Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හොඳම දේ ළමයින්ට ලියන්න

$
0
0
දෙසැ 20, 2018 01:00

"සාහිත්‍යය යනු මිනිස් ජීවිතයෙන් දුටු දේ ගැබ් වූ වැදගත් වාර්තාවකි. ඔවුන් ජීවිතයෙන් අත්දුටු දේ, ඒ පිළිබඳ ඔවුන් සිතූ දේ සහ එහි නොයෙක් අංගයන්ගෙන් අත්විඳි දේ, පැහැදිලි කිරීම මඟින් අප තුළ හදිසි හා චිරස්ථායි අවශ්‍යතාවක් ඇති කරයි. සාහිත්‍ය මූලික වශයෙන් භාෂාව මාධ්‍ය කරගෙන ජීවිතය ගැන කෙරෙන ප්‍රකාශයයි."යන්න ඩබ්. එම්. හඩ්සන්ගේ අදහසයි. සාහිත්‍යය කෘතියක් ලියනු ලබන්නේ සමාජයටය. එය කියවනු ලබන්නේ ද සමාජය විසින්ය. සාහිත්‍යයෙන් මිනිසා හික්මවීම ඇති කරනු ලබයි. සාහිත්‍යය වූ කලී සත්‍ය ජීවිතය පිටපත් කිරීම නොවන බවත්, සාහිත්‍යකරුවා සත්‍ය ජීවිතයෙන් තම මූලික ද්‍රව්‍ය තෝරාගෙන සකස්කර ඉදිරිපත් කරන බවත්, ඔහුගේ කාතියෙහි අලූත්ම නිර්මාණයක් ඇතුළත් විය හැකි බවත්, ඇරිස්ටෝටල් පෙන්වා දුන්නේ ය.

මෙසේ වන්නා වූ මහා සාහිත්‍යයෙහි කොටසක් ලෙස ළමා සාහිත්‍යය හඳුනාගත හැකිය. 1989 නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියෙහි සඳහන් වන්නේ "අදාළ නීති මඟින් වැඩිහිටි බවට ගණන් ගැනීමේ වයස අඩුකර ඇති රටවල් හැර සෙසු රටවල වයස අවුරුදු. 18 දක්වා වන සියලූම පුද්ගලයන්"ළමයා"ලෙස නිර්වචනය කරන බවයි. මනෝ විද්‍යාඥයන්ගේ අදහස්වලට අනුකූලව ළමයාගේ වර්ධනය අනුව ඒ ඒ වයස් ප්‍රමාණයන් අවුරුදු 2-5 ළඳරු, 3-7 මූලික පාසල් සමය, අවුරුදු 7-11 තර්ක හා තාත්වික වයස, අවුරුදු 11-15 දක්වා ළමා අවධියෙහි ඉතා වැදගත් ප්‍රබුද්ධ අවස්ථාව ලෙස දක්වා ඇත. අවුරුදු 15-18 නව යොවුන් වයස ලෙස සලකනු ලබයි.

ළමා සාහිත්‍යය

ආචාර්ය ඩබ්ලියු ඒ අබේසිංහයන්ගේ අදහස වන්නේ "ළමා සාහිත්‍යකරණය වූ කලී, අතිශයින්ම දුෂ්කරවූත් අසීරුවූත්, ඒ නිසා ම සීරුවෙන් කළ යුතු, විශේෂතම සාහිත්‍යමය වුත්, අධ්‍යාපනික වූත් කාර්යයක්"බවයි. 1974 බ්‍රිතාන්‍ය නව විශ්ව කෝෂයෙහි සඳහන් වන්නේ "පින්තූර පොතක පිටු පෙරළා ලිවීමේ ආරම්භයේ පටන් හෝ කතාවක් අසා සිටීමට නැත්නම් කතාවක් ශබ්ද නගා කියවීමේ හැකියාව ලැබූ දා සිට, සමහර විට ප්‍රාථමික අධ්‍යාපනය අවසන් වූවාට පසුව වූවද ඔවුන් විසින් කියැවිය යුතු සාහිත්‍ය කෘති මොනවාදැයි ළමයි තීරණය කරති"යනුවෙනි.

ළමා සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මුනිදාස කුමාරතුංගයන් අමතක කළ නොහැකිය. එතුමාගේ කවි රසයෙහි ඒ පිළිබඳ වන ආකාරය අනුව "ළමයින්ට වැඩි උත්සාහයක් නොමැතිව වැටහෙන, ඒ අයගේ සිත් ප්‍රබෝධවත් කරන, ඉබේට අත් පා චලනයක් ඇති කරන, තමා කියවන ලද දෑ යහළුවන් සමඟ සාකච්ඡා කිරීමට ඉබේටම පොළඹවන, ළමයින් කියවනු අසා මවුපියන්ට ද රසාස්වාදයක් ලබා දෙන විසිතුරු ප්‍රබන්ධයෙකි ළමා සාහිත්‍යය."ළමයාට ලෝකය සැමදාම අලුත් ය. අලුත් වන ලෝකය ඔහු තේරුම් ගැනීමට උත්සාහ කරනුයේ ප්‍රශ්න නගමින්ය. ළමයින් නගන ප්‍රශ්න තුළින් ඔවුන්ට වැඩි වැඩියෙන් දැන ගැනීමට අවශ්‍ය වන්නේ මොනවාද යන්න අවබෝධ කොට ගත හැකිය. ඒ ඒ වයසට, බුද්ධියට, හැකියාවට අනුව ළමා නිර්මාණ කළ යුතු වන්නේද ඒ නිසාය. සාහිත්‍යය සේවනය ද කියැවීම හා සම්බන්ධය. කියැවීම ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියකි. කියැවීමෙන් අර්ථ උකහා ගැනීමේ දී භාෂාමය හැකියාවන් වන ශබ්දය ව්‍යාකරණමය, අර්ථමය ආදී අර්ථමය ආදිය ක්‍රියාත්මක වේ. අවබෝධය, සම්පිණ්ඩනය, අනුමානය හා විචාරය යන බුද්ධිමය හැකියාවන් ද කියැවීමේ දී ක්‍රියාත්මක වේ. මේ පිළිබඳ ද අවධානය යොමු කරමින් ළමා සාහිත්‍ය නිර්මාණය කළ යුතුය. එමෙන්ම ළමා සාහිත්‍යයේ කාර්ය විය යුත්තේ රස නිෂ්පත්තිය චමත්කාරය හා බුද්ධි වර්ධනයයි.

උසස් ළමා පොත්

ළමා මනසට ගැළපෙන සාහිත්‍ය නිර්මාණයක දක්නට ලැබෙන වැදගත් සිද්ධාන්ත කිහිපයකි. ළමා කාලයේ වැදගත්කම, ළමයාගේ සිතීම් ඇතිවන ආකාරය හා එහි ස්වභාවය, ළමයාගේ භාෂාව හා සිතීම අතර ඇති සම්බන්ධතාවය, ළමා මනස සංවර්ධනය වන ආකාරය සහ අවධි හා ළමා සමාජයීය ජීවිතය ඇතිවන ආකාරය ලෙස දැක්විය හැකිය. ළමා නිර්මාණකරණයේ දී ළමා ළැදියාවට මුල්තැන දෙනු ලබන ළමයා ප්‍රිය කරනු ලබන තේමාවන් ඔස්සේ නිර්මාණ කිරීම තුළින් ළමයා විසින් එම නිර්මාණ නිරායාසයෙන්ම වැලදගනු ලබයි. ළමයා පොත පතට ආදරය කිරීමට පොතේ හොඳ නිමාව, ලෙහෙසියෙන් තේරුම් ගැනීමට හැකි වන චිත්‍ර, කනට මිහිරි සරල බස, විනෝද රසය, ළමයා ප්‍රිය කරනු ලබන, තේමා යනාදි කරුණු ද බලපානු ලබයි. ළමා සාහිත්‍ය නිර්මාණයේ අරමුණු අතර භාෂා ඥානය ලැබීම, ජීවිතය හා ලෝකය පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීම, සෞන්දර්ය පිළිබඳ අවබෝධය හා සංවේ දී බව, රස වින්දනය, බුද්ධි විකාශනය, චරිත සංවර්ධනය, නියම, යහපත් පුරවැසියකු වීමට මග පෙන්වීම, ළමයා නව නිර්මාණයන්හි පෙළඹවීම යනාදිය වේ.

ලාංකික ළමා සාහිත්‍යයක වැදගත්කම හා අවශ්‍යතාව පිළිබඳ වසර ගණනාවක සිටම සාකච්ඡාවට භාජනය වෙමින් පැවතිය ද තවමත් ළමයින්ට විශේෂ වූ සාහිත්‍යයක් අප රටේ බිහි වී ඇද්ද යන්න ගැටලු සහගතය. ළමා කවි, ළමා ගීත, ළමා චිත්‍රපටල ළමා ග්‍රන්ථ, ළමා ගුවන් විදුලියක්, ළමා රූපවාහිනියක් ආදී වශයෙන් වූ ළමා සාහිත්‍යයක් පාඨකයා වෙත ලබා දීමට වචනයට පමණක් සීමා වී ඇත. ළමා මනසේ සංවර්ධනය සඳහා උසස් ළමා පොත් අවශ්‍ය බව ලෝකයේ සෑම රටක්ම පාහේ පිළිගෙන ඇති අතර බොහෝ රටවල ළමා සාහිත්‍යය යනුවෙන් වෙනම සාහිත්‍යාංගයක් ගොඩනැ‍ඟී තිබේ.

නිර්දේශ

රුසියන් හා සෝවියට් ලේඛකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් දැවැන්ත පොත් ලියූ අතරම ජාතියේ දරුවන් සඳහා කුඩා කතා ද ලියා තැබීමයි. රුසියන් මහා ලේඛක "ඉවාන් තුර්ගේනින්"ගේ පියවරු සහ දරුවෝ නවකතාවද ඉතාමත්ම අපූරුවට රචනා කරන ලද නවකතාවකි. විප්ලවයේ කවියා යන විරුදාවලිය ලද මහා කවි "මහාතෝවිස්කි"චිත්‍ර ශිල්පියකු මෙන්ම උසස් ගණයේ ළමා කවියකු ද විය. ඉන්දියාවේ ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ළමා පොත් පළ කිරීමට උනන්දු කරනු ලබන්නේ, හොඳ පොත් ඔවුන් විසින් පළ කොට අඩු මිලට විකිණීමෙනි. එමෙන්ම බංගලාදේශය, පාකිස්ථානය ආදී රටවලද ළමා පොත් පත් මුද්‍රණය සඳහා මුද්‍රණ කඩදාසි අඩු මිලට සපයනු ලබයි.

1962 දී සිංහල ලේඛක සංගමය, ලංකා ලේඛක සංගමය සහ ප්‍රගතිශීලී ලේඛක සංගමය නියෝජනය කළ ග්‍රන්ථ කර්තෘවරුන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ළමා සාහිත්‍යය පදනම් කොටගත් පහත නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

වර්තමානයේ ලංකාවේ ඇති වීගෙන යන වෙනස්කම් අනුව ළමයින් සඳහා ලියනු ලබන සිංහල සහ දෙමළ පොත් ජාතිමමත්වය සහ ජනසම්මතාවදය පෝෂණය කරන න්‍යායයෙන් ලිවිය යුතු ය.

ළමා සාහිත්‍යය ලිවිය යුත්තේ ළමයාගේ වයසට සරිලන බස් වහරිනි. ළමා සාහිත්‍යයේ තත්ත්වය දියුණු රටවල පවතින තත්ත්වයට ක්‍රම ක්‍රමයෙන් නැංවිය යුතු ය. ජාතික සාකච්ඡා සම්මේලනයක දී පොත් වෙළෙන්දන්ගේ ක්‍රියාකාරී කමිටුවක් විසින් ළමා සාහිත්‍ය පදනම් වූ පහත ක්‍රියාමාර්ග යෝජනා කරන ලදී. ළමා ජීවිතයේ සෑම අංශයකදීම භාවිතයට සහ විනෝදය සඳහා කියවීමට හෝ සැපයුමෙන් පාඨශාලාවල කියවීමේ පුරුද්ද වගා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ, පාසල්, ගුරු විද්‍යාල, විශ්වවිද්‍යාල, ප්‍රවෘත්ති පත්‍ර, ගුවන් විදුලිය සහ සාකච්ඡා සම්මේලන මඟින් ව්‍යාපාරයක් ඇති කිරීම.

ළමා පාඨකයන්ගේ සහ වැඩිහිටි නවක පාඨකයන්ගේ රසයනට සරිලන සේ පොත් පළ කිරීමට ප්‍රධාන වශයෙන් විනෝදය සඳහා පොත් පළ කිරීමට, විශේෂ පරිශ්‍රමයක් දැරීම

ග්‍රන්ථ ප්‍රකාශයකයන්, පොත් වෙළෙන්දන් සහ පුස්තකාලයාධිපතීන් අතර වඩා කිට්ටු සම්බන්ධයක් ඇති කිරීම සහ වඩා හොඳට පොත් නිපදවීම පොත් භාවිතය සහ බෙදා හැරීම කිරීමට පහසුකම් ලබා ගැනීමට උදව් කිරීම.

ප්‍රධාන නගරවල මධ්‍යම පුස්තකාලවලින් ප්‍රදේශයේ ශාඛා පුස්තකාලවලට පොත් බෙදා හැරීමත් පුස්තකාල පැවැත්වීමට තරම් විශාල නොවු තැන්වලට පොත් සැපයීමේ ක්‍රමයක් සහිතවන මුළු දිවයින පුරා පතළ පුස්තකාල ක්‍රමයක් ඇති කිරීම, සෑම පළාතකම මහජන පුස්තකාල සහ පාසල් පුස්තකාල එකමුතුව කටයුතු කිරීමට සැලැස්වීම.

ලංකා පුස්තකාල සංගමය 1961 දී පිහිටුවන ලදී. එම සංගමයේ සභාපති එස්. සී. බ්ලොක් මහතා 1961 දෙසැම්බර් මස පවත්වන ලද යුනෙස්කො ප්‍රාදේශීය සම්මේලනයට ඉදිරිපත් කළ ලිපියක පාසල් පුස්තකාල සහ පුස්තකාල පාඨකයින් ගැන මෙසේ සඳහන් වේ. "ශිෂ්‍යයකු කවර අන්දමේ රක්‍ෂාවක් තෝරා ගත්තත් යම් දිනෙක පොත් සහ පුස්තකාල අවශ්‍ය නොවන රක්‍ෂාවක් නම් නැත. එබැවින් පාසල් ශිෂ්‍යයින් ඉතා කුඩා කළ සිට ම පොත්වල වටිනාකමක් ඒවා පාවිච්චි කරන අයුරුත් උගෙන ගත යුතු ය. ප්‍රාථමික පාසලට ඇතුළු වී පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපනයට අයුබෝවන් කියන තෙක් ම පාසල් පුස්තකාලය සහ පුස්තකාල පාලකයා තමන් ගේ පාසල් දිවියෙහි වැදගත් කරුණු දෙකක් හැටියට සැලකිය යුතු වේ. ප්‍රාථමික සහ පශ්චාත් ප්‍රථමික පාසල් පුස්තකාල ඉතා කාර්යක්‍ෂම තත්ත්වයක තැබීමේ වැදගත්කම අවධාරණයෙන් කිව යුත්තක් නොවේ. ඉතා කුඩාවූත් පටන් ගැටවරයන් දක්වා ළමයින් තුළ පොත්වලට සහ ඒ අනුසාරයෙන් කියවීමට ආදරයක් සහ පෙලඹවීමට උදෙසාහිමත් වූ ගුරුවර පුස්තකාල පාලකයන් පෙළක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද මේ සමඟම සැලකිය යුතුය."

පාසල් පුස්තකාල

ළමා සාහිත්‍යය බිහි කරනු ලබන සංස්ථා අතර ලේඛකයන්ට, ප්‍රකාශකයන්ට, මුද්‍රණකරුවන්ට පොත් වෙළෙඳුන්ට සහ පුස්තක­ාලවලට විශාල කාර්යයභාරයක් පැවරෙනු ඇත. මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් පුස්තකාල අංශය මඟින් පාසල් පුස්තකාල සඳහා පුස්තකාලාධිපතීන් බඳවා ගැනීම, පුස්තකාල සඳහා සුදුසු පොත් නිර්දේශ කිරීම්, කලණ මිතුරු පොත් සුමිතුරු වැඩසටහන ආදී විශාල කාර්යයන් ප්‍රමාණයක් ආරම්භ කොට ඇත. එයට ද අප ප්‍රශංසා කළ යුතුය. එමෙන්ම (පාසල් පුස්තකාල සඳහා පොත් මිල දී ගැනීමට මුදල් වෙන් කිරීම) අමාත්‍යංශය විසින් එම සිදු කරනු ලබන කාර්යයන්හි ප්‍රතිඵල ලබා ගැනීමට විදුහල්පති, පුස්තකලාධිපති මෙන් ම පාසල් දරුවන් ද දායකත්වයක් ලබාදීම ඔවුන්ගේ වගකීමකි. 2018 වර්ෂය වන විට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලංකාවේ ලියාපදිංචි පොත් ප්‍රකාශකයන් දෙසීයයක් පමණ සිටිති. ඔවුන් අතරින් ළමා පොත් පමණක් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ටිකිරි ප්‍රකාශන ආයතනය පමණි. එහි අධිපතිනිය ජානකී සූරියආරච්චි මහත්මියට මෙහි දී අපගේ ප්‍රණාමය පුද කළ යුතු ය. ආයතන 200යම අඩු වැඩි වශයෙන් ළමා ග්‍රන්ථ මුද්‍රණය කරනු ලබයි.

ළමා ග්‍රන්ථ සැකසීමේ ක්‍රමවේද

ළමා ග්‍රන්ථ ප්‍රකාශ කිරීමට විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා පවතින වෙළෙඳපළ පිළිබඳ සලකා බැලීමේ දී ප්‍රකාශකයින් ළමා ග්‍රන්ථ ප්‍රකාශ කිරීමට මැළිකමක් දක්වනු ඇත. රජය විසින් ළමා ග්‍රන්ථ ප්‍රකාශ කරන්නන් හට ආධාර ලබාදීමේ ක්‍රමවේදයක් හෝ ඇති කරමින් මේ සඳහා ඔවුන් දිරිගැන්විය යුතු ය. ළමයින් සඳහා ග්‍රන්ථ රචනා කිරීම ඉතා සුළු දෙයක් ලෙස සිතුව ද එය ඉතාමත් ම බැරෑරුම් කාර්යයකි. ප්‍රකාශකයන්ගේ වගකීම වන්නේ ලැබෙන සෑම ළමා ග්‍රන්ථයක් ම ප්‍රකාශයට පත් කරනවා ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීමයි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ළමා ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේද හඳුන්වා දෙනු ලබන්නේ මෙම හේතුව මුල් කරගනිමිනි. ළමා ග්‍රන්ථ සඳහා ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් ළමා ග්‍රන්ථයක අන්තර්ගතය, මුල් පිටු හා පසු පිටු සකස් විය යුතු ආකාරය පිළිබඳ නියමු අත්පොතක් ලෙස "ළමා ග්‍රන්ථ සැකැසීමේ ක්‍රමවේදය"කෘතිය එළිදැක්වීම 2018.12.20 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරෙයේ දී සිදු කෙරේ. ග්‍රන්ථකරණයේ දී ජාතික පුස්තකාලය සිය වගකීම් තේරුම් ගනිමින් මෙවැනි කාර්යයක් ඉටුකිරීම අනතුරුව ළමා ග්‍රන්ථ රචනා කිරීමේ දී මෙන් ම ප්‍රකාශයට පත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කර ගත යුතු ය. හතු පිපෙන්නා මෙන් එළි දක්වනු ලබන ළමා ග්‍රන්ථ කෙරෙහි මින් පසු හෝ යම් අවධානයක් යොමු වනු ඇත.

විසිවන ශතවර්ෂයේ ආරම්භයේදීම මෙය "ළමයින් ගේ ශතවර්ෂයයි"යනුවෙන් ස්වීස් ජාතික ඇලන්කී කළ ප්‍රකාශයෙන් පසුව ළමයින්ගේ අධ්‍යාපනය කෙරෙහි බොහෝ රටවල අවධානයට යොමු විය. ළමයා යනු ළමයා විනා "කුඩා මිනිසකු"නොවන බව ළමා සාහිත්‍යකරුවන් තරයේ සිහි තබාගත යුතුය. අනාගතය බාර වන්නේ ළමයාට බව සිහි තබාගෙන ළමා සාහිත්‍යකරුවන් සිය නිර්මාණ කළ යුතුය.

කුසලා සජීවනී
සහකාර අධ්‍යක්‍ෂ - ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>