Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අතීතයට යතුරක් අනාගතයට පාලමක්

$
0
0
දෙසැ 27, 2017 01:00

පාසල් පුස්තකාල ඉතිහාසයේ ස්වර්ණමය හැරවුම් ලක්ෂ්‍යයක්

සාහිත්‍යය නම් වූ ව්‍යූහය තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු අන්තර් සංස්කෘතික සාහිත්‍යය ඇතුළු විවිධ ශානරයන් පිළිබඳ කථිකාවක් ගොඩනැඟුණු ශාස්ත්‍රීය වටපිටාවක් මේ දිනවල මහා සමාජයේ දක්නට ලැබේ.

එහෙත් පාසල් අධ්‍යාපනයේදී සාහිත්‍ය විෂය හා ඓන්ද්‍රීය ව‍ශයෙන් බැඳුණු විෂය සමගාමී ක්‍රියාකාරකම් ඉතා විරල තත්ත්වයක් ‍පොදුවේ පාසල් ප්‍රජාව අත්විඳියි. සිසු සිසුවියන් පසුවන්නේ විභාග කේන්ද්‍රීය මානසිකත්වයක ය. මාපියෝ ද ඔහු ටියුෂන් මැ යවති. පතපොත කියවීමට මඟපෙන්වීමක් නොකෙරෙති. පාසල ද අනවරතයෙන් පසුවන්නේ විභාග ප්‍රතිඵල සංවර්ධනය කර ගැනීමේ අභිලාෂයක ය. පාසල් පුස්තකාලය පසෙකලා නොහොත් පුස්තකාලයට පිටුපා සම්පත් දායක දේශකයන් කැඳවා විභාග ඉලක්ක - අනුමාන සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කැරෙන විෂය සම්මන්ත්‍රණය, වැඩමුළු ය. දේශන ය. විවිධාකාර ව්‍යාපෘතීන් ය.

එහෙයින් දැනට මහා සමාජයේ සාහිත්‍ය කියවීමට පරස්පර ද්වෛධයක් (Paradox) ලෙස පෙනෙන පාසල් විෂය මාලාවේ සාහිත්‍ය කොටස ඓන්ද්‍රීය වශයෙන් සාහිත්‍ය කලා විෂයයෙන් පෝෂණය කිරීමෙහිලා අර්ථවත් හා ශක්තිමත් සාධනීය වැඩපිළිවෙළක අවශ්‍යතාව දැනෙන්නට වූයේ දශක තුන හතරකට පමණ පෙර සිට ය.

මෙබඳු පසුතලයක් මත ගොඩනැඟුණු විෂය මාලාව ගුණාත්මකව පෝෂණය කිරීම සහ සාහිත්‍ය කලා ආදී බාහිර කියවීම් මඟින් පාසල් විෂය සමගාමී කටයුතු ප්‍රවර්ධනය කිරීම උදෙසා වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ගෙන ඇති විශිෂ්ට තීරණයක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ඉකුත්දා (2017.12.06) අරලියගහමන්දිරයේදී ආරම්භ විය.

පාසල් 3312ක් සඳහා පුස්තකාල පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන හත්සියය (700) ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සහ ප්‍රථම වතාවට සකසන ලද පාසල් පුස්තකාල ග්‍රන්ථ නාමාවලිය එළිදැක්වීම ද අරලියගහ මන්දිරයේදී අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් සිදුකෙරිණි. දශක තුන හතරක සිට වියළුණු අධ්‍යාපන කෙත සාහිත වැසි බිජුවට වර්ෂණයෙන් සරුසාර කෙරෙන බව දැනෙයි.

අපේ රටේ අධ්‍යාපන ඉතිහාසය තුළ පාසල් සිසු - සිසුවියන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ මෙබඳු වැඩසටහනක් දශක තුන හතරක කාලය පුරා පැවැත්වී නොමැත. එහෙයින් සිසු - සිසුවියන් කියවීමෙන් ක්‍රමයෙන් ඈත්වී යන ප්‍රවණතාව සාතිශය ඛේදවාචකයක් බවට පත්වී තිබෙන යුගයක අධ්‍යාපන ඇමතිතුමාගේ මේ සත් වෑයම භින්නෝන්මාදයෙන් තොර නීරෝගී මනසක් හිමි සෑම දෙමාපියකු ම, වැඩිහිටියකු සහ විශේෂයෙන් සෑම ගුරුවරයෙකුම ඉහළින් අගය කරනු ලබන්නකි. “ළඟම පාසල - හොඳම පාසල” බවට පත්කිරීමෙහි තුඩුදෙන මෙබඳු අධ්‍යාපන සම්ප්‍රදානයන් සැබැවින්ම අගය කළ යුතු වේ. ඊළඟ ඡන්දය නොව, ඊළඟ පරම්පරාව ගැන සිතා කටයුතු කරන්නේ දේශපාලකයන් නොවන රාජ්‍යතාන්ත්‍රිකයන් ය.

පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ සාහිත්‍ය රසාස්වාදය, දැනුම දියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනේදී “කළණ මිතුරු - පොත් සුමිතුරු” යන තේමාව යටතේ පොත් කියවන පාසල් සිසුන් වෙත පදක්කම් ප්‍රදානය කෙරෙන “දීප ව්‍යාප්ත කියවීමේ තරගය” සඳහා නිල චක්‍රලේඛය නිකුත් කිරීම ද අරලියගහ මන්දිරයේදී අධ්‍යාපන ඇමැතිතුමා අතින් සිදු කෙරිණි.

“තම හැකියාවන් උපරිම මට්ටමෙන් මතු කරමින් නිශ්චිත ඉගෙනුම් පල සාධනය කර ගැනීමට සිසුනට සහාය වීම සඳහා පාසල් මඟින් සපයනු ලබන සියලුම අත්දැකීම් විෂයමාලාවයි. (එවන්ස්, 1976)

එහෙයින් විධිමත් පාසල් විෂය ක්‍රියාත්මක කිරීමේදී පුස්තකාලය මඟින් කරනු ලබන සේවාව ඉමහත් ය. ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගිවීම හරහා සිසුන් විසින් උපාර්ජනය කැරෙන දැනුම, කුසලතා සහ ආකල්ප තියුණු සහ ශක්තිමත්වූත්, ප්‍රබල සහ කල්පවත්නාවූත් චර්යා ලක්ෂණ බවට පත් කරනු පිණිස අතිරේක කියවීම් පතපොත පාසල තුළ සුලභ විය යුතුමය.

“කියවීමේ රෝගයෙන් ආතුරවන්න! සෙසු රෝගයකින් ආතුරවීමේ පලය මරණය විය හැකි ය. එහෙත් කියවීමේ රෝගයෙන් ආතුරවීමේ පලය ජීවිතයයි.”

- මැක්සිම් ‍ගෝර්කි

“අතීතයට යතුරක් - අනාගතයට පාලමක්” නම් වූ මාහැඟි වැඩසටහන පාසල්වල ක්‍රියාත්මක කිරීම මඟින් දරුවන් සාහිත්‍ය පතපොත කියවීමේ රෝගයෙන් ආතුර කරවීම ඉතා පහසු ය. එය ඉතා අර්ථවත් ය. වැඩදායක ය. නිදහස් අධ්‍යාපනය අර්ථවත් කෙරෙන්නෙකි. අකිල විරාජ් කාරියවසම් ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ මේ මාහැඟි සංකල්පය, දශක ගණනාවක සිට මැ පාසල් විසින් නිහඬව ඉල්ලා සිටි ප්‍රාර්ථනාවක වෙස් ගත්තකි. අද වනවිට මේ දක්වා දශක තුනහමාරක් පමණ වූ මාගේ ගුරු හා විදුහල්පති සේවා කාලය තුළ දරුවන් කියවීමට පොලඹවන මෙබඳු අර්ථ සම්පන්න වැඩසටහන් හෝ මේ තරමට මුදල් ප්‍රතිපාදන වෙන්කර බෙදාදුන් පුළුල් වැඩසටහනක් හෝ පාසල් තුළ ක්‍රියාත්මක වූ වගක් අපගේ අත්දැකීම් පරාසය තුළ ස්ථානගතවී නොමැත.

පාසල්වල පුස්තකාල පොත් සංඛ්‍යාව ශිෂ්‍ය සංඛ්‍යාවට දරන අනුපාතය (Book Ratio) ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සැකසීම වත්මන් අධ්‍යාපන ඇමතිතුමාගේ සංකල්පයකි. හෙතෙම මෙයට වසරකට පමණ පෙර එංගලන්තයේදී මුළුදුන් අධ්‍යාපන සම්මේලනයකට සහභාගි වීම සඳහා දිවයිනෙන් බැහැරව සිටියදී එරට සිසුන්ගේ කියවීම් රුචිය වැඩිදියුණු කිරීම පිණිස ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නිරීක්ෂණය කළේ ය. එරට සිසුන් වසරකට කියවන පොත් සංඛ්‍යාවට අනුව රිදී, රන් සහ ප්ලැටිනම් මෙඩල් (පදක්කම්) සිසුනට ප්‍රදානය කැරෙයි. කියවීමේ පුරුද්ද දියුණු කිරීමේ වැඩසටහනකදී මෙය ඵලදායි පෙලඹවීම් ක්‍රමයක් ලෙස යොදාගත හැකි යැයි ඇමති කාරියවසම් මහතා කල්පනා කළේය. පෙරළා අමාත්‍යාංශයට පැමිණ අදාළ නිලධාරීන් සමඟ ද සාකච්ඡා කර පාසල් පොත් මිලදී ගැනීම විධිමත් කැරෙන නිර්ණායක මූලික ක්‍රමවේදය බලගැන්වීමට අවශ්‍ය චක්‍රලේඛද සම්පාදනය කරන ලෙස තම නිලධාරීන්ට උපදෙස් දුන් බව ඇමතිවරයා උත්සව සභාවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ චක්‍රලේඛ අංක 44/2017 සහ “කළණ මිතුරු - පොත් සුමිතුරු” තිරසාර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන - 2018 චක්‍රලේඛය දිවයිනේ සියලුම විදුහල්පතිවරුන්, සියලුම කලාප අධ්‍යාපන සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් වෙත ද නිකුත් කළේය. සමාජමය අභියෝග ජයග්‍රහණය කරවීම උදෙසා පාසල් දරුවන් යොමුකරනු පිණිසත්, ලෝකයේ ආර්ථික, දේශපාලනික, සමාජ හා සංස්කෘතික අභිමතාර්ථ හඳුනාගනු පිණිස සහ ඒ සඳහා හේතුකාරක වන සියලු හර පද්ධති හඳුන්වාදීමත් අරමුණු කොටගෙන පාසල් ළමුන් පොතපත පරිශීලනයට යොමු කළ යුතුවේ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන පළමු අදියර - පාසල් මට්ටම ද, දෙවැනි හා තෙවැනි අදියර, කලාප මට්ටම හා පළාත් මට්ටම ද, සිව්වන අදියර ජාතික මට්ටම ලෙස ද ව්‍යූහගත කෙරී ඇත.

පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් පමණක් පිවිසවිය යුතු බව අධ්‍යාපනඥයන්ගේ මතයයි. මේ බව වඩාත් පැහැදිලි වනුයේ 1952දී පාසල් පුස්තකාල සඳහා සුදුසු පොත් අනුමත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය නමින් වෙන ම ආයතනයක් පිහිටුවීමෙනි. ඉකුත් වසර 65ක කාලයක් පුරා මෙම ආයතනය පාසල් පුස්තකාල සඳහා සුදුසු පොත් නිර්දේශ කළේය. අදාළ පොත් නාම ලේඛන පාසල් ප්‍රධානීන් වෙත යැවීම පුරුද්දක් කර ගත්තේය. එහෙත් පසුකාලීන අතීතය අධ්‍යයනයෙන් හෙළිදරව් වී තිබෙණුයේ මෙම මණ්ඩලයේ නිර්දේශ නොසලකා හැර පාසල් පුස්තකාල තුළට ගුණාත්මයෙන් හීන පොත් ප්‍රවේශ වී තිබුණු බව ය. මෙය එතරම් යහපත් තත්ත්වයක් නොවන බව අවබෝධකරගත් වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිර්දේශ කැරෙන පොත් පමණක් පාසල් පුස්තකාල වෙත ලබාදිය යුතු යැයි අවධාරණය කළේය.

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශන මණ්ඩලය 2010 වසරේ සිට 2017 වසර දක්වා ප්‍රකාශයට පත්කර ඇති පාසල්වල සුදුසු තම පොත් ඉදිරිපත් කරන ලෙසට පොත් ප්‍රකාශකයන් සහ කර්තෘ ප්‍රකාශකයන් වෙත විවෘත ආරාධනයක් කරන ලදී. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර පොත් දොළොස්දහස (12000) කට අධික විය.

පළපුරුදු සමීක්ෂණ මණ්ඩලයක් විසින් සමීක්ෂණය කිරීමෙන් අනතුරුව පාසල් පුස්තකාල සඳහා වඩාත් සුදුසු සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය කෘති වශයෙන් පොත් අටදහසක් (8000) ක් පමණ නිර්ණායක මූලිකව තෝරාගනු ලැබිණ. එම පොත් නාමලේඛනය සියලු පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීම ද අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී සිදු කෙරිණි.

“පාසල් පුස්තකාලවලට මුදල් ලබාදුන්නා ම බොහෝ විට මිලදී ගන්නේ නවකතා පොත් ය. ඇතැම්විට පාසල්වලට නොගැළපෙන නවකතා පොතුත් ඒ අතර තිබෙනවා. රුපියල් මිලියන හත්සියය (700)ක් වැයකර පාසල් පුස්තකාල සේවයේ ගුණාත්මකභාවය නගාසිටුවන්නට අප කටයුතු කරනවා. මෙමඟින් ළමුන් ගැඹුරක් ඇති අය බවට පත් කෙරෙනු ඇති.”

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උත්සවයේ මුඛ්‍ය දේශනය පවත්වමින් එසේ ප්‍රකාශ කළේය.

හොඳ පොත පත කියවීමට ඉඩකඩ සැලසීම මඟින් දරුවන්ගේ දැනුම වර්ධනය වෙයි. ජීවිත ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරය නවෝදත්පාදක සිතුවිලි හරහා ධනාත්මකව වෙනස් වෙයි. එනම් ආකල්ප යහපත් අතට හැරෙයි. දරුවන් තුළ සන්නිවේදන කුසලතා වැඩෙයි. අර්ථවත් කල්පනා කිරීම, සවන් දීම, අර්ථය සඳහා කියවීම මෙන් ම නිවැරැදි හා පැහැදිලිව ලිවීම වැනි භාෂා කුසලතා ද වැඩෙයි.

පොත් කියවීමේ පුරුද්ද තුළින් ගණනය හා මානනය පිළිබඳ ගණිත සංකල්ප සාධනයෙහිලා මනා පිටුබලයක් සැපයෙයි. භාෂා විශාරදයන්ගේ යෙදුම් සේ පියෝ හෙවත් ජේක ප්‍රයෝග ද උගනියි. භාෂා හා සාහිත්‍යයේ ශීර්ෂෝදය කියවීමයි. විවිධ සාහිත්‍ය ශානර හෙවත් සාහිත්‍ය ශෛලීන් සොයා යන තෙත හදවත් ඇති මිනිසුන් බිහි කිරීමට කියවීම හේතු වෙයි.

ඒ අර්ථයෙන් ගත්කල ඊළඟ පරම්පරාව තැනීමේ කුසල කර්මයට අර්ථවත් ආකාරයෙන් උර දී සිටින වත්මන් අධ්‍යාපන අමාත්‍යවර අකිල විරාජ් කාරියවසම් යනු “පාසල් පුස්තකාලයේ සංඥාර්ථ දල්වන්නකු” වන බව අනාගත පරම්පරාව විසින් තීරණය කෙරෙනු ඇත. හුදු දේශපාලනඥයකු ඉක්මවා ගිය අනාගතය විනිවිඳින රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ද ක්‍රියා කරන අධ්‍යාපන ඇමැතිවරයාට මේ සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය පළකර සිටිනු කැමැත්තෙමි.

තුසිත් සාගර චන්ද්‍රසිංහ
(අධ්‍යාපනවේදී ශ්‍රී. ලං. වි. සේ. 1)
නියෝජ්‍ය විදුහල්පති,
ර/හුණුවල ධර්මරාජ මහා විද්‍යාලය,
ඕපනායක 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>