මේ දිනවල හැම පැත්තෙන්ම ඇසෙන්නේ අලින් සිදුකරණ වගා පාළු ගැන, විදුලිය වද්දවා සිදුකරණ අලි මරණ ගැනය.
මේ කථාව වෙනස් කථාවකි. බුත්තල, කතරගම රජමාවත ස්ථානක රැඳී සිටින වන අලියකු මග යන එන්නන් මවිත කරණ සිදුවීම් ගැනය. ආතර් මුදලාලි බුත්තල මාළු වෙළඳාම් කරණ අයෙකි. උදයෙන්ම දිනපතා බුත්තල - කතරගම පාරේ යන අයෙකි. කිරින්ද, වැල්ලව ගොස් මාළු රැගෙන ඒම ඔහුගේ දින චරියාව විය. මේ අතරතුර මාර්ගයේ රැඳී සිටින වන අලියාට කොමඩු ගෙඩියක් ගෙනයෑම සිරිතක් විය. එදාත් මාළු පෙට්ටියේ කොමඩු ගෙඩියක් තිබිණ. තම හිතවතා එනතෙක් බලාසිටින වන අලියා එදා මගබලා සිටියේ වේදනාවෙන් ඇඹරෙමිනි. ඒ පෙරදින රාත්‍රී කකුලේ ඇණුන ලීයක් නිසා රිදෙන කකුල නිසාය.
සිරිත් පරිදි ආතර් මුදලාලි අලියා ළඟටම පැමිණ තම යතුරුපැදිය නවතා පෙට්ටියේ තිබූ කොමඩු ගෙඩිය ගැනීමට අත දැම්මා පමණය. අලියා ආතර් මුදලාලිව හොඬවැලෙන් උස්සා ගෙන තමන් ඉදිරියේ සිටුවා දකුණු කකුල ඔසවාගෙන සිටියේය. අද මේ ඉන්නේ වෙන අලියෙක් ද ආතර් මුදලාලිට දෙවියන් සිහිවිය. උඩබලාගෙන “අනේ කතරගම දෙවියනි” කියා සිටි අතර, තමා ඉදිරියේ උස්සාගෙන සිටි කකුල හොඳින් පෙනිණි. එහි ඇනී තිබූ ලීය පිටතට හොඳින් පෙනේ ආතර් මුදලාලි ඉහළට ඉස්සී පිටතට තිබූ ලීයේ එල්ලී සොලවා එය ගලවා දැමීමට උත්සාහ කළේ අලියාගෙන් ද ලද සහයෙනි. ආතර් මුදලාලිගේ උත්සාහය සාර්ථක විය. අලි කකුලේ ඇණී තිබුණ ලීය, දැන් ආතර් මුදලාලිගේ අතේය.
අලියා ආතර් මුදලාලිව පෙර පරිදිම ඔසවා යතුරු පැදිය මතින් තැබීය. ආතර් මුදලාලි පෙට්ටියේ තිබූ කොමඩු ගෙඩිය ගෙන අලියාගේ හොඬවැලට දුනි. කථාකළ නොහැකි වුවද අලියා කෘතඥතා පුදකර වේදනාවෙන් ආපසු වනයට ගියේ නැගිට සිටීමට ඇති දුෂ්කරතාවය නිසාමය.
මෙම සිද්ධිය දෙස බලා සිටි ඊළඟට කතරගම යෑමට ආ යතුරුපැදිකරු විශ්මයෙන් බලා සිටියද ඔහු ළඟ කැමරාවක් නොවීය. කැමරාවක් තිබුණේ නම් ඒ සිදුවීම ලොවම දකින විශ්මිත සිතුවමක් වනු ඇත.
එම අලියාම තවදුරටත් ඒ ස්ථානයේ රැඳීසිට මග යන එන්නන් දෙන දෙයින් යැපෙයි. කතරගම සිට පොතුවිල් දක්වා යන විදේශිකයන් දෙදෙනෙකි. කතරගම රජමාවතේ අලි ගැන දැන සිටි රියදුරා පාන්ගෙඩි දෙකක් මිලදී ගෙන තිබුණේ මේ අලියාට දීමටය.
අලියා මග අවුරා සිටී. වාහනයේ රියදුරා අලියාට පාන් ගෙඩි දෙක දෙන අතර විදේශික කාන්තාව තම කැමරාවේ සටහන් කරගත්තේ නොඉවසිල්ලෙනි. කැමරාවෙන් නිකුත් වන විදුලි දහරා අලියාට හිරිහැරයක් විය. අලියා හැරී ඔවුන්ගේ වාහනයේ ජනේලයෙන් තම හොඬවැල දැම්මේ තවත් යමක් කෑමට සොයා ගැනීමට ය. විදේශික කාන්තාව ඒ දෙසට හැරී සමීප ඒ ඡායාරූප ගන්නා අතර කාන්තාවගේ අතේ තිබූ කැමරාව උදුරාගෙන වනයට ඇතුළුවුණේ රථයේ සිටි අය බියපත් කරමිනි. කළහැකි දෙයක් නොවූ ඔව්හු වහා ඊට නුදුරේ තිබූ ගෝනගංආර පොලිසියට පැමිණ සිද්ධිය කීවේ තමන්ගේ සංචාරය තුළ එකතු කරගත් කැමරා සටහන් තමාට ඉතා වටිනා බවත්ය. පොලිසියේ ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මකව නිලධාරින් සමඟ එම ස්ථානයට පැමිණ අලියා ගිය මගේ යද්දී කැලෑවට විසිකර තිබූ කැමරාව සොයාගෙනවිත් විදේශීය කතට දුන්විට ලංකා පොලිසියේ කාර්යක්ෂමතාව ලොවටම හෙලිකරණ බව පැවසූ විදේශිකයෝ පොලිස් නිලධාරින්ට ස්තුති කර පිටව ගියහ.
ගුණපාල ලියනගේ
සියඹලාණ්ඩුව විශේෂ