Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සරලකමට කැමැතියි

$
0
0
ජුනි 3, 2019 01:00
R u w a n g i   R a t h n a y a k a

සුබා තෙරණිය චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන සුබා තෙරණියගේ චරිතය රඟපාන්නේ, ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායකයි. මීට දස වසරකට පෙර ටෙලි නාට්‍ය නිළියක ලෙස රංගනයට පිවිසි ඇය, අද වනවිට සිනමාව මෙන් ම, ගීත රූප රචනා කලාව හරහා ද තම හැකියා ප්‍රකට කරමින් සිටී.

 

සුබා තෙරණිය චිත්‍රපටයේ ඔබගේ චරිතය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනවා නම්?

චිත්‍රපටයේ මුල් භාගයේදි මට ඉතා ධනවත් සිටුවරයකුගේ දියණියක් විධිහටයි රඟපාන්න තිබුණෙ . චිත්‍රපටයේ මැද භාගයට එද්දි, ඇය ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරගෙන, මෙහෙණි සසුනට ඇතුළත් වෙනවා . එතැන් පටන් මම රඟපාන්නෙ, මෙහෙණියකගේ භූමිකාව. මම මීට කලින් මෙහෙණින් වහස්සේ නමකගේ චරිතය රඟපාලා නැති නිසාත්, මීට පෙර සිවුරක් ඇඳලා නැත නිසාත්, එය එක්තරා අභියෝගයක් වුණා. හැබැයි, මේ වගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබෙද්දි, මම හරි ම කැමැති වුණා.

 

ඔබ සුබා තෙරණියගේ චරිතයට පිවිසීමට පෙර, බෞද්ධ සාහිත්‍යයේ එන සුබා තෙරණියගේ චරිතය ගැන අධ්‍යයනය කළාද?

මේ චරිතයට මට ආරාධනා කරන අවස්ථාවේ, අධ්‍යක්ෂවරයා කතාව ගැන හැඳින්වීමක් කළා. ඊට පස්සෙ මම මේ කතාව ගැන සොයා බැලූවා . එහිදි මට බොහෝ දේ අහන්න, කියවන්න ලැබුණා. ඉන් පසුවයි තිර පිටපත මගේ අතට පත් වුණේ. තිර පිටපතෙනුත් මම මේ චරිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා . ඒ චරිතය ඇතුළෙ මට බොහෝ දේ කරන්න තිබුණා කියලා මං හිතනවා. මේ වන විට ඒ චිත්‍රපටය සාර්ථකව නිර්මාණය කෙරිලා, අපේ රසිකයන්ට නරඹන්න අවස්ථාවත් සැලසිලයි තියෙන්නෙ.

 

සුබා තෙරණියගේ චරිතය ඇසුරේ ඔබ අවබෝධ කර ගත් ජීවන යථාර්ථය, අද ඔබගේ ජීවිතයටත් ආදේශ වෙලාද?

ඒ චරිතයෙන් අපට අවබෝධ වන දෙයක් තමයි, කොතරම් සල්ලි තිබුණත්, මොන තරම් රූමත් වුණත්, මොන තරම් උසස් තත්ත්වයක් තිබුණත්, ඒ හැම දේම තාවකාලිකයි කියන එක. සුබා ඒ බව තේරුම් අරගෙන, බුදු දහමට නැඹුරුවෙලා, මෙහෙණවරය ලබාගෙන, රහත්එලයට පත්වන චරිතයක් . හැම දේම අනිත්‍යයි කියන එක තමයි ඇත්ත. ඒක මමත් තේරුම් අරගෙන ඉන්නෙ. ඒත්, තවම මට මගේ පුද්ගලික දිවියෙ සුබා තෙරණිය වගේ ම වෙන්න බැහැ.

 

මෑත කාලයේ ඔබ නිර්මාණවලට අඩුවෙන් දායක වීමට බලපෑ හේතුව කුමක්ද?

පුද්ගලිකව විශේෂ හේතුවක් නැහැ. ඒත්, මම බලාපොරොත්තු වන විධිහේ හොඳ නිර්මාණයකට මට ආරාධනාවක් ලැබුණෙ නැහැ. ටිකක් වෙනස් විධිහේ හොඳ නිර්මාණවලට මට ආරාධනා ලැබෙනවා නම් හොඳයි. විවිධ චරිත රඟපාන්න මම කැමැතියි. එහෙම හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත්, බාර ගන්නවා.

 

ඔබ දකින්නෙ, මේ හොඳ නිර්මාණ බිහි නොවන කාලයක් විධිහටද?

හොඳ නිර්මාණ බිහි වෙන්නෙ නැත්තෙ නැහැ. හොඳ නිර්මාණ තියෙනවා. ඒ අතරින් මට ආරාධනා ලැබෙන්නෙ නැත්තෙත් නැහැ . මට විවිධ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒත්, මුදල් ප්‍රශ්න නිසා හෝ චරිතය සම්බන්ධ ගැටලූ ඇතිවන විට හෝ, මට ඒ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා.

 

වෘත්තීමය නිළියකට, එවන් නිහඬ කාලයක් ගත කිරීම, මුල්‍යමය වශෙයන් ගැටලූවක් නෙමෙයිද?

එහෙම වෙන්න පුළුවන. ඒත්, හොඳ දෙයක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඒකට හේතුව, මම ක්ෂේත්‍රයට ආව මුල් කාලෙ පටන් ම, හොඳ නිර්මාණවලට සම්බන්ධ වුණා. හොඳ චරිතවලින් ප්‍රේක්ෂකයන්ගෙ ආදරය දිනා ගත්තා. මම කැමැතියි ඒක දිගටම පවත්වාගෙන යන්න. සමහර නාට්‍යවල ඒකාකාරි ගතියක් දකිනවා. ඒ අතර හොඳ නිර්මාණත් තිබෙනවා. නිර්මාණ නරඹන තැනැත්තියක් විධිහට විවිධ නිර්මාණ තියෙනවා

නම් හොඳයි කියලා හිතනවා.

 

ජනප්‍රිය චරිතවලට, සාමාන්‍ය කෙනකුට වඩා අසීරු ජීවන රටාවක්ද තියෙන්නෙ?

රංගන ශිල්පිනිය කියන කෙනා සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඒත්, ජනප්‍රිය කෙනකුට සමාජයේ සිටිද්දි සීමා පනවා ගන්න වෙනවා. ඒකට හේතුව බොහෝ දෙනාගේ අවධානයට ලක් වීමයි. ඒත්, මොන දේ වුණත්, සරලව ජීවත් වෙන එක තමයි වටින්නෙ. මම උත්සාහ කරන්නෙ, සරලව ජීවත් වෙන්නයි .

 

ඔබ මාධ්‍යයට පැමිණීම සීමා කර ඇති නිළියක්ද?‍

එහෙම දෙයක් නැහැ. “හැමදාම දැක්කහම, ප්‍රේක්ෂකයන්ට එපා වෙන්න පුළුවන්නෙ“ වගේ පිළිතුරක් ඔබේ ප්‍රශ්නයට පිළිතුර විධිහට මට දෙන්න පුළුවන්. ඒත් මම, ඒ ආකාරයට මාධ්‍යයෙන් වසන් වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. මම, අවශ්‍ය වෙලාවට පේන්න ඉන්නවනෙ.

 

රංගනයට පැමිණෙන්නේ නැතිව, වෙනත් වෘත්තියකට යොමු වුණා නම් හොඳයි කියලා හිතෙන අවස්ථා තියෙනවද?

මම පුංචි කාලෙ ගුරුවරියක් වෙන්න කැමැත්තෙන් හිටියා. ඊට අමතරව, නිවේදිකාවක් වෙන්නත් කැමැත්තක් තිබුණා. නිළියක් වෙන්න අවස්ථාව ලැබුණෙ අහම්බෙන‍්.

 

නිළියක් පමණක් නෙමෙයි, නිවේදිකාවක් විධිහටත් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඔබ, අද එතැනත් නැහැ නේද?

මම නිවේදිකාවක් විධිහට එක්තරා රූපවාහිනී නාළිකාවක අවුරුදු තුනක් විතර කටයුතු කළා. නිවේදන කටයුතු කරද්දි ම මම එවකට ජනප්‍රියව පැවැති ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපෑවා. ඇතිවුණ කාර්ය බහුලත්වය නිසා, මට දිගටම නිවේදන කටයුතු කරගෙන යන්න කාලය හොයා ගන්න අපහසු වුණා. ඒත්, මම නිවේදන කටයුතුවලින් දුරස් වෙලා නැහැ. දැන් මට නිවේදිකාවක් විධිහට වැඩ කරන්න නිදහස තියෙනවා. ඉදිරියේදි බලමු.

 

නිතර තිරයේ දකින්න නොලැබීම, ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ගිලිහීමට හේතුවක් නේද?

මං හිතන විධිහට, මට නම් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය අඩු වෙලා නැහැ. හැමදාම එක කාලයකදි රූපවාහිනියෙ දකින්න ලැබෙන්නෙ, ඒ ඒ කාලවකවානුවල ක්ෂේත්‍රයට අලූතින් එන අයයි. ඒත්, ඒ කවුරුත් හැමදාම ඉන්නෙ නැහැ. ඒක අපට, පෙර සිටි අයට වගේම අලුතින් එන අයටත්් පොදු ධර්මතාවක් . මමත් ක්ෂේත්‍රයට ආව මුල් කාලෙ එක ම කාලසීමාවක, නාලිකා කිහිපයකම ටෙලි නාට්‍ය රැසක රසිකයන්ට දැකගන්න ලැබුණා . ඒ කාලෙ හැමෝම අහන්නෙ හැම නාට්‍යයකම ඉන්නවා නේද කියලයි .

 

ඔබගේ දිවියෙ ආදරය හා විවාහය සම්බන්ධ තීරණ අරගෙනද ඉන්නෙ?

ආදරයක් ලැබෙනවා. තවම විවාහයට නම් සුදානමක් නැහැ .

 

බාහිර පෙනුම ගැන දක්වන අවධානය වගේ ම, ඔබ පෙනී සිටින රූපලාවන්‍ය නිෂ්පාදන පුද්ගලිකව භාවිත කරන නිළියක්ද?

විශේෂයෙන් දෙයක් කරන්නෙ නැහැ. ඒත්, මම පෙනුම ගැන සැලකිලිමත් වෙනවා. මම හිතන්නෙ, ඕනැම කෙනෙක් තමන්ගෙ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න ඕනැ. රංගන ශිල්පිනියක් වුණහම ඔවුන්ට රූපය ගැන, තමන්ගෙ ඇඳුම් පැලඳුම් ගැන විශේෂ අවධානයක් දක්වන්න වෙනවා. මේ වනවිට මම කිසි ම රූපලාවන්‍ය නිෂ්පාදනයක් වෙනුවෙන් පෙනී හිටලා නැහැ. ඒ වගේ ම, ඒ කිසි ම රූපලාවන්‍ය නිෂ්පාදනයක් පාවිච්චි කරන්නෙත් නැහැ.

ධම්මිකා සුරංජි පති­රණ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>