මනෝවිද්‍යා උපදේශන නිලධාරී, නීතිඥ ප්‍රභාත් කළුබෝවිල
මේ ලෝකය අයිති දරුවන්ටය. ඔවුන්ගේ සිතිවිලිවලට ලෝකයක් පුබුදුවාලීමට ශක්තිය ඇත. එහෙත් ඒ සිත් හා සිතිවිලි දූෂණය වීමට ගත වන්නේ නිමේෂයකි. වැඩිහිටියන් සිදු කරන සුළු දෙයකින් පවා දරුවන් සුමඟටත්, නොමඟටත් යොමු වීමට මඟ පාදන බව කිව යුතුය. අප දරුවන්ගේ සිත් මල් වැනි යැයි කියන්නේ ඒ නිසාය. මේ මල් වැනි පුංචි දරු පැටවුන්, නව යොවුන් වියේ සිටින දරුවන් මෙන්ම යොවුන් වියේ සිටින තරුණයන්ටද මානසික සුවය සඳහා බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ, තමන් ජීවත් වන පරිසරය හා ජීවත් වන සමාජය අනුව ඔවුන්ට මුහුණපෑමට සිදු වන දෑය. ලෝකයක් අප දෙස අවධානයෙන් බලා සිටින මේ මොහොතේ රටේ සිදු වන යම් යම් දෑ හේතුවෙන් අපේ රටේ දුවා දරුවන්ගේ මානසික තත්ත්වය කුමනාකාර වේදැයි යන්න සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දරුවන්ගේ මෙන්ම රටේ අනාගතයටද යහපතකි. රටේ වත්මන් තත්ත්වය ළමා මානසිකත්වයට සිදු කරන බලපෑම සම්බන්ධයෙන් මනෝවිද්‍යා උපදේශන නිලධාරී, නීතිඥ ප්‍රභාත් කළුබෝවිල මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය මෙන්ම ගෙවුණු තෙවසරක කාලයක් පුරාවට රටට මුහුණ පෑමට සිදුවූ ඇතැම් අයහපත් දේ හේතුවෙන් අපේ රටේ දරුවන්ගේ ළමා මනසට මෙන්ම ළමා චර්යාවලට ගැටලු හා බාධක රාශියක් පැන නැඟී ඇත. වත්මන් ආර්ථික මෙන්ම දේශපාලන ගැටලුවලට අමතරව කොවිඩ් තත්ත්වයත්, පාස්කු ප්‍රහාරයත් හේතුවෙන් සමාජයට කළ බලපෑම නිසාද පසුගිය කාලය පුරාවටම කායිකව, මානසිකව හා ආධ්‍යාත්මික වශයෙන් දරුවෝ පීඩාවට පත්ව සිටියහ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑ කාරණාවක් වන්නේ දරුවන්ට පාසල් අධ්‍යාපනයෙන් දුරස් වීමට සිදු වීමය. දරුවන් පන්ති කාමරයක් තුළ ගුරුවරයකු, ගුරුවරියක සමඟ ගැටෙමින්, යහළුවන් සමඟ මුහු වෙමින් ලබන අධ්‍යාපනයට වඩා තාක්ෂණික උපකරණ සමඟ, තාක්ෂණයත් සමඟ මුහු වෙමින් ලබන ඔන්ලයින් අධ්‍යාපනයේ ඇත්තේ කෘත්‍රිම බවකි.
අප මෙතෙක් අත්විඳි පාසල් අධ්‍යාපනය තුළ දරුවන් පාසල් කාලයේදී වෙනස්ම ආකාරයේ හික්මවීමකින් කටයුතු කරන ආකාරයක් පෙනෙන්න තිබිණි. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනයට දරුවන් යොමු වීමෙන් ඒ හික්මීම සම්පූර්ණයෙන්ම වෙනතකට යොමුවී, ඔවුන් යන්ත්‍රසූත්‍ර මෙන් කටයුතු කරන්න පුරුදුවී තිබේ. දිනපතා පාසලට යමින් අධ්‍යාපන කටයුතු කිරීමේදී දක්ෂ, අදක්ෂ සියලු දරුවෝ අඩු තරමින් විෂය ආවරණ කාලයේවත් පාඩම් කටයුතුවලට අවධානයකින් යුතුව එක්ව සිටිති. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේදී ඇතැම් දරුවන් නියමිත වේලාවට නියමිත පරිදි එම අධ්‍යාපන කාර්යයන්ගේ නිරත වුවත්, ඇතැමුන් කැමැති වේලාවට පමණක් ඊට යොමු වන ආකාරයක් දැක ගත හැකිය. මේ මඟින් දරුවන් අධ්‍යාපනය ග්‍රහණය කර ගන්නා ආකාරයේ වැඩි පරතරයක් ඇති විය. මේ ක්‍රමය නිසා අවශ්‍ය නම් එම පාඩමට සම්බන්ධ වීමටත්, අනවශ්‍ය යැයි හැඟුණොත් ඊට සම්බන්ධ නොවී සිටීමටත් දරුවන්ට හැකියාව තිබේ. එයින් සිදු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමකි.
ළමා මානසිකත්වය
මේ සියලු කාරණාවලට වඩා වත්මනේ පවතින ගැටලුකාරී තත්ත්වය වැඩියෙන්ම බලපෑම් කරන්නේ ළමා මානසිකත්වයටය. අපට නොදැනුවත්වම ඒ පුංචි මනසට මේ අර්බුද සිදු කරන බලපෑම අතිමහත්ය. පැවැති සාම්ප්‍රදායික ක්‍රමයෙන් තාක්ෂණික ලෝකයට එක්වර ඇතුළු වීමට දරුවන්ට සිදු වීමෙන් ළමා මානසිකත්වය ඉතා ඉක්මනින්ම ව්‍යාකූලත්වයට පත්වූ ආකාරය මනෝවිද්‍යා උපදේශනවලට යොමුවූ දරුවන් දෙස නිරීක්ෂණයේදී අපට හඳුනාගත හැකි විය. දිගින් දිගටම පවත්වන උද්ඝෝෂණ, වැඩවර්ජන නිසාත්, ඇඳිරිනීති ආදිය නිසාත්, කාලයක් පැවැති වසංගත තත්ත්වය නිසාත් ළමා මනසට සිදුවූ හානිය මෙතෙකැයි කියා ගණන් බැලිය නොහැකිය. බොහෝ දරුවන් මුහුණපා තිබුණේ අවශ්‍ය ආකාරයට අදාළ තාක්ෂණික උපකරණ සපයා ගත නොහැකිවූ තැන සිදු වන ඉච්ඡාභංගත්වයටය. ඒ හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයකට පත්වූ දරුවන් බොහෝය. යහළුවන්ට අවශ්‍ය ආකාරයෙන් තාක්ෂණික උපකරණ සපයා ගනිමින් අධ්‍යාපනය ලැබීමට වාතාවරණය තිබියදී තම මව්පියන්ගේ ආර්ථික තත්ත්වය මත තමන්ට එම පහසුකම් සපයා ගත නොහැකිවූ තැන, මානසික ව්‍යාකූලත්වයට හා ලැජ්ජාවට පත්වූ දරුවන් බොහොමයක් සමාජයෙන් හඳුනා ගත හැකි විය. ඔවුන් විටෙක පාසල් තුළ අධ්‍යාපනය ලැබූ කාලයේදී ඉතා දක්ෂ අන්දමින් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට මේ සමාජයේ ගැටලුකාරී කාලවකවානුවලදී මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපනයෙන් පසුබෑමකට ලක් වූවෝය. තවත් සමහරු පැවැති නිදහස් පරිසරයට සමුදී කාමරයක් තුළ පරිගණකයට යොමුවී සිටීම නිසා, මානසික පීඩාවලට ගොදුරුව සිටියහ. ඔන්ලයින් අධ්‍යාපනයට මව්පියන් විසින් වටිනා ජංගම දුරකථන මිලදී ගෙන දීම හේතුවෙන් අධ්‍යාපනය පසෙකලා දරුවන් නොමඟට යොමුවූ අවස්ථාද මේ කාලයේ බහුල වශයෙන් දක්නට ලැබිණි. බොහෝ මව්පියන් තම දරුවා තාක්ෂණයත් සමඟ, පරිගණකයත් සමඟ කාලය ගත කිරීම විශාල නම්බුවක් වශයෙන් සලකයි. එහෙත් වර්තමානයේ පවතින තත්ත්වය හේතුවෙන් එසේ හුදෙකලාව පරිගණක හා ජංගම දුරකථනවලට ඇබ්බැහිවූ දරුවන් විශාල ලෙස මානසික කඩාවැටීමකට ලක් වන බව මව්පියන් අවධාරණය කර ගත යුතුය. ඇතැම් විට මේ දරුවන් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරෙන ආකාරය දැක ගත හැකිය. තාක්ෂණය නිසාම නොමඟට යොමුවූ දරුවන් සේම, ඒ ඔස්සේ සියලු දේ කඩාකප්පල් කර ගනිමින් ජීවිතය විනාශ කර ගත් දරුවන්ද මේ කාලයේ බොහෝ වශයෙන් හඳුනා ගත හැකිය.
අනාගත පරම්පරාව
වර්තමානයේ ළමා මානසිකත්වයට බෙහෙවින්ම බලපාන තවත් කාරණාවක් වන්නේ ක්‍රීඩාවකට යොමු වීමට පවා අවකාශය නොමැති වීමය. කාලයක් කොවිඩ් හේතුවෙන් අසල්වැසි දරුවකු සමඟවත් දරුවකුට ක්‍රීඩාවක යෙදීමට හැකියාවක් ලැබුණේ නැත. එයින් තරමක් මිදෙද්දී යළිත් ඇඳිරිනීති සමයකි. ඒ කාලයේ දරුවන් නිවෙස්වලින් පිට කිරීම පවා අවදානමකි. තවත් අයුරකින් වෙනදාට පාසල් කාලයෙන් පසු හෝ පාසලේදී ක්‍රීඩාවට යොමු වීමේ අවකාශය ලැබුණද දැන් පවතින ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය රැයක් - දවාලක් නොතකා ක්‍රියාත්මක වීම තුළ ක්‍රීඩාවකට කාලය සොයා ගැනීම අසීරුය. මේ හේතුවෙන් දරුවන් පරිගණක ක්‍රීඩාවලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක්ද දක්නට ලැබිණි. එයින් දරුවන්ගේ තාක්ෂණික දැනුමේ වර්ධනයක් සිදු වුවද, දරුවන්ගේ මානසිකත්වයට නම් ඉන් සිදුවූ යහපතක් නැති තරම්ය. මක්නිසාදයත් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූ ඇතැම් දරුවන් ඒවායේ පරතෙරට ගොස් මුදලට ක්‍රීඩා කරන තත්ත්වයට පත්ව ඇත. ඒ මඟින් යම් යම් අයගේ ග්‍රහණයට, තර්ජනවලට මුහුණදී, දරුවන් එම පීඩනය දරාගත නොහැකිව ජීවිතයෙන් පවා වන්දි ගෙවූ අවස්ථාද, මානසික රෝගීන් බවට පත්ව දීර්ඝකාලීනව ප්‍රතිකාරවලට යොමුවූ අවස්ථා රැසක්ද මේ කාලයේ වාර්තා විය. එමෙන්ම දරුවන් දුරකතන සමඟම කාලය ගත කිරීම හේතුවෙන් විවිධ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට යොමුව මනස විකෘති කර ගත් අවස්ථාද මේ වකවානුවේ වෙනදාට වඩා වැඩියෙන් වාර්තා විය. සියලු දේ අත්හදා බැලීමට කුතුහලයක් පවතින තාරුණ්‍යයට එවැනි දේ මඟින් සිදු වෙන්නේ විශාල හානියකි. ළමා මනස දූෂණය නොවන ලිංගික අධ්‍යාපනයක් සියුම් හා ක්‍රමවත් ලෙස පාසල් අධ්‍යාපනයත් සමඟම දීමෙන් දරුවන් නොමඟ ගොස් මානසිකව දුර්වල වීම යම් තරමකින් වළක්වා ගැනීමට හැකිය. වැඩිහිටියන්ගේ යම් යම් තීරණ හේතුවෙන් හිතුමනාපයට පාසල් වසා දමමින් සිදු කරන ඇතැම් ක්‍රියා, අප නොසිතූ පැතිකඩ ඔස්සේ දරුවන්ගේ මානසිකත්වයට හානි කරන්නේ මේ අයුරිනි. එය මඟහරවා ගැනීම කිසිසේත්ම දරුවන්ට තනිවම කළ හැක්කක් නොවේ. මේ තත්ත්වයට මව්පියන්, සමාජයේ සිටින සෑම සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. දේශපාලන අධිකාරියද සෘජුවම එහි වගකිවයුත්තෙකි. මේ සියලු දෙනාගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් මේ විනාශයට ලක් වන්නේ අපේ අනාගත පරම්පරාවය.
තව දුරටත් මෙය පැහැදිලි කළොත්, දිගින් දිගටම විභාග කල් යෑමද ළමා මානසිකත්වයට සිදු කරන්නේ දැඩි බලපෑමකි. විභාගයකට මුහුණ දීම තුළද එක්තරා මනෝවිද්‍යාත්මක පැතිකඩක් පවතී. එහෙත් දිනෙන් දින විවිධ හේතු නිසා විභාග කල් යෑමෙන් දරුවන් මානසික පසුබෑමකට ලක්ව විභාග සඳහා මුහුණ දීමට කම්මැළි වන බවක් දක්නට ලැබේ. අප උසස් පෙළ අවසන් කරන්නේ කවදා ද? විශ්වවිද්‍යාලයකට ඇතුළත් වන්නේ කවදාදා ද? ඉන් ඉවත්ව වෘත්තීය අධ්‍යාපනයක් ලබන්නේ කවදා ද? රැකියාවක් කර ජීවිතය ගොඩනඟා ගන්නේ කවදා ද? යන ගැටලු මනස තුළ කැකෑරෙන විට, නව යොවුන් දරුවෝ මෙන්ම තරුණ තරුණියෝද ඉච්ඡාභංගත්වයට පත් වෙති. එමෙන්ම තරුණ වයසට එළැඹෙන දරුවන් අධ්‍යාපනය අවසන් කර ගත නොහැකිව නිවෙස් තුළ කාලය ගත කරන විට, ඔවුන්ට පවුල් පරිසරයෙන්ම බාධා එල්ල වන අවස්ථාද බොහෝවිට දැකිය හැකිය. මෙය දැඩි ලෙස බලපෑම් කරන්නේ ඉහළ ආර්ථික තත්ත්වයක් නොමැති, අඩු ආදායම් තත්ත්වයක් පවතින පවුල්වල දරුවන්ටය. මක්නිසාදයත් දිනෙන් දින විභාග කල් යන විට අධ්‍යාපනයට වැය කරන්න සිදු වන වියදමද වැඩිවේ. මවුපියන්ගේ ක්‍රය ශක්තිය හීන වීම මත මෙය අප බාහිරින් දකිනවාට වඩා ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබේ. ඇතැම් විට මව්පියන් තමන්ගේ ආර්ථික අපහසුතා මත ඇති වන පීඩනය, අධ්‍යාපනය ලබන තම දරුවන් පිටින් යැවීමට දරන උත්සාහ නිසාද හානියට පත් වන්නේ දරුවන්ගේ මානසිකත්වයය.
මානසික උපදේශනය
මේ තත්ත්වය පාලනය කිරීම සියයට සියයකින් නොහැකි වුවත්, රාජ්‍ය පාලනය හා පාසල්වල වගකිවයුත්තෝද මේ තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට පෙරමුණ ගත යුතුය. වෘත්තීය සටන් දිනිය යුතු වුවත්, එම සටන්වලට දරුවන්ගේ අධ්‍යාපනය හෝ දරුවන්ගේ අනාගතයවත්, ළමා මානසික තත්ත්වයත් පාවා දීම කිසි විටෙක සිදු නොකළ යුතුය. මේ තත්ත්වයට යමකුට විසඳුමක් දීමට අවශ්‍යතාව තිබුණද, එය තනිව කිරීමේ හැකියාවක් නැති නම්, හැකියාව ඇත්තන් ඊට එක් කර ගත යුතුය. විදෙස් ආධාර ගෙන හෝ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වශයෙන් මේවාට විසඳුම් ඉදිරිපත් කළ යුතුය. අධ්‍යාපන විශේෂඥයන්, ආර්ථික විශේෂඥයන් එක්ව මීට විසඳුම් සෙවිය යුතුය. එපමණක් නොව, වෙනත් කාලවලට වඩා මේ කාලයේ දරුවන් පිළිබඳ සොයා බැලීම මව්පිය, වැඩිහිටි පාර්ශ්වයේද වගකීමකි. ළමා මනස යනු මල් පෙත්තක් සේ සියුම් වූවකි. එය දූෂණය වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. මෙවැනි දරුවන් හඳුනා ගැනීමද වැඩිහිටියන් සතු වගකීමකි. දරුවන්ගේ චර්යාවල විෂමාකාර ගති පවතී නම්, එය දරුවන්ගේ මානසිකත්වය ව්‍යාකූලත්වයට පත් වීමේ ආරම්භයක් විය හැකිය. දරුවන් වෙනදා නොමැති නපුරු ගති හෝ ඔතෑනි ගති ලක්ෂණ පෙන්නුම් කරයි නම්, එයද ළමා මනස හානිවී ඇති බවටවූ ඉඟියකි. වෙනදාට වඩා දරුවන් තනිවී හෝ පරිගණකවලට, දුරකතනයට ඇබ්බැහිවී සිටී නම්, දරුවන් මානසිකව යම් ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පෙන්නුම් කරයි. එය ඉතා සංවේදීව හඳුනා ගත හැක්කේ පවුලේ සාමාජිකයන්ට හා ගුරුවරුන්ටය. ඒ නිසාම ඔවුන් දරුවන් වෙනුවෙන් තම වගකීම මීට වඩා වගකීමෙන් ඉටු කරයි නම්, මේ වත්මන් සමාජයේ පවතින අර්බුදවලට ළමා මනස ගොදුරු කර ගැනීමට ඇති හැකියාව හීනවී යනු නොඅනුමානය. එවැනි දරුවන් හඳුනා ගතහොත්, වහාම මානසික උපදේශනවලට යොමු කිරීම සිදු කළ යුතුය. දිවයින පුරා මේ වන විට නොමිලේ මානසික උපදේශන සේවා සපයන මධ්‍යස්ථාන මෙන්ම නිලධාරීහුද සිටිති. තම දරුවාගේ මානසික ව්‍යාකූලත්වය හෝ පුංචි වෙනස මුලදීම හඳුනාගෙන, විවිධ අදෘශ්‍යමාන, අවිද්‍යාත්මක ක්‍රමවේදවලට නොගොස්, විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන්, දරුවන් මානසික රෝගීන් වීම වළක්වා ගත හැකිය. මානසික උපදේශන මෙන්ම ඒවාටම වෙන්වූ මධ්‍යස්ථාන, සායන ඇත්තේ ඒ සඳහාය. ඒ සියලු දෙයින් උපරිම ප්‍රයෝජන ගෙන, වෙනස් වන සමාජ ගැටලුවලට ළමා මනස පලුදු කිරීමට ඉඩ නොතැබීමට අප සියලු දෙනා වග බලා ගත යුතුය.
චාමිකා මුණසිංහ