Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දෙසී­යට කිය­වීම

$
0
0
ජන 9, 2018 01:00

‘‘ටොම්සන් මහත්තයා.. මොකද අර ඉස්කෝලේ ළමයි තුන්දෙනෙක් අර පාර දිගේ අඬා අඬා යන්නේ... මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ... ගිහිල්ලා බලමුද?’’ කියා ඇම්බන් මහත්තයා පාරේ ඈතට අත දිගු කළේය.

‘‘යමු.. යමු.. ළමයින්ට මොකක් හරි කරදරයක් වෙනව නම් අපිට අහක බලා ගෙන යන්න බෑනේ... ’’ කියා ටොම්සන් මහත්තයා අර ළමයි තුන් දෙනා ඉන්න පැත්තට යන්න පටන් ගත්තේය. ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් ඒ පිටිපස්සෙන් ගියහ. ඉස්කෝලේ ළමයි තුන් දෙනා පාර අයිනේ හිඳ ගෙන අඬමින් සිටියහ. තමන් ළඟට කවුරුන් හෝ පැමිණි බව ඉවෙන් මෙන් දැනුණු ළමයි හිස ඔසවා බැලූහ.

‘‘ඇයි පුතාලා මේ අඬන්නේ... මොකක් හරි කරදරයක්ද? නැතිනම් දවල්ට කන්න හම්බු වුණේ නැද්ද? ’’ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘කරදරයක් නම් තමයි... ඒත් මොනවා කරන්නද? අපටම නේ කරදර වෙන්නේ...’’ කියා එක් දරුවෙක් කීවේය.

‘‘එහෙම කියන්න එපා පුතා... අපට කියන්නකෝ මොකක්ද සිද්ද වුණේ කියලා... ’’ කියා උන්නැහේ බොහොම කරුණාවෙන් කීවේය.

‘‘මේකනේ මාමා... අපේ ඉස්කෝලේ ටීචර් අපට පැවරුමක් දුන්නා... ඒකට තොරතුරු ටිකක් හොයා ගන්න අපි ගියා ජාතික පුස්තකාලෙට... ’’ කියා දෙවෙනි පුතා කීවේය.

‘‘ හරියටම හරි.. එතන තමයි තැන... ’’ කියා ඇම්බන් මහත්තයා බොහොම සතුටින් කීවේය.

‘‘ඔව්.. එතන තමයි තැන මාමා.. අපට ටීචර් කිව්වේ... රුපියල් විස්සක් ගෙව්වාම ජාතික පුස්තකාලෙන් අපට අවශ්‍ය තොරතුරු දැන ගන්න පුළුවන් වෙයි කියලා.. ’’ කියා තුන්වෙනි පුතා කීවේය.

‘‘හරි .. ටීචර් කියාපු දේ හරි... මාත් ඔය වරින් වර ජාතික පුස්තකාලෙට ගිහින් සමහර පරණ පත්තර බලලා තියෙනවා.. රුපියල් විස්සක් ගෙවලා... ඉතින් පුතාලා අවශ්‍ය තොරතුරු හොයා ගත්තද?’’

‘‘අපට අවශ්‍ය තොරතුරු එතන ඇති.. ඒ වුණාට අපිට ඒවා හොයා ගන්න බැරි වුණා නේ.. ’’

‘‘ ඒ මොකද පුතා ඒ? ’’

‘‘ රුපියල් දෙසීයක් ඉල්ලුවානේ... ’’

‘‘ මේ පුතාලා අපට විහිළු කරනවාද? එතන ගන්නේ රුපියල් විස්සයි නේ.. අනික ජාතික පුස්තකාලය තමයි ඔය කියවීමේ මාසයක් හෙම දාලා ජාතියට කියවන්න පුරුදු කරන්නේ.. එහෙම තැනක එහෙම වෙන්න බෑ නේ.. මොකක් හරි වැරදිලා වෙන්න ඇති. ජාතික පුස්තකාලය කියලා වෙන තැනකටවත් ගියාද? ’’ කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

‘‘නෑ.. එතෙන්ටම තමයි ගියේ.. අපට වැරදුණේ නෑ... එතනින් තමයි කිව්වේ දැන් රුපියල් විස්සට පත්තර පොත් බලන්ඩ බෑ.. රුපියල් දෙසීයක් ඕනෑ කියලා.. ඉතින් අපි තුන් දෙනාම එකතු වෙලා රුපියල් දෙසීයක් හදලා ඇහුවාම කියාපි එක දෙසීයකට බලන්න පුළුවන් එක්කෙනාටයි කියලා... ඉතින් මොකද කරන්නේ... ? අපි ආපහු ආවා... තුන් දෙනාට රුපියල් හයසීයක් දෙන්න අපි ළඟ සල්ලි නෑ නේ මාමා... ’’ කියා තුන් වැනි ළමයා කීවේය.

‘‘ටොම්සන් මහත්තයා... ඔය ජාතික පුස්තකාලේ ලොක්කෙකුට කතා කරලා බලන්නකෝ ... මොකක්ද මේ අපබ්‍රංශය කියලා....’’ කියා උන්නැහේ කීවේය. ටොම්සන් මහත්තයා ජංගම දුරකථනයෙන් ජාතික පුස්තකාලේ කියවීමේ අංශයේ ලොක්කෙකුට කතා කළේය.

‘‘ මේකනේ ටොම්සන් මහත්තයා... දැන් ඉතින් හැම බඩුවම ගණන් නේ... දැන් බලන්ඩ පිටකොටුවට ගිහිල්ලා. අර බස් ස්ටෑන්ඞ් එකේ නොයෙක් ජාති විකුණන්නේ... අඹ නම් මල්ලක් සීයයි.

නාරන් නම් මල්ලක් සීයයි. මිදි මල්ලක් දෙසිය පණහයි... කපාපු පේර නම් මල්ලක් සීයයි.. දැන් ඔය දහයේ විස්සේ කෑලි කොහේ වත් නෑ නේ..ඉතින් මෙහෙත් එහෙම තමයි... විස්සේ සිල්ලර කෑලි දැන් නෑ... දෙසීයේ තොග කෑලි තමයි තියෙන්නේ.. කැමති නම් එන්න...’’ කියා ජාතික පුස්තකාලේ කියවීම් අංශයේ ලොක්කා කීවේය.

‘‘ හරි ඉතින් ඔය විස්සේ කෑලි අයින් කරලා දෙසීයේ කෑලි දානකොට ඒ තීරණ ගන්න ලොකු මහත්තුරු නිකම් ඔළුව කැහුවේ හෙම නැද්ද? ’’ කියා ටොම්සන් මහත්තයා කොචොක් හඬින් ඇසුවේය.

‘‘ ඒ මොකටද ටොම්සන් මහත්තයා.. තීරණ ගන්න කොට ඔළුව කහන්නේ...? ’’

‘‘ නෑ.. මං කියන්නේ ඔළුව තියෙනවාද කියලා දැන ගන්න...හොක් හොක් හොක්... ’’

පුස්තකාල මහත්තයා දුරකථනය විසන්ධි කළේය.

‘‘මේවා කතා කරලා වැඩක් නෑ ඇම්බන් මහත්තයා... ජාතික පුස්තකාලේ කියන්නේ සල්ලි හම්බ කරන්න හදාපු තැනක් නෙවෙයි නේ... මේ රටේ මහජනයාට තොරතුරු ලබා දෙන්න මහජන මුදලින් නඩත්තු කරන තැනක් නේ.. හරි නම් ඉස්කෝලේ ළමයින්ට ඉගෙන ගන්න වැඩකට තොරතුරු හොයා ගන්න කිසිම මුදලක් අය කරන එක වැරදියි.. ඒ ළමයින්ට නොමිලේ ජාතික පුස්තකාලය පරිහරණය කරන්න දෙන්න ඕනෑ... අනික ඔය ජාතික පුස්තකාලය අයිති වෙන්නේ අධ්‍යාපනේට නේද? එතකොට අධ්‍යාපන ඇමැතිතුමා මේ ගැන දන්නවද? විස්සේ දෙසීයේ සෙල්ලම ගැන...? ’’

‘‘ ඒක නම් අපි දන්නේ නෑ මාමා... සිද්ද වුණේ ඔහොම තමයි.... අපි යන්නං එහෙනං...’’ කියා ඉස්කෝලේ ළමයි තුන්දෙනා හුන් තැනින් නැගිට්ටහ.

‘‘ දුක් වෙන්න එපා දරුවනේ... මේවා මේ අඥාන නිලධාරීන්ගේ අඥාන වැඩ... ටීචර්ට කියන්න ඇත්ත කතන්දරේ... එතකොට ටීචර් තොරතුරු ගන්න වෙන ක්‍රමයක් කියලා දෙයි..’’ කියා ටොම්සන් මහත්තයා කීවේය. 

බන්දුල පී දයා­රත්න


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>