Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මාධ්‍යවේදියෙක් වෙන්න උණක් තියෙන්න ඕනැ

$
0
0
ඔක්‌ 3, 2018 01:00
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී චන්න දොළපිහිල්ල

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන චන්න දොළපිහිල්ල මහතා, සිය දීර්ඝ මාධ්‍ය ජීවිතය තුළ, දවස , ලංකාදීප සහ දිනමිණ පුවත්පත්වල උපකර්තෘවරයකු, ප්‍රධාන උපකර්තෘවරයකු සහ මාධ්‍යවේදියකු ලෙස සේවය කර ඇත. එම කාලයේදී ඔහු ලැබූ රසවත් අත්දැකීම් පාදක කර ගනිමින් “සුන්දර පත්තර මතක“ පොත රචනා කර තිබේ. මේ ඒ පිළිබඳ කළ කතාබහකි.

පුවත්පත් කලාවේ සුන්දර තැන් සිහිපත් කරන මෙවැනි පොතක් ලිවීමට අදහස් කළේ ඇයි?

පත්තර රස්සාව කියන්නේ, වෙනත් රැකියා එක්ක සසඳන්න පුළුවන් එකක් නෙමෙයි. මේ රැකියාවෙන් වෙනම ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන්. එදා කෙනෙක් පුවත්පත් කලාවේදියකු බවට පත් වෙන්නේ, පත්තර උණ තියෙනවා නම් විතරයි. මාත් කුඩා කාලෙ ඉඳන්ම පුවත්පත් කලාවට කැමැති වුණා. ආදරය කළා. ඒ කැමැත්ත නිසා මම එදා රටේ තිබ්බ ප්‍රබලම පුවත්පතක් වු දවස පත්තරේට සම්බන්ධ වෙන්න හැකි වුණා. එතැනින් පැමිණි ගමන, ලංකාදීපය හරහා ලේක්හවුසියටත් , නැවත ලංකාදීපය දක්වාත් ගමන් කළා.

ඒ කාලයේදී ඔබ විවිධ යුග පසු කළා නේද?

ඔව්. ඊයම් අකුරු යුගයේ සිට නූතන නව මාධ්‍ය යුගය දක්වා මගේ පත්තර ජීවිතය පැතිරුණා. මේ කාලයේදී රසවත් සිදුවීම් රැසක් සිදු වුණා. ඒ හැම දෙයක්ම තමයි මේ පොතට කැටිකර තියෙන්නේ. මේ පොත කියවද්දි කෙනකුට රස වින්දනයක්, මිහිරක් ලබන්න පුළුවන්. ඒත් එක්කම, පුවත්පත් කාර්යාලවල තියෙන රසය, එකමුතුකම වගේ දේ ගැන අලුත් පරපුරට අදහසක් ලැබෙනවා.

එදා පත්තර කන්තෝරුවක සහ අද කන්තෝරුවක වෙනස ගැන මෙහි කියැවෙනවා?

එදා අද කියලා නැහැ. පුවත්පත් කන්තෝරුවක ක්‍රියාවලිය සමානයි. ඒත්, පුවත්පතක් නිර්මාණය කරන එක, අද වෙද්දි එදාට වඩා පහසු වෙලා තියෙනවා. එදා වෙහෙස කර දෙයක් වු පිටු සැකැසුම, අද වෙද්දි පරිගණක තිරයක් ඉදිරිපසට වෙලා කරන දෙයක් වෙලා. එදා මේ කාර්ය ඉතාමත් වෙහෙසකර සහ දුෂ්කර දෙයක්. මම මේ සියලු යුග පසුකර පැමිණි පුවත්පත් කලාවේදියකු නිසා, මට මේ අතීතය හොඳට මතකයි. එදා රස ගුලාවක් බවට පත් වුණේ මේ වගේ පිටු සැකැසුම් කරන ස්ථානයි. කර්තෘ මණ්ඩලය තුළත්, විවිධ රසවත් දේ සිදු වුණා. මේ හැම දෙයක් ම නිසා , අපට කිසියම් වින්දනයක් වගේම ,තෘප්තියක් ලබන්න පුළුවන් වුණා.

මෙය තීරු ලිපි එකතුවක්?

තීරු ලිපි එකතුවක් විදිහට ලියු මේ පොතේ අරමුණ වෙලා තියෙන්නෙ, පාඨකයාට බරපතළ දෙයක් ලබා දෙන්න නෙමෙයි. සරල රසයක් ලබා දීමයි. එහි අරමුණ මට සපුරා ගැනීමට පුළුවන් වෙලා තියෙනවා. අද රාජකාරී රටාව තුළ යම් සංකීර්ණතාවක් තිබෙනවා . එදා සහ අද වෙනස ගැන මේ පොත පරිශීලනයෙන් පැහැදිලි කර ගන්න පුළුවන්.

මේ පොතට මොන විදිහෙ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ?

පොත පළකර තාමත් ලොකු කාලයක් නැහැ. ඒත්, ඒ කාලය තුළ මේ පොතට යම් ප්‍රතිචාරයක් ලැබෙන බව දැනෙනවා. පොත කියැවු පාඨකයන් රැසක් මට ප්‍රතිචාර දක්වා තියෙනවා. ඒ ගැන සතුටක් , ආත්ම තෘප්තියක් තියෙනවා.

ඔබ අවුරුදු තිස් පහක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට, අද සහ එදා අතර වෙනස දකින්නේ කොහොමද?

එදා හොඳයි අද නරකයි කියලා මම කියන්නේ නැහැ. එහෙම කියනවා නම්, ඒක වැරැදියි.අද මාධ්‍ය අංශයේ ලොකු තාක්ෂණික දියුණුවක් තියෙනවා. අවශ්‍ය වෙන්නේ, ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීම සහ අත දීම විතරයි. ඒ ආකාරයට කටයුතු කිරීම තුළ, තාක්ෂණික දැනුම සහ වෘත්තීය භාවය යන තුන් අංගයෙන්ම අගතැන්පත් මාධ්‍ය කලාවක් ඇති කරන්න පුළුවන්.

ඔබ ලියු පැරැණි පොත් සහ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම 2007 වර්ෂයේදී කෙටි නිර්මාණ නමින් පොතක් පළ කළා. ජීවිතයයි ආදරයයි නමින් චීන බොදු කතා පෙළක් පළ කළා. එයට අමතරව මකරාගේ මාලිගාව නමින් තවත් පොතක් 2014 වසරේදී ප්‍රකාශයට පත් කළා. නුදුරේදීම තවත් පරිවර්තන කෘතියක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

උදිත ගුණවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>