ප්‍රංශ ජනපති එම්මෑනුවෙල් මැක්රන් ජනපති පුටුවේ වාඩිවුණේ කතා කිරීමට බොහෝ දේවල් ඉතිරි කරමිනි. ජගත් දේශපාලන කරළියට පා තැබූ ළාබාල ජනපතිවරයකු වූ ඔහු කලාකාමියකුද විය. ඕපාදූප මාධ්‍යවල නිරන්තර ගොදුරක් බවට ඔහු පත්වූයේ ඔහුට වඩා වසර විසිහතරකින් වැඩිමහලු බිරිය නිසාය. ඇය ඔහුගේ පාසල්සමයේ නාට්‍ය හා රංගකලා ගුරුවරියද වූවාය. ප්‍රබලයන් හමුවේ නොසැලෙන වීර්යකින් හෙබි නායකයකු ලෙසද මැක්රන් ප්රකටය. දැන් ඔහු ගැන කතා කරන්නට තවත් අලුත්ම පුවතක් ජාත්‍යන්තර මාධ්‍යවලට ලැබී තිබේ. ඒ ප්‍රංශ ජනපති පසුගියදා කෑන්ස් සිනමා උළෙල නියෝජනය කරමින් චිත්‍රපට රංගනයකටද එක්වීම නිසයි. එය එක් අතකින් ප්‍රංශ ජනපති ඉතිහාසයේ වාර්තාවක්ද වන්නේ මීට පෙර ප්‍රංශ ජනපතිවරයකු ජනපති ධූරය හොබවමින් චිත්‍රපට රංගනයකට එක්ව නැති නිසයි. ‘ La Traverse’e ‘ ( The Crossing - තරණය ) නමැති වාර්තා චිත්‍රපටයේ මැක්රන්ගේ රංගනයේ තවත් විශේෂත්වයක් තමා පෙනී සිටි ජවනිකාව පෙර පුහුණුවකින් හෝ සැලසුමකින් තොරව එවෙලේ රූගත කරනු ලැබුවක් වීම ය. සැකෙවින් කියතොත් ජවනිකාව රඟපෑමක් නොව අවස්ථාවට උචිත ස්වභාවික හැසිරීමකි.
1968දී පැරිස් නුවර සිදුවූ ශිෂ්‍ය කෝලහලයෙන් පසු ප්‍රංශයේ වූ වෙනස්කම් කතිකාවතට ලක් කෙරෙන ‘The Crossing‘ චිත්‍රපටය වාමාංශික චිත්‍රපට අධ්යක්ෂවරුන් දෙදෙනකුගේ ඒකාබද්ධ නිර්මාණයකි. වසර පනහකට පසුවත් 1968 කැරැල්ලේ ප්‍රතිඵල ප්‍රංශ සමාජයෙන් රැව්දෙන අයුරු විග්රහ කෙරෙන, විනාඩි අනූවක් පුරා දිවෙන වීදි චිත්‍රපටයක් පිළිබඳ සිහිනය දුටුවේ අධ්යක්ෂ ‘ඩැනියෙල් ( ඩැනී ) කෝන්-බෙන්ඩිට්‘ විසිනි. යොවුන් වියේ සිටම විප්ලවවාදියකුවූ ඩැනීද 1968 වසරේ ශිෂ්‍ය කෝලහලයේ සාමාජිකයෙකි. ප්‍රංශ- ජර්මානු සම්භවයකින් යුතු හේ ලිබරල්වාදියකු ලෙස එකල ‘නාන්තේර්‘ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පෙළපාලි මෙහෙයවීය. කෝන්-බෙන්ඩිට් දුටු වීදි චිත්‍රපට සිහිනය ‘The Crossing‘ ලෙස යථාර්ථයක් කළේ කලෙක ට්රොට්ස්කිවාදියකුවූ ‘රොමේන් ගුපිල්‘ විසිනි. 1973 දී අධිරාජ්‍යවාදී ගැතිකම නිල වශයෙන් අත්හැරදැමු රොමේන්ද 1968 ශිෂ්‍ය කැරැල්ලේදී පාසල් සිසුන් මෙහෙයවීමට එක්වූවෙකි. එකල ජනපති ‘චාල්ස් ඩී ගෝල්ගේ‘ සම්ප්‍රදායික මධ්‍යම පාන්තික රාජ්‍ය පාලනයට අභියෝග කරමින් ඇරඹුණු මෙම ශිෂ්‍ය උද්ඝෝෂණ පසුව වාමාංශික දේශපාලනයෙන් කුලු ගැන්වී සංස්කෘතිමය විප්ලවයක් දක්වා වර්ධනය වූයේ මිලියන ගණනක් වූ ප්‍රංශ වැසියන් රජයට එරෙහිව වීදී බැසීමට පොළඹවාලමිනි.
එවක් පටන් ගත වු කාලය පිළිබඳ අදහස් ලබා ගැනීමට අධ්යක්ෂවරුන් දෙදෙනා ප්‍රංශය පුරා කරක් ගැසූහ. එහිදී අදහස් දැක්වූ ධීවරයන්, අයිස්ක්‍රීම් වෙළෙන්ඳන්, වරාය කම්කරුවන්, පාපන්දු පුහුණුකරුවන්, නගරාධිපතිවරුන්, හා ප්‍රංශ කවියන් අතරට ප්‍රංශ ජනපති එම්මෑනුවෙල් මැක්රන්ද එක් වූහ. මැක්රන්ගේ සිනමාසම්ප්රාප්තිය රැගත් ‘ද ක්‍රොසින්‘ චිත්‍රපටය පසුගිය 16දා කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණද එය තරග වටවලට ඉදිරිපත් කර තිබුණේ නැත. ලබන 21දා ප්‍රංශයේ 5TV නාලිකාව ඔස්සේද එය විකාශය කිරීමට නියමිතය.
මැක්රන් හා කෝන්-බෙන්ඩිට් දැනහැඳුනුම්කම ඔවුන් යුරෝපා සංවිධාන පාර්ලිමේන්තුවේ එක්ව සේවය කළ අවධිය දක්වා විහිදෙන්නකි. මැක්රන් යුරෝපා හවුලේ මුදල් ඇමතිවරයා විය. දෙදෙනාම යුරෝපා හවුලට දැක්වූ පක්ෂපාතීත්වයද ඔවුන් දෙදෙනා චිත්‍රපටයකින් එක්ව ජනතාව හමුවට ඒමට සාධකයක් විය. කෝන්-බෙන්ඩිට් යනු මැක්රන්ගේ ‘එන් මාර්ච්‘ ව්‍යාපාරය කෙරෙහිත්, ඔහුගේ ජනපතිවරණ ජයග්‍රහණය කෙරෙහිත් මුල සිටම විශ්වාසය තබා සිටියෙකි. ජනපතිවරණයට ඉදිරිපත් වීමට රජයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මැක්රන් අදහස් විමසුවේද ඔහුගෙනි. මැක්රන් වෙනුවෙන් ප්රචාරක රැළිවල හා වේදිකාවල අදහස් දැක්වූ කෝන්-බෙන්ඩිට්, ජනපතිවරණ ජයග්රහණයෙන් පසු ප්‍රංශයේ කාලීන මාතෘකා සම්බන්ධයෙන් ජනපතිවරයාට අවංකව අදහස් දක්වන විශ්වාසවන්ත නොනිල උපදේශකවරයකු වට පත්විය. රොමේන් ගුපිල්, කෝන්-බෙන්ඩිට්, මැක්රන් ත්‍රිත්වයේ හමුවීම් බොහෝවිට සිදුවන්නේ වැසුණු දොරවල් පිටුපස පිටස්තරයන් කිසිවකුගෙන් තොරවය. මේ නිසා ‘ද ක්‍රොසින්‘ ඔස්සේ මේ අපූරු මිත්‍ර ත්‍රිමූර්තිය සජිවීව මහජනතාව හමුවට එන්නේද පළමුවරට ය.
ප්‍රංශ ජනපතිවරයකු චිත්‍රපට රංගනයක නියැලෙන පළමු අවස්ථාව මෙය වුවද, රාජ්‍ය නායකයින් සිනමා නිර්මාණවලට දායකත්වය ලබාදුන් විරල අවස්ථා නැත්තේම නොවේ. 2012 දෙවන එළිසබෙත් මහ රැජිණද චිත්‍රපටයක ආරාධිත රංගනයක නිරත වූවාය. ඒ ජේම්ස් බොන්ඩ් කෙටි චිත්‍රපටයක්වූ ‘හැපි ඇන්ඩ් ග්ලෝරියස්‘ හි ප්‍රධාන නළු ඩැනියෙල් ක්‍රෙයිග් සමඟය. එය එම වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සමගාමීව නිර්මාණය වූවකි. වර්ගවාදයට හා වර්ණභේදයට එරෙහිව දැවැන්ත සටනක් ගෙන ගිය ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයකු වන දකුණු අප්‍රිකානු ජනපති නෙල්සන් මැන්ඩෙලාද වරක් චිත්‍රපට රංගනයක නිරතව තිබේ. ඒ ඔහු ජනපති ධුරයට පත්වීමට දෙවසරකට පෙර 1992දීය. ඉස්ලාම් දහම වැළඳගත් ඇමරිකාවේ විසු අප්‍රිකානු-ඇමරිකානු ක්රියාකාරියකුගේ ජීවිත කතාව නිරූපණය කෙරුණු ‘මැල්කම් එක්ස්‘ නමැති චිත්‍රපටයේ මැන්ඩෙලා පෙනී සිටියේ ගුරුවරයකු ලෙසිණි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද වරක් සිනමාපටයක පෙනී සිටියේය. ඒ 1992 දී ‘හෝම් අලෝන් 2‘ හීය. නමුත් මැන්ඩෙලා හෝ ට්‍රම්ප් මෙන් නොව මැක්රන් සිනමා රංගනයක යෙදෙන්නේ ජනපති ධුරය හොබවද්දීම ය. එසේම ඔහු පෙනී සිටින එම ජවනිකාවේ නිර්මාපකයාද ඔහුය. මැක්රන්ගේ සිනමා රංගනය අන් සියල්ලටම වඩා විශේෂ වන්නේ එබැවිනි.
රුක්ලන්ති පෙරේරා