මෙරට ජනගහනයෙන් සියයට හැත්තෑ දෙකකට ආසන්න පිරිසක් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වෙති.ඒ අතරින් සැලකිය යුතු පිරිසකට පිරිසිදු පානීය ජලය හා සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් නොමැත.මෙම තත්ත්වය ජනතාව තුළ දැඩි සෞඛ්‍ය ගැටලු මතුකරන්නකි.එය ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවය කෙරෙහිද ඍජුව බලපාන්නකි.
අනෙකුත් සංවර්ධන කාර්යයන් මෙන්ම අර්ධ නාගරික,ග්‍රාමීය හා වතු ප්‍රදේශවල ජලසම්පාදන සහ සනීපාරක්ෂක අංශ සංවර්ධනය සදහාද ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි.වත්මන් රජය ලෝක බැංකු ආධාර යටතේ ජලසම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) ආරම්භකර ඇත්තේ මෙම අවශ්‍යතාව මනාව හදුනාගත් බැවිනි.
WASSIP ව්‍යාපෘතිය සදහා මේ වනවිටත් උතුරු පළාතේ මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කද,සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කද,ඌව පළාතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කද,මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයද තෝරා ගෙන තිබේ.WASSIP ව්‍යාපෘතිය මගින් මෙම දිස්ත්‍රික්කවල වෙසෙන ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට අධික පිරිසකගේ පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව,රත්නපුර දිස්ත්‍රික්කයේ පඹහින්න,බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල,මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව,මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල කුඩා නගර ජලසම්පාදන ක්‍රම හතක්ද ඉදිකිරීමට WASSIP ව්‍යාපෘතිය මගින් පියවර ගෙන තිබේ. WASSIP ව්‍යාපෘතියේ මුළු පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 183 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් දසලක්ෂ 27450 ක් පමණය.
තෝරාගත් මෙම දිස්ත්‍රික්කයන්හි ග්‍රාමීය ප්‍රදේශවල,අර්ධ නාගරික ප්‍රදේශවල සහ වතු ප්‍රදේශවල වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම මෙම WASSIP ව්‍යාපෘතියේ මූලික අරමුණකි.ඊට අමතරව මෙම WASSIP ව්‍යාපෘතිය මගින් සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් සලසාගැනීම සදහා සහාය වීමටද කටයුතු යොදා ඇත.දැනට පවතින ග්‍රාමීය ජලසම්පාදන ක්‍රම පුනරුත්ථාපනය කිරීමත්, ව්‍යාපෘතියෙන් ආවරණය වන ප්‍රදේශ සදහා මළාපවහන පවිත්‍රතා ඒකක ඉදිකිරීමත් මෙම WASSIP ව්‍යාපෘතියට ඇතුළත්වීම විශේෂත්වයකි.
මෙම WASSIP ව්‍යාපෘතිය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුකරෙන සංවර්ධන වැඩසටහන් පිළිබදව කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු ඉංජිනේරු ලලිත් විජේසිංහ මහතාගෙන් අපි විමසා බැලුවෙමු.
"කෑගල්ල දිස්ත්‍රික්කයේ නව ග්‍රාමීය ජල ව්‍යාපෘති 40 ක් පමණ මේ යටතේ ක්‍රියාත්මක කිරීමට හදුනාගෙන තිබෙනවා.මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ අදියර තුනක් යටතේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ ඒ අනුව කාණ්ඩ තුනකට බෙදෙනවා.පළමු වටය සදහා තෝරාගෙන ඇත්තේ අරණායක,දෙහිඕවිට,දැරණියගල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරයි.මෙම කොට්ඨාසයන්හි ව්‍යාපෘති විස්සක් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් හදුනාගෙන ඒ සදහා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය ලබාගෙන තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රමුඛතා ගැන්වීම මත දෙවන වටයට වරකාපොල,බුලත්කොහුපිටිය,රුවන්වැල්ල හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්,තුන්වැනි වටයට ගලිගමුව,කෑගල්ල හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් ඇතුළත් වෙනවා."යනුවෙන් ඒ මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූලික හැදින්වීමක් කළේය.
මීට පෙර ග්‍රාමීය ජල යෝජනා ක්‍රම ඉදිකිරීමේදී ජල පවිත්‍රකරණයට අවධානය යොමුවූවේ ඉතා අල්ප වශයෙනි.ජලය උස් ස්ථානයකට රැස්කොට නළ මගින් ජල පාරිභෝගිකයන් වෙත බෙදාහැරීම එහිදී බොහෝවිට සිදු විය.නමුත් WASSIP ව්‍යාපෘතිය මගින් පූර්ණ ජල පවිත්‍රකරණයකින් පසුව පමණක් ජලය බෙදා හැරේ. පවුල් දෙසීයකට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගත හැකි ප්‍රදේශ මේ සදහා තෝරා ගැනෙන අතර,මෙම ව්‍යාපෘති සදහා සියයට දහයක ප්‍රජා දායකත්වයක්ද අපේක්ෂා කෙරේ.මෙම එක් ව්‍යාපෘතියකට රුපියල් දසලක්ෂ පනහ සිට සියය දක්වා වැය කිරීමටද අපේක්ෂිතය.
දැනට පවතින ග්‍රාමීය ජල යෝජනාක්‍රම පුනරුත්ථාපනයද මෙම ව්‍යාපෘතියට අයත්ය.අබලන් ජලනල පද්ධති අලුත්වැඩියාව,ජල පවිත්‍රකරණය වෙනුවෙන්ද අරමුදල් ලබාදීමට මෙමගින් යෝජිතය.එහෙත් ඇස්තමේන්තුගත මුදලෙන් සියයට තිහක් ග්‍රාමීය ජල යෝජනාක්‍රමය ක්‍රියාත්මක කරන ප්‍රජා මූල සංවිධානය මගින් දැරිය යුතුවේ.ඒ සදහා ප්‍රජා මූල සංවිධානයේ ස්ථාවරත්වයද අත්‍යවශ්‍ය සාධකයකි.
ව්‍යාපෘතිය මගින් පවත්නා ජල යෝජනා ක්‍රම පුනරුත්ථාපන වැඩසටහන යටතේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදොල සමගි ප්‍රජා මූල සංවිධානයේ ජල ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය සදහාද අරමුදල් සැපයේ.ඔවුහු මේ වන විට පවුල් තුන්සියයක් සදහා ජල පහසුකම් සපයති.ඒ වංගෙඩිවල,අබ්බාසිවත්ත හා පානම ජල ව්‍යාපෘති මගිනි. මාදොල ප්‍රජා මූල සංවිධානයේ සභාපති ධම්මික සරත් එදිරිසිංහ මහතා එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.
"පවුල් හැටකට පමණ ජලය ලබාදීමට යොදා ගෙන තිබූ මෙම ප්‍රජා ජල යෝජනා ක්‍රමය 2004 ආසියානු සංවර්ධන බැංකු සහයක තෙවැනි ව්‍යාපෘතිය යටතේ වැඩි දියුණු කළා.මෙම ව්‍යාපෘතිය අවුරුදු දහතුනක් පමණ අඛණ්ඩව ක්‍රියාත්මක වුවත් මෙතෙක් කිසිම ආයතනයකින් ආධාර ලැබුණේ නැහැ.නඩත්තු කටයුතු සිදුකර ගත්තේ අප විසින්මයි.මෙම ජල මූලාශ්‍ර ගමේ පිහිටා තිබීම විශාල සම්පතක්.ඒ නිසාම ජලය කළමනාකරණය කරගනිමින් පවුල් රැසකට නල ජල පහසුකම් ලබාදෙන්න අපිට අවස්ථාව සැලසුණා.
මේ සංවිධානයේ හිටපු හා වර්තමාන නිලධාරින්ගේ කැපවීම මත මේ වන විට රුපියල් ලක්ෂ හතළිහක් පමණ අපි ඉතුරුකර තිබෙනවා.අපි මෙම සංවිධානයේ කටයුතු කරන්නේ ස්වේච්ඡාවෙන්.වැටුප් ගෙවන්නේ දෙදෙනකුට පමණයි.අපේ ගමේ හැමෝම මෙම ව්‍යාපෘතියට ආශිර්වාද කරනවා විනා පෙත්සම් චෝදනා කිසිවක් නැහැ.මෙමගින් ජලය ලබාගැනීමට තවත් අටසියයක් පමණ ඉල්ලුම්කර ඇතත්,මේ අවුරුද්දේ තවත් පනහකට වඩා ජලය ලබාදෙන්න අපට හැකියාවක් නැහැ."යනුවෙන් පැවසීය.
මෙම ජල ව්‍යාපෘතියෙන් වක්‍ර රැකියා අවස්ථා සියයක් පමණ බිහිකර ගනිමින් පිරිසක් තම ජීවනෝපාය මාර්ග සලසා ගැනීමද විශේෂත්වයකි.මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයක් හා බෝතල් පිරිසිදුකර නැවත භාවිතයට ගැනීමට කටයුතු සැලසෙන කර්මාන්තශාලා හතරක් ද මෙමගින් ක්‍රියාත්මක වන බව පවසන ඒ මහතා, ඒකක හතළිහට වඩා වැඩි එම බිල්පත් සදහා අයකෙරෙන මුදල නිවාස සදහා අයකෙරෙන මුදලට වඩා වැඩි බවද පැවසුවේය.
1 මාදොල සමගි ප්‍රජා මූල සංවිධානයේ උප සභාපති වසන්ත අමරරත්න මහතා ද අප හා කතාබහට එක්විය.
"ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී පවුල් හැටකට පමණ ජලය දෙන්න රුපියල් පහළොස් දහසේ ව්‍යාපෘති යටතේ තමයි මුලින්ම මෙම ප්‍රජා ජල යෝජනා ක්‍රමය ආරම්භ කළේ.මේ වන විට ඝන මීටර් අසූ දහසක ධාරිතාවය ඇති ජල ටැංකි තුනක් අපට තියෙනවා. ව්‍යාපෘතිය මගින් ජලය ලබාදීමේදී මුලින්ම ඒකක දහයක් නොමිලයේ දුන්නා.එක් නිවසකට සාමාන්‍යයෙන් වැයවන්නේ ඒකක විසි පහක ප්‍රමාණයක්.ඒ සදහා අප අයකරන්නේ රුපියල් එකසිය පහක මුදලක් පමණයි.
මෙම ව්‍යාපෘතිය මගින් ලාභ උපයන්න අපගේ අදහසක් නැහැ.වියළි කාලයට අබ්බාසිවත්ත උඩ කොටසේ පවුල් අසූවකට පමණ ජලය සැපයීමේ ගැටලුවක් තිබෙනවා.එම කාලයට ජලසම්පාදන මණ්ඩලයෙන් තොග සැපයුමක් ලබාගන්නවා."යනුවෙන් පැවසූ ඒ මහතා ,එම ප්‍රජා මූල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා දිසානායක මහත්මියත්,ජලමූලාශ්‍ර ආශ්‍රිත ටැංකි ඉදිකිරීම සදහා විජේසිංහ මහත්මියත් තම ඉඩම් පරිත්‍යාග කළ බව සිහිපත් කළේය.
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක වන තුසිතා මහින්දදාස මහත්මියද අපට එහිදී හමු විය.
"ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව එකම අමාත්‍යාංශයක් යටතේ පවතිනවා.අප දෙපාර්තමේන්තුව යටතේ සිදුකෙරෙන්නේ ප්‍රජා ජල ව්‍යාපෘති පිළිබද රජයේ අධීක්ෂණයයි.මෙම WASSIP ව්‍යාපෘතිය මගින් ඉදිකෙරෙන ප්‍රජා ජල ව්‍යාපෘතිවලට අයත් සංරක්ෂිත කලාපයේ වන වගාව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අප දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණයට ලක්කෙරෙන ප්‍රජා ජල ව්‍යාපෘති අතරින් අප මෙම ව්‍යාපෘතිය තෝරා ගත්තේ මෙම ප්‍රජා ජල ව්‍යාපෘතියේ සංරක්ෂිත කලාපයට අක්කර අටක් වැනි විශාල බිම් ප්‍රමාණයක් හිමිව තිබෙන නිසයි.අක්කරයකට පැල හය සියය බැගින් පැල හාරදහස් හයසියයක් මෙහි වගාකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.මේ වන විටත් කුඹුක්,කොහොඹ,අඹ,කොළොං හා දොඹ වැනි පැල අපි ප්‍රජා මූල සංවිධානයට ලබාදුන්නා"යනුවෙන් පැවසුවාය.
මෙම ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) යටතේ ක්‍රියාත්මක වන සනීපාරක්ෂක පහසුකම් නැංවීමේ වැඩ සටහන පිළිබදව කරුණු දක්වන ඉංජිනේරු ලලිත් විජේසිංහ මහතා :
"සනීපාරක්ෂක පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන්ට සෞඛ්‍යාරක්ෂිත වැසිකිලියක් ඉදිකර ගැනීම සදහා රුපියල් තිස්පන් දහසක ආධාර මුදලක් ලබාදෙනවා.මෙය ලබාදෙන්නේ වාරික තුනකින්.වැසිකිළියක් ඉදිකිරීම සදහා රුපියල් හැට දහසක් පමණ වැය වන බවට අප ඇස්තමේන්තුකර තිබෙනවා.
ආධාර මුදලට අමතරව ප්‍රතිලාභියාගේ දායකත්වයද අපේක්ෂා කරන නිසයි අපි රුපියල් තිස්පන් දහසක් ලබාදෙන්නේ.මෙම ප්‍රතිලාභින් තෝරාගනු ලබන්නේ සනීපාරක්ෂක කමිටු මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අධීක්ෂණය යටතේයි.මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ග්‍රාම නිලධාරි වසමට අමතරව එම ජල මූලාශ්‍රයට අයත් වසමක හෝ නළ මාර්ග ඉදිකෙරෙන වසමක ඉල්ලුම්කරුවන් සදහාද මෙම ආධාර මුදල් ලබාදීමට අදහස්කර තිබෙනවා."
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙම WASSIP ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන විශාලතම සංවර්ධන කාර්යය ගලිගමුව නාගරික ජල ව්‍යාපෘතිය ලෙස හදුන්වා දිය හැක.එය මෙම WASSIP ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන නාගරික ජල ව්‍යාපෘති අතරින් දැනට විශාලතම ව්‍යාපෘතිය බවද පැවසේ.ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන ඉංජිනේරු ලලිත් විජේසිංහ මහතා :
"ගලිගමුව නාගරික ජල ව්‍යාපෘතිය සදහා රුපියල් දසලක්ෂ දෙදහස් පන්සියයක් පමණ වැය කෙරෙනවා.මෙමගින් පවුල් එකොලොස් දහස් පන්සියයකට මුල් වටයේදී ජලය ලබාදීමට අපේක්ෂා කරනවා.මා ඔයේ ජලය බටුවත්ත හැලමඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන ජල පවිත්‍රාගාරය මගින් දිනකට ජල ලීටර් නවදහසක් පූර්ණ ජල පවිත්‍රකරණයට ලක්කෙරෙනවා.මෙම ජලය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් විසි හතක පමණ ජනතාවට ලබාදීමට සැලසුම්කර තිබෙනවා.
ඊට අමතරව කෑගල්ල හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිළධාරි වසම් කීපයක ජනතාවටද එම යෝජනා ක්‍රමය මගින් පානීය ජලය සැපයීමට යෝජිතයි.ඒ සදහා එහි ජල ටැංකි හතරක් ඉදිවෙනවා.මෙම ඉදිකිරීම් සියල්ලම නිමවීමෙන් පසු එම ව්‍යාපෘතිය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට භාරදීමට නියමිතයි".යනුවෙන්ද පැවසීය.
ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (WASSIP) යටතේ ඊළග පියවර වී ඇත්තේ මලාපවහන ඒකකයන් ඉදිකිරීමය.කෑගල්ල,මාවනැල්ල,වරකාපොල,ගලිගමුව,රඹුක්කන වැනි ප්‍රදේශයන්හි මල අපද්‍රව්‍ය ඉවත්කිරීම මේ වනවිටත් විශාල ගැටලුවක් බවට පත්ව ඇත.පළාත්පාලන ආයතනවල ගලි බවුසර මගින් ගෙන එන මළ රජයේ රක්ෂිතයක හෝ සුසාන භූමියක අප්‍රසිද්ධියේ වලදැමීම බොහෝ විට සිදුකෙරෙන්නකි.ඒ සදහා සුදුසු ස්ථාන නොමැතිවීමද පලාත්පාලන ආයතන මුහුණ දෙන විශාල ගැටලුවකි.
ඊට පිළියමක් ලෙස රුපියල් මිලියන තුන්සියයක පමණ වියදමින් මළාපවහන ඒකකයක් ඉදිකිරීමද මෙම WASSIP ව්‍යාපෘතියට ඇතුලත්ය.මේ අනුව වසර පහක කාලයක් තුළ රුපියල් දසලක්ෂ පන් දහසකට අධික ව්‍යාපෘති ප්‍රමාණයක් මෙම WASSIP ව්‍යාපෘතිය හරහා කෑගල්ල දිස්ත්‍රික්කයට හිමිවේ.ජනතාවගේ සෞඛ්‍යය සදහා වැය වන වියදම් අවම කිරීමත්,ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් මෙම WASSIP ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත.එමෙන්ම මෙම WASSIP ව්‍යාපෘතිය ඔස්සේ පරිසර දූෂණය අවම කිරීමත්,ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීමත් සදහාද දායකත්වය සැපයෙනු ඇත.
(කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ,ඉංජිනේරු සහකාර (පුනරුත්ථාපන) ආර්.එම්.එස්.සිල්වා මහතාට සහ WASSIP ව්‍යාපෘතියේ පරිසර නිලධාරිනී පූර්ණිමා රාජපක්ෂ මෙනෙවියට විශේෂ ස්තුතිය හිමිවේ.)