Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අකුණු

$
0
0
මැයි 22, 2018 01:00

 වෙසක් සුළං වෙනුවට හැම හැන්දෑවකම ඇද හැලෙන වැස්ස සරුංගල් පිළිබඳව කොල්ලන්ට සිතන්නටවත ඉඩක් ලබා නොදෙයි. වෙල්යායක දුව පනිමින් සරුංගල් යැවූ වෙසක් මසක මතකයෙන් සැනහෙමින් ඔවුන් අකුණු හා ගිගිරුම් සහිත මහ වර්ෂාවක හිරිහැරය විඳින්නට සූදානම් වූහ.

“ටී. වී. වහන්න, ෆෝන් පැත්තකින් තියන්න. අඩුම ගානෙ වැහැලා ඉවරවෙනකම්වත් ඔය යන්තර සූත්තරවලින් පොඩ්ඩක් ඈත්වෙලා ඉන්නකෝ ළමයිනේ.”

අහස මහ වැස්සකට අර අඳින හැම හැන්දෑවකම මම මගේ කොල්ලන්ට අනතුරු අඟවමි. තරවටු කරමි. අකුණු අනතුරු පිළිබඳව පුවත්පත් වාර්තා ගෙනහැර දක්වමි.

“අම්මත් කිරිඅම්මා වගේම කෑගහන්ඩ පුරුදු වෙලා.”

නොමනාපය පිරුණු ඇස් අටක් මා වෙත එල්ල වෙයි.

“කෑ නොගහ කොහොමද..? අනිත් එක කෑගහන්න ඕනත් නෑනේ ඕගොල්ලො මේ වෙනස්වෙන දේශගුණයට අනුව හැඩගැහෙනව නම්, අව්ව වැස්ස ගංවතුර අකුණු සුළඟ ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්න ඕනනේ කව්රු වුණත්”.

සුනාමිය හා නායයෑම් පිළිබඳව වැඩිදුරටත් කතා කරන්නට මට උවමනා වුවද ගෙට ගොඩ වූ ගෘහමූලිකයාගේ මුහුණේ අඳුර මගේ මුව අගුලු ලෑවේය. එහෙත් ඇයි අසන්නට මම පැකිළුණෙමි.

“ අපේ මැඩම්ට ලොකු ප්‍රශ්නයක්.”

මුවින් නොව දෑසින් ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේය.

ඔහුගේ පමණක් නොව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොයි කාගෙත් ජනාදරයට පාත්‍රවූ ප්‍රාදේශීය ලේකම්වරිය සජිදාබානු මහත්මිය මුහුණදුන් අලකලංචිය මේ වන විට ප්‍රසිද්ධ සිදුවීමකි.

පොදු ජනතාව කෙරෙහි දයාවෙන් අවංකව සහ සැබෑ හැඟීමකින් රාජකාරි කළ රාජ්‍ය නිලධාරිනියක පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත භූමි භාගයක් ඩෝසර් කිරීමේ වරදට චූදිතයෙකු කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදී රාවණා බළකාය රූපවාහිනියෙන් නරඹන කල පැනනැඟුණේ ගැටලු රැසකි.

රාජ්‍ය ආයතනයකට අනවසරයෙන් සහ බලහත්කාරයෙන් ඒ පරිද්දෙන් කඩා වැදීමේ හැකියාවක් කිසිවෙකුටත් තිබේද? තමන් අභිමත ඕනෑම දෙයක් කරන්නට, හුදෙක් සිවුරක් දැරීම අවසරයක් හෝ බලපත්‍රයක් වන්නේ කෙසේද? රටේ සාමාන්‍ය නීතිය එක් එක් සමාජ ස්ථර හෝ ආගමික පූජකයන්, පැවිද්දන්, දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් අනුව වෙනස් වන්නේද? අබල දුබල වන්නේද?

හිසට සෙවණක් නැති දිළිඳු ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම යහපත් ක්‍රියාවක් බව සැබෑය. එකී නිවාස ඉදිකිරීම දේශපාලන තුරුම්පුවක් ලෙස භාවිතා නොකොට නිසි ප්‍රමිතියකින් හා පරිසර විනාශයකින් තොරව සිදුවිය යුතු බවද සැලකිල්ලට ගත යුතුව තිබේ.

ඉපලෝගම සිදුවීමේදී ප්‍රාදේශීය ලේකම්වරියගේ ජාතිය පෙරට දැමීම කිසිසේත් අනුමත කළ නොහැක. ඉපලෝගම පුගොල්ලාගම රජයේ රක්ෂිත බිම හරහා ජයග‍ඟේ ඉවුර වෙත පාරක් කැපීමේදී හෙළිදරව්වූ පුරාවිද්‍යාත්මක නටබුන් පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී වසර ගණනාවක් ගත වනතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද ප්‍රාදේශීය ලේකම්වරියගේ නිසි අවසරය නොලබා එකී භූමි භාගය එළිපෙහෙළි කිරීමෙන් නටබුන්වලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියද පමණක් නොව කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාද මෙහිදී වගකිවයුතුය. ඒ සියලු සාධක නොසලකා හුදෙක් මුස්ලිම් වීම නිසාම ඉපලෝගම හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය දංගෙඩියට දක්කාගෙන යාම කිසිසේත් අනුමත කළ නොහැක.

පුරාවිද්‍යාත්මක අගයක් සහිත ඉඩමක් බව දැන දැනත් නිසි පියවර නොගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන වෙත ඇත්තා වූ අලස නිදිබර හා අකර්මණ්‍ය බව මනාව හෙළි කරයි. ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් සිය වගකීම නියමාකාරයෙන් ඉෂ්ට කරන්නේ නම් බොහෝ ගැටලු පැන නොනඟින බව නිසැකය. යම් සිදුවීමකදී ඊට අදාළ තැනැත්තා අන්‍ය ජාතිකයෙක් නම් වහා කඩා පනින බළකායන්ගේ සැබෑ අභිප්‍රාය රට ගිනි තැබීම බවද සිහිබුද්ධිය තිබෙන ඕනෑම කෙනෙකුන් හට පෙනී යයි.

මෙකී සිදුවීමෙන් පසු මර්වින් සිල්වා වැනි පාරාජිකා වූ දේශපාලනඥයෙක් වඩමවාගෙන විත් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූ පිරිස් විනාශයට පත් එකී බිම හෝ මේ වියළි කලාපයේ අනන්ත දුක් පීඩා උසුලන උදවිය වෙනුවෙන් කළ මෙහෙයක් සත්කාර්යයක් ඇත්දැයි විමසා බැලීම වටී. එමෙන්ම මේ සිදුවීමේදී ඇතැම් මාධ්‍ය ආයතන හැසිරුණු විලාසයද මාධ්‍ය සදාචාරය අනුදත් කිසිවෙකුට අනුමත කළ නොහැක. ප්‍රාදේශීය ලේකම්වරියගේ ජාතිය හුවාදක්වමින් ඇය වසර ගණනාවක් පුරා මේ දුෂ්කර දනව්වට සිදු කළ සේවය මුළුමනින්ම නොතකා ජාතිවාදය පතුරවන්නට හා අවුලුවාලන්නට දැරූ ප්‍රයත්නය අතිශයින් නින්දනීයයි. මාධ්‍ය නියාමනයක් අවශ්‍ය බව ඉපලෝගම සිදුවීම අරබයා ඇතැම් මාධ්‍ය හැසිරුණු විලාශය තහවුරු කරයි.

සැබැවින්ම දුටුගැමුණු රජ සමයට අයත් ඒ අමිල පුරාවස්තු විනාශය හෙළා දැකිය යුතුව ඇත. එහෙත් එකී අපරාධය ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියව හුන් සජිදාබානු මහත්මියගේ කරපිට පැටවීමට යම් යම් පාර්ශ්ව සංවිධානාත්මකව පෙළගැසීමද එබඳුම අපරාධයකි.

කිසිවකුගේ ජාතිය කුලය හෝ ආගම එකී පුද්ගලයා පීඩාවට පත්කරන්නට යොදාගැනීමද අපරාධයක් නොවන්නේද? තම තමන්ගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරන අතරේම සියලු වාද පසෙකලා රටට දියුණුව සඳහා ක්‍රියා කළ යුතු බව හඟින්නට අප අපොහොසත් වන තාක් කල් ලංකාව සංර්ධනය වෙමින් පවතින රටකැයි නැවත නැවතත් ලියන්නට පාපොච්චාරණය කරන්නට අපේ දූ දරුවන්ට සිදුවනවා නො අනුමානය.

මහ හඬින් පිපිරුණු අකුණක් සමඟ විදුලිය ඇණ හිටියේය. සියලු විද්‍යුත් මෙවලම් පසෙකලා මගේ කොල්ලෝ මා වට කරගත්හ.

“ගේත් එක්ක හෙල්ලුණා නේද අම්මා..?”

තවමත් මගේ ඇකයට දබරකරන නිවුන් පුතුන් එකිනෙකා තල්ලු කර දමමින් ඇසුවෝය.

“අහසට පොළව කලඹබන්න පුළුවන් වගේම මිනිස්සුන්ටත් ජාතිය ආගම් කුලය පාවිච්චි කරලා ගමක් රටක් කලඹන්න නීති තියෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු ඔය අකුණකට වඩා භයානකයි.

තමා වෙත පැමිණෙන සියලු දෙනාට කාරුණිකව සවන් දෙන සජිලදාබානු මහත්මියගේ නිරහංකාර බව සිහි කරමින් මම කියාගෙන ගියෙමි.

“කතන්දරයක් කියන්න අම්මා....”

නිවුන් පුතුන් පමණක් නොව මද්දුත් ඉල්ලා සිටියේය.

“කතන්දර නම් ගොඩක් තියෙනවා. ඒත් ඒවා ලස්සන නෑනේ.”

“අනේ කමක් නෑ” කමක් නෑ කියන්නකෝ අම්මා.”

කොල්ලෝ එක හඬින් ඇවිටිලි කරති.

“ඔන්න එක සාගරයක් තිබුණා... ඒ සාගරයේ තිබුණා මුතු ඇටයක් වගේ ලස්සන රටක්...

එකිනෙකා දැකිය නොහැකි අන්ධකාරයේ කා පොදියක්ව එක ගුලියක්ව ඔවුනොවුන්ගේ උණුසුමේ වෙළෙන්නට ඉඩ දුන් වැස්සටද අකුණටද අන්ධකාරයට ස්තුතිවන්ත වෙමින් මම කතන්දරයට මුල පිරුවෙමි.

ශාන්ති දිසානායක
srmsenapura@gmail.com


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>