ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ
සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර
තැපැල් සේවයේ වර්ජනයක් ගැන තර්ජනය කර තිබේ. වර්ජන කරන්නට හේතු මොනවාද ? තැපැල් පාඩුව මකා ගන්නේ කෙසේද? ආදී කරුණු ගැන සාකච්ඡා කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර එහා ඉවුරට කැඳවුයේ එහෙයිනි.
* දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් නොදුන්නොත් දැවැන්ත වැඩ වර්ජන ව්‍යාපාරයකට අවතීර්ණ වෙනවා කියල පසුගියදා තැපැල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටියා. මොනව ද තියෙන ගැටලු?
6/2006 චක්‍රලේඛයට අනුව සමස්ත රාජ්‍ය සේවයටම බඳවා ගැනීමේ පටිපාටිය එකක් කළා. ඒ වගේම වැටුප් ගෙවීමේ ක්‍රම එකසිය තිස් ගාණක් තිබුණා. එය තිස් ගාණට අඩු කළා. මේ ක්‍රමය නිසා අපේ දෙපාර්තමේන්තුවට පොදු වෙලා තිබුණ බඳවා ගැනීම් වෙනස් වුණා. හදපු ක්‍රමයෙන් එකම සුදුසුකම තියෙන සමස්ත රාජ්‍ය සේවයම එකම වැටුපක් කළා. ඒ ක්‍රමය මේ වගේ දෙපාර්තමේන්තුවකට ගලපන්න අමාරු නිසා අර්බුද ඇති වෙලා.
* ඔය කියන බඳවා ගැනීම් හා වැටුප් තලවල තියෙන ප්‍රශ්නය මොකක් ද?
අපේ දෙපාර්තමේන්තුවට තැපැල් ස්ථානාධිපතිවරු බඳවා ගන්නේ දෙවැනි පෙළ විදිහට. දෙවැනි පෙළට බඳවා ගන්නා නිලධාරියාට තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති දක්වා යන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ දෙපාර්තමේන්තුවේ තියෙන විභාග සියල්ල සමත් වෙලා අවුරුදු තිහක විතර කාලයක් ගත කරලයි. දැන් තියෙන රටාවෙන් දෙවැනි පෙළ තුන්වැනි පෙළ කළා. ඒකෙන් වුණේ අවුරුදු දහයක් ඉස්සරහට දාපු එකඑ . එතකොට නියෝජ්‍ය තැපැල්පති දක්වා යන්න තිබුණ කාලය තවත් අවුරුදු දහයකින් වැඩි වුණා. ඒ කියන්නේ ඒ තැනට යන්න දැන් තුන්වන පෙළට එන නිලධාරියාට අවුරුදු හතලිහකට වඩා ගත වෙනවා. ඒ කාලය ගත කරන්න මේ නිලධාරින්ට කාලය ඉතුරු වෙන්නේ නෑ. මේ ක්‍රමය නිසා මැද ඉන්න නිලධාරි කොටස හිඩැසක් වෙලයි තියෙන්නේ.
* ඔය කියන විදිහට වෙනස් වෙනවා නම් ඇයි එදා මේකට විරුද්ධ නොවුණේ?
මේක ගේනකොට අපි දැවැන්ත අරගලයක් කළා. ඒත් එදා පාලකයෝ අපි කිව්ව දේ ඇහුවේ නෑ. මේ චක්‍රලේඛය නිසා නිලධාරීන්ට ඉහළට යන්න විදිහක් නෑ. ඒ අය වැඩ බැලුවත් අදාළ වැටුප නෑ. ඒ නිසා ඔවුන් ඒ තැනට යන්න කැමැති නෑ. මෙන්න මේ කාරණය තමයි මතු වෙලා තියෙන අර්බුදය. එදා තැපැල් සේවයේ දෙවැනි පෙළට බඳවා ගත්තාම, ඒ නිලධාරියාට පළමු පෙළට යන්න අවුරුදු නවයයි ගත වුණේ. පළමු පෙළෙන් අවුරුදු පහෙන්, හතෙන් ඉහළයට යන්න හැකියාව තිබුණා. ඒත් දැන් දෙවැනි පෙළ තුන්වෙනි පෙළ කරලා තියෙන නිසා තුන්වෙනි පෙළේ ඉදලා පළමු පෙළට යන්න අවුරුදු විස්සක් ගත වෙනවා. එදා දෙවැනි පෙළේ එක්කෙනා 16,640 වැටුපක් ගත්තා. තුන්වෙනි පෙළ වුණාට පස්සේ, ඒ වැටුප 15,005ක් වුණා. සමස්ත රාජ්‍ය සේවයේම මේ අවුල තියෙනවා. අපේ දෙපාර්තමේන්තුවේ ලිපි බෙදන නිලධාරින් බඳවා ගැනීමේ ඉදලා තනතුරු 18ක් තිබුණා.
ඒ තනතුරුවලට පැවරෙන නිශ්චිත රාජකාරියක් තිබුණා. මේ තනතුරු 18ම අහෝසි කරලා එක තනතුරක් හැදුවා. එදා තිබුණ ක්‍රමය බොහොම විද්‍යානුකූලයි. බඳවා ගැනීම් කළේ ක්‍රමානුකූලව. ඉස්සර කම්කරුවෙක් බඳවා ගත්තාම ඒ පුද්ගලයාට පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන් . අද එහෙම නෑ. ලියුම් තෝරන කෙනත්, අතුගාන කෙනත් එකයි. මේ චක්‍රලේඛයෙන් හදපු තැපැල් සහයක කියන ගොඩේ කම්කරුවන්, පවිත්‍රතාකරුවනුත් ඉන්නවා, ලියුම් බෙදන කෙනාත් ඉන්නවා, ලියුම් තෝරන කෙනාත් ඉන්නවා. දැන් හැමෝටම තැපැල් සහයක වැටුප ලැබෙනවා. ඒක නිසා හැමෝම අතුගගා ඉන්න කැමැතියි. ලියුම් බෙදන්න, තෝරන්න තියෙන වගකීම කවුරුත් ගන්න කැමැති නෑ. මේ ක්‍රමය නිසා සේවා බිඳ වැටීමක් සිදු වෙලා, පරිපාලනය අවුල් වෙලා ඉවරයි.
* තනතුරට අදාළ වැටුප් හිමි වෙනවා. ඒත් ඊට අදාළ රාජකාරිය කෙරෙන්නේ නෑ කියලා නේද ඔබ කියන්නේ?
ඉස්සර යම් තනතුරකට අදාළ විභාගයක් සමත් වෙලා තනතුරේ රාජකාරි ආරම්භ කළාට පස්සේ තමයි වැටුප් ගෙවන්නේ. ඒත් අද එහෙම නෑ, තනතුරට අදාළ වැටුප ලැබෙනවා. ඉස්සර විභාග සමත් වුණ පලියට වැටුප ගෙව්වේ නෑ. පුරප්පාඩුවට අදාළ තනතුරට ගියාට පස්සේ තමයි වැටුප් ගෙව්වේ. අද විභාග සමත් නම් පුරප්පාඩුවට යන්න ඕනෙ නෑ, වැටුප ලැබෙනවා. ඒ නිසා කවුරුත් පුරප්පාඩුවලට යන්න කැමැති නෑ, ඉන්න තැනම ඉදගෙන වැඩකරනවා. ඒක නිසා ලංකාවේ බොහෝ ආයතනවල තනතුරට අදාළ රාජකාරි කරන්න නිලධාරී නෑ. ඉස්සර එහෙම බෑ, උසස් වීමකට අදාළ තනතුරක් ලැබිලා වැටුප් ලබලා තනතුර ප්‍රතික්ෂේප කරනවා නම්, දඬුවමක් ලෙස ඒ පුද්ගලයාට හිමි වුණ ශ්‍රේණියේ පහළම වැටුප් තලයට දානවා. ඒ බයට නිලධාරීන් ශ්‍රේණියට අදාළ රාජකාරියට ගියා. අද වෙලා තියෙන්නේ පළමු පෙළට උසස් වෙලා ඒ වැටුපත් අරගෙන දෙවන පෙළේ රාජකාරි කරනවා. මේ සියලු බිඳවැටීම් හා ව්‍යාකූල තත්ත්වයන් ඇති වුණේ කලින් කිව්ව චක්‍රලේඛය නිසයි.
* පසුගිය රජය තමයි මේක කැබිනට් පත්‍රිකාවක් දාලා චක්‍රලේඛය නිකුත් කළේ. එදා ඔවුන්ගේ අරමුණ වුණේ මොකක් ද?
එදා රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් පටිපාටිය තිබුණේ, ඒ ඒ ආයතනයට අනන්‍ය වූ ක්‍රමයකට. ඒ වගේම තමයි වැටුප් ගෙවීම් ක්‍රම තිබුණෙත් ඒ විදිහට. ඒ වෙනකොට ලංකාවේ වැටුප් ගෙවීම් ක්‍රම එකසිය ගාණක් තිබුණා. තිබුණ වැටුප් ක්‍රම අයින් කරලා වැටුප් විෂමතාවය ඉවත් කරන්න තමයි මේ චක්‍රලේඛය ගෙනාවේ. අන්තිමේ දී වැටුප් විෂමතාවය ඉවත් කරන්න ගිහින් පරිපාලනය බිඳ වැටුණ එකයි වුණේ.
* එදා මේ ක්‍රමය එනකොට ඔබ ඇතුළු වෘත්තීය සංගම්වලට හඬක් නඟන්න බැරි වුණා ද?
මේ ගැටලුව අපි 2006 ඉදලා බලධාරීන්ට පෙන්නලා දුන්නා. එදා අපි අපේ මතය ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි මේ ක්‍රමය වඩාත් පලදායී විදිහට කරගන්න අවශ්‍ය යෝජනාත් ඉදිරිපත් කළා. ඒත් තැපැල් පරිපාලනය ඒ යෝජනාවලට කන් දුන්නේ නෑ. ඒ අය ඒකපාර්ශ්විකව මේ බඳවා ගැනීම් පටිපාටිය නිර්මාණය කළා. අද ඇති වෙලා තියෙන අර්බුදය අපි චක්‍රලේඛය එන්නත් කලින් පෙන්නුවා. ඒත් කවුරුත් ඒවා ගණන් ගත්තේ නෑ. වරින් වර අපි මේ කාරණා දේශපාලන අධිකාරියටත් පෙන්නලා දුන්නා. ඒ අය කළේ තාවකාලික පැලැස්තර විසඳුම් දෙන එක විතරයි. කනිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමේ පටිපාටිය 2006 සම්මත කරගන්න බැරි වුණා, ඒක කළේ 2014දී. 2014 වෙනකල් ඒ අයට පරණ ක්‍රමයට වැටුප් ගෙව්වා. නමුත් සමහර අයට 2006 ඉදලම අලුත් ක්‍රමයට වැටුප් ගෙව්වා. දැන් වැටුප් කොමිසම කියනවා 2006 ඉදලා වැටුප් ගත්ත අයගෙන් ඒවා අය කර ගන්න ඕන කියලා. දැන් වෙලා තියෙන්නේ නිශ්චිත ක්‍රමවේදයක් නැතිව වැටුප් ක්‍රමය හදලා හැම වැඩක්ම අවුල් කරලා. මේ ගැටලුව අපි දිගින් දිගටම ආණ්ඩුවට පෙන්නලා දුන්නා.
* පසුගිය රජය ගෙනාපු මේ චක්‍රලේඛයට වත්මන් රජයේ තියෙන වර්ජනය කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස හා ඉල්ලීම් දිනා ගැනීමේ නිදහස නේද පාවිච්චි කරන්නේ?
වත්මන් ආණ්ඩුවේ නිදහස අපි පාවිච්චි කරන්නේ නෑ. තැපැල් වෘත්තිය සමිති දරුණුම වැඩ වර්ජනයට ගියේ මහින්ද පාලනය කාලේ. මහින්ද පාලනයේ අවසාන අය වැයේ දී තැපැල් දෙපාර්තමේන්තුවට නිශ්චිත විසඳුමක් දුන්නා. ඒත් වත්මන් ආණ්ඩුවේ දින සියේ අය වැය නිසා ඒක ක්‍රියාත්මක වුණේ නෑ. අපි පසුගිය රජයට බලපෑම් කළේ නෑ කියන්න බෑ. අද කියන හැම කාරණයක්ම අපි ඒ පාලකයන්ට පෙන්නලා දුන්නා. ඒ ආණ්ඩුව කාලේ තමන්ගේ මතයට විතරක් කටයුතු කරපු තැපැල්පතිවරයා පවා ඉවත් කරලා දාන තැනට අපි කටයුතු කළා. ඒ නිසා අපිට චෝදනා කරන්න බෑ දේශපාලන මුහුණුවරකින් කටයුතු කරනවා කියලා. අපේ දෙපාර්තමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වන වෘත්තීය සමිති තියෙනවා. මේ හැමෝම එකතුවෙලා තමයි මේ අරගලයේ ඉන්නේ. අපිට ආණ්ඩු විරෝධී මතයක්වත්, ආණ්ඩු කඩාකප්පල් කිරීමේ වුවමනාවක්වත් නෑ.
* තැපැල් දෙපාර්තමේන්තුව විශාල ලෙස පාඩු ලබමින් යන ආයතනයක් , ඔය වගේ අර්බුද නිසා ආයතනය පුද්ගලීකරණයට හෝ සංස්ථාකරණයකට ලක් කිරීමට යෝජනා වුණොත්?
මේ දෙපාර්තමේන්තුව 1998 වර්ෂයේ සංස්ථාවක් කරන්න එදා පැවැති රජය සියලු කටයුතු සූදානම් කළා. ඒ වෙලාවෙත් අපේ වෘත්තීය සමිති දෙකක් උසාවියට ගිහින් කිව්වේ, මේ රටේ මැතිවරණවලට මූලික දායකත්වය දෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුව කියලයි. අනෙකුත් රාජ්‍ය අයකිරීම් සියල්ල කරන්නේ අපේ දෙපාර්තමේන්තුව කියලත් එදා පෙන්නලා දුන්නා. ආණ්ඩුවේ බොහොමයක් ගෙවිම් කළේ තැපැල් දෙපාර්තමේන්තුව. ඒ කාරණා තැපැල් පනතේ තියෙනවා. නමුත් අපිත් කැමැතියි තැපැල් දෙපාර්තමේන්තුව වෙනස් කරනවාට, වැඩි දියුණු කරනවාට. ලෝකයේ අනෙක් රටවල්වල තැපැල් සේවා කියන්නේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. නමුත් අපේ රටේ එහෙම නෑ. මෑත දශක දෙකක කාලයක් පුරා අපිත් දිගින් දිගටම තැපැල් සේවය වෙනස් කරන්න කියලා කියනවා. අද තියෙන තාක්ෂණයත් එක්ක තැපෑල යන්න ඕන. තැපෑලටම අනන්‍ය සේවාවන් රැක ගෙන මේ දෙපාර්තමේන්තුවත් ආරක්ෂා කරන්න ඕන. ඒ ගැන අපි නිරන්තරයෙන් යෝජනා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා.
* තැපෑලේ ආදායම් වැඩි කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න ඔබේ වෘත්තීය සමිති අරගල කළා ද?
මේ තියෙන ක්‍රම වෙනස් කරලා නව තාක්ෂණික ක්‍රමෝපායන් හඳුන්වලා දෙන්න කියලා අපි අවුරුදු ගාණක් තිස්සේ කියනවා. අද බොරැල්ල තැපැල් කන්තෝරුවේ එක පරිගණකයයි තියෙන්නේ. ඉතිං ඉක්මනට වැඩ කරන්නෙ කොහොම ද ? ලාභ ලබන්නේ කොහොම ද? මේවට පහසුකම් දෙන්නේ නෑ. අපි වෘත්තීය සමිති විදිහට ඕනෑම වෙලාවක ලෑස්තියි තැපෑල නවීකරණය කරනවාට. මේ දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයක් විදිහට තිබුණාම තමයි මහජනතාවට වඩාත් සහනදායී සේවා සපයන්න පුළුවන් වෙන්නේ. අද රාජ්‍ය පාලනයේ තිබියදී වෙනස් වුණ ආයතන තියෙනවා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වගේ රාජ්‍ය ආයතන වෙනස් වුණා. ඒවා කාර්යක්ෂම වෙලා . තැපෑලටත් එහෙම කරන්න බැරි කමක් නෑ . රජයේ ආයතනයක් විදිහට තියාගෙන සංවර්ධනය කරන්න බෑ කියලා කියන්න බෑ. කරන්න ඕන පාඩුයි පාඩුයි කියන එක නෙවෙයි, ආණ්ඩුව මැදිහත් වෙලා මේවා වෙනස් කරන එකයි.
* සමහර අවස්ථාවල ජනතාවත් කියන්නේ තැපෑලට වඩා පුද්ගලික ආයතන කාර්යක්ෂමයි කියලා නේද?
පුද්ගලික අංශයත් එක්ක තරග කරන්න නම් ආණ්ඩුව මේ ආයතනවලට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. තාක්ෂණය දෙන්න ඕන. එහෙම නැතිව පාඩුයි කියලා හරියන්නේ නෑ. එක ලිපියක් යවන්න දෙපාර්තමේන්තුව රුපියල් හැටක, හැත්තෑවක පිරිවැයක් දරනවා. හැබැයි අය කරන්නේ රුපියල් තිහක් වැනි මුදලක්. මහජනතාවට ඒ වාසිය දෙන්න නම් රජය මේ කාරණා දිහා ඕනෑකමින් බලන්න ඕන. එහෙම නැතිව මේ සේවා පුද්ගලික අංශයට දීලා ජනතාවට තියෙන සහන සේවා අහිමි කළ යුතු නැහැ.
තැපෑල අතීතයේ දී පාඩු ලැබුවේ නෑ. ලාභ ලබන ආයතන මේ දෙපාර්තමේන්තුවෙන් කඩලා වෙන් කරලයි තියෙන්නේ. අපිට තිබුණ බැංකුව අයින් කළා, ශ්‍රී ලංකා ටෙලිකොම් අයින් කළා. එදා මේ දෙපාර්තමේන්තුව හදලා තිබුණේ එක පැත්තකින් මහජන සේවා සපයන්නත්, අනෙක් පැත්තෙන් ලාභ ලබන්නත් පුළුවන් විදිහට. අද ලාභ ලබන ආයතන අයින් කරලා, සේවා සපයන කොටස විතරක් අපිට ඉතුරු කරලා. එහෙම කරලා තමයි කාර්යක්ෂම නෑ පාඩුයි කියලා කියන්නේ . මේ ගැටලුවලට වගකියන්න ඕන දේශපාලඥයින්.
* ඔබ වෘත්තීය සමිති සන්ධානය වත්මන් ආණ්ඩුවට තර්ජනාත්මකව කිව්වා, දින 14ක් ඇතුළත විසඳුමක් නොදුන්නොත්, වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒක සාධාරණ ද?
මේ ගැටලුව විසඳන්න දින 14ක් හොඳටම ප්‍රමාණවත්. අපි රටේ ජනතාව, සේවා ලාභීන් අපහසුතාවයට පත් නොකර ගැටලු නිරාකරණය කරගන්න උපරිම උත්සාහ කරනවා. අපි කියන්නේ අපේ ගැටලුවලට පැහැදිලි විසඳුම් තියෙනවා.
ඒවා මඟ නොහැර ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කරන්න ඕන. මොකද වැඩ වර්ජනයකට යනවා කියන්නේ රටම අපහසුතාවයට ලක් වීමක්. අපිට තැපැල් සංස්කෘතියක් තියෙනවා. අපේ ප්‍රධාන කාර්යාලය නොදී තියාගෙන ඉන්නවා. තාවකාලික කුලී නිවාසවල අපේ කාර්යාල පවත්වාගෙන යන්න වෙලා තියෙනවා. මේවාට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. මේ ආයතන රජයට වගේම මහජනතාවගේ අවශ්‍යතාවයට නිර්මාණය වුණ දේවල්. අවුරුදු දෙසීයක් විතර ලංකා තැපැල් සේවය කරගෙන ඇවිත් තියෙනවා. මේවා යාවත්කාලීන කරලා අනාගතයට ඕන විදිහට හදලා කාර්යක්ෂම කරන්න ඕන. එහෙම නැතිව තාවකාලික විසඳුම් දීලා මේ ආයතන අඩපණ කරලා දාන එක ජාතික අපරාධයක්.
දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප-නිරෝෂ් බටේපොළ