Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

සුන් වූ සිහින

$
0
0
මැයි 14, 2022 01:00
ෆවුස් මොහොමඩ්

 

ඇෆ්ගනිස්තානයේ දැන් සිදුවෙමින් පවතින්නේ වත්මන් ලෝකයේ ඇති බරපතළම කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අර්බුදයකි.

 

ඇෆ්ගන් කාන්තාවන්ට සහ තරුණියන්ට අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවෙසින් බැහැර වීම තලේබාන් රජය විසින් තහනම් කරනු ලැබුවේ ඊයේ පෙරේදාය. ඇරත් එවැනි කාරණාවකට නිවෙසින් බැහැර වන්නේ නම් ඔවුන්ගේ මුහුණත්, මුළු සිරුරත් එහෙම පිටින්ම ආවරණය විය යුතුය.

 

ආගමික අන්තවාදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය උදුරා ගැනීමෙන් පසු ගත වූ කාලය ඇතුළත එරට කාන්තාවන්ට පැනවූ දරුණුතම නීතිය මෙය වේ. එවැනි නීති පද්ධතියක් පනවා ඇත්තේ ඇෆ්ගන් බාලිකාවන්ට පාසල් අධ්‍යාපනයට දොරටු විවර කරන ලෙසත්, කාන්තා අයිතිවාසිකම් ස්ථාපිත කරන ලෙසත් අන්තර්ජාතික වශයෙන් හා දේශීය වශයෙන් තලේබාන් රජයට බලපෑම් එල්ල වෙමින් තිබෙන මොහොතකදීය.

 

එබැවින් පසුගියදා සිය අන්තවාදය තවදුරටත් පෙන්නුම් කරමින් තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන් සහ තරුණියන් තවදුරටත් නිවාසවලට කොටු කර තැබීමේ දරුණුතම නීතිය ක්‍රියාත්මක කිරීම අන්තර්ජාතික ප්‍රජාවගේ දැඩි විමතියට කරුණක් විය.

ඇෆ්ගන් කාන්තාවන් නිදහස ඉල්ලා උද්ඝෝෂණය කරමින් ද, එරට යොවුන් දැරියන් අධ්‍යාපනය ඉල්ලා හඬා වැටෙමින් ද ගත කළේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. ඒ සියලු බලාපොරොත්තු හා සිහින බිඳ දමා තවදුරටත් කාන්තාව නිවාසවලට කොටු කිරීමෙන් තලේබාන් සංවිධානය ඉටු කරගෙන ඇත්තේ ඔවුන්ගේ අන්තවාදී අරමුණු මිස සැබෑ ඉස්ලාමය අකුරටම අනුගමනය කිරීමේ ප්‍රතිපත්තිය නොවන බව විදෙස් රටවල පදිංචිව සිටින ඇෆ්ගන් කාන්තාවෝ එක හඬින් කියති.

 

ඇෆ්ගනිස්තානයේ යොවුන් දැරියන්ට අධ්‍යාපනය යනු තවදුරටත් සිහිනයක් පමණි. දැරියන්ට අධ්‍යාපනය තහනම් කළ ලොව එකම රට ද ඇෆ්ගනිස්තානය පමණි. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව දැන දැනම තලේබාන් රජය එවැනි පියවරක් ගනු ලැබුවේ අන්තවාදයේ නාමයෙන් මිස ඉස්ලාමයේ නාමයෙන් නොවන බව ලෝක ඉස්ලාම් විද්වත්හු පවා කියති.

 

දැන් ඇෆ්ගනිස්තාන භූමිය තුළ තවදුරටත් කාන්තා නිදහසක් ඇත්තේම නැත. කාන්තා පිරිමි භේදය තලේබාන් සංවිධානය තවදුරටත් ශක්තිමත් කර ඇත. ඊයේ පෙරේදා කාන්තාවන්ට එරෙහිව පැනවූ නීතිරීති මාලාවට ඇතුළත් වන්නේ අත්‍යවශ්‍ය කාරණාවකට හැර කාන්තාව නිවෙසින් බැහැර වීම තහනම් කිරීම පමණක්ම නොවේ. ඊට තවත් බොහෝ නීති ඇතුළත්ය.

අලුතින් පැනවූ නීති අතර කාන්තාවන්ට සහ පිරිමින්ට එකට අසුන්ගෙන ආහාර ගැනීම ද තහනම් කර ඇත. නීත්‍යානුකූල අඹුසැමියන්ට පවා එම නීතිය අදාළය. එසේ කළ හැකි වන්නේ නිවාස ඇතුළතදී පමණි. එපමණක් නොවන එරට උද්‍යාන ආදි නිදහසේ හැසිරිය හැකි ස්ථානවලට මේ දෙපාර්ශ්වයට එකම දිනයක පැමිණිය නොහැකිය. එය දැන් බෙදා වෙන් කර ඇත්තේ කාන්තාවන්ට එක් දිනයක් සහ පිරිමින්ට වෙනත් දිනයක් වශයෙනි. ඒ අනුව උද්‍යානවල නිදහසේ සැරි සැරීමට කාන්තාවන්ට බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා වෙන් කර ඇති අතර, සෙසු දින කිහිපය පිරිමින්ට වෙන් කර ඇත.

 

නව නීති පැනවීමෙන් එරට අවන්හල් සියල්ල හිස් වෙමින් පවතී. කාන්තාවන් තනිව අවන්හල් කරා පැමිණෙන්නේ නැති අතර, ඔවුන්ට පවුල් පිටින් පැමිණ ආහාර ගැනීමට ද අවසර නැත. එසේ පැමිණිය ද ඔවුන් අසුන් ගත යුතු වන්නේ වෙන වෙනමය. සැමියා එක් මේසයකත්, බිරිය එක් මේසයකත් අසුන් ගෙන ආහාර ගැනීමට සිදුවන්නේ නම් අවන්හල් කරා පැමිණීමේ අවශ්‍යතාවක් එරට ජනතාවට ඇත්තේම නැත. එහෙත් නියෝග අනුගමනය නොකිරීමෙන් රජයේ උදහසට ලක්වීමට සිදුවන බැවින් අවන්හල් හිමියන්ට වෙනත් විකල්පයක් නැත. තහනම අඛණ්ඩව පවත්වා ගැනීමෙන් සිදුවන්නේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව ඔවුන් සේවයෙන් ඉවත් කිරීම පමණක් බව ඇෆ්ගන් අවන්හල් හිමියෝ පවසති.

වාසනාවකට තවමත් ඇෆ්ගන් කාන්තාවන්ට එරට රිය පැදවීමේ තහනමක් පනවා නැත. රියැදුරු බලපත් ඇති බොහෝ කාන්තාවන් කාබුල් පමණක් නොව තවත් නගර ගණනාවක රිය පදවනු දක්නට හැකි වූවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තාවන්ට රියැදුරු බලපත් නිකුත් කිරීම නතර කරන ලෙස තලේබාන් රජය නියෝග කර හමාරය.


තලේබාන් රජයේ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු කාන්තා නියෝජනයක් නැති අතර, එරට කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ද වසා දමා තිබේ.

අන්තර්ජාතික ප්‍රජාවගේ ඉල්ලීම් සහ බලපෑම් ඉවතලමින් තලේබාන් රජය එරට කාන්තාවන්ට ඊයේ පෙරේදා පැනවූ නීතිරීති මාලාවේ වඩාත්ම අමානුෂික නීතිය වන්නේ නිවෙසින් පිටත රැඳී සිටින කාන්තාව හෝ තරුණිය සැක කටයුතු පුද්ගලයකු ලෙස ලේබල් ගත කිරීමය. එවැනි කාන්තාවන් හෝ තරුණියන් රජයට එරෙහිව යෑමේ වරදට හෝ අසංවර ලෙස හැසිරීම නොඑසේ නම් අන් පිරිමින් ඇසුරු කිරීමේ චෝදනාවට හසුවනු ඇත. බරපතළම කාරණාව වන්නේ යම්කිසි කාන්තාවක හෝ තරුණියක අකීකරු වන්නේ නම් ඇයට දඬුවම් කිරීමේ බලය ඇගේ භාරකරුට ලබා දීමය. ඒ ආකාරයෙන් තලේබාන් සංවිධානය එරට සෑම පිරිමියකුම තම අභිමතයට නතු කරමින් කාන්තා හිංසනයට පොලඹවා ඇත. දැන් එරට සෑම පිරිමියකුම ඔවුනොවුන්ගේ බිරින්ඳෑවරුන්ගේ සහ දියණියන්ගේ විනිශ්චයකරුවෝ වෙති.


 

 


යාවත්කාලීන අධ්‍යාපන ක්‍රමයක් ඕනෑ කර තිබේ

$
0
0
මැයි 16, 2022 01:00

මල්කි ඈපාසිංහ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

 

කැලණිය විශ්වවිද්‍යාලය

අධ්‍යාපනය පුරවැසියන්ගේ මානසිකත්වය හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නකි. එබැවින් රටක අධ්‍යාපනයට අතිශය වැදගත්කමක් හිමි වේ. පුරවැසියන් අතර සාමය සහ සහජීවනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන පුද්ගලයකු නිර්මාණය කිරීමට, ඉදිරි දර්ශනයක් සැපයීමට සහ ඔවුන්ගේ ආකල්ප සහ චින්තනරටාව යළි පිහිටුවීමට එය සමත් වේ. අධ්‍යාපනය තුළින් තොරතුරු දැනුම බවට පත් කිරීමේ හැකියාව ඇති අතර, එය ගැටලු විසඳීමට සහ විශ්ලේෂණ කුසලතා වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපනයට පුද්ගල විභවය හඳුනාගෙන එය වැඩි දියුණු කර හැඩ ගැන්වීමේ හැකියාව ඇත. මෙම කුසලතා රටක සමාජ, දේශපාලන හා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රයෝජනවත් විය හැකිය. මේ අනුව, රටේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෑම රටක්ම සාක්ෂරතා මට්ටම වැඩි කිරීමට උත්සාහ කරන බව කවුරුත් දන්නා කරුණකි.

QS World University Rankings සහ Times Higher Education ඉදිරිපත් කර ඇති පරිදි අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංසය, ස්විට්සර්ලන්තය, ජපානය, ස්වීඩනය සහ නෙදර්ලන්තයලොව විශිෂ්ට අධ්‍යාපන පහසුකම් සපයන ප්‍රමුඛ රටවල් වේ.

පර්යේෂණ-මූලික ඉගෙනීම

අමෙරිකාවේ අධ්‍යාපන ක්‍රමය සලකා බැලීමේදී ඉහළම මට්ටමේ විශ්වවිද්‍යාල අතරට හාවාර්ඩි (Harvard), ස්ටැන්ෆෝර්ඩ් (Stanford), යේල් (Yale), ප්‍රින්ස්ටන් (Princeton), Massachusetts Institute of Technology යන විශ්වවිද්‍යාල අයත් වේ. මිලියන 1.18 කට අධික ජාත්‍යන්තර සිසුන්ට මෙම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට පහසුකම් සලසා ඇත. වඩාත්ම ජනප්‍රිය පාඨමාලා වන්නේ ව්‍යාපාර සහ කළමනාකරණය, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතයයි. එක්සත් ජනපද අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත්තේ පර්යේෂණ-මූලික ඉගෙනීම මත වන අතර එහි අවසාන අරමුණ නව්‍ය යමක් ප්‍රතිදානය කිරීමයි. එබැවින් නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය එක්සත් ජනපද අධ්‍යාපන ක්‍රමයේ හරය ලෙස සැලකිය හැකිය. ඉහළ ලකුණු ගැනීම සඳහා, සිසුන්ගේ දිනපතා පැමිණීම, පරීක්ෂණවලට මුහුණ දීම සහ ගෙදර වැඩ කිරීම අනිවාර්ය වේ. සිසුන් එකිනෙකා සමඟ සාකච්ඡා කිරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානිය වාර්ෂිකව ජාත්‍යන්තර සිසුන් 442 දහසකට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කර ගනී. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්, එඩින්බර්ග් විශ්වවිද්‍යාලය සහ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය එක්සත් රාජධානියේ වඩාත් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල කිහිපයකි. 2019 මාර්තු වන විට එක්සත් රාජධානිය අධ්‍යාපනය සඳහා එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.2ක් වියදම් කර ඇත. නොබෙල් ත්‍යාගලාභීන් සහ ඔලිම්පික් ශූරයන් වැනි බොහෝ තරු රැසක් එක්සත් රාජධානියෙන් බිහි විය. එපමණක් නොව, එක්සත් රාජධානිය ඉහළ රැකියා ශ්‍රේණිගත කිරීමක් ද සකසයි.

එසේම, ඉහත සඳහන් කළ අනෙකුත් රටවල් ද පර්යේෂණ-මූලික ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරන අතර ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සමීක්ෂණ පවත්වයි. වෘත්තීය අභිමුඛ ඉගෙනීම සඳහා තෝරා ගත් විෂය ධාරාවන් විෂයමාලාවලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වේ. තවද, ස්වයං ඉගෙනුම් ක්‍රම නිතර භාවිත වන අතර සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් මඟින් නිර්මාණාත්මක සහ නව්‍ය චින්තනයක් ඇති පුද්ගලයින් බිහි වේ. අධ්‍යාපනික සුදුසුකම් පමණක් නොව නායකත්වය, ඉවසීම, විනය, අන්තර් ක්‍රියා, ආත්ම විශ්වාසය වැනි පෞරුෂ වර්ධනය ද සිසුන් අතර වර්ධනය වේ.

ඉහළම අධ්‍යාපන ක්‍රමයක ලක්ෂණ

අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතී නම්, සිසුන්ගේ කාර්ය සාධනය ද නිරායාසයෙන් ම ඉහළ යයි. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිසුන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. එපමණක් නොව, සහයෝගී ඉගෙනීම සහ කණ්ඩායම් වැඩ මානසිකත්වය සහිත අධ්‍යාපන රටාවක් සහිත පාසල් වඩාත් ඵලදායී වෙයි. හොඳින් ව්‍යුහගත අධ්‍යාපන ක්‍රමයක් රාජ්‍යයේ අපේක්ෂාවන්ට අනුකූලව විෂය මාලාව, උපදෙස් සහ ඇගයීම් සකස් කරයි. ඒ සඳහා අධ්‍යාපනඥයෝ රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා පර්යේෂණ පදනම් වූ උපාය මාර්ග සහ සම්පත් භාවිත වෙයි. සිසුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා, ඔවුන්ගේ නිපුණතා මට්ටම නොසලකා ඔවුන් සමීපව නිරීක්ෂණය කළ යුතු අතර අවශ්‍ය අවධානය සහ සහාය දිය යුතුය. එසේම, ගුරුවරුන් ද අධීක්ෂණය කළ යුතු අතර ඔවුන්ගේ කාර්යසාධනය ඇගයීමට ලක් කළ යුතුය. මීට අමතරව, උපකාරක ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීම සඳහා, ශිෂ්‍ය-ගුරු අන්තර් ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට ගුරුවරුන්ට මඟ පෙන්විය යුතුය. අධ්‍යයනයන්ට අනුව, මේවා ඉහළම මට්ටමේ අධ්‍යාපන ක්‍රමයක ලක්ෂණ වේ.

පුද්ගල සංවර්ධනයට මඟ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගත් විට එහි දුර්වලතා ගණනාවක් දැකිය හැකිය. එක් ප්‍රධාන කරුණක් ලෙස 'කටපාඩම් ඉගෙනීම් ක්‍රමය'පෙන්වා දිය හැකිය. මෙය පාසල් මට්ටමින් පමණක් නොව උසස් අධ්‍යාපන මට්ටමින් ද ඇතැම් ස්ථානවල දැකිය හැකිය. ඔවුන්ගේ සැබෑ නිපුණතා මට්ටම් ඇගයීමට ලක් නොවන නිසා මෙවැනි ඉගෙනුම් ක්‍රම ඵලදායී නොවේ. රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වුවද, පාඨමාලා අන්තර්ගතය යල් පැන ගිය බැවින්, එය විරැකියා අර්බුදයකට මඟ පාදයි. තවද, ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන වශයෙන් විභාග ඉලක්ක කර ගත් එකක් වන අතර, එබැවින් ශ්‍රී ලාංකික සිසුහු නිරන්තරයෙන් පීඩනයෙන් පසු වෙති. ඉහළ තරඟකාරිත්වය හේතුවෙන් සිසුන්ට පෞද්ගලික උපකාරක පන්තිවලට යෑමට සිදු වේ. කිසිම විවේක ක්‍රියාකාරකමක් හෝ විනෝදාංශයක් සඳහා එක මොහොතක්වත් ඉතිරි කර නොගෙන ඔවුන්ගේ මුළු කාලයම අධ්‍යයන කටයුතු සඳහා කැප කිරීමට සිදු වී ඇත. වර්තමාන තාරුණ්‍යය තුළ නිර්මාණශීලිත්වය සහ සංවේදනය අඩු වීමට ප්‍රධාන හේතුව මෙයයි. අධ්‍යාපනයෙන් දස්කම් නොලබන නමුත් වෙනත් විශේෂ කුසලතා සහ කුසලතා ඇති දරුවන්ට ප්‍රමාණවත් අවස්ථා නැත. පසුගිය කාලය දෙස බැලීමේ දී පීඩනය දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සිසුන් සිය දිවි නසා ගැනීම් පවා සිදු විය. එබැවින්, ශ්‍රී ලාංකේය සිසුන්ට පුද්ගල සංවර්ධනය සඳහා මග පෙන්වීමක් සහ සහයෝගයක් දිය යුතු අතර, ඉගෙනීම සඳහා වන තරඟය ආත්මාර්ථකාමී ඉගෙනුම් ඉලක්ක තැබීමට වඩා ධනාත්මක විය යුතුය.

වෘත්තීය කුසලතා ඉහළ නැංවීම

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනවේදීන් ඉගැන්වීමේ හා ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී වෙනත් රටවල සාර්ථක අධ්‍යාපන ක්‍රමවල ආදර්ශ සැලකිල්ලට ගත යුතුය. සමහර විට අධ්‍යාපනික මට්ටමින් දක්ෂතා නොදක්වන එහෙත් වෙනත් අංශයන් සම්බන්ධව කුසලතාවනගෙන් හෙබි සිසුන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමට අවස්ථා නිර්මාණය වෙමින් තිබීම ප්‍රශංසනීය කරුණකි. තවද, ඉගැන්වීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා ඇති වැඩසටහන් සංසන්දනාත්මකව අඩු අගයක් ගන්නා අතර ඉගැන්වීම් ක්‍රම ද යාවත්කාලීන නොවේ. පවතින පැරණි ඉගෙනුම් ක්‍රමය වෙනුවට නිපුණතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කළ යුතුය. එපමණක් නොව, සිසුන් ඉගෙනීමට පමණක් සීමා නොකර, ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවන විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ දිය යුතුය. සිසුන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ එමගින් මානුෂීයහැඟීම් ගොඩනැඟීම සඳහා සහයෝගී ඉගෙනුම් වාතාවරණයක් ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන්ම, විභාග සමත් වීම සඳහා සිසුන්ට අමතර පන්තිවලට පැමිණීමේ අවශ්‍යතාවක් ඇති නොවන පරිදි, ඉගැන්වීම්-ඉගෙනීමේ ක්‍රියාවලිය නිසි ලෙස පැවැත්වීම වැදගත් වේ.

අවසාන වශයෙන්, රටේ පැවැත්ම හැඩගස්වා ගැනීමේදී සිසුන් නිසි ලෙස හැඩගස්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් අධ්‍යාපන ක්‍රමයේ වැදගත්කම මනාව වටහා ගැනීම වැදගත්ය. සම්මුතිවලට ඇලී නොසිට අවශ්‍ය වෙනස්කම් සිදු කළ යුතුයි. එලෙසම ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන අධ්‍යාපන ප්‍රතිපත්ති ආදර්ශයට ගනිමින් අප මුහුණ දී සිටින වත්මන් අර්බුදය ජයගත හැකිය. දිනෙන් දින උග්‍රවන කඩාවැටීමෙන් රට ගලවා ගැනීමේ බලාපොරොත්තුව අධ්‍යාපනය යැයි කීම සාධාරණය. එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිසි පරිදි සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම උදෙසා මතක් කිරීමක් ලෙස මෙය පෙන්වා දෙමු..

 

පන්සිල් රකින සමාජයක වරදට ඉඩක් නෑ

$
0
0
මැයි 16, 2022 01:00

නාරංපනාවේ ආනන්ද නාහිමි

  • ප්‍රඥා ධනය කිසි කෙනෙකුට පැහැර ගත නොහැකියි
  • බුද්ධ දේශනයේ ආර්ථික ඉගැන්වීම අනුගමනය කළා නම්, බරපතළ ආර්ථික අර්බුදයකට ලක්වෙන්නේ නෑ
  • වංචාවෙන් ධනය රැස් කිරීමෙන් සැනසීමක් ලැබෙන්නේ නැහැ

මේ වන විට අප මුහුණ දී සිටින්නේ බරපතල ආර්ථික අර්බුදයකටය. යහපත් ආර්ථිකයක් ගොඩනන්වා ගැනීමට අවශ්‍යය මඟ පෙන්වීම බෞද්ධ දර්ශනය තුළ පැහැදිලිව දක්නට ලැබේ. ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද නාහිමි සමඟ කළ සාකච්ඡාවකි මේ.

l සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා ආර්ථික ස්ථාවරත්වය අත්‍යවශ්‍යයයි. ඒ සඳහා වන මඟ පෙන්වීම බෞද්ධ දර්ශනය තුළ දක්වා තිබෙන්නේ කෙසේද ?

බෞද්ධ ආර්ථික දර්ශනය තුළ ධනය උපයාගත යුත්තේ කෙසේද, එය කළමනාකරණය කර ගනිමින් වැය කළ යුත්තේ කෙසේද සහ වැය කළ යුත්තේ කුමන ආකාරයේ කටයුතුවලටද කියන කාරණා පැහැදිලිව විග්‍රහ කර තිබෙනවා. යහපත් ආර්ථිකයක් පවතින පුද්ගලයාට මව්පිය, අඹුදරු, නෑදෑ හිතමිතුරන්ට, අසල්වාසීන්ට තම සිතැඟි ලෙස සංග්‍රහ කළ හැකියි. යම් කරදරයක්, විපතක් ආ විට ධනය ඇත්තන්ට ඊට මුහුණ දීමේ හැකියාව පවතී. යහපත් ආර්ථිකයක් නැති තැනැත්තාට නිරන්තරවම ශෝකයෙන්, කාන්සියෙන් කාලය ගෙවීමට සිදු වේ. ලෙඩක්, දුකක්, උපද්‍රවයක් පැමිණි කල්හි එයින් පීඩා විඳිමින් කල්ගත කරන්නට සිදු වේ. බුදුදහම මෙලොව පරලොව උභයාර්ථයම අරමුණු කරගෙන දේශනා කරන ලද දහමක්. එහිදී කිසි විටෙකත් පරලොව යහපත පිණිස මොලොව යහපත ජූජා කළ යුතු යැයි බුදුන් වහන්සේ දේශනා කළේ නැහැ. මෙය අපි තේරුම් ගැනීම වැදගත්.

l ධනය සමබන්ධයෙන් බුදුන්වහන්සේ අංශ දෙකක් යටතේ විග්‍රහ කරනවා නේද ?

ධනය එහෙම නැත්නම් ආර්ථික සංකල්ප පිළිබඳ අපට බුදුරජාණන් වහන්සේගේ විවිධ ඉගැන්වීම් සූත්‍ර අනුසාරයෙන් අවබෝධ කර ගැනීමට පුළුවන්. ධනය සම්බන්ධව උන්වහන්සේ අංශ දෙකකින් අනුශාසනා කළා. එකක් තමයි, ආධ්‍යාත්මික පැත්ත. අනෙක් අංශය ලෞකික පැත්ත. එතැනදී බුදුන්වහන්සේ ආධ්‍යාත්මික පැත්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැහැදිලිව පේන්න තිබෙනවා. පුද්ගලයෙක් සතු ආධ්‍යාත්මික ගුණාංගත් ධනයක් ලෙස උන්වහන්සේ දේශනා කරනවා. ඒවා සප්ත ආර්ය ධනය ලෙස බුදුදහමේ විග්‍රහ කෙරෙනවා. සද්ධාව, සීලය, ලජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා තමයි සප්ත ආර්ය ධනයට ඇතුළත් වෙන්නේ. තෙරුවන් කෙරෙහි සිතෙහි ඇති කර ගන්නා පැහැදීම සද්ධාව ලෙස කෙටියෙන් අර්ථ දැක්වීමට පුළුවන්. කය, වචනය දෙක සංවර කර ගැනීම සීලය ලෙස හඳුන්වා දිය හැකියි. හිරි යනු ලජ්ජාවයි. අකුසලයට ලජ්ජාවීම මෙමඟින් අදහස් වෙනවා. භය යනු අකුසල් කිරීමට ඇති බියයි. එයට කරුණු සතරක් ද පදනම් කර ගත හැකියි. අකුසල් කළ හොත් තම සිත තමාටම දොස් නගන්නේ යැයි යන බිය එකකි. අන්‍යයන් ගෙන් තමාට චෝදනා ලැබෙන්නේය යන බිය තවත් එකකි. දඬුවමට ඇති බිය හා දුගතියට ඇති බිය යන කරුණු අනෙක් ඒවායි. ශ්‍රැතිය යනු ශ්‍රවණය කිරීමයි. පරිත්‍යාගය යනු තමන් සතු ධනය යහපත් සිතින් තවත් අයෙකුට ලබා දීමයි. විදර්ශනා ඥානය දියුණු කර ගැනීමේ ක්‍රියා මාර්ගය ප්‍රඥා ධනයයි. සප්ත ආර්ය ධනයෙන් යුක්ත වූ යමෙක් වෙත් නම් ඔවුන්ගේ ජීවිත කිසිදා හිස් ජීවිත නොවන බව බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි. මෙම ධනය කිසි කෙනෙකුට පැහැර ගත නොහැකි බවත් ඒ තුළින් නිරාමිස සතුට ළඟා කර ගත හැකි බවත් පෙන්වා දුන් බුදුන්වහන්සේ ලෞකික අභිවෘද්ධිය ගැනත් දේශනා කළා.

l එම ඉගැන්වීම තවදුරටත් විග්‍රහ කරන්නේ නම්....

මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපිට ධනය අවශ්‍යය යි. ආහාර, නිවාස, ඖෂධ, යාන වාහන, දාන මාන ආදි මේ සිය්ලලටම ධනය අවශ්‍යයයි. ධනය නැති වූ විට මිනිස්සු දිළිදු වෙනවා. එසේ වූ විට සොරකම්වලට පුරුදු වෙනවා. ආයුධ අතට ගැනීම, ප්‍රාණ ඝාතය, කේලම, කාම මිත්‍යාචාරය, පරුෂ වචනය ආදි අකුසල් සිතේ වැඩෙන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ අවිද්‍යාව ගමන් ගෙන මිථ්‍යදෘෂ්ටික භාවයට පත්වෙනවා. අධර්ම රාගය, විෂම ලෝභය වැනි පාපි ධර්මතා නිසා පුද්ගලයින් සමාජගත පරිහානියකට පත්වෙනවා. මූලීක අවශ්‍යතා සපුරා ගන්න ධනය අවශ්‍යයයි. බුදුදහම මේවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේවා සම්පාදනය කරගන්න නම්, ධනය උපයා ගත යුතුයි. එය කළ යුත්තේ ධාර්මිකවයි. ධනය උපයාගත යුත්තේ තමන්ටත් අනුන්තටත් අයහපතක් නොවන ලෙසයි. තමන් වෙහෙස වෙලා දාඩිය වගුරලා ධාර්මිකව යමක් උපයා ගත යුතු බව තමයි බුදුන් දේශනා කියන්නේ. පුද්ගලයෙකුගේ මෙළොව දියුණුවට උට්ඨාන සම්පදාව හේතු වෙනවා. මිනිස්සු මූලික අවශ්‍යතා සපුරා ගන්න උපයා ගන්න ධනය ධාර්මිකව උපයා ගැනීම තමයි වැදගත්ම කාරණය. වත්මන් සමාජය දෙස බලන විට බොහෝ පිරිසක් ධාර්මික ක්‍රමවේදයයෙන් බැහැරව ධනය ඉපැයීමට උත්සහ කරන බව පේනවා. තරගකාරී සමාජය තුළ මොන ක්‍රමයෙන් හරි මුදල් උපයන්න උත්සහ කරන අය අපි ඕනෑ තරම් දකිනවා. ආර්ථික අතින් ඉහළට යන්න, යන්න සමහරු ආධ්‍යාත්මික අතින් පිරිහෙන බව අපිට සමාජය තුළ දකින්න ලැබෙනවා. ධනවත් වීමේ ගිජුකම මත කූට වෙළෙඳාමට යොමුව වංචාසහගත ලෙස ධනය ඉපයීම බුදුන් නිර්දේශ කරන්නේ නැහැ. අද පලතුරක් ගන්න ගියොත් අඩුවට කිරනවා. කල්තබා ගැනීමට නොයෙක් වස විස යොදනවා. ගම්මිරිස්වලට පැපොල් ඇට කලවම් කරනවා. සීනිවලට වතුර ගහනවා. පහුගිය කාලයේ අපි දැක්කා සිමෙන්ති තොග සඟවලා නියමිත මිලට වඩා වැඩි මිලක් අය කර විකුණනවා. ජනතාව පෝලීම්වල බලාගෙන ඉද්දී හොර පාරෙන් වැඩි මිලට ගෑස් විකුණනවා අපි දැක්කා. මේ විදිහට ධනය රැස් කිරීම මඟින් අවසානයේ ලැබෙන සැනසීමක් නැහැ.

l ධනය රැස් කිරීම ඔස්සේ සීමා රහිත අපේක්ෂාවලට කොටු වීමෙන් මානසික සුවය ගිලිහී යනවා නේද ?

ධනය අවශ්‍යය පැවත්මටයි. සීමා රහිත අපේක්ෂාවලට පත්වුණොත් මානසික අතෘප්තිකර තත්ත්වයක් ඇතිවෙන එක වළක්වන්න බැහැ. ආශාව, ගිජුකම, තණ්හාව තමන්ගේ අරමුණු සපුරා ගැනීම සඳහා වන තරගයකට තමන්ව යොමු කරනවා. ණය නැතුව ඉන්න තිබෙනවා නම්, එය මොන තරම් සැනසීමට කාරණයක්ද?. අනුන්මත යැපෙන්න ගියොත් වැඩක් නැහැ. ධාර්මිකව උපයා ගන්න ධනය මනා ලෙස පරිහරණය කළ යුතුයි. එම ධනය කොටස් කරගෙන වැය කරන්න බුදුන් අපට ඉගැන් වූවා. අද ලෝකයේ ආර්ථික විශේෂඥයෝ පවා දියුණුවට මාවත ලෙස පෙන්වා දෙන්නේ මේ කාරණා තමයි. උපයන ධනයෙන් එක කොටසක් පරිභෝජනය සඳහාත් තවත් කොටස් දෙකක් ආයෝජනය සඳහා වෙන් කරන්න කියලා දහමේ අන්තර්ගතයි. අනෙක් කොටස ඉතිරි කරන්න කියලා බුද්ධ දේශනාවේ සඳහන්. මේක කොච්චර වැදගත්ද බලන්න. අද රටක් ලෙස අපි ගත්තොත් ආර්ථික කළමනාකාරණය නැනිකම නිසා විශාල පරිහානියකට පත්වෙලා. අපි වැඩි වශයෙන් ණය වුණ නිසා අද රට ආර්ථික අර්බුදයකට ලක්වෙලා. අත්‍යවශ්‍යය භාණ්ඩ ආනයනය කරන්නත් මුදල් නැති තත්ත්වයට පත්වෙලා. ඉන්ධන, ගෑස් පෝලිම් නිර්මාණය වෙලා. වැඩි වශයෙන් පරිභෝජනය කරලා තෘප්තිමත් වෙන තත්ත්වයකට පත්වීමේ පලවිපාක තමයි අපි මේ බුක්ති විඳින්නේ. විවෘත ආර්ථිකයක් එක්ක අපි මේ ක්‍රමයට නැඹුරු වුණා. නිෂ්පාදනය හා ආයෝජනය ගැන නොසිතා එදාට එදාට උපයන දේ පරිභෝජනය කරලා බුක්ති විඳින ජාතියක් බවට අපි පත් වුණා. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ පවා පිටරටවලින් ගෙනවා. මේකෙන් මොකද වුණේ දේශීය නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටුණා. මේ නිසා අද පිටරටින් ගෙනාවේ නැත්නම් බඩගින්නේ මැරෙන්න වෙන තැනට රට පත් වුණා. කුඹුරු කරලා ඊළඟ කන්නය එනකල් අපි නියරේ වගා කළා. කමතේ කුරහන් ඉස්සා. වනාතේ එළවළු හැදුවා. එක කොටසක් අවශ්‍ය තැනකදී ගන්න තැන්පත් කරන්න කිව්ව බුදු වදන අපේ මුතුන් මිත්තෝ අකුරටම පිළිපැද්දා. අද අපිට තැන්පත් ධනයක් නැහැ. ලැබෙන දේ එදිනෙදාම වැය කළා. අසනීප තත්ත්වයත් ආවොත් වියදම් කරන්න මුදලක් නැහැ. අපි අද බරපතළ ආර්ථික අර්බුදයකට ලක්වෙලා තිබෙන්නේ මේ බුදුදහමේ ඉගැන්වෙන මූල්‍ය කළමනාකාරණය නොමැති නිසයි. බුද්ධ දේශනයේ අන්තර්ගත ආර්ථික ඉගැන්වීම අපි අනුගමනය කළා නම් රටට මෙහෙම තත්ත්වයක් උදාවෙන්නේ නැහැ.

l ලැබෙන දෙයින් තෘප්තිමත් නොවී ආශාවන් හඹායෑමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා දුකට පත්වෙන අවස්ථා වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙනවා නේද ?

රැකියාවකට ගියාම විශාල ණයක් අරන් මහා ලොකු ගෙයක් හදනවා. නිවසක් අවශ්‍යයි තමයි. නමුත්, ජීවිත කාලය පුරාම නිවස හදන්න ගත්ත ණය ගෙවන්න වෙනවා නම්, ඒ නිවසේ සැනසීමෙන් ඉන්න පුළුවන්ද?. ගන්න පඩියෙන් අමාරුවෙන් ජීවත් වෙත්දී ලීසිං කරලා දරන්න බැරි මුදලකට වාහනයක් ගන්නවා. මේ නිසා බොහෝ අය ජීවිතය විඳිනවාට වඩා කරන්නේ විඳවන එකයි.අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය තමයි අප වෙත මේ දුක කැන්දාගෙන එන්නේ. උපයන දේ මනාව කළමනාකරණය කරලා ඒකට ගැළපෙන ලෙස තෘප්තිමත්ව ජීවත් වෙන්න මිනිස්සු දන්නේ නැහැ. අසීමිත අපේක්ෂා තුළ තරගකාරීත්වයට අසුවෙලා හැමෝම දුවනවා. වෛරය, ක්‍රෝධය හැම තැනම වෙලාගෙන. ධනය තිබූ පමණින් තෘප්තිය ඇති වන්නේ නැහැ. කොවිඩ් කාලේ අපි ඒක හොඳට දැක්කා. මහ විශාල ධනස්කන්දකට හිමි කම් කියූ අය නිවසින් පිටතට යා ගන්න බැරුව මානසිකව ඇද වැටී තමන් සතු මුදල් නිවෙස්වලින් පිටතට වීසි කරන අයුරු අපි දැක්කා.

l ධනය පිරිහෙන ක්‍රම ගැන සිඟාලෝවාද සූත්‍රයේ විග්‍රහ කරනවා නේද ?

මහන්සියෙන් උපයා ගන්නා ධනය යහපත් ලෙස ජීවන පැවත්මට යොදාගත යුතුයි. සුරාව, අවේලාවේ වීදි සංචාරය, සූදුව, අලසබව, පාපමිත්‍ර සේවනය මේවා ධනය හානි වී අප අඳුරට ඇද දැමීමට හේතුවන කාරණා. සුරාවට යොමු වුණොත් ධනය විනාශ වෙනවා වගේම සෞඛ්‍ය පිරිහෙනවා. අවේලාවේ වීදි සංචාරය යන කාරණය මඟින් නිතර සැණකෙලි උත්සව ආදියට ගියාම සිදුවන පරිහාන පෙන්වා දෙනවා. සූදුව නිසා විශාල ධනවතුන් හිඟන්නන් බවට පත්වූ අවස්ථාවලට උදාහරණ මේ සමාජයේ ඕනෑතරම් තිබෙනවා. පාපමිත්‍ර සේවනය නිසා සිදු වන හානිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේම අලස බවින් යුත් කෙනෙකුට යහපත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් නැහැ.

l බුදුන්වහන්සේ දේශනා කළ පුද්ගලයෙකුගේ මෙළොව ජීවිතය යහපත් වීමට බලපාන කරුණු හතර ගැන පැහැදිලි කර දෙන්න ?

වීර්යවන්ත වෙන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. නිකම් වීර්ය වීම නොවෙයි. හොඳ දැක්කමක් සහිත ප්‍රඥාව මුල්කරගත් වීර්ය තමයි වැදගත් කියලා බුදුන් දේශනා කළා. ව්‍යාපාරයක් කරනවා නම්, සමාජ අවශ්‍යතා, ඉල්ලුම ගැන හිතලා ඒක කරන්න ඕනෑ. නැත්නම් කොච්චර වීර්ය කළත් වැඩක් නැහැ. දැන් බලන්න, තක්කාලි වගා කරනන් ගත්තම ගොවියෝ හැමෝම ඒවා වගා කරනවා. මිරිස් ගත්තත් එහෙමයි. අස්වනු නෙළන කාලෙට තාක්කාලි, මිරිස් හැමෝම වගා කරලා. අවසානයේ මිලක් නැහැ කියලා වැලපෙනවා. කොච්චර වීර්ය යොදවලා තිබුණත් අලාභයක් තමයි ලැබිලා තිබෙන්නේ. ප්‍රඥාව මුල්කර ගෙන වීර්යය වැඩීම තමයි වැදගත්.

l මුදල් හා දේපොළ කොපමණ රැස් කළත් ඒවා වැදගත් වන්නේ මෙළොව යහපත සඳහා පමණයි ද ?

ඔව්. මරණයෙන් පසුව අපිට මේවා ගෙනියන්න බැහැ. සමහරු හම්බ කරන්නේ නොමැරෙනවා කියලා හිතා ගෙනයි. කන්නේ නැහැ, අඳින්නේ නැහැ, කෙනෙකුට දෙන්නෙත් නැහැ. ධනය එකතු කරලා මැරිලා යනවා. ජීවත් වෙන කාලයේ ධනය ධාර්මික ලෙස උපයා මෙළොව පරලොව යහපත පිණිස ඒවා යොදා ගැනීම වැදගත්. ආර්ය ධනය සම්බන්ධව බුදුන් දේශනා කළා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මක ගුණ ධර්ම. කුසල් කියන්නේ ආයෝජනයක් කියලා බුදුදහමේ කියනවා. ඒක අනුගාමික නිධානයක්. දැන් බලන්න ධනය උපයන මිනිස්සු දිහා. ඒක බැංකුවල දානවා. ඒකත් එක්තරා විදිහක නිධන් කිරීමක්. ආරක්ෂාව සඳහා රජවරු මේක කළා. අද බැංකුවල ස්ථාවර, ජංගම ආදි ගිණුම් තිබෙනවා මේක කරන්න. නමුත්, ඒක අපි මිය ගිය පසු අපිට නැති වෙනවා. නමුත්, අනුගාමික නිධානය අපත් සමඟ මරණින් පසුත් එනවා. ඒක හරියට හෙවණැල්ල වගේ. ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් කර ගන්න මේ ධනය අවශ්‍යයයි. අපි උපයන මුදල් හා දේපොළ වැස්සෙන් නැති වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. සමහර වෙලාවට ඒක තිබ්බත් වැඩක් නැහැ ප්‍රයෝජනයක් ගන්න ක්‍රමයක් නැති වෙනවා. කොරෝනා කාලේදී අපි ඒක දැක්කා. නමුත් ආර්ය ධනය එලෙස විනාශ වෙන දෙයක් නෙවෙයි. මිනිස්සු ව්‍යාපාර හා රැකීරක්ෂා ඇතුළු නෙයෙක් දේවල් කරමින් ධනය උපයනවා. සැප අපේක්ෂාවෙන් කැපවීම් කරනවා. බුදුදහම තුළ නිර්දේශ කරණ තිරසර සැපය ඒක නෙවෙයි. ධර්මයෙන් ලබන සැපය තමයි තිරසර කියලා බුදුන් දේශනා කළා. ධර්මානුකුල ජීවිතයක් තුළ ලබන සැපය මෙළොව පරළොව දෙකටම වැදගත්. මෙළොව පමණක් ජීවත් වෙනවා කියලා හිතන්න එපා. තරගකාරී සමාජය තුළ මිනිසා සැපත සොයා වැරදි දිශානතියට ගමන් කරමින් සිටිනවා. බුදුන්ගේ තෙමඟුල සමරන මේ අවස්ථාවේ අපි උත්සහ කළ යුත්තේ එම මාර්ගයෙන් මිනිසා මුදා ගැනීමයි.

l වත්මන් සමාජයේ නාමික බෞද්ධයින් විශාල ලෙස දක්නට ලැබෙනවා නේද ?

අපි ප්‍රතිපත්තිවලින් බෞද්යෙක් විය යුතුයි. නාමික බෞද්ධකම වැඩක් නැහැ. සැබෑ බෞද්ධ ප්‍රතිපත්තිවලින් ඈත් වෙලා අපි වෙසක් උත්සවය පවා සමරන තත්ත්වයක් පේන්න තිබෙනවා. බුද්ධ චරිත්‍රයේ ශ්‍රේෂ්ඨතම අවස්ථා තුනක් වෙසක් උත්සවයේදී අපි සමරනවා. මෙහිදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවට අපි මූලිකත්වය දෙනවා. බුදුන් අගය කළේ ප්‍රතිපත්ති පූජාවයි. හරියට පන්සිල් රකින සමාජයක් තිබෙනවා නම්, බොරුවට වංචාවට සොරකමට ඉඩක් නැහැ.

අසේල කුරුළුවංශ

ආර්ථික කොරිඩෝවට අභියෝග කරන බලූචි විමුක්ති හමුදාව

$
0
0
මැයි 16, 2022 01:00

පාකිස්තානයේ රැඳී සිටින චීන ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල වන්නේ චීන රජය විසින් පාකිස්තානයේ සිදු කරනු ලබන ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික ව්‍යාප්තවාදයට එරෙහිව බව බලූචි විමුක්ති හමුදාව ප්‍රකාශ කර තිබේ. වසර ගණනාවකට පෙර චීනය හා පාකිස්තානය අතර අත්සන් තැබූ චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝව මේ ප්‍රහාරමාලාවට හේතු වී ඇත. අදාළ ආර්ථික කොරිඩෝව තුළින් පාකිස්තානයේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් එරට ස්වභාවික සම්පත් සූරා කෑමේ සහ චීන ව්‍යාප්තවාදය හේතුවෙන් පාකිස්තාන ජනතාව මුහුණ පාමින් සිටින පීඩනයට බලූචි විමුක්ති හමුදාව ප්‍රතිචාර දක්වමින් සිටින්නේ චීනයට පමණක් නොව පාකිස්තාන රජයට ද වන බව පැහැදිලිය.

වඩාත් අවධානයට ලක් වූ චීන ආයෝජන ව්‍යාපෘතිය වන ග්වාඩර් වරාය පිහිටා ඇත්තේ බලූචි හෙවත් බලුකිස්තාන ප්‍රාන්තයේය. එම වරාය සංවර්ධන කටයුතු සඳහා චීනය මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළ ඉදි කිරීම් හේතුවෙන් එම ප්‍රාන්තයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින්නේ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේය.

විශේෂයෙන් ධීවර පළාතක් වන ග්වාඩර් හි වරාය සංවර්ධන ක්‍රියාවලියෙන් ධීවරයන්ට සිය ජීවනෝපාය අහිමි වී ගිය බවත්, ග්වාඩර් මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ අවසරය චීන ට්‍රෝලර් යාත්‍රාවලට ලබා දීමෙන් තත්ත්වය වඩාත් උග්‍ර වූ බවත් කියමින් එම පළාතේ ධීවර ජනතාව ඇතුළු සෙසු ජනයා උද්ඝෝෂණය කරමින් සිටින්නේ වසර ගණනාවක සිටය. ඒ කිසිදු විරෝධතාවකට එවකට සිටි අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් රජය කිසිදු අයුරක අවධානයක් යොමු නොකළ බව ද වාර්තා වේ. බලූචි විමුක්ති හමුදාව ඊට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරනු ලැබුවේ විවිධ ව්‍යාපෘති සඳහා පාකිස්තානයට පැමිණ එහි පදිංචිව සිටි චීන ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමෙනි.

පාකිස්තානයේ සිටින චීන ජාතිකයන් ඉලක්ක කරමින් වරින් වර එල්ල වන ප්‍රහාර වඩාත් භයානක සහ දරුණු ස්වරූපයකට හැරුණේ පසුගියදා කරාච්චි නුවර විශ්වවිද්‍යාලයේ රථ ගාල අසල සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමගිනි. චීන ගුරුවරියන් තිදෙනකු සහ පාකිස්තාන ජාතිකයකු එම බෝම්බ ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ අතර, පාකිස්තාන ජාතිකයා චීන ගුරුවරියන් ගමන් ගත් වෑන් රථයේ රියැදුරු වශයෙන් සේවය කරමින් සිටි අයෙකි. මේ ප්‍රහාරයට පැමිණියේ බලූචි විමුක්ති හමුදාවේ සාමාජිකාවකි. ඇය උපාධිධාරී ගුරුවරියෙකි. ඇය ඉතිහාසයට එක්වූයේ බලුචි විමුක්ති හමුදාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ පළමු කාන්තාව ලෙසිනි.

ප්‍රහාරයත් සමඟ චීනය අඩියක් පසුපසට ගන්නට ඇතැයි අනුමාන කළ හැකි බව පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති. ඊට ආසන්නතම හේතුව වන්නේ තවදුරටත් පාකිස්තානයේ රැඳී සිටින තම ජාතිකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එරට සිදු කරනු ලබන ව්‍යාපෘති අඩපණ කිරීමය. එය පාකිස්තාන නව රජයට අභියෝගයක් බවට ද පත් වී ඇත.

එය පාකිස්තානයේ සිටින චීන ජාතිකයන් ඉලක්ක කරමින් සිදු කළ පළමු ප්‍රහාරය නොවන අතර, ඊට පෙර බලූචි විමුක්ති හමුදාව චීන තානාපති කාර්යාලය, තරු පහේ හෝටලයක් සහ පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ආදි වශයෙන් තවත් ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබිණි. මීට අමතරව බලුකිස්තානයේ ධීවර කර්මාන්තයේ සහ පතල් කැණීම් කර්මාන්තයේ රැකියාව කරමින් සිටි චීන සේවකයන් ඝාතනය කිරීමට බලූචි විමුක්ති හමුදාව විවිධ අවස්ථාවලදී ප්‍රහාර එල්ල කර තිබිණී.

එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන්ගේ චීන සංචාරයකට සමගාමීව බලූචි විමුක්ති හමුදාව පසුගිය පෙබරවාරියේදී බලුකිස්තානයේ පන්ජ්ගුර් සහ නොෂ්කි දිස්ත්‍රික්වලදී පාකිස්තාන හමුදාව සමඟ ද ගැටුම් ඇති කරගත්තේය. බලූචි විමුක්ති හමුදාව එම වසරේදී එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 100ක් ඝාතනය වූ බව ද වාර්තා වේ. පාකිස්තාන රජය එය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ අතර, ඒ වෙනුවට හමුදා සෙබළුන් 10ක් ජීවිතක්ෂයට පත් වූ බව සහ ප්‍රතිප්‍රහාරවලින් බලූචි විමුක්ති හමුදා සාමාජිකයන් 20ක් ඝාතනය කළ බව නිවේදනය කළ බවට වාර්තා වේ.

බලූචි විමුක්ති හමුදාව එල්ල කරන මේ ප්‍රහාර අහම්බයක් නොවන අතර, චීන ව්‍යාපෘතිවලට එරෙහිව දක්වන විරෝධයට අමතරව ඔවුන් සිය ප්‍රාන්තයේ ස්වාධීන පාලනයක් වෙනුවෙන් ද සටන් කරමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ. පාකිස්තානයේ විශාලතම ඛනිජ තෙල් සම්පත්වලින් පොහොසත් බලුකිස්තාන ප්‍රාන්තයේ චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝවේ පළමු අදියර ආරම්භ වීමත් අහම්බයක් නොවන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ග්වාඩර් වරාය සංවර්ධන ව්‍යාපෘතිය තුළින් එම ප්‍රාන්තයේ ඛනිජ තෙල් සම්පත් සූරා කෑම චීනයේ යටි අරමුණ බව බලූචි විමුක්ති හමුදාව අවධාරණය කර ඇති අතර, එය වැළැක්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට පාකිස්තාන රජයට අනතුරු අඟවා තිබේ.

බලූචි විමුක්ති හමුදාවේ පසමිතුරා බවට පත්වූයේ වසර 2015 දී අමෙරිකානු ඩොලර් බිලියන 62ක චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝව ආරම්භ කිරීමත් සමඟය. චීනය එම ආර්ථික කොරිඩෝව හරහා පාකිස්තානයේ සංවර්ධන කටයුතුවලට දායකත්වය සැපයීම අතරතුර එරට සම්පත් සූරාකෑමට සහ පළාත්වාසීන්ට කිසිදු ප්‍රතිලාභයක් අත්කර නොදීමට කටයුතු කිරීම හේතුවෙන් එම පසමිතුරුකම වර්ධනය විය. පසුගිය දෙසැම්බරයේ දී ග්වාඩර් ජනතාව පාකිස්තාන රජයට සහ චීන ව්‍යාපෘතිවලට එරෙහිව ගෙන ගිය දැවැන්ත අරගලයට නායකත්වය දෙනු ලැබුවේ ද බලූචි විමුක්ති හමුදාව විසිනි.

චීනය සිය රට තුළ සිටින මුස්ලිම් ජාතිකයන් අරභයා ගෙන යනු ලබන මර්දනකාරී ප්‍රතිපත්තිය, චීනයේ ෂිංජියැං ප්‍රාන්තයේ සිටින උයිගර් සුළුතර මුස්ලිම් ප්‍රජාව විවිධ පුනරුත්තාපන කඳවුරු තුළ ගාල් කරමින් ඔවුන්ට නොයෙකුත් වධ හිංසා පමුණුවීම, උයිගර් මුස්ලිම් ප්‍රජාව පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත කණ්ඩායම් විසින් පෝෂණය කරනු ලබන ත්‍රස්තවාදයක් ව්‍යාප්ත වී ඇතැයි චෝදනා කරමින් තරුණයන් අතුරුදන් කිරීම වැනි චෝදනා රැසක් ද බලූචි විමුක්ති හමුදාව විසින් එල්ල කරනු ලැබීය.

පාකිස්තානයේදී ඊට ප්‍රතිචාර දැක්වීම නිතැතින්ම සිදු විය. පසුගිය වසරේ ජූලි මාසයේදී දාසු ජලවිදුලි බලාගාර වේල්ල අසල සිදු වූ පිපිරීමකින් චීන ජාතික ඉංජිනේරුවන් 9 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම වසරේදීම අප්‍රේල් මාසයේ පාකිස්තානයේ ක්වේටා පළාතේ තරු පහේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන තානාපතිවරයා ඉලක්ක කරමින් බෝම්බයක් පිපිරී ගියේය.

බලූචි විමුක්ති හමුදාව චීනය දකින්නේ පසුගිය වසරේ ඇෆ්ගනිස්තානයේදී අමෙරිකාව ඇතුළු නේටෝ හමුදාව එරටින් පලවා හැරීමට තලේබාන් සංවිධානය සමත් වීමෙන් පසු එසේ පාකිස්තානයෙන් පලවා හැරිය යුතු තවත් කණ්ඩායමක් ලෙසටය.

බෙදුම්වාදි ත්‍රස්තවාදය පෝෂණය කරමින් සිටින පාකිස්තානයට දැන් බලූචි විමුක්ති හමුදාව හිසරදයක් බවට පත් වී ඇත. චීනය විසින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව එල්ල වන ප්‍රහාර වර්ධනය වීමෙන් පාකිස්තාන රජය දැඩි පීඩනයට ලක් වී ඇතැයි ද වාර්තා වේ.

සදෙව් රත්නායක

සංඝනායක ධුරයෙන් පිදුම් ලබන ඕකන්දයායේ බුද්ධසිරි හිමි

$
0
0
මැයි 17, 2022 01:00

(ඕකන්දයායේ බුද්ධසිරි නාහිමියන්ට ‘ශාසනකීර්ති ශ්‍රී බෝධිසීහ’ ගෞරවනාම පදවියට අදාළ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීම මේ මස 21 වැනි දින පස්වරු 3.00ට සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

බොරලැස්ගමුව, දිවුල්පිටිය ශ්‍රී මහා බෝධිරාජාරාමාධිපති සහ සුනේත්‍රාදේවි පිරිමි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ඕකන්දයායේ බුද්ධසිරි නාහිමියන් රත්මලාන විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය ‘ශාසනකීර්ති ශ්‍රී බෝධිසීහ’ ගෞරවනාම සම්මුතිය සහිතව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ඒකඡන්දයෙන් පත්කර ඇති අතර එම ශාසනික පදවියට අදාළ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක සානුනායක වරප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් කෝට්ටේ රජමහා විහාරස්ථ උපෝෂථාගාරයේ දී සම්ප්‍රදායානුකූල උත්සවයකදී මේ මස 21 වැනි දින පස්වරු 3.00 ට සිදු කෙරේ.

අභිනව පදවිප්‍රාප්ත ඕකන්දයායේ බුද්ධසිරි නාහිමියන්ට ආශිර්වාද පළකර උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය (මැයි 22) සවස බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී මහානායක සහ අනුනායක හිමිවරුන්ගේ සහ ගිහි පැවිදි විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. එහිදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහාසංඝ සභාවේ අනුනායක ධුරන්දර සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමි සහ සිංගප්පූරු බෞද්ධ පුස්තකාලයේ ආගමික උපදේශක, සිංගප්පුරුවේ ප්‍රධාන සංඝනායක සහ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියෝ මෙහිදී විශේෂ අනුශාසනා පවත්වති.

දිවුල්පිටිය ශ්‍රී මහා බෝධිරාජාරාමාධිපති අපගේ කතානායක හිමිපාණන් වහන්සේ වන ඕකන්දයායේ බුද්ධසිරි නාහිමියන් අප පළාතට දෙන ආලෝකය සහ ධර්මෝපදේශකත්වය සුළුපටු නොවන අතර උන්වහන්සේව මෙවැනි උප ප්‍රධාන සංඝනායක ධුරයක් සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහාසංඝ සභාව පත්කිරීම සම්බන්ධව අප මහත් ප්‍රමෝදයට පත්ව සිටින්නෙමු. බෙල්ලන්විල අපේ ගමට යාබදව පෙරදී බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට අනුබද්ධිතව තිබු දිවුල්පිටිය ශ්‍රී මහා බෝධිරාජාරාමයේ විහාරාධිපති බවට 1988 දී බුද්ධසිරි හිමිපාණෝ පත්වනුයේ උන්වහන්සේගේ ගුරු හිමිපාණෝ වන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාර පරපුරට අයත්ව වැඩ විසු හොරවින්නේ බෝධිසීහ නාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසුවය. එම අපවත් වී වදාළ නායකහිමියන් සහ එවකට බෙල්ලන්විල රජමහා විහාරාධිපතිව වැඩවිසු අපේ සම්භාවනාවට පාත්‍ර වූ රත්මලාන පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ලෙස කටයුතු කළ අපවත්වී වදාළ අපගේ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් දෙපළ අතර තිබුණේ ඉතා ළබැඳි භික්‍ෂු සහෝදරත්වයක් හා අන්‍යෝන්‍ය සුහදත්වයකි.

දිවුල්පිටිය ගම කේන්ද්‍රගතව මතුවන කුමන හෝ සමාජයීය හෝ වෙනත් ගැටුමකදී හෝ අර්බුදයකදී පෙරමුණ ගන්නා උන්වහන්සේ සියලු පාර්ශ්වයන් විහාරස්ථානයට කැඳවා එම තත්ත්වයන් සමනය කරති. එහෙයින්ම දිවුල්පිටිය ගම්වාසීන් උන්වහන්සේට දක්වනුයේ අප්‍රමාණ ඇල්මකි, හිතෛෂී බවකි. මේ කරුණු අසල්වාසී ගම්වාසියෙක් ලෙස මා ඉතා හොඳින් දන්නා කරුණකි. සිය ශිෂ්‍ය වහන්සේලා වන ශ්‍රී සුනේත්‍රාදේවී මහ පිරිවෙනෙහි ආචාර්යවරයෙක් වන ශාස්ත්‍රපති හොරවින්නේ රතනසිරි හිමියන්, ඕකන්දයායේ පුඤ්ඤසිරි හිමි සහ විතාරන්දෙණියේ ඥානසිරි හිමි සිය ගුරුවරයා වු ඕකන්දයායේ බුද්ධසිරි නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මත කරගෙන යනු ලබන සේවාවද ප්‍රශංසා කටයුතුය.

උන්වහන්සේ සතු නිහතමානීත්වය හා පාණ්ඩිත්වය සලකා බැලු කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහ සංඝ සභාව 2005 දී උන්වහන්සේට එම සංඝසභාවම කාරක සංඝ සභික ධූරයක් ද ‘ශාසනකීර්ති ශ්‍රී’ ගෞරව නාමය සහිතව පිරිනැමුහ. ඉන් නොනැවතුණු එකී සංඝසභාව උන්වහන්සේට රත්මලාන විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක ධූරයද ඒකඡන්දයෙන් පිරිනමා ඇත. එය උන්වහන්සේගේ ආදර්ශවත් හා කැපවීම අගය කළ විශිෂ්ට උපහාරයකි. උන්වහන්සේගේ මේ ශාසනික පදවි ප්‍රාප්තිය එම පදවිය බබළවන උත්ප්‍රේරකයක් වන බව නොඅනුමාන වන අතර බෙල්ලන්විල - දිවුල්පිටිය දෙගම්පියස පෝෂණය කළ සුසංයෝගී සම්බන්ධය චිරාත් කාලයක් පවතින බව පෙන්වන සක්සුදක්සේ පැහැදිලි සංඥාවකි.

රත්මලාන පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය ‘ශාසන කීර්ති ශ්‍රී බෝධිසීහ’ ගෞරව නාම සම්මුතිය සහිතව ඹ්කන්දයායේ බුද්ධසිරි නායක හිමියන්ට පිළිගැන්වීම පැසසිය යුතු කරුණක් වන අතර තෙරුවන් බලයෙන් උන්වහන්සේට චිර ජීවනයත් නිරෝගී සුවයත් ලැබේවායි අපි ඉත සිතින් පතන්නෙමු.

 

සිසිර විජේසිංහ

යුද හමුදා මාධ්‍ය උපදේශක සහ

උත්සව කමිටු සංවිධායක

උද්ඝෝෂණ සහ අරගලවලට බලපාන නීතිය කෙබඳු ද?

$
0
0
මැයි 17, 2022 01:00

උද්ඝෝෂණ, අරගල සම්බන්ධ නීතියක් පවතින්නේ ද? යන්න අද වන විට නීතිය අගය කරන බොහෝ දෙනා ප්‍රශ්න කරති. එමෙන්ම අරගලය හෝ උද්ඝෝෂණවලට එක්වන සාමාන්‍ය ජනතාව සහ අරගල, උද්ඝෝෂණ මෙහෙයවන පිරිස්ද ඇතැම් විට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳ දැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිවිපාක නොදැන කටයුතු කරන බවක් හෝ ඔවුන් කටයුතු කරන ආකාරය දෙස බැලීමෙන් පැහැදිලි වේ. එබැවින්, හුදී ජනයාගේ හිතසුව පිණිස ඒ හා සම්බන්ධ නීති ප්‍රතිපාදන මෙසේ ගෙනහැර දක්වමි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙරටට සුවිශේෂ වන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ ඒවා කඩ වීම සම්බන්ධයෙන් ගත හැකි ප්‍රතිකර්ම පිළිබඳ පැහැදිලිව දක්වන බැවිනි. ඊට පෙර පැවැති 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස්අයිතිවාසිකම් පිළිබඳ සාමාන්‍ය වශයෙන් පමණක් සඳහන් විය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදය මානව හිමිකම් පිළිබඳ පැහැදිලි කර ඇත. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය මඟින් ආගමික නිදහසද, 11 වැනි වගන්තිය මඟින් ක්‍රෑර වදහිංසා හෝ අමානුෂික අවමන් සහගත දඬුවම්වලට ලක් නොවී සිටීමේ අයිතියද, 12 (1) වගන්තිය මඟින් නීතිය පසිඳලීමේ සහ ක්‍රියාත්මක කිරීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවද, 12 (2) වගන්තිය මඟින් වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී - පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය අනුව වෙනසකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවද, 12 (3) වගන්තිය මඟින් එම හේතු මත යම් පොදු ස්ථානයකට ඇතුළු වීමට නොහැකි විය යුතු නැති බවද, 13 (1) මඟින් නීතියේ සඳහන් කාර්ය පටිපාටියට හැර යමකු සිරභාරයට ගත යුතු නොවන බවද, 13 (2) (3) (4) වගන්ති මඟින් අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නීත්‍යනුකූල විධිවිධානද, 13(5) මඟින් වරදකරු යැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී යැයි යන පූර්ව නිගමනය තහවුරු කර ඇත්තේය.

මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ 14 වැනි වගන්තියේ සඳහන් කරුණු, උද්ඝෝෂණ සහ අරගලකරුවන් විසින් තම වාසියට ගන්නා බව පැහැදිලි වේ. 14 (1) වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ ප්‍රකාශනයේ ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එමෙන්ම 14 (1) ( ආ) වගන්තිය අනුව සාමකාමීව රැස්වීමේ නිදහසට 14 (1)(ඇ) වගන්තිය අනුව සමාගමයේ නිදහස14 (1) (ඈ) අනුව වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමෙන් නිදහසට හිමිකම් ඇත්තේය. මේ 14 (1) (අ) සිට (ඈ) කවුද දක්වා මතු දැක්වූ වගන්තියේ බොහෝ දුරට පෞද්ගලිකත්වයට වඩා සමාජය තුළ සාමූහික ක්‍රියා කිරීමේ නිදහසට වැඩි බර ඇති බව පැහැදිලි වේ. එබැවින් උද්ඝෝෂකයන් හා අරගලකරුවන් සිය අරගලය හෝ උද්ඝෝෂණවලදී හෝ ප්‍රකාශ කරන්නේ මේ ව්‍යවස්ථාය.

එහෙත් මේ නීති මහ ජනතාව විසින් භුක්ති විඳීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම මානව හිමිකම් පිළිබඳ සඳහන් වන තුන් වැනි පරිච්ඡේදයේ 15(1) වගන්තියේ දැක්වෙන රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාලීන නීති ක්‍රියාත්මක වීමේදී, මේ මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කර ඇති බව පෙනේ. එසේම 15 (2) වගන්තියේ දැක්වෙන ආකාරයට භාෂණය, ප්‍රකාශනය, අදහස් පළ කිරීමේ නිදහස, යම්කිසි වාර්ගික හා ආගමික සහයෝගීතාවකට හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙලඹ වීම සම්බන්ධ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවකට යටත්ව පවතී. තවද 15 (4) වගන්තියේ දක්වා ඇත්තේ වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම හෝ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා වන නීති සීමාවලට යටත්ව 14 (1) ව්‍යවස්ථාවේ දක්වා ඇති භාෂණයේ නිදහස හා ප්‍රකාශනයේ නිදහසද, සාමකාමීව රැස්වීමේ නිදහසද, සමාගමයේ නිදහසද, වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසද ඇතුළු එකී පරිච්ඡේදය දක්වා ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සීමා වන බවය.

මේ අනුව සාමකාමීව රැස්වීම, සාමකාමීව හැසිරීම, භාෂණය හා ප්‍රකාශනයේ නිදහස, රාජ්‍යාරක්ෂාව, වාර්ගික හා ආගමික සමඟිය, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකයේ ආරක්ෂාව යන කරුණු හේතු කර ගෙන රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා කර ඇති බව අප සිහි තබා ගත යුතුය.

සාමකාමී රැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියෙන් දක්වා ඇති නමුත්, සාමකාමී රැස්වීම ලෙස හඳුන්වන්නේ මාර්ගයක් හෝ පොදු ස්ථානයක් හෝ පෞද්ගලික ස්ථානයක් අවහිර වන පරිදි යමෙකුට තර්ජනයක්, බියක් ඇති කිරීමකින් තොරව කිසිවකුටත් අනර්ථයක් නොවන පරිදි, එමෙන්ම කිසිවකුගේ අයිතිවාසිකමක් කඩ නොවන පරිදි යම් බලහත්කාර ක්‍රියාවකට බල කරන හෝ යම් ක්‍රියාවක් කිරීම බලහත්කාරයෙන් වළක්වන නීත්‍යනුකූල අවසරය නොමැති රැස්වීම් සහ පෙළපාළි ආදිය වේ.

එමෙන්ම නීති විරෝධී රැස්වීමක් යනු කුමක්දැයි ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 138 වැනි වගන්තියෙන් විස්තර කර ඇත. එනම් පහත සඳහන් අරමුණුවලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම ඉටු කර ගැනීමේ අරමුණින් පුද්ගලයන් පස් දෙනකු හෝ ඊට වැඩි ගණනක් රැස්ව සිටින රැස්වීම්, නීති විරෝධී රැස්වීම් වේ. එම අරමුණු නම්, රජයේ යම් සේවකයකු බියට පත් කිරීම සඳහා, නීත්‍යානුකූල කැඳවීම් නියෝගයකට විරෝධය පෑමට හෝ යම් අනර්ථයක් සිදු කිරීමේ අරමුණින් හෝ මහ ජනයාගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට හෝ අයිතිවාසිකමක් බලෙන් ක්‍රියාවේ යෙදවීමට හෝ බලහත්කාරය යොදවා නීත්‍යනුකූලව ක්‍රියාවක් කිරීමට හෝ නීත්‍යනුකූලව බැඳී ඇති ක්‍රියාවක් නොකර හැරීමට බල කිරීම හෝ නීත්‍යනුකූල අවසරය නොමැතිව යුද්ධ, පෙළපාළි හෝ ආයුධ පාවිච්චිය පුහුණු වීම අරමුණු කර ගෙන, පුද්ගලයන් පස් දෙනකු හෝ ඊට වැඩි පිරිසක් සිටින රැස්වීමකි.

නීති විරෝධී රැස්වීම් විසිර වීමට පොලිසියට ඇති බලය

මෙහිදී යම් මහජන අයිතිවාසිකමක් බලෙන් ක්‍රියාවේ යෙදවීමට මාර්ග අවහිර වන සේ කටයුතු කිරීම හෝ රජය පෙරළීමට පෙළපාළි යෑම, රැස්වීම් පැවැත්වීම, නීති විරෝධී වන්නේය. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95, 96, 97 වගන්තිවල නීති විරෝධී රැස්වීම් විසුරුවා හැරීම පිළිබඳ ප්‍රතිපාදන දක්වා ඇත. 95 (1)වගන්තියට අනුව මේ නීති විරෝධී රැස්වීමකට හෝ මහජන සාමයට බාධා විය හැකි තැනැත්තන් පස් දෙනකු හෝ ඊට වැඩි ගණනකින් යුතු රැස්වීමකට විසිර යන ලෙස මහේස්ත්‍රාත්වරයකු හෝ පොලිස් පරීක්ෂකවරයකුගේ පදවියට නොඅඩු පදවියක් දරන පොලිස් නිලධාරියකු අණ කළ විට එම රැස්වීම විසිර යා යුතුය. ඒ අනුව මහජන සාමයට රැස්වීමක් බාධා වේ නම්, නීති විරෝධී නොවුණද විසුරුවා හැරීමට පොලිසියට හැකියාව තිබේ. එමෙන්ම ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමද අත්‍යවශ්‍ය නොවේ.

ත්‍රිවිධ හමුදා කැඳවීමේ බලතල

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 (2) වගන්තිය අනුව ඉහත 95 (1) වගන්තිය ප්‍රකාරව විසිර යෑමේ නියෝගයක් කළ විට, විසිර නොයන විට හෝ විසිර නොයන අධිෂ්ඨානයේ සිටින විට සාධාරණ බලය පාවිච්චි කර, එම රැස්වීම විසුරුවා හැරීමට මහේස්ත්‍රාත්වරයකුට හෝ පොලිස් පරීක්ෂකවරයකුගේ ධුරයට නොඅඩු ධුරයක් දරන පොලිස් නිලධාරියකුට හැකිය. එමෙන්ම එසේ විසිර නොයන අය අත්අඩංගුවට ගැනීම සඳහා සන්නද්ධ හමුදාවක නිලයක් නොදරන සාමාන්‍ය තැනැත්තකුගේ සහාය ගැනීමටද, මහේස්ත්‍රාත්වරයකුට හෝ පොලිස් නිලධාරියාට හැකියාව ඇත.

එලෙස ජනතාව විසුරුවා හැරීමට නොහැකි නම්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 96 වගන්තිය අනුව එම රැස්වීම නිසා මහජන සාමය පැහැදිලිවම අනතුරට භාජනය වී තිබේ නම් පමණක් ත්‍රිවිධ හමුදාවේ යම් අධිකාරි ලත් හමුදා නිලධාරියකුට එම රැස්වීම විසුරුවා හැරීම හා සිරභාරයට ගැනීම කළ හැකිය. ඒ සඳහා බලය ඇත. එමෙන්ම එසේ ක්‍රියා කරන අතරතුර මහේස්ත්‍රාත්වරයෙකුට, දිසාපතිවරයෙකුට හෝ පොලිස් අධිකාරී ධුරයට නොඅඩු ධුරයක් දරන පොලිස් නිලධාරියෙකුට දැනුම් දීමට හැකි නම්, එසේ දැනුම් දිය යුතුය. එතැන් සිට ඔවුන්ගේ උපදෙස්වලට අනුව ක්‍රියා කළ යුතුය.

ආරක්ෂක නිලධාරීන්ට ලැබෙන නීතියේ රැකවරණය

ඉහත සඳහන් ආකාරයෙන් නීති විරෝධී රැස්වීමක් විසුරුවා හරින පොලිස් හෝ ත්‍රිවිධ හමුදා නිලධාරියකු හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන මහේස්ත්‍රාත්වරයකුට, දිසාපතිවරයකුට, පොලිස් නිලධාරියෙකුට හෝ එම රැස්වීම් විසුරුවා හැරීමට සහාය වන යම් තැනැත්තෙකුට නීතිපතිගේ අවසරය ඇතිව මිස යම් අධිකරණයකදී කිසිම අපරාධ නඩුවක් පැවරිම තහනම් බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 97 (1) වගන්තියේ සඳහන් වේ. එසේම 97(2) වගන්තියේ සඳහන් වන්නේ මහේස්ත්‍රාත්වරයකු, දිසාපතිවරයකු, පොලිස් නිලධාරියකු හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයකු හෝ මේ පරිච්ඡේදය යටතේ සද්භාවයෙන් ක්‍රියා කරන වෙනත් යම් තැනැත්තකු, සන්නද්ධ හමුදා නීතියට අවනත වන ත්‍රිවිධ හමුදා සාමාජිකයකු මේ පරිච්ඡේදය යටතේ කරන ලදැයි කියන යම් ක්‍රියාවක් සඳහා සිවිල් හා අපරාධ නඩු කටයුතුවලට යටත් නොවිය යුතුය. රැස්වීම්, පෙළපාළි විසුරුවා හැරීමට පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට අවම බලය භාවිත කරමින් කටයුතු කළ හැකිය.

අවම බලය යනු කුමක්ද?

මෙහිදී අවම බලය යනු උද්ඝෝෂකයන් හෝ විරෝධතාකරුවන් හෝ ඉවත් කිරීමේදී ඊට එරෙහිව ඔවුන් යොදනු ලබන බලයට සමගාමීව යොදන බලයයි. උදාහරණයක් ලෙස ඔවුන් ගල්, පොලුවලින් පහර දෙන විට, බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් යෙදිය හැකිය. එය වඩාත් තීව්‍ර වේ නම් අහසට වෙඩි තබා බිය ගැන්විය හැකිය. ඔවුන් ගිනි අවි භාවිත කරයි නම් පමණක් ගිනි අවි භාවිත කළ හැකිය. එහිදීද දණහිසින් පහළට වෙඩි තැබීම වඩාත් යෝග්‍ය වේ.

මෙහිදී යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම චෝදනා ලැබූ තැනැත්තාට දඬුවම මරණීය දණ්ඩනය නොවේ නම් ඔහු සිරභාරයට ගැනීමේදී සාධාරණ උපක්‍රමය ඔහුගේ මරණය සිදු කිරීම දක්වා ව්‍යාප්ත නොවේ. යනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23 (3) වගන්තියේ සඳහන් වන තත්ත්වය පිළිබඳ අපගේ අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් “යම් තැනැත්තකු තවත් තැනැත්තෙකුට මරණීය තර්ජනයක් හෝ මරණය සිදු කිරීමක් හෝ නොකරයි නම්, ඔහු මරා දැමීමට කටයුතු නොකළ යුතුය’’ යන්නයි. මෙය අවම බලය පිළිබඳ හොඳ උදාහරණයකි.

මහජන පීඩාව වැළැක්වීම

කිසිවෙකුට කරදර බාධාවක් හෝ අවහිරයකින් තොරව, සාමූහිකව බෝඩ් අල්ලාගෙන සාමකාමී උද්ඝෝෂණයක් කරන තුරු සාමකාමී වන නමුත්, එය සීමාව ඉක්මවා තර්ජනයක් හෝ අයිතිවාසිකම් කඩ වීමක්, බල කිරීමක් ඇති විට, නීති විරෝධී වේ. ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටිමින්, ගේට්ටු අවහිර කරමින්, මාර්ග අවහිර කරමින්, මහජන පීඩාවක් සිදු වන ආකාරයට කටයුතු කරන විට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 105 වගන්තිය අනුව මහජන පීඩාවක් නැවත නොකරන ලෙස හෝ දිගටම නොකරන ලෙස ආඥාවක් නිකුත් කිරීමට හෝ මහේස්ත්‍රාත්තුමන්ට බලය ඇත්තේය.

තවද මහේස්ත්‍රාත්වරයකුගේ මතය අනුව වහාම වැළැක්වීම හෝ ක්ෂණික ප්‍රතිකර්ම යෙදීම හෝ යෝග්‍ය වන අවස්ථාවලදී එක්තරා ක්‍රියාවකින් වැළකී සිටින ලෙස හෝ තම සන්තකය තුළ තිබෙන හෝ කළමනාකාරීත්වය යටතේ ඇති දේපොළක් සම්බන්ධව තැනැත්තෙකුට විධානයක් කිරීමෙන් එසේම නීත්‍යානුකූල සේවයේ යෙදෙන අයෙකුට බාධාවක්, කරදරයක් හෝ හානියක් කිරීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම හෝ මනුෂ්‍ය ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට තර්ජනයක් හෝ කැරැල්ලක් හෝ කෝලාහලයක් වැළැක්වීමට විධිවිධාන කළ යුතු යැයි මහේස්ත්‍රාත්වරයෙකුට සැල කරනු ලැබූ විට, එසේ කිරීම වලක්වන ලෙසට හෝ දේපොළ සම්බන්ධ නිසි ලෙස ක්‍රියා කරන ලෙසට ආඥාවක් කළ හැකි බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තියේ දැක්වේ. තවද 106 (2) වගන්තිය අනුව ඊට එරෙහි වන අයට විරුද්ධව ඒකපාර්ශ්වික නඩු විභාගයක් කරනු ලැබිය හැකිය. 106 (3) වගන්තිය අනුව එවැනි ආඥාවක් අදාළ අය ගැවසෙන ස්ථානයේදී භාර දීම හෝ ඇලවීමට හැකිය. 106 (4) වගන්ති අනුව මහේස්ත්‍රාත්තුමන්ට තමා කළ නියෝගය වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකිය. 106 (5) වගන්තිය අනුව අමාත්‍යවරයා ගැසට් කරන දින සිට එම නියෝගය පවතින අතර, එසේ නොකළොත් සාමාන්‍යයෙන් දින දාහතරකින් එම නියෝගය අවලංගු වේ.

මෙසේ මහේස්ත්‍රාත් අධිකරණයක් මඟින් හෝ මහාධිකරණයක් මඟින් දෙන නියෝගයක්, ආඥාවක් කඩ කරන හෝ ඉටු නොකරන පුද්ගලයකු හෝ කණ්ඩායමක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර දෙකකට නොඅඩු බරපතළ වැඩ ඇතිව හෝ නැතිව සිරදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකිය.

හදිසි නීති රෙගුලාසි බල නොපවත්වන තත්ත්වයක් යටතේ වුවද මේ නීති සියල්ලම එලෙසම බලාත්මක වේ.

 

බොදු ගීයේ ඇඳි තෙමඟුල් සිතුවම

$
0
0
මැයි 17, 2022 01:00

ගැමි කවියා ජීවන වෙහෙස නිවාගැනීමෙහිලා කවිය සවියක් කරගන්නා කල්හි; වියත් කවියා ආරම්භයේදී විශේෂ අනුබලයක් ලැබ ඇත්‍තේ බුදු දහම විෂයය කරගත් පද්‍ය බන්ධනයටය. 'පෙදෙන් බුදු සිරිතෑ'යනාදි සියබස්ලකර පැදිය හඟවන්නේ ඒ නිර්දේශයයි. මෙබඳු වූ ජන කවියත්, වියත් කවියත් මුසු වී නිමැවුණු සම්බුදු තෙමඟුල තේමා කරගත් ගී කිහිපයක් විමසා බැලීමට 2566 වන බුදු වස ඇරඹෙන මේ වෙසඟ පුනු පොහොය ඉතා උචිතය. මෙයින් ඇතැම් පැරණි ගීයක් නැවත ගැයුම්වලදී මුල් පද මාලා වෙනස්ව ගැයෙනු අසන්න ලැබෙන හෙයින්, මුල් ගැයුම් යළි යළි ශ්‍රවණය කරමින් ඉතා සැලකිල්ලෙන් කරන ලද මේ පිටපත් කිරීම ඒවා සංරක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.

සිංහලයා විෂයයෙහි ගීය නොහොත් කවිය යනු කිසි සේත් එකිනෙකින් වෙන් කළ හැකි දෙයක් නොවේ. එය සැබවින්ම ඔහුගේ ළමා වියට නොව, ඉනුත් එපිටට - එනම්: මව්කුසේ සිටින සමය දක්වා - දිවෙන සත්‍යතාවකි. ඒ කෙසේද යත්: නූපන් දරුවා කුසේ හොවාගෙනම එදිනෙදා කුදු-මහත් කටයුතුවල නියැළෙන මවගේ මුවින් ගැයෙන ගොයම් කවියට, නෙළුම් කවියට සවන් දෙමින් වැඩුණු ජානගත ඉතිහාසයක් අපට ඇති බැවිනි. ඉක්බිති බිලිඳා මෙලොව එළිය දුටු දා පටන් නින්දට ගියේ නැළවිලි ගීයෙනි; කෙමෙන් වැඩෙන කල මේවර, ඔළිඳ ඈ නන්විධ කෙළියේ යෙදුණේ කවියෙනි; කුලු, කළ, ලී කෙළි ඈ රැඟුමේ යෙදුණේ ගීයෙනි. ඔහු/ ඇය වටා රැවු දුන්නේ කෙතේ, කමතේ, පැලේ, ගැලේ, පතලේ, පාරුවේ, බඹර කැපිල්ලේ, දැල් පන්න ඇදීමේ නියැළුණවුන්ගේ මුවින් නික්මුණු කවි-ගීය. කරදඬු උස්-මහත් වන කල ඔවුන් පෙම් කළේ ද කවියෙනි; පෙමක් බිඳුණු කල ඒ විරහව වින්දේ ද කවියෙනි. මේ සියල රැඟුම් අග අවසන් ගමන ගියේ ද කවි තාල අසමිනි. ඒ, සොවට පත් වූවන් මුවින් ගැයුණු වෙස්සන්තර ජාතක කවියට සවන් දෙමිනි.

මෙලෙස සිංහල ගැමි කවියා සිය ජීවන වෙහෙස සමහන් කරගැනීමෙහිලා කවිය සවියක් කරගන්නා කල්හි; වියත් කවියා මූලාරම්භයේදී විශේෂ අනුබලයක් ලබා ඇත්‍තේ බුදු දහම විෂයය කරගත් පද්‍ය බන්ධනයටය. 'පෙදෙන් බුදු සිරිතෑ'යනාදි සියබස්ලකර පැදිය හඟවන්නේ ඒ නිර්දේශයයි. මෙබඳු වූ ජන කවියත්, වියත් කවියත් මුසු වී මැවුණු අපූරු නිර්මාණ ධාරාවක් විමසා බැලීමට 2566 වන බුදු වස සපිරෙන මේ වෙසඟ පුන් පොහොය අපට මනා පරිසරයක් සකසා දී ඇති සෙය‍කි. මේ නිමැවුම් පෙළ නම් අනෙකක් නොව; එදා මෙදා තුර සංගීතය හා මුසු වී පටිගත වීමේ වරම් ලද බෞද්ධ ගීතාවලියට අන්තර්ගත වී ඇති සම්බුදු තෙමඟුල හා බැඳුණු ගීත කිහිපයකි. මෙහි ගී පෙළ ගැස්මට පාදක කරගෙන ඇත්තේ ඒවා රචිත සමය නොව; බුදු සිරිතේ සිද්ධි අනුපිළිවෙළය.

අපගේ අවධානය පළමුවෙන්ම යොමු වන්නේ වෙසක් සමය නුදුරේම එළඹෙන බව පවසමින් ගැයෙන ගීතයකටය. මෙහි පද සරත් විමලවීරගේය; පී.ඩී. වින්සන්ට් පෙරේරාගේ සංගීතයට ගැයුම විවියන් ද සිල්වා බොරලැස්ස ශිල්පිනියගේය:

ආලෝකය මේයැයි පවසන දිනයයි සම්බුදු මංගල්ලේ

ජය ජය ගී නාදෙනි තුටු වෙමු සැම දෙන සම්බුදු මංගල්ලේ

ළඟම එන සම්බුදු මංගල්ලේ

සාමේනී පේවී පේමෙන් - සංගීතවත් වී සෑමා

සිල් සුවඳ දසතේ විහිදා - පාප ජලාසේ සෝදා

බුදු සිරිය මවා පාමින් - දම් සිලිල ඔපේ නෑවී

සැරසෙමු මඟුලට බුදුහිමිගේ

සැනසීම සොයා ඒ දිනයේ - රසයේ රසේ නඟාලා

සිරි නිවන් පතාගෙන සිතු විලසේ සැදීලා පේවී පබෝදෙනි පේවී

පින් පලයෙන් සැරසීලා - සන්සුන්ව විවේකේනී

බුදු මඟුලට සැරසෙමුකෝ

විනෝදේ නිවනට සිත ඈඳා

තමාම ලියා, තනුව සකසා, සංගීතය මුසු කොට සුනිල් සාන්තයන් මේ ගීය ගයන්නේ වෙසක් දින උදා වූ බව පවසමිනි:

බුදුන් වඳිම් අදයි වෙසක් පෝ දා

ගඳින් මලින් පුදා වඳිම් බැතිම්වා

නෙලුම් සුවඳ හමන්නේ සුවඳ දුමින් පිරෙන්නේ

අදයි මඟුල් දා

බුදුන් වඳින්නේ දහම් වඳින්නේ සඟුන් වඳින්නේ අපේ මහා මඟුල් දා

සඳේ සුදයි මඟේ පුරා ගලන්නේ

වෙහෙර බලා හෙමින් ගලා ඇදෙන්නේ

හැම පැත්තේ පෙනෙන්නේ මහා හඳේ සුදයිනේ

අදයි මඟුල් දා

හේවිසි හොරණෑ සද්දේ ඇසෙන්නේ

ගණ්ටාවයි ඒ මැද්දේ හඬන්නේ

තුන් සරණේ ඇසෙන්නේ සාදු සාදු කියන්නේ

අදයි මඟුල් දා

කිරෙන් තෙමී සෑය රැයේ ලෙළෙන්නේ

පහන් වැටින් බෝමළුවද දිලෙන්නේ

පසෙකැ බණද ඇසෙන්නේ හද තුළ සිල් වැහෙන්නේ

අදයි මඟුල් දා

මර්සලීන් ජයකොඩි පියතුමා විසින් රචිතව, සුනිල් සාන්තයන් යෙදූ තනුවට ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ගයන 'වෙසක් කැකුළු අතු අග හිඳ'ගීතය වෙසක් සමයේ පරිසරයේ හටගන්නා සුන්දරත්වය විවරණය කරන්නකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ, කිංස්ලි ජයසේකර තනුව යොදා, ප්‍රිසිලා ඕපාත සමඟ ගයන 'මොනවද අම්මේ අකුරු ජාතියක්'ගීය වෙනස්ම ආකාරයක චමත්කාරයක් දනවන්නකි. දෙදහස් පන්සිය වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් මානවසිංහයන් ලියූ, අමරදේවයන් තනුව යොදා ගයන 'පාතුරහෝතී බුද්ධ ජයන්තී...'ගීය සපුරාම පාලි භාෂාවෙන් සම්පාදනය වූවකි.

සම්බුදු තෙමඟුලේ පළමු වන මංගල සංසිද්ධිය වන සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය වදන් සිත්තමකට නඟන මේ ගීය රචනා කර ඇත්තේ එවකට විසූ ප්‍රකට නිර්මාණකරුවකු වූ යූ.ඩී. පෙරේරාය; මොහොමඩ් ගවුස් මාස්ටර්ගේ සංගීතයට ගායනා කළේ ග්‍රේටා ජෙනට් ද සිල්වාය:

සල් වනේ ලකල් - දුල් සල් වනේ ලකල්

අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්

මහමාය පුතාණා - ප්‍රේම රජාණා

දකිනට යමු පෙම් - ප්‍රීතීයෙනී නොහිම්

රශ්මි පුරාකාසෙ දිදී පුන් වෙසඟේ තුම්

මහස්වාමි සිරීමාත් - ලෝකාග්‍ර වු මහසාත්

වී වූ නියා ඇසේ - පේනා යතී මහාත්

රශ්මි පුරාකාසෙ දිදී පුන් වෙසඟේ තුම්

රූසිරින් සරූ ලියෝ රඟා - භේරීනදා දෙ ගී කියා

බඹසුරනාවුන් පුදා වඳී - බඹසුරනා පානා ප්‍රීතී

බඹසුරනාවුන් පුදා වඳී - බඹසුරනා නෙක් රැඟුම් දිදී

බඹසුරනා පානා ප්‍රීතී

දෑස දැකා වඳිනා සේ ලුම්බිනි දේසේ

යමු යමු තොස් වී - යමු යමු තොස් වී

රශ්මි පුරාකාසෙ දිදී පුන් වෙසඟේ තුම්

තෙමඟුලේ දෙවැනි මංගල සිද්ධිය වන සම්බුද්ධත්ව ප්‍රප්තිය හා බැඳුණු ගී කීපයක්ම අපට බෞද්ධ ගීතාවලිය තුළ හමු වේ. ඉන් ඇතැමක බුද්ධත්වය සිදු වූ බුද්ධගයාවත්, තවෙකක ඒ අසිරිමත් සිදුවීමත් වාගුක්තියට නැඟෙන'යුරු නිරීක්ෂණය කළ හැකිය. ‍එච්.ඩබ්. රූපසිංහ මාස්ටර් ලියා සංගීතවත් කර, රුක්මණී දේවිය සමඟ ගායනා කළ මේ ගීය බෙහෙවින් ජනප්‍රසාදය හිමි කරගත්තකි:

සිරි බුද්ධගයා විහාරේ වඳිනේමූ මෝක්ෂ පතාලා

ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරාංගනන් පරදාලා

ශ්‍රී මහ බෝධි වෙත සැදි ඒ විදුරසුනේහී මුනිරාජා

ආ දසබිම්බර මාරසේනා පෙරුම් බලෙන් පරදාලා

ප්‍රාතිහාර්ය පෑ දසබලධාරී ජයබිම මේ විසාලා

සාසන ආලෙ ඇති ලෝවාසී බවදුක නසනා සේමා

වඳිනේමු මෝක්ෂ පතාලා

ගායනවේදි මොහිදීන් බෙග් සූරීන් ගයන මේ ගීයද වෙසක් සමයේ සිව් දෙසින් සවන් වැකෙන්නකි:

සුව දේ මට සීතල සුළඟ පවා

හිමි බුදු වුණ බුද්ධගයාවේ

සිය දේවිය හා රජ සැප හැරදා

මරු බල පරදා බුදු වූ පෙරදා

ගිරිමුදුන පවා කුසුමන් පිබිදී

බුදුරැස් විහිදී සිරිසර පළ වී

ඇසු-දුටු පමණින් ගත-සිත සැනසේ

ජයභූමිය වේ ලොව බොදු දනගේ

අතිශය ජනප්‍රිය ගී රැසක් ප්‍රබන්ධ කළ කරුණාරත්න අබේසේකර ලියූ මේ ගීය සංගීතවත් කළේ සරත් දසනායකයි; ගැයුම එච්.ආර්. ජෝතිපාල විසිනි:

සුගත ලෝනා - සම්බුද්ධ රාජා

ශ්‍රී පද පද්මෙ පුදනෙමි දී භක්ති පූජා

භවරෝගෙට ඔසුවක් සොයනා නියා

රජසම්පත හැරදා නික්මී ගියා

පාරමීදම් පුරා - ඝෝර මරසෙන් නසා

බෝධිමූලේ වෙසඟේ බුදු වූ නියා

තුන්ලෝකෙම පිබිදී ආලෝක දී

සුද්ධෝදන පුතු දම්නායක වී

අහස දෙදරා ගියා - පොළොව ගුගුරා ගියා

ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා

වෙසක් සමයන්හිදී නැතිවම බැරි ගීතයක් වන මෙය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ පදමාලාවකි. සංගීතවත් කර, නන්දා මාලනී ඇතුළු පිරිසක් සමඟ ගායනා කළේ ඩබ්.ඩී. අමරදේවය:

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ

පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ

සනසා මුළු ලොව නිවන් ලබා දී

පුණ්‍යමහෝදදි ශාන්ත සමාධී

සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකරයාණෝ

මාරපරාජය කළ මුනිඳුන්ගේ

කරුණා සීතල මෙත් ධාරා

ගලාබසී තුන්ලෝ තලයේ දුක් ගිමන් නිවා අම සෙත් සාදා

බුදුරැස් කැටි වී නැඟි ආලෝකේ

පිස යයි දුකඳුරු මුළු තුන්ලෝකේ

පෙරද සඳහන් කරනු ලැබූ යූ.ඩී. පෙරේරා විසින් චිත්තරූප මැවෙන සේ රචනා කරනු ලැබ, ඇම්.බී. ජෙහාර්ෂා ගයන මේ ගීයේ තනුව බෙහෙවින් ළගන්නාසුලුය.

මහ බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා

මහසාත්තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා

රාසී සදෙව්ලො සුරනා ගුණ ගීත නාද දී

අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දිදී

පුදනා සඳෙහී දෙව්ලෝ මල්වැස්ස වහින්නා

මහසාත්තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා

වෛශාඛ චන්ද්‍රකාන්ති සුරම් මලානීක වී

ශ්‍රී කාන්තී පානා තිලොවේ ඒකලෝක දී

නව නීල පීත ආදී බුදුරැස් විහිදෙන්නා

භගවාත් මහාසත් සව් කෙලෙසුන් පරදන්නා

සංසාර ජාති ජාති පිරූ උතුම් පාරමී

ගම්භීර ඥාන මහිමෙන් ලෝනාථ මාහිමී

ජගදේක මහා මංගල වෙසඟේ සුපසන්නා

භගවාත් මහාසත් සම්බුදු වී වැඩ ඉන්නා

පසු කලෙක ඒ තනුවටම අජන්තා රණසිංහ පබැඳූ මේ ගීතය ගායනා කරනු ලැබූයේ විජය කුමාරණතුංග විසිනි. කෙසේ වෙතත් ඉහත ගීය මඟින් සම්බුද්ධත්ව ප්‍රාප්තිය චිත්‍රණය වන කල, මේ ගීතය තුළට සම්බුදු තෙමඟුලම පිඬු කර ගනු ලැබ ඇති සෙයකි:

මහ ශාක්‍යකුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ

වන්දාමි ශ්‍රී පාදකමල් රශ්මිකදම්බේ

සල්මල් වනේහි ලුම්බිනියේ වෙසඟ පෝදිනේ

මනරංජනා වු සිරි සිදුහත් කුමරු බිහි වුණේ

අතිපූජනීය බුද්ධගයා බෝධිමූලයේ

ඒ භාග්‍යවත් ලොවුතුරු බුදු වීය තුන්ලොවේ

මහ භාරතේහි මල්ල රජුන් පුෂ්ප අංගණේ

ලෝකාග්‍ර මෛත්‍රිමූර්ති අමා මෑණි ඒ දිනේ

සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ

නිවනේ/// පිරිනිවනට වැඩියෝ වෙසඟ පෝ දිනේ

එම්. ආරියදාස යෙදූ තනුව අනුව වජිරා බාලසූරිය ගැයූ, එච්.එස්. පෙරේරාගේ මේ පද මාලාවද සිදුහත් උපත, බුදු වීම සහ පිරිනිවීම කැටි කරගත්තකි:

වඳිමු සුගත සෑසි පියා - සුදු අරලිය මලිනි පුදා

සසර දුකිනි එතෙර වන්න - පතමි නිවන් සැපත සැමා

ලුම්බිනියේ සල් උයනේ - මාය කුසින් බිහි වීලා

පිවිතුරු පියුමන් මතුයේ - වැඩ සිට සිහ නාද කළා

නේරංජන ගඟ අසබඩ - බෝ සෙවණෙහි වැඩ හිඳලා

මරු බල මැඬ බුදුබව ලැබ - ලොව දහමින් එකලු කළා

ලෝ සත හට නිවනට මඟ - මැනවින් පහදා දීලා

මලය රටේ සිල් සෙවණක - පිරිනිවුණා සැනසීලා

ඒ.එම්.යූ. රාජ් නම් එවකට බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූ ගායකයාගේ මුවින් ගැයෙන මේ ගීය බුදු තෙමඟුල සිහි කර, කරන බුද්ධ වන්දනාවකි:

තිලොවග රාජා භව සැරි සරලා ජනිතව මේ ලෝකේ

භව දුක සිඳවා බුදුබව ලැබුවේ පිරිනිවනය දැක්කේ

මුනිගුණ දිලුණී ලොව තුළ රමණී සැම සත පැහැදෙමිනේ

මල්බර වෙසඟේ තෙමඟුල සිදු වූ බව ලොව පිළිගැනුණේ

පෑ පුන්සඳ සේ ආලෝකය දී දෙසුවෙ අමාදම් සත සනසා

භව අන්ධකාරේ සිඳිණි එදා - අමා සිසිල් ආලෝකෙ නිසා

මුනිගුණ සිහි වේ දැක සිරි වෙසඟේ

අපි යමු පද මල්වලිනි පුදා

මෙත් ඒ ගුණ කඳ ලොව බිහි කරවා සියලු සතුන් හට සමව බෙදා

වළකා පස්පව්වලිනි එදා සැම යොමු කර තැබු නිසි මඟද සදා

මුනිගුණ සිහි වේ දැක සිරි වෙසඟේ

අපි යමු පද මල්වලිනි පුදා

සිංහල ගීයේ නාඩගම් යුගයේ පටන් ග්රැමෆෝන්, කැසට්, සංගත තැටි අවධි පසු කර, නවීන තොරතුරු තාක්ෂණ විධි ඔස්සේ විශ්වය සිසාරා හමා යන ගීත ප්‍රවාහය අතරේ මුනි නන්දන සිරි පාද වඳිම්, සිළුමිණි සෑය වඳිම්, ඔබෙ රාගී මන, නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්, ඇසේ මතු වන, හිමි සනරාමර, දෙව්රම් වෙහෙරේ, නිවන් දුටු හිමි, ගිලෙම් ඔබේ ගුණ මූදේ... බඳු විශිෂ්ට බොදු ගී සමුදායක්ම අපට හමු වන බැව් සැබැවි. එහෙත් මෙහිලා අපගේ ආවර්ජනයට බඳුන් වූයේ ඒ අතුරින් ඍජුවම සම්බුදු තෙමඟුල හා බැඳුණු ගී කීපයක් පමණි. එනයින් මෙහි දැක්වුණු ගී, නියැදියක් සේ ගත හොත් පෙනී යන කරුණකට අවධානය යොමු කරමින් මේ ලිපිය නිමහම් දක්වනු රිසි වෙමි. ඒ නම්: බොදු උරුම සේ සැලකිය හැකි මෙබඳු මනරම් නිමැවුම් බිහි කිරීම සඳහා දායක වී ඇති පිරිස හුදෙක් සිංහල බෞද්ධයන්ම පමණක් නොවන බවයි!

 

ජයත් පියදසුන්

අගමැතිතුමාගේ ඉදිරි දැක්ම

$
0
0
මැයි 18, 2022 01:00
උදිත ගුණවර්ධන

මේ මොහොතේ සමාජය ද අගමැතිට මේ සඳහා සාධාරණ කාලයක් දිය යුතුය. පසුගිය සතිය තුළ සමාජ හැසිරීම නිරීක්ෂණය කර බලද්දී අපට පැහැදිලි වන කරුණක් වන්නේ සමාජය තුළ ද නව වැඩපිළිවෙළ ගැන අපේක්ෂා දැල්වී ඇති බවයි. මේ අතර තරුණයන්ගේ ගැටලු තේරුම් ගෙන ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලීමට ඔවුන්ගේ නියෝජිතයන්ගේ අදහස් සහ යෝජනා ද ආණ්ඩුකරණයට එක් කර ගත යුතුය.

මේ ගෙවෙමින් තිබෙන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුෂ්කරම කාලයයි. අද අප රටක් ලෙස සිටින්නේ ඉතා දුෂ්කර සහ අවදානම් තත්වයකය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් පසු සඳහන් කළ පරිදි නිදහසින් පසු නොව නිදහස ලැබීමට පෙර තිබූ කාලය තුළදීවත් මෙතරම් දැවැන්ත සහ ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට, අර්බුදයකට මෙරට වැටී නැත. පෙරේදා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ අප රට සතු පෙට්‍රල් සංචිතය ප්‍රමාණවත් වන්නේ එක් දිනයකට බවයි. ඩීසල් සහ සෙසු ඉන්ධන ද විදෙස් ආධාර සහ ණය ලැබීම් මත තීරණය වන්නක් බවට පත්ව තිබේ. එහි භයානකම දේ බවට පත්ව ඇත්තේ අත ්‍යවශ්‍ය බෙහෙත් වර්ග හිඟ වීම ගැන වූ හෙළිදරව්වයි.

රටේ සුක්කානම භාර ගැනීම

බෙහෙත් නැති, තෙල් නැති, ගෑස් නැති රටක් යනු බංකොලොත් රටකි. එවැනි මොහොතක රටක් පාලනය කිරීම ඉතාමත් දුෂ්කර වැඩකි. එවැනි පාලනයක් අසාර්ථකව රට තව තවත් ආගාධය වෙත වේගයෙන් ඇදී යන විට එය වැළැක්වීමට ඉදිරිපත් වීම සුවිශේෂය. මෙවැනි කාලයක කළ යුතු ප්‍රමුඛ කරුණ විය යුත්තේ රට මෙතැනට පත් කළේ කවුද, ඒ වැරැද්ද කළ අය කවුදැයි තර්ක විතර්ක කිරීම නොවේ. එහෙත් අපේ දේශපාලන පිටිය තුළ සිටින්නන් බොහොමයක් කටයුතු කරන්නේ ඒ ආකාරයටය. රටට වඩා තමන්ගේ දේශපාලන අනාගතය වර්තමානය ගැන පමණක් සිතා තීරණ ගනිති. මෙවැනි මොහොතක කළ යුතු මුල්ම කටයුත්ත වන්නේ දැඩි සත්කාර ඒකකයක සිටින රෝගියකු බදු වූ මෙරට ආර්ථිකයට අවශ්‍ය අත ්‍යවශ්‍ය ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වීම මිස රෝගය ඇති කළේ කවුද එයට වගකිව යුත්තා කවුද සොයමින් වාද විවාද කරමින් කාලය කා දැමීම නොවේ. වගකිව යුතු දේශපාලන පක්ෂ වැඩ කළ යුත්තේ එසේය. තමනට අදාළ අභියෝගය භාර ගැනීමට නොහැකි නම්, අභියෝගය භාර ගත් පාර්ශ්වයට බාධා නොකර හෝ සිටිය යුතුය. මේ වන විට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ හැකියාවක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගාත්මක කාලයේ රටේ සුක්කානම භාර ගෙන තිබේ. එය අගය කළ යුත්තකි. අගමැතිවරයා කියන පරිදි මේ දුෂ්කර මොහොතේ අභියෝගය භාර ගෙන ඇත්තේ පක්ෂයක්, පුද්ගලයකු හෝ පවුලක් රැකීමට නොවේ. රට රැක ගැනීම වෙනුවෙනි.

ජල විදුලිය උත්පාදනය

ඔහුගේ එම ප්‍රකාශය සහ ඔහු දැක්වූ රට පිළිබඳ ආර්ථික දත්ත ගෙන බැලුව හොත් රටක් ලෙස සියලු පක්ෂ මෙන්ම සාමාන්‍ය ජනතාව ද රට වෙනුවෙන් එක මතයක එක තැනක සිට ගත යුතුය. පෙරේදා එතුමන් සිදු කළ කතාවෙන් රටේ හෙට ගැන මෙන්ම අපේ හෙට ගැන ද උපදවන්නේ අවිනිශ්චිත තත්වයකි.

2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගැනීමත් සමඟ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා නව ජනමතයට ගරු කරමින් නව රජයක් පිහිටුවීමට ඉඩ සලසා දුන්නේය. එතෙක් රට පාලනය කළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහිතව ශ්‍රීලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. ඒ වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතයි දශම පහකට ආසන්න ප්‍රමාණයක් තිබුණි. එහෙත් මේ මොහොත වන විට ඩොලර් බිලියනයක් හෝ භාණ්ඩාගාරය සතුව නැති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. තෙල් ගෑස් ඇතුළු අත ්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අත ්‍යවශ්‍ය බෙහෙත් වර්ග හිඟයකින් තොරව දැරිය හැකි මිලකට තිබුණි. එහෙත් අවුරුදු දෙකක් ගත වූ තැන තත්ත්වය ඊට වඩා හාත්පසින් වෙනස් ය. අද මෙරට ඇති විදෙස් සංචිත ප්‍රමාණය රුපියල් ඩොලර් මිලියන හත ඉක්මවන ප්‍රමාණයකි. මේ ප්‍රමාණය සතියකට අවශ්‍ය ගෑස් මිලදී ගැනීමට හෝ ප්‍රමාණවත් නැත. මෙරට පෝලිම් පාලනය සඳහා පමණක් වුවද විශාල ඩොලර් ප්‍රමාණයක් සොයා ගත යුතුව තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලෙස අද තත්ත්වය අනුව රටට පැය පහක විදුලිය කප්පාදුවක් කළ යුතුය. එහෙත් එය නවතා අවම කප්පාදුවක් යටතේ විදුලිය සැපයීමට අවශ්‍ය මුදල් රජය විසින් සොයා ගෙන තිබේ. එමෙන්ම ජල විදුලිය උත්පාදනය ද මේ වන විට ඉහළ ගොස් තිබීම නිසා අපට විදුලිය කප්පාදුව ගැන පැය පහළොවක අනතුරක් නැත.

ඓතිහාසික අභියෝගය ජය ගැනීම

එහෙත්, එළඹෙමින් ඇත්තේ අපට ආර්ථික සහ සමාජීය ජීවිතය ගත කිරීමට දුෂ්කරම තෙමසයි. ඒ තත්ත්වය ජය ගැනීමට සංවිධනාත්මකව වැඩසටහන් සකස් කළ යුතුය. එය වත්මන් තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස ද ප්‍රශ්නයට තිරසාර විසදුම් දීම සදහා මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළ යුතුය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවෙන් පැහැදිලි වූ පරිදි ඒ සඳහා ඔහුට තනිව මේ කැප කිරීම කළ නොහැකිය. දේශපාලන භේද එසේම තිබියදී ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ සදහා සියලු පාර්ශ්ව අවශ්‍ය සහාය දිය යුතුය. එමඟින් අප මුහුණ දී තිබෙන ඓතිහාසික අභියෝගය ජය ගැනීමට පුළුවන.

දැන් පැමිණ තිබෙන්නේ එක් එක් අයට චෝදනා එල්ල කරන වේලාව නොවේ. ඇතැම් විට පසුගිය කාලයේදී එක් එක් අය විසින් මඟහැරීම් වශයෙන් වැරදි සිදු වන්නට ඇත. එහෙත් මේ මොහොතේදී ඒ අතීතයේ එල්ලීගෙන සිටීමෙන් රටට සිදු වන යහපතක් නැත. ඉතිහාසයේ දුෂ්කරම මොහොත ජය ගැනීම සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකිය. උගත් වූ පමණින් තරුණ වූ පමණින් මේ අභියෝගය ජය ගැනීමට හැකියැයි සිතනවා නම්, එය මුළාවකි. මේ මොහොතේ අවශ්‍යතාව වන්නේ ආර්ථික විෂය මෙන්ම අන්තර්ජාතික සබදකම් සහිත ඉහළ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇත්තෙකි. එවැන්නෙකුට ඇතිව තිබෙන අර්බුදය යම් පමණකින් සමනය කර, රට අවම ලෙස 2019 තිබූ තත්වයට හෝ රැගෙන ඒමට පුළුවන. එනිසා විශාල කැප කිරීමක් සිදු කරමින් රට වෙනුවෙන් මැදහත් වීම අගය කළ යුතුය. අගමැතිවරයාගේ මේ වැඩපිළිවෙළ ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිපි මඟින් අදාල දැනුවත් කිරීම කර තිබෙන අතර එයට සියලු පාර්ශ්වවලින් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. දැනටමත් සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය පළ කර තිබේ. එමෙන්ම ශ්‍රීලනිපය සහ සෙසු පක්ෂ දහය ද ආණ්ඩුවේ හොඳ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලට කොන්දේසි විරහිතව සහ තනතුරු භාර නොගනිමින් සහායදීමට තීරණය කිරීම සුවිශේෂ කරුණකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ලිමේන්තුව තුළ වැඩිම මන්ත්‍රී ධූර ප්‍රමාණයක් ඇති පොදුජන පෙරමුණ තනතුරු භාර ගනිමින් රට බේරා ගැනීමට සහාය පළ කර තිබේ. මේ වන විට අගමැති වික්‍රමසිංහ මහතාගේ ආර්ථිකය ගොඩ නැඟීමේ වැඩසටහනට පාර්ලිමේන්තු ව තුළ මන්ත්‍රීවරුන් දෙසීය ඉක්මවන පිරිසක් එකඟතාව පළ කර තිබේ. එය ජාතික කාර්තව්‍යක් ලෙස ගෙන ඔවුන් කටයුතු කිරීම අගය කළ යුතුය.

තරුණයන්ගේ ගැටලු තේරුම් ගැනීම

පසුගිය මාර්තු තිස් එක් වැනිදා මිරිහානෙන් ඇරැඹි තරුණ අරගලයට මූලික හේතුව වූයේ ද ගාලු මුවදොර අරගලය සහ රට පුරා සිදු වූ හර්තාල් සහ වර්ජන මඟින් අරගලය පොදුජන අරගලයක් දක්වා පුළුල් වූයේත් පැයෙන් පැය උග්‍ර වූ ආර්ථික අර්බුදයයි. පසුගිය මස තුළ ඇති වූ තත්ත්වය පාලනය කර රට සුපුරුදු තත්ත්වයට ගෙන ඒමට ද මෙරට ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය යුතුය. එසේ නොවන තාක් කල් රට සාමාන්‍ය තත්ත්වයට පත් කළ නොහැකිය. එනිසා මේ මොහොතේ සමාජය ද අගමැතිට මේ සඳහා සාධාරණ කාලයක් දිය යුතුය. පසුගිය සතිය තුළ සමාජ හැසිරීම නිරීක්ෂණය කර බලද්දී අපට පැහැදිලි වන කරුණක් වන්නේ සමාජය තුළ ද නව වැඩපිළිවෙළ ගැන අපේක්ෂා දැල්වී ඇති බවයි. මේ අතර තරුණයන්ගේ ගැටලු තේරුම් ගෙන ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලීමටත් ඔවුන්ගේ නියෝජිතයන්ගේ අදහස් සහ යෝජනා ද ආණ්ඩුකරණයට එක් කර ගත යුතුය. අගමැති වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීමේ කතාව තුළ ඒ ගැනද පැහැදිලි ලෙස සඳහන් කර තිබේ. තරුණ පරපුරට බලය හුවමාරු වන සංක්‍රාන්ති සමයක නව අගමැතිවරයා තරුණ පරපුර සහ තරුණ අරගලකරුවන් තමන්ගේ සතුරන් ලෙස නොව රටේ අනාගතය නිර්මාණය කරන්නන් ලෙස සළකා කටයුතු කිරීම සහ ඔවුන්ගේ සාමකාමී අරගලයට බාධා නොකිරීමට ද ඔවුන් පාලනයේ කොටස් කරුවන් බවට පත් කර ගැනීමට තීරණය කිරීම ද සුවිශේෂය.

පසුගිය දසකය තුළ මෙරට තුළ වැඩියෙන්ම අප්‍රසාදයට ලක් වූ ආයතනයක් බවට පත්ව තිබෙන්නේ පාර්ලිමේන්තුවයි. ජනතාවගේ මතය බවට පත්ව තිබෙන්නේ දෙසිය විසිපහම එකයි, යන මතයයි. එහෙත්, මේ අසීරු මොහොතේ ආර්ථික අර්බුදය විසදීම සඳහා සැම එකට එක් වුවහොත් වඩාත් සුදුසු වන අතර එමෙන්ම එමඟින් දෙසිය විසිපහම එක යැයි කියන චෝදනාවෙන්ද මිදිය හැකිය. එනිසා දැන් අප සමාජය මෙන්ම ජනතා නියෝජිතයන් ද පටු සීමාවලින් මිදී කටයුතු කළ යුතු අතර එමඟින් වැටී ඇති රට නැවත ඉහළට ඔසවා තැබීමට පුළුවන. ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සඳහා සහාය දිය යුතුය.

වැල් පාලම මතින්

එය දේශපාලන වශයෙන් අප ගන්නා තීන්දුවක් හෝ නිල්, කොළ සහ රතු පැහැ කණ්නාඩිවලින් බලා බැලිය යුතු දෙයක් ද නොවේ. අප බැලිය යුත්තේ එක් රටක් සහ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙසය. අප එසේ සිතා කටයුතු කළහොත් පමණක් අපට අප ඉදිරියේ තිබෙන මහා අභියෝගය ජය ගැනීමට පුළුවන. එසේ නොවුනහොත් සිදු වන්නේ වැල් පාලම මතින් රට ගෙන යන අසීරු ගමනට බාධා එල්ල වීමය. එනිසා ඒ ගැන සිතා අප බුද්ධිමත්ව වැඩ කළ යුතුය. අප එසේ කළහොත් ඉදිරියේ එන දුෂ්කර කාලය ජය ගෙන යහපත් කාලයක් ඉක්මනින්ම උදා කර ගැනීමට පුළුවන.


ත්‍රස්තවාදය පැරදවූ ජයග්‍රහණයේ මතක

$
0
0
මැයි 18, 2022 01:00

මාතෘ භූමියෙන් කොටසක් කඩාගෙන වෙනත් රටක් ඇති කර ගැනීමට සිහින මැවූ එල්.ටී.ටී.ඊ. සිහිනය සිහිනයක්ම බවට පත් විය. තවත් ඉදිරිටත් ඔවුන් කළ අහිංසක මවු පිය දූ දරුවන් අමු අමුවේ නිදි පැදුරේම කපා කොටා ඝාතනය කිරීම අවසන් විය. මේ රටේ ආර්ථික මධ්‍යස්ථාන, පාසල්, ප්‍රවාහන සේවා, අහිංසක දූ දරුවන් ඇතුළු කිසිවකුත් ඉලක්ක කරගෙන සිදු කරන ලද මහා ජීවිත විනාශයට ද එසැණින්ම තිත තැබිණි.

අද මැයි 18 වැනි දාය. මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ තවත් වසර සිය ගණනකටවත් අමතක නොවන දවසකි. තිස් වසරකට එහා කාලසීමාවක් තුළ මේ රට මහා විශාල අගාධයකට ඇද දැමූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ සම්පූර්ණයෙන් මෙරටින් අතු ගා දමා මෙරට ජනතාවට පමණක් නොව එම ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව සිටි තවත් රටවල් ගණනාවකට ද ත්‍රස්ත බිය නැති වී ගියේ 2009 එනම්, මීට වසර 14කට පෙර අද වැනි දිනකය. එදා පරාජය කළ නොහැකි යැයි පැවසූ ඒ කුරිරු ත්‍රස්තවාදයෙන් උතුරේ දෙමළ ජනතාව ද ගලවා ගත්තේ මේ රටේ ත්‍රිවිධ හමුදාවයි.

2007 වසරේදී මාවිල්ආරු සොරොව්ව වසා දමා ගොවි ජනතාවට ජලය ලබා ගැනීමට නොහැකි වන සේ කටයුතු කළ එල්.ටී.ටී ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් එදා ඒ ආරම්භය දුරදිග ගොස් අවසාන මානුෂීය මෙහෙයුම ආරක්ෂා වී සමස්ත එල්.ටී.ටී.ඊ. සංවිධානයම මෙරටින් තුරන් වේ යැයි කිසි විටෙකත් නොසිතන්නට ඇත. එහෙත් එය ඒ ආකාරයෙන්ම සිදු විය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හමුදාපති එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු සමස්ත සියලු ආරක්ෂක අංශවල කැප වීම, විශ්වාසය සහ අන්‍යෝන්‍ය බැඳීම මෙම ජයග්‍රහණය පිටුපස තිබූ ප්‍රබලම අවියයි.

ලෝකයේ සෙසු ගරිල්ලා කණ්ඩායම්

කිසි දිනෙක පරාජය කළ නොහැකි බව මෙරට පමණක් නොව සමස්ත ලෝකය පුරාම පැතිරී ගිය මතයක් තුළ අපේ රණවිරුවන් ලබා ගත් ජයග්‍රහණයත් සමඟ ලෝකය පුරා මේ මාතෘභූමියට හිමි වූයේ අප්‍රමාණ ගෞරවයකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ලෝකයේ සෙසු ගරිල්ලා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් ශක්තිමත්ව සිටියේය. ඒ එම සංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන කල්ලියක් බිහි කර තිබීමය. එසේම අවි ආයුධ සහ නවීන අවි ආයුධවලින් ඔවුහු ශක්තිමත් වූහ.

නැඟෙනහිර පළාතේ සියලු කොටි බළමුළු පරාජයට පත් කර එහි බලය තහවුරු කර ගත් ආරක්ෂක බළ සේනාවෝ අනතුරුව උතුරු ප්‍රදේශය අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ. වසර 30ක් පුරා උතුරේ ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන්ට මේ මාතෘ භූමියේ එක් බිම් අඟලක්වත් අත්පත් කර ගැනීමට ඉඩ නොතබා එම වසර 30 පුරාම මෙහෙයුම් සිය ගණනක් දියත් කළහ. එහිදී අපේ රණවිරුවෝ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් රට වෙනුවෙන් සිය ජීවිතය පූජා කළහ. ඒ අතර, අභීත සෙන්පති ජෙනරාල් කොබ්බෑකඩුව, බ්‍රිෙග්ඩියර් විජය විමලරත්න ඇතුළු මෙරට ත්‍රස්තවාදය නිමා කිරීමේ මහා සැලසුමක් දියත් කළ අභීත නායකයෝ උතුරේ අරාලි තුඩුවේදී ත්‍රස්තවාදී බෝම්බයට හසු වී එතැනම ඝාතනයට ලක්වූහ. එහිදී ඉතිරි වූයේ සෙබළ උපාලි පමණි. මීට අමතරව එම තිස් වසර තුළ විවිධ අවස්ථාවල තම ජීවිතය පමණක් නොවේ ආදරණීය මා පිය දූ දරුවන් ඇතුළු සිය ජීවිතයේ සමීපතමයන් අමතක කර දමා සිය ජීවිතය කැප කළ රණවිරුවන් දහස් ගණනකගේ රුධිරයෙන් උතුරු - නැඟෙනහිර මහ පොළොව තෙත් වී ගිය බව අපට අමතක කළ නොහැකිය. කෑලි කැපිය හැකි ඝන අඳුරේ ගිනි අවිය දෑත දරාගෙන සෙමින් සෙමින් කොටි ඉලක්කය සපුරා ගැනීමට ඉදිරියට ගිය අපේ රණවිරුවන් කළ කැප වීම අප්‍රමාණය. ඒ අතර කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ කඳවුර විනාශ කිරීමට බෝම්බ පුරවා ගත් ඩෝසර් පෙළට පැන සිය ජීවිතය කැප කර කඳවුර බේරාගත් හසළක ගාමිණී ඇතුළු එදා මෙදාතුර මේ රටේ ජනතාවට නිදහස් නිවහල් ඒකීය මාතෘ භූමියක් රැක දීමට කැප වූ අභීත රණවිරු සොහොයුරන් අද අප සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

පහකින් බළසේනා පැති

එදා 2007දී නැඟෙනහිර අත්පත් කරගත් රණවිරු බළසේනා උතුරේ පැති පහකින් බළසේනා කොටි බළමුළු පරාජයට පත් කරමින් ඉදිරියට ඇදී ගියේ ඔවුන්ගේ ගමන වළක්වාලීමට අටවා තිබූ බිම් බෝම්බ, පැති බෝම්බ, මර උගුල් ඇතුළු අප්‍රමාණ වූ බාධක මධ්‍යයේය. ත්‍රස්තවාදය විනාශ කර රටේ යුද්ධය ජයග්‍රහණය කිරීමේදී අඩුම වශයෙන් තිස් හතළිස් දහසක භට පිරිසක්වත් ජීවිතය කැප කළ යුතු බව ආරක්ෂක ප්‍රධානීන්ගේ මතය විය. ඒ බව දැන දැනත් ඉදිරියට තැබූ පය ආ පස්සට නොගත් අපේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යයත්, ආත්ම ශක්තියත්, එකිනෙකා තුළ වූ බැඳීමත්, රහස්‍ය බව රැකගැනීමත් ඉහළම මට්ටමක පැවතිණි. 

හතරවටින් රණවිරු බළසේනා උතුරේ සියලු ප්‍රදේශ අත්පත් කර ගනිමින් ඉදිරියට ඇදී යද්දී මහා බලවතකු බව පෙන්වූ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමට උතුරේ දෙමළ ජනතාව පළිහක් බවට පත් කර ගත්තේය. ජනතාව අතර සැඟ වී සිටි ඒ ම්ලේච්ඡ කොටි නායකයා තමාගේ ජීවිතය යුද්ධය අවසන් මොහොතේ හෝ තමාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වෙතැයි සිතන්නට ඇත. හෙතෙම ඒ නිසාම මහජනතාව අතර සැඟ වී සිටියේය. ඒ අතර, ඇතැම් ත්‍රස්තවාදී කණ්ඩායම් ආරක්ෂක අංශ වෙත භාර වූහ. මහජනතාව ද මේ අවස්ථාවේ ජාති ආගම්, පක්ෂ පාට නොබලා යුද ජයග්‍රහණය වෙනුවෙන් කැප වී උතුරේ හමුදාවන්ගේ ශක්තිය යෝධ ශක්තියක් බවට පත්ව සිටියහ.

අවසානයේදී ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී නායකයා බවට පත්ව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා අපේ හමුදාවන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට කරමින් සදහටම සිය බළසේනා ද සම විනාශ වී ගියේය.

ජීවිතය කැප කළ අභීත රණවිරුවෝ

මේ මාතෘ භූමියෙන් කොටසක් කඩාගෙන වෙනත් රටක් ඇති කර ගැනීමට සිහින මැවූ එල්.ටී.ටී.ඊ. සිහිනය සිහිනයක්ම බවට පත් විය. තවත් ඉදිරිටත් ඔවුන් කළ අහිංසක මව් පිය දූ දරුවන් අමු අමුවේ නිදි පැදුරේහ කපා කොටා ඝාතනය කිරීම අවසන් විය. මේ රටේ ආර්ථික මධ්‍යස්ථාන, පාසල්, ප්‍රවාහන සේවා, අහිංසක දූ දරුවන් ඇතුළු කිසිවකුත් ඉලක්ක කරගෙන සිදු කරන ලද මහා ජීවිත විනාශයට ද එසැණින්ම තිත තැබිණි. මේ සුවිශේෂි ජයග්‍රහණයත් සමඟම මෙරටට හිමිවූයේ අප්‍රමාණ ගෞරවයකි. ඒ ජයග්‍රහණය ලැබූ අද වැනි දිනක සිට අද දක්වා රට වෙනුවෙන් සිය ජීවිතය කැප කළ අභීත රණවිරුවනි! ඔබ හෙළූ රුධිරයෙන් මේ මහා පොළව තවමත් තෙත් වී ඇත. ඔබ හෙළූ සුසුම් මේ මහ වා තලය මත තවමත් රැඳී පවතින්නේය.

තවත් වසර සිය ගණනක් ගියද ඔබ මේ රටේ ජනතාවට අමතක නොවන්නෙහිය. ඔබ වෙනුවෙන් ඔබේ මා පිය, දූ දරුවන් ආරක්ෂා කර ගන්නේය. ඔබ කළ ඒ කැපවීම නොවන්නට අද දිනයේදී රටේ ජාතික ආරක්ෂාව වෙනත් ආකාරයක් ගන්නට ඉඩ තිබිණි. එහෙත් ඔබ අපට ඒ නිදහස උරුම කර දුනනෙහිය. ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව ඔබ සැමට සැමදා ගෞරව කරන්නෙහිය. තවත් මේ රටේ මෙවැනි තත්ත්වයක් ඇති නොවනු ඇතැයි අපේ විශ්වාසයයි. එවන් තත්ත්වයක් තුළ ඔබ යළි අප අතර ඉපදී මේ සසරේ කොතනක හෝ ඔබ සැමගේ ඥාතීන් හමුවේ නිදහස් ජීවිතයක් ගත කරන්නට ලැබේවායි අපේ ප්‍රාර්ථනාවයි.

ආරක්ෂක වාර්තාකරු

නව පර්යායක්

$
0
0
මැයි 18, 2022 01:00
චන්දන ජයවීර

පර්යාය බිඳ දැමීම පහසු කටයුත්තකි. ඕනෑම දේශපාලන පර්යායකට එකඟ නොවන, එයින් අසහනයට පත් වන පිරිස් විරල නොවෙති. පර්යායකට විරුද්ධ වන පිරිස් අතර පොදු බවක් නැත. එක් එක් අය විරුද්ධ වන්නේ විවිධ හේතු මතය. කාලයත් සමඟ නොයෙකුත් හේතු මත පර්යායට එරෙහි වන්නන් ක්‍රමයෙන් වර්ධනය වේ. ඒ නිසා පර්යාය බිඳ දැමීම පහසුය. නමුත් නව පර්යායක් බිහි කිරීම පහසු නොවේ. ශ්‍රී ලංකාව මේ මොහොතේ පසු වන්නේ නව දේශපාලන පර්යාලෝකයක් අබිමුවය.

පර්යායකට අභියෝග කරන බොහෝ කොටස් සිටියද නව පර්යාලෝකයක් බිහි කිරීමට දායක වන පිරිසක් නැති බව මේ වන විට වුවමනාවටත් වඩා සනාථව ඇත. ඒ නිසා විශාල අවිනිශ්චිත බවක් සමාජයේ මතුව ඇත. පර්යායට එරෙහි වන්නන් ගැටලුවට ඍජුව ආමන්ත්‍රණය කිරීම මඟ හැර යන බවක් පෙනෙන්නට තිබේ. නැතහොත් කල් මරමින් සිටී. පසුකර යන දේශපාලන මොහොත ගැන අවබෝධයක් ඔවුන්ට නැත. සියල්ලට පෙර අවස්ථාවාදය මූලිකව ඇති සේය.

යුද්ධය අවසන් වීමෙන් පසු නව දේශපාලන සිතීමකට විවර වූ මහඟු අවස්ථාවක් මෙරට සමාජය මඟ හැරියේය. අවශ්‍ය කරන සමාජ දේශපාලන සංවාදය සිදු වූයේ නැත. වර්තමානයේ අප මුහුණ දී සිටින සමාජ, ආර්ථික අර්බුදය එම සංවාදය මඟ හැරිමේ ප්‍රතිඵලයක් ලෙස ද සැලකිය හැකිය.

පශ්චාත් යුදමය තත්ත්වය තුළ නව ප්‍රවේශයකට යොමු විය යුතුව තිබුණ ද අප බොහෝ විට උත්සාහ කළේ පැවැති තුවාලවලට ආර්ථික විසඳුමක් දීමටය. ඒ අනුව යුද්ධය අවසන් වීමෙන් පසු යටිතළ පහසුකම් විෂයෙහි විශාල සංවර්ධනයක් ඇති විය. එහෙත් උතුරු හා දකුණ අතර දේශපාන සංවාදයක් සිදු වූයේ නැත. මෙම සංවාදය පවත්වා ගෙන යෑමේ වගකීම සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රයේද ඉටු විය යුතුව තිබුණි. සිනමාව, සාහිත්‍ය වැනි මාධ්‍ය මඟින් මෙම සංවාදය අතරින් පතර මතු වුවද එහි අරමුණ ප්‍රචාරවාදී වීම නිසා අවශ්‍ය කරන ගනුදෙනුව සිදු වූයේ නැත.

ආගන්තුක පරිවර්තන සාහිත්‍යයක් සමීප කර ගැනීමට සැදී පැහැදි සිටින රටක අන්තර් සංස්කෘතික ගනුදෙනුවකට යොමු වීමට තරම් ප්‍රමාණවත් උනන්දුවක් නොතිබීම ගැටලුකාරීය. අතීතයේ සිට නොයෙකුත් ජාතීන් සමඟ අන්තර් සංස්කෘතික ගනුදෙනුවක නිරත වෙමින් පෝෂණය වීමට අප උනන්දුවක් දැක්වූයේය. අප ජාතීන් වශයෙන් එක්සත්ව නිදහස දිනා ගත්ත ද ඉන්පසු මතු වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි වුයේ ද යන්න සිතා බැලිය යුතුය.

ශ්‍රී ලාංකේය සමාජය මේ වන විට සංකීර්ණ දේශපාලන හා ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටී. ආර්ථික අර්බුදයෙන් මතු වු දේශපාලන ප්‍රබෝධයක් අප ඉදිරියේ ඇත. එමෙන්ම එහි මීළඟ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ සංස්කෘතික හා සමාජීය අර්බුදයක් මතු වීමය. සාමාජීය අර්බුදය මතු පිටින් විද්‍යමාන වන්නට කාලයක් ගතවේ. ආර්ථික හා දේශපාලන අර්බුද දිස් වන්නට කාලයක් ගත වන්නේ නැත.

එහෙත් ආර්ථික අර්බුද නිසා සිදුවන නාය යෑමට වැඩි හානියක් සමාජීය අර්බුද නිසා ඇති වේ. ආර්ථික අර්බුදය අන්තර්ජාතික ප්‍රජාවගේ හෝ වෙනත් සංවිධානවල සහාය මත ජයගත හැකි වුවත් සමාජයක් නාය ගිය විට එය ජය ගැනීම අසීරුය.

ඒ නිසා අප නව සමාජ සිතීමකට යොමු විය යුතුව ඇත. එහිදී එක් එක් දේශපාලන පක්ෂවල දෘෂ්ටියෙන් තමන්ට මෙම ගැටලුව බලපාන ආකාරය ගැන සිතීමට වඩා සමාජයක් ලෙස මෙම ගැටලුව බලපාන ආකාරය ගැන සිතීම වැදගත්ය.

දෙස් විදෙස් විහඟුන් එක්ව රඟ දෙන උතුරු ලක් රඟබිම

$
0
0
මැයි 18, 2022 01:00

රත් වු උණුසුම් වාතයේ ඇති පීඩාකාරී බව මඳකට හෝ සමනය වන්නේ හමනා මද සුළග නිසාවෙනි. ඇරත් මේ ප්‍රදේශයට නම් අව්වේ ඇති රුදුරු බව කෙසේ දැයි විස්තර කිරීම අවශ්‍ය නැත. අප මේ රැඳී සිටින්නේ අපේ රටේ ව්‍යාප්ත සෙසු පාරිසරික කලාපයන්ට සාපේක්ෂව ශ්‍රි ලංකාවේ උණුසුම් දේශගුණික තත්ත්වයන් හමුවේ කටුක පාරිසරික කලාපයක් ආශ්‍රිතවයි. සෑම අතම රජයන්නේ දැඩි හිරු රැස් අභිමුව දැවී, තැවී, කර වූ වටපිටාවක්. මේ ඇසුරේ දිවි ගෙවන මිනිසුන්ගෙන් පවා දිස් වන්නේ ඒ බවට විද්‍යාමාන වන රූ සෝබාවන්. කරදිය මුසු ජලය සිප ගනිමින් ඇදී යන සුළගින් පවා තව තවත් වේලුම් කන වියළි තණ පත් බුදිමින් කේඩෑරි වුණු අත් පා අවසඟව විසි කරමින්, තම විසල් බංඩි ගෙඩි දරා ගෙන හතර අතේ නිදහසේ ඇවිද යන බූරුවන් නම් බැලූ සෑම පැත්තකම වාගේ දැක බලා ගත හැකියි. ඒ දැකුම දකින සිතක නම් ඇති වන්නේ මේ පාරිසරික කලාපයන්ට උචිතම සහ අනුවර්තනය වී ඇති සුවිශේෂි සත්ත්ව විශේෂය වන්නේ මේ බූරුවන් බවයි.

නෙතට රසඳුනක් දිය නොහැකි ඒකාකාරී පාරිසරික නිරීක්ෂණ අතරට නවමු බලාපොරොත්තුවක් එක් කරමින් මන්නාරම් පුරවරය විචිත්‍රත්වයෙන් පිරවීමට සමත්කම් පානා දසුන් බොහොමයක්ම මේ උණුසුම් වටපිටාවට එක් කරන්නේ සිසිලස මුසුවු හැඟුමක්. මන්ද, හාත්පස දසුන කෙතරම් ප්‍රබල ද යත් වැඩිමනත්ම කුරුලු ලෝලීන්ගේ පාරාදීසයක් බවට කටුක දේශගුණික කලාපයක පිහිටි මන්නාරම පරිවර්තනය වීමට ගත වන්නේ නිමේෂයක් නිසා. එයට හේතුව වන්නේ අපේ රටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් මන්නාරම අවට තෙත් බිම් හා කලපු පාරිසරික කලාප පිරී ඉතිරී යෑමයි.

අපි මන්නාරම ඉඳන් වෙරළ දිගේ ඉහළට යාපනය දක්වාත්, යාපනය ඉඳන් වෙරළ දිගේ පහළට මුලතිව් දක්වා ඇති සියලුම කලපු කලාප අපේ ගැවසුම් කලාප බවට පත් කර ගත්තේ ද පර්යටනික පක්ෂීන් ගැන බොහෝ කරුණු කාරණා රැසක්ම අධ්‍යනයට බදුන් කළ යුතුව ඇති නිසාවෙන්. පර්යටනික පක්ෂීන් අරබයා සිදු කළ අධ්‍යයන කටයුතු නම් වශයෙන් කියනවා නම් නයාරු කලපුව, කෝකිලායි කලපුව, නන්දිකඩාල් කලපුව, චුණ්ඩිකුලම් කලපුව, අලිමංකඩ, නගර්කෝවිල්, සරසාලේ, ඩෙල්ෆ් දූපත, කයිට්ස්, මණ්ඩතිව් දූපත්, කරෙයිනගර්, ඩෙවිල්ස් පොයින්ට්, වෙඩිතලතිව්, වාන්කාලෛයි, පේසාලෛයි, ඌරු මලේ, කෝපායි, කන්කසන්තුරේ ආශ්‍රිත සියලුම ජලජ පරිසර පද්ධති ආශ්‍රිතව සිදු කිරීමෙන් පර්යටනික පක්ෂීන් සම්බන්ධව බොහෝ දෑ දැන කියා ගත හැකි වුණා. මැයි මස 14 වැනි සෙනසුරාදා දිනට යෙදෙන ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ සැමරුම් දිනයට දින කිහිපයකට පෙර උතුරුකරේ සිදු කළ මෙම අධ්‍යයන කටයුත්ත සැබැවින්ම ඵලදායී කාර්යයක් වූ බව සඳහන් කළ යුතුමයි. පර්යටනික පක්ෂීන්ගේ හැසිරීම් රටා අපූර්වත්වයෙන් පරිපූර්ණයි. විස්මයජනකයි. ඒ හැම දෙයක්ම පරිසරයට ආදරය කරන ඔබ වෙත ගෙන ඒම අපේ යුතුකමක්. මන්ද යත් පරිසරය යනු ජීවිතයට බද්ධ වූ විෂයක්. පරිසරය විඳින්න නම් පරිසරයේ නිහඩ බසට ඇහුම්කන් දෙන්න සවන්පත් පුරුදු කළ යුතු බවත් සටහන් තැබිය යුතුයි.

සංක්‍රමණික විහඟින් යනු සැතපුම් දස දහස් ගණනක් වුව ද පියාසර කළ හැකි දක්ෂ පියාසැරියක් හිමි වන කුරුලු විශේෂයන් වශයෙන් හැඳින්විය හැකියි. ඔවුන් ද ස්වකීය ජන්ම බිම් ආශ්‍රිතව පවතින අහිතකර පාරිසරික සාධක මඟිහරිමින් එම තත්ත්වයන් පහව යනතුරු තම ප්‍රධාන සංක්‍රමණික ඉලක්කය වන ගොදුරු බිම් සොයා සිදු කරනා ගමන් සංචාරයේදී අවසන් නැවතුම වශයෙන් තෝරා ගනු ලබන්නේ සමකාසන්න උණුසුම් රටවල්ය. ඒ අතරේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්.

අවමය තුන් දහසේ සිට උපරිමය විසිදහසක් තිස් දහසක් වුව ද විය හැකි සියක්කාරයින් සෑම විටෙකදීම විසල් වූ රංචු වශයෙන් ගැවසීමටම ප්‍රිය කරයි. තමන් උපන් බිමේ සිට පර්යටන බිම් සොයා මේ අය ඇදී එන්නේ ද මේ ආකාරයේ විසල් රැළ ලෙසටයි. ඒ අතරේ තම නිජබිම මතදී කැදලි තනා බිජු දමා පැටවුන් තනා උස් මහත් කර ගත් වැඩිවියට පත් නොවූ ගැටවරයිනුත් සිටිනවා.

ලොව වෙසෙන එකොළොස් දහසක් පමණ වන කුරුලු විශේෂ අතරින් පන්සියයක් පමණ ශ්‍රී ලංකාවේදී දැක ගත හැකියි. කුරුලු විශේෂ 250ක් පමණ අප රටෙහිම ඉපිද, කැදලි තනා බිත්තර දමා අවුරුද්ද පුරාම මෙහි ජීවත්වන දේශීය පක්ෂීන්. භාවිතය පහසු නිසා ඔවුන් නිවැසි කුරුල්ලන් විදියට නම් කළ හැකියි. ඉන් විශේෂ 34 ක් පමණක් ලෝකයේ වෙනත් කිසිදු දේශයක දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් නිරීක්ෂණය කිරීමේ භාග්‍යය ඇත්තේ අපේ රට තුළ පමණයි. එබඳු පක්ෂීන් ආවේණික පක්ෂීන් ලෙස නම් කළ හැකියි. අප රට තුළ වාර්තා වන සමස්ත කුරුලු විශේෂ 500 කට ආසන්න සංඛ්‍යාව අතරින් විශේෂ 250 ක්, එනම් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික පක්ෂීන් විදියට පැමිණ ශීත සෘතුව අපේ රට තුළ ගත කරලා ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා අප රට තුළ නතරව හිද (වසරින් හරි අඩක් පමණ) නැවත ඔවුන්ගේ බිජු ලන කලාප වෙත සංක්‍රමණය සිදු කරනවා.

සොබාදහමේ සොදුරු පණිවිඩයන් ලොව පුරා රැගෙන යන දූතයන් වැනි සංක්‍රමණික සියොත් කැල කෙරෙහි අවධානය යොමු කරවන ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ දිනය සෑම වසරකම මැයි මස දෙවන සෙනසුරාදා සහ ඔක්තෝබර් මස දෙවන සෙනසුරාදාට යෙදී තිබෙනවා. එක් වසරක් තුළ එකම කරුණ මුල් කර ගත් දින දෙකක් ප්‍රකාශයට පත් කිරිමේලා මුල් වු සාධක කෙරෙහිත් අපගේ අවධානය යොමු කළ යුතුයි. වසරේ දින දෙකක්, එනම් වසර ඇරඹුමේ පස් වන මාසයේ හා වසර අග දස වැනි මාසයේ එක් දින බැගින් දින දෙකක් ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ දිනය ලෙස නම් කිරීම තුළින් මෙම විෂය හා බැදුණු පාරිසරික වැදගත්කම ඉස්මතු කරමින් එයට ඇති බාධා හඳුනාගැනීම සහ එවැනි බාධා නැති කරමින් සමස්ත පක්ෂී වර්ගයාටම මහීතලය එක් නිවස්නයක් සේ ගෙන වාසය කිරීමේ ඇති වැදගත්කම කෙරෙහි ලෝ වැසියන්ගේ අවධානය යොමුකරවා ගැනීම මෙහි මුඛ්‍ය පරමාර්ථය ලෙසත් සඳහන් කළ හැකියි.

සංක්‍රමණික වන සත්ත්ව විශේෂයන් සංරක්ෂණය පිළිබඳ සම්මුතියේ පාර්ශවකරුවකු ලෙස අප රට නියෝජනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව සිටිනවා. වර්ෂ 1979 නැඟෙනහිර ජර්මනියේ බොන් නගරයේ අත්සන් තබන ලද සංක්‍රමණික වන සත්ත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතිය (Convention On The Conservation Of Migratory Species Of Wild Animals - Bonn Convention) බොන් සම්මුතිය යන කෙටි යෙදුමෙනුත් හඳුන්වනවා. වර්ෂ 1983 සිට ක්‍රියාත්මක මෙම සම්මුතිය තුළින් මෙබදු සත්ත්වයින්ගේ වාසස්ථාන සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම හා සත්ත්වයින්ට සංක්‍රමණය සඳහා ඇති බාධා අවම කරමින් එබඳු සත්ත්වයින්ගේ පැවැත්මට තර්ජනයක් වන සාධක පාලනය කිරීමත් අවධානයට යොමු වන කරුණු අතරට අයත්. ඒ අනුව භෞමික, ගුවන සහ සමුද්‍රීය නියෝජනයන් සහිත සංක්‍රමණික සත්ත්ව විශේෂ ඔවුන්ට ජීවත් වන නිජ බිම් සහ සංක්‍රමණික බිම් යන සමස්ත විසුම් පරාසයන් තුළදීම සංරක්ෂණයට ප්‍රමුඛතාවය දීම සිදු වෙනවා.

මෙවර ලෝක සංක්‍රමණික පක්ෂි දින තේමාව බවට පත්ව ඇත්තේ "සංක්‍රමණික පක්ෂින්ගේ ගමන් පථයන් අවුල් වියවුල් තත්ත්වයට පත් කරනා ආලෝක දූෂණය කෙරෙහි අවධනය යොමු කරමු"යන අරුතැති තේමාවක්. එය කාලීන තේමාවක් බව නොරහසක්. මන්ද යත් බොහෝ සංක්‍රමණික පක්ෂීන් පර්යටනය සදහා තෝරා ගන්නේ නිසසල රාත්‍රී කාලයයි.

රාත්‍රී සංක්‍රමණයට හුරුව සිටිනා පර්යටනික විහඟුන්ගේ ගමන් පථයන් අවුල් සහගත වීම, තම සුපුරුදු ගමන් පථයෙන් පරිබාහිර වූ සංක්‍රමණික ගමනාන්තයක් වෙත යොමු වී අතරමං වීම, සංක්‍රමණය හා බැඳුණු ඔවුන්ගේ ජීවී ක්‍රියාවලිය ව්‍යාකූල තත්ත්වයට භාජනය වීම, කෘත්‍රිම ආලෝක පසු පස හඹා ගොස් විවිධ අනතුරුවලට හෝ ජීවිතක්ෂයට පත් වීම ද කෘත්‍රිම ආලෝකය හේතුවෙන් පර්යටනික පක්ෂීන් මුහුණ දෙන ගැටලු අතරට අයත්.

වසරේ දින දෙකක් හෝ එක් දිනක් හෝ එම දිනය සං

ක්‍රමණික පක්ෂින් නමින් නම් කිරීම හරහා බලාපොරොත්තු වන්නේ එම සත්ත්වයින් තම උපන් බිම්වලින් පිටත එනම් සංක්‍රමණික පක්ෂි සමය තුළදී ගත කරනා භූමිය ඇසුරේදීත් අවැසි ආරක්ෂාව සැලසීමයි. එය රටක් ලෙස අප සතු වගකීමක්. නේක විද වූ වර්ණ සංකලනයෙන් සමන්විත පිහාටු ගොමුවෙන්, නාද සංකලනයෙන් සහ ක්‍රියාශීලීත්වයෙන් මිනිස් සිත් සතන් සජීවී බවින් පිරවීමට සමස්ත සත්ත්ව වර්ගයා අතුරින් සියොත් කැල සුවිශේෂී සමත් බවක් පාන බව නොරහසක්. අවැසි මෙබඳු සත්ත්වයින් සතු ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරනු වස් කළ යුතු දේ නොපමාව ඉටු කිරිමයි.

සටහන සඳමල් රශ්මී .ශ්‍රී. බුද්ධික
ඡායාරූප Blue Green Media
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

දොළොස්බාගේ උසම කන්ද කබරගල

$
0
0
මැයි 18, 2022 01:00

ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර දිය ඇලි, කඳු පන්ති හා වනාන්තරයන්ගෙන් සමන්විත වූ මේ පුංචි දිවයින තුළ ඒ ස්වාභාවික ආස්වාදය විඳගන්නට ශ්‍රී ලාංකික අප පමණක් නොව දස දහස් ගණනින් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් ද ප්‍රියතාවක් දක්වයි. අද මේ සටහන වෙන්වන්නේ ස්වභාවදහමට ආදරය කරන ඒ සුන්දරත්වය විඳින්නට ආසාවක් දක්වන සියල්ලන්ට යෑමට හැකි අපූරු අලංකාර ස්ථානයක් පිළිබඳවයි. 

දොළොස්බාගේ කඳු පන්තිය යනු ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන අතිශය සුන්දර කඳු පන්තියකි. මෙය උස් වූ කඳු රාජ්‍යයක් ලෙසින් ද හැඳින්විය හැකිය. මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරය ආසන්නයේ, බුලත්කොහුපිටිය දේදුගල හරහා යන ගමනේදී දොළොස්බාගේ කඳු වැටියේ උසම කන්ද වන කබරගල කන්ද පිහිටා ඇත. මේ කඳු පන්තිය නිතර මීදුමෙන් වැසී ඇති අතර වැසි වසින සමයන්හිදී මේ ප්‍රදේශයේ සංචාරය කරන්නේ නම්, මනරම් දසුන් කීපයක්ම දැක ගැනීමට හැකියාව ඇත.

මුහුදු මට්ටමේ සිට උසින් මීටර් 1506 ක් පමණ වන කබරගල කන්ද සොබාව සෞන්දර්යයේ අපූරු විස්මිත නිර්මාණයක් වන කබරගොයකුගේ හැඩයක් ගත් කඳු පන්තියකි. මෙහි මුදුන අවසන් වන්නේ ෆයිනස් ගස් සමූහය සහිතව පර්වතයෙහි අපූරු පාෂාණ නෙරුවේ පිටතට පැන නඟින ලද කඳු ගැට්ට ආසන්නයෙනි. පරිසර විවිධත්වය පෙන්නුම් කරන මෙම කඳුවැටිය තෘණ භූමියක් මෙන්ම මීදුමෙන් වැසී ගිය වනාන්තරයක් ලෙස ද හැඳින්විය හැකිය. මෙම පරිසර පද්ධතියට ආවේණික වූ කෘමීන් ද, සමනලුන් ද කඳුවැටියට ගෙන දෙන්නේ අලංකාරයකි.

ෆයිනස් කැලෑවක් හා තේ වතුයායවල් පසු කර ගෙන කන්ද නැඟිය යුතු වන අතර කෙසේ වුව ද කන්ද නැඟීමට නම් නිශ්චිත මාර්ගයක් සොයා ගත නොහැකිය. ඊට හේතුව මෙහි නිතර මිනිස්සු නොගැවසෙන බැවිනි. අපහසුතා දරාගෙන කන්ද තරණය කළ පසු එහි මුදුනත සිට අංශක 360 ක වපසරියක් දැක ගත හැකිය. ගමනේ සුන්දරතරම ස්ථානය නම් කඳු මුදුනේ කෙළවර එනම්, කබරයකුගේ හැඩැති කන්දේ හිස කොටසයි. විශේෂයෙන්ම කඳු නඟින්නන් සහ රාත්‍රී කඳවුරු බඳින්නන් මෙම ස්ථානය තම ජනප්‍රියතම ස්ථානයක් බවට පත් කර ගෙන ඇත. ඔවුන්ගේ අදහස අනූව කබරගල කන්ද යනු කඳු නඟින සෑම දිනකම නව අත්දැකීම් දෙන ස්ථානයක් බවය. තෘණ භූමි භාගයෙන් වැසී ගිය මෙම කඳු මුදුනත සිට අහස බැලු විට වලාකුළුවලින් වැසුණු අහසක් දැක ගත හැකිය. පරිසර ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක ඇති බැවින් ඉලුක්, මානා පඳුරු වැනි විවිධ තෘණ වර්ග ද මෙහි දැක ගත හැකිය.

කබරගල කන්ද ප්‍රදේශය කූඩැල්ලන්ගේ රාජධානියකි. එහෙයින් මෙහි සංචාරය කිරීමේදී කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය. තවද මෙහි සැණෙකින් වෙනස් වන කාලගුණයක් ඇති බැවින් නිතරම මෙම ප්‍රදේශය මීදුමෙන් බරව පවති. එබැවින් ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් වේ.

කබරගල කඳු මුදුනත සිට කොත්මලේ ජලාශය, ශ්‍රී පාදය, අම්බුළුවාව, සප්තකන්‍යා කන්ද හා රාක්ෂගල කන්ද වැනි ස්ථානයන් ද දැක බලා ගත හැකිය. කන්ද නැඟීමට ආරම්භ කර පැය දෙකහමාරක් තුනකින් පසුව View Point ස්ථානයට ළඟා විය හැකිය. සංචාරකයන් බොහෝ අය View Point ස්ථානයට ළඟා වීමෙන් පසුව එය

පසු කර නැඟීමට උනන්දුවක් නොදක්වති. නමුත් View Point පසුකර නැංග විට දොළොස්බාගේ කඳු පන්තියේ උසම ස්ථානය වෙත ළඟා වීමට හැකියාව ඇත. ඒ අනූව ගල්තලා මත වැවී ඇති කටු සහිත අපහසු ස්ථානයන් පසු කළ විට යෝධ ෆයිනස් වගාවකට සැඟවුණු පෙත් මඟ හමුවනු ඇත. මේ පෙත් මඟ දිගේ එක දිගට වන් කඳු නැඟීමක් වන අතර කැලෑවෙන් පිටතට ආ පසු තෘණ පඳුරු සහ පැතලි ගල් තලාවන්ගෙන් වටවුණු සානුමය ලක්ෂණයක් දැක ගත හැකිය.

මේ මාර්ගය ඔස්සේ ඈත ඉම දක්වා යායුතු වන අතර දොළොස්බාගේ කඳුපන්තියේ ඉහළටම ගමන් කළ හැකිය. එම ගමන දුෂ්කර වුව ද කඳු පන්තියේ මුදුනතට ගිය පසු දැනෙන සැහැල්ලුව සහ සතුට කියා නිම කළ නොහැකිය.

කබරගල කන්ද නඟින්නට යන්නේ නම්, එම කන්ද පිළිබඳව ඇති පුරාවෘත්තය ද දැන ගැනීම වැදගත්වේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසුව ශ්‍රී පාදයට වැඩම කිරීමට ප්‍රථම වැඩම කර තිබෙන්නේ

කබරගල කන්ද වෙතය. එකල මේ ප්‍රදේශයේ කබරයන් බහුලව ගැවසුණු ස්ථානයක් බැවින් සුමන සමන් දෙවියන්, මෙම භූමියේ ශ්‍රී පාදය තබන්නට සුදුසු නොවන බුදු රජාණන් වහන්සේට සැල කරන ලදහ.

අනතුරුව සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ සමනල කන්ද වෙත වැඩම කළහ. පසුව ශ්‍රී පාදය සමනල කන්දේ තැබීමට තීරණය කළහ. තවද කබරගල කඳුවැටිය රාවණ ඉතිහාසයට ද සම්බන්ධ

බවට මේ ප්‍රදේශයේ පැරැන්නන්ගේ විශ්වාසයයි. කන්ද ආශ්‍රිතව තොලබෝවල නම් ගම්මානයක් ඇති අතර එහි ගම්වැසියන් ගම්මානයට එම නාමය ලැබෙන්නට ඇත්තේ, සීතා කුමාරිය විවාහ කර ගැනීම පිණිස රාවණා රජු තොලබෝ නම් පැළයක් රෝපණය කළ බවට වන විශ්වාසය නිසා බව, විශ්වාස කරති. කබරගල කන්දේ සිදුවන අද්භූත සිදුවීම් පිළිබඳව ද ගම්වාසීහු අදහස් පළ කරති. කබරගල කන්දේ සිට රාක්ෂගල දක්වා තැනින් තැන විශාල පන්දම් හතක් දැල්වී එක් ස්ථානයකදී නිවි යන බවට ඔවුහු සඳහන් කරති. ඒ සිදුවීම දැක ඇති ගම්වැසියන් තවමත් කන්ද අවට ගම්වල තවමත් වාසය කරන බව ද සඳහන් කළ යුතුය.

පරිසර පද්ධතියක් ලස්සන වන්නේ එම පරිසරය තුළ තිබෙන්නා වූ සංරචක නිසාය. මෙවැනි අතිශය සුන්දර ස්ථානයක සුන්දරත්වය විඳ ගන්නට ආශාවක් දක්වන අය අනිවාර්යයෙන් තරණය කළ යුතු කන්දක් ලෙස කබරගල කන්ද හැඳින්විය හැකිය. ඒ නිසා එම සුන්දරතම අත්දැකීම විඳ ගන්නට නම්, පරිස්සම් සහගතව කඳු පන්තිය මුදුන වෙතම තරණය කළ යුතුය.

එම්. තාරික්

මාඩොල්සිමේ විශ්වකර්ම ගොවි මහතා

$
0
0
මැයි 18, 2022 01:00

"අපේ ආර්ථිකය හදාගන්න අපි දැනගන්න ඕනෑ. දියන් දියන් කියල රටට කීවට වැඩක් නෑ. අපි මහන්සි වුණොත් කාටවත් අතපාන්න ඕනෑ නෑ. රටේ මොන උද්ඝෝෂණ තිබ්බත් කොච්චර ආහාර හිඟයක් තිබ්බත් හාල් එළවළු කොච්චර මිල ඉහළ ගියත් මට ප්‍රශ්නයක් නෑ. මට ඕනෑ දේ සියල්ලම මම වගා කරගෙන තියෙනවා." 

මෙසේ පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඈත පිටිසර දුෂ්කර ගමක ගොවි මහතෙක්. ඔහු මඩොල්සිම ගල්වෙලගම උණතැන්නේ ගැමියකු වූ ඩබ්.එම්. අසංග ගොවි මහතාය.

මඩොල්සිම කුඩා නගරයේ සිට කිලෝමීටර් නවයක් පමණ දුෂ්කර මාර්ගයක ගල්වෙල ගමට ගොස් එම ගම්මානය කෙළවරේ පිහිටි උණතැන්නේ අසංග මහතාගේ නිවෙසට තවත් කිලෝමීටර් දෙකක් පමණ පයින්ම යායුතුය. අක්කර තුනක් පමණ වන අසංග මහතාගේ ගෙවත්ත වටේටම ගල් බැම්මක් හා ඊට සමාන්තරව තේක්ක වැනි දැව වගාවන්ය. බැලූ බැල්මටම විශ්වකර්ම වැඩකි.

සිය ගෙවත්තේ විවිධ එළවළු හා ධාන්‍ය වර්ග ද මිරිස් ද මඤ්ඤොක්කා ඇතුළු අල වර්ග ද ඔහු විසින් වගා කර ඇත. පොල්, බුලත්, පුවක් හා පලතුරු වර්ග ඇතුළු බහු වාර්ෂික භෝග වර්ග ද කිහිපයකි. තේ හා ගම්මිරිස් වගාවන්ට ද ගෙවත්තේ කොටසක් වෙන් කර තිබේ. පැණි, හකුරු සාදා ගැනීමට කිතුල් ගස් ද ගෙවත්තේ ඕනෑ තරම් තිබේ. වගාවන්ට දියවර සැපයීමට කුඩා දියකඳුරක් වත්ත කෙළවරේ පිහිටා ඇති අතර පායන කාලයට තරමක් ඈත සිට බට යොදා ජලය ගෙන ඒමට ඔහු කටයුතු කරයි. කුඹුර ඇත්තේ ගමේ වෙල්යායේය. මේ සියල්ල දුටුවන් මන පිනවන දසුනක් වන සේම කොයි කාටත් ආදර්ශයට ගත හැකි ලෙස ඔහු සිය ගෙවත්ත පවත්වාගෙන යයි. ඔහුගේ බිරිය හා දියණියගේ සහාය ඇතිව කරගෙන යන වගා සංග්‍රාමය ගැන අසංග මහතා විස්තර කළේ මෙසේයි.

"මගේ වත්ත පුරාම තියෙන්නේ නොයෙක් වගාවන්. එළවළු විදිහට බෝංචි, මෑ, දඹල, කරවිල, බීට්රූට්, බටු, තක්කාලි, මුරුංගා, කතුරුමුරුංගා වගේම කව්පි, මුංඇට වගේ ධාන්‍ය වර්ගත් තියෙනවා. ගෙදරට මිරිස් කවදාවත් කඩෙන් ගේන්නේ නෑ. කෙසෙල්, දෙළුම්, රඹුටන්, කජු, බෙලි, දිවුල්, අන්නාසි වගේ පලතුරු වර්ග වත්තේ තැන් තැන්වල හදාගෙන තියෙනවා. බුලත්, පුවක් තියෙනවා. කුඹුරෙන් ගෙදරට ඕන හාල් ටික ලැබෙනවා. ඕනෑ තරම් පොල් තියෙනවා. පොල් තෙල් ටිකක් වුණත් ගෙදරදිම හිඳගන්නවා. කිතුල් ගස් කීපයක් මැදලා පැණි හකුරු හදාගන්නවා. වැඩිපුර ටික මඩොල්සිමට හෝ පස්සරට ගෙනිහින් විකුණලා ගෙදරට ඕනෑ අඩුවැඩිය ගේනවා. කන බොන දේවල් විදිහට ලුණු ටිකක් බීලූනු ටිකක් විතරයි කඩෙන් ගේන්න වෙන්නේ. ලී ටිකක් ඕන වුණොත් තේක්ක සපු වගේ ගස් ඕන තරම් තියෙනවා. වගා කටයුතු අතරේ ඉඳහිටලා පැල්වත්තේ උක් ගස් කපන්න හෝ වෙන කුලී වැඩකට වුණත් යනවා. කාට හරි ඕනෑ වුණොත් පොල් ගෙඩියක් දෙකක්, තියෙන කාලෙට පලතුරු ගෙඩියක් එළවළු ටිකක් මම දෙන්නේ මුදලට නෙවෙයි."

ගම්වල කොයි කවුරුත් පාහේ ජීවනෝපාය උදෙසා යම් යම් වගාවන් කළත් මොහුගේ ගෙවත්ත ඒ අතරින් සුවිශේෂය. ඒ ගැන අදහස් දැක්වූ ඔහු පැවසුවේ මෙවැන්නකි.

"හදනවා වෙනුවට භෝගයක් පොළොවට යට කළාට වැඩක් නෑ. ඒ භෝගය දරුවෙක් වගේ බලාගන්න ඕනෑ. නිතර අතපත ගාන්න ඕනෑ. මම සමහර විට රෑ එළිවෙන ටිකට පවා දෙතුන් විටක් වත්තේ ඇවිදිනවා. උදේ නැඟිට්ට ගමන් වත්තට ගිහින් වගාව බලනවා. සාත්තුව වගේම පොහොරත් දාන්න ඕනෑ. රසායනික පොහොරම ඕන කියල නෑ. තියෙනව නම් ඒවත් දානවා. එහෙම නැතිනම් හොඳට ගොම පොහොර ටිකක් කොළ පොහොර ටිකක් දැම්මම ඇති. ලෙඩ රෝග එනව නම් ඒවටත් බෙහෙත් හදාගන්න අවශ්‍ය දේ ඕනෑ තරම් තියෙනවා. උනන්දුවයි කැපවීමයි තමයි වැඩියෙන්ම ඕනෑ කරන්නේ. පුළුවන් විදිහෙන් යමක් වවාගත්තොත් වස විස නැතිව විශ්වාසෙන් කටට රහට බත් වේලක් කන්න පුළුවන්.

අද රටේ කොච්චර අර්බුද තියෙනවා කිව්වත් මට ඒවයේ ගාණක් නෑ. කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න අපි දැනගන්න ඕනෑ. මම ආණ්ඩුවෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි පොහොසත්තු නෙවේ. ඒත් අපට සහනාධාර ඕන නෑ. රටේ මොන උද්ඝෝෂණ තිබ්බත් ආහාර හිඟයක් තියෙනවා කීවත් හාල්, එළවළු කොච්චර මිල ගියත් මට ප්‍රශ්නයක් නෑ. මොකද මට ඕනෑ දේ සියල්ලම මම වගා කරගෙන තියෙනවා. මාසෙකට දෙපාරක් විතර මම ටවුමට යන්නේ. ඒ වත්තේ හැදෙන දෙයක් දීලා ගෙදරට ඕන අඩුවැඩියක් අරගෙන එන්න. ඒ නිසා බස් ගාස්තු මට ඒ හැටි ප්‍රශ්නෙකුත් නෙවේ. අපේ ආර්ථිකය හදාගන්න අපි දැනගන්න ඕනෑ. මම කියන්නේ අඩුගානේ හරි හමන් පාරක්වත් නැති මේ මූකලානේ මම මගේ මහන්සියෙන් වගාවක් කරලා රටට බරක් නොවී ජීවත් වෙනවා නම් කවුරුන් වුණත් උත්සාහ කරන්න ඕන තමන්ට පුළු පුළුවන් විදිහට දෙයක් හදා වවාගෙන රටට බරක් නොවී සාධාරණ විදිහට ජීවත් වෙන්න."

අසංග මහතාගේ ගෙවත්තෙන් ඔහුගේ අදහස්වලින් ඕනෑම කෙනකුට ගත හැකි ආදර්ශයන් බොහෝය.

(විශේෂ ස්තුතිය - බදුල්ල දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී සමන් හේරත්, ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරී විශ්ව දර්ශන හා සංවර්ධන නිලධාරී අජිත් ප්‍රියන්ත යන මහත්වරුන්ට)

ආර්.එම්. විජේරත්න

කටු අනෝදාවලින් හදන රස කෑම

$
0
0
මැයි 18, 2022 01:00

කටු අනෝදා යනු ශ්‍රි ලංකාවේ ගෙවතු ආශ්‍රිතව ඇති ඉතා රසවත් හා ගුණවත් ජනප්‍රිය පලතුරකි. පාරිසරික කලාප තුනේම එනම්, වියළි කලාපය, අතරමැදි කලාපය, තෙත් කලාපයේ වගා කළ හැකිය.දේශීය වටිනාකම් සඳහා අගය එකතු කිරිම තුළින් වෙළෙඳපොළක් සකසා ගැනීමට නිරන්තරයෙන් පර්යේෂණාත්මක සහාය සපයා දෙන පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය කටු අනෝදා පිළිබඳව සිදු කළ පර්යේෂණාත්මක තොරතුරු පෙළක් පර්යේෂණ නිලධාරි කසුන් හෙට්ටිගේ මහතා අප වෙත දුන් අතර එම තොරතුරු මෙසේයි. 

අනෝදා කුලයට ආසන්න වශයෙන් විශේෂ 166 ක් අඩංගු වේ. අපේ රටේ ඇත්තේ මෙයින් වර්ග හතරක් පමණි. කටු අනෝදා, වැලි අනෝදා, සීනි අනෝදා සහ චෙරිමෝයා මෙම වර්ග 4යි.

කටු අනෝදාවල රසය නිසි ලෙස විඳීමට නම් පරිණත අවධියේදී ඵල නෙළා ගැනීම සිදු කළ යුතුය. මෙහිදී කටු අනෝදා ඵලයේ පිරුණු බවත්, ඵලාවරණය තද කොළ පැහැයේ සිට ලා කහ කොළ පැහැයට වෙනස්වීමත්, නෙරීම් ස්වභාවය අඩු වී ඵලාවරණය තරමක සුමුදු තත්ත්වයකට පත්වීමත් දැක්විය හැකිය. කටු අනෝදා ඉදීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉක්මනින් සිදුවන අතර නැවුම් පලතුරක් ලෙස කල්තබා ගැනීම අසීරුය. ප්‍රධාන වශයෙන් නැවුම් පලතුරු ලෙස අමු ස්වරූපයෙන් හෝ යුෂ ලෙස පරිභෝජනය කරන අතර දේශීය වෙළෙඳපොළේ කටු අනෝදාවලින් අගය එකතු කළ නිෂ්පාදන සොයා ගැනීම දුර්ලභය. එහෙත් වර්තමානයේ කටු අනෝදාවලින් අගය එකතු කළ නිෂ්පාදන ආරම්භ කර ඇති අතර ඒ සදහා දේශීය මෙන්ම විදේශීය වෙ‍ළෙඳපළේ ද හොඳ ඉල්ලුමක් පවතී. විජලනය කළ කටු අනෝදා පිටි හා කැබලි, බෝතල් කරන ලද කටු අනෝදා පාන වර්ග, ජෑම්, ජෙලි, යෝගට්, අයිස්ක්‍රිම් වැනි නිෂ්පාදන ද කටු අනෝදා පත්‍රවලින් ඖෂධීය තේ වර්ග ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස සැදිය හැකිය. 

කටු අනෝදා ඇමයිනෝ අම්ල, ඇස්කෝර්බික් අම්ලය (විටමින් C),කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, තන්තු සහ බී විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත්ය. මෙම ශාකයේ බොහෝ කොටස් එනම් කොළ, පලතුරු සහ කඳ කොටස ඖෂධ වශයෙන් භාවිතා කරයි. ප්‍රතිඔක්සිකාරක බහුල පලතුරක් වන අතර බොහෝ වර්ගවල පිළිකා ඇති වීමේ අවදානම වළක්වා ගැනීමට සහ රසායනික චිකිත්සාවේ අතුරු ආබාධ අවම කිරීමට කටු අනෝදා උපකාරී වේ. තවද, මෙම පලතුර ආහාරයට ගැනීමෙන් ආතරයිටිස්, සන්ධි ගැටලු, මලබද්ධය සහ ඉරුවාරදය අඩු කර ගත හැකිය.

විජලනය කළ කටු අනෝදා සැදීමේදී දුර්වර්ණ වීම ප්‍රධානම ගැටලුව වන අතර එය සිදුවන්නේ එන්සයිමීය දුඹුරු පැහැගැන්වීමක් ලෙස වන අතර පලතුරේ ඇති ෆීනෝලික් සංයෝග මෙයට හේතු වේ. විජලනය කළ කටු අනෝදා පිටි වැඩිපුරම නිපදවනු ලබන්නේ ඉසිරුම් විජලන තාක්ෂණයෙන් වන අතර විජලනය කළ කටු අනෝදා කැබලි රික්ත වියළීමේ ක්‍රමවේදයෙන් නිපදවයි. ඒවා නවීන ක්‍රම වන අතර ඉහළ නඩත්තු හා මූලික පිරිවැය අවශ්‍ය වේ. එබැවින් ඒවා ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන් අතර එතරම් ජනප්‍රිය නොවේ. පලතුරුවල දුඹුරු පැහැය වළක්වා ගැනීම සඳහා විවිධ රසායනික ප්‍රතිකාර භාවිතා කරනු ලැබේ. එන්සයිම දුඹුරු පැහැය වළක්වා ගැනීම සඳහා භාවිත කරන වඩාත් පොදු රසායනික ද්‍රව්‍ය වන්නේ ඇස්කෝර්බික් අම්ලය, සිට්රික් අම්ලය, සෝඩියම් මෙටා බයිසල්ෆයිට් සහසෝඩියම් ක්ලෝරයිඩ් වේ. විජලනය කළ කටු අනෝදා පිටි හා කැබලි සැදිය හැකිය. මෙය ආයතනය වන ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මඟින් සාර්ථකව පර්යේෂණ මඟින් අත්හදාබලා ඇත.

කටු අනෝදා පල්පය සාදා අලෙවි කිරීමෙන් ද හොද ආදායමක් ලැබිය හැකි අතර කටු අනෝදා පල්පය මඟින් බෝතල් කරන ලද කටු අනෝදා පාන වර්ග, ජෑම්, ජෙලි, යෝගට්, අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන සැදිය හැකිය. පල්පය සාදන යන්ත්‍රයක් අඩු මුදලකට ගත හැකි අතර ස්වයං රැකියාවක් ලෙස නිවෙසේම පටන් ගත හැකිය. ඉතා රසවත් කටු අනෝදා පාන වර්ග බෝතල් ලෙස, කෑන් ලෙස හෝ ටෙට්රා පැක් ලෙස ඇසුරුම් කළ හැකිය. කටු අනෝදා යෝගට් හා අයිස්ක්‍රීම් ද පසු අස්වනු ආයතනය සාර්ථකව පර්යේෂණ මඟින් අත්හදාබලා ඇති අතර එය ඉතා ප්‍රණීත අතුරු පසක් ලෙස යොදා ගත හැකිය.

කටු අනෝදා පත්‍ර ද බොහෝ පිළිකාවලට ඖෂධයකි. පත්‍ර මගින් ඖෂධීය ගුණයකින් යුත් තේ වර්ග සකස් කළ හැකිය. මෙහිදී කටු අනෝදා පත්‍ර විජලන යන්ත්‍රයකින් හෝ හිරු එළියේ වියළා ගත යුතු අතර ඇඹරුම් යන්ත්‍රයකින් කුඩු කර ගත යුතුය. මෙය කෙළින්ම ඖෂධීය තේ පානයක් ලෙස යොදා ගත හැකි අතර කළු තේ, හරිත තේ, කුරුඳු, ඉඟුරු කුඩු වැනි දේ සමඟ මිශ්‍ර කිරීමෙන් ද සාදා ගත හැකිය. මෙම කටු අනෝදා ඖෂධීය තේ පිත්තාශයේ රෝග, කැස්ස, පාචනය, අතීසාරය සහ අජීර්ණය වැනි රෝගවලට පිළියම් ලෙස යොදා ගත හැකිය.

සකුන්තලා ජයසිංහ

දියර පොහොරින් වී වගේම එළවළු වවන්නත් පුළුවන්

$
0
0
මැයි 18, 2022 01:00

කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ වැවගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ, හොරොම්බාව නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි එම්. ඩබ්ලිව්. කරුණාරත්න මහතා නොහොත් "කරුණෙ මාමා"ගේ වයස අවුරුදු 69 කි. යාන්තම් වයස අවුරුදු 15 ක් පමණ වන විට ඔහු දක්ෂ හුරු පුරුදු ගොවියෙකි. ඒ ඔහු පාරම්පරික ගොවි පවුලකින් පැවත එන්නෙක් නිසාය. කුලියාපිටිය බුලත් වගාව සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශයකි. කරුණෙ මාමා ද සිය මවුපියන්ගේ අඩි පාරේ යමින් ගොවිතැනම ජීවන වෘත්තිය කර ගනූ ලැබීය. ප්‍රධාන වශයෙන් බුලත් වගාව මෙන්ම වී ගොවිතැන ජීවන වෘත්තිය කර ගත් බොහෝ මිනිසුන් අතර කරුණෙ මාමා තවත් එක් අයකු නොවීය.

ඔහු වැදගත් වන්නේ පසුගිය කන්නයේ කාබනික දියර පොහොර භාවිත කර වී මෙන්ම ඉඟුරු සහ කහ වගාව කර ඉහළ ප්‍රතිඵල අත් කර ගැනීම නිසාය. ජීවිතය අඩකට වඩා ගෙවා ඇති කරුණෙ මාමා අවුරුදු 50 ක් වැනි දීර්ඝ කාලයක් රසායනික පොහොර, වල් නාශක සහ කෘමිනාශක වැනි ශ්‍රී ලාංකික භූමියට අහිතකර, පස නිසරු කරන කෘත්‍රිම කෘෂිකර්මාන්තය වෙනුවට කාබනික පොහොර භාවිතයෙන් කරන රට අත්හැර දමා තිබූ දේශීය කෘෂිකර්මාන්තයට පරිවර්තනය වූයේ වෙනත් කරන්නට දෙයක් නැති නිසාමය. ඒ පිළිබඳව කරුණෙ මාමා අද කතා කරන්නේ මහත් තෘප්තියකින් ය. 

එම්. ඩබ්ලිව්. කරුණාරත්න මහතාගේ ධෛර්යය සහ කැපවීම මනාව පැහැදිලි වන්නේ ඔහුගේම අදහස් වලිනි.

"මම මේ කුඹුර සහ අනෙකුත් වගාවන් පහුගිය කන්නයේ වැඩ කළේ ග්‍රෝග්‍රීන් කියන දියර පොහොර වර්ගයකින්. පසුගිය කාලයේ රට පුරා ගැටලුවක් තිබුණා රසායනික පොහොර සම්බන්ධයෙන්. ගොවිතැන් කරනවාද නැද්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ. කාබනික පොහොරවලින් ගොවිතැන් කරන මංගල මහත්තය දියර පොහොරවලින් වගා කරන්න පුළුවන් බව කිව්ව. යායෙ ගොවියෝ කිහිපදෙනෙක් එකතු වෙලා කතා කළා පොහොර ප්‍රශ්නය පිළිබඳව. මට ඔය කාබනික පොහොර හෝ දියර පොහොර පිළිබඳ අවබෝධයක් තිබුණෙම නැහැ. අපි පුරුදු වෙලා හිටියේ කඩෙන් ගන්න රසායනික තෙල් බෙහෙත්වලට. කිසිම ගොවියෙක් දියර පොහොර යොදන කෘෂිකර්මයට කැමැති වුණේම නැහැ. දැනගෙන හිටියේ රසායනික පොහොර ගැන විතරයි. කාබනික පොහොර වගාව ගැන විශ්වාසයක් තිබුණෙ නැහැ. මංගල මහතා විශ්වාස කරල හරි යන්න හරි වරදින්න හරි ග්‍රෝග්‍රීන් දියර පොහොරවලින් ගොවිතැන් කරන්න තීරණය කළා.

ග්‍රෝග්‍රීන් ආයතනය සම්පූර්ණ සහයෝගය දුන්නා. පොහොර ඉසින ක්‍රමය, වෙලාව ආදිය පිළිබඳව කාලසටහනක් දුන්නා. ඒ කාලසටහනට අනුව හරියටම වැඩ කළා. බීජ සත්කාරක ක්‍රම කියලා දුන්නා. නියමිත දිනවලට ගොයමේ බණ්ඩි එනතෙක්ම දියර පොහොර මාරුවෙන් මාරුවට ගැහුවා. කහ, ඉඟුරු වගේම එළවළු වගාව කළෙත් මේ දියර පොහොරවලින්. හොඳ ආදායමක් වෙනදාට වඩා පිරිසිදුව ගත්තා.

මේ දියර පොහොර භාවිතා කළ නිසා ඇත්ත වශයෙන්ම මට කිසිම අමතර වියදමක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. කෘමිනාශක, දිලීරනාශක, වල්නාශක රසායනික පොහොරවලට ගිය වියදම ඉතුරු වුණා. අක්කරයක් වැඩ කරන්න සාමාන්‍යයෙන් වියදම් වුණේ රුපියල් 14 000 ක් විතර. අද පවතින මිල ගණන් එක්ක මේක ගොවියාට හරිම පහසුයි. පහු ගිය කන්නවලදී විශාල මුදලක් වැය කළා තෙල්, බෙහෙත්, පොහොරවලට පමණක්. පණු රෝග, කෘමි හානි, කීඩෑ උවදුරු ආදිය දියර පොහොර නිසා පාලනය වුණා. මේ දියර පොහොර නිසා ගොයම් ගසේ නම් කදඳශක්තිමත් වෙනවා. ඒ නිසා කෘමි හානි අඩුයි. කඩා වැටීම අඩුයි. අවට කුඹුරුවල කීඩෑ උවදුර තිබුණොත් හානියක් වෙන්න ඉඩ තියෙනවා. එළවළු වගාවෙ ඉල් මැස්සා එන්නෙත් නැහැ. කොහොම නමුත් සතුටුදායක අස්වැන්නක් ගන්න පුළුවන් වුණා.

උදේ 6:00 ත් 9.00 ත් අතර හා හවස 4.00 න් පස්සේ තමා දියර පොහොර ගහන්න කියන්නෙ. දියර පොහොර වර්ග දෙකක් මාරුවෙන් මාරුවට වී වලට වගේම ඉඟුරු, කහ සහ එළවළු වගාවටත් පාවිච්චි කළා. මේ පොහොර වර්ගය දියරයක් වන නිසා පත්‍ර හරහා ශාකයට උරා ගෙන මුල් දක්වා ගමන් කරන බව අපට අවබෝධ වුණේ මේ කන්නය දියර පොහොරවලින් වගා කරපු නිසා.

හැබැයි මේ ක්‍රමයට පරිවර්තනය වෙන්න විශාල කැපවීමක් තිබිය යුතුයි. නිතරම වගාව එක්ක ඉන්න ඕනෑ. දරුවෙක් රැක බලාගන්නවා වගේ රැක බලාගන්න ඕනෑ. කහ සහ ඉඟුරුවලට එතරම් තෙල්, පොහොර අවශ්‍ය නැහැ. ඒත් එළවළු වගාව සඳහා තෙල් සහ පොහොර අත්‍යාවශ්‍යයි.

කාබනික දියර පොහොර භාවිතය ශරීරයට අහිතකර නැහැ. රසායනික තෙල්, පොහොර වගාවට යොදන කොට විෂ වෙච්ච කී දෙනෙක් මිය ගොස් තියෙනවා ද. කොයි තරම් ප්‍රවේශම් වෙන්න ඕනද? කාබනික පොහොර ඒ වගේ ශරීරයට හානිදායක නැහැ. වෙනදාට අපි කෘමිනාශක ගහන කොට නෝනා බලාගෙන ඉන්නවා. ආරක්ෂාවට කවුරු හරි ළඟ ඉන්න ඕන. දැන් ඒ බය නැහැ. ඒ වගේම තමයි මේ වගාවෙන් අපි ගන්න අස්වැන්න ශරීරයට අහිතකර නැහැ. දරුවෙකුට කැඳ උගුරක් හරි දෙන්න පුළුවන් කිසිම බයක් නැතුව. අවුරුදු 50 තිස්සේ ගොවිතැන් කරපු මම අස්වැන්න වාර කීයක් නම් මේ ගෙදරට ගෙනැවිත් තියෙනවද. මේ කන්නෙ තමයි ඉතාම පිරිසුදු, ශුද්ධ, අස්වැන්නක් ගෙදරට ගෙනාවේ කියන සැනසීම සැහැල්ලුව තියෙනවා.

කුඹුරේ වල් මර්දනය කළේ අපේ පැරැණි ක්‍රම මගින්. කුඩමැටි එක වරක් තලල මර්දනය කරන්න පුළුවන්. බටදැල්ල, තුනැස්ස, පං වර්ග, දියසියඹලා වැනි වල් ගලවා ඉවත් කරන්න පුළුවන්. අපි අතහැර දමපු පාරම්පරික ක්‍රම ගොඩක් තියෙනවා ගොවිතැන හා සම්බන්ධ. දැන් දැන් පොඩි දරුවගෙ ඉඳලා වැඩිහිටියා දක්වා හැදෙන විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න නම් ඒ පාරම්පරික දේශීය ක්‍රමවලට නැවත යන්න වෙනවා. පාරම්පරික හා දේශීය වී වර්ග වගා කරන්න වෙනවා. ඒ වී වර්ගවල ඖෂධීය ගුණයක් තියෙනවා.

රසායනික පොහොර නැතුව වී ගොවිතැන් කරන්න පුළුවන් කියන විශ්වාසය දැන් තියෙනවා. වස විස නැති වී ටිකක් ගෙට අරගෙන ජීවිත කාලෙටම බත් ටිකක් කන්නෙ මේ තමයි. වෙනදාට වඩා ආදායම වැඩියි. වෙනදාට වඩා බොල් අඩුයි. වී ඇට සම්පූර්ණයි. වෙනදාට ගොයම් කැපුවාම කුඹුර පුරා බොල් ඇට. මෙවර එහෙම දකින්න නැහැ.

කහ, ඉඟුරු සහ එළවලු මම නම් ටිකක් වැඩිපුර වගා කරන්නෙ ආදායමක් උපයන්න එක්ක. මේ විදියට ගෙදරට අවශ්‍ය එළවළු ටික වගා කර ගත්තොත් ඒක තමන්ටත්, දරුවන්ටත් හොඳයි. මේ වගා ක්‍රමය රටේ හැමෝටම කරන්න පුළුවන්. රසායනික පොහොර එකපාරටම රජය නවත්වන්න තීරණය කරපූ එක ගොවියාට කරපු අසාධාරණයක් තමයි. ඒත් මේ වෙනකොට බොහෝ ගොවීන් වටහාගෙන තිබෙනවා රසායනික පොහොර කෘමිනාශක වැනි දේවල්වල තියෙන භයානකකම.

ආයෙ මම නම් මේ කාබනික කෘෂිකර්මාන්තය අත්හරින්නේ නැහැ. ආපහු නිකං රසායනික පොහොර දෙනවා කිව්වත් ආපහු හැරෙන්න හිතන්නෙවත් නැහැ. මිනිස්සු පොහොර නැතුව අසරණ වෙලා හිටියේ. මටත් මුලින්ම මේ කාබනික වගාව පිළිබඳ බය හා සැකය තිබුණා. දැන් ඒ බය හා සැකය දුරු වෙලා. ඊළඟ කන්නය කිසිම බයක් නැතුව රසායනික පොහොර නැතුව කුඹුර වගේම එළවළු ටික වගා කරන්න පුළුවන්.

අනිත් කාරණය ඔය පිටරටින් හාල් ගෙන්වන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. ඔය ගෙන්නන්න හාල් මොනවද කියලා අපි දන්නේ නෑ. අපිට ඕන තරම් ඉඩකඩම් තියෙනවා. වතුර තියෙනවා. හරියට ක්‍රමයකට සැලසුම් හදා ගන්නවා නම් මේ රටේ අවශ්‍ය තරමටත් වඩා ආහාර වර්ග වගා කරගන්න පුළුවන්. ව්‍යාපාරික මට්ටමින් කරන ඒවායෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ලාබය විතරයි. ගුණාත්මක බව ගැන හිතන්නේ නැහැ.

අනුර දිසානායක


රජ අණින් කෙටේරි පහරක්

$
0
0
මැයි 19, 2022 01:00

මහනුවර මල්වතු මහා විහාරයේ ආරම්භය සිදුවී ඇතැයි සඳහන් වන්නේ 1473 දී රජ පැමිණි සේනා සම්මත වික්‍රමබාහු රජ සමයේදීය. පෙර කල මල්වතු විහාරය, පෝයමළු විහාරය (උපෝසථ විහාරය) සහ පුෂ්පාරාම විහාරය වශයෙන් සංකීර්ණ දෙකක් වූ බව කියවේ. මල්වතු විහාරය සියම් නිකායේ මූලස්ථානයයි. එහි දක්නට ඇති ‘පෝය ගේ’ කීර්ති ශ්‍රී රාජසිංහ රජ කල (1747-1781) ඉදි කිරීමකි.

මෙහි සංඝයා වහන්සේලාගේ පරිහරණය සඳහා ආරාම රැසකි. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් වාසස්ථාන තුනකි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමියන් නමින් වෙන් කළ ‘සංඝරාජ පන්සල්’ ද, පෝයමළු විහාරයේ මහානායක තිබ්බටුවාවේ නාහිමියන් වෙනුවෙන් වූ පන්සල ද රාජගුරු හෙවත් ‘මැද පන්සල’ රජුගේ ගුරුවරයා වූ මොරතොට නාහිමියන් වෙනුවෙන් ද වෙන් කර ඇති අතර ඒවා අද ද දක්නට ලැබේ.

18 වැනි සියවස වන විට ලක්දිව පැවතුණේ දේශපාලනික වශයෙන් අර්බුදකාරි තත්ත්වයකය. පෘතුගීසින්ගෙන් පසුව ලන්දේසීන් ද මුහුදුබඩ පෙදෙස් යටත් කර ගෙන තිබිණි. බුදු සසුන ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍යානුග්‍රහය ද කෙමෙන් ඈත් වන්නට විය. රජුට සිදුව තිබුණේ ජාතිය, ආගම රැක ගැනීමට වඩා රට සහ බලය රැක ගැනීම සඳහා කාලය යෙදවීමටය.

මුහුදුබඩ ප්‍රදේශවල යටත්විජිත පාලකයන් විසින් මිෂනාරි බලය ව්‍යාප්ත කරලීම හේතුවෙන් ඒවා කන්ද උඩරට රාජ්‍යයන් කරා ද කෙමෙන් ළඟා වූයේය. වසර ගණනාවක ඇවෑමෙන් උඩරට භික්ෂු සමාජය ද පරිහානියට පත් විය. උපසම්පදාව ලත් භික්ෂුන් වහන්සේලා නැත්තටම නැති වී ගොස් ශ්‍රමණ ආකල්ප පිළිබඳ තැකීමක් නැති ගණින්නාන්සේලා බිහි වූයේය.

මේ ශාසනික විපතින් සසුන ගලවා ගැනීම සඳහා ඉමහත් වෙහෙසක් දරන්නට සිදු වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන්ටය. සරණංකර හිමියන් පැවිදි දිවියට පත් වූයේ සූරියගොඩ විහාරස්ථානයේදීය. එනමුත් සූරියගොඩ තෙරුන්නාන්සේ ද රාජ උදහසට ලක්ව සිටි නිසා ගුරු උපදේශ ඇතිව ශ්‍රමණ ආකල්ප පුහුණු කිරීමට හෝ ධර්ම විනය ගැන අවබෝධයක් ලබා ගැනීමට කිසිදු ක්‍රමයක් නැති විය.

එහෙයින් සරණංකර හිමියන්ගේ මූලික අභිප්‍රාය වී තිබුණේ බුදුසසුන රැක ගැනීමත්, එහි චිරස්ථිතිය සඳහා සංඝ සමාජය පුනරුත්ථාපනය කොට ධර්ම ශාස්ත්‍රීය වශයෙන් ඊට නව ජීවයක් ලබාදීමටත්ය.

එකල බුදුදහම ලියැවී තිබුණේ පාලි භාෂාවෙනි. ඒවා කියවීමට පාලි භාෂාව දැන සිටිය යුතුව තිබිණි. එතෙක් පාලි භාෂාව දැන සිටි උගත්තු එදා විරල විය. එය යම්තාක් දැන සිටි අයකු සොයා ගැනීම ද දුෂ්කර විය.

කෙසේ හෝ ස්වෝත්සාහයෙන්ම පාලි භාෂාව දන්නා අයකු සොයා ගැනීමට සරණංකර හිමියන් සමත්වූහ. ඒ රාජ නියමයෙන් සතර කෝරලයේ මාකෙහෙල්වල සිරගත කර සිටි ලෙව්කේ රාලය. උන් වහන්සේ ලෙව්කේ රාල සොයා ගොස් රහසිගතව ඔහුගෙන් බාලාවතාර පාලි ව්‍යාකරණ කෘතිය උගත්තේය. එහි ඉතිරි කොටස උන් වහන්සේ උගත්තේ මල්වතු මහා විහාරයේ පෝයමළු විහාරේ වැඩ සිටි පල්කුඹුරේ අත්ථදස්සි තෙරුන් වෙතිනි.

මෙසේ පාලි භාෂාව උගත් සරණංකර හිමියෝ එමඟින් අනෙකුත් භික්ෂු සංඝයා වෙත ධර්මාවබෝධය ලබා දුන්හ. අනතුරුව ගිහි සමාජයට නමස්කාරය, පන්සිල් සමාදන් වීම, දානය පිරිනැමිය යුතු අයුරු හා ශීල භාවනා වඩන අයුරු කියාදීම සඳහා සාමණේර හිමිවරුන් ලක්දිව පුරාම යවමින් ජනතාවගේ බොදු අභිවෘද්ධියට මඟ සැලසූහ.

මේ සිල්වත් සමාගම වෙත දහස් ගණනක් බොදු ජනතාව එක් රොක් වෙද්දි එතෙක් ගණින්නාන්සේලාට හිමිව තිබූ තැන ක්‍රමයෙන් අහිමිව යන්නට විය. මේ හේතුවෙන් ඔවුන් තම හිතවත් රදලවරුන් මාර්ගයෙන් උඩරට රජු ද නොමඟ යවන්නට උත්සාහ කළහ. ඒ අනුව සරණංකර හිමියන් ජීවිතක්ෂයට පත් කිරීමට ද උත්සාහ ගැනිණි. වරක් රාජ නියෝගයකින් උන් වහන්සේ ලග්ගලට පිටුවහල් කෙරිණි.

එකල ඉන්දියාවෙන් පැමිණ උඩරට රජු හමු වූ සන්‍යාසි බමුණෙක් සංස්කෘත ශ්ලෝකයක් රජුට පවසා එහි තේරුම කීමට සමතෙක් සිටී දැයි රජුගෙන් අසා ඇත. අස්ගිරි-මල්වතු විහාරවාසී ගණින්නාන්සේලා කැඳ වූ රජු එහි තේරුම විමසා ඇතත් ඒ කිසිවකු එය තේරුම් කර දීමට සමත්ව නැත.

සරණංකර හිමියන්ගේ දැනුම පිළිබඳව දැන සිටි පලිපාන මොහොට්ටාල, ලජ්ජාවට පත්ව සිටි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට පවසා ඇත්තේ එය තේරුම් කර දීමට සරණංකර හිමියන්ට හැකි වනු ඇති බවය.

එබැවින් රජු වහා දූත පිරිසක් ලග්ගලට යවා සරණංකර හිමියන් සෙංකඩගලට වැඩමවා තිබේ.

බමුණා කී සංස්කෘත ශ්ලෝකය පමණක් නොව ඔහුගේ සියලු ප්‍රශ්නවලට නිසි පිළිතුරු උන් වහන්සේ ලබා දුන්හ. ඒ හේතුවෙන් සතුටට පත් රජුට සරණංකර හිමියෝ දහම් දෙසූහ. එහෙත් ලක්බිමට උපසම්පදාව රැගෙන ඒමට රජුගෙන් උන්වහන්සේට සහායක් නොලැබිණි. එබැවින් සරණංකර හිමියෝ ලක්දිව ශාසන ඉතිහාසය පාලි භාෂාවෙන් ලියා තැබූහ.

නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු ශ්‍රී විජය රාජසිංහ සෙංකඩගල රජ විය. එම රජුගේ සහාය ඇතිව උන්වහන්සේ දූත පිරිසක් පේගු රාජ්‍යයට පිටත් කර යැවුවේය. එනමුත් එම නැව සාගරයේදී කුණාටුවකට හසු වීම නිසා එකී ගමන අසාර්ථක වූයේය. නොපසුබට වූ උන්වහන්සේ විල්බාගෙදර රාල ඇතුළු දූත පිරිසක් යළිත් සියමට පිටත් කර හැරියහ. එහෙත් ශ්‍රී විජය රාජසිංහ රජුගේ අභාවය නිසා එම ප්‍රයත්නය ද අසාර්ථක විය.

අනතුරුව රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහායෙන් සත් දෙනෙකුගෙන් යුත් තවත් දූත පිරිසක් සියමට පිටත් කර යැවීමට සරණංකර හිමියෝ පියවර ගත්හ. එම දූත පිරිස 1750 දී සියමට ළඟා වී උපාලි හිමියන් ප්‍රමුඛ මහ තෙරුන් වහන්සේලා 18 නමක් ද, සාමණේර භික්ෂුන් 7ක් සමඟ මෙරටට වැඩම කළහ.

රාජානුග්‍රහයෙන් මේ පිරිස සෙංකඩගලපුරයට වැඩමවා මල්වතු විසුංගාම සීමාවේදී 1753 ජුනි 15 දා පෝදා පළමු උපසම්පදා කර්මය සිදුකළහ. මන්දාරම් පුවතේ සඳහන් වන්නේ ඉන් අනතුරුව සරණංකර හිමියන්ට මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේදී ශ්‍රී සංඝරාජ පදවිය පිළිබඳ වටාපත ඉමහත් බැතියෙන් පිරිනැමුණු බවය.

එකල මල්වතු-අස්ගිරි විහාරවාසී භික්ෂුන් වහන්සේ රජවාසලට වැඩමවා දානය පිළිගැන්වීම රජුගේ සිරිතක්ව තිබිණි. දිනක් මෙසේ සංඝයා වහන්සේට දානය පිරිනමද්දි කිසියම් හේතුවක් නිසා කුඩා සාමණේර හිමිනමකට රජ වාසලේ අරක්කැමියා විසින් හිසට හැන්දකින් ගසා ඇත.

මේ සිද්ධිය දැන ගත් රජු එම අරක්කැමියාගේ හිස ගසා දමන ලෙස නියෝග කර ඇත. එහෙත් එම අවස්ථාවේ රජවාසලින් පැන ගත් අරක්කැමියා (දැනට දක්නට ඇති කිරිමුහුද වැව සෑදීමට පෙර තිබූ) ටිගොල වෙල හරහා දුව ගොස් මල්වතු මහා විහාරයේ වැලිවිට පන්සලේ පිහිටි සංඝරාජ හිමිපාණන්ගේ කුටියට ඇතුළු වී සැඟවී ඇත.

ඔහු සඟ රජුගෙන් ආයාචනා කර ඇත්තේ තමන්ට අභය දානය ලබා දෙන ලෙසය. අරක්කැමියා පසුපස හඹා ආ රාජපුරුෂයන් ඔහු සැඟවුණේ සංඝරාජ හිමිගේ කුටියේ බව දැක ඒ ඉදිරිපිට රැකවලේ යෙදී තිබේ.

කුටියෙන් බැහැරට වැඩම කළ සරණංකර සංඝරාජ හිමියෝ අරක්කැමියාට අභය දානය ලෙස ඉල්ලූහ. රාජ අණත්, සඟරජ අණත් අතර අතරමං වූ රාජපුරුෂයෝ ඒ බව රජුට දැන්වූහ.

දුන් අණ රජුට නැවත වෙනස් කළ නොහැකිය. එබැවින් අරක්කැමියා අල්ලා ගනු වෙනුවට සඟරජ හිමියන්ගේ කුටියේ දොරට කෙටේරි පහරක් ගසන ලෙස රජු රාජපුරුෂයන්ට නියෝග කළේය.

ඒ අනුව රාජපුරුෂයන් රජ අණට අනුව යළි මල්වතු විහාරයට ගොස් සඟරජ හිමියන්ගේ කුටියේ දොරට කෙටේරි පහරක් දුන්හ.

මේ කෙටේරි පහර හේතුවෙන් දොරට වූ හානිය මෑතක් වනතුරුම මල්වතු විහාරයේ වැලිවිට පන්සලේ සරණංකර සංඝරාජ හිමියන්ගේ කුටියේ දොරටුවේදී දැක ගත හැකි වය. එනමුත් දැන් එය පිළිසකර කොට ඇතත් එම කෙටුම් පහර දුන් ස්ථානය එහි යන අයකුට අදටත් දැක ගත හැකිය.

 බන්ධුල ගු ණරත්න

 

 

 

හෙළ රජදරුවන් කළ පින්කම්

$
0
0
මැයි 19, 2022 01:00

මෙරට බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වීමට මෙන්ම රාජ්‍ය තන්ත්‍රය ජනතා හදවත් තුළ තහවුරු වීමට ද වෙසක් පෝය හොඳම අවස්ථාවක් වූ ආකාරය ඓතිහාසික වාර්තාවලින් ප්‍රකට වන්නේය. හෙළ රජදරුවෝ වෙසක් තෙමඟුල වෙනුවෙන් ජනතාව සමඟ වෙසක් පින්කම් කළ ආකාරය මහාවංශ, දීපවංශ, පූජාවලිය ආදී ඓතිහාසික ග්‍රන්ථවලින් අනාවරණය කරගත හැකිය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුබවට පත්වීමෙන් අටවැනි වස වෙසක් මස පුර පසළොස්වක් පෝදින පන්සීයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කැලණිය ආදී තුදුස් ස්ථානයකට වැඩ සමාපත්ති සුවයෙන් වැඩ සිට සකල ලංකාධරණීතලයම උතුම් පුණ්‍ය භූමියක් බවට පත් කළහ.

උත්තර භාරතයේ ලාට රට සිංහපුරයෙන් විජය කුමරුන් ප්‍රධාන පිරිස ලංකාභූමියට සැපත් වූයේද බුදුරදුන් පිරිනිවන් පෑ, වෙසක් පුරපසළොස්වක පෝදිනයේ බව මහාවංශයේ සඳහන් වේ. මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මංචකයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි සක්දෙව්රජු අමතා ලක්දිව සම්බුදුසසුන තිරසරව පවතින බව ද එහි සැපත්වන විජයකුමරුන් ඇතුළු පිරිසට මෙන්ම ලක්දිවට ද ආරක්ෂා සම්පත්තිය සලසා දෙන ලෙස ද වදාළ සේක.

සක්දෙව් රජු ද එය මුදුනින් පිළිගෙන මෙරට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට උපුල්වන් දෙවියන්ට බාර දුන් විට සක්දෙව් රජුගේ වචනය පිළිගත් උපුල්වන් දෙවියෝ පරිබ්‍රාජතවේශයෙන් අවුත් විජය කුමරුන් ඇතුළු පිරිසට පිරිත් පැන් හා නූල් දී ආරක්ෂාව ඇති කළ වග ද මහාවංශයේ දැක්වෙන්නේය.

විජය රජුගේ පටන් සෑම රජකෙනෙක්ම රාජාභිෂේක මංගල්‍යාදී ප්‍රධාන කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීමේදී උතුම් වෙසක් දිනය තෝරා ගත්තේ ධනාත්මක ප්‍රතිඵලවලින් ජනතාවගේ අභිමතාර්ථයන් සපුරාලීම සඳහාය. විශ්වයේ පවත්නා මහා බල කේන්ද්‍රය වන තෙරුවන් ගුණ සංයුක්තවූ පිරිත් ධර්මයේ අසිරිමත් බලය රාජ්‍ය තන්ත්‍රයටත්, ජනතාවටත් පරිසරයටත් ලැබෙන බව හෙළ රජදරුවෝ දැන සිටියහ.

බුදුරදුන් තෙවරක් ලක්දිවට වැඩම වීම, ලක්දිව ජනාවාස පිහිටු වීම, භාරතයේ බුද්ධාගම ව්‍යාප්ත වීම, විජය රජු ප්‍රධාන පාලක පිරිසක් පැමිණීම යන ප්‍රධාන කරුණු සමකාලීනව, එක්වන්ව සිදුවීම ලක් ජනතාව හා රාජ්‍ය වංශකතාව ප්‍රභාවත්වීමට හේතු භූතවිය. මේ නිසා විජය රජුගේ පටන් සෑම නරපතියෙක්ම බුද්ධාගමේ සඳහන් සප්ත අපරිභානීය ධර්ම, සතර සංග්‍රහවස්තු, දසරාජධර්ම ආදී ශ්‍රේෂ්ඨ ධර්මයන් අනුව ධාර්මිකව රාජ්‍ය පාලනය ගෙන ගියහ.

දෙවනපෑතිස් රජතුමා මිහිඳු මහරහතන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් භාරත දේශාධිපති ධර්මාශෝක රජතුමා සමඟ මිත්‍රත්වය සංකේතවත් කරමින් එම රජතුමා විසින් එවන ලද වල් විදුනා චත්‍ර, කිරීට, අනෝතත්තවිල පැන් ආදී විශේෂ රාජ මංගල භාණ්ඩ පිළිගෙන වෙසක් මස පුරපසළොස්වක පෝ දින දෙවන වර අභිෂේක ලැබූහ.

බෞද්ධ, හින්දු ධර්මයන් හි සඳහන් පරිදි ජනතා සේවයටම කැපවූ හෙළ රජදරුවෝ සතර පෝය නිවාඩු දින වශයෙන් රාජ්‍ය සම්මත කොට අවිහිංසාවාදීව රට ජාතිය, ආගම ප්‍රධාන කරගත් උතුම් ශිෂ්ටාචාරය ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින් රාජ්‍ය තන්ත්‍රය ගෙන ගියහ.

අටවිසි යුද්ධයක් කොට ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා සූවිසි මහා වේශාඛ පූජාවක් සිදු කළහ.

මහා වෙසාඛ පූජාව

චතුවීසති කාරයිං

දීපෙ සංඝස්ස තික්ඛත්තුං

තිචීවරමදාපයිං

යනුවෙන් මහාවංශයේ සඳහන් පරිදි දුටුගැමුණු රජුගේ පින් පොතේ ලියන ලද පින්කම් අතර වෙසක් පින්කම් පැවැත්වීමේදී මහා සංඝරත්නයට තුන්සිවුරු, පූජා කිරීම දුගී, මගී, යාචකාදීන්ට ආහාරපාන දීමාදියද වූ බව සඳහන් වේ.

සමස්ත මිහිතලයේම අසහාය චෛත්‍ය රාජයාණන් වන රුවන්මැලි මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය සිදු කළේ වෙසක් පුර පසළොස්වක් පෝදිනකය. විසා නැකතින් යෙදෙන ශුභ මුහුර්තිය සියලු ආගමික හා ජාතික කාර්යයන් ආරම්භ කිරීම සාධනීය වශයෙන් ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වාසනා විය.

වෙසක්, හුදු ආගමික උත්සවයක් පමණක්ම නොව ජාතික හා සංස්කෘතික උත්සවයක් වශයෙන් සෑම රජකෙනෙක්ම පිළිගත්හ. සිරිසඟබෝ, අග්බෝ, බුද්ධදාස ආදී රජවරුන් වෙසක් පින්කම් පැවැත්වූ වග මහාවංශයේ සඳහන් වේ. සීල සමාදානය, දන්දීම, දුප්පතුන්ට සංග්‍රහ කිරීම, පහන් ආලෝක පූජාව, ධර්ම දේශනා එසේ කළ වෙසක් පින්කම් අතර වේ.

රාජ්‍ය පාලකයන් ජනතාව සමඟ සම්බන්ධ වීමට ද වෙසක් පෝය අනගි අවස්ථාවක් විය. ඔවුහු එදින අටසිල් සමාදානයෙන් ආරම්භ කර රාත්‍රී පහන් දැල්වීමෙන් හා පෙරහර පැවැත්වීමෙන් අවසන් කළහ.

මහා සංඝරත්නය ඇතුළු දුගී මඟී යාචකාදීන්ට දන්දීම, දන්සැල් පැවැත්වීම, වෙසක් පෝදින කෙරෙන උසස්ම කාර්ය භාර විය. එදිනට සෑම කෙනෙක්ම දන්දීමාදී කුමන හෝ පින්කමකට සහභාගිවීම බුදුගුණ මහිමයේ ඇති වාසනා බලයයි.

ථෙරවාදී බුදුදහම පවතින රටවල උපසම්පදා විනය කර්ම හා පෙරහර උත්සව පවත්වන්නේ ද වෙසක් පොසොන් පෝය දිනයන් හිදීය. ලක්දිව උපසම්පදාව නැතිවූ කාලවල වෙසක් පෝය නිමිති කරගෙන රාමඤ්ඤ, සියම්, රක්ඛංග ආදී දේශාන්තරවලින් උපසම්පදා භික්ෂූන් ගෙන්වා යළි පිහිටුවා සම්බුදු සසුන පුනරුත්ථාපනය කළ ආකාරය මහා පරාක්‍රමබාහු, විජයබාහු, සිව්වැනි පැරකුම්බා සවැනි පැරකුම්බා, ප්‍රථම හා දෙවන විමලධර්මසූරිය, කීර්ති ශ්‍රී රාජසිංහ යන නරපතියන්ගේ චරිතාපදානවලින් විස්තර වේ.

ශ්‍රී ලංකාවේ මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු - අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා විනය කර්ම පවත්වන්නේ වෙසක් පොසොන් පෝය ප්‍රධාන කරගෙනය. බුද්ධාගමත්, රාජ්‍ය පාලනයත් සම්බන්ධීකරණයෙන් ජනතා ශුභ සිද්ධිය ඇති කිරීමටත්, ධාර්මික රාජ්‍ය පාලනය පිළිබඳව ප්‍රමිතීකරණයටත් වෙසක් රාජ්‍ය උත්සවය මූලාධාර වන්නේය.

සම්බුදුරජාණන් වහන්සේ බෝමැඬදී ලොව්තුරා බුද්ධ ාජ්‍යයට පත්වෙන අවස්ථාවේ තමන් වහන්සේගේ පාරමිතා ධර්ම බලමහිමයෙන්ම ලබා ගත් “නවදහස් අසූකෙළ පනස්ලක්ෂ සතිස් මහා සංවරශීලය“ චින්තනයෙන්, වචනයෙන් ක්‍රියා කාරිත්වයෙන් ලබා ගන්නාවූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ආර්ය, සම්මුති මහාසංඝරත්නය මෙන්ම හෙළ රජදරුවන් ද ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කරන්නට ගත් ක්‍රියාමාර්ග අතිශය ප්‍රශංසනීය වේ.

 

 රාජකීය පණ්ඩිත අමුණුපුර පියරතන නාහිමි

අස්ගිරි විජයසුන්දරාරාමය

දළදා හිමියන්ට පිදූ කෑල්ලගම

$
0
0
මැයි 19, 2022 01:00

(මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිය)

කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාම මහාවිහාර වංශ කතුවර කෑල්ලගම චන්දානන්ද හිමියෝ උන්වහන්සේගේ අත්දැකීම් ද මෙසේ විස්තරකොට ඇත.

“කෑල්ලගම මඩුවන්වෙල අතර, සේරුගස් හැතැප්ම (මෙකල 13 කණුව) නමින් හැඳින්වූ ස්ථානයක් විය. එය අතීත කාලයේදී ප්‍රසිද්ධ අලිමංකඩකි. මා පාසල් වියේ සිටියදී දිනක් මුල්ගුරුතුමා සමඟ රාජකාරී ලිපි ලේඛන ගෙන ඒම සඳහා කොලොන්නට පා ගමනින් යාමට සිදුවිය. දැනට මෙන් ලියුම් බෙදීමක් නොපැවති එම යුගයේ සතියකට වරක් පමණ තැපැල්හලට ගොස් ලියුම් ගෙන ආ යුතු විය. එසේ අලියෙකු පාර දෙසට පිටුපා කොළ අතු කමින් සිටිනු දැක අපට දෙවියන් සිහි විය. ගුරුතුමා මට අතින් සංඥා කොට දෙදෙනාම හැකිතාක් වේගයෙන් දුවන්නට වීමු. නොනැවතීම සැතපුමක් පමණ දුර දිවවිත් කොට ආපසු බැලුවෙමු. වාසනාවකට මෙන් අලියා අප පසුපස එළවා නැති බව දැනගෙන අපට ඇති වූයේ අපමණ සතුටකි. ඉමහත් සැනසිල්ලකි. ඌ බිහිරි අලියෙකු වන්නට ඇතැයි මුල් ගුරුතුමා කීය. දැනුදු එතැනින් යන විට මේ ත්‍රාසජනක සිදුවීම අද ඊයේ සිදුවූවක් හැටියට මගේ සිහියට නැගේ. ”

එකල වල් අලින්ගෙන් බේරිම සඳහා ගැමියන්ට තිබුණේ එකම එක උපක්‍රමයකි. එනම් අලි මන්ත්‍ර මැතිරීමටය. මන්ත්‍රය කීපවරක් මතුරා අත්පුඩි ගැසීම, ගල් වැලි මතුරා ඉදිරියට දැමීම එකී කනමන්ත්‍ර පිළිවෙත විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයාව සිටි ඒ. එෆ්. මොලමුරේ මහතාගේ කාලයෙහි පනාමුර ඇත්ගාල පැවැත්වීමේ දී එයට උනන්දුවෙන් සහාය දැක්වූ ප්‍රතාපවත් පුද්ගලයකු වශයෙන් පිළිගත් කේ. ජී. මද්දුම අප්පුහාමි (වලල්ගොඩ රාලහාමි) වල් අලින් ගැන කිසිම බියක් නොදක්වා ක්‍රියා කළ අභීත පුරුෂයෙකි. වල් අලියකු දුටු විට මතුරා ජපකර ගෙන ළඟ තබාගෙන සිටි ගල් කැටයකින් පහර දී එලවා දැමීම ඔහු විසින් දක්වන ලද වික්‍රමයකි.

ඒ පිළිබඳ මාගේ බිහිසුණු අත්දැකීමක් ද ඉදිරිපත් කිරීම උචිතයයි හඟමි.මාගේ පියාණන් කෙටීම සඳහා යන විට ළමා වියෙහි සිටි මම ද ඒ සමඟ වනයට ගියෙමි. රෑ වෙන තුරු වල් කොට, තාවකාලිකව සාදා තිබුණු පැල්කොටයේ රාත්‍රී ආහාර අනුභව කොට නිදා ගැනීමට සූදානම් වනවාත් සමඟම ඉතා ළඟපාත වනයෙහි විශාල වල් අලි රංචුවක් වනය දෙවනත් කරමින් මහා හඬින් කෑගසමින් අප සිටි දෙසට එන්ට වූහ. අධික බියෙන් වෙව්ලන්නට වූ මට පියාණන් කීවේ, “බය වෙන්ට එපා මම අලින්ට මතුරා එලවා දමන්නම්” කියාය.

එසේ කී ඔහු බිමින් වැලි දෝතක් ගෙන විනාඩි කිහිපයක් එයට මතුරා පිඹ අලි එන ඉදිරියට බඹ කිහිපයක් ඒ අවට විසුරුවා දමා කිසි කලබලයක් නොමැතිව පැල්පතට ආවේය. මහා පුදුමයකි. අලි රංචුව වෙනත් පැත්තකට යන බව කෑගසන ශබ්දයෙන්ම වැටහිණ. පැය කිහිපයකදී අලි හඬ ඉතා ඈතින් අසෙන්නට විය. පසුව මා තුළ ඇති වූයේ අලි බියටත් වඩා මන්ත්‍ර බලයෙන් අලි උවදුර දුරු කිරීමට පියාණන් දැක්වූ හැකියාව පිළිබඳ විස්මයයි. මෙය මන්ත්‍ර බලයෙන් සිදු වූවක්ද වෙනත් හේතුවකින් සිදු වූවක් ද කියා අදත් මම හරි හැටි නොදනී.

මඩුවන්වෙල මුදලින්දාරාමය අවට මෑතක් වන තුරුම පැවතියේ වනගහණයකි. සැන්දෑ කාලයට වල් අලින්ගේ පැමිණීම සුලබ දර්ශනයක් විය. විහාරාධිපතිව එකල වැඩසිටි කෑල්ලේ සාරානන්ද හිමිපාණෝ ආරාම භූමියට පැමිණ පොල්ගස් විනාශ කිරීමට සැරසෙන අලින් එලවා දමන ලද්දේ ගවයින් පලවා හරින්නාක් මෙනි. රාත්‍රී කාලයේ වත්තට අලින් පැමිණි බව දැනගත් විගසම උන්වහන්සේ නොබියව ඉදිරියට ගොස් අලි මන්ත්‍රයක් මතුරා අලින් එලවා දැමූ වාර අපමණය. කෙසේ වෙතත් බීරි අලි සහ හීලෑ අලි මන්ත්‍රවලට කීකරු නොවෙති.

අද මංමාවත් දියුණු වී ගමනාගමනය පහසු බවට පත්ව ඇත. ප්‍රවාහන කටයුතු දිනෙන් දිනම සංවර්ධනය වෙමින් පවතී. අලින් පිළිබඳ නොයෙක් තොරතුරු ඉහතින් සඳහන් කළ නමුදු වර්තමානයේ අලි පරපුර බොහෝ සෙයින් වඳවී ගොස් ඇත. අලින් ගැන විශාල ප්‍රසිද්ධියක් දැරූ අලි ගාල් පැවැත් වූ පනාමුරේ පවා මේ වන විට කලාතුරකින්වත් වල් අලියකු දැක ගත නොහැකිය. දිනෙන් දිනම වනගත පෙදෙස් එළි පෙහෙළි වී ජනාවාස බවට පත්වීම මෙයට ප්‍රධාන හේතුව වශයෙන් සැලකිය හැකිය.

අතීතයේදී අප ගම්මානයේ ජීවත් වූ අයගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනය. වසරකට වරක් ජූලි, අගෝස්තු මාසවලදී හේන් කොටා පුලුස්සා සැප්තැම්බර් මාසවලදී පමණ කුරක්කන්, තණ, මෙනේරි, අමු ආදී ධාන්‍ය බීජ ඉසිනු ලැබේ. කාලීනව වසින වැස්සෙන් ඒවා පැලවී ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී. පොළොව මනාව පිළිස්සී ඇති බැවින් ධාන්‍ය වර්ග සාරවත්ව වැඩේ. පොහොර යෙදීමක් අවශ්‍ය නොවීය. මේ අතර, බඩ ඉරිඟු ධාන්‍ය වර්ග සාරවත්ව වැඩේ. පොහොර යෙදීමක් අවශ්‍ය නොවීය. මේ අතර බඩ ඉරිඟු සිටුවීම, මුං ඇට, කොල්ලු ඇට, මෑ ඇට වැපිරීම, පුහුල්, වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා, වම්බටු, මිරිස්, රතුලූනු, තක්කාලි ආදි එළවළු ඇට සිටුවීම වගා කරන ගොවියා කඩිසර ව වැඩ කරයි.ඒ සඳහා තම දූ දරුවන්ගේ සහාය ද ලබා ගනී. ඉන්පසුව දුෂ්කරතා රාශියකට මුහුණපාන ගොවියා වන සතුන්ගෙන් ගොවිතැන ආරක්‍ෂා කර ගැනීම පිණිස යුහුසුලු ව වැට බැඳීමෙහි නිරත වෙයි.

හේන් පාළු කිරීමට එන සිවුපා සතුන් එලවා ගැනීමේ පහසුව, අන්‍යෝන්‍ය අවශ්‍යතා ඉටුකර ගතහැකි වීම, විපතක්, කරදරයක් ඇති වූ විට පිළිසරණ වීම, හුදෙකලා බව, පාළුව, කාන්සිය, තනිය දුරු කරගත හැකි බව, තරගයට මෙන් පැල් කවි කීම ආදියෙන් විනෝදයක් ලබා ගැනීම, වැට බැඳීම්, ආරක්‍ෂා කිරීම් ආදි පහසුව එයින් කිහිපයක් වශයෙන් දැක්විය හැකිය.

ජුලි, අගෝස්තු ශ්‍රීෂ්ම කාලයෙන් ආරම්භ වන හේන් වගාවෙන් අස්වැන්න නෙළා ගන්නා කාලය ආරම්භ වන්නේ ඊළඟ ජනවාරි මාසයේ සිටය. පෙබරවාරි මාසය අවසාන වන විට අස්වැන්න එක්රැස්කොට නිමාවට පත්වෙයි. මාර්තු මාසය අවසන් වීමට ප්‍රථම ධාන්‍ය ආදිය වේලා අටුකොටුවල තැන්පත් කොට උද්දාමයට පත්වන ගොවි ගෙවිලියෝ ඉන්පසු තාවකාලික විවේක සුවයක් ලබා ගනිති.

අනතුරුව එළැඹෙන සිංහල අවුරුදු උත්සවයට සූදානම් වන ඔවුහු අවුරුදු උදාවේ ප්‍රථම කාර්යය හැටියට අලුත් අස්වැන්නෙන් දානය පිළියෙල කොට ගෙන විහාරස්ථානයට ගොස් බුද්ධ පූජාව පවත්වා දන් පිළිගන්වා දෙවියන්ට සහ මළගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කොට තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අමතක නොකළහ.

අද මෙන් මුදල් සපයා ගැනීමේ පහසුකම් එදා නොපැවති අතර, මුදල් භාවිතය ද බොහෝ සෙයින්ම අඩු මට්ටමක පැවතිණ. මුදලේ වටිනාකම ඉතා උසස් තත්ත්වයක් ගත්තේය. සත භාගය පවා භාවිත විය. සතයක් වියදම් කිරීමෙන් අනතුරුව වුවද ගතහැකි බොහෝ දේ විය.

හේන් ගොවිතැනින් ලබා ගන්නා ප්‍රධාන අස්වැන්න වශයෙන් සලකුණු ලබන්නේ කුරක්කන්ය. එයින් තලප, පිට්ටු, රොටි ආදී ආහාර පිළියෙල කරනු ලැබේ. මෙකල කුරක්කන් පිටිවලින් විස්කෝතු, ඉඳිආප්ප වැනි කෑම වර්ගද සාදති. පුරාණයේ දී ගැමියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ තලපය. කුරක්කන් තලප සාදා ගන්නා ආකාරයත් එහි ඇති ගුණයත් දක්‍ෂිණ ලංකාවේ සුපතලව වැඩි විසූ බැදිගම ශ්‍රී රතනපාල නාහිමිපාණන් විසින් ඉතා රසවත් අගනා කවිපෙළකින් මෙසේ විස්තරකොට ඇත.

මිඩි කර ඇට ගෙන උණු දියරෙහිලා පදමට තම්බා පෙරම්න්නේ

දැඩිකර කොටවා පිටිගෙන ලිප්ගල් දෙකට දෙපයදි ඉඳගන්නේ

වැඩිපුර දියවෙන බඳුනක වත්කර පදම බලලා පිටි ලන්නේ

කඩිසර ලෙස ගොල ගැට නොගැසෙන්නට විගසට කලවම්කරපන්නේ ඔරු පදිනා ලෙස ඇද ඇද පතු ගා දියවර තුනකින් තම්බන්නේ තරුපෙනෙනා කළ දුම්වැද ඇස්වල පදම බලලා බාගන්නේ ගුරුනොවනා ලෙස ලෙලි නැති පොල් සා තරමට ගුලි කරවා ගන්නේ බරු දමනා ලෙස මාත්තු සමඟින් තද උණුසුම් පිට වලඳන්නේ.

මිරිස් ඇඹුල් ලුණු සමබර තිබ්බොටු හොද්දෙන් කුඩ මසයෙන් වේවයි සුරුස් ගගා පවතිනා සෙම්කැස් මුස හන්දි පිරුම් ඇදුමට වේවයි හරස් අතට බණ්ඩිය බෙරිමද විසිමේහය අරිසස් වේවයි සරස් කියා සුව වෙයි මේ හැම ලෙඩ තද බඩගින්නට අත් දුටුවයි.

මෙකල හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇත. වනගතව පැවැති බොහෝ ප්‍රදේශ ජනාවාස බවට පත්වීම නිසා ඉඩම් ගැනීමේ අපහසුව ඊට බලපෑ ප්‍රධාන සාධකයක් වේ. අද පවත්නා තත්ත්වය අනුව කෙසේ වෙතත් හේන් ගොවිතැනට ඉඩක් නොලැබේ. එයින් විශාල සම්පත් නාස්තියක් සිදුවන බව කිව යුතුය. වටිනා ගස් වර්ග, ඖෂධීය පැළෑටි විනාශයට පත්වන අතර සතුන්ට ජීවත් වීමට තිබෙන පරිසරය විනාශ වීම පොළොවේ ජල සම්පත් වියළී යාම, භූමිය සෝදා පාළු වී මුඩුබිම් බවට පත්වීම ආදි ආදීනව රාශියක් ඇතිවීමට තුඩුදෙන හේන් ගොවිතැන අනාගතයෙහි නොපැවැත්වෙනු නියතය.

(කෑල්ලගම චන්දානන්ද හිමියන් විසින් ලියන ලද කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාරවංශය නමැති කෘතිය ඇසුරෙන් සකස් කෙරිණි.

 සේන වී. ගමගේ

දුටුගැමුණු - සද්ධාතිස්ස යුද වැදුණු යුදඟනාව

$
0
0
මැයි 19, 2022 01:00

ශ්‍රී ලංකාවේ ඓතිහාසික , ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව සොයා බැලීමේ දී ඌව පළාතට ද අද්විතීය ස්ථානයක් හිමි වේ. ඌව පළාතේ පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන අතුරින් යුදඟනාව රජමහා විහාරස්ථානය විශේෂිතය. එය පිහිටා ඇත්තේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.

මෙම විහාරස්ථානයට පිවිසෙන්නට නම් වැල්ලවායේ සිට බුත්තල මාර්ගයේ කි.මී 16 පමණ දුරක් පැමිණ වම් පසට ඇති මාර්ගයේ කි.මී 2 ක් පමණ යා යුතුය . කතරගම දෙසින් පැමිණෙන්නේ නම් බුත්තලට පැමිණ වැල්ලවාය පාරේ කි.මී 2 ක් පැමිණ , දකුණට හැරී යා යුතුය.

මඟ අසලම පිහිටි විශාල නාම පුවරුව නිසා විහාරස්ථානයට යන මඟ පහසුවෙන් සොයා ගත හැකිය.

යුදඟනා රජමහා විහාරස්ථානය අපට වැදගත් වන්නේ එම ස්ථානයේ දී දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන් අතර ඇති වූ සටන පිළිබඳව කියවෙන ඓතිහාසික පුරාවෘත්තය නිසාය . කාවන්තිස්ස රජු මිය ගිය විට දුටුගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයේත්, සද්ධාතිස්ස කුමරු දිගාමඩුල්ල ප්‍රදේශයේත් ජීවත් වූහ. පිය රජතුමාගේ අභාවය සැල වූ වහාම මාගම්පුරට පැමිණි සද්ධාතිස්ස කුමරු කාවන්තිස්ස රජුගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කර විහාර මහා දේවිය හා කඩොල් ඇතු රැගෙන දිගාමඩුල්ලට ගිය බව පුරාවෘත්තවල සඳහන් වේ.

පියරජුගේ අභාවයෙන් පසු යළිත් මාගම්පුරයට පැමිණි දුටුගැමුණු කුමරු අමාත්‍යවරුන් විසින් මාගම්පුර රාජ්‍යත්වයට පත් කරන ලදී. දුටුගැමුණු රජු විසින් නැවත විහාරමහා දේවියත් කඩොල් ඇතාත් තමාට ලබා දෙන ලෙස කළ ඉල්ලීම සද්ධාතිස්ස රජතුමා විසින් දෙවරක්ම ප්‍රතික්ෂේප කිරීම මෙම යුද්ධයට හේතු වී තිබේ. සද්ධාතිස්ස රජතුමා එම සටන සිදු වූ ස්ථානයේ සුවිසල් දා ගැබක් ඉදි කරනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එම දාගැබ යුදඟනා දාගැබ ලෙස හඳුනාගත හැකිය.

යුදඟනා දාගැබ යුග දෙකකට අයත් නිර්මාණයක් බව පුරාවිද්‍යා කැණීම් මඟින් සොයා ගෙන තිබේ. දැනට ඌව පළාතේ විශාලම ස්ථූපය වන්නේ ද නටබුන්ව පවතින මෙම යුදඟනාව ස්ථූපයයි.

පොළොන්නරු යුගයේ දී මහා පැරකුම්බා රජ දවස පැරණි දාගැබ වටා තවත් දාගැබක් ඉදි කර තිබෙන බවට සාධක හමු වී තිබේ. එම දාගැබ කැණීම් කිරීමේ දී පැරණි කාසි , ලෝහමය කරඩු, වළන් කටු ආදී පුරාවස්තූන් රැසක් හමු වී තිබේ. දාගැබෙහි උස මීටර් 26 සෙන්ටිමීටර් 40 ක් පමණ වේ. චෛත්‍යයෙහි වට ප්‍රමාණය අඩි 1038යි අඟල් 06 ක් පමණ වේ. 1979,

1992,2002 යන වර්ෂවල දී මෙම චෛත්‍යය වරින් වර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගෙන තිබේ. තවත් විශාල කොටසක් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ.

මෙම දාගැබ කොටවෙහෙර සම්ප්‍රදායට අයත් වන්නක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ වන විට එම මතය බැහැර කරන්නට සිදු වී ඇත්තේ දාගැබ , හතරැස් කොටුව සහ කොත් කැරැල්ල සහිතව තිබූ බවට මේ වන විට ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක සාධක ලැබී ඇති බැවිනි. යුදඟනා දාගැබ අසල විහාර මන්දිරය පිහිටා ඇත. එහි ඇති චිත්‍ර මූර්ති, පිළිම වහන්සේලා මහනුවර යුගයේ

අවසාන කාලයට අයත්ය . යුදඟනා දාගැබ ආසන්නයේම දුටුගැමුණු, තිස්ස කුමාරවරු පළමුව යුද වැදුනු චූලාංගනී විහාරය පිහිටා ඇත. එහි ද කුඩා දාගැබක් සහ තවත් නටබුන් රැසක් දක්නට ලැබේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පූජා කළ සන්නසට අනුව මෙම විහාරස්ථානයට අයත් මුළු භූමි ප්‍රමාණය අක්කර 1739 කි. නමුත් , මේ වන විට ඒ ප්‍රමාණය අක්කර 539 දක්වා අඩු වී තිබේ.

මෙම සිද්ධස්ථානයේ වර්තමාන විහාරාධිපති ධුරය දරනුයේ ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරත්න හිමිපාණන්ය. ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයට අයත් මෙම පුද බිම සංවර්ධනය කිරීම සඳහා රජයෙන් විශාල ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබේ.

මෙලෙස යුග ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන රාජ රාජ මහාමාත්‍යාදින්ගේ ගෞරව ආදරයට පත් වූ මෙම පුදබිම නටබුන් වී පැවතුනත් එය වන්දනාමානයට කිසිදු බාධාවක් වී නොමැත. මෙවැනි පුදබිම් මඟින් කියාපාන්නේ අතීතයේ අපේ රටේ පැවති ආගමික ප්‍රබෝධයයි. සමෘද්ධිමත්භාවයයි.

අමෙරිකාවේ තායිවාන ජාතිකයන්ට චීන තුවක්කුකරුවකුගෙන් වෙඩි ප්‍රහාරයක්

$
0
0
මැයි 19, 2022 01:00

තායිවානය සහ චීනය අතර පසමිතුරුකම ඊයේ පෙරේදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී යළි ඇවිළී ගියේය. එය සිදු වූයේ පසුගියදා කැලිෆෝනියා ප්‍රාන්තයේ තායිවාන දේවස්ථානයකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකිනි. එය සිදු කරනු ලැබුවේ අමෙරිකා පුරවැසියකු වන චීන ජාතිකයකු විසිනි. දශක ගණනාවක් පුරා ඇදී එන අසල්වාසී දෙරට අතර විරසකය තවදුරටත් උත්සන්න වීමට එය බෙහෙවින් බලපානු ඇතැයි දැනටමත් දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබේ.

68 හැවිරිදි ඩේවිඩ් වෙන්වයි චොවු නමැති මේ චීන ජාතික තුවක්කුකරුවා තායිවානයට එරෙහි දේශපාලන වෛරයකින් පෙළෙන අයෙකි. හෙතෙම කැලිෆෝනියාවේ දේවස්ථානයක එක්රැස් වූ තායිවාන ජාතිකයන් පිරිසකට විවෘත වෙඩි තැබීමක් එල්ල කළේ එම දේවස්ථානයෙන් පලායෑමට තායිවාන ජාතිකයන්ට කිසිදු ඉඩක් නොලැබෙන පරිදි දොරවල් පවා අගුළුලමිනි. ඒ මොහොතේ දේවස්ථානයේ එක්රැස්ව සිටි පිරිස අතුරින් බහුතරය වයවෘද්ධ පුද්ගලයෝ වූහ. ඔවුන් සියලුදෙනාම එම තායිවාන දේවස්ථානයේ භක්තිමත් සාමාජිකයෝ වෙති.

අවසන් මොහොතේදී තුවක්කුකරු මැඬපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වූ තායිවාන පුද්ගලයකු තුවක්කුකරුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ එම උත්සාහය හේතුවෙන් සිදුවන්නට ගිය සමූල ඝාතනයක් වැළකී ගියේය.

කුඩා වියේදී තායිවානයේ හැදී වැඩුණු බව කියන එම තුවක්කුකරු ලාස් වේගාස් නුවර පදිංචිකරුවකු වූ අතර වෙඩි ප්‍රහාරය සිදු වූ දිනයට පෙර දින උදෑසන ඔහු සිය නිවෙසේ සිට මෝටර් රථය පදවාගෙන කැලිෆෝනියාවේ තායිවාන දේවස්ථානය වෙත ගොස් තිබිණි. පසුදිනයේදී ඔහු එම තායිවාන ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයේ දිවා ආහාරය සැපයීමේ අවස්ථාවට ද එක් වී සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති. දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වනතුරු එහි රැඳී සිටි තුවක්කුකරු පසුව ‘සුපර් ග්ලූ‘ මැලියම් භාවිත කරමින් සියලු දොරටුවල අගුළු වසා දැමුවේය. ඔහු සතුව මිලිමීටර් 0 වර්ගයේ කෙටි තුවක්කු දෙකක් තිබූ බවත්, එය ඔහු විසින් ලාස් වේගාස් නුවරදී මීට වසරකට පමණ ඉහතදී නීත්‍යනුකූලව මිලදී ගෙන තිබූ බවත් පසුව වාර්තා විය. කෙටි තුවක්කු බහාලූ ගමන් මල්ලට අමතරව තවත් ගමන් මලු දෙකක් ඔහු සතුව තිබී ඇති අතර, එහි අතිරේක උණ්ඩ රැසක් තිබී පොලීසිය පසුව සොයා ගත්තේය.

වෙඩි ප්‍රහාරය අතරතුර ජීවිතක්ෂයට පත් වූ 52 හැවිරිදි වෛද්‍යවරයකු වන ජෝන් චෙං ඔහු සමඟ පොර බදින්නට වූයෙන් තුවක්කුකරු යටත් කරගෙන ඔහු දිගු රැහැන්වලින් බැඳ දැමීමට සෙසු පිරිසට අවස්ථාව උදාකර දී තිබිණි. ඒ අතරතුර තුවක්කුකරු වෙඩි පහරවල් 6ක් එල්ල කර තිබූ අතර, පුද්ගලයන් පස්දෙනකු තුවාල ලැබූහ.

වසර ගණනාවක් ආරක්ෂක නිලධාරියකු ලෙස රැකියාවේ නිරත ව සිටි තුවක්කුකරු චොවු පසුව මිනිමැරුම් සහ මිනිමැරීමේ චෝදනාව සම්බන්ධව අත්අඩංගුවට පත් වූ අතර පෙරේදා ඔහුගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වූයේ ඊට වරදකරු කරමිනි. ඔහුට මරණ දඬුවම හිමිවනු ඇතැයි වාර්තා වේ.

ඔහු මේ ප්‍රහාරය සිදු කිරීමට හේතු වී ඇත්තේ තායිවානයට එරෙහිව දේශපාලනික වෛරී මානසිකත්වය නිසා බව තහවුරු කරමින් ඔහුගේම අත්අකුරින් ලියා තැබූ සටහනක් පසුව පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

තුවක්කුකරු මේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ සිය තනි තීරණයකට අනුව බවත්, ඔහු කිසිදු ආගමකට හෝ පාර්ශ්වයකට සම්බන්ධ නොවන බවත් වාර්තා වේ. පසුගිය වසරේදී බිරිය ඔහු හැර ගොස් ඇතැයි ද, ඔහුගේ මානසික තත්ත්වය පිරිහීමට එය බලපාන්නට ඇතැයි ද ලාස්වේගාස් නුවර චොවුගේ අසල්වාසියකු පොලීසියට ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ලාස් වේගාස් නුවර පිහිටි ඔහුගේ නිවෙස පසුව බිරිය විසින් අලෙවි කරනු ලැබීමෙන් පසු ඉන් ලද ඩොලර් ලක්ෂ පහකට අධික මුදල ඇය තායිවානය බලා යෑමට වැය කර ඇතැයි ද හෙළි වී තිබේ.

අමෙරිකාවේ තායිවාන ප්‍රධාන නියෝජිත බි කිම් සියාඕ මේ සිදුවීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයන්ට සිය කනගාටුව පළ කර තිබේ. එමෙන්ම තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කර ඇත. මේ අතර අමෙරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලියු පෙංග්යූ ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ චීන රජය නිරතුරුවම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් අතර 86 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 66, 75, 82 සහ 92 වයස් කාණ්ඩයේ පසුවන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සිටින බව වාර්තා වන අතර, ඉන් පුද්ගලයන් දෙදෙනකුගේ තත්ත්වය ඉතා යහපත් බවත්, තවත් දෙදෙනකුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඉතිරි පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතළ බව ද කියැවේ.

තායිවානය අරභයා චීනයේ ප්‍රතිපත්තිය අන්තර්ජාතික වශයෙන් දැඩි අප්‍රසාදයට පත්ව ඇත්තේ දිගු කාලයක සිටය. තායිවානය සිය රාජ්‍ය යේ තවත් කොටසක් බව චීනය පුන පුනා ප්‍රකාශ කර ඇති අතර, චීන ප්‍රහාරක ගුවන්යානා තායිවාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා ගණනාවක් ද විය. අමෙරිකාව ඇතුළු විදෙස් රටවල් රැසකට තායිවානය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉහළ සම්බන්ධතා නොමැතිවීම ද, තායිවානය ආක්‍රමණය කිරීමේ චීන ප්‍රතිපත්තියට දැඩි බලපෑමක් එල්ල කිරීමේ අවස්ථාව විදෙස් රටවලින් ගිලිහී යෑමට හේතුවක් වී ඇත. එහෙත් යම්කිසි අයුරකින් තායිවානය ආක්‍රමණය කිරීමක් සිදුවන්නේ නම් චීනයට එරෙහිව ගත හැකි උපරිම පියවර ගැනීමට අමෙරිකාව ඉදිරිපත් වනු ඇතැයි ද තායිවානයට විශ්වාසයක් තිබේ.

සදෙව් රත්නායක

 

Viewing all 10762 articles
Browse latest View live