“පුළුල් අර්ථයෙන් ගත්කල මට මේ මිහිතලයත් එහි වෙසෙන ජීවීන් පිළිබඳවත් ඇත්තේ අසීමිත ආදරයකි. ඒ ආදරය, න්‍යෂ්ටික ආයුධ විරෝධී වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට මට ශක්තිය ගෙන දේ.” - මහාචාර්ය ජෝසෆ් රොට්බ්ලැට්
නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය ජෝසෆ් රොට්බ්ලැට් (Sir Joseph Rotblat – 1908 – 2005) සාමිවරයා දෙවන ලෝක යුද සමයේ පරමාණු බෝම්බය නිපදවීමේ අමෙරිකා එක්සත් ජනපද මෑන්හැටන් ව්‍යාපෘතියේ සිටි ප්‍රබල විද්‍යාඥයකු විය. නාසි ජර්මනිය විසින් පරමාණු බෝම්බය තනනු ලැබීම අසාර්ථක වීමත් සමඟ ඔහු එම ව්‍යාපෘතියෙන් ඉවත්වූයේය. අනතුරුව 1957දී සම ආරම්භකයකු ලෙස ‘විද්‍යාව සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ පග්වොෂ් සම්මේලනය (Pugwash Conference)’ ගොඩනංවා න්‍යෂ්ටික අවිවලට විරුද්ධව දැවැන්ත ව්‍යාපාරයක් ගෙනගියේය. නොබෙල් සාම ත්‍යාගය 1995 දී ඔහු වෙත පිරිනැමුණේ ඒ නිසාවෙනි. එක්සත් ජනපදය හැරදා එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචියට හෙතෙම පැමිණියේ එවකට බ්‍රිතාන්‍ය රජය විසින් ඔහු වෙත පමුණුවනු ලැබූ කොන්දේසිවලට එකඟවීමෙන් අනතුරුවය.
ප්‍රධාන කොන්දේසිය වූයේ අමෙරිකාවේ පරමාණු බෝම්බය නිෂ්පාදනයට සම්බන්ධ කිසිදු විද්‍යාඥයකු සමඟ සම්බන්ධකම් නොපවත්වන ලෙසටය. හෙතෙම එය පිළිගත්තේය. 1945 අගෝස්තු හයවන දින ජපානයට පරමාණු බෝම්බය හෙළූ බව ඔහු දැනගත්තේද B. B. C. ප්‍රවෘත්ති සේවාව ඔස්සේය. එම සිද්ධියෙන් ඔහු බලවත් ලෙස කම්පාවට ලක්වූයේය. මක්නිසාදයත් කිසිවිටෙකත් අමෙරිකාවට ද පරමාණු බෝම්බය නිෂ්පාදනය කිරීමට නොහැකි වෙතැයි ඔහු තුළ බලවත් විශ්වාසයක් පැවැති නිසාවෙනි. ඔහුද සම්බන්ධවූ එම පර්යේෂණ සියල්ල න්‍යායික මට්ටමෙන් සිදුවූ ඒවා බැවින් ද, බෝම්බය නිෂ්පාදනය කළ ද එය සිවිල් ජනතාව මත පතිත නොකරනු ඇති බවටත් ඔහු තුළ විශ්වාසයක් පැවැතුනු බැවිනි. ඔහු විශ්වාස කළ තවත් දෙයක් වූයේ බෝම්බය පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණ පවා මිනිසුන්ගෙන් තොර කුඩා හුදකලා දිවයිනක පැවැත්විය යුතු බවයි. එසේම ඔහු සිතුවේ අමෙරිකාව තමන් සතු අතිභයානක අවිය ජපනුන්හට පෙන්වා ඔවුන් බියට පත්කොට යුද්ධය නිමාකරනු ඇති බවටය.
හිරෝෂිමා නගරයට හෙළූ බෝම්බය පුපුරා ගිය බව ඇසීමත් සමඟ ඔහු සමඟ එම බෝම්බ නිෂ්පාදනයට සම්බන්ධවූ අමෙරිකානු විද්‍යාඥයින් ඔවුන්ගේ විද්‍යාගාර තුළ ජයග්‍රහණයෙන් මුසපත්ව කෑ ගැසූ බව වාර්තාවේ. නමුදු දිනෙන් දින එම අපරාධයේ තරම දැනගැනීමත් සමඟ ඔවුන්ගේ එම සතුට දියවී යන්නට පටන්ගත්තේය. ඔහුගේ කණස්සල්ල වූයේ හිරෝෂිමා - නාගසාකි නගරවලට පතිත කළ බෝම්බය විසින් අනාගතයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය තවතවත් උග්‍රකරනු ලබනු වීමයි. එසේම, අනතුරුව නිෂ්පාදනය කරන න්‍යෂ්ටික ආයුධ දස දහස් ගුණයකින් බලගතු ඒවා වනු ඇති බවට සැකයක් නොමැතිවීමයි. ඒ නිසාම ඔහු, මානව ඉතිහාසය කොටස්වලට බෙදන්නේ නම් ඒ වනාහී න්‍යෂ්ටික බෝම්බයට පෙර සහ පසු කාලපරිච්ඡේද වශයෙන් දෙකොටසකට බෙදීම සාධාරණ බව පෙන්වා දෙයි. ඊට හේතුව වන්නේ මානව වර්ගයා සමස්තයක් වශයෙන් විනාශවීමේ යථාර්ථය ප්‍රායෝගිකව අත්විඳීමට දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ නිසාවෙනි.
ඒ නිසාම හෙතෙම මෙම විනාශයේ තරම මිනිසුන්හට අවබෝධකරදීම සඳහා මගක් සෙවිය යුතු යැයි කල්පනා කළේය. ඒ අනුව ඔහු පළමුව කළේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවල සිටි භෞතික විද්‍යාඥයින් සම්බන්ධ කරගනිමින් මිනිස් වර්ගයා සමූහ ඝාතනයට ලක්වීම වළක්වා ගැනීම සඳහා යමක් කළයුතු බව ඔවුනට දන්වා සිටීමය. එහිදී සමහර දෙනෙකුට මෙම ප්‍රශ්නයේ නියම ස්වභාවය පිළිබඳව වැටහීමක් නොතිබූ බවත්, ඇතැම් පිරිසක් ඔහුගේ තර්කවලට ඇහුම්කන්දුන් නමුත් එහෙත් වැඩි දෙනෙක් පරමාණු බෝම්බය පුපුරුවා හැරීමේදී අමෙරිකාව විසින් ප්‍රචාරය කරන ලද තර්කවල සාධාරණ බව පිළිගෙන ඇති බවත් පෙනීගියේය.
මහාචාර්ය රොට්බ්ලැට් මුලින් කල්පනා කර සිටියේ න්‍යෂ්ටික භෞතික විද්‍යාව (Nuclear Physics) පිළිබඳ පර්යේෂණ මුළුමනින්ම නවතා දැමිය යුතු බවටය. නමුත් පසුව හෙතෙම න්‍යෂ්ටික බලය යහපත් ලෙස යොදාගැනීමෙන් මිනිසාට අත්වන ප්‍රතිලාභ පිළිබඳව සෑහීමට පත්වූයේය. ඒ අනුව ඔහු තමන්ගේ ජීවිත කාලයේ ඉතිරි කොටස න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා යොදාගත්තේය. එහිලා ඔහු එහි මූලික පියවරක් ලෙස 1946 වසරේදී එංගලන්ත න්‍යෂ්ටික විද්‍යාඥයින්ගේ සංගමය පිහිටවූ අතර අනතුරුව න්‍යෂ්ටික ආයුධ නිසා සිදුවන භයානක ප්‍රතිඵල පිළිබඳව අඳුරේ සිටි ජනතාව ආලෝකය කරා රැගෙන යාමේ ප්‍රායෝගික වැඩසටහනක් නිර්මාණය කළේය. එය වනාහි න්‍යෂ්ටික බලය මිනිස් යහපතට යොදාගන්නේ කෙසේද සහ හමුදා ක්‍රියාකාරකම්වලට යොදාගැනීමෙන් අත්වන භයානක ප්‍රතිඵල කියාපාන ජංගම ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමයි. දුම්රිය පෙට්ටි දෙකක සවිකළ ජංගම ප්‍රදර්ශනය ඔහු නම් කළේ ‘පරමාණු දුම්රිය’ (Atom Train) ලෙසටය. මෙම දුම්රිය බ්‍රිතාන්‍යය පුරාමත්, යුරෝපීය ප්‍රජාවට මෙන්ම මැදපෙරදිග දක්වාත් ගමන් කළේය.
මහාචාර්ය රොට්බ්ලැට්ගේ හිරෝෂිමා - නාගසාකි සංචාරය විසින් ඔහුව මුළුමනින්ම වෙනස්කරනු ලැබිණ. එහිදී දුටු බිහිසුණු විනාශය දැකගැනීමෙන් අනතුරුව එම අත්දැකීම් අන් අයට පැහැදිලිව කියාපෑමට හෙතෙම අවස්ථාවක් කරගත්තා පමණක් නොව න්‍යෂ්ටික භෞතික විද්‍යාවෙන් ඉවත්වී වෛද්‍ය ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට උනන්දු වූයේය. න්‍යෂ්ටික භෞතික විද්‍යාව වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ දෑ සඳහා යොදාගත හැකි ආකාරය ඔහුට වැටහී තිබුණි. හිරෝෂිමාවේදී සාම අනුස්මරණ ඵලකය දැකීමෙන් ඔහුට කඳුළු පාලනය කරගත නොහැකි විය. අනතුරුව හෙතෙම ජපන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ හිරෝෂිමාවෙන් පිට ජපානයේ සෑම නගරයකම එවැනි ඵලක ඉදිකර සාම ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු කරන ලෙසය. ඔහුගේ මෙම අත්දැකීම් සම්භාරය ඔස්සේ න්‍යෂ්ටික අවි තහනම් කිරීම පමණක් නොව යුද්ධයෙන් තොරවූ ලෝකයක් තැනීම කෙරෙහි අවධානය යොමුවිය. ඒ අනුව ඔහු ඉලක්ක දෙකක් අරමුණුකරගත් ජීවිතයක් ඉදිරියට ගෙන ගියේය. කෙටිකාලීන හදිසි ඉලක්කය වූයේ න්‍යෂ්ටික අවි තහනම් කිරීම බවත්, දිගුකාලීන ඉලක්කය ලෙස යුද්ධය සහමුලින්ම නවතා දැමීමත් තෝරා ගත්තේය.
21 වන සියවසේ ජීවත්වන පුරවැසියන් ලෙස සැවොම මහන්සි විය යුත්තේ යුද්ධයක් නොමැති ලෝකයක් තැනීම බව කරුණු තුනක් මත හෙතෙම තම සම්මන්ත්‍රණවලදී අවධාරණය කර සිටියේය. පළමුව 20 වන සියවස තුළ මිලියන 100කට අධික ජනතාවක් යුද්ධවලින් මියගිය බැවින් ඔවුන් වෙනුවෙන් අපට පැවරෙන වගකීමක් ලෙස එය භාරගතයුතු බව ඔහු පෙන්වා දුන්නේය. දෙවනුව, නූතන ලෝකයේ මිනිස්සු මිලියන සිය ගණනින් දරිද්‍රතාවයට පාත්‍රවී සිටිති. ආහාර සහ ජලය අහේනියෙන් පීඩා විඳිති. මෙම ගැටලු යුද්ධය තවතවත් තීව්‍රකරනු ඇත. එතැනින් නොනැවතී යුද්ධය තවත් යුද්ධවලට මගපාදන්නක් ද වෙයි. තෙවැනිව, අනාගතය සඳහා ජීවත්වන මිනිසුන්ගේ වගකීම කුමක්දැයි පෙන්වාදීමයි. න්‍යෂ්ටික යුද්ධයකට මගපෑදුනහොත් ජීව සහ පරිසර පද්ධති දෙකම වනැසී යනු ඇත.
ඔහුගේ සිතට වධදුන් තවත් ප්‍රශ්නයක් වූයේ න්‍යෂ්ටික ආයුධ මිනිසාගේ අවසාන ආයුධය නොවන බවයි. නව පර්යේෂණ මගින් ලෝක සිතියමෙන් රටවල් ක්ෂණයෙන් අතුගා දැමිය හැකි න්‍යෂ්ටික ආයුධ නිපදවනු ඇත. එම නිසා යුද වැදීමකින් තොරව සහජීවනයෙන් ජීවත්වීමට මිනිසා සූදානම් කළයුතු යැයි හෙතෙම කියා සිටියේය. න්‍යෂ්ටික අවි නිපදවීම ආරම්භ වූයේ නාසි ජර්මනියට මුහුණදීම සඳහා සහ කොමියුනිස්ට් සෝවියට් දේශයෙන් පැමිණි තර්ජන නිසාවෙන් බව සැබෑවක් වියහැක.
නමුදු, සීතල යුද්ධයේ නිමාව, න්‍යෂ්ටික යුගයකට ආයුබෝවන් කීමට අප ලද මහඟු අවස්ථාවක් වූ බව සැබෑවකි. නමුදු ඒ මහඟු අවස්ථාව අප විසින් මගහරිනු ලැබීය. අද වනවිට න්‍යෂ්ටික ආයුධ ළඟතබා ගැනීම ලෝකයට තම සුපිරි බලය පෙන්වීමේ මාර්ගයක් ලෙසට සලකන්නට පුරුදුව සිටිති. එසේම යුද වැදීම වැළැක්වීම සඳහාත් න්‍යෂ්ටික අවි බලය පෙන්වීම පුරුද්දක් කර සිටිති. නමුදු යුද වැදීම වැළැක්වීම සඳහා යුද තර්ජන ඉදිරිපත් කිරීම අනුවණ කමක් වන්නේය. යම් හෙයකින් හදිසි කෝපයකින් හෝ තාක්ෂණික අත්වැරැද්දකින් න්‍යෂ්ටික යුද්ධයකට කවරෙක් හෝ මුලපිරුවහොත් සිදුවන විනාශය යළි අවධාරණය කළයුතු නැත. වසර මිලියන ගණනක පරිනාමයෙන් පසුව අත්පත්කරගත් විශ්මයජනක ශිෂ්ටාචාරය ඉදිරියට යා නොදී අවාසනාවන්ත ලෙස මියැදෙන්නට සැලැස්වීමට අප ඉඩදිය යුතුද? මහාචාර්ය ජෝසෆ් රොට්බ්ලැට් නගන ප්‍රශ්නය එයයි.
ඇතැමුන්ගේ තර්ක අනුව න්‍යෂ්ටික අවි විනාශ කිරීම උගහට දෙයක් බවට පත්ව තිබේ. මොවුන් වත්මන් තත්ත්වය දෙස බලමින් අනාගතය ගැන පැවසීම වැරදි සහගත බව හෙතෙම පෙන්වා දෙන්නේය. මිනිසාගේ ප්‍රධාන දුර්වලතාවය වන්නේ ද අනාගතය වර්තමානයෙන් මැන බැලීමයි. න්‍යෂ්ටික අවිහරණ ව්‍යාපාරයේ සාර්ථක බව රඳා පවතින්නේ මිනිසාගේ අධිෂ්ඨාන ශක්තිය මත බව හෙතෙම අවධාරණය කර සිටියේය. න්‍යෂ්ටික අවිහරණ ව්‍යාපාරයේ දැවැන්ත සේවාවක් ඉටුකළ මෙම කීර්තිමත් විද්‍යාඥයා 2005 වසරේ සැප්තැම්බර් මස 02දා මෙලොවින් සමුගත්තේය.