Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඉරානයේ පුපුරන බලය කුමක් ද?

$
0
0
ජන 6, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාවට පීඩාවිඳීමට සිදුව තිබියදී ඉරානය මැදපෙරදිග රටවල් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් වියදම් කරමින් සිටින බවට ද විරෝධතාකරුවෝ හඬ නඟති. සිරියාවට මුදල් ආධාර මෙන්ම අවි ආයුධ ද යවන බව මෙන්ම පලස්තීනයට සහ ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලාවරුන්ට මුදල් ආධාර සැපයීම ඊට නිදසුන් ලෙස දැක්වේ.

දශකයකට මෙපිට ඉතිහාසයේ ඉරානයේ සිදු වූ දැවැන්තම ආණ්ඩු විරෝධී අරගලය පසුගිය දිනවල එරට වීදිවලදී දැකගත හැකි විය. මෙය දශක ගණනාවක් තිස්සේ කැකෑරෙමින් තිබූ සමාජ - ආර්ථික ගැටලු විසින් ඇතිකළ පීඩනය හා අසහනය පුපුරායාමක් බව විශ්ලේෂකයන්ගේ අදහසය.

විරෝධතාකරුවන්ගෙන් අති බහුතරය තරුණ ජනයාය. ඔවුහු පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතනවලට පහර දෙමින් කලබලකාරීව හැසිරුණහ. මේ විරෝධතා ක්‍රියාමාර්ගයේදී 25 කට ආසන්න සංඛ්‍යාවක් සතියක කාලයක් තුළ ජීවිතක්ෂයට පත්විය. ඉරාන විප්ලවීය හමු‍දාවේ තිදෙනෙක් ද ඒ අතර වේ. තෙල් සම්පතෙන් පොහොසත් රාජ්‍යයක් වුවද උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වවලට පිළියම් යෙදීමට පාලකයෝ අසමත් වූහ. ආසන්න දශකයක පමණ කාලසීමාව තුළ එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව, පනවා ඇති සම්බාධක එහිදී විශාලම අභියෝගයයි. එම සම්බාධක ලිහිල් කෙරුණේ 2015 දීය. විදේශ ආයෝජන හිඟවීම ද අර්බුදය තවත් බරපතළ කිරීමට බලපෑවේය. ලෝක බලවතුන් ‍සමඟ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ 2015 දී ඇතිකරගත් එකඟතා හේතුවෙන් සම්බාධක ලිහිල් වුවද එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට පාලකයන් අසමත් වූ බවට ඔවුහු මැසිවිලි නඟති. නිල සංඛ්‍යාලේඛන දක්වන පරිදි ඉරානයේ උද්ධමනය 9.6% කි. විරැකියාව 13% කි. එහෙත්, නිල නොවන වාර්තාවලට අනුව එම සංඛ්‍යා දෙගුණයක් විය යුතුය. එරට තරුණ ජනගහනයෙන් 40% ක්ම විරැකියාවෙන් පෙළෙන බව සඳහන්ය. එම සමස්ත ජනගහනයෙන් අඩක් පමණ වේ.

සම්බාධක පැනවීම

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ ඇත්තේ දැඩි විරෝධයකි. ඔහු බලයට පත්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ එකඟතා අර්බුදයට ගියේය. ඉකුත් වසරේදී නව සම්බාධක පැකේජ 2 ක් ඉරානයට එරෙහිව පැනවීමට ජනාධිපති ට්‍රම්ප් ක්‍රියාකිරීම එරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කිරීමට හේතු විය. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට සම්බාධකවලට, අවිධිමත් කළමනාකරණය හා දූෂණය ද එකතු වූ විට ඉරාන ආර්ථිකය ඇද වැටී ඇති ප්‍රපාතය තේරුම් ගැනීමට හැකිය.

ඇතැම් විචාරකයන්ගේ අදහස මෙම ව්‍යුහාත්මක ගැටලු සියල්ල හටගෙන ඇත්තේ 1980 දී ඉස්ලාමීය පාලන ආකෘතියක් එරට තුළ ඇතිවීමෙන් පසුව බවය. නැ‍ඟෙමින් ඇති ආර්ථික අභියෝග හමුවේ වත්මන් පාලකයන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ ජනතාව මත අධික බදු බර පැටවීමය. ඉකුත් මාසයේදී ජනාධිපති හසන් රවුහානිගේ පාලනයේ අයවැය මඟින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය ද පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්විය. ඉරානයේ මෙවැනි විරෝධතා ක්‍රියාමාර්ග මෙන්ම දේශපාලන නැඟී සිටීම් විරලය. වසර කිහිපයකට එපිට අරාබි රටවල මතු වූ වසන්ත කැරැළිවලින් ඉරානයට බලපෑමක් වූයේ නැත. මීට පෙර 2009 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් මොහොමඩ් අහමදින්ජාඩ් ජයග්‍රහණය කිරීමත් සමඟ විරෝධතා ව්‍යාපාරයක් දියත් විය. එරට ප්‍රබල ආරක්ෂක බළකා යොදවා එය පාලනය කළ අතර පුද්ගලයන් ගණනාවක් ජීවිතක්ෂයට පත්විණි.

ඉකුත් දෙසැම්බර් 28 වැනිදා දියත් වූ විරෝධතා ව්‍යාපාරය දශකයක කාලසීමාව තුළ එරට වාර්තා වූ එවැනි ප්‍රබලම ක්‍රියාමාර්ගයයි. දසදහස් සංඛ්‍යාත පිරිස් වීදි අරගලවලට එක්ව සිටියහ. 2009 ට වඩා වෙනස් වූ එම විරෝධය ටෙහෙරානයට සීමා නොවී රට පුරා තැන තැන පැතිරිණි. කෙසේ වුවද එය මැඬලීම සඳහා සය දිනක් ගතවනතුරු ප්‍රබල ඉරාන විප්ලවීය හමුදාව හෝ සෙසු ආරක්ෂක බල ඇණි යෙදවීමෙන් පාලකයෝ වැළැකී සිටියහ.

විරෝධතා හඬ

විරෝධතා ව්‍යාපාරය ඇරැඹුණේ මෂාද් නගරයෙනි. රටේ ආර්ථිකය අර්බුදයට ගොස් ඇති බව මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පවා 40% කින් ඉහළ නැඟ ඇති බව එහිදී මතු වූ ප්‍රධානම කාරණා විය. ඊළඟ දින හයේදී එය නගර 25 කට වැඩි සංඛ්‍යාවක දැකගත හැකි වූ අතර පාලනයට එරෙහි කැරැල්ලක ස්වභාවය පෙන්නුම් ‍කළේය.

ඇතැම් විරෝධතාකර‍ැවෝ ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලාහ් අලි කමෙයිනිට විරෝධය දක්වමින් “ආඥාදායකයාට මරණය‘යනුවෙන් හඬ නැඟූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. “නිව්යෝර්ක්“ ටයිම්ස් වාර්තා කළ පරිදි විරෝධතාකරුවන් සංවිධාන වීම වැළැක්වීමේ අරමුණින් සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය ක්‍රියා කර ඇත. එය යහපත් දෙයක් නොවන බව අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් විය.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාවට පීඩාවිඳීමට සිදුව තිබියදී ඉරානය මැදපෙරදිග රටවල් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් වියදම් කරමින් සිටින බවට ද විරෝධතාකරුවෝ හඬ නඟති. සිරියාවට මුදල් ආධාර මෙන්ම අවි ආයුධ ද යවන බව මෙන්ම පලස්තීනයට සහ ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලාවරුන්ට මුදල් ආධාර සැපයීම ඊට නිදසුන් ලෙස දැක්වේ.

විරෝධතා ක්‍රියාමාර්ගයට සයදිනක් සම්පූර්ණ වන විට ඊට එරෙහිව ආරක්ෂක හමුදා යෙදවිණි. එහිදී හමුදා භට පිරිස් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවිය. ඒජන්සි වාර්තා සඳහන් කළ පරිදි අත්අඩංගුවට පත්වූවන්ගෙන් 90% ක්ම වයස අවුරුදු 25 ට අඩු අයයි. පොලිස් ස්ථානවලට පහර දී අවි ආයුධ පැහැර ගැනීමට විරෝධතාකරුවන් කටයුතු කිරීම හේතුවෙන් එය පාලනය කිරීමට සිදුවූ බව ප්‍රකාශ වී තිබේ. ඛදීර්ජාන්, නජානාබාද් වැනි ප්‍රදේශවල තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබිණි. ටෙහෙරාන විප්ලවීය අධිකරණයේ ප්‍රධානියා උපුටා දක්වමින් ඒජන්සි වාර්තා කියා සිටින්නේ විරෝධතාකරුවන් වැරැදිකරුවන් වුවහොත් මරණ දඬුවම නියමවීමට ඉඩ ඇති බවය. මෙය දෙවියන්ට එරෙහි යුද්ධයක් බව ප්‍රකාශ වී තිබේ. එමෙන්ම, 2011 දී ඇතිවූ අරාබි වසන්ත කැරැළිවලට සමාන තත්ත්වයක් මෙහිදී දක්නට හැකි බව ද ඇතැම් වාර්තාවල සඳහන්ය.

ජනපතිගේ ප්‍රකාශය

විරෝධතාවලට යොමුව සිටින්නේ රටේ සතුරන් බව කමෙයිනී නිකුත් කළ පණිවිඩයක දැක්වේ. අමෙරිකාවේ වුවමනාවට ඔවුන් එලෙස රාජ්‍ය විරෝධීව හැසිරෙමින් සිටින බවට ද ඔහු චෝදනා කර ඇත. මෑත දින කිහිපයේදී ඉරානයේ සතුරන් මුදල්, අවි ආයුධ මෙන්ම දේශපාලනය හා බුද්ධි අංශ ද එරටට එරෙහි උපකරණ ලෙස යොදවමින් සිටින බව ආධ්‍යාත්මික නායකයා කියා සිටී.

ජනාධිපති රවුහානි මධ්‍යස්ථ මතධාරියකු ලෙස ප්‍රකටය. ඔහු නිකුත් කළ ප්‍රකාශයක සඳහන්ව ඇත්තේ තම ශ්‍රේෂ්ඨ ජාතිය අතීතයේදී මීට සමාන සිද්ධීන්වලට මුහුණ දී ඇති බව සහ ඒවා පාලනය කිරීමට සමත් වූ බවය. මෙය තැකීමට තරම් දෙයක් නොවන බව ජනාධිපතිවරයාගේ අදහසය.

අමෙරිකා ජනාධිපති ට්විටර් පණිවිඩයක් මඟින් ඉරානයේ විරෝධතා ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදයෙන් යුතුව අදහස් පළකර තිබිණි. අවසානයේ එරට ජනයා තත්ත්වය අවබෝධ කරගෙන ඇති බව එහි සඳහන් විය. විරෝධතා මැඬලීමට රජය හිංසනය යොදවන්නේ ද යන්න ගැන අමෙරිකාව සමීප අවධානයකින් පසුවන බව ද ජනාධිපති ට්‍රම්ප් කියා තිබිණි. ඔහුගේ ප්‍රකාශය මඟින් මෙම විරෝධතා ක්‍රියාමාර්ග පිළිබඳ අමෙරිකාවේ අභිලාෂය පැහැදිලි වේ.

ලිහිල් කළ සම්බාධක යළි තර කිරීම ගැන අවධානය යොමුව ඇති බව ද ඔහු සඳහන් කර ඇත්තේ ඉරානයට අනතුරු ඇඟවීමක් කරන ස්වරූපයෙනි. විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය 2009 විරෝධතා ක්‍රියාමාර්ගයේදී ජනාධිපති ඔබාමා දැක්වූ ප්‍රතිචාරයට සමාන වූවකි. ඉරානයේ ස්වෛරීභාවය පිළිගන්නා නමුත්, විරෝධතාකරුවන්ට එරෙහිව බලය යෙදවීමේදී මානව හිමිකම් උල්ලංඝනය වන්නේදැයි අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බව ජනාධිපති ඔබාමාගේ ප්‍රකාශයේ දැක්විණි. ජනාධිපති සිය ට්විටර් පණිවිඩය අවසන් කර තිබුණේ වෙනසකට කාලය එළැඹ ඇතැයි පවසමිනි.

තම රටේ ස්වෛරීභාවයට එරෙහිව අමෙරිකාව අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ඇති බවට ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කර ඇත්තේ මෙවැනි පසුබිමකය. අමෙරිකාව “රෙජීම් චේන්ජ්“ වැඩපිළිවෙළක සිටින බවක් මෙහිදී ඔවුන් ක්‍රියාකරමින් ඇති ආකාරයෙන් පිළිබිඹු වේ.

විරෝධතා ක්‍රියාමාර්ගවලට එරෙහිව හා ඉරාන පාලනයට පක්ෂවද දහස් සංඛ්‍යාත පිරිස් වීදි බැස සිටිති. ඒවාට ද විශාල ජන සහභාගිත්වයක් පවතී, නීති කඩකරන්නන්ට එරෙහිව ඉරාන ජනයා ඉදිරියට පැමිණ ඇති බව ඉරාන මාධ්‍ය වාර්තාවල දැක්වේ. විරෝධතා ව්‍යාපාරයට සතියක් ගතවන විට එය පාලනය කිරීමට ආරක්ෂක අංශවලට හැකි වී ඇති බව ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියා නිකුත් කළ ප්‍රකාශයක සඳහන්ය.

ට්‍රම්ප්ගේ කිඹුල් කඳුළු

විරෝධතා ක්‍රියාමාර්ගයට නායකයකු නොසිටීම ද ‍කැපී පෙනෙන කාරණයකි. මෙය බඩගින්නට එරෙහි ජනතා නැඟිටීමක් ලෙස විරෝධතාකරුවන් හඳුන්වා තිබේ. පාන් - කිරි - මස් වැනි ආහාර මිල ගණන් ගතවූ වසර කිහිපය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ඊට සාධක ලෙස දැක්වේ. එසේ බලන කල මෙය බඩගින්නට එරෙහි කැරැල්ලක් ලෙස හැඳින්විය හැකිය.

ඉරාන ජනයා පිළිබඳ අමෙරිකාව කිඹුල් කඳුළු හෙළමින් ඇති බව ඉරාන බලධාරීහු චෝදනා කරති. ඉරානයේ අමෙරිකා තානාපති නිකී හේලිගේ මැදිහත්වීම ගැන ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ දැනුම්දීමේ දැක්වේ. ජනාධිපති රවුහානි විරෝධතා පිටුපස සිටින රාජ්‍ය විරෝධී මුජහිදීන් කල්ලි ගැන ද අවධානය යොමුකර ඇති බව පෙනෙන්නට තිබේ.

ඉරානයේ සතුරු බලවේග මෙම විරෝධතා ක්‍රියාමාර්ග පිටුපස සිටී. රටක අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීම ජාත්‍යන්තර සබඳතාවලට අදාළව අනුමත නොකෙරේ. කෙසේ වුවද, ඉරාන ජනයා මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳ ඇස් ඇර බැලීමට පාලකයන්ට සිදුව ඇති බව ද මෙවැනි විරෝධතා ව්‍යාපාරයක් දියත්වීමෙන් පැහැදිලි වේ.


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>