අපේ ත්‍රිවිධ හමුදාව යුද්ධයේදි දස්කම් දක්වා මේ රටට නිදහස උරුම කර දුන්නා සේම රටේ ජනතාවට විවිධ අවස්ථාවල මුහුණ පෑමට සිදුවන විවිධ ස්වාභාවික ආපදාවන්ගෙන් මෙන්ම අනතුරුදායක අවස්ථාවලින් ඔවුන් බේරාගත් අවස්ථා බොහෝය. මේ අවස්ථාවද එවැනිම මාරක් අනතුරුදායක අවස්ථාවකට මුහුණ දුන් කුඩා ආබාධිත දැරියක් අඩි පනහක පමණ ප්‍රපාතයකට ඇදවැටි ප්‍රපාතයේ අතර මඟ සිරවි සිටියදී නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් විසින් සිය ජීවිත ආරක්ෂාව පවා නොබලා එම දැරිය බේරාගත් අවස්ථාවකි.
මේ සිද්ධිය සිදු වුයේ පෙරේදා(03) පස්වරුවේ ගාල්ල රූමස්සල කන්දෙන් පහළට ඇති ප්‍රපාතයේය. මේ රූමස්සල කන්ද උඩ බොනිටා නැමැති ළමා නිවාසයක් පිහිටා ඇත. මේ ළමා නිවාසයේ සිටින සියලුම දරුවන් මන්ද මානසික තත්ත්වයේ අය වෙති. එම ළමා නිවාසය ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයේ පවතින එකකි. එම අනාරක්ෂිත තත්ත්වය ඒ ආකාරයෙන් පැවතියද ඊට ආරක්ෂිත ළමා නිවාසයක් බවට පත් කිරීමට මේ තාක්කල් කිසිවකුත් පියවර ගෙන නොමැත. එහි අනාරක්ෂිත තත්ත්වය එම ප්‍රදේශය බාරව සිටින හබරාදුව පොලිසිය පවා දන්නා නමුත් වගකිව යුතු අංශවලට ඒ බව දැනුම් දී ඇතත් මේ වනතෙක් එම අනාරක්ෂිත තත්ත්වය ඒ ආකාරයෙන්ම පවතී. එම අනාරක්ෂිත තත්ත්වයේ තවත් එක් ප්‍රතිඵලයක් වුයේ පෙරේදා (03) පස්වරු පහට පමණ කුඩා දැරියක් රුමස්සල කන්දේ සිට අඩි පනහකටත් වඩා වැඩි ප්‍රපාතයකට ඇද වැටීමේ සිද්ධියයි.
ප්‍රපාතයට ඇද වැටුණු මේ දැරිය දෛවයේ වාසනාවකටදෝ ප්‍රපාතයේ පහළට ඇදි ඇවිත් අතරමඟ ගස්වල රැදී සිට ඇත. මේ අසල කඳු පාමුලින් ගමන්ගත් එම ප්‍රදේශයේ තරුණයකුට ප්‍රපාතයේ සිරවී සිට ඇති මේ දැරිය කෑ ගසන හඩ ඇසි අහල පහළ සිටි අයටත් දැනුම් දී දැරිය බේරා ගැනීමට කටයුතු කළ අතර මේ අනතුර ගැන හබරාදූව පොලිසියටද දැනුම් දී ඇත .මේ අතර ගාල්ල වරාය පොලිසිය හරහා ගාල්ල නාවික හමුදාවටද දැනුම් දී ඇත.
එම දැරිය බේරා ගැනීමට නාවික හමුදාවේ උදව් ඉල්ලා දුරකතන ඇමතුමක් ලැබිමත් සමඟම නාවික හමුදාවේ දකුණු විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා විසින් නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් සුදානම් කළ නාවික හමුදා කිමිදුම් නිලධාරි රුමාල් විරසිංහ මහතා එම පිරිස කැටුව වහාම එම ස්ථානයට ගොස් තිබේ. ඒ වන විටත් දරුවා බේරා ගැනීමට පිරිස බොහෝ දේ කර තිබුණත් එම අනතුරුදායක තත්ත්වයට කිසිවකුටත් මුහුණදීමට තරම් හැකියාවක් තිබුණේ නැත. නාවික හමුදාවේ නිලධාරින් වහ වහා ළමයා බේරා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් මුලින්ම සිදු කර තිබුණේ මේ ළමයා සිරවී සිටි තැනින් පහළට ඇඳ වැටීමට ඉඩ නොතබා එම ස්ථානය පහළ ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමයි.
ඒ අනුව නාවික හමුදා භටයන් කිහිප දෙනකු විසින් ප්‍රපාතයට බඩ ගා ළමයා සිටින තැනට ගොස් ඇය එම ස්ථානයෙන් පහළට ඇද වැටීමට ඇති අවදානමට පිළියම් යොදමින් කිහිප දෙනකු ළමයා කන්දට සිරකර තබා අල්ලා ගෙන සිටියදී සෙසු පිරිස විසින් වහ වහා පහළට වෙන්නට තාවකාලික වහළයක් වැනි ආවරණයක් සකස් කිරීමයි. ඒ අතර එම කටයුතු සිදුවෙද්දි ඉනිමන් තබා ප්‍රපාතය පහළ සිට නාවික මෙහෙයුම් විශේෂ කණ්ඩායමක් ඉහළට ගොස් එම දැරිය පහළට ගෙන ඒම තවත් අනතුරුදායක බැවින් පහළ සිට ඇදි ඇති පුටුවක් උඩට යවා ඇය එහි හිදුවා පුටුව වටේට ආවරණය කර ලණුවලින් බැද තවත් නිලධාරින් කිහිප දෙනකුද සමඟ ඇය ක්‍රමක් ක්‍රමයෙන් පහළට ගෙන ඒමට පියවර ගැනිණි. පැය තුනකට ආසන්න කාලයක් තුළ සිදු කෙරුණ එම මෙහෙයුම මගින් දැරිය නිරුපද්‍රතව පහළට ගෙන ඒමට කටයුතු කළහ. තුවාල ලබා සිටි එම දැරිය එම් අවස්ථාවේම පෞද්ගලික ගිලන් රථයක් මගින් කරාපිටිය රෝහල වෙත ගෙන යනු ලැබුණි. මේ වන විට මේ දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වෙයි.
මෙවන් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදි සිටි එම දරුවාගේ ජිවිතය බේරා ගැනීමට දකුණු නාවික විධානයත් ප්‍රදේශවාසින් පොලිසිය මෙන්ම මේ දරුවා අනතුරට පත්වි සිටිනු දුටු 22 හැවිරිදි තරුණයාත් කළ කැපවිම අප්‍රමාණය.
සටහන - විජයානි එදිරිසිංහ
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය සහ ලංකින්ද නානායක්කාර