Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කාගෙ කාගෙත් මේ පැයේ යුතුකම

$
0
0
දෙසැ 20, 2018 01:00

රජරට විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය චමින්ද එගොඩවත්ත

ගෙවුණු සති හතක කාලය මෑත කාලීනව මෙරට දේශපාලනයේ අරබුදකාරී තත්ත්වයන් රැසක් මතුකළ වකවානුවකි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟින් එම අර්බුදයේ නිමාවක් මේවන දක්නට තිබේ. වත්මන් පාර්ලිමේන්තුව වසර හතර හමාරකට පෙර විසිරවිය නොහැකි බවට ලද එම තීන්දුව රටෙහි දේශපාලනික අස්ථාවරත්වයට ලැබුණු පිළිතුරකට වඩා රටෙහි අරාජිකත්වය නිමා කිරීමට ලද විසදුමකි.

රටක පරමාධිපත්‍ය ජනතාව සතුවන විට රටෙහි උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ය. එය අර්ථකථනය කිරීමේ හැකියාව ලබා දී ඇත්තේ අධිකරණයටය. තමන් වෙනුවෙන් සකස්කර ඇති එම උත්තරීතර නීතිය සාධාරණව මෙන්ම අගතිදායි නොවන අයුරින් අධිකරණය විසින් අර්ථකථනය කරනු ඇතැයි පරමාධිපත්‍ය හිමිවන ජනතාව බලාපොරොත්තු වෙති. අනෙකුත් නීතිමය කරුණුවලට වඩා ව්‍යවස්ථාමය කටයුතුවලදී අධිකරණය බොහෝ ගැඹුරින් කටයුතු කළ යුතු වන්නේ එය සමස්ත රාජ්‍යයේම පැවැත්මට බලපාන බැවිණි. ව්‍යවස්ථාමය කටයුතු බොහොමයකදී මෙරට අධිකරණය පුළුල් අයුරින් මෙන්ම ඉතාම ස්වාධීන අයුරින් කටයුතු කළ අවස්ථා දක්නට ලැබේ. එසේ වුවද ඇතැම් අධිකරණ තීන්දු නොරිස්සූ දේශපාලන කණ්ඩායම් විනිසුරුවරු ධුරයෙන් නෙරපූ අවස්ථාද මෙරට අධිකරණ ඉතිහාසයට එක්වී ඇත.

අධිකරණ තීන්දුව

දහනව වන සංශෝධනය හරහා ස්ථාපිත කෙරුණු ඇතැම් කොමිසම් සභාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබදව ද ගැටලු පවතී. එහෙත් ඉන් ස්ථාපිත අධිකරණ සේවා කොමිසම මෙරට අධිකරණයේ ස්වාධිනත්වයතවය තව දුරටත් යථාර්ථවත්කර ඇත. නීතිය මෙන්ම නිශ්චිත කාරණා මත කටයුතු කිරීමේ අවස්ථාව ඉන් විනිසුරුවරුනට හිමිවීම තුළින් අධිකරණයේ ස්වාධිනත්වය පිළිබද තර්ක ගෙන ආ නොහැක. මෙම තින්දුවෙන් ඇතැමුන් අපේක්ෂා කළේ රටෙහි මූලික නීතිය ආරක්ෂා වීමත් නිතියේ ස්වාධිනත්වය තහවුරු වීමත්ය. එනිසා මෙම තීන්දුව දේශපාලනික කෝණවලින් කිසිවකුට බැලිය නොහැක. එහෙත් තීන්දුව ඔස්සේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබදව අද පිරිසක් කතා කරන අතරම තවත් පිරිසක් මෙම තීන්දුව විවේචනය නොකළද ඊට එකඟ නොවන බව පවසති. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබදව කතා කිරීමේදී මෙම මතවාද දෙකම සැලකිල්ලට ගෙන යම් තීරණයකට පැමිණීම වඩා උචිතය. වත්මන් තීන්දුවෙන් අසතුටට පත්වන පිරිසට තමන් බලාපොරොත්තුවූ තින්දුව අධිකරණයෙන් හෙට දවසේ ලදහොත් ඔවුන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව වෙනත් මතයක් ප්‍රකාශ කරනු ඇත. මෙහිදි පැහැදිලිව ඉස්මතු කරගත යුතු වැදගත් කරුණක් වන්නේ මෙම තීරණය ඔස්සේ අධිකරණ ස්වාධීනය පිළිබද කතා කරන පිරිස් අතරින් කී දෙනෙකු ස්වාධින,මධ්‍යස්ථ මතධාරීන් ද යන්නය. මෙවැනි සිද්ධින්හිදී තම දේශපාලනික පක්ෂයට හෝ කණ්ඩායමට සිදු වන දේශපාලනික බලපෑම මත සිට අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳ කතා කළ නොහැක. එවැනි පිරිස් පෙන්වා දෙන තර්කද පුහු ඒවාය.

සත් පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඇතමකු ඒකමතික තීන්දුවක් අපේක්ෂා නොකළා වන්නට ඇත. නමුත් ඉන් එහා ගිය තීන්දුවක් මේ ඔස්සේ ලැබිණි. සියලු විනිසුරුවරුන් තීන්දුව හරහා එකම අර්ථකතනයක් ලබා දීම ඔස්සේ එක් අතකින් අධිකරණයේ ස්වාධිනත්වය වඩාත් තීව්‍ර කරයි. එම තීන්දුව සඳහා‍ බෙදීමක් වුණිනම් ඇතැම් විට එක් එක් විනිසුරුවරුන් ඉලක්ක කර මතවාදී පහර දීම් සිදු කරන්නටද ඇතමුන් පෙළඹෙණු ඇත. නමුත් අද එවැනි පහර ගැසීමක් කළ නොහැක. සියලු විනිසුරුවරුන් මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඒකමතිකව බැවිනි. ඒ අනූව මෙම ඓතිහාසික අධිකරණ තීන්දුව ඔස්සේ කියවෙන්නා වූ කරුණු රාශියකි. ඉන් වැදගත්ම කරුණ වන්නේ රටේ මූලික නිතිය,මෙන්ම උත්තරීතර නීතිය පිළිබඳ ඉදිරියේදි කිසිවකුට හෝ වැරැදි පූර්වාදර්ශයන් ගෙන ආ නොහැකි විමය.

දේශපාලනික මෙන්ම නීතිමය වශයෙන් ගත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ලියවිල්ලකි. එම ලිඛිත ව්‍යවස්ථාවෙහි කරුණු මෙන්ම සංශෝධන ඒ තුළ නිශ්චිතව දක්වා ඇති අතර එම කරුණු සඳහා වෙන වෙනම බෙදුණු අර්ථකථන තිබිය නොහැක. යම් විද්‍යාත්මක සිද්ධානත්යකදී විද්‍යාඥයන් කිහිප දෙනකුට එක් කරුණක් වෙනුවෙන් තිබිය හැක්කේ එකම අර්ථකථනයකි. . එලෙස ගත් කල රටේ මුලික නීතිය ඉන් එහා යා යුතු සිද්ධාන්තයකි. එහි එක් කරුණකට එකිනෙක වෙන් වූ අර්ථකථන තිබිය නොහැකි වන්නේ එහෙයිනි. දේශාපාලනික මනසකින් කියවන පුද්ගලයන්ට මෙවැනි තත්ත්වයක් එතරම් ඔරෙත්තු නොදෙනු ඇත. ඔවුන් වෙනස් කෝණයකින් මේ දෙස බලන බැවින් ඉන් සිදු වන්නා වූ අනර් තත්ත්වයන් ඔවුන් කුමන ආකාරයකින් හෝ අවබෝධ කර ගනු ඇතැයි සිතීම පවා දුෂ්කරය.

රටක ව්‍යවස්ථාවක් ඉතා සරලව සාමාන්‍ය ජනයාට පවා කියවා තේරුම්ගත හැකි ආකාරයට සකස් විය යුතුය. ඇමරිකන් ව්‍යවස්ථාව ගත් කල එය සකසා ඇත්තේ ඉතා සරලව මෙන්ම ඕනෑම අයකුට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයටය. මැතිවරණ පැවැත්වෙන කාල වකවානු මෙන්ම නිශ්චිත ධුර කාලයන් එහි පැහැදිලිව දක්වා ඇත. ඒ සදහා වෙනත් අර්ථකථන එම ව්‍යවස්ථවේ පෙන්වා නැත. සරලව කියවා තේරුම් ගත හැකි ආකාරයට සැකසුණු ව්‍යවස්ථා තුළ ගැටලු අවමය. මෙම සිද්ධියේදි වුවද තීන්දුව ලබා දීමට වැඩි කලක් ගත වන්නට ඇත්තේ ඇතැම් කරුණු පිළිබද ඉදිරිපත් කෙරුණු වෙනත් අර්ථ දැක්වීම් නිසා වන්නට පුළුවන . විශේෂයෙන් නීතිපතිවරයා දක්වනු ලැබූ කරුණුවලින් මෙම තත්ත්වය අවබෝධ කැර ගැනීම පහසුය. කිසි යම් කරුණක් සම්බන්ධ වගන්ති ව්‍යවස්ථාවේ එක් තැනක පැහැදිලිව අර්ථ දක්වා තිබිය යුතු අතර එකම කරුණ වෙන් වෙන් වු වගන්ති තුළ වෙන වෙනම අර්ථ දක්වා තිබීම ව්‍යවස්ථා අර්බුදයකට මග පාදන්නකි. රටේ උපරිම අධිකරණයෙන් අර්බුදයට මේ වන විට පැහැදිලි තීන්දුවක් ලැබී තිබේ . එයට ගරු කීරීමට ඕනෑම තරාතිරමක අ‍ෙයක් බැදී සිටිති. සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අදාළ තීන්දුවට ගරු කර කටයුතු කරන බව පෙනෙන්නට තිබීම යහපත් ප්‍රවණතාවයකි. මෙම තීන්දුව තීන්දුවකට පමණක් සීමා නොකර එය රටේ ස්ථාවරත්වය ගොඩනගාගැනීම සදහා උපයෝගී කරගත යුතුව තිබේ.

වත්මන් ආණ්ඩුවට තවත් ඉතිරිව ඇත්තේ වසර එක හමාරක් කාලයක් නිසා එම කාලය තුළ කිරීමට තිබෙන වැඩකටයුතු ප්‍රමාණය ඉහළ ය. එම නිසා ආණ්ඩුවේ ස්ථාවරත්වය රැක ගැනීම අන­ිවාර්ය කාරණයක් බවට පත්ව ඇත. තවත් පැත්තකින් ගත් කල වසර හතර හමාරක් ගෙවෙන තුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි වීමෙන් ආණ්ඩුව මෙම කාලය අනිවාර්යෙන්ම යා යුතුද වේ. එහිදී ආණ්ඩුව ශක්තිමත්ව පැවතිය යුතුය. මෙය ආණ්ඩුවෙහි අවශ්‍යතාවය පමණක් නොව රටෙහි ඉදිරි ගමනට එය පැහැදිලි අවශ්‍යතාවයකි. එසේ නොවුණහොත් රටට අඩාල වනු ඇත. ලැබී ඇති අධිකරණ තීන්දුව රටෙහි ස්ථාවරත්වයට වඩාත්ම ශක්තියක කර ගත යුතුව ඇත්තේ එබැවිනි. රට යළි අස්ථාවර වීමට ඉඩ නොතැබීමේ පූර්ණ වගකීම නව ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් තිබේ. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රාජ්‍යයන් දේශපාලනකික අර්බුද හේතුවෙන් පසුගාමී වීමට බලපාන්නා වූ ප්‍රධානතම කරුණක් රටේ දේශපාලන අර්බුද ඇතිවන සෑම අවස්ථාවකම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය බිද වැටීමයි .

ජාතික ප්‍රතිපත්තියක්

ලොව දියුණු රටවල දේශපාලන අර්බුද පැන නැගුණ අවස්ථාවන්හි රට අස්ථාවර නොවී ඉදිරියට ගෙන යා හැකි රාජ්‍ය යාන්ත්‍රණයක් තිබේ. එය ජාතික වැඩපිළිවෙළකි. බ්‍රිතාන්‍ය වැනි රටක ලිඛිත ව්‍යවස්ථාවක් නොමැති නමුත් ආණ්ඩු මාරු වුවද ,දේශපාලනික අර්බුද පැන නැඟුණද රාජ්‍ය යාන්ත්‍රණයට ගැටලුවක් පැන නොනඟී. එවැනි රටවල ආණ්ඩු මාරු වු පමණින් අමාත්‍යංශ ලේකම්වරු මාරු වීමක් සිදු නොවේ. කුමන ආණ්ඩුව බලයට පැමිණියද එම රටවල විදේශ ලේකම්වරයා විදේශ ප්‍රතිපත්තිය රටේ ජාතික ප්‍රතිපත්තිය අනූව ඉදිරියට ගෙන යනු ලබයි. නමුත් මෙරට පසුගිය දිනවල ඇති වූ දේශපාලනික අස්ථාවරත්වය රටෙහි රාජ්‍ය යාන්ත්‍රණය මුඵමනින්ම බිදවැටීමට හේතු විය. රාජ්‍ය සේවාවේ නියැලෙන්නන්ට තිබූ ප්‍රධානතම ගැටලුව ආණ්ඩුව පිළිබද ගැටලුවයි. රාජ්‍ය සේවාවේ පිරිස්හි ඔඵ පසුගිය දිනවල අවුල් වී තිබිණි සමස්ත රාජ්‍ය සේවාවෙහිම පසුබෑමක්,මෙන්ම අකර්මන්‍ය වීමක් ගෙවුණු සති කිහිපය තුළ දක්නට ලැබිණි. ඉන් කියවුණු ප්‍රධානතම කරුණ වන්නේ රට ගොඩනැගීමට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයි.

රටක් ඉදිරියට යාමේදී මෙවැනි සාම්ප්‍රදායක දේශපාලනික ක්‍රමවේදවලින් බැහැරවිය යුතුය. නිසි ජාතික ප්‍රතිපත්තියකට රට ගෙන යාම කාලීන අවශ්‍යතාවයකි. ලොව දියුණු රටවල ආදර්ශ මෙරට රාජ්‍ය යාන්ත්‍රයට එක් කර ගැනීම අත්‍යවශ්‍යය. එහිදී රටට වඩාත් ගැළපෙන්නා වූ යහපත් සාරයන් කුමන රටකින් වුවද ලබා ගැනීම වරදක් නොවේ. ඇමරිකාවද,ප්‍රංශයද,එංගලන්තයද යන්න ගැටලුවක් කර නොගෙන මේ සඳහා කටයුතු කළ යුතු වේ.

ගැටලු හඳුනා ගැනීම

පසුගිය දිනවල රටෙහි ඇතිවූ කඩා වැටීමට වගකිව යුත්තන් සෙවීමට වඩා සිදුවිය යුත්තේ කඩා වැටුණු තැනින් රට ගොඩ ගැනීමය. ගෙවුණු කාලයේ රටෙහි ආර්ථිකය බොහෝ කඩා වැටිණි. ආයෝජන පහත වැටුණි. කොටස් වෙළදපොළෙහි විශාල කඩා වැටීමක් සිදු විණි ඩොලරය විශාල ලෙස ඉහළ ගියේය. මේ සියල්ල එක් දිනයෙන් දෙකෙන් ගොඩනැගිය නොහැක නමුත් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතුව තිබේ. ඒ සඳහා ආණ්ඩුවට යම් කාලයක් ලබා දිය යුතු ය. පවතින තත්ත්වය තුළ ජනතාව ක්ෂණික සහන බලාපොරොත්තු නොවිය යුතු සේම එවැනි සහන නොමැතිව ජනතාව වෙත ලංවිය නොහැකි බැව් ආණ්ඩුව ද අවබෝධ කර ගත යුතුව ඇත. . මෙනිසා දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට යන අතරතුර කෙටිකාලීන වැඩිපිළිවෙළකටද යොමු විය යුතුවේ. මේ මොහොතේදී රට පවතින්නේ ඉතාම දුර්වල ආර්ථික මට්ටමක ය. එහෙත් ජනතාව දිනා ගැනීමට ආණ්ඩුවකට කෙටිකාලීන වැඩපිළිවෙළකට යාම සිදුවනු ඇත.

කුමන තත්ත්වයක වුවද රටෙහි ප්‍රධාන පක්ෂ දෙක ඇතුඵ අනෙකුත් පක්ෂ සියල්ල මේ මොහොතේ එක් තැනකට ආ යුතුය. ඔවුන් එහිදී පටු දේශපාලනික අරමුණ පසෙකලා ජාතික වැඩපිළවෙළක් වෙනුවෙන් එක්විය යුතුය. මෙම වැඩපිළිවෙළ සැකසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකගතාවයෙන් තුනෙන් දෙකක කැමැත්ත මත මහා මැතිවරණයකට යා හැකිය. වත්මන් අග්‍රාමාත්‍යවරයා මේ සදහා යහපත් ප්‍රතිචාරයක්ද දක්වා තිබේ. සෑම දේශපාලනික පක්ෂයකම එකගතාවයෙන් එය පහසුවෙන්ම කළ හැක. මෙහිදී පටු දේශපාලන අරමුණු කිසිවෙකුටත් නොතිබිය යුතුය. එසේ වුවහොත් උත්සාහය ලත් තැනම ලොප් වෙනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය සහිත රටක් ලෙස ව්‍යවස්ථාදායකයේ මෙන්ම විධායකයේ වගකීම් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැනවින් දක්වා තිබේ. පසුගිය දිනවල ඇති වූ විධායක බලය හා පාර්ලිමේන්තුවේ බලය අතර ඝට්ටනය දුර දිග යාමක් පෙනුණි. මෙය ඇතැම් ව්‍යවස්ථා සංශෝධනයන්හි අතුරු ඵලයක් ලෙසද අර්ථ දැක්විය හැක. ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ සමස්ත රටෙහිම ඡන්දවලින් වන අතර ව්‍යවස්ථාදායකය සදහා නියෝජිතයන් තෝරා ගැනෙනුයේ දිස්ත්‍රික්ක මට්ටමිනි. ඒ ඒ ආයතනයනහි බලය පිළිබඳ අර්ථකථනවල යෙදෙනවාට වඩා බුද්ධි‍ෙයන් යුතුව ඒ ඒ පාර්ශ්ව මෙය අවබෝධ කර ගැනීම වැදගත් ය. රටෙහි ව්‍යවස්ථායදකය ,විධායකය අධිකරණය ශක්තිමත් කුලුණු තුනක් වැනිය මේ කුලුණු තුනට එකක් අභිබවා තවකකට යා නොහැක. එමෙන්ම එකක් කඩා වැටීමෙන් ඉන් සමස්ත පද්ධතියම කඩා වැටීම නවතාලිය නොහැක.

රටෙහි ජනාධිපතිවරයා මෙන්ම ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් පත්කරනු ලබන්නේද ජනතාව විසිනි. මින් පිළිඹිබු වන්නේද ජනතා පරමාධිපත්‍යයි. එනිසා විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකයද ජනතාවට යටත් ආයතනයන්ය. මෙම ආයතනයන්හි බල අරගලය පූර්ණව බලපානු ලබන්නේ ජනතාවටය. ලොව ඇතැම් රටවල ජනාධිපති ධූරය එක් පක්ෂයක නියෝජිතයකුට හිමිව තිබෙන විට ආණ්ඩු බලය වෙනත් පක්ෂයක් සතුවන අවස්ථා වාර්තා වී ඇත. එහෙත් මෙම රටවල් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ නො ගනිමින් ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු ලබයි. රටෙහි සියලු ප්‍රශ්න,ගැටලු,අර්බුදවලට එකවර විසදුම් සෙවිය නොහැක. එහෙත් රාජ්‍ය යාන්ත්‍රණය බිඳ නොගෙන ඉදිරියට ගෙනයාමේ හැකියාව තිබේ. ඒ සදහා රටේ ප්‍රධානතම ආයතන ත්‍රිත්වය මෙන්ම කුලුණු තුන ලෙසින් හැදින්වෙන ව්‍යවස්ථාදායකය,විධායකය හා අධිකරණය එකිනෙක අභිබවා නොයා එකිනෙක ගරු කරමින් ක්‍රියා කිරීම රටෙහි ඉදිරි ගමනට මෙන්ම යහ පැවැත්මට හේතු වනු ඇත.

සටහන - ඉන්දික පොල්කොටුව


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>