කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කියමන ඉහළින් හිතට අරගෙන උදේ හිට රෑ වෙනකම්ම කචපච ගගා කියෝ කියෝ ඉන්නේ නැතිව පුළුවන් හැම වෙලාවකම පොතක් දෙකක් කියෙව්වොත් රටටත් වැඩක් වෙන දුවෙක් පුතෙක් බිහිවෙනවා වගේම ඔය කටටත් ටිකක් නිවනක් ලැබේවි.
ඔහොම කිව්වට ඉතිං යන යන තැන්වල පොත් උස්සාගෙන ගිහින් කියව කියව ඉන්න වෙලාවක් නෑ කියලා මූණ පරොස් කරගෙන ගස්සලා අහක බලන්නේ නැතිව අර අව්වටයි වැස්සටයි බනින බැනිල්ලෙන්ම නව තාක්ෂණයටත් බැන බැනා ඉන්න වෙලා ඊ-පොත් කියවන්න යොමු වුණා නම් හොදයි කියලා පොඩි යෝජනාවක් තමයි අද අරගෙන එන්නෙ.
ඇත්තටම මේ ඊ-පොත කියන්නෙ මොකකටද? ඉස්සර නම් ඊ-පොතක් කියලා ගොඩක් විට අදහස් වුණේ මුද්‍රිත පොතක ඩිජිටල් පිටපතකටයි.
නමුත් ටික කාලයකින් මේ නිර්වචනයත් වෙනස් වෙලා, ඊ-පොතක් කියලා අද වන විට අදහස් වෙන්නෙ යම් කිසි රචනයක, නිර්මාණයක ඩිජිටල් පිටපතකටයි. මේ ඩිජිටල් පිටපත මුද්‍රණය වී තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. බොහෝ විදේශ රටවල අලුතින් වෙළෙඳපොලට එන කතුවරුන් මුද්‍රිත මාධ්‍යට එන්න කලින් තමන්ගේ පොතෙහි කොටසක් හෝ සම්පූර්ණ පොතම පවා ඊ-පොත් ලෙස ප්‍රකාශයට පත් කරනවා. මේවායින් සමහරක් මිලක් නොගෙවා බාගත කර ගන්නත් ඉඩ ලබා දෙනවා. ලෝකයේ ඉතාම ඉහළ අලෙවියක් වාර්තා වුණු හැරී පොටර් සහ ට්වයිලයිට් වැනි ජනප්‍රිය කතා මාලාවන් අන්තර්ජාලය හරහා මේ විදියට බාගත කිරීමේ පහසුකම ලබා දී තිබෙන ඒවායින් සමහරක්. ඒ වාගේම ඉංග්‍රිසි බසින් හැර වෙනත් බසකින් ලියවුණු පොත ලෝක පාඨකයා අතර ජනප්‍රිය කරවීමට ඒවායේ පරිවර්තිත පිටපත් ඊ-පොත් ලෙස ප්‍රකාශය කිරීමත් සිදු වෙනවා.
මීට අමතරම බොහෝ මුද්‍රිත පොත් ඊ-පොත් ලෙස ඩිජිටල් පිටපත් සාදා ඒවා නොමිලේ අන්තර්ජාලය හරහා කියවන්නත් අවස්ථාව සලසා දී තිබෙනවා. මෙමඟින් බොහෝ රටවල සිටින ඉංග්‍රීසි පාඨකයින් තමන් හට මිලට ගැනීමට නොහැකිවන පොත් කියවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වාගේම ඊ-පොත් කියවීමට ඕනෑම ස්මාට් ෆෝනයකට, ටැබ්ලටයකට, ලැප්ටොප් පරිගණකයකට බාගත කිරීමට හැකි මෘදුකාංග පහසුකම්ද තිබෙනවා.
පොත් කියවන අයට විතරක් නෙමෙයි, පොත් ලියන ආධුනික රචකයින්ටත් මේ ඊ-පොත් ක්‍රමය හරිම වටිනවා. පොතක් ප්‍රකාශය කරන්න යන වියදම වගේම එක එක ප්‍රකාශකයින් පස්සෙන් ගිහින් එයාලගේ ලොකුකම් බලන්න වෙන එකටත් සමහර රචකයින් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ නිසා තමන්ගේ නිර්මාණය නොමිලේ ඊපොතක් ලෙස ප්‍රකාශනය කරලා ඊට ලැබෙන ප්‍රතිචාර අනුව එම මෘදුකාංග අයත් ආයතනම ඒවා මුද්‍රණය කොට ප්‍රකාශ කිරීමේ ක්‍රමයවේදයකුත් මේ වන විට තිබෙනවා. ඉන් බොහෝම ප්‍රසිද්ධ ඇප්ලිකේෂන් එකක් තමයි තැඹිලි පාට පසුබිමේ ඩබ්ලිව් අකුර සුදු පාටින් එන වට්පෑඩ් ඇප් එක. මේ ඇප් එකේ කියවන්න පොත් දහස් ගාණක් තිබෙනවා වගේම අලුත් රචකයිනුත් සිය ගණනක් මේ ඇප් එක පාවිච්චි කරලා තමන්ගේ පොත් ජනප්‍රිය කරගෙන දැන් ප්‍රසිද්ධ රචකයින් වෙලා තිබෙනවා.
ඊ-පොත් ගැන කතා කරද්දී මේ ක්‍රමවේදයට තමන්ගෙ සහයෝගය දෙන කොටසක් තමයි පරිසරවේදීන්. මොකද, ඊ-පොත් ප්‍රකාශන ප්‍රවර්ධනය කරන අයට අනුව ලෝකයේ වාර්ෂිකව විවිධ පුවත්පත්, සඟරා සහ පොත්පත් සඳහා පිටු බිලියන පහක් පමණ යොදා ගන්නා අතර ඒ සඳහා ගස් මිලියන දෙකක් පමණ කපා දැමෙනවා. ඊ පොත් ප්‍රකාශය මඟින් මුද්‍රණ කටයුතු සඳහා ගස් කපාදැමීමේ සම්භාවිතාව අඩු වන බවයි, මේ අයගේ තර්කය වන්නේ.
ඒ වගේම තමයි, පුස්තකාලයට යන්න, විස්තර හොයන්න, දූවිලි නාගෙන මකුළු දැල් කාගෙන පොත් ගොඩවල් අස්සෙ රිංගන්න අකමැති අයටත් මේ ඊ පොත් ක්‍රමය හරිම වටිනවා කියලත් අදහසක් මතු වෙනවා. ඉතාම කාර්යබහුල කෙනෙකුට විවිධ පොතපත ඇසුරු කිරීමට මෙම ක්‍රමය විශාල පහසුකමක් සපයන බව නම් ඇත්තක්. ඒ වගේම තමන් සිටින රටේ නැති වෙනත් රටක ඇති පොතක් ඊ පොතක් ලෙස කියවීමටත් ලැබෙන අවස්ථාව හරිම වටිනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවලදී නිබන්ධන ලියන අයට නම් ඊ පොත් මඟින් තොරතුරු සොයා ගැනීමට ලැබීම නම් අර දිව්‍ය ලෝකෙ කෝනකෝපියාව ලැබුණා වගේ තමයි.
ඒ වගේම මේ ඊ-පොත්වල මිල මුද්‍රිත පොත්වලට වඩා 50%-60% විතර සාක්කුවටත් පොඩි වාසියක් ගෙන දෙන එකත් ඊ-පොත් ලෝලීන්ට බොහොම සතුටු දනවන කාරණයක් තමයි. දැන් ඔය පොත් කියවන්න කැමති, නමුත් හතළිස් ඇඳිරිය එහෙම ඇවිත් තිබෙන අයටත් ඊපොත් අරගෙන එන්නෙ සුබ ආරංචියක්. නාහෙ උඩ අමාරුවෙන් අං තට්ටුවක් පැළඳගෙන ඔළුවෙ කැක්කුමත් හදාගෙන පොත් කියවන වෙලා, ඊ-පොතක ෆොන්ට් එක විශාල කරගෙන ලේසියෙන්ම කියවා ගැනීමටත් මේ ඩිජිටල් පිටපත්වලින් පහසුකම් සලසලා දීලා තිබෙනවා.
ඒත් ඉතින් හැමදේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තිබෙනවා වගේ ඊ-පොත් සම්බන්ධයෙනුත් විවිධ චෝදනා තිබෙනවා. ඉන් ප්‍රධානම චෝදනාව තමයි ප්‍රකාශන සොරකම. වෙන කෙනෙකුගේ මුද්‍රිත පොතක් හොරෙන් මුද්‍රණය කරලා විකිණීම මුදල් විශාල ලෙස වැයවෙන දැවැන්ත ක්‍රියාවලිය. ඒ වගේම වඩා ඉක්මනින් නීතියේ රැහැනට හසු වීමට ඇති ඉඩකඩත් ඉතාම විශාලයි. නමුත් මේ ඊපොත් අන්තර්ක්ජාලය හරහා අවසර නැතිව විකිණීම පහසුවෙන්ම කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ පහුගිය ටික කලක රචකයාගේ හෝ ප්‍රකාශන ආයතනයේ අවසරයකින් තොරව ජනප්‍රිය පොත් ස්කෑන් කර පීඩීඑෆ් කර අන්තර්ජාලයට මුදා හැර ඒවා බාගත කර ගැනීමට ඉඩ ලබා දීමේ ක්‍රියා පිලිවෙලකුත් ක්‍රියාත්මක වුණා. මේ වගේ අවසර නැති මංකොල්ල වැඩවලට ඊ-පොත් ලෙහෙසියෙන්ම භාජනය වීම රචකයින්ට මෙන්ම ප්‍රකාශන ආයතනයන්ටත් ලොකු හිසරදයක් බවයි මෙහිදී පෙන්වා දිය යුතුමයි. ඒ වාගේම මුද්‍රිත පොතක් එක දිගට කියවනවාට වඩා ඊ-පොතක් එක දිගටම කියවීමෙන් ඩිජිටල් තිරයෙන් ඇස් රුදාව ඇති කරන බවටත් ඊ-පොත් කියවන්නන්ගේ තව චෝදනාවක්.
ඊ-පොත් සම්බන්ධයෙන් ඇති ලොකුම අවාසියක් ලෙස බොහෝ පොත් කියවන්නන් දකින දෙයක් තමයි පොත් කියවීම හා සම්බන්ධ අනෙකුත් මානසික හැගීම් ඊ-පොතක් කියවීමෙන් නොලැබේය යන කාරණාව. පොත් කියවන්න ගිජු කොයි කවුරුත් උණුවට කෝපි කෝප්පයක් තොල ගාමින්, අලුත් පොතක නැවුම් සුවද විදිමින් පොත කියවීම හා බැදුණු අපූරු ආත්මීය ආහ්ලාදයක් ලබන්නට පුරුදු වී තිබෙනවා. මේ වින්දනය ඊ-පොතක් කියවීමෙන් නොලැබීම මුද්‍රිත පොත් අතුරුදන් වී ලෝකය ඊ-පොත්වලට පමණක් සීමා නොවිමට මූලිකම හේතුවක් වෙන්න පුළුවන්.
අමාලි මල්ලවආරච්චි
@mllwrachch