මුස්ලිම් රටක නායකත්වය දැරීමට තරම් වාසනාවන්ත වූ ලොව පළමු කත වන ඇය ම්ලේච්ඡ ඝාතන කුමන්ත්‍රණයකට ගොදුරු වීමට තරම් අවාසනාවන්ත වූවාය. 1988 දීත් යළිත් 1993 දීත් දෙවරක් පාකිස්තානයේ අගමැති ධූරයට තේරීපත් වූ බෙනාසීර් භූතෝ ඝාතනයට ලක්ව පසුගිය දෙසැම්බර් 27දා ට දශකයක් සම්පුර්ණ විය. චිත්‍රපටයක ජවනිකා පෙළක් බඳු ඇගේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට සැක කෙරෙන බොහෝ දෙනකු දැන් ජීවතුන් අතර නැත. ඒ අබිරහස් ලෙස ඒ සියලු දෙනාද එකා බැගින් ඝාතනයට ලක් වූ බැවිනි. 2007 දෙසැම්බර් 27දා රාවල්පින්ඩි නුවර දී මැතිවරණ ප්‍රචාරක රැළියක් අවසානයේදී ඇය ඝාතනයට ලක් වූයේ පහළොස් හැවිරිදි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු අතිනි. ‘බිලාල්‘ නම් වූ මෙම තරුණයා ඇයට වෙඩි තබා තමා ද පුපුරුවා ගත්තේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ තොරතුරු රාශියක් ද වළලා දමමිනි. පාකිස්තාන තාලිබාන්වරු විසින් සිදු කරන ලද්දක් බව කියැවුණ ද ඒ සඳහා නියෝග ලබා දුන්නේ කවුරුන් විසින් ද යන්න දශකයකට පසු අදටත් අබිරහසකි. ඒ බෙනාසීර් භූතෝ ඝාතනය යට ගැසීමට පාකිස්තාන බලධාරීන් ගන්නා උත්සාහය නිසා බව මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහසයි.
බෙනාසීර්ගේ පියා වූ පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ පළමු අගමැතිවරයා වන ‘සල්ෆිකාර් අලි භූතෝ ද‘ අභාග්‍ය සම්පන්න අකල් මරණයකට ගොදුරු වූවෙකි. පාලනය සියතට ඩැහැගත් එකල පාකිස්තාන හමුදා ජනරාල්වරයා වූ 'ෂියා උල්හක්‘ විසින් භූතෝ එල්ලා මැරීය. සිය පියාගේ අකල් මරණයෙන් බෙනාසීර් කම්පා වුවද එය ඇය නායකත්ව තරගයෙන් පසුබැස්සීමට හේතුවක් වූයේ නැත. 1988–1990 දක්වාත්, යළිත් 1993 – 1996 දක්වාත් පාකිස්තානයේ අගමැති ධූරය හෙබ වූ ඇය කෙරෙහි පාකිස්තාන හමුදාව තුළ වූයේ යහපත් ආකල්පයක් නොවේ. ළාබාල සොඳුරු කාන්තාවක වූ බෙනාසීර් පාකිස්තානයේ පුරුෂ කේන්ද්‍රීය දේශපාලන පද්ධතියට අභියෝගයක් වූවාය. පාකිස්තාන හමුදාව කවදත් ඇයට සිටියේ හරහටය.
දෙවන ධූර කාලයේදී ඇය අගමැති අසුනෙන් පහ කිරීමට මුල් වූයේද පාකිස්තාන හමුදාවයි. ඇගේ දුර්වල පාලනය වංචා, දූෂණ හා අක්‍රමිකිතාවන්ගෙන් ගහණ වූවක්ය යන්න ඇයට එල්ල වූ චෝදනාවයි. 1999දි බෙනාසීර් ඇමරිකාව බලා ගියේ තමන් විසින්ම පනවා ගත් විප්‍රවාසී ජීවිතයක් ගත කිරීම සඳහාය. අට වසරකට පසු එනම් 2007 ඔක්තෝබර් මාසයේදී ඇය යළි පාකිස්තානය බලා ආවාය. ඒ එකල ජනපති වූ ජෙනරාල් පර්වේස් මුෂාරෆ් විසින් බෙනාසීර් ඇතුළු ඇගේ පාක්ෂිකයින්ට ලබා දුන් සමාව පිළිගනිමිනි. 2008 වසරේදී මුෂාරෆ් විසින් කැඳවා තිබූ මහා මැතිවරණයට ඉදිරිපත් වීමටද ඇය බලාපොරොත්තුව සිටියාය. නමුත් මුෂාරෆ් විසින් ලබා දුන් සමාව සැබෑ සමාවක් නොව බෙනාසීර් මරණය කරා ගෙන ගිය ට්‍රෝජන් අශ්වයකු බවට ඇගේ පාක්ෂිකයින්ට ඇත්තේ සාධාරණ සැකයකි. බෙනාසීර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුෂාරෆ්ට චෝදනා කරන්නන් බොහෝය. ඒ අතර බෙනාසීර්ගේ සමීපතම සහායකයකු වූ ‘මාක් සෙයිගල්‘ හා මාධ්‍යවේදී ‘රොන් සස්කින්ඩ්‘ මෙන්ම ඇගේ පුතු ‘බිලාවල්‘ද වේ.
එම චෝදනාවන්ට අනුව බෙනාසීර් පාකිස්තානයට පැමිණීමට පෙර සිටම මුෂාරෆ්ගෙන් ඇයට තර්ජන එල්ලව තිබේ. ඊට සාක්ෂි දරන්නේ මාක් සෙයිගල් හා රොන් සස්කින්ඩ් ය. අට වසරක විප්‍රවාසී දිවිය අවසන් කිරීමට තෙසතියකට පෙර ඇමරිකාවේ හුන් බෙනාසීර්ට, මුෂාරෆ්ගෙන් ඇමතුමක් ලැබෙන විට ඔවුන් දෙපළ හිඳ ඇත්තේ ඇය සමඟය. ඇමතුම අවසන් වූ සැණින් ඇය ඔවුන්ට කියා ඇත්තේ මුෂාරෆ් තමන්ට තර්ජනය කළ බවකි.
“ඔහු මට ආපසු එන්න එපා කියා තර්ජනය කළා. මට අනතුරු ඇඟෙව්වා පාකිස්තානයට එන්න එපා කියලා. මම එහෙම ඇවිත් මට අනතුරක් සිදුවුණොත් ඔහු ඊට වග කියන්නේ නැති බව මුෂාරෆ් කිව්වා“යි බෙනාසීර් පවසා තිබිණි. නමුත් තමා බෙනාසීර්ට එබඳු ඇමතුමක් දුන් බව මුෂාරෆ් තරයේම ප්‍රතික්ෂේප කරයි. එපමණක් ද නොව තමා බෙනාසීර් ඝාතනයට අණ දුන් බවට වන මතිමතාන්දර ද ඔහු බැහැර කරන්නේ අවඥාවෙනි.
“අවංකවම මට මේ අභූත චෝදනා ගැන හිතනකොටත් හිනා යනවා. මම මොන හේතුවකටද ඇය මරා දාන්නේ ?“ මුෂාරෆ් පසුගිය සතියේ දිනකදී බෙනාසීර් ඝාතනය සම්බන්ධයෙන් බී.බී.සී.ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එලෙස කියා තිබිණී. බෙනාසීර්ගේ දේශපාලනික අනුප්‍රාප්තිකයා වන ඇගේ පුතු බිලාවල් ද, සිය මවගේ ඝාතනය සම්බන්ධයෙන් සෘජුවම ඇඟිල්ල දිගු කරන්නේ මුෂාරෆ්ටය.
“මගේ අම්මව මරා දාන්න මුෂාරෆ් එකල පැවති අස්ථාවර වාතාවරණය වාසියක් කර ගත්තා. ඔහු ඕනෑකමින්ම ඇගේ ආරක්ෂාවට හානි කළේ ඇය ඝාතනයට ලක් වීම පහසු කරවීමටයි. පාකිස්තාන දේශපාලනයෙන් ඇයව ඉවත් කරන්නයි මුෂාරෆ්ට ඕනෑ කළේ.“ බෙනාසීර් ඝාතනය සම්බන්ධයෙන් මුෂාරෆ්ට එරෙහිව සිදු කෙරෙන නඩු විභාගය ඇණ හිට තිබෙන්නේ ඔහු ඩුබායිහි විප්‍රවාසීව සිටීම නිසාය.
මුෂාරෆ්ගේ සම්බන්ධය කුමක් වුව ද පාකිස්තානයට පා තැබූ දින සිට ම බෙනාසීර් සිටියේ මරණ තර්ජනයන්ට ලක් වෙමිනි. ඇය ගුවන්තොටුපළේ සිට කරච්චි නුවරට පැමිණෙමින් සිටි රථ පෙළපාලිය ද ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකට ලක් විය. එකසිය පනහකට අධික පිරිසක් මරු තුරුලට යැවූ පාකිස්තාන ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ත්‍රස්තප්‍රහාරය ලෙස සැලකෙන මින් ඇය දිවි ගලවා ගත්තාය. නමුත් ඉන් දෙමසකට පසු එල්ල වූ දෙවන ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි රැක ගැනීමට ඇයට වරම් තිබුණේ නැත. ඝාතනය සිදු වූ කාලයේදි පාකිස්තානයේ පාලනය අතැතිව සිටි ජෙනරාල් මුෂාරෆ් පසුගිය දා කළ එක්තරා ප්‍රකාශයක් නිසා බෙනාසීර් ඝාතන කුමන්ත්‍රණය යළි කරළියට පැමිණිනි. තාලිබාන්වරු විසින් කළ මෙම ඝාතනයට එකල පාකිස්තාන රජයේ සිටි ඇතැම් පාර්ශ්වයන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බව ඔහු එහිදි පිළිගෙන තිබිණි. ආගමික අන්තවාදයට නැඹුරු එබඳු පාර්ශ්වයවන්ට ඝාතනයේ යම් භූමිකාවක් හිමිවීමට ඉඩ ප්‍රස්ථා ඇති බවට මුෂාරෆ් කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක වූවකි. ඒ ඔහු පාකිස්තානයේ හිටපු නායකයකු වන නිසා පමණක් නොව ජිහාද් ත්‍රස්ත ප්‍රහාරයන්ට රජයේ අනු දැනුමක් ඇති බව පිළිගැනීමට පාකිස්තාන හමුදා නායකයින්, කිසිම විටෙක ඉදිරිපත් නොවන නිසාය. ඝාතනයට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවට සහතික වන මුෂාරෆ් රජයේ වෙනත් පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගු කරන්නට පැකිලුණේ නැත. බෙනාසීර් වැනි බටහිරට ගැති කාන්තාවකට එරෙහි වන්නන් සුලබ බව ඔහුගේ මතය විය. ඒ හැර එවැන්නන් නම් කිරිමෙන් ඔහු වැළැකී සිටියේය.
මුෂාරෆ්ට එරෙහි නඩුව අතරමඟ නැවතුණ ද බෙනාසීර් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනීම් රාශියක්ම සිදු විය. එලෙස අත්අඩංගුවට ගත් පස්දෙනා අතරින් පළමු වැන්නා වුයේ බෝම්බකරු වූ බිලාල්ගේ සහායට ආ ‘අයිටාස් ෂා ය‘.ඝාතනය කිරීමට බිලාල්ට පෙර තෝරාගෙන තිබුණේ ඔහුය. නමුත් කිසියම් හේතුවක් නිසා එය වැළකී ගොස් තිබිණි. සෙසු සිව්දෙනා ඝාතනය සංවිධානය කිරිමට හවුල් වූවන් ය. නමුත් මෙම වසර මුලදී ඔවුන් පස්දෙනා අධිකරණය විසින් නිදොස් කොට තිබිණි. විනිසුරුවරයා දක්වා තිබුණේ සාක්ෂි එක් රැස් කොට අධිකරණයට ඉදිරිපත් කළ ආකාරයේ සිදු වූ වැරදී ඊට හේතු වූ බවය. බෙනාසීර් භූතෝ ඝාතන කුමන්ත්‍රණය හා සමාන ඇතැම් විට ඊටත් වඩා ප්‍රබල කුමන්ත්‍රණයක් එය යට ගැසීමට සිදු වූ බව නොරහසකි. එම යට ගැසීමේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වූවන් සමුහයකි. ඒ අතරින් අංක එකට සිටින්නේ පාකිස්තානයේ රාජ්‍ය මට්ටමේ අභිචෝදකයකු වන ‘චෞද්රි සල්ෆිකාර් අලි ය“. ඔහු විමසුම් බුද්ධියකින් හා තීක්ෂණ නුවණකින් හෙබි දක්ෂ නීතිඥයකු ලෙස රටේම ගෞරවාදරයට පාත්‍ර වූවෙකි. බෙනාසීර් ඝාතන විමර්ශණය සම්බන්ධයෙන් තමා සැබෑ ප්‍රගතියක් ලබමින් සිටින බවට සිය මිතුරන් සමඟ කළ ප්‍රකාශය ඔහුගේ මරණයට හේතු විය. ඉස්ලාමාබාද් නුවරදී 2013 මැයි 3දා ඔහුව වෙඩි තබා මරා දැමුණේ වූගේ නඩුවට සහභාගි වීමට යමින් සිටියදීය. බෙනාසීර්ගේ පෞද්ගලික ආරක්ෂකයකු වූ ‘කාලීඩ් ෂහෙන්ෂා‘ද භූතෝ ඝාතනය යට ගැසීමේ කුමන්ත්‍රණය නාමයෙන් දිවි පිදුවෙකි. බෙනාසීර් සිය අවසන් රැළිය අමතමින් සිටියදී ඇය අසලින්ම සිටියේ ඔහුය. ඇය ඝාතනයට ලක් වීමට මොහොතකට පෙර ෂහෙන්ෂා සිය දෑස් භූතෝ දෙසට කරකවමින් දෑතේ ඇඟිලි සිය ගෙල හරහා යවන අසාමාන්‍ය හැසිරීමක් මාධ්‍ය කැමරාවල සටහන්ව තිබිණි. මෙම හැසිරීම එකල මහත් ආන්දෝලනයක් ඇති කිරිමට හේතු වූ නමුත් ඉන් ඔහු අදහස් කළ දේ අදට ද අබිරහසකි. ෂහෙන්සා ද පසුව සිය නිවස අසල දී ම ඝාතනය කෙරිණි. මීට අමතරව බිලාල්ගේ මරාගෙන මැරෙන බෝම්බ සවි කළ කබාය නිර්මාණය කොට ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් කිහිප දෙෙනකුද මෙලෙස අබිරහස් ලෙස ඝාතනයට ලක් විය. ඒ භූතෝගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිඳු සාක්ෂියක් ඉතිරි නොවන සේය.
බෙනාසීර් ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ සුවිශේෂී පුද්ගලයකු වන්නේ ඇගේ වැන්දඹු සැමියා වන ‘අසීෆ් සාර්දාරි ය‘. මීට ප්‍රධානම හේතුවක් වන්නේ ඇගේ මරණයෙන් වඩාත්ම වාසි ලබමින් පාකිස්තානයේ ජනපති ධූරයට පත් වූයේ ඔහු බැවිනි. එසේම ජනපති ධුරයේ බලතල ආධාරයෙන් හෝ සිය බිරියගේ ඝාතනයේ සැලසුම්කරුවන් නීතිය හමුවට ගෙන ඒමට ඔහු උත්සහා නොදැරීම මීට තවත් හේතුවකි. පසු කාලීනව ප්‍රසිද්ධියට පත් වූ බෙනාසීර් ඝාතන විමර්ශනයට සම්බන්ධ රහසිගත ලේඛණවලින් මේ බව සක්සුදක් සේ ඔප්පු විය. ඝාතනයට සම්බන්ධ පහළ මට්ටමේ සාමාජිකයින් මිස මහා මොළකරුවන් හඳුනා ගැනීම පොලීසිය ඕනෑකමින් ම පැහැර හැරි බව මෙම ලේඛණවලින් සනාථ වන සත්‍යයකි. තමාට එක පිට එක එල්ල වන විවේචන මඟ හැරීමේ අසාර්ථක උත්සහයක යෙදුණු සාර්දාරි පෙන්වා දුන්නේ තමා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශණයක් කිරීමට ලෝප්‍රකට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසීය පවා දිරිගැන් වූ බවයි. එසේම එක්සත් ජාතීන්ගේ කොමිසමක්ද ඒ වෙනුවෙන් පත්කර ගැනීමට පෙළඹුණ බවයි. නමත් එම කොමිසමේ ප්‍රධානී ‘හෙරාල්ඩෝ මුනෝස්‘ කියන්නේ වෙනම ම කතාවකි.
“ඝාතනය සම්බන්ධයෙන් අපට ප්‍රශ්න කිරිමට පාකිස්තාන බලධාරින් බොහොමයක් හිටියා. නමුත් ඔවුන් ප්‍රශ්න කිරීම්වලට එක්වීම ප්‍රතික්ෂේප කළා. ඒ විතරක් ද? විමර්ශණයට එරෙහිව අපිට හුඟක්ම බාධා කළේ සර්දාරිගේ දේශපාලනඥයොයි, හමුදාවයි. කොටින්ම විමර්ශණය හොඳ ප්‍රගතියක් ලබා ගෙන එත්දී අපේ කණ්ඩායමට එතෙක් කලක් ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා වීමට ලබා දී තිබුණු ආරක්ෂිත නවාතැනත්, නිලධාරීනුත් අපෙන් උදුරා ගත්තා.“ මුනෝස් කරන මෙම චෝදනා සැබවින්ම බරපතළය.
බෙනාසීර් ඝාතනය කුමන්ත්‍රණයේ මහා මොළකරුවන් වසර දහයකට පසු අදටත් නිදැල්ලේය. ඒ එම ඝාතනය යට ගැසීමේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙසය.
රුක්ලන්ති පෙරේරා