Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ජවිපෙ 20 න් රට ‍අවුල් වෙනවා

$
0
0
ජුලි 6, 2018 01:00

වැවිලි කර්මාන්ත අමාත්‍ය එජාප ජාතික සංවිධායක නවින් දිසානායක

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට පවතින ප්‍රශ්න වන ‍පොල් ඉඩම් කට්ටි කිරීම, රබර් ගලවා කටුපොල් සිටුවීම, තේ දලු නෙළීමට සහ වතු වැඩට කම්කරු හිඟය ආදී ප්‍රශ්න ගැනත් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳත් කරුණු දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැති හමුවට එක්වේ.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝග තුනම අවදානම් තත්ත්වයක පැවැතීම ගැන ඔබ මොකද කියන්නේ?

ඕක වැරදි ආකල්පයක්. අපිට හොඳ තත්ත්වයක් තියෙනවා. තේවලට ඉහළම ඉල්ලුමක් තියෙනවා. අපේ නිෂ්පාදනය වැඩි වෙනවා. අපනයන තත්ත්වය ඉහළයි. පොල් මිල දැන් අඩුයි. පොල් නිෂ්පාදනය මේ වෙනකොට වැඩි වෙලා. නියඟය හින්ද නිෂ්පාදනයෙ අඩුවක් තිබුණා. පොල්තෙල්, පොල් වතුරවලට ඉහළ මිලක් ලැබෙනවා. රබර් මිල ජාත්‍යන්තරව තරමක් පහත වැටිලා තියෙනවා. කුඩා රබර් වතු හිමියන්ට යම් සහනයක් දෙන්න බලනවා.

රබර් කිරි හැටියට ආනයනය කරනවා නේද?

බොහොම සුළු ප්‍රමාණයක් ගෙන්වනවා. නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා කිහිපයකට ගෙන්වල ග්ලව්ස්, ටයර් වැනි නිෂ්පාදන කරනවා. ඒ හරහා අපිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ විනිමයක් ලැබෙනවා.

මේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය රබර් කිරි දේශීයව නිෂ්පාදනය කරන්න බැරි ඇයි?

ලංකාවෙ එවැනි ප්‍රමාණයක නිෂ්පාදන හැකියාවක් නැහැ. අසූ ගණන්වලදි අපේ රබර් නිෂ්පාදනය අඩුවුණා.

විදේශයන්ගෙන් පොල් ආනයනය කරන බවටත් චෝදනා එල්ල වෙනවා?

ලංකාවට පොල් ගෙන්වන්න තහනම්. මමත් කැමතියි මේ මිල වැඩිවෙනකොට පොල් ටිකක් හරි ගෙන්වන්න. ලංකාවෙ නීතියෙන් ඒක තහනම්.

පොල් ඉඩම් කට්ටි කඩනවා. රබර් ගලවල කටුපොල් වගා කරනවා. මේ තත්ත්වය මෙරට පාරිසරික ගැටලු රැසකට හේතුවෙලා?

පොල් ඉඩම් කට්ටි කිරීම ගොඩක් කාලෙක ඉඳන්වෙන දෙයක්. අපි තමයි දැන් ඒ වෙනුවෙන් දැඩි කොන්දේසිදාල නවත්වන්න උත්සාහ ගන්නෙ. පුද්ගලික ඉඩම් විකිණීමට අපිට හරස්වෙන්න බැහැ. ඒත් පොල් වගාව ගැන අපිට හිතන්න වෙනවා. හෙක්ටයාර් විසි දහසක කටුපොල් වගාවකට අවසර දීලා තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ ගත්තු තීන්දුවක්. ඒ තීන්දුවට එහා ගිහින් අපි කිසිවක් කරලා නැහැ. අලුතින් කටුපොල් වගාවට ඉඩම් වෙන්කරලා නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාරිසරික ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම කටුපොල් නිසා ජල මූලාශ්‍රවලට බලපෑමක් තියෙනවද කියලත් පරීක්ෂණ කෙරෙනවා. හැඟීම්බර තීරණ ගන්නෙ නැතුව විද්‍යානුකූලව අපි වැවිලි ‍ක්ෂේත්‍රයේ තීරණ ගන්නවා.

රටට විදේශ විනිමය ගෙනෙන මේ ප්‍රධාන භෝග තුන කෙරෙහි ආණ්ඩුවෙ මැදිහත්වීම ප්‍රමාණවත් නැති බවයි කියන්නෙ?

ඇඟලුම්වලටත් වඩා වැඩි විදේශ විනිමයක් මේ භෝග තුනෙන් තවමත් අපිට ලැබෙනවා. බැලූ බැල්මට මේ ක්ෂේත්‍රයෙ දියුණුවක් නැහැ කියලා පෙනුනත්, අපි හොඳ තැනක තවමත් ඉන්නවා. මීට වඩා ඉලක්කයකට අපි යා යුතුයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක වත් විදේශ විනිමය ඉපයීමක් මේ ක්ෂේත්‍රයෙන් කළ යුතුයි. ඒ ඉලක්කයට අපි යනවා.

පහත රට තේ වගාවෙන් කුඩා තේවතු හිමියන් ඈත්වෙමින් ඉන්නවා. බොහොමයක් තේවතු මේ වනවිටත් කැලෑවට අතහැරලා තිබෙන බවයි තේවතු හිමියන් කියන්නෙ?

තේ වගාව අතහැරලා කියන ඔ‍ෙබ ඔය මතයට මම එකඟවෙන්නෙ නැහැ. රුපියල් සීයක් වැනි ඉහළ මිලක් අමු තේ දළු කිලෝවකට දැන් ලැබෙනවා. එවැනි තත්ත්වයක තේ වගාවෙන් අයින්වෙන්නෙ කවුද?

කුඩා තේවතු බොහොමයක් කැලෑවට අතහැරලා තියෙන්නෙ කම්කරු ශ්‍රමය නොමැතිවීමෙන් බවයි කියන්නෙ?

කම්කරු ප්‍රශ්නය තියෙනවා. විශාල වැවිලි සමාගම්වලට තමයි ඔය ප්‍රශ්නය තියෙන්නෙ. කුඩා තේවතු හිමියන්ට එවැනි ප්‍රශ්න නැහැ. තේ වගාවෙ වල් නෙළීම ගැන පහුගිය කාලෙ ගැටලු තිබුණා. අපි දැන් තේ, රබර්වලට ග්ලයිපොසේට් අනුමැතිය දුන්නා.

තේදලු නෙළන්න කම්කරු හිඟය තිබුණත් ඊට විකල්ප ලෙස දලු නෙළන යන්ත්‍රයක් හඳුන්වා දෙන්නවත් අමාත්‍යාංශය උනන්දුවක් නැති බවයි කියන්නෙ?

ලංකාවෙ තේවලට හොඳ මිලක් තවමත් ලැබෙන්නෙ ප්‍රමිතියෙන් යුතු දලු හින්දයි. ඒක අතින් නෙළද්දි තමයි හරියට කරන්න පුළුවන්. මැෂින් හඳුන්වාදීම ගැන මට විශේෂ අදහසක් නැහැ.

තේ පර්යේෂණ ආයතනය හරහා මෙවැනි යන්ත්‍රයක් හඳුන්වාදීම ගැන අවධානය යොමුකළොත් ඵලදායි වෙයි නේද?

දැනට යම් යම් පරීක්ෂණ කරලා තියෙනවා. ප්‍රමිතියෙන් යුතුව තේදලු නෙළන්න පුළුවන් යන්ත්‍ර හඳුන්වා දෙන්න ඕන. කෙන්යාවේ වගේ එකපාරටම මැෂින්වලින් තේදළු නෙළීම අපි අනුමත කරන්නෙ නැහැ. හොඳම තේ දල්ල නෙළන්න පුළුවන් ක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නෙ. මැෂින්වලින් කළොත් අපේ තේවල ගුණාත්මක බව නැතිවෙයි කියන බය තියෙනවා.

තේ කර්මාන්තශාලා හිමියන් කියන්නෙ ප්‍රමිතියෙන් යුතු තේ දළු නෙළීමට හැකි සෙන්සර් සහිත අතේ ගෙන යා හැකි දලු නෙළන මැෂිමකට යා යුතු බවයි?

තාක්ෂණික පැත්තෙන් දැනුම තියෙන කවුරු හරි එවැනි යෝජනාවක් කළොත් ඒ ගැන අවශ්‍ය පියවර ගන්න අපිට පුළුවන්.

කම්කරු හිඟය හින්ද ප්‍රමිතියෙන් තොර තේදළු කර්මාන්ත ශාලාවලට එනවා. ඒ තේදළු ඇඹරීෙම්දී සීනි යොදා බාල තේ නිෂ්පාදනය කරන බවටත් චෝදනා එල්ල වෙනවා?

තේ කර්මාන්ත හිමියන් තමයි ඔය සීනි දාන එකට වගකියන්න ඕන. අපි ඒ ගැන සොයා බලනවා. වැටලීම් කරලා කර්මාන්ත ශාලා කීපයක්ම පසුගිය කාලෙ ඇල්ලුවා. සීනි දාලා තේ කර්මාන්තයට විශාල හානියක් කරනවා.

තේවලට සීනි යෙදූ කර්මාන්ත ශාලා 54 ක් පහුගිය දවස්වල ඇල්ලුවා. මේ කර්මාන්ත ශාලාවලට ගත්තු පියවර මොනවද?

තේ පර්යේෂණ ආයතනය හරහා පරීක්ෂණයක් කරලා වාර්තාවක් හදාගෙන යන්නෙ. ඒ වාර්තාව ආවට පස්සෙ අපිට තීරණ ගන්න පුළුවන්.

මේ කර්මාන්ත ශාලාවලට එරෙහිව පියවර ගන්න ඔබේ අමාත්‍යාංශයට බලයක් නැහැ කියලා මම කිව්වොත් එකඟද?

නැහැ අපිට බලයක් තියෙනවා. ඒක විද්‍යානුකූල පරීක්ෂණයකින් පස්සෙ කළ යුතු දෙයක්.

1958 ගෙනාපු තේ පාලන පන‍ෙත ඊට අදාළ වගන්ති තියෙනවද?

ඔව්. තියෙනවා. ඇමැතිවරයාට තියෙන බලතල අනුව කටයුතු කළ හැකියි.

මේ පනතට අනුව සීනි කවලම් කිරීමකදී කළ හැකි දෙයක් නැහැ නේද?

තේ අපිරිසිදු කිරීම යටතේ අවශ්‍ය පියවර ගන්න පුළුවන්. මේ පනත හදන කාලෙ තේවලට සීනි කලවම් කරයි කියලා කවුරුත් හිතුවෙ නැහැ. අවශ්‍ය නම් දැන් පනත සංශෝධන කළ හැකියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොහිටින්න එක්සත් ජාතික පක්ෂය රට අවුල්කරන බව එස්. බී. දිසානායක මහත්තයා කියනවා?

එස්. බී. කෝ. 16 කණ්ඩායමත් එක්ක ගිහින්, එතුමා අනාථ වෙලා ඉන්නෙ. දැන් රටෙත් නැහැ. මේ ආණ්ඩුවෙ ඇමැති කෙනෙක් හැටියට එතුමත් හිටියනෙ.

මේ ආණ්ඩුවෙ ආර්ථිකය මෙහෙයවන්නෙ එක්සත් ජාතික පක්ෂය. රටේ රාජ්‍ය බැංකු රාජ්‍ය ආයතන ටික විකුණනවා කියලා චෝදනාව ගැන මොකද කියන්නෙ?

ඔය චෝදනා බොරු. රාජ්‍ය බැංකු දෙක රටේ කොඳු නාරටිය හැටියටයි අපි සලකන්නෙ.

නකල්ස් වනයේ අක්කර 60,000 ක් විකුණන්න යනව නේද?

රක්ෂිත ඉඩම් කිසිවක් ලබාදීලා නැහැ. ඔය කියන විදියට මේ රටේ කිසිම ව්‍යාපෘතියක් කරන්න බැහැ. කැබිනට් ඇමැති කෙනෙකුට තීරණයක් ගන්න බැහැ. ඔය කියන තරම් යකා කළු නැහැ.

යහපාලන ආණ්ඩුවට වසර තුනහමාරක් ගතවුණත් දින 100 දීපු පොරොන්දු ටිකවත් හරි හැටි ඉටුකර ගන්න බැරිවෙලා නේද?

අපි ගම්වල ගොඩක් වැඩ කරනවා.

මම කිව්වෙ ව්‍යවස්ථාව වෙනස් කිරීම, විගණනපනත ගෙන ඒම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වගේ ප්‍රමාද වෙච්ච පොරොන්දු ගැනයි?

ඕව ප්‍රජාතන්ත්‍රවාදීව වෙන්න ඕන වෙනස්කම්. අපි පාර්ලිමේන්තුව එකින් එක ඉදිරියට ගෙනියනවා. තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාවා. 19 වැනි සංශෝධනයෙන් යමක් වුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන මතයේ අපිත් ඉන්නවා. සමහරු ඒකට කැමැති නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය ගෙනැවිත් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේක හොඳ අවස්ථාවක් නේද?

ඒ අයගෙ දේශපාලන න්‍යාය පත්‍රයට අපි අහුවෙන්න ඕන නැහැ. ඒකෙ තියෙන සංශෝධන තවත් රට අවුල් ‍කරනවා. ජනමත විචාරණයකින් මේක වෙනස්කරන එක තමයි හොඳම දේ.

ජීවන වියදම වැඩිවෙලා කියන චෝදනාවට දෙන උත්තරය මොකක්ද?

රාජපක්ෂ යුගයට වඩා තවමත් බඩු මිල අඩුයි. ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල අඩුයි. රාජ්‍ය සේවක පඩි හිතන්න බැරි ගාණකින් වැඩි කළා. හොඳ ගැන කතා කරන්නෙ නැතුව නරක ගැනම විතරයි කතා කරන්නෙ.

මහ බැංකු බැඳුම්කරය වගේම බරපතළ වංචා හෝ දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවත් ඇවිත් තියෙනවා. ආණ්ඩුව මේ ගැන නිහඬ ඇයි?

ඒ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන්න ඕන. ජනාධිපතිතුමන් ඔය ගැන ප්‍රකාශයක් කළා. අපි හැමෝම ඉන්නෙ මේ ගැන අවශ්‍ය කටයුතු කළ යුතුයි කියන ස්ථාවරයෙ.

සමහරු කියන්නෙ ඩීල් දේශපාලනය නිසා මොනවත් වෙන්නෙ නැහැ කියලයි?

මම දන්න තරමට එහෙම ඩීල් එකක් කාත් එක්කවත් නැහැ.

දුමින්ද සම්පත්
ඡායා-සිරිපාල හල්වල 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>