නව නාට්‍ය කලාවක් හඳුන්වා දෙන තමාෂා ජයසූරිය කියයි
අන්තර්ජාලය නිසා සමස්ත ලෝකයම එක යායක් වී ඇතැයි සමහරුන් කියද්දී තවත් සමහරු අන්තර්ජාලය නිසා බොහෝ සිත් නොමග යන බවට චෝදනා නගති. එහෙත් ඕනෑම දෙයක හොඳ - නරක තීරණය වන්නේ එය භාවිත කරන්නා විසින් යොදා ගන්නා ආකාරය මත බව එම ‘චෝදනාකරුවෝ’ අමතක කරති. අන්තර්ජාලය නිසා ලෝකය පුරා නව නිර්මාණකරුවෝ බිහි වෙති. ව්‍යාප්ත වෙති. ජය ලබති.
නිතර නිතර අන්තර්ජාලයේ u tube මඟින් විවිධාකාර වීඩියෝ දර්ශන නැරඹීමේ පුරුද්දක් හෝමාගම පදිංචි යුවතියක වන තමාෂා ජයසූරියට තිබුණි. මෑත වකවානුවේ ‘හෝමාගම’ ලෝක පූජිත වූයේ අන්තර් ජාලය මගින් වැඩිම ලිංගික දර්ශන නරඹන්නන් සිටින ශ්‍රී ලංකාවේ ‘නගරය’ හැටියටයි. එහෙත් හෝමාගම තමාෂා ඒ ‘ගොඩට’ ඇතුළත් වූයේ නැත. ඇය තුළ වූයේ දැනුම් පිපාසයකි. එය සංසිඳුවා ගන්නට විවිධ වීඩියෝ නරඹමින් සිටින අතරතුරු Shadow Drama (සෙවණැලි නාට්‍ය) පිළිබඳ වීඩියෝවක් ඇගේ ඇස ගැටුණි. ආත්මීය පුරුද්දක් නිසාදෝ ඇය වහා ඒ කෙරෙහි බැඳුණාය. එම වීඩියෝව නැරඹූ තමාෂා ඊට කෙතරම් වශී වූවාද කියතොත් අධ්‍යාපනය විද්‍යා අංශයෙන් ලබන අතරතුරම මේ කලා අංගය හදාරන්නට නැඹුරු වූවාය.
“මටම හිතා ගන්න බෑ. මම මේ තරම් Shadow Drama වලට බැඳුණේ ඇයි කියල. ඒත් ඒක එහෙම උනා. අධ්‍යාපනය කඩාකප්පල් කරගනී කියල දෙමව්පියෝ මුලින් බය උනත් පස්සෙ මගේ ආශාවට ඉඩ දුන්නා. උසස් පෙළට පස්සේ මම මේ කලාව ගැන දීර්ඝ ස්වයං අධ්‍යයනයක් කළා. BIO Medical Science උපාධිය දැන් මම සම්පූර්ණ කරලා ඉන්නේ. 2012 දෙසැම්බර් 27 වෙනිදා මම ශ්‍රී ලංකාවට Shadow Drama හඳුන්වා දුන්නා.” තමාෂා කියයි.
“Shadow Drama නොහොත් ‘සෙවණැලි නාට්‍ය’ කියන්නේ මොනවාද?”
“....වේදිකා නාට්‍ය පෙන්වන්නේ විවෘතවයි. Shadow Drama පෙන්වන්නේ තිරයෙන් පසුපසයි. නිර්මාණය කරන ජවනිකා නළු නිළියන් තිරය පසුපස රඟපානවා. ඒ විශේෂ තිරයට පතිත කරන ආලෝකය මගින් ප්‍රේක්ෂකයාට රංගනය පෙනෙනවා. සංගීතයත් හැඟීම් උද්දීපනයට යොදා ගන්නවා. දෙබස් නෑ. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඉරියව් බොහෝ විට මේ නළු නිළියන්ට උපයෝගී වෙනවා. තමාෂා කියයි.
The Circle of Love නමින් ‘ආදම් සහ ඒවාගේ කතාව’ මුල්ම සෙවණැලි නාට්‍යය ලෙස තමාෂා ජයසූරිය ප්‍රමුඛ Vitalize කණ්ඩායම ඉදිරිපත් කළ විට බොහෝ දිරිගැන්වීම් හා පැසසුම් ලැබිණි. ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ප්‍රේක්ෂකයෝ ඒ අමුතු අත්දැකීම විඳගත්හ.
“..මීට කලින් වේදිකා නාට්‍යවල සමහර තැන්වලදී ‘සෙවණැලි නාට්‍ය’ මාදිලියේ කොටස් යොදල තිබුණත් සෙවණැලි නාට්‍ය කලාවක් ලංකාවේ තිබුණේ නෑ. මට ඒ බව සහතික කර දුන්නේ රැඟුම් පාලක මණ්ඩලයයි. ඒ අනුව මුලින්ම ලංකාවට මේ කලාව හඳුන්වා දීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. .” තමාෂා කියයි.
පුබුදු, ඉරේෂා, ගයාන්, හංස, ගයේෂිකා, උදයන්ත, සුධීර,ලක්ෂිත, නෙරුන් සහ තමාෂා Vitalize කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් දහ දෙනාය. ඔවුන්ගේ Fan page මගින් හා u tube මඟින් මේ ගැන තොරතුරු දැනගත හැකිය. දැනට සෙවණැලි නාට්‍ය 20ක් තමාෂා ඉදිරිපත් කර තිබේ. සමාජ මාධ්‍යවලින් ලැබුණු සහයෝගය ඇය අගය කරයි.
ලෝකයේ දැනට සෙවණැලි නාට්‍ය කණ්ඩායම් 15ක් තියෙනවා. මගේ කණ්ඩායම 12 වන තැන ඉන්නවා. මුලින් මාලදිවයිනේත් ඉන් පස්සේ ස්පාඤ්ඤය - ඩුබායි හා ඉන්දියාවෙත් අපි Shadow Drama පෙන්නුවා. ඉදිරියේදී ඉතාලිය - ස්වීඩනය හා ප්‍රංශයේ නාට්‍ය දර්ශන පවත්වන්න ලෑස්ති වෙනවා. Animations පවා නළු නිළියන්ට අමතරව අවශ්‍ය නිසා මේ කලාවට වියදම් වැඩියි. ප්‍රේක්ෂකයන් බහුතරය අතරට ගෙන යාමට මාධ්‍යවල සහාය අවශ්‍යයි. අනුග්‍රාහකයන් අවශ්‍යයි. දැන් යම් පිරිසක් මේ ගැන දැනුවත් වී සිටින නිසා තරමක සහයෝගයක් ලැබෙනවා. ඒත්වෙන රටවලින් සහාය ලැබුණත් ලංකාවේදී සිදු වෙන සමහර දේවල් ගැන මම කළකිරෙන අවස්ථාත්තියෙනවා. සල්ලි නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ කලාව සාර්ථකව පවත්වාගෙන යාමට සහයෝගයයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ.
මේ අතර රියැලිටි වැඩ සටහන්වල මෙන්ම තවත් අවස්ථාවලත් සමහරුන් තමාගේ නිර්මාණ අමු අමුවේ කොපි කිරීම ගැන තමාෂා කනගාටු වෙයි.
“...Shadow Drama මම ලංකාවට හඳුන්වා දුන්නට ඒක කරන්න ඕනෑ මම විතරක් නෙමෙයි. ඒ උනාට මම කරන දේ ඒ විදිහටම කොපි නොකර අලුත් දෙයක් කරනවා නම් මම කැමතියි රියැලිටිවලත් සහමුලින්ම මගේ නිර්මාණ කොපි කරල තියෙනවා.” තමාෂා කියන්නේ කලකිරීමෙනි.
ආනන්ද පද්මසිරි