Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ලොක්කන් එක් කළ සැන්ටොයා දූපත

$
0
0
ජුනි 16, 2018 01:00
මංජුලා විජයරත්න

මුළු මහත් ලෝකයාගේම අවධානයට පාත්‍ර වූ ඇමෙරිකා - උතුරු කොරියා නායක හමුව සිදුවූයේ සිංගපූරුවේ සෙන්ටොසා දූපතෙහිදී ය. ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්ග් උන් කතා බහේ සාරය උරා ගන්නට වැඩි අවධානයක් යොමු කළ මාධ්‍යයට සෙන්ටොසා දූපත බොහෝ දුරට අමතකව ගොස් තිබිණ.

සිංගපූරු ප්‍රධාන භූමියට දකුණෙන් කිලෝමීටරයක් තරම් ඈතින් පිහිටි මේ දූපත වර්ග කිලෝමීටර පහක සරියකින් යුත් සංචාරක ආකර්ෂණයට ලෝ ප්‍රකට තැනෙකි. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික වටිනාකම් රැසක්, සොබා දහමේ අමිල වත්කම් විශාල ප්‍රමාණයක් පමණක් නොව හොඳ පරෙස්සමෙන් එකතු කළ ගෘහ නිර්මාණ කිහිපයකිනුත් මේ දූපත සමන්විතය. ඉතිහාසගත ඇමෙරිකා - උතුරු කොරියා නායක හමුව සඳහා ඇමෙරිකාවේ ධවල මන්දිරය සෙන්ටොසා දූපතම තෝරා ගන්නට ඇත්තේ මේ අපරිමිත ආකර්ෂණීය බව නිසා වන්නට ඇත.

ඈත අතීතයේදී සෙන්ටොසා දූපත හැඳින්වුණේ “බ්ලැකන් මැටි” යනුවෙනි. දූපත හඳුනාගෙන එය එනමින් නම් කළේ 1604දී මැනුවෙල් ගොඩින්හෝ ඩි එරෙඩියා නමැති මැලේ - පෘතුගීසි සම්භවයක් ඇති සිතියම් ශිල්පියා ය. එයින් පසු අවස්ථා රැසකදී මේ දූපතෙහි නම වෙනස් වූ බව සඳහන් වේ. “පුලව් පන්ජැන්ග්”, “බ්ලැකෙන්ග් මැටි”, “ශාන්ත ජෝර්ජ්” යනු ඒ අතර වඩාත් ප්‍රකට වූ නම් කිහිපයකි. සෙන්ටොසා යන නම භාවිතයට ගැනෙන්නට පළමුව දූපත හැඳින්වුණේ “පුලව් බ්ලැකෙන්ග් මැටි” යනුවෙනි. මැලේ බසින් එහි අරුත “මරණය පසුපස ඇති දූව” යන්නයි. සොබා දහමේ ආශ්චර්යමත් නිර්මාණයක් වූ මේ දූපත හඳුන්වන්නට එවැනි රළු නමක් යෙදුණේ හේතු කිහිපයක් නිසයි. එහිලා වඩාත් කැපී පෙනෙන්නේ දූපත ආශ්‍රිතව සිදුවුණු මුහුදු මංකොල්ලකෑම් සහ ඒ නිසාම සිදුවුණු මනුෂ්‍ය ඝාතනයන් ය. සෙන්ටොසා දූපතට ආසන්නයෙන් ඇති පුලව් බ්‍රානි දූපතේ මිහිදන් කෙරුණු රණකාමීන්ගේ අවතාරවලට සෙන්ටොසා දූපත පාරාදීසයක් වී යැයි කියා තවත් තැනෙක දැක්වේ. තවත් සටහනක දැක්වෙන පරිදි දූපතේ පදිංචිකරුවන් විශාල පිරිසක් එක්දහස් අටසිය හතලිස් ගණන්වලදී හටගත් වසංගත තත්ත්වයකින් මරුමුවට පත්ව ඇත. දූපත “මරණය පසුපස ඇති දූව” වශයෙන් හැඳින්වෙන්නට එයත් හේතුවක් විණ. දූපතෙහි පිහිටි කඳු ගැට ආශ්‍රිත පස ඉතාමත් නිසරු තත්ත්වයකින් පවතින නිසා පළමුව කී නම ඊට පටබැඳුණු බවටත් මතයක් තිබේ.

භීත රසය ජනනය කරන “මරණය පසුපස ඇති දූව” යන නම වෙනස් වන්නේ මේ දූපත සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගතයුතුය යන යෝජනාව 1972 දී මතුවීමත් සමඟයි. එකී යෝජනාව කෙරුණේ සිංගපූරු සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයෙනි. මැලේ බසින් “ශාන්ත සහ නිසංසල බවින් යුක්ත” යන අරුත දෙන සෙන්ටොසා යන නමින් දූපත හැඳින්වෙන්නට පටන් ගත්තේ ඒ අනුවය. සංස්කෘත බසින් එහි අර්ථය “සංතෝෂය” වීම යන්නයි.

සිංගපූරුවට අයත් කෙපෙල් වරායෙහි ආරක්ෂාව ගැන කතා කරනවිට සැන්ටොස් දූපත කවර කලෙකත් බෙහෙවින්ම වැදගත් ස්ථානයක් වූයේය. වරාය කටයුතු පුළුල් කිරීමත් සමඟම වාරයෙහි ගල් අඟුරු ගබඩා කිරීම පුළුල් කෙරිණ. එසේ ගබඩා කෙරුණු ගල් අඟුරු තොගවලට සතුරු ප්‍රහාර එල්ලවීම වළක්වන්නට ආරක්ෂක විධි විධාන තර කළ යුතු වූයේය. ඒ පදනම මත ගොඩනැඟූ ආරක්ෂක සැලසුම් සෑම එකකටම සැන්ටොස් දූපතත් අතීතයේ සිටම ඇතුළත් විණ. සිලොසෝ, සෙරපොන්ග් සහ කොන්නවුට් වැනි බලකොටු දූපතෙහි ඉඳිකෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ තත්ත්වය යටතේ එක්දහස් නවසිය තිස් ගණන් වන විට රාජකීය හමුදා කාලතුවක්කු කඳවුරක් ලෙසත් දූපත භාවිතයට ගැනෙන්නට විය. දෙවන ලෝක යුද සමය වනවිට මේ තත්ත්වය වැඩි දියුණු වූයේ යැයි කිවහොත් වරදක් නැත. සෙන්ටොසා දූපත එකල බ්‍රිතාන්‍ය හමුදා බලකොටුවක් බවට පෙරළී තිබිණ. එසේ වුවත් සිංගපූරුවට අයත් ප්‍රදේශ ජපනුන් අත පැවැති සමයේදී ජපනුන්ට එරෙහිව කටයුතු කළ චීනුන් මේ බිමේදී මරා දැමුණු බවට සාක්ෂි ඇත. ජපනුන් අතින් එසේ මැරුම් කෑ චීනුන් 300කගේ දේහ සෙන්ටොස් දූපත ආශ්‍රිත වෙරළ තීරයට වරක් ගොඩගසා තිබුණු බව සඳහන් වේ. වෙඩි තබා ඝාතනය කර තිබුණු ඒ මිනිසුන්ගේ දේහ භූමදානය කළේ ජපනුන් මේ දූපත තුළ සිරකරුවන් හැටියට රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු ජාතික සිරකරුවන් ය. සිංගපූරුව 1945දී ජපනුන්ගෙන් ඉංග්‍රීසීන් වෙත භාර කෙරිණ. ඉන්පසු රාජකීය කාලතුවක්කු හමුදාවේ පළමු සිංගප්පූරු රෙජිමේන්තුව 1947දී එහි ස්ථාපනය කෙරිණ. බ්‍රිතාන්‍ය හමුදා, සැන්ටොස් දූපත හමුදා අභ්‍යාස සඳහා ඉන්පසු භාවිතයට ගැණින. දූපත විවිධ ගණයේ හමුදාමය කටයුතුවලට භාවිත වීම එක්දහස් නවසිය හැට ගණන් අගභාගය දක්වාම දක්නට ලැබිණ.

සෙන්ටොසා දූපත රමණීය තැනක් බවට පත් කෙරුණේ 1972 වසරෙන් පසුවයි. සිංගපූරු ඩොලර් මිලියන 420ක පෞද්ගලික ආයෝජන සහ සිංගපූරු ඩොලර් මිලියන 500ක රජයේ ආධාර යොදාගෙන සැන්ටොසා දූපත සංවර්ධනය කිරීම ආරම්භ වූයේ සිංගපූරු රජයේ මැදිහත් වීම යටතේය. 1974දී එහි කේබල් කාර් පද්ධතියක් ස්ථාපනය කරන ලදී. සිලොසෝ සහ තවත් බලකොටු, සරෙන්ඩර් චේම්බර් කෞතුකාගාරය, 'මියුසිකල් ෆවුන්ටන්', 'අන්ඩර්වෝටර් වර්ල්ඩ්'ආදී ස්ථාන සංචාරක විනෝදාස්වාදය පිණිස වැඩි දියුණු කෙරිණ. සෙන්ටොසා මොනොරේල් පද්ධතිය ස්ථාපනය කිරීමත් සමඟ සංචාරකයන්ට දූපත වටා සංචාරය කිරීම තවත් පහසු වූයේය. සංචාරකයන්ට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා පිටි ආදියත් දූපතෙහි ස්ථාපිතය.

අද මේ වනවිට දූපත තුළ තරු පන්තියේ සුපිරි හෝටල් 14ක් ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් හමුවුණු 'කැපෙල්ලා හෝටලය'ඒ සුඛෝපභෝගී හෝටල 14න් එකකි. අක්කර තිහක භූමියක් පුරා පැතිර ඇති කැපෙල්ලා හෝටලය සංචාරකයන් මවිත කරවන තරමේ පහසුකම්වලින් සමන්විත හෝටලයකි.

“මරණය පසුපස ඇති දූව” හැටියට එදා හැඳින්වුණු සෙන්ටොසා දූපත අද මිනිස් සිත සන්තෝෂයෙන් පුරවාලන බිමක් වී ඇත. ගිනියම් වූ දේශපාලනය මැද ලෝකය දෙකෙළවරකට වී නොසන්සුන් මනැසින් නෝක්කාඩු කතා කියා ගත් නායකයන් දෙපල සැන්ටොස්හි මේ ආශ්චර්ය යම් පමණකටවත් වින්ඳාට සැකයක් නැත.


බෝම්බයක් වැනි චිත්‍රපටයක්

$
0
0
ජුනි 16, 2018 01:00

පසුගියදා අවසන්වූ කෑන්ස් සිනමා උළෙලේදී කතිකාවතට ලක්වූ තවත් සුවිශේෂී වාර්තාමය චිත්‍රපටයක් වූයේ ග්‍රැමී සම්මානලාභි සුප්‍රකට ගායිකා ‘විට්නි හූස්ටන්ගේ‘ ජීවිතය අළලා නිර්මාණයවූ ‘විට්නි‘ සිනමාපටයයි. විට්නිගේ නැන්දණියක වන ‘පැට් හූස්ටන්ගේ‘ නිර්මාණයක් වන ‘විට්නි‘ මෙතෙක් හුස්ටන් පිළිබඳ සේම ඇගේ දියණිය ‘බොබී ක්‍රිස්ටිනා‘ පිළිබඳවද ලෝකයට රහසක්වූ ගත කිළිපොළන තොරතුරු රැසක එකතුවකි. ලබන ජුලි මාසයේදී ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට නියමිත මෙම වාර්තාමය චිත්‍රපටය පිළිබඳව දැන් සිටම කනින් කොනින් ආන්දෝලන මතුව තිබෙන්නේ එහි අන්තර්ගතය විවාදාත්මක වන හෙයිනි. නමුත් චිත්‍රපටයට හූස්ටන් පවුලේ සාමාජිකයින්ගේ ආශිර්වාදය හිමිව තිබිමෙන් පෙනී යන්නේ කෙතරම් ආන්දෝලනාත්මක වුවත්, අන්තර්ගතයේ සත්‍යතාව බැහැර කිරීමට හැකියාවක් නැති බවයි.

චිත්‍රපටයෙන් හෙළි කෙරෙන තොරතුරු අතරින් වඩාත්ම ආන්දෝලනාත්මක හෙළිදරව්ව වී ඇත්තේ සිය මව ඝාතනය කිරීමට විට්නිගේ එකම දියණිය වන බොබී ක්‍රිස්ටිනා බ්‍රවුන් තුළවූ චේතනාවයි. මව ඝාතනය කොට ස්වභාවික මරණයක් හෝ හදිසි අනතුරක් ලෙස මවා පෙන්වීම මඟින් මරණයට තමා කිසිදිනෙක සැක නොකරනු ඇති බවට විශ්වාසයක් බොබී ක්‍රිස්ටිනා තුළ තිබී ඇත. මව මරා දැමීමට තරම් වෛරයක් විට්නිගේ එකම දරුවා තුළ ජනිත වූයේ කවර හේතුවක් නිසාද යන්නට විවරණයක්ද ‘විට්නි‘ චිත්‍රපටයෙන් ලබාදෙයි.

විට්නි හූස්ටන් හා රැප් ගායක බොබී බ්‍රවුන්ගේ එකම දරුවා වන බොබී ක්‍රිස්ටිනා ළමා වියේ සිටම මානසිකව පීඩාවට පත්වූ, නොසලකා හරිනු ලැබූ දැරියක බවට චිත්‍රපටයෙන් කෙරෙන හෙළිදරව්වද ලෝකයට පුදුමයක් වනු ඇත. සංගීත සංදර්ශන ඇතුළු තමා සහභාගී වූ සෑම සංචාරයකදීම විට්නි කැටුව යනු ලැබූ බොබී ක්‍රිස්ටිනා සම්බන්ධයෙන් එවැන්නක් කියනු ලැබීම ම පුදුමයකි. විට්නිගේ දිගුකාලීන සහායිකාව වන ‘මේරි ජෝන්ස්ට‘ අනුව ඇය යන එන හැම තැනකටම විට්නි සිය දියණිය රැගෙන යන විට්නිගේ පුරුද්ද ළමා වියේදී ඇය මුහුණ දුන් අපයෝජනවල ප්‍රතිඵලයකි. විට්නි ළමාවියේදී ලිංගික අපයෝජනවල ගොදුරු වූ බව කරළියට එන්නේද පළමුවරට ය.

වයස අවුරුදු හතත් නවයත් අතර කාලයේදි විට්නි හා ඇගේ සොහොයුරා අපයෝජනයට ලක්ව ඇත්තේ ඔවුන්ගේ ඥාතිවරියක වූ ‘ඩී ඩී වෝර්වික්‘ අතිනි. පසුකලකදී මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිව මියගිය ගායිකාවකවූ වෝර්වික් විට්නිට වඩා වයස අවුරුදු දහඅටකින් වැඩිමහලු වූවාය. සිය මාපියන් තමන් වෝර්වික්ගේ භාරයට පත්කොට නිවසින් බැහැරව ගිය අවස්ථාවලදී මුහුණදීමට සිදුවු කටුක අත්දැකීම් පසුකලකදී විට්නිගේ ජීවිතයට බෙහෙවින් බලපෑම් කිරීමට හේතුව තිබිණි. සිය දියණිය කිසිවිටෙකවත් තම රැකවරණයෙන් බැහැර නොකිරීමට ඇය පෙළඹවූ ප්‍රධානම හේතුව වූයේ එයය. නමුත් බොබී ක්‍රිස්ටිනාගේ ජීවිතයට එම ‘අධි රැකවරණයෙන්‘ සිදුවු යහපතක් නැත. ලිංගික අපයෝජනය ලක්වූවා හා සමාන මානසිකව පීඩාවක්, ඉලක්ක හඹාගිය මාපියන් නොසලකා හරිනු ලැබීමෙන්න් ඇය අත්වින්ඳාය. එහි ප්‍රතිඵලයක් ලෙස මව ජීවත්ව සිටියදීම බොබී වරක් සිය දිවි තොර ගැනීමට තැත්කළ බව හෙළිවන්නේද පළමුවරටය. සිය මව ඝාතනය කිරීමේ වෛරී ආවේගයකින් ඇය පෙළුණේද එම නොසලකා හැරීමේම ප්‍රතිඵලයක් ලෙසයි. ළාබාල වයසකදී බොබී ක්‍රිස්ටිනා, නික් ගෝර්ඩ්න් සිය පෙම්වතා ලෙස තෝරා ගත්තේද එම නොසලකා හැරීම නිසාමය.

2012ද ග්‍රැමී සම්මාන උළෙලට දින කිහිපයකට පෙරාතුව විට්නි හූස්ටන්, බෙවර්ලි හිල්ටන් හෝටල් කාමරයක නාන බේසමක් තුළ මියගොස් සිටියදී හමුවුයේද නික් ගෝර්ඩන්ටය. ළමාවියේ සිටම හූස්ටන් හදාවඩාගත් නික් ගෝර්ඩ්න් බොහෝදෙනා දුටුවේ බොබී ක්‍රිස්ටිනාගේ සොහොයුරකු ලෙසය. සිය මවගේ මරණයෙන් මාස අටකට පසු නික් සමඟ තමා විවාහ ගිවිසගත් බවට බොබී කළ නිවේදනය බහුතරයකගේ විශ්මයට හේතුවිය. 2014දී විවාහවූ බව බොබී-නික් යුවළ හෙළිකර සිටියත්, බොබී ක්‍රිස්ටිනාගේ පියා බොබී බ්‍රවුන් එම ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කර තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවූ පරිදි ඇගේ මරණයට හේතුව දියේ ගිලීම, හදවත් රෝග, හා අධික මාත්‍රාවකින් ශරීරගතව තිබූ කොකේන්. නමුත් බොබී බ්‍රවුන් කියන්නේ විට්නිගේ මරණයට මත්ද්‍රව්‍යවල කිසිඳු සම්බන්ධයක් නැති බවයි. හරියටම තෙවසරකට පසු දෛවෝපගත ලෙස ඔවුන්ගේ දියණිය ක්‍රිස්ටිනා, ජෝර්ජියා නුවර පවුලේ නිවහනේ නානබේසමක සිහිසුන්ව සිටියදී සොයාගනු ලැබූවේද ඇගේ පෙම්වතාවූ නික් ගෝර්ඩ්න් විසිනි. මාස හයක් සිහි විසංඥව රෝහල් ඇඳක් මත ගෙවා දැමූ ඇය 2015 ජුලි 26දා මිය යනවිට අවුරුදු විසිදෙකකි. ඇගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියැවුණේ මත්ද්‍රව්‍ය විෂවීම හා දියේ ගිලීම මරණයට හේතුව බවයි. එය ඝාතනයක්ද, හදිසි අනතුරක්ද, සියදිවි නසාගැනීමක්ද කියා අදටද තහවුරු වී නැත. සිය බිරියගේ මෙන්ම එකම දරුවාගේ මරණයටද සැක කරන්නේ ‘නික් ගෝර්ඩ්න්‘ බව බොබී බ්‍රවුන් පසුකලෙක කියා තිබිණි. එයද මුලුමනින්ම බැහැර කළ නොහැක.

ගෝර්ඩ්න්ට එරෙහිව හුස්ටන් පවුලේ සාමාජිකයින් නඩුවක් ගොනුකළේ බොබී ක්‍රිස්ටිනා සිහිසුන්ව රෝහල්ගතව සිටි අවදියේදීමය. චිත්‍රපටයේ සාකච්ඡාවට ලක්කෙරෙන තවත් වැදගත් හෙළිදරව්වක් වන්නේ බොබීගේ මරණයට නික් ගෝර්ඩ්න්ගේ ඇති මෙතෙක් අනාවරණය නොවුණු සම්බන්ධයයි. ඊට අනුව බොබී සිහිසුන්ව හමුවූ ජනවාරි 31දා උදෑසන ඇය හා ගෝර්ඩ්න් අතර දරුණු අන්දමේ බහින්බස්වීමක් හටගෙන තිබේ. පසුව ඔහු ඇයට මෝර්ෆීන්, කොකේන්, ඇල්කොහොල් හා ඖෂධවල සම්මිශ්‍රණයක් පානය කරන්නට දී ඇති අතර සිහිසුන්වීමෙන් පසු දියේ ගිල්වා තිබේ. මරණ පරීක්ෂණ වාර්තාව නිකුත්වීමෙන් පසු සිනාමුසුව කැමරාවට මුහුණදුන් ගෝර්ඩ්න් කළ ප්‍රකාශයද ඔහු වෙත එල්ලව තිබෙන සැකය වඩාත් තහවුරු කරන්නකි.

“ මට සතුටුයි ඒ කාලකණ්ණි දේවල් ඔක්කොම ඉවරවෙච්ච එක ගැන. මීට වඩා වැඩිදෙයක් මට කියන්න බැහැ. හැබැයි වෙච්ච හැමදෙයක්ම හොඳයි.“

බොබීගේ මරණය සම්බන්ධයෙන් ගෝර්ඩ්න්ට එල්ලවන චෝදනා තහවුරු කෙරෙන තවත් අනාවරණ බොහෝමයක් ‘විට්නි‘ චිත්‍රපටයේ දිගහැරෙයි. මවගේ මරණයෙන් පසු ගෝර්ඩ්න් අතින් බොබී අසීමිත ලෙස හිංසනයට හා පහරකෑම්වලට ලක්වූ බව එවැන්නකි. ගෝර්ඩ්න්ට එරෙහිව හූස්ටන් පවුල විසින් ගොනුකළ පැමිණිලිවලින් කියැවුණු පරිදි බොබී හා ගෝර්ඩන් අතර ගැටුම් සුලබ අතර, එවැනි අවස්ථාවලදී ගෝර්ඩ්න් ඇය ශාරිරිකව හිංසනයට ලක්කොට තිබේ. දියේ ගිලී සිටියදී හමුවත්දීත් ඇය දතක් ගැලවෙන්නට පහර කා තිබුණු බවට සාක්ෂි තිබිණි. තවත් වැදගත් හෙළිදරව්වක් වන්නේ ඇය මරණයට පත්වු දින හටගත් වාදයට හේතුව වී ඇත්තේ බොබී තමා හැරයන බවට ගෝර්ඩ්න්ට ලැබූණු ආරංචිය ය. බොබීගේ සැමියා ලෙස පෙනී සිටිමින් ගෝර්ඩ්න් නොයෙක්වර බොබීගේ ගිණුම්වලින් මුදල් සොරාගෙන තිබුණු අතර, ඇය සිහිසුන්ව රෝහල්ගතව සිටියදීත් සොරකම අඛණ්ඩව කරගෙන ගොස් තිබේ. ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට මෙයද එක් හේතුවක්වූ බව චිත්‍රපටයෙන් අනාවරණය කෙරේ.

“මම මෙච්චරකල් හිතාගෙන හිටිය නික් නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ වෙනස්ම නික් කෙනෙක්.“

බොබී ක්‍රිස්ටිනා තම විශ්වාසවන්තයකුට එලෙස හෙළි කර තිබුණේ මරණයට දින කිහිපකට පෙරාතුවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට මෙම විශ්වාසවන්තයා සමඟ හමුවක් යොදාගෙන තිබුණත් ඊට සහභාගී වන්නට තරම් කාලයක් බොබී ක්‍රිස්ටිනා ජීවත් වූයේ නැත. ඇය දියේ ගිලී සිටියදී හමුවුයේ එම හමුව තීන්දු කරගෙන තිබුණු 2015 ජනවාරි 31දා ය.

රුක්ලන්ති පෙරේරා

කාන්තා අයිතිවාසිකම් හා නැවුම් පීඩාව

$
0
0
ජුනි 19, 2018 01:00

“දැන් ඉස්සර වගේ නෙවෙයි. පුද්ගලික අංශයේ සමහර කම්පැණිවලත් වැටුප් සහිතව මාතෘ නිවාඩු දෙන තැන් තියෙනවා. “ ඉස්කෝලෙ මහත්තයා, එහෙම කියාගෙනම අපේ ගෙදර වැයික්කිය පැන්නා.

“ආහ්. ඒක හොඳ දෙයක් තමයි. එන්න වාඩිවෙන්න“ මං, සාලයේ පැත්තක තිබ්බ පුටුවක් ගෙනත් ඉස්කෝලෙ මහත්තයාට වාඩිවෙන්නට ඉඩ හදලා දුන්නා. කතා බහ ඇහෙද්දී දොර රෙද්ද එහා මෙහා කරලා උළුවස්සෙන් ඔළුව දාලා බැලුව මායියා, 'ආ..මේ ඉස්කෝ‍ලෙ මහත්තයා නොවැ. මං තේ එකක් හදාගෙන එන්නම්'කියලා යන්න ගියා. නිවාඩු දවසක් නිසාම පුංචි කයිවාරුවක් ගහලා යන්න හිතාගෙන එන්න ඇතැයි හිතාගෙන මමත් ඒ වැඩේට සූදානම් වුණා.

“මං මේ කියාගෙන ආවෙ බණ්ඩි. ඉස්සර වගේ නෙවෙයි, දැන් අපේ තරුණියන්ට ඒ කියන්නෙ ස්ත්‍රී පාර්ශවේට පුද්ගලික අංශයේ වුණත් හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ අයගෙ යම් යම් අවශ්‍යතා ගැන එහෙම සලකා බලන හොඳ හාම්පුත්තු ඉන්නවා“ ඉස්කෝලෙ මහත්තයා ආයෙම කියන්න ගත්තා.

“දැන් කවුද ඔය හාම්පුත්තු. කොයි කම්පැණියෙද, පඩි එක්ක මාතෘ නිවාඩු එහෙම දෙන්නේ?“ මං ඇහුවේ නිකමට දැනගන්නයි.

“අපොයි. අපේ ගෙදර හිටපු ලොකු දුව ඉතිං වැඩි දුර ඉගෙන ගෙනත් නෑ නොවැ. ඒ ළමයා මේ ළඟදි ගාමන්ට් රස්සාවකට ගියා. එතැන පඩි නඩි වුණත් නරක නෑ කීවා. ඔය කියන සමහර වරප්‍රසාද ටිකක් එහෙමත් ලැබෙනවා කීවා.“

“ඒක නම් ඉතිං දෝණියන්දැගෙ වාසනාව. එහෙම හොඳ තැනක් ලැබුණු එක. මොකද හැමතැනම එහෙම නෑ“ මං එහෙම කීවම ඉස්කෝලෙ මහත්තයා, බොහොම උනන්දුවෙන් මගෙ මූණ දිහා බැලුවා. මට මතක් වුණේ බැංකුවක රස්සාව කරපු මගේම යාළුවෙක් දැනට මාසෙකට විතර උඩදී කීව කතාවක්. එයා වැඩකරමින් සිටින බැංකුවෙ එයාගෙ බැංකු ශාඛාවටම අලුතෙන් ගෑනු ළමයෙක් ඇවිත්. ටික දවසකින් මේ දැරියට බබෙක් ලැබෙන්න ඉන්න විත්තිය හැමදෙනාටම වගේ දැනෙන්න ගන්නවා. එක දවසක් මේ ළමයා එහා මෙහා වෙනකල් ඉඳලා බැංකුවේ කළමනාකාරවරයා එයාලගෙ ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් අංශයේ බඳවා ගැනීම් හා පිරිස් කළමනාකරණය පිළිබඳ ප්‍රධානියාට දුරකථන ඇමතුක් අරන් නොසෑහෙන්න දොස් කියලා.

'බලන්න සර්. ඉන්ටර්වීව් කරන්නෙ මොකටද? ඒවායෙදි මේ ළමයි බැඳලද? ළමයි ඉන්නවද? මේ අයට තියෙන ප්‍රශ්න මොනවද කියලා අඳුරගන්න බැරිනම් වැඩක් තියෙනවද? කවුද මෙයා ඉන්ටවීව් කරලා තියෙන්නෙ කියලා හොයලා බලලා දඬුවමක් දෙන්න සර්‘ කළමනාකාරවරයා ඉල්ලා තියෙන්නෙ එහෙමයි. මං මේ ගැන ඉස්කෝලෙ මහත්තයාට කීවම එයාට ඒක අදහන්නත් බෑ.

‘එහෙම දේවලුත් වෙනවද?‘ එයා අහනවා.

ඊට පස්සෙ මං අපේ මායියට වෙච්චි ඇබැද්දියක් කීවා. අපේ උන්දැත් මාව බඳින්න ඉස්සරලා රජයේ සුදුසු රස්සාවක් කළා. ඊට පස්සෙ නගරයෙන් දුර ඈත ගමනාගමනය අපහසු නිසා වෙනත් රස්සාවකට යන්න හිතාගෙන එයා රස්සාවෙන් ඉල්ලා අස්වුණා. ඊළඟට තියෙන අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය අත්දැකීම් ඔක්කොම එකතු කරලා රස්සාවලට ඇප්ලිකේෂන් දාගෙන දාගෙන ගියා. සම්මුඛ පරීක්ෂණ සිය ගණනකට යන්න ඇති. ඒත් කොතනකින්වත් මොකුත් ලැබුණෙ නෑ. අන්තිමට උන්දැගෙම දන්නා හඳුනන බොස් කෙනෙක් මේ ගැන විවෘතවම කතා කරලා තිබුණා.

‘මෙයා ගන්න කතා කෙරුවම එච්.ආර් ලොක්කො කියන්නෙ. ඇවිල්ලා ටික දවසකින් ළමයි හදන්න ගත්තම එක දිගට නිවාඩු. එතකොට තව කෙනෙක් අරන් පුහුණු කරන්න වෙනවා. බැඳලා නැති අය හරි, බැඳල‍ා ළමයි හදලා ඉවර අය හරි ගන්න කියලා තමා ඒ අය කියන්නෙ කියලා‘ කියලා තිබුණා. ඒ කියන්නෙ 'මාතෘ නිවාඩු'දෙන එක නෙවෙයි. දෙන්න වෙන එකම කල් තියා නවත්වා ගන්න තරම් මේ කාරණය දැන් ආයතන ඇතුළේ නිර්මාණශීලි උපක්‍රමයක් වෙලා. මේ විතරක්ම නෙවෙයි, ඉස්සර නම් ස්ත්‍රී පාර්ශ්වයේ උදවිය වැඩබිම් ඇතුළේ, කාර්යාල ඇතුළේ ලිංගික අකරතැබ්බවලට ලක්වෙනවා. දැන් එහෙම වෙන්නෙ නෑ. එහෙම නොදෙන අය රාජකාරි තුළම අනවශ්‍ය පරිදි පීඩාවට ලක්කරනවා. තමන්ගෙ බලාපොරොත්තු ඉටුකරන අයට රැකියාවෙ උසස්වීම්, වැටුප් වර්ධක ආදිය දීලා දිරිමත් කරනවා. මේ වගේ දේවල් නීතියට අල්ලන්න ටිකක් අමාරුයි. මොකද ගන්න අයත්, දෙන අයත් දෙගොල්ලම අතර යම් රහස් එකඟතාවක් තියෙනවා. ඒ නිසාම වැඩේ හිතනවට වඩා බරපතළයි.

‘මේ කාරණා ගැන විවෘතව කතා බහ කරන වැඩපිළිවෙළක් හදන්න විදිහක් නැද්ද? මං කියන්නෙ අපේ ගම් මට්ටමින්, ඉස්කෝල මට්ටමින්, පොලිසි, ග්‍රාමසේවා වසම්, ප්‍රා.ලේ කෙට්ඨාස මට්ටමින්‘ ඉස්කෝලෙ මහත්තයා යෝජනාවක් දැම්මා.

‘පුළුවන් පුළුවන් කාලෙකට ඉස්සර මෙයත් ඒ වගේ දේකට අත ගැහුවා‘ අපේ මායියා, ඉස්කෝලෙ මහත්තයට ගෙනාව තේ කෝප්පය ටීපෝව උඩින් තිබ්බා.

‘ඇත්ත නේන්නම්. අපි සම්මන්ත්‍රණයක් සූදානම් කළා. 'නූතන කම්කරු ස්ත්‍රීයගේ ශ්‍රම දායකත්වය හා නැවුම් පීඩාව'කියලා.‘

‘ඉතිං‘ ඉස්කෝලෙ මහත්තයා අහනවා.

‘කම්කරු හා ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කරන සිවිල් සංවිධානයකින් තමා වැඩේ සංවිධානය කරන්න වියදම් දන්න පොරොන්දු වුණේ‘

‘ඉතිං‘

‘වැඩේට දින නියම කරගෙන තියෙද්දී ඒකෙ කාන්තා අයිතිවාසිකම් ගැන ක්‍රියාකාරිණියක් කතා කරලා 'නැවුම් පීඩාව'කියන එක තේරෙන්නෙ නැති නිසා ඒ වැඩේ අවලංගු කළා කියලා දැනුම් දුන්නා.‘ කතාව සම්පූර්ණ කළේ අපේ මායියා. එයා එහෙම කියාගෙන ආයෙම කුස්සියට ගියා.

බණ්ඩි රාල

මාඕ සේතුංගෙන් සංගීතවේදීන්ට

$
0
0
ජුනි 19, 2018 01:00

 1956 අගෝස්තු මස 24 වැනිදා චීනයේ සංගීතඥයිනට වැදගත් දවසක් විය. එදින ජාතික සංගීත සංගම‍යේ නියෝජිත පිරිසකට මාඕ සේතුං සහෝදරයා හමුවීමට අවස්ථාවක් ලැබුණි. මාඕ සේතුං, එදින ඔවුන් හා දැක්වූ අදහස් අද දවසේ නැවත විමසුමට ලක්කරන විට, එහි ගැබ්ව තිබූ නූතනවාදී බව පුදුමය දනවන සුළුය. විශේෂයෙන්ම චීනය වැනි මහා සංගීත සම්ප්‍රදායක් තිබූ රටක්, බටහිරෙන් ආභාෂය ලැබීම පිළිබඳව ඔහු තුළ වූයේ ‍නම්‍යශීලී මතයකි.

සංස්කෘතික විප්ලවය පොට වරද්දා ගත් බව පසුකාලීනව පිළිගැනුණි. එම මුග්ධ විප්ලවයේදී බටහිර කලාව, විද්‍යාව අගැයූ, ඉන් ආභාෂය ලද බොහෝ කලාකරුවන්ට නිර්දය ලෙස නින්දා අපහාස කෙරුණි. ඉන් දැඩි මානසික පීඩනයකට ලක්වූ ඇතැම්හූ දිවි තොරකර ගත්හ.

සංගීතඥයන් අමතමින්, මා ඕ සේතුං මෙසේ පැවසීය.

“කලාවන්ගේ මූලධර්ම සාර්ව භෞමිකය. එහෙත් ඒවායේ ප්‍රකාශන ආකාර විවිධ විය යුතුය. ජාතික ශෛලීන් තිබිය යුතුය. ගසක කොළ ගනිමු. බැලූ බැල්මට ඒවා බෙහෙවින්ම එක වැනිය. එහෙත් කිට්ටුවෙන් පරීක්ෂා කරන කල එක් එක් කොළය වෙනස් ය. සාර්ව භෞමිකත්වය මෙන්ම පෞද්ගලිකත්වය ද සමානාත්වය මෙන්ම අසමානාත්වය ද ඇත්තේය. මෙය සොබාදහමේ නීතියක් ද, එසේම මාක්ස්වාදයේ නීතියක් ද වේ. මෙය සංගීත රචනයටත්, ගීතයටත් රැඟුමටත් පොදුය.

සංගීත භාණ්ඩ මෙවලම්ය. මෙවලමක් හොඳ ද, නරක ද යනු තීරණය වන්නේ එය භාවිත කරන ආකාරය අනුවය. විදේශීය සංගීත භාණ්ඩවලින් අපට ප්‍රයෝජනගත හැකිය. එහෙත් අපි විදේශීය සංගීතය පිටපත් ක‍ළ නොයුතු වෙමු. බටහිර සංගීතයේ මූලධර්ම, චීන ත්ත්වයන් සමඟ ඒකීභූත කළ යුතුය. එයින් වඩාත් සාරගර්භ ප්‍රකාශන උපදිනු ඇත.

චීන බෝංචි තලප, බෝංචි අතුර, නරක් නොවන සේ සකස් කළ බිත්තර සහ බෙයිජිං තාරා මස් වැනි දේ චීන විශේෂ කෑම වර්ගය. ඒවා නිෂ්පාදනයේදී චීනය හා සැස‍ඳෙන්නට අන් කිසිම රටකට බැරිය. කෑම පිසීම හා ඇඳුම් ඇඳීම රටින් රටට වෙනස් ය. චීන මිනිසුන් කෝටුවලින් කන අතර බටහිර මිනිස්සු පිහි ගෑරුප්පු පාවිච්චි කරති. පිහි ගෑරුප්පු පාවිච්චි කිරීම වඩා ප්‍රඥාගෝචර සහ වඩා විද්‍යාත්මකය. එහෙත් කෝටු පාවිච්චි කිරීම නොදියුණු යැයි කීම ද තේරුමක් නැති කතාවකි.“

සභාපති මා ඕ, බටහිර සංගීතය උගත් සංගීතවේදීන් සමාන කළේ බටහිර වෛද්‍යවරුන්ටය. උසස් සංගීත පාසල් පවත්වාගෙන යාම පරණ පන්නයේ ගාන්ධර්වයන්ටම නොපවරා නව සංගීතවේදීන්ගෙන්ද වැඩ ගත යුතු බව ඔහු පැවසීය. ප්‍රකාශන ආකාරයන් විවිධ වීම දේශපාලනයේදී මෙන්ම කලාවේදී ද ස්වාභාවික කාරණයක් බව මාඕ පිළිගත්තේය.

සි ශී නමැති අධිරාජිනියක කළාක් මෙන් ‘පිටරට යකුන්‘ට බියවීමේ තේරුමක් නැතැයි කියූ මා ඕ, පිටරටින් උගත යුතු බවත්, ඒ උගන්නා දෙය ඇසුරින් චීන දේ නිර්මාණය කළ යුතු බවත් කියා සිටියේය.

“විදේශීය සංගීතය ටිකක් ගයන්නට වයන්නට බය වෙන්න එපා“ ඔහු සංගීතඥයන්ට පැවසුවේය.

“සුයි සහ තාං රජ පෙළපත් කාලයන්ට අයත් සංගීතයේ ප්‍රභේදයන් බොහෝමයක් අසව් මධ්‍යම ආසියාවෙන්. එසේම කොරියාවෙන් හෝ ඉන්දියාවෙන්. එහෙත් ඉන් දේශීය සංගීතය නැතිවුණේ නැහැ. අප කළ යුත්තේ විදේශීය සංගීතයේ ප්‍රබල අංගයන් උකහා ගැනීමයි. එසේ නොමැතිව, කිසිදු වග විභාගයකින් තොරව බටහිර සංස්කෘතීන් ඉවත දැමීමත්, තොග පිටින් උරා ගැනීමත් දෙකම වැරදියි.“

සිද්ධාන්තවාදය පරිශෝධනය කළ යුතු බව මා ඕගේ අදහස විය. එහෙත් එය සිදු කළ යුත්තේ “මඳ පවනක හා මුදු වැස්සක“ ආකාරයෙනි.

ස්වීයත්වයේ අගය පහදා දෙමින් කතා කළ මාඕ නිදසුනක් ලෙස, ප්‍රකට ලේඛක ලූ ෂුං දැක්විය. “ලූෂුංගේ නවකතා විදේශීය නවකතා හා සමාන නැත. එසේම පැරණි චීන නවකතා සම්ප්‍රදායෙහිද නොවේ. එහෙත් ඒවා සමකාලීන චීන නවකතාය. ‘මළ මිනිස්සු‘ (ගොගොල්ගේ ඩෙඩ් සෝලිස්) අපට අවශ්‍යය. එහෙත් ලූෂුංගේ ‘ආ කියුගේ කතාවත්‘ අපට වැදගත්ය. ලූ ෂුං ‘මළ මිනිස්සු‘ වැනි නවකතා චීන බසට පරිවර්තනය කළත්, ඔහුගේ දීප්තිය රැඳී තිබුණේ, ස්වීය නිර්මාණ තුළය.“

චීන නවකතාව, බටහිර නවකතාව හා සැසඳීමේදී පසුපසින් සිටින බව මාඕගේ අදහස විය.

ලූෂුං චීන සංස්කෘතිය හා සම්ප්‍රදාය දෙස අවඥාවෙන් බැලුවකු නොවුණද, චීන වෙදකම හා බෙයිජිං ඔපෙරාව ගැන ඔහු තුළ වූයේ නොපැහැදීමකි. මා ඕ, එය දුටුවේ චීන වෙදකමට ලූෂුංගේ රෝගී පියා සුවපත් කිරීමට නොහැකි වීමත්, ඔහු චීන නාට්‍ය ලෝලියෙකු වීමත් නිසා සිදුවූවක් ලෙසිනි.

උගත්කම චීන හෝ විදේශීය වශයෙන් ප්‍රභේද නොකළ යුතු යැයි මා ඕ අගෝස්තු 24 දා හමුවේදී කියා සිටියේය. එහෙත් අභාග්‍යයකට මෙන් සංස්කෘතික විප්ලවයේදී බටහිරට නැඹුරු වූ උගතුන්ට, ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදු විය. නිර්ධන පංති ආඥාදායකත්වයේ නාමයෙන් සිදුව තිබුණේ මාඕ සේතුංගේ නූතනවාදී චින්තනයට පටහැනි ක්‍රියාදාමයකි. ඊට තුඩු දුන් දේශපාලනික හා සමාජයික හේතූන් පිළිබඳ විවිධ විග්‍රහයන් ඇත. කෙසේ වෙතත්, ඉස්තාලය වසනවිට අශ්වයා පැන ගොසින් හමාරය!

මාඕ සේතුං කලාව සහ සාහිත්‍ය පිළිබඳව කළ දේශන පසු කලෙක කෘතීන් වශයෙන් සංගෘහිත විය. ‘කලාව සහ සාහිත්‍ය‘ මැයින්, අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විසින් ද, ‘මාඕ සේතුං, කලාව සහ සාහිත්‍ය පිළිබඳව‘ නමින් මහින්ද සෙනරත් යාපා විසින් ද (ගොඩගේ ප්‍රකාශන) එම කෘතීන් දෙකක් සිංහලට පරිවර්තනයකොට තිබේ. (මෙම ලිපියෙහි එන උධෘතයන්, චීන ප්‍රවෘත්ති - 1971/10 කලාපයෙනි)

සභාපති මා ඕ, විප්ලවවාදියෙකු වුවද සාම්ප්‍රදායික කවියකු විය. 1934 - 1936 අතර කාලයේ පැවති රතු හමුදාවේ වීරෝදාර දිගු පා ගමනේදී (Long March) ඔහු වරින් වර කවි ලියූවේය. එහෙත් පාසල් සමයේදීත් ඔහු කවි රචනා කළ බව පසුව හෙළි වුණි.

චීනයේ සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍රදාය ප්‍රිය කළ මා ඕ සේතුං, ටැන් රාජ වංශය පැවති සමයේ විසූ ‘ලී තිදෙනා‘ නමින් ප්‍රකට, ලී ඛායි, ලී ෂැංගුයින් හා ලී හී ගේ ආභාෂය ලැබීය.

චීන සාහිත්‍ය ඉංග්‍රීසියට නැඟීමේ පුරෝගාමියෙකු වූ ආතර් වේලි, මාඕගේ කවිය ගැන මෙසේ කියා ඇත.

“මාඕගේ කවි, හිට්ලර්ගේ චිත්‍ර තරමට නරක නැත. එහෙත් චර්චිල්ගේ තරමට හොඳ ද නැත.“

මාඕ සේතුං ඇතුළු චීන විප්ලවීය නායකයන් කීප දෙනකුගේ කවි, සේන ‍තෝරදෙණිය විසින් සිංහලට පරිවර්තනය කොට, ‘සිසිර වලාකුළු‘ නමින් ප්‍රකාශයට පත් කළේය.

මාඕගේ කවි තුළ සොබාදහමෙන් ගත් සංකේත රූප මෙන් ම විප්ලවීය හැඟීම් ද සුලභය. කඳු පිළිබඳව ඔහු ලියූ කවි අතුරින් එකකි මේ.

ලියූ පැන් කන්ද
ඈත අහස් කුස
සුදු වළාකුළු
මහ තාරාවෝ පියා සළති
දකුණු දිසාවට.
මහා ප්‍රාකාරය වෙත
යා ගත නොහැකි නම්
මිනිසුන් නොවෙමු අපි.
ලියූ පැන් කන්දේ
දිගු දුරක් නැඟ සිටිමු අපි
බටහිරින් එන සුළ‍ඟේ
අපේ රතු ධජ සැළෙයි
අප අත්හි ඇති රැහැනින්
බැඳ දමනු කෙදිනද
අළු පැහැති මකරා

මාඕ ‘කඳු‘ නමින් ලියූ කෙටි කවි තුන, වඩාත් ප්‍රකටය.

1. කඳු!
සෑදලය මත හිඳ
අසුගේ ගමන ඉක්මන් කරවමි
කස පහරකින්.
හිස හරවා බැලූ කල
මවිත වීමි
අඩි තුනක් ඉහළිනි
අහස.

II

කඳු!
රළු මුහුදේ නැ‍ඟෙන රළ බඳුය
පිම්මේ දුවන දහසක් අසුන් බඳුය
රණ බිමෙහි.

III

කඳු!
නිල් පැහැ අහස් කුස විනිවිද
මුවහත නොබිඳි කඳු මුදුන්
අහස කඩා වැටුණද
ඔබේ සවිය නොබි‍ඳේ.

(මෙම කවි, මවිසින් කළ සරලානුවාදය.)

කපිල කුමාර කාලිංග
kapilakalinga@gmail.com

ළමයින්ට වෙනස්කම්

$
0
0
ජුනි 19, 2018 01:00

ඇම්බන් මහත්තයා පාරේ යමින් සිටියේ උන්නැහේත් ඇම්බන් මහත්තයාත් සමඟය. පාර අයිනේ කුඩා දැරියක් හඬමින් සිටියාය.

‘මොකද මේ ළමයා අඬන්නේ?‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය. අඬමින් සිටි දැරිය හිස ඔසවා බැලුවාය.

‘ මං චිත්‍රයක් ඇන්දා... ඒක අර තරගෙට යවන්න බෑ...‘ කියා දැරිය ඉකි ගසමින් කීවාය.

‘ මොන තරගෙටද?‘ කියා ඇසුවේ උන්නැහේය.

‘ ඇයි අර බැංකුවෙන් පවත්තන තරගෙට... ඒකට භාර ගන්නේ ඒකේ ගිණුම් තියෙන ළමයින්ගේ චිත්‍ර විතරයි.‘ කියා දැරිය කියන විට ඇයගේ අම්මාද එතැනට ආවාය. අම්මාගේ අතේ ලොතරැයි ලෑල්ලකි.

‘ මේ දරුවා කියන්නේ ඇත්ත මහත්තයා... මං මේ ලොතරැයි විකුණලා කීයක්කත් හොයා ගන්නේ. මහත්තයාට කියන්ඩ ඔය බැංකුවේ විතරක් නෙවෙයි මොනව බැංකුවකවත් අපේ ගිණුමක් නෑ... කොහේද තියෙන්නේ ගිණුම්වල දාන්න සල්ලි. මේ ලොතරැයි ටික විකුණලා හම්බ වෙන තුට්ටු දෙකෙන් තමයි හැන්දෑවට හාල් කිලෝවක් හරි අර ගන්නේ. මේ දරුවාගේ තාත්තත් නෑ නේ. ගහකින් වැටිලා නැති වුණා. ඉතින් මං තමයි මේ දරුවයි තව බාල දරුවෙකුයි රස්සා කරන්නේ... මහත්තයා ලොතරැයියක් ගන්නවද? කියා අම්මා ඇසුවාය.

‘ එහෙනං දෙන්නකෝ ලොතරැයියකුත්. මේක දැන් ලොතරැයි දිනුම්වලින්ම දුවන රටක් නේ. ඇදුණොත් කොහොමද කෝටි ගණන්. අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු එකතු කරලා එකෙකුට පොදි බැඳලා දෙනවා... ඒකෙ තියෙන්නෙත් මේ බැංකුවේ තියෙන අරමුණුම තමයි. තමන්ගේ වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරනවා මිසක් සමාජය ගැන වගකීමක් නෑ... කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘ දුව චිත්‍ර අඳින්න ආසයිද? කියා උන්නැහේ ඇසුවේය.

‘ ඔව්... මං හැම වෙලාවෙම චිත්‍ර අඳිනවා. ඒ වුණාට අපේ ඉස්කෝලේ චිත්‍ර උගන්නන්නේ බුද්ධාගම උගන්නන ටීචර්.‘ කියා දැරිය කීවේ පැමිණිල්ලක් විලසිනි.

‘ අපි ඔය චිත්‍ර තරගේ පවත්තන බැංකුවට කතා කරලා බලමුද?‘ කියා යෝජනා කළේ ඇම්බන් මහත්තයාය‍

‘ ඔව්. ඒකත් හොඳයි... ‘ කියා ටොම්සන් මහත්තයා බැංකුවට කතා කළේය.

‘ දැන් මේ නෝනා අපිට මේ දුක්ගැනවිල්ලක් ලැබිලා තියෙනවා. මේ ළමයෙක් ඉන්නවා චිත්‍ර අඳින.. එයාට රේඩියෝ එකෙන් ඇහිලා තියෙනවා. චිත්‍ර තරගෙකට චිත්‍ර භාර ගන්නවා කියලා. හැබැයි ඒ ළමයාට ගිණුමක් නම් නෑ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘ ඒක තමයි අපි මේ චිත්‍ර වැඩ සටහන කරන්නේ අපේ ප්‍රවර්ධන වැඩ සටහනක් විදිහට නේ. ඉතින් ගිණුම් හිමියන් ප්‍රවර්ධනය කිරිම තමයි අපේ අරමුණ. එතකොට ගිණුමක් නැති ළමයෙකුට වුණත් අලුතින් ගිණුමක් ආරම්භ කරලා චිත්‍ර තරගෙට ඇතුළත් වෙන්න පුළුවන්.‘ කියා බැංකු නෝනා කීවාය.

‘ එතකොට නෝනා අලුතින් ගිණුමක් ආරම්භ කරනවා කියන්නේ ඒත් ගිණුම් හිමියන්ටම නේ.. දැන් ඔය තරගේ දැන්වීම බැංකුවක් ඇතුළේ ප්‍රදර්ශනය කරලා තරගෙට අයදුම් පත් කැඳෙව්වාට වරදක් නෑ... මොකද ඒ බැංකුවට එන්නේ ඒ බැංකුවේ ගිණුම් හිමියෝ නේ. එතකොට මේ විදිහට ජනමාධ්‍යයෙන් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළාම ඒක මේ රටේ ඉන්න හැම ළමයාටම ඇහෙන්න දකින්න පුළුවන් නේ. මං අහන්නේ එතකොට මේ විදිහට ළමයින් කොටසක් වෙන් කිරීම පොදුවේ ළමයින්ට කරන බරපතළ වෙනස්කමක් වෙන්නේ නැද්ද?‘ කියා ටොම්සන් මහත්තයා බොහොම බරසාර විදිහට ඇසුවේය.

‘ ඒ වුණාට ඔය දුරකථන සමාගම්වලිනුත් ඔය වගේ තරග පවත්තනවානේ...‘ කියා නෝනා උත්තර බැන්දාය.

‘ ඒක වෙනම කතාවක් නේ නෝනා.. දැන් මං අහන්නේ බැංකුවෙන් කරන මේ වැඩේ ගැන. වැඩිහිටියන්ට තියෙන තරග ගැන නම් මේකේ ප්‍රශ්නයක් නෑ නෝනා... මං කියන්නේ මේ ළමයි සම්බන්ධ නිසයි. යම් ළමයි කොටසකට මේ විදිහට වෙනස්කමක් කිරීම ගැන අපට එකඟ වෙන්න නම් බෑ කියා ටොම්සන් මහත්තයා අන්තිමට කීවේය.

ඒ සැරේ බැංකු නෝනා ඒ කාරණේ බරපතළෙට ගත්තාය.

‘ ඒකේ ඇත්තක් තියෙනවා තමයි. මං මේක අපේ ලොකු මහත්තයා එක්ක කතා කරන්නම්.‘ කියා බැංකු නෝනා කීවාය.

‘ අපි අර ළමා ආරක්ෂාව භාර නෝනලාටත් කතා කරලා බලමුද ටොම්සන් මහත්තයා.?‘ කියා උන්නැහේ යෝජනා කළේය.

‘ වැඩක් නෑ උන්නැහේ. ඒ නෝනලාට රටේ වෙන දේවල් දැනෙන්නේ කවුරු හරි පැමිණිලි කළොත් විතරයි. නැත්නම් ළමයින්ට මොන මොන විදිහේ වෙනස්කම් වෙනවාද කියලා ඒ නෝනලා කොහොමත් දන්නේ නෑ.‘ යැයි කියූ ටොම්සන් මහත්තයා අර කුඩා දැරිය වෙත හැරුණේය.

‘ දුව දිගටම චිත්‍ර අඳින්න. ඔය තරගෙට දැම්මේ නෑ කියලා චිත්‍ර අඳින එක නවත්තන්න එපා.. කවදා හරි දුවට චිත්‍රයක් යවන්න පුළුවන් තරගෙකුත් එයි නේ...‘ කියු ටොම්සන් මහත්තයා දැරියගේ හිස අත ගෑවේය. දැරිය අහිංසක ලෙස සිනහසුණාය.

බන්දුල පී දයාරත්න
bandulapdaya@hotmail.com

සුන්දර හැන්දෑවක්...

$
0
0
ජුනි 19, 2018 01:00

දවසේ වෙහෙස තුනී කරන්නට තරම් ඒ හඬ මෘදු මොළොක්ය. එහෙත් ඒ ආරාධනාව මා අවුල් ජාලවක ඇද හෙළයි. කලකින් කොළඹ නොගිය බැවින් මේ ආරාධනාව සොම්නසින් ඉවසන්නට බැරි මන්දැයි මම මගෙන්ම ප්‍රශ්න කළෙමි.

‘අක්කා කොහොම හරි එන බව මම දන්නවා’යි අජිත් මල්ලි මහත් විශ්වාසයෙන් කී කල මම තවත් අසරණ වීමි.

ශ්‍රියා පුංචි අම්මා මේ විශාල කුටුම්බ‍ෙයහි බර දවසකට දරන්නට කැමති වූයෙන් මම ඒ දීර්ඝ හා වෙහෙසකර ගමනාන්තයෙහි, අරුණාගේ ආදරයෙන් සැනසෙන්නට තරම් භාග්‍යමත් වීමි. මගේ පාඨකයකු වන ඇය මගේ සත්කාරිකාව ලෙසද සහෝදරත්වයේ උණුසුම් ළෙන්ගතුකමින් මා පිළිගන්නට සැදී පැහැදී සිටින්නීය.

ලංකාදීප දිනපතා පුවත්පතේ උප කර්තෘ ලෙස සේවය කරන තරුණ මාධ්‍යවේදී සුජිත් ප්‍රසංග විසින් රචනා කරන ලද ‘මැදියම අග’ නවකතාව හා ‘අත්තාපල්’ යොවුන් නවකතාව දොරට වැඩුම නිමිත්තෙන් පසුගිය මැයි 31 වන බ්‍රහස්පතින්දා හැන්දෑවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති චාම් හා සොඳුරු උළෙල සැබැවින්ම අරුත්බර විය.

මුලසුන හෙබවූ ප්‍රවීණ රංගවේදිනී අනෝජා වීරසිංහ මේ තරුණ ලේඛකයාගේ නිර්මාණ අගය කළ අතර අද්‍යතන සමාජ ඛේදවාදකයේ අන්ධකාරයෙන් මිදී ආලෝකය දකින්නටද අයුක්තියට, අසාධාරණයට හා දූෂණයට එරෙහිව අරගල කරන්නටද ආරාධනා කළාය.

මේ දොරට වැඩුමේ කෙටි දෙසුම් පැවැත්වූ ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා හා ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර සාරගර්භ අදහස් පමණක් නොව ජීවිතයද ගෙනහැර පෑ වග ගෞරවාදරයෙන් සිහිපත් කළ යුතුය.

තුෂාරි අබේසේකර ලේඛිකාව අතිශය සංවේදී කතාවක් ළගන්නා අයුරින් කියා පාමින් මේ විෂම සමාජ ක්‍රමය තුළ අන්ත අසරණ වන ස්ත්‍රීන් හා දරුවන් පිළිබඳව සිතන්නට, තැවෙන්නට, දැවෙන්නට අපට බල කළාය. අත පය ගසා සිටින බිම්කඩ රුධිරයෙන් හා ලෙයින් කඳුලින් දිගින් දිගටම තෙත්ව යන බවද මල් පුබුදින්නට කල් ගතවන බවද ඒ සඳහා ළතෙත් හදවත් පමණක් නොසෑහෙන බවද ඇය අවධාරණය කළ වග මට හැඟිණි.

තුෂාරි අබේසේකර සහෝදර ලේඛිකාව හමුවන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දීම පිළිබඳව සුජිත් ප්‍රසංග ලේඛකයා හට නැවත නැවතත් ස්තූතිවන්ත වෙමි. ඇගේ නිර්මාණ මෙන්ම ඇයද අපූරු බව සෙනෙහසින් සඳහන් කළ යුතුය.

කුසුම්සිරි විජයවර්ධන, දයා ද අල්විස් , නෙරංජලා සරෝජිනී ප්‍රවීණ කලාකරුවන් සමඟ පිළිසඳර ඉක්මනින් හමාර කරන්නට සිදු වූයේ කාල වේලාව හරස්වීම හේතු කොටගෙනය.

සුජිත් ප්‍රසංග සහෝදර ලේඛකයාගේ කෘතීන් ද්විත්වය දොරට වැඩි මංගල්ලය මෙහෙය වූ ප්‍රවීණ නිවේදිකා රසාදරී පීරිස් දැක්වූ කුසලතාව හා හද ඇද බැඳගන්නා ස්වභාවය ද මිහිරි හඬද කෙනකුට කලකට අමතක නොවන අත්දැකීමක් බවද වෙසෙසින් සඳහන් කළ යුතුව තිබේ. ඉතා සැහැල්ලුවෙන් ද නොවියැකෙන ප්‍රබෝධයෙන්ද මෘදු මොළොක් බවින්ද ඇය නිවේදන භූමිකාවේ නව මානයන් පළ කළ බවක් මට හැඟිණ. දුෂ්කර අවස්ථාවන්හීදි පවා සුමටව සොඳුරුව ප්‍රේක්ෂකාගාරය විඩාපත් නොකළ බව නොකියන්නේ නම් මහත් වරදකි.

සුජිත් ප්‍රසංග තරුණ ලේඛකයාගේ කෘතීන් ප්‍රකාශයට පත්කරමින්ද මෙකී දොරට වැඩුමේදී මහත් සහයෝගයක් ලබා දෙමින්ද සරසවි ප්‍රකාශකයෝ සහ ගොඩගේ ප්‍රකාශකයෝ සිදු කළ මෙහෙවර අගය කළ යුතුය. ප්‍රවීණ හා ආධුනික වෙනසකින් තොරව නිර්මාණකරුවන් ධෛර්යමත් කිරීම සැබැවින්ම සත්කාර්යයකි.

ගීපද රචනයෙන්ද සමත්කම් දක්වන සුජිත් ප්‍රසංග ලේඛකයා ‘මැදියම අග’ නවකතාව හා ‘අත්තාපල්’ යොවුන් නවකතාව රචනා කරමින් සිය නිර්මාණ කෞෂල්‍යය නැවත වරක් මනාව පළ කරයි. සෙමින් පියවර තබන ඔහු දිගු ගමනක් යන බව දැනටමත් තමාගේ නිර්මාණ තුළින් අපූරුවට කියාපායි. ඔහුට සුබ පතා කොළොම්පුරවරයෙන්ද ආදරණීය අරුණාගෙන්ද සමුගත් මම පැය පහ, හයක් ගතවන දීර්ඝ ගමනකට යළිත් මුල පිරුවෙමි‍. පිරිමි හයදෙනෙක් එක්ක ශ්‍රියා පුංචි අම්මාට මේ එක දවස සුමානයක් හමාරක් තරමට දිගුව දැනුණේදැයි අසා දැනගන්නාතුරු මට ඉවසුමක් නැත්තේය.

‘අදවත් නැවතිලා යන්නකෝ’

අරුණාගේ ආදරණීය කන්කරච්චලය පිළිකෙව් කරන්නට සිදුවන්නේ නිවුන් පුතුන් පාසල් යැවිය යුතු බැවිනි.

දීර්ඝ ගමනක වෙහෙසත් විඩාපත් වෙනවා වෙනුවට අරුත්බර නිර්මාණයකින් යළිත් පාඨකයන් ආමන්ත්‍රණය කරන සුජිත් ප්‍රසංග ලේඛකයා තිළිණ කළ සොඳුරු සන්ධ්‍යාව ආවර්ජනය කළෙමි.

ශාන්ති දිසානායක
srmsenapura@gmail.com

හඬ නිහඬව රුව මැකුණී පන්හිඳ මෙහෙවර නිම වී

$
0
0
ජුනි 19, 2018 01:00

සොඳුරු මිනිසුන්ගේ වියෝව පිළිබඳ පුවත්, බොහෝ අවස්ථාවල ඇසෙන්නේ අප නොසිතන නොපතන මොහොතක බව පසුගිය කාලය පුරා අපගෙන් සමුගත් අප ආදරය කළ චරිත නම් ගම් මතකයට නැගෙනා කල දැනේ. සාහිත්‍ය කලා, සංස්කෘතික, සංගීත, නාටක, සිනමා, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආදී ක්ෂේත්‍ර තුළ තම අනන්‍ය වූ ප්‍රතිභාන්විත නිර්මාණ කාර්යයන්ගෙන් ජන මනස ප්‍රබුද්ධිමත් කළ යුග පුරුෂයන් මෙන්ම විශිෂ්ටයන්ගේ ද සමුගැනීම් අදහාගත නොහැකි වූ මොහොතක සිදු වූ බව සනාථ වූ මෑත කාලීන අවස්ථා බොහෝය. ආචාර්ය තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ, ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමනා සපරමාදු, විජය නන්දසිරි, එලෙස මතකයට නැගෙන නම්ගම් කිහිපයකි.

පසුගිය පස්වැනිදා උදෑසන අසන්නට ලැබුණු පුවතකින් හද කම්පාවට පත්ව එදුක් ගින්න නිවී එහි උණුසුම මැකී යන්නටත් පෙර, එබඳුම දුක්මුසු පුවතක් අටවන දින පෙරවරුවේ අසන්නට ලැබුණේ අපගේ අවාසනාවට නොවේදැයි නොසිතුණා නොවේ. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස නොපැකිල හඳුන්වා දීමට හැකි හේම නලීන් කරුණාරත්න සුමිතුරා දිවි සැරියෙන් සමුගත් පුවත පස්වන අඟහරුවාදාත් මුද්‍රිත මාධ්‍යය හා ලේඛනය, සාහිත්‍යය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර රචනය, විචාරය ආදී වූ සාහිත්‍ය කලා ප්‍රවේග රැසකම තම අනන්‍ය ලකුණ, මුද්‍රාව සටහන් කොට තිබූ විශිෂ්ටයකු සේ අවිවාදිතව නම් කළ හැකි සහෘදයකු වූ සෝමවීර සේනානායක තම පන්හිඳෙන් පෑ එ විකුම් නිමා කළ පුවත අටවනදා උදෑසනින් අප සවන පතිත වූයේ අප හද දුක් ගිනි අවුළුවමින්, අප නෙත කඳුළක් රඳවමින් බව කෙසේ සඟවන්නද? ඔවුන් දෙදෙනාම ඔවුනගේ ප්‍රකාශන මාධ්‍යයෙහි විශිෂ්ටයෝය. නව මං ඔස්සේ නව නිර්මාණ කළෝ පමණක් නොව, එකී නිර්මාණ ඔවුන්ගේ භාව ප්‍රකාශන මාධ්‍ය තුළ විශිෂ්ට නිර්මාණ බවට පත්වීම මේ දෙදෙනාගේම නිර්මාණකරණයේදී පැහදිලිවම කැපී පෙනුණු ලකුණක් වීය.

හේම නලීන් හා සෝමවීර යන දෙදෙනාම තම නිර්මාණ චාරිකාවේ තීර්ථය දකින්නට තව බොහෝ කල් තිබිය දී සමුගත්තන් නොවිණිද? හේම නලීන් රූපවාහිනී මාධ්‍යයේ මහගෙදර සේ සැලැකෙන ජාතික රූපවාහිනියෙන් තම භූමිකා පණ ගැන්වීම ඇරැඹූ අතර සෝමවීර, ජනමාධ්‍යයේ පත්තර මහගෙදර සේ සැලැකෙන ලේක් හවුසියෙන් තම පන්හිඳ අසිරිය පාඨක ලෝකය වෙතට සමීප කිරීම ඇරැඹූහ. 1983 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහාය නිෂ්පාදකවරයෙක් ලෙස විද්‍යුත් මාධ්‍යයට අත් පොත් තබන හේම නලීන් 2000 සහශ්‍රය උදාවන තෙක් තම ප්‍රතිභාන්විත, නිර්මාණාත්මක අණ සක පතුරාලූයේ නිෂ්පාදක භූමිකාවෙහි මෙන්ම නිවේදක, පූරක හෝ සම්ප්‍රවේශක නමින් වූ භූමිකා තුළය.

9.05, ආනන්ද රාත්‍රී, මින්දද හී සර ආදී වූ නිෂ්පාදන හේම නලීන් ජාතික රූපවාහිනියට මෙන්ම ප්‍රබුද්ධ ප්‍රේක්ෂාගාරයට ද දායාද කළ මාහැඟි තිළිණ වේ. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ග්‍රාහකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමෙහි ලා ඔහුගේ ආමන්ත්‍රණය සුහද වීය. ළෙන්ගතු වීය. නිර්මාණශීලී වීය. ආකර්ෂණීය වීය. ඔහුගේ හඬෙහි, රූපකායෙහි, අභිනයෙහි රැඳී තිබුණේ හේම නලීන් ලකුණයි. ඔහු ප්‍රේක්ෂකයන් ඇමැතීමෙහි ලා තෝරාගත් බසෙහි වූ ලාලිත්‍යය, කාව්‍යාත්මකබව, සරල , අර්ථවත් හා නිරවුල් බව ඉදිරිපත් කළ නිෂ්පාදන තුළ වූ නැවුම් බව ඉතාම කෙටි කලකින් රූපවාහිනී මාධ්‍යය තුළ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි විශිෂ්ටයෙකුගෙන් පසු තවත් විශිෂ්ටයෙකුගේ ආගමනය සටහන් කළ සන්ධිස්ථානයක් වීය. තරගකාරී ඇතැම් නාලිකා පූරකවරුන් හා පූරකවරියන්ගේ සිංහල බසට නිගා දුන් දෙමුහුන් බසකින් ගිරා පෝතක පෝතිකා භූමිකාවන්ට පණ දෙමින් සිටි අවධියක සම්ප්‍රවේශක භූමිකාවෙහි අගය, වැදගත්කම පිළිබඳ මනා වැටහීමකින්, සදචාරාත්මක හා ආචාර ධර්ම පිළිපදිමින් තම මෙහෙවරෙහි නියැළුණු අයුරු ප්‍රේක්ෂක මතකයෙන් ඈත් නොවේ.

සහශ්‍රය උදාවත් සමඟ ස්වර්ණවාහිණියේ නිර්මාණ අධ්‍යක්ෂ ධුරය හොබවමින් ජාතික රූපවාහිනියේ දී නැවතුණු තැන සිට යළි ගමන් ඇරැඹූයේ තවත් නව නිෂ්පාදන රැසක් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරමිනි. රාත්‍රි 8.00 ප්‍රවෘත්ති විකාශය, ලයිව් ඇට් එයිට් Live @ Eight සංකල්පයකට හරවා ගත් හේම නලීන් හපන් පැදුර, මං පොඩිකාලේ, සුන්දර සෙනසුරාදා ආදී වූ නිර්මාණාත්මක වැඩ සටහන් හඳුන්වා දෙමින් වඩ වඩාත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේය. ආරාධිතයකු සමඟ කෙරෙන පිළිසඳරක දී ඔහු විසින් තෝරා ගන්නා පුද්ගල චරිතයේ හැඩරුව, අතීතකාමී මතක, සම්පත්දායක මුවින් එළියට ගනු ලැබීමට ඉමහත් දක්ෂකමක් දැක්වීය. කවියේ හා ගේය පද රචනයෙහි විශිෂ්ටයා වූ මහගම සේකර පිළිබඳ අනුස්මරණ වැඩ සටහනක් සඳහා ඔහු විසින් මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා ම හට ඇරැයුම් කරන ලද්දේ එක්තරා සුන්දර සෙනසුරාදාවකටය. මහැදුරු කාරියවසම් විසින් තම මිත්‍රයට තෑගි පිණිස එංගලන්තයෙන් ගෙන ආ කමීසයේ කතා පුවත හාරා අවුස්සා ගන්නට හේම නලීන් සමත් වීය.

මනෝ, සුනිල් හා මවිසින් 1971 දී පළ කරන ලද අපගේ දොලොස් මහේ පහන කාව්‍ය සංග්‍රහයේ පිට කවරය අන්දවා ගැනීමට මනෝත් මමත් ගම්පහ ශ්‍රී බෝධි පාරේ මහගම සේකර නිවස්නට ගොස් ඔහු හමු වූ පුවතෙහි රසවත්ම මතක අපගෙන් උදුරා ගන්නට හේම නලීන් සමත් වූයේ පෙර දා මා හා කළ කතා බහේ දී එකී ගමන පිළිබඳ මගේ දිනපොතෙහි සටහනක් ලියැවී ඇතැයි මගෙන් දැනගත් පසුවයි. 1971 අගෝස්තු මාසයේ දවසක මනෝ හා මා සේකර හමුවූ සිදුවීම මගේ දිනපොතෙහි ලියැවී තිබිණ. දින පොත ද රැගෙන පිළිසඳරට එක් වූ පසු, පොත් කවරය ඇඳ දීම සේකරයන් භාරගත් ප්‍රීතිය වෙනුවෙන්, කොටුවට පමිණ මනෝත් මමත් බීර බිව් පුවත තෙක් දින සටහන් කියවීමෙන් හේම නලීන් ප්‍රේක්ෂකයන් මෙන්ම අප ද අතීතයට ගෙන ගිය අයුරු අද මෙන් මතකය.

ස්වර්‍ණවාහිනියට ආයුබෝවන් කී පසු ඔහු තම ප්‍රකාශන මාධ්‍ය අත් නොහැර තමන්ගේම රූපවාහිනී නාලිකාවක් මගින් ඔහු විසින් හදා වඩා ගත්, ඔහුට ආදරය කළ ප්‍රේක්ෂාගාරය අත් නොහැර අතරමං නොකළ අයුරු හේම නලීන් චරිතාපදානයෙහි සටහන් වී තිබේ. 2008 සැප්තැම්බරයේ සිට ශ්‍රී ටී.වී. චන්ද්‍රිකා රූපවාහිනිය ඔස්සේ එතෙර ප්‍රේක්ෂකයන් වෙත ද, 2009 මැයි මාසයේ සිට HTV හෙවත් හෙරිටේජ් ටෙලිවිෂන් නමින් ඩයලොග් ටී.වී. ඔස්සේ දිනකට පැය 24 ක් පුරාම අරුත්බර වැඩසටහන් ගෙනෙන රූපවාහිනී නාලිකාවක් ද ඇරැඹූයේ ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය, දනුම ඔසවා තැබීමේ අරමුණ මුල් කොට ගෙනය. අපගේ දේශය සතු ශ්‍රී විභූතිය, සොබා සුන්දරත්වය, ජනතාව, සංස්කෘතිය, ලෝකය, වනසත්ව සම්පත, පරිසරය පිළිබඳ කවුළු විවර කොට මෙතෙර හා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට සමීප කිරීමට හේම නලීන්ගේ HTV නාලිකාව සමත්වීය. සුලබ පුවත්වලින් තොර වූ අන්තර්ගතයේ හා ඉදිරිපත්කිරීමේ අපූර්වත්වයෙන් ඔහු විසින් රසවින්දනාත්මක, හරිත විත්ති, සදා සොඳුරු, වැව් බැඳි, රඟබිම, සොබාදම් සබාව,වෙරළ, ගජ දින පොත වැනි අපූරු නිෂ්පාදන නාම HTV සඳහා හේම නලීන් හඳුන්වා දුන් නැවුම් වැඩසටහන් අතර වීය.

හේම නලීන් තුන්කල් දුටු මාධ්‍ය නායකයකු ලෙස HTV තුළින් නැවුම් නිෂ්පාදන ප්‍රේක්ෂාගාරයට පුදන'තරෙහි 2014 සිට, HTV Academy අරඹමින් රූපවාහිනී මාධ්‍ය පිළිබඳ පුළුල් හා නිවැරදි න්‍යායික හා ප්‍රායෝගික දනුමකින් යුත් නව තරුණ පරපුරක් බිහිකිරීමට ගත් උත්සාහය පැසසුම් කටයුතුය. වසර ගණනාවක් පුරා රූපවාහිනී මාධ්‍ය ආයතන ද්වයක ලද ප්‍රායෝගික දැනුම ප්‍රේක්ෂක රුචිය පිළිබඳ ඔහු සතු වූ අවබෝධය ප්‍රධාන කොට ගත් පාඨමාලා මගින් පුහුණු කොට රූපවාහිනී මාධ්‍යයට ඔහු විසින් දායාද කොට ඇති තරුණ පිරිස අන් කිසිදු රූපවාහිනී මාධ්‍ය ආයතනයකින් හෝ බිහි නොවූ නිර්මාණශීලී තරුණ පිරිස බව අපි දනිමු.

2009 ජූනි දෙවන දා ලංකාදීප සහෘද සටහනෙහි මවිසින් ලියන ලද තීරුව මගින් හේම නලීන්ගේ එච්ටීවී නාලිකාව හා ඉන් ප්‍රෙක්ෂක ප්‍රජාවට ලැබෙන රසය, අධ්‍යාපනය දැනුම පිළිබඳ පාඨකයා දැනුම්වත් කරන ලද්දේ හේම නලීන්ගේ මෙහෙවර සැබැවින්ම අර්ථවත් ව්‍යායාමයක් සේ අපට දනුණු බැවිනි.

2017 සැප්තැම්බරයේ මගේ කෘති ත්‍රිත්වයක් ජනගත වූ උළෙලට සහභාගී වූ හේම නලීන් පසු දිනෙක දුරකතනයෙන් මහට පැවසූයේ ජනගත වූ පොත් අතරින්, මැදියමක කළුවර කෙටිකතා පොතත්, කවිමිහිරත් මිලට ගත් බවයි. මා ඔහුට පැවසූයේ එදවස සොඳුරුමය 4 ඔහු අත තිබිය යුතු බැවින් එහි පිටපතක්, හිත ළඟ හතට රූපවාහිනියට පැමිණි කලෙක ගැනීම සඳහා සභාපතිතුමාගේ ලේකම්වරිය නීලකාන්ති විජේකෝන්ට දුන් බව මම ඔහුට කීවෙමි. මාස කීපයක් ගතවීත්, එය ඔහු විසින් රැගෙන ගොස් නැති බව මම දැනගතිමි. මට හේම නලීන් අවසන් වරට මුණ ගැසුණේ මැයි මස 24 දා අප දෙදෙනාගේම මිතුරකු හා මිතුරියකගේ දියණියගේ ( අනුර සොලමන්ස් හා නිශානි දිසානායක ) විවාහ මංගල උත්සවයේදීය. “පොත තාමත් නීලකාන්ති ළඟ, රූපවාහිනී ගිය වෙලාවක ගන්න...“ මම ඔහුට කීවෙමි. “ඔව්, හෙට අනිද්දා දවසක ගන්නම්“ ඒ මා ඇසූ ඔහුගේ අවසාන වචනයි. ඔහු මිය ගිය දා මා නීලකාන්තිගෙන් දැනගත්තේ එදවස සොඳුරුමය තවමත් ඈ ළඟ බවයි. හේම නලීන් මිතුරා වෙනුවෙන් ලියවුණු සටහන සමඟ ඒ පොත නීලකාන්තිට පරිත්‍යාග කළේ එය නැවත මා ළඟ තබා ගැනීම මසිතට දුකක් ගෙනෙන බව දන්නා නිසාය.

පන්හිඳක මෙහෙවරට සමුදුන් සෝමවීර සේනානායක සහෘදයා අප ද ශිල්ප ලද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේම (ශ්‍රී ජයවර්ධනපුර ) කීර්තිමත් ආදි විද්‍යාර්ථියකු වීම පිළිබඳ ආඩම්බරයක් සිතේ. ඔහු ගේ අවසන් වසරේ දී (1966 ) මා පළමු වසරේ සිසුවකු ලෙස දැන හඳුනා ගෙන සිටීමත් 1976 ශාස්ත්‍රපති පාඨමාලාවෙහි ඔහු සමඟ සමකාලීන සගයකු වීමත් හැරුණු කල, ඔහු ලේක් හවුසියේ නවයුගය සංස්කාරක මණඩලයේ සේවය කළ කාලය පුරා දැන හඳුනාගෙන සිටීමත් අපගේ අතීත මතක වේ. අප එදවස ලියූ කවි පොතකට විචාරයක් ලියමින් ඔහු අප දිරි ගැන් වූ අයුරු සිහිපත් කළ හැකිය. 1972 දී මා රචනා කළ කැටපත් පවුරට සරසවිය පුවත්පතට විචාරයක් ලියමින් ඔහු එදා මගේ කවිය දැක තිබූ අයුරු සිහි කළ හැකිය. “ගලප්පත්තිගේ කවි සමාජ විඥානය පළ කරයි. ඒ කවි තුළ පවත්නා සමාජයේ ජීවන සුවඳ කැවී ඇත. ඔද්දල් වූ තුවාලයක් වන් සමාජය දෙස තරුණයකු ස්වකීය ඇසින් බලනු, කණින් අසනු දැකිය හැකිය...“ සෝමවීර එදා අප වන් ආධුනික කවියකුගේ කවි දෙස නිර්ලෝභීව තම අදහස් දැක්වූ අයුරුයි. නවයුගය සංස්කාරකවරයකුව සිටියදීත්, සිළුමිණ, සරසවිය, දිනමිණ ආදී සහෝදර පුවත්පත් සඳහා විශේෂාංග, විචාර, ලියමින් ඔහුගේ පන්හිඳ නිර්මාණශීලී ලේඛනයෙහි ඔහු සතු වූ ප්‍රබල අවිය බව සනාථ කොට සිටියේය.

සාහිත්‍යකරුවකු ලෙස නවකතාකරණයෙහි සුවිශේෂී හපන්කම් පෑ සෝමවීර විසින් රචිත නවකතා බහුතරයක් මෙරට පාඨක ප්‍රසාදය හා විචාරක අවධානය දිනා ගත් කෘති ලෙස සටහන්ව ඇත. නවකතා දහහතක් රචනා කොට ඇති සෝමවීරගේ විශිෂ්ට නවකතා අතර, යශෝරාවය, මවකගේ ගීතය, අඹු සැමියෝ, මැණික් නදිය ගලා බසී, බලදේවගේ ලෝකය, මතු දවස වැනි කෘති ප්‍රධාන වේ. 1972 දී මවකගේ ගීතය සඳහා ද, 1983 දී මැණික් නදිය ගලා බසී සඳහා ද හෙතෙම රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන්නේ වර්ෂයේ හොඳම නවකතාකරුවා ලෙස පිළි ගැනීමෙනි. තම නවකතා රචනා ශෛලිය සඳහා සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමියන්ගේ මෙන්ම රුසියාවේ නිකොලායි ගොගල් ගේ මළ මිනිස්සු, ප්‍රංශයේ ගී ද මෝප සාං ගේ කෙටිකතා කියවීමෙන් ලද ආශ්වාදය බලපෑ බව පවසයි. 1976 වර්ෂයේ දී මහාචාර්ය ඒ.වී. සුරවීරගේ සංකල්පයක් මත හඳුන්වා දුන් සාහිත්‍ය නිර්මාණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සඳහා සෝමවීර විසින් රචනා කරන ලද යශෝරාවය නවකතාව උපාධි නිබන්ධයක් ලෙස පිළිගැනුණේ මෙරට සරසවියක නවකතාවක් ශ්‍රාස්තපති නිබන්ධයක් ලෙස පිළි ගනු ලැබූ පළමු අවස්ථාව ලෙසය. සෝමවීරගේ නවකතා කලාවෙහි දිගුව වන්නේ ඔහු විසින් රූපවාහිනී ටෙලි නාට්‍ය සඳහා රචනා කළ තිර රචනාය.

ටෙලි නාට්‍ය මතු නොව චිත්‍රපට තිර රචනයෙහි ද තම ප්‍රතිභාව පළ කරන සෝමවීර මහා සිනමාකරු අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිගේ චිත්‍රපට සඳහා ද තිර රචකයා වූයේය. ලෙස්ටර්ගේ අම්මාවරුනේ හා වෑ කන්ද වලව්ව තිර රචනා කළ සෝමවීර විසින් ලියූ තිර රචනා මත නිර්මාණය වූ ජනප්‍රිය චිත්‍රපට රැසක්ම මතකයට නැගේ. සත්වෙනි දවස, ආරාධනා, සූරිය කාන්ත, මැණික් මාළිගා, ජීවිතයෙන් ජීවිතයක්, සෙනෙහසක කඳුළු, පෙති ගෝමර, තනිතරුව , මිහිදුම් සිහින වැනි චිත්‍රපට ඒ අතර වේ. තිර රචනා කලාවෙහි සෝමවීරගේ විශිෂ්ට නිර්මාණ අපට හමුවන්නේ ඔහු විසින් ටෙලි නාට්‍ය සඳහා ලියූ තිරනාටක අතරය.

කලාත්මක ටෙලි නාට්‍ය පොදු ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීම සඳහා ඔහු විසින් රචිත ටෙලි තිර රචනා විසාල මෙහෙවරක් කළ බව අප විසින් අමතක කළ යුතු නොවේ. සෝමවීර ධම්ම ජාගොඩ සුසංයෝගයෙන් බිහි වූ පළිඟු මැණිකේ වැනි විශිෂ්ට ටෙලි නාටකයක් ද, සෝමවීර පරාක්‍රම නිරිඇල්ල සුසංයෝගයෙන් බිහි වූ යශෝරාවය වැනි ටෙලි නාටකයක් ද මෙරට ටෙලි නාට්‍ය වංශ කතාවෙහි, අමරණීය නිර්මාණ ලෙස ප්‍රේක්ෂක විචාරක සම්භාවනාවට පාත්‍ර වී ඇත. කන්දෙ ගෙදර, මැණික් නදිය ගලා බසී, අසල්වැසියෝ, දූ දරුවෝ, නෑදෑයෝ හා තවත් බොහෝ කලාත්මක හා ජනප්‍රිය ටෙලි නාට්‍ය තිර රචනයෙහි සෝමවීරගේ පන්හිඳ සතු වූ කලාත්මක හා නිර්මාණශීලී ගුණයට ළං විය හැකි පන්හිඳක් සතු වූවකු වේ නම් ඒ එක් අතක ඇඟිලි පහකටත් වඩා අඩු සංඛ්‍යාවකැයි සිතමි.

අද දවසෙහි පරිහාණි මුඛයට ඇද වැටෙමින් පවතින ටෙලි නාට්‍ය කලාවෙහි මෙගා වර්ගයේ ටෙලි බලියකට කොටස් සියයක් එකසිය පණහක් පමණ ඇතුළත් වූවත්, පළිඟු මැණිකේ වැනි කොටස් දහ අටකින් රචනා වූ තිරනාටයකින් නිමැවුණු නිර්මාණයක් දශක ගණනාවක් තුළ ප්‍රේක්ෂක මනැසෙහි රැඳී පවතින්නේ එකී නාට්‍ය රචනයෙන් විශද වන සමාජ විඥානය, අපූර්ව චරිත නිරූපණ හා ජීවිතානුභූතියෙහි හෘද සංවේදී බව මුල් කොට ගෙනය.

සෝමවීර සේනානායකගේ ටෙලි නාටක තිර රචනයෙහි විශිෂ්ට ගුණය වන්නේ ඔහුගේ රචනා තුළින් මිනිස් ජීවිතයේ ගැඹුරු, සංකීර්ණ චරිත ස්වභාව විනිවිද දකින්නට උත්සාහ ගැනීමයි. ඔහු විසින් ඒ සඳා භාවිත ව්‍යවහාර භාෂාව ඇතැම් අවස්ථාවක උපහාසයෙන් ද හාස්‍යයෙන් ද පිරුණකි. අප දන්නා හඳුනන නාගරික මධ්‍යම පාංතික, පවුල් ජීවිත වටා හෝ මුදල් පසුපස හඹා යන ගැමි චරිත වටා හෝ රචනා වූ කතා සංකල්ප මගින් සෝමවීර ජීවිතය දෙස දයාර්ද බැල්මක් හෙළයි. පුවත්පත් කලාවේදී සෝමවීර, නවකතාකරු, චිත්‍රපට හා ටෙලිනාට්‍ය තිර නාටක රචක , විචාරක, , කෙටිකතා රචක සෝමවීර සේනානායකගේ දශක පහක් ඉක්ම වූ නිර්මාණ කාර්යයෙහි සක්‍රීය වූ පන්හිඳ , නිසලව, නිහඬව, ඔහුගේ ලියන මේසය මත බලා සිටිනු අපි දකිමු. දූ දරුවෝ, නෑදෑයෝ, එන තෙක් ද නොවේ නම් මවකගේ ගීතයක් ලියන්නට ද ඒ පන්හිඳ නිසලව බලා සිටින්නේ?

බුද්ධදාස ගලප්පත්ති
bgalappatty@yahoo.com

කුඩගමින් ඇසුණු කතා

$
0
0
ජුනි 19, 2018 01:00

‘ලොරෙන්සු නෝනිස් සේනානායක.’ ඔහු ජීවත්වූයේ අවිස්සාවේල්ලේ කුඩගම ය. ඔහු සටහන් තබා තිබූ පරම්පරා විස්තරයට අනුව ඔහුගේ අත්තා වන ‘නෝනිස් සේනානායක’ බෝතලේ සේනානායක පරපුරේ උපත ලැබූවෙකි. එහෙත් පරම්පරාවට නොගැළපෙන තක්කඩිකම් කළ හෙයින් නෝනිස් සේනානායක බෝතලේ වලව්වෙන් පලවා හැර ඇත. ඉන්පසු ඔහු අවිස්සාවේල්ලේ කුඩගමට පැමිණ ජීවිතය සරි කරගෙන තිබේ. නෝනිස් සේනානායකගේ පරපුරේ හැම දෙනාට ම ‘නෝනිස්’ නම උරුම වී ඇත්තේ මෙකියන ආදිතමයා අනුව ය. ලොරෙන්සු නෝනිස් සේනානායක. ඔහුගේ පුත් ගමේ වෙද මහතා මාටින් නෝනිස් සේනානායක.

කුඩගමට ඉස්කෝලයක් තිබී නැත. ඉතින් ලොරෙන්සු සිය පරම්පරාවේ ඉඩමක් ඉස්කෝලයක් හදන්නට පරිත්‍යාග කළේ ය. කන්දක පිහිටි පාසලට යන්නට පාරක් නොවූ බැවින් ලොරෙන්සු සිය වියදමින් ලොකු පඩිපෙළක් සැදුවේ ය. පඩිපෙළ විවෘත කරන්නට එවකට අගමැති තමන්ට නෑදෑකමක් ඇති ඩී. එස්. සේනානායක මහතා ගෙන්වා ගන්නට ඔහුට අවශ්‍ය විය. ඉතින් ලොරෙන්සු අගමැති ඩී. එස්. ට ලිපියක් ලීවේ ය. “මහ සේනානායක උන්නාන්සේ වෙතටයි” යනුවෙන් ඇරඹුනු නෑදෑකම් සඳහන් ලිපියට ඩී. එස්. සේනානායක පිළිතුරු එවා තිබිණි. එහි මෙසේ සඳහන් වී ලු.

“ නුඹලා මගේ ඥාතීන් නම් තව තවත් රටට වැඩ කරපල්ලා. විවෘත කිරීමට එන්ට මට අවකාශ නැතුවා ය. මං නුඹලාගේ ඩී. ආර්. ඕ. උන්නානාසේට එන්ට නියම කරනවා ය.”

අගමැතිතුමාගෙන් ලියුමක් ලැබීමෙන් අමන්දානන්දයට පත් ලොරෙන්සු ලියුම පෙන්වමින් ගමේ ගෙයක් පාසා ඇවිද්දේ ය. දිවා ආහාරයට නොපැමිණි ඔහු සෙවීම පිණිස මිනිසුන් යවන්නට ඔහුගේ ලේලියට සිදුවිය.

ලොරෙන්සු නෝනිස් සේනානායක යනු පසුගියදා ජීවිතය හැරගිය ප්‍රවීණ ලේඛක ‘සෝමවීර සේනානායකයන්ගේ අත්තා ය. ලොරෙන්සුගේ පුත් බැලවානේ වෙද මහතා නමින් ප්‍රකට මාටින් නෝනිස් සේනානායකගේ දෙටු පුතණුවන් වූයේ සෝමවීර සේනානායක ය.

සෝමවීර සේනානායකයන්ගේ අභාවය නිමිත්තෙන් මේ දිනවල ඔහු අරභයා බොහෝ ලිපි ලියැවේ. ඔහු ලියූ නවකතා ගැන, ටෙලි තිරනාටක ගැන බොහෝ දේ ලියැවේ. එබැවින් වැඩි වශයෙන් කතා බහට ලක් නොවන කාරණා පදනම් කරගෙන සේනානායකයන් පිළිබඳ ලියන්නට කල්පනා කළෙමි. (ඉහතින් සඳහන් කතාව සෝමවීර සේනානායක මහතා ඔහුගේ ‘අපි තවමත් සංසාරේ’ ස්වයං චරිතාපදානයේ ලියා තිබිණි.)

මීට වසර කීපයකට පෙර සෝමවීර සේනානායක මහතා මට දුරකථනයෙන් කතා කළේ ය.

“සිළුමිණ කියවනව ද? මා ගැන ලිපි මාලාවක් සිළුමිණේ පළවෙනවා.” ඔහු කීවේ ය. මම සිළුමිණ කියවූවෙමි. සෝමවීර මහතාගේ ළමා කාලය පිළිබඳ පුවත්පතේ පළව තිබූ එක් කතාවක් වෙසෙසින් මගේ සිත් ගත්තේ ය.

එකල ළමා සෝමවීරගේ තාත්තා සහ බාප්පා විසින් පවත්වා ගෙන යනු ලැබූ කඩයක් තිබිණි. අසල්වැසි පන්සලේ පොඩි හාමුදුරුනමක් නිවස පිටුපස හරක් මඩුවේ සැඟව සිටිමින් සෝමවීර ළමයාට කතා කරයි. ගොම ගොඩේ දණ ඔබා හාමුදුරුවන්ට වඳින සෝමවීරට පොඩි හාමුදුරුවෝ මෙසේ පවසති.

“පොඩි වෙද මහත්තයෝ කාටත් නොපෙනෙන්න මට පීකොක් හරි සීලෝඩ් හරි සිගරැට් එකක් ගෙනත් දෙන්ට.”

හිමියන් දෙන ශත දෙක හෝ තුන ලාච්චුවට දමන සෝමවීර සිගරැට්ටුවක් ගෙන ගොස් හාමුදුරුවන්ට පිළිගන්වා නැවත දණ බිම ඔබා වඳියි. (හාමුදුරුවන්ට කුමක් පිළිගැන්වූවත් වැඳ නමස්කාර කළ යුතු යයි ළමයා අදහයි.) හිමියෝ නැවත ගින්දර ඉල්ලා සිටිති. හොරෙන් කුස්සියෙන් ගන්නා ගිනිපෙනෙල්ල හාමුදුරුවන්ට පිළිගැන්වූ පසු නැවත වඳින්නට ද සෝමවීර ළමයා අමතක නොකරයි. මේ සෙල්ලම මෙසේ සිදුවන විට දවසක් ලාච්චුවෙන් සිගරැට් ගැනීම බාප්පාගේ අතට ම අසුවී ගුටිකන්නට සෝමවීරට සිදුවේ. ඒ සිගරැට් කාටදැයි ඔහු හෙළි නොකරන හෙයිනි. එදවස පොඩි හාමුදුරුවන් පසුව උපැවිදි වී රට පිළිගත් පඬිවරයෙකු වූ බව ද සිළුමිණේ සඳහන් විය.

මම දුරකථනයෙන් සෝමවීර සේනානායකයන් ඇමතීමි. ලිපිය ගැන කතාකරන අතර මෙසේ විමසීමි. “අර පොඩි හාමුදුරුවෝ මහාචාර්ය ..... නේ ද?”

“ඔයා කොහොමද දන්නෙ?” රිසීවරයෙන් විමතියෙන් මෙන් කතාකරන සෝමවීර මහතාගේ හඬ ඇසෙයි.

“ එයා ඇපලපිටියෙ පන්සලේ මහණවෙලා හිටපු බව මම දන්නවා. රට පිළිගත් පඬිවරයෙක් වුණා කියන කොට එයා තමයි කියල මට හිතුණා.”

“දන්නව වුණාට කමක් නෑ. මහානාම කාටවත් කියන්න එපා. එයා පන්සලේ හිටිය කියන්න කැමති නෑ. සභාවකදි මුණගැහුණත් කාටවත් නෑහෙන්න තමයි ‘වෙද මහත්තයට දැන් කොහොමද?’ කියල මගෙන් අහන්නෙ.” සෝමවීර මහත්තයා කීවේ ය. ඒ සෝමවීර සේනානායකයන්ගේ හැටි ය. කෙනෙක් ඔහුගේ පෞද්ගලික තොරතුරක් සඟවා ගෙන සිටින විට ඒ තොරතුරු හෙළි කොට ඔහු අපහසුතාවට පත්කරන්නට සෝමවීර මහත්තයා කැමති නැත. ඔහු උදාර මහත්මයෙකු සේ ඒ රහස රකියි.

සෝමවීර සේනානායක මහතා වර්ෂ 2000 ගෙවෙන කාලයේ පෞද්ගලිකව ම දැන හඳුනා ගත්තත් ලේඛකයෙකු හැටියට මා ඔහු දැනගත්තේ අප පාසල් දරුවන් වූ හැත්තෑව දශකයේ මුල් භාගයේ දී ය. එදවස මාසයේ 12 වනදාටත්, 26 වනදාටත් නිකුත්වන නවයුගය මිලදී ගන්නටත් එකතු කරන්නටත් පුරුදුව සිටියෙමි. සේනානායක මහතා නවයුගයේ ‘නවමගක කතාවක්’ යටතේ කෙටිකතා ලීවේ ය. ලිපි ලීවේ ය. ඔහු ලියූ ‘රන්බණ්ඩ පුතේ’ කාලයක් මතකයේ රැඳුණු කෙටිකතාවකි. (සුද්දා පරාදයි කෙටිකතා සංග්‍රහයට ඇතුළු වන විට මෙම කෙටිකතාවේ නම ‘ඉක්මන් ගමන්’ යනුවෙන් වෙනස්ව තිබිණි.) සෝමවීරයන්ගේ නවකතා කියවන්නට ලැබුණේ ද මේ යුගයේ ය. ඔහුගේ නිර්මාණ බෙහෙවින් අපට සමීප විය.

සෝමවීර සේනානායක ලේක්හවුස් ආයතනයේ සේවය කරන යුගයේ අපූරු අත්දැකීමක් ‘අපි තවමත් සංසාරේ’ කෘතියේ ලියා දක්වයි. එක් දවසක් පුවත්පතේ පළ විය යුතු සතියේ ලග්න පලාපල ලිපිය නැති වී තිබේ. වහාම ලිපියේ පිටපතක් එවන්නැයි පලාපල ලියන්නාට දන්වා තිබේ. පුවත්පත මුද්‍රණයට යවන අවස්ථාව වන විට ද ලිපිය ලැබී නොතිබිණි. ඒ අද මෙන් ඕෆ්සෙට් තාක්ෂණයෙන් මුද්‍රණය කරන යුගය නො වේ. ලෙටර්ප්‍රෙස් යුගයයි. බැරිම තැන සෝමවීර මහත්තයා මාස හයක් පමණ පැරණි පුවත්පතක පලාපල තීරයක් ඉරා මැෂින් ඔපරේටර් කෙනකුට දුන්නේ ය. අකුරු ඇමිණී පරණ පලාපල විස්තරය මුද්‍රණයට ගියේ ය. පුවත්පත නිමවෙමින් පවතින විට ජ්‍යොතීර්වේදීයා ලිපිය එව්වේ ය. අස්ථානගතව තිබුණු ලිපිය ද පසුව හමුවිය. සෝමවීර මහතා මෙසේ කියයි. “එකම සතිය සඳහා ජ්‍යොති ශාස්ත්‍රඥයා ලියා තිබූ පලාපල විස්තර දෙක අහසට පොළව මෙන් වෙනස් ව තිබිණි. පත්තරවල ඇතැම් ජ්‍යොතිෂ ලිපි කෙරුවාව එසේ ය.” (අපි තවමත් සංසාරේ පිට 89)

සෝමවීර සේනානායක මහතා අරභයා තවත් මෙවැනි කතා පුවත් ඇති තරම් සඳහන් කළ හැක. එවැනි කතා මෙවන් කුඩා ලිපියකට නොව සෑහෙන තරමේ පොතකට වුවත් සෑහෙයි. සෝමවීර සේනානායක යනු අපේ කාලයේ පෙරමග පෙන්වූ නවකතාකරුවෙකි. අපෙන් පසු පරපුරට මාලා නාටක පිටපත් රචකයෙකි. කොයි ආකාරයෙන් සඳහන් කළත් විශිෂ්ටයෙකි. ඒ සියල්ලටමත් වඩා ඔහු කනිටු පරපුර දෙස දයාවේ ඇසින් බැලූ යහපත් මිනිසෙකි.

මහානාම දුනුමාල
mahanamadunumala@gmail.com


රසට කාපු මී කිරි

$
0
0
ජුනි 19, 2018 01:00

 ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර. සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.

“1950 අග වන විට එක්සත් ජාතික පක්ෂයේ බලය පිරිහෙමින් පැවතුණා. වමේ බලවේගයන් ශක්තිමත් වෙමින් තිබූ නිසා වැඩ කරන ජනතාවගේ සහයෝගය ඕනෑම අලුත් දේශපාලන හැඩගැස්මක් වෙත ලබා ගැනීමට නම් වමටත් එහි බලපෑමටත් එරෙහිව ක්‍රියා කළ යුතු බව බණ්ඩාරනායක මහතාට අවබෝධයක් තියෙන්න ඇති. 1951 ජූලි මාසයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවා. මෙතැන දී තමයි, රටේ දේශපාලන දේහය තුළ ජාතිකවාදී බලවේගයක් නිර්මාණය කරන ලද්දේ.”

1950 ගණන්වල පැවැති තත්ත්වය නිරීක්ෂණය කරන බෝපගේ පවසන්නේ ප්‍රභූ පැළැන්තියේ ප්‍රපංචයක් වූ ශ්‍රී ලංකාවේ ජාතිකවාදය මල් ඵල ගැන්වීමට තරම් සාරවත් පසුබිමක් ඒ කාලයේ බහුජනයා අතර නො තිබුණු බවයි. ශ්‍රී ලංකාවට නාම මාත්‍රික නිදහසක් ලබා දී තිබුණ ද ආර්ථික සහ පංති විෂමතාවයන් එලෙසින් ම පැවතුණි. බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වා දෙන ලද එකම නව්‍ය අංගය වූයේ ජනතාවාදී ජාතිකවාදය බව බෝපගේ ගේ අදහසයි.

‘50 දශකයේ අග භාගයේ සිදු වූ මෙකී සිදුවීම් පිළිබඳ ව ලයනල් බෝපගේ අදත් සිහි කරන්නේ කනස්සල්ලෙන් යුතුවය.

“ ඒ මොහොතේ ලංකා සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය යන දෙකම භාෂා සමානත්වය උදෙසා සහාය දුන්නා. ඒත් ඊට පරස්පර විරෝධී ලෙස, ඔවුන් මෙම සමානත්වය විනාශ කිරීමට සැ දී පැහැ දී සිටි බලවේග සමඟම නිතරග ගිවිසුමක් ඇති කර ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගන්නා ලද සිංහල ජනතාවගේ නොරිස්සීම ද ඒ අය අධික ලෙස අවතක්සේරු කළා.

“ඇත්තටම මේ ප්‍රශ්න කිසිදාක ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහ ලංකා සම සමාජ පක්ෂයේ ඒ වනවිට හිටපු දහස් ගණන් සාමාජිකයින්ගේ දේශපාලන සාකච්ඡාවල කොටසක් බවට පත් වූයේ නෑ. කළ කෝලාහල, දාමරික මිනීමැරුම්, දෙමළ ජනයා සතු දේවල් පැහැර ගැනීම් යනාදිය අපි නිතර ගැවසුනු වාම කවවල කතාබහට ලක් වුණේ කලාතුරකින්. දෙමළ ජනයා මුහුණ දෙන ලද ප්‍රශ්න ගැන සම්ප්‍රදායික වම දැනුවත්ව නොසිටීම මට අදටත් විශ්වාස කරන්න අමාරුයි. අපේ පාසැල්වල භාෂාව, ආගම සහ ඉතිහාස පංතිවල දී වක්‍රව උගන්වන ලද අපකීර්තිමත් වර්ගවාදය විසින් මගේත් අපේ සහෝදරයින්ගේත් දේශපාලන ආකල්ප බොඳ කර දැමුවා කියලා මට හිතෙනවා.”

බෝපගේට අනුව 20 වැනි සියවසේ අගභාගයේ දී සහ 21 වැනි සිය වසේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ යළි රඟ දැක්වුණු ඛේදවාචකයේ පෙරහුරුවක් බඳු වූයේ 50 දශකයයි.

“දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැරණි වමට තිබුණේ තේරුම් ගැනීමට දුෂ්කර ආකල්පයක්. එක් අතකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය භාෂා පනතට ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් පෙන්නුම් කළ වම, අනෙක් අතට ඒ පනත ඉදිරිපත් කළ පක්ෂය සමගම පාර්ලිමේන්තු ආසන සම්බන්ධයෙන් නිතරඟ ගිවිසුමකට ඇතුළත් වුණා. නාගරික සහ ග්‍රාමීය නිර්ධන පංතිය එක්සත්ත්ව පුළුල්ව ඔවුන්ගේ පැත්තේ සිටිය දී පවා ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය පෙන්නුවේ බයාදුකමක්. රටේ පංතිමය සහ ආර්ථික සීමා මායිම් වෙනස් කරන්න වමට තිබූ අවස්ථාව ඒ අය අත්හැරියා. ඊට අමතරව වමේ ඇතැම් කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආධිපත්‍යය උසුලන සභාගයක කොටස්කරුවන් වුණා.”

එලෙසම ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධානතම අසමත්කම වනුයේ ද තමන් වෙත දෙමළ ජනතාව විශාල ලෙස ආකර්ෂණය කර ගැනීමට තිබූ නොහැකියාව බව බෝපගේ ගේ අදහසයි. ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දෙමළ ශිෂ්‍යයකු ආකර්ෂණය කර නොගැනීමට ප්‍රධාන හේතුව ලෙස ඔහු සිතනුයේ එවකට උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව තුළ ශීඝ්‍රයෙන් වැඩෙමින් තිබූ ජාතිකවාදයයි. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි එකගතාවක් දැක්වූ බොහෝ මා ඕ වාදී දෙමළ ශිෂ්‍යයින් ඔහු දැන සිටියේය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ බැඳීමට හෝ ඒ සමඟ සම්බන්ධ වීමට ඒ දෙමළ ශිෂ්‍යයන්ට අවශ්‍ය නොවීය.

එහි කිසිදු අසාමාන්‍යතාවක් ඒ කාලයේ දී බෝපගේ ට නොපෙනුණි. ප්‍රජාවන් දෙකටම තම තමන්ගේ ජාතික සහ පංති ළැදිකම්වලට අනුව නියෝජනය කිරීමට වෙනස් පක්ෂ එකළ තිබුණි. බෝපගේ ට මෙය විස්තර කළ හැකි එකම මග 60 දශකයේ දෙමළ සහෝදරයින් සමඟ තිබූ තමාගේ සම්බන්ධකම් නිසා පැන නැගුණු ප්‍රශ්න පිළිබඳ අත්දැකීම් පමණි.

“ඒ කාලයේ උගත් දෙමළ සමාජය තුළ සිංහල සමාජයට සාපේක්ෂව විරැකියාව වඩා පහත් මට්ටමක තිබුණේ. ඒකට හේතුව දෙමළ ජනතාව බහුතරයක් දිවයිනේ වියළි කලාපයේ වාසය කිරීම. ඒ ප්‍රදේශවල රැකියා අවස්ථාවන් බැ දී තිබුණේ කෘෂි කර්මාන්තය සමග. එහි ජීවත් වීම දකුණේ තෙත් කලාපවලට සාපේක්ෂව දුෂ්කරයි. එම ප්‍රදේශයෙන් ඉවත්ව රටේ වෙනත් ප්‍රදේශයක රැකියාවක් ලබා ගැනීම උදෙසා හොඳ අධ්‍යාපනයක් ලැබීමට ඒ අයට දැඩි පෙලඹීමක් තිබුණා. ඒ වගේම උගත් දෙමළ ජනතාවගෙන් බොහොමයක් රැකියාව කළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ.”

“සිංහල ප්‍රජාවේ හැඟීම වුණේ උගත් දෙමළ තරුණයන්ට රැකියා ලබා දීමට දෙමළ ජනයාගේ උගතුන්, වෘත්තිය වේදීන් පක්ෂග්‍රාහිව උදව් කරන බවයි. මේ කරුණ ඇත්තද නැද්ද කියන්න මට තොරතුරු නැහැ. ඒත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයින් අතර පවා විද්‍යා පීඨයේ දෙමළ කථිකාචාර්යවරු දෙමළ සිසුන්ට උදව් කරන බවට අදහසක් පැවතුණා.

“ඒත් අපි දන්න, එහෙම වුණත් අපි කියන්නේ නැති ඇත්ත තමයි දෙමළ ජනතාව රැකියා වෙළඳපොළේ වඩාත් සාර්ථක වීමට හේතුව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බොහෝ මිෂනාරි පාසල් පිහිටුවා තිබීම කියන එක. ඒ කාලයේ මේ ගැන මටත් අදහසක් තිබුණේ නැහැ. සිංහල ශිෂ්‍යයින්ගේ මැසිවිලි කතා ඇසුණු මම කිව්වේ, විශ්ව විද්‍යාලය රජයෙන් පාලනය වන නිසා විභාග පැවැත්වීමට ස්වාධීන මණ්ඩලයක් පත් නොකරන්නේ ඇයි කියා විමසන ලෙසයි. මම හිතන්නේ ඇතැම් විට සිංහල කථිකාචාර්යවරුන් සිංහල ශිෂ්‍යයින්ටත් එවැනි උදව් කරන්නට ඇති.

“මේ කාරණයට අදාළ සිද්ධියක් 1964 මම අම්පාර හාඩි කාර්මික විද්‍යාලයට ඇතුල්වීමේ දී දැක ගන්නට ලැබුණා. ඇතුල්වීමට පෙර සියලු අයදුම්කරුවන්ට මූලික සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. මට පෙනී ඉන්න ලැබුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිකම දැරුවෙ ප්‍රනාන්දු කියලා මහත්මයෙක්. ඔහු ඉහළම සුදුසුකම් සහිත ඉංජිනේරුවරයෙක් වගේම එවකට රජයේ මහා සංවර්ධන යෝජනා ක්‍රමයක් වුණ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කළමනාකාරවරයා. සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණේ ඉංග්‍රීසියෙන්. ප්‍රනාන්දු මහත්මයා ආගම ගැන කතා කළ බව මට හොදටම මතකයි. හිටි ගමන් ඔහු මාතෘකාව වෙනස් කරමින් සිංහල සිසුන්ට වඩා වැඩි ප්‍රමාණයක් දෙමළ සිසුන් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන බව කිව්වා.”

ප්‍රනාන්දු මහතා කතා කළ ස්වරයෙන් සහ ඔහුගේ කතා විලාසයෙන් දෙමළ සිසුන් කෙරෙහි දැක්වූ සිංහල සතුරු බවක් බෝපගේ ට දැනුණි. 22 කින් යුත් බෝපගේ ගේ කණ්ඩායමෙහි 14 දෙනෙක් දෙමළ සිසුන්ය. ඔවුන් තමන්ගේ පෞද්ගලික කුසලතාව අනුව ඇතුළු වී සිටි හෙයින් බෝපගේට ඒ පිළිබඳව ප්‍රශ්නයක් තිබුණේ නැත. මුලූ ආයතනයේම සිටි සිසුන් 45 දෙනාගෙන් 30 දෙනෙක් පමණ දෙමළ වූහ. හාඩි ආයතනය තුළ වාර්ගික පීඩනය සැගවී තිබූ බව අදත් බෝපගේ ට ප්‍රතික්ෂේප කළ නොහැක. ඉංජිනේරු සැලසුම් සහ ඇඳීම් පිළිබඳ කථිකාචාර්යවරයා දෙමළ බර්ගර් ජාතිකයෙක් බව ද ඔහුගේ නම ඩි ලාමා බව ද ඔහුට මතකය. හාඩි ආයතනය පිහිටි ප්‍රදේශය පිළිබඳව ඔහු විසංවාදී අදහසක් ඉදිරිපත් කළේය. සිංහල සිසුන් එම ප්‍රදේශය හැඳින්වූයේ ‘අම්පාර’ යනුවෙනි. දමිළ සිසුවෝ ‘අම්පාරෙයි’ යනුවෙන් හැඳින්වූහ. අම්පාර යන නම පිළිබඳව කැමැත්තක් නොදැක්වූ ඩි ලාමා එම ප්‍රදේශය අම්පාරෙයි යනුවෙන් හැඳින්වීමට උපදෙස් දුන්නේය.පංතිය තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට මෙය හේතු වුණි.

හාඩි ආයතනය පිහිටියේ දිවයිනේ වියළි කලාපයේ අම්පාර දිස්ත්‍රික්කයේ හුදකලාවය. ඒ අසල කුඩා නගරයකි. නගරය අද්දර අහිගුණ්ඨික ගොපළු ප්‍රජාවක් විසූ අතර ‘මට්ටයින්’ ලෙස හැඳින්වුණු ඔවුහු මී කිරි මිදවූහ. ලඳු මැද ඇවිදින අතර ඔවුන්ගෙන් මුදවපු මී කිරි මිල දී ගෙන කෑ අයුරු බෝපගේ ට මෙකලද සිහිපත් වෙයි. ඔහුට ඒවා අතිශයින් මිහිරි විය.

හාඩි ආයතනය තුළ ‘නවක වදය’ ක්‍රියාත්මක වුණි. දෙමළ සිසුන් තම සහෝදර දෙමළ සිසුනට නවකවදය දුන් අතර සිංහල සිසුහු තම සොයුරු සිංහල සිසුනට නවකවදය පැමිණවූහ. ලයනල් බෝපගේ වරක් තම සිංහල සහ දෙමළ මිතුරන් කිහිප දෙනෙක් සමඟ ඇවිද යමින් සිටිය දී එක් දෙමළ මිතුරකු ඔහු ඇළට තල්ලූ කළේය. ඔහු එසේ කළේ තමා සිංහලයකු වූ නිසා ද නැතහොත් විනෝදයට දැයි බෝපගේ නොදනියි. එම සිදුවීම සහ එහි අභිප්‍රාය තවමත් රහසකි.

අම්පාරේ මෙන්ම රට තුළ ද වැඩෙමින් පැවැති මෙම තත්ත්වයට බලපෑවේ රටේ පාලක දේශපාලනය ඇති කර තිබුණු ක්‍රමවේදයයි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු මද කලකට දේශපාලනික ව්‍යාකූලත්වයක් රට තුළ හට ගැනුණි. ඔහු මරා දැමුවේ ඔහුම උදව්කොට මුදාහළ සිංහල ජාතිවාදී බලවේග විසිනි. එවකට සිටි නව-යටත්විජිතවාදී ප්‍රභූන්ගේ සම්ප්‍රදායට අනුව ඔහුගේ බිරිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ බෑනා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා වෙත බලය පවරන ලදි. පවුල් වාදයේ උච්චතම අවස්ථාවක් සනිටුහන් කරමින් බණ්ඩාරනායක මහත්මියගේ ඥාති සොහොයුරු විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදි.

“1960 ජුලි 21 බණ්ඩාරනායක මහත්මිය අගමැති ධුරයේ දිව්රුම් දුන්නා. දිව්රුම් දුන්නේ අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ. ඇය තමයි මෙරට මෙන්ම ලෝකයේ ම අගමැතිධුරයක් දරපු පළමු කාන්තාව. අග්‍රාණ්ඩුකාරවර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ ධුර කාලයෙන් පසුව 1962 මාර්තු 02 දා විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දුන්නා. නිවැරදිව ම කිව්වොත් 62 මාර්තු 02 දා පෙ.ව. 8.57ට යි. දිව්රුම් දුන්නේ මෙරට අග විනිසුරු එච්. එච්. බස්නායක මහතා සහ අගමැතිනි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ. ගොපල්ලව මහතාට අග්‍රාණ්ඩුකාර පත්වීම දුන්නේ දෙවන එලිසබත් මහ රැජිනගේ අනුමැතිය ඇතිවයි.”

හෙට - සිංහල පමණයි අතුරු ප්‍රතිළුල

සිසිර යාපා

“මිණිගංදෑල” දැවැන්ත වැඩක්

$
0
0
ජුනි 19, 2018 01:00

චරිත් අබේසිංහ

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය වංශ කතාවේ නව පිටුවක් පෙරළමින්, ප්‍රේක්ෂකයන් වෙත සමීප වන “මිණිගංදෑල” ටෙලිවෘත්තාන්තය මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වේ. වෙනස්ම කතා තේමාවක් රැගත් එය කළු ගඟ සහ ඒ ආශ්‍රිතව ජීවත්වූ මිනිසුන්ගේ ඉතිහාසය යළි ප්‍රතිනිර්මාණය කරයි. ගැමුණු මහරජ 1 සාර්ථකව නිර්මාණය කළ චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයක් වන එය තරංග අතුරලියගේ නිශ්පාදනයකි. මේ මිණිගංදෑල පිළිබඳ චරිත් අබේසිංහ සමඟ කතා බහකි.

l මිණිගංදෑල මේ දිනවල විකාශය වෙනවා. කොහොමද ප්‍රතිචාර එහෙම?

ප්‍රතිචාර ඉතාම ඉහළයි. යූ ටියුබ් එකට ගිහින් බැලුවොත් මිණිගංදෑලට තියෙන වීව්ස් කොහොමද කියලා බලාගන්න පුළුවන්. එක නෙගටිව් කමෙන්ට් එකක් ගෙනාවොත් මම ටෙලිනාට්‍ය කරන එක නවත්වනවා. ඒ තරම් හොඳ ප්‍රතිචාරය තමයි තියෙන්නෙ.අපේ මහන්සියට උපරිම සාධාරණයක් ප්‍රේක්ෂකයා ඉටුකරනවා.ඒ ගැන සතුටුයි.

l “මිණිගංදෑල” චරිත් අබේසිංහ කියන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ වෘත්තීය ජීවිතේ ලොකු සළකුණක්?

ඇත්තෙන් ම ඔව්. ටෙලිනාට්‍යයක් කියලා කිව්වට මේක ඊට වඩා දැවැන්ත යමක්. චිත්‍රපටයකට වගේ වියදම් කරලා, කැපවෙලා, සැලසුම් කරලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නෙ.

l නළුනිළියො කීදෙනෙක් විතර සහභාගි වෙනවද මේ නිර්මාණ කාර්යයට?

මීට ඉස්සර මේ වගේ විශාල නළුනිළියො සංඛ්‍යාවක් හිටියෙ තිස්ස අබේසේකරගෙ “පිටගංකාරයෝ” කියන ටෙලිනාට්‍යයේ. ඒ ඉතිං ගොඩ කාලෙකට ඉස්සර. වර්තමානයේ මේ නිර්මාණයට තමයි වැඩිම නළුනිළියො පිරිසක් සම්බන්ධ වෙන්නෙ. සංඛ්‍යාත්මකව කියනවා නම් 100කට ආසන්න පිරිසක්.මට අවශ්‍ය වුණේ මේ නාට්‍ය ඉහළ ප්‍රමිතියෙන් නිම කරන්න.මොකද ප්‍රේක්ෂකයාට ඉහළම රසාස්වාදය දෙන්නට අපි කැපවෙනවා.මේ නාට්‍යයේ සෑම චරිතයම ඉතාමත් ඉහළ රංගන පරාසයකින් සමන්විතයි.ඒ නිසාම ජනප්‍රිය වගේම රංගන හැකියාවෙන් පූර්ණ පිරිස අපි මේ සඳහා සහභාගී කරගත්තා.

l ප්‍රවීණ වගේ ම නවක නළුනිළියන් එතරම් පිරිසක් සමඟ ගනුදෙනු කිරීමේ අත්දැකීම කොයි වගේද?

ප්‍රවීණ අය එක්ක වැඩ කරද්දි තේරෙනවා ඒ අය ප්‍රවීණයි කියලා. නවක නළුනිළියො එක්ක කටයුතු කරනකොට ඒ සමහර අයගෙ ආධ්‍යාත්මය පේනවා ඒ අය හැසිරෙන විදිහෙන්. ගොඩක් වෙලාවට අද අලුතින් ක්ෂේත්‍රයට එන අයට හරියට ම මුදුන් මුල් නෑ. කොහෙන්ද ආවේ කින්ද මන්ද කියලා හොයාගන්න තැනක් නෑ. ඔහේ එනවා සිනමාවට හෝ ටෙලිනාට්‍යයට. සමහරු ලස්සන නිසා එනවා. තව සමහරු ඇඳුරුම්කම් නිසා එනවා. නමුත් අපේ ප්‍රවීණයන්ගෙන් ඇහුවොත් ඒ අය ආගිය තැනක් දන්නවා. ආගිය තැන් නොදන්න අයත් එක්ක වැඩ කරද්දි සමහර විට අමාරු වෙනවා. ඒ වගේ ම හොඳ මට්ටමේ නවකයිනුත් ඉන්නවා. වෘත්තීය මට්ටමේ අය වගේ ම වෘත්තීය මට්ටමේ නොවන අයත් ඉන්නවා. මං හිතන්නෙ කොයි ක්ෂේත්‍රය ගත්තත් එහෙම තමයි.

l “මිණිගංදෑල” අති විශාල පිරිවැයක් දරලා නිර්මාණය කළ ටෙලිනාට්‍යයක්. එවැනි වියදමක් දරලා ටෙලිනාට්‍යක් නිර්මාණය කරලා ඒකෙන් ලාබයක් ලබන්න පුළුවන්ද?

අනිවාර්යයෙන් ම පුළුවන්. දැනට සිරස නාලිකාව, සිරස ඉතිහාසයේ වැඩි ම මුදලක් ගෙවලා, මිලදී ගත්ත ටෙලිනාට්‍යය මිණිගංදෑල. නාලිකාවල ඉන්න අය දන්නවා හොඳ නරක තෝරගන්න. ඒ වගේ ම ඒගොල්ලො දන්නවා ටෙලිනාට්‍යයක් බැලුවම ඒකට වියදම් වෙලා තියෙන ගාණ කීයද කියලා.යම්කිසි ගුණාත්මක නිර්මාණයක් කරලා තියෙනවා නම් සැලකිය යුතු වියදමක් දරලා, ඒකට ලාබයක් ලැබෙන විදිහට සාධාරණ මිලක් ගෙවන්න ඕන ම නාලිකාවක් සූදානම්. හරියට නාට්‍යක් කරගන්න බැරුව බොරුවට නාට්‍ය කරලා, ලොකු ගණන් බලාපොරොත්තු වෙන අය කියන කතාවක් විදිහට තමයි මම දකින්නේ, නාට්‍යට වියදම් කළාට ලාබයක් ගන්න බැහැයි කියන එක. හිරු නාලිකාවේ මගේ නාට්‍යයක් විකාශය වුණා “ගැමුණු මහරජ” කියලා. හිරු ඉතිහාසයේ ම ගෙවපු වැඩිම ගාණ ගෙව්වා ඒකට. මම ඊට කලින් ටෙලිනාට්‍ය කරලා තිබ්බෙත් නෑ. ඒ හින්දා නාට්‍ය කිරීමේ දී නාට්‍ය තුළ තියෙන්නාවූ ගුණාත්මක භාවය තමයි ලාබ ඉපයීමට ප්‍රධානව බලපාන සාධකය. නිර්මාණය ගුණාත්මක නැත්නම් බොරුවට නාලිකාවලට දොස් කියලා වැඩක් නෑ.

l “මිණිගංදෑල”ට හරව ගන්න හදන්නෙ මෙච්චර දවසක් හින්දි නාට්‍ය රසවිඳපු ප්‍රේක්ෂක පිරිසක්. ඉතිං ඔවුන් මිණිගංදෑල කොයි විදිහට වැළඳගනියිද?

ඉස්සර අපි කෙහෙල් කොළේ බත් කෑවා. පස්සෙ ලන්ච් ෂීට් ආවා. ඒවායේ කන්න ගත්තා. අදටත් වැඩිපුර කන්නෙ ඒවායේ. කෙහෙල් කොළවල කන එක අතෑරලා, පොලිතින් භාවිතයට මිනිස්සු පුරුදු වුණා. පොලිතින් පරිසරය විනාශ කරනවා, මිනිසුන්ගෙ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ කිව්වම මිනිස්සු ආපහු කෙහෙල්කොළවල බත් කනවා. එතකොට රහයි ගුණයි. පොලිතින්වල කෑවම වෙන්නෙ මොකක්ද? ඒවා දැම්මම දැම්ම දැම්ම තැන ජරා වෙනවා. එහෙමයි කියලා පොලිතින් එකේ කන අයව එකපාරට අපිට කෙහෙල් කොළේට ගේන්නත් බෑ. නමුත් රසය, ගුණය දෙක ජීවිතයේ වටිනා දේවල් විදිහට තේරුම් ගන්න අය මේ වගේ නාට්‍ය බලනවා. රසඥතාව මොට වෙලා මොට වෙලා ඒ තුළ අසනීප වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට මේ මිණිගංදෑල බෙහෙතක්. නමුත් තාම අසනීප වෙලා නැතුව, නිකම්ම ආසාවට මොනවද මේ ටෙලිනාට්‍ය කින්දමන්ද කියලා බලන්නෙ නැතුව අපේ රටට එන ඕන මළ ජරාවක්, ඕනම මෙගා නාට්‍යයක් වැළඳගන්න මිනිස්සුන්ට තාම ඒවා සැපයි. නමුත් ඔවුනුත් මේවා තේරුම්ගන්න කාලයක් එනවා.

l වර්තමාන ටෙලිනාට්‍ය කලාව තුළ මිණිගංදෑල වෙනසක් කරයිද?

අපේ බලාපොරොත්තුව තියෙන්නෙ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වෙනසක් කිරීම තමයි. නමුත් ඒක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ නාට්‍යයේ ගුණාත්මක භාවය කියන සියල්ල වැදගත්. ඒ වගේ ම ඒ පිළිබඳව කරන්නා වූ ප්‍රචාරණය. මාධ්‍ය ආයතනය තුළ වගකීමක් තියෙනවා මේ සම්බන්ධව. ඒ සියලු කටයුතු සාර්ථක වුණොත් මං හිතනවා ප්‍රේක්ෂකයින්ගෙ රසඥතාව අපිට මේ තියෙන මට්ටමින් ටිකක් හරි උඩට ගෙනියන්න පුළුවන් නිර්මාණයක් කියලා මේක. ඉතිං අපි ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන්ට “මිණිගංදෑල” වගේ ටෙලිනාට්‍යයකින් මෙතෙක් නොවිඳි අත්දැකීමක් විඳගන්න, සතියේ දින පහේ ම රාත්‍රී 8.30ට සිරස ටීවීත් එක්ක එකතු වෙන්න කියලා.

l “මිණිගංදෑල”ට දායකත්වය දුන් අය ගැනත් සඳහන් කරමු නේද?

කැමරා අධ්‍යක්ෂයෙන් චන්දන ජයසිංහ, අංග රචනයෙන් ප්‍රවීණ අංගරචන ශිල්පී නලීන් ප්‍රේමතිලක,ගීත ගායනයෙන් අමරසිරි පීරිස්. මියුසික් කරන්නෙ සමන් ලෙනින්.ඇඳුම් සහ කලා අධ්‍යක්ෂණයෙන් සරත් ජයවීරත් නිෂ්පාදන කළමනාකරණයෙන් ගයාන් දේශප්‍රියත් මේ සඳහා දායකත්වය දෙනවා. ඒ වගේ ම පිටපත් රචනය ප්‍රියාල් වීරසිංහගෙන්. සංගීත අධ්‍යක්ෂණය නුවන් තේනුවරගෙන්. “මිණිගංදෑල” තරංග අතුරලිය කියන තරුණ නිෂ්පාදකවරයාගේ පළමු ටෙලිනාට්‍යය. සහය අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නෙ ලසන්ත මධුෂාන්. නළුනිළියො ගත්තම වසන්ති චතුරාණි, ශ්‍රියන්ත මෙන්ඩිස්, උද්දික ප්‍රේමරත්න,මේනකා පීරිස්, තිසුරි යුවනිකා, හිමාලි සයුරංගි ඇතුළු තවත් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය ලැබෙනවා. “ගැමුණු මහරජ” මගේ පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙන් පස්සෙ මේ තමයි මගේ දෙවැනි නිර්මාණය. ටෙලිනාට්‍යක් විදිහට මිනිස්සු අනිවාර්යෙන් ම මේ නිර්මාණයත් එක්ක රැඳී ඉන්නවයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මොකද ලංකාවෙ මේ විදිහෙ ටෙලිනාට්‍යයක් මීට කලින් කෙරිලා නෑ. මිනිස්සු දකින්න ආස කරන පරිසරය, අව්‍යාජ ගැමිබව මිණිගංදෑල තුළින් පෙන්නන්න අපි දැවැන්ත උත්සාහයක යෙදිලා තියෙනවා.

l මේ නාට්‍ය හරහා තරුණ නිශ්පාදකවරයෙක් එක්වෙනවා ක්ශේත්‍රය සමඟ ....

ඔව් ඔහු හොඳ කලාකාමී බුද්ධිමත් කෙනෙක්.තරංගට මේ කටයුත්ත හොඳට තේරුම් ගන්න පුළුවන්.ඒ නිසා අපි ඉතාමත් සහයෝගයෙන් වැඩ කරනවා.ඔහු කලාවට අතතියන්නෙ දුරගමනක් යන්න බලාපොරොත්තුවෙන්.ඒ සඳහා අවශ්‍ය සම්පත් ඔහුට තියෙනවා.ඔහු නිතර උත්සහ ගන්නෙ ප්‍රමිගත නිර්මාණ කරන්න.

l මේ දවස්වල එකතු වෙලා ඉන්න අනිත් කලා කටයුතු ගැනත් යමක් කිව්වොත්?

දෙරණ “Star City” තරගයේ සෙමි ෆයිනල් තේරිලා ඉන්නවා. ඊට අමතරව අගෝස්තු මාසේ චිත්‍රපටියක් කරන්න මේ වෙනකොට වැඩකටයුතු සූදානම් කරගෙන යනවා.

කාංචනා සිරිවර්ධන

වමට ගේන සාධනීය විවේචන බාරගත යුතුයි

$
0
0
ජුනි 19, 2018 01:00

අසංක සායක්කාර

පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, විචාරකයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු මෙන්ම නාට්‍යකරුවකු වන අසංක සායක්කාරගේ නවතම නාට්‍ය 'මං කෙළින් මිනිහෙක්'ඉකුත් ජූනි මස 15/16 යන දෙදින තුළ බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගතවිය. එය , ජූලි 22 වන දින පුංචි තියටර්හිදී 3.30/6.30 ට යළි වේදිකා ගතවීමට නියමිතය. මේ කතා බහ ඒ නිමිත්තෙනි.

l වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට ඇල්ම බැල්ම වැටෙන්න ගන්නෙ කොයි කාලෙද? මොන විදිහටද?

90 දශකය තුළ තමයි. නාට්‍ය බලන්න ගියා. ඒ ගැන කතා බහ කරන තැන්වලට එකතුවුණා.

95-96 කාලෙ අ.පොස (සා/පෙ) කරන කාලෙ තමා නාට්‍ය බලන්න පුරුද්දක් ඇතිකර ගත්තෙ. මුල් කාලෙදි ඒකත් විෂය නිර්දේශවල තිබුණු සම්භාව්ය නාට්‍යවලට සීමාවුණා. 'හුනුවටයේ කතාව''මනමේ'වගේ ඒවා. 96-97 වගේ කාලෙ රාජ්‍ය නාට්‍ය උළෙලක 'ගුරු තරුව'බැලුවා. මනෝරත්නගේ නාට්‍යවල උච්චතම අවස්ථාවන් දකින්න ලැබුණා. ඒත් මේක පුපුරා යන්නෙ වෙන තැනකින්. ඒකට බලපෑව තුන්දෙනෙක් ඉන්නවා. ඒ රාජිත, බුද්ධික, ධනංජයයි. රාජිත‍ දිසානායකගේ 'වීරයා මැරිලා'මාව වෙනස් විදිහකට හිතන්න පුරුදු කළා. බුද්ධිකගේ 'දවස තාම ගෙවුණේ නෑ'මාව හිරිවැට්ටුවා. ඒකෙ සෞම්‍යගෙයි, ජයනිගෙයි ඇක්ටිං තාමත් මගෙ ඔළුවෙ හොල්මන් කරනවා. ධනංජය කරුණාරත්නගේ ගේ 'ඔබ සාපේක්ෂයි'වගේ එකක් බැලුවම, 'වේදිකාව තුළ ඕන දෙයක් උස්සලා පොළොවෙ ගහන්න පුළුවන්'කියන හැඟීම ආවා. එවායින් තමා මං උත්තේජනය ලැබුවේ.

l. 88-89 කාලයේ සන්නද්ධ ව්‍යාපාරය තුළ ලැබූ දැවැන්ත පරාජයෙන් පසුව ජවිපෙ යළි හිස ඔසවන්නේ 90 දශකයේ මැද 94 වගේ කාලෙක. ඒ කාලයේ සංස්කෘතික කලා භාවිතය තුළ මේ සමාජ ඛණ්ඩනය හා තත්ත්වය ගැන ඔබට යම් සවිඥානක බවක් තිබුණද?

දෙවෙනි වතාවට 94 වගේ කාලෙක ජවිපෙ නැඟිටිද්දී ඒ සිසුන් විදිහට ලොකු හැඟීමක් දැනීමක් තිබ්බෙ නෑ. ඒත් 2000න් පස්සෙ මමත් ජවිපෙට ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. ඒ අත්දැකීමත් එක්ක ආපහු හැරී බැලුවම යම් යම් දේවල් පෙනෙන්න ගන්නවා. මං පැති දෙකකින් ජවිපෙට සම්බන්ධ වෙනවා. ඒ විශ්වවිද්‍යාල සිසුවෙක් විදිහට ශිෂ්‍ය දේශපාලනය තුළ. අනෙක් පැත්තෙන් මාධ්‍යවේදියෙකු විදිහට 'සන්නස'වැනි විකල්ප පුවත්පත් හරහා. පසුව ජවිපෙ සහසම්බන්ධයක් පැවති 'ලංකා'පුවත්පත තුළ දිගු කාලයක් වැඩකරනවා. ක්‍රම විරෝධය කියන එක කොහොමත් තිබ්බා. එකේ දේශපාලන හැඩය ගොඩනැඟුනේ ජවිපෙ දෙවෙනි වරට ගොඩනැඟී ස්ථාවර වෙමින් පවතින කාලය සමග ඊට අනන්‍යවීමත් සමගයි. ඒ කියන්නෙ ජවිපෙ නිසා දේශපාලනය පත්තියම් වුණා. ඒක හංගන්න දෙයක් නෑ.

l ඔබ මේ දේශපාලන ව්‍යාපාරයෙන් වෙන් වෙන්නෙ කොහොමද?

ඒක ඇතුළේ ඉන්නකොට ඒ විදිහටම පෙනුනේ නැතත්, ක්‍රම ක්‍රමයෙන් ඒකෙ ආන්තික දේවල් පෙනෙන්න ගන්නවා. විශේෂයෙන්ම කලාව භාවිතයේදී තිබුණු අන්තවාදී, පටු ආකල්ප පෙනෙන්න ගන්නවා. ලංකා පත්තරේ වැඩකරද්දී 'සඳකඩපහණ'කලා අතිරේකයට, එක් ලිපියක් කථන භාෂාවෙන් ලියද්දී ඒක සම්පූර්ණයෙන්ම කපලා ආයෙම ලිඛිත භාෂාවෙන් ලියන්න කියලා පවා බලකරනවා. එහෙව් පුංචි වෙනස්වීමකටවත් ඉඩක් තිබුණේ නෑ. එදා වගේම අදත් කිසිදු අයුරකින් අලුත් විදිහකට හිතන්න හෝ වැඩකරන්න ලියන්න ජවිපෙ තුළ ඉඩක් නෑ. ඒක ඇත්ත වම නෙවෙයි කියන එක තේරෙන්න ගන්නවා. ඒකත් එක්ක තමා මං එතැනින් අයින්වෙන්නෙ.

l ඔබගේ 'ශ්‍රී-මත් සූ-මන'වගේ කෙටි නාට්‍යයකත්, සංඝදාසගේ චූටි කලිසම'වගේ නාට්‍යයකත් ක්‍රම විරෝධී දේශපාලනය ‍යම් පමණකට හෝ ජෝක් කරනවා. ඒක එන්නෙ එතැනින්ද?

'සංඝදාසගේ චූටි කලිසම'ඇතුළේ වුණත් වෘත්තීය සමිති දේශපාලන තුළ පවත්නා වාම නියෝජනයේ විහිළුව හා ආන්තික ස්ථාවරයන් ගැන සාකච්ඡා වෙනවා. ශ්‍රී-මත් සු-මන ඇතුළෙත් යම් විදිහකට වාමාංශිකයෙකුගේ හැඩය ගැන කියවෙනවා. මාධ්‍ය ඇතුළේ, වෘත්තීය සමිති තුළ, මේ මොහොතේ වම‍ ක්‍රියාත්මක වෙන විදිහ ගැන මගේ ප්‍රසාදයක් නෑ. ජවිපෙ නියෝජනයක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයේ හා ලංකා පත්තරේ වැඩකරන කාලයෙයි, එතැනින් එළියට ආවම ඒක පේන්න ගන්න විදිහයි මට අදියර දෙකක දැනුමක් හා අත්දැකීමක්. මගේ ප්‍රකාශනය ඇතුළේ ඒක එක එක විදිහට මතුවෙන්න පුළුවන්. මේක වමට ගේන විරෝධයක් නෙවෙයි. සාධනීය විවේචනයක්.

l ඔබේ සාධනීය විවේචනය වම සාධනීය ලෙසම බාරගනියිද?

එහෙම බවක් පෙනෙන්න නෑ. වම ප්‍රශ්න කරන සාධනීය මැදිහත්වීමක් කරන කෘති පවා ධනපතියන්ටම සේවය කරන බවට පටු කියවීමක් තමා එයාලට තියෙන්නෙ. ලොකුම හෙණය ඒකයි. ජවිපෙ ඇතුළු වමේ එදා ඉඳලම තියෙන පොදු ධර්මතාවක් තමා විවේචන දරා ගැනීමට බැරිකම. සාධනීය විවේචන තුළින් දෙයක් ඉගෙන ගත්තෙ නෑ. කිසි දෙයක් සාධනීයව බාරගත්තෙ නෑ. ඒ වෙනුවට ව්‍යාපාරය ඇතුළෙන් විවේචනයක් අ‍ාවොත්, ඒක ගෙනාව කෙනා දහස් චෝදනා නඟලා එළියට ඇදලා දානවා.

එළියෙ කෙනෙක් ගෙනාවොත් ඒ අදහස, ආන්තික කරලා පැත්තකට දානවා. ඉහළ ඉඳලා පහලටම හැදුව සියලු සංස්ථාවන්ට ඒක අදාළයි. ශිෂ්‍ය දේශපාලනය තුළ, පත්තරවල, මෙන්ම කලා මණ්ඩලවලත් ඒ තත්ත්වය එහෙමම තමයි. වම සාධනීයව විවේචනය කරමින් හෝ වමට ආමන්ත්‍රණය කරපු දේවල් බිහි නොවුණේ ඒකයි. වම සම්බන්ධ විවේචනයට ඉඩ දිය යුතුයි. ඒක මැනවින් ස්ථානගතකළ යුතුයි. ඒක කතිකාවට ගත යුතුයි. සෝවියට් රුසියාව වගේ සියලු විවේචකයන් මර්දනය කරමින් මේ ගමන යන්න බෑ. මේ වෙලාවෙ සාධනීය විවේචන සමග වම ඉදිරියට යා යුතුයි. මගේ විවේචනය හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒත් සංවාදයට නිමිත්තක් මෙතන තියෙනවා. ඒකට ගහල බිඳලා දාන එක වෙනම කාරණයක්. ගත යුතු දේ මොකක්ද, නොගත යුතු දේ මොකක්ද කියලා කතා බහ කරලා තීරණය කළ හැකියි. ඒත් ඒක කතා බහට හෝ නොගැනීම තමා ලොකුම හෙණය.

l වම විවේචනය කිරීමෙන් එහි වාසිය දක්ෂිණාංශිකයින් හෝ පාලකයින් ලබාගන්නා බවට ප්‍රසිද්ධ මතයක් තියෙනවා. ඒකට ඔබ දක්වන්නෙ කෙබඳු ප්‍රතිචාරයක්ද?

ඒ මතය වැරදියි. වම්මුන් එ් වගේ ආගමික ශික්ෂිතභාවයක් අපේක්ෂා කරනවා. අවුරුදු පහෙන් පහට මැතිවරණ එක්ක වම ගැන හිතලා වැඩක් නෑ. 'මේ වෙලාවෙ ගැහුවොත් වමට අවාසියි', එහෙමත් නැත්නම් 'මේ ඒකට වෙලාව නෙවෙයි'කියලා කල්දාන වැඩේ හරියන්නෙ නෑ. වැරදි ඒ මොහොත්ම ඒ වැරැද්ද නිවරදි කරගත යුතුයි. වම හිතිය යුත්තේ මොහොත ගැන විතරක් නෙවෙයි. යුගයක් විදිහටත් සිතිය යුතුයි. තව අවුරුදු පහකින් දහයකින් මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්නේත් නෑ. වෙනස් කරන්නත් බෑ. ඒක හොඳටම විශ්වාසයි.

එහෙව් තැනකදී 2020 දි ත් වෙන පාලකයෙක් එයි. ඒ කවුරු ආවත් ධනවාදී කඳවුරටම තමා සේවය කරන්නෙ. සමාජවාදයක් එන්නෙ නෑ. ඒත් අපි යුගයක් විදිහට කල්පනා කරලා වැඩකරනවානම් ඒ යුගයට යන්න පිරිසිදු විවේචනයක් එක්ක යන්න ඕන. එහෙම නොහිතුවොත් කවදාවත් ඕක හදන්න වෙන්නෙ නෑ. ඒත් වම හැමදාම හිතුවෙ වැරදි විදිහටමයි. චන්ද්‍රිකා එක්ක, මහින්ද එක්ක සන්ධාන ගහද්දි කීවෙත් 'මේ වෙලාවෙ මේක ආරක්ෂා කරන්න ඕන'කියලා. දහසක් විවේචන තියෙද්දී ආරක්ෂා කිරීම කළ යුතු බවට නියෝග ලැබුණා. ඒත් ඒක එහෙමම තිබුණේ නෑ. කාලයත් එක්ක අළු යට ගිනි තිබිලා ව්‍යාපාරය තුළම ඒක පුපුරා ගියේ ඊට අවුරුදු ගාණකට පස්සෙ කුමාර් සහෝදරා ඇතුළු දැවැන්ත පිරිසක් එළියට ඇවිත්. ඒත් එදා ඒ වෙලාවෙ ඒ විවේචන සාධනීයව බාරගත්තනම් ප්‍රතිඵල වෙනස් වෙන්න තිබ්බා. ඒ නිසා ආගමික සංස්ථාවල වගේ භක්තිය පැත්තක තියලා මේ වෙලාවෙ විවේචන සාධනීය බාරගත යුතුයි.

l ඔබ තාමත් වමේද? නැත්නම් අද වෙද්දි දකුණේද?

වමේ.

l තමන්ගෙ ප්‍රකාශනය වේදිකාවෙන් ආරම්භ කරන ගොඩක් දෙනෙක් පසුව ඒක හැරයනවා. ඔබටත් එහෙම වෙයිද?

මට වේදිකා නාට්‍ය ඇතුළේ පවතින්න පුළුවන්. මමත් මේක අල්ලන තැනක් තියෙනවා. මටත් මේ සමාජ ක්‍රමය ගැන විවේචනයක් හා විරෝධයක් තියෙනවා. ඒ විරෝධය, අවංකවම කලා මාධ්‍යයක් ඇතුළේ ප්‍රකාශ කරන්න පුළුවන් මාදිලිය තමා වේදිකාව. ප්‍රාග්ධනයේ ප්‍රශ්නයත් එක්ක අනිත් මාදිලිවල ඒක කරන්න අමාරුයි. ටෙලි නාට්‍යයකින් ඒක කරන්න මං කැමතියි. ඒත් බෑ. එතැන ලොකු ප්‍රාග්ධනයක් එක්ක යන වැඩක් තියෙන්නෙ. ඒකෙදි නිෂ්පාදකයෝ‍ රේටිං ඉල්ලනවා. චැනල්වලින් එන බලපෑම් තියෙනවා. ඒක සංකීර්ණයි. දරාගන්න අමාරුයි. පොතක් ලියලා කරන්නත් කැමතියි. ඒත් ඒ වගේ පොත් ගහන්න ප්‍රකාශකයෝ කැමති නෑ. විකුණගන්න බෑ. ඒත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේදී ප්‍රාග්ධනය කියන්නෙ මට ණයක් වෙලා හරි දරාගන්න පුළුවන් මට්ටමක්. මං මෙතන පාඩු ලැබුවද, ලාභ ලැබුවද කියලා මොකෙක්වත් ඇවිත් හොයන්නෙ නෑ. නිදහසේ මගේ ප්‍රකාශනය කරන්න පුළුවන්.

l මේ මොහොතේ වේදිකාව ගැනත්, බිහිවන නිර්මාණ ගැනත් ඔබට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?

මේ වෙලාවෙ ප්‍රධාන වශයෙන් නාට්‍ය ධාරාවන් තුනක් වැඩකරනවා. විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව හදාරන අය එක කොටසක්. ඒ අය විභාගය ඉහළින් සමත්වෙන්න, පර්යේෂණ නිබන්ධන කරන්න නාට්‍ය කරනවා. දීලා තියෙන සිලබස් එකක්, කාල රාමුවක් ඇතුළේ වැඩකරනවා. අනිත් අය නම් 'දුවන නාට්‍ය'හදන අය. ඒ අය කතාවක් ඇතත් නැතත්, ප්‍රේක්ෂකයා විනෝදයට පත් කරලා කීයක් හරි හොයාගන්න නාට්‍ය කරනවා. ඒවට මිනිස්සු කැමතියි. ඒවා ඇත්තටම දුවනවා. ඒ අතරේ කලාතුරකින් අපි වගේ උණට නාට්‍ය කරන අයත් ඉන්නවා. මේ ධාරාවන් තුන තැන් පැත්තක තියෙනවා. ඒත් අපේ වැඩ එච්චර දුවන්නෙ නෑ. අපි කරන නාට්‍යයත් දුවන ක්‍රමේකට හැදුවොත් තමා වැඩේ යන්නෙ.

මොකද මෙයින් වෙනත් පිරිසකට, ප්‍රේක්ෂාගාරයකට ආමන්ත්‍රණය කළ යුතුයි. උණකුත් හදාගෙන වැඩෙත් දුවන්න පුළුවන් නම් වෙන තැනකට මේක ගෙනියන්න පුළුවන්. ලංකාවෙ තාමත් නාට්‍ය ප්‍රේක්ෂාගාරය කියන්නෙ කොළඹ. ඒත් මේක ගමට යන්න ඕන. ඒකට උත්සාහයක් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ නිසා මේ තැන් තුනම එකතු වෙන්න ඕන. ගොවියා, කම්කරුවා, කුලී ශ්‍රමිකයා නාට්‍ය බලන යුගයක් එළඹෙනවා කියන්නෙ මේ සමාජය මීට වඩා වෙනස් වෙනවා කියන එක.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

සිතිවිලි පැහැගන්වා වින්දනීය කරනවා

$
0
0
ජුනි 19, 2018 01:00

ප්‍රියන්ත අබේසුන්දර

l චිත්‍රය පිළිබඳව ඔබට ඇති අර්ථ ගැන්වීම?

සිතිවිලි පැහැගන්වා වින්දනීය තත්ත්වයට පත්කර ගැනීම. චිත්‍රය ගැන මට දැනෙන්නේ එහෙමයි. උප්පත්තියෙන් පුද්ගලයකුට චිත්‍රවලට තියෙන ප්‍රතිභාව කියන දේ ලැබෙනවා. ප්‍රතිභාව ඔපමට්ටම් කරගත යුතුයි. චිත්‍ර කලාව අධ්‍යයනය කර ව්‍යුප්පත්තිය ඇතිකර ගෙන දැනගෙන නිවැරැදිව ශිල්පය කළ යුතුයි.

l ඔබ චිත්‍ර ඇඳීම තෝරාගන්නේ?

පළමුවෙනි කාරණය මගේ තෘප්තිය. දෙවැනි කාරණය ජනතාව වෙනුවෙන් චිත්‍රය භාවිතාව. මට ජනතාවට කියන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ ගැමි සංස්කෘතිය ගැන. ම‍ගේ චිත්‍රය ඒ වෙනුවෙන් භාවිතා කර ජනතාවට ප්‍රකාශ කරනවා.

l ඔබ චිත්‍රයට නඟන්න වඩාත් කැමැත්තක් දක්වන්නේ?

මා ස්වභාවික ශෛලියට කැමතියි. ඒ ශෛලිය ඔස්සේ ගැමි සංස්කෘතිය චිත්‍රයට නඟන්න තමයි මා බෙහෙවින් ප්‍රිය කරන්නේ. වර්තමානයේ නගරය කේන්ද්‍ර කරගෙන ජීවත්වෙන දරුවාට එදා අපි ගතකළ ගම මුල්කරගත් ජීවිතය දැකගන්න අවස්ථාවක් නෑ. එදා ගමේ ජන සංස්කෘතිය චිත්‍රයට නඟා අද දරුවාට විඳින්න දීම මගේ චිත්‍ර කලාවේ මූලික අභිප්‍රාය.

l අද දවස වන විට චිත්‍රයට අත්පත් කරගෙන ඇති ස්ථානය ?

ජනතාව විඳින්න කැමතියි. එහෙත් ඔවුන්ට චිත්‍රයක් තමන් සතුකරගෙන භුක්ති විඳින්න බෑ. චිත්‍රයක් මිලදීගෙන තමා සතුකරගෙන නිවසේ බිත්තියේ රඳවාගෙන එය විඳින්න හැකියාවක් නෑ. ඒ වගේ සෞන්දර්යය විඳීමේ ජීවිතයකට ජනතාවට අද ආර්ථික තත්ත්වයක් නෑ. අතළොස්සකටයි ඒ හැකියාව තියෙන්නේ.

lඔබ වෘත්තීය චිත්‍ර ශිල්පියෙක්. මේ රටේ වෘත්තීය චිත්‍ර ශිල්පියකුට පැවැත්මක් තිබෙනවාද?

අද මේ රටේ වෘත්තීය චිත්‍ර ශිල්පියකුට තියෙන ඉඩකඩ මදී. චිත්‍ර කලාව පමණක්ම වෘත්තීය කරගෙන ලංකාවේ ජීවත්වෙන්න අමාරුයි. වෙනත් වෘත්තියක නිරතවෙන ගමන් චිත්‍ර කලාවේ නිරතවෙන්නයි සිදුවෙලා තියෙන්නේ. අද සමාජයේ අනෙක් වෘත්තීන් වගේම කලාවත් විකුණා ජීවත්වෙනවා. සංගීතය, නර්තනය තුළින් ජීවත්වෙන පිරිස් ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා. ඒත් වෘත්තියක් විදියට චිත්‍රය විකුණා ජීවත්වීම අති දුෂ්කරයි. මේ රටේ ඉන්න චිත්‍ර ශිල්පීන්ගෙන් කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ. රජය පවා චිත්‍ර ශිල්පියා නොතකා හැරලා. මට මුදල් තියෙනවා නම් කවදාවත් චිත්‍ර විකුණා ජීවත්වෙන්නේ නෑ.

l විකිණීමේදී චිත්‍රයේ ඇති ගුණාත්මක බව හැලීයනවා නේද?

චිත්‍රයේ ගුණාත්මක පැත්ත හැලෙන්නේ එහි ප්‍රමිතිය ගැන සාමාන්‍ය ජනතාවට නිවැරැදි අවබෝධයක් නැතිකම නිසා මා උදාහරණයක් දක්වන්නම්. සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියන්නේ චිත්‍ර කලාව සඳහා තියෙන ඉහළම තැන කියලා මා විශ්වාස කරනවා. එහි ගුරුවරු හොඳ මට්ටමක සිටීම අවශ්‍යයි. එතැන චිත්‍ර කලාව පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙනවා වගේම චිත්‍රය ගැන හොඳ රසඥතාවක් ඇති පුද්ගලයන් බිහිකරන තැනක්. එහෙත් එතන සිසුන්ට උගන්වන ගුරුවරුන්ට චිත්‍ර කලාව ගැන තියෙන දැනීම අඩුයි. ඉතිං කොහොමද එතනින් අඩු තරමේ චිත්‍ර කලාව රසවිඳින පිරිසක් හෝ හිවෙන්නේ. සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් බිහිවෙන පිරිසටවත් චිත්‍රය ගැන රසයක් නැත්නම් ,අපි ගුණාත්මක චිත්‍රයක් පිළිබඳව විශ්වාසයක් තබන්නේ කොහොමද?

l ඔබ කලක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කළ කෙනෙක්. ඔබ එතැනින් ඉවත්වෙන්නේ?

මා එතනින් ඉවත් වුණේ නෑ. ඉවත් කළා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගුරුවරුන් බඳවාගන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට. කොන්ත්‍රාත් කාලය අවසන් වූ විට සම්මුඛ පරීක්ෂණයක් තියලා නැවත බඳවා ගන්නවා. මා එතනින් ඉවත් කරන්න හේතු වෙන්නේ, මම එහි අධ්‍යාපන කටයුතු කරන අතර මගේ රේඛා චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවා. එයින් අනතුරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අංශ භාර ප්‍රධානියා මාව ප්‍රතික්ෂේප කළා.

මා හිතන්නේ මගේ රේඛා චිත්‍ර ප්‍රදර්ශනය ඒ හරහා මගේ දක්ෂතාව සහ අංශ ප්‍රධානියාගේ අදක්ෂකම ප්‍රදර්ශනය වුණා. සිසුන් ඒ බව දැනගත්තා. අනතුරුව නැවත බඳවාගන්නා සම්මුඛ පරීක්ෂණයේදී මාව ප්‍රතික්ෂේප වුණා.

l ස්වභාවී චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමේ මූලික අරමුණ?

මේ මගේ තුන්වැනි ප්‍රදර්ශනය. මූලික දේ මා වැනි පුද්ගලයෙක් ඉන්නවා කියන සංඥාව දෙන්න. මගේ වෘත්තිය චිත්‍ර කලාව ;මා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක්;චිත්‍රයෙන් ජනතාව දැනුවත් කරන ගමන් චිත්‍රය විකුණාගන්න මට අවශ්‍යයි. මේ කාරණා සඳහායි මා චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්නේ.

l චිත්‍ර ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂත්වය?

වර්තමානයේ නගරාශ්‍රිතව ජීවත්වන පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික වටිනාකමක් ලබා දෙන්නත් මේ ප්‍රදර්ශනයෙන් මා බලාපොරොත්තු වෙනවා.

l ඔබ චිත්‍රය සඳහා භාවිතාවට ගන්නා ශෛලිය?

ස්වභාවිකත්වයට මා ගොඩාක් කැමතියි. එය මුල්කරගෙන තමා චිත්‍රය ඇන්දේ. එහෙත් යම් පාරිභෝගිකයකුගේ අවශ්‍යතාව මත ශෛලිය වෙනස් කර චිත්‍රය නිර්මාණය කරනවා.

l ඔබගේ මාධ්‍ය?

වර්ණ චිත්‍ර සඳහා තෙල් සායම්, ඇක්‍රලික් රේඛා චිත්‍ර සඳහා පෑන භාවිතා කළා. ඊට අමතරව චිත්‍රසඳහා දියසායම් උපයෝගි කරගත්තා.

l ඔබ ඡායාරූප කලාවෙත් නියැලෙන්නෙක්. ඡායාරූපය චිත්‍රයට වැදගත් වෙන්නේ කෙසේද?

චිත්‍ර ශිල්පියෙක් යමක් ප්‍රකාශ කිරීමට වර්ණ හරහා ආලෝකය භාවිතා කරනවා. ඒ ආලෝකය පිහිටන ක්‍රමවේදය ගැන අවබෝධයක් ලබාගැනීමට ඡායාරූප කලාව ඉතා වැදගත්.

අනුසාර මාහිංගොඩ

කෘෂිකර්මාන්තය ආර්ථික බර කරට ගනියි

$
0
0
ජුනි 19, 2018 01:00

මේ වනවිට 2018 වසරේ හරි අඩක් ගෙවීමට ආසන්නය. ඒ සඳහා තව ඇත්තේ දෙසතියකි. පසුගිය කාලය දෙස හැරී බලනවිට 2018 ශ්‍රී ලංකා ආර්ථිකයේ සතුටුවිය හැකි අංශ ගණනාවක් වාර්තා වේ.

ලෝක ආහාර සංවිධානය කල්වේලා ඇතිවම කියා සිටියේ 2018 වසරේ කෘෂිකර්මාන්ත අංශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට එන බවයි. කාලගුණ විපත් සහ තවත් හේතූන් නිසා 2017 කෘෂිකර්ම අංශය පහත වැටුණු නමුත් පසුගිය මාස් කන්නයේ ප්‍රතිඵල අනුව කෘෂිකර්මාන්ත අංශයේ වර්ධනයක් සිදුව තිබේ.

ලෝක ආහාර සංවිධානය මාර්තු 08 වනදා නිකුත් කළ වාර්තාවක් මඟින් කියා සිටියේ මාර්තු මැද භාගයේ සිට යහපත් වර්ෂාපතනයක් ලැබීම නිසා 2018 මහ අස්වනු ඉහළ යන බවයි. සෙසු ධාන්‍ය වර්ග 2018 දී අපනයන කර ගැනීමට සිදුවිය හැකි යැයි ද, සහල් ටොන් 500 000 ක් 2018 වසරේදී ආනයනය කර ගැනීමට සිදුවනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කර තිබුණි.

2018 මහ වී අස්වැන්න 2017 ට සාපේක්ෂව සියයට 62කින් ඉහළ ගොස් එය මෙ.ටොන් දසලක්ෂ 2.4 දක්වා වර්ධනය වනු ඇත. වී වගාව සඳහා යටවූ බිම් ප්‍රමාණයද හෙක්ටයාර් 643161 දක්වා ඉහළ ගියේය. 2016/17 මහ කන්නයේදී වපුරන ලද බිම් ප්‍රමාණය වූයේ හෙක්ටයාර 542556 ක් පමණි.

මාස් කන්නයේ වී නිෂ්පාදනය මාස 7 ½ක පරිභෝජනයට සෑහෙන බවටද ගණන් බලා තිබේ.

දේශීය නිෂ්පාදනය අඩුවෙත්ම ඒ හිදැස පිරවීම සඳහා ආනයනය සඳහා යොමුවීම සාමාන්‍ය වෙළෙඳ පොළ ස්වභාවයයි. ආනයනය සහ අපනයන අතර තරගයෙන් අපනයනයේ පසුබෑම වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත්ය. පසුගිය වසරේ දේශීය ආහාර නිෂ්පාදන කඩාවැටීම නිසා සහල්,ලොකු ලූනු හා අර්තාපල් ආදිය සඳහා විදේශ විනිමය වැයකොට එම භාණ්ඩ රටින් ගෙන්වීමට විශාල ජාතික ධනයක් වැය කිරීමට සිදුවිය.

ආනයන වියදම පහළට

දැනට ඇස්තමේන්තු කර ඇති අන්දමට මාස් කන්නයේ නිෂ්පාදන ඉහළ මට්ටමකට පැමිණීමෙන් මේ 2018 අවුරුද්දේ ආනයන වියදම අඩු වෙනු ඇත. ඒ සඳහා අමතර වියදමක් දැරීමට සිදුවන්නේ නැත. යල කන්නයේ නිෂ්පාදනයත් එක් වූ විට ආනයන වියදම තවත් අඩුවනු ඇත. ආහාර ද්‍රව්‍ය සඳහා මෑතකදී පනවනු ලැබූ බදු ද මේ ආනයන වියදම අඩුකිරීමට හේතුවේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගණන් බලා ඇති අන්දමට බඩ ඉරිඟු, අමුමිරිස් සහ අර්තාපල් මාස් කන්නයේ අස්වැන්න ඉහළ යනු ඇත. ලොකු ලූනු නිෂ්පාදනය සඳහා නව සැලැස්මක් දැනටම ක්‍රියාත්මක වේ.

බඩඉරිගු නිෂ්පාදනය වැඩිවීම ආර්ථික වශයෙන් අංශ කීපයකින් වැදගත්ය. 2015 වර්ෂයේ බඩඉරිඟු නිෂ්පාදනය එහි උපරිම මට්ටමේ ප්‍රශස්ථ මට්ටමකට ළඟා විය. 2015 වගාකළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 69971 ක් වූ අතර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 261100 දක්වා ඉහළ ගියේය. එහෙත් 2016 වගාකළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 67700 දක්වා අඩුවී, අස්වැන්නද මෙට්‍රික් ටොන් 2,44000 දක්වා අඩුවිය.

බඩඉරිඟු නිෂ්පාදනය සත්ත්ව ආහාර නිෂ්පාදනය සමඟ ඍජුවම සම්බන්ධ වේ. පශු කර්මාන්තයේ දියුණුව සමඟ සත්ත්ව ආහාර නිෂ්පාදනයද වැඩිකළ යුතු වේ. කුකුළු පාලනයේ නිරතවූවන්ගේ සංවිධාන මෙන්ම, සත්ත්ව ආහාර නිපදවන ආයතනද බඩඉරිඟු නිෂ්පාදනය වැඩිකරන මෙන් හඬ නැඟූහ. සත්ත්ව ආහාර නිෂ්පාදකයන් කියා සිටියේ සිය නිෂ්පාදන සඳහා සියයට 70ක් අමුද්‍රව්‍ය වන්නේ බඩඉරිඟු බවයි. කුකුළු මස් පරිභෝජනය වැඩිවන අතර කුකුළු පාලනය ජනප්‍රිය ස්වයංරැකියා මාර්ගයක් ද වන නිසා සත්ත්ව ආහාර සුලබ කිරීමට ඇති ප්‍රධාන බාධාව ‍බඩඉරිඟු නිෂ්පාදනය අඩුවීම යැයි කී ඔවුහු දේශීය නිෂ්පාදනය අඩුවීම නිසා බඩඉරිඟු ආනයනයට විශාල මුදලක් වැයවන බවද පෙන්වා දුන්හ. ඔවුනගේ ඇස්තමේන්තුවලට අනුව වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙ.ටො. 400000 – 450,000 අතර ප්‍රමාණයකි. මෙවැනි පරිසරයක බඩඉරිඟු නිෂ්පාදනය වැඩිවීම වාසියකි. බඩඉරිඟු වවන ගොවි ජනතාවගේද මැසිවිල්ලක් තිබේ. ඔවුන් පවසන්නේ බඩඉරිඟු බීජ කිලෝවක මිල රුපියල් 7000 ක් පමණ වන බවයි. දේශීය සමාගම් කීපයක් ද බඩඉරිඟු නිෂ්පාදනයේ නිරතවන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද නව බීජ ප්‍රභේද හඳුන්වා දෙමින් බීජ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ නිරතව සිටී. උදාහරණයක් ලෙස කිවහොත් හෙක්ටයාරයකින් මෙ.ටොන් 5.5 - 6.5 අතර අස්වැන්නක් ලබාදෙන MI MAIZE HYBRID 02 යන නව බඩඉරිඟු ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ.

බඩඉරිඟු ආනයනය 2016 දී මෙ.ටොන් 51000 ක් වූ අතර 2017 ආනයනය මෙ.ටොන් 1,91000 කි. දේශීය බඩඉරිඟු නිෂ්පාදකයන් පවසන්නේ ඔවුනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම වගාව අධෛර්යමත් කරවන්නක් බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 14 වනදා නිකුත් කළ වාර්තාවකට අනුව 2018 ජනවාරි - අප්‍රේල් කාල සීමාව තුළ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් දසලක්ෂ 101.74 කි. එහෙත් 2017 එම කාල සීමාව තුළ නිෂ්පාදනය කිලෝ දස ලක්ෂ 99.77 කි. තේ අපනයන ආදායම ඇ.ඩොලර් දසලක්ෂ 1313 කි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.5 ක වැඩිවීමකි.

සිව්වසරක් තිස්සේ කඩා වැටුණු තේ නිෂ්පාදනය සියයට 5.2 ක වේගයෙන් වර්ධනය වූයේ 2016 වසරේය. පවතින යහපත් කාලගුණික තත්ත්වය හමුවේ තේ නිෂ්පාදනය දිගටම වර්ධනය වෙමින් තිබේ. එසේම ජාත්‍යන්තර තේ මිල ඉහළ යෑමේ ප්‍රවණතාව ඇරැඹුණේ 2016 අවසාන කාර්තුවේ සිටය. ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය සහ ඉන්දියාව, වියට්නාමය සහ මොම්බාසා තේ මෙන් වෙන්දේසියේ ක්‍රියාකාරිත්වය මෙරට තේ කර්මාන්තයට ඍජුවම බලපෑම් ඇති කරයි. එසේම ලෝක තෙල් නිෂ්පාදන රටවල ආදායම් තත්ත්වය හොඳ අතට හැරෙත්ම තේ ඉල්ලුම වැඩිවෙයි. ජාත්‍යන්තර වශයෙන් තේ වෙළෙඳාමට සුදුසු වාතාවරණයක් ගොඩනැඟීම ද තේ ප්‍රචාරණය තීව්‍ර කිරීමද තේ කර්මාන්තයේ වාසියට හේතු විය.

2016 දී කුඩා තේ වතු හිමියකුට තේ දලු කිලෝවක් සඳහා ලැබුණේ රුපියල් 68 ශත 53ක මිලකි. එහෙත් මේ වනවිට එය රුපියල් 100ට ආසන්නය. ලංකාවේ තේ නිෂ්පාදනයෙන් සියයට 73ක්ම ලැබෙන්නේ කුඩා තේ වතු හිමියන්ගෙනි.

සංචාරක කර්මාන්තය සහ විදේශ රැකියා ප්‍රේෂණ යන ඉපැයීම් අංශ දෙකම මේ වසරේ මුල් කාර්තුවේ ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. 2018 මැයි මාසය දක්වා වන පස්මාසය තුළ සංචාරක පැමිණීම 2017 එම කාල සීමාවට සාපේක්ෂව සියයට 14.7 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

සංචාරක ආකර්ශනය

2018 ජනවාරි - මැයි කාල පරාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1017819 කි. 2017 ජනවාරි - මැයි කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයනගේ සංඛ්‍යාව 887093 කි. එසේම 2018 මුල් මාස 5 තුළ එමඟින් උපයන ලද ආදායම රුපියල් බිලියන 293.4 කි. 2017 මුල් මාස 5 තුළ එමඟින් උපයන ලද ආදායම රුපියල් බිලියන 248.7 කි.

2018 වසර තුළ දිවයිනට පැමිණි සංචාරක පිරිස අතරින් වැඩිම සංඛ්‍යාව ඉන්දියාවෙනි. චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය පිළිවෙළින් සෙසු රටවල්ය.

විදේශ රැකියා ප්‍රේෂණ අංශයේ ඉපැයීම් අනුව 2018 ජනවාරි - අප්‍රේල් කාලය තුළ ලබන ලද ආදායම රුපියල් බිලියන 390.7 කි. 2016 ජනවාරි - අප්‍රේල් ඉපැයීම රුපියල් බිලියන 362.2 කි. මේ අනුව සියයට 7.9 ක ඉපැයීම් වර්ධනයක් වාර්තාවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉකුත් 14 වන දින නිකුත් වූ සතිපතා වාර්තවෙන් කියැවේ.

සංක්‍රමණික ශ්‍රමිකයන් බඳවාගැනීම අඩු කිරීමේ නව ජාතික ප්‍රතිපත්තියක් සඳහා මැද පෙරදිග රටවල් ක්‍රියාකරගෙන යයි. ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ ඉපැයීම 2018 වැඩිම තිබෙන්නේ එවැනි පසුබිමක් යටතේය.

2018 වසරේ මුල් කාර්තුවේ අපනයන ආදායම ද වැඩිවී තිබේ. මුල් කාර්තුවේ අපනයන ආදායම ඇ.ඩොලර් දසලක්ෂ 2988 කි. එය 2017 වසරේ මුල් කාර්තුවේ ආදායමට සාපේක්ෂව සියයට 7.7 ක වර්ධනයකි. එම කාර්තුවේ කර්මාන්තමය අපනයනය ගෙනා ආදායම ඇමෙරිකා ඩොලර් දස ලක්ෂ 2322 කි. එය 2017 පළමුවන කාර්තුවට සාපේක්ෂව සියයට 10.2 ක වර්ධනයකි. ඇඟලුම් අපනයනය සියයට 4.1 වර්ධනයක් වාර්තාකරමින් ඇමෙරිකා ඩොලර් දසලක්ෂ 1329 දක්වා වර්ධනය ව තිබේ.

2018 පළමු තුන් මාසය තුළ මුහුදු ආහාර (SEA FOOD) අපනයනය මෙට්‍රික්ටොන් 7174.8 කි. එමඟින් උපයාගත් ආදායම රුපියල් දසලක්ෂ 11804 කි. මුහුදු ආහාර සකස් කිරීමේ කර්මාන්තශාලා සංඛ්‍යාව 34 සිට මේ වනවිට 68 දක්වා වැඩිව තිබේ.

විවිධ ඛනිජ වැලි සඳහා අද ලෝක වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක් පවතී. ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවසායයකි.

එම සමාගම ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 25000 ක් විකිණීම සඳහා මිල ගණන් කැඳ වූ අතර මෙට්‍රික් ටොන් එකක් ඇ.ඩොලර් 145.25 බැගින් එම ඉල්මනයිට් තොගය ඩුබායි හි RESCOM MINEL TRADING සමාගමයට විකිණීමට විකිණීමේ යෝජනාවකට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මේ ඉපැයීමද 2018 අපනයන ආදායමට එකතු වේ.

කරුණාරත්න අමරතුංග

ඔබ වෙත කරුණාවෙනි,

$
0
0
ජුනි 19, 2018 01:00

ඔබ කියනා ලෙසට ඔබ පෙනී සිටින්නේ බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ය. සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් ය.

මේ දෙක එකවිට කරන්නේ කෙසේ දැයි මට මුලින්ම එන ප්‍රශ්නය මම නොනගා නවතින්නෙමි. මට අවශ්‍ය ඔබ සමග දාර්ශනික සංවාදයකට පැටලීමට නොවේ. දාර්ශනික සංවාදයකට ඇති සංයමය ඔබ කෙරෙන් කිසිදා මම දැක නැත්තෙමි.

දහමේ වෙසෙන්නා දහමෙන්ම ආරක්ෂා කරන බව කීවේ බුදුන් වහන්සේ ය. එහෙව් දහමකට බලසේනාවක ආරක්ෂාව අවශ්‍ය දැයි යන ප්‍රශ්නය ඔබගේ සැහැසි වාග් ප්‍රහාර වලින් සහ ඔබට සහය දෙන අයගේ උත්තර වලින් බොරු කර ඇතැයි ඔබ සිතන නිසා ඒ ගැන ද කතා කිරීමට මම අදහස් නොකරමි.

සැහැසි වචන හා මැර බලය සරණ ගිය ඔබ සමග කතා කිරීමම වැඩක් ඇති දෙයක් දැයි මට විටෙක සිතේ. එහෙත් තමන්ගේම මතයක් නැති මිනිසුන් ඔබේ හඩ ඉදිරියේ ගාල් වෙනු දකින විට ඒ වැඩක් නැති කතාව කළ යුතු යැයි මට සිතිණි.

ඔබ අනුයන සමහරු ඔබගේ හැසිරීම මුළුමනින් අනුමත නොකරති. එහෙත් ඔබ පෙනී සිටින්නේ යහපත් අරමුණක් වෙනුවෙන් නිසා ඔබෙන් නිතර ගි‍ලිහෙන පරුෂ වචන සහ ඔබගේ මැර හැසිරීමට සමාවක් දීමට ඔවුන් සූදානම් ය. ඔවුන් නොදන්නා සහ අමතක කරන කාරණය නම් බුදුන් අරමුණ පමණක් නොව එය කරා යන මාවත ද යහපත් විය යුතු යැයි විශ්වාස කළ කෙනෙකු බව ය. ඒ බව ඔවුන්ට අමතක කරවන්නට හැකිවීමම එක් අතකට ඔබගේ ජයග්‍රහණයක් බව අපට පිළිගන්නට සිදු වේ.

තමන් ආගම රකින්නට යන්නේ ආගමට විරුද්ධ වීමෙන් බව නොදන්නා තරමට ඔබ අනුයන මිනිසුන්ගේ බුද්ධිය මොට කිරීමට ඔබට හැකිවීම ද ජයග්‍රහණයක් බව ඇත්ත ය.

ශබ්දයම ශක්තිය වීම

ඔබ ඒ සදහා භාවිතා කරන්නේ බොරුව හා අර්ධ සත්‍යයන් ය. බොරුවටත් වඩා අර්ධ සත්‍යයන් ය. ඒවා මහා හඩින් කී විට ඒවාට බලයක් ලැබෙතැයි යන ඔබේ උපකල්පනය නිවැරදි ය. මිනිස්සු සද්දයට බය ය. සද්දයට ආසා ය. සද්දයම ශක්තිය වෙන, බලය වෙන, වටපිටාවක බුද්ධියට ඉඩක් නැත. සිතන්නට ඉඩක් නැත. ඒ සද්දයම, බලයම, ඔවුන්ට පිහිට වෙතැයි ඔවුන්ට හැගී යාම ඔබගේ තව ජයග්‍රහණයකි.

ඒ සද්දයම, බලයම, ඔබගේ වැඩ පිළිවෙළට විරුද්ධ මිනිසුන් පවා නිහඩ කරවන්නට ද හේතුවක් වී ඇත.

එකම දේ නැවත නැවතත් කීමෙන් බොරුව පවා ඇත්ත වෙන බව ද ඔබ දනී. මනෝ විද්‍යාවේ මිනිසුන් මුලා කිරීම සම්බන්ධයෙන් ඇති සියළු උපා ඔබගේ වැඩ පිළිවෙළ ඇතුළේ දැකිය හැකි ය.

මිනිස්සු තමන්ව අනෙකා විසින් යටපත් කරනු ලැබේ යැයි නිරන්නතර බියකින් පෙ‍ළෙති. පරිණාමයේ ශේෂයක් හැටියට පවතින ඒ බිය ඔබ විසින් තුච්ඡ ලෙස ප්‍රයෝජනයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කිව යුත්තේ මෙසේ කරන ලද එකම බලවේගය ඔබ නොවන බව ය. ඉතිහාසය පුරා මතුවුණු එවැනි බලවේග අපි රට ඇතුළත ද වෙනත් රටවල ද දැක ඇත්තෙමු.

ඔබ විරුද්ධවන වත්මන් මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් ද ප්‍රයෝජන ගනු ලබන්නේ ඒ බිය යි. ඒ කාරණය ගෙන බැලූ කල පැහැදිලිව හෙලිවන කරුණ නම් ඔබ විරුද්ධ වන එම මුස්ලිම් අන්තවාදී සංවිධාන ද ඔබේම නිවුන් සොහොයුරන් බව ය. ඔවුන් ඔබගෙන් බොහෝ වෙනස් නොවේ. වෙනස් වනවා නම් ඒ ඔවුන් පක්ෂපාතිත්වය දරණ ආගමික ලේබලයෙන් හා ඒ වෙනුවෙන් ඔවුන් පෙන්වන මෘග භාවයෙන් පමණ ය.

ඔවුන්ගේ වැඩ පිළිවෙළ ඔබව ශක්තිමත් කරන අතර ඔබේ වැඩපිළිවෙළ පෙරලා ඔවුන්ව ශක්තිමත් කෙරෙන අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටියෙමු.

ඔබ සියල්ලන් අපව ගෙන යන්නේ යුද්ධයට ය. හිංසනයට ය. එකිනෙකාට එරෙහි ගහ මරා ගන්නා අනාගතයකට ය.

අපි ඔබට විරුද්ධ වන තරමටම අනෙත් අන්තවාදී සංවිධානවලට ද විරුද්ධ වන්නෙමු. ඒවාට ඔබ විසින් අනියමින් ලබා දෙනු ලබන ශක්තිය අඩ ණ කිරීමට නම් ඔබව ද හෙලිදරව් කර දුර්වල කළ යුතු ව තිබේ.

වෛරයට පිළිතුරු වෛරය නොවන්නා සේම අන්තවාදයට පිළිතුර තවත් අන්තවාදයක් නොවේ.

සෑම ආගමකම සැබෑ පණිවුඩය සාමය හා සහජීවනයයි. එසේ වුව ද ආගමික අන්තවාදීන් විසින් එය විකෘති කොට එහි ප්‍රතිපක්ෂය ඉදිරියට ගෙන වුත් තිබේ. ඔබ ඊට තවත් එක් උදාහරණයක් පමණ ය.

නාසිවාදය ජර්මනිය සිය අණසකට ගත්තේ ය. මුළු ලෝකයම යුද පිටියක් කළේ ය. එ‍් තරමට එහි ශක්තිය වැඩි ගොස් තිබුණේ ය. එහෙත් අවසා‍නයේ එය පරාජය විය. වෛරය හා මැරබලය මත පදනම් වන සියලු අන්තවාදී සංවිධාන ද හිටි හැටියේ වර්ධනය වීමට සමත් විය හැකි නමුදු වැඩි දිනක් නොයාම අභාවයට පත්වන්නේ ය. ප්‍රශ්නය ඇත්තේ ඒ පවතින කෙටි කල තුළ මහා විනාශයක් කිරීමට ඊට හැකියාව ලැබීම ය. ඒ නිසා හැම ආගමකම සිටින බැතිමතුන්ගේ යුතුකම වන්නේ තමන්ගේ ආගමේ මුවාවෙන් වෛරය බිය හා සැකය පැතිරවීමට අන්තවාදීන්ට අවස්ථාවක් නොදීමට ඉටා ගැනීම ය.

සත්‍යය මිනිසුන් විසින් සොයා ගත යුතු අවබෝධ කරගත යුතු එකක් මිස ඔවුන් මත බලහාත්කාරය ‍යොදා පැටවිය යුතු දෙයක් නොවන බව තේරුම් ගැනීමට තරම් මිනිසා දියුණු වී ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. තවදුරටත් නොදියුණු ළිංමැඩියන්ට මේ දියුණු ලෝකයේ පිනුම් ගැසීමට ඉඩ දීම අපට තරම් නොවේ. ඔවුන් ලෝකයට සිය පණිවුඩ ගෙන එන්නේ මොන ළි‍ඳෙන් ද යන්න නොසළකා ඔවුන්ගේ පටු පණිවුඩ හෙළිදරව් කිරීම අපේ යුතුකම ය.

ඒ නිසා ඔබ අසන්නට සූදානම් වුවත් නැතත් ඔබේ වෛරී වැඩ පිළිවෙළ අපට හැකි අයුරින් අපි හෙලිදරව් කරන්නෙමු. අප ආදර්ශයට ගෙන මුස්ලිම් භක්තිකයන් ද වෙනත් ආගමිකයන් ද ඔවුන්ගේ ආගමික අන්තවාදීන් හෙලිදරව් කරනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

ඔබේ ඔය පාපකාරී වැඩ පිළිවෙළ අතැර බුදුදහමේ චිරස්ථිතිය පිළිබඳ සැබෑ වැඩපීළිවෙළකට පැමිණෙන්නේ නම් අපේ සහයෝගය ඔබට ලබා දීමට ද කැමැත්තෙමු.

අප කුඩා කල අපේ මාපියන් පාරේ වඩින සංඝයා වහන්සේ නමක් පෙන්වා අපට කියා සිටියේ ඒ නිවුණු චරිතය අනුගමනය කරන ලෙස ය. දැන් මාපියන්ට සිදු වී ඇත්තේ රූපවාහිනියේ දිගහැරෙන චීවරධාරීන්ගේ අසැබි ආවේගාත්මක මැර හැසිරීම බලා සුසුම් හෙලන්නට ය. ළමයින් ඒ විසූක දස්සණ නොබලන බවට වග බලා ගැනීමට ය. කොටු දැමිය යුත්තේ මත්පැන් හා දුම් වැටිවලට නොව මේ අසභ්‍ය රංගනයන්ට යයි කියන මාපියන් අපට කොතෙකුත් මුණ ගැසී ඇත. ඒ ඔබ විසින් සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් ගොඩ නගා ඇති ප්‍රතිරූපයයි. ඔබගේ හැසිරීමෙන් ආදර්ශ ගන්නා ළමයි පමණක් නොව වැඩිහිටියන් ද කල්පනා කරනු ඇත්තේ ප්‍රශ්න විසඳන බෞද්ධ මාර්ගය වැටී ඇත්තේ කුණුහරුප, පරුෂ වචන හා මැරබලය හරහා බව ය. අද දවසේ සමාජය පුරා පැතිරී යන හිංසනය හා මැර ක්‍රියාවලට ඔබගේ නොමද දායකත්වය ද හේතු සාධක වී තිබේ. එසේ කල්පනා කරන කල අප ඉහත කරන ලද ඉල්ලීම විහිළුවක් වන්නට හොඳටම ඉඩ තිබේ. කෙරෙන නොකෙරෙන බව නොසළකා එ‍වන් ඉල්ලීමක් කළේ පුංචි හෝ ඉඩක් ඉතිරිව තිබේ නම් එය පිරික්සන්නට ය. අඩුවශයෙන් ඔබ සමග එක්වී සිටින වඩා මධ්‍යස්ථ හා කල්පනා කළ හැකි පිරිස් අමතන්නට ය.

කෝපය පිටකරන හැටි

ඔබේ හැසිරීමෙන් ඇති වූ සාධාරණ කෝපය බොහෝ අය විසින් පිට කර හරිනු ලබන්නේ ඔබේ හැසිරීමේම ප්‍රතිබිම්භය බවට පත්වීම හරහා ය. ඔවුහු එක්කෝ ඔබේ සංවිධානය තහනම් කරන ලෙස යෝජනා කිරීමට නැත්නම් ඔබේ සංවිධානයේ ඉන්නා දුර්වල වැරදි සහගත පුද්ගලයන් කීප දෙනෙකුගේ වංචා දූෂණ අක්‍රමිකතා හෙලිදරව් කිරීම හරහා ඔබට පහර ගැසීමට සූදානමින් සිටින්නෝ ය.

පණිවුඩයට මිස පණිවුඩකාරයාට පහර දීම අපගේ ප්‍රතිපත්තිය නොවන්නේ ය. ඔබට විරුද්ධවීම සදහා ඔබේ මට්ටමට වැටීම ද අපට අපුල ගෙන දෙන කාරණයකි. කෝපය මත පදනම්ව ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම ද අපි ප්‍රතික්ෂේප කරමු. ඒ නිසාම ඔබට විරුද්ධ වීමේ අපේ ක්‍රියාමාර්ගය තුළ මේ කිසිවක් නැත.

මෙය වඩාත් පැහැදිලි කළ යුතු කාරණයකි. පණිවුඩයට පහර නොදී පණිවුඩකාරයාට පහර දෙන බොහෝ දෙනෙක් එසේ කරන්නේ පණිවුඩයට පහර දීමට ඔවුන්ට නොහැකි නිසා වෙනි. අපට එවැනි බැරිකමක් නැත.

පණිවුඩයට පහර නොදී පණිවුඩය ගෙනෙන්නාට පහර දීමෙන් වන්නේ ඔහුගෙන් ගිලිහෙන පණිවුඩය තව කෙනෙකු විසින් අහුලා ගැනීම ය. ඒ නිසා එහි ඇත්තේ කෙටි කාලීන අගයක් පමණකි. අපට අවශ්‍ය ඔබේ සංවිධානය පරාජය කිරීමට නොව එය ගෙනෙන නිහීන මතවාදය පරාජය කිරීමට ය. අපට අවශ්‍ය තාවකාලික ජයග්‍රහණයන් නොව කල්පවතින ජයග්‍රහණයන් ය.

ඒ නිසා කිසිවෙකු ඔබේ සංවිධානය තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් අපි ඊට එරෙහි වෙමු.

අවසාන වශයෙන් ඔබේ මෑතක ක්‍රියාපටිපාටිය ගැන සදහනක් කිරීමට කැමැත්තෙමු. ඒ රටේ නම වෙනස් කිරීමට ඔබ විසින් යෝජනා කරනු ලැබ තිබීම ය. ජාතික කොඩිය වෙනස් කිරීමට යෝජනා කරනු ලැබ තිබීම ය.

වුවමනාව පැහැදිලිය

ඒ දෙකින්ම ඔබට වුවමනා කර තිබෙන්නේ වෙනත් ජාතීන් බැහැර කර තැබීමට ය. ඔවුන් සිංහලයින්ට යටත් දෙවැනි පුරවැසියන් කොටසක් බවට පත් කිරීමට ය. ඔවුන් කෙරෙහි ආධිපත්‍ය පතුරන්නට ය. රටම සිංහලයන් වෙනුවෙන් අල්ලා ගැනීමට ය.

අපට නම් රට අල්ලා ගත යුතු භූමියක් නොවේ. ආධිපත්‍ය පැතිරිය යුතු භූමි භාගයක් ද නොවේ.

අපට නම් එය කුවේණිගේ පරපුරෙන් එන අයටත් විජයගේ පරපුරෙන් එන අයටත් වැද්දන්ගේ පරපුරෙන් එන අයටත් මෙහි දැන් පදිංචිකරුවන්ව සිටින වෙන රටක උරුමයක් නැති සියලු දෙනාටමත් සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත්වන්නට හැකි පොළොවේ තිබෙන තවත් එක් භූමියකි.

සැම එක්ව ගොඩනගන අනාගතය

ඒ හැම එක්වී ගොඩ නගන අනාගතයක් වෙනුවෙන් රටක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

එසේ කියන අපට දමා ගසන එක් සුවිසල් ආයුධයක් තිබේ. ඒ අප නිවට බව ය. බිය බව ය. ඔබ භාවිතා කරන පිළිකුල් භාෂාවෙන් කියන්නේ නම් අප පොන්නයන් බව ය.

ශක්තිමත් මිනිසුන් නිබය මිනිසුන් පාරම්බාන්නේ නැත. පුප්පන්නේ නැත. ඔවුන්ට තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් තිබේ. බල්ලන් උදාහරණයකට ගන්නේ නම් වැඩියෙන් බුරන්නේ උන් අතරින් හොඳටෝම බය උන් ය. බුරන බල්ලෝ හපා කන්නේ නැත. ඒ නිසා ඒ ආයුධය භාවිතා කිරීමෙන් වැඩක් නැත.

අපට වැදගත් වන්නේ රටේ නම නොවේ. රටේ නමට ලැබෙන ප්‍රතිරූපයයි. විරූපි කතකට සුරූපි යයි නමක් දැම්මාට වැඩක් නැත. ඒ අර්ථයෙන්ම වැඩවලින් ද වචනයෙන් ද හැසිරීමෙන් ද රට බුදුන්ගේ දේශයක් ලෙස නොපෙනේ නම් මේ බුදුන්ගේ දේශය යයි එය නම් ක‍ළාට වැඩක් නැත. එසේ කළ විට අවමානය බුදුන්ට ය.

ආඩම්බරයෙන් මේ අපේ රට යැයි කිව හැක්කේ එහි විසූක දස්සන නැත්නම් පමණකි.

රටක ප්‍රතිරූපය තිරණය වන්නේ රට සහ එහි වැසියන් පෙනී සිටින ආචාර ධර්ම වලිනි. එහි මිනිසුන්ගේ ආචාරශීලිත්වයෙනි. ඒ මිනිසුන්ගේ වචනයෙන් ද ක්‍රියාවෙන් ද ලොවට පෙන්වන ඔවුන්ගේ චරිතයෙනි. ඒවා විපරීත වී නමින් රටේ නම සුපිරි වීමෙන් පළක් නැත.

රටේ නම නොව ඔබ සංවිධානයේ නම වෙනස් කිරීම ගැන ඔබේ අවධානය යොමුවනු ඇතැයි අපි සිතමු. මක්නිසා ද යත් රටේ වත්මන් නම වූ ශ්‍රී ලංකාව නිසා සිදුවන විනාශයක් නැතත් අති විශාල විනාශයක් රටටත් ආගමටත් ඔබේ සංවිධානයේ නම – බොදු බල සේනා – නිසා සිදුවන නිසා ය.

බටහිර ලෝකයේ වඩාත් වැඩියෙන් පැතිරෙන ආගමක් වෙයි නම් ඒ බුද්ධාගම ය. ඔබේ ක්‍රියාකාරිත්වයෙන් විය හැකි එකම දෙය එය අඩාල වීම ය. ඔබේ නම ඒ සඳහා අතිරේක තිරිංගයක් වී ඇති බව ඔබ සංවිධානය සම්බන්ධයෙන් වෙනත් රටවල පළවන මාධ්‍ය වාර්ථාවලින් මොනවට පෙනේ. ඔබ ඉටුකරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් දැයි යන සැකය ඒ නිසාම බොහෝ දෙනා තුළ පහළ වී තිබේ.

ඔබ සම්බන්ධයෙන් ලියන්නට ඇති දේ ලිපියකින් ගොනු කිරීම අමාරු ය. ඒ සඳහා පොතක් ලිවිය යුතු ය. තේරුම් ගන්නා කෙනෙකුට පොත් ලියන්නට වුවමනා නැත. තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකුට පුස්තකාලයක් පිරෙන්නට ලිව්වත් වැඩක් වන්නේත් නැත. ඒ නිසා ලිපිය මෙතැනින් සමාප්ත කරමි.

අද ඔබගේ විය හැකි ය. එහෙත් හෙට දවස සැබැවින්ම අපේ ය. රැවටීමට හා මුළාවට සීමාවක් ඇති බැවිනි. ඔබට ඔබ අනුයන අබ සරණත් රටට හා ජනතාවට තෙරුවන් සරණත් අපි අවසාන වශයෙන් පතමු.

ඔබ දැන් කියවූයේ ඔබ වෙත මීට වසරකට හෝ දෙකකට උඩ දී මා විසින් ලියන ලද එහෙත් තැපැල් නොකරන ලද ලිපියකි.

ඔබට ලැබුණු අනගි අවස්ථාවක්

මෙය ලියා සෑහෙන කාලයක් ගත වුව ද එය ඔබ වෙත එවන්නට හිත දුන්නේ නැත. දැන් එළැඹ තිබෙන තත්වය යටතේ මෙය ඔබට ලබා දීම යෙහෙකැයි සිතමි. දැන් ඔබට නිදහසේ තමන්ගේ අතීත කල් ක්‍රියාව ගැන කල්පනා කිරීමට මෙනෙහි කිරීමට ඉඩ පාඩුවක් ඇති නිසා ය. කෙනෙකුට ඉගෙන ගැනීමට නම් ඔහු යා යුතු එක තැනක් විශ්ව විද්‍යාලය ය. අනික සිපිරි ගෙය ය. ඔබ මුල් ආයතනයේ ඉගෙනුම ලැබුවේ දැයි මම නොදනිමි. ඒ ආයතනවල ඉගෙනුම ලැබූවන්ගේ හැසිරීම දෙස බලන විට සිපිරි ගෙයකින් ඉගෙනීම වඩා හොඳ යැයි සිතෙන වාර ද තිබේ. ඒ කොහොම වෙතත් දැන් ඔබට දෙවැනි ආයතනයෙන් ඉගෙනීමේ අවස්ථාව ලැබී තිබේ. ඊට අමතරව නැවත හැරී බැලීමකට වේලාව ද ඉස්පාසුව ද තිබේ. ඒ නිසා මේ ලිපිය මේ මොහොතේ විශේෂයෙන් වැදගත් වෙතැයි සිතමි.

නෙල්සන් මැන්ඩෙලා සිපිරි ගෙයින් එන විට කීවේ තමන් හිර ගෙදර දොරින් නික්මෙන පටු මාවත ඔස්සේ ගමන් කරන විට තීරණයකට පැමිණියේ තමන් තුළ තිබූ වෛරය සිර ගෙදර තාප්පය තුළ රඳවා තබා යා යුතු බව ය. එසේ නොකරන්නේ නම් එලියට ගිය විට ද තමන්ට නිදහසක් නැති වන බව ය. මට ඔබට කීමට ඇත්තේ ද එය ම නොවෙතත් ඊට සමාන අදහසක් ය.

ඒ මෙතෙක් ඔබ ගත කළ පවිටු වෛරක්කාරී ජීවිතය ඔය තාප්පය ඇතුළේ රඳවා නිදහස් මිනිසෙකු හැටියට එලියට එන ලෙස ය. එසේ කිරීමට අපොහොසත් වේ නම් ගලවපු සිවුර ගලවාම තියෙන්නට හරින ලෙස ය.

නිශාන්ත කමලදාස

පාතාලයම දෙදරැම් කෑ මහ මෙහෙයුම

$
0
0
ජුනි 19, 2018 01:00

ඔබට මතක ඇති පසුගිය යුද සමය. එකල ප්‍රභාකරන්ට සමීපතම එම සංවිධානයේ නැඟෙනහිර පළාත බාර අති දක්ෂ සන්නද්ධ අංශ නායකයකු එම සංවිධානයෙන් ඉවත් වී දකුණට පලාවිත් පසුව එම සංවිධානයේ තොරතුරු ආරක්ෂක අංශවලට ලබාදුන්නේයැයි කියන සිද්ධියක් ගැන මතක ඇති. ආරක්ෂක අංශනම් එම කියමන ප්‍රතික්ෂේප කරනවා. එහෙත් මේ තවත් එවැනිම සිද්ධියක් යැයි කිවහොත් නිවැරැදියි.

අපේ ආරක්ෂක අංශ අතර සංවිධානාත්මක අපරාධ පිළිබඳ මෙහෙයුම් කොට්ඨාසය පාතාලය මර්දනය කිරීම සඳහා සුවි‍ශේෂි කර්තව්‍යයක් ඉටු කරන අංශයක්. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් හා ඍජු අධීක්ෂණය මත ලංකාවේ අපරාධ පිළිබඳ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාගේ මෙහෙයවීම මත පසුගියදා සමස්ත පාතාලය දැඩි දෙදරවීමකට ලක් කරන සුවිශේෂි මෙහෙයුමක් සිදුවුණා. මේ මෙහෙයුමට ප්‍රධාන වශයෙන්ම දායකත්වයක් ලැබුණේ තවත් ප්‍රබල පාතාල සාමාජිකයකුගේ සහයෝගයයි.

පාතාලය ආරක්ෂක අංශ නොමඟ යැවීමට බොහෝ දේ සිදුකරනවා. මේ සිද්ධිය එසේ වුණේ නැහැ. ඒ අනුව පසුගිය දිනක අපේ ඉහළම පොලිස් නිලධාරියකුට පාතාලයේ ඉහත දැක්වූ සාමාජිකයාගෙන් ඇමතුමක් ලැබුණා. ඒ ඇමතුම තුළ යම් කොන්දේසියක්ද ඇතුළත් වී තිබුණා. මොකක්ද මේ ඇමතුම . ඔහු මෙසේ කීවා. මම මධුෂ්ගේ ප්‍රධානම ගෝලයා කොටු කර ගන්න උදව් කරනවා. හැබැයි මට ඔහු සිටින තැන දැන ගන්න ඕනෑ. එනම් මේ ප්‍රධාන ගෝලයා ලෙස හැඳින්වූයේ ඉරේෂ්. ඔහු ඉරේෂ් මධුෂංක නවගමුව නොහොත් බයිලා එහෙමත් නැතිනම් පෙරේතයා කියලත් හඳුන්වනවා.

ඉරේෂ් පාතාලයේ කෑපී පෙනෙන චරිතයක් වුණේ ඔහු මෙරට සංවිධානාත්මක අපරාධ එහෙමත් නැතිනම් මත්ද්‍රව්‍ය, කප්පම්, කුලී මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු බොහෝ අපරාධවලට සම්බන්ධ ඒවා මෙහෙයවන දැනට ඩුබායිහි සිටින මධුෂ්ගේ ප්‍රධානම ගෝලයා නිසා. ඒ වගේම එවැනිම තවත් පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කාගේත් හිතවත් පාතාල සගයකු වූ නිසා ඉරේෂ්ට මධුෂ්ගෙන් පැවරුණු ප්‍රධානම කර්තව්‍යයක් තිබුණා. ඒ මෙරට මත්කුඩු ජාවාරම සහ කප්පම් ජාවාරම මෙහෙයවීම. කොල්ලකෑම්, කුලී මිනීමැරුම්වල ආදායම් ලබාගැනීම සහ ඒවායින් එන ආදායම ඩුබායිහි සිටින මධුෂ් සහ අංගොඩ ලොක්කාට යැවීම.

මේ බිස්නස් එක ඉරේස් කාලයක් තිස්සේ ගෝලබාලයොත් එක්ක එකට එකතුවෙලා මහා පරිමාණයෙන් සිදු කළා. මින් එන ආදායම කෝටි ගණන් මුදල් මධුෂ්ට සහ අංගොඩ ලොක්කාට යැව්වෙ ඉරේෂ් විසින්. ඒ මුදල් යවන සූක්ෂම ක්‍රමත් ඔවුන් අනුගමනය කළා. මත්ද්‍රව්‍ය මෙරටට එවා බෙදා හැරීමටත් ඒ වගේම සූක්ෂම ක්‍රම අනුගමනය කර තිබුණා.

මේ ආකාරයෙන් මෙරට තුළ මධුෂ් විසින් ඩුබායි සිට මෙහෙයවන අපරාධ ජාලය ක්‍රියාත්මක වෙද්දී ඒවාට ඉරේෂ් අවස්ථා ගණනාවකදීම පොලිසියට අසුවුණා.

ඉරේෂ් නොහොත් බයිලා පනාගොඩ හෝමාගම පැත්තේ ලිපිනයකත් ඉඹුල්ගොඩ පැත්තේ ලිපිනයකත් පදිංචි වී සිටියා. ඔහු‍ගේ බිරියත් දරුවාත් හැරුණුවිට තවත් අනියම් බිරියන් කිහිප දෙනකුම සිටියා. පාතාලය ඔහු පෙරේතයා ලෙස හැඳින්වූයේ ඔහු එම විෂයට ගිජු බවක් දැක් වූ නිසා.

මෙසේ හැඳින්වෙන ඉරේෂ්ට ඔහු මධුෂ්ගේ උපදෙස් මත සිදුකළ අපරාධවලට අදාළව නඩු 18ක් තිබුණා. ඉන් එක් සිද්ධියක් වුණේ 2010 ජනවාරි 23 වැනිදා හෝමාගම බැංකු කොල්ලය. 2012 මැයි 21 වැනිදා පාදුක්කේදී ගිනි අවි පෙන්වා වෙළෙඳසලක් කොල්ලකෑම, 2011 මැයි 1 වැනිදා හෝමාගමදි රන් සහ මුදල් කොල්ලකෑම, 2012 ජුනි 10 වැනිදා නිට්ටඹුවේදී මුදල් සහ සිගරට් කොල්ලකෑම, මොරටුවේදී රන් භාණ්ඩ වෙළෙඳ සලක් කොල්ලකෑම, 2011 මැයි 2 වැනිදා පිළියන්දලදී වෙළෙඳ සලක් කොල්ල කෑම, 2015 සැප්තැම්බර් 10 වැනිදා හංවැල්ලේදී මුදල් කොල්ල කෑම, කළුතරදී බැංකු දෙකක් කොල්ල කෑම, කළුතර උතුරදි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2011 හෝමාගමදී තවත් කොල්ලකෑමක් සිදු කිරීම. නැවතත් හෝමාගමදී මුදල් හා රන් අබරණ කොල්ල කෑම, පානදුර 2011 යළි මුදල් කොල්ල කෑම, 2010 යටියන්තොටදී මුදල් කොල්ල කෑම, 2012 මැයි 28 වැනිදා හෝමාගමදි මුදල් සහ සිගරට් කොල්ල කෑම, 2011 අප්‍රේල් 4 වැනිදා හෝමාගමදි යළි මුදල් කොල්ලකෑම, 2017 ජනවාරි 18 වැනිදා හෝමාගම උසාවිය අසලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2017 පෙබරවාරි 02 වැනිදා අතුරුගිරියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, මැගසින් 2 උණ්ඩ 82 පිස්තෝලයක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධින් සම්බන්ධව නඩු 18ක් පවරා තිබුණා.

මේ සෑම අපරාධයක්ම මොහු සහ ගෝලයන් විසින් සිදුකර තිබුණේ ගිනි අවි භාවිතා කර බිය ගන්වා මරණ තර්ජන සහ මිනීමැරීම් සිදු කිරීමෙන්.

මේ අතර තවත් සිතාගත නොහැකි සිද්ධියක් වුණා. හෝමාගමදී සිදු කළ අපරාධ දෙකකට විනිසුරුවරයා විසින් එක් අපරාධයකට ඇප වශයෙන් රුපියල් ලක්ෂ තිහක් සහ තවත් අපරාධයකට රුපියල් ලක්ෂ විස්සක් වශයෙන් මුදලින් ඇප නියම කර තිබුණා. මේ ඇප නියම වී සුළු වේලාවක් යන්නටත් පෙර ඩුබායිහි සිටින මධුෂ් විසින් රුපියල් ලක්ෂ පනහක් ඔහුගේ ගෝලයා අත එවා ඇප දී ඉරේෂ්ව නිදහස් කරගෙන තිබුණා. මේ ඇප නියම වුණේ අවිස්සාවේල්ල මහාධිකරණයෙන්. මේ සිද්ධියට ඉරේෂ් වසරක් විතර රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටියා. 2018 මාර්තු 20 වැනිදා තමයි මේ ආකාරයට ඉරේෂ්ට ඇප නියම වුණේ. එසේ නියම වූ ඇප කොන්දේසි අතර සෑම සෙනසුරාදාවකම අතුරුගිරිය පොලිසියටත් සෑම ඉරිදාකම හෝමාගම පොලිසියට වාර්තා කිරීමටත් මුදල්වලට අමතරව රුපියල් ලක්ෂ ගණනක ශරීර ඇප නියම වී තිබුණා.

මෙසේ ඇප ලබාගත් ඉරේෂ් ප්‍රථමයෙන්ම ගියේ පනාගොඩ ඔහුගේ නිවසට. අනතුරුව ඔහුගේ සොහොයුරෙක් සිටිනවා මහනුවර වත්තේගම ප්‍රදේශයේ. ඔහු බිරිය දරුවන් බැලීමටත් පෙර එහි ගියා. ඒ අතර ඔහුගේ අනියම් බිරියක් දිගන සිටිනවා. තවත් කාන්තාවක් නුවරඑළියේ. කාන්තා ඇසුරට පෙරේත ඉරේෂ් වැඩි මුදලක් වියදම් කළේ එම විෂයටයි.

සතියක් පමණ මහනුවර වත්තේගම ගතකළ ඉරේෂ් අනතුරුව ඉඹුල්ගොඩ සිටින ඔහුගේ බිරියත් දරුවාත් බලන්න එනවා. ටික දවසක් එහි ගතකරන ඉරේෂ් තවත් කලින් සිදුකළ අපරාධ හා සමාන අපරාධ ගණනාවක් සැලසුම් කරනවා. ඒ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ උපදෙස් මත. මධුෂ් නිරතුරුවම ඉරේෂ්ට උපදෙස් දෙනවා කරන දෙයකට ඔහු නොයා ගෝලයන් යොදා සිදුකරන ලෙස. එහෙත් තරුණයෙක් වන ඉරේෂ් එම කීම අහන්නේ නැහැ. ඔහුම ඒවාට සම්බන්ධ වෙනවා. එක අතකට ඒක ඔහුගේ හිතුවක්කාර ජීවිතයේ ආසාවක්.

ඔබට මතක ඇති 2017 වසරේදී පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් වැටලීමකට ගිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂකවරයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවීම. එහිදී පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියා. ඒ අතර අසල වෙළෙඳ සලක සිටි 11 හැවිරිදි දැරියක් මිය ගිය අතර ඇගේ සොයුරාටත් වෙඩි වැදී තුවාල වුණා. ඒ අපරාධය සිදුකර තිබුණේද ඉරේෂ් විසින්. ඒ හැර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං නමැති පාතාල නායකයා ඝාතනය කිරීම.‍ එම අපරාධයද මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ උපදෙස් මත ඉරේෂ් ඇතුළු පිරිස සිදු කළ සංවිධානාත්මක අපරාධයක්.

මේ ආකාරයෙන් නඩු 18ක් තිබුණත් වසර ගණන් හිරේ ගියත් මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ උපදෙස් මත අපරාධ සිදු කිරීම ‍ඉරේෂ් නැවැත්තුවේ නැහැ. ඔහු තව තවත් අපරාධ සිදු කළා. එදා අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප ලබා නුවර ගොස් ඉඹුල්ගොඩට එන ඉරේෂ් ඊළඟට යන්නේ රණාල පිහිටි එලිෆන්ට් හවුස් ආයතනයේ කර්මාන්ත ශාලාවක් වෙතට. එතන විවිධ කොන්ත්‍රාත් වැඩ තිබෙනවා. මේ කොන්ත්‍රාත් වැඩ බොහෝ විට පාතාල අය අතටත් යනවා. එම ස්ථානයට එන පෙට්ටි ලොරිවලින් බෑමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණේ මධුෂ් සහ අංගොඩ ලොක්කාගේ විරුද්ධ පාර්ශ්වයේ පාතාල නායක සමයංගෙන් පසු එම පාර්ශ්වය මෙහෙයවන දිනේත් මෙලාන් මාබුල් හෙවත් ඌරු ජුවා යන අය විසින්. 2015 මැයි හයවැනිදා රනාල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධව ඌරු ජුවා මේ වනවිට ඉන්නේ බන්ධනාගාරයේ. එම කොන්ත්‍රාත්තුව කරගෙන යන්නේ ඔහුගේ ගෝලයකු විසින්. ඉරේෂ් මේ ස්ථානයට ගිහින් අර ගෝලයාට තර්ජනය කරනවා මේ කොන්ත්‍රාත්තුව තමා බාර ගන්න බවට.

මේ අතර මේ සිද්ධියත් මහනුවරද තවත් මූල්‍ය ආයතන ගණනාවක් කොල්ල කන්නත් මධුෂ් ඉරේෂ්ට සැලසුම ලබා දෙනවා. මේවා ක්‍රියාත්මක කිරීමට ගෝලයෝ ටිකක් ලෑස්ති කරගෙන සිටින අතර පසුගිය මැයි මාසේ දවසක ඔහු යනවා මාතරට. ඔහු මාතරට ගොස් ‘ලොකු දෙකක්’ සහ ‘පොඩි දෙකක්’ අරගෙන එනවා. ඔවුන්ගේ භාෂාව මත ලොකු දෙක T56 ගිනි අවිය සහ පොඩි දෙක පිස්තෝලයි. මොහු මේ විදියට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මොහුගේ තවත් සගයකුගෙන් ලබාගත් මෝටර් රථයකින්. තවත් ජාවාරම්කරුවකු වූ ප්‍රභාත් සුදර්ශන් තරංග නමැති ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි අය සමඟ මේ ගිනි අවි ගෙන ඒමට යනවා. මේ ගිනිඅවි ඔහු ගෙන එන්නේ ඉහත සඳහන් කළ විදියට මහනුවර ප්‍රදේශයේ මංකොල්ල කෑමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි. මේ ආයුධ ගෙන එන ඉරේෂ් ඒ සඳහා සූදානම් වන අතරයි. සංවිධානාත්මක අපරාධ පිළිබඳ කොට්ඨාසයට අර ඉහත කියූ පාතාල සාමාජිකයාගෙන් ඇමතුම සහ තොරතුරු ලැබෙන්නේ.

අපරාධ කොට්ඨාසයත් මේ වනවිට ඉරේෂ් පසුපස යමින් තවත් බුද්ධි තොරතුරු රැසක් එකතුකර ගනිමින් සිටියා.

මේ අතර ඉරේෂ්ගේ ‍තොරතුරු එම පාතාල සාමාජිකයා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලබා දෙන්නේ හේතු කිහිපයක් මත. ඉන් එකක්‍ වෙන්නේ ඉරේෂ් විසින් දරන මධුෂ් පැවරූ ‍තනතුර මොහුට ලබා ගැනීමට. අනිත් හේතුව මධුෂ්ට ඉරේෂ් යවන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මොහුට ලබාගැනීමට. කෙසේ වෙතත් මොහු කවුද යන්න ආරක්ෂක අංශ මාධ්‍යයටවත් හෙළි කළේ නැහැ. ඉරේෂ් විසින් මෙහෙයවන මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ සැලසුම්වලින් මසකට කෝටි ගණනක් ඔවුන් දෙදෙනාට යවනවා. විශේෂයෙන් කප්පම්වලින් ඔවුන්ට විශාල මුදලක් ලැබෙනවා. අනෙක මත්ද්‍රව්‍ය, මත්කුඩු අලෙවිය රටපුරා යැවෙනවා. මේ මත්කුඩු ඔවුන් විකුණන්නේ ඊසි කෑෂ් ක්‍රමයට. ඉරේෂ්ගේ හොඳම ගෝලයා තිලින ඉන්නේ හිරගෙදර. මත්කුඩු ජාවාරමේ බෙදාහරින ගෝලයෝ ඒවා ඉල්ලන්නේ තිලිණගෙන්. තිලින ඒවාට ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් අරගෙන එම මුදල් ඉරේෂ්ට ලැබෙනවා. මත්කුඩු ලබාගන්නේ කාගේවත් අතින් නොවේ. යම් තැනක මත්කුඩු ඇති බව තිලින කියනවා. ඊසි කෑෂ් මුදල් දමා ඔහු ඒ මත්කුඩු ලබා ගත්තා. මේ ආකාරයෙන් මේ ජාවාරම ඉතාම සංවිධානාත්මකව සිදුවෙනවා. කප්පම් ගැනීමත් ඒ ආකාරයටම සිදු වෙනවා. කාලයක් තිස්සේ මධුෂ්ටත් අංගොඩ ලොක්කටත් පිටරටට මුදල් යැවුණේ මේ ආකාරයට. මේවායින් වැඩි මුදලක් ඔවුන්ට ලැබෙද්දී ඉරේෂ්ටත් ඔහුගේ ගෝලබාලයන්ටත් ඉන් ලැබුණේ සොච්චමක්. ඒත් පාතාලය ඉන් කලබල වෙන්නේ නැහැ. මුදල් නැතත් සොච්චමක් ලැබුණත් ඔවුන් ඒ අපරාධවලට යනවා. පාතාලයේ නායකයන් ගැන ඔවුන් සිතන්නේ වීරයන් විදියටයි. පාතාලයේ හැටි එහෙමයි.

මේ ආකාරයෙන් ඉරේෂ් ගැන තොරතුරු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලැබීමත් සමඟ ඔවුන් කරන්න යන ඉදිරි අපරාධ රැල්ල සිද්ධවීමට ඉඩ නොදී ඉරේෂ් කොටුකර ගන්නට සැලසුම් සකස් කළා.

මේ විදියට පොලිසිය ඔහු පසුපස ලුහු බඳින විට පසුගිය 8 වැනිදා ඔහු මාතරින් ගෙනා ආයුධත් අරගෙන තවත් ඔහුගේ ගෝලයකු වූ උපාලි සමඟ මහනුවරට යනවා. එහිදී ඉරේෂ්ගේ සොයුරාගේ ගෙදර දී 8 වැනිදා රාත්‍රි සාදයක් පවත්වනවා. ඒ සාදය තුළ සිදුවන දේ කතා වෙන සියල්ලත් පසුදිනට සිදුවන දෙයත් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය දැනගන්නවා. ඔවුන් ඒ අතර ඉරේෂ් කොටුකර ගැනීමේ සැලසුම පොලිස්පතිවරයාගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට දෙනවා. ඔවුන් ඊට අනුමැතිය දෙනවා. දැන් සියල්ල සූදානම්. ඉරේෂ් මැරීම නොව අත්අඩංගුවට ගෙන මේ මහා මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල සොයා ගැනීමටයි පොලිසියේ අරමුණ. ඒ අනුව පසුදින ඉරේෂ් කොටුකර ගැනීම පොලිසිය 9 වැනිදා උදේ ක්‍රියාත්මක කරනවා. මේ අතර ඉරේෂ් උපාලි සමඟ නුවරට යනවා. පසුව එදින දහවල් 12.15 ට විතර මොවුන් මඩවල පෙදෙසේ සිට ආපසු එනවා. මොවුන් එන්නේ NCKO-3823 හොන්ඩා හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයෙන්. වාහනය පදවන්නේ ඉරේෂ් විසින්. මොහු ළඟ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් උණ්ඩ 7ක් සමඟ තිබෙනවා. උපාලි ළඟ මිලිමීටර 3.8 රිවෝල්වරයක් සමඟ උණ්ඩ 6 ක් තිබෙනවා. තව වාහනේ ඇතුළේ හෙරොයින් ග්‍රෑම් 52 ක් තිබෙනවා.

මේ විදියට ඉරේෂ් මඩවල දෙසට එද්දී වි‍ශේෂ කාර්ය බළකාය මඟ ඉදලා වාහනේ නවත්වන්න අණ කළා. එහෙත් ඉරේෂ් රථය නොනවත්වාම ඉදිරියට වේගයෙන් ඇදී ගියා. විශේෂ කාර්ය බළකායත් මේ විදියට තවත් බාධකයක් යොදා තිබුණා. එ‍තැනදි පාර හරස් කරලයි බාධකය දමා තිබුණේ. එතැනදි වාහනය නැවැත්වීමට අණ කෙරුණා. එතැනදී වාහනය නැවැත්වීමට ඉරේෂ්ට සිදුවුණා. නමුත් ඔහු සූදානම් වුණේ විශේෂ කාර්ය බළකායට වෙඩි තැබීමටයි. ඔහු දකුණු පැත්තෙන් ගිනි අවිය අරගෙන බහිනවිට උපාලි වම් පැත්තෙන් ඔහුගේ ගිනි අවිය අරගෙන බැස්ස. ඒ ගමන්ම ඔවුන් දෙදෙනාම STF නිලධාරින්ට වෙඩි තැබීමට උත්සාහ කළා. නොමරා මොහු පණපිටින් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්. එකට අවශ්‍ය වුණත් ඔවුන්ගේ වෙඩි ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ඉරේෂ් සහ උපාලි පසුගිය නව වැනිදා වත්තේගමදී මැරුම් කෑවා.

ඉරේෂ් ඝාතනය වීමත් සමඟ පාතාලය යම් ආකාරයේ විශාල දෙදරීමකට පත්වුණා. මධුෂ්ට සහ අංගොඩ ලොක්කාටත් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ඔවුන්ට යැවෙන කෝටි ගණන් මුදල් සියල්ල මින් ඉදිරියට කරගෙන යාමට තරම් විශ්වාසවන්ත ගෝලයකු මධුෂ්ටත් අංගොඩ ලොක්කාටත් හිටියේ නැහැ. මදුෂ් ඔහුගේ සෙසු ගෝලයන් හිරබත් කද්දී රුපියල් ලක්ෂ පනහක් මුදලින් ඇප තබා ඉරේෂ් බේරාගත්තේ මේ නිසයි. මධුෂ් සහ අංගොඩ ලොක්කා මින් දැඩි කලබලයට පත් වූ බවත් සංවිධානාත්මක අපරාධ කොට්ඨාස දැනගැනීමට ලැබුණු බව මේ තොරතුරු ලබාදුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මාකඳුරේ මධුෂ්ගේ එක් ඇසකුත් එක් අතකුත් නැතිවූවා හා සමාන දෙයක් ඔවුන්ට සිදුවී ඇති බවයි. පාතාලයේ එක් අංශයක් සම්පූර්ණයෙන් කඩාවැට්ටවීමට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සූක්ෂම උපක්‍රම හරහා ක්‍රියාත්මක කිරීම තුළින් මේ ආකාරයෙන් හැකි විය.

මෙහිදී මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාට විශේෂ ස්තූතිය පළ කරමු.

සටහන- විජයානි එදිරිසිංහ


කිරි පැකට්ටුවේ විප්ලවය

$
0
0
ජුනි 20, 2018 01:00
වසන්ත ප්‍රිය රාමනායක

දේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ මෙතෙක් පවතින මන්දගාමී ස්වරූපය වෙනස් කර ගැනීමෙන් තොරව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇත.

දියර කිරි නිෂ්පාදිත, ආර්ථිකය ඉදිරියට ගමන් කරවන යම් සඵලත්වයක් ඇති කරනු ලබන දෙයක් බව පැවසේ. සාමාන්‍යයෙන් කිරි එළදෙනක් සහිත ගෘහයක් යම් පරිපූර්ණත්වයක්, වාසනාවක් ගෙන දෙනු ලබන බව අපේ පැරැන්නන් තුළ විශ්වාසයක් පැවතිණ. එය අතීතයට පමණක් නොව වර්තමානයට ද වලංගුය.

එහෙත් සමස්තයක් වශයෙන් ගත් කල වර්තමානයේ අපේ රටේ කිරි නිෂ්පාදනය පවතින්නේ ප්‍රාථමික අවදියකය. අතීතයේ දියර කිරෙන් ස්වයංපෝෂිත වූ රටක්, අද පිටරට පිටිකිරිවලින් යැපෙන තත්ත්වයකට පත්වීම ලජ්ජාසහගතය. නිදහස ලබා වසර 70ක් ගතවී ඇති නමුත් තවමත් ඊට නිසි පිළියම් සෙවීමට අප අපොහොසත්වීම කණගාටුදායකය.

වසරකට අපේ රටේ එක් පුද්ගලයකුට සිරුරේ ප්‍රෝටීන් මට්ටම පවත්වාගෙන යෑමට අවැසි කිරි ප්‍රමාණයෙන් වත්මන් නිෂ්පාදන ධාරිතාව තුළ ලබාදිය හැක්කේ (වසරකට) ලීටර් 19ක් පමණි. එය දිනක ඒක පුද්ගල පරිභෝජනයට අනුව කිරි කෝප්ප කාලකි(1/4) නැතිනම් මිලිලීටර් 5කි.

මේ වනවිට මෙරට තුළ දිනක දියර කිරි නිෂ්පාදනය දිනකට ද.ල. 1.1කි. වසරකට කිරි ලීටර් මිලියන 396,198,000කි. මෙම නිෂ්පාදනය 2016 වසරට සාපේක්ෂව 3.2%ක වර්ධනයකි. විවිධ හේතූන් හා වෙළෙඳපොළ ප්‍රශ්න නිසා ද.ල. 1.1ක් වූ දෛනික කිරි නිෂ්පාදනයේ ද කිරි ලීටර් ලක්ෂයක අතිරික්තයක් දක්නට ලැබේ.

අපට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් දේශීය වශයෙන් නිපදවෙන්නේ 40%කි. 2016ට සාපේක්ෂව 2017 දී එහි ද 2%ක අඩුවීමක් දක්නට ලැබේ. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව ඇ.ඩො. මිලියන 400ක කිරි පිටි නිෂ්පාදන ආනයනය සඳහා වැය කරයි. මෙතරම් මුදලක් රට වශයෙන් වැය කරනු ලබන්නේ ආනයනික කිරි පිටිවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්න පවතිද්දීමය.

මාධ්‍ය අරමුදල්

මෙවන් පසුබිමක දේශීය කිරි නිෂ්පාදනයෙන් දෛනිකව ලීටර් ලක්ෂයක පමණ අතිරික්තයක් දක්නට ලැබීම රට වශයෙන් ගත් කල අවාසනාවකි. අදාළ අතිරික්තය දක්නට ලැබෙන්නේ පශු සම්පත් අමාත්‍යාංශය, ඒ ආශ්‍රිත රාජ්‍ය ආයතන හා විවිධ රාජ්‍ය අරමුදල් සියල්ල උපයෝගී කරගනිමින් දේශීය කිරි ගොවියා දිරිමත් කරන රාජ්‍ය අංශයක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දීය. මීට විරෝධය පාමින් කිරි ගොවියන් සිය නිෂ්පාදන අතිරික්තය පාරේ හලන ආකාරය මාධ්‍ය මඟින් රූප රාමු සහිතව පෙන්වා දුන් අවස්ථා ද දක්නට ලැබුණි. එහෙත් ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැත. මේ අතර කිරි ලීටරයක නිෂ්පාදන වියදම රු.66.34 දක්වා වැඩිවී තිබේ. නිෂ්පාදන වියදමට සරිලන අයුරින් අලෙවි කිරීමට නොහැකි වන කිරි බවුසර් ගණන් මහමඟට මුදාහැරීම තුළ කිරි ගොවීන්ගේ විරෝධය පැහැදිලිය.

මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී අපේ රටේ ළමා පරපුරෙන් 1/3ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වේ. පාසල් දරුවන්ගේ පවතින ප්‍රෝටීන් ඌනතාවය මීට ප්‍රධාන හේතුවක් සේ සැලකේ. දියර කිරි ඊට හොඳම විසඳුමකි. එක් පැත්තකින් රටේ දේශීය කිරි නිෂ්පාදනය ඉල්ලුමට සරිලන ලෙස සැකසී නොමැත. ඒ නිසා පිටරටින් කිරි පිටි ආනයනය කිරීමට සිදුවී තිබේ. ඒවායේ පෝෂ්‍යදායකත්වය පිළිබඳ ප්‍රශ්න මතුවී ඇත. එය පාසල් ළමුන්ගේ ප්‍රෝටීන් ඌනතාවයට නොගැළපේ. අනෙක් පැත්තෙන් සුළු වශයෙන් වුවද නිපදවෙන කිරි නිෂ්පාදනයෙන් ලීටර් ලක්ෂයක් පමණ නිසි මිලක් නොලැබීම හා බෙදාහැරීමේ ජාලයේ දුර්වලතා නිසා අපතේ යැවීමට හෝ නාස්තිවී යනු ඇත.

මීට ක්ෂණික හෝ නිර්මාණශීලී විසඳුමක් ඉදිරිපත් කිරීමට අදාළ බලධාරී ආයතන මෙතෙක් සමත් වී නොමැත. පසුගිය සමයේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මඟින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකිරීම ජාතියේ වාසනාවකි. මේ වනවිට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය මඟින් ප්‍රාථමික පාසල් දරුවනට දෛනිකව කිරි මිලි ලීටර් 170ක් රජයේ වියදමින් වසර 5ක කාලයක් සඳහා ලබාදීමට පියවර ගනිමින් සිටී.

මෙහි මුල් අදියරට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් (2016ට සාපේක්ෂව) 1,717,092ක පමණ පිරිසක් අයත් වේ. මේ සඳහා දිනකට අවැසි දියර කිරි ප්‍රමාණය දියර කිරි ලීටර් 291,905ක් පමණ වේ යැයි දල වශයෙන් ගණන් බලා ති‍බේ. වසරින් වසර වැඩි වන පාසල් ළමුන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව මෙම ප්‍රමාණය වැඩි වේ. අදාළ කිරි පැකට්ටුවක් සඳහා රජය දරනු ලබන මුදල රු. 40/-කි. මේ සඳහා වසරකට වැය කරනු ලබන මුදල රු. බිලියන 1.6කි.

මේ අනුව දේශීය කිරි නිෂ්පාදනය වෙනුවෙන් දැනට පවතින ඉල්ලුමට අමතරව කිරි ලීටර් ලක්ෂ 3කට ආසන්න ස්ථාවර වෙළෙඳපොළක් ඇතිවේ. වෙන විදිහකින් වසරකට වැය කරනු ලබන රු. බිලියන 1.6ක් නැති නම් මිලියන 16,000,000ක් දේශීය කිරි නිෂ්පාදනය වෙනුවෙන් කරනු ලබන අමතර ආයෝජනයකි. පාසල් වියේ සිටම දරුවන් දියර කිරිවලට යොමු කිරීම අනාගතයේ දී පිටිකිරිවලින් මිදුණු දියර කිරි පරිභෝජනය කරනු ලබන සමාජයක් ඇතිවීමට රුකුලක් වනු ඇත.

මේ නිසාම දැනට අතිරික්තයක් ලෙසින් පවතින දියර කිරි නිෂ්පාදනය ක්ෂණික ඉල්ලුමක් ඇතිවීම පමණක් නොව තවත් කිරි ලීටර් ලක්ෂ දෙකක් පමණ නිපදවීමට මඟපෑදෙනු ඇත. මේ අනුව ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය වන අතිරේක කිරි ගවයන්ගේ සංඛ්‍යාව තවත් 15000කින් ඉහළ යනු ඇත. මෙමඟින් අලුත් පවුල් 7500කට පමණ නව ආදායම් මාර්ගයක් සකසා ගැනීමට හැකිවේ. එසේම දරුවන් මිලියන දෙකකගේ පමණ පෝෂණ මට්ටම ඉහළ යනු ඇත. අවසානයේ වසර 5ක් ඇවෑමෙන් පෝෂණ හා ස්ථාවර ආදායම් සහිත නව ආදායම් පරිසරයක් කිරි නිෂ්පාදනය ආශ්‍රිතව බිහිවනු ඇත.

දරුවන්ට නොමිලේ කිරි

රජය දරුවන් වෙනුවෙන් මෙම වියදම දරනු ලබන්නේ නොමිලේ පාසල් පොත්, නිල ඇඳුම් ආදී සුබසාධන දීමනාවලට අමතරවය. මෙය ක්ෂේත්‍ර කීපයකට පලප්‍රයෝජන රැසක් අත්පත් කර දෙනු ලබන ව්‍යාපෘතියකි. පාසල් දරු දැරියන්ගේ මන්දපෝෂණය දුරලීම ඔවුන් දියර කිරිවලට හුරුකිරීම පමණක් නොව කිරි ගොවියා නගාසිටුවීම ද මෙම ග්‍රාමශක්ති ව්‍යාපෘතියට අයත් වේ. මීට අමතරව ක්‍රමයෙන් කිරි පිටි ආනයනය උදෙසා විදේශ රාජ්‍යයන්ට ඇදී යන මුදල යම් ප්‍රමාණයකින් මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකිවීම දියර කිරි භාවිතය හා නිෂ්පාදනය වැඩි කිරීමේ සුවිශේෂී අතුරු ප්‍රතිඵලයකි.

දේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ මෙතෙක් පවතින මන්දගාමී ස්වරූපය වෙනස් කර ගැනීමෙන් තොරව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇත. දිනකට කිරි ලීටර් 7 සපයන ගවයාගේ නිෂ්පාදන ධාරිතාව අඩුම තරමින් 14ක් දක්වා වැඩි කරගැනීමට සිදුවේ. එහෙත් දේශීය කිරි ආර්ථිකයේ තිරසර බව ඇතිවන්නේ එම ප්‍රමාණය ලීටර් 20 දක්වා ගෙන ඒමෙනි. ඒ සඳහා අපේ දේශගුණයට නොගැළපෙන නවසීලන්තයේ කිරිහරක් මිලියන ගණන් වැය කර මෙරටට ගෙනඒමෙන් පලක් නොවේ. ඒ සඳහා අපේ කලාපයට ඔරොත්තු දෙන ‘බටුගවයා’ නවීන අභිජනන මධ්‍යස්ථාන මඟින් ශක්තිමත් කිරීමට සිදුවේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය මේ සියල්ලට අතහිතදීමට හා තාක්ෂණික ආධාර සැපයීමට සූදානමින් සිටී. මෙම වැඩපිළිවෙළ සඳහා පෞද්ගලික අංශයේ සමාගම් හා ඊට අයත් වෙළෙඳසල් හා බෙදාහැරීම් ජාලය ග්‍රාමශක්ති ව්‍යාපාරය සමඟ සක්‍රීයව සම්බන්ධවීමට දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇත.

මේ නිසා පාසල් දරු දැරියන්ගේ මන්ද පෝෂණය දුරුකරමින් ඔවුනට ලබාදෙන පෝෂ්‍යදායී කිරිපැකට්ටුව මඟින් දේශීය කිරි නිෂ්පාදනයේ විප්ලවීය මාවතකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය මේ වනවිට කටයුතු යොදමින් සිටී.

දෙවියෝ සහ දරුවෝ

$
0
0
ජුනි 20, 2018 01:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිළිනොච්චියේදී ප්‍රකාශයට පත් කළ කතාවකින් මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. එම කතාවෙන් කියැවෙන්නේ දෙවියන් මෙන් දරුවන් රැකගත යුතු බව ය. දරුවන් ගැන දෙවියන්ට කීමෙන් පමණක් ප්‍රශ්න විසැ‍ඳෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. දෙවියන්ට කීමෙන් ප්‍රශ්න විසැ‍ඳෙන්නේ නැති බව ඇත්තකි. ප්‍රශ්න විසැඳීම සඳහා සමාජය සංවිධානය වී වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. රජය හා ආයතන ඒවාට සහයෝගය ලබා දිය යුතුය. මේ අනුව ‘දරුවන් සුරකිමු’ යනුවෙන් ජාතික වැඩසටහනක් දැන් ආරම්භ වී ඇත.

මේ වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉතා වැදගත් අදහසක් සමාජ ගත කළේය. එනම්; පන්තියේදී බින්දුව ලබාගන්නා දරුවා ගැන ද සලකා බැලීම ගුරුවරයාගේ යුතුකම යන්න ය. දරුවන්ගේ හැකියාවන් විවිධ ය. එම හැකියාවන් හඳුනාගැනීම ගුරුවරයාගේ කාර්යයක් වන්නේ ය. එහෙත් අ‍ෙප් බොහෝ ගුරුවරු දරුවන් අදක්ෂ යැයි ලේබල් ගසති. ඇතැම්විට මෝඩයා යැයි අපහාස කරති. කිසිදු දරුවකු මෝඩ නැතැ’යි කතාවක් ජපානයේ තිබේ. උපතින් ම දරුවන්ට විවිධ හැකියාවන් එන බව ද ගුරුවරයා එය හඳුනාගත යුතු බව ද ජපානය විශ්වාස කරයි.

දරුවන් උදෙසා හොඳ ම දේවල් ලබා දෙමු යැයි කියුවද බොහෝ දෙනකුට හොඳම දේවල් ලබාදී‍ෙම් හැකියාවක් නැත. කෙනෙකුට හොඳම දේ තබා අවම දේවල්වත් ලබාදීමේ හැකියාවක් නැත. සංවර්ධිත රටවල් දරුවන් උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඊට විශාල වියදමක්ද දරයි. දුප්පත් රටවලට එබඳු හැකියාවක් නැත. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටින්නේ සෑම රටක් ම දරුවන් උදෙසා සිය විශේෂ සැලැකිල්ල දැක්විය යුතු බව ය. ළමයින් සඳහා වෙන් වූ ලෝක දිනයක් නම් කර ඇත්තේ ද එහි වැදගත්ම සලකාගෙන ය.

අපේ රටේ දරුවන් දෙස ආපසු හැරී බැලුවහොත් කනගාටුදායක අවස්ථා ගණනාවක් දැකගත හැකි ය. එක්තරා සමාජ විද්‍යාඥයෙක් මෑතක දී දක්වා තිබුණේ සෑම දිනයකම දරුවන් විශාල ප්‍රමාණයක් අපයෝජනයට ලක්වන බව ය. ඇතැම් දරුවන් අපයෝජනයට ලක්වන්නේ නිවසේ දී ය. තව දරුවන් අපයෝජනයට ලක්වන්නේ පාසලේදීය. ආගමික සිද්ධස්ථානවලදී අපයෝජනයට ලක්වන දරුවෝ ද සිටිති. දරුවන්ට අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව, ආදරය නිසි අයුරින් නොලැබෙන බව පෙනී යන සත්‍යයෙකි. මීට හේතුව කුමක් ද?

ඇතැම් මාපියන් සිය වගකීම් හා යුතුකම් ඉටුකරනු වෙනුවට ඒවා මඟහැර යන බවක් පෙනෙන්නට තිබේ. නිවසේදීම දරුවන් අපයෝජනයට ලක්වන්නේ එම හේතුව නිසා ය. මීට දින දෙකකට ඉහත දී පුවත්පත් වාර්තා මඟින් පෙන්වා දී තිබුණේ එක්තරා මවක් තම ළාබාල දියණියන් දෙදෙනාම සල්ලාලයන්ට විකුණා ඇති බව ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ ගැටලුව දරුවන් අපහරණයට ලක්වීම යැයි එක්තරා සමාජ ක්‍රියාකාරිනියක දක්වා තිබිණි. පියා අතින්, බාප්පා අතින්, සහෝදරයා අතින් අතවරයට පත්වන දැරියෝ සිටිති. එක අතෙකින් සමාජයේ ශිෂ්ටත්වය කෙළෙසී ඇත. තව අතෙකින් මානුෂික සබඳතා බිඳ වැටී ඇත.

අපේ දරුවන්ගේ ගැටලු පිළිබඳ විවරණයක යෙදෙන විට පරිපූරණය කළ යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇති බව පෙනී යයි. පළමු ක්ෂේත්‍රය වන්නේ දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමය. දෙවන ක්ෂේත්‍රය වන්නේ දරුවන්ට හිමිවිය යුතු ආදරය සමඟින් අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමය. තුන්වන ක්ෂේත්‍රය වන්නේ සමස්ත දරු පරපුරටම සාමයෙන් හා සහයෝගයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් හා පසුබිමක් නිර්මාණය කිරීම ය. සමහරුන්ගේ මතයට අනුව දකුණු ආසියාවේ මන්දපෝෂණය වැඩිම රට ශ්‍රී ලංකාව ය. තවත් මතයකට අනුව ලෝකයේ දරුවන්ගේ මන්දපෝෂණය අතින් හතරවන ස්ථානය අපේ රටට හිමිවන්නේය.

දරුවන් ලෙස ගණන් ගැනෙන්නේ වයස අවුරුදු 17 ට අඩු පිරිස යැයි පිළිගැනීමක් තිබේ. මේ වයසේ පසුවන අය ශ්‍රමිකයන් ලෙස වැඩෙහි යොදාගැනීම නීතියෙන් තහනම් ය. එහෙත් විවිධ වාර්තාවලින් පෙනී යන්නේ ළමා ශ්‍රමිකයන් විශාල පිරිසක් රට තුළ සිටින බව ය. අපේ රටේ නීතියට අනුව දරුවන් අනිවාර්යයෙන්ම පාසල් යැවිය යුතු ය. එහෙත් කිසිදා පාසලකට නොගිය දරුවෝ පිරිසක්ද රටේ සිටිති. දුප්පත්කම, නූගත්කම, අනවබෝධය හා සමාජයේ ඇතැම් ආකල්පද මීට බලපා ඇති බව පෙනී යයි. මේවා වෙනස් කිරීම සඳහා රජය මැදිහත්වීම ඉතා වැදගත් සාධකයකි.

දරුවන් පිළිබඳ සම්පූර්ණ වගකීම වැඩිහිටි සමාජය හා රජය දැරිය යුතු යැයි කියන්නට පුළුවන. ආර්ථික අතින් දුර්වල රාජ්‍යයන් වුව දරුවන් සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද, වෙන ම ආයතන පවත්වාගෙන යන බව ද පෙනෙන්නට ඇති සත්‍යයෙකි අපේ රටේ ද දරුවන් උදෙසා වෙන් වූ ආයතන තිබේ. සංවිධාන තිබේ. සහන වැඩසටහන් ද තිබේ. එහෙත් සමස්ත දරු පරපුර ඒවායින් ආවරණය වන බවක් පෙනෙන්නට නැත. ළමා ශ්‍රමිකයන්, පාසල් නොයන දරුවන්, හිරිහැරයට පත්වන දරුවන් ගැන සිද්ධි නිතර වාර්තාවන්නේ ඒ නිසාය.

අවධානය යොමු කළ යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ මත්ද්‍රව්‍ය උවදුර ය. පාසල් දරුවන් ඉතා ශීඝ්‍රයෙන් මතට ගොදුරු වෙමින් සිටින බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. මත්ද්‍රව්‍ය පිළිබඳ ජාවාරම්කරුවෝ පාසල් අසල සිට සිය ජාවාරම මෙහෙයවති. තැරැව්කරුවෝ පාසල්වලද සිටිති. මතට හුරුවන දරුවෝ අපරාධවලට ‍යොමු වෙති. සිය අනාගතය ද විනාශ කර ගනිති. ‘දරුවන් සුරකිමු’ වැඩසටහනෙහි සැලැකිය යුතු කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටුකළ යුතුව තිබේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් දරු පරපුර බේරාගත හැකිනම් දරුවන් පිළිබඳ ගැටලුවෙන් සැලැකිය යුතු කොටසක් විස‍ඳෙනු ඇත.

ජනාධිපතිවරයා පෙන්වා දෙන පිළිවෙළටම ගතහොත් දෙවියන් නො ව, මිනිසා ඉදිරිපත් වී දරුවන් රැකගත යුතු ය. එය අප කවුරුත් පිළිගත යුතු සත්‍යයෙකි.

කම්හල් නවතියි ඉඩම් කැලෑ වෙයි තේ අර්බුදයක

$
0
0
ජුනි 20, 2018 01:00
දුමින්ද සම්පත්

තේ කර්මාන්තය කඩා වැටීමට ප්‍රබලව බලපා ඇති දලු නෙළීමට අවශ්‍ය කම්කරුවන් නොමැතිකමට පිළිතුරු ලෙසින් දලු කඩන යන්ත්‍ර හඳුන්වා දෙන ලෙස කළ ඉල්ලීම සඳහා අදාළ බලධාරීන් වෙනත් රටවල තේ දලු නෙළන යන්ත්‍ර මෙරට හඳුන්වා දී ඇත. ඒවා ගෙන ඒමේදී මෙරට භූවිෂමතාව පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම නිසා එම යන්ත්‍රවලින් ඵලදායි ප්‍රතිඵල ලබාගැනීමට හැකිවී නැත. මෙරට භූවිෂමතාවන්ට ගැළපෙන පරිදි අතේ ගෙන යා හැකි තනිව ක්‍රියා කළ හැකි ප්‍රමිතියෙන් යුතු තේ දලු හඳුනාගත හැකි සෙන්සර් සහිත යන්ත්‍රයක් හදාගැනීමට අප විසින්ම කළ යුතු බව කුඩා තේ වතු හිමියන් මෙන්ම ‍ෙත් කර්මාන්ත ශාලා හිමියන් ද වගකිවයුත්තන්ට පෙන්වා දී ඇතත් ඊට අදාළව කිසිවක් මෙතෙක් සිදුව නැත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග ලෙස හඳුනාගෙන ඇත්තේ තේ, පොල් සහ රබර් වූවත් කලක පටන් මෙම භෝග වගාවන්ගේ වර්ධනය ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබේ. තේ මෙන්ම අනෙකුත් භෝග වගාවන් දෙකද මේ වනවිටත් දැඩි අර්බුදයකට ලක්ව ඇත. දේශීයව පරිභෝජනයට අවශ්‍ය පොල් විදේශීයන්ගෙන් ගෙන්වන තැනට පත්ව තිබීම කනගාටුදායකය.

දැනට යම්තරමින් හෝ වර්ධනයක් පෙන්නුම් කෙරෙන තේ වගාවටද වැඩි කලක් යන්නට පෙර කණ කොකා හඬන බව නම් කිවයුතුය. ඊට හේතු සාධක බොහෝය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාදීමෙන් තෙවැනි තැන හිමිව ඇත්තේ තේවලටය. එවන් වටිනාකමකින් යුත් තේ වගාව කෙරෙහි බලධාරින් දක්වන අඩු සැලකිල්ල නිසාම මෙම කර්මාන්තය දිනෙන් දින අවදානම් කලාපයකට ගමන් කරමින් සිටින බව කුඩා තේ වතු හිමියන්ගේ මෙන්ම තේ කර්මාන්ත ශාලා හිමියන්ගේද අදහසය.

සීනි කලවම්කොට තේ නිෂ්පාදනය කිරිම ගැන පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති වූ අතර කර්මාන්ත ශාලා 54 ක් එහිදී හඳුනා ගැනුණු බව මාධ්‍ය වාර්තා කළේය. තේ කොළ නිෂ්පාදනයේදී සීනි යෙදීමෙන් අසීමිත ලාභයක් තේ කර්මාන්ත ශාලා හිමියන් ලබාගන්නා බව පැහැදිලිය. තේ දලු කිලෝ විසි දහසකට එක් සීනි මිටියක් එක්කිරීමෙන් තේ කර්මාන්ත හිමියන් ලබන ලාභය රුපියල් 45000 කි. එවැනි කර්මාන්ත ශාලා හිමියන් ප්‍රමිතියෙන් තොර තේ දලු ලබාගනිමින් තම දෛනික නිෂ්පාදන ඉලක්කය පවත්වාගෙන යාමට උත්සාහ ගැනීමෙන් තේවල ගුණාත්මකභාවයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

මෙවැනි තේ කර්මාන්ත ශාලා හිමිකරුවෝ තේ දලු ලබා ගැනීමේදී තේවගාකරුවන්ට ‍වැඩි මිලක් ගෙවීමටද පෙ‍ලඹී සිටිති. මෙම තත්ත්වය ගුණාත්මක තේ නිෂ්පාදනය කරනා කර්මාන්තශාලා හිමියන්ට දැඩි බලපෑම් එල්ල කරන්නකි. ප්‍රමිතියෙන් යුතු තේ දලු ලබාගෙන දලු ඇඹරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ නම් විවිධ හැඩයෙන් යුතුව තේකොළ නිපදවිය හැකිය. එහෙත් ප්‍රමිතියෙන් තොර තේ දලු ඇඹරීමේදී හැඩයන් යොදාගැනීම සඳහා සීනි කලවම් කළ යුතුය. සීනි කලවම් කළ පසු කසළ තේ ලෙස කර්මාන්තශාලාවෙන් කිසිවක් පිට නොවන්නේ ඉතිරිවන අපද්‍රව්‍ය ද නිමි තේ ලෙස පිට කළ හැකි නිසාය.

වැඩි මිලේ රහස

තේ පාලන පනත යටතේ තේ දලු සඳහා සාධාරණ මිලක් ගෙවීමට ක්‍රමවේද තිබුණද එම මිල ඉක්මවා කර්මාන්ත ශාලා හිමියන් තේ දලු සඳහා ගෙවීම් කරනුයේ අනිසි ලෙස උපයාගත් මුදලිනි. තේ කර්මාන්තය නඟාසිටුවන්නට නම් තේ දලු සඳහා නියමිත වැඩි මුදලක් ලබාදීම නතර කළ යුත්තකි. එසේ වූ විට ප්‍රමිතියෙන් තොර තේ දලු ගැනීම නතර වීම හරහා පිරිසිදු තේ පමණක් නිපදවීමට සියලු තේ කර්මාන්ත ශාලා හිමියන් කටයුතු කරනු ඇත. කොළඹ තේ වෙන්දේසියට තේ කර්මාන්තශාලා විසින් සපයනු ලබන තේ ප්‍රමාණයන් පිළිබඳව විධිමත් සොයාබැලීමක් අදාළ වගකිවයුතු ආයතන විසින් කළ යුතුය. තේ පාලන පනත ශක්තිමත් එකක් නොවන නිසා නීත‍ියේ හිල්වලින් බොහෝ දෙනෙකු රිංගා යන බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ අදහසය. තේ පාලන පනතද වර්තමානයට ගැළපෙන පරිදි ශක්තිමත් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ දෛනික තේ දලු නිෂ්පාදනය කර්මාන්ත‍ ශාලාවල ඉල්ලුමට ප්‍රමාණවත් නැත. මේ හේතුව නිසාද තේ කර්මාන්තකරුවන් අතර තේ දලු ලබාගැනීමේදී උග්‍ර තරගයක් නිර්මාණය වී ඇත.

මෙරට ලියාපදිංචි තේ කර්මාන්ත ශාලා ගණන 700 කට ආසන්නය. දෛනික තේ දලු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා කර්මාන්ත ශාලා හිමියන් ප්‍රමිතියෙන් තොර තේ දලු ලබා ගැනීමට පෙලඹීම හේතුවෙන් බාල තේ වෙළෙඳ පොළට මෙන්ම කොළඹ තේ වෙන්දේසියට පැමිණීමද වැළැක්විය නොහැකිය.

හොඳ තේ කොළ නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් ‍යුක්ත තේ දලු අවශ්‍යය. ප්‍රමිතිගත දලු වන්නේ සතියකට වරක් කඩාගන්නා ලා ‍කොළ දෙක සහ ගිරිය නම් කොටස සහිත දලුය. මෙහි නටු සහ කෙඳි ප්‍රමාණය ඉතා අඩුය. ප්‍රමිතියෙන් තොර තේ දලුවල නටු සහ කෙඳි ප්‍රමාණය ඉතා වැඩිය.

ප්‍රමිතියෙන් තොර තේ දලු තේ කර්මාන්ත ශාලා වෙත පැමිණීම සිදුවන්නේ අහම්බෙන් හෝ අත්වැරදීමකින් නොවීම ගැන කිසිවකුත් මෙතෙක් සොයාබලා නැත.

තේ දලු ලබා ගැනීම සඳහා තේ කර්මාන්ත ශාලා අතර තරගයෙන් ප්‍රයෝජන ගන්නා තේ වතු හිමියන් ප්‍රමිතියෙන් තොර තේ දලු කර්මාන්ත ශාලාවලට එවීමට පුරුදුව සිටිති. බොහෝමයක් තේ කර්මාන්ත ශාලා ඉදිකර ඇත්තේ විශාල ණය ලබා ගැනීමෙනි. මෙම ණය වාරික නියමාකාරව ගෙවීමට නම් තේ කර්මාන්ත ශාලාවෙන් දිනකට නියමිත තේ නිෂ්පාදනය පිට කළ යුතුය. ඒ නිසා දින හත ඉක්මවූ තේ දලු බොහෝමයක් තේ කර්මාන්ත ශාලා හිමියෝ මිලදී ගනිති.

කුඩා තේ වතුහිමියන් පවසන්න් නියමිත දිනට ප්‍රමිතියෙන් යුතු තේ දලු නෙළීම සඳහා කම්කරු හිඟය උග්‍ර ලෙස බලපා ඇති බවය. මේ හේතුව නිසා දින හතකින් නෙළිය යුතු තේ දලු නෙළීමට දින දහය ඉක්මවන අවස්ථාද ඇත. තේ දලු නෙළීමට කම්කරුවන් නොමැති වීමෙන් පහත රට බොහෝමයක් තේ වතු කැලෑවට ගොස් ඇත. තේ වගාවේ හොඳම කාලය වන්නේ තේ දලු නෙළීමේ කාලයයි. එවැනි කාලයක තේ වතු කැලෑ වැදීම ජාතික අපරාධයක් වන්නේ මෙරට තේ කර්මාන්තශාලා වෙත දෛනිකව ලැබිය යුතු තේ දලු ප්‍රමාණයද නොලැබෙන පසුබිම නිසාය.

තේ කර්මාන්තය කඩා වැටීමට ප්‍රබලව බලපා ඇති දලු නෙළීමට අවශ්‍ය කම්කරුවන් නොමැතිකමට පිළිතුරු ලෙසින් දලු කඩන යන්ත්‍ර හඳුන්වා දෙන ලෙස කළ ඉල්ලීම සඳහා අදාළ බලධාරීන් වෙනත් රටවල තේ දලු නෙළන යන්ත්‍ර මෙරට හඳුන්වා දී ඇත. ඒවා ගෙන ඒමේදී මෙරට භූවිෂමතාව පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම නිසා එම යන්ත්‍රවලින් ඵලදායි ප්‍රතිඵල ලබාගැනීමට හැකිවී නැත.

තේ පර්යේෂණ

මෙරට භූවිෂමතාවන්ට ගැළපෙන පරිදි අතේ ගෙන යා හැකි තනිව ක්‍රියා කළ හැකි ප්‍රමිතියෙන් යුතු තේ දලු හඳුනාගත හැකි සෙන්සර් සහිත යන්ත්‍රයක් හදාගැනීමට අප විසින්ම කළ යුතු බව කුඩා තේ වතු හිමියන් මෙන්ම ‍ෙත් කර්මාන්ත ශාලා හිමියන් ද වගකිවයුත්තන්ට පෙන්වා දී ඇතත් ඊට අදාළව කිසිවක් මෙතෙක් සිදුව නැත.ශ්‍රී ලංකාවේ තේ පර්යේෂණ අයතනය ඇත්තේ මෙවැනි පර්යේෂණ සිදුකොට තේ කර්මාන්තයට අදාළව පහසුකම් සැපයීම වෙනුවෙනි. සෙන්සර් යන්ත්‍ර නිපදවීමත් ඒවා තේවතු හිමියන්ට ලබාදීම සඳහාත් අති විශාල මුදලක් දැරිය යුතු බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ මතය වේ.

‍ෙත් අපනයනයේදී සෑම තේ කිලෝ ග්‍රෑමයකින්ම රජය 13% ක සෙස් බද්ධක් අයකරගනී. කොළඹ තේ වෙන්දේසියට සතියකට තේ කිලෝ හැත්තෑ ලක්ෂයක් පමණ අවශ්‍යය. සෙස් බද්ද හරහා ආණ්ඩුව තේ කර්මාන්තයෙන් අති විශාල මුදලක් උපයාගනී. මෙ‍ලෙස උපයාගත් මුදල තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යෙදවුණු අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එම අරමුදල මහා භාණ්ඩාගාරයට පවරාගැනීම හේතුවෙන් මේ වන විට ඉන් ලැබෙන සියලු මුදල් තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් යෙදවෙනවාද යන්න සැකසහිත බව තේ කර්මාන්ත හිමියන්ගේ අදහසය. කුඩා තේ වතු හිමියන් පවසනුයේ ‍ආණ්ඩුව ලබාගන්නා සෙස් බද්දෙන් තේ දලු නෙළීමට අවශ්‍ය පහසුකම් සහිත යන්ත්‍රයක් ලබාගැනීමට තේ වතු හිමියන්ට ණයක් ලබා දෙන්නේ නම් තේ කර්මාන්තයේ ඉදිරි අනාගතය සුබවාදී විය හැකි බවය.

තේ කර්මාන්තය කඩාවැටුණහොත් ඒ ආශ්‍රිත රැකියාවල නියුතු පවුල් ලක්ෂ 40 ක් පමණ රැකියා විරහිතව, ආදායම් නොලබන තත්ත්වයට පත්වීමෙන් ඇතිවිය හැකි අර්බුදය ගැන ආණ්ඩුව මීට වඩා සිතිය යුතුය.එමෙන්ම තේ මණ්ඩලයෙන්ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන්ද තේ පර්යේෂණ ආයතනයෙන්ද එවන් තත්ත්වයකදී වැඩක් නොවනු ඇත.

තේ වගාකරුවන් බොහෝදෙනෙකු තේ වගාවෙන් කුරුඳු වගාවට මාරුවෙමින් සිටී. ඊට හේතුවද කම්කරු හිඟය සහ පසුගිය කාලයේ වූ ග්ලයි‍ෙෆාසේට් ගැටලුව හේතුවෙන් තේ වගාවන් කැලයට යටවීමයි.

තේ වගා බිම්වල කම්කරුවන් ලෙස සේවය කරනු ලබන සේවකයිනට සිය අභිමානය ලබා ගැනීමට අවශ්‍ය කෙරෙන අගය කිරීම මෙරට කිසිදු ආණ්ඩුවකින් නොලැබීම හේතුවෙන් තේ වගා බිම්වල කම්කරුවන් නගරයේ රැකියා කරා යොමුවෙමින් සිටී.

තේ වගාවේ ගැටලු කඩිනමින් විසඳීම සඳහා රජයේ ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍ය බව තේ කර්මාන්තයේ නියැළි සියලු පාර්ශ්වයන්ගේ අදහසය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොවේ. ඊට පෙර ඉස්තාලය වැසීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

ඡායාරූප- කැලුම් ලියනගේ

නවකතාවක් දර්ශනයක් උගන්වනවා

$
0
0
ජුනි 20, 2018 01:00
බන්දුපාල ගුරුගේ

ලංකාවේ ලියන මිනිස්සු අතරින් පරිසරවාදය ඇතුළු කර ගන්නේ ඉතා සුළු පිරිසක් විතරයි. අපි පුංචි කාලේ ඉදලා පරිසරයට ආදරය කරන මිනිස්සු. මම පරිසරයට අතිශය ලෙස ආදරය කරනවා. ඒ නිසා මම ගස් විනාශ කරනවාට කැමැති නෑ. බුදු හාමුදුරුවොත් පාරිල්‍යෙය වනයේ වැඩි කාලයක් වාසය කළා. ස්වභාවධර්මය කියන්නේ වනාන්තර. අපි වනාන්තර විනාශ කරලා ආයුෂ අඩු කරගෙන තියෙන්නේ. ඉස්සර මිනිස්සු වැඩි ආයු කාලයක් ගත කළා. වින්ටර් අක්කර 1000ක් ගන්නකොට, සිංහරාජ වනාන්තරය බද්දේගමටම පැතිරිලා තිබුණා.

යටත් විජිත පාලනයේ සිට ගාලු දිස්ත්‍රික්කයේ විකාශනය ගැන නිර්මාණය වුණ ‘දෝනා නැන්සිහාමිනා’ බන්දුපාල ගුරුගේ මහතාගේ නවකතාවෙකි. අතීත සමාජ ක්‍රමය තුළ පැවැති සිදුවීම් එකිනෙක අළලා නවකතාව ගොඩනඟා තිබේ. එකල වැවිලි කර්මාන්තය ගාලු දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කළ ජෝර්ජ් වින්ටර් නැමැති සුදු ජාතිකයා හා සිංහල ජන සමාජය අතර ළැබැදියාව ඔස්සේ දිවෙන නව කතාව ප්‍රේම කතාවකට වඩා වෙනස් ආරක් ගෙන තිබේ. යටත් විජිත සමයේ සමාජ පරිණාමය පිළිබඳ සිද්ධි සමුදායක් ඔස්සේ දෝනා නැන්සිහාමිනා පාඨක ජනතාවට තිළිණ කළ බන්දුපාල ගුරුගේ මහතා සමඟ කළ කතා බහකි මේ.

දෝනා සහ නැන්සිහාමිනා නව කතාව, අප මෙතෙක් කියවා ඇති නවකතාවලට වඩා අසාමාන්‍යයයි. ඒ ගැන යමක් සඳහන් කළොත්?

මේ නව කතාවේ සන්දර්භය වෙනත් නවකතාවලට වඩා අසාමාන්‍යයි කියලා නව කතාව කියවපු පාඨකයන්ගේ අදහස්වලින් මම අවබෝධ කර ගත්තා. මේ කතාව තෝරා ගත්තේ, අපේ රටේ නව කතාවලට භාවිත කරන පොදු ක්ෂේත්‍ර සහමුලින්ම ඉවත් කරලයි. මේ කතාවේ කිසි තැනක ගැහැනියක්, පිරිමියෙක් ආලය කරන දෙබසක් හෝ නැහැ. අපේ රටේ අලුත් නවකතාකරුවා හුරුවෙලා තියෙන්නේ, එක් ආකෘතියකට පමණක් සීමා වෙලා, නවකතා ලියන්නයි. අද ඉන්න ලේඛකයෝ හින්දි චිත්‍රපටයක්, දමිළ චිත්‍රපටයක්, පුවත්පත්වල පළවන අනුවේදනීය කතාවක් ආශ්‍රයෙන් නිර්මාණ කරනවා. ඒත්, මේ නව කතාව සියයට සියයක්ම ඉතිහාසයේ අත්දැකීම් සහිත හේතුඵල සම්බන්ධයක් යුක්ත නව කතාවක් කියලා මට කියන්න පුළුවන්. මෙය ඉතිහාස කතාවක් කියලා වරදවා තේරුම් ගන්න එපා. මෙය නවකතාවක්.

මේ කෘතියට පදනම වෙලා තියෙන්නේ, අපේ රටේ යටත් විජිත පාලන කාලය පුරාවට සිදුවුණු, අපේ සමාජයේ පරිණාමයයි. මෙතැන තියෙන ඓතිහාසික සිදුවීම තමයි, 1817 මේ රටට ආපු ජෝර්ජ් වින්ටර් නමැති එංගලන්ත ජාතිකයා. ඔහුට, උඩරට සුදු මිනිස්සුන්ට වඩා, පහතරට විප්ලවයක් ඇති කරන්න මේ මඟින් හැකි වුණා. ජෝර්ජ් වින්ටර් ලංකාවට ඇවිත් මාස දෙකකින් උඩරට කැරැල්ල ඇති වුණා. ඒක වුණේ එංගලන්ත ආණ්ඩුවේ වරදින් කියන දැඩි මතයේ මොහු හිටියා. එංගලන්ත ආණ්ඩුව වින්ටර් ලංකාවට එවලා තියෙන්නේ උපදේශන සඳහායි. ඔහු පහත රට වැවිලි කර්මාන්තය ගොඩනඟාගන්න විශාල කැප කිරීමක් කළා. ඒ හා සමානව විශාල සමාජ පරිණාමයක් ඇති වුණා. මෙන්න මේ කතාව තමයි නවකතාව ගොඩනඟන්න මම උපයෝගි කරගත්තේ.

යටත් විජිතවාදය සහ සමාජ පරිණාමය, නවකතාවකට මුසු කළේ කවර ආකාරයකින් ද?

මෙය තමයි තියෙන බරපතළ ප්‍රශ්නය. සාර්ථක නවකතාවකට හේතුඵල සම්බන්ධයක් සහිත ඉතිහාසයක් තියෙනවා. සෑම සාර්ථක නවකතාවකටම එහෙම සුළු සිද්ධියක් හෝ තියෙනවා. මිනිස්සු කන බොන හැටි, අදින පළඳින හැටි, ජීවත් වන හැටි, පවුල් කන හැටි, පවුල් අතර අර්බුද ඇතිවෙන හැටි, පවුල් දික්කසාද වන හැටි, සමාජ ගැටුම්, දේශපාලන ගැටුම්, මේවා සියල්ල අප අතර තියෙන දේවල්. මේවයින් බැහැර කාටවත් නවකතාවක් ලියන්න බෑ.

යටත් විජිත යුගයේ සිට අප නිදහස ගන්නා තෙක් විහිදුණු පරම්පරා තුන හතරක කතාවක් නේද ඔබගේ නවකතාව?

ඒක පරම්පරා තුනක් හෝ හතරක් වෙන්න පුළුවන්. ජෝර්ජ් වින්ටර් ලංකාවට ඇවිත් පදිංචි වුණා. අද අරලියගහ මන්දිරය එදා අයත් වුණේ මේ ජෝර්ජ් වින්ටර්ට. ඔහුගේ ඥාති පරම්පරා තුනක් අරලියගහ මන්දිරයේ ඉපදිලා තියෙනවා. ඊට පස්සෙ තමයි ලංකා ආණ්ඩුව අරලියගහ මන්දිරය පවරා ගත්තේ. ජෝර්ජ් වින්ටර් තමයි ලංකාවේ පළමු වැනි ඉංග්‍රීසි පුවත්පත වන ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ. ජෝර්ජ් වින්ටර් ඉතා සාධාරණ ආකාරයට දැක්මක් ඇති පුද්ගලයෙක්. වින්ටර්ගෙන් පස්සෙ ඔහුගේ දරු පරපුර ලංකාවේ වතු ක්ෂේත්‍රය ඉගෙන ගෙන, ඉදිරියට ගෙන ගියා. ඔවුන් ලංකාවේ කාන්තාවන් විවාහ කරගෙන, දරු මුණුබුරන් හදා වඩා ගත්තා. මේ පරම්පරාව යුග තුනක් විතර වෙනවිට ලංකාව අතැර ටික දෙනෙක් ගියා. ටික දෙනෙක් නැවතුණා. ලංකාවේ නැවතුණු පිරිස බුදු දහමට ලැදිව කටයුතු කළා. බුදු දහම නඟා සිටුවන්න බොහෝ සේ වැඩ කළා. ඔවුන් නිතරම අගය කළේ සිංහල මිනිස්සුන්ගේ කෘතවේදිත්වයයි. මේ පරම්පරා තුන හෝ හතර ලංකාවේ සිංහල පළාත්වල වර්ධනය වුණා. බෞද්ධ දිස්ත්‍රික්කයක් වන ගාල්ලේ එංගලන්ත විරෝධී සටනක් කිසි දිනෙක ක්‍රියාත්මක වුණේ නෑ. ඒ තරම්ම ජෝර්ජ් වින්ටර් සිංහල ජනතාවට හා බුදු දහමට ළෙන්ගතුව වැඩ කළා. වින්ටර් පරම්පරාවේ තියෙන පොදු සාධකය තමයි ඒ.

පහත රට තෙත් කලාපයේ වනාන්තර විනාශ කිරීමෙන් ගත වූ වසර 150 තුළ, අපේ රට කාන්තාරයක් බවට පත්වන ඉඟියක් මෙහි සඳහන්. ඒ ගැන කතා කළොත්?

මේ කාරණාව අලුත් මාතෘකාවක්. ලංකාවේ ලියන මිනිස්සු අතරින් පරිසරවාදය ඇතුළු කර ගන්නේ ඉතා සුළු පිරිසක් විතරයි. අපි පුංචි කාලේ ඉදලා පරිසරයට ආදරය කරන මිනිස්සු. මම පරිසරයට අතිශය ලෙස ආදරය කරනවා. ඒ නිසා මම ගස් විනාශ කරනවාට කැමැති නෑ. බුදු හාමුදුරුවොත් පාරිල්‍යෙය වනයේ වැඩි කාලයක් වාසය කළා. ස්වභාවධර්මය කියන්නේ වනාන්තර. අපි වනාන්තර විනාශ කරලා ආයුෂ අඩු කරගෙන තියෙන්නේ. ඉස්සර මිනිස්සු වැඩි ආයු කාලයක් ගත කළා. වින්ටර් අක්කර 1000ක් ගන්නකොට, සිංහරාජ වනාන්තරය බද්දේගමටම පැතිරිලා තිබුණා. ඒ දේශගුණය ඉතා සෞම්‍යයි. එදා කපාපු ගහක වයස අවුරුදු 1000ක් විතර වෙන්න ඇති. එදා එංගලන්තයෙන් ගෙනාපු ලී මෝලෙන් ලී කපලා, අක්කර 1000ක් වගා කරන්න වින්ටර් සල්ලි හෙව්වා. ඒ කාලේ ගාල්ල දිස්ත්‍රික්කයේ තිබුණ විශාල භූමි ප්‍රමාණයක ගස් කපලා දැම්මා. අද ලෝක කාන්තාර ලැයිස්තුවේ අන්තිමට ලංකාව තියෙනවා. අපේ රට කියන්නේ තෙත් කලාපයේ හොඳ ම රටක්. ඒත්, පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිනවා. මේ සියල්ල සිදු වුණේ, යටත් විජිතවාදයේ අනියම් ප්‍රතිඵලයක් විදිහටයි. ඉස්සර අපේ මිනිස්සු ගස් ගල් වගේ ඉවසීම ප්‍රගුණ කරපු අය. අද එහෙම නෑ. ක්ෂණයෙන් කේන්ති යනවා. ඒකට හේතුව තමයි අපේ වනාන්තර පද්ධතිය විනාශ වී යාම. මේ කාරණා විද්‍යාත්මක හේතු, ඒ ගැන ඉතා සූක්ෂ්මව නවකතාවේ අන්තර්ගත කරලා තියෙනවා.

මේ නවකතාවෙන් පුළුල් දර්ශනවාදයක් ගොඩනඟා තිබෙනවා?

දොස්තයෙව්ස්කිගේ අපරාධය හා දඩුවම කියවනකොට පේනවා, දැවන්ත දර්ශනවාදයක්. ඔහු මාක්ස්වාදියෙක් නෙමෙයි. මාක්ස්වාදයට අමතරව තවත් සමාජවාද ගොඩක් තියෙනවා. මගේ නව කතාවේ පතුලේ තියෙන්නේ බුදුදහම. ඒත්, කතාවට බෞද්ධ චරිත අරගෙන ලියලා නෑ. එදිනෙදා ජීවිතයේ මුහුණදෙන සිද්ධි හා විසැඳුම් වටා ලියැවුණ එකක් තමයි මගේ කතාව. එහෙම බැලුවහම, මේ කෘතියෙන් මම මාක්ස්වාදය, විවිධ දර්ශනවාද, බුදු දහම, විද්‍යාව, ඉස්ලාම් ආගම, කතෝලික ආගම, පරිණාමවාදය වගේ 18 වැනි සියවසේ (සංකල්ප යුගය) හැම කාරණයක්ම ස්පර්ශ කරලා තියෙනවා. නව කතාවක් කියන්නේ, දර්ශනයක් උගන්වන කෘතියක් කියලයි මම හිතන්නේ.

සාකච්ඡා කළේ දුමින්ද අලුත්ගෙදර
ඡායාරූපය-සිරිපාල හල්වල

පොතකට චරිත වැදගත්

$
0
0
ජුනි 20, 2018 01:00
පෝල් මැක්කොමස්

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පෝල් මැක්කොමස්, සම්මානිත ග්‍රන්ථ රචකයෙකි. ලෝරන්ස් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම, 2002 වර්ෂයේ සිට ග්‍රන්ථකරණයට එළඹී මේ වනවිට පොත් කිහිපයක්ම රචනා කර ඇත. පෝල් මැක්කොමස්, ග්‍රන්ථකරණයට එළැඹියේ ‘Unplugged’ නම් කෘතිය රචනා කරමිනි. මේ එම කෘතිය පිළිබඳ ලේඛකයා සමඟ, ‘Paulmaccomas: Author Interview’ වෙබ් අඩවියෙහි පළවූ සාකච්ඡාවක පරිවර්තනයකි.

ඔබගේ ‘Unplugged’ නමැති කෘතිය, ඔබ පළ කළ පළමු කෘතිය?

ඔව්, මං ග්‍රන්ථකරණයට එළැඹුණේ මේ පොත රචනා කිරීමත් සමඟයි. ඒ 2002 වර්ෂයේ. ඒක මං මුලින්ම ලිව්වේ කෙටිකතා පොතක් විදිහටයි. මෙය කෙටිකතාවක් විදිහට පළ කරනවාට වඩා, නවකතාවක් විදිහට පළ කිරීම සුදුසුයි කියලා පසුව මටම හිතුණා. ඒත් එය හිතුව තරම් ලේසි වුණේ නෑ. ඒක මට විශාල අභියෝගයක් වුණා . කෙටිකතාවේ ඇතුළත් එක් එක් කොටස් එකට එකතු කරමින්, සම්බන්ධතාව ගොඩනගමින්, නැවත එය රචනා කළා. මේ සඳහා මට තවත් අයෙකුගේ සහය ලැබුණා.

මේ නවකතාව පැරැණි කතාවක් හා සම්බන්ධ ද? නැතිනම් අලුත් කතාවක් ද?

දෙකම එහි ඇතුළත් වෙනවා. සමහර සිදුවීම් මීට වසර 80කට පමණ පැරැණි ඒවා. ඇතැම් සිදුවීම් මෑතකාලීනව සිදුවූ සිදුවීම් හා සම්බන්ධයි. මේ සමහර සිදුවීම් මට අහන්න ලැබුණේ මීට වසර 14 කට පමණ උඩදියි. මේ සිදුවීම් ඇතුළත් කරලා පොතක් ලිව්වනම් හොඳයි කියලා ඒ මොහොතේත් මට හිතුණා. ඒත්, ඒ සඳහා මට වසර 14ක්ම ගතවුණා.

ඔබ එම සිදුවීම් හා වර්තමාන සිදුවීම් ඇතුළත්ව මුලදී රචනා කළ කෙටිකතා, පසුව නවකතාවකට පරිවර්තනය කළා. ඔබ මුල සිටන්ම මෙය ග්‍රන්ථයක් විදිහට ප්‍රකාශයට පත් කරනවා කියලා හිතුවද? නැත්නම් ඔබට පමණක් කියවීමට තබා ගන්නවා කියලද හිතුවේ?

මට අවශ්‍ය වුණේ මුල ඉඳන්ම මෙය ප්‍රකාශයට පත් කරන්නයි. මම කවදාවත් මට පමණක් ලියන කෙනෙක් නෙමෙයි. මම ලියන්නෙ හැමෝටම කියවන්නයි.

ඔබ කොහොමද ලිවීම ආරම්භ කළේ ?

මං හිතන්නෙ මං වචන ගැටගසමින් සම්පූර්ණ වාක්‍යක් ලියන්න පටන් ගත්ත දා ඉඳන්, මට පොත් ලියන්න ආසාව තිබුණා. කුඩා කුඩා කතා මං කුඩා කාලයේ ඉඳන් ලිව්වා. ඒත්, මට ඒ සඳහා නියම අවස්ථාව එළැඹුණේ, කාලයක් ගතවුණු පසුවයි.

ඔබ ප්‍රබන්ධ කතාවලට කැමැති නැද්ද?

ඇත්තටම නෑ. ඒවායේ තිබෙන සැබෑ ලෝකයේ තිබෙනවා යැයි පෙන්වන බොරුව, නැතිනම් ගොතන ප්‍රබන්ධයට මං අකමැතියි. මගේ ‘Unplugged’ කෘතිය රචනයේදීත් මං හැමවිටම ප්‍රවේශම් වුණා එය ප්‍රබන්ධයක් නොවීමට. සැම විටම ඇත්ත දෙයක් , නැතිනම් සැබෑ ලොව පවතින දේ ම පාඨකයාට ලබා දෙන්න මං උත්සාහ කළා. එවිටයි පාඨකයන්ට විශ්වාසයක් ගොඩනැ‍ගෙන්නෙ. මේ මගේ පෞද්ගලික මතය. මං කිසිදා ප්‍රබන්ධ කතා රචකයන්ව විවේචනය කරන්නේ නෑ. මොකද ඒක ඔවුන්ගේ කැමැත්ත.

ඔබ , කියවීමට කැමති මොන වගේ ග්‍රන්ථ රචකයන්ගේ පොත් ද ? එම ග්‍රන්ථ අතරින් ඔබගේ රචනා ශෛලියට, නැතිනම් ඔබගේ ග්‍රන්ථවලටත් වැඩියෙන්ම බලපෑම් කළ ග්‍රන්ථ මොනවාද?

‘බ්ලැක් ටිකට්ස්’ - ජේන් ඈන් පිලිප්ස් සහ සෑම් ෂෙපර්ගේ ‘කෘයිසින් පැරඩයිස්’ යන කෘතිවලට මං බෙහෙවින් ඇලුම් කරනවා. මේ කෘතිවල භාෂාව හරි ම අපූරුවට යොදාගෙන තිබෙනවා. ඒවායෙන් පාඨකයන්ටත් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. මේ පොත් දෙකම කියවන්න කියලත් මං පාඨකයන්ට කියන්න කැමතියි.

ඔබගේ ලිවීමේ ශෛලිය ගැන කියන්න පුළුවන් ද? සාමාන්‍යයෙන් ඔබ පැය කීයක් දිනකට ලියනවද? ඒවා කඩදාසිවල සටහන් කරගන්නවාද ? නැතිනම් ඒ මොහොතෙම පරිගණක අකුරුකරණය කරනවා ද?

මම මගේ ‘Unplugged’ කෘතිය නම් ඒ මොහොතෙම පරිගණකගත කළා. දිනකට පිටු 4ක් පමණ ඒ විදිහට පරිගණකගත කළා. මං ඔබට මුලින්ම කිව්වා මේ කෘතිය පළමුවෙන්ම කෙටිකතා විදිහටයි ලිව්වේ කියලා. හැම විටම මට එක් කෙටිකතාවක් ලියලා, ඊ ළඟ එක ලිවීමට පෙර, එලෙස ලියූ කතාව නැවත ලියන්න සිදුවුණා. මොකද මං ටිකක් එළියට ගොස්, ඇවිදිනවිට ‍වගේම ඒ ප්‍රදේශයේ තිබෙන විල අසලට ගියවිට මගේ ඔළුවට අලුත් අදහස් පැමිණෙනවා. ඒ නිසා නැවතත් මං නිවෙසට පැමිණ, එම කතාව නැවත ලියනවා.

ඒත්, ප්‍රථම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මං දැන් ‘නෝට් බුක්’ එකක් භාවිත කරනවා. කොහේ ගියත් එය මං රැගෙන යනවා. විශේෂ සිදුවීම්, මගේ ඔළුවට එන අලුත් අදහස් මං එහි සටහන් කර ගන්නවා. මේ නෝට්බුක් එක අනාගතයේදී නවකතාවක් පිටපතක් වේවි. මං පොත් රචනා කරන විට, මෙහි ඇතුළත් දෑ එක් එක් කතා හා සිදුවීම්වලට සම්බන්ධ කරමින් මා යොදා ගන්නවා.

ඔබ සෑම දිනකම පාහේ ලියනවාද?

නෑ. මගේ අනෙකුත් වැඩකටයුතු යෙදෙන විට, විශේෂ ගමන් බිමන් ආදී කටයුතුවලදී මං ලියන්නේ නෑ. ඇතැම්විට ඒ වගේ විශේෂ වැඩක් නොතිබුණත්, මං ලියන්නේ නැතිව විවේකයෙන් එම දවස ගත කරනවා.

ඔබ , ඔබගේ පාඨකයන්, නැතිනම් ඔබගේ පොත් කියවන්නන්, පොත් ප්‍රදර්ශනවලදී හෝ පොත් එළිදැක්වීම්වලදී හෝ එවැනි අවස්ථාවලදී මුණගැසෙනවාද?

ඔව් . මම අනිවාර්යෙන්ම ඒවාට සහභාගී වෙනවා. ඒ සෑම අවස්ථාවකටම මගේ නවකතා, කෙටිකතා මං ඉදිරිපත් කරනවා. මට ඒ මොහොතේදීම ම‍ගේ පොත් ගැන විවේචන, අදහස්, යෝජනා, අගය කිරීම් මගේ පාඨකයන්ගෙන් දැන ගැනීමට ලැබෙනවා. මීට අමතරව මං , කරන තවත් දෙයක් තියෙනවා. මං පොත් අලෙවි සැලකට හෝ කෝපි අවන්හලකට හෝ කලා ප්‍රදර්ශනාගාරයකට හෝ යන විට, මගේ පොත් රැගෙන යනවා. එහි පැමිණෙන්නන්ට මගේ පොත් ලබා දීලා, ඔවුන් සමඟ පොත් ගැන සාකච්ඡා කරනවා.

ඔබේ රැකියාව මොකක්ද?

මම මගේ පළමු රැකියාව වශයෙන් කළේ දන්ත සෞඛ්‍ය සම්බන්ධ නිෂ්පාදන ආයතනයක. මගේ පළමු රැකියාව තමයි මම අකමැත්තෙන්ම කළ රැකියාව. ඇයි මං ඒ කාලෙදීම පොත් ලියන එකට නැඹුරු නොවුණෙ කියලා මට වෙලාවකට හිතෙනවා .

ඔබගේ අනෙකුත් ග්‍රන්ථ පිළිබඳ පැවසුවොත්?

මගේ කෙටිකතා පොතක් තිබෙනවා. ඒක නමක් Twenty Questions’. මෙහි කතා 20ක් ඇතුළත්. එහි ඇතුළත් ඇතැම් කෙටිකතා, සාහිත්‍ය සඟරාවලත් පළ වුණා. First Person Imperfect කියන කෙටිකතා පොත, Fit for a FRANKENSTEN ග්‍රන්ථයද සහ Further Person Imperfect වගේම, Planet of the Dates යන කෘතින් මං ලියූ ඒවායි.

ඔබගේ ග්‍රන්ථකරණය පිළිබඳ වෙනත් විශේෂ යමක් ප්‍රකාශ කරන්න තිබෙනවාද?

මට ශාස්ත්‍රපති උපාධියක් තිබෙනවා. ඒ, සිනමා ක්ෂේත්‍රය සම්බන්ධව. බොහෝ පාඨකයන්, විචාරකයන් කියනවා මගේ රචනා ශෛලිය සෑම විටම සිනමාපටයක් වගේ කියලා.

ඔබ පොතක් ලියන්න පෙර දළ සැකැස්මක්, නැතහොත් පෙළගැස්මක් සකස් කරනවාද?

ඔව්. අනිවාර්යෙන්ම. දළ පිටපතක් මං පළමුවෙන් ම සකස් කර ගන්නවා. එය ඉදිරි කටයුතුවලට පහසුවක්.

ඔබ සිතන ආකාරයට, වඩා වැදගත් චරිතද? නැතිනම් අන්තර්ගතයද?

මං හිතන්නෙ චරිත කියලයි. මොකද අන්තර්ගතය ගොඩනගන්නෙත් චරිතමයි. චරිත ශක්තිමත්ව ඉදිරිපත් කිරීමයි වැදගත් වෙන්නේ. ඉන් පසුව එම චරිත නිසියාකාරව මෙහෙයවීමෙන්, අපූරු අන්තර්ගතයක් බිහි වෙනවා.

යශෝදා ඉන්දීවරි

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>