නූතන දේශපාලනයේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් ‘පක්ෂ දේශපාලනය’ හඳුනා ගත හැකි ය.අති තරගකාරී ස්වභාවයක් දේශපාලනය කෙරෙහි ආරූඪ වන්නේ ද පක්ෂ දේශපාලනයේ ආරම්භය සනිටුහන් වීමත් සමඟ ය. පක්ෂ දේශපාලනයේ ආරම්භය සහ ඉතිහාසය පිළිබඳ කරුණු කාරණා සොයා බලද්දී එය බටහිර තෙක් දිව යයි. නූතන ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වන්නේ 17වන සියවස අග භාගයේ දී ය.
බටහිර යුරෝපයේ ඒකාධිපති රාජාණ්ඩුවට එරෙහි ව මිනිස් නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව ගෙනගිය නොනවතින අරගලය ජයග්‍රහණය කිරීම ත් සමඟ පක්ෂ දේශපාලනයට අවශ්‍ය පසුබිම සැකසෙයි. එතෙක් යුරෝපය පාලය කළ 2 වන ජේම්ස් රජු 1688දී බලයෙන් පහකොට පාර්ලිමේන්තුවට අවනත රාජාණ්‍ඩුවක් බිහි කිරීම එවක ඔවුන්ගේ මූලික ම අවශ්‍යතාවය වී තිබුණි. අමෙරිකාව තුළ ද ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වන්නේ මේ ආකාරයෙනි. 1776 වසරේ දී අමෙරිකානු විප්ලවය ද එහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීම කෙරේ බලපෑවේ ය. එවක අමෙරිකාව යටත්කොට ගෙන තිබුණු බ්‍රිතානය යටත් විජිත පාලනයට එරෙහි ව වූ විමුක්ති අරගලය ජයග්‍රහණය කිරීම තුළින් එක්සත් ජනපදයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ විය.
ලෝක දේශපාලන පක්ෂ ක්‍රමයේ ආරම්භය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ ටෝරි හා විග් කණ්ඩායම් 1948-1958 දක්වා කාලය තුළ පැවති සිවිල් යුද්ධය සමයේ දෙපසට බෙදී කටයුතු කරමින් සිටිය දී රාජාණ්ඩුව පරාජය කිරීම සඳහා ගෙනයන ලද ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන්ගෙන් අනතුරු ව ය. බ්‍රිතාන්‍ය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන කම්කරු පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය ආරම්භ වන්නේ ඒ ආකාරයෙන් ය. 18වන සියවසේ අග භාගයේ දී කාර්මික විප්ලවය ආරම්භ වීම, කාර්මික ධනවාදය ව්‍යාප්ත වීම, පන්ති බිහි වීම සහ එම අරගල නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූල බීජ ලොවෙහි පැළවන්නට විය. බ්‍රිතාන්‍යයෙන් පසු ව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ද පක්ෂ බිහි විය. මේ සඳහා ද බලපාන ලද්දේ නියෝජනය සහ ඡන්ද බලය යන කරුණු කාරණාවන්ය. “නියෝජනය නැත්නම් බදු ගෙවීමක් ද නැත” යන්න එවක ජනතාව මතු කළ දෙය යි. කෙසේ වෙතත් ලොව සෑම රටක ම පාහේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය සහ පැතිරීම සමඟ දේශපාලන පක්ෂ ක්‍රමය ද වර්ධනය වූ බවට ඉතිහාසය දෙස් දෙයි.
ක්‍රමයෙන් ශ්‍රී ලංකාව දෙසට හැරෙද්දී වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයකි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය ආදී වශයෙන් පක්ෂ රැසකි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වටා සභාග පිහිටුවමින්, පක්ෂ කඩාගනිමින් නව පක්ෂ බිහි කර ගනිමින් රාජ්‍ය බලය ලබා ගැනීමේ නොතිත් බල අරගලයක මේ පක්ෂ නිරත වෙනු පෙනේ. පළමු දේශපාලන පක්ෂය බිහිවීම කෙරෙහි මූලික පසුබිම වැටුණේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනාවලිය යි. ඒ අනුව සර්වජන ඡන්දබලය පමණක් නොව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බිහි විය. නමුත් 1931 සහ 32 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණවලට අපේක්ෂකයන් ඉදිරිපත් වූයේ පක්ෂවලින් නොවේ. ස්වාධීන අපේක්ෂකයන් ලෙස ය. ඔවුන් සතුවූයේ ද පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් ය.
නමුත් 1935 දෙසැම්බර් මස 18 වන දින ලංකාවේ පළමු දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය බිහි වේ. 1943 වර්ෂයේ ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය බිහිවනුයේ දෙවනුව ය. සම සමාජ පක්ෂ අභ්‍යන්තරයේ පැවති අර්බුද හා මත ගැටුම්වල ප්‍රතිඵලය ලෙස එම පක්ෂය බිහි විය. 1931ට පෙර පැවති වාර්ගික නියෝජනය අහෝසිකොට ප්‍රාදේශීය මූල නියෝජන ක්‍රමය හඳුන්වා දීම ඒ වනවිටත් බිහි වී ව්‍යාප්ත වෙමින් පැවති වාර්ගික නායකයන්ට එල්ල කළ අතුල් පහරක් විය. ඔවුහු ඒ නිසා ම සිංහල මහ සභාව, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය, සමස්ත ලංකා මුස්ලිම් ලීගය ආදිය බිහි කර ගත්හ. 1946 දී එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමේ ලා පැහැදිලිව ම කිසියම් ජනතා ඒකරාශී වීමක් දක්නට ලැබුණි. නමුදු එය ද ඉතා කෙටි කාලයක් බවට පෙනුණි. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන්ට අනුවම අපේ රටේ ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව කෙමෙන් බෙදී වෙන වෙන ම පක්ෂ පිහිටුවන්නට විය. තමන්ගේ ආගමට අදාළ චින්තනයක් සහිතව හෝ තමන්ගේ ජාතියට අදාළ චින්තනයක් සහිතව හෝ ස්වකීය ජන වර්ගයාට අදාළ චින්තනයක් සහිත නායකයන් ද මේ සඳහා ඔවුහු පත්කර ගනිති. එසේ ක්‍රමික ව වර්ධනය වූ පක්ෂ කිහිපයක් පහතින් දක්වන්නට හැකි ය. අදටත් ප්‍රධාන පක්ෂ දෙකක් වටා භ්‍රමණය වන සභාග ආණ්ඩු බිහි කිරීමේ ක්‍රමවේදය නොනවත්වා ම පවත්වාගෙන යනු පෙනේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,එජාපෙ. එක්සත් ජාතික පක්ෂය,සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය,ජාතික හෙළ උරුමය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,TPA ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,ජාතික කම්කරු සංගමය,කඳුරට ජනතා පෙරමුණ,එජනිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ලංකා කම්කරු කොංග්‍රසය,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,දේශ විමුක්ති ජනතා පක්ෂය,ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය,ලංකා සමසමාජ පක්ෂය,මහජන එක්සත් පෙරමුණ,ජාතික කොංග්‍රසය,ජාතික නිදහස් පෙරමුණ,ශ්‍රී ලංකා මහජන පක්ෂය,දෙමළ ජනතා විමුක්ති කොටි, දෙජස, ඉලංගෙයි තමිළ් අරසු කච්චි,ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ,දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ),දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය,ජනතා විමුක්ති පෙරමුණ,ලිබරල් පක්ෂය, ආදී පක්ෂ මෙන් ම පාර්ලිමේන්තුවෙන් පිටත පක්ෂ ලෙස බහුජන නිදහස් පෙරමුණ, බොදු ජන පෙරමුණ,ලංකා කමියුනිස්ට් පක්ෂය (මාඕ),ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමගි සන්ධානය,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ,ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ,ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ,වාමාංශික විමුක්ති පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය,නව සම සමාජ පක්ෂය,නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,ජනතා සේවක පක්ෂය,මුස්ලිම් ජාතික සමගි සන්ධානය,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,නව සිංහල උරුමය,මහජන දෙමළ කොංග්‍රසය,විප්ලවවාදී කම්කරු පක්ෂය,සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය,සමාජවාදී සමානතා පක්ෂය,ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය,ශ්‍රී ලංකා කම්කරු පක්ෂය,ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්), දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ,එක්සත් සමාජවාදී පක්ෂය ආදී පක්ෂ ගණනාවක් වර්තමාන ශ්‍රී ලංකාවේ පවතී. මේ බොහෝ පක්ෂ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී පක්ෂ බැව් ඉඳුරා ම පෙනේ. ඊට අමතර ව ද අතීතයේ පැවති දේශපාලන පක්ෂ දෙස බැලවු ද සමස්ත ලංකා ඉස්ලාමීය සමඟි පෙරමුණ,සමස්ත ලංකා මැලේ දේශපාලන සන්ධානය,අසීස් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය,බොල්ෂෙවික් සමසමාජ පක්ෂය,බෞද්ධ ජනරජ පක්ෂය,ලංකා ජාතික කොංග්‍රසය,ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,ලංකා මහජන සභා,ලංකා සම සමාජ පක්ෂය, (විප්ලවවාදී) සිංහල මහා සභා, ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය,ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය,එක්සත් ලංකා කොංග්‍රසය,විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය ආදිය තුළින් ද ඒවායේ වචනාර්ථවලින් ම පෙනෙනුයේ වාර්ගිකත්වය, ආගමිකත්වය, ජාතිය ආදී කරුණු මෙම පක්ෂ සඳහා පදනම සපයා ඇති බවකි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එක්තරා අන්දමකට දූෂණයකට ලක් වීමක් මේ නිසා සිදුවන බැව් පැවසිය යුතු ය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම ඵල ප්‍රයෝජන සමස්ත ජනතාවට ලබාදීමේ සහ අත්පත්කර දීමේ කාර්යය සඳහා මෙයින් සිදුවන්නේ අවැඩකි. එක් ජනකොටසක් උදෙසා එක් එක් පක්ෂ බිහිවීම තුළ ජනතාව කල්ලි කණ්ඩායම්වලට බෙදෙමින් තවදුරටත් වර්ගවාදය, කල්ලිවාදය, ජාතිවාදය, ආගම්වාදය වපුරන්නට සහාය වෙති. මෙය රටක් වශයෙන් මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වයකි.
අප මහජනතාව ලෙස දැනගත යුත්තේ මේ කිසිම දේශපාලන පක්ෂයක් සෘජුව මහජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බව යි. ඔවුන්ගේ ඉලක්කය ඇරිස්ටෝර්ටල් පැවසූ පරිදි ‘බලය ලබා ගැනීම’ ය. බලය ලබා ගැනීමෙන් අනතුරු ව ඔවුනට අවැසි වන්නේ ජනතා සේවයට පළමු තමා වෙනුවෙන් සේවය සපයා ගැනීම යි. තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට පළමුවත් අනතුරු ව ඉඩක් ලදොත් ජනතාව වෙනුවෙන් යමක් කරන්නට ද කිසියම් උත්සාහයක් ගනිති. එකී පෞද්ගලිකත්වය තුළ ජාතියක්, ආගමක්, භාෂාවක් හෝ වෙනත් කරුණක් ඔවුන් අදාල කරගන්නේ ද නැත. ඒ සියල්ල මතුවන්නේ පෞද්ගලිකත්වය පරිපූර්ණත්වය හෝ ඒ අසලට පැමිණීමෙන් අනතුරුව ය. දශක ගණනාවක සිට අදටත් අපි එය දැන දැනත් මෙම පටු පරමාර්ථ උදෙසා බිහිවන දේශපාලන පක්ෂවලට දර දිය අදිමු. සමසමාජ පක්ෂයේ අර්බූද ඔස්සේ කොමියුනිස්ට් පක්ෂය බිහි වෙන බව ත් එක්සත් ජාතික පක්ෂය බිහිවීමෙන් අනතුරු ව එහි අභ්‍යන්තර අර්බූද මැද බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීම ත් තුළින් අපට පෙනෙන්නේ ම එකී පෞද්ගලිකත්වය මෙහිලා ප්‍රධාන සාධකයක් වන බව ය. මේ ආකාරයට බිහිවන පක්ෂ හතු පිපෙන්නාක් සේ දිනෙන් දින ඉහළ යනු විනා රටකට දැයකට වැඩ ඇති පක්ෂයක් ලෙස ගොඩනැඟෙන හෝ බිහිවන පක්ෂ පිළිබඳ සටහනක් තැබීමට නොහැකි තරම් ජරාජීර්ණ තත්ත්වයක අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමය ඇද වැටී ඇත.
රටේ මහජනතාව දේශපාලනික ව සබුද්ධික නම් එවැනි තැනකට රට කිසිසේත් ඇද දමන්නේ නැත. ආර්ථිකයේ පවතින අඩු ලුහුඩුකම්, අධ්‍යාපනයේ පවතින හිඩැස්, සමාජානුයෝජනයේ පවතින දුර්වලතා, නායකත්වයන්හි පවතින අදූරදර්ශීබව මෙන් ම හුදු පෞද්ගලික න්‍යායපත්‍ර වැනි කරුණු කාරණා නිසා ම ජනතාවට සත්‍ය අවබෝධ වන්නේ කලින් කලටය. ආගම් සේ දේශපාලනය අදහන පිරිසක් සිටීම ද එක්තරා අන්දමක අන්තවාදී බවකට රටේ දේශපාලනය ඇද වැටීමට හේතුවකි. ජනතාවගේ ආර්ථික දරිද්‍රතාවයෙන්, නොදැනුවත්කමෙන් ප්‍රයෝජන ගන්නට සටකපට දේශපාලඥයන්ට අවස්ථාව සකසා දී තිබීම රටේ බුද්ධිමතුන් විසින් සිදුකොට ඇති අකටයුත්තකි. දේශපාලනයෙහි අවංකව නියැලෙන්නෝ විවිධ පක්ෂවල සිටිය ද ඔවුනට ද ඉස්මතු වීමට මේ පක්ෂ ක්‍රමය එක්තරා කඩුල්ලකි. සත්‍ය ඉස්මතු කරන්නන් පක්ෂය තුළ ම පාගා දැමීමේ සිරිත අදටත් චිරාගත ව පවතින බැවිනි. ශ්‍රී ලංකාවට ගැලපෙන දේශපාලන ක්‍රමවේදයක් නොඑසේ නම් දේශපාලන පක්ෂ ක්‍රමයක් ගොඩනඟා ගැනීමට නම් එය අධ්‍යාපනයෙන් ඇරඹිය යුතු ය. සාක්ෂරතාවය 93% ඉක්මවන අප වැනි රටක දේශපාලන සාක්ෂරතාවය ලබාදීම එතරම් අපහසු අභියෝගයක් නොවන බැව් පැහැදිලි ය. එය කොතැනින් හෝ ඇරඹීම කිසිවකු හෝ විසින් කළ යුතු ව තිබේ. එය රටට දැඩි ව දැනෙන යුගයේ අවශ්‍යතාවලින් එකකි.
ගයාන් පීරිස්