කොළඹ, කිරුලපන පොදු වෙළෙඳ පොළ භූමියේ අඩුපාඩුකම් රැසක් ඇතැ. ඒ පිළිබඳ කොළඹ නගර සභාව දැනුවත් කළාට මේ වනවිට කිසිඳු විසඳුමක් ලබාදී නැත.
කිරුලපන නගර මැද අක්කර දෙකකට අධික භූමි ප්‍රමාණයක පිහිටි මෙම වෙළෙඳ පොළේ වෙළෙඳුන් දෙසීයක් පමණ ව්‍යාපාර කටයුතු කරති. ප්‍රදේශයේ ලක්ෂයක් පමණ පදිංචි ජනතාව එදිනෙදා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ගැනීමට වෙළෙඳ පොළට පැමිණෙයි. කිරුලපන නගරයේ දිනකට එහා මෙහා යන ජනතාවද අවශ්‍ය භාණ්ඩ ගැනීමට මෙම ස්ථානයට එයි. එතරම් විශාල ජනතාවක් පැමිණෙන මෙම වෙළෙඳ භූමියේ අඩුපාඩුකම් පිළිබඳ කොළඹ නගර සභාව දැනුවත් කරද්දී බලධාරිහු මර නින්දේ පසුවෙති. ඒ වෙනුවට ජනතාව නොඉල්ලූ වැසිකිළියක් නගරයේ නුසුදුසු ස්ථානයක ජනතා විරෝධය මැද ඉදිකරනු ඇත. මෙයත් තව කිහිපදෙනකුගේ කොමිස් මුදල්වලින් සාක්කු පුරවන වැඩක් බව එහි ජනතාව පෙන්වාදෙයි. එම වෙළෙඳ පොළ භූමිය වටා ඇති යකඩ වැට කැඩීබිඳී ගොස් වසර කිහිපයක් වේ. මේ නිසා රාත්‍රී කාලයේදී නොයෙක් දූෂණ කටයුතු සිදුවන්නට ඉඩ තිබෙන බව ප්‍රදේශයේ සමාජ සේවා සමිති නියෝජිතයෝ පවසති. අනාරක්ෂිත ඉතා අබලන්වූ විදුලිමීටර් පුවරු කිහිපයක්ම දක්නට ඇත. අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධතියක් ද දක්නට ලැබේ. රාත්‍රී කාලයේදී නිසි ආලෝකමත් වීමක් ද නොමැති අතර ඇතැම් විදුලි පහන් අක්‍රීයව තිබේ. ඒ නිසා රාත්‍රී කාලයේ වෙළෙඳ පොළ භූමියේ සමහර ස්ථාන කළුවරේ පවතී.
වෙළෙඳ ප්‍රජාව සහ පාරිභෝගික ජනතාව බොහෝ අපහසුතාවයට පත්ව ඇත්තේ වැසිකිළි පද්ධතිය නිසිලෙස නඩත්තු නොකිරීම නිසා ය. ඇතැම් වැසිකිළිවල දොරවල් නැත. වැසිකිළි නඩත්තුව නිසිලෙස සිදුනොවන බව එහි යන අයට පැහැදිලි වේ. ඇතැම් වෙළෙඳසල් ඉදිරිපිට කොරිඩෝවල බිම නිසි ලෙස සිමෙන්ති දමා සකස් කර නොමැති බැවින් දිනකට මෙම වෙළෙඳ පොළ වෙත පැමිණෙන දහස් ගණන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බව දැකිය හැකියි. ළඟදී අයෙකු ඇදවැටී රෝහල් ගතකර ඇත. මේ පිළිබඳ කොළඹ නගර සභාවට කොපමණ දැනුම් දුන්නත් මේ වනවිට පලක් නැතිව තිබෙන අතර මෙහි සේවා සපයන සේවකයින්ගේ හිඟයක් ඇති බව බලධාරින් ප්‍රකාශ කරමින් බදු මුදල් ලබාගෙන ඔවුන් නිහඬව සිටී. මේ වනවිට බදු මුදල් ප්‍රමාණ ද, කිරුම් මිණුම් වෙනුවෙන් තරාදි සඳහා අලුත් කරන බලපත්‍ර ගාස්තුද වැඩිකර තිබෙන බව වෙළෙඳුන් ප්‍රකාශ කරති. රථ පාලිකාවක්ද මෙහි නැත. ඉන් නගර සභාවට උපයාගත හැකි මුදල් ප්‍රමාණයද අහිමිවී තිබේ.
මෙම වෙළෙඳ භූමියේ ආරක්ෂාවට සිටින්නේ නිලධාරින් තිදෙනකි. මීට පෙර දසදෙනකු පමණ සිටියහ. මේ සියලු අඩුපාඩුකම් ගැන නිහඬව සිටින කොළඹ නගර සභාව බෝධි බෞද්ධ මන්දිරය හා වෙළෙඳ පොළ අතර විශාල මුදලක් වියදම් කර වැසිකිළියක් ඉදිකරනු ලබයි. කිරුලපන තොරණ ඉදිකරන හා වෙසක් කලාපය පවත්වන, දන්සල ඉදිකරන, වෙසක් දිනවල වෙළෙඳුන් කූඩු හා වෙසක් සැරසිලි අලෙවිකරන ස්ථානයේ ප්‍රෙද්ශයේ ජනතාවගේ විරෝධයද නොසලකා මෙම වැසිකිළිය ඉදිකරන්නේ කාගේ වුවමනාවටද යන්න ප්‍රදේශයේ ජනතාවටද ගැටලුවකි. ඉන් වාසියක් සිදුවෙන්නේ කාටද, ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා නොගෙන නගරයේ මැද නුසුදුසු තැනක මෙම වැසිකිළිය ඉදිකිරීමේදී කාගේ හෝ සාක්කුවකට කොමිස් මුදල් ලැබෙනවාද නැත්නම් පොදු වෙළෙඳ පොළ භූමියේ අඩුපාඩුකම් මෙපමණ තිබෙද්දී කඩිමුඩියේ විශාල වියදමක් දරමින් වැසිකිළියක් ඉදිකරන්නේ කුමන හදිසි අවශ්‍යතාවයක් නිසාද, මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විරෝධය පාමින් පෙත්සමක් ද අදාළ ස්ථානවලට ලබාදී තිබේ. එයට ද කිසිඳු ප්‍රතිචාරයක් නොමැත. මෙම ගැටලු වෙනුවෙන් දැන්වත් බලධාරින් අවධානයට ලක්කරනු ඇතැයි බදු ගෙවන ජනතාව බලා සිටියි.