පෞරාණික මෙන්ම ඓතිහාසික වැදගත්කමක් කැටි කොට ඉතිහාස වංශ කතාවේ නව පිටුවක් සනිටුහන් කරමින් මෙරටට පැමිණි විජය කුමරු ඇතුළු දූත පිරිස ප්‍රථමයෙන් ගොඩබැසි තම්මැන්නාව නොහොත් කුදිරමලේ කන්ද පාමුල පිහිටා ඇති පූක්කුලම ධීවර ගම්මානයට වර්තමානයේ අත්ව ඇති ඉරණම ශෝචනීයය.
එක් පසෙකින් හෝ...හෝ...හෝ... හඩ නැගෙන රළු මුහුදෙන්ද, තවත් පසෙකින් විල්පත්තුව ඝන වනාන්තරයෙන් වැසී ගොස් ඇති මේ ගම්මානයේ ජීවිකාව ගෙවන්නන් බහුතරයකගේ ඉරණම් අඳුරු අප්‍රසන්න වලා පටලයකින් වෙලී තිබේ.
වන දුර්ග, ගිරි දුර්ග මධ්‍යයේ ජීවිත ගමනේ යෙදෙන මොවුන්ද අප රටේ වෙසෙන තවත් මිනිසුන් පිරිසකි. පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් කිලෝමීටර් 54ක් පමණ යනවිට පූක්කුලම ගම්මානය දැක ගත හැකිය. මෙම ගම්මානයේ වෙසෙන බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ ධීවර කර්මාන්තයයි.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් මේ ගම්මානයේ මේ වන විට ස්ථීර පදිංචි පවුල් 120ට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, මොවුන්ගේ යටිතල පහසුකම් කිසිවක් සම්පූර්ණ නොවීම නිසාවෙන් බරපතළ ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දී ඇති බවට ඔවුහු මැසිවිලි නගති.
පාසල් යන වියේ පසුවන ළමයින් 50ට ආසන්න ප්‍රමාණයක් මෙහි සිටියත් ද්විතියික හෝ ප්‍රාථමික අධ්‍යාපනයකට හිමිකම් නොතිබීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වලට කණකොකා හඬන්නට පටන් ගෙන හමාරය. ඔවුන්ටද කරුමයෙන් උරුම වූ තම මාපියන්ගේ දෑතේ රැකියාවේ පන්නරය දැරීමට සිදුවනු ඇත්තේ පාසල් ගොඩනැඟිල්ලක් තිබුණද ගුරුවරු නොමැති බැවිනි.
1976 දී මෙම ගම්මානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මොවුහු සිය ගම්බිම් අතහැර දමා වෙනත් පළාතකට පලා ගියහ. නැවත සටන් විරාමයේදී සිය ගම්බිම බලා පැමිණෙද්දි මොවුන්ගේ උන්හිටිතැන් අහිමි වී තිබේ. 1990 වර්ෂයේ බෙදුම්වාදී ත්‍රස්ත අරගල නැවත හිස ඔසවද්දී ඔවුහු සරණාගතයින් ලෙස වෙනත් පළාතකට ගොස් ජීවනෝපාය කර ගෙන යාම සඳහා නැවත පූක්කුලම බලා පැමිණි බව කියති.
මේ වන විට උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ දෙන මොවුන් පානය කරන්නේ වැව් ජලයයි. ජලය, විදුලිය, වැසිකිළි, කැසිකිළි පහසුකම් ඔවුනට නැත.
සිය ගම්මානයම කලඑළිය කරන ධන උල්පත ලෙස ඔවුන්ට ඇති එකම එක සම්පත වැව පමණි. එක් පසෙකින් අලි, කොටි, වලසුන් වැවට උරුමය කියද්දි තවත් පසෙකින් මේ අසරණ ජනතාව පිපාසයට ජලය ලබා ගන්නේ එයිනි.
වරෙක බොර දිය පොකුණක ස්වරූපය ගන්නා මේ වැව එක් පසෙකින් ඝන කැලෑවෙන් වටව තිබේ. වන සතුන් සමඟ සුහදව ඔවුහු එකම වැව ප්‍රයෝජනයට ගන්නා අයුරු විස්මයජනකය.
වන සතුන්ගේ මළ මූත්‍ර කැටිවී තිබෙන මේ බොර දිය පොකුණ ඈතට දිස්වන්නේ කළුදිය පොකුණක් විලසිනි. ඒ තරමට එහි ජලය අපිරිසුදුය. බැලූ බැල්මට අප්‍රිය සහගතය. එහෙත් ඔවුන්ගේ පිපාසයට එය අමෘතයකි.
තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් සංචාරක ධීවරයින් සිදු කරනු ලබන අකටයුතුකම් නිසාවෙන් මොවුන්ගේ ධීවර කර්මාන්තයටද කණකොකා හඬන්නට පටන් ගෙන ඇතැයි ධීවරයෝ මැසිවිලි නගති.
රෝහලක් නොමැතිව අසරණ වන ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධයින්, පාසල් නොමැතිව ළතැවෙන ළමයින්, නිවෙසක් නොමැතිව පීඩාවට පත් මිනිසුන් එහි ගිය අපට දක්නට ලැබිණි.
මේ ජනතාව රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනෙක් පුරවැසියන්ට මෙන් තමන්ටද අයිතීන් ලබා දෙන ලෙසයි. නමුත් බලධාරීන් ඇස් කන් හැර බලන්නේ කෙදිනකදැයි ප්‍රශ්නයකි.
රාත්‍රි කාලයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට පැමිණෙන වන අලි රංචු නිරන්තරයෙන් ගම්මානය වෙත ඇදෙති. විදුලි අලි වැටක් නොමැතිකමින් නුදුරේදීම අලි මිනිස් ගැටුමක් නිර්මාණය වීමේ ඉඩකඩ ඇති බව ගම්මු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ඩබ්ලිව්.වසන්තා මහත්මිය, - ‘‘මේ ගම අවුරුදු සීයක් එකසිය පණහක් විතර පරණයි. අපේ සීයලා මේ ගමේ මුල් පදිංචිකාරයෝ. ඒ කාලෙත් අද වගේම ප්‍රශ්න ගොඩක් මැද තමයි එයාලා ජීවත් වෙලා තියෙන්නෙ. අපිට 76 කොටි කලබල ආවා. ඒත් එක්කම අපි මේවා අතහැරලා වෙනත් පළාත්වලට ගියා. යුද්ධය ඉවරවෙනවාත් එක්කම අපි ආපහු මේ ගමේ පදිංචියට ආවා. ඒ ඇවිල්ලත් අද වෙනකම් අපිට යන එන මං පවා අහිමි වෙලා තියෙන්නෙ. හරියට උගුර තෙමා ගන්න වතුර පොදක් නැහැ, ළමයකුට අකුරක් ඉගෙන ගන්න ඉස්කෝලයක් නැහැ. මෙව්වා තමයි අපිට තියෙන ගැටලු. ලෙඩකට දුකකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් නැහැ. බලාගෙන ගියාම අපිත් එක්තරා හිඟන්නො පිරිසක්’’
ඇන්ටනී බ්‍රීටන් මහතා, - ‘‘අපේ ගමේ පවුල් එකසිය විසිපහක් ස්ථීරවම පදිංචි වෙලා ඉන්නවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය තමා මුහුදු රස්සාව. අද ඒකත් අපිට කර ගන්න බැරි වෙලා තියෙන්නෙ. සංචාරක ධීවරයො ඇවිල්ලා අපේ අස්වැන්න පොකුරු පිටින් අරගෙන යනවා. අපි ළඟ ලොකු බෝට්ටු නැහැ. අපි රස්සාව කරන්නෙ සාම්ප්‍රදායික ධීවර යාත්‍රා යොදාගෙන. වෙලාවකට බඩට කාලා නෙමෙයි අපි රස්සාවේ යන්නෙ. අපිට කෑමට පවා කරදරයි. නාන්නෙත් වැවෙන්, බොන්නෙත් වැවෙන් කියද්දි ඔයාලා පුදුම හිතයි. ඒක තමයි අපි ගෙවන ජීවිතේ. කුවේණිය ජීවත් වුණා. විජය කුමාරයා ගොඩ බැස්සා කියලා ඉතිහාසේ මහ ලොකුවට කතා කරනවා, ඒත් අද ඒ තම්මැන්නාව එහෙමත් නැත්නම් කුදිරමලේට වෙලා තියෙන හානිය ගැන හොයලා බලන්නෙ නැහැ. ඉතිහාසය ගැන ලොකුවට කතා කරන උදවිය මොහොතකට හරි මේ පැත්තට ඔළුව දාලා බැලුවනම් අද අපිට මෙහෙම ඉරණමක් උදාවෙන්නෙ නැහැ.’’
එම්. රෝගන් මහතා, - ‘‘වයඹ පළාත ගත්තාම ඉතිහාසගත වෙලා තියෙන එකම ප්‍රදේශය කොහෙද කියලා ඇහැව්වොත් ඕනෑම කෙනෙක් කියයි තම්මැන්නාව කියලා. ඒක තියෙන්නෙ කොහෙද කියලා ඇහැව්වොත් කියයි කුදිරමලේ පැත්තෙ කියලා. ඕක තමයි ඇත්ත. ඉතිහාසය පොතට සීමා කරපු නිසා තමයි අද අපේ පැත්තට හෙන වැදිලා තියෙන්නෙ. කව්රුත් ළමා හිංසනය ගැන ලොකුවට කතා කරද්දි අපේ උන් කරවල වේලනවා.’
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ අප කළ විමසුකදී වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුර ජයසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකි.
"ඔය කියන ගම්මානය පිළිබඳව අපි දැඩි අවාධානය යොමු කරලා තියෙන්නෙ. මොකද අපි සංවර්ධන වැඩපිළිවෙළවල් රැසක් ආරම්භ කරන්න අවශ්‍ය සියලු පියවර අරගෙන තියෙන්නෙ. ඒත් අපට ගැටලුවක් තියෙනවා. වන ජීවි සංරක්ෂණ දෙපාර්ත්තුමේන්තුවෙන් මෙයාලට අවසරයක් දෙන්නෙ නැහැ. වන ජීවි සංරක්ෂණ දෙපාර්ත්තුමේන්තුවෙන් කියන්නෙ පරිසර ඇගයීම් තක්සේරු වාර්තාවක් (EIA) කරන්න ඕනෙ කියලා වන ජීවි සංරක්ෂණ දෙපාර්ත්තුමේන්තුවෙන් නිලධාරි පිරිසක් මේ ගම්මානයේ ක්ෂේත්‍ර චාරිකාවක් කරන්න ඒමට නියමිතයි. දැනට අවුරුදු ගණනාවකට පෙර මෙයාලා ඉන්න ඉඩම්වලට ඔප්පු තිබිලා තියෙනවා. සමහර අය නැතුව ඉඳලාත් තියෙනවා. එයාලා කියන්නෙ මේ ගමේ මුල්පදිංචිකරුවො කියලා. ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් එහෙමත් නැත්නම් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න විදියක් නැහැ වන ජීවි එකෙන් ගැටලුවක් තියෙන නිසා. මේ දවස්වල එයාලාට රස්සාව නැති නිසා සමහරු වෙන පළාත්වලට ගිහිල්ලා තියෙනවා මුහුදු රස්සාවට. අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා මේ ගැටලු නිරාකරණය කරගෙන ඔවුන්ට අවශ්‍ය පරිසරය ගොඩනඟා දීලා රටේ අනෙක් පුරවැසියන්ට වගේම ඔවුන්ටත් නිදහසේ ජිවත්වීමේ අයිතිය ලබා දෙන්න.
සටහන සහ ඡායාරූප
කේ.ප්‍රියංකර කළුපහන වනාතවිල්ලුව සමූහ