“විසුවයියා මහතා මගේ සිරකුටිය අසලට ඇවිත් එයා විශ්වාස කළ ආගම ගැන මට කියනවා. ලෝකයේ විනාශය ළඟ ළඟම එන බවත් ඊට පෙර ආත්මය ගලවා ගැනීමට කටයුතු කළ බවත් ඔහු දැඩි ලෙස විශ්වාස කළා. මා ඔහු දරන අදහස්වලට නම්මවා ගෙන ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නට ඔහුට අවශ්‍ය වුණ බව මට දැනුණා. ඔහු සමඟ මම දිගින් දිගටම මැවිල්ල සහ පරිණාමය පිළිබඳව වාද කළ නමුත් කිසි දිනක ඔහු හෝ ඔහු දරන අදහස් පහත් කොට ගැරහිල්ලට ලක් කරන්නට කටයුතු නො කළෙමි. ඒ සියල්ල කෙසේ වෙතත් අවසානයේ අපි හොඳ මිතුරන් බවට පත් වූණා. 1977 නිදහස් කළාට පස්සේ මම ඔහුගේ වත්තල පැල්පත් නිවසට ගිහින් ඔහුත් ඔහුගේ පවුලේ අයත් හමු වුණා. ඔහු දරන අදහස්වලට එකඟ නොවුණත් තේ එකක් බී යන්නට ඔහු මට ඔහු යන පල්ලියට ආරාධනා කළා. ඒ අනුව මට මතක අන්දමට ඔහුව අවසාන වතාවට හමු වුණේ කොළඹ කොල්ලුපිටියේ ඔවුන්ගේ පල්ලියකදී.”
බන්ධනාගාරයේ දී රෝහණ විජේවීරගේ සමීපතමයෙක් වූයේ ලයනල් බෝපගේ ය. රෝහණ විජේවීරට සමහර ‘විශේෂිත ආහාර’ ලැබීම ඇතැම් සිරකරුවෝ නො රිස්සූහ. ඔවුන්ට නැති වරප්‍රසාද ඔහුට ලැබෙන බවක් ඔවුන්ට හැඟුණි. නමුත් සැබවින්ම බන්ධනාගාර වෛද්‍යවරු විජේවීරට මෙම ආහාර නිර්දේශ කොට තිබුණේ ඔහුගේ සෞඛ්‍ය හේතු නිසාය. ඔහුට ඇන්ජයිනා නමැති රෝගයේ මුලික ලක්ෂණ තිබුණු බවත් ඔහුට දෙන එම ආහාර අතර වූයේ ගොටු කොළ සම්බෝලයක්, කිරි වීදුරුවක් සහ බිත්තරයක් බවත් බෝපගේ ගේ මතකයයි.
රෝහණ විජේවීර අනෙකුත් ජ.වි.පෙ. සිරකරුවන් සමඟ නොසැලකිලිමත් සහ රළු ලෙස හැසිරුණු බව පිටතට පෙනෙන්නට තිබුණි.
“හුඟ දෙනෙක් රෝහණ සහෝදරයව දැක්කේ තද ගති ඇති, ඒ වගේම අනික් අය ගැන නොසලකන කෙනෙක් විදිහට. එහෙම පෙනුණේ ප්‍රධාන වශයෙන්ම ඔහු කතා කළ ස්වභාවය නිසාවෙන්. මම සහ රෝහණ සහෝදරයා අතර දේශපාලන මතගැටුම් තිබුණත් ඔහු රළු හෝ පරුෂ පුද්ගලයෙක් කියල මම හිතන්නේ නැහැ.”
බන්ධනාගාරයේ සිටිය දී ජ.වි.පෙ. දේශපාලන වැඩසටහන සහ ගමන් මග, විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නය පිළිබඳව නැවත සිතා බැලීමට ලයනල් බෝපගේට කාලය ලැබුණි. රෝහණ විජේවීර, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, කෙලි සේනානායක වැනි අය වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිය දී මෙම ප්‍රශ්න සාකච්ඡා කොට ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ පිළිබඳ දේශපාලන පංතිය අත්හිටුවීමට තීරණය කළ බව ලයනල් බෝපගේ සිහි ගන්වයි.
බෝපගේ ඉංජිනේරු පීඨයේ සිටිය දී අවසාන විභාගය හැර උපාධියට අවශ්‍ය ප්‍රායෝගික සහ අනෙක් සියලු කටයුතු සම්පූර්ණ කොට තිබුණේ ය. රඳවා සිටිය දී ඔහුගේ අවසාන විභාගය සම්පූර්ණ කරන්නට ඔහුට අවශ්‍ය විය. ඒ අනුව අපරාධ යුක්ති කොමිෂන් සභාවේ අවසරය ද ඇතිව ඔහු එකළ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ව සිටි ආචාර්ය (පසුව මහාචාර්ය, පීඨාධිපති සහ උප කුලපති) සී. එල්. වී. ජයතිලක මහතා ගෙන් ඇතැම් උපකරණ සහ තොරතුරු සටහන් බන්ධනාගාරයට ගෙන්වා ගත්තේය. නීතිඥ එම්. බී. රත්නායක මහතාගේ උදව්වෙන් කොළඹ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව්) පිලට අනුබද්ධ ව තිබූ ‘මහජන ප්‍රකාශකයෝ’ආයතනයෙන් ඉංජිනේරු විෂයයන්ට අදාළ පොත්පත් ද ඔහු ගෙන්වා ගෙන තිබුණි. මාස දෙකක පමණ කරන ලද අධ්‍යයනයකින් පසු ඔහු විභාගයට ලියූ අතර පසුව ලැබුණ තොරතුරුවලට අනුව අවසාන වසරේ විභාගය සම්පූර්ණ නොකළ හෙයින් ගෞරව උපාධියක් සඳහා ලැබිය යුතු ලකුණු ලබා තිබුණද ඔහුට ගෞරව උපාධියකට හිමිකම නොලැබිණි.
“අවසාන ඉංජිනේරු විභාගයට ලියන්නට බෝගම්බර බන්ධනාගාරයට මා ගෙන ආ යුතු බවට විශ්වවිද්‍යාලය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ තීරණය වෙනස් කර ගන්න උත්සාහ කළත් එය හරි ගියේ නැහැ. ඒ නිසා මාව බෝගම්බර බන්ධනාගාරයට ගෙන ගෙනිහින් සති කිහිපයක් රඳවා තිබ්බා.
ප්‍රශ්න පත්‍ර බන්ධනාගාරයට ගෙනැවිත් විභාග පරීක්ෂකවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය (පසුව මහාචාර්ය) එස්. සිවසේගරම් මහතා. මා විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ පූර්ණ කාලීනව පාහේ දේශපාලන කටයුතුවල නියැලී සිටි කාලයේ ආචාර්ය සී. එල්. වී. ජයතිලකත්, මහාචාර්ය එස්. මහාලිංගම් මහතාත් වෙන වෙනම මාව කැඳවා ඉංජිනේරු අංශයේ ඉගෙන ගන්නා අයට දේශපාලනය අවශ්‍ය නැති බවත් ඕනෑ තරම් රැකියා තිබෙන බවත් ඒ නිසා දේශපාලන කටයුතුවල නොයෙදෙන ලෙසත් අවවාද කළා. ඒ කෙසේ වෙතත් අවසානයේ දී ආචාර්ය සී. එල්. වී. ජයතිලක මහතා වැනි අය කළ උදව් ගැන අදත් මම කෘතඥතාවය පළ කරනවා.”
බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි කෙටි කාලයේදි සන්තතියාර් ඇතුළු තරුණ දෙමළ දේශපාලන සිරකරුවන් හමුවීමට ලයනල් බෝපගේට අවස්ථාව ලැබුණි. එකී සන්තතියාර් පසුව ප්ලොට් සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රමුඛ නායකයෙක් බවට පත් විය.
ඔවුන් සිරගත කොට තිබුණේ 1972 ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි ඔසවා විරෝධය දක්වා තිබුණ නිසාය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන් වූහ. ඔවුන්ගේ හමුවීම්වල දී දේශපාලන ප්‍රශ්නවලට මුල් තැනක් ලැබුණි. ජ.වි.පෙ. සහ දෙමළ දේශපාලන සිරකරුවන් යන දෙපිරිසටම පොදු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ බව බෝපගේට මතකය. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් සහ එම මාතෘකා පිළිබඳව තමන්ගේ කියවීම් මත ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ප්‍රශ්නය සම්බන්ධයෙන් වඩාත් විවේචනාත්මක දැක්මක ලයනල් බෝපගේ සිටියේය.
“මාව බෝගම්බර ඉඳලා මැගසින් බන්ධනාගාරයට ගෙන ගියාට පස්සෙ අපි මේ ප්‍රශ්නය ගැන වැඩිදුර හදාරන්න ඕන බව මම රෝහණ සහෝදරයාට කියලා අපි එකඟතාවකට ආවා. දෙමළ සිසුන් මතු කරන ප්‍රශ්න ගැන තමන් නොදැනුවත්ව සිටි බව රෝහණ සහෝදරයා ඇත්තටම පිළිගත්තා. ඔහු වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමෙහි නිරතව සිටි නිසා මා මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩි දුරටත් හැදෑරිය යුතු බවට අපි දෙන්න එකඟ වුණා. ජාතික ප්‍රශ්නය හැදෑරීමෙන් පස්සෙ විශේෂයෙන්ම දිවයිනේ දෙමළ කතා කරන්නන්ගේ භාෂාව, ආගම සහ ස්වයං තීරණ අයිතිය වැනි ප්‍රශ්න ඔවුනට බලපාන ආකාරය පිළිබඳව මට අවබෝධයක් ලැබුණා. මම මේ ගැන නිරන්තරයෙන් රෝහණ සහෝදරයා සමඟ දේශපාලනිකව සාකච්ඡා කළා.”
රජය විසින් සිංහල බහුතරයකුත් දෙමළ තරුණ කණ්ඩායමකුත් යන දෙපිරිස ම සිරගත කොට සිටිය දී ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සටන්කාමීන් අතර එවැනි සම්බන්ධතාවයන් පැවතී ඇත.
“අපව සිරගත කෙරුණේ 1971 සන්නද්ධ අරගලය ආශ්‍රිතව. දෙමළ සහෝදරවරු සිරගත කර තිබුණේ 1972 ව්‍යවස්ථාවේ ස්වරූපයෙන් දියත් කෙරුණු රාජ්‍ය කෙණහිලිකම්වලට එරෙහිව කරපු උද්ඝෝෂණ නිසා. අපි දෙගොල්ල අතර තිබුණේ අඩු මට්ටමේ සබඳතාවක්. ඒකට විශේෂතම හේතුව වුණේ අප එක භූමියක එකට ජිවත්ව සිටියත් අප දෙගොල්ලම එකිනෙකාගේ භාෂාව දැන නොසිටීම. ඒ සහෝදරවරු සිංහල දන්නේ නැහැ. අපි දෙමළ දන්නේ නැහැ.”
මේ අතර සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1972 දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙන එන ලදි. එයට මූලිකවම හේතු වූයේ 1971 අප්‍රේල් කැරැල්ල ඇති කළ පීඩනයයි. පනත මගින් ඉඩම් හිමිකාරිත්වය මඩ ඉඩම් අක්කර 25 දක්වා ද ගොඩ ඉඩම් අක්කර 50 දක්වා ද සීමා කරන ලදී. සමාජවාදී දෘෂ්ටිකෝණයකින් බලන විට එය ගම්බද අසමාකාර ඉඩම් බෙදීයාම ඉවත්කොට සහනය සලසන්නක් විය. එහෙත් මෙම උත්සාහය එතරම් ඵලදායක නොවිය. බෙදා දුන් ඉඩම්වලින් තුනෙන් එකක් වගා නොකළ ඉඩම්ය. එමගින් ග්‍රාමීය අංශයේ ධන බෙදීම වෙනස් නොවුණි. අයිතියෙන් ඉවත් කළ ඉඩම්වලින් හතරෙන් එකක් හිමිව තිබුණේ තේ වතු ආශ්‍රිතවය. මෙම ඉඩම්වලින් බොහොමයක් මහනුවර දිස්ත්‍රික්කයේ වූ අතර ඒවා එක්සත් ජාතික පක්ෂ අධාරකරුවන්ට අයත් විය.
“මේ ප්‍රතිසංස්කරණය වෙනකොට අපි හිටියේ බන්ධනාගාරයේ. සැබෑ ඉඩම් විසමතාව පැවතුණේ වී ගොවිතැන සම්බන්ධයෙන්. උපරිමය අක්කර 25 බවට පත් කළ නීතිය විසින් ඒතාක් පැවැති ගම්බද බොහෝ අසාධාරණ සම්බන්ධකම්වලට උත්තර හෙව්වේ නැහැ. වී ගොවිතැනේ සම්පූර්ණ අක්කර ප්‍රමාණයෙන් රජය අයිතියෙන් ඉවත් කළේ 1.2% ක් විතරයි. මෙම ඉඩම්වලට රජය මොකද කළේ? ඒවායින් 3.5% ක් පෞද්ගලික ගොවීන් අතර බෙදා දුන්නා. ඉඩම් අහිමි බහුතරය ඉඩම් අහිමිභාවයේම ඉන්නට ඉඩ හැරියා. ඉඩම් හිමියන් සතු ආර්ථික සහ දේශපාලනික බලයට මේ ඉඩම් ප්‍රතිසංස්කරණ අත තිබ්බේ නැහැ. අපි දඩුවම් ලැබූ පසුත් බන්ධනාගාරය තුළදීත් මේ ගැන අපේ අවධානය යොමු කළා.
“නිෂ්පාදනය ශක්තිමත් කිරීමටත් ආනයනය නිසා ඇති වූ මූල්‍ය ගලනය නැවැත්වීමටත් ආනයන ආදේශන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා ආයෝජනය කරන ලද රුපියල් මිලියන 275 න් මිලියන 205 ක් පමණ රැඳුණේ පවුල් 11 ක දෑත්වලය. නිෂ්පාදන අංශයේ 89% ක් වූ නිෂ්පාදිතයෙන් සාමාන්‍ය ජනයා අත රැඳුණේ 9% ක් විතරයි. ඔය කාලෙම රාජ්‍ය සංස්ථා රැසක් පිහිටුවන්න රජයට පුළුවන් වුණා. ජාතික රෙදිපිළි සංස්ථාව, ලංකා වානේ සංස්ථාව සහ ලංකා සිමෙන්ති සංස්ථාව ඒ අතර. මේ හැම දෙයක්ම ලැබුණේ සමාජවාදී රටවලින්.”
“මෙම සංස්ථාවල කළමනාකාරිත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආශ්‍රිත ප්‍රකට උගතුන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් සමන්විත වුණා. කළමනාකරණ විශේෂඥභාවයක් ප්‍රායෝගිකව ඔවුනට තිබුණේ නැහැ. එත් රජයේ දීමනා රැස්කර ගැනීමට අසීමිත හැකියාවක් ඔවුන් සතුව තිබුණා. දේශපාලන බලය අනුග්‍රාහකත්වය සමඟ දැඩි ලෙස බැඳී පැවතියෙන් රාජ්‍ය අංශයේ තනතුරු ද පුරවනු ලැබුවේත් ඒ විදිහටමයි.”
හෙට - සිලෝන් ශ්‍රී ලංකා වීමේ අතුරු ප්‍රතිඵල
සිසිර යාපා