Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ප්‍රධානීහු යති-එති මුහුණු පොත සමූහ බොරු කියයි

$
0
0
මැයි 22, 2018 01:00

 ජාතික රූපවාහිනියෙන් ප්‍රථම වරට විකාශය වූ ආචාර්ය.ඩී.බී.නිහාල්සිංහ ටෙලිසිනේ ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද දිමුතු මුතු ටෙලි නාට්‍යය අයිටීඑන් නාලිකාව විසින් විකාශය කරන ලදැයි යන අමූලික බොරුව සමාජගත කරන්නට මුහුණුපොත සමූහයක සාමාජික සාමාජිකාවෝ පිරිසක් ගත් උත්සාහයක් පසුගිය දිනෙක දිටිමි. පසුගිය සතියේ මේ තීරුවෙන් මා පවසන්නට උත්සාහ කළ කාරණා අපූරුවට තහවුරු කරමින්, මුහුණුපොත සමූහ ඇතැම් පිරිස් ඔවුන් ඕනෑම විෂයයක් පිළිබඳ මහා දැනුමැත්තෝය, ඔස්තාද්ලාය යන්නට නිදසුන් සපයමින් මෙකී ගජබින්නය ඇද බෑහ. එහෙත් ඒ අතර, සත්‍ය තතු දත් කිහිප දෙනකුගේ ද ප්‍රතිචාර සමූහ තුළ වූ බව ද කිව යුතුය. ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසය පිළිබඳ නිවැරදි ඉතිහාසය දන්නා ඕනෑම අයකු දන්නා සත්‍යය විකෘත කිරීමට, තම පාණ්ඩිත්‍යය පෙන්වීමට උත්සාහ ගත් එකී චරිත පිළිබඳ කනගාටු වෙමි. එහෙත් මුහුණුපොතට එබෙන බහුතර නව පරපුරේ දැනගැනීම සඳහා සත්‍යය, නිවැරදි තොරතුරු සටහන් කිරීම අත්‍යවශ්‍ය බව සලකමින් සත්‍ය තොරතුරු මෙලෙස කියමි.

අයිටීඑන් හෙවත් ස්වාධීන රූපවාහිනී නාලිකාව 1979 දී ආරම්භ වූවත්, 1982 දී ආරම්භ කරන ජාතික රූපවාහිනිය මෙරට පළමු ප්‍රාසංගික ටෙලිනාට්‍යය (Serials) වූ දිමුතු මුතු 1983 දී විකාශය කරන තෙක් කිසිදු ටෙලි නාට්‍යයක් විකාශය කොට නොමැත. කෝපිකඩේ වැනි මාලා නාට්‍ය ( Series ) සඳහා විනා ප්‍රාසංගික ටෙලිනාට්‍ය සඳහා ඔවුන් ගේ ඇල්මක් තිබී නොමැත. බැහැර නිෂ්පාදනය කොට ජාතික රූපවාහිනියෙන් 1983 දී විකාශය කරන ලද, කොටස් 14 න් යුත් දිමුතු මුතු ප්‍රථම වෘතාන්ත, ප්‍රාසංගික ටෙලි නාට්‍යය වූ අතර, රූපවාහිනී නාට්‍ය අංශයේ ප්‍රථම ප්‍රාසංගික ටෙලි නාට්‍යය වූයේ පරාක්‍රම නිරිඇල්ල නිෂ්පාදනය කළ ළා හිරු දහසක් නිර්මාණයයි. ධම්ම ජාගොඩ වැනි විශිෂ්ටයකු යටතේ පැවති නාට්‍ය අංශය විසින්, දිමුතු මුතු හෝ ළා හිරු දහසක් ප්‍රාසංගික නාට්‍ය විකාශයට පෙර ඒකාංගික නාට්‍ය නිෂ්පාදනය කොට විකාශය කිරීම අරඹා තිබිණ. රූපවාහිනී මැදිරි තුළ නිර්මාණය වූ ඒකාංගික නාට්‍ය පළමු වරට එළිමහනට ගොස් පටිගත කිරීම් ඇරැඹූයේ ලූෂන් බුලත්සිංහලගේ සෝමාගේ සිහිනය සමගිනි.

දිමුතු මුතු පළමුවරට අයිටීඑන් නාලිකාවෙන් නරඹා සිටින්නෙක් වේ නම් ඔහු හෝ ඇය එලෙස නරඹන්නට ඇත්තේ ප්‍රතිවිකාශයක් විය යුතුය. එබැවින් මෙරට ප්‍රථම ප්‍රාසංගික ටෙලිනාට්‍යය දිමුතු මුතු විකාශය කිරීමේ ගෞරවය ජාතික නාලිකාව සතු වේ. මේ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට එක්වූ ඇතැමෙක් අපූරුවට තමන් නොදන්නා දේ ලොවට හෙළි කරමින් සෝමාගේ සිහිනය ඒකාංගික නාට්‍යය පිළිබඳ අසත්‍ය තොරතුරු රැසක් ද ලියා තිබිණ. ඔහුට අනුව, ලූෂන් බුලත්සිංහලට රූපවාහිනියෙන් අසාධාරණයක් සිදු වී ඇත. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයක් මගින් මේ නාට්‍යය තහනමට ලක් වී ඇත. මේවා සමූහයකට ප්‍රතිචාර දක්වන්නන් සත්‍යය නොදැන තොරතුරු නො විමසා කරනු ලබන ඔවුන්ගේ හිතලුය.සෝමාගේ සිහිනයේ පසුබිම් කතාව මෙසේය. මෙය ටෙලි චිත්‍රපට ( Tele Film ) සංකල්පය මත පිහිටා ලූෂන් විසින් නිෂ්පාදනය කරන ලද හෝරාවකට වඩා අඩු කාලයක් තුළ විකාශය විය යුතු ඒකාංගික නාට්‍යයකි. එහෙත් කාල වේලාව පිළිබඳ හෝ අනුග්‍රාහක ප්‍රශ්නයක් මත සති දෙකකදී විකාශය වී ඇත. එය කිසිසේත් ප්‍රාසංගික ටෙලි නාට්‍යයක් නොවිණ. එනමුත් මේ නිර්මාණය පිටුපස සිදු වූ අසාධාරණයක් වේ. එ පුවත මෙසේය.

එවකට නාට්‍ය අංශයේ ප්‍රධානී ධම්ම ජාගොඩ ගේ නිර්දේශය මත සෝමාගේ සිහිනය ජර්මනියේ Free Futura ටෙලි සම්මාන උළෙලකට ඉදිරිපත් කරනු ලැබේ. 1983 දී මේ දිනවලම රූපවාහිනී තාක්ෂණය පිළිබඳ පුහුණු ශිෂ්‍යත්වයක් සඳහා ලූෂන් බුලත්සිංහල ට එතෙර පුහුණුවකට ඇරැයුම් ලැබෙන්නේ ද ජර්මනියෙනි. ඔහු ජර්මනියේ සිටියදී සෝමාගේ සිහිනය උළෙලේ ඉදිරිපත් කිරීම පිණිස ධම්ම ජාගොඩට එහි එන්නැයි ආරාධනයක් ලැබේ.අන් ඕනෑම රාජ්‍ය අංශයේ පරිපාලන හෝ මානව සම්පත් අංශ නිලධාරීන් ක්‍රියාකරන පටු ආකල්පයෙන් හා ඊර්ෂ්‍යාවෙන්, රූපවාහිනී පණ්ඩිතයන් ද ධම්මගේ ගමන වළකමින් ලූෂන් බුලත්සිංහල දැනටමත් ජර්මනියේ සිටින බැවින් ඊට සහභාගී වන්නැයි පවසා ඇත.

එහෙත් උළෙලේ නීතිරීති අනුව නිර්මාණය ඉදිරිපත් කොට ඒ පිළිබඳ සහභාගීවීමට ඔවුන් ඇරැයුම් කළ පුද්ගලයා විනා අන් අයකුට ඉඩ නොලැබෙන බැවින්, සෝමාගේ සිහිනය තරගකාරී අංශයෙන් ඉවත්කොට සහභාගීත්ව අංශයෙන් පමණක් විකාශය කොට ඇත. එකී නාට්‍යයේ නිර්මාණ ගුණයට සම්මානයක් ලැබෙන්නට හෝ ඇගැයීමකට ලක්විය යුත් අවස්ථාව ජාතික රූපවාහිනියේ එදා සිටි බලධාරීන්ගේ මුග්ධ තීරණයකින් අහිමිව ගියා යැයි සිතේ.

ඉහත සිදුවීමේම ඡායවක් සහිත නිලධාරිවාදී ආකල්පයකින් සලකන ලදැයි පැවසෙන ජාතික රූපවාහිනී සංස්ථා නිර්මාණකරුවන් තිදෙනකු ලද ජයග්‍රහණ වෙනුවෙන් සංස්ථා ලොබියේ පැවැත්වුණු අපූරු උපහාර උළෙලකට සහභාගී වන්නට අවස්ථාව ලැබිණ. එය අපූරු උපහාර උළෙලකැයි මා පවසන්නේ, පදික වේදිකාවක තෙල් බෙහෙත් වෙළෙන්දෙක් වටා රැස්වී ඔහුගේ කතා අසා ඉන්නා පිරිසකගේ තත්ත්වයට ආරාධිත සේවක මණ්ඩලය ඇද දමමින් ඔවුනට හෝරාවක් තරම් කාලයක් සිටගෙන සිටින්නට සලස්වා පවැත් වූ අරුම පුදුම උපහාර උළෙලක් වූ බැවිනී. රුසියාවේ මොස්කව්හි දී පැවති අන්තර්ජාතික Detective Fest සිනමා සම්මාන උළෙලේදී අතුල පීරිස්ගේ සහෘදයෝ ටෙලි නාට්‍යයට විශේෂ සම්මානයක් ද, රංග බණ්ඩාරනායකගේ ජීවිතය අහිමි ආදරයක් - ආදරය අහිමි ජීවිතයක් වාර්තා චිත්‍රපටයට ජූරියේ විශේෂ සහතිකයක් ද, ශිරාන් රත්නායක නිර්මාණය, කෙටි පූරකයට ( Filler ) ජූරියේ විශේෂ සහතිකයක් ද හිමි වී තිබිණ.

එහෙත් ඔවුනට මේ සම්මාන උළෙලට සහභාගීවීමට සංස්ථාවෙන් ලද සහයෝගය පිළිබඳව ඇසුණු කතා අමිහිරිය. ගුවන් ටිකට් පත් ලබාගැනීමට ජනාධිපතිතුමා ළඟට යන්නට සිදුවීම අදහා ගත නොහැකිය. නවාතැන් පහසුකම් පිළිබඳ පාලනාධිකාරියේ ප්‍රතිචාරය ද කනගාටුදායක බව කියනු ඇසිණ. මේ ගමනට අදාළ කටයුතු සඳහා වූ පමාව නිසා අතුල හා රංග විසින් චීන මාධ්‍ය ආයතනයකටළ යෝජනාවක් වෙනුවෙන් සංස්ථාවට ලබාගැනීමට තුබූ ඩොලර් 8500 ක විනිමයක් ද අහිමි වී ගිය බව කියැවිණ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සම්මානලාභීන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුට විරුද්ධව සමාජ මාධ්‍ය ජාලාවක වූ පෝස්ටුවක් සභාව ඉදිරියේ නැවත කියවමින් සභාව දැනුවත් කරනු විනා තම සේවකයන් තිදෙනා ආයතනයට හා රටට ගෙන ආ කීර්තිය පිළිබඳ කතාකරනු නො ඇසිණ. 1983 දී ධම්ම ජාගොඩට හා ලූෂන් බුලත්සිංහලට අත් වූ ඉරණමම, අදත් එලෙසම හෝ ඊට සමාන අයුරකින්, අතුලට, රංගට හා ශිරාන්ට සිදු නොවී යැයි අපට සිතන්නට හැකිද?

ජාතික රූපවාහිනියට ද අනෙකුත් මාධ්‍ය ආයතන සඳහා, ගුවන් විදුලි සංස්ථාව හැර, නව ප්‍රධානීන් පත්වීමත්, අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් ප්‍රධානීන් ඉවත්ව යෑම රූපවාහිනියට ද පොදු සිදුවීමක් වීය. සභාපති නීතිඥ රවි ජයවර්ධන වෙනුවෙන් ද ක්‍රියාකාරී අධ්‍යක්ෂ අමල් ගජමන් ගේ වෙනුවෙන් ද සමුගැනීමේ සාද ද පැවැත්විණ. සභාපතිතුමා වෙනුවෙන් පැවැත් වූ සාදයේ දී ජාතික රූපවාහිනියේ සමාරම්භක සභාපති වූ කීර්තිමත් එම්.ජේ.පෙරේරා සූරීන්ගේ නම ද සඳහන් වනු ඇසිණ. ජාතික රූපවාහිනී ඉතිහාසයේ විශිෂ්ටතම සභාපතිවරයා වන්නේ එම්.ජේ.පෙරේරා පමණි. ඔහුගේ කාර්යසාධනය, නිවැරිදි නායකත්වය, දුර දක්නා නුවණ, තීරණ ගැනීමේ නිර්භීත භාවය අතික්‍රමණය කරන්නට සමත්වීම කෙසේ වෙතත් ඊට ළංවන්නට හෝ හැකි වූ අන් කිසිදු සභාපතිවරයෙක් පිළිබඳ මා නම් දන්නේ නැත. රවී ජයවර්ධන සභාපතිවරයාට නිරුපද්‍රිතව අස් වී යාමට හැකිවීම පිළිබඳ සතුටක් දැනෙන අතර ප්‍රථම සභාපතිතුමාගේ නිර්භීත විනිශ්චය, රස වින්දනය, සිහි ගැන්වෙන අවස්ථා ද සිහියට නැගෙන බව ලියා තැබිය යුතුය.

එතුමන්ගේ පාලන කාලය තුළ කලාත්මක හා නාටකීය ගුණයෙන් යුත් වේදිකා නාට්‍ය රූපවාහිනී මාධ්‍යයයෙන් විකාශය කිරීමේ මහඟු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විණ. මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ සිට දිවයිනේ ප්‍රමුඛ නාට්‍යකරුවන්ගේ වේදිකා නිෂ්පාදන රූපවාහිනියෙන් නැරඹීමේ අවස්ථාව උදා කොට දෙන ලද්දේ එම්.ජේ.පෙරේරා සභාපතිතුමා හා නාට්‍ය අංශ ප්‍රධානී ධම්ම ජාගොඩ විසිනි. අද දක්වාම වරින්වර වේදිකා ගතවන , කේ.බී. හේරත් නාට්‍යකරුවාගේ මායාදේවී එලෙස රූපවාහිනියට නැගුණු එක් වේදිකා නිර්මාණයක් විය. එහි පළමු කොටස විකාශය වූ සැණින් රූපවාහිනියට භික්ෂූ සමාජයෙන් චෝදනා නැගෙන්නට පටන් ගත්තේ මේ නාට්‍යයයෙන් සංඝයා වහන්සේලාට බුද්ධාගමට,අපහාසයක්, අගෞරවයක් සිදුවන බැවින් වහාම විකාශය නතර කරන ලෙසයි.

ඊට ප්‍රධාන හේතුව වූයේ, මායාදේවී හි ප්‍රධාන චරිතය උපැවිදි වූ තරුණ භික්ෂුවක් පිළිබඳ වූ පුවතක් වීමයි. නාට්‍ය විකාශය එක් සතියක් නැවතිණ. එම්.ජේ.පෙරේරා සභාපතිතුමා විසින් සමස්ත නාට්‍යය නරඹන ලදුව, ඉතිරි කොටස් සියල්ල එකවර විකාශයට අණ කෙරින. සංඝ සමාජයේ විරෝධයට මුහුණ දීමට සභාපතිතුමා සූදානම්ව සිටියේය. එහෙත් විරෝධය නිහඬ කිරීමට එතුමා ගත් තීරණය අතිශය නිර්භීත වීය.

සැබෑ පාලකයා, නිර්භීත නායකයා එම්.ජේ.පෙරේරා සභාපතිතුමා ම බව සනාථ කෙරෙන මේ සිදුවීම මහට පැවසූයේ එදා රූපවහිනියේ නියෝජ්‍ය අධක්ෂවරයකුව සිට අද අයිටීඑන් නාලිකාවේ උපදේශකයකු වන පියදාස රත්නසිංහ මිත්‍රයායි. 83 කළු ජූලිය සමයේ රාත්‍රී 10.30 විකාශය වූ ඉංග්‍රීසි චිත්‍රපටය Disaster on Coast Liner වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ විකාශය වෙමින් තිබී ඇත. එක්තරා මහාචාර්යවරයෙක් සභාපතිතුමා අමතා මෙසේ පවසා ඇත. “ I say, M.J. What is this film ? How can I watch this with my daughter?“ එම්.ජේ.පෙරේරා සභාපතිතුමාගේ පිළිතුර මෙයයි. “ You ask your daughter to go and you watch it “ මහාචාර්යවරයා නැවත කතා කළේ නොමැත. විශිෂ්ටයන් සිහිවන්නේ ඔවුන් විසින් ආයතනයට, මාධ්‍යයට ඉතිරි කොට තබා ගොස් ඇති අර්ථවත් හා යහපත් ප්‍රතිඵල මත පමණි.

බුද්ධදාස ගලප්පත්ති
bgalappatty@yahoo.com

 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>