Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අද මහා පරිමාණ නිර්මාණ කරන්න බෑ

$
0
0
මැයි 8, 2018 01:00

ප්‍රදීප් ධර්මදාස

ඔහු “නිල් අහස වගේ”, “සඳගලතැන්න”, “අයාල්”, “මයුමි” වැනි ටෙලිනාට්‍ය කිහිපයක ම ප්‍රධාන චරිතයට පණදෙමින් ලාංකේය ප්‍රේක්ෂක සිත් අහසෙහි ඉඩහසර වෙන් කරගත්තේ සිය සොඳුරු කලාත්මක හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි. ප්‍රදීප් ධර්මදාස යන නම සවන් වැකුණු සැණෙකින් ඔබේ සිහියට නැගෙන ඒ සොඳුරු කලාකරුවා රංගනයෙන් මොහොතකට ඈත්මෑත් වන්නේ, අධ්‍යක්ෂකවරයෙකු වීමේ සිහිනය පසුපස හඹායමිනි. ඇහිපිල්ලමක් යට ඔහුගේ අධ්‍යක්ෂණ ප්‍රතිභාව ප්‍රකට කළ සාර්ථක නිර්මාණයක් ලෙස හඳුන්වාදෙන්නට හැකිය.මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන “දෙයියන්ගේ රටේ” ටෙලිවෘත්තාන්තය අධ්‍යක්ෂණය කිරීමත් සමඟ ඔහු පිළිබඳ කතාබහ නැවත අලුත් වී ඇත.මේ ප්‍රදීප් සහ රසමංජරිය හමුවූ මොහොතයි

l “දෙයියන්ගේ රටේ” කෙබඳු නිර්මාණයක්ද?

ජීවිතය ගැටගහගන්න මිනිස්සුන්ට කරන්න වෙලා තියෙන අරගලය තුළ සිදු කරන යම් යම් මවාපෑම් වැනි දේ මුල්කරගෙනයි “දෙයියන්ගෙ රටේ” නිර්මාණය වෙන්නෙ. දෙවියන්ට මුවාවෙලා කපුවන් ඇතුළු තවත් බොහෝ අය බොරු කරලා, මිනිස්සුන්ගෙ මුදල් කඩාගත් සිදුවීම් පහුගිය කාලේ බොහොම සුලබව සිදුවුණා. ඒ දේව සංකල්පයට පහර එල්ල කිරීමක් තමයි මේ කතාවෙන් සිද්ධ වෙන්නෙ. ඒක ඇතු‍ළෙ තියන ප්‍රහසනය තමයි අපිට මේ ටෙලි නාට්‍යයෙන් දකින්න තියෙන්නෙ. අද කාලේ මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහෙ නිර්මාණවල පොඩි අඩුවක් තියෙනවා. ඒ වගේ ම අපේ රටේ සීරියස් කොමඩි නාට්‍ය දකින්න තියෙනවත් හරි ම අඩුයිනෙ. අපේ තියෙන්නෙ ම උඩින් අල්ලගත්ත කොමඩිනේ. මේ කතාව ඇතුළෙ තියෙන්නෙ අපේ ජීවිතවල සංකිර්ණ බව ඇතුළෙ ගැබ් වෙලා තියෙන ප්‍රහසනය. අද ප්‍රේක්ෂකයො හැම වෙලේ ම ගොඩක් සීරියස් දේවල් බලන් ඉන්නත් කැමති නෑ. සරල ම දේවල් බලන් ඉන්නත් කැමති නෑ. ඉතිං මේක මධ්‍යස්ථ තැනක ඉඳන් ගත්ත වෙනස් උත්සාහයක්. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙ විකාශය වෙනවා, සෙනසුරාදා ඉරිදා රෑ 8.30ට. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි අශෝකමාලා ඇතුළු දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා. ඉතිං මං හිතනවා ප්‍රේක්ෂකයො කැමති වෙයි කියලා.

l “දෙයියන්ගෙ රටේ” තේමා ගීතය ගැනත් ටිකක් කතා කරමුද?

මේ තේමා ගීතය ලිව්වෙ මංජුල වෙඩිවර්ධන. සංගීත අධ්‍යක්ෂණය කළේ විශ්ව සංකල්ප. ගායනය කරන්නෙ ඩිලාන් ප්‍රනාන්දු. ගීතය ලස්සනයි සහ ඒක ඇතුළෙ මේ ජීවිතේ තියෙන “සසර සරන පපර පපර සද්දෙ” වෙඩිවර්ධන ඉතා ම අලංකාරව ලියලා තිබුණා. මං හිතනවා ඒ ගීතය ජනප්‍රිය ගීතයක් වෙයි.

l ඔබේ අනෙකුත් කලා කටයුතු ගැනත් කතා කළොත්?

මම ෆිල්ම් එකක් කළා “අයිස්ක්‍රීම්” කියලා. ඒකෙ වැඩ ඉවරයි. ඒ වගේ ම ආගමික සහජීවනය, ජාතින් අතර සහජීවනය මූලික කරගත්තු කොටස් 13ක ටෙලි නාට්‍යයක් මේ දවස්වල නිර්මාණය කරගෙන යනවා. ඒකේ ෂූටින් ලබන සතියෙ පටන් ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

l අධ්‍යක්ෂණයට යොමු වීමත් සමඟ රංගනයෙන් සම්පූර්ණයෙන් ම ඈත් වුණාද?

රඟපාන එක ගොඩක් අඩුවෙන් තමයි කෙරුණෙ ඇත්තට ම. පහුගිය කාලෙ මම කලාතුරකින් එකක දෙකක වගේ තමයි රඟපෑවෙ. ගොඩක් දුරට රංගනයෙන් ඈත්වෙලා. මොකද අධ්‍යක්ෂණ කටයුතු එක්ක තියෙන කාර්යබහුලත්වය නිසා රංගනයට කාලය යොදවන එක ටිකක් අමාරුයි. කොහොමත් මගේ නිර්මාණවල මම රංගනයේ යෙදෙන්න ලොකු කැමැත්තකුත් නෑ. මගේ මූලික ඉඩක් වෙන්වෙන්නෙ අධ්‍යක්ෂණයට. රඟපෑම අතඇරලම නෑ, ඒත් අතඇරිලා වගේ තියෙන්නෙ. හොඳ චරිත සහ නිර්මාණ වැඩිපුර බිහිවෙන යුගයකුත් නෙවෙයිනෙ මේක. ගොඩක් වෙලාවට ටෙලිවිෂන් එකේ මේ කාලෙ දකින්න ලැබෙන්නෙ දීර්ඝතම නාට්‍ය. ඉතිං ඒවත් එක්ක එකතු වුණාම අනිත් දේවල් කරගන්න වෙලාව වෙන්කරගන්න අපහසුයි.

l ඔබට හිතන විදිහට අධ්‍යක්ෂකවරයෙකුට ක්ෂේත්‍රය තුළ එල්ලවන අභියෝග මොනවද?

ඇත්තට ම අධ්‍යක්ෂණය කියන්නෙ ලොකු වගකීමක්. නිර්මාණයක් කරනකොට නිෂ්පාදකයෙක් හොයාගන්න තැන ඉඳලා, රූපවාහිනී නාලිකාවක් හොයාගන්න තැන ඉඳලා සියලු ම දේවල් අද වෙනකොට අධයක්ෂකවරයා මත පැටවිලා තියෙන්නෙ. නිර්මාණයක මුල ඉඳන් අවසානය දක්වා ම හැම පුංචි දේකදි ම අවධානය යොමු කරන්න ඕනෙ. ඒ නිසා ම ගොඩක් කාර්යබහුල වෙන්නත් වෙනවා. ඒ වගේ ම අද වෙනකොට රූපවාහිනි නාලිකාවලින් ගෙවීම් කරන විදිහත් එක්ක අර අපි හිතන මහා පරිමාණ නිර්මාණ කරන්න පුළුවන් තත්ත්වයක් නෑ.

මීට අවුරුදු ගණනාවකට කලින් හොඳ නිර්මාණ බිහිවුණා. ඒ නිර්මාණවලට හොඳ ගෙවීමක් තිබුණා. ගෙවීමක් නැතුව අද කාලේ වැඩ කරන්න බැහැනෙ කාටවත් ම. ඒ නිසා දැන් අද වෙනකොට හරි ම අමාරුයි වැඩ කරන්න. හොඳ නිර්මාණයක් කරන්න ගියාම අපි කොච්චර හිත හදාගෙන දේවල් ලෑස්ති කරත් අන්තිමේට අපි හිතන මට්ටම මේ දේවල් කරගන්න බැරිවෙනවා ඔය කියන මූල්‍යමය කාරණාව නිසා. ඒකට නියමාකාර විසඳුමක් රට ඇතුළෙ නිර්මාණය වෙලා නෑ තාම. ඒ නිසා ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ම මම මගේ නිර්මාණවල ගුණාත්මක බව ගැන ගොඩක් හිතනවා. රඟපාන්න පුළුවන් රංගන ශිල්පීන් ශිල්පිනියන්ව තමයි මම ගොඩක් වෙලාවට එකතු කරගන්නෙ. අලුත් අයවත් එකතු කරගන්නවා. නමුත් අද කාලෙ ටෙලිවිෂන් එක බැලුවම ට්‍රෙන්ඩ් එකක් විදිහට රංගන හැකියාවට වැඩිය වෙනත් කාරණා මත රංගනයේ නියැලෙන අයත් දකින්න ඉන්නවා. රංගනය කියන දේ ඉතා ම වැදගත්. චරිතයේ ස්වාභාවය හඳුනාගෙන, චරිතය නිර්මාණය කරන එක රංගන ශිල්පීන් ශිල්පිනියන් අතින් සිද්ධ වෙන්න ඕනෙ. ඒක හරියාකාරව ම උනන්දුවෙන්, වුවමනාවෙන් කරන පිරිසකට ඉන්නෙ අපේ ප්‍රවීණ ශිල්පීන් සහ ශිල්පිනියන්. නව පරපුරෙත් ඉන්නවා, නැතුව නෙවෙයි. නමුත් සමස්තය ම එක තැනක නැති ප්‍රශනයක් තමයි තියෙන්නෙ. අද කාලෙ ටෙලිනාට්‍ය කියන්නෙ වේගයෙන් නිර්මාණය කරන ඒවනෙ. ඒ නිසා රංගන ශිල්පීන්ට වගේ ම ශිල්පිනියන්ට තදබල උනන්දුවක් තියෙන්න ඕනෙ ඒ ලැබෙන කාලයත් එක්ක තමන්ගෙ රංගනය හදාගන්න.

l කලා ක්ෂේත්‍රයට ඔබට පාර කැපුණු හැටි කිව්වොත්?

මම මුලින් ම ස්වර්ණවාහිනියේ දේශපාලන වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වගේ ම අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කළා. ඒ කාලෙ මම නිවේදන කටයුතු කළා. ප්‍රවෘත්ති කිව්වා. විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා. ඒත් ඒ කාලෙ ඉඳලා ම මට වුවමනාව තිබුණා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. මට ඉස්සෙල්ලම රඟපාන්න අවස්ථාව ලැබුණෙ “නිල් අහස වගේ” ටෙලි නාට්‍යයේ. ආරාධනාව ලැබුණේ ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කරපු සංජය විතානගේගෙන්. එතකොටත් මම ස්වර්ණවාහිනියේ වැඩ. මට නළුවෙක් වීමේ ලොකු කැමැත්තත් තිබුණෙ නෑ. ප්‍රධාන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන එච්.ඩී. ප්‍රේමරත්න මහතා තමයි මට ඒ අවස්ථාව බාරගන්න බල කළේ. එතුමා ඒ කාලෙ ස්වර්ණවාහිනියේ අධ්‍යක්ෂ වැඩසටහන්. මට මාධ්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ හේමනලින් කරුණාරත්න මහතා හරහා. නිල් අහස වගේ ටෙලි නාට්‍යයෙන් පස්සෙ මට විශාල අවස්ථාවක් ලැබුණා ලෙස්ටර් ජේමිස් මහා සිනමාකරුවාගේ අවසාන චිත්‍රපටය වුණ “අම්මාවරුනේ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න. ඒක හාමුදුරු කෙනෙකුගේ චරිතයක්. ඒ තමයි මගේ පළවෙනි සිනමා නිර්මාණය. “සමනලුන්ට වෙඩි තියන්න” තමයි මගේ පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. ඒක ලිව්වෙ මංජුල වෙඩිවර්ධන. දෙවෙනි ටෙලිනාට්‍ය තමයි “ඇහිපිල්ලමක් යට”. ඒකත් ලිව්වෙ මංජුල වෙඩිවර්ධන. ඒ නාට්‍ය දෙකෙන් පස්සෙ මං තව නාට්‍ය කිහිපයක් කළා සහ සිනමාව පැත්තට යොමු වුණා.

l ඔබ වැඩිපුරම ප්‍රතිචාර ලැබූ ටෙලිනාට්‍ය චරිතය කුමක්ද?

ගොඩක් ම ප්‍රතිචාර ලැබුණෙ “සඳගලතැන්න” ටෙලිනාට්‍යයේ වෙද මහත්තයාගේ චරිතයට. ඒක ඒ අවුරුද්දේ ජනප්‍රිය ම ටෙලිනාට්‍යත් වුණා. “නිල් අහස වගේ” ටෙලිනාට්‍යයේ “ආකාශ්”ගෙ චරිතයටත් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. චාමර ජනරාජ්ගේ “අයාල්” ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතය වෙනුවෙන් මට හොඳ ම නළුවාට හිමි සම්මානයත් ලැබුණා.

l අධ්‍යක්ෂකවරයෙක් විදිහට රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ කටයුතු කිරීම මොන වගේ අත්දැකීමක්ද?

රංගන ශිල්පීන් ශිල්පිනියන් ගත්තම විවිධාකාරයි. දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් බොහෝ වෙලාවට මගෙ නිර්මාණවල ඉන්නවා. ඒ අයත් එක්ක වැඩ කරද්දි මට කරන්න තියෙන්නෙ මූලිකව මෙහෙයවා ගැනීම පමණයි. ඒ කටයුත්ත එහෙම සිද්ධවනවා. ඒ වගේ ම අලුත් අය ගැන කතා කරනවා නම්, අත්දැකීම් තියෙන දක්ෂ, ජනප්‍රිය අය එක්ක අලුත් ම එක් කෙනෙක් දෙන්නෙක් ආවම ඒ අයගේ රංගනයේ තියෙන යම් යම් අඩුපාඩුකම් ඉස්මතු වෙලා පේනවා. ඉතිං ඒ තත්ත්වය නැති කරගන්න වගේ ම ඒ අයව යම් මට්ටමකට ගෙනැල්ලා තියන්න විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ දේ මම මගේ හැම නිර්මාණයක දී ම උපරිමයෙන් කරනවා.මොකද කාලයක් යනවා ප්‍රතිභාපූර්ණ බව අලුත් අයගෙන් එළියට එන්න.

l පවුලෙ විස්තර ගැනත් ටිකක් කිව්වොත්?

මගේ බිරිඳ දිනූජා රූපසිංහ. ඇය වෛද්‍යවරියක්. මට ඉන්නෙ කොල්ලො ම දෙන්නෙක්. ලොකු පුතා කත්‍යාන්. එයාට අවුරුදු දෙකහාමාරයි. පොඩි පුතා අභිරත්ට තාම අවුරුද්දයි. ඉතිං ඒ අයත් එක්ක ගොඩක් ආදරෙන් වගේ ම සතුටින් ඉන්නවා.

කාංචනා සිරිවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>