අපි භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහා ගන්නට ඕනෑ. එතැනින්ම තමයි අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්ට පටන් ගන්නේ. ඒ අවබෝධය අදහාගත්ත ගමන් එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙනවා. අපිට අමාරු ඒක කරන්නයි. අපි කොහොමහරි වෑයම් කළොත් අපිට පුළුවන්කම තියෙයි සද්ධානුසාරී කෙනෙක් බවට පත්වෙන්ට. ඒ නිසා මේ ජීවිතයේ ම මහන්සි වෙලා හරි කමක් නෑ උත්සාහ කරන්න, භාග්‍යවතුන්වහන්සේ පෙන්වාදෙන ධර්මයම පහදින්න. එයාට අවස්ථාව තියෙනව සංසාරෙන් නිදහස් වෙන්ට.
යම් කෙනෙක් භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයට පැහැදුනොත්, ශ්‍රද්ධාව ඇතිවුණොත් එයාට භාග්‍යවතුන්වහන්සේ විසින් පෙන්වාදෙන ධර්මය අවබෝධකර ගන්නට, පුරුදුකර ගන්ට කැමැත්ත උපදිනවා. කැමැත්ත ඉපදුණකෙනා, ඒ සඳහා වෑයම්කරනවා. ඒ වෑයම්කරන කොට, භාග්‍යවතුන්වහන්සේ යමක් ද ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව එයාට වැටහීමක් ඇති වෙනවා. එයාට වීර්ය උපදිනවා. එයා වීර්යෙන් ඒ ධර්මය පුරුදුකරනවා. එයා ඒ ධර්මය අවබෝධ කරනවා.
එහෙනම් අපි මහන්සිවෙලා කරගතයුතු දේ මොකක්ද?
භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහාගැනීම. නුවණ තිබුණානම්, අපි අපේ හැකියාව අතහැරලාදාලා. භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දෙන දේට එකඟ වෙනවා. කැමති වෙනවා. ගොඩකට ඒක කරන්ට බෑ. භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය ගැන බොහෝ අයට බයක් උපදිනවා. ඊට පස්සේ එයා මතුපිටින් තමයි අතපත ගාන්ට කල්පනා කරන්නේ. හරියට සැකසහිත දෙයක් අල්ලන්නා වාගේ. බයෙන් එයා අල්ලන්නේ. ඒ අවබෝධය අදහාගන්ට දක්ෂ නැති නිසා.
ඒ බය සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ මේ ධර්මය කෙරෙහි හොඳ විශ්වාසයක් ඇතිකරගන්න කෙනාටයි. එයා කිසි බයක් නෑ. ඉතා සුවපහසුවෙන් ධර්මය පුරුදුකර ගන්නවා. ඒ නිසා ඔබ කිසිසේත් බයවෙන්ට එපා. මේ ධර්මය විශ්වාස කරන්න, අදහා ගන්න. එයාට පුළුවන්කම ලැබෙනවා සංසාර ගමන අවසන් කරන්න. බයනොවී භාග්‍යවතුන්වහන්සේ පෙන්වාදෙන ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගන්න. ඒ පැහැදීම ඇතිවන්නේ තමන්ගේ හිතේ. පැහැදීම තියෙන කෙනාගේ පැහැදීම තියෙන්නේ චිත්ත අභ්‍යන්තරයේ. එයාට කරන්ට කටයුතු තියෙනවා.
දවසින් දවස, දවසින් දවස එයාගේ කටයුතු සංවර බවට පත්වෙනවා. වැඩක් නැති දේ අතහරිනවා. ඒකෙන් තමයි තේරෙන්නේ පැහැදීම. අනවශ්‍ය දේ අතහරින්නට පටන් ගන්නවා. අනවශ්‍යදේ මොනවා ද? කායික දුෂ්චරිතය, වාචසික දුෂ්චරිතය, මානසික දුෂ්චරිතය. හිස්දේවල් අතහරින්ට පටන් - ගන්නවා. ඇයි එයාට බලවත් දෙයක් කරන්ට තියෙනවා. ඒ ධර්මය කෙරෙහි හොඳට පැහැදුණ කෙනාගේ ස්වභාවය තමයි ඉවසීම තියෙනවා, සංවරකම තියෙනවා, කීකරුයි, නිහතමානීයි. එයා ඉවසීමෙන් ධර්මය පුරුදුකරගෙන යනවා. එතකොට අනවශ්‍යදේ බැහැර වෙලා යනවා.
භාග්‍යවතුන්වහන්සේ පෙන්වාදෙන පරම ගම්භීර ධර්මයට කැමැති වුණොත්, පැහැදුණොත් අපිට මේ ජීවිතය අතිශයින්ම දුර්ලභ වූ වාසනාවන්ත ජීවිතයක් බවට පත්කරගන්ට පුළුවන්කම තියෙනවා. ධර්මය කෙරෙහි පැහැදීමක් උපදවාගන්න එක පහුවෙලා කරන එකක් නෙවෙයි. පහුවෙන්ට පහුවෙන්ට එයා බලන්නේ තමන් ගැන පහදින්න. ‘මට මේක පුළුවන්. මට ඔක්කොම පාඩම්. මම කියවලා ඉවරයි’ ඒ විදියටයි හිතෙන්නේ. අපි ඒ විදිහට නොමග යන්ට කලින් ධර්මය කෙරෙහි පැහැදීම උපදවාගන්න. එතකොට එයා නොමඟට යන්නේ නෑ. එයා සුමඟටමයි.
ඒක නොමග යන්න කලින් ඇතිකරගත යුතු එකක්. පාර වැරදුනායින් පස්සේ හරි මඟට එන එක නෙවෙයි හපන්කම. වරදින්ට කලින් හරි මාර්ගයට පැමිණෙනඑකයි නිවැරදි. හරි මාර්ගයට වැටෙන්නේ භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන්. එකඑල්ලේ ප්‍රකාශ කරලා තියෙන නිර්භය ධර්මයට බයවෙන්ට එපා. ධර්මය තුළ නිර්භයව ප්‍රකාශ කරනවා, “මෙහෙම වුණොත්, මෙහෙම වෙනවා” කියලා. මේ ධර්මය අදහාගන්නකෙනා තුළ නිර්භයභාවය උපදිනවා කියන එකට තර්කයක් නෑ. ධර්මය තුළ නිර්භය ප්‍රකාශ තියෙනවා.
ඒ ප්‍රකාශ අදහා ගන්න කෙනා තුළ නිර්භය බවක් එනවා ද නැද්ද? අදහානොගන්නකෙනා තුළ භය උපදිනවා කියන එක ගැන කතාකරන්නට දෙයක් නෑ. නිර්භයභාවය කියලා කියන්නෙ කියකියා යන එක නෙවෙයි. නිර්භයභාවය තුළ තියෙන්නේ සංවර වීම. එයා සංවර වෙලා තම තමන්ගේ කටයුතු පාඩුවේ කරගන්නවා. ඒ නිසා ඒ අමාරු කටයුත්ත කිරීම සඳහා භාග්‍ය උදාකරගන්ටනම්, මේ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකරගන්නට ඕනෑ. අල්පමාත්‍ර පැහැදීමක් ඇතිවුණත් එයාට මහා ලාභයක් සිද්ධ වෙයි.
පූර්ණ වශයෙන් ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්ට කල්පනාකරන්න ශ්‍රද්ධාව උපදවාගන්ට කල්පනාකරන්න. ඒ සඳහා මේ ජීවිතය ම ගත වුණත් කමක් නෑ. ඒ තරම් ප්‍රමාද වෙන්ට එපා. අපි ඉක්මනින් ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කරගන්ට, ශ්‍රද්ධාව උපදවාගන්ට කල්පනාකරන්න. එයාගේ ස්වභාවය තමයි නිහතමානීව, කීකරුව ඒ ධර්මය පුරුදුකරගන්ට කළබල නොවී මහන්සි වෙනවා. එ නිසා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා, මේ සියලු දෙනාට ම භාග්‍යවතුන්වහන්සේ වදාළ ධර්මය ඉගෙනගෙන, ඒ ධර්මය කෙරෙහි බලවත් පැහැදීම උපදවාගන්ට වාසනාව උදාවේවා.