ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
වත්මන් රජය කරගෙන ආ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ උනන්දුව යටපත්ව ඇත. රට තුළ ඇතිවූ හදිසි කටයුතු එයට හේතුවන්නට ඇති බව සිතා ගැනීමට අපහසු නැත. එහෙත් එය අතපසු කළ හැකි කාර්යයක් නොවේ. 2015 ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ රටට ප්‍රජාතන්ත්‍රවාදී නව ව්‍යවස්ථාවක් ගෙන එන බවය. 1972 ව්‍යවස්ථාව 1970 මැතිවරණයේ ද 1978 ව්‍යවස්ථාව 1977 මැතිවරණයේ ද පොරොන්දුවල ප්‍රතිඵලය. මේ ව්‍යවස්ථා දෙක එම මැතිවරණවලින් අනතුරුව පිළිවෙළින් වසර දෙකක් හා වසරක් ඇතුළත කෙටුම්පත් කර සම්මතකොට ක්‍රියාත්මක කෙරිණි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට තෙවෙනි වරට පොරොන්දු වූ ජනාධිපතිවරණය පවත්වා මේ වනවිට වසර හතරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් පොරොන්දු වූ ව්‍යවස්ථාව තවමත් අතරමඟය. 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීමේත් මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේත් මූලික වෙනසක් දක්නට ඇත. 1972 හා 1978 දී බලයට පත්ව සිටි ආණ්ඩුවලට තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු බලයක් තිබූ අතර ජනමත විමසුමකින් තොරව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම සම්මත කර ගැනීමට හැකිවිය. ඒ ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතාවගේ අදහස් නොවිමසන ලදී.
2015 බලයට පත් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදන කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වූයේ වඩාත් ප්‍රජාතාන්ත්‍රවාදී ආකාරයකිනි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ මුල් වතාවට මෙවර මහජන මත විමසීමක් සිදු කෙරිණි. මේ සඳහා මහජන මත විමසීමේ කමිටුවක් පිහිටුවන ලදී. (Public Representation Committee) එම කමිටුව දිස්ත්‍රික්ක 25ටම ගොස් ජනතා අදහස්වලට ඇහුම්කන් දුන් අතර 1916 ජනවාරි - අප්‍රේල් කාලය තුළ මහජනයාගෙන් ලද යෝජනා 4000ක් පමණ සලකා බලන ලද බව වාර්තා විය. ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කෙරිණ.
මෙහෙයුම් කමිටුවට සහාය වීම සඳහා අනුකමිටු 6ක් ද පත් කෙරිණ. මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය හා කේන්ද්‍රීය හා පරිවාර සබඳතා යන කරුණු අධ්‍යයනය කිරීම මෙම අනුකමිටුවල වගකීම විය. එක් අනුකමිටුවක් සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විත වූ අතර සියලුම පක්ෂ නියෝජනය වන අයුරින් මේ අනුකමිටු සකස් වී තිබිණ. මෙයට අමතරව සාමාජිකයන් දසදෙනකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් ද පත්කරන ලදී. එය පත්කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟත්වයෙනි. මේ සියලු කමිටුවල දායකත්වයෙන් සැකසෙන ව්‍යවස්ථා කෙටුම්පත අධිකරණයේ අනුමැතිය ලැබිය යුතුය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ද ලැබිය යුතුය. ඉන්පසු එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලිය මෙසේ වුව ද දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවට ව්‍යවස්ථාවක් සාදන්නේ යැයි ද එය හොර රහසේ සම්මත කර ගැනීමට කුමන්ත්‍රණයක් ඇතැයි ද විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් කෑ මොරදීමේ අර්ථය කුමක් ද? ව්‍යවස්ථා භීතිකාවක් මවා පොදුජනතාව නොමඟ යැවීමට ඇතැම් කූට දේශපාලනඥයන් උත්සාහ කරන්නේ මහජනතාවගේ ඡන්දය සොරාකෑමට නොවන්නේ දැයි ප්‍රශ්න කළ යුතුව ඇත. රටට ආදරයක් හා කූඹි හිසක් තරම්වත් දේශපාලන දැක්මක් ඇත්නම් අපේ දේශපාලනඥයන් කළ යුතුව තිබෙන්නේ “නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයනව” යැයි ජනවහරේ එන ප්‍රස්ථා පිරුළ සිහිගන්වන විකාර ක්‍රියාවල යෙදීම නොව සියල්ලන්ම එක්ව ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමය.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාවේ ප්‍රධාන කරුණු දෙකක් වෙත ජනතාවගේ අවධානය වැඩිපුරම යොමු වී ඇති බව කිවමනාය. ඉන් පළමුවැන්න ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවාද අහෝසිකරනවා ද යන්නයි. දෙවැන්න ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වී මාස කිහිපයකට පසු හා තමන් මියයන්ට මාස කිහිපයකට පෙර ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විසින් ලියා පළකරන ලද “1978 ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක්” නම් සංක්ෂිප්ත වූ ද අතිශය සාරගර්භ වූ ද ග්‍රන්ථයේ මේ කරුණු දෙක ගැන ද වැදගත් නිගමන ඉදිරිපත්කොට ඇත. අවුරුදු ගණනාවක සිටම මෙරට බුද්ධිමත් ජනතාවගේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් හඳුන්වාදිය යුතු බවයි. දෙවෙනි කරුණ වන ජනවාර්ගික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ගෙන ඒම අත්‍යවශ්‍ය වූ ද ඉක්මණින් ඉටුකළ යුතු වූද කටයුත්තක් බව සඳහන් කළ යුතුය.
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සිය විග්‍රහයෙහි තුන්වන පරිච්ඡේදයේ සඳහන් කරන්නේ 1956 දී දෙමළ භාෂාවටද සිංහල භාෂාවට සමාන තැනක් ලබාදීමෙන් ද්‍රවිඩ ජනතාවගේ අභිප්‍රායන් ඉටුකිරීමට හැකිව තිබූ නමුත් 1978 දී එසේ කිරීම ප්‍රමාණවත් නොවන බවයි. මතුයම් දවසක මේ ජාතීන් දෙක එකට එකතුකර ගනිමින් රට ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් එසේ කළ හැකි වන්නේ ඒ ඒ ජාතීන්ට තමන්ගේ ප්‍රදේශ ස්වාධීනව පාලනය කරගෙන යාමට බලතල ලබාදෙන පළාත් පාලන ක්‍රමයක් මඟින් පමණක් බව ඔහු පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි.
1987දී ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිගේ මැදිහත්වීමෙන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇති කරන ලද 13 සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය ඇති කිරීමට සිදුවීම ඇන්. ඇම්ගේ ප්‍රකාශයෙහි වටිනාකම පෙන්නුම් කරයි. එහෙත් අපේක්ෂා කළ පරිදි එහි අරමුණ සාර්ථක වී නැත. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස ක්‍රියාවට නොනැඟීම එයට හේතුවයි. 13 වන සංශෝධනය තවදුරටත් ප්‍රතිසංස්කරණය විය යුතු බවට ද්‍රවිඩ ජනතාව අතර මතයක් මතුවූයේ ඒ හෙයිනි, “තර්ටීන් ප්ලස්” යනුවෙන් 13 සංශෝධනයේ බලතල තවදුරටත් වැඩිදියුණු කිරීමේ අභිප්‍රායක් ප්‍රකාශයට පත්වූයේ අන් කවරකු වෙතින් වත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි.
විධායක ජනාධිපති ක්‍රමයේ දුර්විපාක එම ක්‍රමය ආරම්භ කොට ගතවූ දශක හතරක පමණ කාලය තුළ ජනතාවට අත්විඳින්නට ලැබිණ. පසුගිය ඔක්තෝබර් මාසයේ ඇති වූ සිද්ධීන්ගෙන් එය වඩාත් ඉස්මතුව පැහැදිලි විය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නොතිබුණා නම් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පරාජය කිරීමට නොහැකි වනු නිසැකය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමට නොපමාව පියවර ගතයුතු බව ඉන් ඉතා මැනවින් පැහැදිලි විය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව එකහෙළා පිළිගත් අපේ නායකයන් ව්‍යවස්ථා සම්පාදන කාර්යයෙන් කරඇර සිටිත්දැයි කෙනෙකුට හැඟීයන්නට හැකිය. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට ප්‍රතිඥා දුන් නායකයන් පවා ඉදිරියට එන ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් වීමට විවිධ උපායන් හා උපක්‍රම යොදමින් ලක ලැහැස්ති වන බව පෙනෙන්නට ඇති හෙයිනි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට අනුමත කර ගැනීම තවදුරටත් කල්ගතවන ක්‍රියාවක් වන්නේ නම් 20 වන සංශෝධනයක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට සියලු දෙනා එක්සත්ව පාර්ලිමේන්තු කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් ඇතිකරගත යුතුය.