Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වසුරු බලෙන් එළිය ල‍ැබේ

$
0
0
ජුලි 23, 2018 01:00

“කුකුල් වසුරු බේතට උවමනාවෙතැ”යි කියමනක් අප අතර ඇත. එය මදක් වෙනස්කර “කුකුල් වසුරුත් බලශක්තිය නිපදවීමට හා කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය කාලය එළඹ ඇතැ’යි කටපුරා කීමට කාලය පැමිණ ඇත.

ශ්‍රී ලංකාව මධ්‍ය ක‍රගෙන මෙම වසර ඉකුත්වීමට පෙර බලශක්තිය නිපදවීමට හා කාබනික පොහොර නිෂ්පාදනය කරන මෙගාවොට් 15 ක ධාරිතාවකින් යුත් යන්ත්‍ර සවිකළ කර්මාන්තශාලාවක් අපේ රට තුළ ඉදිකිරීමට “එන්ඩෙවර් එනෙර්ජි කොර්පරේෂන් ලිමිටඩ්” සමාගම ඉදිරිපත් වී සිටින බැවිනි.

එක වසරකට කුකුල් වසුරු ටොන් 130,000 ක් මේ සඳහා අවශ්‍ය බවත්, ඒවා ලබාගැනීමට ශ්‍රී ලංකාවේ බස්නාහිර ‍පළාතේ හා වයඹ පළාතේ ඇති බොයිලර් කුකුලන් මිලියන 130 ක් ඇතිකරන කුකුල් ගොවිපොළවල් 698 ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, මේ සම්බන්ධව මූලිකත්වය ගෙන කටයුතු කරන කුමාර් පෙරුමාල් මහතා මාධ්‍යයට පැවැසීය.

කුකුල් ගොවිපොළවල් කරන අයගේ සංවිධාන සමඟ කතිකා කර අඛණ්ඩව කුකුල් අසූචි තම කර්මාන්ත ශාලාවට ලබාගැනීමේ පිවිසුම්වලට ඇතුළුවීමට තමන් අපේක්ෂා කරන බවත්, ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත රටේ උතුරු හා නැගෙනහිර ඇතුළු අන් කලාප තම ව්‍යාපෘතිය හා සම්බන්ධ කරගැනීමට අවධානය යොමුකරන බව ද හේ කියා සිටියේය.

එපමණක් නොව පොහොර හා බලශක්තිය නිපදවීම සඳහා යෝදාගත හැකි යැයි විශ්වාස කරන අපද්‍රව්‍ය අසූචි ලබාගැනීම සඳහා ඌරු ගොවිපොළවල් වෙත ද අවධානය යොමුකිරීමට තම සමාගම බලාපොරොත්තු වන ව ද හේ කියා සිටියේය. එසේ වුවහොත් කුකුළු වසුරුවලට පමණක් නොව ඌරු වසුරුවලටත් මෙරට වෙළෙඳ පොළෙහි හොඳ කලක් හොඳ ඉල්ලුමක් හොඳ මිලක් ලැබෙන කාලය වැඩි ඈතක නොවනු ඇත.

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ඇරඹුමත් සමඟ මහා පරිමාණයන් හා සැලකිය යුතු මට්ටමේ කුකුළන් ඇතිකිරීමේ ව්‍යාපාරවල නියුක්ත මෙරට ව්‍යාපාරික ප්‍රජාවට තමන්ට දශක ගණනාවක් තිස්සේ හිසරදයක්ව පැවැති අසූචි කන්දරාව ඉවත්කර ගැනීමේ අවස්ථාව සැලසෙන්නට පමණක් නොව අමතර ආදායම් ලබාදෙන ඉල්ලමක් බවට එය ද පත්වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා “එන්ඩෙවර් බයෝ ලිමිටඩ්” නමින් ලියාපදිංචි සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් මේ කටයුත්ත සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා කියා සිටියේය. මෙම සමාගමේ අනිත් හවුල්කරුවා වන්නේ කුකුල් වසුරු පොහොර කිරීමේ හසල අත්දැකීම් ඇති පින්ලන්තයේ හෙල්සින්කි හි, ‘ඩක්ටර් ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගමය. ඩක්ටර් සමාගම මෙම ආයෝජනයේ දී 15% ක් යෙදවීමට හා කාර්මික දැනුම ලබාදීමට එකඟත්වය පළකර ඇත.

ගොවිපළවල් වෙතින් ලබාගන්නා කුකුල් වසුරු අපේ පසට හිතකර පොහොර බවට හැරවීම ගැන සඳහන් කළ කුමාර් මහතා පෙන්වා දුන්නේ මෙරට ඉදිකරනු ලබන කර්මාන්ත ශාලාවේ එක් ප්‍රධාන කටයුත්තක් වන්නේ කුකුල් වසුරුවල ඇති අපේ පසට අහිතකර ඇමෝනියා ඉවත්කර, සල්ෆියුරික් ඇසිඩ් එක්කර, මිශ්‍රිත පොහොර බවට පත්කරන බවය.

සංඛ්‍යාලේඛනවලට අනුව මේ වනවිට මෙරට, ඇමෝනියා ටොන් 65,000 ක් ගෙන්වන අතර, තම කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කළාට පසු, දැනට රටින් ගෙන්වන ප්‍රමාණයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් මෙහිම නිපදවන බැවින්, ඒ වෙනුවෙන් පිටරටවලට ඇදෙන විදේශ විනිමය භාණ්ඩාගාරයේ රඳවාගත හැකිවනු ඇත.

කාබනික පොහොර හා බලශක්තිය නිපදවීම සඳහා කුකුල් ‍ෙගාවිපළ වෙතින් මළද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ඉසිලිය නොහැකි දුර්ගන්ධයක් ආග්‍රාහනය කිරීමට ජනතාවට සිදුවෙතැයි අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලීමක් කරන පෙරුමාල් මහතා, තම සමාගමේ උපදෙස් මත, ජර්මන් සැලසුම් අනුව චීනයේදී හුමාලය හා දුර්ගන්ධය පිටට නො එන අන්දමට අවශ්‍ය ට්‍රැක්ටර් නිෂ්පාදනය කරවන බව ද කියා සිටියේ ය.

පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උත්සවයකදී සමාගම් දෙක අතර මේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරුණි. එම අවස්ථාවට පින්ලන්ත රජයේ මූල්‍ය කටයුතු හා රැකීරක්ෂා පිළිබඳ නියෝජ්‍ය ඇමැති, ප්‍රෙටි - පෙල්ටෝනෙන් මහතා හා ඩක්ටර් සමාගමේ සභාපති මාර්කෝ කර්කෛනෙන් මහතාද පැමිණ සිටියේ ය.

කාබනික පොහොර නිෂ්පාදනාගාර‍ය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ආසියාව පුරාවට විශේෂයෙන් දකුණු ආසියාව හා මැදපෙරදිගට බලපෑම් කෙරෙන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන බව ද හේ කියා සිටියේ ය. මේ සඳහා යොදාගන්නා යන්ත්‍රානුසාරයෙන් කුකුල් වසුරුවල ඇති අහිතකර කොටස් ඉවත්කර, ගහට කොළට පසට යෝග්‍ය පොහොර නිපදවන බව ද සඳහන් කෙළේය.

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු වන එන්ඩේවර් එනේර්ජි සමාගමේ සභාපති කුමාර් පෙරුමාල් මහතා මෙම ව්‍යාපෘතියේ නියමුවා ය. සිය සිහිනය සැබෑකරගන්නට මහත් සේ වෙහෙසවන ඒ මහතාට අනුව කුකුල් වසුරු අනුසාරයෙන් මෙගාවොට් 10 ක විදුලි බලයක් නිපදවාගත හැකි අතර තේ, රබර් මෙන්ම වී වගා බිම් සඳහාත් එළවළු වැනි අනිකුත් වගාවන් සඳහාත් පස සරුකරන පොහොර නිපදවාගත හැකිය.

මෙරට නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතිය භාරව ක්‍රියාකරන ඉන්ටර් නැෂනල් කොර්පරේට් එන්ටිටි සමාගමේ ශ්‍රී ලංකා‍ ශාඛා ප්‍රධානියා වන්නේ ද පෙරුමාල් මහතාය. මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වීම මඟින් කුණු කසළින් බැහැර පිවිතුරු රටක් සඳහා මූලිකත්වය ගනිමින් ක්‍රියාකරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත‍ාගේ සංකල්පනාව සාර්ථක කිරීමට අත්වැලකි.

 

වත්තල ඇ. වීරප්පෙරුම


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>