ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ
වැව් දහසයි, ගම් දහසයි සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ සක්‍රීය දායකත්වයෙන් රටපුරා ක්‍රියාත්මක වන කෘෂිකර්මය නංවාලීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේදී මේ වන විට ක්‍රියාත්මකව ඇත.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ සංවිධායක අජිත් බස්නායක (ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී) මහතාගේ මෙහෙයවීම හා උපදෙස් මත වසර 30 ක් තිස්සේ පුරන්ව ගිය යක්කල කෙසෙල්වතුගොඩ වැවේ කුඹුර අක්කර 40 ක වපසරිය නැවත වගාකිරීමට හා ඒ ආශ්‍රිත වගුරු බිමක් බවට පත්ව ඇති වැව ප්‍රතිසංස්කරණය කර අදාළ ප්‍රදේශයේ අවහිර වී ඇති ඇළ මාර්ග තැනීමට කටයුතු යොදා ඇත. මේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ එකමුතුව පූර්ණ සහාය ලබාදෙන බැව් දක්නට ලැබුණි. වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිරීක්ෂණයට එක්වූ ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අජිත් බස්නායක මහතා ගොවි නියෝජිතයින් අමතමින් අදහස් දැක්වූයේ මෙසේය.
මෙම අක්කර 40 ක් පමණ වූ පුරන්ව ඇති කුඹුරු යාය යළි අස්වැද්දීමටත් වැව ප්‍රතිසංස්කරණය කර ඇළ මාර්ග, ඇළවේලි නිසි පරිදි සැකසීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ලැබෙනවා. ලක්ෂ හැත්තෑවක් පමණ වැය කරනවා. රජයේ නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ද ගම්පහ දිසාවට ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි 10 ක් පමණ වෙන්වී ඇති බව ද කීය.
අතීතයේ පටන් අපි වාරි ශිෂ්ටාචාරයක් තිබූ රටක ජීවත්වූ අය වෙමු. අපේ ජනාධිපතිතුමන් වගේම කෘෂිකර්මය නඟාසිටුවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැපවී ක්‍රියා කිරීම කෘෂිකර්මයේ නව උදාවකි. රට පුරාම මෙවැනි වගා නොකළ කුඹුරු, පුරන්ව ගිය කුඹුරු නැවත වගාවට කටයුතු කෙරෙනවා.
කෙසෙල්වතුගොඩ ප්‍රදේශයේ කෘ. ප. නි. ස. නිලධාරිනී පී. පී. කුමුදිනි සහ අලුත්ගම 225 ඒ කෘ. ප. නි. ස. සරත් නිස්සංක යන අය ද අදහස් දක්වමින් කියා සිටියේ වසර 30 ක් පුරන්ව ගිය මෙම කුඹුරු යාය යළි අස්වැද්දීමට රජය ලබාදෙන සහයට ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ ඉමහත් ප්‍රසාදය ලැබී ඇති අතර ඒ සඳහා දායකත්වය ද ලබාදෙන බවය. කෙසෙල්වතුගොඩ 'ස්වශක්ති'ගොවි සංවිධානයේ ලේකම් සරත් කුමාර මහතා ද අදහස් දැක්වීය.
ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක මහතා ගොවීන් ඉදිරිපත් කළ අදහස්වලට සවන් දෙමින් කියා සිටියේ වසර 30 - 40 ක් අස්වැද්දීමෙන් තොරව තිබූ කුඹුරු යායක් නැවත වගාකිරීමේ දී ගොවි මහතුන්ට ද පිරිවැය ප්‍රශ්න ඇති බවයි. නියර බැඳීම, කුඹුරු සැකසීම ආදී කටයුතු සම්බන්ධව ද අවධානය යොමු කරනබවද කීවේය.
ගම්පහ දිසාවේ සාර්ථකම ව්‍යාපෘතිය මෙයයි. අපගේ පසුවිපරම් හා කෘෂි නිලධාරීන්ගේ, ගොවි සංවිධාන මහතුන්ගේ කැපවීම අගය කරන බවද කීය. මෙම වැව ප්‍රතිසංසකරණය කිරීමෙන් පසු මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඇතිකොට ප්‍රදේශවාසීන්ට සහන සැලසීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.
ඉඟිනියාගල ජයන්ති වැවේ මාළු අස්වැන්න සරු වෙලා
උතුරු මැද පළාත් ධීවර අමාත්‍යාංශය මගින් ප්‍රදේශයේ පවත්නා ලොකු කුඩා වැව් 3472ක ‘මිරිදිය මාළු’ සම්පත බෝ කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත්කර තිබේ. ඉකුත් 2017 වසරේදී උතුරුමැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඊ.එච්.එම්. ඒකනායක මහතාගේ උපදෙස් පරිදි ඉඟිනියාගල ජයන්ති වැවට මාළු පැටව් ලක්ෂයක් මුදාහරින ලදී. පසුගියදා වැවේ මිරිදිය මාළු අස්වනු නිරීක්ෂණයට ලේකම්වරයා එහි ගියේ ය.
ඡායාරූප - එප්පාවල සමූහ
යළි පදිංචි කරන වලිකාමම් උතුරු ප්‍රදේශයේ ගම්මානවලට පුළුල් මාර්ග ඉදිවෙයි
වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
යුද හමුදාව යාපනයේ වලිකාමම් උතුරු ප්‍රදේශයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 680ක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ලබාදීමෙන් පසුව යාපනය දිසාපති කාර්යාලය එම ගම්මානවලට යාමට පුළුල් මාර්ග ඉදිකිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කොට තිබේ.
යාපනය දිසාපති කාර්යාලය පවසන්නේ පුනරුත්ථාපන අමාත්‍යාංශය ලබා දී ඇති මූල්‍ය ප්‍රතිපාදනවලින් වලිකාමම් ප්‍රදේශයට රෝහලක් ආයුර්වේද බෙහෙත් ශාලාවක් සමුපකාරයක් ඇතුළු සියලුම දේ ඉදිරි කාලයේදී ලබා දෙන බවයි.
මේ අතරතුර ජනතාව පදිංචි කරවීමේ කටයුතු ආරම්භ කිරීමට ද නියමිතව ඇති අතර එහිදී ජනතාවට අවශ්‍යය සියලු පහසුකම් ලබාදීමට ද නියමිතය.
වලිකාමම්හි ජනතාව පදිංචි කරවීමට ඇති එකම බාධකය වී ඇත්තේ මෙවන විට එම ප්‍රදේශයේ පවතින උග්‍ර ජල හිගය බවද දිසාපති කාර්යාල පුනරුත්ථාපන අංශය සඳහන් කරයි.