Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ආබාධ ඇති අයට ඇයි මේ බාධා?

$
0
0
දෙසැ 25, 2017 01:00

 

ශාරීරක හා මානසික ආබාධ සහිත පුද්ගල සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ.ලොව බිලියනක පමණ පිරිසක් මෙම තත්ත්වයෙන් පසුවන බව ලෝක සෞඛ්‍යය සංවිධාන දත්ත පෙන්වා දෙයි. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තුමේන්තුව 2012 වසරේදී සිදුකළ අවසන් සංගණන වාර්තාවට අනුව ශ්‍රීලංකාවේ දහසය ලක්ෂ දාහත් දහස් දෙසිය අනූ හතරක් (1617294) ශාරීරික හා මානසික ආබාධවලින් පෙළෙන බව තහවුරුව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වසර 2014 දී ප්‍රකාශ කළේ දැනට 7 % ක් පමණ අගයක පවතින මෙරට ශාරීරික හා මානසික ආබාධ සහිත පුද්ගල සංඛ්‍යාව 2040 වසර වන විට 24.4 % ක් දක්වා ඉහළ යාහැකි බවයි..

ආබාධ සහිත පුද්ගලයින්ගේ හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට 2016 වසරේදී ශ්‍රී ලංකාව අත්සන් තැබූ නමුත් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම පිණිස මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත සම්මේලනය පවසයි. මෙවර අයවැයෙන් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් සිදුකර නොමැති අබාධිත දීමනාව ලබා ගැනීම සඳහා 67000 ක් ඉල්ලුම් කර තිබෙන බවත් සමාජ සවිබල ගැන්වීම්, සමාජ සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. මේ වනවිට අබාධිත දීමනාව ලබා දීමට 10000 තෝරා ගෙන තිබෙන බවත් සමෘද්ධිය මගින් හෝ මෙම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි. පවුලක එක් ආබාධිත දරුවෙක් ඉන්නා විට එම දරුවාට පමණක් නොව පවුලේ අනෙක් දරුවන්ටද අධ්‍යාපනය ලබා දීමට දෙමව්පියන්ට නොහැකි වන අවස්ථා බහුල බව සමාජ සුබ සාධන හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය හඳුනා ගෙන තිබේ.

ආබාධිතබව සහ අධ්‍යාපනය

මොවුන් බොහෝ අසීරුතා මධ්‍යයේ අධ්‍යාපනයේ විවිධ කඩඉම් පසු කළද ඔවුන්ට රැකියා ලබා දෙන්නට ක්‍රමවත් වැඩපිළිවෙළක් බලයේ සිටි කිසිදු රජයක් විසින් ක්‍රියාත්මක නොකිරීමේ අවසන් ප්‍රතිඵලය බවට පත්ව තිබෙන්නේ අබාධ සහිත පුද්ගලයින් අධ්‍යාපනය ලැබීමෙන් ඈත් වීමය. උපකෘත ගණයට වැටෙන අබාධිත දරුවන් සඳහාම වෙන්කළ පාසල්වල විෂය භාහිර කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු පහසුකමක් ලබා දෙන්නේ නැත. ලොව පුරා අන්තර්කරණය නොඑසේ නම් සාමාන්‍ය දරුවන් සමඟ එකම පන්ති කාමරයක අබාධිත දරුවන්ටද අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව මෙරටද අවධානය යොමුව තිබුණත් එම වැඩපිළිවෙළ තවමත් පවතින්නේ ළදරු මට්ටමකය.

දෘෂ්‍යාබාධිත හෝ ශ්‍රවනාබාධිත දරුවකු උපකෘත පාසලකින් අපොස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සඳහා සාමාන්‍ය පාසලකට ඇතුළුවීමට යාමේදී මව්පියන් හා දරුවා පත්වන අසීරුතාව දන්නේ ඊට මුහුණ දෙන ඔවුන්ම පමණි. ජනප්‍රිය ඇතැම් පාසල්වල ගේට්ටුවෙන් ඇතුළට මේ දරුවන් ඇතුළු කර ගැනීමට විදුහල්පතිවරු අකමැතිය. පාසල් යන වයසේ පසුවන සෑම දරුවකුම පාසල් ගත කිරීම මව්පියන්ගේ හෝ බාරකරුවන්ගේ වගකීම වන අතර එසේ නොකරන අවස්ථාවක ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අධිකරණමය ක්‍රියාවලියක් ඔස්සේ දඬුවම් පැමිණවීමේ හැකියාව රජය සතුය. එසේ වුව ආබාධිත දරුවන් වෙනුවෙන් එම නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත් සාමාන්‍ය ඕනෑම පුද්ගලයකු කොයි මොහොතේ හෝ අබාධිතයකු බවට පත්වීමේ අවධානමක් තිබෙන බව නීතී සම්පාදනය කරන්නන් පවා තේරුම් ගත යුතු බවත් සෙංකඩගල අඳ බිහිරි පාසලේ දෘෂ්‍යාබාධිත අංශයේ අංශ ප්‍රධානී ආර්.ජී විජේසිංහ මහතා පවසයි.

පොත්වල නොලියවෙන අපයෝජන

පුද්ගල වයස් කාණ්ඩ සැලකීමේදී පාසල් වයසේ පසුවන (අවුරුදු 05-19 අතර ) දරුවන් 88740 ක් ශාරිරික හා මානසික අපහසුතාවලින් පෙළෙන බව ජන හා සංඛ්‍යා ලේඛණ වාර්තාව අනුව හෙළිදරව් වන අතර ඉන් ළමුන් 30308 ක් කිසිදු අධ්‍යාපන කටයුත්තක නොයෙදෙයි. ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු (05-09) වයස් කාණ්ඩයේ දරුවන් 31525 ක් අතරින් කිසිදු අධ්‍යාපන කටයුත්තක නොයෙදෙන සංඛ්‍යාව 6404 කි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 20.3 % කි. කිසිදු අධ්‍යාපන කටයුත්ක නොයෙදෙන අබාධිත පිරිස අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා ඔවුන් ලබන අධ්‍යාපනයට නිසි වටිනාමක් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතුය. සාමාන්‍ය දරුවකුට වඩා වැඩි අවධානයක් මව්පියන් විසින් ආබාධිත දරුවකු වෙනුවෙන් දැක් විය යුතුය. එවැනි දරුවකුට අධ්‍යාපනය ලබා දීමේදී ඔවුහු විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති. එවැනි දුෂ්කරතා මධ්‍යයේ ලබන අධ්‍යාපනයට නිසි වටිනාකමක් සමාජයෙන් නොලැබෙන්නේ නම් අබාධිත දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ඔවුන්ගේ මව් පියන් තුළ පවත්නා උනන්දුවද අඩු වීමේ අවධානමක් තිබේ.

ආබාධිත දරුවන් බොහෝ විට අධ්‍යාපනය ආරම්භ කරන්නේ වයස අවුරුදු 05 ඉක්මවා තවත් වසර දෙක තුනක් ගිය පසු බවත් මේ නිසා ඔවුන්ට විෂය නිර්දේශ අවරණය කිරීමේදී අවුරුදු 24 ක පමණ කාලයක් අධ්‍යාපනය ලබා දීමට සිදුවන බවත් මහනුවර සෙංකඩගල අද බිහිරි පාසලේ සාමාන්‍යාධිකාරී ඩී.බී ගමගේ මහත්මිය පවසයි. පාසැල් යන වයසේ පසුවන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පනස් දහසකට වැඩි පිරිසක් සමාජයේ සිටින බවද මොවුන් ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින නමුත් අබාධිත බව නිසාම එම සිදුවීම් බොහොමයක් පොලීසි වලට වාර්තා නොවන බවද ඇය පෙන්වා දෙයි.

ආණ්ඩුවෙන් කළ යුතු දෙය

ආබාධිත තත්ත්වයේ අයටද සමාජයේ සම අයිතිවාසිකම් හිමිවිය යුතුය. එහෙත් අපේ රටේ මෙම තත්ත්වය දකින්න ලැබෙන්නේ නැත.පැසල් පන්ති කාමරයක සිටි විශ්ව විද්‍යාල පන්ති කාමරය දක්වාම අධ්‍යාපන අංශයේ මෙම වෙනස් කොට සැලකීම දක්නට ලැබේ . අබාධිත සිසුන් මෙම වෙනස් කොට සැලකීම හේතුවෙන් දෛනිකව පීඩා විඳින අතර ඔවුන්ගේ මව්පියන්ටද මේ නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. මහනුවර පිළිමතලාව ඇම්බැක්කේ පදිංචි රුමේෂිකා දිල්රුක්ෂි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරිනියකි.

උපාධිය ලැබ වසර තුනක කාලයක් තිස්සේ රැකියාවක් අපේක්ෂාවෙන් පසු වන ඇය පවසන්නේ පාසලේදී මෙන්ම විශ්ව විද්‍යාලයේදී ආබාධිත බව සමඟ අධ්‍යාපනය ලබන්නට මහත් වෙහෙසක් දැරූ බවයි. දෙපා පණ නැතිව රෝද පුටුවෙන් ගමන් ගන්නා ඇයට පන්ති කාමරයකට යෑමට පවා ප්‍රවේශ මාර්ග නොතිබීම නිසා විශ්ව විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිලි වල ඉහළ මහලේ පැවැති පන්ති වලට ගොස් තිබෙන්නේ සහෝදර සිසුන්ගේ ආධාර උපකාර මතය.

බහු විධ ආකාරයට වෙනස් කොට සැලකීමේ අත් දැකීම් විඳින විශේෂ අවශ්‍යතා ඇති අයට සමානාත්මතාවය ළඟාකර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම රජයේ වගකීමකි.ආබාධිතයන්ගේ අයිතිවාසිකම් මූලික අයිතියක් ලෙස ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතින්නේ නම් සමජය තුළ වෙනස් කොට සැලකීමේ අවස්ථාවකදී ඔවුන්ට අධිකරණය ඉදිරියට ගොස් සාධාරණය අපේක්ෂා කිරීමේ අවකාශ සැලසෙන බව අධි නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

කොළඹ නීති පීඨයේ පළමු පන්තියේ සාමාර්ථයක් ලබාගත් දෘෂ්‍යාබාධිත සිසුවකුට කථිකාචාර්ය වරයකු ලෙස පත්වීමක් ලබා ගන්නට යෑමේදී අන්ධ බව නිසා එය නොලැබී ගිය බව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා ප්‍රකාශ කරන අතර අබාධිත වූවන් නොසලකා හැරීම සම්බන්ධව මෙය හොඳම උදාහරණයක් බව පෙන්වා දෙයි.

අබාධිත තත්ත්වයේ පසුවන උපාධිධාරීන් හැටපස් දෙනකු රැකියා අපේක්ෂාවෙන් පසුවන බව ආබාධ සහිත වූවන්ගේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ එකමුතුවේ සාමාජික සත්‍යා නිර්මාණී පවසයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබද උපාධිධාරිනියක වන ඇය පවසන්නේ දැනට විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන ආබාධ සහිත වූවන් ලබන වසරේ විශ්ව විද්‍යාලවලින් පිටවූ පසු මෙම සංඛ්‍යාව 100 කට ආසන්න විය හැකි බවයි.රජයේ රැකියාවලින් 3% ක් ආබාධ සහිත වූවන් සදහා ලබාදිය යුතු බවට ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1988 වසරේදී චක්‍ර ලේඛණයක් පවා නිකුත් කර තිබුණද රැකියා ලබා දීමේදී මෙය කිසිදු ආකාරයකින් සැලකිල්ලට ලක් නොකරන බව සත්‍යා පවසයි.

අධිකරණ තීන්දුව නොසලකා හැරීම

ආබාධ සහිත වූවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේද අවධානය යොමුව තිබේ.ඔවුන්ගේ ප්‍රවේශ පහසුකම් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවා තිබියදී රාජ්‍ය ආයතන පවා තවමත් එය නොසලකා හරිමින් ඉදි කිරීම් සිදු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී කුමුදුනී විතාන මහත්මිය පවසයි.

අබාධිත බව සමග වෛද්‍ය, ඉංජිනේරු හෝ කළමනාකරණ උපාධි පාඨමාලා හැදෑරීමේ පහසුකම් නොමැති නිසා මෙරට විශේෂ අවශ්‍යතා ඇති අය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වන්නේ කලා අංශයෙන් පමණි. රැකියා ගැනීමට යාමේදී මෙය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයේ පසුවන අති විශාල පිරිසක්ද කලා උපාධි ලැබ විරැකියාවෙන් පෙළෙන බැවිනි. බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමටත් ඉන් පසු සුදුසුකම් මත රැකියාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින විශේෂ අවශ්‍යතා ඇතතෝ රජයට කියන්නේ තමන්ට අවශ්‍ය අනුකම්පාව නොව සාධාරණත්වය බවයි.

සටහන
අසේල කුරුළුවංශ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>