කිහිලිකරුවක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන එම තරුණයාට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි කතාවකි. "ඔයාට කකුලක් බද්ධ කරනවට කැමතිද? අපිට ඒක කරන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත අවශ්‍යයි". ඔහු කිසිදා මෙවැන්නක් අසා තිබුණේවත් නැත. මේ රටේ පාද අහිමි වූ සියල්ලන්ම ඇවිදින්නේ ආධාරක මඟිනි. එහෙයින් ඔහුට පාදයක් ඇතිව ඇවිදීමට ඇති වූයේ දැඩි ආශාවකි. ඔහු දෙපාරක් නොසිතා කැමැත්ත පළ කළේය. ඒ වන විටත් රෝහලේ වෛද්‍ය කණ්ඩායම් සතුව මොහුගේ සියලු වාර්තා තිබිණි. සුදුසු අවස්ථාවක් ආ විට පාදයක් බද්ධ කිරීමේ සුදානමක්ද පැවතිණි.
පුද්ගලයකු මෙලොවින් සමුගන්නා විටය. සිය අවයව සියල්ල පොළොවට පස්ව යද්දී පාදය මිහිපිට ඇවිදිනවා නම් අතිශය විශ්මය ජනකය. එම විශ්මය යථාර්ථයක් බවට පත් කරමින් මීට හරියටම වසරකට පෙර මෙරට පළමු පාද බද්ධ කිරීමේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදි සිදු කරනු ලැබුවේ ලෝකයේ සිදු කරනු ලැබු පස්වෙනි පාද බද්ධ කිරීම ශ්‍රී ලංකාවේදී ඉතිහාසයට එක් කරමිනි. එදා සැත්කම සාර්ථකව සැත්කමට ලක් වූ තරුණයා අද වන විට ඉතාමත්ම නිරෝගී සුවයෙන් පසු වීම මෙරට පාද අහිමිව ජීවත් වන දස දහස් ගණනකට සුබ ආරංචියක් වනු නොඅනුමාන ය.
ගොවිතැන් කරමින් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වූ ඔහු අනුරාධපුර රාජාංගනයේ තිස් දෙවැහිරිදි තරුණයෙකි. හදිසි අනතුරකට ලක්වූ ඔහුට දකුණු පාදය අහිමි විය. මේ හේතුවත් සමඟ ජීවිතය කබලෙන් ලිපට වැටුණාක් වැනි තත්ත්වයකට ඔහු පත්විය. තමන්ට යළි කිසිදා දෙපයින් ඇවිදින්නට පුළුවන් වෙතැයි ඔහු කිසිදා සිතුවේ නැත. ප්‍රතිකාර ලැබීමෙන් පසු කිහිලිකරුවක ආධාරයෙන් ඇවිදින්ට ඔහු පුරුදු වුණේ එහෙයිනි. අනෙක් අය දෙපයින් ඇවිදිනු දැක සිය අතීතය සිහිපත්ව හේ හදවතින් හඬා වැටුණේය. අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලැබූ ඔහු වසරක් පමණ යන තුරුම විටින් විට ප්‍රතිකාර සඳහා මෙම රෝහලට පැමිණියේය.
රෝගීන් නොයෙකුත් රෝගවලින් පීඩා විඳිද්දි වෛද්‍යවරු එම පීඩාවලින් රෝගීන් මුදාලන්නට දිවා රෑ නොබලා වෙහෙසෙති. රෝගීයාගේ දුක ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ හදවතටද නොදැනෙනවා නොවේ. තමාගේ දරුවා, තමාගේ ශිෂ්‍යයා මෙන්ම තමාගේ රෝගීයා ගැනද වෛද්‍යවරයාට කැක්කුමක් තිබේ. එසේම ඔවුහු ලෝකයේ අනෙක් රටවල් සිදුකර ඇති වෛද්‍ය විස්කම් දෙස ද අවධානය යොමු කරති. එමෙන්ම අලුත් දෙයක් කිරීමටද උත්සාහ දරති. තම දැනුම බුද්ධිය මෙහෙයවා පරීක්ෂණ කරති. ඒ තුළින් රෝගී ජීවිතයක් දවසක් හෝ ජීවත් කරවීමට උත්සාහ කරති. එවැනි තත්ත්වයක් යටතේ අනුරාධපුර රෝහලේද රෝගීන් වෙනුවෙන් මෙවැනි කටයුතු කරමින් පැවතියේය.
දිනක් කිහිලිකරුවක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන එම තරුණයාට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි කතාවකි. "ඔයාට කකුලක් බද්ධ කරනවට කැමතිද? අපිට ඒක කරන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත අවශ්‍යයි". ඔහු කිසිදා මෙවැන්නක් අසා තිබුණේවත් නැත. මේ රටේ පාද අහිමි වූ සියල්ලන්ම ඇවිදින්නේ ආධාරක මඟිනි. එහෙයින් ඔහුට පාදයක් ඇතිව ඇවිදීමට ඇති වූයේ දැඩි ආශාවකි. ඔහු දෙපාරක් නොසිතා කැමැත්ත පළ කළේය. ඒ වන විටත් රෝහලේ වෛද්‍ය කණ්ඩායම් සතුව මොහුගේ සියලු වාර්තා තිබිණි. සුදුසු අවස්ථාවක් ආ විට පාදයක් බද්ධ කිරීමේ සුදානමක්ද පැවතිණි.
අවයව බද්ධයක් සඳහා ගනු ලබන්නේ මොළය මිය ගිය බවට වෛද්‍ය නිර්දේශ අනුව සහතික වු තව දුරටත් ජීවත් කළ නොහැකි රෝගීන්ය. එවැනි රෝගීන් පිළිබඳවත් අවයව බද්ධ කළ යුතුව අසාධ්‍ය තත්ත්වයේ ජීවත් වන පුද්ගලයින් පිළිබඳවත් සෝදිසියක් වෛද්‍ය බලධාරීන්ට තිබේ. පාදය අහිමිව සිටි පුද්ගලයාට පාදයක් බද්ධ කිරීමේ පණිවිඩය ලැබුණේ එවැනි රෝගීයෙක් අනුරාධපුර රෝහලට වාර්තා වු නිසා සහ ඔහුගේ අවයව ප්‍රදානයට ඥාතීන්ගේ කැමැත්ත පළකිරීම නිසා ය. අවයව ප්රදායකයාද අනුරාධපුරයේය. පනස් දෙහැවිරිදිය. හදිසි රුධිර වහනයක් හේතුවෙන් ඔහුගේ මොළය මිය යාමට ලක්ව තිබිණි.
දෙදෙනාගේම රුධිර ගණ ඇතැම් අනෙකුත් අවශ්‍ය සියල්ල ගැලපී තිබිණ. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය ජෝයෙල් අරුඩ්චෙල්වම් මහතා පාදය බද්ධ කිරීමේ අභියෝගය බාර ගත්තේය. අනෙකුත් අයගේද සහයෝගය ඇතිව පැය හයක කාලයක් පුරාවට මෙම ශල්‍ය කර්මය සිදු කෙරිණි. දණහිසට ඉහළින් පාදය බද්ධ කෙරිණ. සැත්කම සාර්ථක විය. මෙය ලංකාවේ පළමු පාද බද්ධ කිරීමේ සැත්කම වන අතර ලෝකයේ පස් වැන්න ය.
දැන් එම සැත්කමට වසරක් පිරී තිබේ. පාදය බද්ධ කිරීමට ලක් වූ තරුණයා සුපුරුදු සුවයෙන් ජීවිතයට මුහුණ දෙමින් සිටි ඇත්ත වශයෙන්ම එය වෛද්‍ය විද්‍යාවේත් අපේ වෛද්‍යවරුන්ගේත් හාස්කමකි. එකී සැත්කම පිළිබඳ එම විස්මකර්ම කටයුත්තට දායක වූවන්ගෙන් අදහස් විමසීමු.
වෛද්‍ය අරුඩ්චෙල්වම් මහතා
මේ, තරුණයා හදිසි අනතුරකින් පාදය අහිමි වි සිටි කෙනෙක්. පාදය අහිමි වෙලා වසරක් පමණ වෙනවා. මෙරටදි පාදයක් බද්ධ කිරීමේ කටයුතු කරන්ට ආසාවක් සහ සැලැස්මක් මගේ හිත තුළ තිබුණා. අපි අපේ රෝගීන්ට පුළුවන් යමක් කළ යුතුයි. ඒක අපේ වගකීමක්. මම මේ අභියෝගය බාරගත්තා. රෝහලේ අධ්‍යක්ෂ ප්‍රමුඛ වෛද්‍යවරුන්ගෙන් කාර්ය මණ්ඩලයෙන් මට උපරිම සහයක් ලැබුණා. මේක ලංකාවේ පළමු පාද සැත්කම වුවත් මෙය සාර්ථකව කරන්ට පුළුවන් බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. දණහිසට ඉහළින් තමා පාදය සම්බන්ධ කරනු ලැබුවේ.
මොළය මිය ගිය රෝගීයාගේ පාදය වෙන්කරගෙන අයිස්වල බහාලනවා. ඒ තුළම තබා පළමුව අස්ථිය සම්බන්ධ කරනවා. ඊට පසු රුධිර වාහිනී සම්බන්ධ කරනවා. රුධිරය ගමන් කරන්ට සලස්වනවා.පසුව ඉතිරි කොටස් සම්බන්ධකර සකසනවා. කරපු පළමු සැත්කම සාර්ථකව සිදු වුණා. දැන් ඔහුට අහිමි වූ පාදය වගේම පාදයක් තිබෙනවා. සති තුනක් පමණ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. පසුව ඔහු නිවසට ගියා. පරිස්සම් වුණා. සතියෙන් සතිය රෝහලට ආවා. දැන් ඉතා හොඳ සුවයෙන් පසු වෙනවා. අස්ථිය හොඳින් හයිවෙන්ට මාස හයක් පමණ යනවා. දැන් හොඳින් හයිවෙලා තියෙන්නේ. කාලයක් යද්දී තමන්ට පාදයක් බද්ධ කළා කියලා දැනෙන්නෙත් නෑ. තමන්ගේ පාදය තිබුණ විදිහටම කටයුතු කරගන්ට පුළුවන්. මින් ඉදිරියටත් මෙවැනි අවයව බද්ධයන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
සැත්කමෙන් පසු එම තරුණයා සුවෙන් පසු වෙයි. තමාගේ වැඩපළ කර ගනී. සතියෙන් සතිය රෝහලට පැමිණ ලබන වෛද්‍ය උපදෙස් පිළිපදිමින් දිනෙන් දින සුව අතට හැරී තිබේ. පාද අහිමි වූ මෙවැනි බොහෝ පිරිසක් අප අතර ජීවත් වෙති. පසුගිය යුද සමයේ මේ තත්ත්වයන්ට ගොදුරු වූ පිරිස දහස් ගණනකි. එවැන්නන්ට මෙරටදී මෙවැනි සැත්කමක් කරගැනීමට අවස්ථාව ලැබිමේ පණිවුඩය සුබ ආරංචියකි. මෙරටදී හදවතක් බද්ධ කර වසරකටත් වැඩිය. එම තරුණියද නිරෝගී සුවයෙන් පසු වෙයි. මෙවැනි දස්කම් විස්කම් පාන වෛද්‍යවරු අප රටට සම්පතකි.
වෛද්‍යවරයා ඔහුගේ කාර්ය භාරය ඉටු කර හමාරය. සැත්කමේ සාර්ථකත්වය පිළිබඳව ඇති එකම සාක්ෂිය එම සැත්කමට භාජනය වූ පුද්ගලයාගේ ජීවිතය ය. සැත්කමින් පසු පරිස්සම් වීම ඔවුන් සතුය. එසේ වුවද තම නිවසේ පවතින ආර්ථික මට්ටම මානසිකත්වය සහ තමන් ජීවත්වන පරිසරය ඒ සඳහා තදින්ම බලපානු ඇත. ඒ හේතුන් මත සැත්කමේ සාර්ථකත්වය ගිලිහි යාමට පුළුවන. සැත්කම්වල සාර්ථකත්වය ජීවත්වන සෑම කෙනකුටත් හෙට මෙළොව එළිය දකින සෑම කෙනකුටත් අතිශය වැදගත්ය. පළමු සැත්කමට බඳුන් වු පුද්ගලයාගේ ඉදිරි සෞඛ්‍ය තත්ත්වය අන් අයගේ ඉදිරි සැත්කම් සඳහා වැදගත් වන්නේය. වෛද්‍යවරයා කරන ලද විශිෂ්ටත්වයට දායකත්වයක් ලබාදී එම රෝගීන් පිළිබඳව සොයා බලා කටයුතු කර ඔහු ආරක්ෂා කර ගැනීම මෙරට පුරවැසියන් වන අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය.
සටහන - ඉන්ද්‍රාණි තෝරදෙනිය
ඡායාරූප අනුග්‍රහය - වෛද්‍ය ජොයෙල් අරුඩ්චෙල්වම් මහතා