Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

දුකට සතුටට දෙකට කඩුවය

$
0
0
ජුනි 14, 2018 01:00

කඩුවෙන් සැනසීම හෝ වැනසීම තීරණය වන්නේ එය භාවිත කරන ආකාරය, භාවිත කරන තැනැත්තා, කඩුවේ ස්වභාවය, භාවිත කරන අවස්ථාව හා තැන ආදිය අනුව ය. මෙහි සඳහන් වන්නේ ආයුධයක් ලෙස භාවිත කරන කග හෙවත් කඩුව ගැන නොව 'කඩ්ඩ'යනුවෙන් ජනවහරේ එන ඉංග්‍රීසී බස හැසිරවීම පිළිබඳය. කඩ්ඩෙන් වැඩ ගැනීමට වඩා කඩ්ඩ පෙන්නා වැඩ ගැනීමට පුරුදු පුහුණු වූ රටක වෙන කුමක් අපේක්ෂා කළ හැකි ද? කඩුව ආභරණයක් කොටගෙන සාමාන්‍ය ජනතාව අතර විශේෂ වරප්‍රසාද ලබා ගැනීම භාවිතයක් නොව අවභාවිතයකි.

ද්වීභාෂා උගතුන්

කන්නන්ගර යුගයට පෙර ඉංගිරිසි ඉගෙනීමට බොහෝ දුරට වරම් ලැබුණේ ඇති හැකි අයට වූ අතර ඔවුන්ගේ බමුණු කුලය විසින් රට පාලනය මෙන්ම ඉහළ තානාන්තර ද හොබවමින් සුද්දන්ටත් එහා යමින් කළු සුද්දන් ලෙස ප්‍රචලිත විය. යටත් විජිත විෂම අධ්‍යාපන අවස්ථා නැති කිරීමට අපේ භාග්‍යයකට මෙන් පහළ වූ කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන එමින් වරප්‍රසාද ලත් පංතියට පමණක් හිමිව තිබූ ඉංග්‍රීසි අධ්‍යාපනය මැනවින් ලබා දීමට මධ්‍ය විද්‍යාල බිහි කළේය. එතුමා නිසා ද්විභාෂා අධ්‍යාපනයේ මල්ඵල ගැනුණු අතර මධ්‍ය විද්‍යාල සංකල්පය ද ඊටම බද්ධ වී ජාඩියට මූඩිය සේ යාවී පැවතුණි.

1956 ට පෙර බොහෝ ඉංග්‍රීසි උගතුන් ජාතිවාත්සල්‍යයෙන් යුතු වූ අතර ඉංග්‍රීසිය මෙන්ම මවු බසද හරි හරියට භාවිත කළ ඇත්තන් විය. 1956 දේශපාලන පෙරළිය මෙන්ම 1977න් පසු ඇති වූ විවෘත ආර්ථික රටාව ද ඉංගිරිස් සිංගිරිස් වීමටත් ඉංග්‍රීසි ද සිංහල ද නිවැරැදිව නොදන්නා ලුම්පන් පැළැන්තියක් බිහි වීමටත් මඟ පාදා ඇති බව නැවතිල්ලේ සිතන විට පෙනේ. කුමාරතුංග, අමරදේව, සරච්චන්ද්‍ර ආදී යුග යුග පුරුෂයන් ද්වි භාෂාවෙන්ම වැඩ පෙන්නු සමතුන් ය. එකල, මෙකල මෙන් ඉංග්‍රීසී උගෙනීමේ පහසුකම් සුලබ නොවී ය. වැර වෑයමින් උගෙන ගත් ඉංග්‍රීසිය වැඩ පහසු කර ගැනීමටත් රටට මනා සේවයක් කිරීමටත් ලෝකය පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමටත් යොදාගත් අතර රට ගැන වඩ වඩාත් ආදරයක් ගෞරවයක් ඇති කර ගැනීමට ද පිටිවහලක් වූයේ ඉංග්‍රීසි ය ඉගෙනීම බව ඔවුන්ගේ කියුම් කෙරුම්වලින් පෙනේ. ද්විභාෂා අධ්‍යාපනය 1956 න් පසු අහෝසි වී ඉංග්‍රීසිය රාජ්‍ය භාෂා තත්ත්වයෙන් පහළට වැටී මවුබස ප්‍රමුඛ වී ගිය පසු අපේ අධ්‍යාපනයෙන් බිහි වූ බොහෝ උගතුන්ගේ සෙවනෙන් ලැබෙන සිහිලෙහි රඟ අපි අද මදි නොකියන්නට අත් විඳින්නෙමු. මවුබසින් පමණක්‌ ඉගෙන ගැනීමට යාම නිසා ලොව පුරා වැඩෙන නව දැනුමේ හිමිකාරයන් වීමේ භාග්‍යය අපේ එක්‌ පරපුරකට අහිමි විය.

කඩුව ඕනම ද

ඉංග්‍රීසි බස පාසැලේ පළමු ශ්‍රේණියේ සිටම ඉගැන්වුවද 13 ශ්‍රේණියෙන් ඉවත්වන තුරුම බොහෝ සිසුන්ට හරිහැටි ඉංග්‍රීසි බස හැසිරවීමට නොහැකි ය. මේ ජාත්‍යන්තර භාෂාව පිළිබඳ අපි 'ආසයි බයයි'සංකල්පයෙන් හැම විටම බලා සිටියෙමු. සිටින්නෙමු. අපට කොතැන හෝ වැරැදී ඇත. අද ලොවම එක රටක් වී ඇතැයි කියා කෑමොර දුන්න ද බහුතරයකගේ ඉංග්‍රීසි හැකියාව මඳ බව පෙනේ. භාෂාවක් ඉගෙන ගැනීමට භාෂාමය පරිසරයක් තිබිය යුතු ය. ඉංග්‍රීසිය සජීවී භාෂාවකි. ඉංග්‍රීසි ඉගෙනීම මෙතරම් අසීරු වී ඇත්තේ ඇයි. එය වහ-වහා සොයා බැලිය යුතු කාරණයක් නොවෙද? අප කැමති වුවත් අකමැති වුවත් ඉංග්‍රීසි බස වැඩදායි බසකි. අධ්‍යාපන අවස්ථා පුළුල් කර ගැනීමට, පරිගණක හා අන්තර්ජාල භාවිතයට, විද්‍යුත් තැපෑල හා ගනුදෙනු කිරීමට වැනි බොහෝ සුබදායී කටයුතු සඳහා ඉංග්‍රීසි බස මැනවින් යොදාගත හැකිය.

නිදහසින් වසර 70 පමණ ගතවීත් තුන්වෙනි ලෝකයේ රටක් වන අපට අනෙකුත් රටවල සම්බන්ධතා නොමැතිව ඉදිරියට යාමට නොහැකි වී ඇත. ගෝලීයකරණයත් සමඟ මුසු වී යා යුතු මේ ගමනේ දී අනෙක් රටවල් සමඟ සන්නිවේදනය සදහා පොදු භාෂාවක් අවශ්‍ය වේ. ඉංග්‍රීසී බස මෙහි ලා ප්‍රමුඛ ජාත්‍යන්තර බසකි. ඉංග්‍රීසි බස යම් විෂයයක්, සම්ප්‍රදායක්, විලාසිතාවක් හෝ නොවන අතර ප්‍රායෝගික සන්නිවේදන මෙවලමක් ම වේ. අපේ මවුපියන් දරුවන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා පාසැල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් අධ්‍යාපනය ලබා දුන්න ද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දත්ත විශ්ලේෂණයේදි සමස්තයක් ලෙස ඉංග්‍රීසි විෂයයේ ප්‍රතිඵල අඩුය.

පාසලේ කඩුව

ඉංග්‍රීසි බස හොඳින් ප්‍රගුණ කිරීම සඳහා කථනය, සවන් දීම, ලිවීම, කියවීම වැනි මූලික කුසලතා අවැසි වන අතර ඒ අවැසි ඉගෙනුම් අවස්ථා සම්පාදනය පාසලින් විය යුතු ය. මෙහි දී ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කාර්යභාරය අති මහත් වේ. ඉංග්‍රීසි ගුරුභවතුන් සඳහා පුහුණුව, විෂය නිර්දේශ, ගුරු අත්පොත්, කාර්යය සැසි ආදී අවශ්‍ය අඩුම-කුඩුම සියල්ල රජයෙන් සැපයෙන අතර සිසුන්ගේ භාෂාමය කුසලතා වර්ධනය නම් අසතුටුදායක මට්ටමක පවතී. මවුබස මෙන්ම ඉංග්‍රීසි ද හොඳින් හැසිරවීමට සිසුන්ට හැකි විය යුතු අතර ඉංග්‍රීසිය අපේ වැඩ පහසු කර ගැනීමට යොදාගත හැකි මෙවලමක් පමණක් බවත් ඔවුන් දැනගත යුතු ය.

භාෂා ගුරුවරයෙකුට භාෂාවේ සියලු භාෂාමය උපාංග (ව්‍යාකරණ, ඉඟි වැකි, උපමා උපමේය, කෙටි යෙදුම්, කථනයේ දී යොදා ගන්නා බස් වහර ආදී දේ) පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු වන අතර නිරන්තර පත පොත කියවා ඉතිහාසය, සංස්කෘතිය, ආගම, රට-තොට යනාදී ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය ද වෙනත් විෂයන් උගන්වන ගුරුවරුන්ට වඩා තිබිය යුතු ය. මෙකී තත්ත්වය ඉංග්‍රීසී බස උගන්වන කථිකාචාර්ය මහත්ම මහත්මීන් අරඹයා ඉතාමත් ඉහළින් තිබිය යුතු ය. ඉංග්‍රීසි උගන්වන ගුරුවරු, මවුබස නිවැරදිව නොදන්නා විට අපේ රට, සංස්කෘතිය, ආගම, සාහිත්‍යය, ඉතිහාසය පිළිබඳ දැනුම ද මොටවන අතර ඒ පිළිබඳ ඇල්ම ද අඩුවේ. ‍ඉංග්‍රීසි උගන්වන බොහෝ ගුරුවරුන්ගේ පමණක් නොව සිංහල බස උගන්වන ගුරුවරුන්ගේ ද තත්ත්වය එසේම ය. ඉංග්‍රීසි උගන්වන බොහෝ ගුරුවරුන් ඉංග්‍රීසි තුළින් උත්සාහ ගන්නේ අපේකම දවටා දෙන්නට නොව අපට මෙන්ම ගුරුවරුන්ට ද නුහුරු ඉංග්‍රීසි සංස්කෘතියේ රස බෙදන්නට ය.

කඩුව මුවහත් කිරීම

අප දෙමළ ඉගෙන ගත්තද දෙමළ කෙනෙකු ලෙස නොසිතයි. නොහැසිරෙයි. ජපන් ඉගෙන ගත්ත ද එසේම ය. එකී භාෂා යොදා ගන්නේ සන්නිවේදනය සඳහාම ය. පුදුමයක මහත! ඉංගිරිසිය නම් පුදුමාකාරය. ඉංග්‍රීසි තොලේ ගෑවුණු විගස ඇතැමුන් අඟල් කීපයක් ඉහළ ගොස් ආපසු පොළොවට පහත් නොවී සිටීමට උත්සාහ ගනී. හැකි නම් උත්පත්තිය ද සුද්දෙකු ලෙස වෙනස් කරගනු ඇත. පෙනුම හැරෙන්නට අන් සියලු දේ අතින් සුද්දෙකු සේ හැසිරීමට බැලූව ද දැන් සුද්දන් ද ඉතා සරල වෙමින් පොළොවේ පය ගසා සිටින බව ඔවුන් නොදනී.

ඉංග්‍රීසි ගුරු අත්පොත්වල ඇති මාර්ගෝපදේශ අනුව බොහෝ ඉංග්‍රීසි ගුරුවරුනට අදාළ පාඩම් ඉගැන්වීමට මනා අවබෝධයක් නොමැති බව පෙනී ගොස් ඇත. භාෂාව ඉගැන්වීමේ දී මුලික භාෂාමය කුසලතා වන කථනය, සවන් දීම, ලිවීම, කියවීම වැනි කුසලතා දියුණු කිරීම සඳහා යම් පාඩමක් උපයෝගී කොටගත යුතු ය. ඉංග්‍රීසි බස පණ පිහිටුවා ඉගැන්විය හැකි වුවත් උගන්වන්නේ තිබෙන පණත් නැති වන සේ වන විට අපේ කුඩා උන් ඉංග්‍රීසි උගනීද? ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම මෙන් කොතැනක හෝ අපට වැරැදී තිබේ. බොහෝ ගුරු පුහුණු වැඩසටහන් ගැන කතා කොට පලක් නොවූවත් බීරී අලින්ට ද කොයි වේලාවක හෝ ඇසේය යන විශ්වාසයෙන් කතා කළ යුතුම ය. විශාල මුදලක් වැය කර වැඩසටහන් සැලසුම් කළ ද ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි එපා වන ලෙසය. විශ්‍රාම ගිය නිලධාරීන්ගේ ඇල් මැරුණු දේශන, තාක්ෂණික උපක්‍රම යොදා නොගැනීම, මෙහෙය වන්නන්ටත් වැඩසටහන පිළිබඳ අවබෝධයක් නොවීම, ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හැකියා වර්ධන අවශ්‍යතා සොයා බැලීමට පුර්ව පරීක්ෂණයක් කර වැඩසටහන් සකස් නොකිරීම (Need analysis),වැඩසටහනේ සාර්ථකත්වය විමසා නොබැලීම වැනි දේ නිසා විධිමත් ගුරු පුහුණුවක් නොලැබේ.

විදේශවල නම් ඉතාමත් කෙටි කලකින් සාමාන්‍ය ඉංග්‍රීසි කතාව හුරු වන සේ සැකසූ විධිමත් සාර්ථක පාඨමාලා ඇත. අප රටේ ද වෛවාරණ ඩිප්ලෝමා, උපාධි, සහතික පත්‍ර පාඨමාලා හා පුහුණු වැඩසටහන් තිබුණ ද බොහෝ ඉංග්‍රීසි ගුරු භවතුන්ගේ බසෙහි ප්‍රවීණත්වය මඳ බව පෙනේ. එකල මෙන් නොව නූතන මානවක මානවිකාවන් දැන් අධ්‍යාපනය ලබන්නේ ම ඉතා ඉක්මනින් අදාළ සහතිකය ලබා රැකියාවක නිරත වීමට ය. ඉල්ලුමට සැපයුම මෙන් ප්‍රායෝගිකත්වයෙන් අඩු, විභාගය ම ඉලක්ක කොටගත් පාඨමාලා අද සුලබ ය. මෙකී පාඨමාලා තුළ ඇතැම් විට භාෂාමය පරිසරය හෝ සාධාරණ කාලයක් හෝ දැකිය නොහැක. පතපොත කියවීමෙන් තමන් උගෙනගත් විෂය කරුණුවල සත්‍යාසත්‍ය බව ද දැනුම හා අවබෝධය පුළුල් කර ගැනීම ද සිදු විය යුතු වුවත් වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ පත පොත කියවීමටවත් ඉඩක් සිසුන්ට නැති අතර ඒ පිළිබඳ හුරුවක් නැති ගුරුවරුන්ගෙන්ද ඊට පිළියමක් හෝ වැඩපිළිවෙළක් අපේක්ෂා කළ නොහැක. පාසල්වල කරන්නන් වාලේ හෝ චක්‍රලේඛ නිසාම, දඩිබිඩියේ සුදානම් කරන ඉංග්‍රීසි භාෂා දින හා තරග පැවැත්වේ. වර්ෂ ගණනාවක් තිස්සේ මේවා පැවැත්වුව ද නිසි ප්‍රමිතියක්, වැඩපිළිවෙළක් දැකිය නොහැක. කෙසේ හෝ වැඩසටහන් කිරීම අගය කළ යුතු අතර ඒ සඳහා විවිධ බාධක මැද කටයුතු කරනු ලබන අගය කළ යුතු ගුරුවරුන් ද සිටී.

මළ කෑ කඩු ප්‍රදර්ශනය

ඉංග්‍රීසි බසෙහි සැබෑ ප්‍රවීණයින් සමඟ එක් වී ජාත්‍යන්තර විශේෂඥ දැනුම ද එකතු කොට අමාත්‍යංශ මට්ටමින් නිවී සැනසිල්ලේ ස්ථිර වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් එය පින් රැස් කරගත හැකි කටයුත්තක් වනු ඇත. වර්ෂ ගණනාවක් මුළුල්ලේ අපේ නිලධාරීන් මහජන මුදල් වැය කර විදේශ සංචාරවල යෙදී ඉංග්‍රීසි බස ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් කෙතරම් නම් ආරම්භ කරන්නට ඇත් ද? විෂය මාලා, ගුරු අත්පොත් කොපමණ වෙනස්වන්නට ඇත් ද? මෙවැනි වැඩමුළු හා වැඩසටහන් කිසිවක් ගරු සේවා නොවන නිසා ම ලැබෙන දීමනාවලට ලොල් වන නුසුදුස්සන් ඊට රිංගා සුදුස්සන්ගේ ඉඩ අවුරමින් වැඩසටහනේ ඵලදායිතාවය අඩාල කරවයි. තම සේවා කාලයේ අසාර්ථක, විශ්‍රාමික නිලධාරීන් ද විශ්‍රාමයෙන් පසුව වුවද වැඩසටහන්, වැඩමුළුවලට කෙසේ හෝ රිංගා යල් පැනගිය ක්‍රමවේදම යළි යළි ඇද හෙළමින් සහභාගී වන්නන්ට අබ සරණ ගෙන දෙන්නේ ශාස්ත්‍රීය උනන්දුව නිසාද ආර්ථික උනන්දුව නිසාදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. අවාසනාව නම් මේ බව එකී නුසුදුස්සන්ට හා අදාළ බලධාරීන්ට නොවැටහීම ය. අතීතයේ සිටම මේ දක්වා පැවැත් වූ බොහෝ වැඩමුළු, වැඩසටහන්වලට අත් වූ ඉරණම මෙසේ ය. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ දොසා ලෙස මේ පිළිබඳ මනා අවබෝධයකින් සිතා බලා කටයුතු කරන නිසි බලධාරියෙකු හෝ බලවතෙකු මෙදියතෙහි පහළ වන තුරු අන්ත අසරණ වූ අපි බලා සිටිනු හැර වෙන කුමක් කරමු ද?

ඉංග්‍රීසි දන්නා අය නොදන්නා අය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මහත් උජාරුවකිනි. ඇතැම්හු කතා කරන විටදී ඉංග්‍රීසී ඌරුවට සිංහල ද හසුරවන්නේ තමන් උපතේ සිට දැන තිබූ සිංහල බස දැන් බැරි බව කියා පෑමට ය. සිංහල වචන අතරට ඉංග්‍රීසි වචන කීපයක් දමා ගෙන අඟවන්නේ තමාට ඉංග්‍රීසි හැකි බව ය. ඇතැම්හු රූපවාහිනි වැඩසටහන්වලදී තමන්ගේ නැති පාණ්ඩිත්වයක් පෙන්නීමට වැරදි ඉංග්‍රීසි වචනද ජනගත කර සැනසෙති. වැරැදි වචන ප්‍රසිද්ධ පුද්ගලයන් ජනගත කළ විට සාමාන්‍ය ජනයා ද ඒවා නිවැරැදි යයි දොහොත් මුදුණින් ගත හැකිය.

ඉංග්‍රීසි ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රම කෙසේ වෙතත් ඉංග්‍රීසි දැනුමවත් ප්‍රමාණවත් ලෙස තිබිය යුතුය. නිවැරැදිව වචන උච්චාරණය, නිවැරදිව ව්‍යාකරණ භාවිතය, නිවැරැදිව ලේඛන ලිවීම, පතපොත කියවීම වැනි දේ හොඳින් ප්‍රගුණ කිරීම ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කාර්යය සඵල කර ගැනීමට වැදගත් වන අතර ඉගැන්වීමේ ක්‍රම ශිල්පවල අවබෝධය ද ලැබුණු විට ගුරු කාර්යයට මහා දීප්තියක් ගෙන දේ. බොහෝ ඉංග්‍රීසි වචන නිවැරදිව උච්ඡාරණයෙහි ගුරුවරු, විෂය අධ්‍යක්ෂවරුද නොසමත් වී ඇත.

කඩු හරඹ කුසලතා

අන්තර්ජාලය නිවැරැදිව භාවිත කිරීමෙන්, නිවැරැදිව වචන උච්ඡාරණය, ව්‍යාකරණ රීති, ඉංග්‍රීසි යෙදුම් ආදී බොහෝ දේ තහවුරු කරගත හැකි අතර වත්මනෙහි පොත් කියවීමට වඩා මුහුණු පොතට කොටමින් අන්තර්ජාල ඕපාදූප රස විඳින ගුරු පරම්පරාව වැඩි වී ඇත. ගුරුවරු බස වැරදි ලෙස භාවිත කිරීමෙන් වැරදි දේ ජනගත වන අතර නිවැරැදි දේ යටපත් වේ. බස නිවැරැදිව භාවිත කරනු ලබන සිසුන්ව ඇතැම් විට ගුරුවරු හමුවේ දෝෂාරෝපනයන්ට ද උසුළු විසුළුවලට ද ලක්විය හැකිය.

බසකින් වැඩ ගැනීමටත් වෙසරද වීමටත් ඒ පිළිබඳ උනන්දුව, සතතාභ්‍යාසය, භාවිතය තිබිය යුතු අතර ඒ සඳහා මඟ පාදා ගත යුත්තේ අපම ය. භාෂා විද්‍යාගාර සේවාව හා අන්තර්ජාලය තුළින් චිත්‍රපට, ගීත හා දේශනවලට සවන් දීම කළ හැකි අතර ඒ තුළින් මනා පරිචයක් ලබා ගත හැක. හැකි සෑම විටම භාෂණයේ යෙදීම, හැකි මට්ටමින් වාද විවාදවල යෙදීම, විවිධ මාතෘකා යටතේ කතා කිරීම, කතාව හොඳින් ප්‍රගුණ කර ගැනීමට උදව් වේ. ආරම්භයේ දී සරළ මට්ටමින් විවිධ දේ ලිවීම තුළින් ලේඛන කුසලතාව ද ඇති කරගත හැකිය. සිසුන් තුළ ද ඉංග්‍රීසියට ඇති බිය ඉවත් කරවමින් ආශාව වැඩි කරවමින් හැකි තරමින් නිවැරදි ක්‍රම ඔස්සේ බස නැගීමට කටයුතු කරමු.

කථිකාචාර්ය දහම් බාලසූරිය
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය උණවටුන - ගාල්ල
nenasilu@gmail.com


සංවර්ධනය කියන්නේ තාර දැමීම නෙමෙයි

$
0
0
ජුනි 15, 2018 01:00
දුමින්ද සම්පත්
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

මූල්‍ය ආයතන කඩාවැටීම, රුපියලේ අගය පහළ බැසීම, බදු පනතට නැගෙන විවිධ විරෝධතා සහ බදු අඩුකරන්නට ඇතැම් වෘත්තිකයන් කරන බලපෑම් ජීවන වියදමේ තත්ත්වය, විගණන පනතේ අනාගතය ආදිය පිළිබඳ පැහැදිලි කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැති හමුවට එක්වේ.

* ඊ.ටී.අයි. වැටුණේ හොරකම් නිසා
* ආදායම් පනත භයානක කාටද?
* තවමත් බලන්නේ ඊ.ටී.අයි. නැගිටවන්න
* ඔසු මිල අඩු කිරීමත් සංවර්ධනයේ කොටසක්
* අපනයන නංවන්න තරගකාරි රුපියලක් ඕන
* වෙළෙඳ පොළ අගයට රුපියල ගෙනාවා

• ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවෙනවා. ඇත්තටම රටේ ආර්ථිකය අර්බුදයකද?

අය වැය පරතරය විශාල නම් ආර්ථිකය අස්ථාවර වෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අය වැය පරතරය 4.6 ක අපි පවත්වාගෙන ආවා. ඒත් අයහපත් කාලගුණය නිසා ඒක 5% දක්වා වැඩි වුණා. අපි ආයෙත් මේක 4.6% දක්වා ගේනවා. රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 12% ටත් වඩා අඩු මට්ටමකයි තිබුණේ. අපි මේ ප්‍රතිශතය 15% කළා.

• ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන එහෙම වුණත් අද හැම කෙනෙක්ම කියන්නෙ ජීවන බර වැඩිවෙලා කියලයි?

මහ බැංකු වාර්තාවලට අනුව උද්ධමනය පහළට ඇවිත්. කවුරු මොනව කිව්වත් විද්‍යාත්මක පදනම ගැන අපි හිතන්න ඕන. උද්දමනය පහළ ගියා කියන්නෙ බඩු මිල පහළ ගියා කියන එක. අපි ඇවිත් අවුරුදු තුනක් යනකම් ඉන්ධන මිල ඉතාම පහළ මට්ටමක තිබුණෙ. රුපියල් සිය ගණන්වල තිබුණු බටහිර ඖෂධ 48 ක මිල රුපියල් විසිගණන් දක්වා අඩු කළා. අක්ෂි කාච රජයේ රෝහල්වලින් නොමිලේ දෙනවා. පෞද්ගලික අංශයේ අක්ෂි කාච මිල පුදුම සහගත ලෙස අඩු කළා. ස්ටෙන්ට් එකක මිල රුපියල් ලක්ෂයකටත් වැඩියෙන් පහළ දැම්මා. පිළිකා රෝගීන්ට නොමි‍ෙල් ප්‍රතිකාර ලබාදීමේ සීමාව ඉවත් කළා. සංවර්ධනය කියන්නෙ පාරට තාර දාන එකම නොවෙයි. අපේ සංවර්ධනය මානව සම්පත සංවර්ධනයට අවශ්‍ය පහසුකම් දීම. එළවළු, පලතුරුවල මිල වෙනත් කාලවලට සාපේක්ෂව අඩුවෙලා තියෙනවා.

• ඔබ ඔය කියන සංඛ්‍යාලේඛන කොහොම වුණත්, රටේ ජනතාව පළාත් පාලන මැතිවරණයෙන් කිව්වෙ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය ජනතාවට දැනිලා නැහැ කියලා නේද?

ජනතාවගේ අපේක්ෂාවන් තිබුණා. ඒවා ආණ්ඩුව ඉටුකළේ නැහැ. ආර්ථිකය මැතිවරණ පරාජයට බලපෑවේ නැහැ. මහ බැංකු වාර්තාව අනුව රැකියා ලක්ෂ 4 කට වඩා ඇතිවෙලා තියෙනවා. ඒත් ජනතා අපේක්ෂාව වුණේ හැම කෙනෙකුටම ආණ්ඩුවේ රස්සාවක්. අපේක්ෂාව ඉටුවුණේ නැහැ. පුරවැසියන් හැටියට රජයේ සේවය ගැන කවුරුත් තෘප්තිමත් නැහැ. රජයේ සේවක සංඛ්‍යාව වැඩි කළොත් අපිට ඡන්දෙ දිනන්න පුළුවන්. අඩු ආදායම්ලාභී එක්සත් ජාතික පාක්ෂිකයෝ සමෘද්ධිය ඉල්ලුවා. ඒ බලාපොරොත්තුවත් ඉටුවුණේ නැහැ. හොරු අල්ලනව කිව්වා. ඒක ප්‍රමාද වුණා. මාධ්‍යවේදීන්ට ගහපු අය, මරපු අය, වැලිකඩ සිරකරුවෝ මරපු අය, තාජුඩීන් මරපු අයගෙ නඩු ප්‍රමාදයි. මේවා ඡන්ද ප්‍රතිඵලයට බලපෑවා.

• රාජ්‍ය නොවන මූල්‍ය ආයතන කඩා වැටීමකට ලක්වෙමින් තිබෙන බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

ඕක කලින් කලට වෙන දෙයක්. 2007, 2008 දී ආසියානු ආර්ථික අර්බුදයේදී ආසියාවේ ෆිනෑන්ස් සමාගම් කඩා වැටුණා. ඒ වෙලාවෙ අපේ සමාගම් කඩා වැටෙන්නෙ නැහැ කියලා කෘත්‍රීම මවාපෑමක් කළා. සෙලින්කෝ ආයතනය විතරක් බිල්ලට දුන්නා. එදා හිටපු රාජ්‍ය නායකයන්ගෙ පවුල්වල අයට සෙලින්කෝ එකේ මුදල් තිබුණා. ඒ අය ඒ මුදල් අරගත්තා. පුද්ගලික ආයතනයක සල්ලි දැම්ම අයට රටේ ජනතාවගේ බදු මුදල්වලින් වන්දි ගෙවන්න බැහැ. ඒක අපේ ප්‍රතිපත්තිය. අපි ආණ්ඩුවේ සල්ලිවල භාරකරුවා විතරයි. මේ මූල්‍ය ආයතනවල හොර බොරු වංචාවන් වෙලා තියෙනවා. ETI ආයතනයේ වංචා වෙලා තියෙනවා කියලා මහ බැංකුව කිව්වා. දැන් ආයෝජකයෙක් ඇවිත් තැන්පත්කරුවන්ගේ සල්ලි ටික ටික ගෙවනවා.

• මූල්‍ය සමාගම් ගැන මහ බැංකුව දීපු සහතිකය නිසා තමයි මිනිස්සු සල්ලි තැන්පත් කළේ. මහ බැංකුවට වගකීමක් තියෙනවා නේද මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න?

මහ බැංකුව සහතිකයක් දෙන්නෙ නැහැ. කියන්නෙ මේව අධීක්ෂණය කරනවා කියලයි. අවධානමක් නැතිව මුදල් තැන්පත් කරනවා නම් රාජ්‍ය බැඳුම්කරවල තැන්පත් කරන්න ඕන. ඒ ගැන සහතිකයක් රජයට දෙන්න පුළුවන්. පොළිය වැඩි නිසා මිනිස්සු බැංකුවල මුදල් තැන්පත් කරනවා. බැංකුවල අඩුපාඩු තියෙනකොට ඒවා හදාගන්න කියලා මහ බැංකුව උපදෙස් දෙනවා.

• මහ බැංකුව ඔය කියන උපදෙස් දීලා නැති හින්දද සමහර මුල්‍ය ආයතන කඩා වැටෙන්නෙ?

මහ බැංකුවට පුළුවන් කියන්න විතරයි. මහ බැංකුවෙ වෘත්තීයවේදීන් අධීක්ෂණය කරලා හරි තොරතුරු මුදල් මණ්ඩලයට දීලා තියෙනවා. එදා හිටපු මුදල් මණ්ඩලයේ ප්‍රධානියා, මහ බැංකු අධිපති එදා හිටපු මුදල් ඇමැති, මහින්ද රාජපක්ෂ ඒ දීපු තොරතුරු හැංගුවා. ක්‍රියාත්මක කළේ නැහැ. ඒ හින්ද තමයි අද මහ බැංකුවට නරක නාමයක් එන්නෙ. එදා ගත්තේ දේශපාලන තීන්දු අවංකව වැඩ කරපු මහ බැංකුවෙ නිලධාරින් වෙනුවෙන් මම පෙනී ඉන්නවා.

• එදා වෙච්ච ගනුදෙනු රටට හෙළිකරන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි?

මූල්‍ය ආයතනවල ප්‍රශ්නවලදී බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. මම මේ ‍ආයතනවල ප්‍රශ්න තිබෙනවා කියලා හෙට මිනිස්සු ඒ ආයතනවල සල්ලි ටික කට්ටිය අයින් කරගත්තොත් ඒ මූල්‍ය ආයතනය එදාම කඩා වැටෙනවා. එහෙම වුණාම කියයි ඇමැතිතුමා කරපු ප්‍රකාශය නිසා තමයි මූල්‍ය ආයතනය කඩා වැටුණෙ කියලා. ප්‍රශ්න තියෙනවා නම් අපි බොහොම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගන්න ඕන. සමහර මුල්‍ය ආයතන කඩා වැටෙන්නෙ එක්කො අයිතිකරුවන්ගෙ හොරකම්, නැත්නම් දේශපාලනඥයන්ගේ සබඳතා නිසා මූල්‍ය ආයතනවල හරි තීරණ නොගැනීම.

• මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන්නේ රටේ මිනිස්සු. එහෙනම් ආණ්ඩුවකට මීට වඩා වගකීමක් තියෙනවා නේද මූල්‍ය සමාගම් ගැන හොයලා බලන්න?

මගේ මුදල මම කොහෙද දාන්නෙ කියලා මම හිතන්න ඕනෙ නැද්ද? කවුරු හරි පත්තරේක විශාල පොළියක් දෙනවා කියලා දැන්වීමක් දාපු පළියට ඒවයෙ සල්ලි දාන එක හරිද? අවදානමක් නැත්තෙ රජයේ තැන්පතුවල. ඊට පස්සෙ රජයේ බැංකුවල. ඊළඟට පෞද්ගලික බැංකු. ෆිනෑන්ස් කොම්පැණිවල අවදානම වැඩියි. ගොඩක් ආයතනවලට මහ බැංකුවෙ ලියාපදිංචියවත් නැහැ. පිරමීඩවල සල්ලි දාන අය තාමත් ඉන්නවා. වැඩි පොළිය අවදානම වැඩියි.

• මේ මූල්‍ය ආයතන හිමිකරුවන් ගැන රජය කිසිදු පියවරක් අරගෙන නැහැ කියලත් චෝදනාවක් තියෙනවා?

සෙලින්කෝ එක ගැන තීන්දු අරගෙන තියෙනවා. මූල්‍ය ආයතනය කඩා වැටුණහම තීන්දු ගන්න පුළුවන්. අපි තවමත් බලන්නෙ මේ ආයතන කඩාගෙන වැටෙන්නෙ නැතුව අරගෙන යන්න පුළුවන්ද කියන එක. ඒ වෙනුවෙන් තමයි ආයෝජකයෝ ගේන්නේ.

• මේ ආයතන හිමිකරුවන්ගේ සැඟවුණු දේපළ හොයන්න ආණ්ඩුව උත්සාහ කරන්නෙ නැහැ කියලත් කියනවා?

ඒක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොරා හොරෙක් කියලවත් හොරකම් කරපුව කොහෙද තිබ්බෙ කියලවත් කියන්නෙ නැහැ. එදා ඇමැති මණ්ඩලයේ කීදෙනෙක් හොරකම් කළාද? හොයන්න පුළුවන්ද? මේවා හොයන්න ගොඩක් කල් යනවා.

• නිදහසෙන් පස්සෙ ශ්‍රී ලංකාවේ ඇති කළ භයානකම පනත 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත කියලයි කියන්නේ?

කාටද මේ පනත භයානක. සෘජු බදු තියෙනවා වක්‍ර බදු තියෙනවා. මේ රටේ සෘජු බදු තිබුණේ 18% යි. වක්‍ර බදු 82%. රුපියල් ලක්ෂ දෙක පඩිගන්න කෙනෙක් රුපියල් විසිදාහ පඩි ලබන කෙනෙක් කඩේට ගියාම බඩු මිල එකයි. හැමෝම වක්‍ර බදු ගෙවන්නෙ එක ගාණක්. දැන් කාටද මේ ක්‍රමයෙන් පාඩු. ඒ හින්ද තමයි මංගල සමරවීර මහත්තය කිව්වේ සෘජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරන්න ඕන කියලා. බදුවල එක මූලධර්මයක් තමයි සමාජ සාධාරණත්වය. මේවා ගැන වැඩියෙන්ම කෑගහන්නෙ සල්ලි තියෙන මිනිස්සු ඉස්සර බදු සහන දුන්නෙ දේශපාලන හේතුවලට. හිතවත් කම්වලට දැන් එහෙම සහන ලැබෙන්නෙ නැහැ. දේශපාලනඥයන්ට තීරණ ගන්න පුළුවන් පරාසය මේ පනතෙන් අඩුකළා. දේශපාලනඥයෝ තීරණ ගත්තොත් එතන දූෂණය වැඩියි. සමහරු මේකට කැමති නැහැ.

• අලුත් බදු ක්‍රමය ගැන කලාකරුවො ග්‍රන්ථ කතුවරු, නිෂ්පාදකයෝ කිසිවෙක් දන්නෙ නැහැ කියලත් කියනවා?

සමහර අයට ආවරණයක් දෙන්න ඕන. ග්‍රන්ථ කතුවරුන්ගෙ බදු අයින් කළා. එක එක ව්‍යාපාර තියෙන්නෙ විවිධ මට්ටම්වල. මේ හින්ද අපි ඒ අයට ආවරණයක් දුන්නා.

• ආණ්ඩුව බදු අයකරගන්න වැඩපිළිවෙළක් හැදුවම කවුරු හරි ඇවිත් ආණ්ඩුවට සත්තමක් දානවා එතකොට ඒ බදු අයින් කරනවද?

හැම ක්ෂේත්‍රයකම බදු අඩු කරන්නෙ නැහැ. සමබරතාවයක් තියෙන විදියට තමයි බදු අය කරන්නේ. ආණ්ඩුව සංවේදී වෙන්න ඕන. හැබැයි අපි එක එක්කෙනාට ඕන විදියට තීරණ අකුල ගන්න ආණ්ඩුවකුත් නොවෙයි. බදු ගෙවන හැමෝම අවංක වෙන්න ඕන. තමන්ට බදු ගෙවන්න පුළුවන්කම තියෙද්දි බදු නොගෙවනවා නම් ඒක වැරදියි. හැමෝටම හෘදසාක්ෂියක් තියෙන්න ඕන. මේ බදු ක්‍රමය සාධාරණද? නැද්ද? කියන එක මහජනතාව තීරණය කරයි.

• රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම, අව‍භාවිතය වැළැක්වීම, නාස්තිය පිටුදැකීම වෙනුවෙන් පොරොන්දු දීලා ආපු ආණ්ඩුවට තවමත් විගණන පනත් සම්මත කරගන්න බැරිවෙලා නේද?

මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. විගණන පනත කොහොම හරි මේ අවුරුද්දෙ අපි සම්මත කර ගන්නවා. විගණන පනත ප්‍රමාදයට හේතුව පාර්ලිමේන්තුවවත් දේශපාලනඥයන්වත් නෙවෙයි. රාජ්‍ය සේවයේ ඉන්නකොටත් මේකට තවත් යෝජනා එකතු කළා. මාසයකට පෙර පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න දිනත් දැම්මා. සංශෝධන ගැන තවත් සලකා බලන්න නීතිපතිට යොමු කළා.

• ආණ්ඩුවට තවත් වසර එකහමාරක වැනි කෙටි කාලයයි තියෙන්නෙ, පවතින දේශපාලන වාතාවරණය තුළ මේ වගේ පනතක් සම්මත කරගන්න පුළුවන්ද?

අපි ගොඩක් ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා. විගණන පනත අපි දීපු පොරොන්දුවක් ඒක ගැන සැක තියාගන්න එපා. අපි ඒක කරනවා. දරුවන් ලබන මවුවරුන්ට සීමාවකින් තොරව ප්‍රසූත නිවාඩු අනුමත කළා. වතුකරයේ කාන්තාවන්ටත් ඒ අයිතිය දුන්නා. වැඩකරන මවුවරුන්ට තමන්ගෙ දරුවට මවුකිරි දෙන්න පහසුකම් සැලසෙන ආකාරයේ නීති රීති අලුතින් ගෙනාවා. පාසල් යන දරුවකුට රුපියල් ලක්ෂ දෙකකට වඩා රක්ෂණ ආවරණයක් තියෙනවා. විශ්වවිද්‍යාල දරුවන්ට පරිගණක දුන්නා. අපි හැම වෙලාවෙම මානව සම්පත වෙනුවෙන් තමයි තීරණ ගන්නේ.

• රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණ වීම ලංකාවෙ ආර්ථිකයට බලපාන්නෙ කොහොමද?

අවප්‍රමාණය කියන වචන ඕකට සුදුසු වචනය නෙවෙයි. රුපියලේ අගය වෙළෙඳ පොළ අගයකට නියම කිරීම හරි වචනය. රුපියලේ අගය එක මට්ටමක තියාගෙන යන්නත් පුළුවන්. අපි කළේ වෙළෙඳ පො‍ළ අගයකට රුපියල ගෙන ඒම. එක මට්ටමක ගෙන ගියොත් එක පාර කඩා වැටෙන්න පුළුවන්. ඒක ගිය ආණ්ඩුව කාලෙ වුණා. එහෙම වුණාම ලොකු පසුබැසීම් ඇති වෙනවා. අපි ආණ්ඩුව භාරගන්නකොට දළ දේශීය නිෂ්පාදනයෙන් අපනයනය තිබුණෙ 14% කටත් අඩුවෙන්. අපේ අරමුණ අපනයනය වැඩි කරන්න. ඒකට තරගකාරී රුපියලක් තියෙන්න ඕන. මේක කරන්නෙ මෝඩ නිසාවත් පිස්සු නිසාවත් නෙවෙයි.

ඡායාරූපය - රොෂාන් පිටිපන

ගෝඨාභයට එරෙහිව පොහොට්ටුවෙන් නම් ‍තුනක්

$
0
0
ජුනි 15, 2018 01:00

* ඡන්දය දා ජනපති කළ දේ
* අගමැති පෞද්ගලික සංචාරයක
* දයාන් ගෝඨාභය අතහරී
* ශ්‍රීලනිපයට එරෙහිව පොහොට්ටුව තදින් සිටී

ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ ලේඛන දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උපහාර උලෙළ පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා. එයට සහභාගී වූ ජනාධිපතිතුමා කීවේ ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතා මේ යුගයේ දී ආඩම්බරයෙන් කතා කළ හැකි මහා ගත් කතුවරයෙක් බවයි. ඒ සමගම එතුමා ජනාධිපතිවරණය දා රෑ තමන් ගතකළ හැටි ගැනත් තොරතුරු හෙළිදරව් කළා.

තමන් හත් වතාවක් මැතිවරණවලට තරග කළත් එක වතාවක්වත් ඡන්දය ගණන් කරන තැනට නොගිය බවත් රෑ දහය දහයාමාර වනවිට නිදාගත් බවත් ජනාධිපතිතුමා කීවා. හත්වැනි වතාවට තරග කළේ ජනාධිපතිවරණයට බව කී ජනාධිපතිතුමා එදින රෑ කුරුණෑගල ප්‍රදේශයේ ගත කළ බවත් දහය දහයාමාර වනවිට නිදාගත් බවත් කීවා. එදින මහ රෑ තම බිරිය කතාකොට රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන බව කී බවත් තමා ඇ‍ඳේ සිටම එයට පිළිතුරු දුන් බවත් කී ජනාධිපතිතුමා ‘දිනුම් නේද’ යි වික්‍රමසිංහ මහතා ඇසූ බවත් දිනුම්දැයි තමා විමසූ බවත් පැවසුවා. ඔව් දිනුම් කොහෙද ඉන්නේ යැයි වික්‍රමසිංහ මහතා විමසූ විට තමා ඉන්නේ කුරුණෑගල බවත් උදේ පැ‍මිණෙන බවත් කියා නැවතත් නිදාගත් බව කීවේ බොහෝ දෙනා මවිතයට පත් කරමින්.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උලෙළටද ජනාධිපතිතුමා පසුගියදා සහභාගි වුණා. හරින් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියා.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට තමන් මෙවර පැමිණියේ දෙවන වතාවට බව කී ජනාධිපතිතුමා මීට පෙර අවස්ථාවේ පැමිණියේ 1976 දී බවත් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ලෙස එම අවස්ථාවේ පැමිණියේ තම වෘත්තිය සමිතියේ වාර්ෂික මහා සභාවට බවත් ප්‍රකාශ කළා. තම දිවියේ දී විවිධ රැකියා කිහිපයක් කළ බවත් පසුව දේශපාලන ක්‍රියාකාරිකයකු වූ බවත් ජනාධිපතිතුමා කීවා.

ජනාධිපතිතුමාගේ කතාවේ දී එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විභාග මෙන්ම ජීවිතය සමත් වූ මතු පරපුරක් රටට දායාද කිරීමට සියලු දෙනා වගකීම් ඉටු කළ යුතු බවයි.

උසස්පෙළ සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීම ගැන හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා නැවත මතුකළ යෝජනාව ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා කීවේ එම යෝජනාවට විරුද්ධ වුණේ තමන් බවයි. ලැප්ටොප් පරිගණකයට අධ්‍යාපනයට අවශ්‍ය දේ ඇතුළත්කොට අනවශ්‍ය දේ ලොක් කරදෙන බව නිලධාරින් තමන්ට කීවත් එම ලොක් ඇර ගැනීමට දැන් ඉන්න ළමයින්ට හැකියාව තිබෙන බව ජනාධිපතිතුමා කීවා. ජනාධිපතිතුමා කීවේ එලෙස වැරදි ලෙස භාවිත කිරීමට ඉඩ ඇති නිසා තමන් එම යෝජනාවට විරුද්ධ වූ බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා පසුගියදා එක් වුණා. හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාත් මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයාත් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ විදේශගත ශ්‍රමිකයන් යන්ත්‍ර සූත්‍ර, ගල් නොව මිනිසුන් බව සිතා කටයුතු කළ යුතු බවයි.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සහභාගී වුණා. එහි දී කතා කරමින් අගමැතිතුමා රටේ බදු බර හා ණය බර ගැන පැහැදිලි කළා.

රටේ ණය බර තුන් ගුණයකින් වැඩිකර රට විපතට ඇද දැමූ අයම දැන් ආණ්ඩු ගෙන යන්නේ කොහොමදැයි ඇසීම දෛවයේ සරදමක් බව අගමැතිතුමා එහි දී කීවා. කෙසේ හෝ ලෙඩා මැරෙන්න නො දී රැක ගත්තේ දැන් ලෙඩා භාරව සිටින වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ දක්ෂතාවය නිසා බව අගමැතිතුමා පෙන්වා දුන්නා. බරපතළ අර්බුදයකට මුහුණ දී තිබූ රටේ ආර්ථිකය මේවනවිට ගොඩගෙන ස්ථාවර තත්ත්වයට පත්කොට ඇති බව අගමැතිතුමා පැවසුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් කරමින් අගමැතිතුමා කීවේ බදු අඩු කරන හැටි ඔප්පු කර පෙන්වන්න යැයි තමා අභියෝග කරන බවයි.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඉඩකඩ ඇති නව ගොඩනැගිලි ඉදිකිරීමට වජිර අබේවර්ධන ඇමැතිතුමා ක්‍රියාකිරීම අගය කළ අගමැතිතුමා ගලේවෙලට එයින් කාර්යාලයක් ලබාගැනීමට ක්‍රියාකිරීම ගැන ජේ.සී.අලවතුවල නියෝජ්‍ය ඇමැතිතුමා පැසසුමට ලක් කළා. එමෙන්ම මාතලේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා වසන්ත අළුවිහාරේ ඇමැතිතුමා දක්වන උනන්දුව ගැනද සඳහන් කිරීමට අගමැතිතුමා අමතක කළේ නැහැ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා පසුගියදා පිටත්ව ගියා. කුවේටය, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කිහිපයක එම යුවල සංචාරයේ නිරත වනු ඇති.

මේ අතර අගමැතිතුමා ගලේවෙල දී කළ අභියෝගයට පිළිතුරක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත්කොට තිබුණා. ඒ මහතා කියා තිබුණේ යුද්ධය අවසන් කළ තමන්ට බදු අඩුකිරීම එතරම් බරපතළ කාර්යයක් නොවන බවයි. බදු අඩුකරන ආකාරයක් එහි සඳහන් වූයේ නැහැ. හැකියාවක් තිබුණා නම් තම පාලන කාලයේ බදු අඩු නොකර ඉතා ඉහළ බදු මට්ටමක් පවත්වාගෙන ගියේ ඇයිදැයි විචාරකයෝ විමසනවා.

සජිත් ‍ප්‍රේමදාස ඇමතිවරයා ඉකුත් සතියක කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, මාකඩුවාවෙ “සුබසෙන්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව තිබිය දී පිළිගැනීමේ ගීතය ගැයීම පවරා තිබුණේ කරඹේ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකටයි. විදුහලේ එකම සංගීත භාණ්ඩයක්වත් නොතිබුණත් චිත්‍රාංගනී සෝමරත්න සංගීත ගුරුතුමිය නොපැකිළව අභියෝගය භාර ගත්තා. ඒ වනවිටත් පාසලට සර්පිනාවක් මිල දී ගැනීමට සංගීත ගුරුතුමිය සහ ළමයි වෙනම වැඩපිළි‍ෙවළක් යොදා තිබුණා. අලුත් සර්පිනාවක් රුපියල් 50, 000/= පමණ වන නිසා වැඩේ පහසු වී තිබුණේ නෑ. විවෘත කිරීමේ උත්සවයේ පිළිගැනීමේ ගීතයට සජිත් බොහෝ කැමති වුණා. උත්සව සභාව පැවැත්වෙන අතර ගායන කණ්ඩායමේ ළමයින් සජිත් ළඟට ආවේ ඉල්ලීමක් ද ඇතිවයි. “සර් අපේ ඉස්කෝලෙ සංගීතය ඉගෙන ගන්න ළමයින්ට සර්පිනාවක් නෑ. අපි සර්පිනාවක් ගන්න ආධාර එකතු කරනවා. පොළක් දාලත් සල්ලි ටිකක් හොයා ගත්තා. ගෙවල් ගාණෙත් යනවා. අපේ මේ වැඩේට පුළුවන් නං උදව්වක් කරන්න” ළමයින්ගේ අසරණකම ගැන සජිත්ට ඇතිවූයේ මහත් කනගාටුවක්. “හරි... මම තව සති දෙකකින් අඹන්පොල “සිහනදගම” විවෘත කරන්න එනදාට ඔයගොල්ලන්ට අලුත්ම සර්පිනාවක් අරන් එන්නම්” සජිත් කියද් දී ළමෝ පුදුමයෙන් බලා සිටියා. පොරොන්දු වූ පරිදි ජූනි 10 වැනිදා “සිහනදගම” විවෘත කිරීමේ උත්සවයට සජිත් පැමිණියේ සිය ව්‍යාපාරික හිතවතකු ලබාදුන් අලුත්ම සර්පිනාවද සමඟයි. ඒ වනවිට රුපියල් දහස ගානේ එකතු කරමින් පිහිටුවූ සර්පිනා අරමුදල රුපියල් 30, 000/=ද ඉක්මවා තිබුණා. “දැන් ඒ සල්ලි යොදවලා ඔයගොල්ලන්ගේ කලා කටයුතු වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න” සජිත් කීවා. මේ කතාබහ අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ලියූ “දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ...” ගීතය කරඹේ මහා විද්‍යාලයේ ආර්. තිනේෂා කාවින්දි සිසුවිය ගායනා කරද් දී සියල්ලෝම හැඟුම්බර වුණා.

සෙනසුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන සමඟ ගලේවෙල ගියේ රුපියල් ලක්ෂ 940ක වියදමින් ඉදිකරන ලද තෙමහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්විමටයි.

ගලේවෙල ප්‍රා‌දේශීය ලේකම් කාර්යාලය විවෘත කළ අගමැතිවරයා කොළඹ බලා පිටත්වුව ද අනෙක් මැති ඇමැතිවරුන්ට කොළඹ ඒමට හැකිවූයේ නැහැ.ඇමැති වජිර එතැනින් පිටත්ව කෙලින්ම ගියේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලෙක්ම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට.ඒ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 465ක වියදමින් ඉදිකරණ ලද්දක්. ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතවුල මහතාත් වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාත් මේ අවස්ථාවට ඒක්ව සිටියා. ඉබ්බාගමුව කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඇමැති වජිර කීවේ ඉතා වැදගත් රාජකාරියක් සඳහා තමන්ට කොළඹ යා යුතු බවයි.

''නෑ. ඔබතුමාට එහෙම බේරිලා යන්න දෙන්න බැහැ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉදිකරපු නිල සෙවණ කාර්යාල විවෘත කරන්නත් තියෙනවා. අපිත් එක්ක ඒවාටත් යන්න ඕනෑ."එස්.බී. නාවින්න ඒසේ කියද්දී අලවතුවල නියෝජ්‍ය අමාත්‍යවරයා ද වජිර ඇමතිවරයාට තම ගමට ආ පසු ඒසේ යාමට ඉඩ දිය නොහැකි බව කීවා. අවසානයේ තම දේශපාලන සඟයන්ගේ පෙරැත්තය නිසා රෑ බෝවන තුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල විවෘත කිරීම් සඳහා සහභාගීවීමට අබේවර්ධන ඇමතිවරයාට සිදුවුණා.

සඳුදා ඇමැති වජිර ගත කළේ ගාල්ලේ. හික්කඩුව හා ගෝනාපීනුවල ගංවතුරින් අවතැන්වූවන් සඳහා වන්දි මුදල් වශයෙන් ලක්ෂ 41ක චෙක්පත් ප්‍රදානය කළ ඇමතිවරයා සවස යක්කලමුල්ලේ දී ගංවතුරින් අවතැන් වූ 525 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 120ට වැඩි මුදලක චෙක්පත් ප්‍රදානය කිරීමට ඒක්ව සිටියා.

මේ අතර ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන යුකියෝ හතොයාමා මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ සවස 5.00ට ඇමැති වජිර ඔහු පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළට යා යුතුව තිබුණ ද චෙක්පත් බෙදීමේ කටයුත්ත සඳහා පැමිණීමට නියමිතව සිටි බන්දුලලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමාදවීම ගැටලුවක් වුණා. අවසානයේ බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා යක්කලමුල්ල ආසන්නයට පැමිණෙද් දී චෙක්පත් බෙදීම අතරමග නවතා ඇමැති වජිර ජපානයේ හිටපු අගමැතිවරයා පිළිගැනීම සඳහා කටුනායකට ගියේ ඔහුට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීමේ අරමුණින්.

ජපානයේ හිටපු අගමැතිවරයා වෙනුවෙන් ඇමැති වජිරගේ නිවසේ බදාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර ඒ සඳහා මැති ඇමැතිවරු විශාල පිරිසක් ද ඒක්ව සිටියා. හතොයාමා මහතා ආහාර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ වැඩිම අවධානයක් යොමුවූයේ එතැන පිළියෙළ කරමින් තිබූ ආප්ප ගැන. ඔහු එතැනට ගොස් ආප්ප සාදමින් සිටි තැනැත්තාගෙන් ආප්ප සාදන ආකාරය පවා අසා දැනගත්තේ ආප්පවල රස බලමින්.

ඉතා සුහදශීලී රාත්‍රී භෝජන සංග්‍රහයේ දී හිටපු අගමැතිවරයාත්, වජිර අබේවර්ධන, තිලක් මාරපන, විජේදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරුත් අනෙකුත් අමුත්තන් සියලු දෙනාත් ඇති තරම් විනෝද වූයේ ගීත රැසක රසාස්වාදයත් ලබමින්

ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සංශෝධනය පිළිබඳ විවිධ මත පළවෙමින් තිබෙනවා.මේ හේතුව නිසා ජවිපෙ නායකයින් මේ දිනවල විද්වත් පිරිස් සමඟ සංශෝධනය පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටිනවා. පසුගියදා 20 පිළිබඳ තිබූ එවැනි සාකච්ඡාවකදි නීතිඥවරයෙක් විජිත හේරත්ගෙන් මෙවැනි කරුනක් ගැන විමසා සිටියා”මන්ත්‍රීතුමා මොකක්ද මේ රනිල්ගේ වුවමනාවට මේ සංශේධනය ගෙනාවා කියන්නේ. මාසයක් රනිල්ට බලය ලැබෙනවා කියලත් කතාවක් යනවා.” නීතිඥයා විමසුවා.

”අපි යෝජනාව දැම්මට පස්සේ ඊට කලින් මවපු බිල්ලෝ මවන්න සමහර ඔඩොක්කු කුක්කන්ට බැහැ. ඒ නිසා දැන් පරණ පුරුද්දට රනිල් පටලවා ගන්නවා. විස්ස ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පස්සේ. විස්ස ක්‍රියාත්මක වීමත් සමඟ 2020 පෙබරවාරි මාසේ 08 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා අපි යෝජනා කරනවා. නමුත් දැන් තියෙන ආණ්ඩුව 2020 සැප්තැම්බර් වෙනකල් තියෙනවා. විස්ස නිසා 2020 පෙබරවාරි පාර්ලිමේන්තුව විසුරුවනවා. ඇත්තටම වෙන්නේ මාස 7ක් කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි. ඒක රනිල්ට පාඩුයි. එතකොට කියනවා රනිල්ට ජනවාරි සිට පෙබරවාරි දක්වා මාසයක බලයක් යනවලූ. මාසයකින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යෝජනා කරන්නේ රටේ අස්ථාවරත්වයක් ඇතිවෙයි කියලා. නමුත් කවුරු හරි යෝජනා කරනවානම් 2020 ජනවාරි 09වෙනිදම විසුරුවා හරින්න කියලා අපි ඒකටත් කැමතියි.” විජිත හේරත් කීවා.

”එතකොට මන්ත්‍රීතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයට සහ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මොකද වෙන්නේ.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විමසුවා. ”මූලික වශයෙන් අපි පුද්ගල සාධක ගැන හිතලා සංශෝධනය හැදුවේ නැහැ. නමුත් මේකෙන් මෛත්‍රී ජනාධිපතිතුමාට වාසියක් තියෙනවා කියලා තර්කයක් හදන්න පුළුවන්. විස්ස ක්‍රියාත්මක වෙලා ඊළඟ පාර්ලිමේන්තුව මගින් ජනාධිපති පත්වෙනකල් මෛත්‍රීට විස්සේ ප්‍රතිපාදන අනුව ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. නැත්නම් මෛත්‍රී 2020 ජනවාරි 09වෙනිදා ගෙදර යන්න ඕනෑ. ඒ නිසා කවුරු හරි කියනවානම් මේක මෛත්‍රීගේ වුවමනාවට කරනවා කියලා ඒකට තර්කයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් බැලූවොත් දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහින්දට රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. මොකද රටේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් ජනාධිපති නිසා. නමුත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලත්'.

”එතකොට මන්ත්‍රීතුමා මේක සම්මත කර ගන්නේ කොහොමද? පළමු වටයේ මේ සංශෝධනයට 2/3ක් ඕනෑ. ඒ කියන්නේ මන්ත්‍රීවරු 150ක්” සාකච්ඡාවට සම්බන්ධ වූ ස්වාමින්වහන්සේ නමක් විමසා සිටියා. ඊට පිළිතුරු දුන්නේ අනුර දිසානායක මන්ත්‍රීවරයාය. ”අපිට ඉන්නේ මන්ත්‍රීවරු 06යි. අපිට අභියෝගයක් තියෙනවා. අපිට 2001 මන්ත්‍රීවරු හිටියේ 10යි. ඒ වෙලාවේ 17වැනි සංශෝධනය සම්මත කරගත්තා. එදා මන්ත්‍රීවරු 223ක් 17ට එකඟ වුණා. මොකද? එදා පාර්ලිමේන්තුවේ වෙනත් අරාජික තත්ත්වයක් තිබුණා. ඒක අපි ප්‍රයෝජනයට ගත්තා. අද පාර්ලිමේන්තුවේ සංයුතිය කොහොමද? එජාපයේ 106යි. මහින්දගෙ 54යි. ටීඑන්ඒ 16යි. මෛත්‍රීගේ 23යි. දොරකඩ 16යි. දේවානන්ද ළඟ 01යි. මේ තත්ත්වය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මොකද ආණ්ඩුවට 2/3ක් තිබුණ වෙලාවේ සම්මත කරගත්ත සංශෝධන ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒවා. නමුත් 17 සහ 19 පමණයි ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර වුණේ. ඒවා සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ පොදු සම්මුතියෙන්. අදත් පාර්ලිමේන්තුවේ තිබෙන සංයුතිය හොඳයි. මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟයි. මෛත්‍රීපාල සිරිසේන අවස්ථා ගණනාවක දී ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟවෙලා තිබෙනවා. මේ තිදෙනාම අහෝසි කරන්න එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා අපිට යම් විභවයක් තිබෙනවා විස්ස සම්මත කර ගැනීමට. ඒ වගේම වෙල්ගම, බන්දුල, ප්‍රසන්න රණතුංග, වාසුදේව වගේ ඒකාබද්ධයේ පිරිස් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවයේ ඉන්නවා.” අනුර දිසානායක පැහැදිලි කළා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්ද විමසීමේ දී ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රීලනිප 16 කණ්ඩාය‍ම් අතර ඇති වූ බෙදීම් පසුගිය දිනවල වැඩි වැඩියෙන් ප්‍රකාශ වන්නට වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කීවේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමේ හැකියාවක් නැති බව හා ආණ්ඩුවෙන් එන අය තම පක්ෂයට එකතු විය යුතු බවයි. එමෙන්ම ශ්‍රීලනිපයේ පිරිස සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කෝපයද සාධාරණ බව ජී. එල්. පීරිස් මහතා කියා තිබුණා.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍යයට කීවේ ඒකාබද්ධ විපක්ෂයේ භේද කිරීමට ආණ්ඩුව විවිධ පිල්ලි එවනබවයි. ඒවායින් පරිස්සම් විය යුතු බව ඒ මහතා කියා තිබුණා.

එක්සත් සමාජවාදී පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා කීවේ තම පක්ෂය ඇතුළු කුඩා පක්ෂ ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පා පුවරුවේ බවයි. ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් නැති බවත් එවැන්නක් ඉක්මනින් ගොඩනැගිය යුතු බවත් නානායක්කාර මහතා කීවා. වාසුදේව, දිනේෂ්, ගම්මන්පිල, විමල් ආදීන් සිටින්නේ ශ්‍රීලනිපයෙන් එන පිරිසක් හවුල් කරගෙන ආණ්ඩු විරෝධී පෙරමුණක් ගොඩනැගිය යුතුය යන මතයෙහි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ බහුතරය ශ්‍රීලනිප කණ්ඩායම භාරගැනීමට සූදානමක් නැහැ.

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ලංකාවේ තම සේවා කාලය අවසන් කොට ආපසු යාමට පෙර සුහද හමුවීමක් ලෙස කෙෂාප් මහතා මේ අවස්ථාව යොදාගෙන තිබෙනවා. එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ අදහස ගැනද තානාපතිතුමා කරුණු දක්වා තිබෙනවා. අතුල් කෙෂාප් මහතා මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ තම තානාපති කාර්යාලය මගින් කළ සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ සාමාන්‍ය ජනයා අතර ගෝඨාභය බරපතළ ලෙස අප්‍රසාදයට පත්ව සිටින බවයි. රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ගනුදෙනුවල දී ගෝඨාභයගේ හැසිරීමද තානාපතිවරයාගේ විවේචනයට ලක්වුණා. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් අඟහරුවාදා පැවත්වුණා. ඉන්පසුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ උදය ගම්මන්පිල මහතා කීවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් හතරක් යෝජනා වූ බවයි. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ නම් ඒ සඳහා යෝජනා වී ඇති බව ඒ මහතා කීවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ මහින්ද පිලේ අපේක්ෂකයා ලෙස කරළියට ගෙන එන්නට විශාල මෙහෙයක් කරමින් සිටි ආචාර්ය දයාන් ජයතිලක මහතා වෙනත් අතක් බලාගැනීමට තීරණය කර ඇති බව පසුගිය දිනවල දැනගන්න ලැබුණා. සති අන්ත පුවත්පතකට ඒ මහතා ප්‍රකාශකොට තිබු‍ෙණ් ගෝඨා යන්නේ වැරදි මගක බවත් ඔහු සමඟ එක්වී සිටින්නේ යුදවාදී හා ජාතිවාදී පිරිසක් බවයි. ඒ සමගම වාර්තා වුණේ දයාන් ජයතිලක මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කොට ඇති බවයි. දයාන් ජයතිලක මහතා ගෝඨා අතහැර වෙනත් මගක් තෝරාගෙන ඇති බව මෙම වාර්තාවලින් පැහැදිලි වුණා.

දිනමිණ සටනින් අපෝන්සු දිනුම්

$
0
0
ජුනි 15, 2018 01:00
උදිත ගුණවර්ධන

ජනමාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍යවේදියාද ජනතා යහපත සහ සුබසිද්ධිය වෙනුවෙන් කැප වූවකු ලෙස පොදු හැඳින්වීමක් තිබුණද එම හැඳින්වීමට සාධාරණ අර්ථයක් ලබා දීමට බොහෝ අවස්ථාවල ඉඩ ලැබෙන්නේද යන්න විමසා බැලිය යුතුය. සමාජයේ පොදු යහපත උදාකිරීම මෙන්ම සරණ ලැබිය යුතු අයට සරණ සැලසීමද මාධ්‍ය ආයතනයක පොදු වගකීමකි. එවැනි සමාජ සද්කාර්යයක් සාර්ථකව ඉටු කිරීමට පුළුවන් වීම මාධ්‍යවේදියකුට මෙන්ම මාධ්‍ය ආයතනයකට විශාල ආත්ම තෘප්තියක් සහ සතුටක් ලබා ගත හැකි අවස්ථාවකි. එවැනි ආත්ම තෘප්තියක් අපටද පසුගිය දිනෙක අත්විඳීමට හැකියාව ලැබුණි. ඒ සද්කාර්ය සඳහා මුලින්ම අපට මග කියා දුන්නේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ පිටු සැළසුම් ශිල්පියකු ලෙස කටයුතු කළ පාලිත තේනුවර මහතාය. රත්මලාන වෙරළ තීරයේ නව යොවුන් දියණිය සහ වයස් ගත නැන්දණිය සමග අවුරුදු පහක් තිස්සේ කුඩාරම් ජීවිතයක් ගත කළ රොහාන් අපෝන්සු මහතා පිළිබඳවය.

රොහාන් වෘත්තියෙන් පුවත්පත් ඒජන්සියක පුවත්පත් අලෙවිකරුවකි.ඔහුට තිබූ ස්ථිර නිවෙස අහිමි වී තිබුණේ වාර දෙකකදීය.පළමුව 2004 සුනාමියෙන් අර්ධ වශයෙන් හානි වන නිවස 2011 වාරකං කාලයේදී මහ මුහුදට සම්පුර්ණයෙන් සේදි ගියේ රොහාන්ගේ පවුලට වෙරළ තීරයේ හුදෙකලාව පමණක් ඉතිරි කරමිනි.

එතැන් සිට රොහාන්ට නිවහන වන්නේ තිදෙනාට එකවර හැරීමටවත් බැරි තරමේ කුඩා කූඩාරමකි. එයද මුහුදේ ලවණ මිශ්‍ර සුළං නිසා ඉතාමත් ඉක්මනින් අබලන් වූ අතර පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ රොහාන්ගේ දුක බලා විශේෂාංග ලිපියක් සම්පාදන කරන අරමුණෙන් එහි යද්දි තිබුණේ කැඩී බිඳී ගොස් පැලැස්තර දැමු කුඩාරමකි. වැසිබර දිනයක් වු එදා රොහාන් මහතා ක්‍රිෂ්ණි දියණිය සහ නැන්දණිය සිටියේ මඩ සහ වතුර මිශ්‍ර වූ පොළොවේ වැතිරී ගෙනය. ක්‍රිෂ්ණී දියණියගේ පෙළපොත් සහ සටහන් පොත් පවා ආවරණය කර ගෙ තිබුණේ ඉටි කොලවලින් වසාය.

මේ ගැන අගෝස්තු හතරවනදා දිනමිණ තරු ලකුණ අතිරේකයේ ලිපියක් පළ කළ අතර එතැන් සිට බලධාරීන්ගේ කෙමෙන් මේ ගැන අවධානය යොමු වූ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයන්ද මේ ගැන සොයා බැලූහ. එහෙත් එම අවධානය ලිපියකට පමණක් සීමා වු අතර රොහාන්ගේ මානුෂීය ගැටලුව නිලධාරීන් සහ බලධාරීන් අතර තොරොම්බල් වන ආකාරයක් දක්නට ලැබුණි.

ඉන්පසු නැවතත් 2017 වසරේම ඔක්තෝබර් පස්වනදා දිනමිණ “රාජ්‍ය සේවය පිණිසයි“ විශේෂාංගයේද මේ අවනඩුව ගැන විස්තරාත්මක සටහනක් පළකළ අතර සෙසු විදයුත් මාධ්‍ය සහ ඉහළ පෙළේ බලධාරීන් මෙය ප්‍රශ්නයක් ලෙස දකින්නේ එතැන් සිටය. ඉන් දින කිහිපයකට පසු මේ ගැන විශේෂයෙන් සලකා බලන නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා තම විශේෂ නියෝජිතයකු හරහා රොහාන් මහතා සම්බන්ධ කර ගනී. නාගරික සංවර්ධන ජනාවාස අධිකාරිය ද මේ තත්ත්වය තුළ නිසි මැදිහත් විම් සිදු කරන අතර එහි සභාපති රංජිත් ශාන්ත කහවල මහතාට රොහාන්ගේ කාර්ය කඩිනමින් ඉටුකරන ලෙස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා උපදෙස් ලබා දෙයි. ඇමැතිවරයාගේ උපදෙස් මත උපරිම ලෙස මේ කාර්යයට කැප වුවද විවිධ ප්‍රමාදයන්ද සිදුවිය. මේ නිසා දිනමිණ “ රාජ්‍ය සේවය පිණිසයි“ අවස්ථා කිහිපයකදිම මේ ගැන නැවත සිහිපත් කිරී‍්ම් කිහිපයක් සිදුකළ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ පසුගිය හත්වන දින රොහාන් අපෝන්සු මහතා වෙත අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකිර්ණයෙන් අංග සම්පුර්ණ නිවෙසක් හිමි වීමය.

එදා දුක් කඳුළු වැගිරූ රොහාන් අපොන්සු මහතා අදත් කඳුළු වගුරුවයි. අද රොහාන් ගේ නෙතින් ගලා යන්නේ සතුටු කඳුළුය.

“මට මේ ගේ හම්බ වුණේ දිනමිණ හින්දා.. ඔහුට දිනමිණ ගැන ඇත්තේ විශාල ගරුත්වයක් සහ ආදරයකි.

රොහාන්ට කීමට පුළුවන් වන්නේ වචන කිහිපයකි නැවත ඔහුගේ නෙතින් ගලා යන්නේ සතුටු කඳුළු ගලයි.

“මට මැරුණත් කමක් නැහැ දැන් දරුවට ඉහට හෙවණක් ලැබුණනේ

“ අවුරුදු පහක් අපි ගෙව්වෙ පවක් නැතිනම් පෙර අකුසලයක් වෙන්න ඇති..මම කතෝලිකයකු වුණත් බුදුදහම ගැනත් කැමැත්තක් වගේම අවබෝධයක් තියෙනවා..ඒ හින්දයි මම කියන්නේ අපිට පෙර ආත්මයක කළ පාපයක් ඵල දීලා මේ විදිහට දුක් වින්ද කියලා හිතන්නේ..

සජිත් ප්‍රේමදාස මහතාට ස්තුතිය පළ කළ යුතුමයි..මේ අවනඩුව අවුරුදු ගාණක් කලින් සිටි ඇමැතිවරුන්ටත් දැන්වුවා ඒත් කිසිම අවධානයක් යොමු වුණේ නැහැ. සජිත් ඇමැතිතුමා ට ස්තුතියි. ඒ වගේම රංජිත් ශාන්ත කහවල සභාපතිතුමාටත් ස්තුතිය පළ කළ යුතුයි. තමන්ට වූ දුකක් වගේ මේ දේට මැදිහත් වීම ගැන..

රජයේ මහල් නිවාස සංකිර්ණ ලෙස සඳහන් වු විට අපගේ සිතේ ඇඳෙන රුපය වන්නේ වර්ග අඩි හාරසියයක පමණ කුඩා ඉඩක් ඇති නිවාසයකි. එහෙත් රොහාන්ට ලැබී ඇත්තේ කාමර දෙකක් සාලයක් යාබද නාන කාමර සහ මුළුතැන්ගෙය සහිත නිවසකි. ඇත්තෙන්ම එය ඉඩකඩ සහිත නිවෙසකි.

“ මට ගමෙන්ම ගෙයක් ලැබුණ එක ලොකු දෙයක්. දුරක ලැබුණනම් ජීවිතය මුල ඉඳන්ම ගොඩ නගන්න වෙනවානේ.

මොරටුව වෙල්ස් කුමරි විදුහලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන රොහාන්ගේ දියණිය ක්‍රිෂ්ණි අපෝන්සුටද නව නිවෙසේ සිට පාසලට ඇත්තේ බස් රථයෙන් රුපියල් දොළහක දුරක් පමණි.

රොහාන්ට නව නිවෙස ලබා ගැනීමේදි මුලිකව රුපියල් පනස්දහසක මුලික මුදලක් ගෙවිය යුතුව තිබණි. අඩු වැටුපක් සහිත රැකියාවකින් දියණියගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සෙසු වියදම්ද කරන රොහාන්ට රුපියල් පනස්දහස විශාල බරපැනකි.“ මට මේ මුදල අතින් ගෙවන්න වුණා නම් නිවස ගන්න ලැබෙන්නෙ නැහැ..ගමේ අය දෙවිවරු වගේ පිහිටට ආවා.

“ලොකු පුංචි බේදයක් නැතිව හැමෝම රුපියල් දාහ දෙදාහ පන්දාහ දුන්න..ඒ නිසා මට මේ ගෙදරට ආරම්භක ගෙවීම වගේම සුළු අලුත්වැඩියා කිරීමටත් පුළුවන්කම ලැබුණා..

“ඇත්තෙන්ම මේ ගමේ අය නිසා තමයි අපි අවුරුදු පහක් යහතින් ජීවත් වුණේ..අන්තිමට ඉතිරි වෙලා තිබුණ ගෘහ භාණ්ඩ ටික ගෙනාපු ලොරියේ රියැදුරු මහතා පවා මගෙන් හයර් එක ගත්තෙ නැහැ.

“මම මෙච්චර කල් මාධ්‍යට මෙතරම් ප්‍රබල වැඩක් කරන්න පුළුවන් කියලා හිතුවෙ නැහැ..

“අපි නිතරම දකින්නෙ ව්‍යාපාරික අරමුණු පස්සෙ යන දේශපාලන අරමුණු පස්සෙ යන මාධ්‍ය ඒත් දිනමිණ පුවත්පත සහ ලේක්හවුස් ආයතනය ඒ අරමුණ දෙවන තැනට දමා මහජනතාව වෙනුවෙන් වැඩ කිරිම ගැන විශාල සතුටක් තියෙනවා..මම පින් දෙනවා දිනමිණට සහ ලේක්හවුස් ආයතනයට මේ වගේ සද්කාර්යයන් දිගටම කරන්න පුළුවන්කම ලැබේවා කියලා..

රොහාන් මේ අවදිකර ඇත්තේ ඔහුගේ හදවතින් නැගෙන සැබෑ අදහස්ය. ඔහු කියන ආකාරයට ආකාලයේ සැඟව යාමට නියමිතව තිබු ක්‍රිෂ්ණි දියණිය ගේ ජීවිතයටද අද අළුත් ආලෝකයක් ලැබී තිබේ.

“ මම කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙනවා“ ක්‍රිෂ්ණි තම අරමුණු සහ බලාපොරොත්තු අප සමග කියන්නේ මුවේ බලාපොරොත්තුවේ සිනහවක්ද සමගය.

අප රොහාන්ගෙ නව නිවෙසට ගියා දා ක්‍රිෂ්ණි සිටියේ නව නිවෙස අලංකාර කරමින් සහ අවුල් වු තැන් නිරවුල් කරමිනි. ඇයට නව නිවෙස නව බලාපොරොත්තු සහ අනාගතයක සුබ සිහින එක්කර තිබේ. එදා වික්ෂිප්ත මුහුණෙන් සිටි ක්‍රිෂ්ණි අද නව සිනහ මත සැහැල්ලුව පතුරුවන්නීය. දින කිහිපයක් යන්නටත් මත්තෙන් රොහාන් සහ දියණිය අසල්වැසියන් සමග සුහඳ සහ දැඩි සබඳතා ගොඩ නගා ගෙන සිටිති. මහ මුහුද අරන් ගිය රොහාන්ලාගේ , ක්‍රිෂ්ණිලාගෙ සතුට යළිත් ඔවුන් වෙත සමීප වෙමින් තිබේ. ඒ ගැන අපටද ඇත්තේ අවංක සතුටකි. රොහාන්ලාගේ පමණක් නොව මෙවැනි අඳුරු ඉරණම්වලට මුහුණ දුන් තවත් අයගේ ප්‍රශ්නවලට මැදහත්ව මාධ්‍ය ආයතනයක ප්‍රමුඛ යුතුකම හැකි උපරිම ආකාරයෙන් ඉටු කිරීම අපගේ අපේක්ෂාවය. අප පෙන්වා දුන් කරුණු ගැන සොයා බලා මැදහත් වු සියලු බලධාරීන්ට අපද ස්තුතිය පළ කරමු.

ඡායාරූප සිරිපාල හල්වල

රජ රටට වතුරත් ජීවිතයත් එකට

$
0
0
ජුනි 15, 2018 01:00

මේ ව්‍යාපෘතිය යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මඟින් වැව් 1200ක්ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වැව් 303 ක්ද, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 32ක් ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශයේ වැව් 16ක් ද වශයෙන් ලොකු කුඩා වැව් 1551 ක් පෝෂිත වේ.

ජලය මිනිසා ඇතුළු සියලු සත්ත්වයන්ගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. එමෙන්ම සොබාදහමට ජීවය සපයන්නේද ජලයෙනි. අහසින් වැටෙන ජලබිඳ සත්ත්වයාගේ හා පරිසරයේ පැවැත්ම සුරක්ෂිත කළ ආකාරය අතීත රජ දරුවන්ගේ ක්‍රියා කලාප අධ්‍යයනය කිරීමෙන් සාක්ෂාත් කරගත හැකිවේ.

ක්‍රිස්තු වරෂ 67 දී වසභ රජ සමයෙන් ඇරඹි ජල සුරක්ෂිත වැඩපිළිවෙළ ලෙස අඹන්ගඟ හරස් කරමින් ඇළහැර අමුණ ඉදි කළ අතර ඇළහැර - මින්නේරිය යෝධ ඇළ ක්‍රියාත්මක කරවා ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ජනතාවට පානීය හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජල පහසුකම් ලබා දුනි. පසු කලෙක මහසෙන් හා 11 වන අග්බෝ රජුගේ දායකත්වයෙන් තවදුරටත් සංවර්ධනය වුණි. එම ජල සංවර්ධන ව්‍යාපෘතිය මඟින් එදා සිට අද දක්වාම එම ප්‍රදේශයන්හි ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමට එදවස ආරම්භ වූ ජල ව්‍යාපෘති මහත්සේ ප්‍රයෝජනවත් වී ඇත.

වරින් වර අකර්මණ්‍ය වූ සහ සක්‍රීය වූ එම ව්‍යාපෘති එම ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්තයේ නියැළී සිටින ජනතාවට වරෙක වාසනාව ද තවත් වරෙක අවාසනාවද ගෙන දුනි.

කෘෂි කර්මාන්තයේ දියුණුව රටකට කොතරම් වැදගත් ද යන්න මැනවින් වටහාගත් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගන්නා ලද උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස 2007 ජනවාරි 25 වන දින මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි විය. එදා පටන්ගත් ඒ මහා සංවර්ධන ව්‍යාපෘතිය නිසි කලට නිම වූයේ නම්, වියළි කලාපීය බහුතර ජනතාව මුහුණදුන් ජල ගැටලුවට තිරසාර විසඳුමක් 2013 වනවිට ලැබෙනු ඇත.

නොයෙකුත් බාධක හමුවේ පැවති මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට නව ජීවය ලැබෙමින් කඩිනම් සංවර්ධනය ක්‍රියාත්මක වූයේ එහි නිර්මාතෘ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 ජනපතිධුරයට පත්වීමත් සමඟය. එතුමාගේ ජීවිත කාලයේදී ඉටුකළ යුතු මහා භාරදුර කාර්යයක් සේ සැලකූ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය මඟින් ඉදි වූ මොරගහකන්ද ජලාශයේ ජලය ගබඩා කිරීමේ කටයුතු 2017 – 01 – 11 වන දින ආරම්භ වූ අතර 2018 – 02 – 08 දින වන විට එහි උපරිම ජල මට්ටම ගබඩාකර මතු පරපුර වෙනුවෙන් දායාද කරන ලදී.

කාලාන්තරයක් පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලා ගිය ඝන මීටර් දසලක්ෂ 818 ක ජලස්කන්ධය පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චිදූව, මහ කනදරාවැව ආදී ජලාශ මෙන්ම එයින් පෝෂණය වන ලොකු කුඩා වැව් සිය දහස් ගණනකට තිරසාරව ජලය සැපයීමට හැකි විය. එමෙන්ම සංවර්ධනය කෙරෙන මැදිරිගිරිය නව සංවර්ධන කලාපයේ අක්කර 12000ක පදිංචි ජනතාවගේ ජීවනෝපාය තිරසාර කරමින් ප්‍රදේශයේ පවුල් 136,000 අවශ්‍ය වාරි ජල සැපයුම් මෙන්ම මාතලේ සහ නැගෙනහිර පළාත්හි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමටද මෙම ව්‍යාපෘතිය මගින් හැකියාව ලැබිණි.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 557.5 වැය වන අතර මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින මොරගහකන්ද සිට මහකනදරාව දක්වා ඉදිවෙන ඉහළ ඇළහැර ඇළ මාර්ගයට ඇ.ඩො.මි. 450 ක් ද, වයඹ සංවර්ධන ඇළ සඳහා ඇ.ඩො.මි. 200 ක් ද, මිනිපේ වම්ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො.මි. 25ක් ද ඇස්තමේන්තු කර ඇති අතර මුළු ව්‍යාපෘති වියදම ඇ.ඩො.මි. 1207.5ක් ලෙස ගණන් බලා ඇත. මෙය ලංකා මුදලින් රුපියල් කෝටි 18100 පමණ වේ.

මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 570 වන අතර එහි ප්‍රධාන වේලි හා විදුලි බලාගාරයන් ඉදිකිරීම සඳහා චීන සංවර්ධන බැංකුව අවශ්‍ය මූල්‍ය වියදමින් 85% වන රුපියල් මිලියන 28952.1 (ඇ.ඩො.මි.214.46) ද, දේශීය අරමුදලින් 15% වන රුපියල් මිලියන 4920.5 (ඇ.ඩො.මි.37.85) වැය කර තිබේ.

කළුගඟ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 248 වන අතර මොරගහකන්ද - කළුගඟ ජලාශයන්හි සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 660,000 කි. එහි ජල ධාරිතාව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය (06) ගුණයකින් විශාල වේ. මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතිය හා සබැඳි ඉහළ ඇළහැර ව්‍යාප‍ෘති ඇළ මහකනදරාව දක්වා ඉදිවෙන අතර එහි දිග කිලෝමීටර් 94 කි. එම දිගින් කිලෝමීටර් 26ක් උමං මාර්ගවලින් සෑදී ඇත. ඊට අමතරව ඉදිවන වයඹ සංවර්ධන ඇළ කිලෝමීටර් 93කින් යුක්ත වේ. කළුගඟ සිට මොරගහකන්ද දක්වා ඉදිවන ඇළ මාර්ගය කිලෝමීටර් 09ක් දිගවන අතර එයින් කිලෝමීටර් 7.85 ක්ම උමං මාර්ගයක් සේ සකස් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මඟින් වැව් 1200ක්ද, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වැව් 303 ක්ද, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 32ක් ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශයේ වැව් 16ක් ද වශයෙන් ලොකු කුඩා වැව් 1551 ක් පෝෂිත වේ.

මෙම ව්‍යාපෘතියේ තවත් ප්‍රධානම ‍කොටසක් වනුයේ ඉහළ ඇළහැර ඇළ මාර්ගයයි. මේ වනවිට ඉදිවෙමින් පවතින ඇළ මාර්ගය මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරුමැද පළාතට ජලය ලබාදීමට අදහස් කර ඇත. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන “මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනට” ඇතුළත් කර ඇති ව්‍යාපෘතියක් ලෙස ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදිවෙමින් පවතියි. මෙය මොරගහකන්ද සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඇළහැර ගිරිතලේ අභය භූමිය, මින්නේරිය ගිරිතලේ රක්ෂිතය හා හුරුළු වන රක්ෂිතය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව වැව දක්වා ජලය ගෙන යාමට ඉදි කෙරෙන පෝෂිත ඇළ මාර්ගයකි.

මෙම ඇළ මාර්ගය මධ්‍යම හා උතුරුමැද පළාත්හි මාතලේ, පොළොන්නරුව හා අනුරාධපුර යන පරිපාලන දිස්ත්‍රික් තුනෙහි පිහිටි නාඋල, ඇළහැර, හිඟුරක්ගොඩ, පලුගස්වැව, තිරප්පනේ, ගලෙන්බිඳුණුවැව, මිහින්තලේ හා රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත හරහා ගෙන යන අයුරින් සැලසුම්කර ඇත.

ප්‍රධාන ඇළ ගමන් ගන්නා ඇළහැර ගිරිතලේ රක්ෂිතය තුළදී වන සතුන්ට ද ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි මධ්‍යම ප්‍රමාණයේ වැව් 03ක් ඉදිකරනු ලබන අතර ඉහළ ඇළහැර ඇළ තත්පරයකට ජලය ඝන මීටර් 40ක් ගෙන යා හැකි අයුරින් ඉදිවේ. රක්ෂිතය තුළ මීටර් 12 පළල මීටර් 05 උස අඩියක් පමණ ඝන කොන්ක්‍රීට් උමගක් උපයෝගී කරගෙන ඉදිවෙන ඇළ මාර්ගය සකස් කිරීමෙන් පසු එම ස්ථාන පස්වලින් වසා දමා යළි වනාන්තරයක් බව පත් කිරීම මෙහි තවත් වැදගත් සැලසුමකි. එයින් රක්ෂිතයට හා එහි වාසය කරන සතුන්ට කිසිදු බාධාවක් නොවනු ඇත.

මොරගහකන්ද සිට මහකනදරාව දක්වා ඉදිකෙරෙන මෙම ඇළ නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සකස් වේ. ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් කොන්ක්‍රීට්වලින් සැදුම්ලත් ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදිකිරීම මඟින් අරමුණු කීපයක් මුදුන්පත් කර ගැනීමට අපේක්ෂිතය. උතුරු මැද හා උතුරු ප්‍රදේශයන්හි අදාළ ගංගා, ද්‍රෝණි වෙත ජලය ලබාදීමෙන් ගොවිබිම් සරු කොට එහි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා හා පානීය ජල අවශ්‍යතා සපුරාලීමත්, මෙමඟින් දැනට වගා කරන කුඹුරු ඉඩම් අක්කර 30,000ක් දෙකන්නයේම ගොවිතැන් කළ හැකි අයුරින් වාරි ජලය සැපයීමත්ය.

මීට අමතරව පවුල් 25,000 ට පානීය ජල පහසුකම් ලබාදීම සඳහා ජලය ඝන මීටර් මිලියන 25ක් ලබාදීමට ද සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වැව් වන නාච්චදූව, තිසාවැව, නුවරවැව හා මහකනදරා වැව ආශ්‍රිතව පදිංචිව සිටින හා කෘෂි කර්මාන්තයේ නියැළෙන පිරිසට අවශ්‍ය ජල පහසුව ලබාදීමද සිදු කෙරේ. ඒ අනුව හුරුළුවැව ජලාශයට ඝන මීටර් මිලියන 128ක් ද, නාච්චදූව, තිසාවැව හා නුවර වැව් යන ජලාශ සඳහා ඝන මීටර් 93ක් ද, මහකනදරාව ජලාශයට ඝන මීටර් 66ක් ද වශයෙන් මෙම ඇළ මාර්ගයෙන් වාර්ෂිකව ජලය ලබාදීමට හැකි වේ.

මෙම ඇළ මාර්ගය සංවර්ධනය දෙවන අදියරටද යොදා ගැනෙන බැවින් වාර්ෂිකව ඝන මීටර් මිලියන 974 ක් හෙවත් අක්කර අඩි 790,000ක් උතුරු මැද හා උතුරු පලාත්වලට ජලය යැවීම සඳහා හැකියාව ඇත. දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ඉදිකිරීම් මඟින් යල කන්නයේ සිට උතුරු ප්‍රදේශයට ජලය ඝන මීටර් මිලියන 640ක් ලබාදීමට හැකියාව ලැබේ. පානීය ජල පහසුකම් සහිතව මෙම අදියර දෙක මඟින් උතුරුමැද හා උතුරු පළාත්වල මිලියනයක් පමණ ජනතාවට සහන සැලසෙනු ඇත.

කළුගඟ ජලාශයේ අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයට රැගෙන යන කිලෝමීටර් 09ක් දිගින් යුත් ඇළ මාර්ගය උමං මාර්ග දෙකකින් යුක්ත වේ. එක් උමං මාර්ගයක් කිලෝමීටර් 1.9ක් වන අතර අනෙක් උමඟ කිලෝමීටර් 6.04ක් දිගින් යුක්තය. මෙහි ගෙන යා හැකි ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 35කි. උම‍ඟේ විශ්කම්භය මීටර් 6.0ක් වන අතර මෙම ඇළ මඟින් වාර්ෂිකව ඝන මීටර් මිලියන 771ක් ජලය ගෙන යාමට හැකියාව ඇත.

කළුගඟ ජලාශයේ ප්‍රධාන වේලි ඉදිකිරීම සඳහා කුවේට් සංවර්ධන අරමුදල රුපියල් මිලියන 4883.03 ක් ද සෞදි සංවර්ධන අරමුදල රුපියල් මිලියන 6779.94 ක් ද, ඔපෙක් ජාත්‍යන්තර අරමුදල රුපියල් මිලියන 2358.24 ක් ද, දේශීය අරමුදල මඟින් රුපියල් මිලියන 2434.28 ක් ද මූල්‍යමය වශයෙන් වැයකොට තිබේ. මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් හෙක්ටයාර් 82,000 ක් සඳහා යල - මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකියාව ලැබෙන අතර, විවිධ ප්‍රදේශවල 100% සිට 154% දක්වා සිදුවන වගා ත්‍රීව්‍රතාවයේ සාමාන්‍ය අගය 181% දක්වා ඉහළ නැංවෙනු ඇත. මෙමඟින් හෙක්ටයාරයකට ලැබෙන වී අස්වැන්න ඉහළ යනවා මෙන්ම අතිරේක කෘෂි කාර්මික නිෂ්පාදනයට සුවිශාල දායකත්වයක් සැපයේ. මුළු කෘෂිකාර්මික වාර්ෂික ප්‍රතිලාභය රුපියල් මිලියන 4,000ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.

මෙම ජලාශවල ඉදිවීමත් සමග වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 4,700ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 940ක් පමණ වනු ඇත. මොරගහකන්ද විදුලිබල පද්ධතියට එකතුවන ටර්බයින 4කින් සමන්විත මෙගා වොට් 25ක ධාරිතාවකින් යුත් විදුලි බලාගාරයෙන් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 1545ක් පමණ වනු ඇත. මීට අමතරව වස්ගමුව වනෝද්‍යානය, ගිරිතලේ, මින්නේරිය, වනෝද්‍යාන, නකල්ස් කඳුවැටිය ආශ්‍රිත රිවස්ටන්, පිටවල පතන හා සේර ඇල්ල ද දඹුල්ල විහාරය, දඹුල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණය, කණ්ඩලම වැනි සංචාරක ‍හෝටල් අතරමැද මොරගහකන්ද - කළුගඟ ජලාශ පිහිටීම මඟින් සංචාරක ප්‍රවර්ධනයට ද ඉහළ වටිනාකමක් ලැබෙනු ඇත.

මීට අමතරව වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 12,500 කි. කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 06 කි. මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 කි. ප්‍රධාන ඇළ කිලෝමීටර් 93 කි. පොල්පිතිගම වැනි දුෂ්කර ප්‍රදේශවල යල - මහ දෙකන්නය සඳහා ජලය ලැබෙන අතර ගොවි පවුල් 13,500 කට ස්ථිරවම යල - මහ දෙකන්නයට ජලය ලැබේ. ඊට අමතරව ප්‍රදේශයේ ගොවි පවුල් 40,000කට පිරිසුදු පානීය ජල පහසුව ලැබීම තවත් ප්‍රතිලාභයකි.

තවද මොරගහකන්ද සංවර්ධනයේ ප්‍රතිලාභ මැදිරිගිරියට ලැබීමෙන් මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශයේ අලුතින් පදිංචි කරන ගොවි පවුල් ගණන 3240 ක් වන අතර ඔවුන්ට ගෙවතු ඉඩම්ද ලැබෙනු ඇත. පළමු අදියර යටතේ හෙක්ටයාර් 2000 ට දියවර පහසුකම් ලැබෙනවා මෙන්ම වැව් 32ක් පිළිසකර කෙරේ. සම්පූර්ණ සංවර්ධන ප්‍රදේශයේ ප්‍රධාන ඇළ කිලෝමීටර් 16.5කින් යුක්තවන අතර සෙසු ඇළ මාර්ග කිලෝමීටර් 59 ක් සංවර්ධනය වේ. නාගරික සේවා වැඩි දියුණු වී මැදිරිගිරිය, බිසෝපුර, කන්තලේ පේරමඩුව මහා මාර්ගය කිලෝමීටර් 23ක් සංවර්ධනය වේ. ඊට අමතරව අක්කර 100ක කර්මාන්ත පුරයක් ඉදිවීම තුළින් ප්‍රදේශයේ ආර්ථික මෙන්ම භෞතික සංවර්ධනයද ඉහළ යනු ඇත.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් ඇතිවන කෘෂි කර්මාන්තයේ දියුණුවට අමතරව එම ප්‍රදේශයන්හි ජලාශවලට විශාල වශයෙන් එක් රොක්වන වැසි ජලය අපතේ නොයා වෙනත් ජලාශ වෙත යොමු කිරීමෙන් ජල සුරක්ෂිතතාවද ඇති වේ. එමඟින් අප සතු වටිනා ජල සම්පත ආරක්ෂාවන අතර කෘෂි කර්මාන්තයටද ස්ථිරසාර ජල විසඳුමක් ලැබෙනු ඇත.

නිශාන් මෙන්ඩිස්

අනේ අපොයි ගණේමුල්ල

$
0
0
ජුනි 15, 2018 01:00

තාර දමා නොමැති ගල්පස් අතරින් බස් නැවතුමේ වාහන එහා මෙහා නිතර යෑම හේතුවෙන් මුළු නගරයම දූවිල්ලෙන් වැසී යයි. ඊට විරෝධය පාමින් මේ අවට වෙ‍ෙළඳුන් විසින් වගකිවයුත්තන් හට ලිඛිතව හා වාචිකව පැමිණිලි කර ඇතත් බලධාරීන් නිහඬය. කාන්තාරයක සිරි උසුලන මෙහි ජනතාවගේ සෙවණට තිබූ ගස් කොළන් ටිකද කපා ඉවත් කර ඇති බැව් පැවසෙයි. අධික දූවිල්ලෙන් මහජන සෞඛ්‍යයට බලවත් තර්ජනයක් ද එල්ල වෙමින් පවතින බැව් පෙනී යයි.

ගණේමුල්ල නගරයේ බස් නැවතුම්පොළ අද බොහෝ දෙනාගේ දැඩි අප්‍රසාදයකට ලක්වෙමින් පවතී. ඉකුත් ජනවාරි මස 11 වෙනිදා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවෘත කරන ලද නව ගුවන් පාලම හේතුකොටගෙන බැකෝ යන්ත්‍ර යොදා බස් නැවතුම්පොළ දෙපස පළල් කිරීම කර ඇති ආකාරය සහ වුවමනාවට වඩා පදික වේදිකාව පළල් කිරීම නිසා අද ගණේමුල්ල - කඩවත ප්‍රධාන පාරේ බස් නැවතුම්පොළට පිවිසෙන ප්‍රදේශය පටු වී ඇත. ඒ නිසා රථවාහන ගමනා ගමනයට මහත් බාධකයක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් බස් නැවතුම්පොළ අසල කානු පද්ධතිය පොළොවට යටවී ඇත. වර්ෂාව පවතින කාලයේදී කාණු පද්ධති ක්‍රියා විරහිත වේ. නගරය මඩ වගුරක් බවට පත් වේ.

නගරය පුරාම තැනින් තැන කැළිකසළ ගොඩගැසී පරිසරය දූෂණය වී, ඇති නිසා ඩෙංගු මදුරු උවදුර වර්ධනය වී මහා විපතක් ළඟකදී සිදුවී‍මට ඉඩකඩ පවතින බැව් පෙනී යයි. ගණේමුල්ල බස් නැවතුම්පොළ අද මගීන් හට අව්වට, වැස්සට සෙවන දෙනවා වෙනුවට දක්නට ඇත්තේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ගාල්කර තිබෙන අයුරුය.

අල්ලක පමණ ප්‍රමාණයක ඉඩකඩ ඇති බස් නැවතුම්පොළේ කිසිදු පිළිවෙළක් නැති ආකාරයට බස් රථ සහ ගණේමුල්ල ප්‍රාදේශීය සභාවට බදු ගෙවන්නේ යයි පැවසෙන පෞද්ගලික කුලී රථ නවතා තැබෙන බැවින් බස් රථ නැවතුම්පොළ පිටිපස වෙළඳසැල්වල වෙළඳාමට මරු පහරක් වැදී ඇති බැව් එම කඩ සාප්පු හිමියෝ පවසති.

තාර දමා නොමැති ගල්පස් අතරින් බස් නැවතුමේ වාහන එහා මෙහා නිතරම යෑම හේතුවෙන් මුළු නගරයම දූවිල්ලෙන් වැසී යයි ඊට විරෝධය පාමින් මේ අවට වෙළඳුන් විසින් වගකිවයුත්තන් හට ලිඛිතව හා වාචිකව පැමිණිලි කර ඇතත් බලධාරීන් නිහඬය. කාන්තාරයක සිරි උසුලන මෙහි ජනතාවගේ සෙවණට තිබූ ගස් කොලන් ටිකද හේතුවෙන් කපා ඉවත් කර ඇති බැව් පැවසෙයි. අධික දූවිල්ල මහජන සෞඛ්‍යයට බලවත් තර්ජනයක් ද එල්ල වෙමින් පවතින බැව් පෙනී යයි.

මාර්ග අංක 278, 223, 218, 214 වැනි බස් රථවලට ගමන් කරන කාලසටහනක් නොමැති අතර මගීන්ට වුවමනාවට නොව මෙහි බස් රථ ධාවනය වන්නේ බස්රථ රියදුරන්ට හා කොන්දොස්තරලාට අවශ්‍ය පරිදිය. රථවාහන කාලවේලා සටහන් නිලධාරියෙක් දෙන්නෙක් සිටින නමුත් ඔවුන්ගෙන් ඉටුවන සේවයක් නැත.

බස් නැවතුම්පොළ තුළ අපිළි‍වෙළට ලංගම හා පෞද්ගලික බස්රථ ගාල් කිරීම හේතුවෙන් සහ වෙළඳසැල් ඉදිකර තිබෙන විදියට බස් නැවතුම්පොළේ ඉඩකඩ ඇහිරී ඇති බැව් දකින ඕනෑ කෙනෙකුට පෙනෙන දෙයකි.

‘ගණේමුල්ල ‘එක්සත් සිංහල වෙළඳ සංගමයේ ලේකම් රුවන් සම්පත් මහතා -

‘ගණේමුල්ල කියන්නේ මුළු ශ්‍රී ලංකාව පුරාම යන්න මාර්ග සැලසී ඇති එකම කේන්ද්‍ර ස්ථානයයි. එමෙන්ම ගණේමුල්ල යනු ‘නොනිදන නගරයයි. මං, එහෙම කියන්න වෙනත් නගරවල කඩ සාප්පු ඇඳිරි වැටෙද්දී වසා දැමුවාට මහජන සේවය උපරිම ලෙස ඉටු කරන ගණේමුල්ල කඩසාප්පු වෙළඳසැල් රාත්‍රි 10.00 පමණ වනතුරු ජනතා සේවය සඳහා විවෘත නිසා නගර අතරින් නොම්මර එකේ නගරයක් ලෙස ගණේමුල්ල නගරය ප්‍රසිද්ධයි. නමුත් පසුගියදා විවෘතවුණු ගුවන් පාලම ඇරුණු කොට අද රජයෙන් නිරතුරු කුඩම්මාගේ සැලකිලි ලබන නගරයක් තමයි ගණේමුල්ල.

වසර ගණනාවක් තිස්සේ සිට දුම්රිය හරස් මාර්ගය නිසා රථවාහන තදබදය සඳහා මෙම ගුවන් පාලම අවශ්‍ය බැව් ජනතාව කළ ඉල්ලීම පරිදි ඉටුවූවා. නමුත් දෙවන අදියර කවදා ඉටුවේදැයි කාට කිව හැකිද...?

ගණේමුල්ල ගුවන් පාලම විවෘත කරල සතියක් ගියාට පස්සේ ගුවන් පාලම අවට අද කට්ට කළුවරේ පවතින අතර අර ගැමි කථාවකට අනුව අලුත් පිට සීනි පරණ වුණාම ගෝනි කියන්නා වගේ දැන් බලධාරීන් පවා අඳුරේ එහා මෙහා යති. විදුලිය ආගිය අතක් නැහැ.

ගුවන් පාලම සෑදීමට පාර පළල් කිරීම නිසා බස් නැවතුම්පොළ දෙපස බැකෝ යන්ත්‍ර දමල සැලසුමක් නැතිව පදිකවේදිකා පළල් කිරීම නිසා අද පාර පටුවෙලා. රථ වාහන ගමනා ගමනයට මහත් බාධාවක් වෙලා. මේ ගැන අපි බලධාරීන් සමඟ කතාබහ කළාම ඉන්ජිනේරු නිලධාරීන් පවසන්නේ අපි වැඩ කරන්නේ ආර්. ඩී. බී. එක අනුවයි කියාය. මේ හේතුවෙන් බස් නැවතුම්පොළ පුංචි වුණා. රථවාහන වැඩි වුණා. තාර නොදුටු බස් පොළේ ගල්පස් පොළොව රථවාහන ගමනා ගමනය නිසා දූවිලි විමනයක් බවට දැන් පත් වෙලා.

ගණේමුල්ල බස් නැවතුම්පොළ අභියස බුදු පිළිමයට ගණේමුල්ල ප්‍රාදේශීය සභාවට අයත් විශාල ඉඩමට මුල්ගල තිබ්බේ. ගණේමුල්ලට සාප්පු සංකීර්ණයක්, සිනමා ශාලාවක් හා තවත් ප්‍රයෝජන ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීමටය. නමුත් අද ඒ මුල්ගලද අතුරුදන් වී ඇත. ගණේමුල්ල ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම කැලෑවැදී තිබේ.

හැකි ඉක්මනින් ගුවන් පාලමට දෙවන අදියර නිමා කර ඊට සමගාමීව බස් නැවතුම්පොළ හා පදික වේදිකාව නිසියාකාරව පිළි‍ෙයල කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

ප්‍රවාහන පහසුව නිසා ගණේමුල්ලට පිටස්තරයන් ඇවිත් බහුලව පදිංචි වී ඇත. විශේෂයෙන්ම කොළඹ රැකියාවට යන ජනතාව දැන් මෙහි අධිකයි. ජනතාවට අවශ්‍ය පරිදි ව්‍යාපාරික ප්‍රජාවද අමිල සේවයක් ඉටු කරන නිසා අද ගණේමුල්ල කොළඹට දෙවෙනි තැන ගෙන ඇත. ජනගහනය ද විශාලය. ව්‍යාපාරික ප්‍රජාවද දියුණුය. කිසිම රජයකින් පිහිටක් නොවුණු ගණේමුල්ල එදා පුංචි නගරය අද සුවිශාල නගරයක් වූයේ වෙළඳ ව්‍යාපාරිකයින්ගේ නොපසුබට උත්සාහයෙනි.

ජා-ඇල මධ්‍යම
ලෙස්ලි පෙරේරා

 

ගොවි දුක නොදකින ලබුදූව ගොවි මැදුර

$
0
0
ජුනි 15, 2018 01:00

ගාල්ල ලබුදූව‍ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් කටයුතු කරන අන්දම පිළිබඳව එම පළාතේ ගොවි ජනතාව සිටින්නේ දැඩි කලකිරීමෙනි. මෙම ලබුදූව ගොවි මධ්‍යස්ථානයේ සමහර නිලධාරීන් ගන්නා අත්තනෝමතික වැරදි අසාධාරණ තීරණ නිසා අහිංසක ගොවි ජනතාව සිටින්නේ මහත් අසරණවය.

ගොවි ගැටලුවලට විසඳුම් ලබාදීමේදී කරන අකටයුතුකම් බලවතුන්ගේ බලපෑම් මත සිදු කිරීම, ගොවි පැමිණිලි නිසි පරිදි විභාග නොකිරීම, ගොවීන් කරන පැමිණිලිවලට විභාග කිරීමට පැමිණෙන බව දන්වා එම අවස්ථාවට නොපැමිණීම, කාර්යාලයේදී පැමිණිලි විභාග කිරීමට කාර්යාලයට පැමිණෙන ලෙස ගොවි මහතුන්ට දන්වා එදිනට නිලධාරියා එම අවස්ථාව මඟ හැරීම, සමහර ගොවි පැමිණිලි විභාග කිරීමට මාස 02 – 03 කල් ඇරීම, ගොවි සහනාධාර දීම ප්‍රමාද කිරීම. මෙම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ සිදු කරන තවත් අකටයුත්තක් මෙසේය. ගොවීන්ගේ ගැටලු නිසි පරිදි අදාළ දිනයන්හි පරීක්ෂා කර නොබැලීම නිසා වගා කටයුතු නිසි පරිදි කරගත නොහැකි වීම සමහර අවස්ථා වලදී සම්පූර්ණ කන්නයක්ම වගා නොකර සිටීමට සිදුවේ. ලබුදූව ගොවිජන මධ්‍යස්ථානය ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය අසලම පිහිටුවා තිබුණත් එම ආයතනයේ ලොකු නිලධාරීන් මේ පිළිබඳ නොදන්නා බවක් පෙන්නුම් කරයි.

රටේ ජනතාවගේ මුදල්වලින් යැපෙන සමහර ආත්මාර්ථකාමී, නිලධාරීන් යයි කියා ගන්නා අය කරන මෙවැනි දුර්ජන වැඩ නිසා පීඩාවට පත්ව ඇත්තේ අහිංසක ගොවි ජනතාව මිස අන් කවරෙක්වත් නොවේ.

චන්ද්‍රසිරි ගෝමිස්
කළුබෝවිල

උපදේශනයට ගුරුවරු දෙන්න

$
0
0
ජුනි 15, 2018 01:00

වර්තමානයේ විභාග පදනම් වූ අධ්‍යාපන ක්‍රියාවලියක් ඉස්මතු වී ඇති පරිසරයක පාසල් පද්ධතිය තුළ අතීත සමාජයේ අකුරු කළ දරුවාට වඩා සුවිශේෂී වෙනසකට වර්තමාන දරුවා භාජනය වී ඇත. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රියාවලියක නිරත වූ අතීතයේ දරු පරපුර අද වන විට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට නැඹුරුව සිටින බව කිව යුතුය. අතීත දරු පරපුර පාසල් අධ්‍යාපනය ලබා පසුව දවසේ අනෙකුත් කාලපරාසය තුළ සෙල්ලමට ක්‍රීඩාවට, පොදු කටයුතු වලට ගේ දොර වැඩ කටයුතු මෙන්ම තමන්ට අයත් තම මාපියන්ගේ කෘෂිකර්මාන්ත හෝ වෙනත් ජීවනෝපායයික කාර්යයන්හි උදව් පදව් කිරීමෙන් තම ශ්‍රම දායකත්වය ලබාදීමෙන් දායක විය. මේ නිසා ස්වභාව ධර්මය පරිසරය සමඟ ගැටීම දරු දැරියන් තුළ නිරන්තරයෙන්ම සිදුවිය. ඒ තුළින් පරිසරයට ගහට කොළට, ඇළට දොළට ආදරය කරන සතා සිවුපාවාට ආදරය කරන දරු පරපුරක් සමාජයට දායාද විය. ඒ තුළින් ජීවිතයට මුහුණදුන් සුන්දර දරුපිරිසක් අතීතයේ අපට දායාද විය.

එනමුත් වර්තමාන සමාජය තුළ දරු දැරියන් පාසලේ පළමු ශ්‍රේණියේ සිටම පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින තෙක් හා ඉන් අනතුරුව අ. පො.ස. (සා/පෙළ) විභාගය දක්වාද අතිධාවන තරගයකට මුහුණදෙමින් සිටියි. විභාගය කෙසේ හෝ සමත් විය යුතුයි. ජීවිතය නැත්නම් ඇද හැලෙයි. කෙසේ හෝ ජයගත යුතුයි. යන ආකල්ප දරුවා තුළ ඇති කර තිබේ. ඒ සඳහා දවසේ උදෑසන සිට රාත්‍රිය දක්වා පත පොතෙහි නිරත වීමත් පාසලින් පසු සවස පෞද්ගලික උපකාරක පන්ති කරා රාත්‍රිය තෙක් අධ්‍යාපනය ලබා ගැනීමට මාපියන් විසින් තම දරුවන් යොමු කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයකි. බොහෝදුරට වර්තමානයේ 5 වන ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ විභාගයක් නොව එය මවුවරුන්ගේ විභාගයක් බවට පත් වී ඇති බව සඳහන් කළ යුතුය. එසේම අ. පො. ස. (සා/පෙළ) විභාගයට සූදානම් වන දරුවන්ගේ ද තත්ත්වය එලෙසමය. සමහර දරුවන් පාසලේ හදාරන විෂයන්ට අමතර පන්ති දෙක තුනකට සහභාගිවන අවස්ථා ඇත. විෂයට දක්ෂතාව ඇති දරුවන්ද විලාසිතාවක් පෙන්නුම් කර පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වේ. මෙවැනි පරිසරයක කල් ගෙවන වර්තමාන දරුවන් තුළ ඉච්ඡාභංගත්වය පරාජය විඳ දරා ගැනීමට නොහැකිවීම, පරාජයට මුහුණදීමට නොහැකිවීම, විවේචනයට මුහුණදීමට නොහැකිවීම, ආත්මාර්ථකාමීත්වය, පළිගැනීම, වෛරය, ක්‍රෝධය යනාදී මානසික ව්‍යාකූලතාවයන් ඇතිවීම ස්වභාවිකය.එම මානසික ව්‍යාකූලතාවයන් තම හිතවතුන්ට, යහළුවන්ට, තමන්ගේ මාපියන්ට හෝ ගුරුවරුන්ට පැවසීමට අපහසුය. තමන් පෙනී සිටි විභාගයෙන් අසමත්වීම අවස්ථාවක බොහෝවිට තම දෙමාපියන්ගෙන් ගැලවීමක් නොමැත. යාළු මිත්‍රාදීන්, නැදෑ හිතමිතුරුන් ගේ ලැජ්ජාවට එවැනි අවස්ථාවල දී දරුවන් පත්වේ. මෙවැනි අවස්ථාවලදී දරුවන් හුදෙකලා වේ. එසේ හුදකලාවූ දරුවාට බාහිර ලෝකයෙන් අසන්නට ලැබෙන ඒ සඳහා මුහුණදිය නොහැකි අවස්ථා සියදිවි හානිකර ගැනීම් පිළිබඳ තත්ත්වයන් කන වැටේ. අවසානයේදී තමන්ට එම ඉරණම තෝරා ගැනීමට දරුවන් නිතැතින්ම පෙළඹෙනු ඇත.

වර්තමාන සමාජයේ දුම්රියට ගෙල තැබීම, ගෙල වැලළාගෙන මිය යාම, වසවිෂ පානය කිරීම වැනි අවස්ථාවනට තම දරු දැරියන් මුහුණදුන් අවස්ථා එමට ඇත. දරුවන්ගේ ප්‍රශ්න මෙසේ හුදෙකලාව විඳවීමට එම දරුවන්ට සිදුවීම සුදුසු නොවේ. ඒ පිළිබඳ පැවසීම, මනෝවිද්‍යාත්මකව උපදේශනයක් ලබා ගැනීමට පාසල තුළ ස්ථිරවම උපදේශන විෂය පිළිබඳ ගුරුවරයෙකු සිටිය යුතුයි.

වර්තමානයේ ජාතික පාසල්වල හා ජනප්‍රිය පාසල්වල මෙවැනි උපදේශනයක් සඳහා වෙනමම ගුරුවරයෙකුගෙ සේවය ලබාදී තිබුණද බොහෝ පාසල් ප්‍රමාණයක් අයත් පළාත් පාසල් හා ග්‍රාමීය පාසල්වලට එවැනි ගුරුවරයෙකුගේ සේවය නොලැබෙනු ඇත. ඒ අනුව දරුදැරියන්ට ඇතිවන ගැටලු විසඳාලීමට හා ඒ සඳහා අවශ්‍ය මනෝවිද්‍යාත්මක මග පෙන්වීමට දරු දැරියන්ගේ හිතමිතුරෙකු ලෙස එම උපදේශන විෂයභාර ගුරුවරයා වගබලා ගත යුතුය. දරුවන් ගැටලුවලට පත්වන්නේ කුමන අවස්ථාවේද? ඒ ඕනෑම අවස්ථාවක දරු දැරියන්හට උපදේශනය ලබාදීම තුළින් එම ගැටලුව සඳහා දරුවන් නිසි මගට ගෙන පිළියම් යෙදීමට එම ගුරුවරයාට හැකි විය යුතුය.

වත්මන් පාසල් පද්ධතිය තුළින් සමාජයට දායාද වන දරු පරපුරට ඕනෑම අභියෝගයකට ගැටලුවකට මුහුණදීමට හැකියාව ඇති අනාගත ලෝකයට මෙන්ම මෙරටට ගැලපෙන පුරවැසියන් ලෙස දරුවන් බිහි කිරීම සඳහා උපදේශනය පුරවැසියන් ලෙස දරුවන් බිහි දකිරීම සඳහා උපදේශනය විෂය සම්බන්ධ නිසි යෝග්‍යතාවයක් සුදුසුකම්, සපුරාලත් එක් ගුරුවරයෙක් සෑම පාසලකටම ලබා දීම සුදුසු බව වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනා කරමි.

එල්.ඩී. ජනේන්ද්‍ර
කපිල ජයසිංහ

 


ගංවතුරට හේතු මෙන්න

$
0
0
ජුනි 15, 2018 01:00

ස්වභාවික සම්පතක් වූ වැස්ස අද රටට බරක් වී තිබේ. වැස්ස සමඟ ගම්, දනව්, නගර යටවීම සුලබ ලක්ෂණයකි. මෑත කාලීනව මෙම ප්‍රවණතාවය ඉහළ යමින් පවතියි. මෙයින් දෛනික ජන ජීවිතය මුළුමනින්ම අඩාළ වේ. භවභෝග සම්පත් විනාශවී යාම කනගාටුදායකය. එපමණක් නොව වටිනා ජීවිත අකාලයේ විනාශවීම දරාගත හැක්කක් නොවේ.

දශක හතරකට පමණ පෙර වැස්ස මෙවන් විපත් ගෙන දුන්නේ නැත. ගංවතුර ගැලීම් නොතිබුණාය යන්න ඉන් අදහස් නොවේ. එවක රටේ ගං වතුර ගලන නිශ්චිත ප්‍රදේශ කීපයක් විය. වාර්ෂිකව එම ප්‍රදේශ සඳහා පූර්ව ආපදා සහන සැලසුම් කෙරිණි. වර්තමානයේ මුළු රටම වැසි ජලයෙන් යටවීම දැරිය නොහැකි තත්ත්වයකි. මෙයට විසඳුම් ලබාදීමට යාමේදී රජය අභියෝග රැසකට මුහුණ දෙනු ලැබේ.

පවතින තත්ත්වයෙන් මිදීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයකි. වර්තමානයේ ප්‍රධාන හා අතුරු මාර්ග වල ජල බැසීම් කානු විධිමත් නැත. සමහර ස්ථානයන්හි මෙවැනි කානු දකින්නට නොලැබේ. තවත් කානු අප ද්‍රව්‍ය හිරවීමෙන් ගලා බැසීම් අවහිර වී ඇත. විටෙක කානු වලින් ගලන ජලය එක්වීමට අවශ්‍ය ප්‍රධාන දිය දහරාද නැත.

මෙරට නගරවල ඇල මාර්ග අති බහුතරයක් අප ද්‍රව්‍යවලින් හිරවී ඇත. එය වැසි ජලය ගලායාමට මහත් බාධකයෙකි. මෙයට ප්‍රධාන හේතුව නඩත්තු කටයුතු සඳහා වගකිව යුතු ආයතන මැදිහත් නොවීමයි. අනෙක් පසින් අප ද්‍රව්‍ය එක්කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමය. මෙහි අවසන් ප්‍රතිඵලය වැසි ජලය පිටාරය ගැලීමෙන් ප්‍රදේශ යටවීම වේ.

කුඹුරු ඉඩම් මෑත කාලීනව ශීඝ්‍රයෙන් අවභාවිතයට ලක් වෙමින් තිබේ. මෙම බිම් නීති විරෝධී ලෙස ගොඩ කරන බලවන්තයෝ රැසක් සිටිති. ඔවුනු ව්‍යාපාරික මට්ටමෙන් නිවාස හා වෙනත් ගොඩනැඟිලි ඉදිකරයි. ප්‍රාදේශීය මට්ටමෙන් ගොඩ කරන අයද නැතිවා නොවේ. තවත් පිරිසක් දිගුකාලීන අරමුණු මත හිතාමතා කුඹුරු ඉඩම් පුරන් වීමට හැර තිබේ.

පාරම්පරික භූමිවල මෙන්ම වෙන්දේසි ඉඩම්වල පිටාර ජලය ගලායාමේ “දෙපා” (ජල බැසීමේ මාර්ග) තිබුණි. එම ජල මාර්ග බොහෝ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ගොඩ කර තම ඉඩම් වලට ඈඳා ගෙන ඇත. කුඹුරු භූමි දෙපස වූ “දෙපාවන්” වලටද අත්ව ඇත්තේ මෙම තත්ත්වයයි.

පසුගිය රජයන් කීපයක් වැව් සංවර්ධනය සඳහා මුදල් යෙදවීය. එම වැය කිරීම්වලට සාපේක්ෂව වැව්වල දියුණුවක් ඇතිවී තිබෙනවාද යන්න ප්‍රශ්නයකි. බොහොමයක වැව්, කාලය ඇවෑමෙන් ගොඩවීමට ලක්ව ඇත. තවත් සමහර වැව් ආශ්‍රිත භූමි සංවර්ධනයන් නිසා වැසි ජලයට රොන් මඩ සහ බොරළු එක්වී ගොඩවීමට ලක්ව තිබේ.

සාමාන්‍ය වැසි සමයකදී පවා ගං වතුර ගැලීම සුලබවී තිබ්. ක්‍රමයෙන් ගංගා වලට දැරිය හැකි ජලප්‍රමාණය අඩුවෙමින් පැවතීම ප්‍රධාන හේතුවයි.

මෙහිලා බලපාන ප්‍රධාන හේතු කීපයක් සඳහන් කළ හැකිය. “වන වියන ඉවත් කර ව්‍යාපාරික වගාවන්ට යොදාගත් මැද කඳුකරය පාංශු ඛාදනයට ලක්වී තල්ලුවන බහරය. (පස්, රොන් මඩ, වැලි, බොරළු) ගංගා පතුලේ තැන්පත් වීම, වැලි ගොඩ දැමීමෙන්, සිදුවන ඉවුරු කඩා වැටීම, විවිධ ව්‍යාපාර මඟින් එක් කරන අප ද්‍රව්‍ය පතුල් ගතවීම යන හේතු නිසා ගංගා වලට දරා සිටිය හැටි ජල ප්‍රමාණය අඩු වී තිබේ.

ජල ගැලීම් නිසා ජීවිත, මාර්ග, වගාබිම්, ගොඩනැඟිලි විනාශ වේ. බෝවන රෝග හා වසංගත ශීඝ්‍රයෙන් පැතිර යනු දැකිය හැකිය. මෙයට සාපේක්ෂව සිදුවන නායයාම් ප්‍රමාණය ඉහළ අගයක් ගනියි. මෙයින් අනතුරුව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු මුදලක් වැය වේ. මෙම තත්ත්වය මධ්‍ය සංවර්ධිත මට්ටමේ පවතින රටකට දැරිය නොහැකිය.

මෙම අයහපත් තත්ත්වයට වාරිමාර්ග, මහාමාර්ග, කෘෂිකර්ම අමාත්‍යාංශ වගකිව යුතුය. ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු වලටද මෙම චෝදනාවෙන් නිදහස් විය නොහැකි වේ. පළාත් පාලන ආයතනද මෙම විනාශයේ සැලකිය යුතු කොටස් කරුවෙකි. මෙම අයහපත් තත්ත්වය තවදුරටත් පවත්වාගෙන නොයාමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුය.

වෛද්‍ය ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
සභාපති ශ්‍රී ලංකා
ජනමාධ්‍යවේදී සන්ධානය

බදු ගැන මිත්‍යාව සහ සැබෑව

$
0
0
ජුනි 15, 2018 01:00

මේ වන විට ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වන්නේ “ඇති හැකි අයගෙන් වැඩියෙන් බදු ගෙන නැති බැරි ජනතාවට සහන ලබාදීම” බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. මෙහි සරල අදහස වන්නේ ලංකාවේ තවදුරටත් ප්‍රමුඛ වන්නේ දුප්පතාගේ පරිප්පු ටිකටත් බදු සහන වක්‍ර බදු නොව දෛනිකව මිලියන ගණන් ධනය උපයන ධනවතාගෙන් වැඩි වැඩියෙන් බදු අය කර ගන්නා “ඍජු බදු” ප්‍රතිශතය වර්ධනය කිරීමයි.

"අපි නැවත බලයට පත් වුවහොත් රජයේ බදු සියයට 20කින් අඩු කරනවා "කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අවධාරණාත්මකව ප්‍රකාශ කළා. සුපුරුදු පරිදි රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශයට කිසිදු ප්‍රශ්න කිරීමකින් හෝ විවේචනය කිරීමකින් තොරව රාජපක්ෂ මාධ්‍ය රෙජිමයෙන් දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබුණා. වත්මන් ආණ්ඩුව සුද්දටත් වඩා වැඩි බදු බරක් ජනතාව මත පටවමින් ඔවුන් පීඩාවට පත්කර ඇති බව මේ මගින් අවධාරණය කිරීමට පියවර ගත්තා.

රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සේම මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද කඩිනමින් ප්‍රතිචාර දැක්වූවා. එහිදී මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය බර හා බදු බර ගැන ප්‍රසිද්ධ විවාදයකට තමා සූදානම් බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අවධාරණය කළේ “සියයට විස්සකින් රජයේ බදු අඩු කරමින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගන්නා ආකාරය ගැන මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළ යුතු බවයි.

අගමැතිවරයාගේ හෝ මුදල් ඇමැතිවරයාගේ මේ අභියෝග මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිදා භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. ඒ “කියන කොට එහෙමයි - කරන කොට මෙහෙමයි” අවස්ථාවාදී න්‍යාය මහින්ද රාජපක්ෂ මහතා තරම් සූර ලෙසත්, අඛණ්ඩ ලෙසත්, ඇතැම් විට නිර්මාණශීලී ලෙසත් භාවිත කළ වෙනත් රාජ්‍ය නායකයෙක් මේ දක්වා ලංකාවේ පහළ වෙලා නැති නිසයි. මේ තත්ත්වය තුළ අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මහතා මේ බදු මිත්‍යාව අඛණ්ඩව සමාජගත කරමින් ආණ්ඩුවට එරෙහිව පොදුජන හා ව්‍යාපාරික මතය සංවිධානය කිරීමට පියවර ගනීවි. ඒ නිසා බදු මිත්‍යාව ගැන සැබෑ තත්ත්වය හෙළි කිරීම අප අපගේ යුතුකමක් සේම වගකීමක් වශයෙන් ද සැලකිය යුතුයි.

බදු ජනතාවට බරක් ද?

“බදු ජනතාවට බරක්ද ?” මේ ප්‍රශ්නය දීර්ඝ කාලයක් පුරා ආර්ථික විශේෂඥයන් අතර කතා බහට ලක් වෙමින් තිබෙනවා. ඊට හේතුව වන්නේ ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධයෙන් කාලයක් පුරා ජනතාව අතර, ඍජු බදු ගෙවන ධනවතුන් ඇතුළු වෘත්තිකයන් අතර මෙන්ම වානිජ ප්‍රජාව අතරත් ප්‍රබල විවේචනයක් පැවතීමයි. වක්‍ර බදු ගෙවන පොදු ජනතාවගේ පැත්තෙන් ප්‍රකාශ වන්නේ සාමාන්‍ය ජනතාව, අඩු ආදායම්ලාභීන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉතාමත් අසාධාරණ බදු බරකට කර ගසන බවයි. හදිසි ලෙඩකට දුකකට බොන පැරසිටමෝල් පෙත්තේ සිට නොකා නොබී මිලදී ගන්නා යතුරු පැදිය, ත්‍රීරෝද රථය දක්වා අධික බදු බරක් තමන් මත පැටවී ඇති බවයි. ඍජු බදු (ආදායම් බදු) ගෙවන ධනවතුන් සේම වෘත්තිකයන් (වෛද්‍යවරුන් වැනි) චෝදනා කරන්නේ තම ඉපැයීම්වලට සාපේක්ෂව දැඩි බදු බරක් දැරීමට තමන්ට සිදුව ඇති බවයි. මේ අතර වානිජ ප්‍රජාවත් දැඩිව අවධාරණය කරමින් සිටින්නේ ආණ්ඩුවේ සංකීර්ණ බදු ක්‍රමය මගින් තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි. මේ අතර රටේ බදු අය කරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන පද්ධතිය තුළත් බදු අයකර ගැනීම සම්බන්ධයෙන් කලක සිට මැසිවිල්ලක් තිබෙනවා. ඔවුන්ට අනුව අදායම් බදු ගෙවීම් පැහැර හැරීම, බදු සැඟවීම, බදු වංචා කිරීම වැනි ඍණාත්මක සිදුවීම් රැසක් කාලයක් පුරා සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා වහාම වත්මන් බදු ක්‍රමයේ සාධනීය ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව ඔවුන් ද අවධාරණය කරනවා.

මේ ප්‍රශ්නය මානව ඉතිහාසය පුරාම තිබූ බව බුදුන් වහන්සේ පවා ‘මල නොතලා රොන් ගන්නා සේ’ පාලකයන් විසින් ජනතාවගෙන් බදු අයකළ යුතුයැයි කළ දේශනාවෙන් පැහැදිලි වෙනවා. ඊට හේතුව වන්නේ ඕනෑම බදු පැනවීමක් ජනතාවට අමතර බරක් වන නිසයි. පුද්ගල මානසිකත්වය අනුව ද ඔවුන් ඕනෑම බද්ධක් අමතර බරක්, පීඩනයක් සේ සලකන නිසයි.

ඒත් බොහෝ පාලකයන්, ආණ්ඩු මේ ගැන ඒ හැටි තැකීමක් නොකරන බව ඉතිහාසය තුළින් ද පැහැදිලි වෙනවා. ලංකාව උදාහරණයට ගතහොත් යටත් විජිතවාදී ඉංග්‍රීසි ආණ්ඩුව 1848 දී ලංකාවේ ජනතාව මත විවිධාකාර බදු පැනවීම මගින් ඔවුන්ව සූරාකෑමට පියවර ගත්තා. ඇඟ බද්ද, තුවක්කු බද්ද පමණක් නොවෙයි බලු බද්දක් පවා ඔවුන් විසින් පැනවීම තුළ අපට එදා පැවැති තත්ත්වය මනාව පැහැදිලි කරගත හැකියි. මේ අසාධාරණ බදු පැනවීම්වලට එදා එරෙහි වුණ ජනතාව ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසුවා. අවසානයේ මේ අසාධාරණ බදු අයින් කර ගැනීමට එදා පාලකයන්ට සිදු වුණා. මහින්ද රාජපක්ෂ යුගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ විට ධීවරයන් ඊට එරෙහිව කළ උද්ඝෝෂණ අවසානයේ ධීවරයෙකු බිල්ලට ගනිමින් අවසන් වුණා. ඉන්ධන බදු අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පවා පසෙක දැම්මා.

දුප්පතුන්ට බදු බර පැටවෙන හැටි

බදු ජනතාවට බරක් ද ? යන්න ගැන කතා කරන කොට නිතර අවධාරණය කරන්නේ බදු මගින් දුප්පතුන්ට, අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් සිදුවන බවයි. මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ ‘වක්‍ර බදු’ එහෙම නැතිනම් ජනතාවට එදිනෙදා භාවිතයට ගන්නා පාරිභෝගික භාණ්ඩ හා සේවා මත බදු පනවන අවස්ථාවේදී. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව ඩීසල්, පෙට්‍රල් මත බදු පනවා තිබෙනවා. මේ බදු නිසා මේවායේ මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී ජනතාව අතර විරෝධයක් ඇතිවන්නේ තමන්ගේ ජීවිකාව සඳහා ත්‍රිරෝද රථය පදවන පුද්ගලයාත්, බිලියන ගණනක් ආදායම් ලබමින් විනෝද ගමන් යාම සඳහා තමන්ගේ අති සුඛෝපභෝගී ජීප් රථයට පෙට්‍රල් ගහන පුද්ගලයාත් එකම මිලක් ගෙවමින් පෙට්‍රල් මිලදී ගැනීමයි. මෙහිදී ත්‍රිරෝද රථ රියැදුරා තමන්ගේ දෛනික ආදායමින් විශාල ප්‍රතිශතයක් පෙට්‍රල් මිලදී ගැනීම සඳහා වැය කළත් ධනවතා ඒ සඳහා වැය කරන්නේ තමන්ගේ ආදායමින් නොසැලකිය යුතු ප්‍රතිශතයක් පමණයි. පරිප්පු, කරවල, අල, ලූනු ආදියට බදු ගසන විට අඩු ආදායම්ලාභීන් දැඩි සේ පීඩාවට පත්වන්නේ මේ පදනම තුළයි.

මේ නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැනවීමට එරෙහිව ලෝකයේ බොහෝ රටවල ප්‍රබල විරෝධයක් පවතිනවා. එහි තාර්කික අදහස වන්නේ රටේ අඩු ආදායම්ලාභීන් වක්‍ර බදු (භාණ්ඩ හා සේවා බදු ) සඳහා තමන්ගේ ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැය කරන බවයි. ඒ වගේම රජය විසින් නිර්මාණය කරන බොහෝ පොදු පහසුකම්වල වැඩි වටිනාකමක් තිබෙන්නේ ඉහළ ආදායම්ලාභීන්ට කියලා චෝදනාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වැය කරන මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් ප්‍රධාන ධාරාවේ පාසල්වලට වෙන් වන ආකාරයක් අපි දකිනවා. අධිවේගී මාර්ග, ඇවිදින මංතීරු, ඇතුළු පොදු පහසුකම් සම්බන්ධයෙන් ද මේ විවේචනය දැකිය හැකියි. ඒ නිසා ‘රටේ බදු බර උසුලන්නේ සාමාන්‍ය ජනතාව’ කියන කතාවට පදනමක් තිබෙනවා.

ජනතාව මත බර නොපැටවෙන බදු ක්‍රමයක්

වත්මන් ආණ්ඩුව විසින් මීට කලකට පෙර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගත් පසු පොදු ජනතාව උසුලා සිටින අධික බදු බර සැහැල්ලු කිරීමට ක්‍රමයෙන් හැකියාව ලැබුණු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ අලුතින් ආදායම් බදු ලිපි ගොනු 20,000ක් පමණ විවෘත කිරීමට තමන්ට හැකියාව ලැබුණු බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වන්නේ “ඇති හැකි අයගෙන් වැඩියෙන් බදු ගෙන නැති බැරි ජනතාවට සහන ලබාදීම” බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. මෙහි සරල අදහස වන්නේ ලංකාවේ තවදුරටත් ප්‍රමුඛ වන්නේ දුප්පතාගේ පරිප්පු ටිකටත් බදු සහන වක්‍ර බදු නොව දෛනිකව මිලියන ගණන් ධනය උපයන ධනවතාගෙන් වැඩි වැඩියෙන් බදු අය කර ගන්නා “ඍජු බදු” ප්‍රතිශතය වර්ධනය කිරීමයි. ඒ අනුව වක්‍ර බදු සංයුතිය සියයට 80 සිට සියයට 60 දක්වාත්, ඍජු බදු සංයුතිය සියයට 20 සිට සියයට 40 දක්වා වර්ධනය කර ගැනීමයි රජයේ අපේක්ෂාව වන්නේ. මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ මේ බදු සංශෝධනයි. මෙහිදී ජනතාවට තිබෙන ප්‍රශ්නය වන්නේ මෙය සිදුවන්නේ කුමනාකාරයෙන් ද යන්නයි. ඒ නිසා අප ප්‍රථමයෙන්ම මේ වක්‍ර බදු සහ ඍජු බදු අතර වෙනස වටහා ගත යුතුයි. බදු බර අන් අයෙකුට පැවරිය හැකි නම් එවා ‘වක්‍ර බදු’ ලෙස ද නොහැකි නම් ඒවා ‘ඍජු බදු’ ලෙස ද හැඳින්වෙනවා. මේ අනුව භාණ්ඩ හා සේවා සඳහා පැනවෙන බදු වක්‍ර බදු ලෙස සැලකෙනවා. ඊට හේතුව වන්නේ වක්‍ර බදු මත පනවන බදු මුළුමනින්ම හෝ කොටසකින් හෝ භාණ්ඩයේ හෝ සේවාවේ මිලට එකතු කර පාරිභෝගිකයා මත පැටවීමට හැකි වීමයි.

කෙනෙකුගේ ආදායම මත පනවන බදු ‘ඍජු බදු’ ලෙස සැලකෙන්නේ බදු ගෙවන්නාට එය වෙනත් අයෙකුට පැවරිය නොහැකි නිසයි. එය “අදාළ පුද්ගලයා විසින්ම” දරාගත යුතු නිසයි. එහෙත් මේ සාම්ප්‍රදායික නිර්වචනය මේ වන විට යම්කිසි සංශෝධනයකට ලක්ව තිබෙනවා. ඊට හේතුව වන්නේ මේ ආකාරයෙන් බදු වර්ග කිරීමට නම් ‘බදු බර පැවරීම’ හෙවත් ‘බදු විතැන් කිරීම’ ගැන සම්පූර්ණ දැනුමක් තිබිය යුතු වීමයි. බදුකරණයේදී මෙය අපහසු දෙයක් ලෙස සලකනවා. ඒ නිසා වර්තමානයේදී බදු වර්ගීකරණය සිදුවන්නේ ‘බදු බර පැවරීම’ ගැන සලකා බලා නොවෙයි.

වර්තමානයේ බදු වර්ගීකරණය සිදුවන්නේ, අාදායම මත පැනවෙන බදු ‘ඍජු බදු’ වශයෙන් ද, භාණ්ඩ හෝ වියදම් හෝ මත පැනවෙන බදු ‘වක්‍ර බදු’ වශයෙන් ද සැලකීමයි. මේ අනුව ආදායම් බද්ද, ප්‍රාග්ධන බද්ද, ලාභ බද්ද, ආදිය ඍජු බදු වශයෙන් ද ආනයන බදු, අපනයන බදු, අලෙවි බදු ආදිය වක්‍ර බදු වශයෙන් ද සැලකෙනවා.

ආදායම් බදු ප්‍රමුඛවීම ප්‍රායෝගික වෙයිද ?

ආදායම් බදු, එසේ නොමැති නම් ඍජු බදු රටේ බදු ක්‍රමයේ ප්‍රමුඛ අංශයක් බවට පත් කිරීමට සූදානමක් තිබුණත් ප්‍රායෝගිකව එය ඉටු කළ හැකිද යන්න ප්‍රශ්නයක් බව ආර්ථික විශේෂඥයන් කියනවා. ඊට හේතු වන්නේ ලංකාවේ ආදායම් බදු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලුයි. උදාහරණයක් විදිහට ලංකාවේ සමස්ත බදු ආදායමෙන් ඍජු බදු ප්‍රතිශතය පවතින්නේ සියයට 20කට ආසන්න අගයක. මේ තත්ත්වය 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව පැහැදිලි කළහොත් 2015 වසරේ බදු ආදායම රුපියල් මිලියන 1,355,779ක් වන විට ශුද්ධ ආදායම හා ලාභය මත බදු ප්‍රමාණය රුපියල් මිලියන 262,583ක් පමණයි. මෙය කිසිසේත් ප්‍රමාණවත් තත්ත්වයක් නොවෙයි.

උදාහරණයක් විදිහට මහා බ්‍රිතාන්‍යයේ ආදායම් බදු ප්‍රතිශතය සියයට 33.3ක් වන අතර නෝර්වේ රාජ්‍යයේ එය සියයට 40.2ක් වැනි අගයක්. සමස්ත යුරෝපීය කලාපයේ එය සියයට 30.1ක් වැනි ඉහළ අගයක්. ශ්‍රී ලංකාවට මෙවැනි ප්‍රශස්ත තත්ත්වයකට යාමට තවත් බොහෝ කාලයක් ගත වන බව පැහැදිලියි.

අනෙක් කරුණ වන්නේ ලංකාවේ ආදායම් බදු ගෙවිය හැකි මට්ටමේ ජනතාව සිටින්නේ ජනගහණයෙන් කුඩා ප්‍රතිශතයක් පමණයි. ජනගහණයෙන් අති බහුතර රාජ්‍ය සුබසාධනය මත (සමෘද්ධිය වැනි) යැපෙන අඩු ආදායම්ලාභීන්. ඒ වගේම ලංකාවේ කොපමණ නීති තිබුණත්, දිරිදීම් තිබුණත් ආදායම් බදු පැහැර හැරීම විශාල වශයෙන් සිදු වෙනවා. ආදායම් බදු දැලට පහසුවෙන් හසුකර ගැනීමට හැකියාව තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්, බැංකු ගනුදෙනුකරුවන් වැනි පිරිස් පමණයි. එහෙත් අනියම් ආකාරයෙන් විශාල ආදායම් උපයන පිරිස් (උපකාරක පන්ති ගුරුවරු, පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරු, නීතිඥයන්, ගෘහ නිර්මාණශිල්පීන් ආදි) බදු දැලට හසුකර ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඇතැම් ව්‍යාපාරිකයන් ඉතාම කූඨ ආකාරයෙන් බදු ගෙවීම පැහැර හරින අවස්ථාත් ලංකාවේ සුලභයි. මෙවැනි තත්ත්වයක් තුළ බදු ක්‍රමය කාර්යක්ෂම හා ඵලදායී නොකොට බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම අපහසු විය හැකියි.

ශ්‍රි ලංකාවේ බදු ක්‍රමයේ විප්ලවීය වෙනසක් සිදුවීම අනිවාර්ය කරුණක් වුවත් ඒ සමඟ අති සංකීර්ණ යාන්ත්‍රණයක් බැඳී පවතින නිසා එකී ක්ෂේත්‍ර තුළ ද සමගාමී වෙනසක් සිදුවීම අනිවාර්ය කොන්දේසියක් බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. උදාහරණයක් වශයෙන් ‘විගණන පනත’ කඩිනමින් ගෙන එන බව යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක්. ඒත් තවමත් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැහැ. එය කොතැන හෝ සිරවී ඇති බව ඉතාම පැහැදිලි කරුණක්.

ගැටලු විසඳා ගැනීම

ඒ ආකාරයෙන්ම ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන බදු යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම තවත් ගැටලුවක්. අනෙක් අතින් ආණ්ඩුව පසුගිය කාලය පුරාම දැවැත්ත බදු ආදායමක් උපයා ගත්තේ විදේශ වෙළෙඳාම මත බදු පැනවීම මගිනුයි. ඒ තුළින් සිදු වුණේ ලංකාවට සිදුකරන ආනයනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමයි. ජනතාවට අමතර බරක් දැරීමට සිදුවීමයි. මේ තත්ත්වය වෙතින් විතැන්වීමේ හැකියාවක් වර්තමානයේ දී ලංකාවට තිබේද යන්න ගැටලු සහගතයි. විශේෂයෙන් ආනයන වේගයෙන් වර්ධනය වන වාතාවරණයක් තුළ මේ තත්ත්වය සංකීර්ණ විය හැකියි.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය වෙත යළි යා යුතුයි. අද පන්සල් ගානේ යමින් අසත්‍ය හා ජනතාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කිරීම දෛනික පුරුද්දක් කරගෙන සිටින මහින්ද රාජපක්ෂ මහතා තමාගේ පාලන යුගයේ බදු යාන්ත්‍රණය හැරවූ ආකාරය ගැන බොහෝ දෙනකුට අමතක නැහැ.තමා බලයට පත් වුවහොත් සියයට විස්සකින් බදු අඩු කරන බව කියන මහින්ද රාජපක්ෂ මහතාට තම පාලන සමයේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය (මේ ගැන දැනගෙන හිටියේ පී.බී. ජයසුන්දර පමණක් බවට මතයක් පවතී) නොවැටහී යාමට හැකියාවක් නැහැ. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ යුගයේ රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10 දක්වා පහළ වැටෙන විට (මෙය ආසියානු කලාපයේ අඩුම අගයයි) (2005දී 13.7කි) විට එම යුගයේ (2005) රාජ්‍ය වියදම රුපියල් බිලියන 585 සිට 2014 වන විට රුපියල් බිලියන 1796 දක්වා ඉහළ ගියා. මේ සමඟ රාජ්‍ය වියදම් පරතරය (2005) රුපියල් බිලියන 205 සිට 2014 දී රුපියල් බිලියන 601 දක්වා ඉහළ ගියා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දැවැන්ත පරතරය පියවා ගත්තේ විධිමත් ආකාරයෙන්, ඵලදායී ආකාරයෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම මගින් නොව දැවැන්ත විදේශ ණය ගැනීම් වෙත යොමු වීම මගිනුයි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ 2005දී පැවැති මුළු ණය ආපසු ගෙවීම් රුපියල් බිලියන 345 සිට 2014 වන විට රුපියල් බිලියන 1069 දක්වා වර්ධනය වුණේ රාජ්‍ය වියදම් පියවා ගැනීම (මෙගා සංවර්ධන කටයුතු ඇතුළු) විදේශ ණය ගැනීම් තුළින් සිදුකළ නිසයි.

අද බලය අහිමි වූ විට තම හැකියාවන් ගැන පම්පෝරි කතා කියමින් අධි තක්සේරුවක සිටින හිටපු පාලකයන් තම මිත්‍යා ප්‍රබන්ධවලින් සදාකාලිකවම ජනතාව රැවටිය නොහැකි බව අවබෝධ කරගත යුතුයි. එසේ නොවුණහොත් අනිවාර්යයෙන්ම සිදුවනු ඇත්තේ රාජපක්ෂ කල්ලියට 2015දී රෑ වැටුණු වළේ 2020දී අමු දවල් වැටීමට සිදුවීමයි.

සටහන භාතිය බරුකන්ද

නඩුවට නුවරඑළි ගිය කොඩි පෙළපාලිය

$
0
0
ජුනි 15, 2018 01:00

අපි හැමෝම වගේ සින්දු කිව්වා.ඒත් මොන අවස්ථාවකවත් රෝහණ සහෝදරයා සින්දු කිව්වේ නැහැ. එයා කළේ අපි කියන සින්දුවල තාලයට අත්පුඩි ගහන එක. හැබැයි එයා අපි සින්දු කියන අවස්ථාවල් මග හැරියේ නැහැ.ඔහු විශේෂයෙන්ම කැමති ප්‍රේම ගීතයක් තිබුණා මට මතකයි. මට මතක හැටියට අමරදේව ගයන ‘පුංචි පැලට පෙති ගෝමර’ නමැති එම ගීතයට රෝහණ සහෝදරයා කැමති වී තිබුණේ ගම් පෙදෙසේ නෑනා කෙනෙක් සමඟ ඇති කර ගත් ඔහුගේ පළමු ප්‍රේම සම්බන්ධයට අදාළව.”

ලයනල් බෝපගේට අනුව ජාතිවාදයේ පැතිරීම සහ පැතිරවීම සඳහා පිටු බලය ලැබීමට වැදගත් අවකාශයක් ලබාදෙන්නේ විරැකියාවයි. රටේ ඌණ සංවර්ධනය පිළිබඳවත් විදේශීය අධිරාජ්‍යවාදී ඒකාධිකාරයත් අපේ ආර්ථිකය මත දරන ආධිපත්‍යය පිළිබඳවත් පවතින මූලික ප්‍රශ්න නිරාකරණය කර ගැනීමෙන් තොරව මේ රටේ විරැකියා ප්‍රශ්නය විසඳන්නට බොහෝ ආණ්ඩු උත්සාහ දරා තිබෙන බව ඔහු දරන මතයයි.

“බණ්ඩාරනායක මහතාගේ ‘ප්‍රගතිශීලී’ ආණ්ඩුවේ ආර්ථික වැඩ සටහන අණ්ඩ දාපු එකක්. ඒක ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙලා හදපු අනෙක් ‘ප්‍රගතිශීලී’ සභාග ආණ්ඩුවලටත් එක්තරා දුරකට අනතුරු ඇඟවීමක් ලෙස පැවතුණා. ඒ වගේම බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එතෙක් තිබුණ එක්සත් ජාතික පක්ෂයේ අබලන් වී තිබුණ කෘෂිකර්ම ප්‍රතිපත්තියට වඩා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුවා. ඊට හේතුව මහජන එක්සත් පෙරමුණේ කෘෂි ප්‍රතිපත්තිය සකස් කළේ කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධන වීම. ඒත් මේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ ප්‍රධාන අඩුපාඩුව වූණේ මුළුමනින් ම වී වගාව කෙරෙහි පමණක්ම එහි අවධානය යොමු කිරීම.”

පිලිප් ගුණවර්ධන අමාත්‍යවරයා ඉඩම් භුක්ති ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළේය. ඒ අනුව කුඹුරු පනත ඉදිරිපත් කරන ලදී. පනතෙහි අරමුණ වූයේ අඳ ගොවීන්ට භුක්තියෙහි ආරක්ෂාව සපයා දීමයි. අඳ ගොවීන් විසින් ඉඩම් හිමියන්ට ගෙවිය හැකි උපරිමය එමගින් නියම කෙරුණි. ඒ අතර ග්‍රාමීය කම්කරුවන්ගේ වැටුප් නියම කිරීම සඳහා කමිටුවක් ද පත් කෙරිණි.

“බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණු පාලනය යටතේත් කළ, ඉන් පසුව පැවතුණ ආණ්ඩු යටතේත් ‘ජනසතු කිරීම්’ පෞද්ගලික ධනයේ නෛතික අයිතිය රජය වෙත පවරා ගැනීමට සීමා වුණා. කවදාවත් ඒවා වඩා කාර්යක්ෂම සහ වගකිව යුතු මට්ටමට වෙනස් කළේ හෝ සංවර්ධනය කළේ නැහැ. රටේ සම්පත් සම්පාදනය කළ මිනිසුන්ට අතිරික්තය බෙදා හරින්නට, නිෂ්පාදන මාර්ග සමාජ සන්තක කරන්නට, මේ කව්රුවත් කිසිදු උත්සාහ දැරුවේ නැහැ.”

“එදා අපි දැක්ක විදියටත් මම අදත් විශ්වාස කරන විදියටත් මහජන මුදල් නාස්ති කරමින් වියළි කලාපය තුළ ජනපද බිහි කිරීම දිගින් දිගටම කර ගෙන ගියා.

බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව පත් කරන්න මහන්සි වුණු සිංහල ජාතිවාදී බලවේග ජාතික වේදිකාවේ පෙන්වා දුන්නේ බණ්ඩාරනායක මහතා අවශ්‍ය තරම් ජාතිවාදී දුරකට නොයන බව’ යි. සමහරු කිව්වේ තමන්ගේ ‘ආර්ය මුතුන් මිත්තන්ගේ කීර්තිය’ දෙමළ ජනයාට පාවා දීමට බණ්ඩාරනායක මහතා කටයුතු කරන බවයි. මේ සියලු කාරනා එකට පෙළ ගැහිලා 1959 දී බෞද්ධ භික්ෂුවක් වූ සෝමාරාම බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරනවා.”

“1959 සැප්තැම්බර් 26 වෙනිදා සිදු වුණු බණ්ඩාරනායක මහතාගේ මරණය දැනගත්ත අපේ ගම්වල මිනිස්සු හඬා වැළපෙන්න ගත්තා. ඔහුගේ වියෝව නිවේදනය කරන්නට ගුවන් විදුලියේ සියලු වැඩසටහන් නවතා දැමුණා. මමත් අපේ තාත්තාත් මහත් උනන්දුවකින් ලංකා ගුවන් විදුලි සේවයේ විකාශනයන්ට සවන් දුන්නා. ඊළඟ පැය 48 පුරාම ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ අපිවත් අනෙක් අයවත් තව තවත් හඬා වැළපෙන්නට සැලැස්වූ ශෝකීමය වටපිටාවක් නිර්මාණය කළ සිතාර් වාදනයක් පමණයි.”

අගමැති බණ්ඩාරනායක යුගයේ දී ලයනල් බෝපගේ අත්දුටු මේ සිදුවීම්වලට සම්බන්ධ වුණු විශ්වාස කළ නොහැකි තරමේ සිදුවීමක් ඉන් වසර පනහකට පමණ පසු 2007 ලන්ඩන් නුවර දී සිදුවිය.

“2007 දී මම සමුළුවකට සහභාගී වෙන්නට මම ලන්ඩන් නුවරට ගියා. මාව ගුවන් තොටුපලින් රැගෙන යාමට ඇවිත් සිටිය පුද්ගලයාත් මමත් අතර මග දී කළ කතාබහේදි මම උපන්නේ වැලිගම බවත්, කලක් මාතර රාහුල මහා විද්‍යාලයේ ඉගෙන ගත් බවත් මම කීවා. ඔහුත් කලක් වැලිගම පදිංචිව සිටි බවත්, රාහුල මහා විද්‍යාලයේ ඉගෙන ගත් බවත් ඔහුත් කීවා. මට මේ ගැන පුදුම හිතුණා. මම එයාට නිකමට වගේ රාජවරෝදය රාජමාතණ්ඩන් සහ ඔහුගේ නිවස අසල සිටි රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඕවසියර්වරයා ගැනත් කිව්වා. මාව තව තවත් පුදුමයට පත් කරමින් ඔහු ඒ අය ගැනත් දැනගෙන හිටියා. ඇත්තටම මාව එක්ක යන්න රියදුරා හැටියට ඇවිත් හිටියේ 1958 දී ගිනිබත් කළ නිවසේ හිටපු රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඕවසියර්වරයාගේ පුතා. එයා එංගලන්තයේ ප්‍රසිද්ධ සිවිල් ඉංජිනේරුවෙක්. නම කුහනේන්ද්‍රන්, කෙටියෙන් කියන්නේ ‘කුහන්’ කියලා. රාජමාතණ්ඩන් මහත්තය කලබලවලින් පස්සේ යාපනයේ හාට්ලි විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට වැඩ කරලා මරණයට පත් වුණ බව ඔහු කිව්වා.”

ලයනල් බෝපගේ කොන්දේසි විරහිතව බොහෝ දෙනා ඇසුරු කරයි. දේශපාලන පරස්පරතා තිබුණ ද මිනිසුන් ඇසුරට ඔහු සීමා පනවා නොගනී. එනිසාම ඔහුට ලන්ඩනයේ දී කුහන් හමුවීමද අරුමයක් නොවේ. තරුණයන් ලෙස ව්‍යාපාරයට සම්බන්ධ වූවායින් පසුව පවා ඉඩක් ලද විටෙක තමන් සෙසු අය සමඟ ගී ගයමින් සතුටින් කල් ගත කළ බව ඔහු පවසයි.

“අපි ඒ කාලේ තරුණ වයසේ. අපිත් හිනා වුණා. විහිලු තහලු කළා. සින්දු කිව්වා. එහෙම දේශාභිමානී ගීතවලට වෙන් වුණු විශේෂ අවස්ථාවක් තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ නඩුවට නුවරඑළි ගිය ගමන. අපි ඔක්කොම කොටුවෙන් එක දුම්රියක ගියේ. ගාල්ලෙන් ආපු සිසිල්චන්දු, මාධූවගේ, සැම්සන් වගේ සහෝදරවරුනුත් ගී ගැයීම්වලට එකතු වුණා. කොටුවෙන් යන බදුල්ල කෝච්චියේ පෙට්ටි කිහිපයක් ම අපට වෙන් කර ගෙන වගේ තමයි තිබුණේ. රතු කොඩි වනමින් සින්දු කියමින් අපි නානුඔයට යන කම් ගියා. ඒක අදටත් විශේෂයෙන් මතක තියෙන ගමනක්.”

“රෝහණ සහෝදරයා බදුල්ලේ බන්ධනාගාරයේ රදවා ගෙන නුවරඑළිය උසාවියට ගෙනියනකොට කොළඹින් ගිය අපි නානුඔයෙන් බැහැල නුවරඑළියටම පයින් යනවා. ඒ කිලෝමීටර් පහක විතර දුර අපි යන්නේ සින්දු, සටන් පාඨ කියමින්. ආණ්ඩුව රෝහණ සහෝදරයාගේ නඩුව නුවරඑළියට ගත්තේ ඒ නඩුවට සමාජ අවධානය අඩුවෙන් ගන්න. ඒත් අපේ වැඩේ හින්ද සමාජ අවධානය වැඩි වුණා. එදා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට නුවරඑළිය නගරයත් උසාවි භූමියත් රතු පාට කොඩිවලින් වැහුණු දවස. ඒක ඇත්තටම රතු කොඩි සයුරක් වගේ. අපි උසාවියේ නඩු විභාගය කෝලමක් කරගත්තා. අපි උසාවිය ඇතුළෙදි නැගිට්ටේ රෝහණ සහෝදරයා උසාවියට ගේන කොට විතරයි. අවසානයේ අපි උසාවි සටන ජය ගත්තා. රෝහණ සහෝදරයා නිදහස් කළා.”

“මම පාසල් යද් දී චිත්‍රපට බැලුවා. 1950 වාගෙ සිංහල චිත්‍රපට තිබුණේ ඉතා අඩුවෙන්. මගේ පවුලේ සියලු දෙනාම බලපු පළමු චිත්‍රපටිය ඉන්දියන් එකක්. ඒකේ නම සම්සාරම් (බිරිඳ); මාතර රාහුලේට යන කාලෙ හින්දි, ඉංග්‍රීසි චිත්‍රපටත් බලන්න පටන් ගත්තා. Ben-hur (බෙන්-හර්), The Ten Commandments (දස පනත), The Bridge on the River Kwai (ක්වායි ග‌ඟේ පාලම) සහ The Singing Nuns(ගායක කන්‍යා සොයුරියෝ) චිතුපට මට තවම මතකයි. මගේ ජනප්‍රිය බටහිර රි දී තරු චාල්ටන් හෙස්ටන්, රෝයි රොජර්ස්‚ සොෆියා ලොරේන්, ඩෙබී රෙනෝල්ඩ්ස් හිටියා. හින්දි චිත්‍රපට අතරෙ චිරාග් කහාන් රෝෂ්නි කහාන්, මධුමතී, සංගම් සහ ෂෙහ්නායි මට තවම මතකයි. මේ චිත්‍රපට බැලුවේ වැලිගම පැලෑනේ චිත්‍රපට ශාලාවකයි මාතර බ්‍රෝඩ්වේ සිනමා හලේ.

“චිත්‍රපටි බැලීමත් එක්ක හින්දි ගීත වැඩියෙන් අහන්නත් ගයන්නත් මම ආස කළා. නමුත් මුලින්ම හින්දි ගීත අහන්න පුරුදු වුනේ 50 ගණන්වල අපේ තාත්තගෙන්. අපේ පවුලේ හැමෝම උදේ පාන්දර ම ඇහැරෙනවා. තාත්තා අදේ 5.30 වෙන කොට පකිස්තානු ගුවන් විදුලිh (Radio Pakistan) හින්දි භාෂාවෙන් ප්‍රචාරය කළ පැය බාගයක ඔබ කැමති ගී වැඩ සටහන දානවා. ”

විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර තුලත් ඉන් පිටතත් ව්‍යාපාරයේ සොහොයුරන්ගේ හමුවීම් අවසානයේ ඇතැම් විට ඔවුහු ගී ගයති. පාසල් යන මුල් අවධියේ ධර්මදාස වල්පොල, එච් ආර් ජෝතිපාල‚ මොහිදීන් බෙග්, මිල්ටන් පෙරේරා වැනි අයගෙන් පටන් ගත් ඔහුගේ ගී ගැයුම් කාලය ගත වීමත් සමඟ හින්දි ගීත හරහා අමරදේව, නන්දා මාලිනී වැනි අයගේ ගීත වෙත යොමු විය. පසු කලක බෝපගේ වඩාත් ප්‍රචලිත ව සිටියේ අමරදේවගේ ගී ගායනා කිරීමටය. ඒ වන විට ඔහු බටහිර සහ මැද පෙරදිග සංගීත ආභාෂයන් වෙත ද යොමුව සිටියේය.

“අපි හැමෝම වගේ සින්දු කිව්වා.ඒත් මොන අවස්ථාවකවත් රෝහණ සහෝදරයා සින්දු කිව්වේ නැහැ. එයා කළේ අපි කියන සින්දුවල තාලයට අත්පුඩි ගහන එක. හැබැයි එයා අපි සින්දු කියන අවස්ථාවල් මග හැරියේ නැහැ.ඔහු විශේෂයෙන්ම කැමති ප්‍රේම ගීතයක් තිබුණා මට මතකයි. මට මතක හැටියට අමරදේව ගයන ‘පුංචි පැලට පෙති ගෝමර’ නමැති එම ගීතයට රෝහණ සහෝදරයා කැමති වී තිබුණේ ගම් පෙදෙසේ නෑනා කෙනෙක් සමඟ ඇති කර ගත් ඔහුගේ පළමු ප්‍රේම සම්බන්ධයට අදාළව.”

“අපි අපේ වයසේ අනෙක් තරුණයන්ට වඩා වෙනස් වුණේ දේශපාලනයේ දී විතරයි. එහෙම නොවන හැම මොහොතකම අපි සාමාන්‍ය තරුණයෝ. සමහරු හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අය කියන්නේ අමුතු සත්තු වගයක් කියලා. නැහැ, එහෙම නැහැ. ජීව විද්‍යාත්මකව තරුණයන්ට හිමි හැම හැඟීමක් ම අපටත් තිබුණා. අපි අපේ තරුණ කාලේ අනික් අය වගේම ආදරය කළා. මටත් මගේ පාසල් කාලේ ප්‍රේම සම්බන්ධතා තිබුණා. පක්ෂය තුළ සරත් විජේසිංහ සහෝදරයගෙත් විට්ලින් සහෝදරී ගෙත් ප්‍රේම සබඳතාව ප්‍රකට එකක්. වසන්ත දිසානායක සහෝදරයාගේ පෙම්වතිය හඳගම සහෝදරිය මියගියේ අරගලයේ සටන් බිමේ දි වෙඩි පහරකින්. තවත් බොහෝ අයට ප්‍රෙම සම්බන්ධකම් තිබුණා. එවැනි සබඳතා හංගන්න අපට ඕන කමක් තිබුණේ නැහැ. සමහරු හිතනවා පක්ෂය ඇතුළේ ප්‍රේමය තහනම්ව විෂයයක් කියලා. නැහැ ඒක අසත්‍යයක් ඒවා ගැන ප්‍රශ්න මතු වුණේ ඒ සම්බන්ධකම් හේතුවෙන් ව්‍යාපාරයේ දේශපාලන වැඩ කටයුතුවලට බාධා හිරිහැර පැමිණුන විට.”

බෝපගේ පවසන ආකාරයට මහ නඩුවට පෙර මැගසින් බන්ධනාගාරය තුළදීත් ඔවුහූ ඉඩක් ලද විටෙක ගී ගැයූහ. මුල දී බන්ධනාගාර කුටි තුළ තැන් තැන් හී ඇරඹී මේ ගායනා බන්ධනාගාර අධිකාරී ජෝර්ඩන් මහතාගෙන් ලද ‘නිදහස’ත් සමඟ තරමක් විධිමත් සංවිධානාත්මක ‘ගායනා ප්‍රසංග’ බවට පත්විය.

“මුලින්ම අපිව බන්ධනාගාර කුටි ඇතුලේ සින්දු කිව්වා. වැඩි කාලයක් එළියේ ඉන්න නිදහස ලබා ගත්තම අපි මැගසින් එකේ කෙළවරකට එකතු වෙලා සින්දු කීවා. සින්දු කියන්න පුළුවන්, ඊට කැමැත්ත තියෙන බොහෝ දෙනෙක් මේකට එකතු වුණා. රෑ වෙලා කුටිවලට දාලා වහැව්වට පස්සෙත් අපි රෑ බෝ වෙන කම් සින්දු කිව්වා. මම තමයි ගීත හුඟක් කිව්වේ.”

මැගසින් බන්ධනාගාරයේ බෝපගේ සමඟ සැකකරුවන් දාහක් පමණ රදවා උන්හ. වයස අවුරුදු දාහතේ සිට තිහ පමණ දක්වා වූ ඒ සියල්ල අතර පසු කලෙක ලාංකීය සමාජය තුළ දැඩි අවධානයට ලක් වූ බොහෝ දෙනෙක් විය.

පියදාස රණසිංහ (පසුව ජ.වි.පෙ. සංවිධායක ලේකම්), ධර්මදාස ජයසිංහ (පසුව ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික සහ ගාල්ල සංවර්ධන සභා මන්ත්‍රී), හලාවත වනසිංහ (පසුව ජ.වි.පෙ. අධ්‍යාපන ලේකම් සහ නියමුවා පුවත්පත් සංස්කාරක), බුලට් මහින්ද (නීතිඥ මහින්ද ජයවර්ධන), පොඩි අතුල (වික්ටර් අයිවන් - රාවය කතෘ), කැප්ටන් කුලරත්න (පසුව ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික සහ වර්තමානයේ මාගා ආයතනයේ සභාපති - එම්. ජී. කුලරත්න ), මදරසිංහ (පසුව ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික සහ වර්තමානයේ මාගා ආයතනයේ), විජිත රණවීර (එවක ජාතික ලුණු සංස්ථාවේ සභාපති, පසු කලෙක ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී), කළු ලකී (පසු කලක එක්සත් ජාතික පක්ෂයට එකතු වූ ලක්ෂ්මන් ප්‍රනාන්දු), දේව බණ්ඩාර සේනාරත්න (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරන ලද)‚ දයා වන්නිආරච්චි (ජ.වි.පෙ. ප්‍රථම ප්‍රධාන ලේකම්), කීර්ති විජේසිංහ (කූනි සංචාරකයෝ) ඇතුළු තවත් බොහෝ දෙනෙක් මේ අතර වූහ.

“මේ අය අතරින් වැඩි දෙනෙක් හිටියේ නැවතත් දේශපාලනය කරන අදහසින්. පොඩි අතුල තදින්ම පක්ෂය විවේචනය කළා. ඔහුට තිබුණු බරපතලම ප්‍රශ්නය විදිහට පෙනුණේ, පක්ෂයේ අධ්‍යාපන පංතියක් ලෙස ඇතුලත් කර තිබුණු ‘ඉන්දියානු ව්‍යාප්තවාදය.’ තවත් ප්‍රශ්න ගණනාවක් එයා මතු කර කළා. එත්, සෑහෙන පිරිසක්‚ බහුතරය හිටියේ ආයෙත් පක්ෂය ගොඩ නඟා ගෙන දේශපාලනය කිරීමේ අදහසින්. ඒ නිසා අපි අතර විරසකකම් තිබුණේ අඩුවෙන්. දේශපාලනය කිරීමේ අරමුණ නිසා අපි එකට එක්වුණා කිව්වොත් නිවැරදියි. ඒ අරමුණ අප අතර වෙනත් ගැටුම් ඇතිවීම වැලක්වුවා.”

සිසිර යාපා

සඳුදා - ඇත්ත කියූ නිසා දොට්ට දැමූ හැටි...

පාපන්දු වසන්තයේ සයිබර් ප්‍රහාර භීතිකාව

$
0
0
ජුනි 16, 2018 01:00

21 වන පාපන්දු වසන්තය රුසියාවේදී පසුගිය දා ආරම්භ විණ. එය ජුනි 14වැනිදා සිට ජූලි 15වැනිදා දක්වා දින 31 පුරා පැවැත් වේ. පාපන්දු ලෝක ශුරතා තරගාවලිය ආරම්භ වීමට දින දෙකක් තිබියදී විවිධ රටවල බුද්ධි අංශ විශේෂ නිවේදනයන් නිකුත් කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. පාපන්දු ලෝක ශූරතා තරගාවලියට සහභාගී වන සියලුම දෙනා දත්ත අඩංගු තම තමන්ගේ විද්‍යුත් මෙවලම්, සයිබර් ප්‍රහාරවලින් බේරා ගැනීමට කටයුතු කළ යුතු බැව් එම නිවේදනයන්ගෙන් කියැවිණ. ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, ටැබ් ආදියට සයිබර් ප්‍රහාර එල්ල විය හැකි බව එම නිවේදනවල වැඩි දුරටත් සඳහන්ව තිබේ. මේ නිසා එවැනි උපකරණ තම නිවෙස්වලම තබා රුසියාවට පැමිණෙන මෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කෙරිණ.

පාපන්දු ක්‍රීඩා තරග පැවැත්වෙන අතරවාරයේදී ජංගම දුරකතන භාවිත කිරීමට අවශ්‍ය යැයි හැඟෙන අයවලුන්ට “බර්නර් ෆෝන්ස්”වශයෙන් හඳුන්වන තාවකාලික මෙවලම් රැගෙන යන මෙන් එම රටවල බුද්ධි අංශ උපදෙස් ලබා දී ඇත. රුසියාවේ ගත කරන කාලය තුළ භාවිතයට ගන්නා එම “බර්නර් ෆෝන්ස්” තම නිවෙස්වලට ළඟා වීමට පළමුව විනාශ කර දැමිය යුතු බවත් සඳහන් වේ. දත්ත හුවමාරු කිරීමේ මෙවලම්වලට මේ අන්දමින් සයිබර් ප්‍රහාර එල්ල විය හැකි වන්නේ රුසියා රහස් ඔත්තු සේවා හෝ සයිබර් අපරාධකරුවන් හෝ වෙතින් බව අවධාරණය කර තිබීම තවත් විශේෂත්වයකි.

අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ රටවල් අතර බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය කැපී පෙනෙයි. බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමටත්, පාපන්දු තරග නරඹන්නට රුසියාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ක්‍රීඩා ලෝලීන්ටත් විශේෂ උපදෙස් ලබා දී ඇත. බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩා ලෝලීන්ට එම උපදෙස් ලබා දී තිබුණේ එක්සත් රාජධානියේ, රජයේ සන්නිවේදන මූලස්ථානයේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයයි. තමන්ට අයත් භාණ්ඩ හෝටල් කාමර තුළදී පවා සුරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමට එම ආයතනය මඟින් විශේෂ උපදෙස් නිකුත් කරන ලදී. එම නිලධාරීන් විශ්වාස කරන අන්දමට බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩයමේ සාමාජිකයන්ට අයත් ජංගම දුරකතන, ටැබ් සහ ලැප්ටොප් පරිගණකවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වන්නට විශාල ඉඩක් ඇත.

මහජන පරිහරණය සඳහා වෙන්කර ඇති වයි - ෆයි සේවාවන්ට සම්බන්ධ වීමේදී බ්‍රිතාන්‍ය ක්‍රීඩා ලෝලීන් ප්‍රවේසම් විය යුතු අන්දම ගැනත් යට කී ආයතනය තොරතුරු නිකුත් කර තිබේ. තම ජංගම දුරකතන සම්බන්ධතා සේවා විදේශයන්හිදී ක්‍රියා කරන්නේද යන්න සම්බන්ධයෙන් එම සමාගම් ලබා දෙන උපදෙස්වලට අනුව බ්‍රිතාන්‍යය ක්‍රීඩා ලෝලීන් ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කර ඇත. ජංගම දුරකතන, ලැප්ටොප් සහ ටැබ්වල මෘදුකාංග වෛරසවලට ප්‍රතිරෝධී මෘදුකාංග, ඇප්ස් ආදිය යාවත් කාලීන කරගැනීම අවශ්‍යම කටයුත්තක් බව ඔවුහු පෙන්වා දෙති. විද්‍යුත් මෙවලම්වල ඇති දත්තවල පිටපතක් තම රටේ තබා සංචාරය ඇරඹීමේ වැදගත්කමත්, උපාංගවලට මුර පද යෙදීමේ වැගත්කමත් බ්‍රිතාන්‍යයේ, ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දී තිබේ. සමාජ වෙබ් අඩවිවල තම ගිණුම් සහ විද්‍යුත් තැපෑල ගිණුම් මුර පද යොදා විශේෂයෙන්ම ආරක්ෂා කළ යුතුව ඇති බව එම ආයතනයේ විශේෂඥයෝ සඳහන් කරති.

පාපන්දු ලෝක කුසලාන තරග පැවැත්වෙන දින 31ක කාලය තුළ හාර ලක්ෂයකට අධික විදේශිකයන් ප්‍රමාණයක් රුසියාවේ සංචාරය කරනු ඇතැයි කියා ගණන් බලා ඇත. අනවසරයෙන් ඔවුන්ගේ දත්තවලට ඇතුළු වී සිදු කරන අපරාධකාරී ක්‍රියා කෙරෙහි ඒ සෑම කෙනෙකුම අවධානයෙන් සිටිය යුතු බව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. සංවිධානයේ නියෝජිත විලියම් ඉවනිනා පවසයි. රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් ඔහු කියා තිබුණේ මෙවැන්නකි.

“ඔබ, ඔබේ ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක සහ පෞද්ගලික ඩිජිටල් සහයක හෝ වෙනත් කවර ආකාරයක හෝ විද්‍යුත් උපාංග එහි රැගෙන යන්න සැලසුම් කරනවා නම් එය ඔබ කරන ලොකු වරදක්. ඒ උපාංගවල තියෙන, ඔබට අයත් මොන යම් ආකාරයක හෝ දත්ත, විශේෂයෙන්ම ඔබේ පෞද්ගලික අනන්‍යතාවය තහවුරු කරන දත්තවලට රුසියා රජය හෝ සයිබර් අපරාධකරුවන් හෝ ප්‍රවේශ වනු ඇත. සංස්ථාපිත සහ රජයේ නිළධාරීන් මෙහිදී අතිශයින්ම අන්තරාකාරී තැනක ඉන්නේ. නමුත් ඔබ එවැනි අන්තරාකාරී තැනෙක නෙවෙයි ඉන්න කියලා උපකල්පනය නොකළ යුතුයි. ...” යනුවෙනි.

විලියම් ඉවානිනා වැඩි දුරටත් පවසන්නේ දත්ත අඩංගු විද්‍යුත් මෙවලම් භාවිතයෙන් තොරව කෙනෙකුට රුසියාවට පිවිසිය හැකි නම් එය ඉතාමත් සුදුසු බවකි. දත්ත පරිහරණය කෙරෙන මෙවලම් භාවිත කිරීමට අවශ්‍ය ම නම් විකල්ප උපකරණ (pay-as-you-go phone වර්ගයේ දුරකතන) ප්‍රයෝජනයට ගත යුතුය යන්න ඔහුගේ උපදෙසයි. භාවිතයට නොගන්නා අවස්ථාවන්හිදී එම විකල්ප උපකරණවල පවා බැටරි ගලවා තබන මෙන් ඔහු ඉල්ලීමක් කර ඇත.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලියක් හැකරුන්ගෙන් සහ රහස ඔත්තු සේවාවන්ගෙන් මුදා ගැනීමට සයිබර් ආරක්ෂණ බලධාරීන් කටයුතු කළ පළමු අවස්ථාව මෙය නොවේ. මේ වසර මුලදී දකුණු කොරියාවේ සියෝල් නුවරදී, ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වුණේත් මෙවැනිම අවදානමක් මධ්‍යයේය. ක්‍රීඩකයන් සහ ක්‍රීඩාලෝලීන් එවරත් මේ අන්දමින්ම ආරක්ෂා කරගන්නට සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන නිලධාරීන්ට සිදු විණ.

mail online ඇසුරෙනි

 

සමාන්තර ලෝක කිහිපයක් තිබිය හැකිද?

$
0
0
ජුනි 16, 2018 01:00
තඹරු විජේසේකර

විශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසු වන්නේ අපිට ආලෝකය ලැබෙන ප්‍රමාණයක දුරෙහි ඇති ප්‍රදේශයකුයි. මෙය නිරීක්ෂ්‍ය විශ්වය ලෙස හැඳින්වෙනවා. අපට මෙලෙස පෙනෙන ප්‍රමාණයෙහි තවත් ජීවීන් කොටසක් සිටිනවා නම්, ඔවුන්ට අපටත් එහා ඇති තවත් කොටසක් පෙනෙන නිසා ඔවුන්ගේ නිරීක්ෂ්‍ය විශ්වයෙහි කොටසක් අපට දැකගන්නට නොලැබෙන ප්‍රමාණයේ පිහිටා තිබෙනවා. සමාන්තර ග්‍රහලෝක සංකල්පයෙහිම පුළුල් මට්ටමක් වන සමාන්තර හෝ බහු-විශ්වයන්ගේ සංකල්පය ද දැන් කතාබහට ලක් වන්නක්. සමාන්තර ග්‍රහලෝක පිළිබඳ මතයෙහි සඳහන් වන්නේ අප වැනිම තවත් ග්‍රහලොවක් වෙනත් විය-හැකියාවක් සහිතව තිබිය හැකිය යන්නයි. එනම්, එම ග්‍රහලොවෙහි ද ඔබේ නම තිබෙන, රුව ගුණ තිබෙන ඔබ වැනිම කෙනෙක් සිටින නමුදු ඔබ කරවිල කන්නට ආස නැත්නම් ඔහු කරවිලවලට ඉතාම ප්‍රිය කරන ආකාරයේ ඔබේ තවත් විය-හැකියා අවස්ථාවක් දරන්නෙක් සිටිය හැකි බවයි. සමාන්තර ග්‍රහලෝක තනි විශ්වයක තිබෙන්නට හැකි නමුත් සමාන්තර විශ්ව යනු මොනවාද? තවත් විශ්වයක් තිබෙනවා නම් එය මේ විශ්වයෙහිම ඔබ්බෙහි ඇති තවත් කොටසක් නොවේ ද?

භෞතික විද්‍යාවෙහි දැනට සමාන්තර හෝ බහු විශ්ව තිබෙනවා නම් එය පවතින ආකාර 03ක් යටතේ දක්වනවා. නමුත් ඒ කිසිවක් සනාථ කර නැහැ. ඉන් එක් මතයක් නම්, කිසියම් අවකාශයක් තුළ බුබුළු ආකාරයට, කුඩා කළු කුහර ආකාරයේ අප සිටින ප්‍රදේශය වැනිම තවත් විශ්ව තිබෙන බවයි. මෙම මතය ගොඩනගන ලද්දේ අප සිටින විශ්වය කෙසේ නම් මෙතරම් තරු, ග්‍රහලෝක සහ ජීවය බිහි කරන ලදැයි විස්තර කරන්නටයි. මෙම මතය අනුව වෙනත් විශ්වයන්ගේ වෙනත් භෞතික විද්‍යාත්මක නීති-රීති ක්‍රියාත්මක වන අතර අප සිටින විශ්වයේ ජීවය බිහිව ඇත්තේ ඊට වඩාත් ම උචිත භෞතික විද්‍යාත්මක තත්ත්ව මෙහි තිබෙන නිසායි. දෙවැනි මතය වන්නේ ස්ථර ආකාරයට විශ්ව කිහිපයක් තිබිය හැකි බවයි. අපේ විශ්වයේ මූලික මාන තුනක් තිබුණත්, එහි පිටු ගණනාවක් ඇති පුවත්පතක් තිබෙනවාක් මෙන් විශ්වයට එපිටින් ඇති මාන 09ක් ඇති අවකාශයක පුවත්පතෙහි පිටු වැනි විශ්ව ගණනාවක් තිබිය හැකි බව ඉන් කියැවෙනවා. තෙවැනි මතය නම්, කිසියම් සිදුවීමක් සතුව විය-හැකියාවන් කොපමණ ප්‍රමාණයක් සහ එම විය-හැකියාවන්ට තවත් කෙතරම් ප්‍රතිඵල ජනනය කළ හැකි ද එතරම් ප්‍රමාණයක් දක්වා විශ්ව ගොඩනැගී තිබිය හැකි බවයි.

2009දී තිරගත වූ Mr.Nobody චිත්‍රපටයේ මෙම තෙවන මතය හොඳින් පැහැදිලි කළ හැකි කථා මාලාවක් අඩංගු වෙනවා. එහි සිටින දරුවාගේ මව සහ පියා දික්කසාද වෙනවා. මේ දරුවා මව සමඟ ජීවත් වෙනවා නම් ඔහුට එක්තරා ආකාරයක ජීවිතයක් ලැබෙනවා. එහි මව ඔහුගේ ඉදිරි ජීවිත කතාවෙහි සිටිනවා. නමුත් ඔහු පියාව තෝරාගත හොත් පියා සමඟ ඔහුට තවත් ජීවිත කතාවක් ලැබෙනවා. තුරුණු වියට එළැඹුණු විට ඔහුට ගැහැනු ළමුන් තිදෙනෙක් පාරේ බංකුවක වාඩි වී සිටිනු දකින්නට ලැබෙනවා. මේ තුන් දෙනාගෙන් එක් එක් අය හා විවාහ වුණහොත් ඔහුට ලැබෙන්නේ එකිනෙකින් විවිධ ආකාරයේ ජීවිත කතා තුනක්. මේ ආකාරයට හේතුවක් නිසා හට ගන්නා ප්‍රතිඵල මත විශ්ව තිබිය හැකි බව සමාන්තර විශ්ව හෝ බහු-විශ්ව තිබිය හැකි බව මේ මතයෙහි කියැවෙයි. ඉහත චිත්‍රපටයේ තේමාව වන්නේ අප ඒ අනුව එවන් තෝරා ගැනීමක් ඉදිරියේදී තීරණයක් නොගෙන සිටියහොත් තවත් ම ජීවිතයක් උරුම විය නොහැකිදැයි ප්‍රශ්න කිරීමයි. කොහොම නමුත්, මේ මත තුනෙන් දෙකක් හෝ තුනම එක් කරමින් ගොඩනැගුණු විශ්වයක් තිබෙන්නටත් බැරි නැහැ.

ක්වන්ටම් විද්‍යාවෙහි දියුණුවත් සමඟ අංශූන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනයට දැන් නව මංපෙත් හෙළි වෙමින් පවතින නිසා මෙම කල්පිතයන් පිළිබඳ පෙරැයීම් කරන්නට, අත්හදා බැලීම් සැලසුම් කරන්නට සහ අත්හදා බැලීම් සිදුකර ඒවා ගැන අදහසක් ලබා ගන්නට විද්‍යාඥයන්ට අවස්ථාව උදා වී තිබෙනවා. විශ්වයේ ඇති ග්‍රහලෝක සංඛ්‍යාව, මන්දාකිණි සංඛ්‍යාව පිළිබඳ විවිධ කාලවලදී මත පළ කරමින් සිටියාක් මෙන් එය දැන් විශ්වය යන තත්ත්වයටම පුළුල්ව සිතන්නට පෙළඹී ඇත්තේ විශ්වයට මෙන්ම සිතීමට ද නිම් වළලු නොමැතිව අනන්තය තෙක් තවමත් විහිදී යන නිසායි. මෙම ගැටලුව විසඳා ගන්නට නොහැකි බව නිසා අප සිටින්නේ පරිගණකයක් තුළ බවත්, විශ්වය යනු කෙළවරක් නොමැති යමක් වන්නේ එය පරිගණකය තුළ මවන ලද දෘශ්‍ය මායාවක් නිසා බවත් විවිධ කතාවල සඳහන් වෙනවා. නමුත් එහිදී ඇතිවන ගැටලුව නම්, එම පරිගණකය සකසන ලද අයට ද විශ්වයක් ඇති බවයි. අප ද එම ආකාරයේම දෘෂ්ටි මායා ඇති පරිගණක ක්‍රීඩාවක් වැනි දෙයක් සැකසුවහොත් එහි ද ජීවීන් අප ඇති කළහොත් ඔවුන්ට ද අපටත් පහළින් ලෝකයක් හටගන්නා බවයි. ඔවුන් ද එවැන්නක් සැකසුවහොත් තවත් විශ්වයක් එය තුළ ගොඩ නැගෙනවා. ඒ අනුව ප්‍රශ්නය තවත් සංකීර්ණ වන්නේ අපෙන් තවත් ඉහළට සහ පහළට ද විශ්වයන් ඇති බවටයි. එවිට ස්ථර වශයෙන් විශ්ව පැවතිය හැකිය යන්න ගැන ද තවත් ලෙසකින් සිතිය හැකි වෙනවා.

ලෝකය යනු අපි ඇස, කන, නාසය, දිව, සම යන පංචේන්ද්‍රියයන්ගෙන් ගොඩනගා ගත් දෙයකුයි. මේ ඉන්ද්‍රියයන්ට හසු නොවන බොහෝ දෑ මෙහි තිබෙන්නට පුළුවන්. ඒ වගේම කෙනෙක් රතු පැහැය කියා දකින්නේ ඔබ දකින රතු පැහැයම නොවන්නට පුළුවන්. ඒත් දෙදෙනාම ඒ වෙත ඇඟිල්ල දිගු කොට තනි වචනයක් කී විට තවත් තෙවැන්නෙක් ඔහුට පෙනෙන දේටත් “රතු” යැයි කියන්නට පටන් ගන්නවා. එනිසා එය හරියට අන්ධයන් අලියා ගැන කීවාක් වගේයි. අපි තවමත් නියම ලෝකය හෝ විශ්වය දැක නැහැ. නමුත් එය මේ මේ ලෙස පැවතිය හැකි යැයි කියන්නට බහුතර සාක්ෂි, ගණිතමය තර්ක තිබෙනවා. කිසිදු විෂයයක් ඉගෙනගෙන අවසන් කළ නොහැකිවාක් මෙන්ම විශ්වයද ඉගෙන ගෙන අවසන් කරන්නට හැකි වන එකක් නැහැ. ඒ බලාපොරොත්තුව සහ කුතුහලයයි විද්‍යාව ජීවත් කරවන්නේ.

 

ඉබි ගමනේ යන මගී ගුවන් යානා

$
0
0
ජුනි 16, 2018 01:00

ගොඩබිම වේගයෙන් සිදු කරන ගමන ගැන නොයෙකුත් කතා බහ ඇති වෙමින් තිබේ. අධිවේගී දුම්රිය අධිවේගී මාර්ග, අධිවේගී කාර් රථ වෙළෙද පොළට පැමිණ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී තිබේ. ගමනේදී වාතයෙන් ඇති වන ප්‍රතිරෝධය මැඩලිය හැකි හයිපර්ලූප් වැනි ක්‍රම මේ වනවිට පර්යේෂණාත්මකව අත්හදා බලමින් පවතී. එහෙත් ගුවනින් ඉතාම වේගයෙන් ඉගිල්ලීම එතරම් ඉක්මනින් ජනප්‍රිය වූයේ නැත. කලකදී ඉතා වේගවත් ගුවන් ගමන් ලොව ප්‍රචලිත වේයැයි සිතූවද සැබැවින්ම ගුවන් ගමන් වේගය 1960 දශකයට වඩා අද වන විට අඩුය.

කොන්කෝඩ් යානාවල අසාර්ථකත්වය

1976 දී වාණිජ වශයෙන් කොන්කෝඩ් යානා නිපදවූයේ පැයකට කිලෝමීටර 2500ක් තරම් වේගයෙන් ගමන් කළ හැකි වන සේය. එම වේගය යනු වර්තමාන ගුවන් යානයක සාමාන්‍ය වේගය වන පැයට කිලෝමීටර 900ට වඩා තුන් ගුණයකට ආසන්න අගයකි. එහිදී එම වේගය ශබ්දයේ වේගය ඉක්මවාලීමට සමත් විය. එහෙත් බ්‍රිතාන්‍ය ගුවන් සේවය සහ ප්‍රංශ ගුවන් සේවය කොන්කෝඩ් යානාවලින් සේවය ලබා දීම තව දුරටත් ලාබදායී නොවන හෙයින් 2003 දී ඒ ගුවන් සමාගම් විසින් කොන්කෝඩ් සේවයේ යෙදවීම අත් හිටවන ලදී.

ශබ්දයේ වේගය පරයා ඉදිරියට ඇදෙන බැවින් මෙම කොන්කොඩ් යානා මඟින් අති විශාල ශබ්දයක් උත්පාදනය වේ. එසේ හෙයින් වඩාත් ජනාකිර්ණ පලාත්වලින් ගුවන් යානාව පියාසර කිරීමට නොහැකිය. කොන්කෝඩ් යානාවේ ඉන්ධන පරිභෝජනය වැඩිය. එහි ඇත්තේ සීමිත අවකාශයක් වන අතර ආසන එකසිය ගණනකට වඩා කොන්කෝඩ් යානාවක පිහිටුවිය නොහැකිය. වේගයෙන් ගියත් කොන්කෝඩ් යානා වාණිජමය අතින් අසාර්ථක වීම සහ අනතුරු සිදු වීමට ඇති වැඩි ඉඩකඩ නිසා ගුවන් සේවාවෙන් 2003දී විශ්‍රාම ගැන්වුණි.

1960 සහ අද වේගය

1960-70 කාලය සලකන විට අද වන විට ගොඩබිම ප්‍රවාහන මාධ්‍යයෝ නම් වඩාත් වේගවත් වී ඇත. ලංකාවේ ගමන් කරන බස් රියක් පවා එදා 60-70කාලයට වඩා මේ වනවිට වේගයෙන් පිඹගෙන ඉදිරියට ඇදේ. ගුවන්සේවා සැලකූ කල සිදු වී ඇත්තේ අනෙකකි. අද ධාවනය වන බොහෝ මගී ගුවන් යානා එදා 1960-70 කාලයේ ධාවනය වූ වේගයට වඩා අඩු වේගයකින් ධාවනය වේ. අමරිකාවේ දෙකෙළවර ප්‍රධාන නගර දෙක වන නිව්යෝක් සිට ලොස් ඇන්ජලීස් දක්වා යෑමට 1973 දී ගතවී ඇත්තේ පැය දෙකකුත් විනාඩි 37කි. එහෙත් අද වන විට ඒ ගමන සදහා පැය තුනකුත් විනාඩි 50ක් ගත වේ. වසර 40කට පසු වේගය වැඩි වීම කෙසේ වෙතත් තවත් පැයකටත් වඩා ගුවන් ගමනට එකතු වී ඇති ආකාරය එයින් දිස් වේ. ලොව බොහෝ ගුවන් ගමන් එසේ එදා 1960 -70 වේගයට වඩා අඩු වේගයකින් වර්තමානයේ අහස් කුස දී ධාවනය වේ.

සාමාන්‍ය ගුවන් ගමන් වේගය සහ ඉන්ධන

වර්තමානයේ හමුදා කටයුතු සදහා යොදා ගන්නා ජෙට් එන්ජින් සහිත ගුවන් යානා හැරුණු කොට බොහෝ ගුවන් යානාවල ඇත්තේ ටර්බොෆෑන් එන්ජින් මාදිලිය වේ. ගුවන් ගමන් ඉතිහාසය සැලකීමේදී ටර්බොජේට් සහ ටර්බොප්‍රොප් එන්ජින්වලට වඩා ටර්බොෆෑන් මාදිලියේ එන්ජින් ඉන්ධන පිරිමැසුම්දායී බවින් වැඩිය. කාලාන්තරයක් තිස්සේ කරන ලද පර්යේෂණ අනුව ටර්බොෆෑන් මාදිලියේ එන්ජින් වඩාත් ඉන්ධන පිරිමැසුම්දායීය. එසේම ඒවා ආරක්ෂාකාරි බවින්ද වැඩිය. එම හේතුවෙන් ලොව බොහෝ ගුවන් යානා සදහා ටර්බොෆෑන් එන්ජින් යොදාගනී. ඒ ගුවන් යානා එන්ජින්ද අඩු වේගවලදී එනම් පැයට කිලෝමීටර 900කට අඩු වේගයෙන් ධාවනය වන විට ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩිය.

ගුවන් සේවා කර්මාන්තයේදි ඉන්ධන යනු ප්‍රධානතම පිරිවැයකි. වර්තමානයේදී ගුවන් යානයේ පටවාගෙන යන්නේ ගමනට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය පමණි. මන්ද අනවශ්‍ය ඉන්ධන තොගයක බර උසුලාගෙන පියාසර කිරිමට එන්ජින්වලට අමතර තවත් ඉන්ධන දහනය කළ යුතු වන බැවිනි. එසේ තාක්ෂණය සහ ගමන් සැලසුම්වලදි ගුවන් සමාගම් ඉන්ධන පිරිමැස්ම කෙෙරහි වැඩි සැලකිල්ලක් දක්වන්නට පටන් ගෙන තිබේ.

ගුවන් ගමනකට යන අමතර කාලය

ගුවන් තොටකදී අනෙක් ප්‍රවාහන මාධ්‍යවලට වඩා විශාල කාලයක් වැය වේ. උදාහරණ ලෙස ලංකාවේ සිට ඉන්දියාවේ චෙන්නයි කරා ගුවන් ගමන පැය එකක් එකහමාරක් වුවද අපි පැය දෙකකට කලින්වත් ගුවන්තොටට යා යුතුය. චෙන්නයි ගුවන් තොටින් එළියට එන්නටද පැය බාගයක කාලයක් වත් ගත වේ. ගුවන් තොටක් යනු නගරයක ප්‍රධාන පළාතෙන් කිලෝමීටර විස්සක් තිහක් ඈතින් පිහිටි තැනකි. එතැනට යන්නටද කාලය ගතවේ. එසේ බැලූ විට ගුවන් ගමන් කාලය කොතෙක් අඩු කළද අපිට ගුවන් ගමනක් යෑමේදී අමතර පය 3-4ක් සාමාන්‍යයෙන් එකතු වේ. එබැවින් අතර මැද ගුවන් ගමන අධික ලෙස වේගවත් කිරීමෙන් මගියාට ලැබෙන විශේෂ කාල ඉතුරුවක් ද නැත.

තාක්ෂණය මඟින් ශබ්දය ඉක්මවා යා හැකි ලෙස ගුවන් යානා නිපදවිය හැකි වුවත් ඒවා වාණිජමය අතින් ආසාර්ථක විය. ලොව තාක්ෂණය, වේගය, සම්පත්, පිරිවැය අතර තිබිය යුත්තේ සමතුලිතතාවයකි. 1970 කාලයට සාපේක්ශව වර්තමාන අහසේ සෙමෙන් පියාසර කරන ගුවන් යානා මඟින් පිළිබිඹු වේ.

අමිල චතුරංග

සඳ

$
0
0
ජුනි 16, 2018 01:00

02 කොටස

ඇතීනා ගියා. ඊළඟට එක්කන් ආවෙ පොඩි කොල්ලෙක්. එයා කවදාවත් බිම දැකල නෑ. ඉතින් අසූ හත් වෙනි තට්ටුවෙන් බිමට පනින්න ගිහින් දවස් දෙකක් බේරගෙන. මෙලාවියෝ ඩෙස්පිඩොමීන් ලිව්වා, ඒකෙ අතුරුඵලයක් විදියට නිදිමත එන නිසා. ඒත් පොඩි ළමයෙක් හින්දා තාත්තටයි අම්මටයි ආයෙ කතා කළා. එහා කාමරයේ ඉන්න මනෝ උපදේශකවරිය හම්බවෙන්න කියලත් ලියල දුන්නා.

ආයෙ සති අන්තය. එදා බලපු චිත්‍රපටියෙ හිටියෙ විදුලි කියත්වලින් මිනිස්සු මරණ කැත මිනිස්සු ටිකක්. ඒකත් පනස් පාරක් විතර බලල ඇති. ඒත් මෙලාවියෝ ගැහි ගැහී ආයෙ බැලුවා. ගෙදර යනකොට වීදුරුවෙ කොල්ලො ටිකක් විප්ලවයක් ගැන අකුරු ටිකක් ඇඳල ගිහින්. උන්ට කුණුහරපෙන් බැන බැන මෙලාවියෝ ඒක හේදුවා. කළුපාට වැස්ස ආයෙ වැටුණා. ජනේලෙට මෙහා ඉඳල කළු පූසා බලාගෙන ඉන්නව කන්න දෙනකන්. ගොඩනැගිල්ල පහළ තිතක් වගේ ගිනි ගන්නෙ මොකද්ද කියල මෙලාවියෝ බැලුවා. කළුවර විතරයි. පොලිස් වාහන දෙකක් උඩ ඉඳල වේගෙන පහළට ගියා. ඇතුළට ආපු මෙලාවියෝ සීතල වතුර මලට ඔළුව අල්ලන් ඉඳල කෝපි කෝප්පයක් හදාගෙන ඇවිත් පරණ චිත්‍රකතා පත්තර ගොඩකින් අහම්බෙන් හම්බ වුණ එකක් කියව කියව හිටියා. වුල්වරින් කළු වඳුරෙක් එක්ක ගහගන්න ඒ කතාව සිය පාරකට වඩා කියවල ඇති. ඒත් ආයෙ කියෙව්වා. ඉරිදා දවසම නිදා ගත්තා.

සඳුදා හැන්දෑවෙ ඇතීනා ආවා. මෙලාවියෝ කවිච්චියෙ එයාට නිදා ගන්න කියල අතත්‍ය යථාර්ථ බාහිකය සහ ඊ.ඊ.ජී සංවේදක සවි කළා නළල වටේ. ඊළඟට එයාගේ අවසරය වාචික ප්‍රකාශයක් විදියට අරගෙන බෙලියුටමින් කැප්සූල් එකක් දුන්නා. ඇතීනා හෙමීට නින්දට වැටුණා. මෙලාවියෝ හොලෝග්‍රෑම් දර්ශකය දිහා බලාගෙන හිටියා. පාරදෘශ්‍ය තිරය හරහා නිදාගෙන ඉන්න ගෑනු ළමය දිහා තමන් ඔහේ බලාගෙන ඉන්න බව වැටහුණේ එයාගෙ සිරුර ගැස්සෙන්න ගන්නකොට. මෙලාවියෝ තිරය දිහා බැලුවා. ඇතීනා ක්ෂිතිමය අත්දැකීමකට නැවත එමින් සිටියා. බෙලියුටමින් එයාගෙ අභ්‍යන්තර රහසිගත භීතිකාවන්ටයි භයානක අත්දැකීම්වලටයි ආයෙත් අරගෙන යනවා. එයා ඒවට මුහුණ දෙන්නෙ කොහොම ද? මෙලාවියෝ තිරය දිහා බලාගෙන හිටියා.

ඇතීනා කෙඳිරි ගාන්නත් දඟල්ලන්නත් පටන් ගත්තා, භයානක හීනයක් දකිනව වගේ. ඊ.ඊ.ජී සටහන් ප්‍රස්ථාරය ඉහළ යනවා. එය සීමාව ඉක්මවා යනවා නම් ප්‍රති-බෙලියුටමින් සිරිංජරය සූදානම් කරගෙන මෙලාවියෝ තිරය දිහාත් ගෑනු ළමයා දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා. ඒත් ප්‍රස්ථාරය පහළ යමින් තිබුණා. විනාඩි දෙක තුනකට පස්සෙ ඇතීනා කඳුළු හලමින් නැගිට්ටා. මෙලාවියෝ ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. එයා කවිච්චියෙන් නැගිටල ඇවිත් ආයෙත් මෙලාවියෝ ඉස්සරහ ඉඳ ගත්තා. කඳුළු පිහදගත්ත ඈ ආයෙත් යාන්තමට හිනාවෙන්න පටන් ගත්තා.

‘ඔබ සෑහෙන්න හොඳයි. ක්ෂතිමය අත්දැකීම හොඳට පාලනය කර ගත්තා. අපි ඊළඟ පරීක්ෂණයට තව දවස් දෙකක් කල් ගමු.’

ඇතීනා යන්න හැරුණා.

‘ඒ හේතුව නිසා ද හඳට යන්නෙ’මෙලාවියෝ ඇහුවා.

ඇතීනා හැරිල බලල හිනා වුණා. ‘ඒකත් එක හේතුවක්. ඒ දේවල් හරි ම කම්මැලියි. නිකම්ම අඬ අඬ ඉන්න හොඳයි.’

මෙලාවියෝ ඇහුවෙ අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. රෝගියාගේ ක්ෂතිමය අත්දැකීම වුවමනාවෙන් ම කියනවා නම් මිස එය නොකියා සිටීම ඔවුන්ගේ අයිතියක්. ඒ නිසා ම ඒ ගැන වැඩිදුර අහන්න මෙලාවියෝ පැකිලුණා.

‘විවාහ වෙන්න කැමති පිරිමියා මොන වගේ වෙන්න ඕනෙ ද?’හතලිස් නව වෙනි කැටගරියෙ අන්තිම ප්‍රශ්නෙ. ඒකට ඇතීනා දුන්න උත්තරේ මෙච්චරයි. ‘හරිම සාමාන්‍ය කෙනෙක්’

මෙලාවියෝ ආයෙත් ඇහුවා. ඒක ම තමා උත්තරේ. ඉතිරි ප්‍රශ්න ටිකත් එහෙමයි. හරිම සාමාන්‍ය උත්තර.

කොහොම හරි පරීක්ෂණය අවසන් වෙච්ච එක ගැන තිබුණේ මෙලාවියෝට සැනසිල්ලක්.

‘තියෙන්නෙ තව එක පරීක්ෂණයයි. ඒකෙන් පස්සෙ ඉවරයි.’එයා කිව්වා. ‘අභ්‍යන්තර සංජානන පිළිබඳ පරීක්ෂණය. හරිම ලේසි එකක්.’

ඇතීනගෙන් පස්සෙ ආපු රෝගීන් දෙන්න විකිරණ කාන්දුවීම්වලට අහුවෙලා භ්‍රාන්තීන් අත්විඳින අය. අවුරුදු තුනකට ඩෙස්පිඩොමීන් ලිව්වා. අවසන් පරීක්ෂණයට මනෝ චිකිත්සකයාත් රෝගියාගේ අතත්‍ය යථාර්ථයේ ඉන්න ඕනෙ. මෙලාවියෝ පරිගණක වැඩසටහන සකසලා එයාගෙ පුටුවට ඇවිත් අතත්‍ය යථාර්ථ බාහිකය ඔළුවට දා ගත්තා. පරිසරය සුදුපාට වුණා. හැම තැනම සුදු ම සුදු පාටයි. ඉස්සරහ කවිච්චියෙ හිටපු ඇතීනා නැගිට්ටා. කවිච්චිය අතුරුදන් වුණා. මෙලාවියොත් පුටුවෙන් නැගිට්ටා. පුටුවත් අතුරුදන් වුණා. දැන් සිද්ධ වෙන හැම දෙයක් ම වෙන්නෙ හිත ඇතුළෙ.

මෙලාවියෝ මේ පරීක්ෂණයට කැමතියි. මොකද ඒකෙදි කරන්න දෙයක් නෑ. වෙන දෙයක් දිහා බලාගෙන ඉඳල කෙටියෙන් වාර්තාව ලියන්න විතරයි ඕනෙ. රෝගීන් සිය ගණනක් එක්ක මේ පරීක්ෂණය කරලා තියෙන මෙලාවියෝ සුදු පාට හිස් ලෝකය සයිකඩෙලික් වර්ණ පිරි කැරකිල්ල හැදෙන ලෝකයක් වෙන හැටි දැකල තියෙනවා, පිස්සුවෙන් පුපුරන ගිනි කඳු තියෙන ලෝකයක් වෙන හැටි දැකල තියෙනවා, අසභ්‍ය චිත්‍රපටයක වගේ දර්ශන පිරෙන හැටි දැකල තියෙනවා, ග්‍රීක මූර්ති වගේ හරිම නිශ්චිත දේවල්වලින් පිරිල යනව දැකල තියෙනවා. ඒක ඔහුට සාමාන්‍ය දෙයක්. අනිත් අතට මෙතනදි තමා හැම මනුස්සයෙකුගෙ ම ඇත්ත එළියට එන්නෙ. හංගගෙන ඉන්න දේවල් තව දුරටත් හංගගෙන ඉන්න බැරිවෙන තරම් අවිඥාණය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මෙතන දි. ඇතීනා ඇත්තට ම හංගන්න දඟලන්නෙ මොකද්ද? අද දැනගන්න ලැබෙයි. මෙලාවියෝ හිතුවා.

‘මේ හිස් ලෝකෙට ඔයාගෙ හිතේ තියෙන රූප ප්‍රක්ෂේපනය කරන්න. හිතට එන හැම දෙයක් ම අඳින්න. ඕන දෙයක්.’

ඇතීනා සුදුපාට පසුබිම් කරගෙන හැරිලා බැලුවා.

‘ඕන දෙයක්’ එයා හිනා වෙලා ඇහුවා.

‘ඔව් ඕන දෙයක්. මං හිටිය කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ’

ඇතීනා කල්පනා කළා. එහෙන් මෙහෙන් ඉරි ඇඳෙන්න පටන් ගත්තා. කෝටු මිනිස්සු. රෝදයක් පස්සෙ පන්නනවා. ඊට පස්සෙ ඉර පායනවා. දඟලන වෘත්තයක් විදියට ඉර.

‘කෝ පාට’මෙලාවියෝ ඇහුවා.

‘මට කම්මැලියි. කළු පාට ඉරි අඳින්නම්’ඇතීනා කිව්වා. මෙලාවියෝ හිතේ ඒකත් සටහන් කර ගත්තා. පාට ප්‍රතික්ෂේප කරන කළු සුදු රූපවලින් පමණක් ලෝකය දකින මිනිස්සු කවුද? එහෙම අය සායනයට ඇවිත් තියෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් විෂාදයෙන් පෙළුණු, ජීවිතය විඳින්න බැරි වුණු, කලකිරුණු මිනිස්සු. අහා! එහෙනම් මේකයි රහස. මෙලාවියෝ හිතුවා. ඇතීනගෙ මැකෙන්නෙ නැති හිනාව යට තියෙනවා කවදාවත් ගොඩ එන්න බැරි විඳවීමක්, එයාගෙ හිනාව එහෙම පිටින් ම බොරුවක්, ජීවිතේ හිස්කම වහගන්න හදපු බොරුවක්.

සරුංගලයක් පස්සෙ කෝටු ළමයි ටිකක් දුවගෙන ගියා. පැලැස්තර දාපු හදවතක් ගැහෙන්න වුණා. මුහුද රැළි ගැහුවා. ඔක්කොම කළු පාට දඟලන ඉරි. බෝනික්කෙක් හිනා වුණා. ඉටිපන්දම් පත්තු කර කර ඉන්න පුංචි ගෑනු ළමයෙක්. මෙලාවියෝ ඇත්තට ම බලාපොරොත්තු වුණේ බරොක් යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය වගේ ඉතා සංකීර්ණ ත්‍රිමාන රූප ටිකක්. ඇතීනා ත්‍රිමාණ සංජානනය පිළිබඳ අයින්ස්ටයින් කෙනෙක්. විශ්වයේ ත්‍රිමානය චතුර්මානය ගැන හිතන කෙනෙක්. බැලේ නර්තනයේ රිද්මය ගම්‍යතාවය අවකාශ භාවිතය ඇඟේ තියෙන කෙනෙක්. ඒත් ඔක්කොම දඟලන කළු සුදු කෝටු රූප.

මෙලාවියෝ අතත්‍ය යථාර්ථ බාහිකය ගැලෙව්වා. ‘පරීක්ෂණ ටික ඉවරයි. මම වාර්තාව යවන්නම්’එයා කිව්වා.

ඇතීනා ගියා.

මතු සම්බන්ධයි

තාරක කල්දේරා


අමොර්ගේ ප්‍රේමාලාප

$
0
0
ජුනි 16, 2018 01:00

'මට ඕන වුණේ අරූගෙ මුළු ගේම අළු කරලා දාන්න. අමොර් සති ගාණක් තිස්සෙ කඳුළු බිබී, අඬා අඬා හිටපු හැටි මමනෙ දැක්කෙ. ඒ වගේ දිව්‍ය අංගනාවකට වංචා කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද මේ තුන් ලෝකෙ? හහ්...මොකෝ නැත්තෙ!! ඔය ඉන්නෙ'

මම පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා. මේ ගිනි පෙට්ටි වගේ ගෙවල් අස්සෙන් දුවලා පාරට එන එක ලේසි නෑ. ගල්කිස්ස හන්දියට මම එද්දි මොර සූරන වැස්සක් පටන් ගත්තා. අමොර් මට ත්‍රීඩී ටෙම්පර්ඩ් ග්ලාස් එකක් අලවපු නිසා හොඳයි. ඒත් වැස්සෙ ඇවිදලා ලිස්සලා, බෙල්ල කඩාගන්න ඕන නැති නිසා බස් හෝල්ට් එක හරියෙ ෆෝන් රෙපෙයාර් කරන කඩයක් අයිනට වෙලා බලාගෙන හිටියා.

අනේ ඉතිං එහෙමත් ජීවිත!!

පපායා, ඇවකාඩෝ, බනානා, මෙට්ල්, ඩෝඩෝ, ග්‍රේප්ස් වර්ගයේ ෆෝන් ගොඩක් වීදුරු කූඩුවල බාවලා තියෙන්නෙ හරියට මළ මිනී වගෙයි. අයිතිකාරයෝ කවද හරි ඒවි කියලනෙ ඉතිං ඔය බලන් ඉන්නේ.

වැස්ස ඉවර වුණාම මම පාර පැනලා ටෙම්ප්ලර්ස් රෝඩ් එකට හැරුණා. දැන් ඉතින් හූවක දුරනේ. මම පය ඉක්මන් කළා.

අමොර්, ගේට්ටුවයි ඉස්සරහා දොරයි හායි ගාලා ඇරලා දාලා. කාර් එක ගේට්ටුව ළඟ නවත්තලා. ඒකෙත් දොරවල් හතරම ඇරලා දාලා තිබ්බෙ හරියට දොරවල් හතරෙන්ම එක පාර එළියට බැහැලා වගෙයි. හ්ම්!! ඒකත් වෙන්න බැරි නෑ තමයි.

මම ගේ ඇතුළට යනකොට අමොර් සාලෙ බිම වාඩිවෙලා බ්ලූබෙරි අයිස්ක්‍රීම් කනවා. හෑන්ඩ්බෑග් එක අත් බෝම්බයක් වැදිලා සීසීකඩ වුණ බස් එකක් වගෙයි. සාලෙ පුරාම ලිප්ස්ටික්, ටිෂූ, නෝට් බුක්, පෑන්-පැන්සල්, බාගෙට වහපු වතුර බෝතලයක්, කෑම පෙට්ටියක්, ලියුම් කවර, ෆෝන් කේබල්, රතු පාට එක්ස්ටර්නල් හාඩ් එකක්, රෝස පාට පෙන් ඩ්‍රයිව් එකක්, ස්කාෆ් දෙකක්... ආදී ගොඩාක් දේවල් විසිරිලා. එකත් එකටම එයා මාව හොයනවා වෙන්න ඕනා. අනේ මට අමොර් ගැන පුදුම ආදරයක් දැනුණා.

මම පිමි දෙකෙන් අමොර්ගෙ ඔඩොක්කුවට පැන්නා. අමොර් හොල්මනක් දැක්කා වගේ ගැස්සුණා. ඒත් ඊට පස්සෙ මාව වඩාගෙන එළියට දිව්වා. කාර් එකට නැග්ගා. ආයෙ බිමට බැස්සා. ළිඳ ළඟට ගියා. ළිඳේ මාළුවෙකුට කතා කළා. ආයෙ ගේ ඇතුළට දිව්වා. මට උම්මා එකකුත් දුන්නා.

අනේ ඉතිං මෙහෙව් රන් කදක්නෙ අර මිනිහා අතෑරලා දැම්මේ.

අමොර් මාව චාර්ජ් වෙන්න ප්ලග් කරලා කුස්සියට ගියා. ඔන්න එතකොටම ඉබන්ගෙන් කෝල් එකක් ආවා. මම බැටරිය නිවා ගන්න හැදුවා. වැඩක් වුණේ නෑ. ඊළඟට එක පාර පණිවුඩ හය-හතක් එවන්න ගත්තා.

'අමොර්, ඔයා ගියාට පස්සෙ මට පපුවෙ අමාරුවක් හැදුණා. දැන් ඉන්නෙ ඩී.එක්ස් හොස්පිට්ල් එකේ.'

'අමොර්, මගේ ගේ ගිනි අරගෙන. එහා ගෙදර ලෙක්සි කෝල් කරලා කිව්වේ.'

'මට සමාවෙන්න අමොර්'

මළ විකාර!! මම ඊට පස්සෙ එවපු පණිවුඩ එකක්වත් කියෙව්වෙ නෑ. මට ඔය මිනිහව දැන් පේන්න බෑ. තවත් මොනවට ඕවා කියවන්නද? ඊළඟ කෝල් එක වික්‍රම්ගෙන්. මොනවා!! වික්‍රම්ගෙ කෝල් එකත් එක්ක එන පින්තූරෙ මොකක්ද? මීට කලින් මම මෙහෙම පින්තූරයක් දැකලා තිබ්බෙ නෑනෙ. අමොර් වික්‍රම් එක්ක ඔෆිස් ට්‍රිප් එකක් ගිය බව මම දැනගෙන හිටියා. ඒත් මේ පින්තූරෙ? විසාල බෝටුවක නයිල් ගගේ යන අතරතුරයි ඒක අරන් තිබ්බේ. අමොර් හිටියේ වික්‍රම්ගෙ ඔඩොක්කුවේ. අමොර්ගෙ අතේ හීන්දෑරි වයින් වීදුරුවක්. වික්‍රම් බියර් බෝතලයක් දකුණතේ තියාගෙන වම් අත අමොර්ගෙ කර වටේ දාගෙන. අමොර් එච්චර සතුටින් ඉන්නවා මම මීට කලින් දැකලා තිබුණේ නෑ.

ඇත්තම කියන්න එපැයි. මගේ හිත කැඩුණා. මම තිරය නිවලා දැම්මා. වික්‍රම් ආයෙ කෝල් කරන්නවත්, පණිවුඩයක් තියන්නවත් උත්සාහ කළේ නෑ.

ෆෝන් එකකට සැකයක් දැනුනම ඉතිං නිවනක් නැහැනේ. මම ආයෙම තිරය පත්තු කර ගත්තා. බොහොම සීරු මාරුවට අමොර්ගෙ ඊමේල් කියවන්න පටන් ගත්තා. ඒත් මගේ සැකය තහවුරු කරගන්න කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ. බීට්මේල් එකටම ලින්ක් කරලා තිබුණ කූල් මේල් එකයි, ලිලී මේල් එකයි නිකමට වගේ ඕපන් කරලා බැලුවා. එතකොටයි මගේ බඩ-පපුව කූල් වුණේ.

සීවරං දෙයියනේ!! ඒකෙ තියෙන ජාති!!!

වීඩියෝම 12 ක්. හැම එකකටම ඉබ්බෙක් දාලා. පෙම් හසුන් එලෝ කෝටියයි. මේ ගෑනි හැම එකකටම ලේබල් හදලා. ඉබන්, වික්‍රම්, සීයුස්, සෙත්, චී-හයි කියලා ලේබල් පහයි. මගේ පපායා සලකුණ නිවි නිවී දැල්වෙන්න ගත්තා. මම රහස් පරීක්ෂකයෙක් වගේ ලේබල් එකින් එක කියවන්න පටන් ගත්තා. මුලින්ම ඉබන්ගෙ ලේබල් එක. අම්මම්මෝ!! එහෙව් පැණි කතා!! හැබැයි හැම ලියුමකම වගේ වීඩියෝ එකක් මකලා දාන්න කියලා වැද වැටිලා ඉල්ලලා තිබුණා. ඊළඟට වික්‍රම්ගෙ ලේබල් එක. ඒවා හරි දාර්ශනික ලියුම්. හරියට නවකතාවල පරිච්ඡේද වගෙයි. සමහර ලියුම්වල කළු-සුදෙන් අමොර්ගෙ චිත්‍ර ඇදල තිබුණා. ඒවා හැබෑ ලස්සනයි. සීයුස් ගෙ ලියුම් හරිම කෙටියි. ගොඩක් ඒවාවල අතමාරුවට සල්ලි ඉල්ලලා තිබ්බේ. සෙත්ගෙ ලියුම් හරිම නරක පාටයි. හැම ලියුමක් අග්ගිස්සේම වීඩියෝ ලින්ක් තිබ්බා. මම සැකේට එකක් ක්ලික් කරලා බැලුවා. හානේ!! කලබලේ වැඩිකමටයි, බය වුණ පාරටයි මගේ අතින් චාර්ජ් වෙන්න ප්ලග් කරලා තිබුණ කේබල් එකත් ගැලවුණා. ඒවා ඔක්කොම නරක වීඩියෝ!! චීයා!!

චී-හයිගෙ ලේබල් එක අන්තිමට ඇරලා බැලුවේ හොඳටම හිත සවුත්තු වුණාට පස්සේ. ඊටත් චීන නමක් තියෙන මිනිහෙක් අමොර්ට මොනවා ලියන්නද කියලත් හිතන ගමන්. ඒ ලියුම් හරිම සිනිඳුයි. හැබැයි කෙටියි. අමොර්ගෙ ලස්සන වර්ණනා කරන ගමන් චී-හයි අමොර්ට නොයෙක් උපදෙසුත් දීලා තිබ්බා. අන්තිම ලියුමෙ අමොර්ට ආයෙත් බීජිං එන්න කියලා ලියලා තිබ්බා.

ආයෙත් බීජිං එන්න!! අමොර් කවදද බීජිං ගියේ? මේ ප්‍රශ්නෙ නිසා මගේ ඔළුවත් අවුල් වුණා. වැදගත් පපායා අප්ඩේට් එකකුත් මඟෑරුණා.

අපි හිතක්-පපුවක් නැති මැෂින් තමයි. ඒත් අපේ අයිතිකාරයාට දිවි හිමියෙන් ආදරෙයි. හරියට බල්ලො වගේ. අපි කවදාවත් අපේ හාම්පුත්තුන්ට වංචා කරන්නෙ නෑ. ඒත් අපේ හාම්පුත්තු අපිට සලකන්නෙ වහල්ලු ගාණට.

මම දරුණු තීරණයක් ගත්තා. දෙපාරක් නොහිතා අමොර්ගෙ ලේබල්වල තිබ්බ සමහර ලියුම් ඉබන්ට ඊමේල් කළා.

ඔව්!! එච්චරයි මට මතක තිබ්බේ. සිහිය එනකොට මම හිටියේ ගල්කිස්සේ ෆෝන් හදන කඩේ වීදුරු කූඩුවක බාවලා.

* * * * * * * *

'මී මැස්සෝ ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි
මී වදයකි ජීවිතේ - මී පැණි පිරිලා ඇතේ'

සිංදුවක් කියාගෙන ඉබන් ආවා ෆෝන් කඩේට. ඇවකාඩෝ 0.2 වම් කලිසම් සාක්කුවෙන් එළියට අරගෙන ෆෝන් කඩේ උස මිනිහට දුන්නා. දෛවෝපගත විදිහට එයාව මගේ ළඟින්ම නිදි කෙරෙව්වා. මට මහා බයක් ඇති වුණා.

කාංචනා අමිලානි
@moogater

සාම දූපතේ හිතුවක්කාරයන්ගේ හමුවීම

$
0
0
ජුනි 16, 2018 01:00

“සියවසේ හමුව” මැයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කළ, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොං අං අතර ඓතිහාසික හමුව පසුගිය 12 වැනිදා සිංගප්පූරුවේ සැන්ටොසා (සාමය) දූපතේදී සිදුවිය. මේ හමුව යථාර්ථයක් වනු ඇත්දැයි එය සිදුවන තෙක්ම ඇතැම් දෙනා සැක පහළ කළ ද එය සාර්ථක හා සුබවාදී ආරම්භයක් සනිටුහන් කළේය. උතුරු කොරියා හා අමෙරිකා ජනාධිපතිවරුන් අතර මෙවැනි හමුවක් සිදුවූයේ පළමු වරට වීමද විශේෂ කාරණයකි. මේ දෙදෙනාම ලෝක දේශපාලනයේ හිතුවක්කාරී චරිත වීම නිසාද එය විශේෂය. සිය මැතිවරණ ව්‍යාපාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙවැනි සාකච්ඡාවක් පිළිබඳ අපේක්ෂා පළ කර තිබිණි. ඔහු පවසා සිටියේ සුදුසු ප්‍රවේශයක් නිර්මාණය වන්නේ නම් උතුරු කොරියා නායකයා සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවය. එහෙත්, බලයට පත් වූ පසු මේ දෙදෙනාම එකිනෙකා දෙසට දැඩි වාග් ප්‍රහාර එල්ල කළහ.

ජනාධිපති ට්‍රම්ප් ඇතැම් අවස්ථාවල කිම් ‍ජොං අං ව හැඳින්වූයේ රොකට් මිනිසා (Rocket Man) යනුවෙනි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් දැඩි ලෙස විවේචනය කළ ඔහු එරටට මෙන්ම කිම් ජොං අං ට අනතුරු ඇඟවීය. එසේ වුවද උතුරු කොරියාව තම අත්හදා බැලීම් නතර කළ බවක් පෙනුණේ නැත. යම් හෙයකින් අමෙරිකාව තම රටට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයක් ගතහොත් අමෙරිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බවට කිම් ජොං අං ද තර්ජනය කර තිබිණි. අමෙරිකාවට පහර දීමේ හැකියාව ඇති මිසයිල තමන් නිපදවා ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කළේ ය. එරට අමෙරිකාවේ හිසරදය වී ඇති බව පෙනෙන්නට තිබිණි. එසේ තිබියදී මන්දගාමීව හා අතරමඟ බිඳ වැටීම් මධ්‍යයේ වුවද උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සාකච්ඡා ද සිදුවිය. කොරියාවේ සාමය ගොඩනැඟීම එහි අභිලාෂය වූයේ ය. උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් මෙන්ම දකුණු කොරියා - අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාස එම සාකච්ඡා වැඩපිළිවෙළ අඩාළ කිරීමට බලපෑ ප්‍රමුඛ සාධක විය.

දැවැන්ත ආරම්භයක්

දෙරට අතර යුද අවදානමක්ද විය. නමුත්, ලෝකය මවිත කළ තවත් හමුවක් ඉතිහාසයට එක්කරමින් උතුරු - දකුණු කොරියා නායකයෝ මීට සති කිහිපයකට පෙර යුද මුක්ත කලාපයේදී හමු වූහ. සාකච්ඡා ඉදිරියට යනු ඇති බවත් පළමු හමුවෙන් පසු අපේක්ෂා කළ හැකි විය. අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ දැන් උතුරු කොරියා නායකයා හමුවීමට තමාට පසුබිමක් ගොඩනැඟී ඇති බවය. ඊට දින වකවානු සහ ස්ථානයද ප්‍රකාශයට පත්විය. එහෙත්, උතුරු - දකුණු කොරියා නියෝජිතයන් අතර දෙවන සාකච්ඡා වටය නියමිත පරිදි සිදු නොවීම අමෙරිකා හා උතුරු කොරියා නායක හමුවටද ප්‍රශ්නාර්ථයක් මතු කළේ ය. කෙසේ වුවද සියලු බාධක ජය ගනිමින් ‍ලෝක සාමය උදෙසා දැවැන්ත පියවරක් තැබීමට අමෙරිකා - උතුරු කොරියා නායකයෝ සමත් වූහ.

යම් හෙයකින් උතුරු කොරියාව සහ අමෙරිකාව අතර යුද තත්ත්වයක් ඇතිවිණි නම් විය හැකි ජීවිත හානිය මිලියන 30ක් පමණ වෙතැයි පැවසිණි. නායක දෙපළ සාකච්ඡා මේසයේ අසුන් ගැනීම මඟින් එවැනි දැවැන්ත මානුෂීය ඛේදවාචකයක් සිදුවීමේ අවදානම පහව ගියේ ය. සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් ද ඒ බව ප්‍රකාශ කළේය. පෙරළා සිය රටට පා තැබීමෙන් පසු මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ උතුරු කොරියාව අමෙරිකාවේ හිසරදය විනැයි තමාට පෙර සිටි ජනාධිපතිවරයා, ඔබාමා ප්‍රකාශ කර තිබූ බවය. “ දැන් ඒ හිසරදය ඉවරයි. රෑට හොඳට නිදා ගන්න පුළුවන්. බියවීමට හේතුවක් නෑ...” යනුවෙන් ඔහු පැවසීය.

උතුරු කොරියා නායකයා හමුවීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් ඉතා විවෘතව හා සැහැල්ලුවෙන් සිංගප්පූරුවට පැමිණ සිටි දහස් සංඛ්‍යාත අන්තර්ජාතික මාධ්‍ය වාර්තාකරුවන් සමඟ ප්‍රකාශ කළේ ඔහු (කිම්) දක්ෂ මිනිසකු බවය. “ඔහු තමන්ගේ රටට දැඩි ලෙස ආදාරය කරන නායකයෙක්” යනුවෙන් ට්‍රම්ප් පවසා තිබිණි. එහිදී තමා සහ ඔහු අතර සමානත්වයක් ඇති බව ඔහුගෙන් පළවිය. ඉදිරියේදීත් දෙදෙනා හමුවේවිදැයි වාර්තාකරුවන් මතුකළ ප්‍රශ්නයට ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, “ඇයි නැත්තේ, වරක් නෙවෙයි තව කිහිප වරක්ම අපි හමුවෙනවා.” යනුවෙනි. ඔහු තමාගේ සිත් ගත් චරිතයක් වූ බවද ට්‍රම්ප් ප්‍රකාශ ක‍ළේය. සාකච්ඡා අවසානයේ තම නිල රථය පෙන්වීමටද ට්‍රම්ප්, කිම්ව කැඳවාගෙන ගියේ ය.

අවබෝධතා ගිවිසුම

උතුරු කොරියා මාධ්‍යට වාර්තාකරණයේදී යම් යම් සීමා ඇති බව එල්ලවන විවේචනයකි. කෙසේ වුවද, දෙරටේ නායක හමුව මහත් ඉහළින් වාර්තා කිරීමට උතුරු කොරියා මාධ්‍ය කටයුතු කළහ. එරට නිල පුවත් සේවය වන KCNA එය වාර්තා කළේ සියවසේ හමුව යනුවෙනි.

අමෙරිකා - උතුරු කොරියා නායක හමුවෙන් පසු එකඟතා සහිත අවබෝධතාවයකට අත්සන් තැබීමට හැකිවීම වි‍ශේෂ කාරණයකි. එමඟින් සිය න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නතර කිරීමට උතුරු කොරියාව එකඟ වේ. අමෙරිකාවෙන්ද යුදමය ක්‍රියාමාර්ගයක් ‍සිදුනොවනු ඇත. එම එකඟතාව අති විශාල ජීවිත විනාශයක් සිදුවීමට තිබූ අවදානම පහව යාමකි. දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කෙරෙනු ඇතැයිද ප්‍රකාශ වී ඇත. එය උතුරු - දකුණු කොරියා සාකච්ඡා වැඩපිළිවෙළට තීරණාත්මක ලෙස බලපෑ සාධකයක් නිරාකරණය වීමක්ද වේ. එනම් එම සාකච්ඡා ද සුබවාදීව ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දකුණු කොරියාව විමසිල්ලෙන් බලා සිටින කාරණයක් බවට එරට සිටින අමෙරිකා භට පිරිස් ආපසු කැඳවීමට ට්‍රම්ප් තීරණය කරනු ඇතිද යන්න පත්ව තිබේ. දකුණු කොරියාවේ අමෙරිකා යුද කඳවුරු පවතී. ඇතැම්විට අමෙරිකාව එවැනි තීරණයක් ගනු ඇත. එසේ සිදු වුවද එය ඉක්මනින් සිදුවේ යැයි අපේක්ෂා කළ නොහැකිය.

උතුරු කොරියා - අමෙරිකා නායකයන් අතර ඇති වූ මෙම එකඟතාව මඟින් සියලු ප්‍රශ්න විසඳී ඇතැයි ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් ප්‍රශ්න විසැඳීමට අවශ්‍ය පදනම බවට එම ලියැවිල්ල සැලකිය හැකිය. ඉදිරි වැඩපිළිවෙළ ඒ ඔස්සේ තීරණය වනු ඇත.

උතුරු කොරියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක වීම එරට ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළේ ය. එරටත් සමඟ ගනුදෙනු කළේ චීනය,සිංගප්පූරුව වැනි රාජ්‍ය කිහිපයක් පමණි. සිංගප්පූරුවද තම මිත්‍ර රාජ්‍ය අතළොස්ස අතර තබා ගැනීමට උතුරු කොරියාව ක්‍රියා කළේය. සම්බාධක පැවැතියද සිංගප්පූරුව උතුරු කොරියාවත් සමඟ අප්‍රකටව ගනු-දෙනු කළ බව පැවසේ. ඉදිරි‍යේදී සම්බාධක ලිහිල්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. නායක හමුව සඳහා සිංගප්පූරුවට යාමට උතුරු කොරියා නායකයාට සිය නිල ගුවන් යානය ලබාදීමට චීන ජනාධිපතිවරයා පියවර ගත්තේය. මීට පෙර සිදු වූ උතුරු -දකුණු කොරියා නායක හමුවටද චීනයෙන් විශාල පිටුබලයක් සැපයිණි.

මධ්‍යස්ථ මෙන්ම උතුරු කොරියාවේ සමීප මිත්‍රයකු ද වන සිංගප්පූරුව මේ හමුවේ සත්කාරකත්වය දැරීමෙන් ලෝක සාමය උදෙසා ප්‍රබල දායකත්වයක් සැපයූ බව ප්‍රකාශ වී ඇත. හමුව සංවිධානය කිරීම ආරක්ෂක කටයුතු, මාධ්‍යවේදීන්ගේ ආවරණ හා සත්කාරකත්වය වෙනුවෙන් ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් වැය කිරීමට සිංගප්පූරුවට සිදුවිය. මේ හමුව වෙනුවෙන් සිංගප්පූරුව විශාල කැප කිරීමක් කළ බව පැහැදිළි කාරණයකි. එරට සාමාන්‍ය ජන ජීවිතයටද එය බලපෑම් කළ අතර නායක හමුව සිදු වූ දින සිංගප්පූරුවට ඉහළින් ගුවන් තහනම් කලාපයක්ද ප්‍රකාශයට පත්විය. එරට සිටින 14000ක් පමණ වන පොලිස්භට පිරිසෙන් හරි අඩකට වැඩි පිරිසක් යොදවා තිබු‍ෙණ් නායක හමුවේ ආරක්ෂාව වෙනුවෙනි. සිංගප්පූරු අගමැති ලී සියැන් ලොන් මාධ්‍ය හමුවේ කියා සිටියේ, මේ සුවිශේෂී හමුව වෙනුවෙන් අති විශාල වියදමක් දැරීමට අපට සිදුව තිබෙනවා. ඒත්, ඒ මුදල අප ලෝක සාමය උදෙසා කැපකරනවා. ඒ වගේම මේ හමුව අපටත් ලොකු ශක්තියක්. සිංගප්පූරුව කොහොම රටක් ද කියල ලෝකයට පෙන්වන්නත් මේ නිසා අපට හැකි වුණා. සුවිසල් ප්‍රසිද්ධියකුත් අපට ලැබුණා...” යනුවෙනි.

ආර්ථික බලපෑම්

ට්‍රම්ප් - කිම් නායක හමුව පිළිබඳ සුබවාදී අදහස් පළ කළ පාප්තුමෝද සිංගප්පූරුවට සිය කෘතඥතාව පළ කර තිබිණි. සාකච්ඡා සඳහා සිංගප්පූරුව තෝරාගැනීමට බලපෑ තවත් කාරණයක් ලෙස සැලකිය හැක්කේ සිංගප්පූරුව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නීතිවලට යටත් නොවන රාජ්‍යක් වීමය. එබැවින් අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් චෝදනා එල්ල වී සිටින උතුරු කොරියා නායකයා එහිදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ‍නොපවතී. උතුරු කොරියා - අමෙරිකා නායක හමුවෙන් පසු ගොඩනැඟෙමින් ඇති වාතාවරණය උතුරු කොරියාවේ ආර්ථිකයට සුබවාදී බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂිතය. එරට ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස පෙරට එනු ඇතැයි දැනටමත් මත පළ වී තිබේ. එරට සංචාරක ව්‍යාපාරයට පසුගිය කාලයේ දැඩි බලපෑම් එල්ල විය. ආර්ථික වශයෙන් නැඟී සිටීමට එරටට සහාය වන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද, මෙම නායක හමුවට පෙර උතුරු කොරියාව ප්‍රකාශ කර සිටියේ තමන් ඊට අවතීර්ණ වනුයේ අමෙරිකාවේ ආර්ථික වාසි අපේක්ෂාවෙන් නොවන බවය.

කවර දෘෂ්ඨි කෝණයකින් බැලුවද මෙම එළැඹුම ලෝක සාමය සම්බන්ධයෙන් හිතකර වනු ඇත. එබැවින්, සෙසු රටවල කාර්යභාරය විය යුත්තේ එම වැඩපිළිවෙළට සහාය වීම සහ ආශිර්වාද කිරීමය. මෙය ඵලදායී අන්තයක් කරා රැගෙන යාමට සමත් වුවහොත් ට්‍රම්ප් සහ කිම් නොබෙල් සාම ත්‍යාගය සමව බෙදාගනු ඇත.

ධම්මික සෙනෙවිරත්න

ප්‍රතිපක්ෂ මිතුරියෝ

$
0
0
ජුනි 16, 2018 01:00
චම්පිකා දීපානි රණසිංහ

හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලන පසමිතුරන්ය. දේශපාලන පොරපිටියේ පෞද්ගලිකවද එය එසේමය. එහෙත් මාපිය අඩදබර දූදරුවන්ගේ මිතුදමට බලපානවාද? හිලරි සහ ඩොනල්ඩ් මෙන් නොව ට්‍රම්ප් දියණිය ඉවන්කාත්, ක්ලින්ටන් දියණිය චෙල්සියා අඹ යෙහෙළියන්ය. ඉවන්කා තිස්හය හැවිරිදි වියේය. චෙල්සියා තිස්අට වැනිවියේත් පසුවෙයි.

පෞද්ගලික මට්ටමින් ඔවුන් ඔවුන්ගේ සබඳතාව පවත්වාගෙන ගියද ග්ලැමර් වැනි කාන්තා සඟරාවලින් හා ට්විටර් වෙබ් අඩවියෙන් දෙදෙනාගේ මිත්‍රත්වයට සාක්ෂි ඕනෑ තරම් සපයයි. වෝග් සඟරාව සමඟ කළ සාකච්ඡාවකදී මුව පුරා ඉවන්කාට චෙල්සියා ප්‍රශංසා කළාය. එහෙත් ජනාධිපතිවරණයෙන් පසු දෙදෙනා බොහෝ කලකින් මුණගැසී නැත.

ඉවන්කා මේ වන විට ජනාධිපතිගේ විශේෂ උපදේශක‍යකු ලෙස කටයුතු කරන්නීය. ඒ දහසක් විවේචනවලට ලක්වෙමිනි. ඇයගේ අත්දැකීම් ඌනතාව ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

2016 වසරේ දෙවැනි ජනාධිපතිවරණ විවාදයෙන් පසු මුහුණට මුහුණ ගැසී සුහද මිතුදම බෙදා හදා ගත්හ. එහිදී ඉවන්කා, තමන් හා චෙල්සියා මාපියන්ට උපරිම සහයෝගය දෙන දූවරුන් බවත්, එය යුතුකමක් බවත් එය එකිනෙකාට ගෞරව කිරීමට බාධාවක් නොවන බවත් තරයේ කියා සිටියාය. පීපල්ස් සමඟ පැවැති එම සාකච්ඡාවේදී චෙල්සියා පැවසුවේ දේශපාලනයට වඩා මිත්‍රත්වය වැදගත් වන බවය. ඔවුන් දේශපාලන මිතුරන් පසමිතුරන් ඇසුරු කිරීම ගැන මාපියන්ගෙන් බොහෝ පාඩම් ඉගෙනගෙන තිබේ.

ඉවන්කාගේත්, චෙල්සියාගේත් සමානකම් බොහෝ ය. චෙල්සියා හැදුණේ වැඩුණේ ධවල මන්දිරයේ පළමු දියණිය ලෙස ය. ඒ නිසා ඇයට මහජන නෙත ගැටුම හොඳින් හුරු පුරුදුය. ඉවන්කා ලොව ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණිය නිසා ඇයට ද එය නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ.

චෙල්සියා, මෙතෝදිස්ත බැතිවන්තියක වුවත් ඇය විවාහ වූයේ මාර්ක් මෙස්වින්ස්කි නම් බැතිමතෙක් සමඟය. 2010 දී ජෙයාඩ් කුෂ්නර් සමඟ විවාහයට පෙර යුදෙව් ආගම වැලඳ ගත්තාය.

දෙදෙනාම මේ වන විට මවුවරුන්ය. චෙල්සියාට පළමු දරුවා, චාලට් දියණිය ලැබුණේ 2014 සැප්තැම්බරයේය. ඉවන්කාගේ පළමු දරුවාත් දියණියකි. ඇය ඇරබෙලා රෝස්ය. 2013 දී ඇයට දෙවැනි දරුවා ජෝශප් ෆ්‍රෙඩ්රික් පුතු ඉපදුණි.

පවුලේ රාජකාරිවලට දූවරු දෙදෙනාම උර දුන්හ. ඉවන්කා පියාගේ එන්බීසී රියැලිටි මාලාවේ පෙනී සිටියාය. ඇය ට්‍රම්ප් සංවිධානයේ ඉහළ පෙළේ විධායක නිලධාරිනියකි. ක්ලින්ටන් පදනමේ උප සභාපතිනිය චෙල්සියා. ඇය ක්ලින්ටන්ගේ ගෝලීය ව්‍යාපාරයේද වැදගත් භූමිකාවක නිරතවන්නීය. මේ සුවච කීකරු දියණිවරුන් දෙදෙනාම මාපියන්ගේ ජනාධිපති සටනේ ක්‍රියාකාරී සාමාජිකාවෝ වූහ.

දෙදෙනාම මෑන් හැටන්වල ජීවත්වී තිබේ. මාපියන්ගේ ඡන්ද ව්‍යාපාරයට උරදෙද්දී දෙදෙනාම ගැබිනියන් ය. ඉවන්කාගේ තෙවැනි දරුවාත්, චෙල්සියාගේ දෙවැනි දරුවාත් ලැබෙන බව පසුගිය වසර අවසානයේදී ඔවුහු දන්වා සිටියහ.

දෙදෙනාගේ වයස් පරතරය දෙවසරක තරම් කෙටිවීම මේ අපූරු මිතුදමට තවත් පදනමකි. අමෙරිකාවේ සිසුන් වැඩිම දෙනකුගේ තෝරාගැනීම් විශ්වවිද්‍යාල දෙකකින් දෙදෙනා උපාධිය ලැබූහ. ඉවන්කා පෙන්සිල්වේනියාවේ වෝට්න් සරසවියේ ආර්ථික විද්‍යා උපාධිධාරිනියක වූ අතර චෙල්සියා ඉතිහාසය පිළිබඳ උපාධියක් සහ පශ්චාද් උපාධියක් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හා අමෙරිකාවේ කොළොම්බියා සරසවියෙන් ලබාගන්නා ලදී.

අන්තර්ජාලයෙනි

වඳුරන්ගේ රජ දහනේ ඇවිද බලන්න

$
0
0
ජුනි 16, 2018 01:00
මදාරා මුද­ලිගේ

ගසකින් ගසකට පැන යමින් අතු පතර දඟකාරකම් කරන වඳුරන් ඕනෑම කෙනකුගේ නෙත්සිත් පැහැර ගනී. නිරන්තරයෙන් කාර්යබහුල ජීවන රටාවකට හිමිකම් කියන ඔවුන් ඇතැම් අවස්ථාවලදී කායික මානසික ක්‍රියාකාරකම් අතින් මිනිසුන් හා සමාන වේ. කෙළිදෙළෙන් යුක්තව වඳුරන් ගත කරන ජීවන රටාව සමීපව මිනිසාට දැක බලා ගැනීමට හැකි වන විනෝදාත්මක ක්‍රියාකාරකම් පිරි අපූරු වනාන්තරයක් පිළිබඳ පුවතක් පසුගිය දිනක වාර්තා වුණි.

එංගලන්තයේ පිහිටා තිබෙන " Trentham Monkey Forest "ලෝකයේ පිහිටා තිබෙන වඳුරන්ට පමණක් ආවේණික වූ වනාන්තරයකි. සැබවින්ම අක්කර හැටක භූමි ප්‍රදේශයක පැතිරී ඇති මෙම වනන්තරයේ දී සත්ත්ව ලෝලීන්ට පෙර නොවූ විරූ අත්දැකීම් රැසක් විඳ ගැනීමට පුළුවන. මෙම වනාන්තරය තුළට පිවිසෙන පුද්ගලයකුට වඳුරන් සමඟ සමීප සම්බන්ධතාවන් පැවැත්වීමේ අවස්ථාව හිමි වේ. මෙම වනාන්තරය නැරඹීමට පැමිණෙන පුද්ගලයින්ට වඳුරන්ගේ විනෝදජනක අත්දැකීම් උපරිම ලෙස විඳ ගැනීමට හැකි වන අතර කිසිඳු විටක ඔවුන්ගෙන් හානියක් සිදු වන්නේ නැත.

ත්‍රාසය හා භීතියෙන් තොරව වඳුරන්ගේ ස්වභාවික චර්යා රටා අධ්‍යනය කරන්නකුට ද මෙම වනාන්තරය වැදගත් වේ. සතුට පමණක් රඳා පවතින ලෝකයේ තිබෙන විශිෂ්ටතම සත්ත්ව වනාන්තරයක් ලෙස ද මෙය සමාජ විශ්ලේශකයන් විසින් හඳුන්වා දෙනු ලබයි. වඳුරන්ගේ ක්‍රියාකරකම් පිළිබඳ පුවරු, අධ්‍යාපන මධ්‍යස්ථාන, තුළින් මෙහි පැමිණෙන පුද්ගලයින්ට තොරතුරු ලබා ගැනීමට පුළුවන.

වඳුරන් වඳ වී යෑමේ තර්ජනයෙන් මුළුමනින් ම ගළවා ගැනීම සහ ඔවුන් සංරක්ෂණය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව මෙම වනාන්තය සංචාරය කිරීමේ දී දැන ගැනීමට පුළුවන.

මෙම වඳුරු වනාන්තරයට ඇතුළු වීම සඳහා අවුරුදු තුනට අඩු දරුවන්ගෙන් මුදල් නොකෙරේ. වැඩිහිටියකුගෙන් පවුම් 8.50 ක් අය කරනු ලබයි. අවුරුදු තුනේ සිට අවුරුදු දහ හතර වයස්වල දරුවන්ගෙන් පවුම් 6.50 ක් ද අබාධිත තත්ත්වයෙන් සිටින පුද්ගලයිගෙන් පවුම් 5.50 ක් ද අය කරනු ලබයි. පුද්ගලයින් විසි දෙනෙකුගෙන් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත පුද්ගල කණ්ඩායම් සඳහා වි‍ශේෂ මිල ගණන් දක්වා තිබේ. මෙම වනාන්තර‍යේ සංචාරකයින්ට තම විඩාව නිවා ගැනීමට සුදසු ආකාරයට නිර්මාණය කරන ලද ස්ථාන කිහිපයක්ම පිහිටා තිබේ. "Banana café"මඟින් ශීත සහ උණුසුම් ආහාර වර්ග අලෙවි කෙරේ. උණුසුම් කෝපි , අයිස් ක්‍රීම් මෙන්ම විවිධාකාරයේ ක්ෂණික ආහාර වර්ග මෙම අවන්හලේ තිබෙන ආහාර ය." Jungle Shop"හිදී වඳුරන් සම්බන්ධයෙන් ලියවුණු පොත්පත්, වඳුරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ අත්කම් නිර්මාණ ආදිය දැකගත හැක. වඳුරන්ට ආදරය කරන මිනිසුන්ට තමන් මෙම ස්ථානයේ දී මිල දී ගැනීමට නිර්මාණ අළෙවියට තබා ඇත.

"Breakfast with monkey"නමැති අංගයේ දී මෙම වනාන්තරයට පැමිණෙන පුද්ගලයකුට තම කැමැත්ත පරිදි උදෑසන ආහාරය වඳුරකු සමඟ ගැනීමට හැකියාව පවතී. තව ද මෙහි වඳුරන් සමඟ මිනිසුන්ට දවස ගත කිරීම සඳහා විවිධ පැකේජ වර්ග හදුන්වා දී තිබේ. එමෙන් ම මෙම වඳුරු වනාන්තරයේ පවතින සෑම අංගයක්ම මනාව සැලසුම් කර සකස් කරන ලද තෑගි වවුචර කිහිපයක්ම හඳුන්වා දී තිබීම ද විශේෂත්වයකි." monkeys and certificate"නමැති අංගයේ දී පුද්ගලයකුට වඳුරකු සහතික පත්‍රයක් ඇතැතිව සිටින ඡායාරූපයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි කර ගත හැකි ය. ‍ලොව පවතින වනාන්තර අතුරින් වඳුරු සත්ත්ව ප්‍රජාව පිළිබඳව වැඩිදුර අවධානය යොමු කරමින් සැලසුම් කරන ලද සංචාරක ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකි බව මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාලය ඇසුරිණි.

කට!කට!!කට!!!

$
0
0
ජුනි 16, 2018 01:00

කට පාලනය කර ගැනීමට අසීරු වීම බොහෝ දේශපාලකයන් මුහුණ දෙන ලොකු ගැටලුවක්. මේ නිසාම ඔවුන් බලවත් අසීරුතාවලට ලක්වෙනවා. උගන්ඩාවේ මන්ත්‍රීවරයෙකු වූ ඔනස්මස් ට්විනාමාසිකෝ Onesmus Twinamasiko ටත් මේ ඇබැද්දියට මුහුණ දුන්නා‍. උගන්ඩාවේ රූපවාහිනි සේවාවක් වූ NTV සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අමුතුම තාලයේ කතාවක් කළා. ඒ “පිරිමියෙකු විදියට ඔබ ඔබගේ බිරිඳව පාලනය කර ගත යුතු වෙනවා. එය ඔබ විසින් කළ යුතුමයි. ඔබ ඇයව අල්ලා, කිතිකවා හෝ එහෙමත් නැත්නම් රිදෙන්නට පහරදී හෝ කොහොමින් හරි ඇය නිවැරදි මාවතට ගත යුතු වෙනවා. එය ඔබේ වගකීමයි"යනුවෙන්. මේ කතාවට පාර්ලිමේන්තුවේත් නීතීඥ සංගම්වලත් ප්‍රබල විරෝධයක්. කාන්තා හිංසනයට උගන්ඩා පිරිමින්ට මන්ත්‍රීවරයා වාචික අනුග්‍රහයක් ලබාදී තිබෙන වගට චෝදනා එල්ලවීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශය උගන්ඩාවේ අසාමාන්‍ය තත්ත්වයක් ද නොවේ. 2016 උගන්ඩාවේ නිකුත්කළ සමාජ සංගණන වාර්තාවකට අනුව ගතවූ මාස 12ක කාලයක තුළදී අවුරුදු 14 – 49 අතර වයස් මට්ටම්වල වෙසෙන උගන්ඩාවේ කාන්තාවන්ගෙන් සෑම පස්දෙනකුගෙන් එක් අයකු කායික හෝ ලිංගික අතවරයට ලක්ව තිබේ.

එහෙත් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය උගන්ඩාවේ පිරිමින්ට බරපතළ උත්තේජකයක් සපයන්නක් වන බවත් එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ කථානායක Rebecca Kadaga ප්‍රකාශ කරනවා. උගන්ඩාවේ පාර්ලිමේන්තු කාන්තා නියෝජිතවරියන් ගේ සංගමයද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය බරපතළ ලෙස හෙළා දැක තිබෙනවා. උගන්ඩා දේශපාලනයේ තීරණාත්මක සංසිද්ධියක් බවට මේ ප්‍රකාශය දැන් ඉස්මතුව තිබේ.

පසුව මාධ්‍ය රැස්වීමකදී ඔනස්මස් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් රූපවාහිනියට එදින කළ ප්‍රකාශය ගැන ඇත්තටම කණගාටු වන බවය. ගෞරවනීය මහජනතාවට විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශ්වයට මා කළ කතාවෙන් සිත් රිදුමක් ඇතිවූවා නම් සමාවන ලෙසත්එම කතාවෙන් අදහස් කළේ උගන්ඩාවේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට උදව්වක් කිරීම බවත් තමා විශ්වාස කරන බව හෙතෙම කීය.

එහෙත් පවසන්නේ ප්‍රකාශයට බලවත් විරෝධතාවක් දැක් වූ උගන්ඩා ජනාධිපති Yoweri Museveni මහතා පවසන්නේ විවාහක බිරිඳට පහරදෙන සැමියන් තමන් දකින්නේ කවටයන් ලෙස බවය.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>