Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පොත් ගොඩක් ලියන්න කැමැත්තක් නෑ

$
0
0
ඔක්‌ 3, 2018 01:00
අනෝමා ගංගොඩ

“රෝස අසපුව” , “දම්සාරි” වැනි සොඳුරු අත්දැකීම් රැගත් නවකතා සමඟින් පාඨක හදවතට ළෙන්ගතු වූ අනෝමා ගංගොඩ විසින් රචිත “අනන්ත වසන්තය” නවකතාව, මේ වනවිට පාඨක දෝතට තිළිණ වී හමාර ය. මේ එම කෘතිය පිළිබඳ ඇය හා කෙරුණු සංවාදයකි.

“අනන්ත වසන්තය” ලියන්නට මුල් වූ වස්තු බීජය කුමක්ද?

මේ වස්තු බීජය මගේ පෞද්ගලික අත්දැකීමක් නෙමෙයි. යම්කිසි නිර්මාණයක් බිහි කිරීමේදී පාදක වන හේතුව හැම විටම නිර්මාණකරුවාගේ පෞද්ගලික අත්දැකීමක් වෙන්නේ නැහැ. මෙයත් මා කලකට ඉහත ඇසූ ප්‍රවෘත්තියකින් ගොඩනැගුණු වස්තු බීජයක්. සමාජය හා නිරන්තරයෙන් ගැටෙමින්, කිසියම් පෙරළියක් කිරීමට උත්සාහ කරන චරිත හැම විටම සමාජ අවධානයට හා ආකර්ෂණයට ලක් වෙනවා. “සංඛ” කියන තරුණ ගුරුවරයාගේ චරිතයත් එවැන්නක්. ඔහුගේ චරිතය පාදක කරගෙන කතාවක් ගොඩනැගීමට මට අදහසක් ඇති වුණේ ඒ නිසයි.

මේ නවකතාවේ අන්තර්ගතය පිළිබඳ කිව හැක්කේ කුමක්ද?

“අනන්ත වසන්තය” නවකතාව තුළ අන්තර්ගත වෙන්නේ රජරට දුෂ්කර ප්‍රදේශයක පාසලකට මුල්ම පත්වීම ලබා ගිය තරුණ ගුරුවරයකු, සිය ජීවිතයේ මුහුණ දෙන කිසියම් අත්දැකීම් පෙළක් පිළිබඳයි. මේ අත්දැකීම් සමූහය කෙනකුගේ හදවතට සමීප වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒත්, පොත කියවන ඕනෑම කෙනකුගේ රස වින්දනයට ඉන් කිසිදු බාධාවක් වෙන්නේ නෑ. මේ තරුණ ගුරුවරයාගේ ජීවන අත්දැකීම, තමාගේ අත්දැකීමක් තරමට පාඨක හදවතට දැනෙන බව මට විශ්වාසයි.

“අනන්ත වසන්තය” යම්කිසි කෙළවරකට පැමිණීමට මත්තෙන්, ඔබ විසින් එය අවසන් කරන්නේ, දෙවැනි කොටසකින් පාඨකයා හමුවට එන පොරොන්දුව පිටයි. එහි දෙවැනි කොටසින් පාඨකයා බලාපොරොත්තු වන අන්දමේ අවසානයකට පැමිණිය හැකි වේවිද?

අනන්ත වසන්තය මා පොතකට ලියූ කතාවක් නෙමෙයි. එය සති අන්ත ජාතික පුවත්පතක් සඳහා ලියූ නවකතාවක්. පුවත් පතකට කොටස් වශයෙන් ලියූ නවකතාවක් නිසා මෙය එක පොතකට ගොනු කරන්න අපහසු වුණා. හේතුව පොත ප්‍රමාණයෙන් විශාල වන විට පොතේ මිල ගණන ද වැඩි වෙනවා. මෙය පොතක් මිලදී ගන්නා පාඨකයාට ප්‍රශ්නයක්. ඒ නිසා , ප්‍රකාශකයා කැමති නෑ පොත විශාල වැඩි වෙනවට. මේ පොත කොටස් වශයෙන් මුද්‍රණය වන්නේ ඒ නිසයි. කෙසේ වුවත් “අනන්ත වසන්තය” පොත් තුනකට ගොනු කරන්න මට සිද්ධ වුණා. ඒත්, ඒ තුළ පාඨක රුචිය පහත හෙළීමේ අවදානමක් ඇති වෙන්නේ නැහැ. පාඨකයා බලාපොරොත්තු වන අන්දමේ අවසානයක් මේ තුළ තිබෙනවා.

නවකතාවකින් ගෙන එන්නේ ජීවිත විවරණයක්. මෙහි එන චරිත යොදා ගනිමින් ඔබ ජීවිතය විවරණය කිරීමට ගත් උත්සාහය ගැන කිව හැක්කේ කුමක්ද?

නවකතාවකින්, කෙටි කතාවකින්, නාට්‍යයකින් හෝ වෙනත් එවැනි නිර්මාණයකින් අපට හමුවන්නේ අප අතරම තිබෙන චරිත. එදිනෙදා ජීවිතයේ අප හා ගැටෙන චරිත. මේ චරිත විවිධාකාරයි. එකිනෙකට වෙනස්. එකිනෙකා ජීවිතය දකින විදිහ හා ඊට මුහුණ දෙන විදිහ වෙනස්. මේ අතරින් සමාජයේ ආන්දෝලනයට ලක්වන චරිත තිබෙනවා. සමාජය වෙනස් කරන, උඩුගං බලා පීනන චරිත තිබෙනවා. මේ චරිත ආකර්ෂණීයයි. සමාජය තුළ යම්කිසි යහපත් වෙනසක් කරන චරිත, එසේ කරන්නට නොබියව ඉදිරිපත් වන චරිත ගැන කතා කරන්නට, එවැනි චරිත ඇසුරු කරන්නට මිනිසුන් කැමැතියි. එය පොතක් හෝ වෙනයම් නිර්මාණයක් තුළින් හෝ බිහිවන චරිතයක් වුව විය හැකියි. එවැනි චරිතයක ජීවිත විවරණය පාඨක හදවතට ඉතාමත් ළෙන්ගතු ලෙස සමීප වෙනවා. “අනන්ත වසන්තයේ” කතා නායකයාගේ චරිතය එවැන්නක්. ඔහුගේ චරිතය විවරණය වන්නේ පාඨක හදවතට ඉතා ළෙන්ගතු වන ආකාරයටයි.

සාර්ථක නවකතාවක සිටිය හැක්කේ කළු චරිත හෝ සුදු චරිත නොව, කළුසුදු චරිතයි. එම රීතියට මෙම නවකතාව අනුගත වන්නේ කෙසේද?

ඕනෑම නිර්මාණයක් ඉදිරියට ගලා යන්නේ එහි ජීවත් වන චරිත සමඟයි. මේ චරිත අතර කළු චරිත, සුදු චරිත වගේම කළු සුදු චරිතත් තිබෙනවා. පොදුවේ හැම චරිතයක්ම හොඳ හෝ නරක දෙකෙන් එක් අන්තයකටම සීමා වෙන්නේ නෑ. ඕනෑම මිනිසකු තුළ හොඳ හා නරක අඩු වැඩි වශයෙන් තිබිය හැකියි. එහෙත්, මගේ කෘති තුළින් මා වඩාත් උනන්දු වන්නේ පුද්ගල චරිතයක ඇති මනුෂ්‍යත්වය සහ ඔහුගේ චරිතයේ වටිනාකම් ඉස්මතු කර පෙන්වීමටයි. නිර්මාණයක් මඟින් අප කියන්නට උත්සාහ ගන්නා පණිවිඩය පාඨකයාට දැනෙන්නේ එහි ජීවත් වන චරිත පාඨක හදවතට ළෙන්ගතු වූ තරමටයි. ඔවුන් වෛර කරන චරිතයකින් එවැන්නක් සිදු නොවිය හැකියි. මගේ නිර්මාණ තුළ තිබෙන්නේ සුදු හා කළු චරිත පමණක්ය යන්න ඉන් අදහස් වන්නේ නෑ. කළු, සුදු සහ කළු සුදු යන චරිත තුනම එකිනෙකට සාපේක්ෂව මගේ කතා තුළත් අන්තර්ගත වෙනවා.

නවකතා රචනයේ දී ලේඛිකාවක හෝ ලේඛකයකු විසින් සැලකිලිමත් විය යුත්තේ කුමන අංශ පිළිබඳවද?

ලේඛකයකු හෝ ලේඛිකාවක විසින් නවකතාවක් නිර්මාණයේදී තමා පවසන්නට අදහස් කරන දේ පාඨකයාට දැනෙන ආකාරයට පැහැදිලිව, නිරවුල්ව ඉදිරිපත් කළ යුතුයි. ඒ වාගේම එම වස්තු බීජය නවතාවයකින් ඉදිරිපත් කිරීමට දක්ෂ විය යුතුයි. එයින් මා අදහස් කරන්නේ, කොතැනකවත් නැති අලුත්ම වස්තු බීජයක් සොයා ගත යුතුයි යන්න නෙවෙයි. තමා ඉදිරිපත් කරන කුමන හෝ වස්තු බීජය තුළ නැවුම් බවක් තිබිය යුතුයි. අනෙක් කරුණ නම් ලිවීමේ කලාව තුළ දැඩි සංයමයක් තිබිය යුතුයි. අවස්ථා නිරූපණයේදී කිසිම හිරිකිතයක් නැතුව වචන පාවිච්චි කළ යුතු නෑ. ව්‍යංගයෙන් පවසන දෑ තුළ අපූරු සුන්දරත්වයක් තිබෙනවා. ඕනෑම නිර්මාණයකදී සංයමය හරිම වැදගත්.

ඔබ අතින් මින් පෙර ලියවුණු කෘති ගැනත් යමක් කිවවොත්?

මා අතින් ලියැවී ඇති නවකතා ගණන ඉතාම සීමිතයි. එකම කතාව විවිධ අතට පෙරළමින් පොත් ගොඩක් ලියා පාඨකයා අතරට යෑමේ අරමුණක් මට නැහැ. එහෙත් මා පාසල් අවධියේ සිටම ලියූ කෙනෙක්. ඒවා බොහෝ විට බෙදාහැරුණේ මගේ පාසලේ සිසු සිසුවියන් හා ගුරුවරුන් අතර පමණයි. “රෝස අසපුව” තමයි මුද්‍රණයෙන් පිට වූ මගේ මුල්ම නවකතාව. ඉන්පසු සති අන්ත ජාතික පුවත්පතක පළවූ “දම්සාරි” නවකතාව කොටස් හතරකින් මුද්‍රණය වුණා. එය පාඨකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූ නවකතාවක්. ඉන් පසු දැන් අලුත්ම නවකතාව “අනන්ත වසන්තය” පළමු වැනි කොටස පිට වී තිබෙනවා.

ලේඛිකාවක වශයෙන් ඔබේ ඉදිරි ඉලක්කය කුමක්ද?

ඕනෑම නිර්මාණකරුවකු තමාගේ නිර්මාණයක් පිළිබඳ පූර්ණ තෘප්තියකට පත් වන්නේ නැහැ. එහි බොහෝ අඩුලුහුඬුතා ඔහු පසුව දකිනවා. මා වුණත් එසේමයි. මගේ මුල්ම නවකතාවේ බොහෝ අඩුපාඩු සහ දුර්වලකම් අද මා දකිනවා. ඉතිං ඒ සියලු අඩුපාඩු මඟහරවා හොඳ නිර්මාණ බිහි කිරීමයි මගේ බලාපොරොත්තුව. එසේම වෙනස් මඟක් ගත් වස්තු බීජයක් ඔස්සේ අලුත්ම නවකතාවක් ලිවීමටත් ඉදිරියේදී මා බලාපොරොත්තු වෙනවා.

කාංචනා සිරිවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>