ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර. සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.
1971 මාර්තු වනවිට රටේ තත්වය වෙනස්වෙමින් තිබිණි. ඒ වන විට සැකපිට රට පුරාම තරුණ පිරිස් 5000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ අතර ආරක්ෂක අංශවල පිරිස් ද විය. මේ තත්වයත් ඒ වන විට ලොව විශාලතම කොමියුනිස්ට් පක්ෂය වූ ඉන්දුනීසියන් කොමියුනිස්ට් පක්ෂය සමුල ඝාතනයකර තිබීමත් බෝපගේලාගේ ‘ව්‍යාපාරය’ සසල කිරීමට සමත් වී තිබිණි.
“ඔය වෙනකොට රටේ තත්ත්වයයි ලෝකයේ තත්ත්වයයි වෙනස් වෙමින් තිබුණේ. රෝහණ සහෝදරයා අත්අඩංගුවේ. අපේ අය මර්දනය කරනවා. ලෝකයේ සමාජවාදී හෝ සමාජවාදයට පක්ෂ කියලා අපි හිතපු දේශපාලන පක්ෂ විනාශ කරනවා. ඉන්දුනීසියාවේ සුකර්නෝ ගේ ආණ්ඩුව බලයෙන් පෙරළලා මහා මිනිස් ඝාතනයකට පස්සේ ජෙනරාල් සුහර්තෝ ගේ හමුදා ආණ්ඩුව හදනවා. ඒ අතර ඇමරිකාව පාමුල ජෙනරාල් බැටිස්ටා ගේ බලය පෙරළලා ක්‍රස්තෝ ඇතුළු පිරිස බලය ගන්නවා. මේ සේරම එක්කයි අපේ තත්වය වෙනස් වෙන්නේ.”
කොළඹට පැමිණි බෝපගේ ට මුහුණ දීමට සිදුවුයේ වෙනස් තත්ත්වයකටය.
බෝපගේ අයත් වුයේ විජේවීරට පක්ෂපාති පිලටයි.1974 මාර්තු 14 වන දින රජය හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. එය ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට සමත් විය. ඕනෑම කෙනකු අත්අඩංගුවට ගැනීමේ බලය හමුදාව වෙත ලැබිණි. ඥාතීන්ට බාර නොදී මරණ පරීක්ෂණයකින් තොරව මළසිරුරු විනාශ කර දැමීමට ද ආරක්ෂක අංශ වෙත බලය ලබාදුණි.
“රටේ තත්ත්වයට සාපේක්ෂව අපේ තත්ත්වය වෙනස් වුණා. 1970 අගෝස්තු මාසෙ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම් ආතර් රත්නවේල් ප්‍රකාශයක් කළා. ඒ අය අපිට කිව්වේ චේ ගුවේරා කල්ලිය කියලා. ඔහු කිව්වේ අපි තමයි ආණ්ඩුවේ අංක එකේ සතුරා, අපිව සමුල ඝාතනය කරන්න ඕන කිව්වා. අපි මේ ගැන සාකච්ඡා කළා. අවසානයේ මර්දනයට මුහුණ දෙන්න තීරණය කළා. අපි අපේ සන්නද්ධ වීම වේගවත් කළා.”
නීතිඥ එඩ්මන්ඩ් සමරක්කොඩි, නීතිඥ බාලා තම්පෝ වැන්නන් සමග මේ තත්ත්වය පිළිබදව බෝපගේ ඇතුළු පක්‍ෂයේ අය සාකච්ඡා කළෝය. එහිදී හමුදාවට ලබාදී ඇති බලතල, විජේවීර අත්අඩංගුවට ගැනීම, නීතිමය කටයුතු මගින් ඔහු නිදහස් කර ගැනීම ආදී කරුණු මතු කෙරිණි. නීතිඥ එඩ්මන්ඩ් සමරක්කොඩිගේ අදහස වූයේ මෙම නීතිය 1848 කැරැල්ල මැඩලීමට බ්‍රිතාන්‍ය පාලනය විසින් යොදා ගත් පසු රටේ යොදා ගන්නා පළමු අවස්ථාව මෙය බවයි.
ඒ අනුව රෝහණ විජේවීර මුදා ගැනීමට නීතියෙන් පරිබාහිර වූ ක්‍රමයක් සාකච්ඡා විය.
“පහරදීලා රෝහණ සහෝදරයා නිදහස් කර ගන්න අපි තීරණය කළා. ඔය අතරේ ඔස්මන්ඩ් සහෝදරයාගේ අම්මා සීලවතී සහෝදරිය අත විජේවීර සහෝදරයා අපිට පණිවිඩයක් එවලා තිබුණා. ඒකෙන් කිව්වේ පසුබසින්න කියලා. ඒ වෙනකොට හදිසි නීතිය දාල තිබුණේ නැහැ. හදිසි නීතිය දාලා රෝහණ සහෝදරයාව යාපනයට ගෙනිච්ච. ඒ හින්ද පහරදීලා රෝහණ සහෝදරයා නිදහස්කර ගැනීම අපි තාවකාලිකව අත හැරියා”
මේ කාලය වන විට ආරක්ෂක අංශ ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන් සිටි ගම් කිහිපයක් දැඩි ලෙස මර්දනයට ලක් කොට තිබිණි. ඒ අනුරාධපුර, පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රිකයන්ට අයත් ගම් කිහිපයකි. ඒ සමග ම හිතවතුන් ක්‍රියාකාරිකයන් බොහෝ බොහෝ දෙනෙකු කැලෑ වැදිණි.‘ව්‍යාපාරය’ විසින් පෙරළා පහර දීමට තීරණයක් නොගතහොත් තම තමන් තනිව හෝ පහර දෙන බව බොහෝ අය පක්ෂයට පවසා තිබිණි.
1970 අගෝස්තු 10 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂයේ ලේකම්වරු තිදෙනාගේ අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත්කර තිබුණි, ඉන් කියැවුණේ ජනතා විමුක්ති පෙරමුණ දක්ෂිණාංශික ප්‍රතිගාමී බලවේගයක් බවයි. ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඊට එරෙහිව සටන් කොට විනාශ කර දමන කරන ලෙසයි.
“ඔය තත්ත්වයන් නිසා අපි සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය හරහා පවතින තත්ත්වය ගැන ශ්‍රී ල.නී.ප.යෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. ඒත් ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ. ඒ වගේම ඔස්මන්ඩ් සහෝදරයාගේ අම්මා හරහා උත්සාහයක් ගත්තා. ඇය අපිට එක්වන විට සමසමාජ පක්ෂයේ කාන්තා සංවිධානයේ නායිකාව.ඇයගේ නායකත්වයෙන් යුත් මණ්ඩලයක් සමසමාජ පක්‍ෂයේ නායකත්වය සමග සාකච්ඡා කළා. ඒත් වැඩක් වුණේ නැහැ. ඒ සාකච්ඡාවට සහභාගී වුණ සමසමාජ නායක ආචාර්ය එන්. එම්.පෙරේරා කියලා තිබුණා CIA එකෙන් අපිට දුන්න චෙක් එකක් එයාල ළඟ තියෙනවා කියලා. ඒ වෙන කොට එයා සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමති.තියෙනවනම් චෙක් එක පෙන්නන්න කියලා සීලවතී සහෝදරි ඔහුට අභියෝග කළා. පත්තරවල පිටපතක් දාන්න කිව්වා. ඒත් අද වෙනකම් එහෙම එකක් පෙන්වන්න එයාලට බැරි වුණා.”
1970 දී අත්අඩංගුවට ගත් අය වෙනුවෙන් ලංකා සමසමාජ පක්ෂයේ ආනන්ද ප්‍රේමසිංහ,නීතිඥ මාර්ෂල් පෙරේරා, කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම පෙනී සිටියහ.අද වන විට ජනාධිපති නීතිඥයකු වන මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාය.
“ඔය කාලයේ දීම එක්සත් රාජධානියේ ඔත්තු සේවය වන MI 5 හෙවත් Military Intelligence 5 අපි සම්බන්ධව දැඩි උනන්දුවක් පලකරලා තිබුණා.”
මේ තත්ත්වයන් සමග විජේවීර අත්අඩංගුවේ සිටියදීම පෙරලා පහර දීමක් කරන්නට ජ.වි.පෙ. තීරණය කොට තිබිණි.ඒ පිළිබදව ඇත්තේ විවිධ තොරතුරුය, සැකසංකාය.
“නැහැ එහෙම සැකයක් නැහැ. මෙහෙමයි ඕක වුණේ. ඔය කාලයේ දී ම රෝහණ සහෝදරයා සමග රදවාගෙන හිටපු ලාල් සෝමසිරි සහ තවත් කෙනෙක් නිදහස් කරලා තිබුණා. ඒ අය සනත් බොරළුකැටිය සහෝදරයාව මුණගැහිලා තිබුණා. පියතිලකත් මුණගැහුණා. ලාල් සෝමසිරි විජේවීර සහෝදරයා ඔහුට දුන්නා කියන පණිවිඩයක් ඔවුන්ට කියලා තිබුණා. ඒ අනුව විජේවීර සහෝදරයා කියලා තිබුණේ පහර දෙන්න කියලා. පියතිලකගේ නායකත්වයෙන් කණ්ඩායමක් තමන්ව බේර ගන්න යාපනයට එවන්න කියලා කිව්වලු. මේ ගැන 1972 අප්‍රේල් 2 වන දා විද්‍යෝදය සංඝාරාමයේ දී සාකච්ඡා කළා.”
මෙම සාකච්ඡාවේ පියතිලක, උයන්ගොඩ බෝපගේ ප්‍රහාරයක් පිළිබදව දැඩි කැමැත්තක් නොදැක් වූහ.එහෙත් සනත් බොරළුකැටිය සහ ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ ප්‍රහාරය සදහා තදින් පක්ෂ වූහ. සුනන්ද දේශප්‍රිය, අනුර කුරුකුලසූරිය, පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන්, අම්බලන්ගොඩ සිසිල් චන්ද්‍ර, පොළොන්නරුවේ සුසිල්, මාතර සුසිල් ඇතුළු ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙක්ද ප්‍රහාරයකට බල කළහ.
“මම කිව්වා කොළඹ පහර දෙන්න පිරිස් බලය, අවි ආයුධ හිග බව.සමහරු ඒ කතාව ප්‍රතිෂේප කළා. ඒ අය මගේ මතය බැහැර කරමින් කතා කළා. ඒ අය කිව්වේ කොළඹට පහර දෙන්න ඕන කියලා. පක්ෂය ඒකට ශක්තිය තියෙනවා කිව්වා. මම පිරිස් බලය සහ ආයුධ මදි කිව්වම ලොකු අතුල ප්‍රහාරයට කෑගල්ලෙන් සහෝදරවරු දාහක් එවනවා කිව්වා.”
ලයනල් බෝපගේ පවසන පරිදි 1971 අප්‍රේල් 2 වන දා රැස්වූ පිරිස සියලු දෙනාම එකග වී තිබුණා 1971 අප්‍රේල් 5 වන දින රාත්‍රී 11.30 ට පෙරලා පහර දීමට.
“මට තේරුණ විදිහට සමහර අය කලින්ම පහර දෙන දිනය තීරණය කරලා තිබුණා. එදා වුණේ ඒ තීරණය අපට දැනුම් දීම.”
රෝහණ විජේවීර බේරා ගැනීමට යාපනයට යන පිරිසට නායකත්වය දීමට 1971 අප්‍රේල් 4 වන දා පියතිලක කොළඹින් බැහැර විය.
“පියතිලක කිව්වේ පක්ෂයේ අභ්‍යන්තර සතුරන්ගෙන් විජේවීර සහෝදරයා බේරගන්න යාපනයට යන්න ඕන කියලයි. එයා අභ්‍යන්තර සතුරන් කිව්වේ සනත්ටයි ලොකු අතුලටයි.”
අප්‍රේල් 5 ප්‍රහාරයේ දී බෝපගෙට පැවරී තිබුණේ කොළඹ ප්‍රහාරයේ දී පියතිලකට සහ උයන්ගොඩට සහය දීමයි. ඔවුන්ට හමුදා අංශ සමග සම්බන්ධතා තිබිණි..
“අප්‍රේල් 4 වෙනිදා රෑ වැල්ලවාය පොලිසියට අපේ අය පහර දීලා තිබුණා. ඒ අතර අපි අතරම උන්න ඔත්තුකාරයෙක් අපි 5 වෙනිදා රෑ ගහනවා කියන ඔත්තුව ආණ්ඩුවට දීලා තිබුණා.”
කැරැල්ලට පෙර ජ.වි.පෙ. ට සම්බන්ධ සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගැනිණි. ඒ අතර නාවික සහ ගුවන් හමුදාවට අයත් පිරිස් ද වූහ. බෝපගේ පවසන ආකාරයට ඒ අයත් ඇතුළු මුළු පිරිස 5000ක් පමණ වූහ.
1971 අප්‍රේල් 5 රටම යුද තත්ත්වයක් ගත් දවසකි.
ඒත් බෝපගේ කොළඹ සැරිසැරුවේය. ලොකු අතුල කොළඹට එවන බව කී දාහක සටන්කරුවන් ගැන සෙවීය. ඔහු දුටුවේ කොළඹ ආරක්ෂාව තර කර ඇති බව පමණි. කොළඹ කිසිදු ප්‍රහාරයක් සිදු නොවීය.
“මම කොළඹ ඇවිද්දා. එවනවා කිව්වා කව්රුවත් කොළඹ නැහැ. කිසිම පහර දීමක් නැහැ. මම හවසත් කොළඹ ඇවිද්දා. රෑ නමයට ඇඳිරි නීතිය දැම්මා. ඊට කලින් මම ඔස්මන්ඩ් සිල්වා සහෝදරයා බලන්න වනාතමුල්ල පැත්තට යන්න හැදුව. මුළු වනාතමුල්ලම පොලිසියයි හමුදාවයි වට දාලා . මම ඒ ගමන විද්‍යොදයේ සංඝාරාමය පැත්තට ගියා. එහෙ අපේ කව්රුවත්ම හිටියේ නැහැ.”
මේ අතර වාරයේ බෝපගේ සොයා ආ පක්ෂයේ අයෙක් පැවසුවේ, කොළඹ ප්‍රහාරය නතර කරන්නට කොළඹ දිස්ත්‍රික් කමිටුව තීරණය කළ බවයි. ඊට හේතු වී ඇත්තේ කොළඹ ආරක්ෂාව තර කිරීමත්, වැල්ලවාය පොලිසියට පහර දීමත් ඊට පෙර දිනයේ පක්ෂයේ කොළඹ සාමාජිකයන්ගේ නිවෙස්වලට ආරක්ෂක අංශ කඩා පැනීමත්ය.එවැනි වටපිටාවක් මත කොළඹට පහරදීම සිය දිවි නසා ගැනීමක් බව කොළඹ කමිටුව තීරණය කරන්නට ඇත.
ලයනල් බෝපගේ කොළඹ තනිවිය. යා හැකි තැනක් නොවීය. සැගවීමට තැනක් නොවීය. පක්ෂයට සබදතා, සන්නිවේදනය, එකිනෙකා කෙරෙහි සහයෝගය අත්‍යවශ්‍ය මොහොතක ඒ සියල්ල අහිමිව තිබිණි. පක්ෂයේ සමගිය අත්‍යවශ්‍ය මොහොතක සමගිය බිදවැටි තිබිණි.
තමන් සහ තම සගයන් පසු පසින් පන්නා එන ආරක්ෂක අංශවලින් ගැලවීමට, ගැලවී සැගවීමට සුදුසු තැනක් ඔහු සිහි කළේය.
“කොළඹ ඉදීම අවදානම් කියලා මට තේරුණා. එකක් එළියෙන් එන අනතුර. අනෙක පක්ෂයෙන් එන අනතුර. මම රෝහණ සහෝදරයට පක්ෂපාති නිසා ඊට විරුද්ධ කණ්ඩායමෙන් මට එන අනතුරත් මම දැක්කා. ඊට දවසකට කලින් පියතිලක පානදුරේ පන්සලක් ගැන මට විස්තර කියලා තිබුණා. ඒක තිබුණේ පානදුරේ සරික්කාමුල්ලේ. මම එහෙට ගියා.”
පන්සලේ විහාරාධිපති වුයේ පක්ෂයට සම්බන්ධ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයකු ලෙස සේවය කළ කඩවැද්දුවේ සුමංගල හිමිය.
බෝපගේ ඊට පෙර මේ හාමුදුරුවන් හැදින සිටියේ නැත. එහෙත් පියතිලකගේ සම්බන්ධතා පැවසූ පසු පන්සලේ නතර වීමට බෝපගේට අවසර ලැබුණි.
අප්‍රේල් 6 වන දින එවකට ඇමතිවරයෙකු වූ ටී.බී. ඉලංගරත්න මහතා කළ ප්‍රකාශයක් ගුවන් විදුලියෙන් ප්‍රකාශයක් විකාශය කළේය.ඉන් කියවුණේ ජ.වී.පෙ. බලය ලබාගත් පසු වයස අවුරුදු පහට අඩු දරුවන් සහ අවුරුදු 50 වැඩි වැඩිහිටියන්ද මරාදමන බවයි. මේ ප්‍රකාශය බෝපගේගේ කන වැකුණේ රත්මලාන බස් නැවතුම් පළක සිටිය දී ය.
“ඒ කතාව අහපු බස් නැවතුම් පළේ මිනිස්සු චේ ගුවේරාකාරයෝ නැති බංගස්තාන කරන්න ඕන කිව්වා. ඒ වෙලාවේ කොළඹ යන බස් එකක් ආව. මම එකේ නැගලා කොළඹ ආවා.”
යළි කොළඹ පැමිණි බෝපගේ ඉතා අසීරුවෙන් කොළඹ රැදුණු අනෙක් අය එක්කරන්නට විය.
“පිට පළාත්වලට එල්ල වෙන පහරදීම් නතර කරන්න හරි අවධානය වෙනස් කරන්න හරි පුළුවන් විදිහට කොළඹට තැන් තැන්වලින් පහර දෙමු කියලා අපි හිතාගත්තා. හමුවුණු හැමෝම ඒකට එකග වුණා. අපි ඉතාමත් අමාරුවෙන් තොටළඟ පාලම ළඟ පුංචි සාකච්ඡාවක් කළා.”
එකී සාකච්ඡාව අවසානයේ බස් නැවතුමේ සිටියදී ඔවුන් දුටුවේ ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට විදේශයන්ගෙන් ලද අවි කටුනායක සිට ප්‍රවාහනය කරන අන්දමය.පක්ෂයේ හමුදාව සම්බන්ධ දේශපාලන කටයුතුවලට සම්බන්ධ අය ද ඒ වන විටත් බෝපගේ අසල වූහ.
ප්‍රහාරයන්ට පෙර ලයනල් බෝපගේ පක්ෂය වෙනුවෙන් චීන තානාපති කාර්යාලය හා සම්බන්ධව කටයුතු කළේය.මේ නිසාම පිරිස අදහස් කළේ තත්ත්වය පිළිබදව චීන තානාපති කාර්යාලය හෝ දැනුවත් කිරීමට බෝපගේ එහි යා යුතු බවයි.
“මම 71 අප්‍රේල් 7 වෙනිදා චීන තානාපති කාර්යාලයට ගියා. තානාපති නිලධාරීන් මුණ ගැහුණා. සිදුවුණ දේ එයාලට කිව්වා. ඊට පස්සේ තානාපති කාර්යාලයේ පළවෙනි ලේකම් මට තර්ජනය කරලා තානාපති කාර්යාලයෙන් එළියට බහින්න, නැත්නම් පොලිසියට කෝල් කරනවා කිව්වා.”
මේ වන විටත් ආයුධ සඳහා ශ්‍රී ලංකා රජය විදේශයන්ගෙන් සහය ඉල්ලා තිබිණි. ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය, සිංගප්පුරුව, පකිස්ථානය සහ ඉන්දියාවද සහය ලබා දුණි. ඉන්දියාව කටුනායක ගුවන් තොටුපල ආරක්ෂාවට ගුර්කා භටයන්ද එවීය. මේ බව දැනගත් බෝපගේ ඇතුළු පිරිස පහර දීමේ තීරණය හකුළා ගත්හ.
1971 අප්‍රේල් 19 උදා විය.
“මමයි උයන්ගොඩ සහෝදරයයි (ආචාර්ය ජයදේව උයන්ගොඩ) දෙන්නම හිටියේ පන්සලේ. අපි මාරුවෙන් මාරුවට පන්සල අවට අවධානයෙන් මුර කළා. උදේ හයට විතර ඇති, මම දැක්කා පොලිසිය පන්සල වට කරලා තියෙනවා. පොලිසිය සිය ගාණක් මිදුලට ඇවිදන් එනවා. ඒ අතර ප්‍රධානියා වගේ කෙනෙක් කෑ ගහලා අණදෙනවා. මගේ කාමරෙන් පිටවෙන්න දොරක් නැහැ. උයන්ගොඩ සහෝදරයා පේන්න නැහැ. මම ඇඳට වෙලා නිදාගත්තා වගේ හිටියා.”
එසැණින් පොලිසිය දොරට තඩි බෑවේය.බෝපගේ දොර විවෘත කළේය.....
හෙට - බෝපගේ ඇත ලයියා නැත
සිසිර යාපා