Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අල්ලස් ගැනිල්ල රූගත කෙරේ

$
0
0
දෙසැ 20, 2018 01:00

බැලූ බැල්මට වෙයින්බර්ග්ට ගැටලුවක් ඇති බව පෙනිණි. කැසිනෝ කොමිසමේ සාමාජිකයින්ට හා ඊට හවුල්වන වෙනත් දේශපාලනඥයනට අල්ලස් ලබාදීම තමා හරහා මිස සෘජුවම අබ්දුල්ගේ පාර්ශ්වයෙන් සිදුවනවාට එරිචෙට්ටි කැමති වුණේ නැත. එරිචෙට්ටි පමණක් නොව වෙනත් ඕනෑම අතරමැදියෙක් එවැන්නකට කැමති නොවන්නේ ඉන් තමාගේ භූමිකාව දෙදරා යන බව දන්නා නිසාය. අනෙක් අතට දූෂිත තුන්වැනි පාර්ශ්ව පවා අබ්දුල්ගෙන් කෙළින්ම අල්ලස් ලබා ගැනීමට පසුබා සිටියෝය. හේතුව විශ්වාසය පිළිබඳ ගැටලුවකි. නීතී විරෝධී මුදල් තමන් දන්නා කියන එරිචෙට්ටි වෙතින් ලබාගැනීම හිතට සහනයකි. අබ්දුල් හා ඔහුගේ පිරිස පොලිස් අතකොලු වීමටද බැරි නැත. ඒ අතර එවැනි තත්වයකින් ඇබ්ස්කැම් මෙහෙයුම දැඩි අසීරුතාවකට පත් වේ. අල්ලස් සියල්ල තමාගේ සාක්කුවටම බැරකර ගැනීමට එරිචෙට්ටි වැනි ගල් ආඳකුට බැරිකමක් නැත. එසේ කොට අදාළ පුද්ගලයන්ට ඒවා ලබාදුන් බවට දිවුරා සිටීමට වුවද හේ මැළිවන්නේ නැති බව ද වෙයින්බර්ග් දනී. එරිචෙට්ටි ද නොව අල්ලස් ලබාගන්නා එවුන්ද අමාරුකාරයන් නම්, අල්ලස ලබාගත්තේ නැති හැටියට රඟපෑමට දෙවරක් සිතන්නේ නැත. එවැනි තත්ත්වයක් යටතේ විශ්වාස කළ යුත්තේ කාවද? වෙයින්බර්ග් මුහුණ දී සිටි බරපතළ ගැටලුව එයයි.

ඇබ්ස්කැම් වැනි මෙහෙයුමක් කරන්නේ බියුරෝවේ මෙන්ම ඇමරිකානු ඉතිහාසයේද හාපුරා කියාය. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඇබ්ස්කැම් දැලට හසුවන අපරාධකරුවන්ට එහි අහුමුලුවලින් රිංඟායාමට සිදුරු නැතිවු විටය. ඒ සම්බන්ධයෙන් වෙයින්බර්ග්ට කල් ඇතිවම ගුඩ්ගෙන් උපදෙස් ලැබී තිබිණි.

“අබ්දුල් කෙළින්ම අල්ලස් දෙන්න ඕනේ එරිචෙට්ටි ගේන මිනිස්සුන්ගේ අතටමයි. එහෙම නැතිව අපිට එයාලා ඇත්තටම අල්ලස් ගත්තා කියලා ඔප්පු කරන්න බැහැ. ඒ වගේම අනික ඒක කෙරෙන්න ඕනේ නගරාධිපතිකාරයා අධෛර්ය වෙන්නේ නැති විදිහට. එයාට අතරමැදි භූමිකාව නැති වුණත්, මේක දාලා යන්න බැරිවෙන තරමට මේකට අලවලා තියන්න වගේම එයාගේ මිනිස්සු අපි ගාවට ගේන්නත් එයා පොළඹවා ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ.“

ගුඩ්ගේ උපදෙස් පරිදි වැඩ කරන්නට නම් නගරාධිපතිවරයා මුලුමනින්ම තමාට නතුකර ගත යුතුය. එරිචෙට්ටිගේ අසීමිත කෑදරකම තුරුම්පුව ලෙස යොදාගැනීමට වෙයින්බර්ග් තීරණය කළේය. අතරමැදි භූමිකාවෙන් ඔහු මුදවා ගන්නට නම් අතරමැදියකු ලෙස උපයා ගන්නවාට වඩා දහගුණයක් උපයාගත හැකි ආකාරයක් එරිචේට්ටිට මවා පෙන්විය යුතුය. අල්ලස් ලබාගන්නට දූෂිතයින් සෘජුවම අබ්දුල් හමුවට පැමිණවීමෙන් ඔහුට අතපෙවිය හැකි ධන ආකරයේ තරම එරිචෙට්ටිට පෙන්වා දිය යුතුය. අල්ලසට ගිජු, දන්නා කියන හොඳ හොඳ අතු, රහසේ තබාගන්නේ නැතිව අබ්දුල් වෙත ගෙන ඒමට එරිචෙට්ටිව පොළඹවා ගන්නට නම් ඔහු ධන ලෝබයෙන් අන්ධ කළ යුතුවිය. ඇබ්ස්කැම් කතාවේ යථාර්ථයෙන් බැහැර වූ අඩුලුහුඬුකම් නොදකින්නට තරම් එරිචේට්ටිව ධන කාමයෙන් පොට්ට කළ යුතුය. මුලින්ම පතුල නැති මේස් ද, ඉන්පසු බාල වීදුරු තහඩු විකුණා ඩොලර් දහස් ගණනින් ලාභ ලබා, ලන්ඩන් ආයෝජකයෝ හා ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස් වැනි හොර ආයෝජන සමාගම්වලින් ණය දෙන බව කියා මිලියන ගණනින් වංචා කළ වෙයින්බර්ග්ට එවැන්නක් අමාරු නැත. එකලත් තමා කළේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගෙන, ඔවුන් ලවා එවැනිම ණය අවශ්‍යතාවයෙන් පෙළෙන තවත් සලකුණු දැලේ දාගැනීමය. එරිචේට්ටි සම්බන්ධ කතාවේද ඊට වැඩි වෙනසක් නැත. එකම දේ මොහු රටේ ප්‍රබලම නගරාධිපතිවරයකු වීම හා ඔහු ගෙන එන සලකුණු රජයේ ඉහළම නිලධාරීන් වීමයි. ලන්ඩන් ආයෝජකයන්ගේ සේවාදායකයන්ට කිසිදා ණය ලැබුණේ නැති සේම අබ්දුල්ගේ සේවදායකයන්ටද කැසිනෝ ඉදිකරන්න තවත් ආත්ම ගණනක් පෙරුම් පුරන්නට සිදුවනු ඇත. ඇබ්ස්කැම් මෙහෙයුම සාර්ථක වුවහොත් කැසිනෝ බලපත්‍ර ලබාදීම කෙසේවෙතත් එරිචෙට්ටිට සිපිරිගෙදරට බලපත්‍රය ලැබෙනු ඇත.

වෙයින්බර්ග් පොටක් පාදාගැනීමට තවදුරටත් කල්පනා කළේය. එරිචෙට්ටි කොහොමටත් තමාට කැමතිය. තමන් ජාඩියට මූඩිය සේ ගැලපෙන බැව්ද දෙදෙනාම දැන සිටියෝය. කුම්මැහි මැකාති මෙන් නොව තමාගේම සාම්පලේ වෙයින්බර්ග් සමඟ වැඩ කිරීම හිතටත් අතටත් වාසි බව එරිචෙට්ටි දන්නා බවට වෙයින්බර්ග්ට සැකයක් නැත. ඔහුට තිබූ එකම කහට මැකාතිගේ කමකට නැති වැඩපිළිවෙළ නිසා නගරාධිපතිවරයා තමාගේ සැලැස්මට අනුව වැඩ කරන්නට පස්ස ගසයිද යන්නය. හොර මැරවරයන් ගැන මැකාති එළිපිටම දැක් වූ අපුල, ඇබ්ස්කැම් සමඟ සම්බන්ධ වීමෙන් පසුව වුව මඟහැරීගොස් තිබුණේ ද නැත. කෙසේ නමුත් තමාගේ සැලසුමට ගුඩ්ගෙන් සහාය ලැබේවි යැයි වෙයින්බර්ග් බලාපොරොත්තු විය. ගුඩ් දක්ෂයෙකි. පුළුවන්කමක් තිබේ නම් ඔහු මෙම සැලසුමට අමතර සැරසිලිද එකතු කරනු ඇත.

“කැසිනෝ හදන්න සල්ලි හොයාගෙන වැඩි වැඩියෙන් මිනිස්සු අබ්දුල් ගාවට එන එකට ගුඩ් කැමති වේවි. කැසිනෝ හදන එක පිටිපස්සේ ඇත්තටම ඉන්න අය එළිකරන්න ඕනේ කියලා ණය ගන්න එන අයට කොන්දේසියක් දාන්න ඕන. ඔය හැංගි හොරා වැඩකරන වැඩිහරියක් කොහොමටත් පාතාලකාරයෝ, නැත්නම් ආණ්ඩුවේ ලොකු ලොකු පට්ටම් තියෙන අය. හරි නම් මේ ඇට්ලන්ටා කේස් එකට බියුරෝ එක අතගහන්න තිබ්බේ මීට කලින්. හූවර් එකත් එකතුකරගෙන වෙලා වැඩකට නැති බැංකු හොරුයි, කාර් හොරුයි ගැන හොය හොයා ඉන්නේ නැතිව ලාස්වේගාස්ලයි, ඇට්ලන්ටාවලයි කෙරෙන මේ ජාවාරම් ගැන ටිකක් හරි උනන්දු වුණා නම් අද ආණ්ඩුවෙන් භාගයක්ම ඉන්නේ හිරේ.“

වෙයින්බර්ග්ගේ සිතුවිලි දාමය මොහොතකට බිඳී ගියේ අවධානය යළිත් රූපවාහිනී තිරය දෙසට යොමු වූ බැවිනි. අද්මිරාල්වරයකුට සිය පපුතුරෙහි පදක්කමක් පලඳවන්නට ඉඩ දී ජෝන් වේන් සීරුවෙන් සිටගෙන සිටියේය. පදක්කම පලඳවමින් අද්මිරාල්වරයා වේන්ගේ චරිතය රට දැය වෙනුවෙන් කළ සේවය නිර්ලෝභී ලෙස ප්‍රශංසාවට ලක්කිරීමටද අමතක කළේ නැත.

“අද්මිරාල්තුමා ඒක බොහොම සුළු දෙයක්.“ වේන් කියා සිටියේ ප්‍රශංසාවේ බල දියාරු කරමිනි. ඉන් වෙයින්බර්ග්ව කෝප විය.

“මෝඩ තකතීරුවා.“ වෙයින්බර්ග් රූපවාහිනි තිරයට ගෙරවීය.

“රට බේරගත්තේ ජපන් හමුදා නැවක්ම ගිල්ලලා. අඩුම තරමේ වෙච්ච මහන්සියේ හැටියට දෙන සොච්චමවත් අරගන්නවා !“

ඇබ්ස්කැම් මගඩියට සම්බන්ධ වීම වෙනුවෙන් එරිචෙට්ටි කුළුඳුලේම තම ගෙවීම ලබාගත්තේ 1979 ජනවාරි 29 දාය. ගනුදෙනුව සිදුවුණේ ලෝන්ග් අයිලන්ඩ්හි අබ්දුල් කාර්යාලයේ, මැකාතිගේ කාමරය තුළය. එරිචෙට්ටි පැමිණෙන්නට පෙර කාමරයේ වීඩියෝ කැමරා අටවා සූදානම් කොට තිබිණ. ගනුදෙනුව සිදුවන කාමරයට අල්ලපු කාමරයේ ප්‍රහාර බළකායේ නීතිඥ ජෝන් ජේකබ්ස් සූදානම් ශරීරයෙන් සිටියේ සිදුවන සියල්ල වීඩියෝ කැමරාවලින් නැරඹීමේ බලාපොරොත්තුවෙනි. මැකාති කැමරාවට මුහුණලා ඩොලර් දොළොස්දහස් පන්සියය බැගින් පිරවූ ලියුම් කවර දෙකක් මේසය මත තැබුවේය. එය අබ්දුල්ගේ කැසිනෝවට බලපත්‍ර ලබාගැනීමට එරිචේට්ටි නියම කළ අල්ලස් මුදලයි.

අබ්දුල්ගේ කාර්යාලයට එරිචෙට්ටි ආවේ ඔහුගේ විසිතුන් හැවිරිදි ඥාති පුතු ජෝෂප් ඩී. ලොරෙන්සෝ සමඟය. කැම්ඩන් නගරයේ පඩි ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව තිබුණේ බලශක්ති බියුරෝවේ අධ්‍යක්ෂ ලෙසිණි. අබ්දුල්ගේ රියදුරුගේ භූමිකාව නියෝජනය කරමින් දෙදෙනා කැඳවාගෙන ඒමට ගියේ ඇබ්ස්කැම් සඳහා අලුතෙන්ම එකතු වූ එෆ්.බී.අයි.නිලධාරි බෘස් බ්‍රේඩිය. ආගන්තුක පිරිසට කෝපි පිරිනැමීමෙන් පසු බ්‍රේඩි දර්ශනයෙන් ඉවත් වූ අතර, එරිචෙට්ටි සිය ඥාති පුතුද ඔහු සමඟ පිටත් කරහැරියේ ඔහු අහිංසකයකු බව කාටත් පවසමිනි.

“පව්, පොඩි එකා. ඌට තාම කිසිදෙයක් තේරෙන්නේ නැහැ. මේ වගේ දේවල් එයා හීනෙන්වත් දකින දේවල් නෙවෙයි. ඒ නිසා එයා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එන්නෙත් නැහැ. අලුත වැටුණු හිම වගේ පිරිසුදු හිතක් එයාට තියෙන්නේ.“

හඳුනාගැනීම්වලින් පසු අනම් මනම් කතා නැතිව එරිචෙට්ටි මාතෘකාවට ආවේය. ඔහුගේ අරමුණ වී තිබුණේ අබ්දුල් ලවා කැසිනෝ හෝටලයක් ඉදිකරවා එහි පාලනයට තමාගේ අතකොලුවක් රිංඟවා ගැනීමය.

“කෙනත් මැක්ඩොනල්ඩ් ලවා ලයිසන් එක අරන් දෙන එක මට සිම්පල්. රිසෝට් එකටත් ලයිසන් අරන් දෙන්න දැනටමත් මම වැඩට බැහැලයි ඉන්නේ. කැසිනෝ එක හැදුවයින් පස්සේ ඒකට යට කරපු සල්ලි පට් පට් ගාලා හොයාගන්න නම් හොඳ මැනේජර් කෙනෙක් දාන්න අබ්දුල්ට සිද්ධවෙනවා. ඒකටම කියාපු හොඳ වැඩකාරයෙක් මං ගාව ඉන්නවා. ටෝනි ටෝකැසියෝ කියන්නේ ලාස් වේගාස්වල සූදු අන්තුවෝ එක්ක වැඩකරලා හොඳට පදම් වෙච්ච එකෙක්. බොබ් ගුචියෝන්ගේ කැසිනෝ එකටත් මම එයාව දුන්නා. අබ්දුල් කැමති නැත්නම් එයාගේ කැසිනෝ එකට හයර් කරපු මැනේජර් කෙනෙක් දාන්න, මට පුළුවන් ටෝනිව අල්ලලා දෙන්න. මිනිහා නියම වැඩකාරයෙක්. සති දෙකෙන් ලක්ෂ ගාණක් අතට අරන් දේවි. ඔයාලගේ එමීර්ට මිනිහ ආපහු යවන්න හිතෙන එකක් නැහැ. “

“හොඳයි අපි හිතලා බලන්නම් ඒ ගැන. මුලින්ම එමීර්ගේ කැමැත්ත අරගෙන ඉන්න එපායැ.“ මැකාති පැවසුවේ එරිචෙට්ටිගේ අදහස ගැන අඩමානයටය.

“ හරි. මම කිව්වේ නිකම් අදහසක් විතරයි. තීරණේ තියෙන්නේ ඔයාලගේ අතේ. ඔයාලට වෙන කෙනෙක් ඉන්නවා නම් මම ආයේ ටෝනි ගැන කියන්න එන්නේ නැහැ.“

ඕනෑකම කෙතරම් දැඩිව තිබුණත් මැකාති ඕනෑවට වඩා පෙළඹවීමෙන් එරිචෙට්ටි වැළකුණේ තමාගේ තත්වයට එය හොඳ මදි යැයි සිතුණු නිසාය. ඔහු මැකාතිට වඩා ගනුදෙනු කිරීමට ප්‍රිය කළේ පළමු බැල්මෙන්ම තමා වැනිම තක්කඩියකු බව තහවුරු වූ වෙයින්බර්ග් සමඟය. මැකාති කුඩුකේඩුකාරයකු බවට වෙයින්බර්ග්ද කල් ඇතිවම ඔහු දැනුවත් කර තිබුණි. මැකාති වෙනුවට වෙයින්බර්ග් සමඟ වැඩ කරන්නට පුළුවන් වන තැනට ඔහු කතාව ගෙන ආවේය.

“මේ වැඩේ තිතට කෙරෙන්න කියාපු මිනිහා මෙල්. මේ වගේ වැඩ ගැන එයාට හොඳ දැනුමක් තියෙනවා. මට දැක්ක ගමන්ම මිනිහා හිතට ඇල්ලුවා. යන්න ඕනේ මොන පාරේද කියලා දන්න කෙනෙක් තමයි මටත් ඕනෑකරන්නේ. “

“මෙල් ගොඩක් වෙලාවට ෆ්ලොරිඩාවල වැඩවලට හිරවෙනවා. ඔයාට ඕනෑ කරන දේ කිව්වොත් වෙයින්බර්ග් තරම්ම හොඳට ඒ ටික කරලා දෙන්න මටත් පුළුවන්.“ මැකාතිද පසුබා නොසිට කතාව දැම්මේ තමාටද යමක් කමක් කළ හැකි බව පෙන්වීමටය. නමුත් තමාට ඕනෑ කරන දේ කෙසේ හෝ ලබාගත යුතු බවට එරිචෙට්ටි දැඩි තීරණයක සිටියේය.

“නෑ. මට ප්‍රශ්නයක් ඇවිත් මෙල්ව ඕනෑ වුණොත් මම ඔයාට කතාකරලා කියන්නම්. එතකොට ඔයාට පුළුවන් මට කතා කරන්න කියලා එයාට පණිවුඩයක් යවන්න.“

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - මව බලන්න ආ සෙනෙට් සභිකයා


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>