ප්‍රථමයෙන් මතක් කළ යුත්තේ, යම් කෙනෙක් දෙවැනි විවාහයක් සඳහා යොමුවන්නේ පළමු විවාහය අසාර්ථක වූ විටදීය.
පළමු විවාහය අසාර්ථක වන්නේ තමාගේ ස්වාමියා හෝ භාර්යාව මිය යැම නිසා හෝ දෙදෙනා නීතියෙන් දික්කසාද වී වෙන්වීම නිසා විය හැකිය.
දික්කසාද වීම අද ලංකාවේ සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. දිසා අධිකරණයක, දිනකට විභාග කරන දික්කසාද නඩු දෙස බැලුවහොත් ඒ බව මනාව පිළිබිඹු වේ. දික්කසාදය සඳහා හේතු වන කරුණු කාරණා ලෙස එකිනෙකාගේ අදහස් නොගැලපීම, අනියම් සබඳතා පැවැත්වීම, තම සහකරු සුරාවට හා සූදුවට ඇබ්බැහි වීම, ලිංගික ගැටලු හෝ වෙනයම් හේතුවක් විය හැකිය.
මෙය ජන්ම පත්‍ර පරීක්ෂාව තුළින්ද පැවසිය හැකිය. පළමු විවාහය අසාර්ථය වී, දෙවැනි විවාහය පමණක් නොව කීපවරක් විවාහ වන අවස්ථා ද දැකිය හැක. විවාහ වීමට පෙර දෙදෙනාගේ පොරොන්දම් සියල්ල ගැළපුනත්, ඔවුන්ගේ ජන්ම පත්‍රවල ග්‍රහ ගැලපීම පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව සලකා බැලිය යුතු වේ.
පළමු විවාහය අසාර්ථක වීම ආකාර දෙකක ට සිදුවිය හැකිය. එනම් දික්කසාද වීම හෝ තම ස්වාමියා හෝ භාර්යාව මිය යෑම වේ. ජ්‍යොතිෂයේදී මෙය වැන්දඹු යෝග ලෙස හඳුන්වනු ලබන අතර එයට බලපානු ලබන්නේ ස්වාමි, භාර්යා නාශක යෝග වේ. ස්වාමි, භාර්යා නාශක යෝග යෙදුණු පමණින් විවාහය මරණයකින් කෙළවර නොවූ අවස්ථාවන් කොතෙකුත් දක්නට ලැබෙන අතර, එයට හේතු වන්නේ විවාහ වූ සහකරුගේ හෝ සහකාරියගේ ආයුෂ බලවත් වීමයි. එහෙත් එම අවස්ථාවන්වලදී මරණය සිදු නොවී, දික්කසාදයකින් විවාහය බිඳ වැටෙනු දැකිය හැකිය.
මෙවැනි යෝගයක් දළ කේන්ද්‍රයක් දුටු පමණින් ජ්‍යෙතිෂවේදියා පරීක්ෂා කර, භාව පරීක්ෂා කර පැවසිය යුතු වේ. භෞම දෝෂය හෙවත් කුජ දොෂය දුටු පමණින් හෝ 7 වැන්නේ පාපීන් සිටීම, 7 වැන්නාධිපති දුර්වලව, පාප පීඩිතව සිටි පමණින් විවාහය අසාර්ථක නොවූ පුද්ගලයන් ද දැකිය හැක. එහෙත් එයට හේතුව සූක්ෂමව ජන්ම පත්‍රය පරීක්ෂාව තුළ එනම් ග්‍රහයන් පිහිටි භාව හා වර්ගවල එම දෝෂ යෙදී තිබීම දක්නට නොලැබීමයි. ඉහත සඳහන් කළ වැන්දඹු හා දික්කසාද යෝග පිහිටා ඇත්නම් එය සූක්ෂම පරීක්ෂාවකින් පසු ඒ ආකාරයටම යෙදේ නම්, කර්මානුරූපී බලපෑම ප්‍රබල වී එය එසේම සිදුවේ.
එය සිදුවන කාලසීමාව මහ දශා, අන්තර් දශා, ගුරුගේ රාහුගේ, ශනිගේ ගෝචරයන් පදනම් කරගෙන සිදු වේ. මෙය ජන්ම පත්‍රයෙන් ජන්ම පත්‍රයට වෙනස් වන අතර ඉහත සඳහන් කළ න්‍යාය සෑමවිටදීම පලාපල කථනය සඳහා උපයෝගී කරගත යුතුවේ. වැන්දඹු යෝග හා දික්සාද යෝග විශාල සංඛ්‍යාවක් තිබෙන අතර, ඒවා තිබෙන්නේ 7,8,11,2,3 යන අධිපතීන් සම්බන්ධකරගෙන වේ.
නිදසුනක් ලෙස 7,8 අධිපතීන් සම්බන්ධ වීම, ස්වාමියාට අපල ගෙන දෙන යෝගයක් වන අතර, රාශියක 7, 8 අධිපතීන් දුටු පමණින් එය එකවර පැවසිය නොහැකි වේ. එයට හේතුව එම ග්‍රහයන් දෙදෙනාගේ බල දුබලතාවය, එම ග්‍රහයන්ට අනෙකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන ග්‍රහ දෘෂ්ටිය ග්‍රහයාට අනුරූපීව, ග්‍රහයන් අතර සංයෝගය සිදුවීමට තිබිය යුතු අවම දුර (අංශක ගණන) ඉතා සූක්ෂමව පරීක්ෂා කර පලාපල කථනය සිදු කළ යුතු වේ.
නිදසුනක් ලෙස කුජ, සිකුරු, සම්බන්ධ වීම තුළ අති ධාවනකාරී කාම යෝගයක් ක්‍රියාත්මක වීම පවසන නමුත් ගුරුගේ, රවිගේ දෘෂ්ටිය, ශනිගේ දෘෂ්ටිය තුළ උදාසීන වීම, සංයෝගය සිදුවූ රාශිය, අංශක ගණන තුළ එම යෝගය ක්‍රියාත්මක නොවූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. සූක්ෂම පරීක්ෂාව තුළ භාවානුරූපීව ඉහත යෝගයන් නිවැරැදිව නිර්ණය කරගත හැකිවේ. මෙය එක් නිදසුනක් පමණි.
දෙවැනි විවාහයේ ඵලදායිතාවය සලකා බැලීමේදී 2,3,10 අධිපතීන් පිළිබඳව හා එම ස්ථානවල පිහිටි ග්‍රහ පිහිටීම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වේ. ප්‍රථම විවාහයේ දරුවන් නොමැතිව, දෙවැනි විවාහයේ දරුවන් ලැබීම ආදී කාරණා ජන්ම පත්‍ර පරීක්ෂාව අනුව නිවැරැදිව නිර්ණය කළ හැකිය. දික්කසාද යෝග හා වැන්දඹු යෝග ජන්ම පත්‍රයෙන්, ජන්ම පත්‍රයට වෙනස් ආකාරයට යෙදෙන අතර, එවැනි යෝගයන් ඇත්නම් සහ දෙවැනි විවාහයක් සඳහා ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීමක් පවතීනම් , එම යෝග බලවත්නම් පළමු විවාහය අසාර්ථක වී දෙවැනි විවාහය සාර්ථක වී දියුණුවට පත්වීම සිදුවේ.
එහෙත් පළමු විවාහය අසාර්ථක වී පුද්ගලයාගේ ජීවිතය ග්‍රහයන්ගේ ග්‍රහයෝගවල බලපෑමට අනුව ලෝකෝත්තර දිශානතියක් පෙන්නුම් කරන්නේ නම් දෙවැනි විවාහයක් සඳහා ජන්ම පත්‍ර හිමියාට කටයුතු සිදු නොවේ.
විවාහ කීපයක් පිහිටන යෝග බහු විවාහ යෝග ලෙස හඳුන්වන අතර සල්ළාල යෝග හා වෛශ්‍යා, යෝග යෙදේ නම් විවාහ කීපයක්ම සිදු විය හැකිය. මෙවැනි යෝග තිබේ නම් ධර්මානුකූලව ජීවත්වීම තුළින් හා වත්පිළිවෙත් සිදු කිරීම මගින් එහි බලපෑම මැඬ පැවැත්විය හැකි අතර, ඒ සඳහා ගත කරන මහදශාව, අන්තර්දශාව, හා ග්‍රහ ගෝචරය සෘජුවම බලපෑම් ඇති කරයි. නමුත් ප්‍රබල ආකාරයට මෙහි බලපෑම ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කරයි නම් මතුභවයන්හි යහපත් විවාහයක් හා යුග දිවියේ සතුටක් ඇති වීම පිණිස ප්‍රාර්ථනා සහිතව, මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්තව, දාන ධර්ම පිළිවෙත්වලින් හා සිල්වත් කමින් ලෞකික ජීවිතය ගෙන යා යුතු වේ.
ජ්යොතීෂවේදී
ගෝඨාභය මුදලිගේ