අද ඔක්තෝබර් මස පළමු වැනිදා ය. සෑම වසරකම ඔක්තෝම්බර් මස පළමු වැනිදා,කාරණා රාශියක් නිසා ලෝකයට වැදගත් වේ.මේ මඟින් විවරණය කෙරෙන්නේ, ඔක්තෝබර් මස පළමු වැනිදාවෙහි ඇති ඒ වැදගත්කමයි.
1. වසර අවසන් වෙන්න ළඟයි!
ඔක්තෝබර් පළමු වැනිදා යනු, අධික අවුරුද්දක් නොවන අවුරුද්දක 274 වැනි දිනයයි. අධික අවුරුද්දක නම් 275 වැනි දිනය ඔක්තෝම්බර් පළමු වැනිදා ය. එතැන් සිට ඒ වසර ඉක්ම යන්නට තවත් තිබෙන්නේ දින 91ක් හෝ 90ක් හෝ පමණි. තවත් විස්තර කළහොත්, සෑම වසරකම සිව් වැනි කාර්තුව ආරම්භ වන්නේ, ඔක්තෝබර් පළමු වැනිදාවෙන් යැයි කිව හැකි ය.
2 . ලෝක ළමා දිනය
ඇතැම් රටවල්, සිය රටවල ළමා දිනය ලෙස නම් කර තිබෙන්නේ, ඔක්තෝබර් පළමු වැනිදාවයි. ඒ අනුව, ශ්‍රී ලංකාව, ගෝතමාලාව සහ එල් සැල්වදෝරය යන රාජ්‍යය, ළමා දිනය සමරන්නේ සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදා ය.
ළමා දින ඉතිහාසය 1857 වසර දක්වා දිව යයි. සෑම ජුනි මස දෙවැනි ඉරිදා දිනයක්ම ළමයින් වෙනුවෙන් වෙන් කළයුතු බව, එකල ප්‍රකාශ කළේ අමෙරිකාවේ මැසචුසෙට් හි ආචාර්ය චාර්ල්ස් ලියනාර්ඩෝ නමැති පූජකතුමන් ය. මේ පූජකතුමන් ළමයින් වෙනුවෙන් එදිනට විශේෂ දේව මෙහෙය පැවැත් වූ බව සඳහන් වේ. එතුමන් ඒ දිනය නම් කර තිබුණේ, "රෝස දිනය"හැටියටයි. "මල් දිනය"හැටියටත්, පසුව "ළමා දිනය"හැටියටත් නම් කෙරුණේ, ඒ රෝස දිනය, නැත්නම් ජුනි මස දෙවැනි ඉරිදාවයි. ලෝකයේ විවිධ රටවල් විවිධ දින, ළමා දිනය ලෙස සලකා කටයුතු කරන බවක් එතැන් පටන් දක්නට පුළුවන. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසු කලෙක විශ්ව ළමා දිනය ප්‍රකාශයට පත් කළේ ය. විශ්ව ළමා දිනය සැමරෙන්නේ සෑම වසරකම නොවැම්බර් මස 20 වැනිදා ය.
3 වැඩිහිටියන්ගේ දිනය
සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදා ලෝක වැඩිහිටි දිනය ලෙස ද සැලකේ. ලෝක වැඩිහිටි දිනය ලෙස දිනයක් වෙන් කිරීම පිළිබඳ එකඟතාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම තුළ ඇති වූයේ 1990 වසරේ දෙසැම්බර් 14 වැනිදා බව සඳහන් වේ. ඒ අනුව 1991දී පළමු ලෝක වැඩිහිටි දිනය පැවැත්විණ. වසරක් පාසා විවිධ තේමා පදනම් කරගෙන, වැඩිහිටි දිනය සමරනු ලැබේ.
අද වනවිට, වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයෝ මිලියන 700ට ආසන්න සංඛ්‍යාවක් ලෝකයේ ජීවත් වෙති. 2050 වනවිට මේ සංඛ්‍යාව බිලියන 2 ඉක්මවා යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. වැඩිපුරම වැඩිහිටියන් දැකිය හැකි වන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල ය. කිසියම් සමාජයක සිටින වයස්ගත අයවලුන් සංඛ්‍යාව වැඩි වෙන්නේ නම්, එහි අසමතුලිත තත්ත්වයක් ඇති වේ. මේ නිසා ගැටලු මතු වේ. සමාජයක වයස් ගත සාමාජියෝ කායික සහ මානසික රෝගවලට නිතරම වාගේ ගොදුරු වෙති. මේ නිසා ඔවුන්, පරෙස්සමෙන් රැක බලා ගැනීමේ අභියෝගාත්මක වගකීම සමාජයේ සෙසු සාමාජිකයන් මත පැටවේ. සත්‍ය තත්ත්වය එය වුවත්, නූතන වෛද්‍ය පහසුකම් හේතුවෙන් මිනිසාගේ ආයු කාලය වැඩි වී ඇත. එහිලා දැක්විය හැකි හොඳ ම නිදසුන, අමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන්ගේ ආයු කාලය වැඩි වීම ය. 1902 දී එහි පුද්ගල ආයු කාලය වසර 45ක් විය. 2014 වනවිට එය වසර 75.7 දක්වා වැඩි වී ඇත .
4.ලෝක ජනාවාස දිනය
සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු සඳුදාව නම් කර තිබෙන්නේ, ලෝක ජනාවාස දිනය හැටියට ය. මේ වසරේ ලෝක ජනාවාස දිනය යෙදෙන්නේ ද ඔක්තෝම්බර් පළමු වැනිදාට ය. ලෝක ජනාවාස දිනය ලෙස දිනයක් වෙන්කර ගැනුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟ පෙන්වීම යටතේ, 1985 වසරේ දෙසැම්බර් මාසයේදී ය. ඒ අනුව පළමු ලෝක ජනාවාස දිනය සමරුවේ 1986 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු සඳුදාව යෙදුණු ඔක්තෝබර් 3 වැනිදා බව සඳහන් වේ. "වාසස්ථානය මගේ අයිතියයි"යන තේමාව මුල් කර ගනිමින්, පළමු ලෝක ජනාවාස දිනය පැවැත් විණ. එම පළමු සැමරුම පැවැත් වුණේ, කෙන්යාවේ නයිරෝබි නුවරදී ය.
5. එළවළු පමණක් බුදින්නන්ගේ දිනය
මස් සහ මාංශ අනුභවයෙන් තොරව එළවළු පමණක් ආහාරයට ගන්නවුන්ගේ දිනය හැටියට සැලකෙන්නේ ද, සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදා ය. එම දිනය නම් කර සැමරුම් ආරම්භ කළේ, එළවළු පමණක් බුදින්නන්ගේ එකමුතුවෙන් සැදුණු, උතුරු අමෙරිකා සංවිධානයකි. ඔවුන් ඒ එකඟතාවයට එළැඹියේ 1977 වසරේදී ය. මේ දිනය, එළවළු පමණක් ආහාරයට ගන්නවුන්ගේ අන්තර් ජාතික සංගමය මඟින් අනුමත කළේ 1978 වසරේදී ය.
පුද්ගලයන්, එළවළු පමණක් තමන්ගේ ආහාර පතට එකතු කර ගන්නේ විවිධ හේතු නිසා ය. ඒ අතර, ආගමික හේතු ඉතා ප්‍රබල ය. හින්දු, බෞද්ධ, ජෛන ආගම් අදහන බොහෝ දෙනකු සත්ව මාංශ ආහාරයට ගන්නේ නැත. තවත් සමහරු, එළවළු පමණක් ආහාරයට ගන්නේ, ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි.
එළවළු පමණක් ආහාරයට ගන්නා අය අතර ද විවිධත්වයක් ඇත. සමහරුන් ආහාරයට ගන්නේ එළවළු ම පමණි. තවත් අය බිත්තර, කිරි ආහාර සහ පැණි ආදිය ආහාරයට ගනිති. ඔවුන්ගේ තර්කය, සත්ව මාංශවලින් තොර ආහාරයක් සාධාරණ බව ය.
6. අන්තර් ජාතික කෝපි දිනය
අන්තර් ජාතික කෝපි සංවිධානය මඟින් 2015 වසරේදී අන්තර් ජාතික කෝපි දිනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදාට අන්තර් ජාතික කෝපි දිනය යෙදී ඇත. ශ්‍රීලංකාව, ජර්මනිය, ජපානය යන රටවල ජනයා මෙදිනට අන්තර් ජාතික කෝපි දිනය සමරති. එසේ වුවත්, ලොව ඇතැම් ජාතීන් ජාතික කෝපි දිනය හැටියට ඔවුන්ගේ අභිමතය අනුව ප්‍රකාශයට පත් කරගත් දිනයක සැමරුම්වල යෙදෙති. ඒ නිසා, ජාතික කෝපි දිනය, ඒ ඒ රට අනුව වෙනස් වේ.
ලොව ඉහළ ම කෝපි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බ්‍රසීලය, කෝපි දිනය ලෙස සලකන්නේ මැයි මස 24 වැනිදා ය. කෝපි ශාකය සම්භවය වී යැයි කියා විශ්වාස කෙරෙන්නේ, නිවර්තන අප්‍රිකා රටවල් තුළදී ය. ඒ අතර, ඉතියෝපියාවට හිමි වන්නේ සුවිශේෂ තැනෙකි. ඉතියෝපියාව අන්තර් ජාතික කෝපි දිනය සමරන්නේ ලොව වැඩි ම රාජ්‍ය සංඛ්‍යාවක් කෝපි දිනය සමරන සැප්තැම්බර් 28 වැනිදා ය.
7. ජාතික දින සහ නිදහස් දින
චීනයේ ජාතික දිනය යෙදී තිබෙන්නේ සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනිදාට ය. සිවිල් යුද්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ජයග්‍රහණය කළේ 1949 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා බව සඳහන් වේ. ඒ අනුව, මාවෝ සේතුං විසින් මහජන චීන ජනරජය ප්‍රකාශයට පත් කරන ලදී. චීනය, ඔක්තෝබර් පළමු වැනිදා නිවාඩු දිනයක් හැටියටත් නම් කර ඇත.
ඒ හැරුණු විට, සයිප්‍රසය, නයිජීරියාව සහ තුවාලු යන රාජ්‍යවල නිදහස් දින යෙදී තිබෙන්නේ ද ඔක්තෝබර් පළමු වැනිදාට ය.
8. නාසා ආයතනයේ ආරම්භය
අමෙරිකාවේ නාසා ආයතනය, නැත්නම් ජාතික අභ්‍යාවකාශ තරණ සහ අජාටාකාශ පරිපාලන ආයතනය ක්‍රියාකාරී මට්ටමට රැගෙන ආවේ, 1958 ඔක්තෝබර් පළමු වැනිදා ය. ජාතික ගගන යාත්‍රා සහ අජටාකාශ පණත මඟින් ඊට අවශ්‍ය නීතිමය ආවරණය ලබා දෙන ලදී. නාසා (NASA) ආයතනයට, පළමුව ක්‍රියාත්මක තත්ත්වයේ පැවැතියේ අභ්‍යාවකාශ තරණය සඳහා වූ ජාතික උපදේශන කොමිටියකි. එය හැඳින්වුණේ National Advisory Committee for Aeronautics, නැත්නම් NACA යනුවෙනි. එම කොමිටිය ස්ථාපනය කෙරුණේ 1915 මාර්තු මස 3 වැනිදා බව සඳහන් වේ. එයින් කෙරුණේ අභ්‍යාවකාශ පර්යේෂණ කටයුතු ය. NASA ආයතනය යනුවෙන් ප්‍රතිස්ථාපනය කෙරුණේ NACA නමින් කලින් හැඳින්වුණු ආයතනයයි.
9. ආසියාවේ මගී ප්‍රවාහනය උඩු යටිකුරු කළ අධිවේගී දුම්රිය සේවාව
ෂින්කන්සෙන් හෙවත් අධිවේගී දුම්රිය සේවාව, එසේත් නැත්නම් ජපානයේ "බුලට් ට්‍රේන්"සේවාව ආරම්භ වුණේ 1964 ඔක්තෝබර් පළමු වැනිදා ය. එම සේවාව සහිත දුම්රිය මඟ නම් කෙරුණේ, තෝකයිදෝ ෂින්කන්සෙන් යනුවෙනි. එය, ජපානයේ තෝකියෝ සහ ඕසාකා නගර අතර දුම්රිය මඟයි. අධිවේගී දුම්රිය සේවාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණේ, 1959 වසරේ අප්‍රේල් මාසයේදී ය. 1964 ඔක්තෝබර් 1 වැනිදා අධිවේගී දුම්රිය සේවාව විවෘත කෙරුණේ, 1964 තෝකියෝ ඔලිම්පික් උළෙලට දින කිහිපයක් තිබියදී ය. අධිවේගී දුම්රිය සේවාව අරඹන්නට පළමුව, තෝකියෝ සිට ඕසාකා දක්වා "ලිමිටඩ් එක්ස්ප්‍රස්"නමින් සම්ප්‍රදායික දුම්රිය සේවාවක් පැවතිණි. එම සම්ප්‍රදායික දුම්රියකින් තෝකියෝ සහ ඕසාකා අතර ගමනට පැය 6කුත් මිනිත්තු 40ක කාලයක් ගත වූයේ ය. එවක හඳුන්වා දුන් ෂින්කන්සෙන් දුම්රිය, එකී ගමනට ගත කළේ පැය 4ක් පමණි. ෂින්කන්සෙන් දුම්රිය සේවාවේ පනස් වැනි සංවත්සරය යෙදුණු 2014 වසර වනවිට, තෝකයිදෝ ෂින්කන්සෙන් දුම්රිය මඟ දිනකට මඟින් 391,000ක් භාවිතයට ගන්නා දුම්රිය මඟක් වී තිබිණ. එය ලොව වැඩියෙන්ම කාර්ය බහුල දුම්රිය මඟක් හැටියටත් ඉතිහාසගතව ඇත.
10. ලෝක දේශපාලනයට සුවිශේෂ චරිතයක්
ලෝක දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මාරි මේ උපත ලබා තිබෙන්නේ 1956 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා ය. 2016 ජූලි මාසයේ පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් වුණේ, කන්සර්වේටිව් පාක්ෂික තෙරේසා මේ ය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් දෙවැනි කාන්තාව වන්නේ ද ඇයයි. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම සහ තවත් තීරණාත්මක දේශපාලන තීන්දු රැසක් ගැනීම සම්බන්ධයෙන් ලෝක අවධානයට ලක්වුණු දේශපාලනඥයකු හැටියට තෙරේසා මේ , හඳුන්වන්නට පුළුවන.