කාර්ය දියත් කිරීමේ දී, පාරිසරික අභියෝගයක් වූ දේශගුණය ඔවුනට ප්‍රබල බාධාවක් වූයේ, ඔවුන් ‘බට’ ලාංකීය ප්‍රදේශය අතිශය ගුෂ්ක ලක්‍ෂණයන්ගෙන්ම යුක්ත වූ නිසාමය.

මෙම ප්‍රදේශයට ඊසාන දිග මෝසමෙන් වර්ෂාව අපේක්ෂා කළ හැකිව තිබුණේ එකම එක කාර්තුවකට පමණකි. සෙසු තුන් කාර්තුව නියං සායයන්ගෙන් යුතු වියළි කාලගුණයකින්ම සමන්විත විය. ඇතැම් වර්ෂවල එක කාර්තුවකට පමණක් වැටුණු වර්ෂාවද නොලැබීම යාම සිදු නොවුණා නොවෙයි. දේශගුණයේ පැවැතී මෙම දැඩි විචල්‍යතාවයට ආර්යයන්ට මුහුණ දීමට සිදු වූයේ ජල ප්‍රශ්නය නිසාමය.

පාරිසරික අභියෝග

තම පැවැත්මට සෘජුවම එල්ල වූ මේ පාරිසරික අභියෝග ජය ගැනීමට හැකි මංපෙත් සකසා දුන්නේද පරිසරයෙන්ම ලද සරල ක්‍රමවේද බව මෙහිලා දැක්විය යුතුමය. ඔවුනට අත්‍යවශයව තිබූ ජලය වර්ෂයේ කිසියම් කාලයක් රඳවා ගැනීමට පරිසරයට ගැඹුරින් එබිකම් කළ ඔවුන්ගේ විඥානය ප්‍රදේශය පුරාවට තන්හි තන්හි පිහිටා තිබු ‘විල්ලු’ හා වළවල්, වෙත නැඹුරු වූ සේය. මේ කලාපයේ පැවති මීටර් 100ට අඩු පහත් බිම්වල වර්ෂා කාලයේ ජලය සෑහෙන කාලයක් රැදී පවතින බව වටහාගත් ඔවුහු එම ජලයෙන් ප්‍රයෝජන ගත් අතර, ඒවා ගැඹුරු කර හෝ පුළුල් කර වැඩි ප්‍රයෝජනයක් ගැනීමට මිනිස් ශ්‍රමය යෙදවූහ. දිගු කාලයක් මෙසේ ජලය පරිහරණය කිරීමේ ක්‍රමවේදයෙන් මුවහත් වෙමින් සිටි ඔවුන් විසින් විල්, වළවල්, වෙනුවට පහත් බිම්හි ජලය ගබඩා කරගන්නා විධි හා ක්‍රම මානව මැදිහත්වීම් මඟින් අත්හදා බලන ලදී. එහි ප්‍රතිඵලයක් නිසාවෙන්දෝ මහාවංශ කතාකරුවා දක්වන පුවතක් කල එළි බසිනුයේ. එය වූ කලී අනුරාධ නමැති කුමරුවා විසින් අනුරාධපුර දක්‍ෂිණ දිශාවේ කුඩා වැවක් ඉදිකළ සංසිද්ධියයි. මේ සුබවාදී ප්‍රවෘත්තිය ආර්ය ප්‍රජාවගේ ජන විඥානයේ ගැඹුර ගැන මැන බැලෙන සැබෑ මිනුමක් වූවා යැයි උපකල්පනය කළ හැකිය.

මෙසේ අනුරාධ කුමරුගේ වාපි සංකල්පය පල දරමින් ක්‍රි.පූ. පළමු සියවස වන විට වියළි කලාපය පුරාවට ගම්බිම්වල කුඩා, කුඩා වැව් ගැමි මානව ශ්‍රමාභිමානය විදහා දක්වමින් ඉදි විය. මෙනයින් ගමේ වැව හෙවත් ගමික වැව යන සංකල්පීය වාපි රටාවේ ප්‍රගමණයක් ඇති වූවා පමණක් නොව එමඟින් කෘෂි රටාවේ ප්‍රගමනයටද අඩිතාලම වැටිණ.

වැව් ත්‍රිත්වය

මේ අයුරින් ගැමි වාපි ශ්‍රම හඳුන්වා දුන් ගමේ වැව මූලික කර ගනිමින්, ක්‍රි.පූ. හතර වැනි සියවසේ පණ්ඩුකාභය රජු ගාමිණීවාපි, අභයවාපි හා ජයවාපි නමින් මහ වැව් ත්‍රිත්වයක් ස්වකීය අනුරපුර රාජධානියේ ඉදිකළ බව මහාවංශයේ මෙන්ම පුරාණ ලංකා ඉතිහාසයේද සඳහන් වෙයි. මෙම වාපි ත්‍රිත්වයෙන් එදා අභයවාපිය, මෙදා ලෝක උරුමයක් වූ බසවක්කුලම මහ වැව වූ බවත්, එවකට ජයවාපිය නමින් වූ මහ වැව, ධාතුසේන රජතුමා ඉදිකළ කලාවාපියෙන් ජය ගඟ ඔස්සේ ජලය ලබන තිසා වැව බවත්, එදා ගාමිණීවාපිය, අද පෙරිමියන්කුලම වැව නමින් ඇති බවත් මෙහිලා දක්වනුයේ වාපි සංකල්පීය කතන්දරයේ ගමන් මඟ හෙළිපෙහෙළි කරමිනි.

කෙසේ නමුදු වාපි අන්දරය හුදෙක්ම ජල පරිභෝජනය සඳහාම ලියැවුණු පුවතක් නොවේ. එය සොබාදහමේ චරිතාපදානයකි. ඒ තුළ මානවයා වු කලී සොබාදම් වියමනේ එකම එක හූපටක් පමණකි. මිනිස් චින්තාවලිය දිගේලි වූයේ සාම්ප්‍රදායි සොබාදම් දායාදයන් වූ පස, ජලය, වාතය මෙන්ම තුරුලිය සමඟ සබැඳි මානවීය ආබද්ධතා කරගත්, උක්ත දායාද සුරක්‍ෂිත කර ගැනීමේ බැඳුම්කරය තුළය. මේ අනුව පාරිසරික සාධක මඟින් පෙරී ආ රජරට ශිෂ්ටාචාරයට දාර්ශනික ආලෝකයක් වූයේ උක්ත චින්තන සම්ප්‍රදායන්ය.

ජල කළමනාකරණය

මෙසේ හෙයින් මැ පසක් වනුයේ එදා ජල කළමනාකරණය හා පාංශු සංරක්‍ෂණ පද්ධතීන් හුදෙක්ම මිනිසා පරිසරයටම ආවේණික මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ටත්වයට සාධකයක් බවයි. එහෙත් මෙනයින් මිනිසා පරිසරයට ගැත්තෙක් වීමක් හෝ පරිසරය මිනිසාට ගැත්තෙක් වීමක් හෝ සිදු නොවන අතර එමඟින් සිදුවන්නේ පරිසර අභියෝගයන්ට නොබා මුහුණ දිය හැකි සොබාදහම සමඟ ජීවත් වීමේ ප්‍රවිශ්ටයක් නිර්මාණය වීමකි. මෙසේ හෙයින් පුරාණ වාපි රටාව වූ කලී ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කොට මානව ශිෂ්ටාචාරයට පිළිගන්වනු ලැබූ දායාදයකි.

මෙම උත්තම දායාදය වූ රජරට ජලාශ්‍රිත ශිෂ්ටාචාරය මූර්තිමත් වන්නේ බොදු දහමින්ම හික්මවන ලද සොබාදහම සමඟ ජීවත්වීමේ, ආගම, කලාව හා විද්‍යාව මත ගොඩනැගුණු ස්වාධීන මඟක් ඔස්සේ ලාංකීය අනන්‍යතාවක් සහිතව බිහි වූ වැව පදනම් වීමෙනි. එනිසාම වැව වූ කලී අති පූජනීය සම්පතක් ලෙසින් අතීත රාජකීයයන් මෙන්ම වත්මන් ගැමි ගොවි ප්‍රජාව අදහනුයේ ඇරත් වැවයි, දාගැබයි ගමයි යන සංකල්පය නිරන්තරයෙන් ගැමි හෘදසාක්‍ෂ්‍ය වී ඇත. වැව වනාහි විටෙක මහා පුස්තකාලයකි. විටෙක විශ්වවිද්‍යාලයකි. තවත් විටෙක මිනිසා හැඩ ගස්වන පූජනීය ස්ථානයකි.

ඇරත් පරිභෝජන කටයුතු, කළමනාකරණය, බෙදාගැනීම්, සාමූහික වගකීම් ඇතුළු ප්‍රයෝජන රැසක කේන්ද්‍රස්ථානය වැව යැයි පැවසීම සාවද්‍ය නොවන්නේමය. ගැමියා වැව නිරතුරුව දේවත්වයෙලා සලකන බවත්, ඒ සඳහා මුල්කරගෙන පුද පූජා අඛණ්ඩව පවත්වන බවත් අමතක කළ නොහැක. ඒ සඳහා පැවැත්වෙන පුද පූජා අතර ප්‍රධාන වනුයේ මුට්ටි නැමීමේ දේව කාරියයි. මෙය දීර්ඝතමව විස්තර කළ යුතු හෙයින්ම එය මෙහිලා නොදැක්වේ. එනමුදු මුට්ටි මංගල්‍යයේ ඊටම ආවේණිකව කරන මුට්ටි මංගල්ල පූජා විධියේ ඡායාරූපයක් පමණක් මෙසේ දක්වනු රිසිමි.

 

කේ. බී. මානෑව

වස විස නැති ඉපැ‍රැණි ගොවිතැන

$
0
0
මැයි 13, 2021 01:00

 

6 වැනි කොටස

අදින් වසර දහස් ගණනකට පෙර හෙළයන් සතුව තිබුණා යැයි කියන විද්‍යාත්මක දැනුම ගැන හරි හැටි නොදන්නා අපි ඒ ගැන පුදුම වන්නෙමු. එහෙත් ලෝකයම පුදුම කරවිය හැකි ‘හෙළ රහස්’ කොතෙක්දැයි අපි නොදනිමු. මේ ලිපි මාලාව ඔස්සේ අපි ඒ හෙළදිව උරැමය සොයා යමු.

මේ ලිපි පෙළ ඉතිහාස ගවේෂක/පරිසරවේදී තිලක් කන්දෙගම මහතාගේ අදහස් අනුව සැකසෙයි.

 

 

මේ වන විට රටෙහි මහත් කතිකාවතක් නිර්මාණය වෙමින් පවතියි. ඒ, අපේ රට වස විස කෘෂිකර්මයෙන් ඉවත් විය යුතු බවය. ජනාධිපතිතුමා සහ පාර්ලිමේන්තුව මේ මොහොතේ එයට එකතු වී ඇත. මෙයට සහයෝගය දක්වන්නන් අතර බොහෝ අය පිළිතුරු සොයන්නේ කාබනික කෘෂිකර්මය හරහාය. බටහිරින් ශ්‍රී ලංකාවට ලැබුණු අදහසක් වූ, මෙරට පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ කාලයේ තිබූ තාක්ෂණය නැවත අධ්‍යයනය කළ යුතුව ඇත. එහි ප්‍රබලම මෙවලම ලෙස ඔවුන් භාවිත කළේ ඉර, හඳ, තාරකා හා ග්‍රහලෝකවල බලයය. මේ පිළිබඳව ඉතිහාසයේ තොරතුරු ගවේෂණය කළ මා, රාවණ යුගයේ කෘෂිකාර්මික විප්ලවයේ නියමුවා වන කුම්භකරණයන්ගේ යුගය දක්වා ගමන් කළෙමි. එහිදී මවිතයට පත්වූ කරුණු කිහිපයක් සනාථ කිරීමට සාක්ෂියක් ලෙස ජෝතිෂ්‍යයෙන් ගත් තොරතුරු කිහිපයක් සමඟ මේ ලිපිය ආරම්භ කරමි.

ජ්‍යොතිෂය

පෘථිවියට ආහාර සපයන්නේ හිරුය. ජලය සපයන්නේ සඳුය. පෘථිවියේ ජීවය පවතින්නේ මේ දෙපොළ නිසාය. මට මගේ මව සහ පියා මතක් විය. අනෙකුත් ග‍්‍රහයන්ගෙන් ලැබෙනුයේ වස සහ ඖෂධය. අපේ නිවෙස නමැති සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණයද මෙයය. මා පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ උපමාවට ගැනීම මගේ ගුරුවරයා විය. මං ජ්‍යොතිෂය හැදෑරුවේ මෙලෙසිනි. මා ඔබට විවෘත වන්නේද ඔබට මෙය ඉගෙනීමට පහසු කිරීමටය. මගේ රවි දෙවැන්නේ එනම් මකරයේ පිහිටා ඇත. රවි දෙවැන්නේ නම් කතා බහුල වෙයි. වස්තුව සහ මානය අඩු කරයි. මගේ කේන්දරයේ දෙවැන්න වූ මකරය රවිට සුදුසු නොවේ. ඔහු යෝගගතව සිටියහොත් එය අකා මකා යයි. රවි දෙවැන්නේ සිටිනුයේ බුදද සමඟය. එය බුද ආධිත්‍යය යෝගය වී ඇත. බුද ස්ථාන වශයෙන් දෙවැන්නට යහපත්ය. මගේ දෙවැන්න වූ මකරයට මිත්‍රය. බුද දෙවැන්නේ උපන් අය ධනවත්ය. ඔවුන් ඉංජිනේරුවන්ය. නීතිඥයන්ය. අතේ මුදල් තිබෙන කෙනෙකි. කතාවෙහි දක්ෂ වෙයි. මේ මමය. විටක මම ගෘහ නිර්මාණ ශිල්පියෙකි. විටෙක මා කථිකයකි. මට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ධනයද ලැබී ඇත. බුද සමඟ රවි මිත්‍ර වූ විට ඔහු ජෝතිර්වේදියෙකි. ගණිතයේ දක්ෂයකි. ඔහුට ගමන් බිමන් අධික වේ.

පසු කාලයේ ඔහු ප්‍රසිද්ධ කෙනෙකි. ප්‍රසිද්ධ වුවත් විටින් විට එ් හා සමානව නින්දා අපහාස ලැබිය හැකිය. එසේ වන්නේ විටින් විට බුධ සහ රවිගේ එකතු වීම සහ ඈත්වීම අනුවය. මට එසේ වන්නේ අඩුවෙනි. එසේ වන්නේ බුධ මිත්‍ර රාශියක මා ඉපදුණු මොහොතේ එනම් මකරයේ සිටි නිසාය. මෙතන සිට මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ රවි සහ සඳු කෙසේ නම් පෘථිවියේ ජීවය වූ ශාකවලට බලපාන්නේද යන්නය.

අස්වැන්න වැඩි කලාප

කුම්භකරණ නම් රවුලු රාවණයන්ගේ සොහොයුරා මේ පිළිබඳව අතිශය දක්ෂයෙකි. හිරු දිවයිනට එල්ල වීමේදී හිරු නැ‍ඟෙන දිශාව ඔහු කෘෂිකර්මයට යොදාගෙන ඇත්තේ මේ නිසාය. ත්‍රිකුණාමලය, අම්පාර, සියබලාණ්ඩුව, මොනරාගල, ඌව, වෙල්ලස්ස අදද අස්වැන්න වැඩි කලාපයන්ය. අක්කරයකට වී බුසල් 200 ඉක්මවා ලැබෙන ප්‍රදේශයන්ය. මෙම ප්‍රදේශයන්හි ජලයෙහිද අඩුවක් නොමැත. කුම්භකරණ කුඹුක්කන් ඔය ආශ්‍රිතව පදිංචිව සිට කෘෂිකර්මය මෙහෙය වූයේද කියා මා තුළ සැකයක් ඇති වී ඇත. පස්සර සිට ගමන් අරඹන කුඹුක්කන් ඔයේ ඇති ඔහුගේ පිළිරුව කවුරුන් විසින් නිර්මාණය කළේද? සොයා බැලිය යුතු කාලය පැමිණ ඇත. ඉතිහාස ගවේෂකයන්ට මෙම රාජකාරිය ඉටු කිරීමට කාලය පැමිණ ඇත. පුරාවිද්‍යාඥයන්ගේ සහාය පමණක් ඔවුන් ලබා ගන්නේ නම් අර්ථය විකෘති නොවී සත්‍යය මතුකර ගත හැකිය. පුරාවිද්‍යාඥයන්ගේ කාර්යය තුළ ඉතිහාසය ගවේෂණය කිරීමක් මා දැක නැත.

පෘථිවියේ ඇති සියලුම ශාක, ජීවීන්, හිරු සහ සඳු පාලනය කළත්, ඔවුන් පෘථිවියට ආහාර සහ ජලය ලබා දුන්නත් අනෙක් ශාකවලට ඔවුන් දී ඇත්තේ කුමක්ද යන්න වටහා ගැනීමට උත්සාහ ගත් විට මා මවිතයට පත් වූයේ එය කරන්නේ ඔවුන් නොවන බව වැටහුණු බැවිනි. පෘථිවියට අවශ්‍යය ඖෂධ ලබා දෙන්නේ අනෙකුත් ග්‍රහලෝක ය. හිරුගෙන් ශක්තිය ගන්නා එම ග්‍රහලෝක, සමහර ගස්වල ඖෂධ තැන්පත් කර ඇත. සමහර ගස්වල විෂ තැන්පත් කර ඇත.

දේශීය වෙදකම

මොරගහ අයිති අඟහරුටය. අඟහරුගේ මහ දශාව වසර 07කි. මොර ගසේ හොඳින් ගෙඩි හැදෙන්නේ වසර 07කට එක සැරයකි. මොරගහ පිළිබඳ ඔහුගේ අයිතිය ඔප්පු කිරීමට ඇති ප්‍රබල සාක්ෂිය මෙයය. මෙම සාක්කිය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ගම්මාලු ලෙසය. ගම්මාලු ලෙයට සෘජුවම බලපායි. අඟහරු ලෙයට අධිපති ග්‍රහයාය. අද ඉන්දියානු ශාකයක් ගම්මාලු ලෙස හඳුන්වාගෙන ප්‍රයෝජනයට ගන්නා මිනිසුන්ට ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන් සැබෑ ගම්මාලු වූ මොර ගහ එ් සඳහා යොදා ගන්නේ නම් සැබෑ ප්‍රතිඵලය ලැබෙන බව දේශීය වෙදකම හදාරමින් සිටින මට වැටහෙමින් ඇත. පෘථිවියේ ඇති ඖෂධ සහ වස ගැන හොදින් අධ්‍යයනය කොට එම ශාකය අයිති කුමන ග්‍රහයාටදැයි වටහාගෙන ජෝතිෂ්‍ය පිළිබඳව කිසිවකුත් මෙතෙක් නොකොට ඇති නිබන්ධනයක් කළ හැකි බවත්, එයින් ඔවුන්ට ආචාර්ය උපාධියක් ලබා ගත හැකි බවත් මම ප්‍රකාශ කරමි. ඔබ ගන්නා ආහාරවලින් ලබාගත යුත්තේ ස්වභාවික ශක්තිය වූ සූර්යයාගේ ශක්තිය ය. එම ශක්තිය බලවත් කර ගැනීම සඳහා ග්‍රහලෝක කිහිපයක් එකතු වී නැතහොත් යෝග වී හැදෙන සුසංයෝගවල බලය ඊට ඇතුළු කළ යුතුය. සියලු ශක්තීන් එකතු කොට චන්ද්‍රයා විසින් ලබා දෙන නැකතද ඊට ඇතුළු කළ යුතුය. එය ස්වභාවික කෘෂිකර්මයයි.

කෘෂිකර්මය

රටක යම්කිසි පාලකයකුට තමන්ගේ රටේ වැසියන් නීරෝගී, බුුද්ධිමත් මිනිසුන් බවට පත් කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ආහාර වෙනුවෙන් ඔවුන් කළ යුත්තේ විද්වතුන් ලවා මෙය හොඳින් වටහාගෙන නිවැරදි වගා කාලසටහනකට රටේ වගාව කරගෙන යාමය. එවිට වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක් රටෙහි ඇති කළ හැකිය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට මෙය කිරීමට අවශ්‍යව ඇත. මේ මොහොතේ කාබනික කෘෂිකර්මයෙහි අතරමං නොවී මේ සඳහා කැපවෙන කණ්ඩායම අධ්‍යයනය කළ යුත්තේ මෙම ක්‍රියාවයි. ඝර්ම කලාපයේ රටක් වූ

ශ්‍රී ලංකාවේ වගාවට යොදන කාබනික ද්‍රව්‍යවල ඇති නයිට්‍රජන් විශාල ප්‍රමාණයක් වාෂ්ප වී යයි. එම නිසා කොම්පෝස්ට් මත යැපෙන කෘෂිිකර්මාන්තයක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා අයට මම ආරාධනා කරන්නේ රට වෙනුවෙන් මෙම සාකච්ඡාවට අවතීර්ණ වීම අත්‍යවශ්‍යය බවය. නැතහොත් සිදුවන්නේ ජනාධිපතිතුමාගේ මෙම අදහස උපන්ගෙයිම මිය යෑමය. බටහිරින් ඉගෙන ගත් කාබනික කෘෂිකර්මය ජනාධිපතිතුමාගේ අදහස සාර්ථක වීමට උදව් වන්නේ නම් එය සියයට දශම ගණනකි. මෙය කුම්භකරණයන්ගේ කෘෂි කර්මය නොවේ. කුම්භකරණ ගොවිතැන් කළේ කන්න දෙකෙන් එක කන්නයකි. එය මහ කන්නය පමණි. එ් සඳහා ඔහුට ගත වූයේ මාස 6කි. ඉතිරි මාස 6 ඔහු නිදාගත්තේය. නිදාගැනීම යනු විවේක ගැනීමය. යල් කන්නයක් ගොවිතැන් කළේ නම් එ් හදිසි අවස්ථාවක පමණි. මේ මොහොතේ කුම්භකරණයන් අවදි කළ යුතුද නැද්ද අප වටහාගත යුතුව ඇත.

 භාතිය මදනායක

සුව දිවියෙන් සරු අස්වැන්නකට කාබනික පොහොර

$
0
0
මැයි 13, 2021 01:00

ඈත අතීතයේ සිට අපේ රට සහලින් ස්වයංපෝෂිත වූවා සේම ජාතියක් ලෙස නීරෝගි පරපුරකට උරුමකම් කියූ බව නොරහසකි. සොබාදහමේ ආශිර්වාදය නොඅඩුව හිමි වූ රටක් වශයෙන් විවිධ තාඩන පීඩන හමුවේ අකම්පිතව ඉදිරියට ආවේ නීරෝගිමත් ජවසම්පන්න ජාතියක් වශයෙනි. ලෝකය තුළ පවතින රටවල් අතර, වැවෙන රටවල් සහ ‍වවන රටවල් වශයෙන් දෙකොටසකට බෙදා දැක්වීමට පුළුවන. ඒ අනුව කොස් ගසක් පාමුල බැලුව හොත් විවිධ සතුන් කා දැමූ වරකා වැල ගෙඩිවල ඇති කොස් ඇට පැළ වී ඇත්තේ කිසිදු ආයාසයකින් හෝ කිසිවෙකුගේ සාත්තු කිරීමකින් තොරවයි. මේ අයුරින් බොහෝ ගස්වල ඇට වර්ග පැළ වී විශාල ගස් බවට පත් වූයේ මේ භූමියේ ඇති සාරවත් බව නිසාය. අනෙක ජීවවිද්‍යාත්මක බලන කල ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ඉතා සාර්ථක අයුරින් සිදු වන්නේ ජලය ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ඉතා ඉහළ අන්දමින් පවතින නිසාය. කුරුල්ලන් කා දමන පලතුරු වල වසුරු පිඩකින් පවා තුරුලතා උපදින්නේ මේ භූමිය සාරවත් පින්බිමක් බව පසක් කරමිනි.

අපේ රටේ ගෙවත්තක් හෝ වගාබිමක් දින 60ක් වැනි කෙටි කාලයක් තුළ කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් නොකොට සිටියත් මුළු වගා බිමත් නිවසත් යටකරගෙන ගස් වැල්වලින් වසා ගෙන කැලයක් බවට පත් වෙයි. මෙය 'වල් බිහි වීම'ලෙස අපි හඳුන්වමු. මෙම වල් බිහි වීම ද මේ පුණ්‍ය භූමියේ ඇති තවත් ගුණාංගයකි. ඉතා ශුෂ්ක පරිසර කලාපයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කය ද මෙම ගුණයෙන් පිරිපුන් වෙයි. 'බැද්දේගම'නවකථාවේ අවසාන පරිච්ඡේදයේ 'පුංචි මැණිකාගේ පැල් කොටය කැලේ විසින් වසා ගන්නා ලදී'යනුවෙන් දක්වා ඇත්තේ මේ වල් බිහි වීමේ ගුණාංගයයි. මෙම වල් බිහි වීමට අදාළ වන ශ්‍රී ලාංකීය භූමිය සුවිශේෂී ව්‍යුහාත්මක කරුණු අටකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව පැය 12ක දහවල් කාලයක් සහ පැය 12ක රාත්‍රී කාලයක් ඇති රටක් වීම, ජෛව ජීර්ණ ක්‍රියාවලියට වඩාත් ප්‍රශස්ත පාරිසරික උෂ්ණත්වයක් පැවතීම, වායුගෝලයේ ආර්ද්‍රතාවය මෙම ජීරණ ක්‍රියාවලියට මහඟු පිටිවහලක් වීම, ක්ෂුද්‍ර ජීවී ලෝකය, ශාක ලෝකය සහ සත්ත්ව ලෝකය තුළ අපේ රටේදී පුදුම එලවන සුලු ජෛව විවිධත්වයක් පැවතීම, මධ්‍ය කඳුකරයක් සහ ගංගා 108ක් සහිත අරීය ජල වහන පද්ධතියක් සහ අතු ගංගා 53ක් සහිත විස්මිත හෘදය සහ රුධිර වාහිනී පද්ධතියක් ලෙස පිහිටීම, නිරිත දිග මෝසම් වැසි සහ ඊසාන දිග මෝසම් වැසිවලින් ක්‍රමානුකූලව දෙකන්නයට වර්ෂාව ඇදහැළීම, අන්තර් මෝසම් වැසිවලින් ජෛව ජනක ක්‍රියාවලිය ප්‍රබෝධවත් වීම සහ කන්න දෙක නයිට්‍රිකරණය කරලීම, සූර්ය වර්ණාවලියේ විමෝචන වර්ණයන් මාසයෙන් මාසයට විවිධත්වයෙන් සැපයීම, ඉතාම තිරසාරවත්ව මිනිස් ක්‍රියාකාරකම් මඟින් ගොඩනැඟුණු වැව් පද්ධතියක්, ජල පෝෂක ප්‍රදේශ වැව් තාවුල්ල සහ එල්ලන්ගා පද්ධතියක් ක්‍රියාත්මක වීම, සෑම ශාකයකම පවතින පාරිසරික ගුණාත්මකභාවය, පෝෂණ ගුණාත්මකභාවය හා ඖෂධීය ගුණාත්මකභාවය පිළිබඳව තුලනාත්මක අදහස් සෑම ගොවියෙකුටමත්, කෘෂි පාරිභෝගිකයෙකුටමත් පාරම්පරික ඥානයක් පැවතීම, ලොව පවතින උෂ්ණාධික මෙන්ම ශීතාධික රටවල් බොහෝමයක් මෙම වල් බිහි වීමේ ගුණයෙන් තොරය. එබැවින් ඉහත අවශ්‍යතා කෘත්‍රිමව සපයාගෙන වගා කළ යුතුය. එම රටවල් වවන රටවල් ලෙස හඳුන්වනු ලැබේ.

අපේ කෘෂි ආර්ථික ක්‍රමයේ දියුණු වාරි ශිෂ්ටාචාරය සමඟ දිනෙන් දින ස්වයංපෝෂිත රටක් බවට පත් කළේය. බුදුදහමින් පෝෂණය වූ ජනයා සොබාදහමට මුල්තැන දෙමින් ක්‍රියාත්මක විය.

අපේ රටේ ජීවත් වූ පෙර රජ දරුවන්ගේ යුගයේ සිට කාබනික පොහොර භාවිතා කළේය. කුඹුරු අසල මීගස් වැවීම ආරම්භ වූයේ එහි ඇති ජීව විද්‍යාත්මක වටිනාකම මැනවින් හඳුනාගත් නිසාය. ඒ අනුව මී ගසේ මී මල්වලට බඹරු මී මැස්සෝ ශාක පරාගනය කිරීමට පැමිණෙති. ඔවුන් ආහාරයට ගැනීමට කුරුල්ලන් ඇතුළු සත්ත්ව විශේෂ පැමිණෙන අතර, ඒ මඟින් ගොවිතැනේ කෘමි උවදුර අවසන් වීමත් මීගසේ ගෙඩි හට ගැනීමත් ක්‍රමානුකූලව සිදු විය. රාත්‍රී කාලයේ මී ගෙඩි කෑමට ලොල් වූ වවුලන්ගෙන් මීගස් පිරී ඉතිරී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස වවුලන්ගේ වසුරු කුඹුරට ලැබුණු දිව ඔසුවකි. එමනිසා සරු අස්වැන්නක් නිරන්තරයෙන්ම අපේ ඉපැරණි ගොවීහු ලැබූහ. මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත අයුරින් වෙනස් කළේ බ්‍රිතාන්‍ය පාලකයන් බව ද සිහිපත් කළ යුතුව ඇත. කෝල්බෲක් යෝජනා මඟින් මීගස් කැපීම ආරම්භ කළේය. එය අපේ සහල් සභ්‍යත්වයට සිදු කළ දරුණුතම ඛේදවාචකය බව අමතක නොකළ යුතුය. වතු වගාව ආරම්භ කළ බ්‍රිතාන්‍ය පාලකයන් මධ්‍ය කඳුකරයේ උස් කඳු බෑවුම් තැනිතලා සියල්ල සුද්ධ කරමින් කෝපි වගාවත් පසුව තේ වගාවත් ආරම්භ කළේය. සාරවත් පස සෝදාපාළුවට ලක් විය. මහවැලි, කැලණි, කළු, වලවේ ආදී ගංගා වැසි දිනවලට බොර පැහැය ගත්තේ පසේ ඇති පෝෂ්‍ය පදාර්ථවලිනි. තේ වගාව ආරම්භයේදී කාබනික පොහොර හරහා අස්වැන්න සරු විය. ගිනිසීරියා යනුවෙන් හඳුන්වන ශාකය සහ එහි පත්‍ර පවා තේ ගසට පොහොර බව අදටත් වතු කම්කරුවෝ පවසති. එහෙත් අපේ මධ්‍ය කඳුකරයේ සාරවත් පස සෝදායෑම තුළින් සිදු වන ඛේදවාචකය එදා දුටු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ‍දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතා සිය 'ඉදිරිමග'යන කෘතියෙන් නිදසුන් සහිතව ඒ බව මනාව පැහැදිලි කොට ඇත. වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මග කෘතිය ඇසුරෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සිය දේශපාලනයේ පන්ති පහට 'සෝදාපාළුව'ගැන ඉතා ළගන්නා සුළු දේශපාලන දැක්මක් ඉදිරිපත් කළ බව ද සිහිපත් කළ යුතුව ඇත. ඇස්.ඒ. වික්‍රමසිංහයන් කඳු නාය යෑමේ අවදානම ද එහි සඳහන් කිරීමට අමතක නොකළේය. ඒ බව වසර කීපයකට පෙර සාමසර කන්ද ආදී වතු ආශ්‍රිත ප්‍රදේශ නායයෑමෙන් මනාව පැහැදිලි විය. පසු කාලීනව රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය තේ වගාවට යොදාගැනීම නිසා ගංගා සියල්ලම වස විසෙන් පිරුණු බව ද සිහිපත් වේ. රසායනික පොහොර භාවිතයට ගොවි ජනතාව වැඩිපුරම හුරුවූයේ 1977න් පසුව ඇති වූ වෙනස්වීම් සමඟය. පොහොර සංස්ථාව විධිමත්කොට සපුගස්කන්ද ආසන්නයේ බටලන්ද ප්‍රදේශයේ පොහොර සංස්ථා නිවාස සංකීර්ණයක් ද ඇති කළේය. එය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී බව මතකයේ ඇත. එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ යුගයේ බටලන්ද පොහොර සංස්ථා ගොඩනැඟිල්ලෙහි 1988/1989 වධකාගාරයක් තිබූ බව ද බොහෝදෙනා දනිති. නීතිඥවරයෙකු වු විජේදාස ලියනාරච්චි මහතා එසේ දස වද දී බටලන්ද වධකාගාරයෙන් ජීවිතයට සමුදුන් නීතීඥවරයෙකි.

මහ පොළොව සමඟ පොර බදා සිය අස්වැන්න වැඩි කර ගැනීමට සෑම ගොවියෙකු තුළම ඇත්තේ බලවත් ආශාවකි. ඒ සඳහා මිතුරු වෙසින් පැමිණි මාරයාගේ ගොදුරක් බවට පත් වූයේ ද අසරණ ගොවි මහතාමය. ඒ අනුව ආසනික්, ග්ලයිපොසේට්, පැරකොට් ආදී රසායනික ද්‍රව්‍ය මුළු මහත් සත්ත්ව සංහතියටම වින කළේ මිතුරු වෙසින් පැමිණි සතුරෙකු ලෙසිනි. අනුරාධපුර, පොලොන්නරුව, පදවිය හා කුරුණෑගල දක්වා ගොවි පවුල් සිය ගණනින් වකුගඩු රෝගීන් බවට පත් කළේ රසායනික පොහොර සහ කෘමිනාශක මාරයා බව අමතක නොකළ යුතුය. වාර්ෂිකව මෙට්‍රික්ටොන් අටලක්ෂයත් දොළොස්ලක්ෂයත් අතර තෙල් පොහොර ගෙන්වීමෙන් පොළොවට එක්වන ආසනික් ප්‍රමාණය කිලෝ තිස්දාහකි.

උග්‍ර විෂ සහිත තෙල් පොහොර භාවිතයෙන් මාසයකට අද වන විට වකුගඩු රෝගීන් 100ක් අලුතින් හඳුනා ගැනෙති. තව ද අන්ධ දරුවන් 30ක් උපදින බවත් අනාවරණය වේ. මෙහි ඇති වඩාත්ම ඛේදනීය සිදුවීම වන්නේ සෑම සතියකම පාහේ වයස මාසයට අඩු බිලිඳුන් 30කගේ පමණ ඇස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමයි. අපේ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන සැබෑ නායකයෙකුට මේ ව්‍යසනය දෙස ඇස් කන් පියාගෙන බලා සිටිය නොහැක. ඒ අනුව සැබෑ මානවහිතවාදී නායකයෙකු වශයෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් සෘජු තීන්දුව ජනතාවාදී තීන්දුවකි. උතුරේ මානුෂික මෙහෙයුම ආරම්භ කරද්දී කොටි හිතවාදී එන්ජීඕ සංවිධානවලින් යැපෙන්නන් පැවසුවේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම වන එල්ටීටීඊ සංවිධානය සමඟ සටන් කිරීම ශ්‍රී ලංකා රජයට අවාසිසහගත වන බවයි. එහෙත් ඉදිරියට තැබූ පය ආපස්සට නොගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ තීරණාත්මක මොහොතේ ගත් සෘජු තීරණය ජයග්‍රහණය කළ බව සිහිපත් වේ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීරණය ගැනීම දක්ෂ පාලකයෙකු සතු උතුම් ගුණාංගයකි.

දියුණු ලෝකයේ කාබනික පොහොර භාවිතය පෙරට පැමිණ ඇත. අපේ ර‍ටේ කාබනික පොහොර භාවිතා කොට සරු අස්වැන්නක් ගත් ගොවීහු අදහස් දක්වති. එහෙත් බහුජාතික පොහොර, තෙල් සමාගම්කරුවන් පරාජයෙන් වියරු වැටී සිදු කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාවලට බුද්ධිමත් ගොවි ජනතාව මුළා කිරීමට නොහැක. තෙල් පොහොර බීජ දක්වා ගොවි ජනතාවගේ ගෙල සිරකර ගෙන සිටින මාෆියාවෙන් ගොවියා ගලවා ගැනීමට හැක්කේ කාබනික පොහොර භාවිතයේ ඇති විද්‍යාත්මක ක්‍රමවේදයන් ප්‍රායෝගිකව දැනුම්වත් කිරීම තුළිනි. දෙමුහුන් පැළවලට කාබනික පොහොර නොගැළපෙන බව පවසමින් ගෙන යන බොරුව පරාජය කළ යුතුයි. දශක ගණනාවක සිට කාබනික පොහොරවල ඇති අදට ගැළපෙන විද්‍යාත්මක තත්ත්වය පිළිබඳ මනාව පර්යේෂණ සිදු කළ කණ්ඩායමක් ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන නිරන්තරයෙන්ම අවදියෙන් සිටිති. කාබනික පොහොර අපේ රටේ නිෂ්පාදනය කළ හැකි බවත් ඔවුන් එකහෙළා පවසති. අපේ රටේ දේශීය පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අපේ රටේම ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම පිරි මානව සම්පතක් ද ගොඩනැඟී ඇත. දේශපාලන දෘෂ්ටි කෝණයෙන් නොව මානව හිතවාදීත්වයෙන් අපේ රටේ වකුගඩු රෝගය ගැන මෙන්ම අපේ රටේ ඇති පිළිකා රෝගය ගැන සිතන්න. පටු අදහස්වලින් මිදී නීරෝගිමත් ගොවි ජනතාවක් මෙන්ම නීරෝගිමත් ජාතියක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයෙන් සරු අස්වැන්නක් හෙට දිනයේ ලබා ගැනීමට හැකිය.

මහින්ද ආරියවංශ 

ජනතාවගේ උපරිම කැපවීම නැතිව කොවිඩ් මඩින්න බෑ

$
0
0
මැයි 13, 2021 01:00
උදිත ගුණවර්ධන
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

වර්තමාන වසංගත තත්ත්වය, එය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ජනතාව වෙත ඇති වගකීම කුමක්ද, යහපත් සුව පුරුදුවලින් වසංගතය පාලනය කළ හැක්කේ කෙසේද යන්න ගැන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි.

- සෞඛ්‍ය සේවයේ කැපවීම අනර්ඝයි
- හැමදේම දේශපාලන අධිකාරියට කරන්න බෑ
- නිතරම සමාජ වගකීම ගැන හිතන්න 
- හොඳම විසඳුම එන්නත

• කොවිඩ් 19 පළමු සහ දෙවැනි රැලි පාලනය කිරීමට සමත් වුවත් වේගයෙන් පැතිර යන කොවිඩ් නව වයිරස් ප්‍රභේදයක් නිසා යළිත් ජන ජීවිතයට බලපෑම් එල්ල වෙනවා. මෙයට වගකිව යුත්තේ කවු ද?

දැන් අප වගකිව යුත්තන් සොයමින් කාලය නාස්ති කළ යුතු නෑ. වසංගතය පාලනය කිරීමට වැඩ කළ යුතුයි. ඉදිරිය ටිකක් තීරණාත්මකයි. ඒ නිසා හැකි තරම් සංචරණය අඩු කළ යුතුයි. අත්‍යවශ්‍ය කටයුතුවලට, රැකියාවලට යනවා නම් මුව ආවරණ පැලඳ යා යුතුයි. විෂබීජහරණය කිරීම කළ යුතුයි. මිනිස්සු නිවැරැදි විදිහට වැඩ කළොත් අපට වසංගතය පාලනය කළ හැකියි. කඩේකට ගියත් සෙනඟ අඩු තැනකට, නැතිනම් ළඟ කඩේට යන්න. දැන් අප රටක් විදිහට එකතු වෙලා වසංගතය පාලනය කරනවා මිස එහෙට මෙහෙට වගකීම් පවරමින් සිටිය යුතු නෑ. අපට ජනතාව විදිහට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි හරියට කරමු. රජය මේ මොහොතේ ගන්න පුළුවන් විද්‍යත්මක ක්‍රමවේදය වන එන්නත්කරණයට යොමු වෙලා ඉන්නේ. වසංගතය පාලනය කළ හැකි හොඳම ක්‍රමය තමයි එන්නත්කරණය. එතෙක් අප පරිස්සමට යහපත් සුව පුරුදු අනුව ජීවත් වෙන්න ඕනෑ.

• වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල වසංගතය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන ඔබේ අදහස කුමක් ද?

මමත් වෛද්‍යවරියක ලෙස දිගු කලක් සේවය කර තිබෙනවා. ඒ නිසා මේ අංශය ගැන මට ලොකු අවබෝධයක් තියෙනවා. කොවිඩ් පළමු රැල්ල සාර්ථක ලෙස මෙල්ල කිරීමට අපට පුළුවන් වුණා. දෙවැනි රැල්ල පාලනය කර මාසයක් ගියේ නැහැ ආයෙත් ආක්‍රමණශීලී වයිරසයක් පැතිරෙනවා. ඇත්තෙන්ම අපේ සුව අංශ දැඩි වෙහෙසකින් ඉන්නෙ. එහෙත් මේ මොහොතේ උපරිමයෙන් මේ අය යුතුකම් ඉටු කරනවා. වෙනත් රෝගයකට බෙහෙත් කරනවා වගේ නොවෙයි තමනුත් බේරෙමින් කටයුතු කරන්න ඕනෑ. එය ඉතාමත් දුෂ්කර දෙයක්. සමස්ත රෝහල් පද්ධතියම අගය කළ යුතු මහා සේවයක් ඉෂ්ට කරනවා. රෝහල් පිරී යෑම ගැන කතා කරනවට වඩා, අඩුපාඩු ගැන විවේචන කරනවාට වඩා තමන්ට පුළුවන් විදිහට තමන්ගේ වගකීම් ඉටු කරන්න ඕනෑ. සුව සේවා පමණක් නොවෙයි ආරක්ෂක අංශ ඇතුළු සමස්ත පද්ධතියම උපරිමයෙන් වැඩ කරනවා. ඒ නිසා අදත් අපට තියෙන්නෙ එදා යුද්ධය ජය ගන්න ජාතියම එකතු වුණා වගේ සැවොම එකතු වෙන්නයි. අප ස්වයං පාලනයක් ඇතිව වැඩ කළ යුතුමයි. නීතියට බය වෙන්න ඕනෑ, ඒත් ස්වයං පාලනයකින් හොඳ පුරුදු එක්ක ජීවත් වෙනවා නම් ගැටලුවක් නැහැ.

• ඒත් ජනතාව තමන්ගේ වගකීම් හරි විදිහට ඉටු නොකළ බවට අදහසක් මතු වෙනවා?

උත්සව සමය නිරෝධායන නීති අනුව හරියට ගත කළා නම් අද මේ තත්ත්වය ඇති නොවන්න ඉඩ තිබුණා. ඒත් මිනිස්සු රෙදි කඩවලට, අවුරුදු උත්සවවලට ගියේ කිසිම නීතියක් ගැන නොතකමින්. ඒ ඇසුරෙන් තමයි අලුත් පොකුරු ව්‍යාප්ත වුණේ. නැතිනම් වසංගතය දිනකට රෝගීන් එකසිය පනහ දක්වා පාලනය වෙලා තිබුණෙ. ආණ්ඩුවට විතරක් විනය හදන්න බෑ. ජනතාවගේ සහයෝගය තියෙන්නම ඕනෑ. ඒත් කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ ජනතාව තමන්ගෙන් වෙන්න ඕනෑ දේ මඟහැරියා. මම හැමෝටම චෝදනා කරනවා නොවෙයි. එක් කණ්ඩායමක නොහික්මිණු වැඩ නිසා මුළු රටටම ඒක බලපෑවා. රෝහල් ඉඩ ප්‍රමාණ, අයිසීයූ පහසුකම් නොවෙයි දැන් අප හොයන්න ඕනෑ. රෝගය බෝ නොවන විදිහට ආරක්ෂිතව ජීවත්වෙන්නෙ කොහොමද කියලයි දැන් අප හොයන්න ඕනෑ. මහජනතාව විවිධ ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වැළකුණොත් රෝගය ගෙදරට ගෙන නොයෑමට හැකියාව ලැබේවි. ඒ ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕනෑ. ඒ නිසා ඔබටත් මටත් ලොකු සදාචාරාත්මක වගකීමක් තියෙනවා රෝගය වැළැක්වීමට.

• රෝගය වේගයෙන් ව්‍යාප්ත වන එක වළක්වන්න ආණ්ඩුව පැත්තෙන් කුමන ආකාරයේ පියවර ද අරන් තියෙන්නෙ?

මම කලිනුත් කීවා වගේ හැමදේටම ජනතා සහාය සහ සහාභාගිත්වය ඕනෑ. රෝගීන් ප්‍රමාණය අඩු වෙයි, පරීක්ෂණ ප්‍රමාණයේ ගණන්, මිමි ඉහළ පහළ යයි. ඒත් අවදානම එහෙමම තියෙනවා. අපි රජයක් විදිහට උපරිමයෙන් වැඩ කරනවා. සමහරු අපව විවේචන කරනවා විය හැකියි. එහෙම විවේචන කරන්නෙ හැම දේකම අසුබ පැත්තම දකින අය. ඒත් රජය දැඩි වෙහෙසක් ගන්නෙ වසංගතය පාලනය කරන්නයි.

සියල්ලන්ගේ මූලික වගකීම වන්නේ වසංගතය බෝවීම වළක්වා ගැනීමයි. ඒ සඳහා අප දේශපාලනයෙන් තොරව එකතු වෙන්න ඕනෑ. මොකද කොවිඩ් වයිරසය බලන්නෙ නෑ පුද්ගලයාගේ දේශපාලනය මොකක්ද කියල.

• මේ වසංගත රැල්ල මෙල්ල කිරීමට ඔබ යෝජනා කරන්නේ මොන විදිහෙ ක්‍රියාමාර්ග ද?

මෙවර තත්ත්වය වෙනස්. එදාට වඩා ගොඩක් භයානකයි. ඒ නිසා ලොකු අවධානයකින් ඉන්න ඕනෑ. ගිය වරට වඩා මෙවර වයිරසයේ සංකූලතා වැඩියි. තරුණ පෙළටත් හැදෙනවා, ඔවුන්ටත් අසාධ්‍ය වෙනවා. ඒ නිසා අප ලොකු අනතුරක් එක්ක කටයුතු කරන්නෙ. මිය යා හැකි ප්‍රතිශතය ඉහළයි. එදාට වඩා පොකුරු පිටින් බෝවෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නෙ. කැස්ස, උණ හෝ හෙම්බිරිස්සව තිබුණොත් වෛද්‍ය අධීක්ෂණයට යොමු වීම තමයි කළ යුත්තේ. එහෙම නැතිව ගෙදරට වී සිටීමෙන් ඔබට, ඔබේ ගෙදර අයට, අසල්වැසියන්ට වෙන්නෙ අගතියක්. එහෙම වගකීමකින් කටයුතු කළොත් ඔබත් රටත් ඉක්මනින් නීරෝගි වේවි. 

• ඔබ මුලින් සඳහන් කළා එන්නත්කරණය තමා රෝගයට විද්‍යාත්මක විසඳුම කියල. දැන් එන්නත්කරණයේ තත්ත්වය කොහොම ද?

අප මුලින්ම නව ලක්ෂයකට ඉන්දියානු එන්නත ලබා දුන්නා. එහි මුල් මාත්‍රාව දුන් පසු ඉන්දියාවේ වසංගතය උග්‍ර වුණා. ඒ නිසා අපට දෙවැනි මාත්‍රාව ගැන ගැටලුවක් ඇති වුණා. එහෙත් ඉන්දීය එන්නතේ දෙවැනි මාත්‍රාව දීමටත් දැන් කටයුතු ආරම්භ කර තියෙන්නෙ. අඩුපාඩු මාත්‍රා ප්‍රමාණය සොයා ගැනීමටත් දැන් වැඩ සැලසුම් කරල තියෙන්නෙ. මේ ලබා දුන් ඉන්දීය එන්නතේ ප්‍රතිචාරය හොඳයි. ඒ වගේම රුසියානු එන්නත් මුල් තොගය අපට ලැබිල තියෙනව. ඒවා ලබා දීමටත් පටන් අරන් තියෙන්නෙ. ඒ සමඟ චීන එන්නතටත් අනුමැතිය ලැබිලා තියෙන්නෙ. ඒ නිසා අපේ අරමුණ වෙලා තියෙන්නෙ එන්නත්කරණය හැකි උපරිම ආකාරයට කිරීමයි. එන්නත්කරණය නිසා රෝගයට ගොදුරු වීම සහ රෝග සම්ප්‍රේෂණය පාලනය වෙනවා. මුදල් තිබුණත් අපට ඕනෑ වෙලාවට අපට ඕනෑ විදිහට මිලට ගන්න බෑ. මේක ගෝලීය වසංගතයක් නිසා එය පාලනය කිරීමට යම් කාලයක් යයි. ඒ නිසා තමයි ස්වයං ආරක්ෂාව වැදගත් වෙන්නෙ.

• පළාත් වසා දැමීම් ගැන කතා බහ කරද්දි විවිධ බලපෑම් ගැන අදහස් පළ වෙනවා?

යම් යම් අය ගොසිප් විදිහට එක් එක් දේවල් කියන්න පුළුවන්. ඒත් මේ සියලු කාරණා සිද්ධ වෙන්නෙ වෛද්‍ය නිර්දේශ අනුවයි. වසංගත රෝග පාලන කිරීම ගැන වෘත්තීයමය දැනුවත්භාවයක් ඇති අය තමයි වෛද්‍ය තීන්දු ගන්නෙ. දේශපාලන අධිකාරිය කරන්නෙ මේ දේවල් ක්‍රියාත්මක කිරීමට උදව් කිරීම පමණයි.

• ඔබ කියන්නේ ලෝකයේ ඇතැම් තැන්වල ක්‍රියාත්මක තීන්දු අපේ රටට ගැලපෙන්නේ නැති බව ද?

අපට ආවේණික ක්‍රමවේද ඔස්සේ සැම පැත්තක් ගැනම සලකා බලා තමයි ආණ්ඩුව තීන්දු ගන්නෙ. ඒක තමයි නිවැරැදි ක්‍රමය වෙන්නෙ.

හරිත සමාජ කාර්ය සාධක බළකාය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

$
0
0
මැයි 13, 2021 01:00

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනු ලැබීය. එහි ප්‍රධානියා ලෙස ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.

පරිසරය සුරැකීම පිළිබඳවත් හරිත සමාජ ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳවත් මීට පෙර කොතෙකුත් සාකච්ඡා ඇති ව තිබේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විවිධ අණ පනත් පනවා ඇති අතර රාජ්‍ය ආයතන ද ස්ථාපනය කර ඇත. ඒ අතර ම ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන ද දේශීය රාජ්‍ය නොවන සංවිධාන ද විවිධ ස්වේච්ඡා සංවිධාන ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. එසේ වුව ද ශ්‍රී ලංකාව තුළ හරිත සමාජ ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක සැලැස්මක් නිශ්චිත ඉලක්ක සහිතව ක්‍රියාවට නැංවීමට මේ දක්වාම ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබී නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවන් කාර්ය සාධක බළකායක් පිහිටුවීමට පෙර මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තමන් කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, කැබිනට් මණ්ඩලය එය ඒකමතිකව අනුමත කළේය. එම යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රසායනික පොහොර භාවිතය නිසා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් ඒ නිසා ගොවීන් ලාභ ලබන බවත්ය. එහෙත් වැව්, ගංගා, ඇළ දොළ සහ භූගත ජලය දූෂණය වීම හේතුවෙන් රටට සිදුවන විනාශය එම ලාභයට වඩා වැඩි බව පෙන්වා දුන්නේය. රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රට තුළ ව්‍යාප්ත වී ඇති බව ද ඒ හේතුවෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය රසායනික පොහොර යෙදීමෙන් ලැබෙන ලාභයට වඩා ඉහළ බව ද ප්‍රකාශ කළේය .

මෙම තීන්දුව පිළිබඳව සැබෑ පරිසර හිතකාමින් සහ විද්වතුන් තම සතුට පළ කර ඇති ආකාරය ජනමාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි විය.කෙසේ වුව ද ඇතැම් පිරිස් මේ තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය බිඳවැටී අනතුරකට පත් වනු ඇතැයි අනාවැකි පළ කරන්නට පටන් ගත්හ. රජය ක්ෂණිකව මෙවැනි තීරණයක් ගැනීම හේතුවෙන් ගොවීන් අපහසුතාවට පත්වන බව ද ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රමාණවත් තරම් කාබනික පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවෙළකින් තොරව මෙවැනි තීරණයක් ගැනීම විශාල අර්බුදයකට හේතු වන බව ද ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත. එවැනි ප්‍රකාශ නිසා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමේ යෝජනාව කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳවත් එවැනි යෝජනාවක් සැබැවින් ම රටට හිතකර ද යන්න පිළිබඳවත් මහජනතාව තුළ මෙන්ම ගොවි ජනතාව තුළ සැකයක් ඇතිව තිබේ. එහෙත් හරිත සමාජයක් ඇති කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම තුළින් පැහැදිලි වන්නේ එම තීන්දුව කඩිමුඩියේ, කරුණු සොයා බැලීමකින් තොරව ගත් තීන්දුවක් නොවන බවයි.

රසායන පොහොර කෘමිනාශක සහ වල්නාශක භාවිතය නැවැත්වීමට රජය තීරණය කර ඒ සමගම ඒවා රටට ගෙන්වීම ද තහනම් කරනු ලැබීය. එකවරම ඒවා තහනම් කිරීම නිසා කෘෂිකාර්මික කටයුතු අඩාළ වනු ඇති බවට අදහසක් ප්‍රචාරය විය. එහෙත් රජය විසින් මේ වන විට මෙම කාර්තුව සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය ආනයනය කර ඇත. මෙම කන්නයේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 385,000 වුවත් ඊට වැඩි පොහොර ප්‍රමාණයක් ආනයනය කර තිබේ. රජය පොහොර ආනයනය නැවැත්වූයේ කඩිමුඩියෙන් නොව මෙම කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පොහොර ආනයනය කිරීමෙන් පසුවය. එසේ නොවන්නට ආනයනකරුවන් විසින් තවත් වසර ගණනාවකට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට ඉඩ තිබුණි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද හරිත සමාජ කාර්‍ය සාධක බළකායේ ප්‍රධාන වගකීමක් වන්නේ කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර කෘමිනාශක සහ වල්නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිත කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වාභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීමයි. ඊට අමතරව පරිසරය සුරැකීමට අදාළ කරගන්නා කරුණු 24ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ද මෙම බළකායට පවරා තිබේ.

මෙම කාර්ය සාධක බළකායේ ප්‍රධානියා වශයෙන් පත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලය තුළ දී දේශපාලන ක්ෂේත්‍රයේ දී ද ආර්ථික කළමනාකරණයේ දී ද ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ක්‍රියාත්මක භාවයෙන් ඔප්පු කර ඇති නායකයෙකි. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය, අවතැන් ජනතාව පදිංචි කිරීම ආදිය සම්බන්ධයෙන් මෙන්ම රටේ පශ්චාත් යුද ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ද විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීම සහ ජයග්‍රහණය කරවීම යන අභියෝගයන් ද ජය ගැනීමෙන් පසු කොවිඩ් අර්බුදය හමුවේ මහජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීම තුළ රට අර්බුදයකට යාම වළක්වා ගැනීමෙන් පසු ‘වැඩ සමඟ යළි ගමට‘ වැඩසටහන යටතේ කොරෝනා අර්බුදය පවතිද්දී ම රට තුළ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. එවැනි අත්දැකීම් සහිත නායකයෙකු වන බැසිල් රාජපක්ෂ මහතාට මෙවර පැවරී ඇති වගකීම් විශාල අභියෝගයක් සහිත එකකි.

මෙරට රසායනික පොහොර භාවිතය පුළුල් ලෙස ව්‍යාප්ත වූයේ ඉංග්‍රීසීන් විසින් 1830 දශකයේ වැවිලි කර්මාන්තය ආරම්භ කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකාව තුළ පොහොර භාවිතය වසර දෙසීයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වී තිබේ. අද වන විට කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක බහුල ලෙස භාවිත කරන තත්ත්වයක් රට තුළ ඇතිව තිබේ. 2019 වසරේ දී රටේ මරණවලින් සියයට 29.1ක් දියවැඩියාව නිසාත් සියයට 21.3ක් වගුකඩු ආබාධ නිසාත් සියයට 15.6ක් හෘදයාබාධ නිසාත් සිදුව තිබේ.වැරදි ආහාර පිළිවෙත් වස විස සහිත ආහාර මෙන්ම දූෂණය වූ ජල භාවිතය ආදිය මෙයට හේතු වී තිබේ. එවැනි තත්ත්වයෙන් අත්මිදී සෞඛ්‍යසම්පන්න දිවිපෙ‍ෙවතක් මහජනතාවට උදාකර දීම සඳහා පොහොර සහ කෘමිනාශක ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුව ඇත. 

විෂකාරකවලින් තොර ආහාර වේලක් ද ජලය ද මහජනතාවගේ මූලික අයිතියකි. ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර සහ කෘමිනාශක තහනම් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ම කලබල වූ ඇතැම් පිරිස් සහ දේශපාලන පක්ෂ එම තහනම නිසා කෘෂිකාර්මික අංශය කඩා වැටෙන බව ප්‍රකාශ කරති. එහෙත් ඔවුන් ප්‍රකාශ නොකරන එක දෙයක් තිබේ. එනම් රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිත නොකර නිෂ්පාදනය කරන ලද එළවළු වර්ග සහ සහල් වර්ග අද වන විට රටේ සෑම සුපර් මාර්කට් එකකම වැඩි මිලට අලෙවි කිරීමට ඇති බවයි. මුදල් ඇති අයට ශ්‍රී ලංකාව තුළදී ම පොහොර සහ කෘමිනාශක යොදා නොගත් එළවළු සහ සහල් මිල දී ගැනීමට හැකි නම් පොහොර සහ කෘමිනාශක තහනම තුළ සහන ලැබෙන්නේ මේ රටේ එවැනි වියදමක් දැරීමට නොහැකි පිරිස් වලටය.

හරිත සමාජ කාර්ය සාධක බළකාය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශකවලින් තොර වෙනත් වචනවලින් කියන්නේ නම් වස විසෙන් තොර ආහාර වේලක් යන්න සිහිනයක් නොවන බවත් එය ප්‍රායෝගිකත්වයට පත්වෙන දෙයක් බවත් මහජනතාවගේ විශ්වාසය වී ඇත. අද ජීවත්වන පිරිසගේත් අනාගත පරම්පරාවේත් ආරක්ෂාව තහවුරු කෙරෙන හරිත සමාජයකින් රටේ ආර්ථික සහ සමාජ රටාව මුළුමනින් ම පරිවර්තනයකට බඳුන් වනු ඇත.


දවසේ ලග්න පලාපල

$
0
0
මැයි 13, 2021 01:00

මේෂ ලග්නය - හදිසි ධන ලාභ

මේෂ ලග්නය අනුව අද ඔබට හදිසි ධන සම්පත් උදාවන ලකුණු පෙනේ. රැකියා ස්ථානගත අවුල් වියවුල් පෙන්නුව ද ආදායම් අතින් උසස් වනු ඇත. සිතේ ධෛර්යය ඉහළ යන අතර, තම එදිනෙදා කටයුතු සඳහා බාහිර පුද්ගලයින්ගේ සහාය නොඅඩුව ලැබෙනු ඇත. තම ව්‍යාපාර දියුණුව පවතී. තුනටියේ ආපදා මතු කරන නිසා සුපරීක්ෂාකාරී වන්න.

වෘෂභ ලග්නය - මානසික සුවය උසස් වේ

වෘෂභ ලග්නයට අනුව අද ඔබට ජීවිතයේ උසස්ම තත්ත්වයට යාමට හැකිවනු ඇත. මානසික සුවය උසස් වේ. නිර්මාණශීලී බව මතු කෙරෙන අතර, කලාකාමී බව ඉතා ඉහළ යනු ඇත. එදිනෙදා ගමන් බිමන් බහුල වන අතර විනෝදය, ආස්වාදය සඳහා වැඩි කාලයක් වෙන් කිරිමට සිතයි. මුත්‍ර ආපදා, හිසේ කැක්කුම් පෙන්වනු ඇත. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න.

මිථුන ලග්නය - පිරිස් බලය ලැබේ

මිථුන ලග්නයට අනුව අද ඔබට යම්කිසි ආකාරයක සිත නොසන්සුන් වන කරුණුවලට මුල්වේ. දුරබැහැර ගමන් බිමන් යෙදෙන අතර, ආර්ථික පාඩු හා වියදම් අංශය ඉහළ යාම නිසා සිතට කරදර ගෙන දෙනු ඇත. කෙසේ නමුදු පිරිස් බලය අතින් සතුටුදායක වේ. හිසට අනතුරු ගෙන එන බවක් ද පෙනේ. සැළකිලිමත් වන්න.

කටක ලග්නය - ව්‍යාපාරයට යහපත් ප්‍රතිලාභ

කටක ලග්නයට අනුව අද ඔබට හදිසි ලැබීම් යහපත් ආයෝජන මතුකෙරේ. තමාට රිසි ලෙස තම එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. තම දූ දරුවන්ගේ ද සහයෝගය නොඅඩුව ලැබේ. කලක් තිස්සේ පවත්වාගෙන ආ ව්‍යාපාරයක යහපත් ප්‍රතිලාභ ලැබේ. සීතල ආහාරපාන අවම කරන්න. පපුවේ හිසේ සෙම ගතිය දැඩි වන දිනකි.

සිංහ ලග්නය - සතුට අභිවෘද්ධිය

සිංහ ලග්නයට අනුව අද ඔබට සුබයි. රැකියා ප්‍රතිලාභ ඉහළ යයි. උසස් තනතුරු හිමිවීම් ස්ථාන මාරු ආදිය නිසා සිතේ සතුට අභිවෘද්ධිය උදාවේ. කෙසේ නමුදු තමාට නව නිවාස ලාභ, ව්‍යාපාර හා වාහන ලාභ පෙන්වයි. තරග විභාගවලින් ජයග්‍රහණ මෙන්ම අධිෂ්ඨානයෙන් අනාගතය දෙස බැලීමට ද ශක්තිය ලැබෙන දිනකි.

කන්‍යා ලග්නය - පුණ්‍ය කටයුතුවල නිරත වේ

කන්‍යා ලග්නයට අනුව අද ඔබට පුණ්‍යවන්ත කටයුතු, දානමය කටයුතු රැසකට සහභාගි වීමට අවසථාව උදා වේ. තමා නතර කර තිබූ ඉදිකිරීමක් යළි ආරම්භකොට පවත්වාගෙන යෑමට අවස්ථාව මතු කරන දිනකි. තම සහායට සිට දුරස්ථව ගිය අය යළි තමාගේ සමීපයට පැමිණ උපකාර කරයි. එහෙත් තුනටිය ආශ්‍රිත උවදුරු පෙන්වන නිසා කල්පනාකාරී වන්න.

තුලා ලග්නය - ප්‍රධානීන්ගේ පැසසුම්

තුලා ලග්නයට අනුව අද ඔබට තම එදිනෙදා ජීවිතයේ කාර්යබහුල බවක් නිසා ගෘහ ජීවිතයේ කටයුතු කීපයක් අඩාල වනු ඇත. තම පිය පාර්ශ්වයේ අයකු නිසා ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. තමා කිසියම් නව ආදායම් මාර්ගයකට ප්‍රවිෂ්ටවන ලකුණු පෙනේ. වෘත්තීය මට්ටමේ සුභවාදී බවක් හා ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වන දිනකි.

වෘශ්චික ලග්නය - අඹුසැමියන් අතර හොඳ හිත

වෘශ්චික ලග්නයට අනුව අද ඔබට ඉතා වාසනාවන්ත දිනකි. යුගදිවියේ සතුටුදායක තත්ත්වයකි. තමාට ගැටලුවක්ව තිබූ බාහිර කරුණකින් නිදහස් වීමට හැකි වේ. අඹුසැමියන් අතර හොඳ හිත පැතිරෙන දිනක් වන අතර, අනාගත දියුණුව උදෙසා සැලසුම් ක්‍රියාත්මක කෙරෙනු ඇත. තම දූ දරුවන්ට යහපත් ලැබීම් හා ආදරවන්තයන්ගේ බලාපොරොත්තු සඵල වන දිනකි.

ධනු ලග්නය - වෘත්තීය වගකීම් රැසක්

ධනු ලග්නයට අනුව අද ඔබට වාසනාවන්ත දරු සම්පත් උදා කෙරෙන දිනකි. පිටරටකට යාමට සිටි අදහස තාවකාලිකව කල්දැමීමට සිදු වේ. තම වෘත්තියට අනුව වගකීම් රැසක් හිමිවන අතර, තම වාසස්ථානයෙන් පිට දුරබැහැර පෙදෙසකට යාමට සිදුවන අතර, වියදම් පැත්ත ඉහළ යාමක් ද පෙන්වයි. පාදයේ වළලුකර ආශ්‍රිත උවදුරු පෙන්වයි.

මකර ලග්නය - ගෘහ ජීවිතයේ කාර්ය බහුලතා

මකර ලග්නයට අනුව අද ඔබට ඉතා යහපත් ලැබීම් පවතී. ගෘහ ජීවිතයේ කාර්ය බහුල බවක් නිසා තම වෘත්තීය කටයුතු කෙරේ අතපසුවීම් මතුකෙරේ. තම ප්‍රධානීන් අතර දෝෂදර්ශනයට ලක්වන තත්ත්වයක් පෙනුණ ද තමා කරගෙන යන ව්‍යාපාරයක ප්‍රතිලාභ උසස් වන ලකුණු පෙනේ. තම පපුවේ සෙම, හතිය මතු වන අතර, සීතල ආහාර සුබ නැත.

කුම්භ ලග්නය - වේතනයේ ප්‍රවර්ධනයක්

කුම්භ ලග්නයට අනුව අද ඔබට තම ලැබීම් යහපත් වන අතර, සාර්ථක ලාභ පෙන්වයි. වාහන, ඉඩම්, නිවාස ලාභ, රැකියාගත උසස්වීම්, වේතනයේ ප්‍රවර්ධන ඇතිවේ. තම දුවා දරුවාට යහපත හා ඒ අය මුහුණ දී සිටි විභාගාදී ප්‍රතිඵල යහපත් වේ. තරග විභාග මෙන්ම රැකියා සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ ද හිමි වේ. උගුර, උරහිසේ අමාරු සහිත වන්නට පුළුවන.

මීන ලග්නය - විශ්වාස‍ය අධිෂ්ඨානය තදින් දැනේ

මීන ලග්නයට අනුව අද ඔබට තම දේපළ හිමිකම් සහිත දිනකි. නඩුහබ, නීති ගැටලු අවසන් වන ලකුණු පෙනේ. තම සහයට සිට දුරස්ව ගිය අය නැවත ඔබ වෙත ළංවනු පෙනේ. විශ්වාසය, අධිෂ්ඨානය සිටත තදින් දැනෙන අතර, කලක් සිතේ තබාගෙන සිටි ව්‍යාපාරික සැලසුමක් ක්‍රියාවට නැංවීමට සිතයි. පොදු කටයුතු රැසක් ද සැලසුම් කරන දිනකි.

තේ වත්තෙන් ඇමැති ධුරයට ආ වතුකරයේ රජා තොණ්ඩමන්

$
0
0
මැයි 14, 2021 01:00

දකුණු ඉන්දියාවේ මුනාපුදූර් ගම්මානයේ කලාර් කුලයේ උපන් කුමාරවේල් ශ්‍රී ලංකාවට පැන එන්නේ වයස අවුරුදු 18 සපිරෙන්නටත් පෙරය. ඔහු මෙරටට පැමිණි වසර හරිහැටි කීමට කිසිවෙකු නොදන්නා නමුත් ඒ 1873 දී පමණ විය යුතු යැයි ඔහුගේ පුත්, පසු කලෙක මෙරට ඇමැතිවරයකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුමාන කළේය.

මෙරටට පැන ආ කුමාරවේල් එතැන් සිට පෙනී සිටියේ කුමාරවේල් අම්බාලම් නොහොත් කරුපයියා නමිනි. ඔහු මෙරටට එන විට බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධාන වැවිල්ල වී තිබුණේ කෝපි ය. කෝපි වතුවල වැඩ කිරීමට එකල ඉන්දියාවෙන් කම්කරු පිරිස් පැමිණි නමුත් ඔහු එසේ කම්කරු කණ්ඩායමකට එක් වූයේ නැත. ඒ වෙනුවට ඔහු ගම්පොල සිටි දුර ඥාතියකුගේ නිවෙසට ගොස් එහි සේවකයකු ලෙස කටයුතු කිරීමට පටන් ගත්තේය.

එහෙත් එම නිවසේ ගෘහ මූලිකයා සේවකයන් කෙරෙහි දැක්වූයේ ප්‍රියමනාප ආකල්පයක් නොවේ. ඒ ඔහු සේවකයන් තලා පෙළන්නකු වූ නිසාය.

දිනක් ගෙහිමියා බැහැරට ගොස් යළි නිවෙස තුළට එද්දී නිවසේ දොර විවෘත කරන විටම ඔහු දුන් පහරකින් වැළකී සිටීමට කරුපයියාට දොර අසල බිම දිගා වී සිටින්නට වූ බවත් පසු කලෙක ඔහු තම පුතු වූ සෞම්‍යමූර්තිට (තොණ්ඩමන්) පවසා තිබේ.

ඔහුගේ හිරිහැරවලින් බේරී සිටීම සඳහා ඔහු කළේ ගම්පොල නිවෙසින් පිටවී කඩුගන්නාවේ කෝපි වත්තක සේවය කිරීම සඳහා පිටත්ව යාමය.

කඩුගන්නාව කෝපි වත්තේ වැඩ කළ කරුපයියාට දිනකට වැටුප වශයෙන් ලැබුණේ සත 13කි. ජීවත් වීම සඳහා දැඩි සටනක නිරත වූ ඔහු තමාට ලැබෙන මුදල ඉතිරි කර ගැනීම සඳහා වරින් වර වත්තෙන් වත්තට මාරු වෙමින් සුළු රැකියාවල නිරත වූයේය.

කඩුගන්නාවේ කෝපි වත්තෙන් පිට වූ කරුපයියා බගවන්තලාවට ගියේය.

අනතුරුව උඩපුස්සැල්ලාවට ගියේය. කම්කරු රස්සාවෙන් අමාරුවෙන් උපයාගත් සත කීපයක් ඉතිරි කර ඒවා උපයෝගී කර ගනිමින් ඔහු අමතර ආදායමක් ඉපැයීමට වෙහෙස ගත්තේය.

දවසේ වැඩ නිම කළ පසු වතු කම්කරු පවුල්වලට අවශ්‍ය එදිනෙදා බඩු බාහිරාදිය පෙට්ටියක දමා එය හිස මත තබාගෙන සැතපුම් ගණනාවක් වත්තෙන් වත්තට ඇවිද යමින් ඒවා අලෙවි කළේය.

පසු කලෙක කරුපයියා, පුතු සෞම්‍යමූර්තිට පවසා ඇත්තේ "තම හිස මත තට්ටය පෑදුණේ එසේ පෙට්ටියක බඩු දමාගෙන සැතපුම් ගණන් දුර හිස මතින් ගෙන ගිය නිසා"බවය.

තරුණ කරුපයියා ඉන්පසුව පැන ගියේ ගෝර්ඩන් වත්තටය. එහෙත් වෙනදා මෙන් කම්කරුවකු ලෙස සේවය කිරීමට නොවේ. කම්කරුවන්ගේ වැඩ පරීක්ෂා කිරීමටය. නැතහොත් 'කංකානි'කෙනකු වශයෙනි. කම්කරුවන්ගේ සිත් දිනාගනිමින් ඔහු එහිදී කටයුතු කළා පමණක් නොව ගෝර්ඩන් වත්තේ කම්කරු කාන්තාවන් කිහිප දෙනකු සමඟ සම්බන්ධතා ද ඇති කර ගත්තේය.

"මගේ තාත්තාට වත්තේ කම්කරු කණ්ඩායම තමන් වෙත නතුකර තබා ගැනීමට හැකි වුණා. කම්කරු කතුන්ගේ හිත් දිනා ගැනීමටත්, ඔවුන්ගේ සැමියන්ගේ විශ්වාසය දිනාගන්නටත් ඔහුට හැකි වූ බව පැහැදිලියි. ස්ත්‍රී ධූර්තයෙකු වූ මගේ තාත්තාට ගෝර්ඩන් වත්තේ පවුලක් සිටි බවත් කියැවෙනවා."හිටපු ඇමැති සෞම්‍යමූර්ති තොණ්ඩමන් පවසා ඇත.

1890 වන විට ශ්‍රී ලංකාව පුරා කෝපි වසංගතය පැතිර ගොස් තිබිණි. වැවිලිකාර සුද්දන් මෙන්ම කම්කරුවන්ද අසරණභාවයට පත් මේ කාලයේදී කරුපයියා ගෝර්ඩන් වත්තෙන් පිට වී අටබාගේ වත්තටත් පසුව නුවරඑළියටත් පා තැබුවේය.

නුවරඑළියට යන ගමනේ දී හමු වූ කරණවෑමියකු ඔහුට කියා ඇත්තේ රම්බොඩ වැවෙන්ඩන් වත්තට කම්කරුවන් පිරිසක් සංවිධානය කිරීමට පුද්ගලයකු අවශ්‍යව ඇති බවය. මේ කරණවෑමියා දුන් පණිවිඩයට අනුව රම්බොඩට යන කරුපයියාට වැවෙන්ඩන් වත්තේ රස්සාව ලැබිණි.

වසර ගණනාවක් තිස්සේ වත්තෙන් වත්තට ඇවිද යමින්, කම්කරුවකු ලෙස වැඩ කරමින් ලද සුළු වැටුපෙන් සුළු කොටසක් ඉතිරි කරමින්, ඒ මුදල් පොලියට දෙමින් වතු කම්කරුවන්ට එදිනෙදා අවශ්‍ය බඩු පෙට්ටියක දමාගෙන හිස මතින් ඔසවාගෙන යමින් වෙළෙදාම් කරමින් ඔහු එතෙක් ගත කළේ අතිශය දුෂ්කර ජීවිතයකි.

අනතුරුව වැවෙන්ඩන් වත්ත පමණක් නොව රම්බොඩ කඳුවැටිය අවට තිබූ තවත් වතු 7ක කංකානි කෙනෙකු සේ වැඩ කිරීමට ද කරුපයියාට හැකි විය.

එකවර වතු කීපයකට වැඩ කිරීම නිසා ඔහු මුදල් පොලියට දීමෙන් ද අත මිට සරුකර ගත්තේය. ඊළඟට ඔහුට වුවමනා වූයේ සමාජය ඉදිරියේ මුදල් පොලියට දෙන නම්බුකාර ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටීමටය. මෙනිසා කරුපයියා තම නමේ අගට 'පිල්ලෙයි'යන නම ද එකතු කර ගත්තේය.

ඔහු වැවෙන්ඩන් වත්තේ වසර 19ක් සේවය කළේය. ඔහු ඒ වන විට සැලකිය යුතු මුදලක් ද ඉතිරි කරගෙන සිටියේය. ඒ වන විට වැවෙන්ඩන් වත්තේ හිමිකාරිත්වය සතුව තිබුණේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමටය. ඔහු රුපියල් 75,000ක මුදලකට වැවෙන්ඩන් වත්ත මිල දී ගත්තේය.

අනතුරුව ඔහු කාතිරායි නම් කතක හා සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තේය. ඔහුට දාව ඇය දරුවන් 7 දෙනෙකු බිහි කළාය. එහෙත් මේ සම්බන්ධය ඔහුගේ දකුණු ඉන්දීය ඥාතිහු පිලිගත්තේ නැත. ඒ නිසා විවාහයක් සඳහා ඔහු යළි ඉන්දියාවට ගියේය. කරුපයියා එහිදී 'සිත්තම්මා'විවාහ කර ගත්තේය. කරුපයියාට දාව සිත්තම්මා දරුවන් 5 දෙනෙකුට උපත දුන්නත් ඉන් ජීවත්ව ඇත්තේ තිදෙනකු පමණි. එම පවුලේ බාලයා වූයේ සෞම්‍යමූර්ති (තොණ්ඩමන්) ය. ඔහු ඉපදී ඇත්තේ 1913 අගෝස්තු 30 වැනිදාය.

සෞම්‍යමූර්ති ගියේ ගමේ පාසලටය. කරුපයියා යළිත් වැවෙන්ඩන් වත්තට ආවේය. සෞම්‍යමූර්ති යළි පියා දකින්නේ වසර ගණනාවකට පසුවය. ඒ වසර 7කට පසු නැවතත් කරුපයියා මදුරාසියේ මුනාපුදූර් ගමට ගිය අවස්ථාවේදීය.

1924දී ඔහු තම පුතු සෞම්‍යමූර්තිද සමඟ මෙරටට ආවේය. එවිට සෞම්‍යමූර්තිගේ වයස අවුරුදු 11කි. 1927දී ගම්පොල සාන්ත ඇන්ඩෲස් විදුහලට ඇතුළත් වූ සෞම්‍යමූර්ති 1932 දක්වා එහි උගත්තේය.

සෞම්‍යමූර්ති තරුණයා 1932දී විවාහ වූයේ කොතායි නමැත්තිය සමඟය. ඒ සමඟම ඔහු තම පරම්පරාවේ නාමය වූ 'තොණ්ඩමන්'යන්න තම නමට එක්කර ගත්තේය. එතැන් පටන් කරුපයියා පිල්ලේ ද තම බාල පුතු හැඳින්වූයේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් නමිනි.

1939දී 'සිලෝන් ඉන්ඩියන් කොන්ග්‍රස්'සංගමයේ ගම්පොල ශාඛාවේ සභාපති ලෙස පත් වූයේ සෞම්‍යමූර්තිය. ඉන් වසරකට පසු සෞම්‍යමූර්තිට මෙරට දේශපාලනයේ 'අ'යන්න කියා දුන් පියා කරුපයියා නොහොත් කුමාරවේල් අම්බාලම් වැවෙන්ඩන් වත්තේදී කලුුරිය කළේය.

1947 පැවැත් වූ මහමැතිවරණයට නුවරඑළිය අසුන සඳහා ලංකා ඉන්දියානු සංගමය පක්ෂයෙන් තරග කළ තොණ්ඩමන් මහතා ඉන් ජයගෙන පළමු වරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට එක් වූයේය. සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පිහිටුවන ලද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රථම රැස්වීමට 1947 ඔක්තෝබර් 14 වැනිදා හෙතෙම සහභාගි වූයේය.

1952 පැවති මහමැතිවරණයට තරග නොකළ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා යළි පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ 1960 දී පත්කළ මන්ත්‍රීවරයකු වශයෙනි.

1977 මහමැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග වැදුණු ඔහු නුවරඑළිය- මස්කෙළිය බහු ආසනයේ 3 වැනි මන්ත්‍රීවරයා බවට පත් වූයේ ජන්ද 35,743ක් ලබා ගනිමිනි. (නුවරඑළිය-මස්කෙළිය බහු ආසනයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වූයේ ගාමිණි දිසානායක සහ අනුර බණ්ඩාරනායක මහත්වරුන්ය.)

1978දී ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමැති පදවියට පත් සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා 1989දී සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට ආවේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙනි. උඩරට වතු කම්කරුවන් වෙනුවෙන් විශාල සේවයක් කළ තොණ්ඩමන් මහතා ආර්. ප්‍රේමදාස ආණ්ඩුවේ පේෂ කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමැති ධුරයට පත් විය. ඔහු 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ පශු සම්පත් සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත ඇමැතිවරයා විය.

ජනපතිවරුන් සිවු දෙනකු යටතේ ඇමැති ධුර දැරූ හෙතෙම 1999 ඔක්තෝබර් 30 වැනිදා මෙලොව හැර ගියේ තම මුණුපුරු ආරුමුගම් තොණ්ඩමන් සිය දේශපාලන අනුප්‍රාප්තිකයා බවට පත් කරමිනි.

 

 බන්ධුල ගුණරත්න

උතුරේ ත්‍රස්තවාදයේ පුරෝගාමියා පොන් සිවකුමාරන් ද?

$
0
0
මැයි 14, 2021 01:00
ඇල්ෆ්‍රඩ් දොරෙයිෙඅප්පා

1960 දශකය අවසන් වන විට යාපනයේ දේශපාලනය පැවැතියේ චෙල්වනායගම් මහතා දෙසට බර තබමිණි. පැවැති සියලුම දේශපාලන පක්ෂ අභිභවා යමින් යාපනයේ බලය ගැනීමට චෙල්වනායගම්ට හැකි විය. පනහට පනහ, ස්වාධීන රාජ්‍ය ආදිය පදනම් කරගනිමින් ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නියැළෙමින් සිටින විට ඔවුන් යමින් සිටි මාර්ගයෙන් සෑහීමකට පත් විය නොහැකි දෙමළ තරුණ පිරිස් වෙනම ක්‍රියාමාර්ගයකින් තම අභිමථාර්ථ ඉෂ්ට කරගැනීමට උත්සාහ කරන ලදී. සන්නද්ධව තම අරමුණ කරා යෑමට උත්සාහ කළ මේ තරුණ පිරිස් මුල් කාලීනව ත්‍රස්ත ක්‍රියා රැසක නියැළිණි. මේ ගමන් මාර්ගයේ ආරම්භකයා කවුද යන්න පැහැදිලි නැත. එහෙත් උරුම්පිරායිහි පොන් සිවකුමාරන් පුරෝගාමියා බව ඇතැම් විචාරකයන් පවසයි.

සන්නද්ධ කල්ලි

යාපනයේ මුහුදුබඩ ගම්මානයක් වූ වැල්වැටිතුරේ තරුණ කල්ලිවලට තිප්පොළක් වී තිබිණි. ඉන්දියාවට ආසන්නව පිහිටා තිබීම නිසා ඉන්දියාවත් සමඟ හොර බඩු ජාවාරම බහුල වශයෙන් ක්‍රියාත්මක වූ මේ පෙදෙස ලංකාවේ සන්නද්ධ කල්ලිවල ආරම්භක ස්ථානය ද විය. යාපනයේ එතෙක් පැවැති සාම්ප්‍රදායික දේශපාලනය නොරිස්සු තරුණ පිරිස් පක්ෂ දේශපාලනය පිළිබඳ සෑහීමකට පත්ව සිටියේ නැත. සන්නද්ධ දේශපාලනය කරා යොමු වෙමින් පැවැති ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය වූයේ ද යාපනයේ වැල්වැටිතුරේය. මුල ්කාලීනව බැලූ විට මේ කණ්ඩායම් සංවිධානාත්මක කල්ලි වූවා මිස දේශපාලන මතවාදයක් මත සැකසුණු ඒවා නොවිණි. මේ කල්ලිවල විශේෂත්වය වූයේ කිහිප දෙනකු එක්ව ත්‍රස්ත ක්‍රියාවල නියැළීමයි.

තංගදුරේ සහ පිරිස යාපනයේදී හඳුනා ගැනීමට ලැබෙන මුල්ම සන්නද්ධ කල්ලියයි. තංගදුරේ හෙවත් නඩරාජා තංගදුරෙයිගේ නායකත්වයෙන් ගොඩනැඟුණු මේ කල්ලියට කුට්ටුමනී හෙවත් සෙල්වරාජා යෝගචන්ද්‍රන්, පොන් හෙවත් පොන්නදුරෙයි සිවකුමාරන්, තම්බි හෙවත් වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ ශ්‍රී සභාරත්නම් අයත් වූහ.

වැල්ලටිතුරේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මේ කල්ලියේ ප්‍රධානතම සාමාජිකයන් බොහොමයක්ම මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වූහ. තවද ඔවුහු ප්‍රධාන වශයෙන් කරයාර් කුලයට අයත් පිරිසක් වූහ.

තරුණ පිරිස

දෙමළ ඊළාම් සන්නද්ධ ක්‍රියා මාර්ගයකින් ජය ගැනීම ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබුණු බව පෙනී යයි. ඒ හැරෙන්නට පැහැදිලි දේශපාලන දර්ශනයක්, සංවිධාන යාන්ත්‍රණයක් හෝ යුද උපක්‍රම පිළිබඳ දැනුමක් මේ පිරිසට නොතිබිණි. කෙසේ වුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් වූ තමිල් අරසු කච්චි පක්‍ෂයේ තරුණ සංවිධානයේ නායක අමිර්තලිංගම් සමඟ මේ කණ්ඩායමට සෘජු සම්බන්දයක් තිබිණි. තම පක්ෂයට එරෙහිව ගොඩනැ‍ඟෙන බලවේග මැඬ පැවැත්වීම සඳහා මේ තරුණ පිරිස් යොදා ගැනීමට තමිල් අරසු කච්චි පක්ෂය කටයුතු කළ බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

තවත් කෙටි කලකින් තමිල් මනවර් පෙරවායි (දෙමළ ශිෂ්‍යය ලීගය) නමින් සංවිධානයක් පොන්නදුරෙයි සත්‍යසීලන්ගේ නායකත්වයෙන් ඇරැඹිණි. 1970දී ඇරඹි මේ සංවිධානයේ ලේකම්වරයා තිස්ස වීරසිංහම් වූ අතර, පොන්නදුරෙයි සිවකුමාරන් සහ කේ. පද්මනාභා එහි සෙසු සාමාජිකයන් වූහ. ආරම්භයේදී මේ සංවිධානය අවිහිංසාවාදී ලෙස විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කළ බව කියැවේ. එහෙත් ක්‍රමයෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වය දෙසට යොමු වෙමින් පැවැති බව පෙනී යන්නකි. එහිදී කැපී පෙනෙන දායකත්වයක් සපයන්නේ එම සංවිධානයේ පොන්නදුරෙයි සිවකුමාරන්ය. වැඩි වශයෙන් තරුණ කණ්ඩායම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් යුතුව එය තමිල් ඉලයිඥර් පෙරවායි (දෙමළ තරුණ ලීගය) යනුවෙන් 1973 සිට නවමු මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරිණි. තරුණයන් වැඩි වන විට ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වූ අතරම ප්‍රචණ්ඩත්වය වැඩිවත්ම තව තවත් තරුණ පිරිස් ව්‍යාපාරය කෙරෙහි ආකර්ෂණය වූ බවක් පෙනේ.

ප්‍රතිසංස්කරණ

එමෙන්ම මෙහිදී තරුණ පිරිස්වලට සංවිධානය වීමට අවශ්‍ය පසුබිම පාලකයන් විසින් ඇති කරමින් තිබිණි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති කරන ලද දිස්ත්‍රික් කෝටා ක්‍රමය හා ප්‍රමිතිකරණ වැඩපිළිවෙළ හේතුවෙන් දෙමළ තරුණයන්ට විශ්වවිද්‍යාලවල විද්‍යා සහ ගණිත අංශ සඳහා ඇතුළු වීමට හැකියාව දුරස් වෙමින් පැවැතිණි. සමානුපාතික නොවන ප්‍රමාණයේ දෙමළ සිසුන් සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලවලට, විශේෂයෙන් වෛද්‍ය හා ඉංජිනේරු පීඨවලට ඇතුළත් කර ගන්නේ යැයි එකල පැවැති චෝදනාවට ප්‍රතිචාරයක් වශයෙන් පැවැති ආණ්ඩුව විසින් අදාළ ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන ලදි. ප්‍රතිසංස්කරණයේදී සිංහල මාධ්‍ය සිසුන් ගන්නා ලකුණු ප්‍රමාණයට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් දෙමළ මාධ්‍ය සිසුන් විසින් ගත යුතු විය. මේ අනුව විද්‍යා සහ ගණිත විෂයයන් සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ දෙමළ සිසුන් ප්‍රමාණය අඩු විය. මේ පහත වැටීම නිසා තරුණයන් තුළ විරෝධය ජනනය වෙමින් තිබිණි. මේ විරෝධතා ක්‍රමයෙන් ප්‍රචණ්ඩත්වය කරා යොමු වෙමින් පැවැතිණි.

ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ චෙල්ලප්පා කුමාරසූරියර් බෝම්බ ප්‍රහාරයකට ලක්විය. සත්‍යසීලන් සහ කුට්ටිමනී විසින් බෝම්බය නිපදවා අදාළ ප්‍රහාරය කළ බව පසුව තහවුරු විය. මේ සමඟම 1972 මැයි 22 වැනිදා නව ජනරජ ව්‍යාවස්ථාව හඳුන්වාදීමත් සමඟ තරුණ පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් දියත් කළහ. යාපනයේ වූ අධි බලැති ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරවා හැරිණි. ලංකා සමසමාජ පක්ෂයේ සංවිධායකවරයෙක් වූ නීතීඥ විශ්වනාදන් මහතා බෝම්බ ප්‍රහාරයකට ලක්විය. තවද යාපනය නගරාධිපතිවරයා වූ දොරෙයිඅප්පා මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයකු වූ විනෝදන් මහත්වරුන්ගේ නිවාසවලට ද බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි.

මේ ආකාරයෙන් 1974 වන විට දෙමළ තරුණ පිරිස් ප්‍රචණ්ඩත්වයට යොමු වීම ඉහළ යමින් පැවැතිණි.

විරෝධතා

එමෙන්ම 1974 යාපනයේ පැවැති දෙමළ භාෂා සමුළුවේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් යාපනයේ වැසියන් නවදෙනකු මිය ගියහ. සමුළුව සඳහා ස්වේච්ඡාවෙන් ඇප කැපවී ක්‍රියා කළ තරුණයන් අතර සිවකුමාරන් ද විය. මෙහිදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දැඩි වේදනාවෙන් සිටි බව ද වාර්තා වේ. එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නොකෙරුණු බව ප්‍රකාශ කරමින් තරුණයෝ රැසක් යාපනයේ සංචාරය කළ අගමැතිනියට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කළහ. යාපනයේදී අගමැතිනිය පිළිගැනීමේ උත්සවය සූදානම් කළ නගරාධිපති දොරෙයිඅප්පා ද්‍රෝහියකු ලෙස හඳුන්වා දෙනු ලැබිණි. මේ විරෝධතාව ද්‍රවිඩ එක්සත් විමුක්ති තරුණ සංගමයේ තරුණ පිරිස් මූලිකව ක්‍රියාත්මක කරන ලදි.

එක් අයකුට තවත් අයෙක් නොදෙවෙනි ලෙස ප්‍රචණ්ඩත්වය යාපනය පුරා ගොඬනැංවීමට තරුණ පිරිස් කටයුතු කරමින් සිටියහ. මෙහිදී ප්‍රභාකරන්, සෙල්ල කිකී, සත්‍යසීලන්, කුට්ටිමනී, උමා මහේෂ්වරන් ආදීන් පිළිබඳ පසු කාලීනව විශාල ලෙස අවධානය යොමු විය. එහෙත් 1974 වර්ෂයේදී සිය දිවි හානිකර ගත් පොන්නදුරෙයි සිවකුමාරන් පිළිබඳ අවධානය යොමු වන්නේ මද වශයෙනි. එහෙත් ඔහු පසුකාලීනව දෙමළ සටන්කාමී සංවිධානවලට දැඩි ලෙස බලපෑ චරිතයක් විය. විශේෂයෙන්ම පසු කාලීනව එල්.ටී.ටී. ඊ සංවිධානයේ නායකත්වයට පත්වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා ප්‍රබල ලෙස බලපෑ චරිතය ලෙස විචාරකයන් විසින් පිළිගන්නේ සිවකුමාරන්ය. ඔහු යාපනයේ බොහෝ තරුණ පිරිස් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අයෙක් වූ අතර, උතුරේ ත්‍රස්තවාදයේ පුරෝගාමීයා ඔහු බවට ද ඇතැම් විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.

යාපනයේ ඉහළ කුලයකට අයත් වූ සිවකුමාරන් 'ශ්‍රී ලංකාව: බලයේ මහන්තත්වය'කෘතියේ රාජන් හූල් දක්වන අන්දමට යහපත් හැසිරීමකින් යුක්ත වූ දක්ෂ සිසුවෙකි. යාපනය හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් හැදෑරූ සිසුවෙක් විය. හෙතෙම සටන්කාමී අදහස් දැරූ අයකු බවට ද ප්‍රකටය. කාව්‍යමය හැකියාවෙන් අනූන අයකු වූ ඔහු අතින් ලියන ලද පුවත්පතක් බෙදා හැරීමට කටයුතු කර තිබිණි.

ජනප්‍රියම තරුණයා

සිවකුමාරන් සමාජයේ උසස් කුලයක් නියෝජනය කළ ද කුල භේදයට එරෙහිව කටයුතු කළ අයෙක් විය. තව ද උරුම්පිරායි ප්‍රදේශයේ පිහිටි වෛරාවර් කෝවිලේ එළුවන් ඝාතනය කිරීමට ප්‍රසිද්ධියේම විරෝධය පා තිබිණි. එතනින් නොනැවතුණු ඔහු එළුවන් මරා දැමීමට එරෙහිව උද්ඝෝෂණයක් පවා සංවිධානය කළ අයෙක් විය.

කෙසේ වෙතත් නවසිය හැත්තෑව දශකයේ ආරම්භයේම උතුරෙන් වාර්තා වූ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රිය පිටුපස සිටියේ සිවකුමාරන්ය. ඔහු එකල තමා ජීවත්ව සිටි ප්‍රදේශයේ ජනප්‍රියම තරුණයා වී සිටියේය. ඒ සඳහා හේතු ගණනාවක් බලපා තිබිණි. ඒ අතරින් සිවකුමාරන් තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් තවත් හේතුවක් වූයේ ඔහු අත පිස්තෝලයක් තිබීමය. එකල යාපනයේ තරුණයන් අතරින් පිස්තෝලයක් හිමිව තිබුණේ ඔහුට පමණක් බව ද කියැවේ. තව ද රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ මෝටර් රථයට බෝම්බ තැබීමට, යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පාට බෝම්බ ගැසීමට ඔහුගේ සෘජු දායකත්වයක් තිබිණි. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඔහුට බන්ධනාගාර ගතවීමට සිදු වූ අවස්ථා විය. නව දෙනකු ඝාතනය වූ යාපනයේ දෙමළ භාෂා සමුළුව හා සම්බන්ධ සිදුවීමේදී කලකිරිමෙන් සිටි සිව කුමාරන් දොරෙයිඅප්පා සහ පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් බද්ධ වෛරයෙන් පසුවූ බව ද කියැයේ. එවක යාපනය බන්ධනාගාර නියාමකයකු වූ තංගරාජා මහතා ඔහු ගැන පසුකාලීනව මෙසේ අදහස් දක්වා තිබිණි.

“සිවකුමාරන් මම හොඳට දන්න හඳුනන තරුණයෙක්. මම යාපනය හිර ගෙදර ජේලර් කෙනෙක් විදිහට වැඩ කරන කාලයේ ඔහු කිහිප වතාවක්ම බන්ධනාගාර ගතවෙලා තියෙනවා. ඒ ඇවිත් තියෙන්නේ සොරකම්වලට, චේන් කැඩීම, මංකොල්ල කෑම, පික් පොකට් ගැසීම, බයිසිකල් හොරකම වගේ දේවල්වලටයි. අන්තිමට මෙයා බන්ධනාගාරයට ආවේ යාපනය නගරාධිපති දොරෙයිඅප්පාගේ කාර් එකට බෝම්බ තැබීමේ සිදුවීමකටයි.“

බැංකු මංකොල්ලය

කෙසේ වෙතත් 1974 ජුනි 04 දින සිදු වූ කෝපායි හි මහජන බැංකුව මංකොල්ලය සිවකුමාරන්ට යහපත් වූයේ නැත. එහිදී පොලිසියට කොටුවන සිවකුමාරන් පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර සයනයිඩ් කා සිය දිවි හානි කර ගත්තේය. එය ලාංකීය ත්‍රස්තාවාදීන්ගේ ඓතිහාසික අවස්ථාවක් වූ අතර, දෙමළ ත්‍රස්තවාදියකු අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ගැනීමට දිවි නසාගත් පළමු අවස්ථාව ද එය විය.

එතැන් පටන් සිවකුමාරන්ව වීරත්වයට නැංවීමට බොහෝ දෙමළ දේශපාලනඥයන් කටයුතු කළහ. දිවි නසාගත් සිවකුමාරන්ගේ දේහය අවසාන ගෞරවය සඳහා උරුම්පිරායිහි නගර සභාවේ තැන්පත් කළේය. එම අවමගුල් උත්සවයේදී ඒ. අමිර්තලිංගම් සහ එම්. සිවසිතම්පරම් මහත්වරු සිවකුමාරන් වීරයකු බවට ප්‍රකාශ කළහ. එමෙන්ම ඔහුගේ ප්‍රතිමාවක් පවා ඉදිකිරීමට කටයුතු කෙරිණි. එම ප්‍රතිමාව පසු කාලීනව කඩා දැමුණ ද නැවත ඉදිකිරීමට කටයුතු කෙරිණි.

එල්.ටී.ටි.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පසු කාලීනව ප්‍රකාශ කර තිබුණේ සයනයිඩ් කා දිවි හානි කර ගැනීම තමා එල්.ටී.ටී.ඊයට හඳුන්වාදුන්නේ සිවකුමාරන්ගෙන් ගත් ආදර්ශයට අනුව බවය. එහෙත් ඇතැම් විචාරකයන් සඳහන් කරන ආකාරයට සිවකුමාරන් සහ ප්‍රභාකරන් මාර්ග දෙකක් භාවිත කර තිබේ. ඔවුනට අනුව සිවකුමාරන් හැඳින්වෙන්නේ සක්‍රීය ප්‍රතිසංස්කරණවාදියකු ලෙසය. ඔහු ජනතාව දේශපාලනික වශයෙන් දැනුවත් කිරීමටත් ඒ ඔස්සේ විශාල පදනමක් දැමීමටත් කටයුතු කළේය. එමෙන්ම ඔහු නිදහස් මතධාරියෙක් ද විය. එහෙත් ප්‍රභාකරන්ගේ සංවිධානය ගොඩනැඟුණේ ඊට වෙනස් ආකාරයකිනි. ජනතාව දේශපාලනිකව දැනුවත් කිරීමක් එහි දක්නට නොතිබිණි. එවැනි දේශපාලන දැනුමක් මත ගොඩනැ‍ඟෙන සමාජයක් ඔහුට අවශ්‍ය වූයේ ද නැත. උග්‍ර ආත්මාර්ථකාමය පෙරදැරි කරගත් ප්‍රභාකරන්ගේ දේශපාලන ආදර්ශය ගොඩනැ‍ඟුණේ මාෆියා ඇදහිල්ලෙන් සහ වැල්වැටිතුරෙයි හි ජාවාරම්කාර නිකායන්ට අයත් රහසිගත සමාජවලට අනුගතවය. ඔහුගේ ව්‍යාපාරයේ ස්වයං විවේචනයන්ට ද ඉඩක් නොතිබිණි. ඔහුගේ කාඩරයට අවනත වී සිටීම නීතිය වූ අතර, එම නීතිය උල්ලංඝනය කිරීමේ දඬුවම මරණය විය.

ප්‍රතිපත්ති ප්‍රකාශනය

මේ අනුව ප්‍රභාකරන් සිවකුමාරන් අනුගමනය කිරීමෙන් ගෙන ඇත්තේ සිය දිවි හානි කරගැනීම පමණි. එහෙත් එකල යාපන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූ රුද්‍රමූර්ති චේරන් පසු කාලීනව ප්‍රකාශ කරන්නේ ඔහු හා තමා අතර සමීප සබඳතාවක් තිබූ බවය. එවැනි අවස්ථාවක ඔහු කළ කී දේ ගැන මෙසේ චේරන් අදහස් දක්වා තිබේ.

“සන්නද්ධ අරගලයක අවශ්‍යතාව අවධාරණය කරමින් ඔහු මුළු රාත්‍රිය පුරාම සාකච්ඡා කළා.“

මෙහිදී සඳහන් කළ යුතු තවත් විශේෂ කරුණක් තිබේ. එනම් දෙමළ තරුණ පිරිස් අරසු කච්චි පක්ෂයේ අතකොලු ලෙස කටයුතු කිරීමට සාපේක්ෂව දෙමළ තරුණයන් ද ප්‍රධාන දේශපාලන පක්ෂවලට බලපෑම් කළේය. තරුණයන්ට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වූයේ ස්වාධීන දෙමළ රාජ්‍යයකි. ඒ වෙනුවෙන් තරුණයන්ගෙන් එල්ල වන බලපෑම නිසා දෙමළ පෙඩරල් පක්ෂයට එහි නම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනස් කිරීමට පසු කාලීනව කටයුතු කළේය. උතුරු, නැ‍ඟෙනහිර, මධ්‍යම පළාත්වල විශාල භූමි ප්‍රදේශයක දෙමළ රාජ්‍ය ඉලක්ක කරගෙන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බවට පක්ෂයේ නම ද වෙනස් කෙරිණි.

 

 මලික් චමින්ද ධර්මවර්ධන
 

කොවිඩ් නිසා දුරස් වන ගුරු සිසු මානව සබඳතා

$
0
0
මැයි 14, 2021 01:00

අතීතයේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තිබුණේ ඉතා කිට්ටු සබඳතාවකි.ඉගෙනීමේ දී එය මනෝ විද්‍යාත්මකව හඳුනාගත් ප්‍රබල අවශ්‍යතාවක් ලෙස පිළිගැනීමකට ලක් වූයේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. මුලු ලෝකයේම රටවල් එක සේ එය පිළි ගනු ලැබිණි. වැලිපිල්ලේ ලියා පොත් වනපොත් කළ පිරිවෙන් අධ්‍යාපනයේ දී වුව ගුරුවරයාගේ ඇස් මායිමේ දරුවන් සිටීම ඉගෙනීමේ දී ප්‍රතිචාර දැක්වීමට මනා රුකුලක් විය.. මුහුණට මුහුණ කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යාපනයේ දී මුහුණේ ඉරියව් ගුරුවරයාගේ ස්වභාවය මෙන්ම දරුවන්ගේ ස්වභාවය හඳුනා ගැනීමත් කළ හැකි වීම මනෝ විද්‍යාත්මකව ද පිිළිගන්නා කරුණකි.

පන්ති කාමර සංයුතිය

පන්තියක දරුවන් ප්‍රමාණයක් තීරණය වන්නේ ගුරුවරයාගේ ඇස් මායිමෙන් දරුවන් එහාට යෑම වළක්වනු පිණිසය. තවමත් අප්‍රිකානු රටවල එතරම් පාසල් ගොඩනැඟිලි නොමැති තැන්වල එළිමහන් පංති පැවැත්වෙනුයේ ගුරු සිසු සබඳතා ප්‍රබල කරමිනි.

කුඩා දරුවන් සමීපව සිටීමට බෙහෙවින් කැමැත්තක් දැක්වීම නිසා ප්‍රාථමික පන්තිවල එතරම් දුරස්ත බවක් දරුවන් අතර නොතිබුණි. මෙහි දී අපගේ කුඩා අවධිය පිළිබඳ සිහිපත් කරන විට පෙනී යන්නේ වත්මන් දරුවන්ට අත් වී ඇත්තේ අපරාධයක් බවය. මීට දශක ගණනාවකට පෙර පන්තියක කෙතරම් සිසුන් සිටිය ද ගුරුවරයාට ඔවුන්ගේ පොතක් අස්සේ සඟවා ගත් යමක් පිළිබඳ ඉවක් දැනුණේ මේ සමීප බව නිසාය. දරුවන් එකිනෙකා පිළිබඳ මතකයන් පමණක් නොව ඔවුන්ගේ පවුල් වටාපිටාව මෙන්ම චර්යාව ද අපූරුවට ගුරුවරුන්ගේ මතකයේ රැඳුනි.

පන්ති කාමරයක සිටිය යුතු දරුවන් ප්‍රමාණය මෙන්ම වෙන් කරන කාලච්ජේද ද එසේ වෙනස් වූයේ මනෝ විද්‍යාත්මකව අවදාන කාල මාත්‍රය පසුබිම් කොට ගෙනය. මේ සෑම කරුණකදීම දරුවා ගුරුවරයා කෙරෙහි මෙන්ම ගුරුවරයා දරුවා කෙරෙහි ද දැක්වූ මානව සෙනෙහස අධ්‍යාත්මික ගුණ වගාව සඳහා දැඩි ලෙස දරුවන්ට බැඳී තිබුණි.

කොවිඩ් වසංගතය නිසා පවුල්වල ඇතිවී තිබෙන අසහනයට වඩා දරුවන්ගේ ලෝකය කඩා වැටුණේ පාසල් පද්ධතියේ භෞතික ව්‍යුහය කඩා වැටීම නිසාය.විටෙක දරුවන් තුළ ගුරුවරයාගේ වැඩි අවධානය සඳහා හොඳින් සිටීම, ගුණගරුකව සිටීම, විනීතව හැසිරීම වැනි කරුණු ඉබේම සිදු වූයේ ගුරු සිසු සබඳතාවය නිසාය. කුඩා පන්තිවල දරුවන් එක් ආකාරයකටත්, වැඩිහිටි දරුවන් තවත් ආකාරයකටත්, ගැහැනු දරුවන් තවත් ආකාරයකටත්, පිරිමි දරුවන් තවත් ආකාරකටත් ගුරුවරයාගෙන් කෙරෙන අපේක්ෂා විවිධ බව හඳුනාගෙන තිබේ.ඇතැම් මිශ්‍ර පාසල්වලට වඩා ගැහැනු දරුවන් පමණක් සිටින පාසල්වලට පිරිමි ගුරුවරයකුගේ බැඳිම ගැහැනු දරුවන් වැඩියෙන් අපේක්ෂා කරන්නේ තම පියා පිළිබඳ හැඟීමෙන් බව මනෝ විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

පෙරදිග රටවල පවුල් බැඳීම තරමටම තිබිණු ගුරු සිසු බැඳීම ශ්‍රී ලංකාවේ මෑතක දී විනාශයට ලක් වූයේ ලෝක සම්මුති ලෝක පිළිගැනීම්වලට අවිචාරයෙන් හිස නැමීම නිසාය. ගුරුවරයාගේ ආරක්ෂාව හා දැරුවන්ට දැක්වු සෙනෙහස කෙමෙන් මානව හිමිකම් නමින් රට ඇතුළට රිංගා ගත් සංකල්ප ඇතැම් රාජ්‍ය නොවන ආයතනවල අවශ්‍යතා මත හිතාමතාම මේ මානව බැඳීම් විනාශය සිදු කරන ලදි. ගුරුවරයාත් දරුවාත් දුරස්ථ වු ප්‍රධාන කාරණයක් වුයේ මෙයයි.

දරුවන්ගේ පිළිගැනීම්

අපි මඳක් පෙර පාසල්වල පටන් වැඩිහිටි සිසුන් දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මානව සම්බන්ධතා ජාලය දරුවාගේ මානසික හා චර්යාත්මක සංවර්ධනය සඳහා දායක වන ආකාරය විමසා බලමු. මට මෙහි දී එක් පෙර පාසල් දැරියකගේ මවක් කී කතාවක් සිහි වේ. එනම් මේ කුඩා දැරිය ගෙදර කුමක් හෝ දෙයක නිරත වෙද් දී "එහෙම නොවේ අපේ ටීචර් කියල තියෙන්නේ මෙහෙමයි"යනුවෙන් මාපියන්ට උගන්වන්නට පටන් ගත් බවයි. මව්පියන් කෙබඳු හරි දෙයක් කියුව ද දැරිය නිතරම අනුගමනය කර ඇත්තේ තම ගුරුතුමියගේ උගැන්වීම් පමණි. මෙයින් අප වටහා ගත යුත්තේ කුඩා දරුවන්ගේ චර්යාත්මක මෙන්ම විෂයබද්ධ දැනුම මහා පරිමාණයෙන් ගුරු ශිෂ්‍ය විශ්වාසය හා සබඳතා මත පවතින බවයි.

බොහෝ පරමාදර්ශී පුද්ගලයන් තම අතීතාවර්ජනවල දී නොවරදවාම පවසන කරුණක් වන්නේ තම ගුරුවරුන්ගේ උපකාර දඬුවම් ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් වූ ආකාරයයි. පාසල් දරුවන්ට අද මේ චරිත නව කියවීමක් ලෙස උගන්වන්නට ලෝක අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළත් කොට ඇත්තේ ගුරු ශිෂ්‍ය සබඳතාවල බැඳීම හැඳින්වීමක් වශයෙනි. මෑත කාලයේ උගැන්වීම් ක්‍රමවල දී ගුරුවරයා වෙනුවට සීඩී තැටියක් මත උගැන්ම බටහිර රටවල විශ්වවිද්‍යාලවල පවා ආරම්භ කළ ද ඒ ක්‍රමයේ දී දක්ෂ දරුවකු බිහි නොවන බව හඳුනාගෙන ඇත. ගුරුවරයා අජීවී වස්තුවකට ආරෝපනය කරමින් උගැන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දී කෙරුණ ද ඔවුන්ගේ සහතික පිළිනොගැනීමකට ලක් වන්නේ මේ ගුරු සිසු සබඳතාවේ පල එයින් නෙළා ගත නොහැකි බැවිනි.

මෑතක දී විශ්වවිද්‍යාල කීපයකම පශ්චාත් නිබන්ධන කියවීමට හා පරීක්ෂා කිරීමට මට අවස්ථාව හිමි විය.ඒ අතර වර්තමාන කොවිඩ් වසංගතය නිසා on-line ක්‍රමයට ඉගැන්වීම පලදායකදැයි විමසීම කළ නිබන්ධන කියවීමට හැකි විය. ඒ සෑම පරීක්ෂණයකම අවසාන නිගමන වූයේ කිසිදු සාර්ථකත්වයක් එම අධ්‍යාපන ක්‍රමයේ නැති බවත් ප්‍රශ්නාවලිවල දී පන්තිකාමරවල මුහුණට මුහුණ කෙරෙන අධ්‍යාපන ක්‍රමයේ දී වඩාත්ම වැදගත් වන්නේ ගුරුවරයාගේ දැක්ම හා ඔහු සමඟ කෙරෙන ප්‍රතිචාර දැඩි ආධ්‍යාත්මික බැඳීමකට ද හේතුවන බවත්ය.

කොවිඩ් නිසා අසීරුවෙන් හා අකැමැත්තෙන් වුව දරුවන්ට මාර්ගගත ක්‍රමයට අවතීර්ණ වීමට සිදු වී ඇත. පෙර සමයේ පාසල තුළ හමු වූ, මුණගැසුණු ගුරුතුමා වෙනුවට අද තිරයක් මත හෝ මොබයිල් දුරකතනයක් මත දකින ගුරුතුමා විටෙක හරිහැටි දැක ගැනීමටවත් නොහැකි වනු ඇත. තමාට පන්තියේ උගැන්වූ තමාගේම ගුරුවරුන් මෙසේ දුරස්වීම තවත් කොපමණ කාලයකට පත් වේදැයි කිව නොහැක්කේ කොවිඩ් ලෝකයෙන්ම තුරන් වන දිනය කිසිවකුට කිව නොහැකි නොපෙනෙන කාරණයක් බැවිනි. වර්තමාන විශ්වවිද්‍යාල සිසුන්ට විශ්වවිද්‍යාලයකට පයවත් නොතබාම උපාධිය නිම කිරීමට සිදුවී ඇත්තේ ගුරු සිසු සබඳතාවල මානව සුවඳවත් විඳ ගැනීමට අවස්ථාවක්වත් නොලබාය.

ගුරු සිසු සබඳතාවල පලදායිත්වය ලෝක බලවතුන්ගෙන් හා ඔවුන්ගේ චරිත ඇසුරින් අපට දැක ගත හැකිය. ඇතැම්විට අදක්ෂ දරුවකුගේ ලෝක ප්‍රකට වීමේ අඩිතාලම වැටෙන්නේ පන් තිකාමරයෙන් එළියට ඇද දැමු ගුරුවරයාගෙනි. නැතහොත් ඒ වෙනුවට ඇසුර ලබා ගත් වෙනත් ගුරුවරයකු නිසාවෙනි.

ආගමික ශාස්තෘෘන් වහන්සේලා සෑම කෙනෙක්ම ගුරුවරයෙකි. ඒ නිසා උන්වහන්සේලා පසුපස අගසව් හෝ උවැසියන් ලෙස හෝ ගෝලයන් ලෙස එතුමන් වහන්සේලාගේ අවසානය දක්වාම ඔවුන් පසුපස යන්නේ මේ ගුරු බැම්ම නිසාය. ජේසුතුමා තම ගෝලයින්ට ගුරු භූමිකාවක් කළ ආකාරය උන්වහන්සේගේ උගැන්වීම්වලින් ද කොන්පියුසියස් තුමා එතුමාගේ උගැන්ම තුළින් ද, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ උගැන්ම පස්වග මහනුන් ලෙස පළමු ගෝලයින් තෝරා ගැනීමෙන් ද මේ බව පසක් කර ඇත. ආගමික ශාස්තෘෘන් වහන්සේලා තරම් ගුරු භුමිකාවක් ඉටු කළ වෙනත් සාමාජික කණ්ඩායමක් නැති තරම්ය.

ලෝක ප්‍රකට සීනියර් මාටින් ලුතර් කිං හා ජූනියර් මාටින් ලුතර් කිං වැන්නන් එසේ බිහි වන්නේ ගුරු සිසු ඇසුරේ පලයක් වශයෙනි. එසේම යමකු බොහෝ විට ගුරුවරයාගේ ඡායා පිටපතක් වීමට දරුවන් හා තරුණ පිරිස් උනන්දුවක් දක්වන අවශ්ථා අප දැක තිබේ. ඒ තම පරමාදර්ශය ගුරුවරයා බැවිනි. කොවිඩ් වසංගතය මේ විනාශ කර ඇත්තේ දරුවාගේ පරමාදර්ශයයි.

ලෝක දේශපාලනයේ ද මේ තත්ත්වය ඇති බව හඳුනාගත හැකිය. පක්ෂ දේශපාලනය දිගුකාලීනව පවත්වාගෙන යාමේ දී පක්ෂ නායකත්වය ගුරු චරිතයන් වූ අවස්ථා ද අපමණය .විශේෂයෙන් ලෝක ප්‍රකට දේශපාලනයේ නායකයින් අතර කියුබාවේ ක්‍රැස්තෝ, චේගුවේරා බොහෝ රටවල වාමාංශික දේශපාලනයේ ගුරු තනතුරේ තබා තවමත් තරුණ පරපුර ඒ මඟ යමින් සිටී.

ජීවිත පරමාදර්ශ

අප කුඩා කළ පටන්ම ඕනෑම දරුවකු තමා ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය චරිතයක ගෝලයකු බව කීමට ඉමහත් ලැදියාවක් දක්වන්නේ එයින් තමා ද කිසියම් පිළිගැනීමකට ලක්වන බැවිනි. මෙය විශ්වවිද්‍යාල දරුවන් අතර ජනප්‍රිය කරුණකි. තමා අසවල්, මහාචාර්යවරයාගේ ගෝලයෙකි, යනුවෙන් කීමට අප අද පවා ලැදිකමක් දක්වන්නේ ඉන් අප ජීවිතවලට ද වටිනාකමක් ලැබෙන බැවිනි.වෙනකක් තබා නර්තන ක්ෂේත්‍රයේ ජනප්‍රිය නර්තන ශිල්පීන්ගේ ගෝල පරපුරක් බිහි වන්නේ ද මේ මානව බැඳීමත් සමඟය. ඒ නිසා ගුරුවරයා යනු හුදෙක් විෂය දැනුම සපයන්නකු පමණක් නො දරුවකුගේ මුලු ජීවිත කාලයම මානුෂීය ගුණාංගයන්ග‍ෙන් පුරවන්නා ද වේ. 

‍මේ තත්ත්වය කොවිඩ් වසංගතය හමුවේ පමණක් නොව ඕනෑම ආපදාවක් ඇතිවිටෙක ඔවුන්ගෙන් දරුවන්ට ලැබිය යුත්තකි.අවාසනාවකට මේ සමාජ තත්ත්වය විසින් මේ ගුරුවරයා මුදල් උපයන ජාවාරම් කරුවකුගේ තත්ත්වයට ඇතැම් ගුරුවරු පත්වී සිටීම කනගාටුවට කරුණකි. එය දෙවන ලෝක යුද්ධයෙන්පසුව විවෘත ආර්ථිකයත් සමඟ ලොවපුරා පැතිරුණු අධිපරිබෝජනවාදී තත්ත්වය තුළ බිහිවූ තැනැත්තාය. අපට අද සිදුවී ඇත්තේ මේ ජාවාරම්කරුවා වෙනුවට හොඳ වැටුපකට හිමිකම් කියන දරුවන්නේ නැන පමණක් නොව ගුණ ද වගාකරන ගුරුවරයෙකි. දුරස්ත අධ්‍යාපනය විසින් තාක්ෂණය ඔවුන් දුරස් කලද සංවේ දී ගුරුවරයකුට දරුවකු ගුණනුවනින් පෝෂණය කිරීමෙන් බැහැරවිය නොහැක. ගුරු සිසු සබඳතාවය යනු පාසැලේ හෝ විශ්වවවිද්‍යාලයේ ඉගෙනගන්නා කාලය තුල දී පමණක් සමීප සබඳතාවක් තිබිය යුත්තක් නොව ජීවිත කාලයටම පැවැතිය යුතු සබඳතාවයකි.

ඡායාරූපය නිරූපණයක් පමණී

රක්ෂිත අඟලක්වත් විනාශ කරලා නෑ

$
0
0
මැයි 14, 2021 01:00
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ

පරිසරය සහ මිනිසා හැමවිටම බැඳී සිටින්නේ ගසට පොත්ත මෙනි. පරිසරය රැකුණොත් අප ද රැකේ. එහෙත් දිනෙන් දින සංවර්ධනය කරා හඹා යන ලෝකය සිය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී පරිසරයට සිදු කරන හානිය නම් කිසි විටෙකත් නොසලකා හැරිය යුත්තක් නොවේ. එසේ නම් පරිසරය රැක ගනිමින් සංවර්ධන ඉලක්ක ළඟා කරගන්නේ කෙසේද යන්න පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතා සමඟ කරන ලද සාකච්ඡාවකි.

- ගොවිතැන් නොකර සිටි ඉඩම් සුද්ධ කරගෙන ගොවීන් වගාවන් ආරම්භ කොට තිබෙනවා 
- 1981 අංකයට ඕනෑම වේලාවක ඇමතීමට මහජනතාවට පුළුවන් 
- 1980 වන තුරුම මේ රටේ පරිසර අමාත්‍යංශයක් හෝ පරිසර අධිකාරියක් තිබුණෙ නෑ 

මේ වන විට ශ්‍රී ලංකාව තුළ වන විනාශයක් සිදු වන බවට සමාජ කතිකාවක් ගොඩනැඟී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?

බොහොම වගකීමෙන් කියන්න තියෙන්නෙ එය ජනාධිපතිතුමා සහ රජය අපහසුතාවට පත්කරන්න හදපු කතන්දරයක් බව. රක්ෂිතවල අඟලක්වත් විනාශ කරලා නෑ. එහෙත් වසර 10ක් 15ක් පමණ ගොවිතැන් නොකර තිබූ ඇතැම් ඉඩම් වගාවන් සඳහා එළිපෙහෙළි කොට තිබෙනවා. දේශීය සත්ත්ව ආහාර සඳහා බඩ ඉරිඟු වැනි වගාවන් ‍මේ වන විට පුළුල් වී තිබෙනවා වගේම එවැනි වගාවන් සඳහා වැඩිපුර ප්‍රමාණයක් ඉඩම් සුද්ධ කළා. වත්මන් ජනාධිපතිතුමා ලබාදුන් සහනත් සමඟ ජනතාව ගොවිතැනට වැඩි නැඹුරුවක් දැක්වුවා. ආනයනය කිරීම තහනම් වුණ කහ පසුගිය දිනවල හිඟයක් පැවතුණත් මේ වන විට අතිරික්තයක් ඇති වන තරමටම අපේ ගොවීන් කහ වගා කරනවා. කෑලැවැදී තමන් ගොවිතැන් නොකර සිටි ඉඩම් සුද්ධ කර ගෙන ගොවීන් වගාවන් ආරම්භ කොට තිබෙනවා. එහෙත් රජයේ රක්ෂිතයකට අත වත් තියන්න ඉඩ දීලා නෑ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම දේකට අවසර දීලත් නෑ. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉඩ දීලත් නෑ.

සැෂේ පැකට් තහනම මේ වන විට නිසිලෙසම ක්‍රියාත්මක වෙනවාද?

ඔව්. යුනිලිවර් ආයතනයට විරුද්ධව නම් අපට ක්‍රියාත්මක වෙන්න සිදු වුණා. බහුජාතික සමාගමක් විදිහට ඔවුන් වගකීමෙන් කටයුතු කළේ නෑ. පනතක් ක්‍රියාත්මක කළ පසුව ඕනෑම ආයතනයකට වගකීමක් තිබෙනවා ඒ පනතට අනුව කටයුතු කිරීමට සහ පනතේ පරිසමාප්ත අර්ථය සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කිරීමට. මි.ලී. 20ට අඩු සැෂේ පැකට් වෙළෙඳපොළට නිකුත් කරන්න එපා කියලා කිව්වම තේරුම් ගත යුත්තේ, මි.ලී. 21ක් දුන්නට කමක් නෑ කියලා නෙවෙයි. සැෂේ පැකට් වැනි දේ මේ පොළොවට හොඳ නෑ කියන කාරණාවයි. ඒ අර්ථය තේරුම් නොගෙන එම සමාගම කළේ අප මි.ලී. 20 සහ ඊට අඩු සැෂේ පැකට් තහනම් කළාම මි.ලී. 6 පැකට් 4ක් හදලා එකට අමුණා මි.ලී. 24ක් කොට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමයි. ඒ සමඟම අප වහාම ඒ ආයතනයට නි‍යෝග කළා එම වෙළෙඳ කටයුත්ත නතර කරන්නට. ඒ ආයතනය පමණයි පනතට එරෙහිව යමින් මිලි ලීටර් 20 සැෂේ පැකට් එක වෙනුවට 24ක් හදලා වෙළෙඳපොළට නිකුත් කළේ. අනිත් ආයතන බොහොම හොඳින් අපත් සමඟ සාකච්ඡා කර ගෙන මිලි ලීටර් 20ට අඩු සැෂේ පැකට් නිකුත් කිරීම නවතා දමා තිබෙනවා. ඊට අමතරව හුළං පුම්බන සෙල්ලම් බඩු ආනයනය මේ වන විට නවත්වා තිබෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් තහනම් කර ඒ සමාගම්වලට වසරක කාලයක් දුන්නා නිපදවා තිබෙන බෝතල් අලෙවි කර ගන්න. අපේ නියෝගය වුණේ ඒ සඳහා ප්ලාස්ටික් වෙනුවට වීදුරු බෝතල් ලබා ගැනීමට වුවත් මේ වන විට කෘෂි රසායනික ද්‍රව්‍යවලට තහනමක් පනවා තිබෙනවා. එබැවින් ජනාධිපතිතුමාගේ කෘෂි රසායනික තහනම සමඟ කෘෂි රසායනික සම්බන්ධයෙන් ප්ලාස්ටික් බෝතල් නිපදවීම සම්පූර්ණයෙන්ම නවතිනවා. පනවා ඇති නීති සම්බන්ධයෙන් අප නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. සොයා බලනවා. තවමත් වෙළෙඳසල්වල තිබෙන භාණ්ඩ අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේ නෑ. අප කියා සිටියේ මාර්තු 31 සිට මාස 3ක් ගත වන තුරු වෙළෙඳසල්වල තිබෙන ඒ භාණ්ඩ අත්අඩංගුවට ගන්නෙ නැති බව. දැනට වෙළෙඳසල්වල තිබෙන ඒවා විකුණා ගැනීමට ඉඩ දී තිබෙනවා. ජුනි 30න් පසු විකිණීම තහනම්.

ඊට පස්සෙත් විකුණුවොත් මොකද කරන්නේ?

එවිට වෙළෙඳුන්ට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදු වෙනවා. එහෙම කරන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.

ප්ලාස්ටික් හා පොලිතින් තහනමේ නවතම තත්ත්වය කුමක් ද?

පනතින් තහනම් කළ වර්ග හතරට අමතරව තවත් වර්ග 200ක් පමණ තහනම් කිරීමට සැලසුම් සකස් කර අවසන්. අවසන් වරට ජනාධිපතිතුමා නිකුත් කළ තිරසර පරිසර කළමනාකරණ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා දැනට තහනම් කොට තිබෙන ප්ලාස්ටික්වලට අමතරව තවත් ප්ලාස්ටික්, පොලිතින් භාවිතය අවම කිරීමට කටයුතු කරන බව. දැන් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී පාරිභෝගිකයා එක් වරක් පාවිව්චි කොට ඉවත් කරන සියලුම පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට සිදු වෙනවා.

කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන්නේ කෙබඳු වැඩපිළිවෙළක් ද?

දැනට කඩොලාන පද්ධතිය සුරැකීම පිළිබඳ සම්පූර්ණ වගකීම පවරා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. අප සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන එම වැඩපිළිවෙළට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීම පමණයි. දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩොලාන වැඩි කිරීම සඳහා රජයේ අනුමැතිය ඇතිව ප්‍රතිපාදන වෙන් කොට කටයුතු කර ගෙන යනවා. එහි අධීක්ෂණ කටයුතුවලට පමණක් අප මැදිහත් වෙනවා. කඩොලාන පද්ධතියට හානියක් වෙනවා නම් එය වළක්වනවා මිස අලුතෙන් කඩොලාන සිටවන ව්‍යාපෘති මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කරන්නෙ නෑ. පානීය ජලය රැකගැනීම සඳහා වූ ‘සුරකිමු ගංගා’ වැඩසටහනේ වගකීම ජනපතිතුමා පවරා තිබෙන්නේ අපට. කටුපොල් ගලවා රබර් සිටුවීමේ ව්‍යාපෘතියත් අපට පවරා තිබෙනවා. කඩොලාන වගා කිරීම, නැවත වන වගාව සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. අපිත් අවශ්‍ය මොහොතක මැදිහත් වෙනවා.

කොළඹ නගරයේ ඔක්සිජන් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙන බව සත්‍යයක් ද?

එය අමූලික බොරුවක්. විද්‍යානුකූලව ගත්තම ඔක්සිජන් 0.07 අඩු වීමට වසර මිලියන 08ක් ගත වෙනවා. කවුරුත් කියන විදිහට කොළඹ නගරයේ ඔක්සිජන් අඩු වෙලා නෑ. එහෙම කතාවක් පැතිරෙන්න හේතුව තමයි කොළඹ නගරාධිපති සහ පරිසර ඇමැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවක දී නාගරික කොමසාරිස්වරිය සමඟ පැමිණි නිලධාරියෙක් ඇමැතිතුමාගෙන් ඇහුවා කොළඹ ඔක්සිජන් අඩුයි වගේ නේ ද? කියලා. ඊට පහුවෙනිදා උදේ ජාතික පත්තරවල ප්‍රධාන මාතෘකාවක් හැටියට දැම්මා ‘කොළඹ නගරයේ ඔක්සිජන් අඩු වෙයි’ කියලා. ඒ ලොකු බොරුව තමයි මේ තරම් දුර දිග ගියේ.

රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා අතර පරිසරය රැක ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග මොනවා ද?

1980 වන තුරුම මේ රටේ පරිසර අමාත්‍යංශයක් හෝ පරිසර අධිකාරියක් තිබුණෙ නෑ. මේ රටට පරිසර අධිකාරියක් අවශ්‍ය බව 1980 දී මුල්වරට යෝජනා කළේ එවකට සිටි ජනපති රණසිංහ ප්‍රේමදාස මහතායි. ඒ සඳහා බලපෑ විශේෂ හේතුවක් තිබුණා. විවෘත ආර්ථිකයත් සමඟ මහා පරිමාණයෙන් කර්මාන්ත ආවා ලංකාවට. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවුරුදු 30කට සැලසුම් කොට තිබුණු මහවැලි ව්‍යාපෘතිය කඩිනමින් සිදු කිරීමට එවකට සිටි මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණි දිසානායකට සිදු වුණා. ඉතා වේගයෙන් එවැනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන විට පරිසර විනාශයත් ඉතා වේගයෙන් සිදු වෙනවා. ගස් වැවෙන්න ඉස්සෙල්ලා ගස් කපන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රේමදාස ජනාධිපතිවරයාට සිද්ධ වුණා සංවර්ධන ව්‍යාපෘතිය වේගයෙන් කරන්න නම් එයින් පරිසරයට වන හානිය කළමනාකරණය කිරීමට ආයතනයක් ඇති කරන්න. ඒ අනුවයි 1980 දී මධ්‍යම පරිසර අධිකාරිය ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා පිහිටුවූ‍යේ. තවමත් මධ්‍යම පරිසර අධිකාරියේ පත් කිරීම් බලධාරියා ජනාධිපති. රටේ සංවර්ධන කටයුතු සිදු කරන විට පරිසර හානි අවම වන අයුරින් සංවර්ධන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ඊට අදාළ ආයතනවලට මධ්‍යම පරිසර අධිකාරියෙන් උපදෙස් ලබා දිය යුතුයි. ඒ වගකීම අපට පැවරී තිබෙනවා. යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මත්තෙන් අප ඉල්ලා සිටිනවා පරිසර ඇගයීම් වාර්තාවක්. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරිසර පනතට පටහැනි ව්‍යාපෘතියක් පටන් ගන්න බෑ. ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මත්තෙන් පරිසර ඇගයීම් වාර්තාවක් සිදු කොට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුයි. පරිසරයට හානියක් නොවන අන්දමින් එම ව්‍යාපෘති කළමනාකරණයට මඟ පෙන්වීම අපේ වගකීමක්. 

පරිසර ගැටලුවල දී මධ්‍යම පරිසර අධිකාරියට මහජන පැමිණිලි යොමු කළ යුත්තේ කෙසේ ද?

1981 අංකයට ඕනෑම වේලාවක ඇමතීමට මහජනතාවට පුළුවන්. පැමිණිල්ල පටිගත වෙනවා. අදාළ නිලධාරීන් පැමිණිලි භාර ගන්නවා. ලිඛිතව ලැබෙන පැමිණිලිවලට ද පිළිතුරු ලබා දෙනවා. මීට අමතරව දිස්ත්‍රික්ක 25හේම තිබෙනවා මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාල 25ක්. ඒ කාර්යාලවලටත් පැමිණිලි භාර දෙන්න පුළුවන්. එසේ නොමැති නම් මධ්‍යම පරිසර අධිකාරිය, අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට පැමිණිලි ලිඛිතව එවන්නත් පුළුවන්.

පැමිණිලි යොමු වූ විට ක්‍රියාත්මක වන ආකාරය ගැන පැහැදිලි කරන්න?

පැමිණිල්ල ලබා ගත් සැණින් අපේ නිලධාරින් පැමිණිල්ල අදාළ අංශයට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විට දී අත්අඩංගුවට ගන්නවා. කඩා පනින්න අවශ්‍ය විට දී කඩා පනිනවා. වෙනත් ආයතනවලට ලිඛිතව දැනුම් දිය යුතු අවස්ථාවල දී එය ද සිදු කරනවා. අපට ලැබෙන පැමිණිලි වර්ග තුනක් තිබෙනවා. අපට අයිති, අපේ පනතට අයිති එහෙත් ක්‍රියාත්මක කළ නොහැකි සහ අපේ පනතට අයිති නැති මේ සියලු පරිසරය සම්බන්ධ පැමිණිලි භාරගෙන අදාළ අංශවලට සහ ආයතනවලට යොමු කරනවා.

කාංචනා සිරිවර්ධන

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>