උතුරු බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුම්වලින් හතළිහකට අධික රැඳවියන් පිරිසක් පසුගිය දා ජීවිතක්ෂයට පත් වූහ. මේ පුවතත් සමඟම බ්‍රසීලයේ බන්ධනාගාර තුළ රැඳවියන් 712,305ක් පමණ සිටින බව අනාවරණය විය. රැඳවියන් සහ බන්ධනාගාර වැඩි ම රටවල් දහය ය මෙසේය.
1. අමෙරිකා එක්සත් ජනපදය
වැඩි ම රැඳවියන් පිරිසක් සිටින්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ බන්ධනාගාර තුළ ය. එරට බන්ධනාගාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව 2,121,600ක් පමණ වන බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. එහි අරුත එරට ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට, පුද්ගලයන් 655දෙනකු බන්ධනාගාරගතව සිටින බව ය. බන්ධනාගාර 4455කට ආසන්න සංඛ්‍යාවක එකී පිරිස රඳවා තබා ඇත. මේ රැඳවියන් නඩත්තු කිරීම සඳහා වසරකට අමෙරිකා ඩොලර් බිලියන 80කට අධික මුදලක් වැය කරන්නට එරටට සිදුව තිබේ. ලොව භයානක සිපිරි ගෙවල් රැසක් ම එහි ස්ථාපිත ය.
2. චීනය
චීනයේ සිපිරි ගෙවල්වල සිටින රැඳවියන් සංඛ්‍යාව දෙවැනි වන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ සිපිරි ගෙවල්වල සිටින රැඳවියන් සංඛ්‍යාවට පමණි. චීනයේ ඇති සිපිරි ගෙවල් සංඛ්‍යාව 700කට ආසන්න ය. මේ සිපිරි ගෙවල රඳවා සිටින පුද්ගලයන් සංඛ්‍යාව 1,649,804ක් පමණ වේ. ඒ අනුව, එරට සෑම පුද්ගලයන් ලක්ෂකයට පුද්ගලයන් 118ක් බන්ධනාගාරගත වේ. පසුගිය කාලය පුරා, චීනයේ අපරාධ වැඩි වූ බවක් පෙනෙන්නට තිබෙන බව සමාජ විද්‍යාඥයෝ පවසති. හොරකම් සහ වංචාවල කැපී පෙනෙන වැඩිවීමක් එහි සිදුව ඇත. එනිසා, බන්ධනාගාර ගත කරන රැඳවියන් සංඛ්‍යාවත් ඉහළ ගොස් තිබේ.
3. බ්‍රසීලය
බ්‍රසීලයේ බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 712,305ක් පමණ වේ. එහි ජනගහනයෙන් සෑම ලක්ෂයකටම පුද්ගලයන් 324දෙනකු බන්ධනාගාරගත රැඳවියන් ය. මේ පිරිස රඳවා තබා ඇත්තේ එරට තුළ ස්ථාපිත 2,600කට අධික බන්ධනාගාරවල ය. බ්‍රසීලයේ, ලොව භයානක ම බන්ධනාගාර කිහිපයක් ම ඇත. ඒවා භයානක තත්ත්වයට පත්ව ඇත්තේ, ඒවාට දැරිය නොහැකි තරමේ රැඳවියන් ප්‍රමාණයක් රඳවා තැබීම නිසා ය. විවිධ අපරාධවලට වැරැදිකරුවන් වී, අච්චු විඳින පිරිස් බන්ධනාගාර ඇතුළතදී මත්ද්‍රව්‍යය අළෙවිය ආදී ජාවාරම්වල නිරත වෙති. රැඳිවියන් අතර සිදුවන පහරදීම් ද, ඝාතන ද ඒවායෙහි බහුල ය. එබඳු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට තරම් බ්‍රසීල බන්ධනාගාර අධිකාරිය ප්‍රාණවත් නොවීම, බරපතළගැටලුවකි.
4. රුසියාව
රුසියාවෙහි බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව 467,000ක් පමණ වේ. සෑම රුසියා ජාතිකයන් ලක්ෂකයටම පුද්ගලයන් 316ක් පමණ බන්ධනාගාර ගතවන බව සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. මේ රැඳවියන් රඳවා තබා ඇත්තේ, ශෝධක කොලනි වශයෙන් හඳුන්වන කඳවුරු සහ බන්ධනාගාර 900කට අධික සංඛ්‍යාවක් තුළ ය. රුසියා බන්ධනාගාර පද්ධතිය ක්‍රියාත්මක වන්නේ, රැඳවියන්ට අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව ආදිය ලබා දීමට අවශ්‍ය පරිසරය සමඟිනි. එසේ වුවත්, සිර කඳවුරු තුළදී රැඳවියන්ට බොහෝ දුෂ්කර කාර්යයන්හි නිරත වන්නට සිදුව තිබේ. පැන යෑමට උත්සාහ කරන සිරකරුවන් වෙඩි තබා මෙල්ල කිරීමටත්, ඇතැම් කඳවුරුවල බලධාරීන්ට අවසරය ලබා දී ඇත.
5. ඉන්දියාව
ඉන්දියාවේ සිපිරි ගෙවල සිටින රැඳවියන් සංඛ්‍යාව 419,623ක් පමණ වේ. එරට ජනගහනයෙන් සෑම ලක්ෂයකටම පුද්ගලයන් 33දෙනකු පමණ බන්ධනාගාරගතව සිටින බව දැක් වේ. 2016 වන විට විවිධ ස්වරූපයේ බන්ධනාගාර 1,400කට අධික සංඛ්‍යාවක් එරට තුළ පැවැතුණි. ඉන්දියාවේ බන්ධනාගාර පවත්වාගෙන යෑම සහ සිරකරුවන් නඩත්තු කිරීම සඳහා 2016 - 2017 වර්ෂය තුළ අමෙරිකා ඩොලර් මිලියන 790ක් පමණ වැය වුණු බව සඳහන් වේ.
6. තායිලන්තය
මිලියන 70කට ආසන්න පිරිසක් වෙසෙන තායිලන්තය තුළ, මරණීය දණ්ඩනය ද ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. එසේ වුවත්, වැරැදිකරුවන් සම්බන්ධයෙන් මරණීය දඬුවම එහි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරෙන්නේ ඉතාමත් කලාතුරකිනි. තායිලන්තය තුළ සිදුවන අපරාධ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන ප්‍රවණතාවක් ද ඇති වී තිබේ. එරට බන්ධනාගාර ගත රැඳවියන් සංඛ්‍යාව 364,228ක් පමණ වේ. ජනගහනයෙන්, පුද්ගලයන් ලක්ෂයකට පුද්ගලයන් 526දෙනකු බන්ධනාගාරගත කෙරී ඇති බව, සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. මේ පිරිස රඳවා තබා ඇත්තේ, එහි ස්ථාපිත බන්ධනාගාර 144ක් තුළ ය.
7. ඉන්දුනීසියාව
ඉන්දුනීසියාවේ බන්ධනාගාර ගත පුද්ගලයන් සංඛ්‍යාව 248,389ක් පමණ වේ. එරට ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට පුද්ගලයන් 93 දෙනකු බන්ධනාගාර තුළ පසුවන බව සඳහන් වේ. මෙම රැඳවියන් රඳවා තබාගෙන ඇත්තේ සිපිරි ගෙවල් 464ක් තුළ ය. මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධව වැරැදිකරුවන් බවට පත් බොහෝ පිරිසක් ඒවායෙහි සිටිති. ඇතැම් බන්ධනාගාරවල, ඔරොත්තු නොදෙන තරම් රැඳවියන් සංඛ්‍යාවක් රඳවා ඇත. මේ නිසා, එරට බන්ධනාගාර තුළ සිදුවන අපරාධ සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පවතී.
8. තුර්කිය
තුර්කියේ බන්ධනාගාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව 232,886 ඉක්මවා එරට ජනගහනයෙන් සෑම ලක්ෂයකටම පුද්ගලයන් 288 දෙනකු බන්ධනාගාර ගත කර සිටින බව, ඉන් අනාවරණය වේ. විවිධ ස්වරූපයේ බන්ධනාගාර 384කට ආසන්න සංඛ්‍යාවක් එහි ස්ථාපිත ය. තුර්කියේ සිර කඳවුරු තුළදී රැඳවියන්ට වධ හිංසා පමුණුවන බව, මානව හිමිකම් වාර්තා පෙන්වා දෙයි. රැඳවියන්ගේ අසනීප තත්ත්වලට නියමිත වෙලාවට ප්‍රතිකාර ලබා නොදීම, ඒ අතර වඩාත් ප්‍රකට ය. මෙය විශේෂයෙන්ම බලපා තිබෙන්නේ, ගර්භණී බවට පත් කාන්තා රැඳවියන්ට බව සඳහන් වේ.
9. ඉරානය
253ක් පමණ වන ඉරාන බන්ධනාගාර තුළ, 230,000කට අධික පිරිසක් රඳවා තබා ඇත. එරට ජනගහනයෙන් සෑම පුද්ගලයන් ලක්ෂයකටම පුද්ගලයන් 284 දෙනකු රැඳවියන් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඉරාන බන්ධනාගාර තුළදී රැඳවියන් පහර කෑමට ලක්වන බව තහවුරු වී ඇත. මරණ දඬුවම නියම වූ තරුණ රැඳවියන් බොහෝ පිරිසක් එරට සිරගෙවල් තුළ සිටින බව, ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය වරෙක පෙන්වා දුනි. ඉරාන පාලනයට එරෙහිව ක්‍රියා කරන පිරිස්, දඬුවම්වලට යටත් කෙරෙති. එකී වරදට හසු වුණු අය අතර, ගුරුවරුන්, ලේඛකයන්, මාධ්‍යවේදීන්, ශිෂ්‍යයන්, නීතිඥයන් සහ විවිධ ක්ෂේත්‍රවල උගතුන් සිටින බව අනාවරණය වී ඇත.
10. මෙක්සිකෝව
මෙක්සිකෝවෙහි ස්ථාපිත 389කට ආසන්න බන්ධනාගාර තුළ රැඳවියෝ 204,422ක් පමණ අච්චු විඳිති. එරට ජනගහනයෙන් ලක්ෂයකට පුද්ගලයන් 164දෙනකු වරදකරුවන් බවට පත්ව, බන්ධනාගාරගත කෙරී ඇත. මෙක්සිකෝවෙහි බන්ධනාගාරගත කෙරෙන කාන්තා රැඳවියන් සංඛ්‍යාව 2015 සිට 2016 දක්වා වූ කාල පරාසය තුළදී 72% සිට 103% දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රකට ය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ කාන්තාවන් බොහෝ පිරිසක් ඒ අතර සිටිති. වැරැදිකරුවන් යැයි සැකපිට අත්අඩංගුවට පත් එම කාන්තාවන්ගෙන් සෑහෙන පිරිසක්, ලිංගික හිංසනයට ලක්වන බව පැවසේ.