මධ්‍යම පළාතේ පිහිටි ඉපැරැණි විදුහල් අතර ප්‍රමුඛස්ථානයක් දිනා සිටින මාතලේ ශාන්ත තෝමස් විදුහලට වසර 145ක් සම්පූර්ණ වේ.
1873 වසරේ ආරම්භ කරන ලද මාතලේ ශාන්ත තෝමස් විදුහල මාතලේ ශාන්ත තෝමස් දෙව්මැදුර යටතේ පාලනය විය. පිරිමි ළමයින් 75 ක් සහ ගැහැනු ළමයින් 12කින් ඇරඹූ මෙම පාසල 1876 දී පිරිමි විදුහලක් හා ශාන්ත තෝමස් බාලිකා විදුහල නමින් කාන්තා විද්‍යාලය වෙන් කරන ලදී. මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආරම්භක විදුහල්පති දොන් ජොවිනන් (Don Jiovanni) මහතාය.
1880 සිට 1930 දක්වා කාලයේදී පාසලේ පන්තිකාමර ගණන වැඩිකර පාසලට බඳවා ගතයුතු සිසුන් ගණන ක්‍රමවත්ව වැඩි දියුණු කරගත් කාලපරිච්ඡේදය ලෙස සඳහන් වේ.
1881 දී ඉංග්‍රීසි භාෂාව කතා කරන ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් ම අධ්‍යාපන කටයුතු කරන පාසලක් බවට පත් විය. එකල විදුහල්පතිවරයා වූයේ පයස් ප්‍රනාන්දු මහතාය. 1904 දී දානපතියකු වූ ජොන් කූරුස් මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක වර්තමාන චාර්ල්ස් රොබින්සන් ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය. පාසලේ ආදිශිෂ්‍යයකු වූ ජෝෂප් ගෙගරි පෙරේරා විදුහල්පතිවරයා ලෙස 1901 සිට 1946 දක්වා කටයුතු කර ඇත. දක්ෂ ගුරුවරයකු වූ ඔහු ජෝෂප් මාස්ටර් ලෙස ප්‍රසිද්ධියට පත් වූ බව තෝමස් ඉතිහාසය සඳහන් කරයි. පාසලේ නිවාස ලෙස එංගලන්තයේ ප්‍රධාන අධ්‍යාපන ආයතන හතරක නම් භාවිතා කර ඇත. එය HARROW, WINCHESTER, ETON, RUBBYලෙස නම් වූ අතර එය පසුව ඔස්ටින්, ක්ලෙමන්ට්, පයස්, බීඩ් ලෙස විදුහලේ විදුහල්පතිවරුන්ගේ නම් යොදා යළි වෙනස් කර ඇත.
එකල දක්ෂ ගුරු මණ්ඩලයකින් සමන්විත ප්‍රධාන පෙළේ ඉංග්‍රිසි පාසලක් බවට පත්වූයේ ජේ.එම්. ඩ්රෙක්, එස්. එස්. කාර්නින්වේල් එල්.ඩී. ජයසිංහ, සී.ජේ. රොඩ්රිගෝ, සහ චාර්ල්ස් රොබින්සන් මහත්වරුන්ගේ දායකත්වයෙන් බව සඳහන් වේ.
මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ඉතිහාසය රන් අකුරින් ලියවුණ යුගයන් දෙකක් වේ. ඉන් පළමුවැන්න චාර්ල්ස් රොබින්සන් යුගයයි. ඔහු 1923 දී විදුහල්පතිවරයා ලෙස කටයුතු කර 1958 දී සේවයෙන් විශ්‍රාම ගෙන ඇත.
1938 දී ශිෂ්‍ය භට ඛණ්ඩය ජේ.බී. මඩසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ඊ.ඒ. පේරුසිංහ මහතා බව සඳහන් වේ. 1935 දී බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ අතර එම්.එස්.එස්. ගුණවර්ධන හා එස්. බී. පමුණුව මහත්වරුන්ගේ ප්‍රධාන දායකත්වය ඊට හිමිවිය.
1958 චාර්ල්ස් රොබින්සන් මහතා විශ්‍රාම ගිය විට නියෝජ්‍ය විදුහල්පතිවරයා වූයේ ජෝර්ජ් ඩිලොව් මහතාය. මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ස්වර්ණමය යුගය වී ඇත්තේ 1966දී ඒ.ජේ. විජේසිංහ විදුහල්පතිවරයා රාජකාරි කළ සමය බව සඳහන් වේ. පාසලේ ක්‍රීඩා අංශය, අධ්‍යයනය හා වෙනත් අංශවල කැපී පෙනෙන වෙනසක් කිරීමට විජේසිංහ මහතාට හැකිවිය. ඔහු 1987 දී විශ්‍රාම ගන්නා ලදී. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස අමරතුංග මහතා කටයුතු කර තිබේ.
වසර 145ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම පාසලෙන් මෙරටට බිහි වූ ශ්‍රේෂ්ඨයන් විශාල ගණනකි. ඉන් ප්‍රධාන තැනක් ගත් අය අතර සිවිල් සේවකයන් හා රාජතාන්ත්‍රිකයින් අතර ලීල් ගුණසේකර, චාර්ල්ස් අබේසේකර, මහදේව, හිටපු මහබැංකු අධිපති ඒ.එස්. ජයවර්ධන, හිටපු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් බන්දුල කුලතුංග, හිටපු පොලිස්පති ලකී කොඩිතුවක්කු, කරුනාතිලක අමුණුගම, පාලිත කොහොන, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් අනිල් කඩුවෙල, මහවැලි අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් අනුර දිසානායක, ලංකා බැංකුවේ හිටපු සභාපති උදය කාරියවසම්, පරමාණුශක්ති අධිකාරිය වර්තමාන අධ්‍යක්ෂක වජිර වඩුගේ, DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා, චමින්ද රත්නායක, උපකුලපති හරිත විශ්වවිද්‍යාලය (NSBM) කෞෂල්‍ය නවරත්න ලේකම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන මහත්වරු ප්‍රධාන තැනක් ගන්නා අතර කලා ක්ෂේත්‍රයේ බණ්ඩාර අතාවුද, චූලාභය ශාන්ත කුමාර , දයාන් විතාරණ, හේමාල් රණසිංහ, අතුල පතිරණ, සනත් විමලසිරි, ඉන් කිහිපදෙනෙකි. මාතලේ ශාන්ත තෝමස් විදුහල ක්‍රීඩා ක්ෂේත්‍රය අතින්ද දෙස් විදෙස් නමක් දිනා ගත් පාසලකි. චානක වෙලගෙදර, ලහිරු මධුශංක ටෙස්ට් වරම් හිමිකරගත් ක්‍රීඩකයින් වේ.
හොකී ක්‍රීඩාව අතින් ප්‍රමුඛස්ථානයක් ගත් අය අතර විජේකෝන්, හර්බට් විජේකෝන්, රංජිත් අලහකෝන් සරත් විමලසිංහ, ඉන්දුවංශ හේරත්, චරිත සේනානායක වේ. මලල ක්‍රීඩාව මඟින් ඔලිම්පික් වරම් දිනාගත් රංජිත් අලුවිහාරේ නම ඉතිහාසයේ සඳහන් වේ. මාතලේ ශාන්ත තෝමස් විදුහලේ 145 වැනි සංවත්සරය සැමරීම වස් හා විදුහලේ අධ්‍යාපනික හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශිෂ්‍යත්ව අරමුදල සංවර්ධනය උදෙසා කොළඹ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන Thomian’s Nite 2018 නමින් සංගීත රාත්‍රියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙය මේ මස 13 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට කොළඹ රාමඩා හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සංගීත රාත්‍රියට කෙනත් සිල්වා ප්‍රමුඛ MENIN BLACK සංගීත කණ්ඩායම හා ජනප්‍රිය ගායක ගායිකාවන් රාශියක් සහභාගි වන අතර අයේෂා මධුශානි ගේ නර්තන ඛණ්ඩය මෙදින රංගනයෙන් දායකවේ. මාතලේ ශාන්ත තෝමස් විදුහලේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කරන්නේ සියලුම අය සඳහා මෙම ප්‍රසංගය විවෘත බවය.
සුමිත් ප්‍රියන්ත හල්පිටිගේ
උප ලේකම්
මාතලේ ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය සංගමය
කොළඹ ශාඛාව.